වෙබ් ලිපිනය:

Saturday, December 29, 2018

සීනි දී සැනසීම


පහුගිය "දින පණහ" ඇතුළත සිදු වූ එක් දෙයක් තමයි මහින්ද විසින් පැණි බීම මත පනවා තිබුණු සීනි බද්ද අඩු කිරීම. මේ බද්ද දැම්මේ අවුරුද්ද මුලදී රාජිත විසින්. කර්මාන්තයට දැනෙන තරමේ ලොකු බද්දක්.

මානව ඉතිහාසයේ වැඩි කාලයක් තිස්සේ මිනිස්සු හිටියේ ජීවත් වෙන්න අවශ්‍ය කරන අවම කැලරි ප්‍රමාණය හෝ ලබා ගැනීම අභියෝගයක් වූ පරිසරයකයි. ඒ කාලයේ වැඩි කාලයක් ජීවත් වී තමන්ගේ ජාන අනාගතයට ඉතිරි කරන්න පුළුවන් වුනේ මොන විදිහකින් හෝ මේ ශක්ති අවශ්‍යතාවය සපුරා ගත් අයටයි.

මිනිස්සු සාමාන්‍යයෙන් ගන්නා ආහාර අතරින් සීනි හා තෙල් කියන්නේ කැලරි පොදි. ඉතා පොඩි ප්‍රමාණයක් ආහාරයට ගැනීමෙන් විශාල කැලරි ප්‍රමාණයක් සිරුරට ලැබෙනවා.

පසුගිය අවුරුදු දහදාහක පමණ කාලය ගත්තොත් සීනි හා තෙල් කියන්නේ මිනිස්සුන්ට කලාතුරකින් හමු වූ දේවල්. සීනි ලැබුණේ හදිසියේ අහම්බෙන් හමු වූ ඉදුණු පළතුරු පිරුණු ගහක් වගේ තැනකින්. ඒ වගේ වෙලාවක පුළුවන් තරම් ඉදුණු පළතුරු කනවා මිස, ඒ පළතුරු ගෙදර ගෙනිහින් කල් තබා ගෙන ටික ටික කන්න පුළුවන් තාක්ෂණයක් ඒ කාලේ තිබුණේ නැහැ.

සීනි හා තෙල් වැඩියෙන් කන්න කැමැත්තක් තිබුණු හා මේ ආහාර වලින් ලැබුණු ශක්තිය සිරුරේ තැන්පත් කරගෙන ටිකෙන් ටික ප්‍රයෝජනයට ගන්න හැකියාවක් තිබුණු අයට අනෙක් අයට සාපේක්ෂව පරිණාමික වාසියක් ලැබුණා. ඒ නිසා, සීනි හා තෙල් වලට වැඩි කැමැත්තක් නැති මිනිස්සු ටිකෙන් ටික වඳ වී යද්දී මේ දෙකට වැඩි රුචිකත්වයක් දක්වන අය ඉතිරි වුනා. අපි හැමෝම වගේ ඒ විදිහට ඉතිරි වූ පරම්පරා වල අය. ඒ නිසා, අප ඉපදෙන්නෙම සීනි හා තෙල් වලට තිබෙන කැමැත්ත එක්කයි.

මානව ඉතිහාසයේ මෑතම යුගය දක්වාම සීනි හා තෙල් වලින් ලැබෙන ශක්තිය සිරුරේ තැන්පත් කරගන්න පුළුවන් වීම මිනිස්සුන්ට වාසියක් මිස අවාසියක් වුනේ නැහැ. පළතුරු පිරුණු ගහක් හෝ මේද පිරුණු සිරුරක් සහිත ලොකු සතෙක් වරක් හමු වීමෙන් පසුව නැවත හමු වුනේ සෑහෙන කාලයක් ගිහින්. ඒ වන විට සිරුරේ තැන්පත්ව තිබූ ශක්තිජනක ටික වැය වී අවසන්.

නමුත්, දැන් තත්ත්වය වෙනස්. සාගින්නෙන් පෙළෙන මිනිස්සු අදටත් ලෝකය පුරා විසිරී ඉන්න බව ඇත්තක් වුවත් ලංකාව වැනි රටක පවා බොහෝ දෙනෙක්ගේ ආදායම් තමන්ට අවශ්‍ය අවම ආහාර ප්‍රමාණයට වඩා ආහාර වෙනුවෙන් වැය කළ හැකි තරමට ඉහළ ගිහින්. ඉතිං අපි අපිට ආස දේවල් හිතේ හැටියට කනවා.

පරම්පරා ගණනක් අපේ සෞඛ්‍ය වර්ධනයට හේතු වූ පුරුද්දකින් දැන් වෙන්නේ අපේ මරණය ඉක්මන් කරන එකයි. හෘදයාබාධ, ආඝාත හා දියවැඩියාව කියන්නේ ලාංකිකයෙක්ව මරණයට පත් කරන ප්‍රධාන හේතු. වෙනත් බොහෝ රටවල තත්ත්වයත් එහෙමමයි.

රාජිත විසින් සීනි බද්ද හඳුන්වා දීමෙන් අපේක්ෂා කර තිබුණේ මේ වන විටත් ලංකාවේ විශාල සෞඛ්‍යමය ප්‍රශ්නයක් වී තිබෙන දියවැඩියාව පාලනය කිරීමයි. මේ තීරණයේ සෘජු ප්‍රතිඵලය වන්නේ පැණි බීම මිල ඉහළ යාමයි. පැණි බීම වලට සීනි බද්දක් පැනවීම මෑත කාලයේදී වෙනත් බොහෝ රටවල් විසින්ද කර තිබෙන දෙයක්.

ජාන වලින්ම එන පුරුද්ද නිසා පොඩි කාලේ ඉඳලම අපි පැණිරසට ආසයි. ගොඩක් පොඩි කාලේ අම්මගේ නංගිගෙන්, පුංචි අම්මගෙන්, ඉල්ලුවහම බෝතලෙන් සීනි හැන්දක් අල්ලට දමනවා. හැබැයි අම්මා නැති වෙලාවට. අම්ම දැක්කොත් පුංචි අම්මටත් බැණුම් අහන්න වෙනවා.

දැන් පොඩි එකාට වැඩියෙන් ආදරේ අම්මාද නැත්නම් පුංචි අම්මාද? අම්මා හිතනවා සීනි වැඩිපුර දීම හොඳ දෙයක් නොවන බව. සමහර විට ඒ දවස්වල හිතන්න ඇත්තේ දත් නරක් වෙන එක හරි කිරිපණුගාය හැදෙන එක හරි ගැන මිසක් දියවැඩියාව ගැන නොවෙන්න පුළුවන්.

එතකොට පුංචි අම්මා කරන්නේ නරකක්ද? පුංචි අම්මත් කොල්ලට ආදරෙයි. ඈ හිතන්නේ ඔය ඉඳලා හිටලා සීනි හැන්දක් දීලා පොඩි එකාගේ ආසාව ඉටු කළාට මහ ලොකු හානියක් වෙන්නේ නැහැ කියලයි.

මහින්ද කළේත් අපේ පුංචි අම්මා පොඩි කාලේ කළා වගේ වැඩක්. සීනි බද්ද නිසා පැණි බීම මිල වැඩි වුණත් පැණි බීම නැතුවම බැරි එකා කොහොමටත් බොනවා. පැණි රස වැඩිපුර කෑමේ සෞඛ්‍යමය හානි ඉතා හොඳින්ම දන්නා මම වුනත් ජානමය තෙරපුම නිසා හෝ ඇබ්බැහිය නිසා හෝ වෙනත් හේතුවක් නිසා සීනි වලට තියෙන කැමැත්තට ගොඩක් වෙලාවට ඉඩ දෙනවා. මේ ගැන ඇමරිකාවේ ප්‍රධානම සරසවියක පර්යේෂකයෙක් එක්ක ළඟදී කරපු කතාබහක් ගැන පස්සේ වෙනම ලියන්නම්.

රාජිත ක්‍රියා කළේ අපේ අම්මා වගේ. සීනි හැන්දක් දුන්නොත් කොල්ලා දැන් සතුටු වෙයි. ඒත් අනාගතයේදී කණගාටු වෙයි. ඒ නිසා, කොල්ලාගේ දිගුකාලීන සතුට ගැන හිතනවානම් කරන්න ඕනෑ සීනි නොදී ඉන්න එකයි. (කොල්ලා ඒ ගැන දැන් ඉන්නේ සතුටෙන්ද? ඒක වෙනම ප්‍රශ්නයක්!)

මේ සීනි ප්‍රතිපත්ති දෙකෙන් පොදුවේ මහින්දගේ හා රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්ති මොනවාද කියන එකත් නිරූපණය වෙනවා. මහින්ද කරන්නේ ණය අරගෙන හරි කන්න දීලා, තව ප්‍රාග්ධන ආයෝජනත් මොනවා හරි කරලා, මිනිසුන්ව අද සතුටින් තියන එකයි. පස්සේ දියවැඩියාව හැදුනහම, ණය ආපසු ගෙවන්න වුනහම...ඒක ඒ වෙලාවට බලා ගම්මු!

රනිල්ලා හදන්නේ අද සතුට තරමක් කැප කරමින් වුනත් දිගුකාලීනව රටට හොඳයි කියා ඔවුන් හිතන දේ කරන්නයි. හැබැයි මතක තියා ගන්න "දිගුකාලීනව රටට හොඳයි කියා ඔවුන් හිතන දේ".

දැන් මේ ප්‍රතිපත්ති දෙකෙන් වඩා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්තිය කොයි එකද? ඇත්තටම බැලුවොත් මහින්ද කටයුතු කරන ආකාරය වඩා ප්‍රජාතන්ත්‍රවාදීයි. ඔහු බොහෝ විට දෙන්න උත්සාහ කරන්නේ වැඩි දෙනෙක් ඉල්ලන දෙයයි. පස්සේ ණය ගෙවන්න වෙනවා කියන එකේ ලංකාවේ වැඩි දෙනෙක්ට අවුලක් නැහැ. වඩා වැදගත් අද කාල බීල ඉන්න එකයි.

(Image: https://www.dailymail.co.uk/health/article-3336474/University-Bath-says-spoonful-sugar-secret-athletic-success.html)

7 comments:

  1. මහත්මයා ඇයි මේ තරම් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට පක්ෂක්ග්‍රහීව ලිපි ලියන්නේ? ඔබතුමා එක්සත් ජාතික පක්ෂ ජිවන විලාසිතාව අනුගමනය කරමින් ධනවාදී ජිවිතයක් ගෙනගියාට දුගීන් වන අපට එසේ හැකියාවක් නැත. ඔබතුමාට සිනි මිල ඉහල යාම ගැන ගැටලුවක් නැති උනත් අපට එය ගැටලුවකි.

    ReplyDelete
  2. ඌරන්ට මොන සෞඛ්‍ය ද කියලා මහින්දට හිතෙන්න ඇති. ඒකට ඉතින් ඒ මනුස්සයට වරදක් කියන්නත් බෑ

    ReplyDelete
  3. //මහින්ද කරන්නේ ණය අරගෙන හරි කන්න දීලා, තව ප්‍රාග්ධන ආයෝජනත් මොනවා හරි කරලා, මිනිසුන්ව අද සතුටින් තියන එකයි. පස්සේ දියවැඩියාව හැදුනහම, ණය ආපසු ගෙවන්න වුනහම...ඒක ඒ වෙලාවට බලා ගම්මු!

    රනිල්ලා හදන්නේ අද සතුට තරමක් කැප කරමින් වුනත් දිගුකාලීනව රටට හොඳයි කියා ඔවුන් හිතන දේ කරන්නයි. ///

    හඃ හහ් හා.... ������ සතියේ හිනා කාල මැරෙන ආතල් ටික and thanks for the entertainment ��������������

    ඉකොනොමැට්ටා හෙවත් කොමිටල්මැට්ටා කියන කොමඩිමැට්ටෝ, පාලු ගෙයි වළං නොබිඳ මරාවාදීන් සමග ෆේස් ටු ෆේස් ප්‍රසිද්ධ විවාදයක් පවත්වා නිවැරදි දේ කියන්න නැත්නම් මහ බැංකු වාර්තා සන්සන්දනයක් කර ජනතාවට ඇත්ත කියන්න. තවත් බොරු එපා.

    ReplyDelete
  4. ඉකොනොමැට්ටා ලංකාව වැනි රටක නවීන සමාජවාදී ආර්ථිකයක පදනම සකස් කල හැක්කේ රටේ නිෂ්පාදන ක‍්‍රියාවලිය පුලුල් කිරීම සහ නිසි කාර්මීකරනයට ලක් කිරීමෙන් පමණකි. ලංකාව වැනි රටක නවීන සමාජවාදී ප‍්‍රතිපත්ති මත පිහිටුවා සිදු කරන කාර්මීකරන ප‍්‍රතිපත්තියක දී එය සුදුසු තාක්ෂනය සහ තිරසාර සංවර්ධනය මත පදනම් වූ ප‍්‍රතිපත්ති මත පදනම් වී කාර්මීකරන වැඩපිලිවෙල සැලසුම් කල යුතුය.

    ලංකාවේ කර්මාන්ත සංවර්ධනය කිරීමට හා කෘෂි කර්ම සහ ධීවර කර්මාන්ත කර්මීකරනය කිරීමට ජවිපෙ යෝජනා කරයි. කාලය සහ ශ‍්‍රමය අනවශ්‍ය පරිදි නාස්ති නොකෙරෙන පරිදි ලොව පුරා විවිධ ජාතීන් විසින් උකහාගෙන ඇති දියුනු හා සරල ක‍්‍රමවේද කලමනාකරන ක‍්‍රමවේද යොදා ගත යුතු බවට ජවිපෙ උපදෙස් දෙයි.

    ඒ කාලයේ අතිබලසම්පන්න ලෝක බලවතා වුණ ඇමරිකා එක්සත් ජනපදය සමග අවුරුදු 30 ක යුද්ධයක නිරත වූ වියට්නාමය නවීන සමාජවාදී වේගවත් ආර්ථික සංවර්ධනයක් අත්කර ගනිමින් ඉන්නවා. නවීන සමාජවාදී චීනය ලෝකයේ ආර්ථික බලවතා වීමේ ප‍්‍රයත්නයක යෙදී සිටිනවා. මෙම සියලු වර්ධනයන්ගේ පිටුපසින් පවතින රහස නවීන සමාජවාදයයි. මෙය ශ‍්‍රී ලංකාවට දීමට ජවිපෙ අපි කැප වෙනවා.

    ජවිපෙ අපි චීනයේ සහ වියට්නාමයේ මෙන් කම්කරුවන්ගේ මොනම විරුද්ධත්වයකට හෝ ඉඩ නොදී ආයෝජකයන් ආරක්ෂා කිරීම සඳහා ශ‍්‍රී ලංකාව මුළුමනින්ම නවීන සමාජවාදී රාජ්‍යක් බවට පරිවර්තනය කිරීමට සහයෝගය දෙයි. ජවිපෙ ක‍්‍රියා මාර්ගයේ මෙසේ සඳහන් වෙයි: //පුද්ගලික අංශය නිෂ්පාදනය මත පදනම් වූ ආර්ථිකයේ කොටසක් බවට පත් කරනු ලබයි; තවදුරටත් මෙසේ නිෂ්පාදන ආර්ථිකයට සම්බන්ද වන පුද්ගලික අංශයේ සමාගම්වලට වසර පහක බදු විරාමයක් සහ වෙනත් දිරි ගැන්වීම් සම්පාදනය කරනු ලබයි.//

    ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන්ගේ පත‍්‍රයක් වන ඩේලි එෆ්ටී පත‍්‍රයට දුන් සම්මුඛ සාකච්චාවක දී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා ප‍්‍රකාශ කලේ //නවීන ලෝකයට ගැලපෙන විදිහට නව මූලෝපායන්ට අනුගත වීමේ අවශ්‍යතාවය අප හඳුනාගෙන තියෙනවා. වෙනසක් සඳහා අප සුදානම්//.

    සිලෝන් ටුඩේ පත‍්‍රයට දුන් සම්මුඛ සාකච්චාවේ දී අනුර කුමාර දිසානායක සහෝදරයා වඩාත් ඍජුව අදහස් පල කලේ විප්ලවවාදී පක්ෂයක ප‍්‍රධාන ලක්ෂනය වන්නේ කලින් කලට තමනුත් පක්ෂයත් ශක්තිමත් කර ගැනීමයි. හරියට ඕනෑම තත්වයකට ගැලපෙන සේ සකස් කර ගත හැකි මැටි ගුලියක් වගේ. දේශපාලන තත්වය වෙනස් වෙන කොට විප්ලවවාදී දේශපාලනයේ සිට ප‍්‍රධාන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහයට පක්ෂයක් විදිහට අප දිගට ම මාරුවෙලා තියෙනවා.//

    2019 බස්නාහිර පලාත් සභාව සඳහා ජවිපෙ මහ ඇමති අපේෂක කේ.ඩී. ලාල්කාන්ත සහෝදරයා දුන් වෙනත් මාධ්‍ය සම්මුඛ සාකච්චාවක දී //වර්තමානයේ දී පුද්ගලික අංශය වර්ධනයේ එන්ජිම// ලෙස පක්ෂය කල්පනා කරන බව ප‍්‍රකාශ කල අතර ආයෝජකයන්ට සියලුම පහසුකම් සලසන බවට පොරොන්දු වූයේය. මෙම ආර්ථික වැඩපිලිවෙල රාජපක්ෂ ආන්ඩුවේ, එජාපයේ හෝ සත්තකින් ම ලොවපුරා ධනපති පක්ෂවල වැඩපිලිවල් වලින් වෙනස්වේ. ජවිපෙ විදේශ පිලිවෙත අධිරාජ්‍ය විරෝධී සහ විජිත'වාදී විරෝධී බව ජවිපෙ ප‍්‍රකාශ කරයි. පොදු පන්ති උවමනාකම් ඔස්සේ, සියලුම ආකාරයේ ජාතිකවාදය, වර්ගවාදය, සහ ස්වෝත්තමවාදයන්ට එරෙහිව ඒකාබද්ධ කිරීම මත ජවිපෙ සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී ඉදිරි දර්ශනය පදනම් වී ඇත. සමාජවාදී පිලිවෙත් ක‍්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවියන්ගේ ආන්ඩුවක් සඳහා අපි සටන් කරමු. අපගේ මැතිවරන ප‍්‍රකාශය අධ්‍යයනය කරන ලෙසත්, අපගේ මැතිවරන උද්ඝෝෂනයට සහභාගී වන ලෙස හා අපගේ පක්ෂයට බැදීමට තීන්දුවක් ගන්නා ලෙස ජවිපෙ අපි කම්කරුවන්, තරුනයන් සහ බුද්ධිමතුන්ගෙන් ඉල්ලා සිටිමු.

    ReplyDelete
  5. සිරිකොතේ බොරු අහලා අපට ඇතිවෙලා. ඉකොනොමැට්ටල රට ගැන දන්නේ මහින්දගේ කාලේ විතරයි, ප්‍රේමදාස හා ජේ්ආර් කාලේ පොඩි උන්. ඔය මෙලෝ රහක් නැති පිස්සුකතා අහලා දැන් අපිට ඇතිවෙලා. ඔයාලා ආවා නම් මොනවාහරි කරන්නකෝ. රනිල්ට කියලා ඇමරිකාවේ මාකට් එකේ ලංකාවෙ ප්‍රඩක්ට්ස් වලට ශෙයා එක වැඩිකරනවකෝ බහුබූත නොදොඩා.

    ReplyDelete
  6. අම්ම සීනි දුන්නත් වැරදියි
    පුංචි අම්ම දුන්නත් වැරදියි
    එනිසා නංගියෙ මල්ලියෙ පවසමි
    පැණිරස එපා කියා

    ReplyDelete
  7. හොරුන් මහ බැංකුව
    බිඳපු
    පවසති තැනින් තැන
    සිට
    දෙන දණ්ඩනය ගැන
    අපරාධ කරුවන්ට
    කඩා බිඳ දැමූ
    බුදු පිළිම
    මාවනැල්ලේ

    ජනතාව ගිල දමති
    මේ සීනි බෝල
    නැතුවම වගේ වගක්!

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: