වෙබ් ලිපිනය:

Monday, August 29, 2022

විදුලි සැරෙන් බේරෙන්නේ කොහොමද? (පළමු කොටස)

ලංවිම පාඩු ගැන ලියපු සටහන තුළ ලංවිම පෞද්ගලීකරණය කළ යුතු බව ලියා නොතිබුණත්, එය එම අරමුණ පෙරදැරිව ලියූ ලිපියක් සේ දකිමින් එක් පාඨකයෙකු විසින් ප්‍රතිචාරයක් දමා තිබුණා. ඔහුගේ අනුමානය මුළුමනින්ම අහේතුක නැහැ. 

අදාළ ප්‍රතිචාරයෙහි ලංවිම පාඩු ලැබීමට හේතු විස්තර කර තිබුණා. ඒ කරුණු පහත පරිදි සාරාංශගත කළ හැකියි.

1. ගල් අඟුරු බලාගාර හදන්නට යන හැම විටකම පරිසරවේදීන් විරුද්ධ වීම 

2. වියදම ආවරණය කර ගත හැකි පරිදි මිල ඉහළ දැමීමට ඉඩ නොදීම 

3. ආනයන සඳහා අවශ්‍ය විදේශ විණිමය ලංවිම වෙත ලබා නොදෙන අතර විදුලිය විකුණා විදේශ විණිමය උපයා ගැනීමටද ඉඩ නොදීම.

4. ජාතික බලශක්ති ජාලය (national grid) වැඩි දියුණු කිරීම සඳහා ප්‍රාග්ධනය නොමැතිකම. 

ඔහු කියන විදිහට,

- මේ කිසිවක් ලංවිම ප්‍රශ්න නෙමෙයි.

- ලංවිම පෞද්ගලීකරණය කිරීමෙන් මේ ප්‍රශ්න කිසිවක් විසඳෙන්නේ නැහැ. තවත් උග්‍ර වෙනවා පමණයි. 

මේ ප්‍රතිචාරයෙහි ඇති කරුණු වලින් පටන් ගෙන අපට වඩා පුළුල් සංවාදයකට මුල පුරන්න පුළුවන්. 

ලංකාවේ විදුලිබල කර්මාන්තය රජයේ මධ්‍යගත සැලසුමක් යටතේ ඒකාධිකාරයක් ලෙස ක්‍රියාත්මක වන්නක්. එම ඒකාධිකාරය පවත්වා ගෙන යාම සඳහා ශ්‍රී ලංකා රජය විසින් උපයෝගී කර ගන්නා ප්‍රධානම මෙවලම ලංවිමයි. ලංවිම හරහා ශ්‍රී ලංකා රජය විසින් ලංකාව තුළ විදුලිය ජනනය කිරීමේ, ප්‍රවාහනය (සම්ප්‍රේෂණය) කිරීමේ හා විකිණීමේ ඒකාධිකාරයක් පවත්වා ගෙන යනවා. ඒ අතරම, මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඇතුළු වෙනත් ආයතන හරහා ශ්‍රී ලංකා රජය විසින් විදුලිබල කර්මාන්තය නියාමනය කරනවා. 

මෙයින් අදහස් වන්නේ ලංකාවේ විදුලිබල කර්මාන්තය තුළ පෞද්ගලික අංශයේ දායකත්වයක් ඇත්තේම නැති බව නෙමෙයි. පෞද්ගලික සමාගම් ගණනාවක් විසින්ම ලංකාව තුළ විදුලි බලය නිපදවනවා. එහෙත්, එම සමාගම් සියල්ලම රජයේ ඒකාධිකාරයට යටත්. ඔවුන් කරන්නේ නිපදවන විදුලිය තොග වශයෙන් ලංවිමට විකිණීමයි. විදුලිය සිල්ලර වශයෙන් බෙදා හරින්නේ ලංවිමයි. එය කරන තවත් එක් සමාගමක් (ලෙකෝ) තිබුණත් එම සමාගමද රජයට පූර්ණ වශයෙන් අයිති සමාගමක්. 

පෞද්ගලික අංශය ලංකාවේ විදුලිබල කර්මාන්තයට සම්බන්ධ වී සිටියත් කර්මාන්තයේ වත්මන් ආකෘතිය අනුව එය ශ්‍රී ලංකා රජයේ ඒකාධිකාරයක් ලෙස හඳුන්වන්නට මා පැකිලෙන්නේ නැහැ. එවැනි තත්ත්වයක් තුළ කර්මාන්තය තුළ සිටින පෞද්ගලික සමාගම් වල කටයුතු සිදු වන්නේද අඩු වැඩි වශයෙන් රජයේ මධ්‍යගත සැලසුම් ආකෘතියේ අංග ලෙස මිස වෙළඳපොළ තරඟය මත පදනම්ව නෙමෙයි. 

කවුරු හෝ කෙනෙක් ලංවිම ඒකාධිකාරය ගැන කතා කරන අතරම ලංවිම පාඩු ගැනද කතා කරන්නේනම් එහි තිබෙන්නේ විසංවාදයක්. ඒකාධිකාරයක් ඇත්නම් පාඩු සිදු විය නොහැකියි. ඒකාධිකාර වලින් පාරිභෝගිකයින්ට පාඩු සිදු වන අතර ඒකාධිකාරී සමාගමේ කොටස් හිමිකරුවන් වාසි ලබනවා. ලංවිම ලාබ ලැබිය යුතුද? ඒ ඇයි? ලංවිම පාඩු ලබද්දී වාසි ලබන අය සිටිනවාද? ඒ කවුද?

ලංවිම පාඩු ලැබීමට හේතු ලෙස ඉහත විස්තර කර ඇති කරුණු වලින් පළමුවැන්න මම බරපතල ලෙස සලකන්නේ නැහැ. ලංවිම ජනන ධාරිතාවෙන් තුනෙන් එකක් පමණත්, නිෂ්පාදනයෙන් අඩක් පමණත් ගල් අඟුරු. ඒ වගේම, ලංවිම ඉදිරි සැලසුම් අතරද ගල් අඟුරු බලාගාර තිබෙනවා. පරිසරවේදීන්ගේ විරෝධතා ශ්‍රී ලංකා රජයට ඒ තරම්ම විශාල බලපෑමක් කර ඇතැයි මා සිතන්නේ නැහැ. එකම ප්‍රභවයක් යොදා ගෙන විදුලිය ජනනය කිරීම, මා දන්නා තරමින්, උපාය මාර්ගිකව නිවැරදි දෙයක් ලෙස ලංවිම විසින් සලකන්නේ නැහැ. එය නිවැරදි ප්‍රවේශයක්.

දෙවන කරුණේ බලපෑම ඉතාම පැහැදිලියි. ලංවිමට අවශ්‍ය පරිදි මිල ඉහළ දැමිය හැකි වූවානම් ලංවිම කිසිසේත්ම පාඩු ලබන එකක් නැහැ. ඒකාධිකාරී බලයක් ඇති සමාගමකට, විශාල ලෙස අකාර්යක්ෂම වුවත්, ලාබ ලැබීම අසීරු දෙයක් නෙමෙයි. නමුත්, මෙහිදී ඒකාධිකාරය තිබෙන්නේ ශ්‍රී ලංකා රජයට මිස ලංවිමට නොවන නිසා ලංවිම පාඩු ලබමින් සිටිනවා. ඒ සන්දර්භය මත ලංවිම පාඩු ගැන කතා කිරීම තේරුමක් නැති දෙයක්. 

තෙවන හා සිවුවන හේතු සෘජුවම ලංවිම ප්‍රශ්න. හතරවැන්න සෘජු ලෙසම ලංවිම දිගින් දිගටම පාඩු ලැබීමේ ප්‍රතිඵලයක්. ආයෝජන කිරීමට අවශ්‍යනම් ආයතනයක් විසින් ලාබ ලබා එයින් කොටසක් ආයෝජන වෙනුවෙන් වෙන් කළ යුතුයි. එසේ නැත්නම් කොටස් නිකුත් කිරීම හෝ ණය ගැනීම මගින් ප්‍රාග්ධනය ලබා ගත යුතුයි. ලංවිම විසින් දැනටමත් විශාල ලෙස ණය අරගෙන තිබෙනවා. ඒ ණය වල පොලිය ලංවිම වියදම් වල සැලකිය යුතු කොටසක්. 

තෙවැන්නද මෙයටම සම්බන්ධ දෙයක්. මේ වෙලාවේ ලංවිමට විදේශ විණිමය මිල දී ගැනීමට බාධා ඇති බව ඇත්ත. එහෙත්, යම් හෙයකින් ඒ සඳහා ඉඩ දුන්නත් විදේශ විණිමය මිල දී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් ලංවිම සතුව නැහැ. මෙයද ලංවිම දිගින් දිගටම පාඩු ලැබීමේ ප්‍රතිඵලයක්. වෙනත් විදිහකින් කිවුවොත්, ඉහත තෙවන හා සිවුවන කරුණු ලංවිම පාඩු ලැබීමට හේතු නොව ලංවිම දිගින් දිගටම පාඩු ලැබීමේ ප්‍රතිඵලයි.

කෙසේ වුවත්, අවශ්‍ය පරිදි මිල වැඩි කරන්නට ඉඩ ලැබුනේනම් ලංවිමට ලාබ ලබන්නට හැකිව තිබුණේය යන්න අපට බැහැර කරන්න බැහැ. එසේ වුනානම්, ඉහත තෙවන හා සිදුවන ප්‍රශ්න මතු වන්නේද නැහැ. 

එහෙමනම්, ලංවිමට අවශ්‍ය පරිදි මිල වැඩි කර පාඩු පියවා ගැනීමට ඉඩ හැරිය යුතුද? 

මෙවැන්නක් කළ යුතුයැයි මා හිතන්නේ නැහැ. එවැන්නකට ඉඩ දුන්නොත් අවසාන වශයෙන් සිදුවන්නේ ලංවිම අකාර්යක්ෂමතා වෙනුවෙන් පාරිභෝගිකයින්ට වන්දි ගෙවන්නට සිදු වන එකයි. 

මේ ආකාරයෙන් "ලංවිම අකාර්යක්ෂමතා" ගැන කතා කළ හැකි පදනම කුමක්ද? මෙය ඉතා සංකීර්ණ ප්‍රශ්නයක්. ලංවිම පාඩු එහි අකාර්යක්ෂමතාවයන්හි ප්‍රතිඵලයක් ලෙස සරල නිගමනයකට එන්න බැහැ. ප්‍රතිපාක්ෂිකයෙකුට මෙවැනි තර්කයක් බිඳ හෙළන එක ඉතාම පහසුයි. 

අපි හිතමු ලංකාවේ විදුලිබල කර්මාන්තයේ වත්මන් ආකෘතිය එලෙසම තිබියදී ලංවිම කිසියම් පෞද්ගලික ආයතනයකට විකුණා දැමුවා කියලා. බොහෝ විට එම ආයතනය විසින් ඉතා ඉක්මණින්ම සේවක කප්පාදුවක් කරයි. අඩු සේවක පිරිසක් යොදවාගෙන ඔය වැඩ ටිකම කර ගනියි. යම් ආයෝජන සිදු කර විදුලිබල පද්ධතියේ කාර්යක්ෂමතාවය තවත් වැඩි කර ගනියි. ඔය දේවල් කරලා දැන් තිබෙන පාඩුව ලාබයකට හරවයි.

ඔය ඔක්කොම කළා කියමුකෝ. ඊට පස්සේ රජය විසින් සැලකිය යුතු ලෙස මිල අඩු කළොත් මොකද වෙන්නේ? දැන් අර පෞද්ගලික සමාගමටත් පාඩු වාර්තා කරන්න වෙනවා. ඒ කියන්නේ දැන් තිබෙන ආකෘතිය ඇතුළේ ලංවිම පාඩු සහ එහි අකාර්යක්ෂමතාවයන් අතර තිබෙන්නේ දුර්වල සහසම්බන්ධයක්. 

ඒකාධිකාරී ආකෘතියක් පවතින තුරු කිසියම් කර්මාන්තයක අකාර්යක්ෂමතා ඇස්තමේන්තු කර පෙන්වා හැකි නිශ්චිත නිර්ණායකයක් (benchmark එකක්) නැහැ. අකාර්යක්ෂමතා තිබෙන බව පැහැදිලි ප්‍රායෝගික සත්‍යයක් වුවත්, හැම විටම කෙනෙකුට එය එසේ නොවන බවට තර්ක ඉදිරිපත් කරන්න පුළුවන්. 

ලංවිම පෞද්ගලීකරණය කළ යුතුයි කියා මම හිතනවා. එහෙත්, මම එයින් අදහස් කරන්නේ දැන් තිබෙන ලංවිම ගෙඩිය පිටින්ම කිසියම් විදේශ සමාගමකට විකුණා දැමීම වැනි දෙයක් ගැන නෙමෙයි. ලංකාවේ විදුලිබල කර්මාන්තයේ කාර්යක්ෂමතාවය ක්‍රමිකව ඉහළ නැංවෙන පරිදි අනුක්‍රමයෙන් සිදු කෙරෙන ප්‍රතිසංස්කරණ මාලාවක් ගැන. ඒ හරහා කර්මාන්තය තුළ දැනට පවතින රාජ්‍ය ඒකාධිකාරය නැති කිරීමක් ගැන. කාර්යක්ෂමතාව පිළිබඳ නිර්ණායක පැහැදිලිව ඇහැට පෙනෙන තරඟකාරීත්වයක් කර්මාන්තය ඇතුළට ගෙන ඒමක් ගැන. කර්මාන්තයේ නිරත සේවකයින්ට, ආයෝජකයින්ට වගේම පාරිභෝගිකයින්ටත් "අවශ්‍ය පමණ" වාසි සැලසෙන ක්‍රමයක් ගැන. 

මේ දේවල් ගැන අපි ලිපි මාලාවේ ඉදිරි කොටස් වලින් කියවමු. එහෙත්, ලංවිම අකාර්යක්ෂමතා කොපමණ තිබුණේ වුවත්, ඒ අකාර්යක්ෂමතා ඉවත් කළ යුතු වුවත්, මේ වෙලාවේ ක්ෂණිකව කළ යුතු දෙය මිල වැඩි කිරීම බව නොපැකිළ කිව හැකියි. මා එසේ කියන්නේ පැහැදිලි හේතු ඇතිවයි. 

පහත රූප සටහනේ පෙන්වා ඇති පරිදි, 2014 සිට විදුලි ඒකකයක මිල වැඩි වී නැතුවාක් මෙන්ම අද මිල 2014ට පෙර පැවති මිලට වඩා අඩු මිලක්. විදුලි ඒකකයක මිල අඩු වශයෙන් 2011 පමණ කාලයේ පැවති මට්ටමේ තිබුණානම් ලංවිම මෙතරම් පාඩු ලබන්නේ නැහැ. උදාහරණයක් ලෙස 2012දී මුල් විදුලි ඒකක වෙනුවෙන් ගෙවන්නට වූ මිල ඉන් පසු (මේ මාසයේ මිල වැඩිවීමට පෙර) පැවති මිලට වඩා 50%කින් වැඩි මිලක්. 

මේ කාලය තුළ සේවක වියදම් ඕනෑවට වඩා ඉහළ ගොස් තිබෙනවා වෙන්න පුළුවන්. එහෙත් කාලයත් එක්ක සේවක වියදම් යම් පමණකින් වැඩි වීම සාමාන්‍ය දෙයක්. ඉන්ධන මිල ඇතුළු අනෙකුත් අමුද්‍රව්‍ය මිල ඉහළ යාමද සාමාන්‍ය දෙයක්. ඊට අනුරූප ලෙස මිල වැඩි නොවන්නේනම් ආයතනයකට පාඩු ලබන්නට වන බවද පැහැදිලි කරුණක්.

විදුලි ගාස්තු ඉහළ දමා ඇති නිසා දැන් ලංවිමට පාඩු පියවා ගන්නට අවස්ථාවක් ලැබී තිබෙනවා. එය හොඳ දෙයක්. එහෙත්, ඒ හරහා ලංවිමට වඩා අකාර්යක්ෂම වීමට උදවු කිරීමක්ද සිදු වෙනවා. කර්මාන්තයේ අකාර්යක්ෂමතා ඉවත් කිරීම පියවරෙන් පියවර කළ යුතු දෙයක්. 


11 comments:

  1. // පරිසරවේදීන්ගේ විරෝධතා ශ්‍රී ලංකා රජයට ඒ තරම්ම විශාල බලපෑමක් කර ඇතැයි මා සිතන්නේ නැහැ

    1. ඉහල කොත්මලේ හා කුකුලේ ගග වැනි බලාගාර ආශ්‍රිතව ජලාශ ඉදි නොකෙරුනේ පරිසරවේදීන්ගේ හා දේශපාලන බලපෑම් නිසා.

    2. ලන්කාවට සිය පලමු ගල් අගුරු බලාගාරය දැකීමට වසර 2011 වෙනතෙක් සිටීමට සිදුවූයේ පරිසරවේදීන්ගේ බලපෑම් නිසා.

    ReplyDelete
  2. විශ්‍රාම යන සෑම රාජ්‍ය සේවකයෙකුටම මුහුණ දීමට සිදුවන අපූරු අත්දැකීමක් වෙයි. එයට මුලපිරෙන්නේ මෙසේය. විශ්‍රාම ගැනීම සඳහා ලියකියවිලි බාර දුන් පසුව විශ්‍රාමලාභියාට සම්මුඛ පරීක්ෂණයක් සඳහා කැඳවීමක් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් ලැබෙයි. එහිදී සිදුකරනු ලබන්නේ ඉදිරිපත් කරන ලද ලේඛනවල සත්‍යතාව තහවුරු කරගෙන විශ්‍රාම වැටුප අනුමත කිරීමයි. (අදාල කාර්යාල වලින් සියළු ලේඛන තහවුරු කළ පසු මෙවන් සම්මුඛ පරීක්ෂණයක් නැවත අවශ්‍ය වන්නේ කුමක් නිසාදැයි දන්නා කෙනෙකුට පැහැදිළි කළ හැකිය.) කෙසේ වුවද එතැන්හිදී විශ්‍රාම වැටුප් ලාභියාට දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන හැඳුනුම්පතක් ද ලැබෙයි. එය ද අපූරු හැඳුනුම්පතකි. එහි එක් පසෙක අදාළ පුද්ගලයාගේ නම, ලිපිනය, විශ්‍රාම වැටුප් අංකය යනාදී තොරතුරු ඇතුළත් වන අතර අනෙක් පැත්තේ පෞද්ගලික බැංකුවක වීසා කාඩ්පතකි. එය භාවිත කිරීමට එම බැංකුවේ ගිනුමක් ආරම්භ කළ යුතුය.

    එසේ කරන ලද කෙනෙක් තවමත් මෙම ලියුම්කරුට මුණගැසී නැත. ලියුම්කරු කළේ ද නැත. අනුමාන කළ හැක්කේ එක් පැත්තක් බැංකුවේ වීසා කාඩ්පතක් කිරීමේ හිලව්වට බැංකුව විසින් නොමිලේ හැඳුනුම්පත සකස් කිරීමේ බරපැන දරනවා විය හැකි බව ය. එමෙන්ම සම්මුඛ පරීක්ෂණය නිමවා ආපසු ඒමට එළියට බැස්ස තැන් සිට දුරකතනයට මෙන්ම කන් දෙකට ද නිවාඩුවක් නැත. ඒ ලංකාවේ තිබෙන සියළුම පෞද්ගලික බැංකු වලින් පාරිතෝෂිකය එම බැංකුවේ තැන්පත් කරන්නටත් එය ඇපයට තබා ණයක් ගන්නටත් කරන ඇවිටිලි නිසාය. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් එළියට බැස බසයකට නගින්නටත් පෙර එන මෙවන් ඇමතුම් අපට කියාදෙන්නේ අපගේ පෞද්ගලික ලිපිගොනුවේ තොරතුරු සම්මුඛ පරීක්ෂණය අතරතුරම හෝ එය නිම වූ සැනින් පෞද්ගලික බැංකු අතට පත්කරනු ලබන බව ය. විශ්‍රාම වැටුප් ලාභියාගේ අවසරයකින් තොරව ඔහුගේ හෝ ඇයගේ තොරතුරු වෙනත් පාර්ශවයක් අතට පත් කිරීම කෙතරම් දුරට නිත්‍යානුකූල ද හා සදාචාරාත්මක දැයි දෙපාර්තමේන්තුව පැහැදිළි කළ යුතුය. මෙතරම් දිගට කරුණු කියන්නට සිදු උනේ එසේ බැංකුවක් කියන දේ අසා ණයක් ගත් පසුව සිදුවූ අලකලංචියක් ගැන කියන්නටය. හැබැයි ගත්තේ රාජ්‍ය බැංකුවකින් මිස පෞද්ගලික බැංකුවකින් නොවේ.

    මෙම සිදුවීමට මුහුණ දුන් තැනැත්තා තම විශ්‍රාම වැටුප ඇපයට තබා ලංකා බැංකුවෙන් රු.1 000 000 ක ණයක් ගත්තේය. ගන්නා ණය මුදල තීරණය කළේ මසකට විශ්‍රාම වැටුපෙන් ගෙවීමට හැකි උපරිම මුදල අනුව ය. බැංකුව නියමිත දිනදී විශ්‍රාම වැටුපෙන් මෙම වාරිකය අඩුකර ගනී. එහිදී එවකට අය කළ 9% පොලිය අනුව වාරිකය රු. 10749 විය. එය තහවුරු කරගැනීම සඳහා යළි විමසීමේදී ලිපිකරු අවධාරණය කළේ වාරික 168 කින් කපා නිමකර ගන්නා තෙක් එය නොවෙනස්ව පවතින බවය. එහෙත් පසුගිය සතියේ දැකගන්නට ලැබුනේ රු. 16000 ඉක්මවූ මුදලක් වාරිකය ලෙස කපාගෙන ඇති බවයි. අදාළ බැංකු ශාඛාවේ කලමණාකරුගෙන් කළ විමසීමකදී ලැබුන ප්‍රතිචාරය පහත පරිදිය.

    "අපි විශ්‍රාම වැටුපට දීපු හැම ණයකටම විචල්‍ය පොලිය තමයි දැම්මෙ. අපි හිතුවේ නෑ මෙච්චර පොලී අනුපාතය වැඩිවෙයි කියලා. සමහර අයගේ විශ්‍රාම වැටුප මදි වාරිකය කපාගන්න. දැන් සාකච්ඡා කරගෙන යනවා සහනයක් දෙන්න. ගෙවන්න අවුරුදු තුනක් වැඩිපුර දෙන්න වගේ."

    ඔහුට අනුව දැන් පොළිය 18% කි. මේ පිළිතුර සත්‍ය නම් බැංකුව කර ඇත්තේ වංචාවකි. ණය දීමේදී ස්ථාවර පොලියට දෙන්නේ යයි වාචිකව පවසා ගිවිසුමේ විචල්‍ය පොලිය ඇතුළත් කර ඇත. එමෙන්ම බැංකු පොලී අනුපාත ඉදිරියේදී හැසිරෙන ආකාරය පිළිබඳව කිසිදු අවබෝධයක් තිබුනේ නැතැයි කියන කළමනාකරුවකු විශ්වාස කළ හැකි ද යන්න සිතා බැලිය යුතු කරුණකි. කළ යුතු දේ නම් ණය ලබාගන්නා තැනැත්තාගේ අභිමතය පරිදි ස්ථාවර හෝ විචල්‍ය පොලිය තෝරාගැනීමට අවස්ථාව ලබා දීමයි. දැන් මෙහිදී ගනුදෙනු කරන්නා අත්සන් කිරීමට පෙර ණය ගිවිසුමට අදාළ ලිපි ලේඛන කියවා සෑහීමකට පත් වී අත්සන් තැබිය යුතුය යන සාධාරණ තර්කය ගොඩනැගිය හැකිය. එසේ වුවද සත්‍යය නම් අවශ්‍ය ලිපිලේඛන සකසා ඇත්තේ කියවා අත්සන් තැබීමට නොව නොකියවා අත්සන් තැබීමට බවය. කුඩා අකුරින් හා බොහෝ විට ඉංග්‍රීසි බසින් පමණක් සැකසී ඇති මෙම අයදුම්පත්‍ර නිසි පරිදි කියවා තේරුම් ගැනීමට නම් ගෙදර ගෙනැවිත් නිවිසැනසිල්ලේ කියවිය යුතු තරම් දිගකින් යුතුය. යථාර්තය නම් කවුන්ටරය හරහා දිගුකරන පොත දිගුකරන සැනින් කතිර දමා ඇති තැන්වල අත්සන් කළ යුතු වීමය.

    ඉහත දැක්වෙන කළමනාකරුගේ 'නොකළමනා' පිළිතුරෙහි ඇඟවෙන පරිදි වටහා ගත යුතු සත්‍යය නම් ණය පොළිය වැඩි වීමට නියමිත බව දැන දැනම ස්ථාවර පොළියට දෙන බව පවසා විචල්‍ය පොළියට ණය දි විශ්‍රාම වැටුප් ලාභීන් අසරණ කර අයුතු ලාභයක් ඉපයීමය. ජාතියටම පහන් ටැඹක් වනවා යයි උදම් අනන රාජ්‍ය බැංකුවක් ආලෝකය වෙනුවට අඳුර පතුරන්නේ මෙසේය.

    ReplyDelete
    Replies
    1. ඉහත ලිපිය උපුටා ගනු ලැබුවේ විශ්‍රාමලත් පාඨශාලා ආචාර්ය ලයනල් සූරියආරච්චි‍ මහතාගේ 'මාගේ සිතුවිලි' බ්ලොග් අඩවියෙනි.

      Delete
  3. රාජපක්ෂ ගරු ජනපති ඔබයි අපේ රටේ අධිපති

    ReplyDelete
  4. The above comment on loans on pensions has been taken from the blog, sithuvili ralabinduma. https://sithuviliralabinduma.blogspot.com/2022/08/blog-post.html#more

    ReplyDelete
  5. හැම රෙද්දක්ම වෙන්නේ රහසින් වගෙය
    එළියට දෙන news සේරම බාගෙටය
    වගකීමට කෙනෙක්- පිරිසක් නැත්තේය
    හැම වරදටම විඳවිය යුත්තේ අපිය!

    ReplyDelete
  6. ඇමරිකන් සොල්දාදුවා

    ReplyDelete
  7. 1991 කොරියන් රජය ලංකාවට ශ්‍රමිකයෝ එවන්න කෝටා එකක් දුන්නා.තාම ක්‍රියාත්මක වෙන්නෙ ඒක.
    ඒ කෝටා එක දිලා කොරියාව කීවේ කොරියාව තුල උපයන මුදල් යොදවලා ලංකාවේ කුඩා සහා මධ්‍යපරිමාණ ව්‍යාපාර අරඹන්න ශ්‍රමිකයො පොළඹවන්න කියලා.
    කොරියාව එහෙම අවස්ථාවක් දෙන්න හේතුව තමයි කොරියවට ජර්මනිය ඒවගෙම ශ්‍රමිකයන්ට එන්න අවස්තාවක් දීලා ඔවුන් ලවා කොරියාව තුල කුඩා කුඩා ව්‍යාපාර පටං ගත්ත එක.අද වෙනකොට කොරියාව තුල විශාල විදිහට නිර්මාණය උන සමහර ව්‍යාපාරවල අඩිතාලම ඒක.
    2010 වගේ කොරියාව ලංකාවට දුන්න ජොබ් කෝටා එකෙන් ඔවුන් කුඩා හා මධ්‍යපරිමාණ ව්‍යාපාර පටන් ගත්තද කියලා සමීක්ෂණයක් කරලා. 1% විතර තමයි ඒ විදිහට කුඩා හෝ ව්‍යාපාරයක් පටන් ගත්ත අය ඉන්නේ.බහුතරයක් ගෙවල් හදලා වාහන අරගෙන වෙඩින් අරගෙන ඒ හම්බ කරපු සල්ලි වියදම් කරලා.

    ReplyDelete
  8. ඉකොනොමැට්ටා,

    මේ ටොපික් එකටම අදාළ තවත් වැදගත් කරුණු කීපයක් කෝප් කමිටුවේ සී ඊ බී එක ගැන කළ හැදෑරීම් වලින් ලබාගත් තොරතුරු මත කෝප් හිටපු සභාපති පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පාර්ලිමේන්තුවේදී ඊයේ (2022 අගෝස්තු 29) හෙළිදරවු කළා, එකේ වීඩියෝ එකක් හොයාගන්න බැරි වුන නිසා මම කෙටියෙන් කියන්නම්;

    චරිත් කියන විදිහට ලංකාවේ මේ මොහොතේ ඉතාම තීරණාත්මක අවශ්‍යතාවක් වශයෙන් තියෙන ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයට එක පැත්තකින් මුහු වෙන්න ඉඩක් ලැබෙන අවස්ථාවක් විධියට මේ විදුලිබල මණ්ඩලයේ විදුලි ගාස්තු සංශෝධනය ගත හැකියි

    නමුත් විදුලි බල ගාස්තු සහ විදුලි නිෂ්පාදන පිරිවැය අතර බරපතළ ගැටලුවක් ලංකවේ තියෙනවා. මේක මෙහෙම වෙලා තියෙන්නේ දේශපාලන තීරණ මත මිල සම්බන්ධ තීරණය කල් දැමීම නිසා, මේක අද ගොඩගැසී තියෙනවා. ඒ නිසා මේ වෙලාවේ මේක සමාජයට විශාල බරක් ලෙස දැනුනට ක්‍රියාදාමයක් ලෙස ගත් කල චරිත්ට හිතෙන්නේ අනිවාර්යයෙන් ම සිදු කරන්න අවශ්‍ය ම වැඩසටහනක්. නමුත් ඒක සිදුකරන්න දේශපාලන අධිකාරීන් ඒ ඒ කාලවල මුල් වූ නැති නිසා එක තැනක ගැටගැහිලා තිබිලා ඒවා මුදාහරින්න වෙලා තියෙන්නේ.

    ඒ නිසා චරිත් හිතනවා මේක අපි රට පැත්තෙන් කල්පනා කරන්න ඕනේ කියලා. දේශපාලන කෝණයෙන් ප්‍රශ්න දෙස බලනවාට වඩා ඉන් එහාට ගිහිල්ලා මේ ප්‍රශ්නය අපි ආමන්ත්‍රණය කරන්න ඕනේ කියලා විශ්වාස කරනවා. විශේෂයෙන් විදුලි බල මණ්ඩලය, විදුලි බල නිෂ්පාදන සම්බන්ධ ප්‍රශ්නය දේශපාලන කෝණයෙන් එහාට ගිහිල්ල වෘත්තීමය වශයෙන් බලන්නත් ඒ වගේ ම ලාභ පාඩු දෙක මත පදනම් වෙලා මේ පිළිබඳ තීරණ ගන්නත් අපි රටක් විධියට යා යුතුව තියෙනවා.

    චරිත්ලා කෝප් කමිටුව ඇතුළේ මේ විදුලිබල මණ්ඩලයේ තත්ත්වය පිළිබඳ සාකච්ඡා කළා. ලංකාවේ විදුලි ජනනය ගැන කතා කළොත් ඒ සඳහා සම්බන්ධ වන පෞද්ගලික අංශයේ සමහර අයට අවශ්‍ය වන විධියට ප්‍රතිපත්ති සහ නීති වෙනස් කරමින් ගිය ගමනක් තමයි තියෙන්නේ. ඒ නිසා ලංකාවේ විදුලි ජනනය සම්බන්ධව අලුතින් හොයන්න වෙලා තියෙනවා.

    ඒ වගේ තවත් වැදගත් කරුණක් විදිහට චරිත් කියන්නේ ට්‍රාන්ස්මිෂන් අධිකාරිය 2009 විදුලිබල පනතෙන් ලැබිලා තියෙන්නේ විදුලිබල මණ්ඩලයට විතරක් නිසා ට්‍රාන්ස්මිට් කරන්න පෞද්ගලික අංශයට අයිතියක් නෑ. ඒ නිසා ට්‍රාන්ස්මිෂන් එක ඇතුළේ හැම වෙලාවේ ම පෞද්ගලික අංශයෙන් ගේන ඕනෑ ම යෝජනාවක් හිර වෙනවා. විශේෂයෙන් ම පුනර්ජනනීය විදුලිබල ව්‍යාපෘති හුඟක් හිර වෙලා තියෙන්නේ. ඒ ව්‍යාපෘති සිදුකළාට ට්‍රාන්ස්මිෂන් එක පනතෙන් ම තියෙන්නේ විදුලි බල මණ්ඩලයට නිසා පනත ඇතුළේ ඒක වෙන කාටවත් අයිති නැති නිසා විදුලි බල මණ්ඩලයට පුළුවන්කම තියෙනවා ඒ පුනර්ජනනීය ව්‍යාපෘති කල් දාන්න, අතපසු කරන්න, පසුපසට තල්ලු කරන්න. ඒ නිසා මේක නිවැරදි කරන්න අවශ්‍ය බව චරිත් පාර්ලිමේන්තුවේ පැවසුවේ, මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද ඉකොනොමැට්ටා?

    ReplyDelete
  9. ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයෙන් අඩාල වී කුජීත වී ඇති සංවර්ධන ව්‍යාපෘති කටයුතු නැවත පණ ගැන්වීම වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 340 ක පමණ ආධාර මුදලක් ලංකාවට ලබාදීම සඳහා කොරියානු රජය දැනටමත් තීරණය කර ඇති අතර එය එක් එක් ක්ෂේත්‍රයන්හි සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීම සඳහා වන බව ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති කාර්යාලයේ නිවේදන වල සඳහන්.

    කෙසේ වෙතත් කොරියානු රජයේ නිල සංවර්ධන ආධාර වැඩසටහන (ඕ ඩී එආ යටතේ ලබාදෙන එම ණය ආධාරය වසර 40 කදී ගෙවීමේ හැකියාව පවතින බවද ඒ වෙනුවෙන් අය කරනුයේ සියයට 0.15 ක් තරම් අවම පොළියක් බවද දකුණු කොරියාව වැටී අසරණ වී සිටි කාලයේ බලවත් ඇමරිකන් යුරෝපීය නේටෝ කඳවුරේ රටවල කොමියුනිස්ට්වාදය මැඩලීමේ අරමුනෙන් යුතුව හෝඅ කොරියාවට ආධාර කල නිසා එම රට ඉතා දියුණු කාර්මික රටක කරගැනීමට හැකි වූ නිසා සෙසු ආසියානු අප්‍රිකානු දිළිඳු රටවල් වලටද එම අයුරින්ම නැගී සිටීමට උපරිම සහාය හැකි පමණින් ලබා දීමට තීරණය කර ඇති ප්‍රජාතන්න්ත්‍රික කොරියන් ජනරජය දිඟු කාලයක සිට ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍රයන්හි සංවර්ධන කටයුතු වෙනුවෙන් කොරියානු රජය දැනටමට ඩොලර් බිලියන කීපයක ආධාර ලබා දී ඇති බවත් ඉදිරියටත් එසේම ලබා දෙන බව සඳහන් කළ අතර මාර්ග ඉදිකිරීම, ජල සැපයුම්, රෝහල්, ඊ රාජ්‍යය, වෘත්තීය පුහුණු පාසල්, රාජ්‍ය ගොඩනැඟිලි, පරිසරය ඇතුළු අංශ රැසක් යටතේ අදාළ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වන බවද කොරියානු රජය ආධාර කරන විදේශීය රටවල් අතරින් ශ්‍රී ලංකාවට විශේෂ ස්ථානයක් හිමිවන බව සඳහන් කරන ලංකාවේ කොරියානු තානාපති කාර්යාලය ලංකාවට අමතරව වියට්නාම්, ඉන්දුනීසියා, බංග්ලාදේශ්, පිලිපීන්, කාම්බෝජය, ටැංසානියා, ඇන්ගෝලා, චීනය සහ ජෝර්දාන් වැනි රටවල සංවර්ධන කටයුතු වෙනුවෙන්ද කොරියා ආධාර ලබා දෙන බවයි පවසන්නේ. ඉදිරියේ තවත් රටවල් වලට ආධාර ලබාදීමටත් ඔවුන් සූදානම් බවත් කියනා නිස ලංකාවට මේ ආධාර මුදල් ප්‍රමාණය ඩොලර් බිලියන තුන හතරක් දක්වා තව වැඩි කරගන්න බැරි වෙයිද?

    ReplyDelete
  10. අද කියන්න යන්නෙ විධිමත් ටෙන්ඩර් පටිපාටියෙන් බැහැර වෙලා යන්ඩ හදන පනත නිසා "අපි වෙනුවෙන්" strike කරන කාක්කො ගැන.

    දැන් මොකටද මෙයාලා strike කරන්නෙ? ටෙන්ඩර් පටිපාටිය අනුව ක්‍රියාත්මක වෙන එක නතර කරන එකට විරෝධතාව පාලා. අඩු ලංසු තියන අයට නොදී වැඩි ලංසුවලට දෙන්න එපාලු. ඇහුවාම නම් හරිම වටින කතාවක්.

    හැබැයි යථාර්ථය කොහොමද? උඹලා අපි හැමෝම මේ රටේ ජීවත් වුණේ. ලංකාවෙ අන්තිමට හරි හමන් බලාගාරයක් හැදුවෙ කවද්ද බං? එදා ගෑනියෙක්/මිනිහෙක් එක්ක බුදියගත්තා නම් අද උඹෙ ළමයාත් කෑල්ලක්/කොල්ලෙක් රන් කරනවා. මෙච්චර කාලයක් හැදුණෙ නැත්තෙ මොකද? ඔය ටෙන්ඩර් හෙනේ තමයි.

    වෙන්නෙ මේකයි. ටෙන්ඩර් කැඳෙව්වාම ඇත්තටම වැඩක් කරන්න පුළුවන් සමාගම් ඉදිරිපත් වෙලා, උන්ට පුළුවන් ගාණට ටෙන්ඩර් එවනවා. හැබැයි අපේ ඉන්න කාක්කො ටික ඔය ඉලක්කම් හොර පාරෙන් දැනගෙන, හෙංචයි සමාගමක් අල්ලගෙන ඊට සොච්චමක් අඩුවෙන් ගණන් ඉදිරිපත් කරනවා.

    අන්තිමට ටෙන්ඩර් එක හම්බෙන්නෙ උන්ගෙ හෙංචයි සමාගමට. හැබැයි එවුන් හදන ලබ්බක් නෑ. පරිසර, ශක්‍යතා මොකක් හරි රෙද්දක් අල්ලගෙන වැඩේ කර අරිනවා. (ටෙන්ඩර් දාන්නෙම එහෙම ඩීල් එකක් ඇතිව) ඉතින් ඇත්තටම බලාගාර හදන්න පුළුවන් සමාගම් රටෙන් යන්ඩ යනවා.

    ඉතින් මොකද කාක්කො මෙහෙම කරන්නෙ? උන්ට මේකෙ බලාගාර හැදුණෙ නැති වුණාම පුළුවන් අහවල් mini hydro එකෙන්, අහවල් ඩීසල් බලාගාරයෙන් ඉල්ලුම සපුරන්න කියලා unit එක රුපියල් 100 ට 150 ට ගන්න සලස්වන්න. වැඩේ කරලා දෙනවාට උන්ටත් නියම කොමිස් එකක් හම්බෙනවා. ඉතින් ඔය වෙනුවෙන් දාන දාන ටෙන්ඩර් එකට අඩු ගණන් දාලා වංචා කරනවා.

    අන්තිමට හැදෙන ලබ්බක් නෑ. හැබැයි විදුලි ඉල්ලුම හැමදාම ඉහළ යනවා. කොහොම හරි සපුරන්න ඕන නිසා පිටින් ගන්නම වෙනවා. ඉතින් කොහෙවත් ඉන්න බලාගාර මුදලාලිලායි, කොමිස් එකට කහින කාක්කොයි පොහොසත් වෙනවා.

    මේ මළ කරුමෙ නවත්තලා, ඇත්තටම බලාගාරයක් හදන්න පුළුවන් සමාගමකට හරි ගාණ ගෙවලා දීලා වැඩේ කරගන්න පුළුවන් තත්ත්වයක් හදන එකයි දැන් කරන්න හදන්නෙ. එක එකාට ඩීල් ගහලා අඩුවට ටෙන්ඩර් පාස් කරලා කර අරින්ඩ බැරි කරනවා. හැබැයි ඕක දැන ගත්තාම කාක්කන්ට ඉන්නම බෑ. ඇයි ඩීසල්, mini hydro මාටියාව නැවතිලා ගතම් එක වාෂ්ප වෙනවානෙ. ඉතින් strike කර කර පව් දිදී ඉන්නවා.

    පිළිගත් සමාගම් දාන්නෙ ඇත්තටම වැඩේ කරන්න පුළුවන් මිල ගණන්. ඊට අඩුවෙන් හෙංචයි සමාගම් ගණන් දැම්මාට උන් හදන ලබ්බක් නෑ. වැඩේ කල් දාලා මුදලාලිලාගෙන් කරන්ට් එක ගන්ඩ සලස්වන එක විතරයි උන්ගෙ අරමුණ. ටෙන්ඩර් බයිලාවෙ යථාර්ථය ඕකයි.

    මුන්ගෙ මේ මළ සාපෙට හැමදාම යට වෙලා ඉන්ඩ බෑ. ඉස්සරහට විදුලි ඉල්ලුම තව වැඩි වෙනවා. අපිට අනිවාර්යයෙන්ම හරි හමන් බලාගාරයක් දෙකක් ඕන. ඉතින් මුන්ගෙ ටෙන්ඩර් උන්ටම රෝල් කරලා තියා ගන්ඩ කියලා බලාගාරයක් හදන්ඩ පුළුවන් කාට හරි මේක දෙන්ඩම වෙනවා.

    එතකොට ගාණ වැඩියි කියලා පෙනුණත් අඩු තරමෙ බලාගාරයක් හරි හැදෙයි. ලාබෙට ගන්ඩ හිටියොත් හැදෙන ලබ්බකුත් නෑ. හැබැයි යුනිට් එකට අර වගේ දහ ගුණයක් විතර දීලා ගන්න නම් වෙනවා.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: