ලංවිම නැවතත් පාඩු ලබන තත්ත්වයට පත් වී ඇති බව නැවත සටහන් කළ යුතු නැහැ. මේ ගැන කිහිප දෙනෙකු විසින්ම දැනටමත් කතා කර තිබෙනවා. මේ සටහන එසේ වෙනත් අය විසින් ලියා ඇති දේවල් වලට ඌණ පූරණයක්.
ලංවිම කියන්නේ කාලයක් තිස්සේ දිගින් දිගටම පාඩු ලැබූ ආයතනයක්. 2023 වසරේදී රුපියල් බිලියන 57.6ක ලාබයක් වාර්තා කරන්නට පෙර ලංවිම විසින් අවසන් වරට ලාබ ලැබුවේ 2015 වර්ෂයේදීයි. ඉන් පසුව, දිගින් දිගටම වසරින් වසර පාඩු වාර්තා වුනා. 2022 වසරේ අලාභය පමණක් රුපියල් බිලියන 298.2ක් වූ අතර, ඒ සමඟම ලංවිම සමුච්ඡිත අලාභය රුපියල් බිලියන 602.9 දක්වා ඉහළ ගියා.
මෙහිදී අප ලාබ සේ හඳුන්වන්නේ ගිණුම්කරණ ලාබ මිස ආර්ථික ලාබ නෙමෙයි. ගිණුම්කරණ ලාබ හැම විටම ආර්ථික ලාබ වන්නේ නැහැ. ගිණුම්කරණ ලාබ ආර්ථික ලාබ වන්නේ ප්‍රාග්ධනයේ පිරිවැයද ආවරණය කිරීමට තරම් එම ගිණුම්කරණ ලාබ ප්‍රමාණවත් වන්නේනම් පමණයි. උදාහරණයක් ලෙස, 2023ට පෙර ලංවිම විසින් අවසන් වරට ලාබ ලැබූ 2015දී ලැබූ ගිණුම්කරණ ලාබය ඒ වන විට එහි යොදවා තිබූ පොදු අරමුදල් ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස 5.1%ක් පමණයි. නමුත් එම වසරේදී රජය විසින් භාණ්ඩාගාර බිල්පත් ණය සඳහා 7.30%ක පොලියක් ගෙවුවා. එයින් අදහස් වන්නේ එම වසර තුළදී වුවද, ලංවිම විසින් ආර්ථික ලාබ නොලැබූ බවයි. ඇත්තටම වුනේ පාඩුවෙන් කොටසක් වෙනත් තැනක සටහන් වීමයි.
2022 අවසාන වන විට ලංවිම තුළ ආයෝජනය කර තිබුණු පොදු අරමුදල් ප්‍රමාණය රුපියල් බිලියන 865.2ක්. මේවා එක්කෝ දැනටමත් ගෙවා ඇති බදු මුදල්. එසේ නැත්නම් පොලියද සමඟ අනාගතයේදී බදුගෙවන්නන්ට ගෙවන්නට සිදු වන මුදල්. ලංවිම විසින් මෙම අරමුදල් වෙනුවෙන් බදු ගෙවන්නන්ට එක සතයක හෝ ප්‍රතිලාභයක් උපයා දී තිබුණේ නැහැ. ඇත්තටම සිදු වී තිබුණේ මෙසේ යෙදවූ ප්‍රාග්ධනයෙන් රුපියල් බිලියන 602.9ක්ම ලංවිම විසින් නැති කර දැමීමයි. මෙසේ නැති කරගත් මුදල් බදුගෙවන්නන් වෙනුවෙන් ලංවිමටම කවදා හෝ උපයාගන්නට සිදු වෙනවා.
රුපියල් බිලියන 57.6ක ගිණුම්කරණ ලාබයක් ඉපයූවද, ව්‍යාපාරික කටයුතු කරගෙන යාම සඳහා 2023 වසර තුළ ලංවීමට තවත් රුපියල් බිලියන 126.3ක පොදු අරමුදල් ප්‍රමාණයක් පොම්ප කරනු ලැබුවා. ඒ අනුව, ලංවිම තුළ පොදු අරමුදල් ආයෝජන ප්‍රමාණය රුපියල් බිලියන 991.4 දක්වා ඉහළ ගියා. පසුගිය (2024) වසරේදී රුපියල් බිලියන 148.6ක ලාබයක් ලැබීමෙන් පසුවද, තවමත් එහි ආයෝජනය කර ඇති පොදු අරමුදල් ප්‍රමාණය වන රුපියල් බිලියන 991.4 නැවත ගොඩ නගාගන්නට ලංවිම විසින් සමත්ව නැහැ. 2024 අවසාන වන විටද ලංවිම සමුච්ඡිත අලාභය රුපියල් බිලියන 402.6ක් වුනා.
දැන්, මෙම (2025) වසරේ පළමු කාර්තුවේදී ලංවිම විසින් නැවතත් රුපියල් බිලියන 18.5ක පාඩුවක් වාර්තා කරන්නේ මෙවැනි පසුබිමකයි. ඒ අනුව, රුපියල් බිලියන 602.9 මට්ටමේ තිබී, පසුව රුපියල් බිලියන 402.6 දක්වා පහත වැටී තිබුණු, ලංවිම සමුච්ඡිත අලාබය රුපියල් බිලියන 421.1 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ලංවිම නැවතත් පාඩු ලබන තත්ත්වයට පත් වීමට ප්‍රධානම හේතුව එහි දළ අලාබය හෙවත් විදුලිය විකුණා ලබා ඇති ආදායම සහ විදුලිය නිපදවීමේ පිරිවැය අතර ඇති වෙනසයි. මෙම දළ අලාබය (රුපියල් බිලියන 18.2) එහි සමස්ත අලාබයට (රුපියල් බිලියන 18.5) ආසන්නව සමානයි.
2025 පළමු කාර්තුව
විදුලිය විකුණා ලැබූ ආදායම - රුපියල් බිලියන 93.9
නිෂ්පාදන වියදම - රුපියල් බිලියන 112.1
දළ අලාබය - රුපියල් බිලියන (-18.2)
අපට මෙම තත්ත්වය 2024 පළමු කාර්තුව හා සැසඳිය හැකියි. ගිණුම් වාර්තා වලද කාර්තුවක මූල්‍ය තත්ත්වය සසඳන්නේ පෙර වසරේ අදාළ කාර්තුව තුළ පැවති තත්ත්වය සමඟයි.
2024 පළමු කාර්තුව
විදුලිය විකුණා ලැබූ ආදායම - රුපියල් බිලියන 167.8
නිෂ්පාදන වියදම - රුපියල් බිලියන 105.0
දළ ලාබය - රුපියල් බිලියන 62.8
මූල්‍ය වාර්තා වලම සඳහන්ව ඇති පරිදි, පිරිවැය 6.8%කින් ඉහළ ගොස් ඇති අතර ආදායම 44.0%කින් පහත වැටීමේ ප්‍රතිඵලයක් ලෙස ලංවිම නැවතත් ගිණුම්කරණ අලාබ ලබන තත්ත්වයට පත් වී තිබෙනවා.
මෙහි "කාමරයේ සිටින අලියා" විදුලි ගාස්තු අඩු කිරීම බව ඉතාම පැහැදිලි කරුණක්. නමුත් ඒ ගැන කතා කරන්නට පෙර අපි පිරිවැය කොටස ගැන විමසා බලමු.
ආයතනයක නිෂ්පාදන පිරිවැය ඉහළ යාම හේතු දෙකක් නිසා සිදු විය හැකියි. පළමුවැන්න ඒකක පිරිවැය ඉහළ යාමයි. දෙවැන්න නිෂ්පාදනය කරන ඒකක ප්‍රමාණය ඉහළ යාමයි. සාමාන්‍යයෙන් වසරෙන් වසර ලංවිම නිෂ්පාදනය ඉහළ යන නිසාත්, පිරිවැය ඉහළ යාම 6.8%ක් පමණක් නිසාත් මේ කරුණ වැදගත්.
මෙම වසරේ පළමු කාර්තුව තුළ ලංවිම විදුලි ඒකක අලෙවිය පිළිබඳව හරියටම නිවැරදි තොරතුරු සොයා ගැනීමට හැකි වූයේ නැහැ. මහජන උපයෝගීතා කොමිසමේ වෙබ් අඩවියේ ඇති දෛනික ජනන දත්ත වාර්තා අනුව, 2024 පළමු කාර්තුව තුළ ලංවිම විසින් විදුලිය ගිගාවොට් පැය 3,833.71ක් ජනනය කර ඇති අතර 2025 පළමු කාර්තුව ඇතුළත වීදුලිය ගිගාවොට් පැය 3,832.42ක් ජනනය කර තිබෙනවා. මෙම ගණන් ආසන්නව සමානයි. වසර තුළ විදුලි ජනනය ඉහළ ගොස් තිබෙන්නේ 0.2%කින් පමණයි.
සාමාන්‍ය කරුණක් ලෙස අලෙවි කරන විදුලි ඒකක ප්‍රමාණය ජනනය කරන ප්‍රමාණයට සමානුපාතික විය යුතුයි. මෙම ජනන වාර්තා අසම්පූර්ණ විය හැකි වුවත්, ඒවා මත පදනම්ව නිගමනය කළ හැක්කේ ලංවිම විසින් අලෙවි කර ඇති විදුලි ඒකක ප්‍රමාණයෙහි සැලකිය යුතු වෙනසක් සිදු වී නොමැති බවයි. ඒ අනුව, සිදුව ඇති බව පෙනෙන්නේ ඒකක පිරිවැය 6.6%කින් පමණ ඉහළ යාමයි. ඊට හේතු මොනවාද කියා මා විසින් විශ්ලේෂණය කර නැහැ.
අලෙවි කළ විදුලි ඒකක ප්‍රමාණයේ වෙනසක් දැකිය නොහැකි නිසා ආදායම පහත වැටීමට හේතුව තනිකරම මෙන් ඒකක මිල පහත වැටීම බව පැහැදිලියි. මෙසේ මිල පහත වැටීම එකවර සිදු වූ දෙයක් නෙමෙයි.
පසුගිය වසරේ මාර්තු මාසයේදී (2024 මාර්තු 5 සිට) විදුලි ගාස්තු 21.9%කින් පහත දමනු ලැබූ අතර, ඉන් පසුව, 2024 ජූලි 16 දින සිට ක්‍රියාත්මක වන පරිදි තවත් 22.5%කින් පහත හෙළනු ලැබුවා. ඉන් පසුව, මෙම වසරේ ජනවාරි මාසයේ සිට (2025 ජනවාරි 17) තවත් 20%කින් විදුලි ගාස්තු අඩු කරනු ලැබුවා.
පසුගිය වසරේ පළමු කාර්තුව තුළ ලංවිම විසින් සැලකිය යුතු ආදායමක් ලබන්නේ ඉහත පළමු ගාස්තු අඩු කිරීම සිදුව තිබියදී වුවත්, එම ගාස්තු වැඩි වීම සිදු වන්නේ මාර්තු මාසයේදී බැවින් එයින් මණ්ඩලයේ ආදායමට සිදු වන බලපෑම 6.3%ක් පමණයි. ඉතිරි 15.6% ආදායම කෙරෙහි බලපාන්නේ ඉන් පසුවයි. 2024 පළමු කාර්තුවේදී ලැබු රුපියල් බිලියන 167.8ක ආදායමෙන් 15.6%ක් අඩු වූ විට එය රුපියල් බිලියන 141.6ක් වෙනවා. එයින් තවත් 22.5%ක් අඩු වූ විට මෙම ආදායම රුපියල් බිලියන 109.8 දක්වා පහත වැටෙනවා.
ඒ අනුව, මෙම වසරේ ජනවාරි වන විට පැවතුණේ විදුලිය නිපදවීමේ පිරිවැය 6.6%කින් ඉහළ යාමෙන් පසුවද එම පිරිවැය ආවරණය කරගෙන දළ ලාබයක් ලැබිය හැකි තත්ත්වයක්. ලංවිම පාඩු ලබන තැනට වැටෙන්නේ ජනවාරි මාසයේදී සිදු කළ 20%ක ගාස්තු සංශෝධනය හේතුවෙනුයි. මෙය ඒ තරම්ම සංකීර්ණ නැති, සරල අංක ගණිතයක්.
මෙම වසරේ පළමු කාර්තුවේ අලාබය තුළද ගාස්තු අඩු කිරීම මුළුමනින්ම නිරූපණය වී නැහැ. එහි තිබෙන්නේ 16.3%ක බලපෑමක් පමණයි, ඉතිරි 3.7% බලපානු ඇත්තේ දෙවන කාර්තුවේදීයි. ඉහත සඳහන් රුපියල් බිලියන 109.8 ඇස්තමේන්තුවෙන් 16.3%ක් අඩු කර, 0.2% නිෂ්පාදන වර්ධනයද සැලකූ විට ලැබෙන පිළිතුර රුපියල් බිලියන 92.1ක්. 2024 පළමු කාර්තුව තුළ ලංවිම විසින් උපයා ඇති ආදායම රුපියල් බිලියන 93.9ක්. විවිධ කාණ්ඩ වල මිල අඩු වීම් වෙනවෙනම නොසලකා දළ ගණනයක් කිරීමෙන් පසුවද මේ ඇස්තමේන්තු ඉතාම ආසන්නයි. මේ අනුව, මේ අයුරින් ලංවිම නැවත පාඩු ලබන තත්ත්වයට පත් වීම අවසන් ගාස්තු අඩු කිරීම සිදු කරද්දී සරල අංක ගණිතය ඇසුරෙන් වුවද දැනගත හැකිව තිබූ කරුණක්.
දෙවන කාර්තුව තුළ ලංවිම ආදායම් තවත් 3.7%කින් අඩු වනු ඇති අතර (අනෙකුත් සාධක නොවෙනස්ව ඇති තත්ත්වයක් යටතේ) ලංවිම අලාබය බොහෝ විට මීටත් වඩා වැඩි විය හැකියි. එම අලාභය රුපියල් බිලියන 20ක් පමණ වනු ඇතැයි සැලකුවහොත්, දෙවන කාර්තුව අවසන් වෙද්දී ලංවිම සමුච්ඡිත අලාබය රුපියල් බිලියන 440 පමණ දක්වා ඉහළ යනවා. මෙය සක්කරයාගේ පුතා වයිමාටවත් වැළැක්විය නොහැකි දෙයක්!
ලංවිම විසින් 18.3%ක ගාස්තු වැඩි කිරීමක් යෝජනා කර තිබෙන බව වාර්තා වී තිබෙනවා. එවැනි වැඩි කිරීමක් සිදු කළද, දළ ලාබය පවතිනු ඇත්තේ සෘණ පැත්තේම තමයි. දළ ලාබය ශුන්‍ය කර ගැනීම සඳහා පමණක් 24.0%ක පමණ ගාස්තු වැඩි කිරීමක් සිදු කරන්නට වෙනවා. එසේ නොකළහොත්, යම් ආකාරයකින් නිෂ්පාදන පිරිවැය අඩු වුයේද නැත්නම්, මෙම වසරේ තෙවන කාර්තුවේදීද ලංවිම විසින් ගිණුම්කරණ අලාබයක් වාර්තා කිරීමට නියමිතයි.
ආයෝජනය කර ඇති පොදු අරමුදල් ප්‍රමාණය වන රුපියල් බිලියන 991.4 සැලකූ විට, වත්මන් එක් වසර භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතිකය යටතේ වුවද, රුපියල් බිලියන 80ක පමණ වාර්ෂික ගිණුම්කරණ ලාබයක් ඉපැයුවේ නැත්නම් එම ලාබය පිරිවැය ආවරණය කරන ලාබයක් සේ සැලකීමේ හැකියාවක් නැහැ. එවැන්නක් සිදු වන තුරු ලංවිම ලාබ-පාඩු තුලනය කරා ලංවීමේ ඉඩක් නැහැ.
ලංවිම කාලයකට පසු, පසුගිය දෙවසර තුළ, ලාබ-පාඩු තුලනය කරා ලංවෙමින් සිටියා. එහෙත් දැන් නැවතත් ලාබ-පාඩු තුලනයෙන් දුරස් වෙන්න පටන් අරන්.
අනුර කුමාරගේ මාලිමා ආණ්ඩුව ආයේ රට පෝලිම් යුගයට ගේන හැඩ නේද
ReplyDeleteවඩ බා මුඛය වාගෙයි නෙව ලංවිමය
ReplyDeleteලක්වැසියන් වෙතට වද්දයි හෙණ පතය
'බිල වැඩි කෙරුම' හැම ලෙඩටම විසඳුමය
'තිනෙත'ටවත් පෙනේවා මේ වින්නැහිය!