පසු ගිය (2024) අවුරුදේ ලංකාවේ ආර්ථිකය ඩොලර් බිලියන 99.0 දක්වා ඉහළ ගියා. තවත් ඩොලර් බිලියනයකින් ඉහළ ගියානම්, අතිශය ප්‍රථම වතාවට ඩොලර් බිලියන 100 සීමාව පන්නනවා. මේ (2025) අවුරුද්දේ ලංකාවේ ආර්ථිකය ඩොලර් බිලියන 100 පන්නයිද?
ගිය අවුරුද්දේ ලංකාවේ ආර්ථිකය ඩොලර් බිලියන 100 සීමාව කිට්ටුවට පැමිණ තිබුණු නිසාම මේ අවුරුද්දේ අනිවාර්යයෙන්ම ඔය සීමාව පන්නනවා කියලා කියන්න බැහැ. 2018දී ලංකාවේ ආර්ථිකය ඩොලර් බිලියන 94.7 දක්වා ඉහළ ගොස් තිබුණත්, 2022 වන විට ඩොලර් බිලියන 76.8 දක්වා පහත වැටුණා. ඒ නිසාම, 2018දී ලංකාව විසින් ලඟා වූ ඉහළ මැදි ආදායම් තත්ත්වය දිගටම පවත්වා ගත හැකි වූයේ නැහැ.
ආර්ථිකයේ ප්‍රමාණයේ ඩොලර් අගය වෙනස් වෙන්නේ රටේ ආර්ථික වර්ධන වේගය මත පමණක් පදනම්ව නෙමෙයි. උද්ධමනය හා විණිමය අනුපාතය කියන සාධකත් ඒ කෙරෙහි බලපානවා. ඒ නිසාම, රටකට ආර්ථික වර්ධනය වගේම ආර්ථික ස්ථාවරත්වයත් ඉතාම වැදගත්. එසේ වුවත්, ඔය සාධක තුනම සලකා බැලීමෙන් පසුව, මේ අවුරුද්දේ ලංකාවේ ආර්ථිකය, හරියටම කිවුවොත් නාමික දළ දේශීය නිෂ්පාදිතය, අනිවාර්යයෙන්ම ඩොලර් බිලියන 100 සීමාව පන්නා තිබිය යුතු බව කියන්න පුළුවන්.
මූර්ත ආර්ථික වර්ධන වේගයෙන් පටන් ගත්තොත්, පළමු කාර්තු තුනේ ආර්ථික වර්ධන වේග අපි දැනටමත් දන්නවා. නොදන්නේ හතරවන කාර්තුවේ වර්ධන වේගය පමණයි. සුළි කුණාටුවේ බලපෑම නිසා මෙම වර්ධන වේගය බාල විය හැකි බව පැහැදිලි කරුණක්.
මූල්‍ය අරමුදලේ ඇස්තමේන්තු අනුව පෙන්නේ ඔවුන් හතරවන කාර්තුවේ වර්ධන වේගය 2% පමණ සේ සලකා ඇති බවයි. ඒ අනුව වසරේ මූර්ත ආර්ථික වර්ධන වේගය 4.2%ක් වනු ඇති බව ඔවුන් විසින් ඇස්තමේන්තු කර තිබෙනවා. හතරවන කාර්තුවේ වර්ධන වේගය 3%ක් වුවහොත්, වසරේ වර්ධන වේගය 4.5% මට්ටම දක්වා ඉහළ යනවා. එය විය නොහැකි දෙයක් නෙමෙයි.
ආර්ථිකයේ ඩොලර් වටිනාකම කෙරෙහි බලපාන්නේ නාමික ආර්ථික වර්ධන වේගයයි. නාමික ආර්ථික වර්ධන වේගය කියා කියන්නේ මූර්ත වර්ධනය නිසා මෙන්ම උද්ධමනය නිසාද සිදු වන වටිනාකම් වෙනස් වීම් වල සම්ප්‍රයුක්ත ප්‍රතිඵලයයි. පසුගිය (2025) තුන් වන කාර්තුවේ නාමික ආර්ථික වර්ධන වේගය 12.6%ක්. ඊට හේතුව මූර්ත ආර්ථිකය 5.6%කින් වර්ධනය වෙද්දී මිල මට්ටමද 6.8%ක වේගයකින් වර්ධනය වී තිබීමයි.
හතර වන කාර්තුවේදී සුළි කුණාටුව නිසා මිල ගණන් ඉහළ යාමක් සිදු වුනා. ඩොලරයක මිලද වැඩි වුනා. ඒ නිසා, මිල ඉහළ යාම තුන් වන කාර්තුවේ වේගයට වඩා වැඩි මිසක් අඩු වෙන්න හේතුවක් නැහැ. එය අවම වශයෙන් 7%ක් පමණවත් විය යුතුයි.
හතරවන කාර්තුවේ මූර්ත ආර්ථික වර්ධන වේගය 2% ලෙසත්, මිල ඉහළ යාමේ බලපෑම 7% ලෙසත් සැලකුවොත්, පැවති විනිමය අනුපාත අනුව, 2025 ලංකාවේ ආර්ථිකයේ ප්‍රමාණය ඩොලර් බිලියන 108.4ක් දක්වා ඉහළ යනවා. එසේ වුවහොත්, ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් 4,982 දක්වා ඉහළ යනවා. මෙය අවම ඇස්තමේන්තුවක් සේ සැලකිය හැකියි.
හතරවන කාර්තුවේ මූර්ත ආර්ථික වර්ධන වේගය 2% නොවී 3% පමණ වෙන්න පුළුවන්. ඒ වගේම, මිල වැඩි වීම පහසුවෙන්ම 8% ඉක්මවන්න පුළුවන්. එසේ වුවහොත්, මේ අවුරුද්දේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය අතිශය ප්‍රථම වතාවට ඩොලර් 5000 සීමාව ඉක්මවා යන්න වුනත් බැරිකමක් නැහැ.
ආදායම් මට්ටම අනුව රටවල් වර්ග කිරීමේදී බලන්නේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය දෙස නොව ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය දෙසයි. සාමාන්‍යයෙන් ලංකාවේ එහි අගය ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයට වඩා ඩොලර් සීයකින් පමණ අඩුයි. එය එසේ වුවත්, ඉදිරි වසරේදී නැවතත් ඉහළ මැදි ආදායම් මට්ටමට යාම පිළිබඳව ලංකාවට යම් බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්.
අලුත් අවුරුද්දේ අලුත් බලාපොරොත්තු තියාගන්න එක හොදයි නේද ඉකොනෝ මල්ලි
ReplyDeleteඉකොනො,
ReplyDelete'පසු ගිය (2024) අවුරුදේ ලංකාවේ ආර්ථිකය ඩොලර් බිලියන 99.0 දක්වා ඉහළ ගියා. තවත් ඩොලර් බිලියනයකින් ඉහළ ගියානම්, අතිශය ප්‍රථම වතාවට ඩොලර් බිලියන 100 සීමාව පන්නනවා. මේ (2025) අවුරුද්දේ ලංකාවේ ආර්ථිකය ඩොලර් බිලියන 100 පන්නයිද?:
මේ කතා කිව්වට අපේ ආර්ථිකය ඉහල ගිහිං නැත්තේ ඇයි? මේ පච ආර්ථික විශ්ලේෂණ සාමාන්‍ය ජනයා දන්නෙත් නෑ. ඒ අයට දකින්න වෙන්නෙත් නෑ
මුන්දෑ 2022 කෙලින්ම රට බාර ගත්තනම් ඉකොනො ඔය ලියන ඒවා කියවන්න බල්ලෙක්වත් නැතුව යනවා.
ReplyDeleteහැමෝම එහෙනම් මේ වෙනකොට ජීවිතේ ගැට ගහ ගන්න පාන් කෑල්ලක් ඩැහැ ගන්න සටන් කරණ එක ජීවිතේ ප්‍රමුඛ කාර්යය කරගෙන ඉන්නෙ..