වෙබ් ලිපිනය:

Friday, March 10, 2017

එරාන් හෙළිකරන ඇමතිවරුන්ගේ කඳුළු කතාව


බීබීසී මාධ්‍යවේදී අසාම් අමීන් විසින්, විනාඩි තුනකට අඩු කාලයක් තුළ, ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි මට්ටමේ පුහුණුවක් ලබා ඇති, යහපාලනවාදීන් බලාපොරොත්තු තබා සිටි, රජයේ නියෝජ්‍ය ඇමතිවරුන් දෙදෙනෙකුගෙන් අසන ප්‍රශ්න කිහිපය හරහා රජයේ මූල්‍ය විනය, අකාර්යක්ෂමතාවය, රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට රජයට ඇති උවමනාවේ තරම, දිනෙන් දින පුළුල් වන රජය හා ජනතාව අතර පරතරය ආදී කරුණු රැසක් මතු කරයි.

නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්නට අනුව අළුත් ඇමතිවරුන් සිය එදිනෙදා රාජකාරි කරන්නේ විශාල සම්පත් හිඟයකට මුහුණ දෙමින්, පුදුම දුකක් විඳිමිනි. ඔවුන්ට හදිසියකට අමාත්‍යාංශයෙන් එළියට යන්නට වාහනයක් නැති අතර වෙනත් අමාත්‍යාංශයකින් වාහනයක් ණයට ඉල්ලා ලැබෙන තුරු බලා සිටින්නට වේ. ඇමතිවරුන්ගේ දුක ගැන එරාන් වික්‍රමරත්න විසින් කොතරම් හොඳින් පැහැදිලි කිරීමට සමත් වී සිටිනවාද කියා වත්පොතේ අදාළ වීඩියෝව යටින් වැටී ඇති කමෙන්ට් කියවන විට සක් සුදක් සේ පැහැදිළි වේ.

එරාන් වික්‍රමරත්න කියන ආකාරයට ආණ්ඩුව කරන්නට හදන්නේ පරණ වාහන වෙනුවට අළුත් වාහන මිලදී ගැනීමයි. රජයේ වාහන පරණ වන විට ඒවා ප්‍රතිස්ථාපනය කරන ක්‍රමවේදයක් තිබේ. වසර කිහිපයකට පසු වාහනයක වටිනාකම ක්ෂය වී අවසන් වූ ලෙස සැලකෙන අතර, පරණ වාහන වෙනුවට අළුත් වාහන මිල දී ගත යුතුවේ.

මෙහි ඇති ප්‍රශ්නය පරණ වාහන වෙනුවට අළුත් වාහන මිලදී ගැනීම නොවේ. ඒ සඳහා පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කරන්නේ ඇයිද යන කරුණයි.

පරණ වාහන ක්ෂය වී අවසන් වන දිනය අවිනිශ්චිත එකක් නොවේ. ඒ නිසා මෙසේ අළුත් වාහන සඳහා අවශ්‍ය වන ප්‍රතිපාදන ප්‍රමාණය කලින් සැලසුම් කළ හැකි වියදමකි. රජයේ සියළු ආයතන මෙය කරයි. වාර්ෂිකව මුදල් ඇමතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමත කර ගන්නා අයවැය ඇස්තමේන්තු වලට මෙවැනි වියදම් ඇතුළත්ය.

අයවැය ඉදිරිපත් කර සම්මත කර ගැනීමෙන් පසුව පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කර අනුමත කරගන්නට අවශ්‍ය වෙන්නේ කලින් පුරෝකථනය කළ නොහැකි වූ, අළුත් වියදම් වෙනුවෙනි. රටක් අනපේක්ෂිත ලෙස යුධමය තත්ත්වයකට හෝ ස්වභාවික ව්‍යසනයකට මුහුණ දුන් විට මෙසේ පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කරන්නට සිදුවීම පිළිගත හැකි වුවත්, ක්ෂය වන වාහන වෙනුවට අළුතින් වාහන මිලදී ගැනීම සඳහා පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කෙරේනම් එයින් පිළිබිඹු වන්නේ ආණ්ඩුවේ මූල්‍ය විනය පිළිබඳ ප්‍රශ්නයකි.

ඇතැම් විට මේ වාහන අවශ්‍ය වෙන්නේ අළුතින් පිහිටුවන අමාත්‍යාංශ හෝ වෙනත් රාජ්‍ය ආයතන වෙනුවෙන් වන්නට පුළුවන. ප්‍රශ්නය තියෙන්නේ මෙසේ අළුත් ආයතන හෝ අමාත්‍යාංශ පිහිටුවමින් රජය තවත් පුළුල් කරන්නේ කලින් නොකළ අළුත් වැඩ කරන්නට නොව, කිසියම් පුද්ගලයෙකුට හෝ කිහිප දෙනෙකුට තනතුරු හා වරප්‍රසාද පිරිනැමීමට වීමයි.

බොහෝ විට අළුත් අළුත් අමාත්‍යාංශයක් හදන්නේ පරණ අමාත්‍යංශයක කොටසක් ගලවා ගැනීමෙනි. මේ ඇතැම් ඇමතිවරුන් භාරයේ ඇත්තේ දහසකට නොව ඇතැම් විට සියයකටත් වඩා අඩු පිරිසක් සේවය කරන එක් ආයතනයක් පමණි. එවැන්නක් පාලනය කිරීමට ආයතන ප්‍රධානියෙක් සිටීම ප්‍රමාණවත් වන අතර විශාල වියදමක් දරා ඇමති කෙනෙකු නඩත්තු කිරීම අවශ්‍ය නැත. රජයේ අකාර්යක්ෂමතාවය ඇත්තේ මෙතැනය.

උදාහරණයක් ලෙස, දයා ගමගේගේ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇත්තේ, සේවකයින් 1,088ක් වැඩකරන අපනයන කෘෂිකර්ම අමාත්‍යාංශය පමණි. එම දෙපාර්තමේතුවේ කටයුතු අධීක්ෂණය කරන ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ සේවක පිරිස 76කි. මේ අමාත්‍යාංශය කෘෂිකර්ම අමාත්‍යාංශයේ කොටසක්ව පැවතියානම්, වාහන ගොඩනැඟිලි ඇතුළු අමාත්‍යාංශය නඩත්තු කිරීමට යන සියළු වියදම් ඉතිරි කර ගත හැකිව තිබුණි. දයා ගමගේට අයිති ඇතැම් ඇඟළුම් කම්හල් හා ඉදිකිරීම් සමාගම් වල මීට වඩා සේවක පිරිසක් වැඩ කරනු ඇතැයි සිතිය හැකි අතර ඒවා බොහෝ විට පාලනය කරනු ඇතැයි සිතිය හැක්කේ අදාළ ආයතන ප්‍රධානීන් විසිනි.

මලික් සමරවික්‍රම අමාත්‍ය ධුරය දරන, සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍ය ධුරය දරන සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළදාම් අමාත්‍යංශය යටතේ ඇත්තේ ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව පමණි. සේවකයින් ගණන 80කි. අමාත්‍යාංශයේ මුළු සේවක පිරිස 445කි. වෙළඳ අමාත්‍යාංශයේ කොටසක් ලෙස පවත්වා ගත හැකි, මේ දෙපාර්තමේන්තුව අධීක්ෂණය කරන ඇමති වරුන් නඩත්තු කිරීම අමතර වාහන, ගොඩනැඟිලි හා සේවකයින් වෙනුවෙන් අමතර ප්‍රතිපාදන වෙන් කරන්නට සිදුවන අතර මෙවැනි ඇමතිවරුන් වෙනුවෙන් වාහන ගෙන්වීමට පොදු අරමුදල් වෙන් කරන්නට වෙන්නේ ඇමති වරයාට මෙන්ම රාජ්‍ය ඇමති වරයාටත් වාහන ආනයනය කිරීමට මිලියන 30 ඉක්මවන තීරුබදු සහනද ලබා දීමට අමතරවය.

මේ අයුරින්ම, සේවකයින් 92ක් පමණක් සිටින හරින් ද සිල්වා අමාත්‍ය ධුරය දරන විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශයේ කටයුතු විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති ආයතනයක් හරහා කරන්නට බැරි කමක් නැත. සේවකයින් 19 දෙනෙකු පමණක් සිටින සරත් අමුණුගමගේ විශේෂ කාර්ය අමාත්‍යාංශය කරන්නේ මොනවාද කියන එකවත් පැහැදිලි නැත.

ඇමතිවරයෙකුට රුපියල් ලක්ෂ 400ක වාහනයක් අවශ්‍ය වන්නේ ඇයිදැයි බීබීසී මාධ්‍යවේදියා විමසද්දී එරාන් වික්‍රමරත්න ප්‍රශ්නයට පිළිතුරු දෙන්නට නොපැකිලේ. ඔහුට අනුව, සමාගමක ප්‍රධාන විධායක නිලධාරියෙකු හෝ සභාපති වරයෙකු වුවද මෙවැනි මිල අධික වාහන පාවිච්චි කරන නිසා ඇමති වරයෙකු එසේ කිරීම සාමාන්‍ය දෙයකි.

සමාගම් වල ලාභ යනු මහජනයාගෙන් පැහැර ගන්නා දෙයක්යැයි සිතන අයටනම් මෙය හොඳ පිළිතුරක් වන්නට පුළුවන. එහෙත්, එය එසේ නොවන බව එරාන් වික්‍රමසිංහ හොඳින්ම දනී. සමාගමක ප්‍රධාන විධායක නිලධාරියෙකු හෝ සභාපති වරයෙකු වාහන සඳහා වැය කරන්නේ ඔවුන් සමාගම වෙනුවෙන් උපයන මුදල් මිස මහජන මුදල් නොවේ. සමාගමක් දිගින් දිගටම පාඩු ලබනවානම් ඔවුන්ට මේ මිල අධික වාහන පරිහරණය කිරීම දිගටම කරන්නට ලැබෙන්නේ නැත.

මෙහි ඇති ප්‍රශ්නය එරාන් වික්‍රමරත්න කියන පරිදි, ආණ්ඩුව සමාගමක් ලෙස අප සැලකුවත් එය ලාභ නොලබන දිගින් දිගටම පාඩු ලබන, බංකොලොත් වෙන්නට ආසන්න සමාගමක් වීමයි.

ලංකාවේ මුහුණ දෙන ආර්ථික අර්බුදය හමුවේ රජයේ වියදම් අඩු කර අයවැය සමතුලිත කර ගැනීම සඳහා මේ ආණ්ඩුව සැලකිය යුතු තරම් උත්සාහයක් දරා තිබේ. එහෙත්, ප්‍රශ්නය වන්නේ එය කර ඇති ආකාරයේය. වියදම් අඩුකර ඇත්තේ සෑම අංශයකම ප්‍රාග්ධන වියදම් කැපීමෙන් මිස වඩා නාස්තිකාර වියදම් සීමා කිරීමෙන් නොවේ. වාහන ගෙන්වීම වෙනුවෙන් වැය කරන සෑම ඩොලරයක්ම එක් අතකින් රජයේ අයවැය හිඟයද, අනෙක් අතින් ගෙවුම් ශේෂ හිඟයද පුළුල් කිරීමට දායක වන බව සැඟවිය හැකි කරුණක් නොවේ.

මේ ආණ්ඩුවට පසුගිය ආණ්ඩුව විසින් ගත් විශාල ණය මුදලක් ගෙවන්නට සිදුවී තිබේ. ඒ අයුරින්ම, ඉදිරියේදී බලයට පත්වන ආණ්ඩුවකට මේ ආණ්ඩුවේ ණයද එලෙසින්ම ගෙවන්නට සිදුවනු ඇත. ඒ, රජයේ ණය ආපසු ගෙවන්නට හැකි මට්ටමින්වත් එතෙක් කලක් හෝ රටේ ආර්ථිකය ඇදගෙන යන්නට හැකි වුනොත්ය.

17 comments:

  1. ෆොනීගෙ අමාත්‍යාංශෙ කී දෙනෙක් ඉන්නවද දන්නෙ නෑ ? මං හිතන්නෙ ගෑනි පෞද්ගලික ලේකම්, බෑණා සම්බන්ධීකරණ ලේකම්, දුවටත් මොකක් හරි තනතුරක් දීලා ඇති. මිනිහගෙ අමාත්‍යාංශෙන් කරන ප්‍රාදේශීය සංවරධන වැඩ ඇත්තටම ප්‍රාදේශීය සභාවකින් කෙරෙන ඒවා. නිකන් සල්ලි කකා, බොරු වැඩ කරනවා. දෙන්න තිබුණෙ පොලිසිය භාර අභ්‍යන්තර කටයුතු. අඩු ගානෙ රාජපස්සලව හිරේ හරි දානව.

    ReplyDelete
    Replies
    1. ඒ අමාත්‍යංශයේත් 41 දෙනයි ඉන්නේ. හදබිම අධිකාරියයි තව ප්‍රොජෙක්ට් කිහිපයකුයි බලාගන්න අමාත්‍යාංශයක් තියෙන්නේ.

      Delete
  2. මව්වස්ත්‍රයේ ප්‍රජාන්තන්ත්‍රවාදයයි, ඒකේ පැටියා වෙච්ච පාර්ලිමෙන්තුව්යි, ඇම්තිලා රොත්තයි ඉන්න තාක්කල් මේ ගොහොරුවෙන් ගොඩ ඒමක් නෑ..හත්‍ර පස් දෙනෙක් එකතු වෙලා රට පාලනය කරණ ක්‍රමයක් තිබුනනම් ඉවරයි කියලා හිතෙනවා..උන් උපරිම ආතල් ගත්තත් මේ යන වියදමෙන් භාගයක්වත් යන එකක් නෑ...

    ReplyDelete
    Replies
    1. //හත්‍ර පස් දෙනෙක් එකතු වෙලා රට පාලනය කරණ ක්‍රමයක් තිබුනනම් ඉවරයි කියලා හිතෙනවා// කොහොමටත් එහෙම ක්‍රමයක් තමයි ලංකාවෙ තියෙන්නේ. වැරැද්ද ඕක ප්‍රජාතන්ත්‍රවාදය කියා හිතන එකයි.

      Delete
    2. වැ‍රැද්ද ඒක ප්‍රජාතන්ත්‍රවාද කියලා පෙන්වන්න අවශ්‍ය ඝණ පූරණය බොරුවට ලංකරන් උන්වත් අපේ මුදලින් නඩත්තු කරණ එක කියලයි මට හිතෙන්නේ..

      Delete
  3. බල්ලෝ නාවන්න ගෙනියන්න දම්වැල් විතරක් නෙමේ වතුරත් තියෙන්න ඕන කියලා මම ඉගෙනගත්තේ පහුගිය ආණ්ඩුවෙන්. බල්ලන්ට ඉන්ජෙක්ශන් ගහන්න ඉස්සෙල්ලා, බල්ලො ඇතිකරන එවුන්ට ඉන්ජෙක්ශන් ගහන්න ඕන කියලා ඉගෙනගත්තේ මේ ආන්ඩුවෙන්. මම එකක් ගහගත්තා. ඇත්ත කියන්නේ. බල්ලන්ට බව්වො කියන්නෙත්, බල්ලෝ හඳුනානොගොත් එවුන්. සමාවෙන්න.

    ReplyDelete
  4. ඇමතිලගේ තීරුබදු වාහන නවත්තන්න කලින් රාජ්‍ය සේවකයින්ට දෙන පර්මිට් නවත්තන්න ඕන. ඔතනනම් 225 නේ උපරිම. එහෙමද මේ හැත්ත බුරුත්ත ඔක්කොටම පර්මිට් දෙන්න ගියාම. අනික අමතිලට මන්ත්රීලට දෙන පර්මිට් නවත්තනවානම් අනිවාර්යයෙන්ම දැන් තියෙනවා වගේ දහ ගුණයක් විතර පඩි වැඩි කරන්න වෙනවා. ලංකාව අනෙක් නොදියුණු රටවල් වලට සාපේක්ෂව බැලුවත් මහජන නෙයෝජිතයන්ට ගෙවන්නේ ඉතා සුළු මුදලක්.

    ReplyDelete
    Replies
    1. මෙය ශ්‍රී ලංකික දේශපාලුවෙකු මුදල්ගෙවා පලකල කොමන්ටුවක් බව කරුණාවෙන් සලකන්න.

      Delete
    2. ඇනෝ, මුදල්නම් තවමත් ලැබී නැත. :)

      Delete
    3. econoට නෙමෙයි ඒ කියල තියෙන්නේ. මගේ කමෙන්ට් එකට.
      පොඩි පොඩි අමාත්‍යංශ වලට කඩල ඒවාට වාහන ගෙන්වන එක හරි කියනවා නෙමෙයි. නමුත් econ පහුගිය ලිපියක පැහැදිලි කළා වගේම ඔය මගේ මුලින් කියල තියෙන කමෙන්ට් එක තමයි ඇත්ත. අනික ඔය පරිපුඋරක ඇස්තමේන්තුව තියෙන්නේ රජයට ලැබිය යුතු බදු මුදල් එක්ක. ඒ කියන්නේ ඔය මුදලින් බාගේකටත් වැඩිය රජයේ එක දෙපාර්තුමේන්තුව ඉඳන් වෙන දෙපර්තුමෙන්තුවකට මාරු වෙන එක විතරයි වෙන්නේ. නමුත් රජයේ පින් පඩි කකා ඉන්න සේවකයෝ ලක්ෂගානකට වාහන බලපත්‍ර දුන්නම උන් කෙලින්ම බදු නොගෙවා තමයි වාහන ගේන්නේ. ඒ කියන්නේ රජයට වෙන බදු පාඩුව වසරකට බිලියන 40ක් විතර. ඔන්න ඕව තමයි නැති කරනවානම් නැති කරන්න ඕනේ. අනික ජනතා නියෝජිතයා කියන එක රටේ අනිත් හැම එකටම වඩා ඉහලින් තියෙන රස්සාවක්. ඒක එහෙම වෙන්න ඕනේ. කල යුත්තේ ඔය අනන්මනං වරප්‍රසාද නවත්තල පඩි වැඩි කරන එක. ඒක එහෙම කරන්න හැදුවම මුලින්ම විරුද්ද උනේ ඔය රාජ්‍ය සේවයේ කාලකන්නි ටිකයි ජෝස්තර මුදලාලිලා සෙට් එකයි.
      මම ඉන්න රටේ ජනතා නියෝජිතයෙක් වෙනුවෙන් වසරකට ඩොලර් මිලියනයකට වඩා රජයෙන් බර දරනවා. එහෙම බර දරන්න වෙනවා ප්‍රජාතන්ත්රවාදේ කියන සංකල්පේ ඇතුලේ. අපේ උන් හිතන්නේ උන්ට රස්සාවත් රජයෙන් දීල පඩියත් රජයෙන් දීල තව පර්මිටුත් ඔක්කොම ගන්න කැප උන්ට විතරයි. පාර්ලිමේන්තු යන උන් අතින් කයිට් කරගෙන උන්ට සේවේ කරන්න ඕනේ කියල.

      Delete
    4. "..ඔන්න ඕව තමයි නැති කරනවානම් නැති කරන්න ඕනේ. අනික ජනතා නියෝජිතයා කියන එක රටේ අනිත් හැම එකටම වඩා ඉහලින් තියෙන රස්සාවක්. ඒක එහෙම වෙන්න ඕනේ..."

      oh please...

      Delete
  5. ජේවීපී ආණ්ඩුව 2020 දී ආවම නම් හැමෝම ඩබල් කැබ්වල යයි, නැත්නම් අත්තනායක මොඩල් කාර්වල යයි.

    ReplyDelete
    Replies
    1. ජවිපෙ මන්ත්‍රීවරුනම් ඩොලර් 19,820 බැගින් ඩබල් කැබ් තමයි ගෙන්වලා තියෙන්නේ. ලබාගත හැකි උපරිම බදු සහනයම අරගෙන නැහැ.

      https://www.colombotelegraph.com/index.php/jvp-mps-import-six-duty-free-vehicles/

      මම හිතන්නේ මේ වාහන පක්ෂය සතු වාහන ලෙස නඩත්තු කරනවා විය හැකි බවයි. එවිට ඔවුන් කටයුතු කරන්නේ පක්ෂයේ ලාභය (මුදල් හා මුදල් නොවන වාසිවල එකතුව) උපරිමයක් වන ලෙසයි. වඩා වියදම් අධික සුඛෝපභෝගී වාහන ගෙනාවනම් ජවිපෙට පක්ෂයක් ලෙස වන දීර්ඝකාලීන අවාසිය දැන් ලැබෙන බදු වාසියට වඩා ගොඩක් වැඩි නිසා ඔවුන් මෙසේ ක්‍රියාකර තිබෙනවා.

      Delete
  6. පව් අප්පා ඇමතිවරු

    ReplyDelete
  7. කොහොමත් අමාත්‍යංශ කැලි කැලි වලට කඩලා දෙන්නේ වැඩක් කරන්න නෙමේ පුද්ගලයෝ සතුටු කරන්න.ඇමතිලා ඉන්නෙත් වැඩ කරන්න නෙමේ වරප්‍රසාද භුක්ති විදින්න නිසා උන්ට ප්‍රශ්නයක් නැහැ.මේ ඔක්කොම වැටෙන්නේ අන්තිමේ ජනතාවගේ කරමත.

    යහපාලන ආණ්ඩුව රාජ්‍ය සේවක වැටුප් වැඩිකරන්න මුදල් හොයා ගන්නවා කිව්වේ කලින් ආණ්ඩුවේ දුෂණ,වංචා නතර කරලා නාස්තිකාර වියදම් අවම කරලා කියලයි කිව්වේ.හැබැයි කරුණු කරණා සිද්ධ වෙන්නේ ඒ දේවල් අනුව නොවේ.

    ReplyDelete
  8. ඇමති කෙනෙක් ලක්ෂ 400 වියදම් කරලා වාහනයක් ගන්නවා.... මේ මුදල හොයන්ඩ මැද පෙරදිග ගෘහ සේවිකාවකට අවුරුදු 83 යනවා... මේ ඇය සොයන මුළු මුදලයි ... ඇයගේ ඉතිරි කිරීම මීට අඩුය....

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: