වෙබ් ලිපිනය:

Sunday, September 11, 2022

විදුලි සැරෙන් බේරෙන්නේ කොහොමද? (පස්වන කොටස)

සම්ප්‍රේෂණය හා බෙදාහැරීම ගැන ටිකක් කතා කරපු නිසා දැන් අපි ජනනය පැත්තට එමු. ඉන් පසුව, නැවතත් බෙදාහැරීම ගැන තවත් දේවල් කතා කරන්න තිබෙනවා.

ලංකාවේ වෙළඳපොළ ගැන කතා කරද්දී, සම්ප්‍රේෂණය හා බෙදාහැරීම එක්ක බලද්දී ජනනය ටිකක් සංකීර්ණයි. පළමුව, ජනනය සඳහා දැනටත් පෞද්ගලික අංශයේ විශාල දායකත්වයක් තිබෙනවා. දෙවනුව, හදන්නේ එකම කිලෝවොට්පැය වුනත් හදන තාක්ෂණයේ වෙනස්කම් අනුව, පිරිවැය ආකෘතියේ විශාල වෙනස්කම් තිබෙනවා. විවිධ ක්‍රම වලින් හදන විදුලිය එකම අච්චුවකට දමලා කතා කරන එක අමාරු වැඩක්. හැබැයි පාරිභෝගිකයාගේ පැත්තෙන් මේ විදිහට විවිධ ක්‍රම වලට හදන විදුලිය අතර විශාල වෙනසක් නැහැ. විශේෂයෙන්ම ලංකාවේ වත්මන් සන්දර්භයේදී. මේ තත්ත්වය අනාගතයේදී වෙනස් වෙන්න පුළුවන්.

මේ කොටසින් වැඩි අවධානයක් යොමු කරන්නේ විදුලිය හදන එක් නිශ්චිත පෞද්ගලික සමාගමක් වන වැලිබල් පවර් එරත්න සමාගම වෙත. මතුපිට ප්‍රකාශයක් විදිහට මේ සමාගම ධම්මික පෙරේරාට අයිති සමාගමක් කියා කෙනෙකුට කියන්න පුළුවන්. ගොඩක් අයට ධම්මික පෙරේරාගේ දේශපාලනය හෝ ව්‍යාපාරික ආකෘතිය එක්ක ප්‍රශ්න තියෙන්න පුළුවන්. අපි ඒවා පැත්තකින් තියමු. 

මම මේ සමාගම මුලින්ම තෝරා ගත්තේ එය පොදු සමාගමක් නිසා. මට අනුවනම්, ජනසතු සමාගම් කියා කිවහැක්කේ මේ වගේ පොදු සමාගම් වලට මිසක් රජයේ ඒකාධිකාරයක් යටතේ තියෙන සමාගම් වලට නෙමෙයි. මට අවශ්‍යනම් ධම්මික පෙරේරා වගේම මේ සමාගමේ අයිතිකාරයෙක් වෙන්න පුළුවන්. මගේ ආයෝජනයේ අනුපාතයක් විදිහට ධම්මික පෙරේරා හොයන ලාබයම ලබා ගන්න පුළුවන්. ලංකාවේ වෙන ඕනෑම කෙනෙක්ට වගේම ලංකාවෙන් පිට ඉන්න විදේශිකයින්ට වුනත් ඒ වැඩේ කළ හැකියි. ඒ නිසා, වැලිබල් පවර් එරත්න ගැන කතා කරද්දී පහසුවෙන්ම ධම්මික පෙරේරා සමාගමේ ලොකුම කොටස් හිමියා කියන කරුණ පැත්තකින් තියන්න පුළුවන්. ව්‍යවසායකයෙක් හා කළමනාකරුවෙක් ලෙස ඔහුගේ භූමිකාව නොසලකා හැරිය නොහැකි වුවත්, අපි ඔහුව ලාභ අපේක්ෂා තිබෙන ඕනෑම පුද්ගලයෙක් ලෙස සලකමු.

මගේ විශ්ලේෂණය සඳහා වැලිබල් පවර් එරත්න වැනි පොදු සමාගමක් මුලින්ම තෝරා ගන්න අනෙක් හේතුව පොදු සමාගම් හා අදාල මූල්‍ය වාර්තා හා අනෙකුත් සංඛ්‍යාලේඛණ පහසුවෙන් සොයා ගත හැකි වීමයි. වැලිබල් පවර් එරත්න සමාගම සතුව කුඩා පරිමාණ ජල විදුලි බලාගාර (මිනි හයිඩ්‍රෝ) තුනක් තිබෙනවා. පළමුවැනි එක රත්නපුර දිස්ත්‍රික්කයේ එරත්න ප්‍රදේශයේ. අනෙක් දෙකෙන් එකක් රත්නපුර දිස්ත්‍රික්කයේ. අනෙක් එක නුවරඑළිය දිස්ත්‍රික්කයේ. තුනම තියෙන්නේ ශ්‍රීපාද කන්ද ආශ්‍රිත ජලපෝෂක ප්‍රදේශ වල. සිරීපාදේ යන පාරවල් තුනේ කියා කියන්නත් පුළුවන්. 

පළමු බලාගාරය, කුරුවිට පැත්තෙන් සීරීපාදේ යන පාරේ තියෙන, වැලිබල් පවර් එරත්න සමාගමට කෙලින්ම අයිති, ඒ සමාගම විසින්ම හදපු එකක්. අනෙක් බලාගාර දෙක අයිති මුල් සමාගම වැලිබල් පවර් එරත්න සමාගම විසින් පසුව මිල දී ගන්නවා. ඒ අනුව, ඒ දෙකේ වක්‍ර අයිතිය තියෙන්නෙත් වැලිබල් පවර් එරත්න සමාගමට.

ලංකාවේ විදුලිබල වෙළඳපොළ ගිගාවොට්පැය පහළොස් දාහක පමණ වෙළඳපොළක්. ඔය වෙළඳපොළේ වැලිබල් පවර් දායකත්වය ගිගාවොට්පැය සීයකටත් අඩුයි. ඒ කියන්නේ සීයට එකක්වත් නැහැ. මිනි හයිඩ්‍රෝ කොටස පමණක් ගත්තත් වැලිබල් පවර් දායකත්වය 10%කට අඩුයි. ඒ කියන්නේ, වෙළඳපොළ හැසිරවීමේ බලයක් මේ සමාගමට නැහැ. 

වැලිබල් පවර් සමාගම විසින් කරන්නේ හදන විදුලිය ලංවිමට විකුණන එක. ඒ කියන්නේ, වැලිබල් පවර් සමාගම විසින් තරඟ කරන්නේ ලංකාවේ විදුලිබල කර්මාන්තයේ දැවැන්තයා වන සහ සම්ප්‍රේෂණයේ හා බෙදා හැරීමේ (තමන්ටම අයිති ලෙකෝ සමාගමද සමඟ) ඒකාධිකාරය පවත්වා ගෙන යන ලංවිමට විදුලිය විකිණීමටයි. මෙහිදී එම සමාගමට රටේ වැඩිපුරම විදුලිය ජනනය කරන ලංවිමම එක්කත් තරඟ කරන්න වෙනවා. 

කොහොම වුනත්, වැලිබල් පවර් සමාගම විසින් සෑම වසරකදීම විශාල ලාබයක් ලබනවා. පහත පළමු වගුවේ පෙන්වා තිබෙන්නේ 2012/13-2021/22 මූල්‍ය වසර දහය තුළ (අප්‍රේල් 1 සිට ඊළඟ වසරේ මාර්තු 31 දක්වා) වැලිබල් පවර් සමාගමට විදුලිය ඒකකයක් (කිලෝවොට් පැයක්) හදන්නට ගිය වියදම, එම ඒකකයක් ලංවිමට විකිණූ මිල, බදු ගෙවීමට පෙර ලාබය හා ලාබයෙන් බදු ලෙස ගෙවූ කොටසයි. පිරිවැයට විදුලිය ජනනය කිරීම සඳහා යන සෘජු පිරිවැය මෙන්ම සමාගම නඩත්තු කිරීම සඳහා යන අනෙකුත් සියලුම වක්‍ර වියදම්ද ඇතුළත්. 

වගුව 1: වැලිබල් පවර් එරත්න ලාබ 


පේනවනේ තත්ත්වය. මෑත වසර කිහිපය දිහා බැලුවොත් විදුලි ඒකකයක් විකුණලා තියෙන්නේ හදනවා වගේ පස් ගුණයක මිලකට. ඒ කියන්නේ ආදායමෙන් පහෙන් හතරක්ම ලාබ. ලාබ වලින් හතරෙන් එකක් ආදායම් බදු විදිහට ගෙවුවට පස්සෙත් හතරෙන් තුනක්ම ලාබ!

සාමාන්‍යයෙන් ගිණුම්කරණ ලාබ පෙන්වන්නේ ඔය විදිහට. ඒ කියන්නේ ලංවිම ලාබ පෙන්වන්නෙත් ඔය විදිහට. හැබැයි ආර්ථික ලාබ කියා කියන්නේ ගිණුම්කරණ ලාබ වලටම නොවන බව මම කලින්ම විස්තර තිබෙනවානේ. ආර්ථික ලාබ ගණනය කළ හැක්කේ යෙදවූ ප්‍රාග්ධනයේ ආවස්ථික පිරිවැයද සැලකීමෙන් පසුවයි. 

පෞද්ගලික ආයෝජකයෙක්ට ගිණුම්කරණ ලාබ විතරක් තිබිලා වැඩක් නැහැ. ආර්ථික ලාබ තියෙන්න ඕනෑ. වැඩිදුර විස්තර මෙහි පෙන්වා නැතත්, වැලිබල් පවර් සමාගමට ඉතා ඉහළ මට්ටමක ආර්ථික ලාබත් තිබෙනවා. පසුගිය වසර දහය සැලකුවොත්ම, ආදායම් බදු ගෙවීමට පෙර කොටස් ආයෝජන මත සාමාන්‍ය වාර්ෂික ප්‍රතිලාභ අනුපාතය (ROE) 27.2%ක්. බදු ගෙවීමෙන් පසුව 23.6%ක්. 

ඔය වසර 10 තුළ සාමාන්‍ය එක්-වසර භාණ්ඩාගාර බිල්පත් පොලිය 8.5%ක් පමණ. දැන් තත්ත්වය ටිකක් වෙනස් වුනත්, සාමාන්‍යයෙන් භාණ්ඩාගාර බිල්පත් ආයෝජනයක් සැලකෙන්නේ අවදානම් රහිත ආයෝජනයක් විදිහටනේ. ඒ කියන්නේ ආයෝජකයෙකුට තමන්ගේ සල්ලි වැලිබල් පවර් වගේ සමාගමක දමලා අවදානමක් ගන්නේ නැතිව භාණ්ඩාගාර බිල්පත් වල දමා 8.5%ක ප්‍රතිලාභයක් ලබා ගැනීමේ විකල්පය තිබෙනවා. ඒ නිසා, ඒ කොටස කොහොමටත් ලාබයක් නෙමෙයි. ඊට අමතරව, මේ වගේ ආයෝජනයක අවදානමක් තිබෙන නිසා ඒ අවදානමට රක්ෂණයක් විදිහට තවත් 5%ක් තියමු. එතකොට 13.5%ක්. මේ මට්ටම දක්වා ගිණුම්කරණ ලාබයක් කියා කියන්නේ ආර්ථික ලාබයක් නෙමෙයි. ආර්ථික ලාබ කියන්නේ එයින් එහාට ලැබෙන කොටස.

වැලිබල් පවර් සමාගමේ ආයෝජකයෙකුට බදු ගෙවීමෙන් පසුව අඩු වශයෙන් 10%ක පමණ ආර්ථික ලාබයක් තිබෙනවා. එය සුපිරි ලාබයක්. 

සුපිරි ලාබ තියෙනවා කියන්නේ ප්‍රමාණවත් තරඟයක් නැහැ කියන එක. මේ සුපිරි ලාබ කතාව ප්‍රධාන කතාවෙන් බාහිර අතුරු කතාවක් නිසා මම විස්තර කරන්න යන්නේ නැහැ. ඒ ගැන විස්තර කරන්න ගියොත් වෙනම ලිපි මාලාවක් ලියන්න වෙනවා. නමුත්, අදාළ මූලධර්ම ගැන අවබෝධයක් තියෙන අයත් කියවන අය අතර ඉන්න නිසා කෙටියෙන් මේ ගැන යමක් කිවුවොත්, මේ සුපිරි ලාබ වල ප්‍රභවය ලංවිම අකාර්යක්ෂමතාවය. කර්මාන්තයේ ඒකාධිකාරයක් තිබෙන ලංවිමට අඩු පිරිවැයකින් විදුලිය ජනනය කළ නොහැකි නිසා ඒ වැඩේ කළ හැකි අයෙකුට සුපිරි ලාබ ලබන්න අවස්ථාවක් පහසුවෙන්ම ලැබෙනවා. රාජ්‍ය බැංකු දෙකේ අකාර්යක්ෂමතාවය නිසා අනෙකුත් සියලුම වාණිජ බැංකු සුපිරි ලාබ ලබන්නේත් ඔය විදිහටමයි. ටෙලිකොම් ක්ෂේත්‍රයේ වුනත් යම් තරමකින් හෝ ඔය වැඩේ වෙනවා කියලා මම හිතනවා. ඒක අතුරු කතාවක්. ඒ නිසා දැනට අපි වැලිබල් පවර් සමාගම පසුගිය වසර දහය තුළ ඉතා ඉහළ ලාබයක් උපයා තිබෙනවා කියන කරුණ එක්ක ඉදිරියට යමු. 

මේ විදිහට කිසියම් සමාගමක් විසින් ඉහළ ලාබ ලබනවා කියන්නේ ආර්ථිකයට අගය එකතු කිරීමක් වෙනවා කියන එකයි. රටේ කාගේ හරි ආදායමක්නේ. ගණන් හිලවු බැලුවොත්, වැලිබල් පවර් සමාගමේ ආයෝජනය කරපු රුපියල් 1000ක් වසර දහයක් යද්දී රුපියල් 11,112ක් වී තිබෙනවා. ඒ කියන්නේ රටේ ආර්ථිකයට රුපියල් 10,112ක අගය එකතු කිරීමක්. එයින් රුපියල් 2,762ක් ආදායම් බදු ලෙස රජයට ගෙවා තිබෙනවා. ඊට අමතරව බදු ගෙවීමෙන් පසු ලාබයෙන් වැඩි කොටසක් කොටස් හිමියන්ට ලාභාංශ ලෙස ගෙවා තිබෙන නිසා, ඔවුන්ගේ පෞද්ගලික ආදායම් බදු ලෙසත් රජයට සැලකිය යුතු බදු ආදායමක් ලැබී තිබිය යුතුයි. සමහර විට එකතුව රුපියල් 5000ක් පමණ වෙන්න පුළුවන්.

මේ සියලුම බදු ආදායම් රටේ සමස්ත ජනතාවට ලැබුණු ප්‍රතිලාභයක්. අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි දේවල් වලට වියදම් කරන්න වගේම දේශපාලනඥයින්ට හා රාජ්‍ය නිලධාරීන්ට නාස්ති කරන්න, හොරකම් කරන්න වගේ ඕනෑම දෙයකට යොදාගත හැකි මුදලක්. අපි හිතමු ඔය විදිහට රජයට ලැබුණු රුපියල් 5000න් රුපියල් 1000ක් කවුරු හරි හොරා කෑවා. කියලා. එහෙම නැත්නම් ගෙවිය යුතු පෞද්ගලික ආදායම් බදු හරියට ගෙවුවේ නැහැ කියලා. මේවා ප්‍රශ්න තමයි. කිසිම විවාදයක් නැහැ. ඒ රුපියල් 1000 බේරා ගත යුතුයි. හැබැයි ඔය රුපියල් 5000ම රජයට ලැබුණේ වැලිබල් සමාගම වගේ පෞද්ගලික සමාගමක් තිබුණු නිසා කියන එක අමතක නොකළ යුතුයි. හොරකම්, දූෂණ වලට විරුද්ධ, එහෙත් පෞද්ගලීකරණයට එරෙහිව රාජ්‍ය ඒකාධිකාරයන් වෙනුවෙන් පෙනී සිටින ආර්ථික ප්‍රතිපත්තියකින් ඔය රුපියල් 1000 බේරෙන්නේ නැහැ. රුපියල් 5000ම නැති වෙන එකයි වෙන්නේ. එතකොට කොහොමත් හොරකම් කරන්න කියලා දෙයක් නැහැ. ඒකත් අතුරු කතාවක්.

ආපහු වැලිබල් ලාබ වලට ආවොත්, අපිට ඔය ලාබ අදාළ කාලයේ ලංවිම ලාබ එක්ක සංසන්දනය කළ හැකියි. සම්ප්‍රේෂණය කිරීමේ හා බෙදා හැරීමේ ඒකාධිකාරය පැත්තකින් තිබ්බත්, ලංවිම කියා කියන්නේ ලංකාවේ විදුලිය ජනනයෙන් 70%කට වඩා කරන, ඒ නිසාම පරිමාණයේ වාසියද ලබන (economy of scale), වැලිබල් සමාගමේ තරඟකරුවෙක්. වැලිබල් සමාගමට ලාබ ලැබිය හැකිනම් ලංවිමට ඒ හා සමාන ලාබ ලබන්න බැරි වෙන්න විශේෂ හේතුවක් තියෙනවද? 

ලංවිම මූල්‍ය වර්ෂය දෙසැම්බර් 31න් අවසන් වන නිසා හරියටම ගලපන්න බැහැ. නමුත් මේ වෙනස සංසන්දනයක් කරන්න බාධාවක් නෙමෙයි. 2012-2021 කාලය තුළ ලංවිම විසින් ලාබ ලබා තියෙන්නේ 2013 හා 2015 වසර වලදී පමණයි. නමුත්, මේ ලාබ ගිණුම්කරණ ලාබ. කොටස් ආයෝජන වල අනුපාතයක් ලෙස 2013දී 11.5%කුත්, 2015දී 5.1%කුත් ලාබ ලබා තිබෙනවා. එහෙත්, මෙම වසර වලදී එක්-වසර භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික පිළිවෙලින් 8.29% හා 7.30% නිසා, ආර්ථික ලාබයක් තිබෙනවානම් තිබිය හැක්කේ 2013දී පමණයි. අවදානම වෙනුවෙන් යාන්තම් 3.2%ක් දමපු ගමන් ඒකත් නැතිව යනවා. මේ ලාභ ගිණුම්කරණ ලාබ මිසක් ආර්ථික ලාබ නෙමෙයි. 

පසුගිය වසර දහය තුළ, ආදායම් බදු ගෙවීමට පෙර ලංවිම කොටස් ආයෝජන මත සාමාන්‍ය වාර්ෂික ප්‍රතිලාභ අනුපාතය සෘණ 10.5%ක්. මෙය වැලිබල් සමාගමේ එම අනුපාතය වූ 27.2% සමඟ සසඳා බලන්න. 37.7%ක වෙනසක්. වැලිබල් පවර් සමාගමේ ආයෝජනය කරපු රුපියල් 1000ක් වසර දහයක් යද්දී රුපියල් 11,112ක් වී තිබෙනවා. අදාළ කාලය තුළ (මාස තුනේ වෙනස නොසලකා හැර) ලංවිම තුළ ආයෝජනය කරපු මහජන ධනය රුපියල් 1000ක් වසර දහයක් යද්දී රුපියල් 329ක් දක්වා අඩු වී වී තිබෙනවා. 2022 පළමු මාස හයේ පාඩුව සැලකුවොත්, මෙම වටිනාකම රුපියල් 260 දක්වාම අඩු වෙනවා. මෙහි අවාසිය මේ පාඩුව පමණක් නොවන බව පැහැදිලි විය යුතුයි. පෞද්ගලික අංශය යටතේ ලැබිය හැකිව තිබුණු ලාබය හා ඒ මත අය කළ හැකිව තිබුණු බදු ආදායම මෙහිදී මුළුමනින්ම නැති වී තිබෙනවා.

දැන් අපි ජනප්‍රිය සමාජවාදී තර්කය වෙත එමු. වැලිබල් ලාබ කියා කියන්නේ වෙනත් අයෙකුට අහිමි වූ දෙයක්ද? එසේ නැත්නම්, ඔවුන් විසින් අලුතින්ම නිර්මාණය කළ ධනයක්ද? 

මෙහිදී වැලිබල් ලාබ නිසා වෙනත් අයෙකුට යමක් අහිමි වූවානම් එසේ අහිමි වූයේ ලංවිමට, රජයට හෝ පාරිභෝගිකයාට විය හැකියි. එවැන්නක් සිදු වී ඇත්දැයි දැන් අපි විමසා බලමු. 

වගුව 2: වැලිබල් පවර් විදුලියෙන් ලංවිම ලාබ 


පසුගිය වසර දහය තුළ ලංවිම විසින් වැලිබල් පවර් වෙතින් මිල දී ගත් විදුලිය පාරිභෝගිකයාට විකුණා තිබෙන්නේ සාමාන්‍ය වශයෙන් ඒකකයකට රුපියල් 2.90ක ලාබයක් තියා ගෙනයි. සම්ප්‍රේෂණය කිරීමේ හා බෙදාහැරීමේ වියදම් අඩු කිරීමෙන් පසුව ශුද්ධ ලාබය කොපමණද කියා මා දන්නේ නැහැ. ඇතැම් විට එය අලාබයක් වෙන්නත් පුළුවන්. අපට එය ගණනය කළ හැකි නිශ්චිත පදනමක් නැහැ. 

කෙසේ වුවත්, වැලිබල් පවර් සමඟ ගනුදෙනු වලින් ලංවිමට ලැබුණු සැබෑ ලාබය ඊට වඩා ගොඩක් වැඩියි. එක් වසරකදී හැර (2015) අනෙක් සෑම වසරකදීම ලංවිම විසින් වැලිබල් පවර් විදුලිය ඒකකයක්  වෙනුවෙන් ගෙවා ඇති මුදල ලංවිම සාමාන්‍ය ඒකක පිරිවැයට වඩා අඩුයි. වෙනසෙහි සාමාන්‍ය අගය රුපියල් 5.14ක්. එහෙත්, විදුලි ඒකකයක් හැදීමේ ලංවිම ආවස්ථික පිරිවැය අනිවාර්යයෙන්ම මීට වඩා වැඩියි. එය (ඩීසල් වලින් විදුලිය හැදීමේ පිරිවැය) සාමාන්‍ය ඒකක පිරිවැයට වඩා අඩු වශයෙන් රුපියල් පහකින්වත් වැඩි විය යුතුයි. ඒ කියන්නේ, වැලිබල් පවර් විදුලිය මිල දී ගැනීමෙන් ලංවිමට ඒකකයකින් රුපියල් 10ක පමණවත් ලාබයක් තිබිය යුතුයි. මේ ගනුදෙනුව නොවන්නට ලංවිම පාඩු මීටත් වඩා ඉහළ ගිහින්.

ලංවිම පාඩු වැඩි වෙනවා කියන්නේ රජයේ වියදම්ද වැඩි වෙනවා කියන එකයි. ඒ වගේම, විදුලි බිල වැඩි වීමේ ඉඩකඩ ඉහළ යනවා කියන එකයි. මේ අනුව, වැලිබල් පවර් සමඟ ලංවිම කර ඇති ගනුදෙනු වලින් පාරිභෝගිකයාට හා රජයට වාසියක් මිස පාඩුවක් සිදු වී නැහැ. 

වැලිබල් පවර් විසින් විදුලිය හදන්නේ "ඔවුන් විසින් ආයෝජනය කර නිපදවාගත්" ජලය භාවිතයෙන් නෙමෙයි. පාවිච්චි කරන වතුර රටේ කාටත් අයිති පොදු භාණ්ඩයක්. එහෙමනම්, පෞද්ගලික සමාගමක් විසින් මේ පොදු භාණ්ඩය යොදාගෙන ලාබ උපයන එක නිවැරදිද?

වතුර නිකම්ම ගලා යන වතුර වුනත් ඒ වතුර ප්‍රයෝජනයට ගන්නා සමාගමක් වතුරේ "අයිතිකරුවන්ට" එහි මිල ගෙවිය යුතුයි. වැලිබල් පවර් සමාගම මේ මිල රජයට බද්දක් ලෙස ගෙවනවා. ප්‍රමාණය කොපමණද කියා මම දන්නේ නැහැ. ඒ බදු මුදලද වැලිබල් පවර් සමාගමේ ඒකක පිරිවැයෙහි කොටසක්. රජයට ලැබෙන ආදායමක්. 

මෙතෙක් ලියූ දේවල් වලින් එක් දෙයක් පැහැදිලි විය යුතුයි. ඒ වැලිබල් පවර් සමාගම විසින් අලුතෙන් ධනය නිර්මාණය කරන බව. ප්‍රාග්ධන ආයෝජනයේ ආවස්ථික පිරිවැය අඩු කිරීමෙන් පසු වැලිබල් පවර් සමාගම විසින් නිපදවන විදුලි ඒකකයකින් රුපියල් පහක් පමණ එහි කොටස් හිමියන්ට ලැබෙනවා ඇති. ඊට අමතරව තවත් රුපියල් පහක් පමණ රජයට බදු ලෙස ලැබෙනවා. ලංවිමට රුපියල් දහයක පමණවත් වාසියක් ලැබෙනවා. මේ සියලු වාසි ලැබෙන්නේ වැලිබල් පවර් සමාගමේ අයිතිකරුවන්ගේ ලාබ සොයා යාමේ අපේක්ෂාව තුළයි. 

11 comments:

  1. නිස්සන්ගෙන් නෙවෙයි උස් පුටු පුරවන්නේ
    පුස්සන්ටම තමයි තනතුරු පුද දෙන්නේ
    වැඩ බැරි වුණත් උන් වැඩි පඩි ලැබ ගන්නේ
    කොහොමද ඉතිං වෙන පාඩුව වළකන්නේ?

    ReplyDelete
  2. මේ ලිපියට සම්බන්ධ නැති ප්‍රශ්නයක්.
    ඇමරිකාවේ උද්ධමනය එක්ක මිනිස්සුන්ගේ පඩිත් වැඩිවෙනවා ද ඒ වේගයෙන්ම.? නැතිනම් පඩි වදිවෙළම නැතිද?

    ReplyDelete
    Replies
    1. මෙය තීරණය වෙන්නේ ඉල්ලුම හා සැපයුම අනුව බොහෝ විට චක්‍රීය ලෙසයි. විරැකියා අනුපාතය ඉහළ මට්ටමක තිබුණු 2009-2014 කාලයේදී උද්ධමනයට සාපේක්ෂව වැටුප් ක්‍රමයෙන් අඩු වුනා. ඉන්පසු 2014-2020 කාලයේදී විරැකියා අනුපාතය පහළ යද්දී උද්ධමනයට සාපේක්ෂව වැටුප් වැඩි වුනා. කෝවිඩ් කාලයේ විශාල ලෙස වැඩි වුනා. දැන් නැවතත් අඩු වෙනවා.

      Delete
    2. ආර්ථික වර්ධනයයි පඩියයි සම්බන්ධයක් නැතිද

      Delete
    3. ජනගහණ වර්ධනයට වඩා ආර්ථික වර්ධනය වැඩියි කියන්නේ සාමාන්‍ය ආදායම (ඒක පුද්ගල ආදායම) වැඩි වෙනවා කියන එක. එහිදී බොහෝ විට දිගුකාලීනව මූර්ත වැටුප් වැඩි වෙනවා. වැටුප් වැඩි නොවී ආදායම් විෂමතා වැඩි වෙන්නත් පුළුවන්. එය තීරණය වෙන්නේ ආර්ථිකය වර්ධනය වෙන්නේ කොහොමද කියන එක මතයි. ශ්‍රමය අවශ්‍ය අංශ වැඩියෙන් වර්ධනය වන තරමට ශ්‍රමය සඳහා ඉල්ලුම වැඩි වී වැටුප් වැඩි වෙනවා.

      Delete
    4. පැහැදිලියි ඉකොනො, ඒ කියන්නේ ප්‍රතිශතයක් ලෙස ගත් විට රටක ආර්ථික වර්ධන වේගය ජනගහන වර්ධනය වන වේගයට වඩා උඩින් තියෙනවා නම් රටේ ආර්ථිකය සංවර්ධනය වෙමින් පවතින බව නේද?

      ලංකාවේ ජනගහනය වර්ධනය වන වේගය ලොව පුරා බොහෝ සංවර්ධන වන රටවලට වඩා සෑහෙන්න අඩු වන අතර සංවර්ධිත රටවල් වලට සමීප වූ අගයක් තියෙනවා

      ඒ නිසා ලංකාවේ ආර්ථිකය අධික ලෙස වේගයෙන් සංවර්ධනය කිරීම ගැන රාජපක්ෂ ආණ්ඩුව විසින් ලංකාවේ ආර්ථිකය මත කළ වෙනස් කම් ආර්ථිකයේ වර්තමාන අර්බුදයට හේතු වී ඇති බව ඔබේ අදහස බවයි පේන්නේ

      කෙසේ වෙතත් ජවිපෙ ජාතික ජන බලවේගය විසින් මාධ්‍ය හරහා පෙන්වා දුන්නේ රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය යහපාලන රජය සමයේදී හර්ෂ ද සිල්වා එරාන් සජිත් ප්‍රේමදාස ෆොන්සේකා වැනි අය සමග රටේ ආර්ථිකය පිළිබඳව ගත් තීන්දු තීරණ ගැනයි

      ලංකාවේ මාධ්‍ වල දේශපාලන විවාදයකදී පැවති සාකච්ඡාවකදී මේ නලීන් හේවගේ සහෝදරයා රනිල් වික්‍රමසිංහ ලංකාවේ ආර්ථිකය හැසිරවූ ආකාරය ගැන ඉතා මැනවින් පැහැදිලි කිරීමක් කරනවා.

      https://fb.watch/fxlNpFhYjv/

      මේක බලන්න, ඒ වගේම ඔබටත් අදහස් මීට එකතු කර මේ ගැන දීර්ඝ වශයෙන් විස්තර පැහැදිලි කරන්න පුළුවන් නම් හොඳයි නේද?

      Delete
  3. // මේ අනුව, වැලිබල් පවර් සමඟ ලංවිම කර ඇති ගනුදෙනු වලින් පාරිභෝගිකයාට හා රජයට වාසියක් මිස පාඩුවක් සිදු වී නැහැ.

    ඉකොන්, මෙන්න මෙතන තමයි ගොඩක් අයට වරදින තැන. ඔය ප්‍රකාශය සත්‍ය වෙන්නෙ ඕනෑම බලශක්ති ප්‍රභවයකින් ලැබෙන විදුලි ඒකකයක් ( 1kWh) සමානයි කියල හිතුවොත්. ඒත් ඇත්තටම එහෙම නෑ. VPEL වගේ mini hydro වලින් ලැබෙන විදුලිය තාක්ශනිකව අපි කියන්නෙ Non Dispachable කියල. ඒ කියන්නෙ පද්ධතියට විදුලිය අවශ්‍ය උනත් නොවුනත්, අදාල බලාගාරය විදුලිය නිපදවනවනම්, ලන්විම ඒ විදුලිය සියල්ලම මිලදී ගන්නව. ඔය mini hydro වලින් වැඩි හරියක් විදුලිය නිපදවන්නෙ අධික වර්ශාව තියන කාල වලට. ඒ කාලෙට ලන්විම මහා පරිමාන ජල විදුලි බලගාර සමහරක් වාන් දමනව, මොකද විදුලි සැපයුමේ අතිරික්තයක් තියෙන නිසා. හැබැයි VPEL වගේ mini hydro වලින් නිපදවෙන විදුලිය මන්ඩලය මගින් මිලදි ගනු ලබනව, එම කාලයේදීම. එහෙම බැලුවම මන්ඩලය පැත්තෙන් වෙලා තියෙන්නෙ පාඩුවක්.

    ReplyDelete
    Replies
    1. //ඔය ප්‍රකාශය සත්‍ය වෙන්නෙ ඕනෑම බලශක්ති ප්‍රභවයකින් ලැබෙන විදුලි ඒකකයක් ( 1kWh) සමානයි කියල හිතුවොත්. ඒත් ඇත්තටම එහෙම නෑ.//

      පාරිභෝගිකයාගේ පැත්තෙන් බැලුවහම හදන විදිහ කුමක් වුනත් විදුලි ඒකකයක වෙනසක් නැහැ. Non Dispatchable sources වෙනස් වෙන්නේ සැපයුම්කරුගේ පැත්තෙන් සැපයුම කරන අවස්ථාව පාලනය කළ නොහැකි වීම කියන කරුණ මත පමණයි.

      //ඒ කියන්නෙ පද්ධතියට විදුලිය අවශ්‍ය උනත් නොවුනත්, අදාල බලාගාරය විදුලිය නිපදවනවනම්, ලන්විම ඒ විදුලිය සියල්ලම මිලදී ගන්නව.//

      පද්ධතියට විදුලිය අවශ්‍ය වුනත් නොවුනත් කියන එක වැරදි ප්‍රකාශයක්. විදුලිය මිල දී ගන්නේ පද්ධතියට අවශ්‍ය නිසා. කොහොම වුනත්, ලංවිම එසේ කරනවා කියා අපි මනඃකල්පිත ලෙස හිතුවොත්, ඒකත් ලංවිම ප්‍රශ්නයක්. ඔබ කියන දෙයින් අදහස් වන්නේ ලාබ ලැබිය හැකිව තිබියදී ලංවිම විසින් හිතා මතා පාඩු ලබනවා කියන එකයි.

      //ඔය mini hydro වලින් වැඩි හරියක් විදුලිය නිපදවන්නෙ අධික වර්ශාව තියන කාල වලට.//

      ඔව්. ඒක ඇත්ත. වැස්ස අඩු කාල වල මිනි හයිඩ්‍රෝ ජනනය පහළ යනවා.

      //මොකද විදුලි සැපයුමේ අතිරික්තයක් තියෙන නිසා. හැබැයි VPEL වගේ mini hydro වලින් නිපදවෙන විදුලිය මන්ඩලය මගින් මිලදි ගනු ලබනව, එම කාලයේදීම. එහෙම බැලුවම මන්ඩලය පැත්තෙන් වෙලා තියෙන්නෙ පාඩුවක්.//

      වැරදි ප්‍රකාශයක්. කිසිම මාසයක ලංකාවේ මුළු ඉල්ලුමම සම්පූර්ණ වන තරමට ජල විදුලිය හදන්නේ නැහැ. කොච්චර වැස්සත් බලාගාර වල එපමණ ධාරිතාවක් නැහැ. අඩු වශයෙන් ගල් අඟුරු බලාගාර ටික එකතු කළත් විදුලි සැපයුමේ අතිරික්තයක් එන්නේ නැහැ. ලංවිම දත්ත අනුව හැම මාසයකම පොසිල ඉන්ධන වලින් (ගල් අඟුරු හැර අනෙකුත්) තාප විදුලිය ජනනය කර තිබෙන අතර ඊට අමතරව පෞද්ගලික අංශයෙන්ද තාප විදුලිය මිල දී ගෙන තිබෙනවා. VPEL වගේ mini hydro වලින් නිපදවෙන විදුලිය මණ්ඩලය මගින් මිලදී නොගත්තානම් ඒ අඩුව පුරවන්න තාප විදුලිය මිල දී ගන්න වෙනවා.

      Delete
    2. // පාරිභෝගිකයාගේ පැත්තෙන් බැලුවහම හදන විදිහ කුමක් වුනත් විදුලි ඒකකයක වෙනසක් නැහැ.

      මේ කොටසට පිලිතුර ඔබගේ නවතම ලිපියේම තියෙනව.

      // අපේ නිවසට එන විදුලියේ සංයුතිය තීරණය කරන්නේ සැපයුම්කරු විසින් නිසා මෙය අපට පාලනය කළ නොහැකි දෙයක් වුවත් අවසාන වශයෙන් පාරිසරික හානි වල මිල අය කෙරෙන්නේ අපෙන්.

      පාරිභෝගිකයගෙ පැත්තෙන් බැලුවම, විදුලිය ජනනය ප්‍රභවය අදාල නොවුනට, ඇමරිකාවෙ ඔබ දැක්වූ උදාහරණය අනුව පාරිභෝගිකයා ගෙවන ගාස්තුව, විදුලිය ලබාගන්නා ප්‍රභවයට අනුව වෙනස් වෙනව නේද. විය යුත්තේත්, ලන්කාවෙ නොවෙන්නේත්, ඒකම තමයි.

      අනිත් කොටස් වලට පිලිතුරුත්, පසුව දාන්නම්.

      Delete
    3. // විදුලිය මිල දී ගන්නේ පද්ධතියට අවශ්‍ය නිසා. කොහොම වුනත්, ලංවිම එසේ කරනවා කියා අපි මනඃකල්පිත ලෙස හිතුවොත්, ඒකත් ලංවිම ප්‍රශ්නයක්.

      බොහෝ අවස්ථා වලදී mini hydro වලින් පද්ධතියට විදුලිය මිලදී ගන්නේ පද්ධතියට හෝ ලන්විමට අවශ්‍ය නිසා නෙවෙයි. මම කියන්නෙ එසේ මිලදී නොගත යුතුයි කියා නොවේ. මිලදී ගන්නා ඒකකයක මිල, ලන්විමට ඉතා අවාසි සහගත බවයි. උදාහරණයක් විදියට mini hydro එකක් තමන්ගේ උපරිම ධාරිතාවයෙන් වැඩ කරන්නේ අදික වර්ශාව පවතින වේලාවක. ඔය වෙලාවෙ එයා නිපදවන මුලු විදුලියම පද්ධතියට ගන්නව. හැබැයි ඔය වෙලාවෙම, ඊට වඩා ලාබ ඉහල කොත්මලේ, කුකුලේ වගේ බලාගාර වල වතුර අපතේ යවන්න වෙනව, හෝ අඩු ධාරිතාවයකින් දුවන්න වෙනව,මොකද විදුලි ඉල්ලුම අඩු නිසා. ඕක මාසිකව ජනනය කරන ඒකක ගාන හා විදුලි ඉල්ලුම් ඒකක ගාන සසදල හිතීම වැරදියි. ජනනය හා පරිභෝජනය සිදු වන යම්කිසි මොහොතක් සලකල හිතන්න ඕන.

      Delete
    4. මගේ උදාහරණයේ ඇමරිකාවේ වෙන දෙයනම් මීට වඩා වෙනස් සහ සංකීර්ණ දෙයක්. කොහොම වුනත්. පාරිභෝගිකයා ගෙවන ගාස්තුව විදුලිය ලබාගන්නා ප්‍රභවය අනුව වෙනස් වෙනව කියන එක නිවැරදියි. ඒ වගේම, එය මිල තීරණය වන එක් සාධකයක් මිසක් එකම සාධකය නෙමෙයි. ලංවිම ඒකාධිකාරය නිසා ලංකාවේ මෙවැන්නක් සිදු නොවුනත්, ලංවිම ඒකාධිකාරය නැති වුනොත් මේ වැඩේ නිකම්ම වෙනවා.

      කිසියම් නිශ්චිත මොහොතකදී ලංවිම සතුව ජල විදුලිය හැදීමේ ධාරිතාවය තිබියදී මිනි හයිඩ්‍රෝ පද්ධතියට එකතු කර ගන්නවා වෙන්න පුළුවන්. උපකල්පිත ගණනයක් කළොත්, ඒ වගේ නිශ්චිත මොහොතක ලංවිමට පාඩුවක් වෙනවා වෙන්නත් පුළුවන්. නමුත් ලංවිම විසින් විදුලිය මිලදී ගැනීමේ ගනුදෙනු මොහොතින් මොහොත කරන්නේ නැහැ. මම හිතන විදිහට බොහෝ විට ගිවිසුමක් ගහන්නේ වසරක පමණ හෝ වැඩි කාලයකට. ගිවිසුම් කාලයක් ගත්තොත් සමස්තයක් ලෙස ලංවිමට වෙන්නේ ලාබයක්. ඔබ කියන ආකාරයේ යම් නිශ්චිත මොහොතක ප්‍රධාන ජලාශ වල ඉතිරි වෙන ජලය බොහෝ විට වෙනත් අවස්ථාවක ප්‍රයෝජනයට ගන්න පුළුවන්. වතුර ප්‍රයෝජනයට නොගෙන පිටාර ගියොත් පමණක් ආවස්ථික පිරිවැයක් තිබෙනවා. නැත්නම් නැහැ. එවැනි අවස්ථා දුලබ බව මගේ අදහසයි.

      මිල තීරණය කරන්නේ එක් එක් මොහොත ගැන සිතා නොව ගිවිසුම් කාලය තුළ මිල දී ගන්න මුළු ඒකක ගණන ගැන හිතලානේ. ඒ කියන්නේ average එකක්. යම් හෙයකින් ඒ මිල යටතේ මිනි හයිඩ්‍රෝ මිල දී ගන්න එක සමස්තයක් ලෙස ලංවිමට පාඩුනම් එය ලංවිම අකාර්යක්ෂමතාවය පිළිබඳ විශාල red flag එකක්. එය එසේයැයි මම හිතන්නේ නැහැ.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: