වෙබ් ලිපිනය:

Thursday, December 13, 2018

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව


ලංකාවේ සහ ලෝකයේ බොහෝ දෙනෙක් බලා සිටි මූලික අයිතිවාසිකම් නඩු දහයක තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ වන විට ලබා දී තිබෙනවා. මෙය ඉතා වැදගත් නඩු තීන්දුවක්. රුපියල් බිලියන ගණනක දැවැන්ත පාඩුවකින් කෙළවර වූ තෙල් සංස්ථාවේ හෙජින් ගිවිසුම් ගැන සරසවි ගණනාවක මූල්‍ය කළමනාකරණ පාඨමාලා වලදී කතා කෙරෙනවාක් මෙන් මේ නඩු තීන්දුවටත් අනාගතයේදී ශාස්ත්‍රාලයීය වැදගත්කමක් ලැබෙනු ඇතැයි සිතිය හැකියි.

ලංකාවේ දැනට පවතින දේශපාලන අර්බුදය ඇරැඹුණේ පසුගිය ඔක්තෝබර් 26 වෙනිදා ඒ වන විට නීත්‍යානුකූල අගමැති වූ රනිල් වික්‍රමසිංහව ධුරයෙන් පහකොට මහින්ද රාජපක්ෂව අගමැති සේ පත් කරන්නට ජනාධිපති සිරිසේන විසින් කටයුතු කිරීමත් සමඟයි. මෙය ව්‍යවස්ථා විරෝධී බව අප ඒ වෙලාවේම පෙන්වා දුන්නා. අදාළ ලිපිය අවසන් කළේ පහත ආකාරයටයි.

"දැනට පවතින ව්‍යවස්ථාවට අනුකූලව රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කරන්න තිබුණු පහසුම ක්‍රමය විශ්වාස භංග යෝජනාවකින් ආණ්ඩුව පරාජය කිරීමයි. එවිට, අමාත්‍ය මණ්ඩලය වගේම අගමැතිවරයාත් අලුතින් පත් කිරීමේ බලතල ජනාධිපතිවරයාට හිමිවෙනවා. ඒ සඳහා උත්සාහයක් දැරුවත් එය සාර්ථක වුනේ නැහැනේ. මේ විදිහට ව්‍යවස්ථාවට පිටින් ගිහින් අගමැති ඉවත් කිරීමේ අදහස එන්න ඇත්තේ ඉන් පසුව වෙන්න ඇති.

මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තුවේ බහුතර බලය වුවත් නැති වෙන්න පුළුවන්. ඔහුට බහුතර බලය තිබෙනවානම් අලුතෙන් පත්වන ආණ්ඩුවක් පාර්ලිමේන්තුවේදී පරාජය කළ හැකියි. නමුත්, එවැනි තත්ත්වයක් ඇති වෙන්නේ ඔහු අගමැති ධුරය හැර ගියොත්. එසේ ධුරය හැර යනවා කියන්නේ ඔහු ජනාධිපතිගේ ක්‍රියාවේ නීතිමය වලංගු භාවය පිළිගැනීමක්. රනිල් එහෙම කරයිද?

රනිල් නීතිය මත ඕනෑවට වඩා විශ්වාසය තියාගෙන ඉඳලා තිබෙන බව පේනවා. ලංකාව වගේ රටක මිනිස්සු හිතන විදිහ ගොඩක් වෙලාවට නීතියට වඩා බලවත්. ඒ තත්ත්වය වෙනස් කරන්න රනිල්ගේ කාලයේදී යම් උත්සාහයක් දැරුවත් ලොකු වෙනසක් වෙලාද කියන එක සැක සහිතයි.

ඒ නිසා, මේ වෙලාවේ ඇත්තටම ලංකාවේ සෑහෙන අවුලක් තියෙනවා. ඒ අවුල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවම විසඳෙයි කියා හිතන්න අමාරුයි. පොතේ නීති තිබුණත් සාමාන්‍ය කරුණකදී ඒ නීති ලංකාවේ බොහෝවිට ක්‍රියාත්මක වුනේ පොතේ හැටියටම නෙමෙයි. දැන් මේ තත්ත්වය සාමාන්‍ය කරුණු නොවන ලොකු කරුණු දක්වාම දුර දිග ගිහින්.

මිනිස්සු ඉන්නේ මහින්ද එක්ක කියා පෙනෙන විට රනිල් පහුබහින්න ඉඩතිබෙනවා. රනිල් අගමැති ධුරය අතහැර ගියොත් එජාප මන්ත්‍රීවරුන් අනිත් පැත්තට පනින එක වලක්වන්න කොහොමත් බැරි වෙනවා. ඒ නැතත්, රනිල් ඉදිරියේ තියෙන්නේ සෑහෙන අවදානමක්.

රනිල් පරාජය බාර ගනීද? තමන් අවුරුදු තුනක් තිස්සේ රටේ අධිකරණ පද්ධතිය කොයි තරම් ශක්තිමත් කරලා තියෙනවද කියලා පරීක්ෂා කරන්න යයිද? මේ තත්ත්වයට වෙනත් රටවල් කවර ආකාරයෙන් ප්‍රතිචාර දක්වයිද?"

රනිල් පරාජය භාරගත්තේ නැහැ. ඔහු අගමැතිධුරය අතහැර නොදැමූ නිසා රටේ දේශපාලන බලතුලනය මහින්ද-මෛත්‍රී පාර්ශ්වය අපේක්ෂා කළ ආකාරයට වෙනස් වුනේ නැහැ. මෙහි ප්‍රතිඵලයක් විදිහට මන්ත්‍රීවරයකු මිල දී ගැනීම සඳහා ගෙවිය යුතු මිල විශාල ලෙස ඉහළ ගියා. මිලියන පන්සීයක් ගෙවා හෝ අවශ්‍ය මන්ත්‍රීවරුන් ගණන හොයා ගන්න අපහසු වූ බව මේ වන විට ජනාධිපති සිරිසේන විසින්ම ප්‍රකාශ කර ඇති දෙයක්. ජනාධිපති සිරිසේන මේ ප්‍රකාශය කරන්න කළින්ම මා මේ විදිහට මන්ත්‍රීවරුන්ගේ මිල ඉහළ ගියේ ඇයි කියා පැහැදිලි කළා. මා කතා කළේ පුළුල් ලෙස "ආවස්ථික පිරිවැය" ගැනයි. ජනාධිපති සිරිසේන කතා කළේ එහි එක් කොටසක් වන මුදල් පිරිවැය ගැන පමණයි. නමුත්, සැබෑ පිරිවැයට ඇමතිධුර, ෆයිල් යටගැසීම් වැනි තවත් බොහෝ දේ ඇතුළත්.

"ලංකාවේ මහජන මන්ත්‍රීවරුන් මුදලට විකිණීම ඒ අයගේ හෝ ඒ අයව මිල දී ගන්නා අයගේ පමණක් වැරැද්දකින් සිදුවන්නක් නොවෙයි. ඒ අයව තෝරා ගන්නා ඡන්දදායකයින් විසින් වක්‍රව එවැනි කටයුතු අනුමත කිරීමත් එයට හේතුවක්. එය එසේ නොවන විට මහජන මන්ත්‍රීවරයෙකු විසින් මුදලට පක්ෂපාතීත්වය මාරු කිරීමේ ආවස්ථික පිරිවැය විශාල ලෙස ඉහළ යාම හේතුවෙන් මේ ආකාරයට මන්ත්‍රීවරුන් මිල දී ගැනීම වඩා අසීරු කාර්යයක් බවට පත් වෙනවා. පසුගිය දෙසතිය තුළ දකින්නට ලැබුණේ ඒ තත්ත්වයයි."

අර්බුදය ඇරැඹෙන විට ජනප්‍රියත්වයෙන් ඉතාම පහළ අඩියක හිටපු රනිල් වික්‍රමසිංහට වැඩිම සහයෝගයක් දුන්නේ ඇතැම් මහින්දාගමිකයින් විසිනුයි. දේශපාලනිකව මහින්ද වෙනුවෙන් පෙනී සිටියත්, ඉහළම ශාස්ත්‍රාලයීය සුදුසුකම් හා විනයක් තමන්ට ඇති බව පෙන්වාගෙන සිටි ඇතැම් මහින්ද පාක්ෂිකයින් තමන්ගේ පෞද්ගලික වාසි හා 2015 ආණ්ඩු පෙරළියෙන් පසුව තමන්ට නැති වූ දේ වෙනුවෙන් නීතිය, ශිෂ්ඨත්වය හා ඇතැම් විට පෞද්ගලික මිත්‍රත්වයන් පවා කොයි තරම් දුරට අමතක කරන්න පුළුවන්ද කියා පෙන්වන්න පැය ගණනකට වඩා කල් ගත්තේ නැහැ. රෝයල් ගියත් උපන් ගති නෑරේ කියා කවුද ඇනෝ කෙනෙක් කලකට පෙර කියල තිබුණනේ.

හැබැයි මහින්ද වෙනුවෙන් පෙනී සිටි සියළු දෙනාවම මේ ගොඩට දමන්න බැහැ. මේ ඇතැම් අය රනිල් විරෝධීන් හා වඩා පුළුල් ලෙස බටහිර විරෝධීන් වුවත් මහින්දාගමිකයින් වුණේ නැහැ. ඔවුන්ගේ ප්‍රමුඛ තේරීම මහින්ද වීමත්, ඉදිරිපත් කළ තර්ක පක්ෂග්‍රාගී වීමත් වෙනම කරුණක්.

අදහස් දැක්වීමේදී පක්ෂග්‍රාහී වීමේ වැරැද්දක් නැහැ. විශේෂයෙන්ම නීති වෘත්තියේ යෙදෙන්නන්ගෙන් අපේක්ෂා කෙරෙන්නේ තමන්ගේ සේවාදායකයා වෙනුවෙන් පෙනී සිටීම මිසක් අපක්ෂපාතී වීම නෙමෙයි. අපක්ෂපාතී විය යුත්තේ අධිකරණයයි.

අධිකරණයේ අපක්ෂපාතීත්වය පිළිබඳව සැක සංකා පැවති යුගයක් තිබුණා. පසුගිය ජනාධිපතිවරණයේදී රාජපක්ෂ ඉක්මවා සිරිසේනට මතු වෙන්න ඒ සැක සංකා වලිනුත් තල්ලුවක් ලැබුණා. ඒ හේතුව මත සිරිසේන-වික්‍රමසිංහ සංයෝගයට ඒ සැක සංකා දුරු කරන්න කිසියම් කාර්ය භාරයක් කරන්න බල කෙරුණා. එහි ප්‍රතිඵල දැන් පෙනෙන්නට තිබෙනවා.

පරාජය භාර නොගත්තත්, තමන් අවුරුදු තුනක් තිස්සේ රටේ අධිකරණ පද්ධතිය කොයි තරම් ශක්තිමත් කරලා තියෙනවද කියලා පරීක්ෂා කරන්න රනිල් මුලදීම හිතුවේ නැහැ. මේ ගැන ඔහුගේ සැක සංකා මුළුමනින්ම දුරු වී නොතිබෙන්න ඇති. එයටත් හේතුවක් තිබෙනවා. සදාචාරාත්මක හේතු මත ලියන්නේ නැහැ. රනිල් විශ්වාසය තැබුවේ ප්‍රධාන වශයෙන්ම ව්‍යවස්ථාදායකය මත හා යම්තාක් දුරකට ජාත්‍යන්තර සහයෝගය මතයි.

මහින්ද-මෛත්‍රී පාර්ශ්වයන් විසින් රනිල් නිකම්ම අගමැතිකම හැර යනු ඇති බව උපකල්පනය කළේයැයි සිතීම ඕනෑවට වඩා සරල නිගමයක්. එය එසේ නොවනු ඇති බව ඔවුන් දැන නොසිටින්නට හේතුවක් නැහැ. රනිල් අගමැතිකම හැර දමා යනු ඇති බවට සහතිකයක් තිබුණානම් රාජ්‍ය මාධ්‍ය වල බලය අල්ලා ගැනීමට ඔය තරම් ප්‍රමුඛත්වයක් දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ අනුව, පාර්ලිමේන්තුව කල් තැබීමත් මහින්ද-මෛත්‍රී පාර්ශ්වයේ මුල් සැලසුමේම කොටසක් ලෙස සලකන්න පුළුවන්.

පාර්ලිමේන්තුව කල් තැබීම නිසා රනිල්ට ව්‍යවස්ථාදායක බලය යොදා ගනිමින් විධායකයේ බලයට අභියෝග කරන්න තිබුණු ඉඩකඩ ඇහිරුණා. ඒ එක්කම රනිල්ලාගේ පැත්තේ සිටි මන්ත්‍රීවරුන් එකිනෙකා අඩු වීමේ අවදානමක් ඇති වුණා. මේ වන විට ඇති වී තිබුනේ විධායකය විසින් ව්‍යවස්ථාදායකයේ බලයට අභියෝග කිරීමක් නිසා ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමට අධිකරණයේ මතය විමසිය යුතු බවයි ඔක්තෝබර් 28 වන විටත් මගේ මතය වුණේ.

"විධායකය ක්‍රියා කරලා තියෙන්නේ වැරදියටනම්, අදාළ ක්‍රියාවේ වින්දිතයා වී ඉන්නේ  ව්‍යවස්ථාදායකයනම් ව්‍යවස්ථාදායකයට පමණක් තනිව ප්‍රශ්නය විසඳා ගැනීම අසීරුයි. මේ වෙලාවේ කළ යුත්තේ අධිකරණයේ සහයෝගය ලබා ගැනීමයි. සහයෝගය ලබා ගැනීම කියන එකෙන් අදහස් කළේ රනිල්ට දිගටම බලයේ ඉන්න සහයෝගය ලබා ගැනීම නෙමෙයි. ව්‍යවස්ථාව අනුව ජනාධිපතිගේ බලතල අර්ථනිරුපණය කර ගැනීම හා ජනාධිපති වැරදියට ක්‍රියාකර ඇත්නම් ගත යුතු ක්‍රියාමාර්ග ගැන දැනගැනීමටයි අදහස් විමසිය යුත්තේ. යම් විදිහකින් රනිල්ව ඉවත් කිරීම ව්‍යවස්ථාව අනුව නිවැරදි බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතයනම් පාර්ලිමේන්තුව රැස් වූ පසු අලුත් ආණ්ඩුව පරාජය කරන්න උත්සාහ කිරීම දෙවනුව සලකා බැලිය යුතු කරුණක්."

මේ කරුණේදී අධිකරණය සම්බන්ධ කරගත හැකි ආකාර දෙකක් තිබුණා. පහසුම ආකාරය වුණේ ජනාධිපතිවරයා විසින් අධිකරණයේ මතය විමසීමයි. තමන් කටයුතු කරන්නේ ව්‍යවස්ථාවට අනුකූලව බව ජනාධිපති සිරිසේන විසින් අවංකවම විශ්වාස කළේනම් ඔහුට අධිකරණයේ මතය විමසා ඉතා පහසුවෙන් ඒ බව තහවුරු කර ගත හැකිව තිබුණා. මීට පෙර තමන්ගේ ධුර කාලය පිළිබඳව පැවති අවිනිශ්චිතතාවය දුරු කරගැනීම සඳහා ඔහු අධිකරණයේ මතය විමසා තිබුණා.  එවැනිම කරුණක් හා අදාළව ඊට පෙර එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින්ද අධිකරණයේ මතය විමසා තිබුණා. නමුත්, මෙවර ඔවුන් එසේ නොකළේ රටට මොනවා කිවුවත් තමන් කරන දේ ගැන ඔවුන් දැන සිටි නිසයි.

අධිකරණය සම්බන්ධ කරගත හැකිව තිබුණු දෙවන ආකාරය මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමයි. එය රටේ ඕනෑම පුරවැසියෙකුට කළ හැකිව තිබුණු දෙයක්. පැවති දේශපාලන අර්බුදය හා අදාළව (මා දන්නා තරමින්) මුලින්ම මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබුණේ නාගානන්ද කොඩිතුවක්කු විසිනුයි. නමුත්, ඔහු විසින් අභියෝගයට ලක් කර තිබුණේ පාර්ලිමේන්තුව කල් තැබීම මිස රනිල් ඉවත් කර මහින්දව පත් කිරීම නෙමෙයි. මා දන්නා තරමින් රනිල්ව ඉවත් කිරීම අභියෝගයට ලක් කර තිබෙන්නේ මුලින්ම දඹර අමිල හිමි විසින් හා පසුව ඕෂල හේරත් විසින්. මේ පෙත්සම් දෙක මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වෙමින් පවතිනවා.

අධිකරණය ගැන ඒ වන විටත් නොසිතූ රනිල් මුලදී උත්සාහ කළේ කල් තබා තිබුණු පාර්ලිමේන්තුව හැකි ඉක්මණින් නැවත රැස් කරගන්නයි. ඒ වෙනුවෙන් රනිල් පාර්ශ්වය ජනාධිපති සිරිසේනට බලපෑම් කළත් ඒ බලපෑම් වලින් වැඩක් වුනාද කියන එක සැකසහිතයි. මේ කටයුත්තේදී රනිල් ජාත්‍යන්තර සහයෝගයත් හෙවුවා.

ජාත්‍යන්තර මතය දිගටම තිබුණේ රනිල්ට වාසිදායක අයුරිනුයි. ඔක්තෝබර් 28 වෙනිදා වෙද්දී වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස ඉල්ලා සිටිමින් ඇමරිකාව විසින් නිවේදනයක් නිකුත් කළා. ඊළඟ දවස් කිහිපය ඇතුළත ජනාධිපති සිරිසේන මත පීඩනයක් ඇති කරන්න තවත් බටහිර රටවල් එකතු වුණා. පාර්ලිමේන්තුව රැස් කරන බව ජනාධිපතිවරයා ඔවුන්ට පොරොන්දු වී තිබුණා. ඒ එක්කම රනිල් ඉවත් කර මහින්දව පත් කිරීම ව්‍යවස්ථා විරෝධී බවත්, නීත්‍යනුකූල අගමැති සේ තමන් පිළිගන්නේ රනිල් වික්‍රමසිංහව බවත් කතානායකවරයා විසින් ප්‍රකාශ කිරීම නිසා පාර්ලිමේන්තුව නැවත රැස් කිරීම ගැටළුකාරී දෙයක් බවට පත් වුණා. කවුරු හෝ විසින් අධිකරණය වෙත යාමේ වැදගත්කම ඒ වෙලාවේදී මා නැවතත් අවධාරනය කළා.

"මේ වෙලාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයාගේ ක්‍රියාව ව්‍යවස්ථාව අනුව අර්ථ නිරූපණය කළ වහාම පවතින අර්බුදය විධායකයේ හෝ ව්‍යවස්ථාදායකයේ වාසියට කැරකෙනවා. එය කොයි පැත්තට කැරකෙයිද කියා ස්ථිරව කීමේ හැකියාවක් මට නැහැ. අදාළ පාර්ශ්ව දෙකෙන් එකක්වත් ඒ අවදානම ගන්න සූදානමක් ඇති බවක් පෙනෙන්නේ නැහැ."

ඒ වගේම, ලිපිය මුලින්ම සටහන් කළ මගේ මතය හෝ වෙනත් අයෙකුගේ පෞද්ගලික මතය මේ කරුණේදී එතරම් වැදගත් නොවන බවත්, වැදගත් වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය බවත් 125(1) අනුව්‍යවස්ථාව උපුටා දක්වමින් මා පෙන්වා දුන්නා. එසේ කළේ ඒ වන විටත් ව්‍යවස්ථා විශාරදයින් වැහි වැහැලා හිටපු නිසයි.

"මේ වගේ වෙලාවක අවසන් තීරණය තියෙන්නේ කාගේ අතේද? පහත උපුටා දක්වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 125(1) අනුව්‍යවස්ථාව. ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ තනි හා අනන්‍ය බලය තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයටයි. අපි වගේ බ්ලොග් පඩංගු ලියන හාල් කෑලි වලට වගේම වෙනත් ව්‍යවස්ථා විශාරදයින්ටත් අදහස් දක්වන්න පුළුවන් වුවත් ඒවා නිකම්ම නිකම් අදහස් පමණයි."

රනිල් ඉවත් කර මහින්දව පත් කිරීමේ තීරණය සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ නිල මතය තවමත් ප්‍රකාශයට පත් වී නැහැ. අදාළ නඩු විභාගය නැවත ආරම්භ වනු ඇත්තේ උසාවි නිවාඩු කාලය අවසන් වීමෙන් පසුවයි. කොහොම වුනත්, ඔක්තෝබර් 26 දින සිටම රනිල් පාර්ශ්වයේ ආණ්ඩු කිරීම අරලියගහ මන්දිරයේ වාසය කිරීමට සීමා වී තිබුණා. මේ හා අදාළව ඇතැම් විට දෙපාර්ශ්වය අතර කිසියම් එකඟතාවයක් තියෙන්න ඇති.

ඔක්තෝබර් මාසය අවසන් වෙද්දී දෙපාර්ශ්වය අතර කිසියම් එකඟතාවයක් ඇති වන්නට යන බවක් පෙනෙන්නට තිබුණා. මේ එකඟතාවය ඇති වුනේ තමන් නිල අගමැතිවරයා ලෙස පිළිගන්නේ රනිල්ව වුවත්, පාර්ලිමේන්තු මහලේකම් වරයා විසින් ජනාධිපතිවරයාගේ ගැසට් පත්‍රය පිළිගනිමින් මහින්ද රාජපක්ෂව අගමැති සේ සලකා අසුන් පනවන්නේනම් එයට බාධා නොකිරීමට කතානායකවරයා අනුකූලතාවයක් දැක්වීම මතයි. නොවැම්බර් 14 දින පාර්ලිමේන්තුව නැවත රැස් කෙරෙන බවට ගැසට් නිවේදනයක්ද නිකුත් කෙරුණා.

මහින්ද-මෛත්‍රී පාර්ශ්වයට පාර්ලිමේන්තුවේ බහුතරය හදා ගැනීමේ ඉඩක් නැති බව මේ වන විට කාටත් පැහැදිලි වී අවසන්. මේ වගේ ගැටුමකින් පසුව කිසියම් සම්මුතියකට එළැඹෙන්නනම් පරාජිත පාර්ශ්වයටත් කිසියම් හෝ පෙන්විය හැකි ජයග්‍රහණයක් අවශ්‍ය වෙනවා. ඒ අනුව, මහින්ද වෙනුවට රනිල් නොවන වෙනත් අයෙකු පත්කරන්න ජනාධිපති සිරිසේන විසින් උත්සාහ දැරුවා. ඔහු තවමත් මේ උත්සාහය අතහැර නැහැ.

තවමත් එජාපයේ බහුතරයකගේ කැමැත්ත ලබන නායකයා රනිල් වික්‍රමසිංහයි. ඔහු සමඟ පාර්ලිමේන්තුවේ බහුතරය සිටින බවත් මේ වන විට තහවුරු කර අවසන්. 43(4) අනුව්‍යවස්ථාව අනුව "ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් වශයෙන් ඇති මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කළ හැක්කේය" කියා සඳහන් වෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට සිය ධුරයේ කටයුතු කිරීමට හැකි තරමේ ශාරීරික හා මානසික යෝග්‍යතාවයක් තිබිය යුතුයි. එවැනි ශාරීරික හා මානසික යෝග්‍යතාවයක් තිබෙන සාමාන්‍ය පුද්ගලයෙකුට පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් වශයෙන් ඇති මන්ත්‍රීවරයා කවුද කියන එක නිර්ණය කිරීමේ හැකියාවක් තිබිය යුතුයි. නමුත්, මෙහිදී වැරදීම් වෙන්න පුළුවන්.

"ජනාධිපතිවරයාගේ මතය අනුව" කියන එකෙන් අදහස් වෙන්නේ "පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් වශයෙන් ඇති මන්ත්‍රීවරයා" කවුද කියන එක පැහැදිලි නැති වෙලාවක එය නිගමනය කිරීමේ අවකාශය ජනාධිපතිවරයා වෙත ඉතිරි කර ඇති බව මිසක් ඔහුගේ පෞද්ගලික රුචිඅරුචිකම් අනුව හෝ තමන්ට වැඩ කිරීමේ පහසුව මත අගමැති පත් කළ යුතු බව නෙමෙයි. ජනාධිපතිවරයාගේ තේරීම නිවැරදිම තේරීම නෙමෙයිනම් පත් කළ අගමැතිවරයාව විශ්වාසභංගයකින් පරාජය කිරීමේ හැකියාව පාර්ලිමේන්තුවට තිබෙනවා.

සාමාන්‍ය සම්ප්‍රදාය වන්නේ පාර්ලිමේන්තුවේ බහුතර නියෝජනයක් තිබෙන පක්ෂයේ නියෝජිතයා ජනාධිපති විසින් අගමැති සේ පත් කිරීමයි. ඔහු හෝ ඇය "පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් වශයෙන් ඇති මන්ත්‍රීවරයා" ලෙස නිර්ණය කිරීම අපහසු නැහැ. නමුත්, කිසිදු දේශපාලන පක්ෂයකට බහුතර නියෝජනයක් නැත්නම් මේ වැඩේ කරන එක අසීරුයි. මේ වගේ අවස්ථා වලදී, කිසියම් අගමැති අපේක්ෂකයෙකු විසින් තමන්ට බහුතර සහයෝගය තිබෙන බව ලිඛිතව දැනුම් දීම මඟින් ඉහත අවිනිශ්චිතතාවය නැති කළ හැකියි.

මා දන්නා තරමින් 2015දී ජනාධිපති සිරිසේන විසින් රනිල් වික්‍රමසිංහව අගමැති සේ පත් කළේ ඉහත පදනම් දෙකෙන් එකක්වත් අනුව නෙමෙයි. නමුත්, ඒ වෙලාවේ ජනාධිපතිවරයා විසින් කළ පත් කිරීම පාර්ලිමේන්තුවේදී අභියෝගයට ලක් වුනේ නැහැ. ඉන් පසුව දිගටම රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තුවේ බහුතරයකගේ සහයෝගය ලැබුණා. ඔහුට එරෙහිව ඉදිරිපත් වුනු විශ්වාස භංගයකදී පවා මේ තත්ත්වය තහවුරු වුනා. ඒ අනුව, "පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් වශයෙන් ඇති මන්ත්‍රීවරයා" කවුද යන්න පිළිබඳව "ජනාධිපතිවරයාගේ මතය" නිවැරදි බව දිගින් දිගටම තහවුරු වුනා. එයින් පෙනෙන්නේ ඒ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතළිස් ගණනක් පමණක් සිටි එජාපයේ නියෝජිතයෙකුට පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් වශයෙන් තිබෙනවාය යන නිවැරදි, එහෙත් අසීරු නිගමනයට එළැඹෙන්න තරමට ශාරීරික හා මානසික යෝග්‍යතාවයක් ජනාධිපති සිරිසේනට තිබුණු බවයි.

ඒ ශාරීරික හා මානසික යෝග්‍යතාවය ජනාධිපති සිරිසේනට තවමත් තිබෙනවාද කියා මා දන්නේ නැහැ. මෙයත් මේ වන විට අධිකරණය හමුවේ විනිශ්චයට භාජනය වී තිබෙන කරුණක්.

එජාපය ඇතුළු දේශපාලන පක්ෂ වලට හා ජාත්‍යන්තර ප්‍රජාවට පොරොන්දු වූ පරිදි හා ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කෙරුණු පරිදි පසුගිය නොවැම්බර් 14 වෙනිදා පාර්ලිමේන්තුව රැස් කෙරුණේ නැහැ. ඒ වෙනුවට ජනාධිපති සිරිසේන විසින් කළේ ව්‍යවස්ථා විරෝධීව පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවීමයි. මේ කටයුත්ත ව්‍යවස්ථා විරෝධී බව මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ සප්ත පුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් ඒකමතිකවව තීන්දු කර අවසන්. එය තවදුරටත් මගේ අදහසක් පමණක් නෙමෙයි.

මේ හා අදාළව එදින මා ලියූ දේවල් පහත ලිපියේ තිබෙනවා.

8 comments:

  1. Unfortunately, this power struggle will drag on till next election. President still have lot of executive powers with his office. UNP+ will still be in government to September 2019, but President will be a road block in every corner.

    However, the bad thing is, inefficient and unpopular UNP+ suddenly become heroes with this drama palyed by Mr Sirisena.

    ReplyDelete
    Replies
    1. Yes you are right my friend. Agree with you. Another useless & jonless year for Sri Lankans. 2019 will be a nightmare for poor Lankans. What to do?

      Delete
  2. ජනපති තැන
    ගමරාලෙකි
    නැත ඒ ගැන
    මට කුකුසක්

    නොදනී ඔහු
    වැඩි විස්තර
    ව්‍යවස්‌ථාව
    ගැන ඔච්චර

    ඒත් ඉතිං
    උන්නැහෙ ළඟ
    කැරකි කැරකි
    උපදෙස් දෙන
    පෙරකදෝරු කාක්කන්ට
    මේ තරමට වැරදුනාද?

    ReplyDelete
  3. මට හිතෙන්නෙ ජනාධිපතිවරයා, ජනාධිපතිවරණයකට යයි කියලා.. තීරණය මොක වුනත් මැතිවරණයකට සූදානම් වෙන්න කිව්වේ ඒක නිසා වෙන්න පුළුවන්...

    ReplyDelete
  4. රනිල් වික්‍රමසිංහ මහතාව කිසිවිටක අගමැති කරන්නේ නැති බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැවත වරක් (මේ කියන්නේ විසිපස් වෙනි වතාවට විය හැකියි) කියූ බව පුවත් පත්වල තියනවා. දේශපාලනයේදී සදාකාලික මිතුරන් හෝ සතුරන් නැති බවත්, ප්‍රතිපත්ති මිස පුද්ගලයින් විවේචනය නොකළ යුතු බවත්, තේරුම් ගැනීමට තරම් දැනුමක් මෛත්‍රීපාල සිරිසේන ජනපති තුමාට නැතිද ?. එහෙම නැතිනම් එතුමා වටේ ඉන්න කේවට්ටයින් මේ සියලු දේවල් දැන දැනම එතුමාව අමාරුවේ දානවාද?. 2015 ට පෙර මහින්ද රාජපක්ෂ මහතා සිතා සිටියේත් මේ ආකාරයටමයි. බෙන්තර ගඟෙන් එහා ඉපදිච්ච කෙනෙක් කියලා පම්පෝරි ගැහුවට අන්තිමට වෙච්ච දේ අපි හැමෝම දැක්කානේ. එතුමාවත් අමාරුවේ දැම්මේ විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ගුණවර්ධන ඩබල, සාත්තර සුමනදාස වැනි පුද්ගලයින් බව මගේ හැඟීමයි. එතුමා, එවැනි පුද්ගලයින් කෙරේ විශ්වාශය තැබීම ගැන මට පුදුමයක් නැහැ . කොහොම උනත් පසුගිය වසර තුන ඇතුලත ලංකාවේ අධිකරණයේ ස්වාධීනත්වය, මානව හිමිකම්, සහ මාධ්‍ය නිදහස යන මූලික කාරනා (මහ බැංකුව කැඩුවා උනත් ) වල ඇතිවුන සුභවාදී දියුණුව නිසා, වර්තමානයේ (මේ ප්‍රශ්නය උද්ගත වූ දින දක්වා)ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ යම් ස්ථාවර තත්වයක හිටියා. රජයේ මුදල් අවභාවිතාවේ යෙදවීම වැලැක්වීම නිසා අග විනිසුරුවරිය ගෙදර යැවූ, රජයේ සේවකයෙකු තමා විසින්ම ගස් බැඳගත්, පාලන තන්ත්‍රයේ දුෂණ හෙළිදරව් කල මාධ්‍යවේදීන් අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ, භූමිතෙල් සහනාධාරය අත් හිටුවීමට එරෙහිව(හලාවත), EPF/ETF නැතිකර මතබේද කාරී විශ්‍රාම වැටුපක් ගෙන ඒමට එරෙහිව(කටුනායක FTZ ), තමන්ගේ ගෙවතු වල භූගත ජලය අපිරිසිදු කිරීමට එරෙහිව (රතුපස්වල) උද්ඝෝෂණ කල ජනතාව ඝාතනය කල, රජ කුමාරයයින් ක්‍රීඩාවේ යෙදෙන විට රිෆෙරිලාට දෙවියන්ගේ පිහිටවත් නොමැති යුගයක් පසු කල අපේ රට (ජාතිවාදී යුද්ධය අවසන් කිරීමේ ගෞරවය, අඩුවක් නොමැතිව මහින්ද රාජපක්ෂ රජයට ලැබිය යුතු බව මම පිළිගන්නා අතර ඊට මුල් වූ කාරනා ගැන කථා නොකර සිටිමි ) අද දින මේ තත්වයේ තියෙන්නේ කොහොමද කියා සිතිය යුතුයි. "ලංකාව" කියන්නේ ලෝකයේ තියන කුඩාම රටක් මිස, "ලෝකය" තියෙන්නේ ලංකාවේ නොවන බව නොදන්නා විමල් වීරවංශ, උදය ගම්මන්පිල වැන්නවුන් සහ රුපියල් දෙදාස් පන්සීයකින් සිවු දෙනෙකුගෙන් සමන්විත පවුලකට, මසක් ජීවත් විය හැකි යැයි කියනා බන්දුල ගුණවර්ධන හෝ දෙසිය විසි හතරකින් එකසිය දා හතක් අඩු වූ විට ඉතිරිය, එකසිය දා හතට වඩා විශාල යැයි කියනා දිනේෂ් ගුණවර්ධන දෙබෑයන් තවමත් මහජනතාව ඉදිරියට ඇවිත් මාධ්‍ය ප්‍රකාශ නිකුත් කරනවා නේද ??

    මට තේරෙන හැටියට මාධ්‍ය නිදහස කියන එක ලංකාවේ ජනතාව කවදාවත් භුක්ති වින්ද වරප්‍රසාදයක් නොවෙයි. මාධ්‍ය නිදහස කියන්නේ රජය අප්‍රසාදයට පත් කිරීමට (මාධ්‍යවේදීන් මැරුම් නොකා, මාධ්‍ය ආයතන ගිනි නොතබා) ලැබුන වරමක් ලෙස සලකන බව පේනවා. කොහොම උනත් අපි මේ නාට්‍යයේ ප්‍රේක්ෂකයන් මිසක් නළුවන් නොවන බව මමත් සහසුද්දෙන්ම දන්නවා. අද සිකුරාදා, සතියේ වැඩ නිමා කිරීමේ සන්තෝෂය නිසාත්, ඉදිරි දින දෙකේ විවේකය නිසාත්, "දෙකක් දාගෙන"කරන මේ ප්‍රකාශය නිසා කාට හරි හිත රිදුනානම් සමාව අයදිමි.

    ReplyDelete
  5. ඉකොනොමැට්ටා මට තේරෙන හැටියට මේ නාට්‍යය සිරාගේ හොර ගේමක් මහින්දව චාටර් කරන්න කරපු. සිරා, කතානායක කරු ජයසූරිය, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් රහසේ සිදු වී ඇති බව වාර්තා වෙනවා. ඊයේ රාත‍්‍රී අධිකරණ තීන්දුවෙන් පසුව අතිශය පුද්ගලික ලෙස මෙම හමුව පවත්වා ඇතැයිද සදහන් වෙනවා.

    පිස්සුසිරා ඔය රග දැක්වූයේ ”දෙවැනි ආප්ප වටය” කියලත් හිතෙනවා. දැන් පහුගිය දවස් ටිකේ පිස්සුසිරාව කරේ තියාගෙන ගිය මෝඩ බයියන්ගේ කටවල් වල පිට්ටුද?

    ReplyDelete
  6. කටේ පිට්ටු නෙවෙයි, මුකවල් පූට්ටු වෙලා!

    ReplyDelete
  7. Sam, I think poor people in SL need more economic growth (money to spend) more than 5 star democracy. This was shown in local elections, however english speaking colombo society (who are not poor) would like all of the above you indicated. None of asian economies, who moved from 3rd world to 1st world do not still have so called 5 start democracy.(look at singapore)

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: