වෙබ් ලිපිනය:

Sunday, January 2, 2022

ආර්ථික අර්බුදයේ ඓතිහාසික සම්භවය (හත්වන කොටස)


නිදහසෙන් පසු එක් එක් කාල වකවානු තුළ ලංකාවේ රාජ්‍ය ණය එකතු වූ ප්‍රමාණයත්, දදේනි ඉහළ ගිය ප්‍රමාණයත් පිළිබඳ සැසඳීමක් අපි පෙර කොටසෙහි සිදු කළා. 1990 පමණ වන තුරු රාජ්‍ය ණය ඉහළ ගිය අනුපාතයට දදේනි ඉහළ ගියේ නැහැ. ඒ නිසා, දදේනි අනුපාතයක් ලෙස රාජ්‍ය ණය දිගින් දිගටම ඉහළ ගියා. සමගි පෙරමුණු ආණ්ඩුව බිඳ වැටී ලංකාවේ දේශපාලනය තුළ ජාතික සමාජවාදය තීරණාත්මක ලෙස පරාජය වුනාට පස්සේ ක්‍රමක්‍රමයෙන් මේ තත්ත්වයේ වෙනසක් ඇති වුනා. මේ සැසඳීම තුළම අපට ලංකාවේ ආර්ථිකයේ නිදන්ගත ප්‍රශ්නය වගේම ප්‍රශ්නයට විසඳුමත් හමු වෙනවා.

සාපේක්ෂව පහසුවෙන් විසඳිය හැකි හා අප මේ වියුණුව හරහා තරමක් වැඩිපුර කතා කර තිබෙන ගෙවුම් ශේෂ ප්‍රශ්නය ගැන කතා කරන එක අපි ඉදිරියට තියමු. ලංකාවේ ගෙවුම් ශේෂ ප්‍රශ්නය අද තිබෙන භයානක අඩියට වැටුණේ රාජපක්ෂ දශකය තුළදී. එහෙත්, රාජ්‍ය ණය ප්‍රශ්නය එම කාලයේ ඇති වූ ප්‍රශ්නයක් නෙමෙයි. 2004 වසර අවසාන වන විට එකතු වී තිබුණු රාජ්‍ය ණය ප්‍රමාණයේ අද වටිනාකම රුපියල් බිලියන 11,816ක්. රාජපක්ෂ දශකය තුළ මෙයට එකතු වුනේ තවත් රුපියල් බිලියන 2,880ක් පමණයි. ප්‍රතිශතයක් ලෙස ගත්තොත් 24.4%ක්. 

ඉහත රාජ්‍ය ණය ඉහළ යාමට සාපේක්ෂව 2004-2014 කාලය තුළ ලංකාවේ දදේනි රුපියල් බිලියන 7,231 සිට රුපියල් බිලියන 13,438 දක්වා 85.8%කින් ඉහළ ගියා. දැන් රුපියල් වලින් (2021 සැප්තැම්බර්) බිලියන 6,207ක වැඩි වීමක්. සමහර අය කියන විදිහට රාජපක්ෂ දශකය තුළ ණය වැඩි වුනත් වත්කම් වැඩි වෙලා නැහැ. එහෙත්, මේ ගණන් අනුව බැලුවොත් ණය වැඩි වූ ප්‍රමාණය මෙන් 215% ගුණයකින් රටේ දදේනි ඉහළ ගොස් තිබෙනවා.

මෙයින් අප කියන්න හදන්නේ ඔය කාලය තුළ හොරකම්, වංචා, දූෂණ කිසිවක් සිදු නොවූ බව නෙමෙයි. යම් හෙයකින් එවැනි දේ සිදු වුනානම් එහිදී වෙන්නේත් කාගේ හෝ ආදායම් ඉහළ යාමක්. ඒ නිසා, එවැනි ආදායම් වුවත් දදේනි තුළ තියෙන්න පුළුවන්. ඒ වගේම, මේ විදිහට මේ කාලය තුළ දදේනි ඉහළ ගියේ එම කාලය තුළ ගත් ණය වල උදවුවෙන් කියන එකත් මෙයින් අදහස් වන්නේ නැහැ. පරණ ණය වලින් කළ ආයෝජන වල ප්‍රතිඵල ලැබුණේ මේ කාලයේ වෙන්න පුළුවන්. අපට පෙන්වන්න අවශ්‍ය කරුණ පෙන්වන්න මේ කිසි දෙයක් ප්‍රශ්නයක් වන්නේ නැහැ. 

වැදගත් කරුණ මේකයි. රාජපක්ෂ දශකය තුළ මොන විදිහකින් හෝ අද වටිනාකම අනුව රුපියල් බිලියන 6,207කින් දදේනි ඉහළ ගියා. ඒ කියන්නේ රටේ කාගේ හෝ ආදායම් එපමණකින් ඉහළ ගියා. එහෙත්, ඒ කාලයේ ඉහළ ගිය රාජ්‍ය ණය වල අද වටිනාකම රුපියල් බිලියන 2,880ක් පමණයි. එහෙමනම් වැරැද්ද කුමක්ද?

මෙහි වැරැද්ද රජය ණය වී කළ දේවල් වලින් රටේ ආදායම් ඉහළ යද්දී ඒ ආදායම් රජයේ ආදායම් නොවීමයි. රජයට එළදෙනගේ ඉස්සරහ පැත්ත. කිරි, ගොම ටික රජයෙන් පිට වෙන කාට හරි!

ප්‍රශ්නය තේරුම් ගත්තට පස්සේ පිළිතුරත් පැහැදිලි වෙනවා. කරන්න තියෙන්නේ රජය ණය වී කළ වියදම් වලින් ප්‍රතිලාභ ලැබූ අයගෙන් ණය ආපසු ගෙවීම සඳහා අවශ්‍ය අරමුදල් එකතු කර ගන්න එකයි. තේරෙන බාසාවෙන් කිවුවොත් බදු වැඩි කරන එකයි! යහපාලන ආණ්ඩුව යම් තරමකින් හෝ කරන්න හැදුවේ ඔය වැඩේ. 

හැබැයි යහපාලන ආණ්ඩුව බදු අය කරපු ක්‍රමයේත් ප්‍රශ්නයක් තිබුණා. ඔවුන් මේ බදු අය කළේ ණය වල ප්‍රතිලාභ ලැබූ අයගෙන්ම නෙමෙයි. රජය ගත් ණය ආපසු ගෙවීම සඳහා බදු ගෙවීමේ වගකීම තියෙන්නේ අදාළ කාලය තුළ දදේනි ඉහළ යද්දී තමන්ගේ ආදායම වැඩි කරගත් අයටයි. ඒ වගේම, ඒ අයගෙන් බදු අය නොකර, මේ ආණ්ඩුව දැන් කරන ආකාරයට, සල්ලි අච්චු ගසා "උද්ධමන බදු" අය කරද්දී වෙන්නේත් පැත්තක සිටින පිරිසකගේ බඩට වදින එකයි. 

ණය ගෙවීම සඳහා බදු අය කළ යුත්තේ ඉහළ ආදායම් ලබන අයගෙනුයි. මෙය ධනවතුන්ගේ දේ උදුරාගෙන දුප්පතුන්ට බෙදන්න කරන සමාජවාදී යෝජනාවක් නෙමෙයි. ණය වල ප්‍රතිලාභ ලබා ගත් අය මත ණය ගෙවීමේ බරද පැටවිය යුතු බවට වන වෙළඳපොළ මූලික අදහසක්. එම බර වෙනත් අය මත පැටවීම සාධාරණ නැහැ. මෙය ප්‍රායෝගිකව කළ හැකි ආකාරය ඉදිරි ලිපියකින් දීර්ඝ ලෙස සාකච්ඡා කරමු. 

ආර්ථිකයෙන් දේශපාලනයට ආවොත්, ලංකාව ගොඩ ගැනීම සඳහා වන ජාතික ප්‍රතිපත්තියක් තුළ පෞද්ගලික අංශයට කළ හැකි දේ කිරීමෙන් රජය ඉවත් විය යුතු බව මා පෙර ලිපියක හේතු සහිතව විස්තර කළා. දැන් මා මේ පළමු මූලධර්මයට දෙවන මූලධර්මයක්ද එකතු කරනවා. රජයේ සියලු වියදම් පියවා ගැනීම සඳහාත්, ණය ගෙවීම සඳහාත් අවශ්‍ය අරමුදල් බදු වැඩි කර උපයාගත යුතුයි. එසේ කිරීම සාධාරණ හා නිවැරදි වන්නේ ඇයි කියන එකත් දැන් මා පැහැදිලි කර අවසන්. මේ මූලධර්ම දෙකටම එකඟ නොවන දේශපාලන ව්‍යාපාරයකට ලංකාව ගොඩ දමන්න බැහැ.

රජයේ සියලු වියදම් පියවා ගැනීම සඳහාත්, ණය ගෙවීම සඳහාත් අවශ්‍ය අරමුදල් බදු වැඩි කිරීම හරහා උපයා නොගන්නේනම් එක්කෝ දිගින් දිගටම ණය ගන්න වෙනවා. මෙය කොයි වෙලාවක හෝ අර්බුදයට යන ක්‍රමයක් බව කාට වුවත් පැහැදිලි විය යුතුයි. දෙවන ක්‍රමය සල්ලි අච්චු ගැසීමයි. එහි ප්‍රතිඵලද නැවත නැවත විස්තර කළ යුතු නැහැ. රජයේ සියලු වියදම් පියවා ගැනීම සඳහාත්, ණය ගෙවීම සඳහාත් මේ විකල්ප හැර වෙනත් කවර හෝ විකල්පයක් කවරෙකු හෝ සතුව තිබේද?

17 comments:

  1. //හැබැයි යහපාලන ආණ්ඩුව බදු අය කරපු ක්‍රමයේත් ප්‍රශ්නයක් තිබුණා. ඔවුන් මේ බදු අය කළේ ණය වල ප්‍රතිලාභ ලැබූ අයගෙන්ම නෙමෙයි//

    //ණය ගෙවීම සඳහා බදු අය කළ යුත්තේ ඉහළ ආදායම් ලබන අයගෙනුයි.//

    සරල උදාහරනයකින් පැහැදිලි කරන්න පුකුවන්ද? යහපාලනේ බදු ආදායම වැඩිකරගත්තු ආකාරය ගැන පැහැදිලි අදහසක් ගන්න .

    ReplyDelete
    Replies
    1. මෙය කෙටි පිළිතුරක් ලබා දිය හැකි ප්‍රශ්නයක් නෙමෙයි. බදු ගැන පසුව සංඛ්‍යාලේඛණ සමඟ විස්තරාත්මක ලෙස කතා කරමු. අයවැය හිඟය අඩු කර ගැනීමේදී ඕනෑම ආණ්ඩුවකට මුහුණ දෙන්න සිදු වන ප්‍රායෝගික ප්‍රශ්නයට යහපාලන ආණ්ඩුවට මුහුණ දෙන්න සිදු වුනා. දැන් මේ ආණ්ඩුවටත් (බැසිලාගමනයෙන් පසු) එම ප්‍රශ්නයටම මුහුණ දෙන්න සිදු වී තිබෙනවා. ලංකාවේ බදු ක්‍රමයම විශාල විකෘතියක් බවට පත්ව ඇති නිසාත්, එම විකෘතිය නිවැරදි කරන තුරු අයවැය හිඟය ගැන නොසලකා ඉන්න බැරි නිසාත්, කලින් සැලසුමක් නොහදා බලයට පත් වන, අයවැය හිඟය ප්‍රශ්නයක් සේ දකින, ඕනෑම ආණ්ඩුවකට මුලින්ම මොන විදිහෙන් හෝ අයවැය හිඟය අඩු කර ගන්න වෙනවා. එහිදී ප්‍රායෝගිකව සිදු විය හැක්කේ වක්‍ර බදු ඉහළ දැමීමයි. රාජ්‍ය ආදායම් අඩුවීමේ ප්‍රශ්නය නිසි සේ හඳුනාගන්නත් නිදහස ලැබුණු කාලය දක්වා යන්න සිදු වෙනවා. ඉංග්‍රීසි ආණ්ඩුව කාලයේ සිට 1960 පමණ දක්වාම ලංකා රජයේ ප්‍රධාන ආදායම් මාර්ගය වුනේ ආනයන හා අපනයන මත පනවනු ලැබූ බදු. මෙය අදාළ කාලයේ ලංකාවේ ආර්ථික ව්‍යුහය සමගත්, ලෝක ආර්ථිකයේ ස්වභාවය සමඟත් මනාව ගැලපුණු බදු ප්‍රතිපත්තියක්. නිදහසින් පසු ජාතික සමාජවාදී ප්‍රතිපත්ති යටතේ ආනයන ආදේශනය සිදු වෙද්දී මේ බදු ආදායම්ද ටිකෙන් ටික පහළ ගියා. ඒ වගේම, ලෝක වෙළඳ සංවිධානයේ මැදිහත්වීමෙන් නිර්බාධ ජාත්‍යන්තර වෙළඳාම ප්‍රවර්ධනය කරනු ලැබීම හා ලංකාව එම මාර්ගෝපදේශ අනුව කටයුතු කරමින් ආනයන අපනයන බදු අනුපාතික ක්‍රමක්‍රමයෙන් පහළ දැමීමත් නිසා වඩා ජාත්‍යන්තරවාදී ආර්ථික ප්‍රතිපත්ති යටතේ ආනයන අපනයන ඉහළ යද්දී එයට සමාන්තරව රාජ්‍ය ආදායම් ඉහළ ගියේ නැහැ. මේ තත්ත්වයන් පහසුවෙන්ම කලින් හඳුනාගෙන විකල්ප රාජ්‍ය බදු ප්‍රතිපත්තියක් හදාගත හැකිව තිබුණත් එසේ කළ හැකි තරම් දැක්මක් තිබුණු අය (දන්නා තරමින්) ලංකාවේ හිටියේ නැහැ. රජයේ ආදායම් අඩු වී ඇති බව මිස අඩු වුනේ කොහොමද කියන එක ගැනවත් බදු ප්‍රතිපත්ති හැදූ අයට අවබෝධයක් තිබුණාද කියන එක සැකයි. හදා ගැනීමට බොහෝ කල් පසු වී තිබෙන රාජ්‍ය බදු ප්‍රතිපත්තියක් දැන් හෝ හදා ගත යුතුයි. සාමාන්‍යයෙන් ඕනෑම දේශපාලන පක්ෂයකට නිශ්චිත බදු ප්‍රතිපත්තියක් තිබෙනවා. නමුත් ලංකාවේ කිසිදු දේශපාලන පක්ෂයකට එවැනි නිශ්චිත බදු ප්‍රතිපත්තියක් නැහැ. තිබෙන එකම බදු ප්‍රතිපත්තිය "එන එන හැටියට ගහ උළුවස්සා" බදු ප්‍රතිපත්තියයි.

      Delete
  2. මේ තියෙන්නේ ලංකාවෙ ආර්ථිකය ඉතා පහසුවෙන්ම ගොඩ දාගන්න පුලුවන් ලෙහෙසි ක්‍රමයක් මේ කෙටි වීඩියෝ ක්ලිපය බලලා තේරුම් ගන්න පුළුවන් වේවි.

    https://www.facebook.com/293944274085130/posts/2709299262549607/?app=fbl

    මේ තුලින් හැමෝටම ජවිපෙ ජාතික බලවේගයේ වැදගත්කම අවබෝධ කර ගන්න අලි පොහොට්ටු ටෙලිපෝන් කම්බ හොරු විනාශ කළ රට ඉතාමත් ඉක්මනින් ගොඩ දාගන්න පුලුවන්

    1. පිරිපහදුව දියුණු කිරීම හරහා ජවිපෙ වෘත්තීය සමිති හරහා ඉතා වෙහෙස මහන්සි වී වැඩ කරන්නට එම සේවකයන්ට උනන්දුව ඇතිකර එයින් රාජ්‍ය තෙල් සංස්ථාවේ ආදායම් වැඩි කර ඒ තුලින් ඩොලර් බිලියන ගණනක් රජයේ ආදායම් වැඩි කර ගැනීම

    2. ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි වසරකට දෙක තුනක් හතරක් විතර අලුත් වැඩියා කර ඒ හරහා ජවිපෙ වෘත්තීය සමිති ව්‍යාපාර මගින් සේවකයන් උනන්දු කර ලංකාවේ තෙල් සංස්ථාව, නැව් සංස්ථාවේ ආදායම් වැඩි කර ගැනීම

    3. හොරකම් නවත්වල එම මුදල් ලංකාවේ ආර්ථිකය දියුණුවට යොදා ගැනීම

    මේ දේවල් වලින් රටේ ගොඩක් ප්‍රශ්න විසඳන්න පුළුවන්

    මේ බලන්න හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ ලංකාවේ දේශපාලකයන් හොරා කෑම ගැන පවසන තොරතුරු

    https://www.facebook.com/101097068638069/posts/297372812343826/

    ReplyDelete
    Replies
    1. මේ වගේ සරල සුරංගනා කතා කියපු දේශපාලන ව්‍යාපාර ලෝක ඉතිහාසය තුළ අඩු නැතුව හමු වෙනවා. ඉටි වලින් පිහාටු අමුණා පියාපත් හදාගෙන පියාඹන්න උත්සාහ කළ අයත් ලෝක ඉතිහාසයේ හිටියා. කරලා බලලා ඇනගන්නකම් මේ වගේ ක්‍රමයක වැරැද්දක් පෙන්වන්න අමාරුයි. වැරදි පෙන්වන්න හදන කෙනෙක්ව විවේචනය කරන්නනම් ඕනෑ තරම් හේතු තිබෙනවා.

      "හැම දෙයක්ම නෙගටිව් විදිහට බලන්න එපා!"

      "හරියයිද නැද්ද බලන්න පියඹලා ඉන්න එපායැ!"

      "බිම වැටෙනවා කියලා කියන්නේ ඔයා කරල බලලද?"

      "හරියන්න හෝ නොයන්න ට්‍රයි කරලා නොබැලුවොත් හැමදාම ඉන්න වෙන්නේ බිම!"

      හොඳම එක.

      "කලින් හැම පාරම බිම වැටුනට මේ පාර වැටෙන්නේ නැහැ. කලින් වාර වල බිම වැටුනේ හදපු පිහාටු වල වැරැද්දෙන්!"

      Delete
    2. //1. පිරිපහදුව දියුණු කිරීම හරහා ජවිපෙ වෘත්තීය සමිති හරහා ඉතා වෙහෙස මහන්සි වී වැඩ කරන්නට එම සේවකයන්ට උනන්දුව ඇතිකර එයින් රාජ්‍ය තෙල් සංස්ථාවේ ආදායම් වැඩි කර ඒ තුලින් ඩොලර් බිලියන ගණනක් රජයේ ආදායම් වැඩි කර ගැනීම

      2. ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි වසරකට දෙක තුනක් හතරක් විතර අලුත් වැඩියා කර ඒ හරහා ජවිපෙ වෘත්තීය සමිති ව්‍යාපාර මගින් සේවකයන් උනන්දු කර ලංකාවේ තෙල් සංස්ථාව, නැව් සංස්ථාවේ ආදායම් වැඩි කර ගැනීම

      3. හොරකම් නවත්වල එම මුදල් ලංකාවේ ආර්ථිකය දියුණුවට යොදා ගැනීම//

      පුලුවන්නම් ඔය එක් එක් ක්‍රමයට පළමු වසර 5 තුළ (එක් එක් වසරේදී) ලබා ගන්නට අපේක්ෂා කරන ආදායම නිශ්චිතව කියන්න.

      Delete
    3. ඉකොනො හිතන විදියට තෙල් ටැන්කි ලන්කාවෙ ආර්තිකේට ඔය කියන් තරම් වැදගත්ද? ඒවයින් ලන්කාව ගොඩ දාන්න පුලුවන්ද?

      Delete
    4. ඉකොනොමැට්ට කිසිම දෙයක් දන්නේ නැතුව බොරු මන්ස්ගාත කියවන්න එපා, ඉස්සෙලාම මේ විනාඩි දෙකේ පුංචි ක්ලිප් එක බලල ඉන්න බහුබූත ලියන්න කලින්;

      https://www.youtube.com/watch?v=AOguvN3_1TU

      ඊලඟට මේ ක්ලිප් එකේ විජිත හේරත් සහෝදරයා ඉතා පැහැදිලිව කියන්වා.

      https://www.facebook.com/293944274085130/posts/2709299262549607/?app=fbl

      තෙල් පිරිපහදුව නවීකරනය සඳහා රජයේ ආයෝජනය ඩොලර් බිලියන් එකකටත් අඩුයි.

      තෙල් විකිනීමෙන් පමනක් තව්ත් ඩොලර් මිලියන් 500 ක් වසරකට ලබා ගත හැකියි. ශුද්ධ ලාභය. එයින් වසර දෙකකින් ආයෝජනය රිකවර් කර ඉතිරි කාලය පුරා වසරකට ඩොලර් මිලියන් 500 බැගින් ලාබ ගන්න පුලුවන් රජයට.

      දැනට මැදමුලන බ්‍රෝකර් උන්නැහේලාගේ ආණ්ඩුව විකුනන්න දතකන තෙල් ටැංකි ටිකත් එහෙම මයි.

      ත‍්‍රීකුණාමල තෙල් ටැංකි සංකීර්ණයේ තිබෙන සහ 2003 වසරේ හිටපු අගමැති රනිල් විසින් ජවිපෙ දැඩි විරෝධය නොතා බදු දුන් සහ දැනටමත් ලංකා ඉන්දියානු ඔයිල් සමාගමට බදු දී තිබෙන තෙල් ටැංකි ප‍්‍රමාණය තවත් අවුරුදු පනහකට එම සමාගමට බදු දීමට වත්මන් දූෂිත ආණ්ඩුව තීරණය කර තිබෙන බව විෂයභාර අමාත්‍ය උදය ගම්මන්පිලම තහවුරු කළා.

      මැදමුලන බ්‍රෝකර් සමාගම තවත් ඉදිරියට යමින් ඊට අමතරව, යෝජිත ටි‍්‍රන්කෝ පෙට්‍රෝලියම් ටර්මිනලස් නම් නව සමාගමක් ස්ථාපිත කිරීමටත් ඒ හරහා තෙල් ටැංකි සංකීර්ණයේ තිබෙන ඉතිරි තෙල් ටැංකි වලිනුත් තවත් තෙල් ටැංකි 61 ක ප‍්‍රමාණයක් ලංකා ඉන්දියානු ඔයිල් සමාගම යටතේ කළමණාකරණය කිරීමටත් ලංකා ඛණිජ තෙල් සංස්ථාවට නාමික අයිතියක් පමණක් තිබෙන පරිදි ටි‍්‍රන්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල්ස් නම් සමාගමෙහි කොටස්වලින් 49% ක කොටස් ලංකා ඉන්දියානු ඔයිල් සමාගමට ලබා දීමට නියමිත බව තහවුරු වී ඇත.

      මීට අමතරව මැදමුලන බ්‍රෝකර්ලා ඉන්දියාවට දීමට ගොස් දැඩි උද්ඝ්හෝෂන නිසා වලක්වන ලද තවමත් රජයේ 100% පාලනය ඇති නැගෙනහිර පර්යන්තයට වරාය අදිකාරියේ මුදල් වියදම් කොට චීන සමාගමකින් අවශ්‍ය දොඹකර මිලදී ගැනීමට සූදානම් වන අතර මෙහි අතයට ගනුදෙනුව ඩොලර් මිලියන 50 ක් බව ජවිපෙ වෘත්තීය සමිති සැක පළ කරයි. ජවිපෙ වරාය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු නිරෝෂන් ගොරකානගේ සහෝදරයා පැවසුවේ නැගෙනහිර පර්යන්තය සදහා අවශ්‍ය දොඹකර මිලදී ගැනීමට සූදානම් වන්නේ චීන පුද්ගලික සමාගමකින් බවත් ඒ සදහා ඇමරිකානු ඩොලර් මිලියන 250 ක් වැය කිරීමට නියමිත නමුත් එම දොඹකර මිලදී ගැනීම සදහා මේ වන විටත් ණයවර ලිපි විවෘත කර ඇතත්, දොඹකර ලංකාවට ලැබෙන්නේ 2024 වසරේ දී බවත් එසේ තිබිය දී ඩොලර් මිලියන 50 ක මුදලක් අදාල සමාගමට ඇඩ්වාන්ස් එකක් ලෙස නිකුත් කිරිමට තිබෙන හදිසිය ගැටළු සහගත බවත් එම වෘත්තීය සමිති හෙළි කලා.

      ඉතාමත් ඉකමනින් දැනට දැඩි ලෙස පිරිහී ඇති වත්මන් දූෂිතයන් විසින් 2024 ට පෙර ආණ්ඩු වෙනසක් සිදු වේ යැයි ඇති බිය නිසා, කල්තියාම ඩොලර් මිලියන 50 ක මුදල අත යට ගනුදෙනුව ලෙස ලබා ගැනීමට කිසියම් පිරිසක් උත්සාහ කරන බව වෘත්තීය සමිති පැහැදිලි කළා.

      රජයේ ආයතන පාඩු ලැබීමට හේතුව කිසිම මොළයක් නැති අමු ගොන් කම්බ හොරුන්ට එම ආයතන පාලනයට පත් කිරීමයි. මේ නිසා රජයේ පාලනයට දූෂිත නොවන බුද්ධිමත් රටට හිතැති පිරිසක් පත්කිරීමෙන් ලේසියෙන්ම මේවා ලාභ ලබන තත්වයට පත් කළ හැකි බව ඉතාමත් පැහැදිලිව පොඩි ලමයෙක්ට පවා පෙනෙන දෙයක්.

      Delete
  3. ඇත්තටම ලංකාවේ ඉතිහාසය ගැන ඉකොනොමැට්ටා කියා ඇති බොහෝ දේ මනූමූලික මනස්ගාත සහ අතාර්කික හිතළු මත ලියා ඇති පල් හෑලි බව පෙනෙයි. ලංකාවේ ආර්ථිකය මෑත කාලීනව මුහුණ දෙන අර්බුදයේ ස්වභාවයන් අවස්ථා කිහිපයකදී නියමුවා පුවත්පත හරහා ලංකාවේ වීවීධ බුද්ධිමතුන්, ආර්ථික විශේෂඥයන් සහ වෙනත් දාර්ශනිකයන්, කලාකරුවන් රැසක් සමග පහුගිය කාලේ පුරාම සාකච්ඡාවට ලක් කළ අතර ඉකොනොමැට්ටා මේ වගේ අදහස් ප්‍රසිද්ධියේ පළ කිරීමට පෙර එම ලිපි කියවා නිසි පරිදි දැනුවත් වීම වඩාත් සුදුසු බව පැහැදිලිවම පේන කරුණක්.

    ලංකාවේ මෑත ආර්ථික කටයුතු දෙස බැලීමේදී විටෙක කෘෂි නිෂ්පාදනයේ අර්බුදයක් ලෙසත්, තවත් විටෙක ආදායම හා ණය අර්බුදයක් ලෙසත් විවිධ පැති මගින් අප දැක ඇත්තේ දුබල ධනවාදී සමාජ ක්‍රමය ලංකාවේදී ලබා ඇති අසාර්ථකත්වයයි. අවුරුදු 73ක් පක්ෂ දෙකකට බෙදී පවත්වාගෙන ආ ධනපති ක්‍රමය තවත් දශමයකින් හෝ ජනතාවගේ ගැටලුවලට විසඳුම් නොදෙන සමාජ ක්‍රමයක්ය යන්න ඔප්පුකර හමාරයි. ඇත්ත වශයෙන්ම ලංකාවේ තියෙන්නේ වැඩියෙන් ධනවාදී නමට පමණක් සුළුවෙන් සමාජවාදී ක්‍රමයක්. එමෙන්ම එම සමාජවාදී ක්‍රම තුලින් ලැබෙන සුළු සහනත් දිනපතා කප්පාදු වෙමින් පවතිනවා.

    ලංකාවේ ජ.වි.පෙ. ප්‍රමුඛ ජාතික ජන බලවේගයේත් වෙනත් සමාජවාදී බුද්ධිමතුනුන් කලක සිට පැවසූ සැබෑ ප්‍රශ්න සහ ක්‍රමයේ අසාර්ථකත්වය මීට කලින් පිළිනොගත් කටවල්වලින්ම දැන් මේ ක්‍රමය අසාර්ථක බව පිළිගනිමින් සිටිනු දැකිය හැකි වීමම සතුටට කරුණක්. ණය ගැනීම තමන් මුහුණ දෙන අර්බුදයට විසඳුම ලෙස දක්වමින් තමන්ගේ පාලන කාලයේ ණය ගැනීමට හැකිවීම තම ආණ්ඩුවේ දක්ෂතාවයක් යැයි පාරම් බෑ පාලකයෝම දශකයකට පසුව තමන් ණය අර්බුදයකට මුහුණ දී ඇතැයි පවසති. විපක්ෂයේ සිටින විට පෞද්ගලීකරණයට විරුද්ධව සටන් පාඨ කියමින් වීදි බසිමින් සිට බලයට පැමිණි විගස එක්කෝ මානුෂික මුහුණුවර, ජනතාකරණය ආදී විවිධ වැල් බයිලා නම් යොදා ගනිමින් රාජ්‍ය සම්පත්, කර්මාන්ත, ආයතන විකුණා දැමූ පාලකයින්ම අද රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලීකරණය අසාර්ථක බව කියමින්ම තවත් විකිණීමට යමක් ඇත්දැයි සොයා බලති.

    මීට අමතරම අධිපරිභෝජනවාදී ධනවාදී ආත්මාර්ථකාමී බලු පොරයට වැටී එකිනෙකා පරයමින් ධනය ගොඩ ගසා ගැනීමට පොර කන හිත් පිත් නැති කෑදරයින් බෝකරන තුච්ඡ ක්‍රමය තුළ නාස්තිය, දූෂණය පැවති හා මෙතෙක් පැවති සෑම පාලනයකම ජාති ලක්ෂණයක් බවට පත්ව ඇත. මෙම කුණුවීම නිසා දේශපාලන ධූරාවලියද නිලධාරී යාන්ත්‍රණයද ඉහළ සිට පහළටමද ඕජස් ගලා හමාරය.

    මීට කලකට පෙරදී තුච්ඡ ධනවාදී රාජ්‍යයේ අශිෂ්ටත්වය වසා ගැනීමට එම නග්නත්වය වැසූ රෙදිකඩක් බඳු ඊනියා ශක්තිමත් නීති හා ආයතන පද්ධතිය නමැති ප්‍රෝඩාව නව ලිබරල් ධනවාදයේ වත්මන් අවශ්‍යතාවයට අනුව ඔවුන්ටම බාධාවක් වී ඇත. ඒ නිසා ඒ ආයතන හා නීති අහෝසි කිරීමට දැන් යෝජනා කරන්නේද එම නීති හා ආයතන පිහිට වූ ඔවුන්මය. මේ හැම ක්‍රියාමාර්ගයක්ම දැනටමත් කෙළවර වී ඇත්තේ ධනවාදී ආර්ථික අර්බුදයට උත්තර සොයනු වෙනුවට විසඳුම අර්බුදයේම ප්‍රකාශනයක් බවට පත් කරමිනි.

    ReplyDelete
    Replies
    1. ඉකොනොමැට්ටා ඉතිහාසය විකෘති කර බහුබූත දොඩවා ඇති නිසා සැබෑ ඉතිහාසය කෙටියෙන් කියන්නම්. පුනරුද සමයෙන් පසුව යුරෝපයේ සිදු වූ විවිධ හැලහැප්පීම්හි ප්‍රතිඵලයක්‌ වශයෙන් යුරෝපීය ජාතීන් ආසියා, අප්‍රිකා, ලතින් ඇමරිකානු ප්‍රදේශයන් සියතට ගන්නා ලදී. ප්‍රංශ, ඕලන්ද, ස්‌පාඤ්ඤ, ඉංග්‍රීසී ආදී විවිධ ජාතීන් එයට ප්‍රමුඛත්වය ගන්නා ලදී. ඔවුන් එම රාජ්‍යයන් යටත් කරගනිමින් එම රාජ්‍යයන්හි සමාජ, ආර්ථීක, දේශපාලන ආදී ව්‍යුහයන් වෙනසකට ලක්‌ කොට ඔවුන්ට හිතෛෂී ව්‍යුහයන් නැවත එම රාජ්‍යයන් තුළ ප්‍රතිෂ්ඨාපනය කරන ලදී. අනෙකුත් යටත් විජිත රාජ්‍යයන්ට සමාන්තරව ලංකාවට ද එය පොදු කරුණක්‌ විය. මේ සඳහා විශාල වියදමක්‌ දැරීමට වූ අතර ඔවුන්ගේ මූලික පරමාර්ථය වූයේ හැකි ඉක්‌මණින් එම වියදම් පියවා ගැනීම වේ. කෙසේ වෙතත් ඔවුන්ගේ ආර්ථීක ව්‍යුහය මේ හරහා නිර්මාණය වීය. සමාගම විසින් තමන් අල්ලා ගත් පහතරට මුහුදු බඩ ප්‍රදේශයන්වලින් අධික ලෙස බදු අය කරමින් සහ විවිධ ව්‍යාපාරයන්වල නිරත වෙමින් ඔවුන් සිය ආදායම වර්ධනය කරලීම උදෙසා කටයුතු කරන ලදී. ඒ අනුව පහතරට මුහුදු බඩ ප්‍රදේශයන්හි සමාගම විසින් ගෙන ගිය ආර්ථීක ව්‍යුහය පිළිබඳව ද මඳක්‌ අවධානය යොමු කළ යුතුය. ලන්දේසීන් විසින් මේ යුගයේ ඉතා සාර්ථක ලෙස කුරුඳු වගාව සිදු කරන ලදී. ඔවුන් ඉන් විශාල ආදායමක්‌ ලබා ගත් බව පෙනේ. බ්‍රිතාන්‍ය සමාගමේ ලක්‌ෂණයක්‌ වූයේ ඔවුන් විසින් බොහෝ භාණ්‌ඩ වෙන්දේසි කළ ද කුරුඳු එලෙස වෙන්දේසියේ නොවිකිණීමයි. අනෙක්‌ අතට බ්‍රිතාන්‍යයන් විසින් පහතරට කුරුඳු වගා කිරීම සඳහා විශාල වෙහෙසක්‌ ගන්නා අතරම ඔවුන් මුතුපර වලින් ද විශාල ආදායමක්‌ ලබා ගැනීම සඳහා කටයුතු කළේය. 1796 සිට 1798 දක්‌වා ඉංග්‍රීසීන් මුතුපරවලින් එකතු කළ ආදායම පවුම් 396,000 ක්‌ වීය. ලංකාවේ මුහුදු බඩ පළාත් අල්ලා ගැනීම සඳහා 1797 සමස්ත යුධ වියදම් සහ පසුකාලීන පරිපාලන බල ස්ථාපනය සඳහා වැය වූයේ පවුම් 12,000 ක්‌ පමණ ප්‍රමාණයක්‌.

      Delete
    2. මේ අනුව පෙනී යන්නේ ඉංග්‍රීසීන් සිය ආර්ථීක ව්‍යුහය තමන්ගේ ආර්ථීක වාසි සඳහා විශේෂයෙන්ම යොදා ගත් බවයි. ඔවුන් කුරුඳු හැර අනෙකුත් සියලුම ද්‍රව්‍ය වෙන්දේසි කරන ලදී. රා සහ අරක්‌කු වෙන්දේසිය මෙකල ඉතා ජනප්‍රිය වීය. එමෙන්ම මුතුපර වෙන්දේසි ලබා ගැනීමට වෙන්දේසි කරුවන් උනන්දු වූහ. බෙල්ලන් ඇල්ලීම, කැස්‌බෑවන් ඇල්ලීම, මැණික්‌ හෑරීම විශේෂයෙන් වෙන්දේසියේ විකුණන ලදී. දේශීයන් අතර මුස්‌ලිම්වරුන් සහ හෙට්‌ටීන් මේ සඳහා විශාල උනන්දුවක්‌ දක්‌වන ලදී. අනෙක්‌ අතට පෞද්ගලික ව්‍යවසායක මූලික අරමුණ වන්නේ සිය ආදායම වර්ධනය කර ගැනීමයි. සමාගම සිය ආදායම වැඩි කර ගැනීම සඳහා පහත රට ප්‍රදේශයන්ට නව බදු වර්ග හඳුන්වාදෙමින් හා නව ක්‍රමවේදයන් හඳුන්වාදීම නිසා පහතරට යටත්විජිත ආර්ථීක ව්‍යුහයේ නව වෙනස්‌කම් ඇතිවීය. ඔවුන් කලෙක්‌ටර්වරුන් ලෙස හැඳින්වූ බදු එකතු කරන්නන් හඳුන්වා දුනි. ලන්දේසි සමය දක්‌වාම දේශීයන් ඒ සඳහා යොදාගත් නමුත් බ්‍රිතාන්‍යයන් මේ සඳහා දේශීයයන් පිළිබඳව කිසිදු අවබෝධයක්‌ නොවූ පිරිස්‌ මේ සඳහා පත් කරන ලදී. එමෙන්ම එකල භාණ්‌ඩ හුවමාරු ක්‍රමය මත සිදු වූ ක්‍රියාවලිය වෙනුවට මුදලින් බදු ගෙවීමටත් ජනයා පීඩාවට පත් කරන ආකාරයේ නව බදු වර්ග විශේෂයෙන්ම පොල් බද්ද වැනි බදු හඳුන්වාදීමට කටයුතු කරන ලදී. තවත් බදු පැනවීමේ දී (විශේෂයෙන්ම පොල් පහතරට ඉතා විශාල වශයෙන් පැවති වගාවක්‌) ඉහත බද්ද හරහා ඵලදාව ලබා නොගත් ගස්‌වලින්ද ගස්‌ ප්‍රමාණය අනුව බදු මුදල තීරණය කරන ලදී. ඒ අනුව සමාගම ලංකාවේ පහතරට මුහුදුබඩ ප්‍රදේශයන්වල ඉතා අමානුෂීය ආර්ථීක ප්‍රතිපත්තියක්‌ අනුගමනය කළෙන් මෙම ආර්ථීක ව්‍යුහය ජනතාව ඉතා පීඩාවට පත් කළ අතර ඇතැම් ජනතාව බදු ගෙවීමට ඇති දිනයන්හීදී ගම්මාන අත්හැර ගිය බව ඇතැම් බ්‍රිතාන්‍ය පාලන වාර්තාවන් අධ්‍යයනය කිරීමේදී පෙනී යයි. එසේම ඇතැම් අවස්‌ථාවල ජනයා කලෙක්‌ටර්වරුන්ට පහරදුන් අවස්‌ථාවන් ද සඳහන් වේ.

      මේ නිසාම පහතරට ප්‍රදේශයන්වල ජනතාව මේ සඳහා විවිධ ප්‍රතිරෝධතාවන්වල නිරත වූ බව දක්‌නට ලැබෙයි. ලංකාවේ යටත් විජිත සමයේ ආර්ථීක ව්‍යුහය පිළිබඳව අවධානය යොමු කිරීමේ දී පෙනී යන්නේ මුල් කාලයේ එනම් බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගම් පාලනය යටතේ ඇති වූ තත්ත්වයන් සමනය කර ගනිමින් ඔවුන් ලංකාවේ යම් ස්‌ථාවර ආර්ථීක ක්‍රමයකට අවතීර්ණ වූ බවයි. එනම් පෘතුගීසීන් හා ලන්දේසීන් විසින් එතෙක්‌ යොදා ගත් ක්‍රමවේදයන් ආර්ථීක කළමනාකරණයට යොදා ගත් අතර එය සාර්ථක වූ බවක්‌ පෙනේ. ලුණු සහ දුම්කොළ රජයේ ඒකාධිකාරය යටතේ වීය. අරක්‌කු හා රා වෙළෙඳාම රජය යටතේ තිබූ අතර මුතු කර්මාන්තය හා මැණික්‌ ගැරීම බදු දෙන ලදී. මෙලෙස බ්‍රිතාන්‍යයන්ද පෘතුගීසීන් හා ලන්දේසීන් මෙන් වෙළෙඳාම සඳහාම ප්‍රමුඛත්වයක්‌ ලබාදුන් අතරම කෘෂිකාර්මික කටයුතු සඳහා ප්‍රාග්ධනය යෙදවීම සඳහා කිසිදු දිරිගැන්වීමක්‌ නොකරන ලදී. නිදසුනක්‌ වශයෙන් අපනයනය සඳහා වැඩි ප්‍රමාණයක්‌ අවශ්‍ය වූ විට නිෂ්පාදකයාගෙන් ලබාගත් අතිරික්‌තය වැඩි කළා මිස නිෂ්පාදනයේ සමාජීය සහ තාක්‌ෂණික පදනම වඩාත් දියුණු කිරීමට කටයුතු නොකරන ලදී. ඒ බව දේශීය කෘෂි කර්මාන්තය කඩා වැටීම තුළ මෙන්ම මුල්කාලීන බ්‍රිතාන්‍ය නිලධාරීන් ආරම්භ කළ කුඩා වතු වගාවන් බිඳවැටීම තුළ දක්‌නට ලැබේ. කෝල්බෲක්‌ වාර්තාවල සඳහන් වන ආකාරයට 1816 සිට 1823 දක්‌වා වාර්ෂිකව සහල් බුසල් 870,734 පමණ ලංකාවට ආනයනය කොට තිබේ. එසේම නෝර්ත් සහ මේට්‌ලන්ඩ් ආණ්‌ඩුකාරවරුන්ගේ සමයේ සහල් අපනයනය සඳහා වන වියදම් අවම කිරීමට උත්සාහ දරා ඇත. මේ අනුව පෙනී යන්නේ ඔවුන් වගාවන් සඳහා මුල් කාලයේ කිසිදු ආයෙජන දිරිගැන්වීමක්‌ නොකොට ඇති බවත් රාජ්‍ය ඒකාධිකාරය පවත්වාගෙන යැමට උත්සාහ දරා ඇති බවයි. 1833 දී බ්‍රිතාන්‍ය කොමිෂන් සභාවක්‌ විසින් ඉදිරිපත් කළ වාර්තාවක එය ඉතා හොඳින් සඳහන් වේ. ඒකාධිකාර ක්‍රමය පවත්වාගෙන යාමත් සමහර අවස්‌ථාවල රජය විසින් ඒවා දීර්ඝ කිරීමත් පමණක්‌ නොව, ආණ්‌ඩුකාරයා විසින් තීරු බදු ප්‍රමාණ වෙනස්‌ කිරීමත් නව බදු පැනවීමත්, වෙළෙඳාමට මෙන්ම ප්‍රාග්ධනය ගලා ඒමට හා එක්‌ රැස්‌වීමට ද හානිකර වීය. ආණ්‌ඩුව විසින් සියල්ල මෙහෙයවීම රාජ්‍යයේ ප්‍රාග්ධනය ගලා යැමට බාධාවක්‌ බව කොමිෂන් සභාව විසින් පෙන්වාදී ඇත.

      Delete
    3. මෙසේ යුරෝපයේ සංක්‍රාන්ති සමයක්‌ වූ එම යුගයේ ඉන්ග්‍රීසීන් ලංකාවේ අනුගමනය කළ ආර්ථීක පිළිවෙත වාණිජවාදී ආර්ථීක රටාවෙන් මිදී යුරෝපයේ මෙන්ම ලිබරල් ආර්ථීක ප්‍රතිසංස්‌කරණයන්ට යොමු වූ අතර ඔවුන් ඇඩම් ස්‌මිත්ගේ ජාතීන්ගේ ධනය (Wealth of Nations) කෘතිය සහ සම්භාව්‍ය ලිබරල්වාදීන් වූ ඩේවිඩ් රිකාර්ඩෝ, ජෙෆ'ර්සන්, මෙඩිසන් වැනි නිදහස්‌ ආර්ථීකවාදීන්ගේ දර්ශනයන් සමඟ සන්නද්ධව සිටි අතර ආන්ද්‍රෙ ගන්දර් ෆ්‍රෑන්ක්‌ පෙන්වාදෙන පරිදිම බ්‍රිතාන්‍යයන් විසින් යොදා ගෙන ඇත්තේ පැරනි ග්‍රීක සිටි ස්ටේට් පෞර රාජ්‍ය වල පැවති කේන්ද්‍ර පරිවාර න්‍යායයි. මෙහි කේන්ද්‍රය නම් යුරෝපීය රාජ්‍යයන්ය. පරිවාරයේ කටයුතු කරන්නේ ආසියා, අප්‍රිකා, ලතින් ඇමරිකානු යටත් විජිත රාජ්‍යයන්ය. පරිවාරයේ ඇති රාජ්‍යයන් විසින් වහලුන් ලෙස කේන්ද්‍රයේ ඇති රාජ්‍යයන් පෝෂණය කිරීමට වෙහෙසෙයි. සියලුම නිෂ්පාදනයන් කේන්ද්‍රයේ ඇති රාජ්‍යයන්ගේ පරිභෝජනය සඳහා යොදවයි. මේ අනුව බලන කල ලංකාවෙහි යටත් විජිත ආර්ථීකය දෙස අවධානය යොමු කරන විට පෙනෙන මුඛ්‍ය ලක්‌ෂණය වන්නේ මෙයයි. බ්‍රිතාන්‍යයේ අවශ්‍යතාවන්ට සරිලන ආකාරය ලංකාවේ ආර්ථීක ව්‍යුහය ඔවුන් විසින් නිර්මාණය කරන ලදී. පූර්ව යටත් විජිත සමය පිළිබඳව අවධානය යොමු කිරීමේ දී එකල පැවතියේ ස්‌වයංපෝෂිත යෑපුම් කෘෂිකර්මාන්තයකි. එනම් තමන්ට එදිනෙදා අවශ්‍ය කරනු ලබන ආහාර තමන් විසින්ම නිපදවා ගනු ලබන ක්‍රමයකි. සාමාන්‍ය කන්ද උඩරට ගමක්‌ කුඹුරු තීරයක්‌ ද, නිවෙස්‌ වටා කුඩා වත්තක්‌ද වරින් වර වගා කළ (වියළි බිමක්‌) හේනක්‌ද, ඊට පිටස්‌තර කැලෑ බිමකින්ද සමන්විත වීය යන නිදසුන හරහා පූර්ව යටත්විජිත සමාජයේ ලංකාවේ ආර්ථීකයේ එක්‌ පැතිකඩක්‌ හඳුනාගත හැකිය. නමුත් තත් ආර්ථීක ව්‍යුහය බ්‍රිතාන්‍යයන් විසින් අංශක එකසිය අසූවක්‌ අනෙක්‌ දෙසට යොමු කරයි. ඒ අනුව ස්‌වයං පෝෂිත ආර්ථීකයේ සිට ඔවුන් ලංකාවේ ආර්ථීකය ධනේශ්වර වාණිජ ආර්ථීකයකට යොමු කරනු ලබයි. ආනයනය හා අපනයනය, වෙළෙඳ ආයෝජනයන් මත පදනම් වූ ආර්ථීකයක්‌ නිර්මාණය කරනු ලබයි. නිදහසින් පසුව ඉන්ග්‍රීසීන්ගේ ක්‍රමයම අනුකරණය කළ ඊනියා කලු සුද්දන් නමැති අනුකාරකවාදීන් කෘෂිකර්මයට යම් සහනදායී ක්‍රමයක්‌ අනුගමනය කළ අතරම ලංකාවේ වී වගාව වර්ධනය කිරීම උදෙසා විවිධ වැව් ප්‍රතිසංස්‌කරණ යෝජනා ආදිය ක්‍රියාත්මක කළත් සැලකිය යුතු ආර්ථික ප්‍රගතියක් නොලැබුණි. විශේශයෙන්ම දශක හතරකට පමණ කලින් ලංකාව තුළ පැලකල අපට පමනක් නොව මුළු ලොවටම නොගැලපෙන උත්තරාරෝපිත ධනවාදී ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාවට නැගුණේ පියවර කිහිපයකිනි. එසේම සමාන ගුණාංග සහිතව වගේම එක් එක් පාලන කාලයන් තුළ විවිධත්වයන් සහිතවය. මේ ගැන දීර්ඝ වශයෙන් විස්තර කළ හැක. ඇත්තටම 1977ට පෙර පැවැති රාජ්‍ය ඒකාධිකාරී පාලනය තුළ ඉඩම්, රාජ්‍ය ව්‍යාපාර, කර්මාන්ත රජය ඒකාධිකාරය රටේ පාලන බලය හිමි රදල/ වෙලඳ මූලික පිරිසක් අත පාලනය කේන්ද්‍ර විය. ඔවුන් පාලනයට යොදාගත්තේ සංස්ථා මණ්ඩල ආකෘතියයි. 1977 න් පසුවද සංස්ථා මණ්ඩල පැවැතියද එම යාන්ත්‍රණය දුර්වල කරමින් වඩාත් ලිහිල් ප්‍රතිපත්ති මත එම රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලීකරණය මගින් තම ගජමිතුරන්ට විකුණන ලදී. ඒ යටතේ වානේ, ටයර්, පිඟන්, තුනීලෑලි, සිමෙන්ති, සීනි ආදී වශයෙන් ලංකාවට විදේශ විනිමය ඉතිරි කළ හැකි ජාතික සම්පත් රැසක් ඉතාම අඩු අගයන්ට හා අසාර්ථකම ක්‍රමයන්ට විකිණීම සිදුවිය. රාජ්‍ය ඒකාධිකාරයේදී මෙන්ම එම විකිණීමෙන්ද වාසි ලද්දේ සුළු පිරිසකි; ආණ්ඩුවලට සමීප ගජ මිතුරන් පිරිසකි.

      අසූව දශකය තුළ ආණ්ඩුව මෙහෙයවූ නායකයන්ගේ හිත මිතුරන් සහ ආධාරකරුවන් වූ සුළු පිරිසකගේ පෞද්ගලික අභිවෘද්ධිය වෙනුවෙන් කර්මාන්තවලට අමතරව, සෞඛ්‍ය යටතේ රෝහල්ද අධ්‍යාපනය යටතේ පෞද්ගලික අධ්‍යාපන කඩ සහ ජාත්‍යන්තර පාසල් ක්‍රමයද ගමනාගමන සේවය යටතේ බස් සේවය හා ගුවන් සේවයද පෞද්ගලීකරණයට ගොදුරු විය.

      මැදමුලනේ බ්‍රෝකර් කල්ලිය යටතේ පවතින වෙන්දේසි ඉඩමක් බවට පත්වී ඇති ලංකාව තුළ අද එහි තර්කානුකූල ඉදිරි පියවර වී ඇත්තේ ජනතාව (ඉතිරිව ඇති කර්මාන්ත නොමැති නිසා) සතු ඉඩම් හා වනාන්තර සහිත අනාගත පරපුරට සුරැකිව තිබිය යුතු ස්වාභාවික සම්පත් මිල කිරීමය. කොළඹ නගරයේ වටිනා ආර්ථික මර්මස්ථානයන්හි ඉඩම්වල සිට ඈත ආදිවාසී වැදි ජනතාව ජීවත්වන සාම්ප්‍රදායික වන බිම් තීරු දක්වා අද මේ ඉඩම් මංකොල්ලය රට පුරා දියත් කර ඇත.

      Delete
    4. ලංකාවේ බහුතර සාමාන්‍ය ජනතාවගේ අත්‍යාවශ්‍යම මහජන අවශ්‍යතාවයන් වන විදුලිබලය, ඛණිජ තෙල්, ජල සැපයුම පිළිබඳ රජයේ කාර්යභාරය විය යුත්තේ සාධාරණ ක්‍රමයකට එම මහජන වුවමනාවන් ඉටු කිරීම බව ජපිපෙ මෙන්ම ලංකාවේ බහුතර පොදු ජනයා ඉතා පැහැදිලිව පිළිගන්නා කරුණක්. එමෙන්ම ලංකාවේ ජනතාව වක්‍රව හා ඍජුව ආණ්ඩුවට බදු ගෙවන්නේ ඒ වෙනුවෙනි. විදුලි බල මණ්ඩලය, තෙල් සංස්ථාව හා ජල සම්පාදන මණ්ඩලය පිහිටුවා ඇත්තේ රාජ්‍ය ව්‍යාපාර ලෙස පීඩාවකින් තොරව ජනතාවට විදුලිය, ඉන්ධන හා ජලය භුක්ති විඳීමේ වුවමනාව ඉටු කර දීමටයි.

      ලංකාවේ මහජන උපයෝගීතා කොමිසම රාජ්‍ය ආයතනයක් වුවත් රාජ්‍ය ව්‍යාපාරයක් නොවන අතර එහි වගකීම රාජ්‍ය ව්‍යාපාර ලෙස විදුලිබල මණ්ඩලය හා ජල සම්පාදන මණ්ඩලය (එසේම තෙල් සංස්ථාවටද) තම සේවාවන් අසාධාරණ කොන්දේසි හා මිල ගණන් යටතේ සැපයීම වළක්වා මහජනතාව හිතසුව පිණිස සාධාරණ මිල හා ක්‍රමවේදයන් ස්ථාපිත කිරීමය. විදුලිය, ජලය, ඉන්ධන සැපයීමේ කටයුතු කරන්නේද ආණ්ඩුව විසින් පත්කළ ඇමතිවරයා හා රාජ්‍ය නිලධාරීන්ගේ මැදිහත්වීම යටතේම නම් රජයේම තවත් නිලධාරීන් පත්කර එම කටයුතු සොයා බැලීමට යාන්ත්‍රණයක් (ප්‍රමිති ආයතනය, මහජන උපයෝගීතා කොමිසම වැනි) අවශ්‍ය වන්නේ ඇයිදැයි කෙනෙකුට ප්‍රශ්නයක් මතුවිය හැකිය. එසේ එවැනි ආයතන පිහිටුවීමේ අරමුණ වූයේ රාජ්‍ය යාන්ත්‍රණය ජනතාවට සාධාරණයක් ඉටු නොවන පරිදි ව්‍යාපාර කරන බව ඔවුන්ටම පැහැදිලි නිසාය. නමුත් දැන් රාජපක්ෂවරුන් ධනවාදයේ මේ පරාජිත ඉනිමේදී යෝජනා කරන්නේ විදුලිය, ජලය පෞද්ගලීකරණය කිරීමට ඉඩක් ඇත්තේ නැතිනම් ඒවායින් තම ගජ මිතුරන්ට හොරාකෑමට බාධා කරන, එම ආයතනයන්හි ගුණාත්මක සේවයක් ජනතාවට ලැබීම සහතික කරන ආයතන ව්‍යුහයන් අහෝසි කිරීමටය.

      මේ නිසා මහජන උපයෝගිතා කොමිෂම අහෝසි කිරීමට ‘සෞභාග්‍යයේ ගෝඨාභය දැක්ම’ නමැති වත්මන් දූෂිත ආණ්ඩුව ටික කලකට පෙර කැබිනට් අනුමැතිය ඉල්ලමින් ඇමති මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති අතර එහි ‘අපූරුවට’ දක්වා ඇත්තේ මහජන උපයෝගිතා කොමිසම “ආයෝජකයින්ට අහිතකර පරිසරයක් නිර්මාණය කර ඇති” බවයි. ඉදිරි වසර තුළ ඇ. ඩොලර් මිලියන 2,000ක පමණ විදුලි බල ක්ෂේත්‍රයේ සිදු කරනු ලබන ආයෝජන කඩිනම් කිරීම ඉලක්ක කරගෙන ඒ සඳහා බාධා වී ඇති මහජන උපයෝගිතා කොමිසම ඉවත් කිරීමට අවශ්‍ය නීති හැදීමේ බලය එයින් ඉල්ලා ඇත. කාරණය ඉතා පැහැදිලිය. ධනවාදය මුල් යුගයේ ස්ථාපිත කළ රාජ්‍ය ව්‍යාපාර, කර්මාන්ත ඊළඟ පියවරේදී විකිණීමට අවශ්‍ය විය. ආණ්ඩුවලට ඒ ඒ මොහොතේ පැවති ඡන්ද පදනමේ බලය හමුවේ සැලකිය යුතු ප්‍රමාණයක් විකිණීමට හැකි විය. නමුත් කම්කරු පංති බලය හා වෘත්තීය සමිති ක්‍රියාකාරිත්වය ශක්තිමත් තැන්වලදී ඒ ඉලක්ක එලෙසම ඉටු කරගත නොහැකි විය. මේ නිසා දැන් ඒ අවශ්‍යතාවයම ඉටු කරන්නේ පොත්ත තිබියදී මදය කන්නාක් මෙන් ආයතන ලෙස විදුලිය ජලය තෙල් සංස්ථා තිබියදී ඒවා තම ගජමිතුරන්ට හා විදේශීය බහුජාතික සමාගම් වලට “ආයෝජන” මුවාවෙන් සූරාකෑමට මඟ සකස් කර දීමය. ඒ සඳහා බාධා ලෙස ඇති ආයතන ඉවත් කිරීමට දැන් 69 ලක්ෂයේ ඡන්ද බලය හා 20වැනි සංශෝධනයේ 2/3 බලය යොදා ගැනීම අරඹා ඇත.

      Delete
    5. මේ වන විට ලංකාවේ මූල්‍ය වෙළඳපොළ පවතින්නේ දැඩි අර්බුදකාරී ස්වභාවක නිසා ගෙවිය යුතු විදෙස් ඩොලර් ණය පංගුව විදේශ වත්කම් සංචිතයද ඉක්මවා ගොස් ඉතා බරපතල වී ඇති අතරම මේ අර්බුදය කලින් දකින කොටස් වෙළඳපොළේ ආයෝජනය කළ විදේශ ආයෝජකයින් මෙම අස්ථාවර වාතාවරණය තුළ තම ආයෝජන කොටස් වෙළඳපොළේ තවදුරටත් රඳවා තබා ගන්නේ නැත. ඔවුන් මුලින්ම අස්ථාවර මූල්‍ය වෙළඳපොළින් ඉවත්වේ. ෆිච් (Fitch) මූඩීස් (moody's) හා එස් ඇන්ඩ් පී (Standard & poor's) වැනි ඇමරිකන් ගැති ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන ලංකාව තවදුරටත් මූල්‍ය සුරක්ෂිත රටක් වෙනුවට දැඩි අවදානම් රටක් ලෙස නම් කිරීමත් සමග තත්ත්වය තවත් බරපතළ වූ බැවින් ආණ්ඩුව දැන් උපක්‍රමය මාරුකර ඇත්තේ කොටස් වෙළඳපොළට ඩොලර් කැඳවීම වෙනුවට ඉඩම් වෙළඳපොළට ඩොලර් ගෙන්වා ගැනීම ලෙසටය.

      ලංකාවේ අති අසාර්ථක මූල්‍ය වෙළපොළට ඒමට අකමැති ධනවාදී ආයෝජක ‘ගිජුලිහිණීන්’ සාර්ථක ආයෝජන ලෙස කුණු කොල්ලයට මිලදී ගත හැකි වරාය, ගුවන්තොටුපොළ, රක්ෂිත වනාන්තර, මෙන්ම විදුලිබල, ජලය වැනි අත්‍යාවශ්‍ය මහජන සේවාවන්හි ආයෝජන සඳහා ඩොලර් ගෙන ඒමට සූදානම්, හේතුව ලංකාවේ බහුතර සාමාන්‍ය ජනයාට මිල කීය වුණත් ගෙවල් උකස් කර හෝ මේවා වෙනුවෙන් ගෙවීමට සිදුවන නිසායි. උදාහරණයක් විදියට ලංකාවේ ෂෙල් ගෑස් 1990 ගණන් වල ඒකාධිකාරයක් හරහා ජනයා සූරා කෑම දැනටමත් ලිට්රෝ වැනි රජයේ ආයතන වලින් කරනවා. මේකත් පුද්ගලික කරාම හොරා කන ලාභය පුද්ගලික අංශයටයි.

      ඇත්තටම මැනැවින් ඉහත පැහැදිලි කළ පරිදිම ධනවාදයේ ස්වභාවයම වන්නේ වෙළඳ පොළට ඉදිරිපත් කරමින් කෙසේ හෝ හොඳින් බැරිනම් බලෙන් හරි මිල කළ හැකි සමස්තයම එම විකිණිය හැකි උපරිම මිලට විකිණීම (ගැනුම්කරුවාගේ පැත්තෙන් වෙළඳ පොළේ මිලට ගත හැකි සෑම දෙයම අඩුම මිල අගයක් නියම කර මිලට ගැනීම ) බව අපට අරුමයක් නොවේ. ගැටලුව වී ඇත්තේ විකිණීම වෙනුවට දේශප්‍රේමී සටන්පාඨ භාවිතා කරමින් කලින් ආණ්ඩුවද විකුණා ඇති ආර්ථිකය අපි ඇවිත් කණපිට හරවා හදන්නේ යැයි කියූ පිරිසක්ම අද ඒ අධිරාජ්‍යවාදී න්‍යාය පත්‍රය ඊටත් වඩා හොඳින්ම කර තියාගෙන යාමය. අපි තමයි හොඳටම කළේ කියා අධිරාජ්‍යවාදීන් සතුටු කරමින් අනික් පැත්තෙන් ඒ සඳහා රටේ බහුතර ජනතාව කිසිදු හිරිකිතයකින් තොරවම මුලා කර තිබීමයි. ඒ නිසා පාලකයින්ට තවත් නිවැරදිවීමේ ක්‍රියාමාර්ග ඇත්තේ නැත. ඔවුන්ට ඇත්තේ කඹේ දිග තරමට උලාකන ගවයා මෙන් කෙළවරටම විකිණීමය. අර්බුදයේ කරවටක් හිරවී ඇති රටක ආර්ථිකයක් යළි කෙලින් කර ශක්තිමත් කළ හැක්කේ දුබල මිය යමින් තිබෙන ලෝකයේ බොහෝ කලකට පෙරදීම යල්පැනීමට ලක් වූ මේ නව ලිබරල් ධනවාදී ප්‍රතිපත්තිවලින් නොව නවීන සමාජවාදී දැක්මක් හා වැඩපිළිවෙළක් තුළම පමණි. ඒ පරම සත්‍ය බව තේරුම් ගත යුත්තේ මේ සියලු අහිමිවීම හා පීඩාවන් භුක්තිවිදින අපේම පංතියේ ජනතාවය. ලංකාවේ දැනටමත් කඩා වැටී ඇති ආර්ථිකයට පමණක් නොව මුළු මහත් සමාජයටම නව පනක් ලබා දී යළි නැගිටුවාලීඑමේ නැවුම් බලාපොරොත්තුව ඇත්තේ එම තේරුම් ගැනීම සංවිධානාත්මක බලයක් බවට පත්කර රටට සතුරු ලිබරල් ධන්වාදී බලවේග පරාජය කර නවීන සමාජවාදී බලගතු රටක් බහුතර ජනතා සහයයෙන් ස්ථාපිත කිරීමෙන්ම පමණි.

      Delete
  4. රට කරවන අයගෙ හිත තව තර වෙන්න
    හිත මිතුරන්ගෙ මඩි සේරම පුරවන්න
    රටටම කෙළවුණත් උන්-උන් ගොඩ යන්න
    පුදුමද ඉතිං අප; රට වළකට වැටෙන?

    ReplyDelete
  5. රෙදි සෝදනවා..
    වලන් සෝදනවා

    ReplyDelete
  6. ජවිපෙ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර සහෝදරයාට චිලි දේශයෙන් තල්ලුවක් !

    චිලී රටේ අන්ත දූෂිත බටහිර ගැති දක්ෂිනාංෂික පක්ෂ සුනු විසුනු කරමින් වාමාංශික අවු. 35 කොල්ලෙක් ජනාධිපති වෙයි..!

    ඉතාම රැඩිකල් නිමානශීලී වයස අවුරුදු 35ක විප්ලවවාදී වාමාංශික තරුණයෙකු වූ ගාබි‍්‍රයෙල් බොරිස් සහෝදරයා චිලී ජනාධිපතිවරණයෙන් ජයග‍්‍රහණය ලබා ඇති බව වාර්තා වේ.

    චිලීයේ සරසවි සිසුන් නිතර මෙහෙයවූ අරගල වලට නායක්ත්වය දුන් හිටපු ශිෂ්‍ය නායකයෙක් වන ගාබ්‍රියෙල් රැඩිකල් තරුණයකු බවද ප්‍රකටට්යි. 55.87% ක වැඩි ඡන්ද ප‍්‍රතිඵලයක් ලබා ගනිමින් ගාබි‍්‍රයෙල් ජනාධිපති ලෙස තේරීපත්ව ඇති අතර ඔහු එදා මෙද තුර චිලියෙන් බිහි වූ ළාබාලතම ජනාධිපතිවරයා බවද පැවසේ.

    මෙම චිලී ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ වාමාංශික අපේක්ෂක ගේබ්‍රියෙල් බෝරික් එරට ලාබාලතම නායකයා බවට පත්ව තිබේ. බොරික් සහෝදරයා චිලියේ නව ලිබරල් ධනවාදී ආර්ථික ආකෘතිය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් දුප්පතුන්ට උපරිම ලෙස සහන සලසමින් අලුත් ක්‍රමයක් කරන බවට පොරොන්දු වෙමින් දුප්පතුන් ගැන සොයා බලන බව ඉතා පැහැදිලිව ප්‍රකාශ කළා.

    ලංකාවේ මෙන්ම දැඩි ලෙස සමාජ ආර්ථික අසමානතාවයට සහ බරපතල ලෙස සිදුවූ දූෂණ වංචාවට එරෙහි මහජන විරෝධතා හේතුවෙන් මෑත වසරවල කඩාවැටීමකට ලක් වූ රටකට ඔහු නායකත්වය දෙනු ඇත. බෝරික්ගේ ජයග්‍රහණය සන්තියාගෝ අගනුවර වීදිවල ඔහුගේ ආධාරකරුවන් රක්ත වර්ණ ධජ ලෙළවමින් සහ මෝටර් රථ නලා නාද කරමින් මහත් සේ හරසරින් සැමරීමට හේතු විය.

    ඉන් අනතුරුව ඔහුගේ මංගල කතාවේදී, බෝරික් සහොදරයා පැවසුවේ නිහතමානීව සහ “විශාල වගකීම් හැඟීමකින්” තමා මෙම නව තනතුර හුදෙක් රැකියාවක් ලෙස පමණක් භාර ගන්නා බවත්, “ධනප්තියන් කිහිපදෙනෙකුගේ වරප්‍රසාදවලට එරෙහිව දැඩි ලෙස සටන් කර දුප්පතුන්ට උපරිමයෙන් ධනය බෙදෙන ක්‍රමයක් ඉක්මනින්ම හඳුන්වාදෙන” බවට පොරොන්දු වූ බවත්ය.

    “ඇත්තටම චිලී රටේ අපට දැවැන්ත අභියෝගයක් තිබෙනවා. ඉදිරි වසරවලදී අපේ රටේ අනාගතය අනතුරේ වැටෙන බව මම දනිමි, එබැවින් මම මහජන මතය මෙන්ම පොදුවේ බහුතර දුප්පතුන් ගැන සැලකිලිමත් වන සහ පොදු දුප්පත් ජනයා කිසිසේත්ම අවදානමට ලක් නොකරන, කතා කිරීමට වඩා සවන් දෙන, සමගිය සොයන ජනාධිපතිවරයකු වන බවට මම සහතික වෙමි. දිනපතා ජනතාවගේ අවශ්‍යතා ඉටු කරමි" ලෙස සිය ආධාරකරුවන්ට පැවසීය.

    දැනට නිල ප්‍රතිඵලය අනුව ගාබි‍්‍රයෙල් බොරිස් සහෝදරයාට අනෙත් පැත්තෙන් ආ යෝසේ අන්තෝනියො කස්ට් නමැත්තාගේ 44% ට එරෙහිව 56% ක ඡන්ද ප්‍රතිශතයක් ලැබිණි. ඡන්ද විමසීම අවසන් වූ පසු යන්තම් පැය එකහමාරකට පසු කස්ට් නමැත්තා පරාජය පිළිගත්තේය, ඡන්දවලින් අඩක් පමණ ගණන් කර ඇත. අපේක්ෂකයන් දෙදෙනාම රට වෙනුවෙන් සම්පූර්ණයෙන්ම වෙනස් දර්ශන ඉදිරිපත් කළ අතර, දෙදෙනාම කිසිදා ආණ්ඩුවේ නොසිටි දේශපාලන පක්ෂ නියෝජනය කරන පිටස්තරයෝ වෙති.

    කෙසේ වෙතත් ලතින් ඇමරිකාවේ වඩාත්ම ස්ථාවර ආර්ථිකය වූ චිලී ලෝකයේ විශාලතම ආදායම් පරතරයන්ගෙන් එකක් වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, ජනගහනයෙන් 1% ක් රටේ ධනයෙන් 25% හිමිකර ගනී.

    මේ සියල්ල වෙනස් කරමින් උඩු යටිකුරු කිරීමට සමාජ අයිතීන් පුළුල් කිරීම සහ චිලියේ බහුතර වැඩකරන ජනයා වෙනුවෙන් අලුතෙන් හඳුන්වාදීමට නියමිත විශ්‍රාම වැටුප් ක්‍රමයක් සහ නොමිලේ සියලුම දිළිඳු රෝගීන් වෙනුවෙන් කැපවුණු සෞඛ්‍ය සේවා පද්ධති ප්‍රතිසංස්කරණය වැඩ පිළිවෙල මෙන්ම සෑම ක්ශේත්‍රයකම වැඩ සතිය පැය 48 සිට 40 දක්වා අඩු කිරීම සහ රට පුර පරිසරය සුරකිමින් රජයේ හරිත ආයෝජන ඉහළ නැංවීම මගින් මෙම අසමානතාවයට විසඳුම් සෙවීමට බෝරික් සහෝදරයා පොරොන්දු වී ඇත.

    “චිලී ධනවතුන් සඳහා එක් යුක්තියක් සහ දුප්පතුන් සඳහා වෙනත් යුක්තිය දිගටම පැවති බව අපි දනිමු, නමුත් ඉතාම ඉක්මනින් සියල්ල වෙනස් වනු ඇත, දුප්පතුන්ට චිලියේ අසමානතාවයේ මිල දිගටම ගෙවීමට අපි තවදුරටත් ඉඩ නොදෙමු,” ඔහු පැවසීය.

    චිලියේ ග්‍රාමීය ආදිවාසී ප්‍රජාවන් සහ ජාතික පරිසරය විනාශ කරන බවට බහුතර පරිසරවේදීන් දැඩි ලෙස විවේචනය කරමින් වහාම නවතන ලෙස අරගල කළ මතභේදාත්මක ඇමරිකන් බහුජාතික මංකොල්ලකාරී සමාගමක් විසින් ක්‍රියාත්මක කරන්න්නට යෝජිත පතල් ව්‍යාපෘතියක් වහාම ක්‍රියාත්මක වන පරිදි නවතා දමන බවට අලුතෙන් තේරී පත් වූ ජනාධිපතිවරයා ද පොරොන්දු විය. ඉතා දක්ෂ කථිකයකු ලෙස චිලී ජන හද ඇද බැඳ ගත් ගේබ්‍රියෙල් බෝරික්ගේ කතාව ඉතා ආකර්ෂණීය එකක් වූ අතර, රටේ සෑම කෙනෙකුම ඔහුගේ ආණ්ඩුවේ ප්‍රධාන චරිතයක් හිමි වනු ඇති බව ඔහු අවධාරණය කළේ ඇතැම් අනුගාමිකයින් හඬවමින්. ලංකාවේද මේ සියල්ල ඉතාමත් ඉක්මණින් දැකගත හැකි වනු නොඅනුමානය.

    වැඩි විස්තර - නියමුවා පුවත්පත බලන්න

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: