වෙබ් ලිපිනය:

Thursday, December 6, 2018

ලංකාවට සංචාරකයින් පැමිණීම අඩු වෙලාද?


පසුගිය ඔක්තෝබර් 26 වෙනිදා සිට දිග්ගැසෙමින් තිබෙන ලංකාවේ දේශපාලන අර්බුදය අවසන් වන ආකාරයක් තවමත් පැහැදිලිව පෙනෙන්නට නැහැ. හෙට ලැබෙනු ඇතැයි සිතිය හැකි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසුව වුවත් තත්ත්වයේ ලොකු වෙනසක් වේදැයි සැක සහිතයි.

ලංකාවේ දැනට පවතින දේශපාලන වාතාවරණය රටේ ආර්ථිකයට බලපාන ආකාරය අපද ඇතුළු බොහෝ දෙනෙක් විසින් කතා කර තිබෙන දෙයක්. කොළඹ කොටස් වෙළඳපොළෙහි හා රාජ්‍ය සුරැකුම්පත් වල වූ විදේශ ආයෝජන රටින් පිටවීම පසුගිය මාසයේ දකින්නට හැකි වූ තත්ත්වයක්. එහෙත්, අප මීට පෙරද සටහන් කර තිබෙන පරිදි මේ ආකාරයෙන් විදේශ ප්‍රාග්ධනය රටින් පිටතට ගලා යාම තනිකරම දේශපාලන අර්බුදය නිසාම ඇති වූ තත්ත්වයක් නෙමෙයි. ඒ ප්‍රවණතාව කලින්ම ඇරැඹී තිබුණු එකක්. දේශපාලන අර්බුදය නිසා තත්ත්වය තරමක් උග්‍ර වුණා. ණය පොලී අනුපාතික ඉහළ යාමටනම් දේශපාලන අර්බුදය සෘජුවම සම්බන්ධයි.

දේශපාලන අර්බුදය නිසා ලංකාවේ සංචාරක කර්මාන්තයට සිදු වූ බලපෑමත් කතාබහට ලක් වූ කරුණක්. ඇතැම් රටවල් සිය පුරවැසියන්ට ලංකාවට පැමිණීම ගැන අවවාද කර තිබුණා. කලින් නියම කරගෙන තිබුණු සංචාර අවලංගු වී ඇති බව වාර්තා වී තිබුණා. නමුත්, සංඛ්‍යාලේඛණ දෙස නොබලා, මෙවැනි වාර්තා මත පදනම්ව නිගමන වලට පැමිණීම එතරම් හොඳ දෙයක් නෙමෙයි.

සංඛ්‍යාලේඛණ අනුව පෙනෙන විදිහට 2017 නොවැම්බර් මාසයට සාපේක්ෂව පසුගිය නොවැම්බර් මාසයේදී සංචාරකයින්ගේ පැමිණීම 16.8%කින් වැඩි වී තිබෙනවා. මෙය සැලකිය යුතු වැඩි වීමක්. වසරේ මුල් මාස දහය තුළ වූ සාමාන්‍ය වර්ධනය මීට වඩා අඩුයි. වසරේ පළමු මාස එකොළහ පෙර වසරේ එම කාලය හා සසඳා බැලුවොත් 11.2%ක වර්ධනයක් දැකිය හැකියි. පසුගිය වසර තුළ සංචාරකයින්ගේ පැමිණීම වර්ධනය වුනේ 3.2%කින් පමණක් බව සැලකූ විට මේ වර්ධනය කැපී පෙනෙනවා. මෙයින් 2018 ආර්ථික වර්ධනයටත් සැලකිය යුතු යහපත් බලපෑමක් වෙයි.

ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතයට සංචාරක කර්මාන්තයෙන් 5.3%ක සෘජු දායකත්වයකුත්, 11.6%ක සමස්ත දායකත්වයකුත් තිබෙනවා. ශ්‍රමික ප්‍රේෂණ හා ඇඟලුම් අපනයන හැරුණු විට වැඩිම විදේශ විණිමය ප්‍රමාණයක් ලංකාවට ලැබෙන්නෙත් සංචාරක කර්මාන්තය හරහායි. රටේ රැකියා වලින් 11%ක්ම සෘජුව හෝ වක්‍රව සංචාරක කර්මාන්තයට සම්බන්ධයි. ඒ නිසා, සංචාරක කර්මාන්තය වර්ධනය වෙනවා කියන්නේ ලංකාවේ ආර්ථිකයට විශාල සාධනීය බලපෑමක් සිදු කරන දෙයක්.

ලංකාවට පැමිණෙන සංචාරකයෙකු සාමාන්‍යයෙන් දින 11ක් පමණ නැවතී සිටින අතර දිනකට ඩොලර් 170ක පමණ මුදලක් වියදම් කරනවා. මේ මුදල වාර්ෂිකව ඩොලර් කිහිපයකින් හෝ ඉහළ යනවා. ඒ අතරම ඩොලරයක රුපියල් මිලත් ඉහළ යන නිසා කර්මාන්තයේ නියැලෙන අයගේ අයට අතට ලැබෙන ආදායම වඩා වේගයෙන් ඉහළ යනවා.

නොවැම්බර් මාසය තුළ යුරෝපීය සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනය විශේෂයෙන්ම කැපී පෙනෙනවා. එය 37.1%ක්. එක්සත් රාජධානිය පමණක් ගත්තොත් 61.1%ක වර්ධනයක්. ඇමරිකානුවන්ගේ පැමිණීම 24.9%කිනුත්, සමස්තයක් ලෙස උතුරු හා දකුණු ඇමරිකානු මහාද්වීප වලින් පැමිණීම 23.9%කිනුත් ඉහළ ගොස් තිබෙනවා.  ඕස්ට්‍රේලියානු මහාද්වීපයෙන් පැමිණෙන්නන් 50.5%කින් ඉහළ ගොස් තිබෙනවා.

ඉන්දියානුවන්ගේ පැමිණීම 21.4%කින් ඉහළ ගොස් ඇතත් අනෙකුත් දකුණු ආසියානු රටවල සංචාරකයින්ගේ පැමිණීමේ සැලකිය යුතු අඩුවීමක් පෙනෙන්නට තිබෙනවා. චීනය, ජපානය හා කොරියාව ඇතුළු අග්නිදිග ආසියාතික රටවලින් මෙන්ම මැදපෙරදිග රටවල සිට පැමිණෙන සංචාරකයින්ගේද අඩුවක් දැකිය හැකියි. සමස්ත වර්ධනය 16.8% මට්ටමට සීමා වී තිබෙන්නේ මේ අඩුවීම් වල බලපෑමෙන්. නොවැම්බර් දක්වා පැමිණ තිබෙන මුළු සංචාරකයින් ප්‍රමාණය 2,080,627ක්. පසුගිය වසරේ මුල් මාස එකොළහ තුළ පැමිණ ඇත්තේ සංචාරකයින් 1,871,871ක් පමණයි.

එහෙමනම්, දේශපාලන අර්බුදය හේතුවෙන් සංචාරක කර්මාන්තයට වෙලා තිබෙන්නේ යහපතක්ද?

දේශපාලන අර්බුදය හේතුවෙන් රටට සංචාරකයින් පැමිණීම ඉහළ යන්න සෘජු හේතුවක් නැහැ. මේ යහපත් වර්ධනයට ප්‍රධාන හේතුව මේ මාසය හා පෙර මාසය තුළ රුපියල සෑහෙන තරමින් අවප්‍රමාණය වීමයි. රුපියල අවප්‍රමාණය වෙන්න ඉඩදීම ලංකාවේ ගෙවුම් ශේෂ ප්‍රශ්නය විසඳාගන්න කළ යුතු මූලිකම දෙය බව මා දිගින් දිගටම කියා තිබෙන දෙයක්. සංචාරක කර්මාන්තය කියන්නේ එහි ප්‍රතිඵල මුලින්ම පෙන්වන තැනක්. දේශපාලන අර්බුදය නොවන්නට සංචාරකයින්ගේ පැමිණීම මීටත් වඩා ඉහළ යා හැකිව තිබුණා.

(Image: http://www.travelvoice.lk/2018/04/15/sri-lanka-encouraged-tourism-upsurge/)

9 comments:

  1. /* රුපියල අවප්‍රමාණය වෙන්න ඉඩදීම ලංකාවේ ගෙවුම් ශේෂ ප්‍රශ්නය විසඳාගන්න කළ යුතු මූලිකම දෙය බව මා දිගින් දිගටම කියා තිබෙන දෙයක්. සංචාරක කර්මාන්තය කියන්නේ එහි ප්‍රතිඵල මුලින්ම පෙන්වන තැනක්. */

    මට සිහිවුනේ මා ඇ.එ.ජනපදයේ සංචාරයකට ගිය කාලය - 2013 නොවැම්බර්. ඔසී ඩොලරයකට ඇ.එ.ජ ඩොලරයකට වඩා වැඩියෙන් ලැබුණා.

    නමුත් ඊට පස්සේ ඒ අනුපාතය කණපිට ගැහුණා, අද ලැබෙන්නේ ශත 72 ක් පමණයි!

    අපි එන්නේ නෑ ඔය පැත්තේ ආපසු!

    ReplyDelete
    Replies
    1. හැමදාම ඔහොම තියෙන එකක් නැහැ. ලබන අවුරුද්දේ දෙවන භාගය වෙද්දී වගේ ඇමරිකන් ඩොලරය ශක්තිමත් වීම ආපසු හැරෙන්න ඉඩ තිබෙනවා.

      Delete
  2. මට හිතෙන්නේ බලාපොරොත්තුවූ සංචාරක පැමිණීමේ අඩුවක් වෙනවනම් එය පිළිබිඹු වෙන්නේ දෙසැම්බර මාසයේ දත්ත වලින් කියායි, අවම වශයෙන් මාස කීපයක් තිස්සේ කිරල බලල සැලසුම් කරපු ගමනක් හිටි අඩියේ වෙනස් කරලා වෙන කොහේ හරි යනවාට වඩා මැරෙන එකක් නම් නෑ ඔන්නොහේ යමු කියා තීරණය කරන අය වැඩියි කියයි මට හිතෙන්නේ. එත් සැලසුම වෙනස් කරන්න ප්‍රමාණවත් කාලය තියනකොට වෙනස් තීරණයක් ගන්න තියන ඉඩකඩ වැඩියි.

    හදිසි අර්බුද නිසා සංචාරක කර්මාන්තය අතිශය කඩාවැටීමකට ලක්වෙන හැටි පසුගිය අප්‍රේල් මාසේ නුවරේලියේදී අත්වින්දා, දිගන අවුල නිසා අප්‍රේල් මාසේ සවාරි ගහන දේශීය මුස්ලිම් සංචාරකයෝ පාරට බැස්සේ නෑ, කුඩා හෝටල් බොහොමයක් බැංකු ණය හෙම අරන් ආයෝජනය කරලා ඔවුන්ව පිළිගන්න ලක ලෑස්තිවෙලා හිටියේ, දේශීය සංචාරකයෝ මහා ලොකු සැලසුම් ඇතිව යන අය නොවෙයිනේ, අවදානම් නම් නොගිහින් ඉන්නවා. කුඩා හෝටල් වලට සංචාරකයෝ අඩු නිසා සීසන් එකට ගෙන්න ගන්න කොකියෝ වගේ සේවකයෝ ගෙන්වා ගත්තේ නෑ, පැමිණි අයට කාමර තියනවා එත් කෑම දෙන්න නෑ කියයි කිවේ, ඒවායේ අඩු ගානට කාමර ලැබුනත් කන්න වුනේ ඩඩ්ලි අයියගේ අරලිය හෝටලෙන් තමයි.

    ReplyDelete
    Replies
    1. සමහරවිට මරාගේ කුණු ආණ්ඩුවක් එන්න කලින් ලංකාවට යන්න තියෙන ලාස්ට් චාන්ස් ඒක කියල හිතල වැඩිපුර ආවද දන්නෙත් නැහැ.

      Delete
    2. මරාගේ කුණු ආණ්ඩුව විදේශ සංචාරකයින් ලංකාව තුළදී මිලදී ගන්නා භාණ්ඩ සඳහා අයකළ වැට් (VAT) බදු සංචාරක ඔවුන්ට නැවත ගෙවීම 2018 නොවැම්බර් මාසය සිට ක්‍රියාත්මක කරන බව හිතල වැඩිපුර ආවද දන්නෙත් නැහැ.

      මරාගේ කුණු ආණ්ඩුව විදේශ සංචාරකයින්ට වැට් බදු ආපසු ගෙවීමේ විශේෂ කමිටුවක් කටුනායක ගුවන් තොටුපලේ පිටවීමේ පර්යන්තයේදී විවෘතව තබන බවද සංචාරක අමාත්‍යාංශය සඳහන් කර කියල මරාගේ කුණු ආණ්ඩුව සංචාරකයින් වඩ වඩාත් මෙරටට ආකර්ෂණය කර ගනිමින් ශ්‍රී ලංකාව ආසියාවේ වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපිත කිරිමේ පියවරක් ලෙස විදේශිකයින්ගෙන් ලබාගන්නා වැට්බදු නැවත ඔවුන්ට ලබාදීම යෝජනා කර තිබිණි.

      එසේම මුදල් අමාත්‍ය මරා සංචාරකයින් වැඩි වැඩියෙන් ශ්‍රී ලංකාවෙන් භාණ්ඩ මිලදී ගැනීමට නැඹුරුවීම තුළින් භාණ්ඩ සපයන ආයතන දියුණුවන අතර රටට විදේශ විනිමය ලැබෙන බවද සඳහන් කරයි.

      ම.රා. කුණු ආණ්ඩුව යන්න කලින් වෙළඳ ආයතන හිමිකරුවන් 1,800 වැට්බදු ආපසු ගෙවීමේ ක්‍රමයට ඇතුළත් විම සඳහා දැනටමත් දේශීය ආදායම් දෙපාර්ත මේන්තුවේ ලියාපදිංචි වී ලෑස්ති වෙලා.

      Delete
    3. ඕයි, ඕක රනිල් ඉන්න කාලේ ගෙනාපු යෝජනාවක්නේ.
      මංගල ඕක ගේනාවේ. දන්න හුයන්නක් කතා කරහන් බන්. ඒ කාලේ තොපිල ඕවට බැනල දැන් එනවා ලකුණු දාගන්න.
      http://www.colombopage.com/archive_18B/Sep11_1536641816CH.php
      ගොන් කමෙත් සීමාවක් තියෙන්න ඕන.
      ඕව විතරක් නොවෙයි, අපි කියන්නේ ලංකාවේ වැදගත් තැන නැරබීමේ එන්ට්‍රි ෆී ලෙස සංචාරකයන්ගෙන් අසාධාරණ ලෙස ගසා කන මුදලුත් නැති කරන්න ඕන.

      Delete
  3. We are seeing everything in negative light and/or political light. It is good to see the facts once in while (thanks Econ) Ask Mr Mongal, he will tell you in USD and billions. Others will say, yes report but this or that (None are so blind than those refused to see)

    We had fairly good arrivals even during the separatist war (what war?)

    ReplyDelete
  4. එක්සත් රාජධානියෙන් එන අයගේ වැඩි වීමට හේතුව "බාමි ආමි" එක කියලයි දෙරණ වාර්තා කරලා තිබුනේ...

    ඉකොනොමැට්ටා දිගින් දිගටම රුපියල අවප්‍රමාණය වීම යහපත් කියන්නයි, අනිත් ඔක්කොම දිව හපාගෙන රුපියල අධිප්‍රමාණය කරන්න දැගලිල්ලයි මට තේරෙන්නෙම නෑ...

    ReplyDelete
    Replies
    1. ඒක තේරෙනවා චීනේ, ජපානේ වගේ උන් උන්ගේ මුදල් ඒකකය අවප්‍රමාන කරගන්න දඟලන දැගලිල්ල දැක්කනම්. ජපානේ යෙන් එක පහල යනව කියන්නේ ආර්ථිකේ හොඳවෙලා කොටස් වෙළඳපොල උඩ යනවා.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: