Tuesday, September 10, 2019
පොත් මිල අඩු කරගත හැක්කේ කොහොමද?
පොත් වල මිල වැඩියි කියා මැසිවිලි නගන ගොඩක් අයට තිබෙන ප්‍රශ්නය ආකල්පමය ප්‍රශ්නයක් මිසක් පොත් වල මිල පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. ප්‍රශ්නයේ මුල තිබෙන්නේ ලංකාවේ බොහෝ දෙනෙකු සමාජවාදී ක්‍රමයට හිතන්න පුරුදු වී හෝ පුරුදු කරනු ලැබ තිබීමයි.
සමාජවාදය, වඩාත් නිවැරදිව කියනවානම් මාක්ස්වාදය, කියා කියන්නේ ද්‍රව්‍යවාදය මත පදනම්ව බිහි වූ කතන්දරයක්. මාක්ස්වාදී ආර්ථික විද්‍යාව ගොඩ නැගී තිබෙන්නේත් මේ කතන්දරයට ගැලපෙන ආකාරයටයි. ඒ අනුව කිසියම් දෙයක වටිනාකම තීරණය වෙන්නේ එය නිෂ්පාදනය කරන්න යෙදවූ අමුද්‍රව්‍ය ආදී සාධක මතයි. මේ අනුව, පොතක් මිල දී ගන්නවා කියන එකෙන් අදහස් වෙන්නේ අකුරු මුද්‍රණය කර තිබෙන කඩදාසි මිටියක් තමා සන්තක කර ගැනීමයි.
සමාජවාදී චින්තනය අනුව දැන් මේ පොතක් කියා කියන කඩදාසි මිටියේ වටිනාකම කීයද? එය තීරණය වන්නේ එහි නිෂ්පාදන වියදම මතයි. පොත තිබෙන්නේ කා සන්තකවද කියන එක අනුව පොතේ වටිනාකම වෙනස් වෙන්නේ නැහැ. මේ පදනමෙන් බැලූ විට රුපියල් දෙසීයක වියදමින් නිපදවූ පොතක් රුපියල් හාරසීයකට විකිණීම පෙනෙන්නේ පොත් ප්‍රකාශකයා විසින් අසාධාරණ ලාබයක් ඉපැයීමක් ලෙසයි.
ධනවාදය මාක්ස්වාදය මෙන් ද්‍රව්‍යවාදය මත පදනම්ව බිහි වූ කතන්දරයක් නෙමෙයි. ධනවාදී ආර්ථික විද්‍යාව අනුව ගනුදෙනු වල යෙදෙන්නේ හිතන පතන මිනිස්සු මිසක් යන්ත්‍ර නෙමෙයි. ඒ අයට එකිනෙකාගෙන් වෙනස් වූ රුචිකත්වයන් තිබෙනවා. ධනවාදී චින්තනය අනුව කෙනෙක් පොතක් මිල දී ගැනීමේදී ඒ මිල ගෙවන්නේ පොත තමා සන්තක කර ගැනීමේ සතුට වෙනුවෙන් මිසක් පොතක් කියා කියන කඩදාසි මිටිය වෙනුවෙන් නෙමෙයි.
බොහෝ දෙනෙකු හා අදාළව පොතක් තමා සන්තක කර ගැනීමෙන් ලැබෙන සතුට කියා කියන්නේ පොත කියවීමෙන් ලැබෙන සතුට මිසක් පොත ගෙදර රාක්කයක තියාගෙන සිටීමෙන් ලැබෙන සතුට නෙමෙයි. අවශ්‍ය අයෙකු දෙවන ආකාරයේ සතුටක් ලැබීම ධනවාදී චින්තනය සමග ගැටෙන දෙයක්ද නෙමෙයි. පොතක් තමා සන්තක කර ගෙන යමෙක් මේ කවර ආකාරයෙන් හෝ ලබන සතුට පුද්ගලයා අනුව වෙනස්වන දෙයක් නිසා පොතක වටිනාකම කියන එකත් පුද්ගලයා අනුව වෙනස් වන දෙයක්. එහි නිශ්චිත නිරපේක්ෂ අගයක් නැහැ.
ධනවාදී ක්‍රමයට හිතනවානම් වැදගත් වෙන්නේ පොතක් තමන් සන්තක කර ගැනීමෙන් ලැබිය හැකි සතුටේ වටිනාකම ගෙවන මිල නිසා අහිමිවන සතුටට වඩා අඩුද වැඩිද කියන එක පමණයි. යමෙක් පොතක් මිලදී ගන්නේ ඔහුට හෝ ඇයට සාපේක්ෂව පොතේ වටිනාකම ගෙවන මිලට වඩා වැඩිනම් පමණයි. ඒ නිසා, පොතක් මිල දී ගන්නා කෙනෙකුට හැම විටම වාසියක් වෙනවා මිසක් පාඩුවක් වෙන්නේ නැහැ. මේ ගනුදෙනුවේදී පොත් ප්‍රකාශකයා කොයි තරම් ලාබයක් උපයනවාද කියන එක වැදගත් කරුණක් නෙමෙයි. වැදගත් වන්නේ තමන්ට ලාබයක් ලැබුනේද යන්නයි.
ධනවාදී ක්‍රමයට හිතුවොත් පොතක් කියවා අවසන් වූ පසුව ඒ පොත මිල දී ගැනීමෙන් ලබන්න අපේක්ෂා කළ සතුට ලබා අවසන්. ඒ නිසා, තව දුරටත් ඒ පුද්ගලයාට ඒ පොතේ වටිනාකමක් නැහැ. මේ කරුණ හැම පොතකටම අදාළ නැහැ. කිසියම් විෂයයකට අදාළ පාඨ ග්‍රන්ථයක් වගේ එකක්නම් එහි තිබෙන්නේ තරමක් දිගුකාලීන වටිනාකමක්. එවැනි පොතක වුවත් වටිනාකම වසරකට හෝ කිහිපයකට පසුව නැති වී යනවා. එසේ නොවන්නේ ශබ්දකෝෂයක් වැනි පොතක් හා අදාළව පමණයි.
නවකතා වැනි පොත් වලට බොහෝ විට මෙවැනි දිගුකාලීන වටිනාකමක් නැහැ. පොත කියවා අවසන් වූ පසු එය මිල දී ගැනීමෙන් අපේක්ෂා කළ සතුට ලබා අවසන්. හරියට චිත්‍රපටයක් හෝ වේදිකා නාට්‍යයක් බැලුවා වගේ. නමුත්, සමාජවාදී ක්‍රමයට හිතුවොත්නම් කියෙවුවත් නැතත් පොතේ වටිනාකම එක ලෙසම පවතිනවා. ඒ වටිනාකම නැති වෙන්නේ පොත භෞතිකව විනාශ වුවහොත් පමණයි.
තමන් කියවා අවසන් කළ, නැවත වරක් කියවන්න කිසිදු ඉඩක් නැති පොත් එකතු කර ගෙන ඉන්න ලංකාවේ ගොඩක් අය පෙළඹෙන්නේ ඔවුන් හුරු වී සිටින සමාජවාදී චින්තනය නිසා. ලංකාවේ ඉන්න තාක් කල් මම හිටියේත් ඔය ගොඩේම තමයි. පොත් මිල දී ගෙන නොකියවා ගොඩගහගෙන ඉන්න හේතුවත් මෙයමයි. කවදාවත් වාඩි නොවෙන පුටු සෙට්, ක්‍රියාත්මක නොකරන ශීතකරන, මාසයකට වරක් ස්ටාට් කරන කාර් ගෙවල් වල තියා ගෙන ඉන්නේත් තමන් මිල දී ගෙන තිබෙන්නේ අදාළ භාණ්ඩය කියා හිතන්න පුරුදු කරනු ලැබ ඇති නිසයි. ධනවාදී ක්‍රමයට හිතනවානම් කෙනෙක් මුදල් ගෙවන්නේ සුවපහසුවට අසුන් ගැනීමෙන් ලබන සතුට, කෑම නරක් කර නොගෙන සීතල බීම වීදුරුවක් බීමේ සතුට හා පහසුවෙන් ගමනක් යාමේ සතුට වෙනුවෙන් මිස අදාළ භාණ්ඩ තමා සන්තක කර ගැනීම වෙනුවෙන් නෙමෙයි. ඒ නිසා, මේ වාසි නොලබනවානම් අදාළ භාණ්ඩ වෙනුවෙන් වැය කළ මුදලේ තේරුමක් නැහැ.
බටහිර රටවල මිනිස්සු සාමාන්‍යයෙන් තමන් පරිභෝජනය කරන භාණ්ඩ මිස අනාගතයේදී පරිභෝජනය කරන්න හිතාගෙන ඉන්න භාණ්ඩ හෝ අතීතයේදී පරිභෝජනය කළ භාණ්ඩ ගොඩ ගසා ගෙන ඉන්නේ නැහැ. අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට මිල දී ගන්නවා. අවශ්‍ය නැති වෙලාවට කීයකට හෝ විකුණලා දමනවා. සක්‍රිය හා පුළුල් වෙළඳපොළක් තියෙන නිසා අවශ්‍ය වෙලාවට අවශ්‍ය දෙයක් අවශ්‍ය මිලකට මිල දී ගන්න ගන්න බැරි වෙයි කියන බය ඔවුන්ට නැහැ. අලුත් බඩුවක් ගන්න සල්ලි නැත්නම් අතේ තිබෙන මුදලට සෙකන්ඩ් හෑන්ඩ් බඩුවක් හරි ගන්න පුළුවන්.
පෞද්ගලික අයිතියට මුල් තැන ලැබෙන සමාජ ක්‍රමයකදී භාණ්ඩයක් පරිභෝජනය කිරීමේ අයිතිය වෙනුවෙන් වැය කළ යුත්තේ තමන්ගේම ප්‍රාග්ධනය නිසාත්, ඒ ප්‍රාග්ධනයේ ආවස්ථික පිරිවැයක් තිබෙන නිසාත් වර්තමානයේ පරිභෝජනය නොකරන භාණ්ඩයක් වෙනුවෙන් මුදල් යට කිරීම අවාසිදායකයි. එක්කෝ ඒ මුදලින් වර්තමානයේ පරිභෝජනය කරන්න කැමැත්තෙන් ඉන්න වෙනත් දෙයක් මිල දී ගත හැකියි. එහෙම නැත්නම්, මුදල් ආයෝජනය කර (ණයට දී) ආදායමක් ඉපැයිය හැකියි. ධනවාදී චින්තනය තියෙන මිනිස්සු හිතන්නේ ඔය විදිහටයි.
අනෙක් අතට පොදු දේපොළ ක්‍රමය යටතේ ඕක වෙනස් විදිහකට සිදු වෙනවා. භාණ්ඩයක් පරිභෝජනය කරන්න තමන්ගේම මුදලක් වැය කළ යුතු නැත්නම්, හොඳම දේ ඉඩක් ලැබුණු වෙලාවට පුළුවන් තරම් පරිභෝජනය කරන එකයි. තමන්ට අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ පරිභෝජනය කරන්න ලැබෙයි කියා විශ්වාසයක් නැති නිසා ආණ්ඩුවෙන් දෙන දේ දෙන වෙලාවට පරිභෝජනය නොකළොත් ඒ අවස්ථාව ගිලිහී යනවා. ලංකාවේ රජයේ සේවකයින් උදාහරණයට ගත්තොත් සහන දුම්රිය ප්‍රවේශපත්, රජයට අයත් නිවාඩු නිකේතන, අඩු පොලී ණය (උත්සව අත්තිකාරම්) වගේ වසරකට වරක් හෝ කලාතුරකින් ලැබෙන සහන තමන්ට අවශ්‍යම නොවුනත් ගන්න පෙළඹෙන්නේ මේ පදනමිනුයි.
ලංකාවට වෙලා තිබෙන්නේ, ධනවාදී ක්‍රමයක තිබෙන, අවශ්‍ය වෙලාවට අවශ්‍ය මිලකට අවශ්‍ය දේ මිල දී ගන්න ඉඩ සැලසෙන වෙළඳපොළ යාන්ත්‍රණයක් රටේ නැහැ. මිනිස්සු වෙළඳපොළ ක්‍රමය විශ්වාස කරන්න පටන් ගන්න තුරු එවැනි යාන්ත්‍රණයක් හැදෙන්නේ නැහැ. ඒ වගේම, පරිභෝජනයට අවශ්‍ය බොහොමයක් දේවල් ආණ්ඩුවෙන් නිකම් ලැබෙන තරමේ සමාජවාදයකුත් නැහැ. එවැනි ක්‍රමයක් පවත්වාගත හැකි ආර්ථික ශක්තියක් රටට නැහැ. ඒ නිසා, ඉඩක් ලැබෙන වහාම පොදු දේපොළ ඕනෑවටත් වඩා පරිභෝජනය කර නාස්ති කරන අතරම පෞද්ගලික දේපොළ පරිභෝජනය නොකර ගොඩ ගසා ගන්නවා. ඔතැන තියෙන්නේ ගොඩක් මිනිස්සු දැන හෝ නොදැන මතවාදී ලෙස සමාජවාදීන් වුවත්, රටේ සමාජ ආර්ථික ක්‍රමය ඔවුන්ට අවශ්‍ය තරමටම සමාජවාදී කරගත නොහැකි වීමේ අවුලයි.
දැන් මගේ ධනවාදී යෝජනාව මෙයයි. පොතක් කියවා අවසන් වුනාට පස්සේ, එය නැවත වරක් කියවන්න අදහසක් නැති පොතක්නම් පොඩ්ඩක් අඩුවෙන් කාට හෝ විකුණන්න. උදාහරණයක් විදිහට රුපියල් පන්සීයකට මිල දී ගත් පොතක් රුපියල් තුන්සීයකට විකිණුවා කියා ඔබට පාඩුවක් වෙන්නේ නැහැ. රුපියල් පන්සීය ඔබ වැය කර අවසන්. එය නැවත නොලැබෙන ගිලුණු පිරිවැයක්. ඒ වගේම, පොත කියැවීමෙන් පසුව ඔබට එයින් ලැබිය හැකි සතුටත් ඔබ විසින් ලබා අවසන්. එසේ තිබියදී පොත ඔබ සන්තකයේ තබා ගැනීමෙන් ඔබට ලැබෙන විශේෂ වාසියක් නැහැ. නමුත්, කියවා අවසන් වූ පොත රුපියල් තුන්සීයකට විකිණුවොත් ඔබට අතට මුදලක් ලැබෙනවා. මේ විදිහට කියවා අවසන් පොත් දෙකක් විකිණුවොත් තවත් අලුත් පොතක් මිල දී ගන්න මුදලක් අතට ලැබෙනවා.
රුපියල් පන්සීයක පොතක් මුද්‍රණද්වාරයෙන් පැමිණි අලුතම අයෙක් වරක් කියවූ පොතක් රුපියල් තුන්සීයකට මිල දී ගන්න කෙනෙක් හොයා ගැනීම අමාරු නැහැ. ඔබ මේ වැඩේ කරනවානම් හොඳම ක්‍රමය පොත ගැන හා ඔබ එය විකුණන මිල ගැන වත්පොත හෝ වට්ස්ඇප් වැනි තැනක් හරහා ඔබේ මිතුරන්ට දැනුම් දීමයි. එවිට ඔබේ කාර්යාලයේම සේවය කරන හෝ දුම්රිය සගයෙකු වන මේ පොත මිල දී ගන්න හිතාගෙන ඉන්න අයෙකු ඉදිරිපත් වෙන්න පුළුවන්.
යහළුවන් විසින් කියවීම සඳහා පොත් ඉල්ලාගෙන යාම ලංකාවේ සුලබව සිදුවන දෙයක්. මේ පොත් ඇතැම් විට ආපහු ලැබෙන්නේ නැහැ. එය යහළුවන් අතර නොහොඳ නෝක්කාඩු වලටත් හේතු වෙනවා. බොහෝ විට මේ විදිහට යාළුවෙකුගෙන් ඉල්ලාගෙන යන පොත ආපසු නොදෙන්නේ යාලුවා එය කියවා නැති නිසයි. යාලුවා හිතාගෙන ඉන්නේ කියවා අවසන් වූ පසු පොත ආපහු දෙන්නයි. නමුත්, එය කවදාවත් වෙන්නේ නැහැ. කියවන්න ලොකු උනන්දුවක් නැතුව යාලුවා පොත අරන් යන්නේ එය නිකම් ලැබෙන නිසයි.
පොත නිකම් කියවන්න නොදී අඩු මුදලකට විකිණීම දෙන්නාටම හොඳ විකල්පයක්. පොත යාළුවාට දෙන්නේ මුදලක් අරගෙන නිසා පොත එතැනින් අමතක කර දැමිය හැකියි. ඒ වගේම, යාලුවා මුදල් ගෙවා පොත ගන්නේ එය ඔහුට වටිනවානම් පමණයි. මේ වගේ වැඩක් රැල්ලක් විදිහට බෝ කළොත්, ඉතා ඉක්මණින් පොත් වලට සෙකන්ඩ් හෑන්ඩ් වෙළඳපොළක් හැදෙනවා. එවිට, ඔබටත් පොත් සාප්පුවේ මිල නොගෙවා යාළුවෙක් කියවූ පොතක් අඩු මිලකට මිල දී ගත හැකියි. ගනුදෙනුව සිදුවන්නේ යාළුවෙක් සමඟ වුවත් නිසි පරිදි ගනුදෙනු පියැවීම වැදගත්.
රුපියල් පන්සීයක පොතක් ඔබ මිල දී ගත්තේ රුපියල් තුන්සීයකට වුවත් ඔබට එය නැවත රුපියල් දෙසීයකට හෝ දෙසිය පණහකට විකිණිය හැකියි. වැඩි දෙනෙකු මේ කටයුත්තට සහභාගී වන තරමට ඔබට පොතක් මිල දී ගන්න වැය වන මුදල හා කියැවූ පොත නැවත විකිණිය හැකි මුදල අතර වෙනස, එනම් ඔබ පොත කියවා ලැබූ සතුට වෙනුවෙන් ගෙවිය යුතු මුදල අඩු වෙනවා.
මේ විදිහට පොතක් අතින් අත යද්දී ක්‍රමක්‍රමයෙන් එහි මිල පහළ වැටී අන්තිමේදී අලුත් පොතක් වෙනුවෙන් ලොකු මුදලක් වැය කළ නොහැකි පාසැල් සිසුවියක හෝ රැකියා විරහිත තරුණියක වැනි අයෙකුට සුළු මුදලක් ගෙවා පොතක් මිල දී ගැනීමේ අවස්ථාව ලැබෙනවා. නමුත්, පොත ලැබෙන්නේ නිකම්ම නොවන නිසා එය අනවශ්‍ය අයෙකුගේ අතට යාමත් වැළකෙනවා. සමහර විට මාස කිහිපයකට පෙර රුපියල් පන්සීයකට මිල කර එළියට දැමූ පොතක් මේ ආකාරයට අතින් අත යාමෙන් පසු රුපියල් පණහකට මිල දී ගන්න පුළුවන් වෙයි. නැවත විකිණීමේ බලාපොරොත්තුව නිසා පොත කියවන හැම කෙනෙක්ම පුළුවන් උපරිමයෙන් පොත පරිස්සම් කරන්නත් පෙළඹෙනවා.
අවසාන වශයෙන් සිදු වන්නේ පන්සලේ මල් වට්ටි වෙන්දේසියේදී වගේ පොතේ මිලට හත් අට දෙනෙක් සම්මාදම් වීමකුයි. මෙය ධනවාදී ලෙස හිතන මිනිසුන් සිටින තැනක කටයුතු සිදුවන සාමාන්‍ය පිළිවෙළ මිස අමුතු දෙයක් නෙමෙයි. ලංකාවේ කාර් ගන්න මිනිස්සු හිතන්නේ ධනවාදී ක්‍රමයට වුනත්, පොත් ගන්න මිනිස්සු තවමත් හිතන්නේ සමාජවාදී ක්‍රමයටයි. ඒ නිසා, ලංකාවේ මිනිස්සු පරණ කාර් ගෙවල් වල ගොඩ ගහගෙන ඉන්නේ නැතත් පරණ පොත් ගොඩගහගෙන ඉන්නවා. මම මේ කියන්නේ මූලාශ්‍රයක් සේ නිතර පරිශීලනය කළ යුතු වර්ගයේ පොත් ගැන නෙමෙයි.
කවුරු හෝ තමන් කියැවූ පොත් යාළුවන් අතර නැවත විකිණීමේ වැඩේ පටන් ගත්තොත් තත්ත්වය ඉක්මණින් වෙනස් වෙයි. එවිට දැන් රුපියල් පන්සීයකට අලුත් පොතක් කියවීමේ සතුට මිල දී ගන්නා කෙනෙකුට ඒ මිලටම පොත් දහයක් කියවීමේ සතුට මිල දී ගන්න පුළුවන් වෙයි.
ඒ වගේම, රටේ තරුණ පරම්පරාව අතර පොත් කියවීමේ පුරුද්ද ඇති කරන්න බොක්කෙන්ම උවමනාවක් තිබෙනවානම් තමන්ගේ රාක්කයේ තිබෙන කියවා අවසන් වූ පොත් හා කවදාවත් නොකියවනු ඇති අලුත් පොත් වලින් කිහිපයක් අඩු මිලකට ප්‍රසිද්ධියේ විකුණා දමන්න. කණ්ඩායමක් එකතු වී සංවිධානාත්මකව පාසැල් සිසුන් හෝ සාමාන්‍යයෙන් පොත් නොකියවන ජන කණ්ඩායම් සිටින තැන් ඉලක්ක කළ හැකි තැනක මේ පොත් විකිණිය හැකිනම් වඩාත් හොඳයි. හැබැයි රුපියල් පණහක් හෝ අය කර මිස නිකම් පොත් දෙන්න එපා. නිකම් දුන්නොත් වෙන්නේ නැවතත් මේ පොත් පොත් නොකියවන අයෙකු ළඟ රැඳෙන එක පමණයි.
වැදගත් වෙන්නේ පොත් කියවීමේ පුරුද්ද ප්‍රවර්ධනය කරනවාත් එක්කම වෙළඳපොළ යාන්ත්‍රණයටත් පොඩි තල්ලුවකුත් දීමයි. එසේ නැත්නම්, මෙවැනි හුදෙකලා වැඩකින් දිගුකාලීනව ලොකු ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. නමුත්, පොත් වලට සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් මොන විදිහකින් හෝ හැදුනොත් දිගුකාලීනව එයින් බොහෝ දෙනෙක්ට යහපතක් සැලසෙනවා.
Labels:
ආකල්ප,
ආර්ථික විද්‍යාව,
ධනවාදය,
පොත්,
සාහිත්‍යය
Monday, September 9, 2019
පොත් මිල වැඩිද?
සාහිත්‍ය මාසයේදී පොත් ගැන වැඩිපුර කතාබහ කෙරෙනවා. ඒ කතාබහ අතරතුරේදී බොහෝ විට පොත් වල මිල ගැන මැසිවිලි නැගෙනවා. ඒ එක්කම, පොත් මිල වැඩි වීමට හේතුව පොත් ප්‍රකාශකයින් බවටද අදහස් පළ වෙනවා.
ලංකාවේ පොත් ප්‍රකාශකයින් තමන් විසින් කරන ආයෝජනයට හා ගන්නා අවදානමට සරිලන ලාබයක් මිස සුපිරි ලාභ උපයන පිරිසක් නොවන බව මා මීට සිවු වසරකට පෙර ලියා තිබෙන කරුණක්. අදාළ තත්ත්වයන් තවමත් ලොකුවට වෙනස් වී ඇතැයි මා හිතන්නේ නැහැ. පෙර ලිපියට සබැඳියක් පහත තිබෙනවා.
පොත් ප්‍රකාශනයේදී අතරමැදියා ගසා කනවාද?
පොත් පළ කිරීමෙන් සුපිරි ලාබ ලැබිය හැකිනම් අලුත් ව්‍යාපාරිකයින් විශාල වශයෙන් මේ ව්‍යාපාරයට ආකර්ශනය විය යුතුයි. එහෙත්, එය එසේ වෙන්නේ නැහැ. සිංහල කියවන්නන් සිටින්නේ ලංකාවේ හෝ ලංකාවෙන් බැහැරව ජීවත්වන ශ්‍රී ලාංකික ඩයස්පෝරිකයින් අතර පමණයි. මේ ප්‍රමාණය ගොඩක් ලොකු නැහැ. ඉංග්‍රීසි හෝ ස්පාඤ්ඤ වැනි බසකින් ලියන පොතකට තිබෙන වෙළඳපොළ හා සසඳන විට මේ වෙළඳපොළ ඉතාම කුඩා එකක්. බෙංගාලි හෝ දෙමළ වැනි බසකින් ලියන අයටත් විශාල වෙළඳපොළක් තිබෙනවා.
සාපේක්ෂව ඉහළ ස්ථිර පිරිවැයක් හා අඩු විචල්‍ය පිරිවැයක් ඇති නිෂ්පාදන කාර්යයකදී වෙළඳපොළ පරිමාව විසින් එයට ඔරොත්තු දිය හැකි ප්‍රසස්ථ නිෂ්පාදකයින් ප්‍රමාණය තීරණය කෙරෙනවා. ඒ ප්‍රමාණය ඊට වඩා වැඩි වුවහොත්, කිසිවෙකුට තමන් විසින් සිදු කරන ආයෝජනයට හා ගන්නා අවදානමට සරිලන ලාබයක් ලැබිය නොහැකි වෙනවා. මෙවැනි වෙළඳපොළකට අලුත් නිෂ්පාදකයින් එකතු වෙන්නේ වෙළඳපොළ පරිමාව ප්‍රසාරණය වීමට සාපේක්ෂවයි.
ලංකාවේ පොත් ප්‍රකාශනයෙහි යෙදෙන්නේ සමාගම් සීමිත ගණනක්. ඒ කියන්නේ ලංකාවේ පොත් ප්‍රකාශනය කතිපයාධිකාරී වෙළඳපොළක්. නමුත්, මෙය ස්වභාවික තත්ත්වයක් මිස කෘතීම තත්ත්වයක් හෝ නිවැරදි කළ යුතු දෙයක් කියා මා හිතන්නේ නැහැ.
ලංකාවේ මුද්‍රිත පොත් සඳහා තිබෙන වෙළඳපොළ තවමත් ක්‍රමයෙන් ප්‍රසාරණය වෙනවා කියන එක මගේ අදහසයි. එයට හේතු තිබෙනවා. වෙළඳපොළ ප්‍රසාරණය වීමට සාපේක්ෂව අලුත් පොත් ප්‍රකාශකයින් බිහි වන බව වගේම, වඩා කාර්යක්ෂම පොත් ප්‍රකාශකයින් මතු වී අකාර්යක්ෂම පොත් ප්‍රකාශකයින් වෙළෙඳපොළෙන් විසිවන බවත් පෙනෙන්නට තිබෙනවා.
මේ යුගය විද්‍යුත් මාධ්‍ය වල යුගය මිස මුද්‍රිත ප්‍රකාශන වල යුගය නෙමෙයි. කලක් ජනප්‍රියව තිබූ මුද්‍රිත පුවත්පත් වගේම මුද්‍රිත පොතුත් ඉවත් කරමින් විද්‍යුත් මාධ්‍ය ප්‍රකාශන ආදේශ වීම ලොව පුරාම දැකිය හැකි ප්‍රවණතාවක්. එසේ තිබියදීත්, ලංකාවේ මුද්‍රිත පොත් සඳහා වන වෙළඳපොළ ප්‍රසාරණය වීමට ප්‍රධානම හේතුව ලංකාවේ ආදායම් මට්ටම් ක්‍රමයෙන් ඉහළ යාමයි.
රටක ආදායම් මට්ටම අඩු ආදායම් මට්ටමේ සිට පහළ මැදි ආදායම් මට්ටම දක්වා ඉහළ යාම බොහෝ විට පිළිබිඹු වන්නේ ආහාර, ඇඳුම් පැළඳුම් වැනි මූලික අවශ්‍යතා මිල දී ගැනීමට ඇති ඉල්ලුම වැඩි වීමෙන්. එහෙත්, රටක් පහළ මැදි ආදායම් මට්ටමේ සිට ඉහළ මැදි ආදායම් මට්ටම දක්වා එසැවෙන විට රටේ බොහෝ දෙනෙක් මේ මූලික අවශ්‍යතා සපුරා ගත හැකි මට්ටම ඉක්මවා ගොස් සිටින නිසා පොත් පත් වැනි ද්වීතියික අවශ්‍යතා වෙනුවෙන් මුදල් වැය කිරීම ඉහළ ගොස් ඒවාට ඉල්ලුම වැඩි වෙනවා. ලංකාව දැන් ඉන්නේ මෙවැනි අදියරකයි.
අනෙක් අතට විද්‍යුත් මාධ්‍ය නිසා මුද්‍රිත පොත් ප්‍රවර්ධනය වීමකුත් යම් තරමකින් හෝ සිදු වෙනවා. ටික දවසකට කලින් අජිත් ධර්මා විසින් පොතක් එළියට දැම්මා. මේ විදිහට පොතක් විදිහට පළ කෙරුණේ ඔහු තමන්ගේ බ්ලොග් එකේ කොටස් වශයෙන් පළ කළ කතාවක්. මීට පෙරත් ඔහු බ්ලොග් එකේ පළ වූ ඔහුගේ ලිපි එකතුවක් පොතක් විදිහට පළ කළා. මීට කලින් රසික සූරියාරච්චි, තිලකසිත ලියන තිලකසිරි ඒකනායක වගේ අයත් මේ වැඩේම කළා. මෙතැනදී වුනේ විද්‍යුත් මාධ්‍ය නිසා මේ අයට පාඨකයින් පිරිසක් හදා ගන්න පුළුවන් වීම හා ඒ මත පොතක් මුද්‍රණය කර එළියට දැමිය හැකි වෙළඳපොළක් බිහි වීමයි. අජිත් ධර්මාගේ බ්ලොග් එක නොවන්නට ඔහුගේ පොත් පළ නොවන්නට ඉඩ තිබුණා.
වෙළඳපොල ප්‍රසාරණය වන තරමට පොත් ප්‍රකාශකයින් ගණන වැඩිවීමත්, පොතක මිල පහළ යෑමත් සිදු වෙනවා. විකිණෙන පිටපත් ප්‍රමාණය වැඩි වන තරමට පොතක් මුද්‍රණය කිරීමේ ස්ථිර පිරිවැය වැඩි දෙනෙකු අතර බෙදී යාම හා පළ වන පොත් ප්‍රමාණය වැඩි වන තරමට පොත් ප්‍රකාශකයෙකුගේ ස්ථිර පිරිවැය වැඩි පොත් ගණනක් අතර බෙදී යාම මීට හේතුවයි.
හොඳින් කල්පනා කර බැලුවොත් මේ ලිපිය කියවන ගොඩක් අය ළඟ නොකියවූ අලුත් පොත් එකක් හෝ කිහිපයක් තිබෙනවා. පොතක් මුදල් ගෙවා මිල දී ගෙන එය නොකියවනවා කියා කියන්නේ පොත වෙනුවෙන් ගෙවූ මිලට සාපේක්ෂව පොත කියවීම වෙනුවෙන් වෙන් කළ යුතු කාලයේ ආවස්ථික පිරිවැය වැඩියි කියන එකයි. සිසුන්, රැකියා විරහිත තරුණයින් හා විශ්‍රාමිකයින් හැරුණු විට ලංකාවේ බොහෝ දෙනෙකුගේ තත්ත්වය මෙයයි. පොත් ගන්න සල්ලි තිබෙනවා. කියවන්නත් ආසයි. ඒත් වෙලාව නැහැ.
කියවන්න වෙලාවක් නැති බව දැන දැනම පොත් මිල දී ගන්නා විශාල පිරිසක් සිටීමෙන් පෙනෙන්නේ ලංකාවේ පොත් මිල එතරම්ම වැඩි නැති බවයි. මා ළමා හා තරුණ වියේදී ලොකු පොත් ලෝලියෙකු වුවත්, ඒ කාලයේදී පවා මුදල් ගෙවා මිල දී ගෙන නොකියැවූ පොත් මගේ පොත් රාක්කයේ තිබුණා. සෝවියට් දේශය විසින් විශාල ලෙස සුබසාධනය කර කඩදාසි වල මිල තරමටවත් නොවටිනා ඉතා අඩු මිලකට විකිණූ කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය පොතේ වෙළුම් උදාහරණ සේ දැක්විය හැකියි. ඊට අමතරව මරදානේ පදික වේදිකාවෙන් ඉතා අඩු මිලකට මිලදී ගත් ඇතැම් පාවිච්චි කළ ඉංග්‍රීසි පොත්ද මා කියවා නැහැ.
විවිධ ශානර වලට අයත් මේ පොත් සියල්ල එකතු කළ හැකි පොදු සාධකය ඒවා මිල දී ගැනීම වෙනුවෙන් මා විසින් වැය කළ මිලයි. ඒ මිල ඉතා සුළු මිලක් නොවූවානම් මා මේ පොත් මිල දී ගන්නේ නැහැ. නමුත්, විකිණුනු මිල අනුව යම්හෙයකින් ඉඩක් ලැබුණොත් කියවන්න හිතාගෙන මෙවැනි පොතක් මිල දී ගැනීමට පෙළඹුමක් ඇති වුනා. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයෙන් පොත් මිල දී ගෙන නොකියවා ගොඩ ගසා ගෙන සිටින මධ්‍යම වයසේ මධ්‍යම පාන්තිකයින් බොහෝ දෙනෙක් කරන්නේත් මෙයයි.
ඉහත හේතුව මත ලංකාවේ පොත් මිල එතරම් වැඩි නැතැයි මා කිවුවත් මෙය සාධාරණ ප්‍රකාශයක් නෙමෙයි. පොත් කියවන්න ඕනෑ තරම් වෙලාව තිබෙන සිසුන්, රැකියා විරහිත තරුණයින් හා විශ්‍රාමිකයින් වැනි බොහෝ දෙනෙකුට පොත් වෙනුවෙන් වැය කළ හැකි තරමේ ආදායමක් නැහැ. ඔවුන්ට සාපේක්ෂව බැලුවොත් පොත් වල මිල තවමත් වැඩියි. නමුත්, රජය මැදිහත් වී පොත් වෙළඳපොළ සුබසාධනය කිරීම වැනි සමාජවාදී පන්නයේ මැදිහත්වීම් මෙයට විසඳුමක් නොවන්නේ එමඟින් අනවශ්‍ය අය අතේ පොත් ගොඩ ගැසීම තව දුරටත් ධෛර්යමත් වන නිසයි.
මේ අසමතුලිතතාව සමනය කළ හැකි ධනවාදී විසඳුමක් ගැන ඉදිරි ලිපියක කතා කරමු.
Labels:
ආර්ථික විද්‍යාව,
පොත්,
සාහිත්‍යය
Sunday, September 8, 2019
සාක්ෂරතා දිනය හා සාහිත්‍ය මාසය
අද (සැප්තැම්බර් 8) ජාත්‍යන්තර සාක්ෂරතා දිනයයි. 1966 ඔක්තෝබර් 26 වන දින පැවැත්වුණු යුනෙස්කෝ සංවිධානයේ 14 වන මහා සභා සැසි වාරයේදී මේ දිනය ජාත්‍යන්තර සාක්ෂරතා දිනය ලෙස නම් කොට ඊළඟ වසරේ සිට එදිනට ලොව පුරා විවිධ වැඩසටහන් සංවිධානය කරනු ලැබීමට යෝජනා සම්මත කර ගනු ලැබුවා.
ජාත්‍යන්තර සාක්ෂරතා දිනය යෙදෙන සැප්තැම්බර් මාසය ලංකාවේ ජාතික සාහිත්‍ය මාසය ලෙසත්, ඇමරිකාවේ ජාතික සාක්ෂරතා මාසය ලෙසත් හැඳින්වෙනවා. මේ මාසයේ ආරම්භය සනිටුහන් කරමින් ඇමරිකාවේ කොන්ග්‍රස් පුස්තකාලය මඟින් 2001 වසරේ සිට වාර්ෂිකව පවත්වන ජාතික පොත් සැණකෙළිය මෙවරද පැවැත්වුනා.
නමුත්, මේ සැණකෙළිය හෝ ජාත්‍යන්තර සාක්ෂරතා මාස සැමරුම් කටයුතු ඇමරිකාවේදී ලංකාවේ තරම්ම උත්කර්ෂවත් ලෙසින් පැවැත්වෙනවා කියා කියන්න බැහැ. 1999 සිට වාර්ෂිකව පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඊට වඩා දෙවසරකින් පැරණියි වගේම ඊට වඩා ගොඩක් සාර්ථක බවත් කිව හැකියි. ඇමරිකාවේ පොත් සැණකෙළිය ලාභ ලැබීම අරමුණ කර නොගත් රාජ්‍ය ආයතනයක් විසින් පවත්වන්නක් වීමත්, ලංකාවේ පොත් ප්‍රදර්ශනය පෞද්ගලික ව්‍යවසායකයින් විසින් සංවිධානය කරන ලාභ අරමුණු කරගත් කටයුත්තක් වීමත් මේ වෙනසට හේතුව බව පෙනෙනවා.
ලංකාවේ මේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇරඹුණු කාලය මට ඉතා හොඳින් මතකයි. මුල් වසර වලදී මා දිගටම මේ පොත් ප්‍රදර්ශනයට සහභාගී වුනා වගේම පොත් සැලකිය යුතු ප්‍රමාණයක් මිල දී ගත්තා. ඒ කාලය මගේ ආදායමෙන් සෑහෙන කොටසක් පොත් වෙනුවෙන් වැය කළ කාලයක්.
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයෙන් පොත් මිල දී ගැනීමෙන් ලැබුණු වාසි රැසක් තිබුණා. ඒ අතර වූ ප්‍රධාන වාසිය එහිදී ලැබුණු වට්ටම් නෙමෙයි. ලංකාවේ පොත් ප්‍රකාශකයින් විසින් සාහිත්‍ය මාසය තුළ අඩු මිලට පොත් විකිණීම ආරම්භ වුණේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සංවිධානය කරනු ලැබීමෙන් පසුව නෙමෙයි. ඒ වට්ටම් ඊට පෙරත් තිබුණා. අවම වශයෙන් අසූව දශකයේ මුල් කාලයේ සිට ලංකාවේ ප්‍රධාන පොත් ප්‍රකාශකයින් විසින් සාහිත්‍ය මාසය පුරා වට්ටම් මිලකට පොත් විකිණුවා. හරියටම මතක නැතත්, හැත්තෑව දශකයේදීත් සැප්තැම්බර් මාසයේදී මේ අයුරින් වට්ටම් දීම සිදු වුනා කියා මා හිතනවා.
ඒ දවස් වල ලංකාවේ පොත් ප්‍රකාශකයින් අතර ඉදිරියෙන්ම සිටියේ ගුණසේන සමාගමයි. එම සමාගමට රට පුරා ව්‍යාප්ත වූ පුළුල් ශාඛා ජාලයක්ද තිබුණා. දෙවැනි තැන හිටියේ ගොඩගේ සමාගම වෙන්න ඇති. දයාවංශ ජයකොඩි සමාගම, මොඩන් පොත් ප්‍රකාශකයෝ වගේ අයත් පොත් ගැහුවා. අනූව දශකයේදී වේගයෙන් ඉදිරියට ආ සරසවි සමාගම ඒ කාලය වෙද්දී ලොකුවට මතු වී තිබුණු එකක් නෙමෙයි.
සාහිත්‍ය මාසයේදී අඩු මිලට පොත් ගන්න ගුණසේන සමාගමට එන එක මා පටන් ගත්තේ වැඩිහිටියෙකු සමඟ මිස තනිව නිවසින් බැහැර යා නොහැකි තරම් කුඩා කාලයේදීයි. මේ කටයුත්ත මගේ පියා වගේම මවගේ පියා විසිනුත් කළ දෙයක්. ඉන් පසුව, තනිව පොත් හලකට යා හැකි වයසකට පැමිණ අතට මුදලක්ද ලැබුණු කාලයේ සිට දිගටම මා මේ පොත් මිල දී ගැනීම කළා.
මේ ආකාරයට කොළඹදීනම් බොහෝ විට ගියේ ගුණසේන එකටයි. ඒ දවස් වල කොළඹ කියා හොඳින් දැන සිටියේ පිටකොටුව පමණයි. වෙන කොහේ හරි යන්න අවශ්‍ය වුනත් කළේ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළට ඇවිත් ආපහු යන එකයි. නුගේගොඩ ඉඳලා නාරාහේන්පිට වගේ තැනකට යන්න පිටකොටුවට යන්න අවශ්‍ය නැති බව දැන ගන්න කොළඹ අවට ජීවත් නොවූ අයෙකුට කාලයක් යනවා.
ගුණසේන එකේ තිබුණු වාසිය එම පොත්හළ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළට ඉතා කිට්ටුවෙන් තිබීමයි. අපේ ප්‍රාදේශීය නගරයේත් ගුණසේන ශාඛාවක් තිබුණත්, එහිත් කොළඹදී ලැබෙන වට්ටම්ම ලැබුණත්, කොළඹදී මෙන් විශාල පොත් තොග එහිදී දැකිය හැකි වුනේ නැහැ. කොළඹ පැමිණි විට අතේ ඇති මුදලට වැඩි තේරීමක් තිබුණා.
ඒ දවස්වලත් සාහිත්‍ය මාසයේදී ගුණසේන එකේ හැම පොතකටම දැන් ලැබෙන 20% වට්ටම ලැබුණා. ඇතැම් පොත් වලට 50%, 75% වැනි වට්ටම්ද ලැබුණා. ඒ විකුණාගත නොහැකිව ඉතිරිව තිබූ දශකයකට හෝ දෙකකට පෙර මුද්‍රණය කළ පොත්. දිලිසෙන කවර තිබුණු පොත් නෙමෙයි. ඒ පොත් වල සාමාන්‍ය මිල සේ සටහන්ව තිබුණේද බොහෝ අඩු මිලක් නිසා වට්ටම් ලැබුණු පසුව මේ පොත් අලෙවි වුනේ හොඳටම අඩු මිලකටයි. ගුණසේන සමාගම වැනි පොත් සමාගම් සාහිත්‍ය මාසය යොදාගත්තේ විකිණෙන පොත් වැඩියෙන් අලෙවි කර ගන්න වගේම නොවිකිණෙන පොත් කීයකට හෝ විකුණා නිදහස් වීමේත් අරමුණිනුයි.
ගුණසේන සමාගම වගේම අනෙක් පොත් ප්‍රකාශකයනුත් සාහිත්‍ය මාසයට වට්ටම් දෙන එක කළා. එම සමාගම් තිබෙන තැන් වලට යා හැකි ආකාරය හොයා ගැනීමෙන් පසුව මම ගුණසේන එකට අමරතව ඒ තැන් වලටත් ගියා. එහෙත්, ප්‍රශ්නය වුනේ ගුණසේන එකට මුලින්ම යාමෙන් පසුව බොහෝ විට අතේ වූ මුදල් අවසන් වීමයි.
කොළඹ ජාත්‍යන්තර ප්‍රදර්ශනය ආරම්භ කරනු ලැබීමෙන් පසුව ලැබුණු ප්‍රධානම වාසිය වුනේ මේ ප්‍රධාන පොත්හල් සියල්ලේම තිබෙන පොත් සසඳා බලා අතේ ඇති මුදලට හොඳම තේරීමක් කළ හැකි වීමයි. ඒ හැර, ලැබුණු වට්ටම් වල අමුතු වාසියක් තිබුණේ නැහැ. ඒ වගේම, ඉතාම අඩු මිලකට විකිනුණු "නොවිකිණෙන පොත්" කොළඹ පොත් ප්‍රදර්ශනයේදී දකින්න ලැබුනේත් නැහැ.
මම හිතන විදිහට මුල් අවුරුදු වලනම් කොළඹ පොත් ප්‍රදර්ශනයට සහභාගී වුනේ ඇත්තටම පොත් මිල දී ගන්න අවශ්‍ය අය මිස සෙල්ෆි ගහන්න හෝ යාලුවෝ හමු වෙන්න අවශ්‍ය අය නෙමෙයි. සෙල්ෆි ගැහිල්ලක් හෝ ෆේස්බුක් ඒ කාලයේ තිබුණෙත් නැහැ. කොහොම වුනත්, අවශ්‍ය කෙනෙක් එවැනි වෙනත් අරමුණකින් කොළඹ පොත් ප්‍රදර්ශනයට සහභාගී වෙනවානම් එහි ඇති වැරැද්දකුත් නැහැ.
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පොත් ප්‍රකාශකයින්ගේ පැත්තෙන් වගේම පාරිභෝගිකයන්ගේ පැත්තෙනුත් හොඳ දෙයක් කියලයි මම හිතන්නේ. පොත් ප්‍රකාශකයින්ගේ සංගමය හරහා ප්‍රකාශකයින් විසින් ඒකාධිකාරයක් (කතිපයාධිකාරයක්) ඇති කර ගෙන තිබීමේ අවුලක් තිබුණත්, එය පොත් ප්‍රදර්ශනය නිසා ඇති වී තිබෙන දෙයක් නෙමෙයි. පාරිභෝගිකයන්ගේ පැත්තෙන් බැලුවොත් මෙහි තිබෙන වාසිය වට්ටම් නෙමෙයි. පොත් ප්‍රදර්ශනය නැතත් ඔය වට්ටම් වෙන කවර හෝ ආකාරයකින් ලැබෙනවා. පාරිභෝගිකයින්ට ලැබෙන වාසිය තමන්ගේ අතේ තිබෙන මුදලට පොතක් මිල දී ගන්න පෙර වැඩි විකල්ප ගණනාවක් පහසුවෙන් සසඳා බැලිය හැකි වීමයි. පොත් ප්‍රකාශකයින්ට වැඩි අලෙවියේ වාසිය ලැබෙනවා.
දෙපැත්තටම වාසි තිබෙන නිසා, කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඉදිරි වසර කිහිපයේදීත් ඔය විදිහටම පැවැත්වෙයි කියා හිතන්න පුළුවන්. නමුත්, අන්තර්ජාල වෙළඳාම් ක්‍රමයෙන් ප්‍රචලිත වන විට පාරිභෝගිකයින් විසින් පොත් ප්‍රදර්ශනයේදී කරන විකල්ප සසඳා බැලීම ගෙදර සිටම කළ හැකි වන නිසා කොළඹ පොත් ප්‍රදර්ශනයෙන් පාරිභෝගිකයින්ට හා පොත් වෙළෙන්දන්ට වාසි සැපයෙන ව්‍යාපාරික වාතාවරණය කාලයත් සමඟ නැති වී යා හැකියි.
Sunday, August 25, 2019
දත්ත මත පදනම් වූ ආර්ථික ගමනක්!
"සත්‍ය තොරතුරු, සත්‍ය දත්ත මත අපි අපේ ඉදිරි ගමන ක්‍රියාත්මක කරන්න ඕනෑ. විශේෂයෙන්ම දත්ත මත පදනම් වූ, දැනුම මත පදනම් වූ ආර්ථික ගමනක්, සමාජීය ගමනක්, ජාතික ගමනක් අපි ක්‍රියාත්මක කරන්න ඕනෑ."
මේ කතා කරන්නේ සජිත් ප්‍රේමදාස. ඔහුට තවමත් නිල වශයෙන් එජාපයේ ජනාධිපති අපේක්ෂකත්වය හිමි වී නැහැ. එය ඔහුට හිමි වේදැයි අප දන්නේ නැහැ. ඔහුට අපේක්ෂකත්වය ලැබුණත්, එතැනින් එහාට කොයි තරම් දුරක් ඔහුට යන්න හැකි වේදැයි අපි දන්නේ නැහැ. කොහොම වුනත්, අවස්ථාවක් ලැබුනොත් ඔහු යන්න හිතාගෙන ඉන්න ගමන ගැනයි මෙහි ඔහු කියන්නේ. ඔහු
මෙහි කියන සත්‍ය තොරතුරු හා සත්‍ය දත්ත මොනවාද කියා ඔහු කියන්නේ නැහැ. එහෙත් මෙහි සත්‍ය කියන විශේෂණය යෙදීමෙන් ඔහු පෙන්වන්න හදන්නේ බොරු තොරතුරු හා බොරු දත්ත මත ඔහුගේ ඉදිරි ගමන ක්‍රියාත්මක නොකරන බව වෙන්න පුළුවන්. එහෙත්, බොරු තොරතුරු හා බොරු දත්ත වලින් සත්‍ය තොරතුරු හා සත්‍ය දත්ත වෙන් කර ගන්නා ආකාරය ගැන ඔහු කිසිවක් කියා නැහැ.
සජිත් විසින් මේ කතාව කළ රැළිය සංවිධානය කර තිබුණේ මංගල සමරවීර විසිනුයි. මංගල සමරවීර දැනටත් ලංකාවේ මුදල් ඇමති. ලංකාවේ රජයේ අයවැය හදන්නේ කවුරු වුනත්, එය පාර්ලිමේන්තුවේ කියවන්නේ මුදල් ඇමති විසින්. ඒ නිසා, සජිත්ගේ රැළියේදී මුදල් ඇමති මංගල විසින් ඉදිරිපත් කළ තොරතුරු හා දත්ත වලට අපේ අවධානය යොමු විය යුතුයි.
හැත්තෑ හත දක්වාම ලංකාවේ ආණ්ඩු මාරු වලට නිකම් ලැබෙන ආහාර සලාකය හා බඩු මිල බලපෑවා. සිරිමාවෝ බණ්ඩාරනායකගේ හඳෙන් හාල් වලට වගේම ජේආර්ගේ ඇට අටටත් අදාළ මැතිවරණ වලදී ඡන්ද වැටුනා. ජේආර් විසින් නැති කළ හාල්පොත නැවත ලබාදීම අසූ දෙකේ ජනාධිපතිවරණයේදී හෙක්ටර් කොබ්බෑකඩුව කඳවුරේ ප්‍රධාන ඡන්ද පොරොන්දුවක් වුනා. එහෙත්, අසූ දෙකේදී හෙක්ටර් කොබ්බෑකඩුවට හාල්පොත පෙන්නා ඡන්ද ගන්න බැරිවුනා.
හැත්තෑ හතෙන් පස්සේ ලංකාවේ බඩු මිල සෘජුව රජය මඟින් පාලනය කළ ක්‍රමය වෙනස් වුනා. ඉන් පසු, අද වන තුරුම බොහෝ පාරිභෝගික භාණ්ඩ වල මිල තීරණය කෙරෙන්නේ විවෘත වෙළඳපොළේ ඉල්ලුම හා සැපයුම මතයි. ඒ වෙනසින් පසුව, ලංකාවේ මැතිවරණ වලදී නිකම් ලැබෙන හාල් හෝ හාල් සේරුවක මිල වැනි නිර්ණායක වලට ලැබුණේ අඩු වැදගත්කමක්.
රණසිංහ ප්‍රේමදාස මැතිවරණයට ඉදිරිපත් වෙමින් ප්‍රකාශ කළේ නැති බැරි අය ඇති හැකි අය කරන බවයි. මෙය එතෙක් කල් සමාජවාදීන් විසින් පට්ට ගැසූ ධනපතියන් භංග කිරීමේ විකල්පයට වඩා බොහෝ ඉදිරිගාමී අදහසක්. අද වන විට ලංකාවේ ජන බලයක් සහිත සියලුම දේශපාලන පක්ෂ පෙනී සිටින්නේ රටේ මිනිස්සුන්ට ජීවත්වීමට අවශ්‍ය මූලික දේ මිල දී ගත හැකි තරම් ආදායමක් ඉපැයීමට අවස්ථා සැපයෙන ක්‍රමයක් වෙනුවෙන් මිස, දැනට ලබන ආදායමට මිල දී ගත හැකි තරම් අඩු මට්ටමකට භාණ්ඩ මිල සීමා කරන ක්‍රමයක් වෙනුවෙන් නෙමෙයි. මිල පාලනය බොහෝ යල් පැන ගිය අදහසක්.
සෘජු මිල පාලනය යල් පැනගිය අදහසක් වුවත් ලෝකයේ හැම ආණ්ඩුවක්ම වක්‍ර ලෙස භාණ්ඩ හා සේවා මිල පාලනය කරනවා. මෙය කරන්නේ රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති හා මුදල් ප්‍රතිපත්ති උපයෝගී කර ගනිමිනුයි. ඒ නිසා, ලංකාවේ හෝ වෙනත් රටක කිසියම් භාණ්ඩයක මිල මුළුමනින්ම වෙළඳපොළ සාධක මත පමණක් නිර්ණය වනවා කියා කියන්න බැහැ.
මාතර රැළියේදී මංගල සමරවීර විසින් යහපාලන ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව ලංකාවේ ප්‍රධාන ආහාර ද්‍රව්‍ය ගණනාවක හා ඉන්ධන වල මිල වෙනස් වූ ආකාරය දත්ත ඉදිරිපත් කරමින් පෙන්නා දෙනවා. දත්ත වල මූලාශ්‍රය පිළිබඳවනම් සඳහනක් නැහැ. ඔහු පෙන්වන ආකාරයට මේ හැම භාණ්ඩයකම වාගේ මිල ගණන් යහපාලන ආණ්ඩුව පැවති කාලය තුළ අඩු වී තිබෙනවා. සීනි වල පමණක් එදා මිල ගැන මිස අද මිල ගැන ඔහු කතා කරන්නේ නැහැ. සමහර විට ඔහු සතු දත්ත අනුව සීනි මිල වැඩි වී තිබෙන නිසා ඔහු එය හිතාමතා මගහැරියා වෙන්න පුළුවන්.
මංගලගේ ලැයිස්තුවේ තිබෙන ආහාර ද්‍රව්‍ය සියල්ලේම වාගේ සාමාන්‍ය මිල ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් ලබාගත හැකියි. ඔවුන් සාමාන්‍යයෙන් එක කඩයකින් මිල ගණන් ලබා ගන්නේ නැහැ. දිවයින පුරා පිහිටි වෙළඳසැල් ගණනාවකින් මිල ගණන් ලබාගෙන සාමාන්‍ය අගයකුයි ඔවුන් ප්‍රකාශයට පත් කරන්නේ. ඒ වගේම, සෑම සතියකම එකම තත්ත්වයේ භාණ්ඩ වල මිල ගණන් ලබා ගැනීමටත් ඔවුන් සැලකිලිමත් වෙනවා. මේ සතියේ ලොකු පොල් ගෙඩියක මිලත්, ලබන සතියේ ඊට වඩා පොඩි පොල් ගෙඩියක මිලත් ගන්නේ නැහැ. ඒ නිසා, ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ මිල දත්ත වඩා නිවැරදියි. ඉන්ධන වර්ග වල මිල ගණන් තෙල් සංස්ථාවේ වෙබ් අඩවියෙන් ලබාගත හැකියි. පහත තිබෙන්නේ මංගලගේ ලැයිස්තුවේ තිබෙන පාරිභෝගික භාණ්ඩ වල (ගෑස් වල හැර) 2015 ජනවාරි පළමු සතියේදී හා 2019 අගෝස්තු දෙවන සතියේදී මිල ගණන් පිළිබඳ නිල සංඛ්‍යාලේඛනයි.
මංගලගේ තොරතුරු නිල සංඛ්‍යාලේඛන තරමටම "සත්‍ය තොරතුරු, සත්‍ය දත්ත" බව පෙනෙන්නේ නැතත්, පොදු වශයෙන් බැලූ විට මේ ලැයිස්තුවේ තිබෙන බොහෝ පාරිභෝගික භාණ්ඩ වල මිල පසුගිය කාලය තුළ අඩු වී තිබෙන බව හෝ ලොකුවට වැඩි වී නැති බව පෙනෙනවා. එසේ වුවත්, මෙවැනි තෝරාගත් භාණ්ඩ කිහිපයක මිල අඩු වීමට හේතුව රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තිය බව කියන්න බැහැ. කිසියම් නිශ්චිත භාණ්ඩයක මිලට සැපයුම් සාධක වලින් විශාල බලපෑමක් සිදුවිය හැකියි. උදාහරණයක් විදිහට වී අස්වනු හොඳ වන විට හාල් මිල අඩු වෙන්නේ ආණ්ඩුව විසින් කරන දෙයක් නිසා නෙමෙයි. ඒ නිසා, රටේ භාණ්ඩ මිල විචලනය වීම ගැන පොදුවේ බලන විට භාණ්ඩ හා සේවා රැසක් අඩංගු පැසක මිල වෙනස් වූ ආකාරය විමසා බලන්න වෙනවා. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් එය කරනවා.
පහත තිබෙන්නේ පවුලක සාමාන්‍ය වියදම් මත පදනම්ව, ජාතික පාරිභෝගික මිල දර්ශනය පිළියෙළ කිරීමේදී උපයෝගී කරගන්නා දත්ත අනුසාරයෙන් කළ එවැනි සංසන්දනයක්.
යහපාලන ආණ්ඩුව පැවති කාලයේ පොදු වශයෙන් බැලූ විට කිසිදු කාණ්ඩයක භාණ්ඩ හා සේවා මිල අඩු වී නැහැ. මංගල විසින් තෝරා ගෙන තිබෙන ආහාර හා ඉන්ධන කියන්නේ අඩුවෙන්ම මිල වැඩි වී ඇති කාණ්ඩ තුනෙන් දෙකක්. එහෙත්, එම කාණ්ඩ වලත් මිල පොදු වශයෙන් ගත් විට වැඩි වී තිබෙනවා. ඔහු විසින් තෝරා ගෙන ඇත්තේ එම කාණ්ඩ වලට අයත් මිල අඩු වී ඇති අයිතමයන් කිහිපයකුයි.
කොහොම වුනත්, රටක භාණ්ඩ හා සේවා සියල්ලකම මිල දිගින් දිගටම අඩු වෙනවානම් එය හොඳ තත්ත්වයක් නොවන බව සජිත්ගේ රැළියට සහභාගී වී සිටින මිනිස්සු හා ලන්ඩන් ස්කූල් ඔෆ් එකොනොමික්ස් උපාධිධාරියෙකු වන සජිත් කෙසේ වුවත් වේදිකාවේ සිටින හර්ෂ වැනි අය දැන නොසිටින්න හේතුවක් නැහැ. හාල් මිල පහළ යාම පාරිභෝගිකයින්ට සතුටට කරුණක් වුවත්, වී ගොවියන්ට සතුටු විය හැකි කරුණක් නෙමෙයි. රතු පරිප්පු ලංකාවේ වවන්නේ නැති වුනත්, ආනයනික රතු පරිප්පු මිල පහළ යන විට ලංකාවේ වවන මුං ඇට කවුපී ආදියේ මිලත් පහළ යනවා.
පසුගිය සිවු වසර තුළ ලංකාවේ බඩු මිල පහළ ගොස් නැතත් විශාල ලෙස වැඩි වී නැහැ. පොදුවේ රටක මිල මට්ටම තීරණය වෙන්නේ රටේ සමස්ත ඉල්ලුම හා සමස්ත සැපයුම මතයි. රටේ ආර්ථික වර්ධනය එහි විභව මට්ටමට වඩා අඩු වූ විට මිල මට්ටම පහත වැටෙනවා. එය සිදුවෙන්නේ මිනිස්සුන්ගේ අතේ සල්ලි නැති නිසා ඉල්ලුම පහත වැටීමෙනුයි. පසුගිය වසර හතර ඇතුළත ලංකාවේ ආර්ථිකය වර්ධනය වුණේ සාමාන්‍ය මට්ටමට වඩා අඩු වේගයකින්. එහි ප්‍රතිඵලයක් ලෙස මිල මට්ටම පහත වැටීම ආණ්ඩුවකට ආඩම්බර විය හැකි කරුණක් නෙමෙයි.
ආර්ථික වර්ධනය විභව මට්ටමට වඩා පහත වැටීම අයහපත් දෙයක් වන්නේ එය රටේ විරැකියාව ඉහළ දැමීමට හේතු වන නිසයි. ආර්ථික වර්ධනය අඩු වන වකවානු වලදී රාජ්‍ය මූල්‍ය හා මුදල් ප්‍රතිපත්ති උපයෝගී කරගනිමින් ආර්ථිකයට මුදල් පොම්ප කර සමස්ත ඉල්ලුම ඉහළ දැමීම බොහෝ රටවල ආර්ථික ප්‍රතිපත්තිය වන්නේ ඒ නිසයි. නමුත්, ලංකාවේ රජය දැනටමත් දරා සිටින විශාල ණය බර නිසා විරැකියාව අඩු කරමින් ආර්ථිකය පුම්බනවාට වඩා ණය බර අඩු කර ගැනීමට ප්‍රමුඛතාවය දීමට ලංකාවේ රජයට සිදු වී තිබෙනවා. මා එහි වරදක් දකින්නේ නැහැ.
රටේ ආර්ථික වර්ධන වේගය සාමාන්‍ය මට්ටමට වඩා අඩු වුණාම එක්කෝ ණය අරගෙන, එහෙමත් නැත්නම් සල්ලි අච්චු ගසා ආර්ථිකය පුම්බන්න වෙනවා. එසේ නොකළොත් එක පැත්තකින් මිල මට්ටම පහත වැටෙද්දී අනෙක් පැත්තෙන් විරැකියාව ඉහළ යනවා. නමුත්, මංගල සමරවීර කියන ආකාරයටනම් පසුගිය කාලයේදී අලුතින් රැකීරක්ෂා ලක්ෂයකට වඩා ඇති වී තිබෙනවා.
මංගල සමරවීර මෙසේ කිවුවත් රැකියා නියුක්තිය පිළිබඳව ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ දත්ත අනුවනම් 2015 පළමු කාර්තුවේ සිට 2019 පළමු කාර්තුව දක්වා කාලය තුළ සිදු වී තිබෙන්නේ ලංකාවේ රැකියාවක නියුතු ජනගහණය 8,502,270 සිට 8,182,970 දක්වා 319,300කින් අඩු වීමයි. එහෙත්, මේ කාලය තුළ පෞද්ගලික අංශයේ රැකියා නියුක්තිය 71,760 කින් ඉහළ ගොස් ඇති බවද කිව යුතුයි. රජය ප්‍රසාරණය කරමින් රැකියා සැපයීමට යහපාලන රජය කටයුතු නොකිරීම අගය කරනවා මිස අප එහි වරදක් නොදකින බවද කිව යුතුයි.
මේ කතා කරන්නේ සජිත් ප්‍රේමදාස. ඔහුට තවමත් නිල වශයෙන් එජාපයේ ජනාධිපති අපේක්ෂකත්වය හිමි වී නැහැ. එය ඔහුට හිමි වේදැයි අප දන්නේ නැහැ. ඔහුට අපේක්ෂකත්වය ලැබුණත්, එතැනින් එහාට කොයි තරම් දුරක් ඔහුට යන්න හැකි වේදැයි අපි දන්නේ නැහැ. කොහොම වුනත්, අවස්ථාවක් ලැබුනොත් ඔහු යන්න හිතාගෙන ඉන්න ගමන ගැනයි මෙහි ඔහු කියන්නේ. ඔහු
මෙහි කියන සත්‍ය තොරතුරු හා සත්‍ය දත්ත මොනවාද කියා ඔහු කියන්නේ නැහැ. එහෙත් මෙහි සත්‍ය කියන විශේෂණය යෙදීමෙන් ඔහු පෙන්වන්න හදන්නේ බොරු තොරතුරු හා බොරු දත්ත මත ඔහුගේ ඉදිරි ගමන ක්‍රියාත්මක නොකරන බව වෙන්න පුළුවන්. එහෙත්, බොරු තොරතුරු හා බොරු දත්ත වලින් සත්‍ය තොරතුරු හා සත්‍ය දත්ත වෙන් කර ගන්නා ආකාරය ගැන ඔහු කිසිවක් කියා නැහැ.
සජිත් විසින් මේ කතාව කළ රැළිය සංවිධානය කර තිබුණේ මංගල සමරවීර විසිනුයි. මංගල සමරවීර දැනටත් ලංකාවේ මුදල් ඇමති. ලංකාවේ රජයේ අයවැය හදන්නේ කවුරු වුනත්, එය පාර්ලිමේන්තුවේ කියවන්නේ මුදල් ඇමති විසින්. ඒ නිසා, සජිත්ගේ රැළියේදී මුදල් ඇමති මංගල විසින් ඉදිරිපත් කළ තොරතුරු හා දත්ත වලට අපේ අවධානය යොමු විය යුතුයි.
හැත්තෑ හත දක්වාම ලංකාවේ ආණ්ඩු මාරු වලට නිකම් ලැබෙන ආහාර සලාකය හා බඩු මිල බලපෑවා. සිරිමාවෝ බණ්ඩාරනායකගේ හඳෙන් හාල් වලට වගේම ජේආර්ගේ ඇට අටටත් අදාළ මැතිවරණ වලදී ඡන්ද වැටුනා. ජේආර් විසින් නැති කළ හාල්පොත නැවත ලබාදීම අසූ දෙකේ ජනාධිපතිවරණයේදී හෙක්ටර් කොබ්බෑකඩුව කඳවුරේ ප්‍රධාන ඡන්ද පොරොන්දුවක් වුනා. එහෙත්, අසූ දෙකේදී හෙක්ටර් කොබ්බෑකඩුවට හාල්පොත පෙන්නා ඡන්ද ගන්න බැරිවුනා.
හැත්තෑ හතෙන් පස්සේ ලංකාවේ බඩු මිල සෘජුව රජය මඟින් පාලනය කළ ක්‍රමය වෙනස් වුනා. ඉන් පසු, අද වන තුරුම බොහෝ පාරිභෝගික භාණ්ඩ වල මිල තීරණය කෙරෙන්නේ විවෘත වෙළඳපොළේ ඉල්ලුම හා සැපයුම මතයි. ඒ වෙනසින් පසුව, ලංකාවේ මැතිවරණ වලදී නිකම් ලැබෙන හාල් හෝ හාල් සේරුවක මිල වැනි නිර්ණායක වලට ලැබුණේ අඩු වැදගත්කමක්.
රණසිංහ ප්‍රේමදාස මැතිවරණයට ඉදිරිපත් වෙමින් ප්‍රකාශ කළේ නැති බැරි අය ඇති හැකි අය කරන බවයි. මෙය එතෙක් කල් සමාජවාදීන් විසින් පට්ට ගැසූ ධනපතියන් භංග කිරීමේ විකල්පයට වඩා බොහෝ ඉදිරිගාමී අදහසක්. අද වන විට ලංකාවේ ජන බලයක් සහිත සියලුම දේශපාලන පක්ෂ පෙනී සිටින්නේ රටේ මිනිස්සුන්ට ජීවත්වීමට අවශ්‍ය මූලික දේ මිල දී ගත හැකි තරම් ආදායමක් ඉපැයීමට අවස්ථා සැපයෙන ක්‍රමයක් වෙනුවෙන් මිස, දැනට ලබන ආදායමට මිල දී ගත හැකි තරම් අඩු මට්ටමකට භාණ්ඩ මිල සීමා කරන ක්‍රමයක් වෙනුවෙන් නෙමෙයි. මිල පාලනය බොහෝ යල් පැන ගිය අදහසක්.
සෘජු මිල පාලනය යල් පැනගිය අදහසක් වුවත් ලෝකයේ හැම ආණ්ඩුවක්ම වක්‍ර ලෙස භාණ්ඩ හා සේවා මිල පාලනය කරනවා. මෙය කරන්නේ රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති හා මුදල් ප්‍රතිපත්ති උපයෝගී කර ගනිමිනුයි. ඒ නිසා, ලංකාවේ හෝ වෙනත් රටක කිසියම් භාණ්ඩයක මිල මුළුමනින්ම වෙළඳපොළ සාධක මත පමණක් නිර්ණය වනවා කියා කියන්න බැහැ.
මාතර රැළියේදී මංගල සමරවීර විසින් යහපාලන ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව ලංකාවේ ප්‍රධාන ආහාර ද්‍රව්‍ය ගණනාවක හා ඉන්ධන වල මිල වෙනස් වූ ආකාරය දත්ත ඉදිරිපත් කරමින් පෙන්නා දෙනවා. දත්ත වල මූලාශ්‍රය පිළිබඳවනම් සඳහනක් නැහැ. ඔහු පෙන්වන ආකාරයට මේ හැම භාණ්ඩයකම වාගේ මිල ගණන් යහපාලන ආණ්ඩුව පැවති කාලය තුළ අඩු වී තිබෙනවා. සීනි වල පමණක් එදා මිල ගැන මිස අද මිල ගැන ඔහු කතා කරන්නේ නැහැ. සමහර විට ඔහු සතු දත්ත අනුව සීනි මිල වැඩි වී තිබෙන නිසා ඔහු එය හිතාමතා මගහැරියා වෙන්න පුළුවන්.
මංගලගේ ලැයිස්තුවේ තිබෙන ආහාර ද්‍රව්‍ය සියල්ලේම වාගේ සාමාන්‍ය මිල ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් ලබාගත හැකියි. ඔවුන් සාමාන්‍යයෙන් එක කඩයකින් මිල ගණන් ලබා ගන්නේ නැහැ. දිවයින පුරා පිහිටි වෙළඳසැල් ගණනාවකින් මිල ගණන් ලබාගෙන සාමාන්‍ය අගයකුයි ඔවුන් ප්‍රකාශයට පත් කරන්නේ. ඒ වගේම, සෑම සතියකම එකම තත්ත්වයේ භාණ්ඩ වල මිල ගණන් ලබා ගැනීමටත් ඔවුන් සැලකිලිමත් වෙනවා. මේ සතියේ ලොකු පොල් ගෙඩියක මිලත්, ලබන සතියේ ඊට වඩා පොඩි පොල් ගෙඩියක මිලත් ගන්නේ නැහැ. ඒ නිසා, ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ මිල දත්ත වඩා නිවැරදියි. ඉන්ධන වර්ග වල මිල ගණන් තෙල් සංස්ථාවේ වෙබ් අඩවියෙන් ලබාගත හැකියි. පහත තිබෙන්නේ මංගලගේ ලැයිස්තුවේ තිබෙන පාරිභෝගික භාණ්ඩ වල (ගෑස් වල හැර) 2015 ජනවාරි පළමු සතියේදී හා 2019 අගෝස්තු දෙවන සතියේදී මිල ගණන් පිළිබඳ නිල සංඛ්‍යාලේඛනයි.
මංගලගේ තොරතුරු නිල සංඛ්‍යාලේඛන තරමටම "සත්‍ය තොරතුරු, සත්‍ය දත්ත" බව පෙනෙන්නේ නැතත්, පොදු වශයෙන් බැලූ විට මේ ලැයිස්තුවේ තිබෙන බොහෝ පාරිභෝගික භාණ්ඩ වල මිල පසුගිය කාලය තුළ අඩු වී තිබෙන බව හෝ ලොකුවට වැඩි වී නැති බව පෙනෙනවා. එසේ වුවත්, මෙවැනි තෝරාගත් භාණ්ඩ කිහිපයක මිල අඩු වීමට හේතුව රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තිය බව කියන්න බැහැ. කිසියම් නිශ්චිත භාණ්ඩයක මිලට සැපයුම් සාධක වලින් විශාල බලපෑමක් සිදුවිය හැකියි. උදාහරණයක් විදිහට වී අස්වනු හොඳ වන විට හාල් මිල අඩු වෙන්නේ ආණ්ඩුව විසින් කරන දෙයක් නිසා නෙමෙයි. ඒ නිසා, රටේ භාණ්ඩ මිල විචලනය වීම ගැන පොදුවේ බලන විට භාණ්ඩ හා සේවා රැසක් අඩංගු පැසක මිල වෙනස් වූ ආකාරය විමසා බලන්න වෙනවා. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් එය කරනවා.
පහත තිබෙන්නේ පවුලක සාමාන්‍ය වියදම් මත පදනම්ව, ජාතික පාරිභෝගික මිල දර්ශනය පිළියෙළ කිරීමේදී උපයෝගී කරගන්නා දත්ත අනුසාරයෙන් කළ එවැනි සංසන්දනයක්.
යහපාලන ආණ්ඩුව පැවති කාලයේ පොදු වශයෙන් බැලූ විට කිසිදු කාණ්ඩයක භාණ්ඩ හා සේවා මිල අඩු වී නැහැ. මංගල විසින් තෝරා ගෙන තිබෙන ආහාර හා ඉන්ධන කියන්නේ අඩුවෙන්ම මිල වැඩි වී ඇති කාණ්ඩ තුනෙන් දෙකක්. එහෙත්, එම කාණ්ඩ වලත් මිල පොදු වශයෙන් ගත් විට වැඩි වී තිබෙනවා. ඔහු විසින් තෝරා ගෙන ඇත්තේ එම කාණ්ඩ වලට අයත් මිල අඩු වී ඇති අයිතමයන් කිහිපයකුයි.
කොහොම වුනත්, රටක භාණ්ඩ හා සේවා සියල්ලකම මිල දිගින් දිගටම අඩු වෙනවානම් එය හොඳ තත්ත්වයක් නොවන බව සජිත්ගේ රැළියට සහභාගී වී සිටින මිනිස්සු හා ලන්ඩන් ස්කූල් ඔෆ් එකොනොමික්ස් උපාධිධාරියෙකු වන සජිත් කෙසේ වුවත් වේදිකාවේ සිටින හර්ෂ වැනි අය දැන නොසිටින්න හේතුවක් නැහැ. හාල් මිල පහළ යාම පාරිභෝගිකයින්ට සතුටට කරුණක් වුවත්, වී ගොවියන්ට සතුටු විය හැකි කරුණක් නෙමෙයි. රතු පරිප්පු ලංකාවේ වවන්නේ නැති වුනත්, ආනයනික රතු පරිප්පු මිල පහළ යන විට ලංකාවේ වවන මුං ඇට කවුපී ආදියේ මිලත් පහළ යනවා.
පසුගිය සිවු වසර තුළ ලංකාවේ බඩු මිල පහළ ගොස් නැතත් විශාල ලෙස වැඩි වී නැහැ. පොදුවේ රටක මිල මට්ටම තීරණය වෙන්නේ රටේ සමස්ත ඉල්ලුම හා සමස්ත සැපයුම මතයි. රටේ ආර්ථික වර්ධනය එහි විභව මට්ටමට වඩා අඩු වූ විට මිල මට්ටම පහත වැටෙනවා. එය සිදුවෙන්නේ මිනිස්සුන්ගේ අතේ සල්ලි නැති නිසා ඉල්ලුම පහත වැටීමෙනුයි. පසුගිය වසර හතර ඇතුළත ලංකාවේ ආර්ථිකය වර්ධනය වුණේ සාමාන්‍ය මට්ටමට වඩා අඩු වේගයකින්. එහි ප්‍රතිඵලයක් ලෙස මිල මට්ටම පහත වැටීම ආණ්ඩුවකට ආඩම්බර විය හැකි කරුණක් නෙමෙයි.
ආර්ථික වර්ධනය විභව මට්ටමට වඩා පහත වැටීම අයහපත් දෙයක් වන්නේ එය රටේ විරැකියාව ඉහළ දැමීමට හේතු වන නිසයි. ආර්ථික වර්ධනය අඩු වන වකවානු වලදී රාජ්‍ය මූල්‍ය හා මුදල් ප්‍රතිපත්ති උපයෝගී කරගනිමින් ආර්ථිකයට මුදල් පොම්ප කර සමස්ත ඉල්ලුම ඉහළ දැමීම බොහෝ රටවල ආර්ථික ප්‍රතිපත්තිය වන්නේ ඒ නිසයි. නමුත්, ලංකාවේ රජය දැනටමත් දරා සිටින විශාල ණය බර නිසා විරැකියාව අඩු කරමින් ආර්ථිකය පුම්බනවාට වඩා ණය බර අඩු කර ගැනීමට ප්‍රමුඛතාවය දීමට ලංකාවේ රජයට සිදු වී තිබෙනවා. මා එහි වරදක් දකින්නේ නැහැ.
රටේ ආර්ථික වර්ධන වේගය සාමාන්‍ය මට්ටමට වඩා අඩු වුණාම එක්කෝ ණය අරගෙන, එහෙමත් නැත්නම් සල්ලි අච්චු ගසා ආර්ථිකය පුම්බන්න වෙනවා. එසේ නොකළොත් එක පැත්තකින් මිල මට්ටම පහත වැටෙද්දී අනෙක් පැත්තෙන් විරැකියාව ඉහළ යනවා. නමුත්, මංගල සමරවීර කියන ආකාරයටනම් පසුගිය කාලයේදී අලුතින් රැකීරක්ෂා ලක්ෂයකට වඩා ඇති වී තිබෙනවා.
මංගල සමරවීර මෙසේ කිවුවත් රැකියා නියුක්තිය පිළිබඳව ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ දත්ත අනුවනම් 2015 පළමු කාර්තුවේ සිට 2019 පළමු කාර්තුව දක්වා කාලය තුළ සිදු වී තිබෙන්නේ ලංකාවේ රැකියාවක නියුතු ජනගහණය 8,502,270 සිට 8,182,970 දක්වා 319,300කින් අඩු වීමයි. එහෙත්, මේ කාලය තුළ පෞද්ගලික අංශයේ රැකියා නියුක්තිය 71,760 කින් ඉහළ ගොස් ඇති බවද කිව යුතුයි. රජය ප්‍රසාරණය කරමින් රැකියා සැපයීමට යහපාලන රජය කටයුතු නොකිරීම අගය කරනවා මිස අප එහි වරදක් නොදකින බවද කිව යුතුයි.
Labels:
ආර්ථික විද්‍යාව,
ජනාධිපතිවරණය,
මංගල සමරවීර,
සංඛ්‍යාලේඛණ,
සජිත් ප්‍රේමදාස
Saturday, August 24, 2019
සජිත් හා එජාපය
සජිත් ප්‍රේමදාසව එජාපයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තවමත් නිල වශයෙන් නම් කරලා නැහැ. එහෙත්, ඔහු තමාව එජාප ජනාධිපති අපේක්ෂකයා විදිහට නම් කරගෙන මේ වන විට සෑහෙන දුරක් ගිහින් තිබෙනවා. මේ වන විට ගිහින් තිබෙන දුර අනුව ඔහුට ආපසු හැරෙන්න පුළුවන්කමක් නැහැ. ඒ වගේම, මේ වෙද්දී එජාපයේ බහුතර සහයෝගය සජිත් විසින් දිනාගෙන තිබෙන බවකුත් පෙනෙනවා.
සජිත් එජාපය ඇතුළේ ඉදිරියට එන්නේ රනිල් විරෝධයක් එක්කයි. පක්ෂය ඇතුළේ ඒකාධිපතියෙක් සේ කටයුතු කිරීම ගැන රනිල්ට චෝදනා කෙරෙනවා. මේ චෝදනාව කරන අය ඇඟිල්ල දිගු කර පෙන්වන ප්‍රධාන කරුණක් වන්නේ රනිල් එජාප නායකයාව සිටින දීර්ඝ කාලයයි. ඒ වගේම රනිල් මැතිවරණ විසි නවයක් හෝ එවැනි ගණනක් පැරදී ඇති බවත් කියනවා.
මා දන්නා තරමින් රනිල් පෞද්ගලිකව පැරදී තිබෙන්නේ මැතිවරණ දෙකක් පමණයි. ඒ 1999 හා 2005 ජනාධිපතිවරණයි. දෙවන අවස්ථාවේදී ඔහු ජනාධිපති ධුරය ආසන්නයටම ගියා. ඒ වගේම, රනිල් තරඟ කළ මහ මැතිවරණ ගණනකදීම ඔහු විශාල මනාප ප්‍රමාණයන් ලබමින් තේරී පත් වුනා. එජාපය ඇතුළේ හා පාර්ලිමේන්තුව ඇතුළේ ඔහුගේ තනතුරකට අභියෝග එල්ල වූ අවස්ථා ගණනාවකදීත් ඔහු පැරදුණේ නැහැ. එහෙත්, රනිල්ගේ නායකත්වය යටතේ එජාපය මැතිවරණ ගණනාවක් පැරදුනා. මේ ප්‍රමාණය මා ගණන් කර නැහැ. එය ඔය කියන විසි ගණන විය හැකියි.
එජාපය වැනි පක්ෂයක් ඇතුළේ වුවත් පක්ෂ නායකයෙකුට දිගුකාලීනව බලහත්කාරයෙන් ධුරයක් දැරිය නොහැකියි. එජාපය දිගින් දිගටම මැතිවරණ පරාජය වෙද්දීත් රනිල්ගේ නායකත්වය නැති නොවුනේ රනිල් බලහත්කාරයෙන් ධුරය දැරූ නිසා නෙමෙයි. ඔහු එම කාලය ඇතුළත එජාපයේ සිටි ජනප්‍රියම නායකයා වූ නිසයි. එජාපය ඇතුළේ සජිත්ට රනිල්ට වඩා වැඩි සහයෝගයක් තිබුණානම් මේ වෙද්දී සජිත් එජාප නායකයා වෙලා. සැපයුම එන්නේ ඉල්ලුම පසුපසින්.
රනිල් එජාප නායකයාව සිටි කාලයේ එජාපයට හිටපු හොඳම නායකයා රනිල්. ඒ කාලයේ එජාපය මැතිවරණ විසි ගණනක් පැරදුනා කියා කියන්නේ ඒ කාලය ඇතුළත එජාපයේ හිටි හොඳම නායකයාටත් ගොඩදාන්න බැරි තැනකට එජාපය වැටී හිටියා කියන එක මිසක් සජිත් හෝ වෙනත් අයෙක් එජාප නායකයා වුනානම් තත්ත්වය වෙනස් විය හැකිව තිබුනා කියන එක නෙමෙයි. ඒ වගේම, රනිල් මෙතෙක් (ඔහු නායකයාව සිටි කාලයේ) එජාපයට හිටපු හොඳම නායකයා කියන එකෙන් අදහස් වෙන්නේ ඒ තත්ත්වය වෙනස් වී නැති බව හෝ අනාගතයේදී වෙනස් නොවන බවත් නෙමෙයි. වෙනස් බාහිර තත්ත්වයන් යටතේ පක්ෂය ඇතුළේ සිටින වෙනත් කෙනෙක් එජාප නායකත්වයට රනිල්ට වඩා සුදුසු වෙන්න පුළුවන්. ඒ පුද්ගලයා සජිත් වෙන්නත් පුළුවන්.
ජේආර් ජයවර්ධන දක්වා කාලය තුළ එජාප නායකයින් බිහි වුනේ සම්ප්‍රදායික ප්‍රභූ පන්තිය තුළින්. ඒ වගේම සම්ප්‍රදායික ප්‍රභූ පංතියේ හා ඉහළ මධ්‍යම පංතියේ සහයෝගය වැඩියෙන් ලැබූ පක්ෂය වුනේත් එජාපයයි. රට පුරා විසිරී සිටි ප්‍රභූ පවුල් වල සේවකයින් සේ වැඩ කළ, උගත්කමක් හෝ දේශපාලන අවබෝධයක් ලොකුවට නොතිබුණු ග්‍රාමීය කම්කරුවන් විශාල පිරිසක්ද හාම්පුතා කැමති පක්ෂයේ අපේක්ෂකයෙකුට ඡන්දය දුන්නා. වතු කම්කරුවන් ඔවුන්ගේ දේශපාලන නායකයින් උපදෙස් දෙන ආකාරයට ඡන්දය දුන්නා.
එජාපයේ වගේම ශ්‍රීලනිපයේත්, සෑහෙන තරමකින් අනෙකුත් වාමාංශික පක්ෂ වලත් නායකයින් සම්ප්‍රදායික ප්‍රභූ පන්තිය තුළින්ම බිහි වූ අය වුවත්, ශ්‍රීලනිපයේ සාමාජිකයින් වුනේ ප්‍රධාන වශයෙන්ම ග්‍රාමීය මධ්‍යම පාන්තිකයින්. වාමාංශික පක්ෂ වලට ග්‍රාමීය මධ්‍යම පාන්තිකයින් අතර වගේම නාගරික කම්කරුවන් අතරත් යම් පදනමක් තිබුණා. මේ කණ්ඩායම් අතර එජාපය ජනප්‍රියව සිටියේ නැහැ.
ජේආර්ගෙන් පසුව එජාපයේ නායකයා වුනේ රණසිංහ ප්‍රේමදාසයි. ඔහුට එජාප නායකයා වෙන්න පුළුවන් වුනේ ජේආර් විසින් හඳුන්වා දුන් ආර්ථික ප්‍රතිපත්ති නිසා සමාජයේ සිදු වූ ව්‍යුහමය වෙනස්කම් හේතුවෙන් එජාපයේ පාක්ෂික ව්‍යුහයත් වෙනස් වීම නිසයි. ජේආර් විසින් හඳුන්වාදුන් ආර්ථික ප්‍රතිසංස්කරණ වල ප්‍රතිඵලයක් විදිහට ලංකාවේ ආර්ථිකය තුළ වෙළඳපොළ ක්‍රියාකාරිත්වයට සාපේක්ෂව වැඩි ඉඩක් විවෘත වුනා. එහි ප්‍රතිඵලයක් විදිහට සමාජයේ පහළ ස්ථර වල ආදායම් ඉහළ ගිහින් ජීවන තත්ත්වය උසස් වුනා. මෙයට සාපේක්ෂව මධ්‍යම පංතියට ලොකු ආර්ථික වාසි නොලැබුණු නිසා සාපේක්ෂ උගත්කමක් තිබුණු මධ්‍යම පාන්තිකයින් පසුකරමින්, ආර්ථික තලයේදී, අඩු උගත්කමක් තිබුණු සමාජ ධුරාවලිය ඇතුළේ වැඩි පිළිගැනීමක් නොතිබුණු රැකියා කළ අය මතු වුනා. ඒ අයට එජාපයේ ප්‍රතිපත්ති ආකර්ශනීය වෙද්දී එජාපය ඇතුළේ මේ ස්ථරයට නායකත්වය දිය හැකි පුද්ගලයෙකුට ඉල්ලුමක් ඇති වුනා. ඒ ඉල්ලුම හා ගැලපුනේ රණසිංහ ප්‍රේමදාස.
එජාපය ඇතුළේ පහළ ස්ථර වල අයගේ කොටස් වල සංයුතිය ක්‍රමයෙන් ඉහළ ගියා. මුලින්ම රණසිංහ ප්‍රේමදාස වටා හිටියේ නාගරික අඩුආදායම්ලාභීන්. එහෙත්, ආර්ථිකයේ විදේශ අංශය වඩා විවෘත කිරීමේ ප්‍රතිඵල ගම් වලට යද්දී සමාජ ධුරාවලියේ පහළින් සිටි ග්‍රාමීය කොටස්ද පක්ෂයක් ලෙස එජාපය වෙතත්, පුද්ගලයෙක් ලෙස රණසිංහ ප්‍රේමදාස වෙතත් වැඩි වැඩියෙන් ආකර්ෂණය වී මේ කණ්ඩායම එජාපයේ ප්‍රමුඛ කණ්ඩායම වුනා. රණසිංහ ප්‍රේමදාස එජාප නායකයා වීම මෙහි ප්‍රතිඵලයක්.
රණසිංහ ප්‍රේමදාස විසින් ජවිපෙ කැරැල්ල මර්දනය කිරීමේදී අනුගමනය කළ ක්‍රියාමාර්ග එක්ක එජාපයේ ග්‍රාමීය ඡන්දදායක පදනම දිය වෙන්න පටන් ගත්තා. රණසිංහ ප්‍රේමදාසගේ මරණය ගැන දැනගත් ගම් වල මිනිස්සු කිරිබත් උයා පාරවල් වලට දැම්මා. රතිඤ්ඤා පත්තු කළා. මං හිතන්නේ මේ වගේ දෙයක් සිදු වුනේ මේ අවස්ථාවේ හා ප්‍රභාකරන් මිය ගිය අවස්ථාවේ පමණයි. එජාපයේ දාහත් අවුරුදු පාලනය අවසන් කරමින් චන්ද්‍රිකා කුමාරතුංගට ජනාධිපති වෙන්න පුළුවන් වුනේ ජවිපෙ භීෂණයට ප්‍රතිචාර ලෙස එජාපය විසින් පවත්වාගෙන ගිය ප්‍රතිභීෂණය අවසන් වෙද්දී එතෙක් එජාපය සතුව පැවති ග්‍රාමීය ඡන්ද පදනම එජාපය කෙරෙන් විකර්ශනය වීම නිසයි.
ජවිපෙ දෙවන කැරැල්ල අවසානයේ එජාප ග්‍රාමීය ඡන්ද පදනම දිය වී යද්දී නැවතත් එජාප පාක්ෂික ව්‍යුහයේ ආකෘතිමය වෙනසක් ඇති වුනා. ඉහළ මධ්‍යම පාන්තිකන් නැවතත් එහි ප්‍රමුඛ කණ්ඩායම බවට වීමට සාපේක්ෂව රනිල්ට එජාපයේ නායකත්වය ලැබුනා.
යුද්ධයෙන් පසුව මහින්ද සිංහල ගැමියන් අතර විශාල ලෙස ජනප්‍රිය වෙද්දී එජාපයේ ග්‍රාමීය ඡන්ද පදනම හොඳටම දුර්වල වුනා. රාජපක්ෂලා සෑහෙන තරමකින් සමාජයේ ඉහළ ස්ථර වල සහයෝගයත් ලබා ගත්තා. එහෙම නැත්නම් රාජපක්ෂලාට සහයෝගය දැක්වූ අය සමාජයේ ඉහළ ස්ථරය බවට පත් වුනා. එයට සමාන්තරව එජාපය නාගරික හා අර්ධ නාගරික ඉහළ හා පහළ මධ්‍යම පාන්තිකයින්ගේ පක්ෂයක් බවට පත් වුනා. එහි ප්‍රතිඵලයක් ලෙස එජාපය ඇතුළේ රනිල් වැනි අයෙකුට නියෝජනය කළ හැකි පාක්ෂික ප්‍රතිශතය ක්‍රමයෙන් ඉහළ ගියා. නමුත්, මෙය සිදු වුනේ සමස්තයක් ලෙස එජාපය දිය වීම තුළ මිස වර්ධනය වීම තුළ නෙමෙයි. මෙයින් වෙනස්ව අසූව දශකයේදී රණසිංහ ප්‍රේමදාස එජාපයේ නායකත්වයට තල්ලු කළ ව්‍යුහමය වෙනස එජාපය වඩා විශාල කළ වෙනසක්.
රනිල්ට එජාපය තුළ බලය වැඩි වීමත්, එජාපය සමස්තයක් ලෙස දිය වීමත් යන කරුණු දෙකම එකම සංසිද්ධියක මුහුණත් දෙකක් මිස හේතුවක් හා ඵලයක් නෙමෙයි. එජාපය දිගින් දිගටම මැතිවරණ පැරදුණේ රනිල් නායකත්වයේ සිටි නිසා නෙමෙයි. ඒ වගේම, රනිල්ට දිගු කලක් එජාප නායකත්වයේ ඉන්න හැකි වුනේ ඔහු ඒකාධිපතියෙක් වූ නිසා හෝ ගේම් ගැහීමේ දක්ෂයෙක් වූ නිසාත් නෙමෙයි. මේ සියල්ලටම හේතු වුනේ එජාපයේ ග්‍රාමීය ඡන්ද පදනම විශාල ලෙස දිය වී යාමයි. එයට රණසිංහ ප්‍රේමදාස කාලයේ උච්ඡස්ථානයට පත් වූ හා ජේආර්ගේ කාලයේ ආරම්භ වූ ජවිපෙට එරෙහි ප්‍රතිභීෂණය පළමුවත්, මහින්ද විසින් උතුරේ යුද්ධය අවසන් කිරීම දෙවනුවත් හේතු වුනා.
මේ දෙකෙන් එකක්වත් රනිල්ගේ නායකත්වයේ වැරදි නෙමෙයි. මේ දේවල් වන කාලයේ රනිල් නායකයා වී සිටියා. රනිල්ට එජාප නායකයා ලෙස තත්ත්වය වෙනස් කිරීමේ හැකියාවක් නොතිබුණාක් මෙන්ම, එය කළ හැකි වෙනත් අයෙක් එජාපයේ සිටියේත් නැහැ. එහෙම බැලුවහම රනිල්ට දිගුකලක් එජාප නායකයා වී ඉන්න ලැබුණේ මහින්ද නිසා කියා කියන්න පුළුවන්.
මහින්ද පැරදී මෛත්‍රීපාල ජනාධිපති වෙද්දී හෝ ඉන් පසුව මහින්දගේ ග්‍රාමීය ඡන්ද පදනම දිය වී ගියේ නැහැ. මහින්දට නැති වුනේ හා එජාපය වෙත යම් තරමකින් ආකර්ශනය වුනේ නාගරික හා අර්ධ නාගරික මධ්‍යම පාන්තිකයින්ගේ ඡන්දයි. ඒ නිසා, මේ වෙනස එජාපයේ සංයුතියට බලපෑවේ රනිල්ගේ නායකත්වයට තවත් වාසිදායක වන ආකාරයටයි. පසුගිය මාසය පමණ වන තුරුම රනිල්ට සාපේක්ෂව සජිත්ට එජාපය ඇතුළේ වාසිදායක තත්ත්වයක් තිබුණේ නැහැ. එහෙත්, ඔහු විසින් දිගින් දිගටම තමාගේ පියා විසින් ආකර්ශනය කරගෙන සිටි සමාජ ස්ථරයට ආමන්ත්‍රණය කරමින් සිටියා.
එජාප නායකත්ව අර්බුදය රනිල්ට අවාසිදායක හා සජිත්ට වාසිදායක ලෙස මේ වෙද්දී වෙනස් වී තිබෙනවා. වෙනස ආරම්භ වී තිබෙන්නේ පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභයව නම් කරනු ලැබීමෙන් පසුවයි. වෙනසේ බලපෑම තීරණාත්මක අදියරකට පැමිණ තිබෙන්නේ අනුර කුමාර දිසානායක අපේක්ෂයෙකු ලෙස මතු වීමත් සමඟයි.
ගෝඨාභය වගේම අනුර කුමාර දිසානායක විසින්ද ඉලක්ක කරන්නේ නාගරික හා අර්ධ නාගරික ඉහළ හා පහළ මධ්‍යම පාන්තික කණ්ඩායම්. ඔවුන් මෙය කරන්නේ තමන්ගේ ග්‍රාමීය ඡන්ද පදනම් මත හිටගෙන තමයි. තමන්ගේ කියා කිවුවත් ගෝඨාභයට ඔහුගේම කියා ග්‍රාමීය ඡන්ද පදනමක් නැහැ. තිබෙන්නේ මහින්ද සතු ග්‍රාමීය ඡන්ද පදනමක්.
එක පවුලේ සහෝදරයින් වුවත්, මහින්ද හා ගෝඨාභය අතර ඇතැම් පැහැදිලි වෙනස්කම් තිබෙනවා. ගෝඨාභය මහින්දගෙන් වෙනස් වන තැන් නාගරිකයින්ට මිස ගැමියන්ට ආකර්ශනීය තැන් නෙමෙයි. ඒ නිසා හෝ වෙනත් හේතු නිසා, තවමත් ගම් වල ගෝඨාභය රැල්ලක් නැහැ. ගෝඨාභය සමඟ ඉන්නේ 2015දී මහින්ද සමඟ සිටි අය පමණයි. ගෝඨාභය සම්බන්ධව ප්‍රචලිත කතා ඇත්ත වුනත් බොරු වුනත් ඒ කතා වල බලපෑමක් තිබෙනවා. මහින්ද සමඟ 2015දී සිටි ඇතැම් අයත් ගෝඨාභය හා අදාළව වැනෙන සුළු තැනක සිටින බව පෙනෙනවා. එහෙත්, ඔවුන් රාජපක්ෂ විරෝධී කඳවුරකට හේත්තු වී නැහැ. මැතිවරණය පැවැත්වෙන විට ඔවුන් බොහෝ විට ගෝඨාභයට ඡන්දය දෙයි කියා හිතන්න පුළුවන්. අනෙක් පැත්තෙන් ගෝඨාභයට තවමත් මහින්ද සමඟ නොසිටි නාගරික ඡන්දදායකින් ආකර්ශනය කර ගැනීමට හැකි වී ඇති බවක් පෙනෙන්නේත් නැහැ.
රාජපක්ෂ විරෝධී කඳවුරේ නාගරික ඡන්දදායකයින් විශාල ප්‍රමාණයක් මේ වන විට එජාපය කෙරෙන් දුරස්ථව සිටිනවා. එජාපය ඇතුළේ රනිල්ගේ නායකත්වය අභියෝගයට ලක් කිරීමට හැකි වී තිබෙන්නේ මේ හේතුව නිසයි. පොදුවේ එජාප ඡන්ද පදනම දිය වී තිබෙන අතර, මේ වටයේදී දිය වී තිබෙන්නේ නාගරික ඡන්දයි. ඒ නිසා, එජාප පාක්ෂිකයින් අතරේ සංඛ්‍යාත්මක ලෙස ග්‍රාමීය ඡන්දදායකයින් වැඩි වී නැතත්, ඔවුන්ගේ සංයුතිය ඉහළ ගොස් තිබෙනවා. එයට සාපේක්ෂව එජාපය ඇතුළේ සජිත් බලවත් වී තිබෙනවා.
දැනට කරලියට පැමිණ සිටින අපේක්ෂකයින් අතරින් ගෝඨාභය වගේම අනුර කුමාර දිසානායක විසිනුත් ඉලක්ක කරන්නේ නාගරික මධ්‍යම පාන්තික ප්‍රජාවයි. මේ තත්ත්වය තුළ ග්‍රාමීය ඡන්දදායක පදනම ඉලක්ක කරන අපේක්ෂකයෙකුට පිරවිය හැකි යම් රික්තකයක් තිබෙනවා. ඒ රික්තකය දෙස සජිත් ප්‍රේමදාස වගේම ඔහු එක්ක සිටින දක්ෂ සංවිධායකයකු හා දේශපාලන ඉවක් ඇති අයෙකු වන මංගල විසින් ඇස ගසා ගෙන සිටිනවා.
පවතින තත්ත්වය යටතේ මෛත්‍රීපාල සිරිසේනගේ භූමිකාව යම් තරමකින් තීරණාත්මකයි. ඔහුට තනි පුද්ගලයෙකු ලෙස කළ හැකි බලපෑමට වඩා කිහිප ගුණයකින් වැඩි බලපෑමක් සජිත් හා එකතු වීම මඟින් කළ හැකියි. මෛත්‍රීපාල ගෝඨාභයට සහයෝගය නොදී ස්වාධීනව සිටීම හා සජිත්ට සහයෝගය දීම කියන්නේ කරුණු දෙකක්.
Labels:
ජනාධිපතිවරණය,
දේශපාලනය,
සජිත් ප්‍රේමදාස
Thursday, August 22, 2019
මන්ත්‍රීවරුන්ට අවම අධ්‍යාපන සුදුසුකම් අවශ්‍යද?
ලංකාවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225ක් අතරින් 94 දෙනෙකු සාමාන්‍ය පෙළ අසමත් බවත්, උපාධිධාරීන් සිටින්නේ 25 දෙනෙකු පමණක් බවත් වාර්තා වී තිබෙනවා. ඒ වගේම, මහජන නියෝජිතයින්ට කිසියම් අවම අධ්‍යාපන සුදුසුකමක් තිබිය යුතුයි කියන එක දැන් කලක සිට කතා බහට ලක් වෙන අදහසක්. මේ අදහස ගොඩක් ප්‍රචලිත වුනේ පාර්ලිමේන්තුව ඇතුළේ මිරිස් කුඩු ප්‍රහාර එල්ල වුනු, පිහි උරුක් වුනු මහින්දගේ දින පණහේ ආණ්ඩුව කාලයේ. නමුත්, මේ අදහස කලක සිට තිබෙන අදහසක්.
මේ අදහස වෙනුවෙන් පෙනී සිටින අයගේ මූලික තර්කයක් වන්නේ වෙන ඕනෑම රස්සාවක් කරන්න මූලික අධ්‍යාපන සුදුසුකමක් අවශ්‍යව තියෙද්දී මන්ත්‍රීවරයෙක් වෙන්න පමණක් එවැනි අවශ්‍යතාවයක් නොතිබීමේ වැරැද්දක් තිබෙනවා කියන එකයි. අනෙක් පැත්තෙන් මතුවන තර්කය වන්නේ ආචාර්ය උපාධි වැනි ඉහළ අධ්‍යාපන සුදුසුකම් ඇති අය පවා සමහර වෙලාවට හැසිරෙන්නේ අට පාස් නැති අයට වඩා අන්ත විදිහට කියන එකයි. ඒ වගේම, මිනිස්සු කැමතිනම් අධ්‍යාපන සුදුසුකම් පාදක කරගෙන කෙනෙකුට මන්ත්‍රී කෙනෙක් වෙන්න තිබෙන අවස්ථාව වලක්වන එක නිවැරදි නැහැ කියන තර්කයත් ප්‍රචලිත තර්කයක්.
දෙවන තර්කය එතරම් නිවැරදි එකක් නෙමෙයි. ඉහළ අධ්‍යාපන සුදුසුකම් ඇති ඇතැම් අයට වඩා හොඳින් අඩු අධ්‍යාපන සුදුසුකම් තිබෙන ඇතැම් අය ප්‍රතිපත්ති සම්පාදනයට දායක වන බව ඇත්තක් වුවත්, පොදු වශයෙන් ගත් විට ඉහළ අධ්‍යාපන සුදුසුකම් ඇති අය හා අඩු අධ්‍යාපන සුදුසුකම් තිබෙන අය අතර පැහැදිලි වෙනසක් දැකිය හැකියි. එහෙත්, ඒ හේතුව යමෙකු අධ්‍යාපන සුදුසුකම් නොමැතිවීම මත මහජන නියෝජිතයෙකු වීම වැළැක්වීම සාධාරනීකරණය කරන්නේ නැහැ. මිනිස්සුන්ට තමන්ගේ නියෝජිතයා ලෙස පත් කර යවන්න අවශ්‍ය වන්නේ ලොකු අධ්‍යාපන සුදුසුකම් නැති අයෙක්නම් එයට බාධා වන නීති පැනවීමේ කිසියම් අවුලක් තිබෙනවා. එසේ කිරීමෙන් වෙන්නේ රටේ පාලන බලය කිසියම් කල්ලියක් අතට පත් වීම රටේ නීතියෙන්ම තහවුරු වීමයි. නීතියේ උදවුවක් නැතුවත් වෙලා තියෙන්නේ ඒකනේ.
අනෙක් පැත්තට ගත්තහම මහජන ඡන්දයෙන් "නුසුදුස්සන්" නියෝජිතයින් සේ පත් වීමේ මූලික අවුලට කවර හෝ විසඳුමක් අවශ්‍යයි. නීත්‍යානුකූලව මහජන ඡන්දයෙන් තේරී පත් වෙන කෙනෙක් නුසුදුස්සෙක් කියා කියන්න බැරි නිසා සමහර අය මෙය ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ප්‍රශ්නයක් ලෙස දකිනවා. ඇත්තටම මෙය ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රශ්නයක් නෙමෙයි. ප්‍රශ්නයට හේතුව ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකක්ද කියා රටේ විශාල පිරිසක් හරියට දන්නේ නැති වීමයි. ලංකාවට ආවේණික හූනෝ ඉන්නවාක් මෙන්ම ලංකාවට ආවේණික ප්‍රශ්නත් තිබෙන නමුත්, මේක ලංකාවට පමණක් ආවේණික ප්‍රශ්නයකුත් නෙමෙයි.
ප්‍රජාතන්ත්‍රවාදය කියන සංකල්පය වගේම නීතියේ ආධිපත්‍යය වගේ සංකල්පත් සියවස් ගණනාවක් තිස්සේ බටහිර සංස්කෘතිය ඇතුළේ පරිණාමය වූ සංකල්ප. මේ සංකල්ප ලංකාවට හඳුන්වා දෙන්නේ යුරෝපීයයන් විසින්. පොඩි වෙනස්කම් කිහිපයක් සිදු වී තිබුණත් ලංකාවේ රාජ්‍ය ආකෘතිය ඉංග්‍රීසීන් විසින් හඳුන්වා දුන් එකක්. ප්‍රජාතන්ත්‍රවාදය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, පාර්ලිමේන්තු සම්ප්‍රදාය වගේ ගොඩක් දේවල් ලංකාවට ඇවිත් තිබෙන්නේ එංගලන්තයෙන්. බටහිර රටවල මිනිස්සුන්ට වගේ ලංකාවේ (හා වෙනත් දකුණු ආසියාතික රටවල හා තවත් රටවල) මිනිස්සුන්ට මේ සංකල්ප ඇඟට පත්තියම් වෙලා නැහැ. මුල් කාලයේ මහජන නියෝජිතයින් වුනේ එංගලන්තයේ අධ්‍යාපනය ලබා, ටික කලක් හෝ එංගලන්තයේ ජීවත් වී, එහෙම නැත්නම් අඩු වශයෙන් ලංකාවේම සිට එංගලන්ත සම්ප්‍රදායන් ඇතුළේ ජීවත් වී මේ බටහිර සංකල්ප ඇඟට පත්තියම් කර ගැනීමට සමත්ව සිටි සීමිත ලාංකිකයින් අතරින් පිරිසක් වුවත් ඒ තත්ත්වය මේ වෙද්දී වෙනස් වෙලා.
ලංකාවේ ඡන්දදායකයින් අතර සිටින බොහෝ දෙනෙක්ට තමන් විසින් මහජන නියෝජිතයෙකු පත් කර යැවිය යුත්තේ ඇයි කියන එක ගැන හරි අවබෝධයක් නැහැ. දොස්තර කෙනෙක් කියා කියන්නේ ලෙඩ වූ විට බෙහෙත් දී ලෙඩේ සුව කරන කෙනෙක් කියා මිනිස්සු හැමෝම වගේ දන්නවා. පොලිස් නිලධාරියෙක්ගේ රස්සාව නීතිය හා සාමය ආරක්ෂා කිරීම කියලාත් මිනිස්සු හැමෝම වගේ දන්නවා. ඒත් මන්ත්‍රී කෙනෙක්ගේ රස්සාව මොකක්ද කියලා රටේ ගොඩක් මිනිස්සු වගේම මේ මන්ත්‍රීලාගෙන් ගොඩක් අයත් දන්නේ නැහැ.
රටේ විශාල පිරිසක් තමන්ගේ මහජන නියෝජිතයාගෙන් බලාපොරොත්තු වෙන්නේ රටේ නීතිය කඩා, නීතියට පිටින් ගිහින් තමන්ට උදවුවක් කිරීමයි. සම්මත ක්‍රමවේදයෙන් පිට ගිහින් තමන්ට හෝ තමන්ගේ කාට හෝ රජයේ රැකියාවක් ලබා ගැනීම, සම්මත ක්‍රමවේදයෙන් පිට ගිහින් රජයේ කොන්ත්‍රාත්තුවක් ලබා ගැනීම, වැරැද්දක් කර පොලීසියට අහු වූ අයෙක්ව නිදහස් කර ගැනීම, නීති විරෝධීව වෙනත් අයෙකුගේ පෞද්ගලික දේපොළක මිනියක් වල දමන්න උදවු ලබා ගැනීම ආදී වශයෙන් ලැයිස්තුවක් ලියන්න පුළුවන්. ඔය හැම වෙලාවකම සිදුවන්නේ මහජන නියෝජිතයා මැදිහත් වී රටේ නීතිය කඩන එකයි.
එක පැත්තකින් බැලුවහම රටේ මිනිස්සු මහජන නියෝජිතයින්ගෙන් මේ වගේ දේවල් බලාපොරොත්තු වීම සාධාරණයි. ඔවුන් එසේ කරන්නේ පවතින නීතිය හා/හෝ නීතිය ක්‍රියාත්මක කිරීමේ රාමුව ඇතුළේ තමන්ට සාධාරණය ඉටු නොවන බව පෙනෙන විටයි. නමුත්, මේ ක්‍රමයට කිසියම් අයෙකුට සාධාරණය ඉටු වන බොහෝ විට එය සිදු වන්නේ තවත් බොහෝ දෙනෙකුට අසාධාරණයක් සිදු කරමිනුයි. මහජන නියෝජිතයෙකුට නීති කඩන්න කිසිම අයිතියක් නැහැ. නීතියේ හෝ නීතිය ක්‍රියාත්මක කරන ආකාරයේ කිසියම් හෝ වැරැද්දක් තිබේනම් ඔවුන් කළ විසින් කළ යුත්තේ ඒ වැරැද්ද සිදු නොවන ආකාරයට නීතිය හා නීතිය ක්‍රියාත්මක කරන ආකාරය වෙනස් කිරීම මිසක් ප්‍රශ්නය එසේම තිබියදී හුදෙකලා සිද්ධියකට විසඳුමක් දීම නෙමෙයි. හුදෙකලා සිද්ධි වලට නීතියට පිටින් ගිහින් විසඳුම් දීමෙන් මූලික ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. තවත් අවුල් වෙනවා.
මෙහිදී නීතිය හා නීතිය ක්‍රියාත්මක කරන ආකාරය කියා එකට ලිවුවත් මෙයින් පළමුවැන්න ව්‍යවස්ථාදායකයේ කාර්යයක්. දෙවැන්න විධායකයේ කාර්යයක්. නමුත්, ලංකාවේ රාජ්‍ය ව්‍යුහය ඇතුළේ විධායකයේ ඉහළින්ම ඉන්නේත් ඡන්දයෙන් තේරී පත් වන මහජන නියෝජිතයින් නිසා මේ අංශ දෙකේදීම මෙහි ලියා තිබෙන කරුණ අදාළ වෙනවා.
මෙහි ලියූ "නුසුදුස්සන්" කියන වචනය මා භාවිතා කරන්නේ "තමන්ගේ පංතිය අමතක කර වෙනත් පංතියකට සේවය කිරීම" හෝ "රට ජාතිය අමතක කර බටහිර උවමනා වෙනුවෙන් පෙනී සිටීම" වැනි දේශපාලනික මතවාදයක් හා බැඳුණු අර්ථයකින් නෙමෙයි. තමන්ගේ දේශපාලන මතවාදය කුමක් වුවත්, පොදුවේ වැරදි දේවල් ලෙස බහුතරයක් මිනිස්සු දකින දේවල් හා අදාළවයි. උදාහරණයක් විදිහට රටේ සාමාන්‍ය මිනිහෙක් තවත් කෙනෙකුගේ ඇස් වලට මිරිස් කුඩු ගැහුවොත් ඔහුට හෝ ඇයට නීතියෙන් ගැලවීමක් නැහැ. නමුත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට රටම බලා සිටියදී හා වීඩියෝ සාක්ෂි තිබියදී එවැන්නක් කර පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වී බේරී සිටිය හැකියි.
හොරු, මෝඩයින් හා නුසුදුස්සන් පාර්ලිමේන්තුවට නොයැවිය යුතු බව ගොඩක් අය කියනවා. නමුත් කිවුවට කෙරෙන්නේ නැහැනේ. ප්‍රමාණවත් පිරිසකගේ ඡන්ද ලබා ගත හැකිනම් කාට වුවත් මහජන නියෝජිතයෙකු විය හැකියි. මෙයට හේතුව තමන් මහජන නියෝජිතයෙක් සේ පත් කර ගත යුත්තේ මොන වගේ කෙනෙක්ද කියන එක ගැන, තවත් සරලව කිවුවොත් මන්ත්‍රී කෙනෙකුගේ රස්සාව මොකක්ද කියන එක ගැන හරි අවබෝධයක් නැති විශාල පිරිසක් රටේ සිටීමයි. ඒ අයට මේ අවබෝධය ලැබෙන තුරු ප්‍රශ්නය මේ ක්‍රමයට විසඳෙන්නේ නැහැ. මහජන නියෝජිතයෙකු වීම සඳහා අවම සුදුසුකම් පැනවීම වැනි යෝජනා එන්නේ මේ ප්‍රශ්නයට විසඳුමක් විදිහටයි.
ප්‍රශ්නය වෙනත් කෝණයකින් බැලුවොත් මන්ත්‍රී කෙනෙකුගේ රස්සාව මොකක්ද කියන එක නොදන්නා විශාල පිරිසක් මේ මන්ත්‍රීලා අතරම ඉන්නවා. තමන්ගේ රස්සාව මොකක්ද කියලා රස්සාව කරන මිනිස්සුම දන්නේ නැත්නම් වෙන මිනිස්සු කොහොමද දන්නේ?
ඇත්තටම කියනවානම් පොදුවේ රස්සාවක් සැලකුවොත් රස්සාවේ කාර්යය තීරණය කරන්නේ රස්සාව දෙන කෙනා මිසක් රස්සාව කරන කෙනා නෙමෙයි. සැපයුම එන්නේ ඉල්ලුම පසුපසින්. එහෙම බැලුවහම මෙතැනත් වෙලා තිබෙන්නේ ඒකමයි. එහෙමනම්, ලංකාවේ සමස්ත ඡන්දදායකයා තමන්ගේ කාර්ය භාරය පිළිබඳව සබුද්ධික වන තුරු ප්‍රශ්නයට විසඳුමක් නැද්ද?
දැනටමත් යෝජනා වී තිබෙන මුල් යෝජනාව තරම්ම දැඩි නැති එක් විසඳුමක් තිබෙනවා. ඒ දේශපාලන පක්ෂ විසින් තමන්ගේ අපේක්ෂකයින් තේරීමේදී කිසියම් අවම අධ්‍යාපන සුදුසුකමක් තිබෙන අයට පමණක් අවස්ථාව දීමයි. ලංකාවේ මහජන නියෝජිතයින් සියල්ලම වාගේ තේරී පත් වෙන්නේ කිසියම් දේශපාලන පක්ෂයකින් නිසා මෙය කළ හැකිනම් ප්‍රශ්නයට විසඳුමක්.
නමුත්, කුඩා ඡන්ද පදනමක් ඇති දේශපාලන පක්ෂයකට මිස ප්‍රධාන පක්ෂයකට ප්‍රායෝගිකව මෙයද කළ හැක්කක් නෙමෙයි. ඡන්ද පදනමක් තිබෙන, ජනප්‍රිය අපේක්ෂකයෙකුව අධ්‍යාපන සුදුසුකම් නොතිබූ පමණින් අත හරින්න කිසිදු ප්‍රධාන දේශපාලන පක්ෂයක් කැමති වෙන්නේ නැහැ. ඒ නිසා, මේ වැඩේත් හරියන වැඩක් නෙමෙයි.
අධ්‍යාපන සුදුසුකම් නොතිබීම මත මහජන නියෝජිතයෙකු වීම වැළැක්වීම සුදුසු නැතත්, මහජන නියෝජිතයෙකුට තමන්ගේ රාජකාරිය කරන්න මූලික දැනුමක් අවශ්‍යයි. ඒ මූලික දැනුම නැති කෙනෙකුට මේ රස්සාව කරන්න බැහැ. මගේ අදහස අනුව, මේ මූලික දැනුම කියන දෙයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග පිළිබද දැනුම ඇතුළත්. ඒ නිසා, අධ්‍යාපන සුදුසුකම් කෙසේ වෙතත්, මැතිවරණයකට ඉදිරිපත් වන අපේක්ෂයෙකුට ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම, රටේ මූලික නීතිය හා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග වැනි දේ පිළිබඳව හදාරා විභාගයක් සමත් වෙන්න නියම කිරීමේනම් වැරැද්දක් නැහැ. පළාත් සභා, ප්‍රාදේශීය සභා ආදියට තරඟ කරන අය ඒ ආයතන වල කාර්ය භාරය කුමක්ද කියා දැනගෙන සිටිය යුතුයි.
රටේ සියලුම ඡන්දදායකයින් මේ දේවල් ගැන දැනුවත් කරනවාට වඩා ඔවුන්ගේ නියෝජිතයින් වෙන්න කැමැත්තෙන් ඉන්න අයව දැනුවත් කිරීම පහසුයි. එතකොට, අඩු ගානේ තමන්ගේ රස්සාව මොකක්ද කියා ඒ මිනිස්සු දන්නවා. වෙනත් අය වෙන වෙන දේවල් ඉල්ලා සිටින විට ඒක මගේ රස්සාවේ කොටසක් නෙමෙයි කියා මේ අයගෙන් ටික දෙනෙක් හෝ කියන්න ඉඩ තිබෙනවා.
රටේ නීතිය වෙනස් කරනවා වෙනුවට දේශපාලන පක්ෂ වලට තනි තනිව මේ වැඩේ කළ හැකියි. විශේෂයෙන්ම ඔවුන්ගේ පක්ෂ වලින් නාම යෝජනා අපේක්ෂා කරන අයට මේ මූලික කරුණු ඇතුළත් විභාගයකට පෙනී සිට සමත්වීම අනිවාර්ය කිරීම දේශපාලන පක්ෂයකට කළ නොහැකි දෙයක් නෙමෙයි. ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලම එකඟ වන දවසක වැඩේ විභාග දෙපාර්තමේන්තුව වැනි ස්වාධීන ආයතනයකට භාර දිය හැකියි. එතකොට කියන්න තරම් අධ්‍යාපන සුදුසුකමක් නැති මහජන නියෝජිතයෙකුට අඩු ගානේ පෙන්නන්න සහතිකයක් හෝ ලබාගත හැකියි.
බටහිර රටවල සියවස් ගණනක් තිස්සේ පරිණාමය වූ සංකල්ප ලංකාව වගේ රටක මිනිස්සුන්ට එකපාර පත්තියම් වෙන්නේ නැහැ. ලංකාවේ මිනිස්සු තමන්ට නොතේරෙන දෙයක් ඉගෙන ගන්න වැඩිපුරම මහන්සි වෙන්නේ විභාගයක් තියෙන වෙලාවටයි.
Tuesday, August 20, 2019
මිනියක් වළලා ගන්න තැනක් නැත්තේ කාගේ වරදින්ද?
"මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ මූලික සිද්ධාන්ත තුනක් තිබෙනවා. ඒ මූලික සිද්ධාන්ත තුන හැටියට අපි හඳුන්වන්නේ, විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණයයි. මේ ආයතන තුනෙන් එකක් හෝ බිඳ වැටීමක්, සෙලවීමක්, වෙනස්වීමක් වුනොත් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට වදින මරු පහරක් හැටියටයි අපි ඒක දකින්නේ. හැබැයි, පසුගිය කාලයේ මේ සිද්ධාන්ත තුනෙන් එකක් වන විධායකය විසින් හිටපු අගවිනිසුරු ශ්‍රියානි බණ්ඩාරනායක මැතිණිය කිසිසේත් නොකළ යුතු ආකාරයට ඉවත් කළා විතරක් නොවෙයි, අලුත්කඩේ උසාවි භූමියට කුඩුකාරයන්, කැසිනෝකාරයන් බුරුතු පිටින් ඇවිල්ලා අධිකරණ භූමියට හූ කියලා, ගල් ගහලා, පිටුපස්ස පෙන්වලා අධිකරණයේ ගරුත්වය හෑල්ලු කරපු විධිය අපි දැක්කා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි, 2015දී වූ නිහඬ විප්ලවයේදී මේ රටේ සියලු පුරවැසියන් පක්ෂ, පාට අත් හැරදාලා අලුත් ජනාධිපතිවරයෙක්, අලුත් ආණ්ඩුවක් බිහිකර ගත්තේ. ඒ ප්‍රතිඵලයක් හැටියට තමයි අද අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා වෙලා තිබෙන්නේ."
ඉහත කොටස උපුටා ගත්තේ 2019 අප්‍රේල් 1 හැන්සාඩ් වාර්තාවේ සමාජ සවිබලගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම විසින් කළ ප්‍රකාශයකින් (තීරු අංකය 3121). ඔහු ඉඳහිට පාර්ලිමේන්තුවේදී ඔය වගේ කතාවක් කරනවා. මෝඩයාගේ දිනයේ කළ විහිළුවක් නොවේනම්, මේ කතාවේ හැටියට පාලිත තෙවරප්පෙරුමට අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට ලොකු උවමනාවක් තිබෙනවා.
ඉඳහිට පාර්ලිමේන්තුවේ ඔය වගේ කතාවක් කරන අතරම, කාලයෙන් කාලයට මොකක් හෝ අලුත් පිස්සුවක් නටන පාලිත තෙවරප්පෙරුම විසින් නැවතත් එවැන්නක් කර තිබෙනවා. මෙවර ඔහු කරන්නේ උසාවි නියෝගයක් නොතකමින් පෞද්ගලික ඉඩමක බලහත්කාරයෙන් මිනියක් වල දමා වීරයෙකු වීම බවයි පෙනෙන්නට තිබෙන්නේ.
පාලිත තෙවරප්පෙරුමගේම ප්‍රකාශය අනුව, සිද්ධියට අදාළ ස්ථානය මතුගම ආසනයේ දොඩම්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෝවුඩ් වත්තයි. දෙවසරකට පමණ පෙර මේ වත්ත අලුත් අයිතිකරුවෙකු විසින් මිල දී ගෙන තිබෙන බව පෙනෙනවා. මිය ගොස් තිබෙන පුද්ගලයා අදාළ වත්තේ ඉපදී සිය ජීවිත කාලයම එහි සේවය කර මිය ගොස් ඇති දෙමළ ජාතිකයෙක්. ඔහුගේ මිනිය වත්තේ වැළලීම වළක්වමින් පොලීසිය විසින් උසාවි නියෝගයක් ලබා ගෙන තිබෙනවා. පොලීසියට උසාවි නියෝගය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙමින් පාලිත තෙවරප්පෙරුම විසින් වත්තේ මිනිය වළලනවා.
බොහෝ දෙනෙක් මේ සිද්ධිය දකිනවා ඇත්තේ විශාල අසාධාරණයකට ලක් වූ අසරණයෙකුට පාලිත තෙවරප්පෙරුම මුල් වී සාධාරණය ඉටු කර දීමක් ලෙසයි. එසේ බැලුවොත් අසාධාරණය සිදු කර තිබෙන්නේ අධිකරණය හා පොලීසියයි. අධිකරණයේ හා පොලීසියේ දුෂ්ඨයන්ට එරෙහිව පාලිත තෙවරප්පෙරුම ජනතා වීරයා නැගී සිටිනවා. ගැලරියෙන් හුරේ.
මිනිහෙක් මැරුණු විට මිනිය වල දමා ගන්නවත් තැනක් නැහැ කියන්නේ විශාල මානුෂීය ප්‍රශ්නයක්. එය එසේනම්, එහි වැරැද්ද කාගේද? ප්‍රශ්නයට විසඳුම කාට හෝ අයිති පෞද්ගලික ඉඩමක බලහත්කාරයෙන් මිනිය වල දැමීමද?
පාලිත තෙවරප්පෙරුමට අනුව බෝවුඩ් වත්තේ අදාළ ස්ථානයේ බොහෝ කලකට පෙර එහි අයිතිකරුවෙකුගේ මිනියක් වල දමා තිබෙනවා. කැමති කෙනෙකුට තමන්ට අයිති පෞද්ගලික ඉඩමක මිනියක් වල දා ගැනීමේ අයිතිය තිබෙනවා. මෙවැනි පෞද්ගලික සුසාන භූමි ලංකාවේ ඕනෑ තරම් තිබෙනවා. එහෙත්, එවැනි පෞද්ගලික සුසාන භූමි වල සාමාන්‍යයෙන් වල දමන්නේ පවුලේ අයගේ මිනී පමණයි. ඉඩම අයිතිකරු කැමතිනම් වෙනත් අයෙකුගේ මිනියක් වල දැම්මත් එහි ප්‍රශ්නයක් නැහැ. එවැනි තැනක ඕනෑම අයෙකුට මිනී වල දැමීමේ අයිතියක් නැහැ. එසේ කළ හැක්කේ පොදු සුසාන භූමියක් ලෙස ගැසට් කර ඇති තැනක පමණයි.
පාලිත තෙවරප්පෙරුම විසින් අදාළ ස්ථානය පොදු සුසාන භූමියක් ලෙස ගැසට් කර ඇති බව තහවුරු කරන්නේ නැහැ. උසාවි නියෝගය ක්‍රියාත්මක කිරීමට පැමිණ සිටින පොලිස් නිලධාරියා මේ ප්‍රශ්නය ඔහුගෙන් සෘජුවම අසනවා. ඔහු පෙන්වන්නේ එම ස්ථානයේ ඊට පෙර මිනියක් වළලා ඇති බවට සාක්ෂියකුයි. එහෙත්, එයින් එම ස්ථානය පොදු සුසාන භූමියක් බව තහවුරු වෙන්නේ නැහැ. එක්කෝ ඒ මිනිය වත්තේ පෙර අයිතිකරුවන්ගේ කැමැත්තෙන් එහි වල දමනු ලැබුවා වෙන්න පුළුවන්. එසේ නැත්නම්, ඔවුන්ගේ අනුදැනුමකින් තොරව එය සිදු වුනා වෙන්න පුළුවන්.
සිදු වුනේ ඔය දෙකෙන් කොයි එකක් වුවත්, කිසියම් තැනක මිනියක් වල දැමූ පමණින් එහි ඕනෑම අයෙකුට මිනී වල දැමීමට අයිතියක් ලැබෙන්නේ නැහැ. කලින් සිදු වුනේ කුමක් වුවත් වත්තේ අලුත් අයිතිකරුවන්ට තමන්ට අයත් මේ පෞද්ගලික දේපොළේ මේ මිනිය වල දමනු දැකීමට අවශ්‍ය නැති බවයි පෙනෙන්නේ. උසාවි නියෝගයක් ගැනීමට පෙළැඹී තිබෙන්නේ එවැනි උත්සාහයක් වලක්වා ගැනීමටයි.
අදාළ ස්ථානයේ මේ මිනිය වල දැමීම වලක්වමින් කිසියම් අධිකරණයක් විසින් වාරණ නියෝගයක් පනවා තිබෙනවා. අධිකරණයක් මෙවැනි නියෝගයක් දෙන්නේ රටේ පවතින නීතිය හා ඉදිරිපත්ව තිබෙන සාක්ෂි අනුවයි. අධිකරණයක් අමුතුවෙන් නීති හදන්නේ නැහැ. මේ නීති පනවන්නේ ව්‍යවස්ථාදායකය විසිනුයි. විධායකයේ කොටසක් වන පොලීසිය විසින් මෙහිදී කරන්නට උත්සාහ කරන්නේ අධිකරණය විසින් පනවන ලද නියෝගයක් ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරීමයි. එහෙත්, තෙවරප්පෙරුමගේ මැදිහත්වීම හමුවේ පොලීසිය උසාවි නියෝගය ක්‍රියාත්මක කිරීමට අසමත් වෙනවා.
දැන් මේ මිය ගිය පුද්ගලයාගේ මිනිය වල දමා ගැනීමට තැනක් නැත්නම් එහි පැහැදිලි ප්‍රශ්නයක් තිබෙනවා. ඒ ප්‍රශ්නය ඇති වී තිබෙන්නේ කාගේ වරදින්ද? අදාළ ප්‍රදේශයේ පුද්ගලයෙකුට අවසන් කටයුතු කර ගන්නට තැනක් නැත්නම් ඒ ප්‍රශ්නය විසඳිය යුත්තේ පාලිත තෙවරප්පෙරුම වැනි මහජන නියෝජිතයින් විසිනුයි. එහෙත් මේ ක්‍රමයට නෙමෙයි.
පාලිත තෙවරප්පෙරුම වැනි මහජන නියෝජිතයින්ට අලුතින් නීති හැදිය හැකියි. ඔහු වැනි අයව පාර්ලිමේන්තුවට යවා තිබෙන්නේ ඒ කාර්යය කරන්නයි. ඔවුන් එසේ අලුතින් නීතියක් හැදූ විට ඒ නීතියට ඔවුන්ද යටත්. නීති කැඩෙනවාද කියා සොයා බැලීම අධිකරණයේ කාර්යයක් මිස ව්‍යවස්ථාදායකයේ කාර්යයක් නෙමෙයි. නීති ක්‍රියාත්මක කිරීමත් එසේමයි. එය විධායකයේ කාර්යයක්.
නමුත්, මෙහි වෙන්නේ කුමක්ද? බූරුවා තමන්ගේ වැඩේ පැත්තක තබා බල්ලාගේ වැඩේ කරන්න යාමයි. බූරුවාගේ වැඩේ කෙරිලත් නැහැ. බූරුවා බල්ලාට බල්ලාගේ වැඩේ කරන්න දෙන්නෙත් නැහැ. පාලිත තෙවරප්පෙරුමට අවශ්‍යනම් තමන්ගේ බල ප්‍රදේශයේ කිසියම් ස්ථානයක් පොදු සුසාන භූමියක් ලෙස ගැසට් කරන මෙන් යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකියි. අවශ්‍යනම් වන්දි මුදලක් ගෙවා බෝවුඩ් වත්තේ අදාළ කොටසම රජයට ගන්න වුනත් බැරි කමක් නැහැ.
පාලිත තෙවරප්පෙරුමගේ ඡන්ද කොට්ඨාශයේ අසරණ පුද්ගලයෙකුට මිනියක් වල දමා ගන්න තැනක් නැත්නම් එයින් පෙනෙන්නේ ඔහු තමන්ගේ වගකීම් නිසි ලෙස ඉටු කර නැති බවයි. මේ ස්ථානය යම් හෙයකින් ඔහු කියන පරිදි සුසාන භූමියක් සේ ගැසට් කර ඇති තැනක් වුවත්, බලහත්කාරයෙන් මිනිය වල දමන්නට පෙර කළ යුත්තේ ඒ බවට සාක්ෂි ඉදිරිපත් කර උසාවි නියෝගය වෙනස් කර ගැනීමයි.
අධිකරණය යුක්තිය පසිඳලන්නේ රටේ පවතින නීති පද්ධතිය අනුවයි. පොලීසිය කරන්නේ මේ නීති ක්‍රියාත්මක කිරීමයි. නීතිය හා සාධාරණත්වය අතර ගැටුමක් ඇති බවක් පෙනේනම් එය පාලිත තෙවරප්පෙරුම වැනි මහජන නියෝජිතයින්ගේ අකාර්යක්ෂමතාවයේ ප්‍රතිඵලයක් මිස අධිකරණයේ හෝ පොලීසියේ වරදක් නෙමෙයි. නීතිය මඟින් සාධාරණත්වය පිළිබිඹු වන පරිදි නීති සංශෝධනය කිරීම ව්‍යවස්ථාදායකය සතු වගකීමයි.
අවාසනාවට පාලිත තෙවරප්පෙරුම වැනි ඇතැම් මහජන නියෝජිතයින්ට තමන් විසින් මහජන නියෝජිතයෙකු ලෙස කළ යුතු කාර්ය භාරය ගැන කිසිදු අදහසක් නැහැ. ඔහු වැනි අයව පත් කර යවන අයටත් ඒ ගැන අදහසක් නැහැ. ඒ නිසා, පාලිත තෙවරප්පෙරුම විසින් තමන්ගේ මන්ත්‍රී රාජකාරිය හරියට නොකිරීම නිසා ඇති වී තිබෙන අවුල වහගන්න යන්නේ තමන්ට අයිති නැති යුක්තිය පසිඳලීමේ හා නීතිය ක්‍රියාත්මක කිරීමේ විධායකයේ හා අධිකරණයේ කාර්යභාරයන් බලහත්කාරයෙන් තමන්ගේ අතට ගැනීම හරහායි. ඔහු මෙසේ කටයුතු කරන පළමු හෝ එකම පුද්ගලයා නෙමෙයි.
මේ සිද්ධියේ සැබෑ වීරයා වන්නේ ඉතා අසීරු තත්ත්වයන් යටතේ නීතිය ක්‍රියාත්මක කිරීමට උත්සාහ දරන පොලිස් නිලධාරියායි. කණගාටුවට කරුණ ඔහුට නීතිය ක්‍රියාත්මක කිරීමට ඉඩක් නොලැබීමයි. අන්තිමේදී වෙන්නේ වීරයා දුෂ්ඨයා වී දුෂ්ඨයා වීරයා වීමයි.
කිසියම් පුද්ගලයෙකු දුප්පතෙකු හෝ සුළු ජාතිකයෙකු වීම හේතුවෙන් අසාධාරණයට ලක් විය යුතු නැහැ. ඒ වගේම, කෙනෙකු ධනවත් ඉඩම් හිමියෙකු වීම හෝ මහ ජාතියට අයත් වීම හේතුවෙන්ද අසාධාරණයට ලක් විය යුතු නැහැ. මගේ වත්ත විශාල එකක් වීම, එහි තැනක මා විසින් කුණු ගොඩ ගසා තිබීම හා නගරයේ වෙනත් අයට කුණු දමන්නට තැනක් නැති වීම යන කරුණු මත මගේ වත්තේ වෙනත් ඕනෑම අයෙකුට කුණු දමන්න අයිතියක් ලැබෙන්නේ නැහැ.
බෝවුඩ් වත්තේ වත්මන් හිමිකරුගේ කැමැත්තෙන් තොරව කිසියම් පිරිසක් මිනියක් වල දමා තිබෙනවා. මිනියක් වල දැමීමෙන් පසුව ප්‍රශ්නය සංකීර්ණ වන නිසා ඔහු කලින්ම නීතියේ රැකවරණය පතා තිබෙනවා. එහෙත්, තෙවරප්පෙරුමගේ බලහත්කාරය හමුවේ ඔහුට නීතියේ රැකවරණය ලැබී නැහැ. වත්ත අයිතිකරුට නීතියෙන් ලැබිය යුතු සමාන රැකවරණය ලැබී සාධාරණය ඉටු විය යුතුයි.
Labels:
දේශපාලනය,
නීතිය,
පාලිත තෙවරප්පෙරුම,
පුද්ගල අයිතිවාසිකම්
Subscribe to:
Posts (Atom)








