වෙබ් ලිපිනය:

Sunday, October 22, 2017

සිසුවිය ගැබ්ගෙන සිටියානම් පාසැල කළ දේ හරිද?


දරිද්‍රතාවය නිසා පාතරාසය නොගෙන පාසැල් පැමිණි දහවන වසරේ දැරියක් පාසැලේදී වමනය කිරීමෙන් පසුව ඇය ගැබිණියක වී ඇතැයි තීන්දු කර පාසැලෙන් අස්කර දැමීමේ පුවතක් ගැන මේ දිනවල සංවාදයක් ඇති වී තිබේ. පසුව වෛද්‍යවරුන් විසින් තහවුරු කර ඇති පරිදි ඇය ගැබ්ගෙන හෝ අතවරයකට ලක්වී නැත. මේ ගැන පළකෙරෙන අදහස් වැඩි ප්‍රමාණයක සාරාංශය වන්නේ දරිද්‍රතාවය නිසා කුසට අහරක් නැතිව පාසැල් පැමිණි දැරියකට බොරු චෝදනාවක් කිරීමේ ඇති වැරැද්දයි.

මෙවැනි සිදුවීම් බොහෝ විට මාධ්‍ය වල වාර්තා වන්නේ අසම්පූර්ණ ලෙස නිසා මේ කතාවේ සැඟවුණු වෙනත් පැති තව ටික දවසකින් එළියට එන්නට පුළුවන. කෙසේ වුවද, මේ සිද්ධිය පසුපස සැඟවුණු වෙනත් කරුණු තිබේද යන්න වැනි දේ වාර්තා වී ඇති සිද්ධිය පාදක කරගෙන කරන සාකච්ඡාවකට බාධාවක් නොවේ.

වාර්තා වී ඇති කතාව අනුව මේ සිද්ධියට මුහුණ දී සිටින වයස අවුරුදු 16ක් පමණ වෙතැයි සිතිය හැකි දැරිය පැය කිහිපයක "නඩු විභාගයකින්" පසුව පාසැලෙන් අස්කර තිබෙන්නේ වැරදි චෝදනාවක් කරමිනි. මට තිබෙන ප්‍රශ්නය වන්නේ ඇය ඇත්තටම ගැබ්ගෙන සිටියානම් මේ අයුරින් පාසැලින් අස්කර දැමීම වැරැද්දක් නොවන්නේද යන්නයි.

ලංකාවේ බාල වයස්කාර දැරියන් විශාල ප්‍රමාණයක් ලිංගික අතවර වලට ලක්වන බව හා ඒ අයගෙන් කොටසක් අනවශ්‍ය ගැබ් ගැනීම් වලට බඳුන් වන බව රහසක් නොවේ. බොහෝ දැරියන් මේ අයුරින් අතවර වලට ලක් වන්නේ පවුලේම ඥාතියෙකු අතිනි. ඇතැම් අනවශ්‍ය ගැබ් ගැනීමක් එවැනි අතවරයක ප්‍රතිඵලයක් නොව, ප්‍රේම සම්බන්ධයක ප්‍රතිඵලයක් වන්නට පුළුවන. එය එවැන්නක් ලෙස සැලකුවද බාලවයස්කාර දැරියක් සමඟ කැමැත්තෙන් සංසර්ගයේ යෙදීම පවා සැලකෙන්නේ ස්ත්‍රී දූෂණයක් ලෙසිනි.

පාසැල් දැරියන් අනවශ්‍ය ගැබ්ගැනීම් වලට ලක්වීමට ප්‍රමාණවත් ලිංගික අධ්‍යාපනයක් නොලැබීමද එක් හේතුවකි. මේ හා අදාළව විෂය නිර්දේශ වල ඇති ඉතාම සීමිත කොටස් පවා බොහෝ විට පාසැල් වලින් සිසු සිසුවියන් වෙත නොලැබී යයි. කිසියම් අයුරකින් අතවරයකට ලක් වුවහොත් අනවශ්‍ය ගැබ් ගැනීමක් වැළැක්වීමට ගත හැකි ක්‍රියාමාර්ග ගැන මේ දැරිය වැනි දැරියන්ට ලොකු අවබෝධයක් නැත.

කිසියම් අයුරකින් බාලවයස්කාර දැරියක් ගැබ් ගෙන සිටින බව පාසැලේ ගුරුවරුන්ට හෝ විදුහල්පතිට දැනගන්නට ලැබුණු විට දැරිය පාසැලෙන් අස්කර දෙමවුපියන් ගෙන්වා ඔවුන්ට භාර දීම අධ්‍යාපන පරිපාලන චක්‍රලේඛ අනුව කළ හැකි දෙයක්ද කියා මා දන්නේ නැත. ඇතැම් විට එසේ හැකි වන්නට පුළුවන. නොවන්නටද පුළුවන. මේ දෙකෙන් කුමක් වුවත් මෙහි ලොකු වැරැද්දක් තිබෙන බවනම් ඉතාම පැහැදිලිය.

චක්‍රලේඛ වල තිබුණත් නොතිබුණත් මෙවැනි අවස්ථාවක සිදුවිය යුත්තේ සිද්ධිය දැන ගැනීමෙන් පසු පාසැල් බලධාරීන් විසින් වහාම අනෙකුත් අදාළ අංශ දැනුවත් කිරීම අනිවාර්යය වීමයි.

අනවශ්‍ය ගැබ් ගැනීමකට ලක්වුණු දැරියක යනු විශාල අර්බුදයකට මැදි වී සිටින අයෙකි. එවැනි තැනැත්තියක් සිටින්නේ කායික ප්‍රතිකාර මෙන්ම මානසික ප්‍රතිකාරද ලැබිය යුතු තත්ත්වයකය. ඒ නිසා, මෙවැනි දෙයක් දැනගත් හෝ සැක කල හැකි අවස්ථාවක පාසැලෙන් පළමුව කළ යුත්තේ ඇයව අදාළ පරීක්ෂා හා ප්‍රතිකාර සඳහා යොමු කිරීමයි. එයට අමතරව මෙවැනි දැරියකට සිදුව ඇති අතවරයක් නීතිමය වරදක් වන නිසා ඒ ගැන විමර්ශනය කිරීමට සඳහාද අදාළ අංශ දැනුවත් කළ යුතුය.

මෙහිදී ඇයව දෙමවුපියන් වෙත භාර දීම, මේ සිද්ධියේදී නොවූවත්, නරියන්ට කුකුළන් භාර දීමක් වන්නට වුවද පුළුවන. යම් හෙයකින් දැරිය පවුලේ අයෙකු අතින් අතවරයට ලක්වී සිටියේනම් මෙසේ කිරීමෙන් වන්නේ සිද්ධිය යටපත් වීමයි.

කෙසේ වුවද, ලංකාවේ පාසැල් වල බොහෝ විට සිදුවන්නේ මේ සිද්ධියේදී මෙන් දැරිය පාසැලෙන් අස් කර වගකීමෙන් ගැලවීම විය හැකිය. සමාජජාලා වල මතය හා චක්‍රලේඛ වල ඇති දේවල් කවරක් වුවත් ගැබ්ගත් දැරියක් පාසැලේ දිගටම තබාගතහොත් බොහෝ විට සිදුවන්නට ඉඩ තිබෙන්නේ කුලියාපිටියේ සිදු වුනු දෙය වැනි දෙයකි. මේ අවස්ථාවේ ජනමතය පාසැලට එරෙහිව තිබෙන්නේ දැරිය සැබෑවටම ගැබ්ගෙන නොසිටි බැවිනි. ඇය සැබෑවටම ගැබ්ගෙන සිටියානම් මෙය "පුවතක්" හෝ නොවිය හැකිව තිබුණි.

14 comments:

  1. ස්තූතියි ඉකොනොමැට්ටා, අපි සමහර දේවල් ගැන තර්ක කරනකොට සමහර මූලික කරුණු ඉබේම යටපත් වෙනවා. ඔබත් කියන ආකාරයට බොහෝ අය මේකට විරුද්ධ වෙලා තිබුණේ දැරිය ගැබ්ගෙන ඇතිය කියල තීරණය කරපු ආකාරය සහ ඇය සැබවින්ම ගැබ්ගෙන නොතිබීම කියන හේතු උඩ. ඒ මගින් අපි නොදැනුවත්වම, දැරිය ගැබ්ගෙන සිටියා නම් විදුහල්පතිගේ ක්‍රියාව නිවැරදිය යන්න ආකාරයේ ඉඟියක් දෙනවා. මාධ්‍ය වාර්තා පමණක් නෙවෙයි, ඒවාට ප්‍රතිචාර දක්වන අපි බොහොමයක් දෙනා පවා සිදුවීමක තිබෙන සැබෑ ප්‍රශ්න හඳුනාගන්නවා අඩුයි. අපේ ප්‍රතිචාරත් අර විදුහල්පතිගේ ක්ෂණික විනිශ්චය, මාධ්‍යකරුවන්ගේ ක්ෂණික වාර්තාකිරීම වගේම ක්ෂණික ප්‍රතිචාර. අදහස වෙනස්වීම පමණයි වෙනස. ඒ නිසා මම බොහෝ කැමතියි මේ ඔබගේ ප්‍රශ්න කිරීමට.

    ReplyDelete
  2. මගේ ප්‍රශ්නය වුනේත් මෙය යි.

    "ඇත්තටම පාසල් සිසුවියක් ගැබ් ගත්තොත් ඇයව පාසලේ නෙරපිය හැකි ද?
    එසේ කළ හැකි නම්, කාන්තාවක් ගැබ් ගන්වන පාසැල් සිසුවෙකු වෙතොත් ඔහුවත් පාසලෙන් නෙරපිය හැකි ද?"

    https://www.facebook.com/photo.php?fbid=10155889990658793&set=a.10150097068108793.297210.683613792&type=3

    ReplyDelete
    Replies
    1. රසික මටත් කලින් ප්‍රශ්නය මතු කරල තියෙනවා. මේ පිළිබඳ නීතිමය/ රෙගුලාසිමය තත්ත්වයනම් මමත් දන්නේ නැහැ.

      Delete
  3. මේ සිදුවීමේ වඩාත් සාධාරණ ප්‍රශ්නය මෙයයි. දැරියගේ තත්වය කුමක් වුවත් විදුහල්පතිනිය සහ ගුරුවරුන් ක්‍රියාකළ ආකාරය ගැනනම් ඇත්තේ කණගාටුවක්. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය සහ දරුවන් කෙරෙහි වැඩිහිටියන්ගේ ආකල්ප ගැන නම් කතා කරලා වැඩක් නැත. මතකනේ පොල් ගෙඩි කිහිපයක් සොරකම් කල දැරියගේ සිදූවීම. අපි හරි වෙනස් ජාතියක් !

    ReplyDelete
    Replies
    1. දරුවන් කියන්නේ විශාල ලෙස අසාධාරණයට ලක්වන පිරිසක්.

      Delete
  4. ඉතා හොඳ ප්‍රශ්නයක්,
    දැරිය කෙරෙහි වූ චෝදනාව ව්‍යාජ නිසා මතුවුනු ප්‍රතිරෝදයෙන් ව්‍යංගව කියැවෙනවා චෝදනාව සත්‍යය නම් ප්‍රතිචාරය නිවැරදි බව.
    ඇත්තෙන්ම ගැබ් ගත් දැරි යක් වූවා නම්, ඇය මේ සියල්ලන්ටම වඩා සහය අවශ්ය පුද්ගලයෙක්. ඒත් කෙරෙන්නේ කොන් කර දැමීම.

    ඒඩ්ස් රෝගීන් කොන් කිරීම වලකා ගැනීමට සමාජ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කාලයක, අතිශය සාමාන්‍ය ජෛවීය ක්‍රියාවක් වූ ගැබ් ගැනීම නිසා සමාජයෙන් කොන් වීම කිතරම් අභාග්‍යයක්ද?

    අපි සංස්කෘතිකමය වශයෙන් අතරමං වෙලා....

    ReplyDelete
  5. මගේ අදහස නම් විවාහක ශිෂ්‍යාවන්ටත් පාසල් යාමේ අයිතිය ලබා දිය යුතුයි.
    (ඔය කරුන ගැන එක්සත් රාජ්‍යයේ තත්වය කොහොමද?)

    ReplyDelete
    Replies
    1. ජගත්, මෙහි ප්‍රාන්ත බහුතරයක විවාහ විය හැකි සාමාන්‍ය අවම වයස අවුරුදු 18. ප්‍රාන්ත දෙකක ඊටත් වැඩියි. වයස 18 සම්පූර්ණ වන විට සාමාන්‍යයෙන් පාසැල් අධ්‍යාපනය අවසන්. ඒ නිසා, මෙය එතරම්ම සුලභ දෙයක් නෙමෙයි. සෑම ප්‍රාන්තයකම වාගේ දෙමවුපිය අභිමතය මත හෝ උසාවි අවසරයකින් අඩු වයසින් විවාහ විය හැකි වුවත් පාසැල් වයසේ සිසුන් විවාහ වීම විශාල ලෙස සිදුවන දෙයක් නොවෙයි. මෙයට සාපේක්ෂව පාසැල් වයසේ දැරියන් ගැබ් ගැනීම හා දරුවන් බිහිකිරීම සුලභ දෙයක්. ඒ නිසා, වඩාත්ම අදාළ ප්‍රශ්නය වන්නේ විවාහ වී හෝ නොවී ගැබ් ගෙන සිටින හෝ දරුවන් සිටින සිසුවියකට (හෝ දරුවන් සිටින සිසුවෙකුට) පාසැල් යා හැකිද යන්නයි. 1972 පමණ වන තුරු මෙවැනි අයට වෙනස් ලෙස සැලකීම් සිදු වී තිබෙනවා. ඇමරිකාවේ 1972 අධ්‍යාපන සංශෝධන පණතින් (Title IX) මේ තත්ත්වය වලක්වා තිබෙනවා. ගැබ් ගෙන සිටීම, දරුවන් සිටීම වැනි හේතු මත සිසුවෙකුට හෝ සිසුවියකට පොදු පාසැල් පද්ධතිය තුළ කිසිදු අයුරකින් වෙනස් ලෙස සැලකීමක් කිරීම නීති විරෝධීයි. එමෙන්ම, දරුවන් බිහි කිරීම සඳහා අවශ්‍ය නිවාඩු පවා ලබා දිය යුතුයි. මේ කාලය ඇතුළත වෙනත් රෝගී සිසුවෙකුට ලබාදෙන දුරස්ථ අධ්‍යාපන පහසුකම් වැනි සහන ඇත්නම් ඒවාත් ලබා දිය යුතුයි. එහෙත් ආගමික ආයතන වලින් පවත්වාගෙන යන පාසැල් වලට ඔවුන්ගේ ආගමික විශ්වාස අනුව ඇතැම් සීමා දැමීමේ හැකියාව තිබෙනවා.

      Delete
  6. නියමයි ඉකොනො (Y)

    ReplyDelete
  7. Absolutely not! A pregnant student should not be expelled from school. The right way to handle it would be to provide maternity leave to the student, and to allow her to resume education following child birth.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: