වෙබ් ලිපිනය:

Tuesday, July 19, 2022

හෙට වැව මැද සටන


ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට හෙට දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් විධායක ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනෙනවා. මෙය ශ්‍රී ලංකා දේශපාලනයේ ඉතා සුවිශේෂී මෙන්ම තීරණාත්මක කඩඉමක්. නාමයෝජනා තුනක් ඉදිරිපත්ව ඇතත් ප්‍රායෝගිකව මේ ඡන්දයෙන් ජය ගැනීමට ඉඩක් තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ හෝ ඩලස් අලහප්පෙරුම යන දෙදෙනාගෙන් අයෙකුයි. රහස් ඡන්දයක් පැවැත්වෙන නිසා ප්‍රතිඵලය අවසන් මොහොත වන තුරු අවිනිශ්චිතයි.

නාමයෝජනා ඉදිරිපත් වීමට පෙර සිදු වූ වැදගත්ම දේශපාලනික සිදුවීම සජිත් ප්‍රේමදාස හා ඩලස් අලහප්පෙරුම අතර සම්මුතියයි. මේ සම්මුතිය අනුව සජිත් ප්‍රේමදාස ජනාධිපති ධුරය සඳහා තරඟ නොකරන අතර ඩලස් අලහප්පෙරුම මීළඟ ජනාධිපති වුවහොත් අගමැති ධුරය සජිත්ට ලැබෙනු ඇතැයි සිතිය හැකියි. වඩා වැදගත් කරුණ මේ කණ්ඩායම් දෙක ජනාධිපති සටනින් ඔබ්බට ගිය පොදු අවම වැඩ පිළිවෙලකටද එකඟ වී තිබීමයි. 

වැඩ බලන ජනාධිපති සේ කටයුතු කරන රනිල් වික්‍රමසිංහ මීළඟ ජනාධිපති සේ තේරී පත් වුවහොත් දිනේෂ් ගුණවර්ධන වැනි අයෙකු අගමැති විය හැකියි. එවැනි ආණ්ඩුවක ආර්ථික-දේශපාලන වැඩ පිළිවෙළ රනිල් වික්‍රමසිංහගේ අභිලාෂ මත තීරණය වීමට ඉඩ තිබෙනවා. 

මේ ආකාරයෙන් නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කරගැනීමට අවශ්‍ය වූ ක්‍රියාදාමය ආරම්භ වන්නේ රටේ පවතින ආර්ථික අර්බුදයේ ආරම්භයත් සමඟයි. එම ආර්ථික අර්බුදයට හේතු වූ අනිසි ආර්ථික කළමනාකරණය පසුපස නිවැරදි විය යුතු දේශපාලනික සාධක තිබෙනවා. අරගලකරුවන්ගේ මුල් ඉල්ලීම් වුනේත්, අලුතෙන් පත් වෙන ආණ්ඩුවක් විසින් හැකි ඉක්මණින් කළ යුතුව තිබෙන්නේත්, අවශ්‍ය දේශපාලනික වෙනස්කම්ද කරමින්, ආර්ථිකය නිසි මගට ගැනීමයි.

සජිත් හා ඩලස් එකඟව ඇති පොදු අවම වැඩ පිළිවෙළ ඉහත ප්‍රශ්න වලට විසඳුමක් සේ යෝජනා වී ඇති ආර්ථික හා දේශපාලනික ප්‍රතිසංස්කරණ යෝජනා වල එකතුවක් සේ අර්ථ දැක්විය හැකියි. මේ ප්‍රතිසංස්කරණ යෝජනා පැකේජය හා රනිල් ප්‍රමුඛ ආණ්ඩුවක් මගින් ගෙන ඒමට නියමිත ආර්ථික හා දේශපාලනික ප්‍රතිසංස්කරණ යෝජනා අතර ලොකු වෙනස්කම් පෙනෙන්නට නැහැ. මේ වෙලාවේ කළ යුතු හොඳම දේ බොහෝ දුරට පැහැදිලියි.

රටේ ආර්ථිකයේ ප්‍රශ්න කවර ආණ්ඩුවකට වුවද ක්ෂණිකව විසඳිය නොහැකි වුවත් වසරක පමණ කාලයක් තුළ බොහෝ දුරට විසඳිය හැකියි. ඒ සඳහා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු බාහිර පාර්ශ්ව වල උදවු අවශ්‍ය වෙනවා. එම උදවු ලබා ගැනීම සඳහා රාජ්‍ය අංශයේ දැවැන්ත ප්‍රතිසංස්කරණ කළ යුතු වෙනවා. නොකරම බැරි මේ ප්‍රතිසංස්කරණ දේශපාලනිකව ජනප්‍රිය තීරණ ගනිමින් සිදු කළ නොහැකියි. එවැනි පුළුල් ප්‍රතිසංස්කරණ කිරීමට මහජන සහයෝගය අවශ්‍යයි. ප්‍රධාන දේශපාලන පක්ෂ වල සහයෝගීතාවයක් නොමැතිව මෙවැනි ප්‍රතිසංස්කරණ කළ නොහැකියි.

දැනට පෙනෙන පරිදි සජිත්-ඩලස් පාර්ශ්ව එකඟ වී තිබෙන පොදු අවම වැඩ පිළිවෙළ තුළ මේ වැඩේ බොහෝ දුරට සිදු වෙනවා. ඩලස් ලංකාවේ මීළඟ ජනාධිපති සේ තේරී පත් වුවහොත් එය සිදු වනු ඇත්තේ අදාළ පාර්ශ්ව දෙකට අමතරව තවත් කණ්ඩායම් ගණනාවක සහයෝගයෙන්. එවැනි සහයෝගයක් නැතිව ඩලස්ට ඡන්දයෙන් දිනන්න බැහැ. ඒ නිසා, සජිත්-ඩලස් එක්ව හැදීමට ඉඩ තිබෙන ආණ්ඩුවක් බොහෝ විට තවත් පාර්ශ්වද එක් කරගත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් වීමට නියමිතයි. 

අනෙක් පැත්තෙන් රනිල් ඡන්දය දිනුවොත් එය සිදු විය හැක්කේත් කණ්ඩායම් ගණනාවක සහයෝගයෙන්. ඔහු දිනනවානම් දිනන්නේ සජබ, ශ්‍රීලනිප පක්ෂ වල ඇතැම් මන්ත්‍රීවරුන්ගේ ඡන්ද හා අනෙකුත් සුළු ජාතික පක්ෂ වල ඡන්දද ලබා ගනිමිනුයි. සල්ලි එහා මෙහා වන කතා අහන්න ලැබුණත්, රහස් ඡන්දයකදී සල්ලි අරගෙන වුවත් තමන් කැමති අයෙකුට ඡන්දය දිය හැකියි. ඒ නිසා, ඡන්ද ලබාගැනීම සඳහා සල්ලි වලට වඩා වැදගත් වනු ඇත්තේ ඇමතිකම් පිළිබඳ පොරොන්දු ආදියයි. මේ අනුව බැලූ විට, රනිල්-දිනේෂ් මුල් වී ආණ්ඩුවක් හැදුවත් එයද ඩලස්-සජිත් මුල් වූ ආණ්ඩුවක් මෙන්ම සර්ව පාක්ෂික ආණ්ඩුවක් වීමට නියමිතයි. එමෙන්ම එවැනි ආණ්ඩුවක් විසින් සිදු කිරීමට නියමිත ආර්ථික-දේශපාලන ප්‍රතිසංස්කරණ ඩලස්-සජිත් ආණ්ඩුවක ප්‍රතිසංස්කරණ වලට වඩා ලොකුවට වෙනස් වෙන්න හේතුවක් නැහැ.

කෙටියෙන් කිවුවොත්, හෙට රනිල් දිනුවත්, ඩලස් දිනුවත්, ඉන් ඔබ්බට යන්න තියෙන්නේ එකම පාරේ. ඒ වගේම රට වැටී තිබෙන තැන අනුව යා හැකි වෙන පාරවල් නැහැ. ප්‍රතිඵලය අනුව වෙනස් වන එකම දෙය පාර්ලිමේන්තුවට පිටින් අරගලකරුවන්ගේ ප්‍රතිචාර හා එම ප්‍රතිචාර වලට දේශපාලන පක්ෂ විසින් දක්වන ප්‍රති-ප්‍රතිචාරයි.

මේ වන විට ලංකාවේ පාර්ලිමේන්තුව තුළ රටේ ජනතා මතය නිරූපණය නොවනවාක් මෙන්ම අරගලය තුළ නිරූපණය වන්නේද ජනතා මතය නෙමෙයි. අරගලය තුළ ප්‍රධාන බල කේන්ද්‍ර තුනක් දැකිය හැකියි. පළමු කණ්ඩායම නාගරික හා අර්ධ නාගරික ලිබරල්වාදීන්. දෙවන කණ්ඩායම ජවිපෙ/ජාජබ හා ඔවුන්ගේ මතවාදය හා කිට්ටුවෙන් යන අදහස් දරන ස්වාධීන ක්‍රියාකාරිකයින්. තෙවන කණ්ඩායම පෙසපෙ හා ඔවුන් විසින් මෙහෙයවන කණ්ඩායම්. 

හෙට ජනාධිපතිවන්නේ රනිල් වුවත්, ඩලස් වුවත්, පෙසපෙ අරගලයෙන් ඉවත් වන එකක් නැහැ. ඒ වගේම, මේ කවර හෝ ආණ්ඩුවක් හරහා ක්‍රියාත්මක වීමට නියමිත ආර්ථික-දේශපාලන වැඩ පිළිවෙලට එම කණ්ඩායම එකඟ වන එකක් නැහැ. ඔවුන්ගේ විරෝධය දිගටම පවතියි. බොහෝ විට තවත් තීව්‍ර වෙයි.

රනිල් ජයගෙන ආණ්ඩුවක් පිහිටෙවුවොත් අරගලය තුළ සිටින ඉහත කණ්ඩායම් තුනම දිගටම ආණ්ඩු විරෝධී ස්ථාවරයක සිටීමට වැඩි ඉඩක් තිබෙනවා. එසේ වුවහොත්, සජිත්-ඩලස් අක්ෂය පාර්ලිමේන්තුව තුළ ආණ්ඩු විරෝධීව හා අරගලයට පක්ෂපාත ස්ථාවරයක සිටිමින් ඊළඟ මැතිවරණයට ලකුණු රැස් කිරීමට ප්‍රමුඛතාවය දීමට ඉඩ තිබෙනවා. එහෙත්, ඩලස් ජයග්‍රහණය කළහොත් අරගලය තුළ සිටින ලිබරල්වාදී කොටස් අරගලයෙන් ඉවත් විය හැකියි. ඒ සමඟම අරගලකරුවන් වාමාංශික අරගලකරුවන් කොටසක් බවට පත් වෙනවා. ඉන් පසුව ජවිපෙ දිගටම අරගලය තුළ රැඳී සිටියහොත් ඒ තුළ ජවිපෙ පෙසපෙ බල අරගලයද ඉස්මතු විය හැකියි.

ජවිපෙ/ජාජබ තවමත් ඉන්නේ රටේ දේශපාලන බල තුලනය වෙනස් වන ආකාරය අනුව තමන්ට දේශපාලනිකව වඩා වාසිදායක පැත්තට දෝලනය වීමේ ඉඩ ඉතිරි කරගෙනයි. හෙට රනිල් ජනාධිපති වුවහොත් ජවිපෙට දිගටම පාර්ලිමේන්තුව තුළත්, අරගලය තුළත්, ආණ්ඩු විරෝධී ස්ථාවරයක සක්‍රිය ලෙස කටයුතු කරන්න සිදු වෙනවා. පාර්ලිමේන්තුව තුළ ඔවුන්ට සජබට එරෙහිව ඉදිරි මැතිවරණය ඉලක්ක කර කටයුතු කරන්න වෙනවා. ඒ අතර අරගලය තුළ ප්‍රධාන ගාමක බලවේගය වීමට පෙසපෙ සමඟ තරඟ කරන්න සිදු වෙනවා. 

දේශපාලනිකව රනිල්ට එරෙහි වුවත් සජිත්-ඩලස් අක්ෂයට රනිල්ගේ ආර්ථික-දේශපාලන වැඩ පිළිවෙලට සෘජුව විරුද්ධ වීමේ හැකියාවක් නැහැ. කළ හැක්කේ කකුලෙන් ඇදීම පමණයි. අරගලයට සහයෝගය දීම මගින් වක්‍ර ලෙස එය කළ හැකියි. සජබ නැවතත් අරගලය හා එකතු වුවහොත් එහි වාමාංශික පැහැය දියාරු වී යනවා. ඒ වගේම, රනිල් ප්‍රමුඛ ආණ්ඩුවකට අවශ්‍ය ආර්ථික-දේශපාලන වෙනස්කම් කිරීමද අසීරු වෙනවා. එවැනි තත්ත්වයක් යටතේ රනිල් ප්‍රමුඛ ආණ්ඩුවකට ඉතිරි වන විකල්පය අරගලය මර්දනය කිරීම පමණයි. සජබ අරගලය හා නැවත එකතු වී අරගලය නැවතත් පුළුල් දේශපාලනික සන්ධානයක් බවට පත් වුවහොත් වුවහොත් එයද පහසුවෙන් කළ නොහැකියි. එහෙත්, සජබ නැවත අරගලය හා එකතු නොවී අරගලය තුළ වාමාංශික පැහැය ඉස්මතු වුවහොත් අරගලය මර්දනය කිරීම වඩා පහසු වෙනවා.

ඩලස් ජනාධිපති වී ඩලස්-සජිත් ආණ්ඩුවක් පිහිටෙවුවොත් රනිල්ට එම ආණ්ඩුවේ ආර්ථික-දේශපාලන වැඩ පිළිවෙලට විරුද්ධ වීමේ හැකියාවක් නැහැ. එවැනි තත්ත්වයක් යටතේ බොහෝ දුරට වඩාත් පුළුල් සර්ව-පාක්ෂික ආණ්ඩුවක් හැදෙනවා. එවැනි ආණ්ඩුවකට කෙතරම් සහායක් දක්වනවාද කියන එක ජවිපෙ/ජාජබට මුහුණ දෙන්නට වන උභතෝකෝටිකයක්. අවශ්‍ය ප්‍රතිසංස්කරණ කරන්නට යද්දී මුළුමනින්ම විරුද්ධ වුවහොත් ඉදිරි මැතිවරණයකදී මධ්‍යස්ථ ඡන්දදායකයින්ට ආමන්ත්‍රණය කිරීමේ අවස්ථාව ජවිපෙ කෙරෙන් ගිලිහෙනවා. එවැනි ප්‍රතිසංස්කරණ වලට විරුද්ධ නොවුවහොත්, ඔවුන් හා රැඳී සිටින වාමාංශික කොටස් පෙසපෙ විසින් ආකර්ෂණය කර ගන්නවා. 

හෙට ඡන්දයේදී රනිල්-ඩලස් සටන තියුණු වී දෙවන මනාපය ගණන් කරන්නට සිදු වීමේ ඉඩකඩද බැහැර කළ නොහැකියි. ඡන්දය රහසිගත එකක් වුවත්, එවැනි තත්ත්වයක් යටතේ ජාජබ ඡන්ද වල දෙවැනි මනාප එළිදරවු වෙනවා. එහිදී යම් හෙයකින් ජාජබ ඡන්ද තුන නිසා ඩලස් පැරදී රනිල් දිනුවොත් එයින් ජවිපෙට විශාල දේශපාලනික හානියක් වීම නොවැලැක්විය හැකියි. මෙය ඉතා පැහැදිලි නිසා ජාජබ දෙවැනි මනාප බොහෝ විට ඩලස්ට ලබා දෙන්න ඉඩ තිබෙනවා. ඒ නිසාම, අනුර කුමාර තරඟයට ඉදිරිපත් වීම ඒ තරම් තීරණාත්මක සාධකයක් නෙමෙයි. 

19 comments:

  1. ඉකොනෝමැට්ටා කියන්නේ ඩලස් දිනයි කියලා නං එකෙන් අපිට ගන්න තියෙන දේ තමයි රනිල් දිනන්නේ කියන එක. මොකද ඉකොනෝමැට්ටා හැමදාම මේකේ දාන පුරෝකථන ඔක්කොම වැරදිනේ. එකේ අනික් පැත්ත වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මේ ලිපිය සිහියෙන් කියෙව්වොත් පැහැදිලිව පේනව දිනන්නෙ කවුද පරදින්නෙ කවුද කියල කියන්න මේ ලිපිය ලියා නැති බව. ඒක හෙට පාර්ලිමේන්තව තීරණය කරාවි.

      මේ ලිපියෙන් කියන්නෙ කවුරු දිනුවත් යන්න තියෙන්නෙ එකම පාරෙ බව. එකම වෙනස දිනන අයට ලැබෙන අරගලයේ ප්‍රතිචාරයයි. ඒ වගේම අරගලයේ හැඩයත් එක එක විදියට වෙනස් වන බවයි. අරගලය වාමාංශික පැත්තට වැඩිපුර නැඹුරු උනොත් අරගලය දියාරු වීමේ සම්භාවිතාව වැඩි බවයි.

      මිනිස්සු කොච්චර රනිල්ට, මහින්දලට, සජිත්ලට අකමැති උනත් එහෙමයි කියල වාමාංශික සමාජවාදී පක්ෂ වලට බලය දෙන්න ලෑස්ති නෑ. ගෝඨා ගියාට පස්සෙ අරගලය පාලුවට ගියේ ඒකයි.

      Delete
    2. ඔන්න මම ඊයේ කිව්ව 'ඉකොනෝමැට්ටා කියන්නේ ඩලස් දිනයි කියලා නං එකෙන් අපිට ගන්න තියෙන දේ තමයි රනිල් දිනන්නේ කියන එක. මොකද ඉකොනෝමැට්ටා හැමදාම මේකේ දාන පුරෝකථන ඔක්කොම වැරදිනේ. එකේ අනික් පැත්ත වෙන්නේ' කියන දේ ඇත්ත උනා.

      රනිල් දින්නා. ඉකොනෝගේ පුරෝකථන තවත් සැරයක් වැරදි.

      Delete
  2. මේක සිදුවන්නෙ ඉතිහාසයේ පලමු වතාවට නෙවෙයි. 1993 මැයි 1 දා හිටපු ජනාධිපති ප්‍රේමදාස ඝාතනය වුණාම එදාම හවස ඩීබී විජේතුංග වැඩ බලන ජනාධිපති ලෙස දිවුරුම් දෙනවා. 1993 මැයි 7 දා පාර්ලිමේන්තුවේ චන්දයකින් ඔහු ප්‍රේමදාසගේ ඉතිරි කාලයට ජනාධිපති වෙනවා. එකම වෙනස එදා ඔහුට විරුද්ධව වෙන කිසිවෙකුත් ඉදිරිපත් නොවීම නිසා ඔහු පත්වුණේ ඒකච්චන්දයෙන්.

    රනිල් ජනාධිපති වීමට වඩා ඩලස් - සජිත් සංයෝගයට ජේවීපී ප්‍රමුඛ අරගලකරුවන් එකඟවන්නේ එය ඔවුන්ට වාසි සහගත නිසයි. අද තියෙන ප්‍රශ්ණ වලින් ටිකක් හරි ගොඩ එන්නත් කාලයක් යනවා. රනිල් සහ පොහොට්ටු ආණ්ඩුවක් තිබුණොත් ඊලඟ මහමැතිවරණයේදී සජිත් දිනීමට හෝ ජවිපෙ සමඟ කරට කර සිටීමට ඉඩ තිබෙනවා. එහෙත් සජිත් අගමැති වුණාම ඉදිරි කාලයේ ඔවුන්ගේ ජනප්‍රිය භාවය පිරිහෙනවා. ඒකේ වාසිය යන්නේ ජවිපෙට.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ පාර්ලිමේන්තු "චන්ද විමසීමකින්" පත් කර ගන්න පළමු අවස්ථාව මේක. 93 චන්ද විමසීමකට ගියේ නෑ

      Delete
  3. දෙන්නම දිනොවොත් යන්න වෙන්නේ කම මගේ කියන කතාවට එකඟයි

    ReplyDelete
  4. කවුරු දිනුවත් දිනන්නේ උන්
    පුංචි සිංඤෝලා පරාදයි!

    ReplyDelete
    Replies
    1. නිදී ඔය පුංචි සිංඤෝ කියලා කියන්නේ උද්ඝෝෂණ ව්‍යාපාර වලට අහුවෙලා රනිල් ජනාධිපති කරන්න අත පය කඩා බිඳ ගෙන ඔළු පලාගෙන කඩේ ගිය ලාබාල නොමේරූ ලාමක විප්ලවවාදීන් ගැන වෙන්න ඇති නේද?

      ඇත්තටම උන් ගොඩක් පවු උන් වරද්ද ගන්නෙ ඔතනින්. ඉදිරියට කිසිම එකෙක් අරගලයට support කරන්නෙ නැහැ. ඒ මෝඩ ලාමකවූ තරුණ තරුණියන් හිතුවේ නන්දසේන උන්ට බයේ හිටියේ කියල. ඒත් උන්ටත් තේරුමක් තිබුනේ නැහැ අරගල කරන්න ඔය ගෝල්ෆේස් එකේ භූමිය වෙන් කරලා නීතිගත කලෙත් නන්දසේනමයි කියන එක. කපටි නන්දසේන මෝඩ අරගල කාරයන්ට වෙඩි තියලා අතේ ලේ තවර ගත්තෙ නැහැ. ඒක ඒ මෝඩ සෙට් එකම හිතුවේ නන්දේගේ බියගුළු කම කියලා. එතනයි මුලින්ම වැරදුනේ. දැන් ඉතින් කරන්න දෙයක් නෑ කට්ටිය උගුලට අහුවෙලා ඉවරයි බලාගෙන ඉන්න වෙනවා මොකද වෙන්නෙ කියලා. අපි නම් ඉස්සර 2010 මුල්ම ඡන්දෙ දාන්න ෆොන්සේකා වෙනුවෙන් පෙනී සිට රනිල් දීපු ගේමට අහු වෙලා ආයේ 2015 සිරිසේනටත් ඡන්දෙ දාලා දෙපාරක් ඇනගෙන පාඩම් ඉගෙන ගෙන තියෙනවා ඒ නිසා අපි මේකෙදි කලබල නොවී බලන් හිටියා මොකද වෙන්නේ කියලා, මම ලංකාවේ හිටියත් ඕකට ඇක්ටිව් සම්බන්ධ වෙන්නේ නැහැ ඕක පස්සෙ තියෙන ගේම ගැන පැහැදිලි අවබෝධයක් තියෙන හින්දා නමුත් අපට වඩා අවුරුදු දහයක් පහළොවක් විතර බාල පොඩි නංගිලා මල්ලිලා අපි 2010 - 15 ලාබාල අත්දැකීම් විරහිත තරුණ වයසේ අහු වෙච්ච උගුල් වලට ආපහු පාරක් වැටෙනවා දැක්කම ගොඩක් දුකයි ඒත් රැලි වලට අහුවෙලා ජීවිත විනාශ වුණා සමහර කට්ටියගේ ඒකයි දුක...

      Delete
  5. දෙන්නගෙන්ම වැඩක් නම් නැහැ ඒත් රනිල් දැනටමත් හදිසි නීතිය දාගෙන මේ කරන විකාර එක්ක ජ්‍යාතන්තරෙන් කොහොමත් සහයෝගයක් ලැබෙන එකක් නැහැ.

    ReplyDelete
    Replies
    1. ජාත්‍යන්තරය උදවු කරන්නේ රනිල්ගේ වැඩ පිළිවෙලට මිස රනිල්ට නෙමෙයි. එම වැඩ පිළිවෙල ඔහුට කරගෙන යන්න අවශ්‍ය සහය විව්‍යස්ථාදායකය හෝ භුමිය තුල නැහැ කියල පැහැදිලි අවස්ථාවක ලොකු සහයක් ලැබෙයි කියලා හිතන්න අමාරුයි.

      Delete
    2. ඇමරිකන් යුරෝප් ඉන්දියා වැනි අවස්ථාවාදී දෙඩි රටවලට මෙන්ම යූ එන් එකද තමන්ට හිතවත් එවුන් කොච්චර මානව හිමිකම් කැඩුවත් අපරාධ කළත් ඒවා නොනෙන අඳ ගොළු බිහිරි වෘතයක සිටින (උදා: සෞදි අරාබිය) අතර තමන්ට විරුද්ධ එවුන්ට (උදා ඉරාක් ඉරාන් ලිබියා ඇෆ්ඝනිස්ථාන්) නැති වැරදි බොරුවට හදා ලෙඩ අදින්නට පුළුවන් අවස්ථාවාදී තක්කඩි ප්‍රතිපත්ති තියෙන නිසා රනිල්ට මුකුත් වෙන්නේ නැහැ.හොඳින් හෝ නරකින් ස්ථාවරභාවය ඇතිකරන්නට, ආර්ථිකය ට්‍රැක් එකට දාන්නට සහ දේශපාලනය කරන්නට රටක් ඉතිරි කරන්නට හැක්කේ වෙන්ඩ ජනාධිපතිලා අතරින් රනිල්ට පමණි.

      රනිල් හොඳ නැති බව නොදන්නා කිසිවෙකු නැත. එසේම රනිල් විශ්මකර්මයකු ද නොවේ. ආර්ථිකය ගොඩදාන්නට රනිල්ට බැරිය. පුළුවන් ගොඩයන මාර්ගයට දාගන්නට පමණි. ජාත්‍යන්තර හා ජාතික බල දේශපාලන සූදු මැද මියෙම්වා, රැක්ම්වා පන්නයේ ගේමක් ගහන්නට ඉන්න වෙන්ඩ ජනාධිපති රනිල්ය. අනෙක් එවුන්ට පවුල් පන්සල්ය. අහස උසට හීනය. මහජනයාට ගූ බයය. රනිල්ට ඒවා නැත. දැන් නම් ඉන්න ගෙයකුත් නැත.

      මේ වෙලාවේ පාලනය සඳහා පතෝලයන්ගෙන්, බල පෙරේතයන්ගෙන්, ෆැන්ටසිකාරයන්ගෙන් හෝ ආධුනිකයන්ගෙන් වැඩක් නැත. අවශ්‍ය වන්නේ නොම්මර එකේ #රියෙකි. රනිල් අවශ්‍ය යයි අප කියන්නේ ඒ නිසාය.

      Delete
  6. අට්ටාපිටිය ගඟ දෙපසේ බුරුත නැවී.
    පැංචාවියක් දිය කෙලිනා හැටි දුටිමී
    පිපුණු මලක් නම් තලලා මිස නොයමී
    කැකුලු මල නිසා නොතලා යන්ට යමී.

    ReplyDelete
    Replies
    1. @ නිමල්,

      ඕකෙ ඔය "අට්ටාපිටිය ගඟ දෙපසේ බුරුත නැමී" කියලා පටන් ගන්න ඕන හරිද නිදි?

      ඒ වගේම පිළිතුරු කවිය මෙහෙමයි;

      වනන්තරේ වැහි නැත ගස් මුල් වලට

      නිරන්තරෙන් හිමි වුයෙ දුකමය අපට

      පිපුනු මලක් නම් නොදෙමිය තලන්නට

      කැකුළු මල නිසා තලපන් පිපෙන්නට

      ....

      ඕක ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් බණට පැවසුවේ

      පින්වතුනි අද බණට වඩින කොට මට මතක් වුණා ලස්සන කවි බණක්... ලස්සන...... කවි බණක්.... දෙයියනේ මේ අට්ටාපිටිය කියන ගඟේ කෙල්ලෝ පැංචියෝ.... ආදී වශයෙන්...

      Delete
  7. ගොවි දන මනාවූ ලැබිය යුතුවූ සේම ගම්බිම්

    ReplyDelete
  8. //රටේ ආර්ථිකයේ ප්‍රශ්න කවර ආණ්ඩුවකට වුවද ක්ෂණිකව විසඳිය නොහැකි වුවත් වසරක පමණ කාලයක් තුළ බොහෝ දුරට විසඳිය හැකියි//
    ඔබ කියන්නේ නිවැරදි වැඩපිළිවෙලක් යටතේ අවුරුද්දක් වගේ ඇතුලත 2019 යට ආපහු යන්න පුළුවන් වෙයි කියලද

    ReplyDelete
    Replies
    1. 2019 ලංකාවේ ආර්ථිකය පැවති තත්ත්වයට යන්න අවුරුද්දක් යන්නේ නෑ ගොඩක් වෙලාවට මාස තුනක් හතරක් විතර ඇතුලත ඒ තත්ත්වය නැවත ඇතිකර ගැනීම ඉතා පහසුවෙන් කළ හැකි දෙයක් විශේෂයෙන් 2022 ඔක්තෝබර් මාසයේ සිට ඊළඟ සංචාරක සමය එළඹීමත් සමග 2019 නෙවෙයි ගොඩක් වෙලාවට 2018 පැවති තත්ත්වය පවා ඉක්මවමින් ඩොලර් බිලියන පහක් විතර සංචාරක ආදායම් උපයා ගැනීමට පුළුවන් වෙයි නමුත් ඒකට උද්ඝෝෂණ දරුණු විදියට පාලනය කරගන්නට සහ දේශපාලන ස්ථාවරත්වයක් ගොඩනගා ගැනීමට අවශ්‍යයි මම හිතන්නේ බටහිර රටවල කඳවුරේ මෙන්ම චීනයේ ද සහාය සහිතව රාජපක්ෂ කල්ලියේ යටිබිම්ගත සහායයෙන් රනිල් වික්‍රමසිංහ ඒක කරයි නැවත රාජපක්ෂ කල්ලියේ වසර දෙකක් ඇතුලත ඊළඟ මැතිවරණයට වෙනමම දේශපාලනික බලවේගයක් ඩලස්ලා ඇතුව හෝ නැතුව ආරම්භ කරන බව පේනවා දැනටමත් අවශ්‍ය මූලික දේවල් කරලා ඉවර ඇති ඊළඟ process ටික දැනට ලංකාවේ ක්‍රියාත්මක දෙනවා ඇති කොහොම වුණත් අපරාදේ විකල්ප කණ්ඩායම් වලට බලයට එන්න තිබුණු චාන්ස් එක විනාශ වෙනවා චම්පික, අනුර සහ වෙනත් විකල්ප කණ්ඩායම් වල මහන්සිය රනිල් වික්‍රමසිංහ වැඩි කලබලයක් නැතුව කපටි කමින් සොරාගෙන තමන්ගේ බලය තහවුරු කර ගැනීම සඳහා යොදාගෙන තියෙන්නේ ඒක තමයි මෙතන තියන අපරාධය.....

      Delete
  9. ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ට සුබ පතමින් පවසන්නට තියෙන්නේ පාර්ලිමේන්තුවෙන් නියෝජනය වෙන්නෙ රටේ පොදු මතයට වඩා වෙනස් රැඩිකල් අදහසක්ය කියලා මං විශ්වාස කරන්නෙ නැහැ. රනිල් වික්‍රමසිංහ දැන් කරගෙන යන විදියට ඉදිරියට යයි. අරගලකාරයන් ඉස්සරහ ඇඹරෙන්නෙ නැති පාලනයක් තියෙයි. අයිඑම්එෆ් යයි. ණය ප්‍රතිව්‍යුහගත කරගනියි. බටහිර සහාය ලැබෙයි. සිංහල, බෞද්ධ, ගොවිගම, පිරිමි සතුටෙන් ඉඳියි.ඉන්දියාව සහ චීනය අතර දැනට ආණ්ඩුව නිර්මාණය කරගෙන තියෙන සමබරතාවත් එහෙමම යයි.

    රනිල්ගේ ලිබරල් යොමුවීම් නිසා සිංහල බෞද්ධ ජාතිවාදයේ ක්ලේම් එක ඩලස් – විමල් – ගම්මන්පිල වැනි බලවේග එක්ක දිගටම පවතින්න පුළුවන්. කොහොම වුණත්, මොන තත්වය යටතේ වුණත් රාජපක්ෂලා ඇතුව හෝ නැතුව පොහොට්ටුව (ඩලස්ලා නෙමෙයි) නැවත නැගීසිටින එකත්, 2024දී වැඩි බලයක් ඔවුන්ට ගොඩනැගෙන්නට ඉඩතියෙන එකත් වළක්වන්න අමාරුයි.

    මේක වෙනස්කරන්නට තිබුණු අවස්ථාව අනුරට මිස්වුණා. අනුරට එහෙම වෙන්නෙ ඔහුගේ පක්ෂයේ බර නිසා. අනුර වගේම කැච් එක මිස්වෙන අනෙක් එක්කෙනා තමයි චම්පික. මේගොල්ලන් මං දකින්නෙ උපාය නොදන්නා නිසා අපායෙ වැටෙන කට්ටිය විදියට.

    නමුත් කාටවත් නමුත් කාටවත් ලංකාවේ ආර්ථිකය 100% ස්ථීරව මොකක් වෙයිද කියන ප්‍රශ්නයට පිළිතුරක් නැහැ. මට හෙට මොකක් වෙයිද කියන එක ගැන අනුමාන ටිකක් තියෙනවා. ඒවාත් එහෙම නොවෙන්න පුළුවන්. මොකද මං සාත්තරකාරයෙක් නෙමෙයිනෙ.

    ReplyDelete
  10. ලංකාවේ ජනතාවට තව මාස පහක් පමණ දුෂ්කර තා විඳින්න වෙන බව ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසන්නේ ඇත්ත නේද?

    ලංකාවට පැහැදිලි වැඩසටහනක් තිබෙන බවත් ඉදිරි මාස 5 ක කාලය තුළ වත්මන් ආර්ථික අර්බුදයෙන් යම්තාක් දුරකට ගොඩ ඒමට හැකියාව ලැබෙන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සී.එන් .එන් එකේ interview එකේදී කිව්වා

    ස්ථාවර රජයක් පත් නොවූහොත් එය තවත් කල් යා හැකි බව ඔහු සඳහන් කළේය. සියල්ල තීරණය වන්නේ නව රජය සාකච්ඡාවලට අවතීරණ වන ආකාරය අනුව බවයි ඔහු ප්‍රකාශ කළේ

    මාණ්ඩලික ගිවිසුමකට මසක් ඇතුළත එළඹීමට හැකියාව ලැබුණත් එය පළමු පියවර බව ඔහු පෙන්වා දුන් ඔහු ඉන්පසුව ලංකාවට ණය ලබාදුන් ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා එකඟතාවයකට පැමිණිය යුතු බවත් එම ක්‍රියාවලිය අවසන් කිරීමට මාස කිහිපයක් ගත වෙන බවත් මෙම පියවර දෙක සම්පූර්ණ කිරීමෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සුළු මුදලක් ලබා ගැනීමට යම් තරමකින් හෝ සහාය ලබා ගැනීමට හැකියාව ලැබෙන බවත් ඔහුගේ විශ්වාසයයි

    කෙසේ වෙතත් ඉදිරි සති කිහිපය සඳහා පෙට්රොලියම් නිෂ්පාදන ආනයනය කිරීමට මහ බැංකුව සීමිතව යම් කිසි විදේශ මුදල් ප්‍රමාණයක් ලබා දුන්නත් ඉන්පසු අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ පෙට්‍රලියම් නිෂ්පාදන ආනයනය කිරීම සඳහා අවශ්‍ය කෙටි කාලීන මූල්‍ය පහසුකම් මිත්‍ර රටවල්වලින් ලබා ගැනීමේ වගකීම නව රජය වෙත පැවරෙන බව ආචාර්ය වීරසිංහ පැවසුවා

    ඉතාමත් අසාධ්‍ය ආර්ථිකයක් ඇති රටක් වශයෙන් ලංකාවේ එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු බරපතළ ලෙස අඩාල වී ඇති පසුබිමක ඉතාමත්ම ඉවසීමෙන් කටයුතු කරමින් නව රජය ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ගන්නා දිගු කාලීන සහ මධ්‍යම කාලීන තීරණ දෙස බලාපොරොත්තුවෙන් බලන ලෙස ආචාර්ය වීරසිංහ මහජනතාවගෙන් ඉල්ලා සිටියේ මේ ප්‍රශ්න විසඳන්න ලේසි වෙන එකක් නෑ කියලා දන්න නිසා නේද?

    ReplyDelete
  11. Tanks are being put on the streets in China to protect the banks.

    This is because the Henan branch of the Bank of China declaring that people's savings in their branch are now 'investment products' and can't be withdrawn.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: