වෙබ් ලිපිනය:

Wednesday, May 4, 2022

ඩොලරය ආපහු පහළ යයිද?


අද වන විට ඩොලරයක මිල රුපියල් 370 දක්වා ඉහළ ගිහින්. උද්ධමනය 29.8%යි. ආහාර උද්ධමනය 46.6%ක්. රටේ තත්ත්වය පිළිබඳව තවමත් බොහෝ දෙනෙකුට තිබෙන්නේ විශාල අවිනිශ්චිතතාවයක්. අලුත් මහ බැංකු අධිපතිවරයාට අනුව තත්ත්වය හොඳ අතට හැරෙමින් තිබෙනවා. 

අලුත් මහ බැංකු අධිපතිවරයා සෑහෙන තරම් විවෘතව හා යථාර්ථවාදී ලෙස කතා කරන පුද්ගලයෙක්. එහෙත්, ඕනෑම රටක මහ බැංකු අධිපතිවරයෙකුට යථාර්ථවාදී විය හැකි සීමාවක් තිබෙනවා. ඕනෑම රටක මහ බැංකු අධිපතිවරයෙකුට යම් තරමකට හෝ යථාර්තයෙන් බැහැර වී ශුභවාදී ලෙස කතා කරන්න වෙනවා. මහ බැංකු අධිපතිවරයෙකු අශුභවාදී වීමේ මිල ගොඩක් වැඩියි. 

ආර්ථික විචල්‍යයන් ඒත් අතට වගේම මේත් අතටත් සම්බන්ධ වෙනවා. මහ බැංකුවට ඒත් අතට සම්බන්ධය හදාරා පුරෝකථන කළ හැකියි. ඒ පුරෝකථන නිවැරදි වුවත්, මහ බැංකුවේ පුරෝකථන වලට අනෙකුත් පාර්ශ්ව ප්‍රතිචාර දක්වන නිසා එම පුරෝකථන පිළිබඳව මහ බැංකුව විසින් දැනුම් දුන් වහාම මේත් අතට සම්බන්ධයක් හැදී අපේක්ෂිත ප්‍රතිඵලය වෙනස් වෙනවා. ඒ හේතුව නිසාම මහ බැංකුවකට හා එහි ඉහළ නිලධාරීන්ට, ඔවුන් ස්වාධීන පුද්ගලයින් වුවද, කට පරිස්සම් කරගන්න වෙනවා. විශේෂයෙන්ම අශුභවාදී පුරෝකථන සම්බන්ධව. මොකද මහ බැංකුව විසින් අශුභවාදී පුරෝකථනයක් කරනවා කියන්නේම එවැන්නක් සිදු වීමට ඉඩ සැලසීමක් විය හැකි නිසා.

මහ බැංකුවට තිබෙන මේ ප්‍රශ්නය මහ බැංකුවට පිටින් සිටින අප වැනි අයට නැහැ. ඒ නිසා, අපට මහ බැංකුවට වඩා යථාර්ථවාදී විය හැකියි. කෙසේ වුවත්, මහ බැංකුව සතු දත්ත සියල්ල අප සතු නැති නිසා අපට නොපෙනෙන පැති මහ බැංකුව දකිනවා විය හැකි බවද කිව යුතුයි.

ලංකාව වැටී සිටින අර්බුදයෙන් ගොඩ යා හැකි කෙටි මාර්ග නැහැ. ආර්ථිකය කඩා වැටෙන්න පෙර පැවති "සෞභාග්‍යය" කරා නැවත යාමට අවුරුදු දහයක් පමණවත් ගත විය හැකියි. එය කරන්න වෙන්නේ පියවරෙන් පියවර. මේ මොහොතේ තිබෙන ප්‍රමුඛ ප්‍රශ්න දෙක ඩොලරයේ ඉහළ මිල යාම පාලනය කර ගැනීම හා උද්ධමනය පාලනය කර ගැනීමයි. මේ දෙකම මහ බැංකුවේ රාජකාරි. මේ අරමුණු කරා මහ බැංකුව කොයි තරම් ලං වෙලාද?

දැනට මහ බැංකුව විසින් පළමු ප්‍රමුඛතාවය සේ සලකන්නේ විදේශ අංශයේ ප්‍රශ්නය විසඳා ගැනීමයි. එය නිවැරදි ප්‍රවේශයක්. ඒ වගේම ඒ වෙනුවෙන් කළ හැකි දේ මහ බැංකුව විසින් කරමින් සිටිනවා. අලුත් අධිපතිවරයාට මේ සම්බන්ධව තිබෙන අත්දැකීම් හා පුහුණුව ඔහු ප්‍රයෝජනයට ගනිමින් සිටිනවා. 

ඩොලරයේ මිල ඉහළ යාම පාලනය කරන එක කොයි තරම් අමාරුද? මම කලින් ලිපි වල සංඛ්‍යාලේඛණ සමඟ පෙන්වා දුන් පරිදි 2015-2019 කාලයේදී අපනයන හා ශ්‍රමික ප්‍රේෂණ ලෙස රටට පැමිණි ඩොලර් ප්‍රමාණය ආනයන සඳහා ප්‍රමාණවත් වුණා. ඩොලර් මදි වුනේ ණය වාරික හා පොලී ගෙවන්නයි. ඒ වෙනුවෙන් අලුතෙන් ණය ගත්තා. අළුතෙන් ණය ගන්න බැරි වූ විට මේ වැඩේ හිර වුනා.

මේ වන විට ණය වාරික හා පොලී ගෙවීම අත් හිටුවා තිබෙනවා. ඒ කියන්නේ, 2015-2019 සමතුලිතතාවට යන්න පුළුවන් විය යුතුයි. එය කළ නොහැකි වී තිබෙන්නේ හේතු දෙකක් නිසා. එකක් සංචාරක ඉපැයීම් අඩු වීම. අනෙක ශ්‍රමික ප්‍රේෂණ අඩුවීම. ඒ කියන්නේ මේ ප්‍රශ්න දෙක විසඳෙනවානම් වැඩේ ගොඩ දාගන්න පුළුවන් කියන එකයි.

සංචාරක ඉපැයීම් වැඩි කර ගන්න එක මහ බැංකුවට කළ හැකි දෙයක් නෙමෙයි. එය තීරණය වන්නේ බාහිර සාධක මත. මේ වන විට සංචාරක ව්‍යාපාරය හිස ඔසොවමින් තිබෙනවා. එහෙත් රටේ තිබෙන අර්බුදකාරී තත්ත්වය නිසා සංචාරක ඉපැයීම් "සාමාන්‍ය" තත්ත්වයට පැමිණීමේ ඉඩක් නැහැ. යම් වර්ධනයක් සිදු වුනත්, 2015-2019 කාලයට සාපේක්ෂව 2022දී ලැබෙනු ඇත්තේ අවම වශයෙන් ඩොලර් බිලියනයක්වත් අඩුවෙනුයි. 

ශ්‍රමික ප්‍රේෂණ සම්බන්ධව තිබෙන්නේ තරමක් වෙනස් තත්ත්වයක්. මේ සල්ලි අඩුවෙන් වාර්තා වුනත් එයින් වැඩි කොටසක් ඇත්තටම රටට එනවා. වෙනස බැංකු පද්ධතිය හරහා නොපැමිණීමයි. මේ විදිහට අවිධිමත් මාර්ග හරහා ඩොලර් රටට එන්නේ ඩොලර් වෙනුවෙන් වැඩි මිලක් ගෙවන්න සූදානම් අය රටේ ඉන්න නිසයි. මහ බැංකුව විසින් ඉතාම නිවැරදි ලෙස ඉල්ලුම පාලනය කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. මේ සඳහා ඉතා ඉක්මණින් ගැනීමට නියමිත ක්‍රියාමාර්ග තුනක් ගැන අලුත් අධිපතිවරයා විස්තර කළා.

අධිපතිවරයා විසින් සඳහන් කළ පළමු ක්‍රමය බැංකු පද්ධතිය හරහා මුදල් නොගෙවා ආනයනය කරන භාණ්ඩ රේගුවෙන් නිදහස් නොකිරීමයි. මෙසේ "හොර පාරෙන්" මුදල් ගෙවා සිදු කරන ආනයන ප්‍රමාණය පිළිබඳව මට අදහසක් නැහැ. මහ බැංකුව සතුව සංඛ්‍යාලේඛණ තිබෙනවා විය හැකියි. 

මෙය පවතින තත්ත්වයන් යටතේ හොඳ ක්‍රියාමාර්ගයක්. ඒ හරහා යම් පමණකින් ආනයන පාලනය කර ගන්න ඉඩ ලැබෙයි. ඒ සමඟම අවිධිමත් වෙළඳපොළේ ඩොලර් ඉල්ලුමද යම් පමණකින් අඩු වීමට නියමිතයි. එහි ප්‍රතිඵලය වන්නේ අවිධිමත් වෙළඳපොළේ ඩොලරයක මිල හා බැංකු වල මිල අතර පරතරය අඩු වී බැංකු ක්‍රමය හරහා රටට එන ඩොලර් ප්‍රමාණය ඉහළ යාමයි. මේ වැඩෙන් සමස්තයක් ලෙස රටට එන ඩොලර් ප්‍රමාණය ඉහළ යන්නේ නැති වුනත්, එන ඩොලර් ටික අත්‍යවශ්‍ය ආනයන සඳහා වෙන් කිරීමට ඉඩ සැලසෙනවා.

ඔහු විසින් සඳහන් කළ දෙවන ක්‍රියාමාර්ගය අධ්‍යාපන කටයුතු ආදිය සඳහා රටින් පිටට යැවිය යුතු මුදල් බැංකු පද්ධතියෙන් ලබා ගැනීමට ඉඩ සැලසීමයි. රටින් පිට දරුවන් සිටින දෙමවුපියන් ඔවුන්ගේ නඩත්තුව සඳහා කෙසේ හෝ මුදල් යැවිය යුතුයි. මේ සඳහා බැංකු පද්ධතියෙන් මුදල් ලබා ගත නොහැකි වූ විට ඉතිරි වන්නේ කීයට හෝ ඩොලර් මිල දී ගෙන  "හොර පාරෙන්" සල්ලි යැවීමේ විකල්පයයි. නියම ක්‍රමයට ඩොලර් ලැබෙනවානම් හොර පාරෙන් යවන්න අවශ්‍ය වන්නේ නැහැ. 

මේ දෙවන ක්‍රියාමාර්ගය නිසාද අවිධිමත් වෙළඳපොළේ ඩොලර් ඉල්ලුම අඩු වී එම වෙළඳපොළ හා බැංකු අතර මිල පරතරය අඩු වීමට නියමිතයි. එහිදී බැංකු ක්‍රමය හරහා රටට එන ඩොලර් ප්‍රමාණය ඉහළ යන නමුත් ඒ ඩොලර් බැංකු වල නොරැඳෙන නිසා රටට එන ඩොලර් ප්‍රමාණය ඉහළ යන්නේ හෝ වෙනත් වැඩකට යොදා ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එහෙත්, උන්ඩියල් ප්‍රේෂණ අඩු කර ගැනීමට හා එමගින් ඩොලරයේ මිල පාලනය කර ගැනීමට එයින් උදවුවක් ලැබෙනවා. 

අධිපතිවරයා විසින් සඳහන් කළ තෙවන ක්‍රියාමාර්ගය අපනයනකරුවන්ගේ ආදායම් බලහත්කාරයෙන් රුපියල් වලට හැරවීම නැවැත්වීමයි. මෙය ආර්ථික විද්‍යා මූලධර්ම මත පදනම්ව ගන්නට යන තරමක් එඩිතර ක්‍රියාමාර්ගයක් කියා කියන්න පුළුවන්. පළමුව, මේ බලහත්කාර මුදල් පරිවර්තනයට හේතු වුනේ අපනයන ආදායම් රටට නොගෙන්වා පිටත තියා ගැනීමට ඇතිව තිබුණු පෙළඹුමයි. අපනයනකරුවන් එසේ කරන්නට පෙළඹුණේ ඩොලරයේ මිල නොවටිනා සීමාවක රඳවා ගෙන සිටි නිසයි. මේ වන විට ඩොලරයේ මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ නිසා, අපනයනකරුවන් විසින් තමන්ගේ ඩොලර් රටින් පිට තබා ගැනීමක් තවදුරටත් ලොකුවට සිදු නොවනු ඇතැයි මහ බැංකුව සිතන බව පේනවා.

මීටත් වඩා වැදගත් කාරණය මේ ආකාරයෙන් භාණ්ඩ අපනයනය කර උපයන ඩොලර් බලහත්කාරයෙන් රුපියල් කර ගත හැකි වුවත්, සේවා අපනයනය කර උපයන ඩොලර් එසේ ගෙන්වා ගත නොහැකි වීමයි. තමන්ගේ ඩොලර් බලහත්කාරයෙන් රුපියල් කෙරෙන තත්ත්වයක් යටතේ බොහෝ සේවා අපනයනකරුවන් තමන්ගේ ඩොලර් රටට ගෙන නොඒමට පෙළඹී සිටිනවා. ඒ නිසා, අවසාන වශයෙන් මේ තීරණයේ ප්‍රතිඵලය ලෙස සිදුව තිබෙන්නේ රටට එන ඩොලර් ප්‍රමාණය තවත් පහළ යන එකයි. 

මේ ක්‍රියාමාර්ග තුනෙන්ම කවර හෝ සාධනීය ප්‍රතිඵලයක් ලබා ගන්නට හැකි වෙයි. ඒ හරහා උන්ඩියල් වෙළඳපොළේ මිල පාලනය වීමට මෙන්ම පහළ වැටෙන්නට වුවද පුළුවන්. මෙහිදී උපක්‍රමය වන්නේ රට ඇතුළේ ඩොලර් වලට තිබෙන අවිධිමත් ඉල්ලුම අඩු කිරීමයි. ඉල්ලුම නැති වන විට නිසගයෙන්ම සැපයුමද අඩු වෙනවා. මෙය මෙතෙක් මහ බැංකුව විසින් අනුගමනය කළ සැපයුම පාලනය කිරීමේ උපක්‍රම වලට වඩා සාර්ථක වෙයි කියා මම හිතනවා.

කෙසේ වුවත්, මේ වැඩේ නිසා සමස්තයක් ලෙස ඩොලර් ඉල්ලුම හා සැපයුම අතර තිබෙන පරතරය විශාල ලෙස අඩු වන්නේ නැහැ. ඒ සඳහා කළ හැකි එකම දෙය අත්‍යවශ්‍ය නොවන ආනයන පාලනය කිරීමයි. දෙවන හා තුන්වන උපක්‍රම එයට උදවුවක් නොවුනත්, පළමුවැන්න හරහා එම ඉලක්කය යම් තරමකින් සාක්ෂාත් කරගත හැකියි.

පසුගිය ජනවාරි මාසයේදී ආනයන වෙනුවෙන් ඩොලර් මිලියන 1,959ක් වැය වී තිබුණා. අපනයන ආදායම ඩොලර් මිලියන 1,101යි. ඒ කියන්නේ වෙළඳ ශේෂයේ  ඩොලර් මිලියන 859ක හිඟයක්. ශ්‍රමික ප්‍රේෂණ වලින් ඩොලර් මිලියන 259කුත්, සංචාරක කර්මාන්තයෙන් ඩොලර් මිලියන 148කුත් ලැබී තිබුණා. ඒ කියන්නේ තව ඩොලර් මිලියන 452ක හිඟයක්. 

මාර්තු මාසය වන විට ශ්‍රමික ප්‍රේෂණ ඩොලර් මිලියන 319.4 දක්වාත්, සංචාරක ඉපැයීම් ඩොලර් මිලියන 191.5 දක්වාත් ඉහළ ගොස් තිබුණා. මේ තත්ත්වය තවත් ටිකක් හොඳ අතට වෙනස් වෙයි කියා හිතුවත්, අවසාන වශයෙන් මාසයකට ඩොලර් 300ක පමණවත් හිඟයක් ඉතිරි වෙනවා. කලින් විස්තර කළ යෝජිත ක්‍රියාමාර්ග වලින් මේ හිඟය කොපමණ දුරකට අඩු කර ගත හැකි වෙයිද?

මගේ අදහසනම් අත්‍යාවශ්‍ය නොවන ආනයන වෙනුවෙන් "හොර පාරෙන්" යවන සල්ලි ප්‍රමාණය වැඩිම වුනොත් ඩොලර් මිලියන 100ක් පමණ වෙයි කියන එකයි. ඒ කියන්නේ, ඔය යෝජිත ක්‍රියාමාර්ග ගත්තත් මාසයකට තවත් ඩොලර් මිලියන 200ක පමණවත් හිඟයක් ඉතිරි වෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සල්ලි ලබා ගන්න අවම වශයෙන් තවත් මාස තුනක් පමණ යා හැකි බවකුයි පේන්න තියෙන්නේ. ඔය කාලය ඇදගන්න වෙන්නේ අතමාරු වලින්. හැබැයි ඒ අතර කලින් අතමාරුවට ගත්ත සල්ලිත් ගෙවන්න වෙනවා. මේ තත්ත්වය යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සල්ලි ලැබෙන තුරු ඩොලරයක මිල ස්ථාවර වෙයි කියලා හෝ පහළ යයි කියලා කොහොමටවත් හිතන්න අමාරුයි. හැබැයි මිල ඉහළ යන වේගය ටිකෙන් ටික අඩු වෙමින් තිබෙනවා. එයත් ස්ථාවර වීමක් තමයි. 

ඉහත තුන්වන යෝජනාව අනුව අපනයනකරුවන් විසින් රටට ගෙන ආ හැකිව තිබෙන ඩොලර් බලෙන් රුපියල් නොකෙරෙන නමුත් ඒ ඩොලර් බැංකු වල ඉතිරි වන නිසා එයින් බැංකු වලට ඔවුන්ගේ ඩොලර් ද්‍රවශීලතා ප්‍රශ්නය විසඳාගන්න වඩා පහසු වෙනවා. එයත් ඩොලරයක මිල ස්ථාවර කර ගැනීමට උදවුවක්. 

සමහර විට මහ බැංකු අධිපතිවරයා විසින් ඩොලරයක මිල පහළ යා හැකියි කියන එකෙන් අදහස් කළේ උන්ඩියල් වෙළඳපොළේ මිල ගැන වෙන්න පුළුවන්. ඒකනම් වෙන්න පුළුවන් දෙයක්. ඊට අමතරව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සල්ලි ලැබුණු විට බැංකු ක්‍රමය ඇතුළේ වුනත් ඩොලරයක මිල පහළ යාමට යම් තෙරපුමක් ඇති වෙන්න පුළුවන්. හැබැයි මෙහෙම දෙයකුත් තියෙනවා. සුඛෝපභෝගී භාණ්ඩ සේ සලකා ඇතැම් ආනයන වලට ඉඩ නොදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ වෙයි කියලා හිතන්න අමාරුයි. සමහර විට වාහන ආනයනයට පවා නැවත ඉඩ දෙන්න සිදු විය හැකියි. මේවා දෙපාර්ශ්වය අතර සාකච්ඡා සිදුවන ආකාරය අනුව තීරණය වන දේවල් නිසා නිශ්චිත අනාවැකි කියන්න බැහැ.

ඩොලර් නිකුත් නොකර හෝ සෘජු වාරණ හරහා ආනයන පාලනය කිරීම නොකරනවානම් ආනයන වියදම අඩු කරගත හැකි ක්‍රමය අවශ්‍ය පමණ මිල ඉහළ යන්න ඉඩ සැලසීමයි. මාර්තු මුල් සතියෙන් පසුව දැනටමත් ඩොලරයක මිල 80%කින් පමණ ඉහළ ගොස් තිබෙන පසුබිමක, එම හේතුව නිසාම සැලකිය යුතු ලෙස ආනයන ඉල්ලුම පහළ නොයන්න හේතුවක් නැහැ. මිල වැඩි වීම නිසාම ගෑස්, පැට්‍රෝල් පෝලිම් නැති වෙන්න පුළුවන්. ඒ වගේම, වාහන ආනයනයට නැවත ඉඩ දුන්නට කලින් තරමටම වාහන ආනයන ඉල්ලුමක් ඇති නොවෙන්න පුළුවන්. ලංකාවේ මිනිස්සු වාහන ආයෝජනයක් ලෙසද සලකන නිසා මේක ටිකක් සංකීර්ණ තත්ත්වයක්. මොකක් වෙයිද කියලා හරියටම කියන්න අමාරුයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සල්ලි ලැබුණු විට ඩොලරයක මිල පොඩ්ඩක් පහළ යන්න යම් ඉඩක් තිබෙනවා. එහෙත්, බොහෝ විට එසේ නොවෙන්න පුළුවන්. යම් විදිහකින් මිල පහළ යනවානම් මහ බැංකුව විසින් වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගෙන එය වැළැක්විය යුතුයි. ඩොලරය ඉහළ යද්දී ඉහළ යන බඩු මිල ඩොලරය පොඩ්ඩක් පහළ ගියා කියලා අඩු වෙන්නේ නැහැ. 

කොහොමටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සල්ලි ලැබෙන එක ස්ථිර වෙද්දී ඩොලරය ස්ථාවර වෙන බව කාට වුවත් පැහැදිලි වන නිසා ඔය නිවේදනයත් එක්කම එක පාරටම රටින් පිට රඳවාගෙන තිබෙන ඩොලර් රටට එන්න සහ එයින් කොටසක් රුපියල් වෙන්න පුළුවන්. එයින්ද යම් අධිප්‍රමාණ පීඩනයක් එන්න පුළුවන්. ඒ වෙලාවට කළ යුත්තේ පුළුවන් තරමකින් සංචිත ගොඩ නගා ගන්න එකයි. අතමාරු ණය හැමදාම රෝල් කරන්නත් බැහැනේ. ඒවා පියවන්නත් ඩොලර් අවශ්‍ය නිසා කොහොමටත් ඔය වැඩේ කරන්නම වෙනවා.

උද්ධමනය ගැන වෙනම ලිපියකින් කතා කරමු.

9 comments:

  1. මහ බැංකු අධිපතට යහපත් චේතනා තිබුනත් ඔහු වැඩකරන්නේ මහපොළව විසින් ප්‍රතික්ෂේපකර තිබෙන දේශපාලන බලඅධිකාරියක් සමග.වත්මන් මුදල් ඇමති වරයා උනත් දුෂිත දේශපාලකයෙකු වෙනුවෙන් නඩුවලට පෙනීසිට එම සම්බන්ධතාවෙන් ඇමති පට්ටම් වරදාන ලෙස ලබාගත් අයෙක්. ජන මතයට හිස නමලා ජනපති සහ පාර්ලි‌‌මේන්තුව ඉල්ලා අස්වන තුරුම විසඳුමක් නැහැ. ජනතා පරමාධිපත්‍ය අන් හැමදේකටම වඩා බලවත් යන මොහොත එළඹෙන තුරුම ඉවසන්න වෙනවා. අපි මොනතරම් කතා කලත් ආර්ථික ගැටළු දේශපාලන ගැටළු හා වෙන්කරන්න බැරි තරමට බද්ධ වෙලා.

    ReplyDelete
    Replies
    1. ඒ වගේම තමයි ජන මතයට හිස නමලා ජනපති සහ පාර්ලි‌‌මේන්තුව ඉල්ලා අස්ව ගියත් විසඳුමක් නැහැ මොකද පවතින දේශපාලන ක්‍රමය තුළ ඒ වෙනුවට පත්වීමට නියමිත විපක්ෂ කණ්ඩායම් වල අයත් ඊටත් වඩා පොදු මහජනතාව විසින් ප්‍රතික්ෂේපකර තිබෙන දේශපාලන බංකොළොත් චරිත ටිකක්, මේ නිසා රටට අලුත් නායකත්වයක් පත් කරගැනීමට සුදුසු අය බිහිවනතෙක් දැනට සිටින නරක අය සමග මේ ගමන යන්න වෙනවා, ඇතැම් විට 2024 වෙනකම් පවා යන්න වෙයි, කොහොම වුණත් මේ ප්‍රශන විසඳා ගැනීමට අරාජික නොවී රට පවත්වාගත යුතුයි නේද ඉකොනොමැට්ටා? මේ කාලසීමාව තුළ අලුත් දේශපාලන ව්‍යාපාරයක් අරබා රටට සුදුසු නායකයන් පත්කර ගැනීමට හැකි වෙයි කියා මම හිතනවා තව වසර දෙකක් වත් ඇතුලත මෙය අනිවාර්යයෙන් සිදුවිය යුතුයි.

      Delete
  2. "මීටත් වඩා වැදගත් කාරණය මේ ආකාරයෙන් භාණ්ඩ අපනයනය කර උපයන ඩොලර් බලහත්කාරයෙන් රුපියල් කර ගත හැකි වුවත්, සේවා අපනයනය කර උපයන ඩොලර් එසේ ගෙන්වා ගත නොහැකි වීමයි."

    What does this mean? For people who exports goods and services, why can't they simply leave their payments in bank accounts out of the country (or buy bitcoins), and not bring them to SL?

    Can you please explain this?

    ReplyDelete
    Replies
    1. It was prohibited several months ago. At the moment, exporters are required to bring the proceeds to the country within a certain period (within 30 days, I think). Then, a part of that money has to be mandatorily converted to Rupees. (Exact details can be slightly different but it is something like this). But the problem is, unlike goods exports, services exports are hard to track. Hence, those dollars still stay outside the country.

      Delete
  3. අප ඉන්නේ පතුලක් නැති අගාධෙක
    කියලයි හැඟෙන්නේ හිතුණත් හිතට දුක
    නොහොබින පාලකයො පත් කර ගත්ත එක
    කරපු නිසයි අප ඉන්නේ අනතුරක!

    ReplyDelete
  4. සියඹලාපිටිය නාඩගමත් අලි සබ්‍රි නාඩගම වගේ!

    ReplyDelete
  5. ඩොලරය ආපහු පහලට නොගියත්
    මහින්ද යන්නම යාවි වගේ

    ReplyDelete
  6. ඉකොනො.. උන්ඩියල් සහ හවානා (ද මොකක්ද) වෙළඳපොල බොහොවිට දුවන්නේ ලංකාවේ කළු සල්ලි මත නේද? මහ බැන්කුවට ඇයි එක කාලයක් දීලා දැනට බාවිතා වෙන රුපියල් පන්දාහේ කොළ තහනම් කරන්න? හැමෝටම කියන්න පුලුවන් අහවල් දවසට කලින් තමන්ගේ අතේ තියෙන පන්දාහෙ කොල බැන්කුවකට බාර දීලා ඒ වෙනුවට බිල් පතක් අරගන්න කියලා. ඊලඟට අත්‍යාවශ්‍ය ගනුදෙනු සඳහා අලුත් පන්දාහේ කොල යම් ප්‍රමානයක් රිලීස් කරලා ඉතිරි ගනුදෙනු බෑන්ක් ඩ්‍රාෆ්ට්, චෙක් වගේ ඒවාගෙන් කරන්න පුලුවන්නෙ. එතකොට කලු සල්ලි සුදු වෙන එක වගේම වත්කම් හෙලිවීම්, ඩොලර් ප්‍රශ්ණයටත් යම් විසන්දුමක් ගන්න පුලුවන් නේද

    ReplyDelete
    Replies
    1. කමී, මේක අදහසක් විදිහට නරක නැහැ. නමුත් මෙහි තිබෙන ප්‍රායෝගික ප්‍රශ්නය ලංකාවේ කළු සල්ලි තිබෙන බොහෝ අය විධිමත් ආර්ථිකය ඇතුළෙත් ඉන්න පෙනුමෙන් සුදු චරිත වීමයි. ඔවුන්ට ඔය සල්ලි මාරු කර ගැනීම අපහසු වැඩක් නෙමෙයි. ඉන්දියාවත් මීට සමාන දෙයක් කළත් වැඩක් වුනේ නැහැ.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: