වෙබ් ලිපිනය:

Wednesday, March 31, 2021

අන්දරේ සීනි කෑ හැටි- පස් කාගේ කටේද?

සීනි සීරීස් එක මෙගා ටෙලියක් වෙන්න යනවා වගේ තේරෙනවද? ඔය වැඩේ කළේනම් හිතලමයි. ලංකාවේ දේශපාලනය කියන්නේ සිද්ධියෙන් සිද්ධියට යන එකනේ. ලංකාවේ කිවුවට වෙන රටවලත් වැඩි වෙනසක් නැහැ. ඔය සිද්ධියෙන් සිද්ධියට යන එකෙන් ඒ තරම් වැඩක් නැහැ. හැබැයි ඔය වගේ වෙලාවක දුවන කෝච්චියට අපිට ඕනෑ කරන බඩු ගෝනි ලේසියෙන් පටවා ගන්න පුළුවන්. සීනි අස්සේ ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවය ගැනත් කියල දැම්මේ ඒ නිසයි.

මොන දේක වුනත් කෙළවරක් තියෙන්න ඕනැනේ. අපි කෙළින්ම පොයින්ට් එකට ඇවිත් මේ සීනි සීරිස් එක ඉවර කරලා දමමු. තව කොයි තරම් දේවල්නම් කතා කරන්න තියෙනවද?

ආනයනික සීනි මත අය කෙරුනු වෙනත් බදු වර්ග හතරක් වෙනුවට 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ සීනි ආනයන මත "විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක්" පැනවූ බව පසුගිය කොටසෙන් කිවුවනේ. ඊට පස්සේ වරින් වර ඔය බද්ද සංශෝධනය කෙරුණා. නමුත් බද්ද විශේෂ වෙළඳ භාණ්ඩ බද්දම තමයි. 

පහුගිය අවුරුදු හත තුළ, හරියටමනම් 2013 ජූලි සිට 2020 පෙබරවාරි දක්වා කාලය තුළ, ඔය බද්ද බොහෝ විට තිබුණේ රුපියල් 30කට ආසන්න මට්ටමකයි. යහපාලන ආණ්ඩුව බලයට පත් වන විට බද්ද රුපියල් 28යි. ඔය කාලයේදී සීනි කිලෝවක සිල්ලර මිල රුපියල් 100කට ආසන්න මට්ටමේ ස්ථාවරව තිබුණා. යහපාලන ආණ්ඩුවේ දින සීයේ වැඩ සටහන කියලා එකක් තිබුණනේ. කියවන අයට දැන් ඕවා මතකද මන්දා. 

ඔය දින සියයේ වැඩ සටහන යටතේ 2015 ජනවාරි මාසයේදී සීනි බද්ද රුපියල් 10කින් අඩු කළා. ඒ කියන්නේ රුපියල් 18 කළා. සීනි කිලෝවක මිලත් පටස් ගාලා රුපියල් 85 පමණ මට්ටමට අඩු වුනා. බද්ද රුපියල් 10කින් අඩු කරද්දී සීනි මිල රුපියල් 15කින් 20කින් වගේ අඩු වුණේ ඔය දවස් වල ලෝක වෙළඳපොළේ සීනි මිලත් අඩු වෙමින් තිබුණු නිසා. 

කොහොම වුවත් ඔය දින සියයේ වැඩ පිළිවෙළ යටතේ කරපු ගොඩක් දේවල් අගෝස්තු මැතිවරණය දිහා බලාගෙන කරපු දේවල්නේ. මහ මැතිවරණය ඉවර වුන ගමන් සීනි බද්ද රුපියල් 30 වුනා. බද්ද වැඩි කරන්න එකම හේතුව මැතිවරණය ඉවර වීම කියන එක සාධාරණ නැහැ. ඔය දවස් වෙද්දී සීනි වල ආනයනික මිල හොඳටම බැහැලයි තිබුණේ. ඒ නිසා බද්ද රුපියල් 30 කළා කියලා සීනි ලොකුවට ගණන් ගියේ නැහැ.

හැබැයි අවුරුද්ද අවසන් වෙද්දී සීනි වල ආනයනික මිල ඉහළ ගියා.  ඒ අනුව සීනි මිලත් යහපාලන ආණ්ඩුව එන්න කලින් තිබුණු රුපියල් 100 මට්ටමට ගියා. 2016 මැද වන තුරුම ලෝක වෙළඳපොළේ සීනි මිල ටිකෙන් ටික වැඩි වෙලා එහි බලපෑමෙන් ලංකාවේ සිල්ලර සීනි මිලත් ඉහළ යාම නිසා එම වසරේ ජූලි මැදදී යහපාලන ආණ්ඩුව එක පාරටම සීනි බද්ද රුපියල් 30ක සිට ශත 25 දක්වා අඩු කළා. මෑතක් වන තුරුම සීනි බද්ද එක පාරටම ලොකුවටම අඩු වුනේ මේ අවස්ථාවේදී.

කලින් පාර සීනි බද්ද රුපියල් 30කින්ම වගේ අඩු කළේ ලෝක වෙළඳපොළේ සීනි මිල සැලකිය යුතු තරමින් ඉහළ යාමට සමාන්තරවයි. බද්ද රුපියල් 30කින් අඩු කරද්දී ආනයනික සීනි මිල රුපියල් 15කින් පමණ ඉහළ ගිය නිසා සීනි වල සිල්ලර මිල අඩු වුනේ රුපියල් 15කට කිට්ටු ප්‍රමාණයකින් පමණයි. සීනි වල සිල්ලර මිලේ විකෘතියක් පෙනෙන්න තිබුණේ නැහැ.

ඔය විදිහට බද්ද ශත 25 දක්වා අඩු කර තිබුණේ මාස දෙකක් පමණයි. ඉන් පසු නැවත බද්ද වැඩි කෙරුණා. හැබැයි එක පාර නෙමෙයි. රුපියල් 2, රුපියල් 7, රුපියල් 13, රුපියල් 25, රුපියල් 33 ආදී ලෙස ටිකෙන් ටික. ඒ වගේම බද්ද වැඩි කළේ ලෝක වෙළඳපොළේ සීනි මිල ටිකෙන් ටික පහළ යාමට සමාන්තරවයි. ඒ නිසා පසුගිය වසර වන තුරු සෑහෙන කාලයක් සීනි මිල ස්ථාවරව තිබුණා. 2020 අප්‍රේල් වෙද්දී සීනි වල සිල්ලර මිල රුපියල් 108ක් පමණ. සීනි බද්ද, ඒ කිවුවේ සීනි සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 35ක් වුනා.

පසුගිය වසරේ මැයි 22 වනදා ආණ්ඩුව සීනි බද්ද රුපියල් 50 දක්වා රුපියල් 15කින් වැඩි කළා. මීට පෙර කවදාවත්ම සීනි බද්ද මේ තරමට වැඩි කරලා තිබුණේ නැහැ. ඒ වගේම මේ විදිහට සීනි බද්ද වැඩි කළේ කලින් වාර වල වගේ ලෝක වෙළඳපොළේ සීනි මිල අඩුවීම වැනි හේතුවක් නිසාත් නෙමෙයි.

බදු වැඩි කළාම රජයේ ආදායම් වැඩි වෙනවා. බද්දේ බර වැටෙන්නේ පාරිභෝගිකයන්ටද සැපයුම්කරුවන්ටද කියන එක තීරණය වෙන්නේ ඉල්ලුම් හා සැපයුම් වක්‍ර වල බෑවුම් අනුව බවත්, සැපයුම් වක්‍රයේ බෑවුමක් නැති නිසා මුළු බරම වැටෙන්නේ පාරිභෝගිකයින් මත කියන එකත් මම පෙර ලිපි වල පැහැදිලි කළානේ. ඒ කියන්නේ මේ වැඩි කළ රුපියල් 15ම ගෙවන්න වෙන්නේ පාරිභෝගිකයන්ට කියන එකයි. හැබැයි බද්ද වැඩි කළාට වඩා වැඩි මිලකින් සීනි මිල ඉහළ යන්න හේතුවක් නැහැ.

පසුගිය මැයි මාසයේදී සීනි බද්ද රුපියල් 15කින් වැඩි කිරීමෙන් පසුව සීනි වල සිල්ලර මිල රුපියල් 25-30 අතර ප්‍රමාණයකින් ඉහළ ගියා. ඔය කාලයේ සීනි වල ආනයනික මිල ලොකුවට වැඩි වුනේ නැහැ. ඕනෑනම් වැඩිම වුනොත් රුපියල් 5ක් දමමු. ඒත් සීනි මිල වැඩි විය යුත්තේ රුපියල් 20කින් පමණයි. එහෙමනම් සීනි මිල රුපියල් 30කට ආසන්නව ඉහළ ගියේ කොහොමද?

රජයෙන් සීනි ආනයනකරුවන්ට අභ්‍යන්තර තොරතුරු ලැබුණේ නැත්නම් පසුගිය මැයි මාසයේ කළ බදු වැඩි කිරීම තරමක් වෙනස් එකක් බව ඔවුන්ට තේරෙනවා. මේ වැඩේ කළේ වෙනදා වගේ ලෝක වෙළඳපොළේ සීනි මිල අඩු වීමට ප්‍රතිචාරයක් විදිහට නෙමෙයිනේ. 

ඔය දවස් වල ආණ්ඩුව හිටියේ ආනයන අධෛර්යමත් කරන ප්‍රතිපත්තියක. සමහර දේවල් ආනයනය කරන එක තහනම්ම කළා. අභ්‍යන්තර තොරතුරු ලැබුණේ නැත්නම් සීනි ආනයනකරුවෙකුට පෙනෙන්නේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය කාලයක් යන තුරුම බද්ද ඉහළින් තබාගෙන ආනයන අධෛර්යමත් කරන එක බවයි. අනෙක් පැත්තෙන් රුපියල මත ලොකු පීඩනයක් එල්ල වෙලා තිබුණා. රුපියල ඉදිරි කාලය තුළ අවප්‍රමාණය වීමට නියමිත බව සක් සුදක් සේ පෙනෙන්නට තිබුණා. ඒ කියන්නේ ඉදිරියේදී එක පැත්තකින් සීනි ආනයනයට ආණ්ඩුව බාධා කරන්න පුළුවන්. සීනි ආනයනය නවත්වන්න වුනත් පුළුවන්. ඒ වගේම විණිමය අනුපාතිකය පිරිහීමට නියමිත නිසා ඉදිරියේදී සීනි වල ආනයනික මිල ඉහළ යාමට නියමිතයි. 

ඔය වගේ තත්ත්වයක් යටතේ සීනි ආනයනකරුවෙක් ක්‍රියා කරන්නේ මොන විදිහටද? පළමුව ඩොලර් එක වැඩි වෙන්න කලින් හා සීනි ආනයනයට සීමා පැනවෙන්න කලින් හැකි තරම් සීනි ආනයනය කරන එක. දෙවනුව දැනට තිබෙන තොග මුදා හැරීම පාලනය කරන එක. ඔය දෙකේ සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය වන්නේ සීනි ආනයනකරුවෙකු සතු මුදල් සියල්ල යොදවා තමන්ගේ ගබඩා සියල්ල පුරවා ගන්නවා කියන එකයි. එහෙම නොකරනවානම් එක්කෝ අමු මෝඩයෙක්. නැත්නම් අනෙක් අයට නොපෙනෙන දේ දැකිය හැකි දක්ෂතාවයක් තිබෙන කෙනෙක්. එහෙමත් නැත්නම් මොන විදිහකින් හරි ආණ්ඩුව ඉස්සරහට කරන්න ඉන්න දේ දන්න කෙනෙක්!

ආණ්ඩුව සීනි බද්ද රුපියල් 15කින් වැඩි කරද්දී සීනි මිල රුපියල් 25-30කින් පමණ ඉහළ ගියේ සැපයුම්කරුවන් බොහෝ දෙනෙක් අනාගතය ගැන හිතා තමන්ගේ තොග මුදා නොහරිමින් සැපයුම පාලනය කළ නිසයි. බලාත්මක කළ නොහැකි පාලන මිලක් දමා තිබීමත් එයට හේතුවක් වෙන්න ඇති.

ඔහොම තත්ත්වයක් තියෙද්දී ආණ්ඩුව එකපාරටම සීනි බද්ද ශත 25 දක්වා අඩු කරනවා. මේක හරියට උස්සලා පොළොවේ ගහනවා වගේ වැඩක්. රුපියල් 50ට උස්සලා ශත 25 මට්ටමටම බැස්සුවහම කොහොමද?

හැබැයි ඔය විදිහට බදු අඩු වැඩි කිරීම වංචාවක් කියා කියන්න බැහැ. ආණ්ඩුවකට එහෙම කරන්න කිසිම තහනමක් නැහැ. ඒ වගේම බදු අඩු කළ නිසා රජයට පාඩුවක් වුනා කියන එකත් විහිළු කතාවක්. බදු ගැහීම රජයක් විසින් අනිවාර්යයෙන් කළ යුතු දෙයක් නෙමෙයි. බදු වැඩි කරද්දී රජයේ ආදායම් වැඩි වෙනවා. බදු අඩු කරද්දී රජයේ ආදායම් අඩු වෙනවා.

රජයට කැමති විදිහට බදු අඩු වැඩි කරන්න පුළුවන්කම තිබුණත් තේරුම් ගත හැකි හේතු මත රුපියල් 50 දක්වා වැඩි කළ බද්ද එක පාරටම ශත 25 දක්වා අඩු කළේ ඇයි කියන එක පිළිබඳවනම් සාධාරණ සැකයක් තිබෙනවා. ඒ සැකය වැඩි වෙන්නේ ඊට පස්සේ කරපු දේවල් එක්කයි.

ඔක්තෝබර් 14 වනදී සීනි මත අය කරන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ශත 25 දක්වා අඩු කරන ආණ්ඩුව නොවැම්බර් 17 වනදා ආනයනික සීනි කිලෝවක් මත රුපියල් 30ක තීරු බද්දක් දමනවා. 2007දී  දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත සම්මත කළාට පස්සේ දිගටම සීනි මිල පාලනය කරලා තිබෙන්නේ එම බද්ද හරහා. ඒ හැර සීනි වලට තීරු බද්දක් අය කරලාම නැහැ. දැන් එක පාරටම කාලයක් තිස්සේම අය කරනු නොලැබූ තීරු බද්දක් අළුතෙන් එන්නේ කොහොමද? හංගලා ගැහිල්ලක් නෙමෙයිද?

මම හිතන විදිහට තීරු බදු අය කරන්නේ භාණ්ඩ ඇනවුම් කළ දවස මත පදනම්වයි. ආනයනය කිරීම සඳහා ණයවර ලිපි විවෘත කිරීමෙන් පසුව භාණ්ඩ රටට ගේන්න දින අනූවක කාලයක් තිබෙනවා කියා මම හිතනවා. තහවුරු කිරීම සඳහා ලේඛණයක් හොයා ගන්න බැරි වූ නිසා මේ කාරණයේදී මම නිවැරදි නොවෙන්න ඉඩ තිබෙනවා. අපි දැනට හිතමු මේක මෙහෙමයි කියලා.

මේ අනුව ශත 25ක බද්දක් ගෙවා සීනි ආනයනය කරන්න පුළුවන්කම තිබෙන්නේ ඔක්තෝබර් 14 සිට නොවැම්බර් 17 දක්වා දින 35ක කාලය තුළ සීනි ඇණවුම් කළ අයට පමණයි. එම කාලය තුළ ඇණවුම් කළානම් දින 90ක් ඇතුළත ශත 25 පමණක් ගෙවා සීනි නිදහස් කර ගත හැකිව තිබුණා කියන එක මගේ අදහසයි. මෙහි වැරැද්දක් තිබෙන බව යම් කෙනෙක් පෙන්වා දුන්නොත් නිවැරදි කිරීමක් කරන්නම්.

මැයි 22 රුපියල් 50 දක්වා ඉහළ දමපු සීනි බද්ද ඔක්තෝබර් 17 වෙනිදා එක පාරටම පෙරේතයා පොළොවේ ගැහුවා වගේ ශත 25 දක්වා අඩු වෙනවා. මැයි මාසයේ වැඩි කළ බද්ද ආණ්ඩුවේ ආනයන අධෛර්යමත් කිරීමේ ප්‍රතිපත්තියේ පිළිබිඹුවක් විදිහට තේරුම් ගත් සැපයුම්කරුවෝ ඒ වෙද්දී තමන්ගේ සල්ලි යට කරලා සීනි තොග ගොඩ ගහගෙන. ආනයන පාලනයක් එන බව පෙනෙද්දී කවුරු වුනත් කරන්නේ ඕකනේ. දැන් බද්ද අඩු කළා කියලා මේ අයට එක පාරට සීනි ආනයනය කරන්න බැහැ. කලින් ආනයනය කරලා රුපියල් 50 බැගින් බදු ගෙවා නිදහස් කරගත් සීනි තොග විකුණලා ඉන්න ඕනෑ. ඒ අය හුස්මක් කටක් අරගෙන සීනි ආනයනය කරන එක ගැන හිතන කොට බද්ද නැවතත් වැඩි වෙලා. විශේෂ වෙළඳ භාණ්ඩ බද්දනම් ශත 25 ලෙසම තියෙනවා. හැබැයි අලුතෙන් රුපියල් 30ක තීරු බද්දක් එකතු වෙලා.

කොහොම වුනත් හැම සැපයුම්කරුවෙක්ම එක විදිහටම කටයුතු කරන්න නීතියක් නැහැනේ. ඔය සීනි ආනයනකරුවන් අතරේ තමන්ගේ ගබඩා හිස් කරගෙන, සල්ලි අතේ තියාගෙන සීනි ආනයනය කරන්න බලාගෙන හිටපු අයත් ඉන්න බැරිකමක් නැහැ. හේතුව ඒ අයට අනෙක් අයට නොතිබුණු සුවිශේෂී විශ්ලේෂණ හැකියාවක් තිබීම වෙන්න පුළුවන්. වෙළඳපොළ ගැන හරි අවබෝධයක් නැතිකම වෙන්නත් පුළුවන්. අභ්‍යන්තර තොරතුරු ලැබී තිබීම වෙන්නත් පුළුවන්. හේතු හොයන එක අපිට කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. ඔය මොන හේතුවක් හරි නිසා බද්ද ශත 25ට බස්සා තිබුණු දින 35 ඇතුළේ සීනි ඇණවුම් කළ සමාගම් වලට දැන් කල්ල මරේ!

මම හරියටම තොරතුරු දන්නේ නැතත් ඇහෙන කතා වල හැටියට බද්ද ශත 25 වූ වහාම එක සමාගමක් ඔවුන්ගේ බන්ධිත ගුදම් වල තිබුණු සැලකිය යුතු සීනි තොගයක් නිදහස් කරගෙන තිබෙනවා. මෙහිනම් කිසිම අසාමාන්‍ය කමක් නැහැ. ඕනෑම සමාගමක් ඔය වැඩේ කරයි. 

ඒ සමාගමම දින කිහිපයක් ඇතුළත සීනි නැවක්ම ගෙනාවා කියලත් කියනවා. හැබැයි සීනි ආනයන විශාල ලෙස ඉහළ ගිහින් තියෙන්නේ 2021 ජනවාරි මාසයේදී. දෙසැම්බර් දක්වා මාස තුන තුළ සීනි ආනයනයේ කිසිම අසාමාන්‍ය වෙනසක් නැහැ. සමහර විට ඔක්තෝබර් මාසයේ ඇණවුම් කළ සීනි ජනවාරි මාසයේදී ශත 25 බැගින් ගෙවා, රුපියල් 30ක තීරු බද්ද නොගෙවා, නිදහස් කර ගත්තා වෙන්න පුළුවන්. නොවැම්බර් 17 පහු වෙලා ඇණවුම් කළානම් රුපියල් 30.25ක් බදු ලෙස ගෙවන්න වෙනවා.

කොහොමින් කොහොම හරි මේ වෙද්දී රුපියල් 50 බැගින් බදු ගෙවා ගෙන්වූ සීනි හා ශත 25 බැගින් බදු ගෙවා ගෙන්වූ සීනි විදිහට සීනි වර්ග දෙකක් වෙළඳපොළේ තිබෙනවා. ඔය සීනි වර්ග දෙකේ පාරිභෝගිකයන්ට හඳුනාගත හැකි කිසිම වෙනසක් නැහැ. නමුත්, ශත 25 ගෙවා නිදහස් කරගත් සීනි වල පිරිවැය රුපියල් 49.75කින් අඩුයි. 

සීනි ආනයනකරුවන් කිසිවෙකු විසින් තවමත් රුපියල් 30.25 බැගින් බදු ගෙවා සීනි නිදහස් කරගෙන නැතුවා විය හැකියි. රුපියල් 50 බැගින් බදු ගෙවා නිදහස් කරගත් සීනි තොග තමන් සතුව නොතිබුණානම් අනිවාර්යයයෙන්ම ශත 25ට ගෙන්විය හැකිව තිබුණු දින 35 ඇතුළත සීනි ඇණවුම් කරනවනේ. ඒ නිසා, නොවැම්බර් 17න් පස්සේ සීනි ලොකුවට ඇනවුම් කළා කියා හිතන්න බැහැ. 

යම් හෙයකින් කිසියම් සමාගමක් විසින් එහෙම කළා හෝ දැන් කරනවා කියා කියමු. ඔය කාලය ඇතුළත ලෝක වෙළඳපොළේ සීනි මිල 10%කින් පමණ ඉහළ ගියා. ඒ වගේම ඩොලරයක මිල 5%කින් පමණ ඉහළ ගියා. මේ කරුණු දෙක නිසා ආනයනික සීනි කිලෝවක මිල රුපියල් 20කින් පමණ වැඩි වුනා. මේ අනුව, දැන් රුපියල් 30.25ක් බදු ගෙවා සීනි ආනයනය කරන කෙනෙක්ගේ පිරිවැයත් ඔක්තෝබර් 14ට පෙර රුපියල් 50ක් බදු ගෙවා සීනි නිදහස් කරගත් අයගේ පිරිවැයට බොහෝ දුරට සමානයි. ඒ නිසා, සීනි වර්ග දෙකක් තියෙනවා කියපු කතාව වෙනස් වෙන්නේ නැහැ.

විවිධ සැපයුම්කරුවන්ගේ පිරිවැය හරියටම සමාන නොවන බවත් ඒ නිසා ලංකාවේ සිල්ලර සීනි වෙළඳපොළේ සැපයුම් වක්‍රයේ මම පහසුවට තිරස් රේඛාවකින් නිරූපණය කළ කොටස ඉතාම සුළු බෑවුමක් තිබෙන පඩිපෙළක් වගේ එකක් බවත් මම කලින් ලිපියක විස්තර කළා. සාමාන්‍යයෙන් මේ පඩිපෙළේ පඩි දෙකක් අතර උස ශත ගණනක්. පඩි සියල්ලේම උස වුවත් රුපියල් දෙක තුනකට වඩා වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා කිසියම් සැපයුම්කරුවෙකුට අනෙක් අයට වඩා ලාබයක් ගන්න පුළුවන් වුනත් වැඩිම වුනොත් එම ලාබය රුපියලක් නැත්නම් දෙකක්.

නමුත් දැන් වෙලා තියෙන්නේ කුමක්ද? පඩි දෙකක් අතර විශාල පරතරයක් තිබෙනවා. කොපමණ විශාල පරතරයක්ද?

බද්ද රුපියල් 50ක්ව තිබියදී, 2020 සැප්තැම්බර් මාසය අවසානයේ ඩොලරයක මිල හා ලෝක වෙළඳපොළේ සීනි මිල අනුව සීනි කිලෝවක මිල රුපියල් 67.34ක්. එයට නැව් ගාස්තු හා රක්ෂණ ගාස්තු ලෙස 5%ක් එකතු කර ආනයනික මිල රුපියල් 70.71ක් ලෙස ඇස්තමේන්තු කළ හැකියි. බද්ද එකතු කළ විට රුපියල් 120.71ක් වෙනවා. මෙයට ආනයනකරුගේ හා තොග හා සිල්ලර වෙළෙන්දන්ගේ ලාබ විදිහට 12%ක් එකතු කළොත් සීනි කිලෝවක සිල්ලර මිල රුපියල් 135.20ක් විය යුතුයි. එම මාසයේ සීනි සිල්ලර මිල වූ රුපියල් 135.54 මෙම ඇස්තමේන්තුව සමඟ සැසඳෙනවා.


බද්ද අඩු කිරීමෙන් පසු, 2020 ඔක්තෝබර් මාසය අවසානයේ ඩොලරයක මිල හා ලෝක වෙළඳපොළේ සීනි මිල අනුව සීනි කිලෝවක මිල රුපියල් 71.56ක්. එයට නැව් ගාස්තු හා රක්ෂණ ගාස්තු ලෙස 5%ක් එකතු කර ආනයනික මිල රුපියල් 75.14ක් ලෙස ඇස්තමේන්තු කළ හැකියි. බද්ද එකතු කළ විට රුපියල් 75.39ක් වෙනවා. මෙයට ආනයනකරුගේ හා තොග හා සිල්ලර වෙළෙන්දන්ගේ ලාබ විදිහට 12%ක් එකතු කළොත් සීනි කිලෝවක සිල්ලර මිල රුපියල් 84.43ක් විය යුතුයි. ඒ කියන්නේ ශත විසි පහේ බද්දට සීනි ආනයනය කළ අයට අවශ්‍යනම් රජයේ පාලන මිල වූ රුපියල් 85ට සීනි සපයන්න තිබුණා. ඒ මිල යටතේ ඔවුන්ට ඔවුන්ගේ සාමාන්‍ය ලාබය ලැබෙනවා.


හැබැයි කලින් රුපියල් 50ක බද්දක් ගෙවා සීනි ආනයනය කර තිබුණු අයට රුපියල් 85ට සීනි දෙන්න බැහැ. රේගුවෙන් නිදහස් කර ගන්න කොටම සීනි කිලෝවක් රුපියල් 120.71ක් වෙලා. මේ මිලට 12%ක සාමාන්‍ය ලාබයක් එකතු කළොත් විකුණන්න වෙන්නේ රුපියල් 135.20ක මිලකට. මම කියපු මිල පරතරය රුපියල් 50.76ක්. බද්ද වැඩි වුනු ප්‍රමාණය වූ රුපියල් 49.75ට ආසන්න වෙනසක්. 

බද්ද අඩු කිරීමෙන් පසු, 2020 නොවැම්බර් මුල් සතියේදී සීනි විකිණුනේ කිලෝව රුපියල් 126.25 බැගින්. ඒ කියන්නේ ශත 25 බැගින් බදු ගෙවා සීනි නිදහස් කරගත් අයට 12%ක සාමාන්‍ය ලාබයට අමතරව 41.82ක සුපිරි ලාබයක් ලැබිලා. රුපියල් 50 බැගින් බදු ගෙවූ අයගේ සාමාන්‍ය ලාබයෙන් රුපියල් 8.95ක් අඩු වෙලා.

දළ වශයෙන් මේ කතාව කිවුවොත් රජය රුපියල් 50ක් පාඩු කර ගනිද්දී එයින් රුපියල් 9ක පමණ වාසියක් පාරිභෝගිකයන්ට ලැබෙනවා. හදිසියේ සීනි ගෙන්වපු අයට රුපියල් 41ක සුපිරි ලාබයක් ලැබෙනවා. කලින් සීනි තොග රැස් කරගෙන හිටපු අයට රුපියල් 9ක පාඩුවක් වෙනවා.ඔය නොවැම්බර් මාසයේදී පැවති තත්ත්වය.

මේ වෙද්දී සීනි කිලෝවක සිල්ලර මිල රුපියල් 115 පමණ මට්ටමට අඩු වෙලා. ශත 25 බැගින් බදු ගෙවූ අයට 12%ක සාමාන්‍ය ලාබයක් එක්ක රුපියල් 85 බැගින් සීනි සපයන්න පුළුවන් නිසා මෙතැන රුපියල් 30ක සුපිරි ලාබයක් තියෙනවා. අනෙක් අතට රජයට වූ රුපියල් 50ක පාඩුවෙන් රුපියල් 20ක් පමණ පාරිභෝගිකයන්ට ගිහින් තිබෙනවා. කලින් තොග රැස් කරගෙන සිටි අයට රුපියල් 20ක පමණ පාඩුවක්ද සිදු වී තිබෙනවා.

බදු අඩු කළ විට තොග රැස් කරගෙන ඉන්න කෙනෙකුට පාඩුවක් වෙනවා කියන එක සාමාන්‍ය කරුණක්, ව්‍යාපාරිකයෙකු වුනහම ඒ අවදානම ගන්න ඕනෑ. සාමාන්‍ය ලාබ වලින් මේ අවදානමේ අවාසියත් ආවරණය වෙනවා. එකම ප්‍රශ්නය ඒ අවාසිය හැම සැපයුම්කරුවෙකුටම එක විදිහට වුනාද කියන එකයි.

රුපියල් 30ක තීරු බද්ද ගෙවා ලෝක වෙළඳපොළේ දැන් මිලට හා දැන් විණිමය අනුපාතිකයට සීනි ගේන කෙනෙකුට 12%ක සාමාන්‍ය ලාබය නැතුව පිරිවැය ලෙස පමණක් රුපියල් 123.64ක් යනවා. ඒ නිසා, වෙළඳපොළේ මිල දැන් තිබෙන රුපියල් 115 මට්ටමේ තිබියදී හා රට ඇතුළේ සැලකිය යුතු සීනි තොග තිබියදී කවුරුවත් අලුතෙන් සීනි ආනයනය කරන්න පෙළඹෙන්නේ නැහැ. එහෙම කරලා දැන් මිලට වඩා අඩුවෙන් කොහොම වෙතත් දැන් මිලටවත් සීනි විකුණන්න බැහැ. ඒ නිසා ටික කාලයක් යන තුරු ලෝක වෙළඳපොළේ සීනි මිල හෝ විණිමය අනුපාතිකය ලංකාවේ සිල්ලර වෙළඳපොළේ සීනි මිලට බලපෑමක් කරන්නේ නැහැ. කළොත් කරන්නේ රජය විසින් රුපියල් 30ක තීරු බද්ද ඉවත් කළොත් හෝ විශාල ලෙස අඩු කළොත් පමණයි.

රුපියල් 135කට මිල විය යුතු සීනි හා රුපියල් 85ට මිල විය යුතු සීනි ලෙස ගොඩවල් දෙකක් තිබුණත් ඔය සීනි දෙවර්ගයේ වෙනසක් නැහැනේ. කිසියම් ආනයනකරුවෙක් ගත්තොත් එම ආනයනකරු සතුව බොහෝ විට ඔය සීනි දෙවර්ගයම තිබෙනවා. ඒ නිසා ආනයනකරුවෙකුගේ සීනි කිලෝවක සාමාන්‍ය පිරිවැය තීරණය වන්නේ කලින් තිබුණු තොග හා අලුතෙන් ආනයනය කළ තොග ප්‍රමාණ අතර අනුපාතය අනුවයි. 

අලුතෙන් ආනයනය කළේම නැත්නම් සාමාන්‍ය වියදම රුපියල් 135යි. පරණ තොග තිබුණේම නැත්නම් සාමාන්‍ය වියදම රුපියල් 85යි. පරණ තොග හා අලුත් තොග හරි හරියටනම් සීනි කිලෝවක් රුපියල් 110කට පමණ දෙන්න පුළුවන්. ඒ නිසා, දැන් සීනි මිල රුපියල් 115 වීමෙන් අදහස් වෙන්නේ රුපියල් 50 බැගින් බදු ගෙවා ආනයනය කළ සීනි වලින් පාඩුවක් වන බව වුවත් සමස්තයක් ලෙස පාඩුවක් වනවා කියන එකම නෙමෙයි. පරණ තොග අඩු වන තරමට සීනි මිල පහළ යා යුතුයි. 

සීනි මිල කොයි තරම් පහළ යයිද? රුපියල් 85 මට්ටමට පහළ යන්නේනම් නැහැ. එහෙම විය හැකිව තිබුණේ පරණ තොග තිබුනේම නැත්නම් පමණයි. සමහර විට තව පොඩ්ඩක් පහළ යයි. 

ඉතා පැහැදිලිවම සීනි බද්ද රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමේ වාසිය පාරිභෝගිකයන්ට ගිහින් නැහැ. නමුත් මාසයකට පසුව බද්ද නැවත රුපියල් 50 නොකර රුපියල් 30 කළ එකේ වාසිය පාරිභෝගිකයනට ගිහින් තිබෙනවා. ඔය අතර දින 35ක්  තුළ පමණක් බද්ද ශත 25 මට්ටමේ පවත්වා ගත්තේ ඇයි කියන එකට තර්කානුකූල හේතුවක් පෙනෙන්න නැහැ. මේ කාලය ඇතුළත ශත 25ක බද්ද ගෙවා ආනයනය කළ සීනි වලින් එසේ ආනයනය කළ අය සුපිරි ලාබයක් ලබා තිබෙනවා. එය රජයේ ආදායමෙන් අඩු වූ එහෙත්  පාරිභෝගිකයන්ට නොලැබුණු කොටසක්. 

ප්‍රමාණය කොපමණද කියන එක තීරණය වෙන්නේ ශත 25 බැගින් ආනයනය කර තිබෙන සීනි ප්‍රමාණය මතයි. අලාභය ගණනය කිරීමේදී මෙම සීනි කිලෝග්‍රෑම් ප්‍රමාණය රුපියල් 49.75කින් වැඩි කරන්නේ නැතිව රුපියල් 19.75කින් වැඩි කිරීම වඩා නිවැරදි බවයි මම හිතන්නේ. අන්දරේ සීනි කෑවේ කා එක්කද කියලා හරියටම දැන ගන්න වෙන්නේනම් බැඳුම්කර සිද්ධියේදී වගේ කොමිසම් දෙක තුනක් දමලා තමයි!

14 comments:

  1. ඉකොනොමැට්ටා ස්වයං වින්දනේ.....අනේ අම්මප ලොක්කෝ ඔහේට වැඩක් ඇත්තෙම නැද්ද? හරියට නිකං හොරෙක් තවත් හොරෙක්ට අභියෝගයක් කරනවා වගේ උඹ ගොන්නු චූන් කරන්න ගැලරි කථා කියනවා මිසක් වෙන මොකක්ද ? දේශපාලන අනාතයෙක්

    ReplyDelete
  2. ටිකක් උගෙන මේ හැටි කෙළි කෙළිනාවුන්
    කොහොම කෙළීවිද විණි නම් හොඳ උගතුන්
    කවුන්සිල් යවමු නූගත් අම්බරුවන්
    කියා හිතෙයි, වැල යන අත වැටහීමෙන්

    ReplyDelete
  3. //ඒවගේම බද්ද වැඩි කළේ ලෝක වෙළඳපොළේ සීනි මිල ටිකෙන් ටික ඉහළ යාමට සමාන්තරවයි//
    පහළ යාමට සාමාන්තරව නෙවෙයිද?

    ReplyDelete
    Replies
    1. ඔව්. පෙන්වා දුන්නාට ස්තුතියි! නිවැරදි කළා.

      Delete
  4. ඉකොනොමැට්ටා,

    ලංකාවේ දින දර්ශනය අනුව අප්‍රේල් මාසේ පළමු වනදා වන අද ඔබ නොදන්නා කරුණු කීපයක් ගැන කියනවා නම් මේ දවස්වල ලංකාවේ පාලනය ගෙන යන නන්දේ සීනි රෙජී මය විසින් 2021 මාර්තු මස තුල පමණක් ශත ට්‍රිලියන හතරක් පමණ (රුපියල් කෝටි 4,000 ක් නැත්නම් රු. 40,000,000,000.00 ක අධික ලෙස විශාල මුදලක්) සල්ලි අච්චු ගහල තියෙන්නේ නන්දේ සීනි ගේම කොන්ත්‍රාත් වලට. (මෙය අප්‍රේල් විහිලුවක් නොවේ)

    මේ ගැන සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම සහ ජවිපෙ ජාතික ජන බලවේගයේ අය පැවසූයේ දූෂිත රාජ පක්ෂ නඩයට වෙන කරන්න දෙයක් ඉතිරි වෙලා නැ මොකුත්, රටකින් ණයක් ඉල්ලුවට දෙන්නෙත් නැ. ආධාරයක් දෙන්නෙත් නැ.ඉතින් සල්ලි අච්චු ගහලා තමයි මිනිස්සුන්ට දෙන්න වෙන්නේ කියලා.

    ඒ අනුව විපක්ෂ කණ්ඩායම් වල ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, පාඨලී චම්පික රණවක වගේ අය පෙන්වා දෙන්නේ ජනධිපති නන්ද සීනි ඔක්කොම අනලා තියලා ඇමෙරිකාවට යයි, එයාගේ ගුණ ගායනා කරන මිනිස්සුත් ඇමෙරිකාවට වෙලා සැපෙන් ඉඳි, ඒත් ලංකාවේ දුප්පත් ජනතාවට සල්ලි කරත්ත ලෝඩ් වෙන්න පටවාගෙන බර කරත්ත වලින් දාගෙන බඩු ගන්න යන්න වෙනවා ඉතාමත් ඉක්මනින් කියලා.

    ඇත්තටම හෙන ගහනවා අපේ රටට මේ කරන විනාශයට.

    මේ ගැන පාඨකයන්ට විස්තර කරලා ලියනවා නම් හොඳයි නේද?

    ඒ වගේම රුපියල කොහේ නවතීද? රුපියල් අගය බින්දු වටම යයි මේ යන විදියට එතකොට ඩොලර් එකක් රුපියල් අනන්තයට යයි.

    ඒ වගේම ලංකාවේ අයිතිය 100% ක් ම දක්වා චීනය අයිති කර ගන්නා තුරු මෙහෙම යාවිද?

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ රුපියල් බිලියන 40ක්නේ. සංඛ්‍යාලේඛණ තවම ප්‍රසිද්ධ කර නැතත් මාර්තු මාසය තුළ එපමණකින් සංචිත මුදල් වැඩි වී ඇතැයි මමත් හිතනවා. පසුගිය වසරේ මහ බැංකුව විසින් විශාල ලෙස භාණ්ඩාගාර බිල්පත් මිල දී ගත්තත් අනෙක් පැත්තෙන් විදේශ සංචිත විශාල ලෙස විකිණූ නිසා සංචිත මුදල් වැඩි වුනේ රුපියල් බිලියන 32කින් පමණයි. ඒ නිසා තාක්ෂණික ලෙස පසුගිය වසර තුළ අලුතෙන් සල්ලි අච්චු ගැහුවේ එපමණයි කියා කියන්න පුළුවන්. එහෙත් විදේශ සංචිත වෙනුවට භාණ්ඩාගාර බිල්පත් ආදේශ වීමේදී වෙන්නේ සැබෑ ප්‍රශ්නය එසේම තිබියදී එය තාවකාලිකව ආවරණය වීමක් පමණයි. සැබෑ ප්‍රශ්නය රජයේ අයවැය හිඟයයි.

      දැන් යම් හෙයකින් විදේශ ණයක් ගත්තත් එසේ ගන්න ඩොලර් ටික පරණ විදේශ ණය ගෙවන්න යොදා ගත්තට පස්සේ මහ බැංකුවේ සංචිත ඉහළ දමන්න අවස්ථාවක් ලැබෙයි කියා හිතන්න අමාරුයි. ඒ නිසා මේ අවස්ථාවේදී මහ බැංකුවට භාණ්ඩාගාර බිල්පත් වෙනුවට විදේශ සංචිත නැවත ආදේශ කිරීම ඉතාම අසීරු කටයුත්තක්.

      අළුතෙන් සල්ලි අච්චු ගැහීම ලෙස සැලකෙන්නේ සංචිත මුදල් ඉහළ යාම මිසක් මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය ඉහළ යාම නොවූවත්, භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය ඉහළ යාම අලුතින් සල්ලි අච්චු ගැසීමක් ලෙස මම දකින්නේ මේ සන්දර්භය තුළයි.

      මේ ප්‍රවණතාවය ආපසු හැරවෙන්න ඉඩ තිබෙන්නේ ආණ්ඩුවේ විදේශ ණය සියල්ල පියවීමට ප්‍රමාණවත් තරම් අලුත් විදේශ ණයත්, ඉතිරි අයවැය හිඟය පියවීමට ප්‍රමාණවත් දේශීය ණයත් ලබා ගත හැකිනම් පමණයි. මේ වෙලාවේදී පළමුවැන්න පිළිබඳ ලොකු බලාපොරොත්තුවක් තැබිය නොහැකි අතර ආණ්ඩුව පොලී අනුපාතික ඉහළ යාමට ඉඩ නොදෙන පසුබිමක දෙවැන්න සිදු වන්නේත් නැහැ. ඒ නිසා අලුතෙන් තවතවත් සල්ලි අච්චු ගහන්න සිදු වීම නොවැලැක්විය හැකි දෙයක්.

      මේ වැඩේ දිගින් දිගටම කළොත් එක් අවස්ථාවකදී මුදල් සැපයුම සම්බන්ධ මහ බැංකුවේ පාලනය ගිලිහී යන්න පුළුවන්. ඒ කියන්නේ පොලී අනුපාතික වැඩි කිරීමෙන්ද උද්ධමනය පාලනය කළ නොහැකි වෙන්න පුළුවන්. සිම්බාබ්වේ වුනේ ඒකයි. ලංකාවේ තවමත් එවැනි තත්ත්වයක් ඇති වී නැහැ. එහෙත් සල්ලි අච්චු ගැහීම දිගින් දිගටම කළොත් එය නොවෙන්නත් බැරිකමක් නැහැ.

      ආණ්ඩුවේ උපාය මාර්ගය වී තිබෙන්නේ සල්ලි අච්චු ගහන අතරම රටේ ආර්ථික ක්‍රියාකාරකම්ද වැඩි කිරීමයි. නීති, චක්‍රලේඛ, පාරිසරික ප්‍රශ්න අමතක කර මොනවා හෝ ආර්ථික ක්‍රියාකාරකම් කරන අයව දිරිමත් කරමින් සිටින්නේ ඒ අරමුණින් බව පෙනෙනවා. සෛද්ධාන්තිකව බැලුවොත් මෙය මේ වෙලාවේ ඉතිරි වී තිබෙන සීමිත විකල්ප වලින් එකක්. නමුත් ප්‍රායෝගිකව මේ වැඩෙන් ගොඩ යන්න පුළුවන් වෙන්නේ මුදල් සැපයුම ඉහළ යන වේගයට වඩා වේගයෙන් ආර්ථික ක්‍රියාකාරකම් ඉහළ ගියොත් පමණයි.

      මේ කාරණයේදී රටේ දේශපාලන නායකත්වය පිළිබඳව මිනිස්සුන්ගේ තිබෙන විශ්වාසයත් බලපානවා. GR හොඳ සන්නිවේදකයෙකු නොවීමත්, MR පැත්තකට වී සිටීමත් නිසා ආණ්ඩුව කරන්නේ කුමක්ද කියන එක මිනිස්සුන්ට සන්නිවේදනය වෙන්නේ නැහැ. ප්‍රතිපත්ති ඉලක්කය සම්පූර්ණයෙන්ම වෙනස් වුනත් මේ කාරණයේදී ආණ්ඩුවට සාර්ථක වීම අසීරු වී තිබෙන්නේ RWට සාර්ථක විය නොහැකි වූ හේතුවටමයි. ඒ කියන්නේ රජය මිනිස්සුන්ගෙන් දුරස්ථව සිටීම.

      සීනි, පොල්තෙල් ප්‍රශ්න හා පාරිසරික ගැටළු පිළිබඳ ආණ්ඩුවේ ප්‍රවේශය නිසා මේ දුරස්ථභාවය තවත් වැඩි වෙනවා. අනෙක් පැත්තෙන් GRව පත් කරගත් සැලකිය යුතු පිරිසක් එය කළේ තමන් මුකුත් නොකර පැත්තකට වී ඉඳිද්දී මොන විදිහකින් හරි රට හදලා තමන්වත් ගොඩ දාන නායකයෙක් පිලිබඳ බලාපොරොත්තුවකින්. දේශපාලන බලය මුළුමනින්ම දුන්නට පස්සේ "මේක මට කරන්න පුලුවන් දෙයක් නෙමෙයි" කියපු ගමන්, කතාව ඇත්ත වුනත්, අර ප්‍රතිරූපය බිංදුවටම වැටෙනවා.

      ලංකාවට ගොඩ යන්නනම් වැටෙන්නම වෙනවා. කවුරු හරි හාල් නොදැම්මොත් ආඬි හත් දෙනාගේ කැඳ හැලිය මොන විදිහට බෙදුවත් කාටවත් කැඳ හම්බු වෙන්නේ නැහැ.

      Delete
  5. ඉල්ලුවොත් යහපාලනේ
    ලැබෙනවා යමපාලනේ
    ඉල්ලුවොත් වියත්මහ
    ලැබෙනවා කියත්මග
    විපතකි හැම පාලනේ
    උගනිව් දේශපාලනේ

    ReplyDelete
  6. එකොනෝ.

    මාර්තු 29 ලිපියේ කොමෙන්ටු කොටසට අදාලව:

    1. සීනි කෑ හැටි සීරීස්සෙකේ අට වැනි කොටසේ එක්තරා පාඨකයකු අන්තරේ හිටපු කැඳවුම්කරු නයනජිත්ගේ  සටහනක් කොමෙන්ටුවට එක් කර තිබුනා.
    එහිදී ඊට පිලිතුරක් ලෙස ඔබ ලියූ කොටසේ මෙසේ සඳහන් වී තිබුනා.

    //..ඔය වගේ තැන් වල ඉන්න තරුණ දරුවන්ගේ ලෝකය කොයි තරම් පටුද කියන එක තේරුම් ගන්න ඔය ලියවිල්ලම ප්‍රමාණවත් කියා මම හිතනවා. දේශපාලනයට කාලය යොදවන නිසා පොතක් පතක් කියවන්න වෙලාවක් නැතුව ඇති. තරුණ පරම්පරාවේ බහුතරයට ලෝකය ගැන ඔයිට වඩා දැනුමක් අවබෝධයක් තිබීම සතුටට කරුණක්...//

    දැන් මෙතැනදී ඔබ අදහස් කරන්නේ අන්තරේ ඉන්න තරුණයන්ගේ ලෝකය සමස්තයක් ලෙස  පටු බවද? ලංකාවේ අන්තරේට අයිති තරුණයින් ප්‍රමාණය (අවුරුදු 19-25 පමණ වයසැති)  මගේ ඇස්තමේන්තුවට අනුව රටේ තරුණ  ජනගහනයෙන් 1% අඩු වෙයි කියලා හිතමුකෝ.  එතකොට ඉතිරි 99% අයිති වෙන්නේ අන්තරයෙන් පිටත කොටසට, එනම් බහුතරයට. දැන් මේ බහුතරය එතකොට අන්තරය⁣ට වඩා ඉදිරියට හිතන, ලෝකය ගැන අන්තරේට වඩා දැනුමක් සහ අවබෝධයක් ඇති , රටේ අනිත් ජනතාවට සතුටු වෙන්න පුලුවන් දෙයක් කරපු/කරන පිරිසක්ද?

    CP-C

    ReplyDelete
    Replies
    1. මම දන්නා ගොඩක් අය "ගැට්ට" තිබෙන, ගිරවු වගේ කියවන්න පුහුණු වී සිටින එහෙත් කියවන දේවල් ගැන තමන්ටවත් අවබෝධයක් නැති අය. නම් කියන්න යන්නේ නැතත්, ඔය ගොඩට අන්තරේ පොරවල්ව සිටි සමහර ප්‍රසිද්ධ චරිත කෙළින්ම දමන්න පුළුවන්. මෙහි පළ කර තිබෙන ප්‍රකාශයෙන් පෙනෙන්නේද අදාළ දරුවාගේ ලෝකය කොයි තරම් පටුද කියන එකයි. මම දන්නා තරමින් තවමත් නිල ආයතනයක් නොවන අන්තරේට එකතු වන්නේත්, එකතු කර ගන්නේත් ඔය වගේ පිරිස් කියා මම හිතනවා. ඉන් පසුව ඔවුන් දිගින් දිගටම ඇසුරු කරන්නේත් තමන්ගේ කණ්ඩායමේ අය. ඔය අතර ව්‍යතිරේඛ තිබෙන්න පුළුවන්. නොදන්නා දේවල් ගැන සාමාන්‍යයෙන් නොකියවන ඉතිරි බහුතර සිසුන් අතර අඩු වශයෙන් තමන් ඉගෙන ගන්නා විෂය ගැන හොඳ අවබෝධයක් තිබෙන සැලකිය යුතු පිරිසක් ඉන්නවා. ඒ අයගෙන් රටටත් ලෝකයටත් වැඩක් වෙනවා. අඩු වශයෙන් තමන්ගේ පවුලට හෝ වැඩක් වෙනවා කියා කියන්නේ රටට වැඩක් වෙනවා කියන එකයි. ශිෂ්‍යයන් දේශපාලනය කිරීම ගැන වගේම ශිෂ්‍යයන් තේරුමක් නැතිව රැල්ලට දේශපාලනය කිරීමත් (අනෙක් ශිෂ්‍යන්ට හා පොදුවේ සමාජයට ඇණයක් නොවන තුරු) මට ප්‍රශ්නයක් නැහැ. දේශපාලනය කිරීමට පෙර දේශපාලනය ඉගෙන ගෙන තිබීම අවශ්‍යම කරුණක් නෙමෙයි. එහෙත් එසේ වූ පමණින් මෙවැනි ළදරු ප්‍රකාශ වලට අනවශ්‍ය බරක් තැබිය යුතු නැහැ. ලංකාවේ සරසවියක ආර්ථික විද්‍යා විෂය හදාරණ හෝ හැදෑරු සිසුන් බහුතරයකට වගේම පොදුවේ බොහෝ සරසවි සිසුන්ට ඔවුන්ගේ සාමාන්‍ය දැනුමෙන් වුවත් මෙම ප්‍රකාශය ගැඹුරක් නැති, බොළඳ ප්‍රකාශයක් බව තේරුම් ගන්න අපහසුවක් නැතැයි මම හිතනවා. කොහොම වුනත් මේ වගේ ප්‍රකාශ වලට බරක් තබන අයත් රටේ ඉන්නවා කියන එක අමතක කරන්නත් බැහැ.

      Delete
  7. මාර්තු 28 ලිපියට අදාලව:

    2. එකොනො, චීනය,  එනම් චීන කොමියුනිස්ට් පක්ෂය විසින් අධිපතිවාදී ලෙස පාලනය ගෙන යන චීන දේශපාලන රෙජීමයට යම් විවෙිචනයක් ගෙනෙන විට පදනමින්ම ඇතැමුන් කලබල වෙන්නේ ඇයි? මේ චීන දේශය ගැන හරියට නොදැන පත්තර සඟරාවලින් චීනය ගැන දැන ගත්ත අයගේ ලක්ෂණයක් කියලා තමයි මට හිතෙන්නේ. දැන් බලන්න: ලංකාව ගැන විදේශයන්ට අපිට අපේ රට හොඳයි , සාමාන්‍යයි කියලා කියන්න මුදල් ගෙවා සකස් කරන ලද වැඩ සටහන් හදලා ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් ඒ අනුව  ඇත්තටම අපේ රට හොඳ,  සාමාන්‍ය රටක්ද? දැන් තර්කයක් ගේන්න පුළුවන් ⁣ලෝකයේ කිසිම රටක් හොඳ හෝ සාමාන්‍ය නැහැ කියලා. ඒ කතාව ඇත්ත තමයි. නමුත් කවුරු හරි ප්‍රචාරණය කරනවා නම් අපේ රට හරි හොඳ සාමාන්‍ය රටක් කියලා එතැන සැකයකට තුඩු දෙන කාරණයක් තියෙනවා.

    කොරෝනාව ටිකක් හොඳ අතට හැරුනොත් ඔබත් චීනයට අවුරුද්දකට හමාරකට  යනවායි කියලා කිව්වා. ඒකයි මේක ලියන්නේ.

    චීන රජයේ ආරාධනාවක්  මත ලංකාවේ පරිපාලන සේවයේ නියුතු  මගේ මිතුරකු 2012 දී  චීනයට ගියා.

    ඉතාම රැවටිලිකාර රටක් ලෙසට ඔහු ඒ රට හැඳින්වූවා. resturant එකකට ගිහින් beef devel එකක් ඉල්ලූ විට ඒ ආකාරයෙන් සකසන ලද කිඹුල් මස්,සහ කාඩ්බෝඩ් මිශ්‍රණයක් ඔහුට දීලා. තරු හතරේ හෝටලයක නවාතැන් ගත්තත් උදේ 9 පසුව නාන කාමරවල  වතුර නැහැලු. ගල් අඟුරු පතලක ඉතා අමානුෂික ආකාරයෙන් වැඩ කරවන සිරකරුවන් ඔහු දැකලා තියෙනවා. අතේ අල්ලටත් වඩා විශාල ඉස්සෝ, බූවලු පැටවු, කැඳ බත් තමයි කාලා තියෙන්නේ. එදා ඔහු චීනයේ Wet market ගැන කිව්ව කතාව නම් අද ඇත්තම ඇත්තක් බව මට හිතෙනවා.

    එතකොට චීනය ගැන කියන්න හොඳ දෙයක් ඇත්තේම නැද්ද උඹට කියලා මම ඇහුවාම මෙහි ප්‍රසිද්ධියේ ලියන්න බැරි දෙයක් ඔහු චීන ගැහැණුන් ගැන කියලා මහා හයියෙන් හිනා වුනා.

    මට මේ කතාව මතක් වුනේ මාර්තු 30දා South China Morning  අන්තර් ජාල පත්තරේ පල වෙලා තිබුණ news කෑල්ලක් දැකලා. සිංහ කූඩුවක  බල්ලෙක්ව දාලා ප්‍රදර්ශනය සඳහා සත්වෝද්‍යානයක. වෘකයෝ සහ බල්ලන්ව එකට දාලා වෘකයෝ ලෙස ප්‍රදර්ශනය කරනවාලු.

    විජය රජා නැවකින් එනවා කියලා තමයි ජැක්සන් ඇන්තනි මහින්ද රාජපක්ෂලාට හම්බන්තොට වරාය විවෘත කරන කොට නැටුම් නටලා, ගයලා වයලා පෙන්නුවේ.

    අනේ අන්තිමට චීනා ඇවිත් අවුරුදු එකසිය ගානකට හම්බන්තොට අයිති කර ගත්තා.

    CP-C

    ReplyDelete
    Replies
    1. ඔබේ මිතුරාගේ තර්කනම් ඕනෑවට වඩා සරලයි කියා මම හිතනවා. ප්‍රවාදයක් විදිහට ඓතිහාසික භෞතිකවාදය, විශේෂයෙන්ම එහි අවසාන කොටස, නිවැරදියි කියා මම හිතන්නේ නැහැ. හරියටම කියනවානම් සමාජ පරිණාමය හරහා අනිවාර්යයයෙන්ම කොමියුනිස්ට් සමාජයක් බිහිවෙයි කියන අදහස මම පිළිගන්නේ නැහැ. ඔබ දන්නා පරිදි අනාගතයේ එනවායැයි ඇතැමුන් විශ්වාස කරන කොමියුනිස්ට් සමාජය හා ඓතිහාසික භෞතිකවාදය තුළ අර්ථදක්වන ධනවාදී සමාජ ක්‍රමය අතර නිර්ධන පංති ආඥාදායකත්වය කියා අතරමැදි පුරුකක් තිබෙනවා. මෙය යම් භූගෝලීය කලාපයක හැදෙන එහි ස්වභාවය අනුවම ජාතිකවාදී ව්‍යුහයක්. කොමියුනිස්ට් ප්‍රකාශනයේ විස්තර කෙරෙන ආකෘතිය යටතේ හැදෙන ඔය ආකාරයේ සමාජවාදී සමාජයක් දේශපාලන ආකෘතිය අතින් කොහොමටත් ස්ටාලින්ගේ සෝවියට් දේශය හෝ වත්මන් චීනය වගේ එකක් තමයි. එවැන්නක පැවැත්ම සඳහා යම් තරමක අධිරාජ්‍යවාදී විභවයක්ද අවශ්‍යයි. අනිවාර්යයෙන් සිදු විය යුතු දෙයක් නොවුනත් මේ ආකාරයේ ක්‍රමයක් ලෝකයේ ප්‍රමුඛ දේශපාලන ක්‍රමය වීමේ විභවයක් තිබෙනවා. උතුරු ඇමරිකාවේ හා බටහිර යුරෝපයේ ජනගහණයට සාපේක්ෂව පැරණි සෝවියට් දේශය ඇතුළු සමාජවාදී ලෝකයේ ජනගහණය ගොඩක් විශාල නැහැ. ඒ නිසා ධනවාදයේ කාර්යක්ෂමතාවය හමුවේ අකාර්යක්ෂම සමාජවාදයට ආර්ථික තලයේදී පසු බහින්න වුනා. නමුත් චීනය හා අදාළව කතාව වෙනස්. ඇමරිකාව චීනය මෙන් හතර ගුණයක් කාර්යක්ෂමව තිබියදීත් ලෝකයේ ලොකුම ආර්ථිකය වීමට චීනයට පුළුවන්. ලෝක දේශපාලනය තීරණය කරන්නේ ආර්ථික බලය මත. චීනයට එහි විශාල ජනගහණය නිසා, ඇතුළෙන් පිපිරීමක් සිදු වීම වළක්වා ගත හැකි තාක් කල්, ආර්ථික බලය අතින් සමස්ත බටහිර ලෝකයට වඩා ඉදිරියෙන් සිටීමේ හැකියාව තිබෙනවා. මේ හේතුව නිසා, මාක්ස්වාදයෙන් විස්තර කෙරෙන සමාජ පරිණාමය නිසා නොවූවත්, ලෝක බල දේශපාලනය තුළ ධනවාදයේ පැවැත්ම අභියෝගයට ලක් වෙන්න පුළුවන්. බටහිර ලෝකයට චීනය තරමටම විශාල ජනගහණයක් සිටින ඉන්දියාව මේ තරමටම වැදගත් වෙන්නේ ඒ නිසයි. ධනවාදය ආරක්ෂා වෙන්නේ ඉන්දියාව ධනවාදී කඳවුරේ සිටියොත් පමණයි. ඒ වගේම ධනවාදය තුළ ඉන්දියාව විශාල ලෙස දියුණු වීමත් අනිවාර්යයෙන්ම සිදු විය යුතුයි. එසේ නැත්නම් ලොකු ජනගහණයක් සිටියත් ඉන්දියාවට ධනවාදී කඳවුර තුළ විශාල භූමිකාවක් කරන්න බැහැ. ඒ වගේම ඉන්දියාව ධනවාදී කඳවුර තුළ තියාගන්නත් බැහැ. ඉහට උඩින් ඉතා දියුණු ඉන්දියාවක් හැදුනොත් ලංකාවේ ගොඩක් අයගේ ඉන්දියානු විරෝධය අවසන් වෙලා කොහොම හරි ඉන්දියාවට පැන ගැනීම ඔවුන්ගේ සිහිනය බවට පත් වෙනවා. ඉන්දියාවෙන් වියුක්තව ලංකාවට පවතින්න බැරි වෙනවා. එහෙම පවතින්න පුළුවන් වෙන්නේ චීනය වගේ ප්‍රබල රටක කොටසක් ලෙස පමණයි. දේශපාලනය තීරණය වන්නේ සාධාරණත්වයට හෝ නිවැරදි බවට වඩා බලය කියන සාධකය මත. බටහිර ලෝකය ඉන්දියාව තමන්ගේ අනාගත සටන් පෙරමුණ ලෙස හඳුනාගෙන කටයුතු කරද්දී චීනය පකිස්ථානය, බංග්ලා දේශය හා ලංකාව අල්ලා ගෙන ඉන්දියාව කොටු කරන්න සැලසුම් කරමින් ඉන්නවා.

      Delete
  8. ඉකොනොමැට්ටා දන්නවද මේ වන විට කොළඹ ඉදිවෙන වරාය නගරයට සහ තදාසන්න ප්‍රදේශය වූ අති විශාල වර්ග කිලෝ මීටර් 3.69 කින් සමන්විත ගොඩබිමින් ද මුහුදෙන් හෙක්ටයාර ගණනාවක් හා තවත් මුහුදු පෙදෙසක් ද එක් කොට ඉදිකර ඇති පෝට් සිටිය කොළඹ වරාය නගරය මේ වන විට චීනයේ ආධිපත්‍යයට පැවරෙන බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම වෙත තොරතුරු ලැබී ඇත.

    එසේම ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය හමුවකදී ද අනාවරණය කළේ නන්දසේනගේ කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වූ පරිදි සුරාබදු පනත, සුදු පනත, සහ විනිමය පණත ඇතුළු පනත් අති විශාල ප්‍රමාණයක් පනත් සියල්ලම ශ්‍රී ලංකාවේ බලපැවැත්වෙන නමුත් පෝට් සිටිය තුළට ඒ කිසිදු පනතක් අදාල නොවන බව කැබිනට් මණ්ඩලය දැනුවත් කරමින් ජනාධිපතිවරයා විසින් පවසා ඇති බවයි.

    මෙය රටක් තුළ ගොඩනැගෙන අතිශයින්ම භයානක හිරිකිත අශිෂ්ඨලෙස වෙනත් රටක බලහත්කාරයෙන් ඇතිකරන අධිරාජ්‍යවාදී දැඩි ව්‍යසනයකි. මේ වන විට ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් ට්‍රිලියන ගණනක් වූ කිසිදා ගෙවා අවසන් කල නොහැකි වූ චීනයේ සුවිසල් ණය උගුල නමැති කොටි වලිගයට හසුවී හමාරය. ඇන්ගෝලාව, බර්මියුඩාව, බෲනායි දේශය, බෝර්න්නියෝ, හයිටි රාජ්‍ය, නයිජීරියාව, මොනැකෝ, මොන්ටිනීග්රෝ, පාකිස්ථානය, ටිමෝරය, යේමනය සහ සිම්බාබ්වේ යන චීන ආධිපත්තිය ගොඩනගාගෙන ඇති අනිත් රටවල් වලට වඩා මේ වන විට සමස්ත භූමි ප්‍රමාණයෙන් විශාල ප්‍රමාණයක්ද චීනය විසින් අත්පත් කරගෙන ඇත. ලංකාවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යුද්ධය අවසන් වීමත් සමඟම චීනය ගොඩ බැස සිදුකරන ලද ඇමරිකානු ඩොලර් ට්‍රිලියන ගණනක් වූ අසීමිත ණය කන්දරාවෙන් ලබාගන්නා ලද ඩොලර් බිලියන දහ අටකට වැඩි කොමිස් මුදල් නිසා රාජපක්ෂවරුන් අද මුළු රටම චීනෙට නතු කරමින් සිටින බව ට පෙනී යන ප්‍රධාන කරුණකි.

    මෙනිසාම චීනයට එරෙහිව ලංකාවාසී ජනතාවගේ හඬ අවදි කළ යුතුය.

    එසේ නොවුණහොත් ඉදිරියේදී දැඩි වියසනයක් සිදු වනවා නොඅනුමානය. මේ නිසාම මීට පෙර අවස්ථාවකදී ද සමගි ජන බලවේගයේ නායකත්වය සමග මන්ත්‍රී හර්ෂ ද සිල්වා සහ එරාන් වික්‍රමරත්න පෙන්වා දුන් පරිදි චීන ජනරජය විසින් කොළඹ පෝර්ට් සිටිය වෙනුවෙන් වෙනමම නීති පද්ධතියක් දියත් කිරිම සදහා චීන පොලිසියක් ස්ථාපිත කිරීමටද ඔවුන් මේ වනවිටත් අවධානය යොමු කර ඇති බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම වෙත ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් දැනගැනීමට ඇත.

    එසේ වුවහොත් ශ්‍රී ලංකාව තුළ වෙනම පොලිස් ඒකකයක් ද මේ අනුව නිර්මාණය වීම කිසිවකුටත් වැළැක්විය නොහැකිය. එමෙන්ම මේ නව චීන කොලනිය පාලනය කරන්න විශේෂ කොමිෂන් සභාවක් පත් කිරීමට කටයුතු කරන බවත් ඊට විදේශිකයන් පත් කිරීමට කුමන්ත්‍රණයක් පවතින බව ඉතාමත් පැහැදිලි බව ආචාර්ය එරාන් වික්‍රමරත්න මහතා ඉතා දැඩි ලෙස අවධාරණය කළා. ඩොලර් ට්‍රිලියන ගණනක් වූ චීන ණය උගුලේ හිරවී විනාශ වී ගිය සිම්බාබ්වේ රටට වූ දේ බැලූ විට ලංකාවද එම මාර්ගයේම යන බව ඉතාමත් පැහැදිලියි. මේ ගැන ඔබටත් ඉතා හොඳින් පැහැදිලි කිරීමක් කළ හැකි වනු ඇති.

    ReplyDelete
  9. මේ කතාව ඇත්ත ද ඉකොනො?


    https://www.cityam.com/almost-a-fifth-of-all-us-dollars-were-created-this-year/

    ReplyDelete
    Replies
    1. ඔව්. මේක ඇත්ත. ඇත්තටම මම සල්ලි අච්චු ගැහීම ගැන ලියන්න පටන් ගත්තේ ඇමරිකාවේ මෑතකාලීන සල්ලි අච්චු ගැහීම හා එයින් සිදු විය හැකි ප්‍රතිවිපාක ගැන කතා කරන්න හිතාගෙනයි. එය ටිකක් මග හැරුණා. ධනවාදයේ කඩා වැටීම කොහොම වුනත් මේ කේන්සියානු පිම්බීම නිසා ඩොලරයටනම් සැලකිය යුතු බලපෑමක් වෙන්න පුළුවන්. එහෙම වුනොත් එය සමස්ත ලෝක දේශපාලනය කෙරෙහිම බලපෑමක් කරන එක වලක්වන්න අමාරුයි. චීනය මේ දිහා හොඳින් ඇහැ ගහගෙන ඉන්නවා වගේම යම් පූර්ව ක්‍රියාමාර්ග (precautions) ගනිමින් ඉන්නවා. චීනය මේ වෙද්දී ටිකෙන් ටික ඔවුන්ගේ ඩොලර් සංචිත අඩු කරමින් ඉන්නවා. චීනයට දැන් ඩොලර් අවශ්‍ය නැහැ කියා මම කිවුවේ ඒ නිසා. ඒ එක්කම චීනයේ ඇමරිකන් වෙළඳපොළ ටිකෙන් ටික අහිමි වීමේ අවදානමක් තිබෙන බව චීනය දන්නවා. චීනයේ සේද මාර්ග ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා චීනය සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව මේ සතිය මුල චීන නායකයා හා ශ්‍රී ලංකා ජනාධිපති අතර පැවති දුරකථන ඇමතුමේදී එකඟ වූ බව චීනය විසින් නිල වශයෙන්ම කියා තියෙනවනේ. මේ ව්‍යාපෘතියේ ඉලක්කය චීනයට ස්ථාවර අලුත් වෙළඳපොළවල් හදා ගැනීමයි. සල්ලි අච්චු ගැහීම කරන්නේ ඇමරිකාව පමණක් නොවන නිසා ඩොලරයේ කඩා වැටීමක් සිදු වුවහොත් සාපේක්ෂ පදනමකින් වැඩිම වාසිය තිබෙන්නේ චීනයටයි.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: