වෙබ් ලිපිනය:

Tuesday, December 11, 2018

ආර්ථිකයේ අවදානම් අඩුකරපු හැටි...


පසුගිය සියවස අවසන් වන තුරුම වගේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 25 මට්ටමට වඩා වැඩි වුණේ කිහිප වරකදී තාවකාලිකව පමණයි. 2001 අවුරුද්ද ඉවර වෙන කොටත් ඩොලර් 20කට අඩුවෙන් බොරතෙල් බැරලයක් විකිණුනා. නමුත්, ඉන් පසුව දිගින් දිගටම තෙල් මිල වැඩි වුණා. 2005 මුලදී බොරතෙල් බැරලයක මිල ඩොලර් 50 පැන්නුවා. 2006 මැද වෙද්දී ඩොලර් 75ට කිට්ටු කළා. 2008 මුල හරියේදී ඩොලර් 100 පැන්නුවා.

ඔය කාලය වෙද්දී ඉහළ යන තෙල් මිලේ බර ලංකාවේ ආර්ථිකයට ඉතා දැඩිව දැනෙන්න ගත්තා. ලොකුම ප්‍රශ්නය වුනේ බොරතෙල් බැරලයක මිල කොහෙන් නවතීද කියා හරියටම කියන්න කාටවත් නොහැකි වීම. චීනය, ඉන්දියාව වගේ රටවල් වල තෙල් ඉල්ලුම විශාල ලෙස වැඩිවීමත්, තෙල් සංචිත වල සීමාවක් තිබීමත් මත පදනම්ව තෙල් මිල නැවත කිසි විටෙකත් පෙර මට්ටමට පහත නොවැටෙනු ඇති බව ඔය කාලයේ බොහෝ දෙනෙක්ගේ අදහස වුනා. ඒ අනුව, වඩා ප්‍රචලිත අදහස වුනේ තෙල් මිල කිසියම් මට්ටමක ස්ථාවර වී එතැන් සිට අඩු වේගයකින් ඉහළ යනු ඇති බවයි. තෙල් මිල වැඩි වුනු ප්‍රවණතාවය දිහා බැලුවහම මේ අදහස නරක එකක් වුනේ නැහැ.

ඔය දවස් වල තෙල් බැරලයක් ඩොලර් 200ක් වෙනවා කියන එක සිදු විය නොහැකි දෙයක් බව පෙනුණේ නැහැ. එහෙම වුනානම් එය ලංකාව ආර්ථික අර්බුදයක් කරා මෙහෙයවන්න ඉඩ තිබුණා. කොහොමටත් 2008 මැද වන විට රටේ උද්ධමනය 30% මට්ටමට ගිහිල්ලයි තිබුණේ. පසුව බොහෝ කතාබහට ලක් වුනු හෙජින් ගනුදෙනු සිදු වුනේ ඔය වගේ පසුබිමකයි.

තෙල් සංස්ථාව විසින් ස්ටෑන්ඩර්ඩ් චාටඩ් බැංකුව, ඩොයිෂ් බැංකුව හා සිටි බැංකුව වගේ විදේශ බැංකු එක්කත්, මහජන බැංකුව හා කොමර්ෂල් බැංකුව වගේ දේශීය බැංකු එක්කත් හෙජිං ගිවිසුම් ගණනාවක් අත්සන් කළා. මේ ගිවිසුම් බොහොමයක් අත්සන් කළේ 2008 මැද භාගයේදී වසරක කාලයක් සඳහා.

මේ හෙජිං ගිවිසුම් ගැන ගොඩක් අය දන්නේ නැති නිසා 2008 අගෝස්තු සිට වසරක කාලයක් සඳහා ඩොයිෂ් බැංකුව එක්ක අත්සන් කරපු ගිවිසුම මුලින්ම උදාහරණයකට ගන්නම්. ඒ ගිවිසුම සරලයි.

ගිවිසුම සඳහා පාදක කර ගත්තේ ඒ වන විට බොරතෙල් බැරලයක මිල වූ ඩොලර් 112.50. ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව මිල වැඩි වුනොත් මිල වෙනස ඩොයිෂ් බැංකුව විසින් තෙල් සංස්ථාවට ගෙවන්න ඕනෑ. මිල අඩු වුනොත් මිල වෙනස තෙල් සංස්ථාව විසින් ඩොයිෂ් බැංකුවට ගෙවන්න ඕනෑ. වෙනත් විදිහකට කිවුවොත් මිල අඩු වුනත්, වැඩි වුනත් තෙල් සංස්ථාවට යන වියදම බැරලයකට ඩොලර් 112.50යි. වෙළඳපොළේ මිල වැඩි වුනොත් ඩොයිෂ් බැංකුවට පාඩුයි, තෙල් සංස්ථාවට ලාබයි. මිල අඩු වුනොත් ඩොයිෂ් බැංකුවට ලාබයි, තෙල් සංස්ථාවට පාඩුයි.

කලින් කියපු ගිවිසුම අත්සන් කළේ මාසයකට තෙල් බැරල් 100,000කට. ඒ කියන්නේ, අවුරුද්දට තෙල් බැරල් මිලියන 1.2කට. ගිවිසුම අත්සන් කළාට පසු අවුරුද්දේ තෙල් මිල ඩොලර් 113.50ට ගිහින් දිගටම තිබුනොත් තෙල් සංස්ථාවට ඩොලර් මිලියන 1.2ක් ලාබයි. ඩොලර් 114.50ට ගිහින් දිගටම තිබුනොත් තෙල් සංස්ථාවට ඩොලර් මිලියන 2.4ක් ලාබයි. ඩොලර් 111.50ට අඩු වෙලා දිගටම තිබුනොත් තෙල් සංස්ථාවට ඩොලර් මිලියන 1.2ක් පාඩුයි.

කොහොම වුනත්, ගිවිසුම අනුව ඔය විදිහට ඩොයිෂ් බැංකුව විසින් තෙල් සංස්ථාවට ගෙවන්න එකඟ වෙලා තිබුණේ උපරිම වශයෙන් ඩොලර් මිලියන 2.5ක් පමණයි. නමුත්, තෙල් සංස්ථාව විසින් ඩොයිෂ් බැංකුවට ගෙවිය යුතු මුදල ඒ ආකාරයට සීමා කරගෙන තිබුණේ නැහැ. තෙල් සංස්ථාව වෙනුවෙන් ගිවිසුම අත්සන් කරපු අය මිල අඩු වෙයි කියා කීයටවත් නොහිතපු බව එයින් පේනවා.

තෙල් මිල අඩු වෙන්න කිසිම ඉඩක් නැත්නම්, දුවන කෝච්චියකට බෙල්ල තියනවා වගේ වැඩි වන මිල තෙල් සංස්ථාවට ගෙවන්න බැංකු ඉදිරිපත් වෙන එකක් නැහැනේ. ඔවුන් ගිවිසුමට කැමති වුනේ තෙල් මිල අඩු වෙන්න කිසියම් ඉඩක් තිබුණු බව ඔවුන් දැකපු නිසයි.

කොහොම වුනත්, තෙල් මිල දිගින් දිගටම ඉහළ ගියොත් ගිවිසුම නිසා තමන්ට වන විශාල පාඩුව ගැනත් බැංකු කල්පනා කරලා තිබුණා. උපරිම පාඩුව මිලියන 2.5කට සීමා කර ගන්නා කොන්දේසිය ඔවුන් දමාගන්න ඇත්තේ ඒ නිසා. නමුත්, තෙල් සංස්ථාව පැත්තෙන් එවැනි කොන්දේසියක් දමා ගන්න හිතලා නැහැ. මිල අඩුවීමේ ඉඩකඩ ඉතාම අඩුයි කියා ඔවුන් ඇස්තමේන්තු කරන්න ඇති. ඒ නිසා, මිල අඩු වන සෑම ඩොලරයක් වෙනුවෙන්ම තෙල් සංස්ථාව විසින් මසකට ඩොලර් 100,000 බැගින් ගෙවිය යුතුව තිබුණා.

ඔය කියපු ගිවිසුම ඩොයිෂ් බැංකුව එක්ක අත්සන් කරන විටත් තෙල් මිල වැටෙන්න පටන් අරගෙනයි තිබුනේ. කලින් මාසයේදී තෙල් බැරලයක් ඩොලර් 145ක් පමණ වුණා. එතැන් සිට ක්‍රමයෙන් පහත වැටුණු තෙල් මිල වසර අවසන් වෙද්දී ඩොලර් 30 ආසන්න මට්ටමටම වැටුනා. ගිවිසුමේ කොන්දේසි අනුව තෙල් සංස්ථාව විසින් ඩොයිෂ් බැංකුවට ගෙවිය යුතු වූ මුදල ඩොලර් මිලියන 60ක් පමණ වුණා. මේ මුදල මීටත් වඩා වැඩි විය හැකිව තිබුණා. නමුත්, ලැබිය හැකිව තිබුණු උපරිම වාසිය ඩොලර් මිලියන 2.5ක් පමණයි.

මේ ගිවිසුම එක් ගිවිසුමක් පමණයි. ඔය කාලය ඇතුළතම ස්ටෑන්ඩර්ඩ් චාටඩ් බැංකුව එක්ක අත්සන් කරලා තිබුණු එක් ගිවිසුමක් අනුව ඩොලර් 139.35කට වඩා අඩු වන සෑම ඩොලරයකටම තෙල් සංස්ථාව විසින් මසකට ඩොලර් 100,000 බැගින් (වසරකට ඩොලර් මිලියන 1.2ක්) ගෙවිය යුතුයි. ඒ කොන්දේසි අනුව තෙල් සංස්ථාව විසින් ඩොයිෂ් බැංකුවට ගෙවිය යුතු වූ මුදල ඩොලර් මිලියන 88ක් පමණ වුණා. නමුත්, තෙල් සංස්ථාවට ලැබිය හැකිව තිබුණු උපරිම වාසිය ඩොලර් මිලියන 2.5යි.

මෙවැනි ගිවිසුම් ගණනාවක් තිබුණා. එවැනි ගිවිසුම් අටකින් තෙල් සංස්ථාවට සිදු වී තිබුණු පාඩුවේ ඇස්තමේන්තුව ඇමරිකන් ඩොලර් මිලියන 500 ඉක්මවා තිබුණත්, තෙල් මිල ඉහළ ගියානම් ලැබිය හැකිව තිබුණු උපරිම ලාබය ඩොලර් මිලියන 10.5ක් පමණයි. ඒ කියන්නේ ගිවිසුම් අත්සන් කරද්දී තෙල් මිල අඩු වෙයි කියන එක ගැන හිතලාම තිබුණේ නැහැ. පහුගිය මාසයේ රාජපක්ෂ අගමැතිකම ගන්න කොට 113 හොයා ගන්න බැරි වුනොත් තත්ත්වය ගැන හිතලා නොතිබුණා වගේ, මේ හෙජින් ගනුදෙනු දිහා රජයේ පාර්ශ්වය බලලා තිබුණේ මාර සිරා ඩීල් ටිකක් දාගත්ත විදිහටයි.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් අනුව ඔක්තෝබර් මාසයේදී මේ ගිවිසුම් අනුව තෙල් සංස්ථාව විසින් බැංකු වලට ගෙවිය යුතු මුදල් ගෙවන එක අත්හිටවනු ලැබුවා. ඉන්පසුව ගිවිසුම් වල පාර්ශ්වකරුවන් වූ විදේශ බැංකු ඔවුන්ට ගිවිසුම අනුව ලැබිය යුතු මුදල් අය කරගන්න විදේශ අධිකරණ වල නඩු පැවරුවා. ඇතැම් නඩු වලින් ඔවුන් පරාජය වීමත්, තවත් ඇතැම් නඩු හා අදාළව අතරමැදි එකඟතාවයකට පැමිණීමත් නිසා තෙල් සංස්ථාව විසින් ගෙවිය යුතු වූ මුළු මුදලම නොගෙවා සිටිය හැකි වුවත්, සෑහෙන පාඩුවක් වුනා. බැංකු වල අවාසියට හිටියේ පොදු ආයතනයක් වන තෙල් සංස්ථාවට මෙවැනි ගිවිසුම් වලට යන්න නීතිමය අයිතියක් නැතැයි යන නීති තර්කය මිසක් ගිවිසුමේ වගන්ති නෙමෙයි. එසේ නොවන්නට, ගිවිසුම අනුව ගෙවිය යුතු මුළු හිඟ මුදලට අමතරව ගෙවීම පමා වීම නිසා ඒ මත එකතු කළ යුතු පොලිය හා නඩු ගාස්තු ආදියත් ගෙවන්න වෙනවා.

ඔය ගිවිසුම් අත්සන් කරද්දී ඒවායින් රටට වන වාසිය ගැන සෑහෙන්න පුරසාරම් ඇහුණත්, ගිවිසුම් වලින් ඇත්තටම වාසියක් වුනානම් එහි නම්බුව ගන්න හිටපු බොහෝ දෙනෙක් තෙල් මිල අඩු වෙද්දී කළේ අන්තිමට ගිවිසුමට අත්සන තැබූ අයගේ පිටින් දමා ඇඟ බේරා ගැනීමයි. වැඩක් හරි ගියාම ලකුණු දාගන්න ඕනෑ තරම් අය හිටියත්, වැරදුනාම අන්තිමට කරපු කෙනෙක් නැහැ.

ලිපිය පටන් ගත්තේනම් හෙජිං ගණුදෙනු ගැන ලියන්න හිතාගෙන නෙමෙයි. තෙල් මිල ගැන ලියන්න හිතාගෙනයි. කමක් නෑ. ඒ ගැන පස්සේ කතා කරමු.

13 comments:

  1. හෙජින් කියා කියනකොටම
    මතක් වෙන්නෙ එක පාරට
    එවකට තෙල් මෝල කරපු
    සභාපතිය රටින් පැනපු
    නමින්
    අසන්තා ද මැල් ය.

    ReplyDelete
    Replies
    1. මේවතාවේ තෙල් සංස්ථාවේ ලාංජනේ ක්‍රිකට් බෝඩ් එකට අන්දවයි නේ, පන්දම පස්සපැත්තට හයි කරලා ගත්තනම් හොඳට ගැලපෙනවා.

      Delete
  2. ඉකොනොමැට්ටා Economatta මැක්කාගේ කතාව වගේ කොයි කතාවකත් මහින්දට පහර ගැසීමක් තියෙනවා. හෙජිං ගණුදෙනුව එවකට ආණ්ඩුව විසින් හිතාමතා කළ හොරකමක් නොවුණත්, හෙජිං ගිවිසුම අනීතික උපකරණයක් නොවන බව පැහැදිළිව දන්නවා උනත් ඒකෙන් මහින්දට පහර ගහන්න ඔයා උත්සාහ කරනවා. හැබැයි රනිල් හිතාමතා සැළසුම් සහගතව කළ මහබැංකු කොල්ලය ගැන හරි සෙවල ප්‍රතිපත්තියක් තමයි ඔයාගේ තියෙන්නේ. අනිත් එක, හෙජිං ගණුදෙණු දැන් සමථයකට පත් උන දෙයක්. ඒ ආණ්ඩුව කොහොම හරි එයින් විය හැකිව තිබුණු පාඩුව අඩු කර ගන්න සමත් උණා. ඔයා ඒ ගැන ආණ්ඩුවට හොඳක් කියන්නේ නෑ. කොහොම උනත් හෙජිං ගිවිසුම් ගැන මහින්දට හරි ආණ්ඩුවට හරි ඇඟිල්ල දික් කරන්න ඔයාට බෑ. චන්දයක් පෙනි පෙනී මිනිස්සුන්ට අමතක වෙලා තියෙන හෙජිං පාඩුව මහින්දගේ පැත්තට දාල ඔයා කරන්නේ ස්වෛරී රටක අභ්‍යන්තර කරුණකට කෙරෙන නීති විරෝධී බලපෑමක් බවයි මගේනම් හැඟීම. හොඳයි, බටලන්ද වධකාරයක් පවත්වාගෙන ගිය බවට ජනාධිපති කොමිසමක් ඉදිරියේ වැරදි කරුවෙක් කර ඇති රනිල් ගැන ඔයා මතක් කරන්නේ නැත්තේ ඇයි?

    ReplyDelete
    Replies
    1. හෙජිං ගණුදෙනුව සම්බන්ධයෙන් පසුගිය ආණ්ඩුවට චෝදනා කළ හැකියැයි මා සිතන්නේ නෑ. ඉකොනොමැට්ටා එසේ සිතනවා දැයි මා දන්නේ නෑ.

      ඉකොනොමැට්ටාට සහ ඒ අනුව සිතන තවත් අයට අනුව ආර්ථික ඔස්තාර් වන වික්‍රමසිංහ, ලේක් හවුස් ප්‍රින්ටර්ස් හි කොටස් හිමියෙක්ව සිටිමින් 19 වන සංශෝධනය මගින් තමන් විසින්ම ලියා ගත් අගමැති බලතල භාවිතා කරමින් මහබැංකුව සහ රාජ්‍ය බැංකු මුදල් ඇමතිට නොදී තමන්ගේ අමාත්‍යංශය යටතට තබාගෙන රාජ්‍ය බැංකු වල චෙක් පත් මුද්‍රණය කිරීම ඒ සමාගමට පවරා දී ඒ සමාගමේ කොටස් හිමියන් වන රුවන් විජේවර්ධන ඇතුළු තම ඥාතින්ට ලාභ ලබා ගැනීමට අවකාශ සළසා දීමත් තමනුත් ලාභ ලැබීමත් කරණ කොටගෙන මන්ත්‍රී ධුරය අහෝසි වීමේ තර්ජනයට ලක් වී සිටින මේ අවස්ථාවේ අවධානය මහින්ද රාජපක්‍ෂ වෙත යොමු කිරීම තෙල් මිල ගැන කියා අඬගසා හෙජිං ගැන කියාදෙන මේ ලිපියේ අරමුණ විය හැකියි.

      හේජිං යනු පිළිගත් අවදානම් අඩු කර ගැනීමේ ක්‍රමවේදයක්. රජයක් විසින් තීරණය කරන්නේ එය කළ යුතුද නොකළ යුතුද යන්න පමණයි. ගිවිසුම් කොන්දේසි තනිකරම ඒවා සාකච්චා කරන කණ්ඩායමේ වගකීමක්. ඉකොනොමැට්ටා විසින් විස්තර කර ඇති අහිතකර කොන්දේසි සහිත ගිවිසුම් වලට එළැඹීම පිණිස ඒ නිලධාරීන් විසින් අයුතු ලාභ ලබාගෙන ඇත්නම් ඒවා සොයා බැලීමයි කළ යුතු. දිනපතා නඩු අහන උසාවි පිහිටුවා ඇති මේ රටේ අවුරුදු තුනකට වඩා වැඩි කාලයක් FCID කියා මාෆියා පොලිසියක් මෙවැනි කරුණු සම්බන්ධයෙන් ම පවත්වාගෙන ගිය ආණ්ඩුවකට හෙජිං ගණුදෙනුව උලුප්පා දැක්වීමෙන් මේ වන විට ගත හැකි දේශපාලන වාසියක් ඇතැයි මා නම් සිතන්නේ නෑ.

      Delete
    2. "හෙජින් යනු පිළිගත් අවදානම් අඩු කර ගැනීමේ ක්‍රමවේදයක්." කියන එක ඇත්ත.
      මෙතන තියෙන කාරනේ
      - අපි හෙගින්ග් වලට ගිහිල්ල තියෙන්නෙ මිල අඩුවීම පටන්ගන්න කොට වීමත් (සාමාන්‍යයෙන් කෙරෙන්නේ ඒකෙ අනිත් පැත්ත)
      - හෙජින් ගිවිසුමක මූලිකම වගන්ති වන ඉහල සහ පහල සීමා නිර්ණයෙන් , පහල සීමාව පුදුමාකාර ලෙස ඉවත් වී තිබීමත්

      බඩු නැති වෙලා නම්, හොරා ඇල්ලුවත් නැතත් හොරකමක් වෙච්ච බව පිළිගන්න වෙනවා. මෙතැනදී නැති වෙච්ච බඩු වල වටිනාකම ඩොලර් මිලියන 100 ට වඩා වැඩියි කියලයි ගණන් හදපු අය කිව්වෙ .

      Delete
    3. මම නම් හිතන්නේ නැ ඉකොනොමැට්ටා මහින්දට විතරක් පහර ගහන්න උත්සාහ කරනවා කියල මේක Genuine පක්ෂ විපක්ෂ තොරව කාගේත් හොද නරක පැහැදිලි කරනවා. ඔයා බැදුම්කර ගැන ලිපි පෙළ කියවලා Comments දැම්මොත් වඩාත් හොදා...
      පාට කන්නාඩි දාගෙන හැම දෙයක්ක්ම බලන්න එපා

      Delete
    4. ඉකොනොමැට්ටා මහින්දට (අප රනිල්ට අවලාද නගන ලෙස) අවලාද නගන්නේ නම් නෑ. නමුත් ඔහුගේ ලිපි සැළකිල්ලෙන් කියවන නිසා එහි සමස්ත රටාව අප දකිනවා. ඉකොනොමැට්ටා මහින්දට හෝ සිරිසේනට හෝ ගසන පහර රනිල්ට ගසන්නේ නෑ. ඔබම කියන බැඳුම්කර ලිපි පෙළින් ඔහු කරන්නේ රනිල්ට එල්ල වන චෝදනා තනුක කිරීමයි. නමුත් ඉහත ලිපිය මහින්ද එල්ල කර ඉදිරිපත් කර ඇති බව පැහැදිළි යි. (අවසන් චේද දෙක බලන්න)

      නමුත් මගේ අවධාරණය එය නොවෙයි. මා මතු කරන්නේ මහින්දගේ කාලේ සිදු වූ මහින්දගේ සෘජු සම්බන්ධයක් නැති මහින්දට විරුද්ධව චෝදනාවක්වත් නැති හෙජිං ගණුදෙනුවට වඩා රනිල් මුදල් ඇමති නොවී අගමැති ලෙස බැංකු කටයුතු තමන් යටතට ගැසට් කරගෙන තමන් සහ රුවන් විජේවර්ධන ඇතුළු තම ඥාතීන් කොටස් හිමිකාරිත්වය දරන සමාගමට චෙක් පත් මුද්‍රණය බාර දී ලාභ ඉපයීමට ඉඩ දීම ගැන කතා කළ යුතු බවයි.

      මා එසේ සිතුවත්, මේ ඉකොනොමැට්ටා ගේ බ්ලොග් එක බවත්, එහි ලියන්නේ ඔහුට වැදගත් දේ බවත්, ඒ ගැන කිසි බලපෑමක් කිරීමට අපට හැකියාවක් නැති බවත්, මා මෙන්ම ඉකොනොමැට්ටාත් හොඳින්ම දන්නා කාරණයක්.

      Delete
    5. පොයින්ට් එක තමයි ඊනියා මහබැංකු ගනුදෙනු පාඩුව වගේ මෝඩ උපකල්පන ගොඩක් අරගෙන ගණනය කල පාඩුවක් නෙමෙයි, හෙජින් කියන්නේ ඇත්තටම සිදුවුන, සිදුවුන පාඩුව ගණනය කරලා තියෙන දෙයක් වීම. හෙජින් කියනකොට බයියන්ට මෙතරම් බූමිතෙල් වැදෙන්නේ ඒකයි.

      Delete
    6. කතා කතු, මහ බැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසම සිදුකර තිබෙන පරීක්ෂණවල දී අදාළ සිද්ධියට මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති අර්ජුන් ඇලෝසියස් හා එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පළිසේන යන පුද්ගලයන් රක්ෂිත බන්ධනාගාර ගත කර කොළඹ මහාධිකරණය, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ බැංකු ගිණුම් තහනම් කරමින් නියෝගයක් ද නිකුත් කරනු ලැබ ඇත.

      https://www.youtube.com/watch?v=10dPgs08crs

      හෙජින් ගණුදෙනුවට අදාළ පරීක්ෂණවල results කොහෙද ???

      Delete
    7. කතා කතු,
      2015 ට කලින් බල්ලනේ නැතුව 1994 to 2014 වෙනකම් Gov. Control බැංකු චෙක් පත් මුද්‍රණය හෝ වෙනත් මුද්‍රණය කරපු ආයතනය බලවනම් ඔබගේ පර්ශ්නයට පිළිතුරු ලැබනවා.

      Delete
  3. ". තෙල් සංස්ථාව වෙනුවෙන් ගිවිසුම අත්සන් කරපු අය මිල අඩු වෙයි කියා කීයටවත් නොහිතපු බව එයින් පේනවා...."
    මම අහල තියෙන විධියට නම් කතාව ඒ තරම් සරල නෑ . අත්සන් කරපු හැම ගිවිසුමක් සම්භන්ධවම, බැංකුව පැත්තෙන් agent කෙනෙක් හිටිය ලොකු commission එකක් ලබපු. බැඳුම්කර ගනුදෙනුවෙ දි අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා Purpetual Tresuries එකේ හිටිය වගේ, අසන්තා ද මැල් ගේ දුවත්, තවත් ඒ වගේ සමීපතමයොත් බැංකු පාර්ශව වලින් ඒජන්තවරු හැටියට කටයුතු කලා .

    ඊට අමතරව ඔය ගිවිසුම් අත්සන් කරන්න සූදානම් වෙන කොටම තෙල් මිල වැටෙන්න පටන් අරගෙනයි තිබුනේ.
    Deutsche Bank vs Ceypetco කේස් එක කියවද්දී පේනවා ගිවිසුම අත්සන් කිරීමේ අවසන් අදියරේදී කොයි තරම් හදිස්සියක් තිබිල තියෙනවද කියල.

    නම් වලට තිත් ඉරි ගහල ඉඩ තියපු off the shelf හෙජින් ගිවිසුමක් අරන් බැලුවත්, මිල වැඩි වීමෙන් ලැබෙන ලාභයට (?) වගේම මිල අඩු වීමෙන් ලැබෙන පාඩුවටත් (?) සීමාවන් තියන්න ඕන කියන එක මූලිකයි. මිල අඩුවෙයි කියල කීයටවත් නොහිතුවත් අඩු වුනොත් සිදුවෙන දේ ගැන ගිවිසුමේ තියෙන්න ඕන. ඔය ගිවිසුම් හදන්නත්, ආණ්ඩුව පැත්තෙන් ඒවයේ අඩුපාඩු හොයන්නත් ලක්ෂ ගණන් පඩි ගන්න රජයේ සේවකයොත් , කෝටි ගණනින් අයකරන පවුද්ගලික ආයතනත් යොදා ගෙන තියෙනව . එහෙම වෙලත් ඔය මූලික කරුණ අහම්බෙන් මිස් උනා කියල හිතන එක හරි ලාමකයි.
    Mundeer

    ReplyDelete
  4. හෙජින් ගිවිසුම් වලට යෑමට විරුද්ධව සුප්‍රීම් කෝට් එකේ පවරපු නඩුවක් අයින් කරන්න කියල නියෝග දීල තියෙනවා ඒ කාලේ හිටපු නීතිපති කුප්‍රකට මොහාන් සිල්වා.
    අසන්ත ද මැල් COPE කමිටුවට කියනවා "These oil hedging deals had been carried out at the initiation of the Governor, Central Bank," ඒ අපි කවුරුත් දන්න අජිත් නිවාඩ් කබ්රාල් ගැන.
    ගිවිසුමේ හරි වැරදි හොයන්න උනන්දුවක් නොතිබුනාට, ඉන් පස්සේ ඒවත් එක්ක පිටරට උසාවි වල නඩු කියන්න ආණ්ඩුවට ගිය වියදම ඩොලර් මිලියන 11.2 (COPE Report 2016)

    ReplyDelete
  5. පිටරට බැංකු තුනත් එක්ක අත්සන් කරන කොට හොඳටම දැනගෙන හිටියෙ තෙල් මිල අඩු වෙනවා කියල, ඒත් ඩොලර් 30ට බහියි කියල හිතුවේ නෑ .
    85-90 ට බැහැල නැවතුනා නම් වැඩේ කචල් වෙන්නේ නෑ .
    කොහොම උනත්,වැඩේ පත්තු වෙන කොට ගණන් කපා ගන්න අය කපා ගෙන ඉවරයි.
    Lawyers ල තව additional ගානක් කපා ගත්ත විතරයි.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: