වෙබ් ලිපිනය:

Thursday, November 21, 2019

අයියාට මේ රජ ගේ...


මහින්ද රාජපක්ෂ තෙවන වරටත් ලංකාවේ අගමැති සේ දිවුරුම් දී තිබෙනවා. ජනාධිපතිවරණයකින් පසුව ආණ්ඩුව මාරු වීමේ අනිවාර්ය අවශ්‍යතාවයක් නැතත්, රනිල් වික්‍රමසිංහ විසින් ජනමතය වෙනස් වී ඇති ආකාරය තේරුම් ගෙන අගමැති කමින් ස්වේච්ඡාවෙන් ඉල්ලා අස්වීම නිසා බල හුවමාරුව සුමට ලෙස සිදු වී තිබෙනවා. ඉදිරියේදී නැවත වටයකින් සිදු වීමට නියමිත එජාපයේ බිඳ වැටීමෙන් පසුව රාජපක්ෂ වරුන්ගේ දේශපාලන බලයට නුදුරු කාලයක ලොකු අභියෝගයක් ඇති වීමේ හැකියාවක් පෙනෙන්න නැහැ.

මෙවර මහින්ද රාජපක්ෂ අගමැති සේ දිවුරුම් දෙන්නේ තමන්ගේ බාල සහෝදරයා ඉදිරිපිටයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටියදී ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්. ඡායාරූපයේ වම් පසින් ඉන්න පී බී ජයසුන්දර එවකට මුදල් අමාත්‍යංශයේ ලේකම්. 2015 පරාජය දක්වා ආණ්ඩුවේ බරෙන් විශාල කොටසක් ඇද්දේ මේ තුන් දෙනා කියා කියන්න පුළුවන්. ඒ කාලයේ සිදු වූ හොඳ හෝ නරක බොහෝ දේවල් වලට මේ තිදෙනාගෙන් අයෙකුගේ කවර හෝ සම්බන්ධයක් තිබුණා. එවැනි තවත් කිහිප දෙනෙක්ද සිටියා.

අලුතෙන් පිහිටවනු ලබන ආණ්ඩුව ඇතුළේ පරණ රාජපක්ෂ ආණ්ඩුවේ මූණුම දකින්න ලැබුණොත් එහි ලොකු පුදුමයක් නැහැ. එහෙත්, අලුත් ආණ්ඩුව පරණ රාජපක්ෂ දශකයේම දිගුවක් වෙයි කියා කියන්න බැහැ. ප්‍රධාන පුද්ගලයින් එසේම සිටියත් ඔවුන්ගේ අලුත් භූමිකා පරණ ඒවාම නෙමෙයි. ගෝඨාභය හා මහින්ද සොහොයුරන් වුවත් ඔවුන් දෙදෙනා අතර මූලික වෙනස්කම් ගණනාවක් තිබෙනවා. මේ වෙලාවේ බලාපොරොත්තු තියන්න වෙන්නේ මේ වෙනස්කම් සංයෝජනය වීම තුළින් ලැබිය හැකි හොඳ ප්‍රතිඵල පිළිබඳවයි. මෙය විස්තරාත්මකව කතා කළ යුතු කරුණක්. දැන් එයට අවස්ථාව නෙමෙයි.

රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව ඔහේ ඇදගෙන ගියත් අතදිගහැර වැඩ කළ හැකි දේශපාලන බලයක් ඒ ආණ්ඩුවට ආරම්භයේදීවත් තිබුණේ නැහැ. අලුත් ආණ්ඩුවටත් මහ මැතිවරණය වන තුරු තරමක ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. එහෙත්, මහ මැතිවරණයෙන් පසුව පරණ ආණ්ඩුවට මෙන් මේ ආණ්ඩුවට ආණ්ඩුව පවත්වා ගැනීම ගැන හිත හිතා ඉන්න අවශ්‍ය වෙන එකක් නැහැ.

වැඩි විස්තර පසුව කතා කරමු! දැනට අපි අලුත් ආණ්ඩුවට සුබ පතමු!!


6 comments:

  1. /* අඬ ගැහැව්වත් නැවතී
    මේ ගෙට හොරු නොඑතී */

    ඒ කියන්නේ බටහිර බලවේගවල කුමන්ත්‍රණ අහවරයි!

    ReplyDelete
    Replies
    1. අයිෂේ පොඩ්ඩක් පනින්නේ නැතුව ඉන්නවකෝ හරියට මේක ඉවර කරනකන්. වැඩි විස්තර පසුව කතා කරමු කිව්වම ඒකවත් තේරුනේ නැද්ද.

      Delete
  2. වියදම ඇතිව අපට පහනක් නම් ලැබිල තිබේ!

    ReplyDelete
  3. //රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව ඔහේ ඇදගෙන ගියත් අතදිගහැර වැඩ කළ හැකි දේශපාලන බලයක් ඒ ආණ්ඩුවට ආරම්භයේදීවත් තිබුණේ නැහැ///

    විපක්ෂ නායකයත් ආණ්ඩුවේ යෝජනා වලට අත් උස්සපු ආන්ඩුවක අතදිගහැර වැඩ කිරීමට දේශපාලන බලයක් රනිල්ට තිබුනේ නෑ කියන්න අපහසුයි...

    වැඩ බැරි එකාට බලය තිබ්බත් බෑ, නොතිබ්බත් බෑ....

    ReplyDelete
  4. රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව ඔහේ ඇදගෙන ගියත් අතදිගහැර වැඩ කළ හැකි දේශපාලන බලයක් ඒ ආණ්ඩුවට ආරම්භයේදීවත් තිබුණේ නැහැ

    අපුල්ලන විට දිග පළලක් නැතිව අපුල්ලන්න එපා.

    මහත්මයාණෙනි,

    රනිල් වික්‍රමසිංහ කෛරාටික ඒකාධිපතියෙකි. රජයේ සියළුම තනතුරු තම බලයට නතු කර ගත් රනිල් වික්‍රමසිංහ වැනි බූවල්ලෙක් අප උපන් තේකට දැක නැත. ඔහු ආණ්ඩු පක්‍ෂ සේම විපක්‍ෂයත් තම පාලනය යටතට ගත්තෙකි. සුමන්තිරන් (විපක්‍ෂ නායක සම්පන්තන්) සහ අකුදි යනු වික්‍රමසිංහගේ බල පරාසයට පිටත සිටියවුන් නොවේ. ඔවුන් දඩයමේ ගියේ එකටයි. එපමණක් නොව ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් මගින් නීතියට ඇතුල් කළ 19 වන සංශෝධනයෙන් පිහිටුවා ගත් ඊනියා සුවාධින කොමිසන් වලට පත් කර සිටින තමාගේ (හෝ තම නිත්‍යානුකූල භාරියාවගේ හෝ) හිතවතුන් හරහා රටේ පාලන බලයේ වැඩි පංගුවක් ඔහු තවමත් අත් පත් කරගෙන සිටින බව ඔබ අමතක කරන්නේ ඇයි?

    ඒ අතින් රාජපක්‍ෂලා වෙස්සන්තරලා ය. පසුගිය ඔක්තෝබර විප්ලවයෙන් පසු විපක්‍ෂ නායක ධුරය ලබා ගත්තත් ව්‍යවස්ථා සභාවේ තම නියෝජනය වෙනුවෙන් සටන් කිරීමට ඔවුන් උනන්දු වූයේ නැත.

    එවැනි වටාපිටාවක සිටිමින් "අතදිගහැර වැඩ කළ හැකි දේශපාලන බලයක් ඒ ආණ්ඩුවට ආරම්භයේදීවත් තිබුණේ නැහැ" යි පට්ටපල් කෙබර ඇද බෑමෙන් ඔබ ඔබේ පක්‍ෂයට ලබා දෙන්නට උත්සාහ කරන උත්තේජනය කුමක්දැයි පැහැදිළි නෑ.

    ReplyDelete
    Replies
    1. 2015ට පසුව ඉපදුනු කතා කතු බබෝ, මේ බ්ලොග් කියවන බොහෝ දෙනා ඔබට වඩා කලක් ලංකාවේ දේශපාලනය ගැන දන්නා අය වෙති. අඩුම ගන්නේ ඔබ ඉපදෙන්නට පෙර, එනම් 2010-2015 කාලය ගැන රටේ තත්වය ගැනවත් පොඩ්ඩක් සොයා බලන්න. එවිට මෙම ලියවිල්ලේ මෙසේ විය යුතුය.

      මහින්ද රාජපක්ෂ කෛරාටික ඒකාධිපතියෙකි. රජයේ සියළුම තනතුරු තම බලයට නතු කර ගත් මහින්ද රාජපක්ෂ වැනි බූවල්ලෙක් අප උපන් තේකට දැක නැත. ඔහු ආණ්ඩු පක්‍ෂ සේම විපක්‍ෂයත් තම පාලනය යටතට ගත්තෙකි. සුමන්තිරන් (විපක්‍ෂ නායක සම්පන්තන්) සහ අකුදි යනු රාජපක්ෂගේ බල පරාසයට පිටත සිටියවුන් නොවේ. ඔවුන් දඩයමේ ගියේ එකටයි. එපමණක් නොව ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් මගින් නීතියට ඇතුල් කළ 18 වන සංශෝධනයෙන් පිහිටුවා ගත් ඊනියා සුවාධින කොමිසන් වලට පත් කර සිටින තමාගේ (හෝ තම නිත්‍යානුකූල භාරියාවගේ හෝ) හිතවතුන් හරහා රටේ පාලන බලයේ වැඩි පංගුවක් ඔහු තවමත් අත් පත් කරගෙන සිටින බව ඔබ අමතක කරන්නේ ඇයි?

      බබාගේ බෙහෙත් ටික බොන්න. රෙදි අපුල්ලන්න යන්න එපා දැන්ම.
      අලුත් ජනාධිපතිතුමා තමන්ගේ වැඩ ටික හරියාකාරව කරගෙන යයි. බබා බය වෙන්න එපා.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: