වෙබ් ලිපිනය:

Friday, December 7, 2018

ණය ඉහළ යද්දී සංචිත පහළ යයි!


ගෙවුණු නොවැම්බර් මාසය ඇතුළත මහ බැංකුව විසින් නිල විදේශ සංචිත වලින් ඩොලර් මිලියන 884.9ක් විකුණා තිබෙනවා. ඒ අනුව, ඔක්තෝබර් අවසානයේදී ඩොලර් මිලියන 7,903.3 ක් වූ ලංකාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය නොවැම්බර් අවසානය වෙද්දී ඩොලර් මිලියන 7,018.4 දක්වා පහත වැටී තිබෙනවා. පසුගිය වසර අවසානයේදී නිල සංචිත තිබුණේ 7,958.7 මට්ටමේ. ඒ අනුව, වසරේ මුල් මාස නවය තුළ නිල සංචිත අඩු වී තිබෙන්නේ ඩොලර් මිලියන 55.4කින් පමණයි.

මෙපමණ විදේශ සංචිත වැය කිරීමෙන් පසුවත් නොවැම්බර් මාසය තුළ ඇමරිකන් ඩොලරයක මිල රුපියල් 174.38 සිට 179.67 දක්වා ඉහළ ගොස් තිබෙනු දැකිය හැකියි. මාසය අවසන් වෙද්දී ඩොලරයේ මිල ස්ථාවර කරගෙන තිබෙන්නේ විදේශ සංචිත විකිණීමෙන් වියහැකියි.

මේ අතර, සැප්තැම්බර් අවසානය වෙද්දී ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 11,271.4 දක්වා ඉහළ ගොස් තිබුණා. එයින් රුපියල් බිලියන 5,469.1ක් විදේශ ණය. ඉතිරිය, එනම් රුපියල් 5,802.3ක්, දේශීය ණය. මේ අනුව, එක් ලාංකිකයෙකු වෙනුවෙන් රජය ඒ වන විට රුපියල් 525,000ක් පමණ ණය වී තිබුණා. පසුගිය දෙමස තුළ සිදුව ඇති අළුත් භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර නිකුතු දෙසත්, රුපියල අවප්‍රමාණය වීම දෙසත් බැලූ විට, මේ වෙද්දී ඉහත ණය ප්‍රමාණය තව දුරටත් වැඩි වී ඇති බව නිසැකයි.

රුපියල අවප්‍රමාණය වීම හොඳයි කියා කියන්නේ ඇයිදැයි ඇතැම් අය ප්‍රශ්න කරනවා. සරලම පිළිතුර දිගින් දිගටම ණය නොගෙන, සංචිත වැය නොකරමින් රුපියල පවතින මට්ටමේ තියාගන්න බැරි වීමයි. එසේ නොකර රුපියල තිබෙන මට්ටමේ තබාගත හැකිනම් ප්‍රශ්නයක් නැහැ. ඩොලරයක මිල අවශ්‍ය මට්ටමට ඉහළ ගිය පසු එය කළ හැකි වෙයි. එතෙක් රුපියල අවප්‍රමාණය වෙන්න ඉඩ හරින්න වෙනවා. නමුත්, මේ වන විට සිදුවෙමින් තිබෙන්නේ සංචිත විශාල ලෙස වැය කරමින් රුපියල අවප්‍රමාණය වීම වලක්වන එකයි. 

මේ වසරේ පළමු මාස එකොළහ තුළ සංචාරකයින්ගේ පැමිණීම 11.2%කින් ඉහළ ගොස් තිබෙනවා. එයට ප්‍රධාන හේතුව රුපියල යම් ප්‍රමාණයකින් අවප්‍රමාණය වෙන්න ඉඩ හැරීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස සංචාරක ඉපැයීම් 17.1%කින් ඉහළ ගොස් ඩොලර් මිලියන 387.20ක අමතර විදේශ විණිමය ප්‍රමාණයක්‌ රටට ලැබී තිබෙනවා. නමුත්, ඒ අමතර විදේශ විණිමය ප්‍රමාණය නිල සංචිත වලට එකතු කරගන්නවා වෙනුවට තිබෙන සංචිතත් විකුණා දැමීමයි පසුගිය මාසයේ සිදු වී තිබෙන්නේ.

3 comments:

  1. ඉකොනොමැට්ටා විදේශ සංචිත (Foreign Reserves) යනු යම් රටකට තවත් රටකින් යම් භාණ්ඩයක් (හෝ සේවාවක්) මිලදී ගැනීමට අවශ්‍ය නම් එම රටේ දේශීය විනිමය (මුදල් වර්ගය - currency) ඍජුවම භාවිතා කොට එම මිලදී ගැනීම නොකල හැක, එසේ නොකර ඒ සඳහා අන්තර්ජාතික වෙළෙඳාමේදී අනෙක් රටවල්ද පිළිගන්නා මුදල් ඒකකයක් භාවිතා කිරීමට සිදුවේ. සරල උදාහරණයක් ලෙස ඔබ විදේශ රටක සංචාරයක යෙදී සිටියදී එරට සාප්පුවකින් භාණ්ඩයක් ගෙන රුපියල් කොළ වලින් එහි වටිනාකම ගෙවිය නොහැක, ඒ සඳහා ඔබට එම රටේ දේශීය මුදල් ඒකකය හෝ ඇතැම් විට ඇමරිකන් ඩොලර් වැනි බොහෝ රටවල් පිළිගන්නා මුදල් ඒකකයක් භාවිතා කිරීමට සිදුවේ.

    රටවල් දෙකක් අතර ද්වීපාර්ශවික වෙලන්දා මෙදීද මෙලෙස ම අන්තර්ජාතිකව පිළි ගන්නා මුදල් ඒකකයක් භාවිතා කිරීමට සිදුවේ. ඇමරිකන් ඩොලරය මෙලෙස අන්තර්ජාතික වෙළඳාමේ දී ශ්‍රී ලංකාව භාවිතයට ගන්නා මුදල් ඒකකයකි.

    ලංකා රජය සතුව පවතින ඩොලර් හා රත්රන් වැනි විදේශ විනිමය සංචිත පොදුවේ ‘විදේශ සංචිත’ ලෙස හැඳින්වේ.

    ලංකාව භාවිතයට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ, බොර තෙල්, වාහන, ලංකාවේ නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආදී අති විශාල පරාසයක විහිද පවතින බොහෝ දේ පිටරටවලින් ආනයනය කිරීම සඳහා ලංකා රජය සතුව ඩොලර් හෝ යුරෝ හෝ රත්රන් සංචිත තිබිය යුතු වන්නේ එහෙයිනි. 2018 මෙලෙස විදේශ සංචිත කඩා වැටීමක් සිදුවූයේ ඇයි?

    2015 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ මහ මැතිවරණය තෙක් ඩොලරයේ අගය ස්ථාවරව තබාගැනීම සඳහා 2015 ජනවාරි 9 පත්වූ UNP නව රජයට දැඩි වුවමනාවක් තිබිණි. එයට හේතුව නම් 2015 ට පෙර පැවති රජය යටතේ ස්ථාවරව 130 – 135 අතර පවත්වාගෙන ආ රුපියලට සාපේක්ෂව ඩොලරයේ මිල හදිසියේ ම 140 සීමාව පසුකර ගියහොත්, මහ මතිවරනයෙදී එහි දේශපාලන වාසිය ප්‍රතිවිරුද්ධ පක්ෂය ලබා ගැනීම වැළක්විය නොහැකි නිසාය. අන් සියලු දේ මෙන්ම ඩොලරයේ මිල කෙරෙහිද ඩොලරයට අප රට තුල පවතින ඉල්ලුම හා අප රට තුල සංසරණය වන ඩොලර් ප්‍රමාණය (ඉල්ලුම හා සැපයුම) බෙහෙවින් බලපායි. එහෙත් 2015 ජනවාරි 9 වනදා අලුයම වනවිට රට තුල සාක්ශාත්ව තිබූ විප්ලවය යටතේ මෙතෙක් රට තුලට අති විශාල ඩොලර් ප්‍රමාණයක් ගලා එමින් තිබූ ඉදිකිරීම් ක්ෂේත්‍රයට කණකොකා හැඳීමට පටන් ගෙන තිබිණ. මෙනිසා රට තුල සංසරණය වන ඩොලර් ප්‍රමාණයේ සීග්‍ර අඩුවීමක් සිදුවූ අතර එනිසා රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය ඉහල යාම ආරම්භ විය. මෙහිදී තත්වය පාලනය කිරීම සඳහා යහපාලන රජය විසින් ගනු ලැබූ ක්‍රියා මාර්ගය වූයේ ශ්‍රී ලංකාව සතු විදේශ සංචිත වලින් ඩොලර් අදිමින් ලංකා මූල්‍ය වෙළෙඳපල තුල හිඟ වෙමින් තිබූ ඩොලර් යලි කෘත්‍රිමව සුලභ කිරීමය. මෙමගින් මහ මැතිවරණයට පෙර ඩොලරයේ අගය යම් තරමකට ස්ථාවරව පවත්වාගෙන මැතිවරණයෙදී තමන්ට සිදුවීමට තිබූ දැඩි අවාසිය මඟහරවාගත්තද එහි අනිසි විපාකය වූයේ ලංකාවේ ඩොලර් සංචිත ප්‍රමාණය අති විශාල ලෙස අඩු වී ශ්‍රී ලංකාවේ ආර්ථිකය නොවැලක්විය හැකි දැඩි අර්බුදයකට තල්ලු වීමය.

    තත්ත්වයේ ඇති බැරෑරුම් බව නිසාත් මැතිවරණය ජයග්‍රහණය කොට අවසන් නිසාත් මෙම කෘත්‍රිම සුලභ කිරීම සිදුකිරීම 2015 අගෝස්තු නවතා ඇත. 2015 අගෝස්තු 18 වනදායින් පසුව ඩොලරයේ මිල සීග්‍ර ලෙස ඉහළ ගොස් රුපියලේ අගය කඩා වැටෙන්නේ එහෙයිනි.

    ReplyDelete
    Replies
    1. වාහන මිල වැඩිකළේ අප සඳහන් කල පරිදි දැඩි ලෙස කඩාවැටී තිබූ ඩොලර් සංචිත තවදුරටත් කඩා වැටීම අවම කිරීමට ආනයන සඳහා සීමා පැනවීමට. ලංකාවේ UNP රජයට හාල්, බොරතෙල්, බෙහෙත් ද්‍රව්‍ය ආදී අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය වල ආනයනය සඳහා සීමා පැනවීම අපහසු නිසා රජය විසින් ආනයනිත ජපන් රථවාහන සඳහා අධික බදු පනවා ආනයනය සීමා කිරීමට කටයුතු කරන ලදී.

      වැස්සේ තෙමෙමින් මෝටර් සයිකලයේ වැඩට ගිය කාලය අපේ ආණ්ඩුවක් ආවම ළඟදීම නිමා කරනවා යයි රූපවාහිනියේ දැන්වීම්ද දමා නිතර දෙවෙලේ ප්‍රචාරය කොට මාස 2ක් වත් යාමට මත්තෙන් කාර් එකක් ගැනීම සිහිනයක් පමණක් වන තරමටම මිල ගණන් ඉහල දැමීම නිසා ජනතාවගෙන් මතුවන විරෝධය මැඬලීම සඳහා ලංකාවේ පාරවල් වල ට්‍රැෆික් වැඩි යයි බොරු කෙප්පයක්ද ඇද බා තවත් වරක් ජනතාව ගොනාට ඇන්දීමට රජය ගත් උත්සාහය ටිකෙන් ටික ජනතාවට වැටහී පෙර නොපැවති මාර්ග තදබදයක් මවා කෘත්‍රිමව ඇති කරන ලද්දක් බවට තොරතුරු අනාවරණය කොට ජනමාධ්‍ය වලින් පවා එයට වැඩි අවධානයක් යොමු කරවූයේ ලංකාවේ වාහන වැඩි නිසා ට්‍රැෆික් වැඩි යයි ජන මතයක් ගොඩනැගීමටය.

      ලංකාවේ කවුරුත් නො අසන ප්‍රශ්නය නම් වාහන මිල ඉහල දැම්මේ ට්‍රැෆික් අඩු කිරීමට නම් ජපන් වාහන වල පමණක්ම මිල ඉහල දැමුවේ ඇයිද යන්නය. ඉන්දියානු වාහන දුවන්නේ මහපාරේ නොවේද? නව රජය බලයට පත්වීම සඳහා මහත් පිටිවහලක් වූ අපගේ අසල්වැසි රාජ්‍යය වන ඉන්දියාවේ නිෂ්පාදිත වාහන වල මිල ඉහල දමා ඒවායේ ආනයනය අඩාල කිරීමට තරම් ඉන්දියාවට ‘ගුණමකු’ වීමට මෙම රජයට නොහැක. ඉන්දියාවෙන් ආනයනිත කොත්තමල්ලි, කහ ආදී ‘අත්‍යවශ්‍ය’ ආහාර ද්‍රව්‍ය වල බදු විශාල ලෙස අඩු කොට ජනතාවට කහ සහ කොත්තමල්ලි කිලෝ ගණන් කැවීමට රජය විටින් විට උත්සුක වන්නේ තමන්ට බලයට පත්වීමට ආධාර හා අනුබල නොඅඩුව දුන් නිසා ඉන්දියාවට කෙලෙහිගුණ දැක්වීමටය. අපගේ මුහුදු සීමාවට වසරකට දින 85ක් ඇතුළු වී අපගේ මත්ස්‍ය සම්පත කොල්ලකාගෙන යාමට ඉන්දීය ධීවරයන්ට අවසර ලබාදෙන්නේද ඉන්දියාවට කෙලෙහිගුණ දැක්වීමටය. ජනතාවටත් රටටත් මහත් ඉතිරියක් ගෙන දෙන හයිබ්‍රිඩ් වාහන බදු පිට බදු ගසා (2015 පෙබරවාරි මාසයේ) ඉන්දියානු වාහනයක් ම ගැනීමට සිදුවන තැනට ජනතාව තල්ලු කරන්නේද මෙලෙස කෘතගුණ දැක්වීමටය.

      ජනතාවගේ සාක්කු වල සල්ලි පුරවනවා, එකාධිපතියාගේ කාලයේ කල සංවර්ධනය මෙන් දස ගුණයක සංවර්ධනයක් කොට පෙන්වනවා, මෝටර් බයික් ත්‍රී වීල් යුගය නිමාකොට කාර් වලින් යන යුගයක් නිර්මාණය කරනවා යයි අද ඊයේ වනතෙක්ම වහසි බස් දෙඩු ‘ආර්ථික විශේෂක්න්යයන්’ දැන් කියන්නේ ඒකාධිපතියාගේ කාලයේ කල පව් වලට දැන් තමන්ට කර ගැසීමට සිදුව ඇති බවය.

      සැබවින්ම මහින්ද රාජපක්ෂයන්ගේ ආර්ථික කලමනාකරණයේ පසුකාලීන ප්‍රතිඵලයක් ලෙස මෙම ආර්ථික පසුබෑම සිදුවුයේ නම්

      1) ඉදිරියෙදී ආර්ථික පසුබෑමක් වන බව දන දැනත් 10 ගුණයක සංවර්ධනයක් කරනවා යයි කීම හිතා මතාම ජනතාව ගොනාට ඇන්දීම සඳහා ගෙතූ UNP අමූලික බොරුවකි.

      2) නොඑසේනම් ඔවුන් එලෙස ආර්ථික පසුබෑමක් වන බව දැන නොසිට, එහෙත් 10 ගුණයක සංවර්ධනයක් කරනවා යයි කීම කිසිදු වගක් විභාගයක් නොමැතිව තොග පිටින් බොරු චන්ද පොරොන්දු දෙන, කටට ආ පලියට යම් යම් දේ පවසන වංක සහ වාචාල කමේ ලක්ෂණයකි.

      එහෙත් මෙම ආර්ථික ඔස්තාර්ලාගේ ආගමනයට ප්‍රථම ‘ඒකාධිපතියාගේ’ කාලයේ ලංකාවේ ආර්ථිකය ඉතාමත්ම ස්ථාවරව හා ශක්තිමත්ව ඉදිරියට යමින් පැවතින. ඒ බව ලංකා මහ බැංකු වාර්තා පමණක් නොව ලෝක බැංකු හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වාර්තා වලින් පවා එකල කියැවින. එසේනම් මේ සිදුවන්නේ වෙන කිසිවක් නොව තමන්ගේ නොහැකියාවන් හා අකාර්යක්ෂමතාවයන් රාජපක්ෂ පිටින් යවමින් තව තවත් අප රට අගාධය කරා මෙහයවීමය.

      සියලු ඉකොනොමැට්ටන් හට අවසානයේ කියන්නට ඇත්තේ මෙපමණය. දැන් ලාබෙට හාලුත් නැත. පොලුත් නැත. වාහනත් නැත. රස්සාත් නැත. තව ටික කලකින් රටකුත් නැත. ඔබලාට දැන් ඇත්තේ කෝට් එකට යටින් ෂර්ට් එක යට නොකොට වරද්ද වරද්දා නොදන්න ඉංගිරිසියෙන් වචන දෙක තුනක් දොඩවා රටක් දිනූ පරිද්දෙන් හන්දියක් හන්දියක් ගානේ පෝස්ටර් ගස්සවාගන්නා uNP අතිගරු PM තුමාගේ සරල බව ගැන මෙනෙහි කරමින් දත නියවමින් සිටීමටය.

      එහෙත් මොලේ ඇති ඉකොනොමැට්ටා වශයෙන් අප ඔබගෙන් එක ඉල්ලීමක් කරන්නෙමු. එය නම් මානව පරිනාමනයේ මෙතෙක් සොයාගැනීමට නොහැකි වූ වානර පුරුක ලෙස ඔබලා කිරුළු පැලඳීමට මත්තෙන් මඳක් හෝ මොලය කල්පනා කොට, ‘එයා මාර මීටරේ. නළුවෙක් නොව මොලයක්’ යයි කියමින් දැන් රටට සිදුවන විනාශයට තව තවත් උඩගෙඩි නොදීමට වග බලාගැනීමය.

      Delete
  2. 2011 to 2014 මහ බැංකු report බැලුවනම් ඔබ ඔය කියන තරම් සල්ලි($) "ඉදිකිරීම් ක්ෂේත්‍රයට" ඇවිල්ල නැත. එම පැමිණි මුදල් වලින් 60% පමණ නැවත චීනයට ගිහින් තියන බවක් තාම පෙනන්නේ...
    2010 to 2014 තාම වැඩිම මුදලක් $ එක control කරන්න පාවිච්චි කරලා තියන්නේ

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: