වෙබ් ලිපිනය:

Sunday, December 16, 2018

පරණ ආණ්ඩුවමද? අළුත් ආණ්ඩුවක්ද?


අද දිනයේ (16 ඉරිදා) ජනාධිපති ලේකම් විසින් ගැසට් නිවේදන දෙකක් නිකුත් කර තිබෙනවා. පළමුවැන්න අනුව, මහින්ද රාජපක්ෂ ඊයේ (දෙසැම්බර් 15) සිට අගමැති ධුරයෙන් ඉවත් වී තිබෙනවා. දෙවැන්න අනුව, රනිල් වික්‍රමසිංහව අද සිට අගමැති සේ පත් කර තිබෙනවා.

සාමාන්‍යයෙන් ජනාධිපතිවරයා විසින් මෙවැනි ගැසට් නිවේදනයක් නිකුත් කළ විට එය රටේ සියලු දෙනා විසින් පිළිගත යුතුයි. එහෙත්, ජනාධිපතිවරයාට ව්‍යවස්ථා විරෝධීව ගැසට් නිවේදන නිකුත් කිරීමේ හැකියාවක් නැහැ. එවැනි එක් ව්‍යවස්ථා විරෝධී ගැසට් නිවේදනයක් ශුන්‍ය හා අවලංගු බව මේ වන විට අධිකරණය විසින් තීරණය කර තිබෙනවා.

මා මෙයින් අදහස් කළේ අද නිකුත් වූ ගැසට් නිවේදන දෙකම හෝ දෙකෙන් එකක් ව්‍යවස්ථා විරෝධී බව නෙමෙයි. නමුත්, ඇතැම් විට මේ ගැසට් නිවේදන ශුන්‍ය විය හැකියි.

අද නිකුත් කර තිබෙන ගැසට් නිවේදන දෙක වලංගුනම් එයින් අදහස් වන්නේ දෙසැම්බර් 15 දක්වා ලංකාවේ නීත්‍යානුකූල අගමැති වූයේ මහින්ද රාජපක්ෂ බවයි. එසේනම්, ඊට පෙර ඔක්තෝබර් 26වන දින ඔහුව අගමැති සේ පත් කළ ගැසට් නිවේදනයත්, රනිල් වික්‍රමසිංහව අගමැති ධුරයෙන් ඉවත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනයත් වලංගු විය යුතුයි.

මහින්ද රාජපක්ෂගේ පත්වීමේ වලංගු භාවය ප්‍රශ්න කෙරෙන නඩුවක් මේ වන විට අභියාචනාධිකරණයේ විභාග වෙමින් පවතිනවා. එමඟින් ඉල්ලා තිබෙන්නේ ඔහු අගමැති සේ කටයුතු කිරීම වාරණය කරන ලෙසයි. මේ වන විට ඔහු අගමැති සේ කටයුතු නොකරන බැවින් ඒ නඩුව දිගටම ඇසෙනු ඇතැයි මා හිතන්නේ නැහැ. ඒ නඩුවේ පෙත්සම්කරුවන් විසින් ඉල්ලා සිටි  අතරමැදි සහනයක් ලබා දෙමින් මහින්ද රාජපක්ෂගේ අගමැති පත්වීම තාවකාලිකව වාරණය කෙරුණා. ඒ තාවකාලික වාරණය අභියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කෙරුණු නඩුවත් දිගටම විභාග වෙන්න හේතුවක් නැහැ. ඒ අනුව, රනිල්ව ඉවත් කිරීම නීතිය ඉදිරියේ ප්‍රශ්න කෙරෙන්නට ඉඩ තිබෙන්නේ ඕෂල හේරත්ගේ හා දඹර අමිල හිමිගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනෙන අවස්ථාවේදී පමණයි. කොහොම වුවත් මා දන්නේ මේ නඩු හා අදාළව මාධ්‍ය වල පළ වී තිබෙන තොරතුරු පමණයි.

අදාළ කාලය ඉකුත් වී ඇති බැවින් රනිල්ව ඉවත් කිරීමට එරෙහිව වෙනත් මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කිරීමේ හැකියාවක් දැන් නැහැ. ඒ නිසා, ඉහත නඩු මූලික විරෝධතාවක් මත විභාගයට නොගැනුනොත් හෝ පෙත්සම්කරුවන් විසින් ඉල්ලා අස්කරගනු ලැබුවහොත් ජනාධිපතිවරයා විසින් අගමැති ඉවත් කිරීම ව්‍යවස්ථානුකූලද යන නීතිමය ප්‍රශ්නය තවදුරටත් එසේම පැවතිය හැකියි. මෙවැනි වැදගත් කරුණක් හා අදාළව ඒ ආකාරයේ බරපතල අවිනිශ්චිතතාවයක් ඉතිරිවීම හොඳ දෙයක් නෙමෙයි. ඕෂල හේරත්ගේ හා දඹර අමිල හිමිගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් නීතිමය වශයෙන් කොයි තරම් ශක්තිමත්ද කියා (අවශේෂ හේතුවක් මත ප්‍රතික්ෂේප නොවන්නට තරම්) මා දන්නේ නැහැ. ඒ වගේම එම පෙත්සම් වල කරුණු ඉදිරිපත් කර තිබෙන ආකාරය අනුව ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩවීමට බලපෑ හේතුව මේ වන විට ඉවත් වී තිබෙන බව තීරණය කෙරෙන්නත් පුළුවන්. එසේ වුවත් වෙන්නේ මේ නීතිමය ගැටලුව අනාගතයට ඉතිරි වීමයි.

දිගින් දිගටම එජාප (හා එජනිස, ඊපීඩීපී හැර පාර්ලිමේන්තුව නියෝජනය කරන අනෙකුත් පක්ෂ තුනේ) ස්ථාවරය වුණේ ඔක්තෝබර් 26 සිදු වූ දේ ව්‍යවස්ථානුකූල නොවන බවයි. ඒ ස්ථාවරය අනුව, ඔක්තෝබර් 26 සිට දෙසැම්බර් 15 තෙක් ව්‍යවස්ථා විරෝධී ලෙස පත් වූ අය විසින් ගත් තීන්දු නිත්‍යානුකූල නැහැ. දැන් ආණ්ඩු බලය නැවත හිමිකරගෙන තිබෙන එජාපෙ ආණ්ඩුව ඉහත තත්ත්වය නිවැරදි කිරීම පිණිස ක්‍රියා කරයිද? නැත්නම් හිමිහිට ප්‍රශ්නය මග හැර යයිද?

ප්‍රශ්නය මග හැර ගියොත් එයින් අදහස් වෙන්නේ පහුගිය දවස් පණහ තිස්සේ එජාපය දැඟලුවේ නැවත බලය අතට ගන්න මිසක් නීතියේ ආධිපත්‍යය සුරැකීම වෙනුවෙන් නොවන බවයි. ඒ වගේම, අනාගතයේ නැවත මෙවැනිම සිදුවීමක් වෙන්න පූර්වාදර්ශයකුත් ඉතිරි වෙනවා.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම මඟින් ව්‍යවස්ථාව උල්ලංඝනය වූ බව තීන්දු වී හමාරයි. නමුත්, ඒ හේතුවෙන් වෙනත් බරපතල හානියක් සිදු වුනේ නැහැ. යම් හෙයකින් අතුරු තහනම් නියෝගය නිසි වෙලාවට නොදුන්නානම් එවැනි හානියක් විය හැකිව තිබුණා. අනෙක් අතට රනිල්ව ඉවත් කිරීම මඟින් ව්‍යවස්ථාව උල්ලංඝනය වූ බව මේ වන විටත් අධිකරණය විසින් තීන්දු කර නැහැ. ව්‍යවස්ථාදායකයට එවැනි තීන්දුවක් ලැබෙන තුරු බලා සිටීමෙන් අනතුරුව හෝ ඊටත් පෙරම යම් නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගන්න පුළුවන්කම තිබෙනවා. ඒ විදිහට ක්‍රියාමාර්ග ගැනීමෙන් පසුව යම් හෙයකින් ව්‍යවස්ථාව උල්ලංඝනය වී නැති බව අධිකරණය විසින් තීන්දු කළොත් ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර අවුලක් ඇති වෙන්නත් ඉඩ තිබෙනවා.

එජාප ආණ්ඩුවට ක්‍රියා කළ හැකි ආකාර කිහිපයක් තිබෙනවා. පහසුම ආකාරය වන්නේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් සිදු වී තිබුණත්, පැවති තත්ත්වය සලකා එයට දායක වූ අයට (විශේෂයෙන්ම රජයේ සේවකයින්ට) පොදු සමාවක් ලබා දෙන බවට පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කර ගැනීමයි. එවිට අධිකරණ තීන්දු ලැබුණත්, නොලැබුණත්, ඒ තීන්දු මොනවා වුනත් ප්‍රශ්නයක් නැහැ. දෙවැන්න අධිකරණ තීන්දු ලැබීමෙන් පසුව ඒ මත පදනම්ව හෝ එසේ නැතිව නඩු පැවරීමක් වැනි මට්ටමක් දක්වා යාමයි. පසුගිය කාලයේ ක්‍රියා කර තිබෙන ආකාරය අනුව, එවැනි මට්ටමකට එජාප ආණ්ඩුව යයිද යන්න සැක සහිතයි. තෙවැන්න, කිසිදු ක්‍රියාමාර්ගයක් නොගනිමින් මහින්දලා රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් හරහා බලය පැහැර ගන්න උත්සාහ කළ බව දිගින් දිගටම කියමින් දේශපාලන වාසි ගැනීමට උත්සාහ කිරීමයි. බොහෝ විට තෙවැන්න සිදුවිය හැකියි.

5 comments:

  1. මෙයාලා එක්කෙනෙකුටවත් ප්‍රජාතන්තරේ රකින්න හූනු බිජ්ජක තරම්වත් ඕනෙකමක් තියෙන බව පෙනෙන්නේ නැහැ. රට කන්න බලය අරගන්න විතරයි ඕනේ. ඔච්චර ප්‍රජාතන්තරේ ගැන කතා කරන මොන පක්ෂයේද ඇතුළේ ප්‍රජාතන්තරේ තියෙන්නේ?

    ReplyDelete
    Replies
    1. ප්‍රජාතන්න්‍රවාදය යනුඅ බහුතරයේ කැමැත්ත ක්‍රියාත්මක කිරීමයි.
      ප්‍රායෝගිකව බැලූ විට බහුතරයේ කැමැත්ත යනු වියුක්ත පට්ටපල් බොරුවක්.

      Delete
  2. ඉතිහාසය පුරාවටම
    ව්‍යවස්‌ථාව බිඳපු රජෙක්
    කිසි දින
    දඬුවම් විඳ නැත
    ජේආර්ගෙ යුගේ පටන්

    සිරා මැතිඳු
    බිය නොවන්න
    නුඹට දඬුවමක් කරන්න
    හීනෙන් වත් අපේ හිතේ
    නැතිබව සිහියට නගන්න

    සජිත් මෙහෙම
    කියන කොටම
    හිතුනා මට
    එකවරටම
    ඒකත් හොඳ "ඩීල් එකක්"




    ReplyDelete
  3. මහත්මයා මෙම අර්බුදය වෙලේ එක්සත් ජාතික පක්ෂයට දුන් සහය නිසා ඔබට ලේක්හවුස් එකේ රස්සවක් හම්බෙයි නේද?

    ReplyDelete
  4. රටේ ප්‍රජාතන්ත්‍රවාදය, ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව,ආරක්ෂා කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන බහුතරයක් (මල පෙරේත මහින්ද රාජපක්ෂ ජඩය, බලු සිරිසේන වග කාලකණ්ණි පර බල්ලන් ඇතුළු රාජ්‍යය විරෝධී කුමන්ත්‍රණකරුවන් හැර) ජනතා වාදී
    එජාප/ ජනතා විමුක්ති පෙරමුණ/ TNA, SLMC, ACMC වගේ සැබෑ ජනතා නියෝජිතයන්, පටු ජාති, ආගම්, කුළ,පක්ෂ භේදයකින් තොරව ඉතාමත්ම නිර්භීතව ලෙස ඇපවුනා, කැපවුනා, වැයවුනා. එය ඔවුන් විසින් කරනු ලැබූ ප්‍රශංසනීය කාර්‍යභාරයක්. රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා සිටින, ඒ වෙනුවෙන් පෙනී සිටින, හඬනගන, රටේ බහුතරයක් ජනතාවගේ ප්‍රණාමය ඒ මහජන නියෝජිතයන් සැමට හිමිවනවා නොඅනුමානය. ඒ ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම වෙනුවෙන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රැකගැනීම වෙනුවෙන් කළ ද්වන්ද සටනේ අනුර කුමාර දිසානායක සහෝදරයා ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණේ ජනතා නියෝජිතයන් පස් දෙනාගේත්, සමස්ත පක්ෂ සාමාජිකත්වයෙත් භූමිකාව අතිවිශිෂ්ඨයි. අතිඋතුම් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් සුවිශේෂී අතිවිශිෂ්ඨ තීන්දුවෙන්, ප්‍රජාතන්ත්‍රවාදය ලැබූ මේ අතිවිශිෂ්ඨ ජයග්‍රහණයේ සාඩම්බර පංගුකාරයන් ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායකකාරකාදීන් ඇතුළු සමස්ත පක්ෂ සාමාජිකත්වයටද ඉතාමත්ම නිහතමානීව සතුටට පත්විය හැක.

    අති ගරු ඉකොනොමැට්ටා තුමා ඔබ කල සෙවය අගය කල යුතුය, රටෙ ප්‍රඡාතන්ත්‍රවාදය සහ එජාපයේ රජයක් සහ රනිල් මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රබල ලෙසට blog අවකාශය තුළ මෙම බරපතල අවස්ථාවේ හඬ අවදි කරන්න කටයුතු කරේ ඔබයි. ඔබට අපි සදා ණයගති වෙමු.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: