වෙබ් ලිපිනය:

Monday, January 5, 2026

සංචාරක පැමිණීම් සහ ඉලක්ක


පසුගිය (2025) වසර ඇතුළත ලංකාවට සංචාරකයින් 2,362,521 දෙනෙකු පැමිණ තිබෙනවා. මෙය වසරක් තුළ ලංකාවට පැමිණ ඇති වැඩිම සංචාරකයින් ප්‍රමාණයයි. මීට පෙර ලංකාවට වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණි 2018 වසරට සාපේක්ෂව 1.2%ක වර්ධනයක් දකින්න තිබෙනවා. ඒ වගේම, පසුගිය වසරට සාපේක්ෂව 15.1%ක වර්ධනයක් දැකිය හැකියි.

වසරේ පළමු මාස දහය ඇතුළත රටට පැමිණි සංචාරකයින් ප්‍රමාණයේ, පෙර වසරට සාපේක්ෂව, 16.7%ක වර්ධනයක් තිබෙනවා. අවසන් මාස දෙකේ එම වර්ධනය 9.0%ක් පමණයි. අවසන් මාස දෙකේ වර්ධනයද 16.7%ක් වුනානම් සංචාරකයින් ගණන තවත් 33,000කින් පමණ ඉහළ යනවා. එම අඩුව, සුළි කුණාටුවේ බලපෑම ලෙස සලකන්න පුළුවන්. 

සුළි කුණාටුව නිසා වැඩිම බලපෑමක් සිදු වුනේ කෘෂිකාර්මික නිෂ්පාදිතයට සහ සංචාරක කර්මාන්තයටයි. නමුත් මේ බලපෑමෙන් පසුවද, හතරවන කාර්තුව තුළ පැමිණි සංචාරකයින් ප්‍රමාණයේ, පෙර වසරේ එම කාර්තුවට සාපේක්ෂව, 12.0%ක වර්ධනයක් දකින්න පුළුවන්. මේ අනුව, හතර වන කාර්තුව තුළ දළ දේශීය නිෂ්පාදිතයට සංචාරක කර්මාන්තයෙන් ලැබිය හැකිව තිබුණු දායකත්වය විශාල ලෙස අඩු වී ඇති බවක් පෙනෙන්න නැහැ.

කෘෂිකාර්මික නිෂ්පාදිතය පිළිබඳ සෘජු දත්ත නැතත්, වෙළඳපොළ මිල ගණන් දෙස බලා සිදු වූ හානිය ගැන වක්‍ර අදහසක් ගන්න පුළුවන්. දෙසැම්බර් මාසය තුළ එළවලු ආදියේ මිල ගණන් ඉහළ යාමෙහි පෙර වසරට සාපේක්ෂව විශාල වෙනසක් නැහැ. ඒ අනුව පෙනෙන්නේ කෘෂිකාර්මික නිෂ්පාදිතය තුළින් දළ දේශීය නිෂ්පාදිතයට ලැබෙන දායකත්වයේ වුවද ඒ තරම් විශාල අඩුවක් සිදු වී නොමැති බවයි. 

මූල්‍ය අරමුදල විසින් පුරෝකථන සකස් කර තිබෙන්නේ හතරවන කාර්තුවේ වර්ධන වේගය 2% පමණ මට්ටමකට පහත වැටෙනු ඇතැයි උපකල්පනය කරලා. එහෙත් ඉහත නිරීක්ෂණ අනුව පෙනෙන්නේ හතරවන කාර්තුව තුළද 4% ඉක්මවන වර්ධනයක් වාර්තා වීමේ විභවයක් ඇති බවයි. එසේ වුවහොත් මෙම වසරේ ආර්ථික වර්ධනයද 5%කට ආසන්න මට්ටමකට එන්න පුළුවන්. 

සුළි කුණාටුවේ බලපෑම බොහෝ දුරට ක්ෂණික බලපෑමක්. එයින් මේ වසරේ හතර වන කාර්තුවට විශාල බලපෑමක් සිදු වී නැත්නම්, ඉදිරි වසරේ දකින්නට ලැබෙනු ඇත්තේද ඒ තරම් විශාල නොවන බලපෑමක්. ඒ බලපෑම ඉදිකිරීම් ආදිය ඉහළ යාම නිසා පහසුවෙන්ම නිශේධනය වී යන්න පුළුවන්. 

වසරක් තුළ රටට පැමිණි වැඩිම සංචාරකයින් ප්‍රමාණය මේ වසරේදී වාර්තා වී ඇතත්, එම ප්‍රමාණය වසර මුල සකස් කර තිබෙන ඇස්තමේන්තු වලට වඩා බෙහෙවින්ම අඩුයි. ඒ අඩුවට හේතුවනම් සුළි කුණාටුව නෙමෙයි. ඇස්තමේන්තු ඕනෑවට වඩා ඉහළ  මට්ටමක තිබීම කියා කියන්නත් පුළුවන්. පසුගිය වසර සඳහා සකස් කළ ඇස්තමේන්තු ඉදිරි වසර සඳහානම් නරක ඉලක්ක නෙමෙයි.

විභව ආර්ථික වර්ධනය


රටක ආර්ථික වර්ධනය යන්නෙන් අදහස් වන්නේ කුමක්ද කියන එකත්, නාමික දළ දේශීය නිෂ්පාදිතය සහ මූර්ත දළ දේශීය නිෂ්පාදිතය අතර වෙනස ගැනත් පෙර සටහනෙන් පැහැදිලි කළා. මේ ලිපිය තේරුම් ගැනීම සඳහා එම ලිපියෙහි පැහැදිලි කර ඇති සංකල්ප මුලින් තේරුම් ගත යුතුයි. ඒ නිසා, පෙර ලිපිය කියවූයේ නැත්නම් කරුණාකර මුලින් එම ලිපිය කියවන්න. 

සංඛ්‍යාලේඛණයක් ලෙස වැදගත් වුනත්, රටක ජනතාවගේ ජීවන තත්ත්වය පිළිබඳ නිර්ණායකයක් විදිහට නාමික දළ දේශීය නිෂ්පාදිතයෙන් කිසිම වැඩක් නැහැ. ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ යන්නේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතය ඉහළ යද්දී. ඒ කියන්නේ රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදිතය ඉහළ යද්දී. 

රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදිතය ඉහළ යනවානම්, ඒ භාණ්ඩ හා සේවා වල මිල ගණන් ඉහළ හෝ පහළ යාමේ ලොකු වැදගත්කමක් නැහැ. ඔබට අවසාන වශයෙන් හාල් කිලෝවක් හා පොල් ගෙඩියක් අනිවාර්යයෙන්ම පරිභෝජනය කරන්න ලැබෙනවානම්, හාල් හා පොල් වල මිල කීයද කියන එකේ විශේෂ වැදගත්කමක් නැහැ. ඒ කියන්නේ මූර්ත ආර්ථිකය වර්ධනය වේනම්, උද්ධමනය ජීවන තත්ත්වය කෙරෙහි සෘජුව බලපාන සාධකයක් නෙමෙයි. 

උද්ධමනය නිසා සිදු වන නාමික දළ දේශීය නිෂ්පාදිතයේ ඉහළ යාම රටක ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ දමන්නේ නැහැ. ඒ වගේම, පහළ දමන්නේත් නැහැ. ඒ නිසාම, මූර්ත ආර්ථිකය වර්ධනය නොවී උද්ධමනය අඩු වුනා කියලා රටක ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ යන්නේත් නැහැ. මිල මට්ටම පහළ ගියත් මේ තත්ත්වයේ වෙනසක් නැහැ. අවසාන වශයෙන් වැදගත් වන්නේ මූර්ත ආර්ථික වර්ධන වේගය පමණයි. 

උද්ධමනය නිසා සිදු වන නාමික දළ දේශීය නිෂ්පාදිතයේ ඉහළ යාම ඇඟට දැනෙන එකක් නෙමෙයි. ඇඟට දැනෙන්නනම් එහි සැබෑ බලපෑමක් තිබිය යුතුයි. සැබෑ බලපෑමක් නැති, නාමික වෙනසක් කොහෙත්ම ඇඟට දැනෙන්නේ නැහැ. 

නමුත් මූර්ත දළ දේශීය නිෂ්පාදිතය ඉහළ යාම එවැනි දෙයක් නෙමෙයි. එය ඇඟට දැනෙනවා. නයිජීරියාවේ ජීවන තත්ත්වයට වඩා ඕස්ට්‍රේලියාවේ ජීවන තත්ත්වය ඉහළ බව හයේ පන්තියේ පෙළ පොත් කියවපු දරුවෙක් වුනත් දන්නවා. ඒ පෙළ පොතේ නැතත්, නයිජීරියාවේ අද ජීවන තත්ත්වය වසර තිහකට පමණ පෙර එහි ජීවන තත්ත්වයට වඩා ගොඩක් හොඳයි. අද ලංකාවේ සාමාන්‍ය ජීවන තත්ත්වය සහ අවුරුදු තිහකට පෙර තත්ත්වය අතර විශාල වෙනසක් තිබෙනවා. සමහර අය පිළිගන්න අකැමැති විය හැකි නමුත් මෙය ඇඟට දැනෙන වෙනසක්.

කෙසේ වුවත්, මේ විදිහට ආර්ථික වර්ධනය ඇඟට දැනෙන්නේ සැලකිය යුතු වෙනසක් ඇති විට හෝ එවැනි වෙනසක් සිදු වීමෙන් පසුවයි. වසරක් තුළ සිදුවන 2%ක නොව 5%ක ආර්ථික වර්ධනයක් වුවත් ඒ විදිහට ඇඟට දැනෙන්නේ නැහැ. ඇතැම් විට එවැනි කෙටිකාලයක් තුළ සිදුවන ආර්ථික වර්ධනයක ප්‍රතිලාභ සමාජයේ ඇතැම් කොටස් වෙත ඇත්තටම ගිහින් නැති වෙන්න පුළුවන්. සමාජයේ සියළුම ස්ථර වලට ආර්ථික වර්ධනය දැනෙන්න ඇතැම් විට වසර දහයක් පමණ වුවත් යන්න පුළුවන්. නමුත් අවසාන වශයෙන් මෙය සිදු වෙනවා. 

සාර්ව ආර්ථික විද්‍යාවේදී ආර්ථික වර්ධනය ප්‍රවාදගත කරද්දී එය දිගුකාලීන ආර්ථික වර්ධනය සහ කෙටිකාලීන ආර්ථික වර්ධනය ලෙස වෙන් කරනවා. රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති සහ මුදල් ප්‍රතිපත්ති හරහා කෙටිකාලීනව ආර්ථික වර්ධනය කෙරෙහි බලපෑමක් කරන්න පුළුවන්. නමුත් දිගුකාලීනව මෙවැනි බලපෑම් වල දායකත්වය නිශේධනය වෙනවා. ඒ නිසා, රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති සහ මුදල් ප්‍රතිපත්ති වල උදවුවෙන් දිගුකාලීන ආර්ථික වර්ධන වේගය වෙනස් කරන්න බැහැ. 

රටක ජනතාවගේ ජීවන තත්ත්වය කෙරෙහි බලපාන්නේත්, අවසාන වශයෙන් ඇඟට දැනෙන්නේත්, දිගුකාලීනව සිදු වන ආර්ථික වර්ධනයයි. කිසියම් රටකට දිගුකාලීනව තිරසාර ලෙස පවත්වා ගත හැකි සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය විභව ආර්ථික වර්ධන වේගය ලෙස හැඳින්වෙනවා. එය සාමාන්‍යයෙන් ලේසියෙන් වෙනස් වෙන්නේ නැහැ. වෙනස් කරන්නත් අමාරුයි.

විභව ආර්ථික වර්ධන වේගය ලේසියෙන් වෙනස් නොවුනත්, සත්‍ය ආර්ථික වර්ධන වේගය වසරින් වසර වෙනස් වෙනවා. ඒ වගේම, රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති සහ මුදල් ප්‍රතිපත්ති හරහා සත්‍ය ආර්ථික වර්ධන වේගය වෙනස් කරන්නත් පුළුවන්. 

සමහර වසර වලදී විවිධ ස්වභාවික හේතු නිසා සත්‍ය ආර්ථික වර්ධන වේගය විභව වේගයට වඩා අඩු වෙනවා. නමුත්, කිසිදු මැදිහත්වීමකින් තොරව වුවත්, බොහෝ විට පසුව නැවත ආර්ථික වර්ධනය ඉහළ ගොස් විභව මට්ටමට එනවා. මේ වගේ වෙලාවක රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති සහ මුදල් ප්‍රතිපත්ති මගින් වඩා ඉක්මණින් ආර්ථික වර්ධනය විභව මට්ටමට එසැවීමට උදවු කරන්න පුළුවන්. දිත්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානියේ බලපෑම උදාහරණයක්.

ඉහත කී ආකාරයේ අවශ්‍යතාවයක් නැති අවස්ථා වලදී වුවත්, කෙටිකාලීනව, රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති සහ මුදල් ප්‍රතිපත්ති මගින් ආර්ථික වර්ධන වේගය වැඩි කරන්න පුළුවන්. එහෙත්, එහිදී ඇති වන තත්ත්වය ස්ථායී තත්ත්වයක් නෙමෙයි. මේ වගේ තත්ත්වයක් යටතේදී සත්‍ය ආර්ථික වර්ධන වේගය විභව වේගයට වඩා වැඩි වෙනවා. එසේ වූ විට එම වේගය නැවත විභව මට්ටම දක්වා පහත වැටීමේ ස්වභාවික නැඹුරුව නිසා මෙවැනි අස්ථායී වර්ධනයක් බොහෝ විට කෙළවර වන්නේ ආර්ථිකයේ කඩා වැටීමකින්. ඔය ක්‍රමයට ආර්ථිකය වැඩියෙන් පුම්බවන තරමට කඩා වැටීමේ හානියද ඉහළ යනවා. ඒ නිසා, හොඳ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයෙකුගේ ඉලක්කය වන්නේ රටක සත්‍ය ආර්ථික වර්ධන වේගය විභව මට්ටමට ආසන්නව පවත්වා ගැනීමයි.

මේ සමඟ පළ කරන රූප සටහනෙහි නිල් පැහැති කඩ ඉරෙන් නිරූපණය කරන රේඛාවේ බෑවුම 0.044ක්. රතු ඉරෙන් සලකුණු කර තිබෙන්නේ 2024 රුපියල් වලින් ලංකාවේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ ලඝු අගයයි. රූප සටහන දෙස බැලූ විට ඔබට පැහැදිලිව පෙනී යනු ඇත්තේ රතු ඉරේ ගමන් පථය නිල් ඉර මගින් මාර්ගෝපදේශනය වී ඇති ආකාරයයි. මෙයින් අදහස් වන්නේ, සාමාන්‍ය අගයක් ලෙස, රතු ඉරේ බෑවුමද 0.044ක් බවයි. මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ ලඝු අගය වසරකට 0.044කින් ඉහළ යාම මගින් පෙන්වන්නේ ලංකාවේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතය වසරකට 4.4%ක සාමාන්‍ය වේගයකින් වර්ධනය වී ඇති බවයි. 

මෙහි අප බලන්නේ වසර 75කට ආසන්න දීර්ඝ කාලයක් දෙසයි. එම දීර්ඝ කාලය තුළ, ආර්ථික වර්ධන වේගය කෙටිකාලීනව වෙනස් වී ඇතත්, දිගුකාලීනව ඇහැට පෙනෙන වෙනසක් වී නැහැ. මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදයක් හා වෙළඳපොළ ආර්ථිකයක් ඇති වෙනත් රටක මූර්ත දළ දේශීය නිෂ්පාදිතය දෙස බැලුවද බොහෝ විට මෙවැනි තත්ත්වයක් දැකිය හැකියි. විභව වර්ධන වේගය රටින් රටට වෙනස් වුවද, සත්‍ය වර්ධන වේගය එම කවර හෝ විභව වර්ධන වේගය වටා විචලනය වන බව පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි දෙයක්. දත්ත දෙස බැලූ විට පැහැදිලිව පෙනෙන කරුණක් බැවින්, ආර්ථික විද්‍යා ප්‍රවාද මගින් පැහැදිලි කෙරෙන මෙය සිදු වන යාන්ත්‍රනය මා මෙහි විස්තර කරන්නේ නැහැ. 

උදාහරණ ලෙස 1970-77 සමාජවාදී පරීක්ෂණ කාලය තුළ රතු ඉර ගමන් කරන්නේ නිල් කඩ ඉරට පහතින් වුවත්, පසුව නැවත නිල් කඩ ඉර වෙත පැමිණෙනවා. ඉන් පසුව නැවතත් 1988/89 භීෂණ කාලයේදී ආර්ථික වර්ධනය පහත වැටෙනවා. යළි විභව මට්ටම කරා පැමිණෙනවා. 2001 කටුනායක ප්‍රහාරයෙන් පසුවද මෙවැන්නක් සිදු වෙනවා. 

රාජපක්ෂ දශකය තුළ සත්‍ය ආර්ථික වර්ධන වේගය විභව වේගය ඉක්මවා ඉහළ ගොස් ඇති ආකාරය අපට දැකිය හැකියි. මින් පෙර මෙවැනි තත්ත්වයක් ඇති වීමට හේතු වූයේ 1950 දශකයේ මුල් භාගයේදී කොරියන් යුද්ධය නිසා රබර් මිල ඉහළ යාම තුළ ඇති වූ ලංකාවට වාසිදායක තත්ත්වයයි. එහෙත්, රාජපක්ෂ දශකය තුළ රටට විදේශ විණිමය පැමිණුනේ විදේශ ණය ලෙස මිස ආදායම් ලෙස නෙමෙයි. හේතුව කුමක් වුවත්, රටක සත්‍ය ආර්ථික වර්ධන වේගය විභව වේගය ඉක්මවා ඉහළ මට්ටමක පැවතීම ස්ථායී තත්ත්වයක් නෙමෙයි. එවැනි තත්ත්වයක් කොයි වෙලාවේ හෝ නිවැරදි වෙනවා. 


 
රටක විභව වර්ධන වේගය දිගටම එකම මට්ටමක තිබිය යුතුද? එය වෙනස් වෙන්න බැරිද?

ඉහත කොටස කියවීමෙන් පසුව, රටක විභව වර්ධන වේගය යනු වෙනස් කළ නොහැකි ස්ථිර දෙයක් වැනි අදහසක් එන්න පුළුවන්. වෙනත් ඕනෑම දෙයක් මෙන් විභව වර්ධන වේගයද වෙනස් වන සහ වෙනස් කළ හැකි දෙයක්. මා කියා තිබෙන්නේ සාමාන්‍යයෙන් වෙනස් නොවන බව සහ වෙනස් කිරීම අසීරු බව පමණයි. 

මුදල් හා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති මගින් කෙටිකාලීනව සත්‍ය වර්ධන වේගය වෙනස් කිරීම සාපේක්ෂව පහසුවෙන් කළ හැකි දෙයක්. එහෙත් මෙහිදී විභව වර්ධන වේගයේ වෙනසක් සිදු වන්නේ නැහැ. එසේ වුවද, රටක ජනතාවගේ ජීවන තත්ත්වය තිරසාර ලෙස ඉහළ යාමටනම් වෙනස් විය යුත්තේ විභව ආර්ථික වර්ධන වේගයයි.

අර්ථදැක්වීම අනුවම, විභව ආර්ථික වර්ධන වේගය යනු දිගුකාලීන සාමාන්‍ය වර්ධන වේගයයි. ඒ නිසා, එහි සැබෑ වෙනස් වීමක් නිරීක්ෂණය කළ හැක්කේ දීර්ඝ කාලයකට පසුවයි. ඇතැම් විට, විභව ආර්ථික වර්ධන වේගය වෙනස් නොවී, වසර දහයක් පමණ වන දීර්ඝ කාලයක් තිස්සේ වුවද සත්‍ය ආර්ථික වර්ධන වේගය ඉහළ මට්ටමක පවතින්න පුළුවන්. මෙවැනි තත්ත්වයක් ප්‍රතිපත්ති සම්පාදකයින් හා වෙනත් විශ්ලේෂකයින් විසින් විභව ආර්ථික වර්ධන වේගය ඉහළ යාමක් ලෙස වරදවා තේරුම් ගන්නත් පුළුවන්.

ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති හා අදාළව තීරණාත්මකම හැරවුම සේ සැලකිය හැක්කේ 1977 වෙනසයි. මෙය තීරණාත්මක හැරවුමක් වන්නේ එම වසරේදී ක්ෂණිකව සිදු වූ වෙනස්කම් නිසාම නෙමෙයි. ඉන් පසු වරින් වර ආණ්ඩු වෙනස් වුවද නැවත 1970-77 ආකාරයේ ප්‍රතිපත්ති කරා ආපසු නොගිය නිසා. මේ පදනම මත, 1977ට පෙර යුගය ඉවත් කර ඉහත නිල් කඩ ඉර නැවත ඇන්දොත් අපට පෙනෙන්නේ ඉන් පසු කාලය තුළ ලංකාවේ විභව ආර්ථික වර්ධන වේගය 4.6% මට්ටමේ තිබී ඇති බවයි. මේ අනුව, පැහැදිලි වන්නේ ප්‍රතිපත්ති වෙනස්කම් මගින් විභව ආර්ථික වර්ධන වේගය වුවද වෙනස් කර ගත හැකි බවයි. එහෙත්, එක වර විශාල වෙනසක් කළ නොහැකියි. 

දත්ත අනුව දැකිය හැකි පරිදි, රාජපක්ෂ දශකය සත්‍ය වර්ධන වේගය විභව මට්ටමට වඩා ඉහළින් පැවති කාලයක්. එම කාලයේ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය 6.4%ක්. මෙම ඉහළ වර්ධන වේගය විභව වර්ධන වේගයේ වැඩි වීමක් ලෙස අපට සැලකිය නොහැකිද?

අදාළ කාලයේ මේ ප්‍රශ්නය කිසිවකු විසින් ඇසුවේනම් ප්‍රශ්නයට පිළිතුරක් දෙන එක අසීරු වැඩක්. එහෙත්, මේ වෙද්දී ප්‍රශ්නයට පිළිතුර පැහැදිලියි. ඇතැම් අයට අනුව, ඒ කාලයේ ඉහළ මට්ටමක පැවති වර්ධන වේගය අඩු වීමට හේතුව ආණ්ඩු වෙනසයි. අප එය එසේයැයි පිළිගතහොත්, එම තර්කය මගින්ම පෙන්වා දෙන්නේ රාජපක්ෂ දශකය තුළ විභව වර්ධන වේගයේ ඉහළ යාමක් සිදු වී නොමැති බවයි. එසේ වීනම් ආණ්ඩු වෙනසකින් පසුව වර්ධන වේගය අඩු වන්නේ නැහැ. විභව වර්ධන වේගය කියන්නේ රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති හෝ මුදල් ප්‍රතිපත්ති වල උදවුවෙන් නඩත්තු කරන වර්ධන වේගයක් නෙමෙයි.

මෙය පෙන්වා දීම දැන් වඩා පහසු වුවත්, ආර්ථික විචල්‍යයන්ගේ හැසිරීම ගැන අදහසක් ඇති අයෙකුට මේ බැව් තේරුම් ගැනීම අපහසුව තිබුණේ නැහැ. අප විසින්ම වසර ගණනකට පෙර සිට අපේක්ෂිත කඩා වැටීම පිළිබඳව පුරෝකථනය කර තිබුණේ එසේ කළ හැකිව තිබුණු නිසා. ඒ කඩා වැටීම වලක්වා ගැනීම සඳහා කළ හැකිව තිබුණු දේ නොකිරීම කණගාටුවට කරුණක්. එහෙත් මේ වෙද්දී එම කඩා වැටීම සිදු වී අවසන්. ඒ වගේම, ඒ හරහා කළ යුතුව තිබුණු නිවැරදි කිරීමක් ඉබේටම සිදු වී ආර්ථිකය ස්ථාවර වීමක් සිදු වුනා. දැන් කරන්නට තිබෙන්නේ පරණ වැරදි නැවත නොකර මේ තත්ත්වය දිගටම පවත්වා ගෙන යාමයි. 

පරණ වැරදි නැවත නොකර සිටිය යුතු බැවින් ඇතැම් විට ඉතිහාසය දෙස පසු විපරමක් කළ යුතු වුවත්, අප වඩා උනන්දුවක් දක්වන්නේ අනාගතවාදීව ලියන්නටයි. දැන් අපි ඉහත සංකල්ප ඇසුරෙන් ලංකාවේ අනාගතය දෙස බලමු.

අතීත වාර්තාව අනුව, ලංකාවට 7%ක් වැනි විභව වර්ධන වේගයක් ඉලක්ක කිරීමේ හැකියාවක් පෙනෙන්නට නැහැ. එහෙත්, වත්මන් සාර්ව ආර්ථික සැලසුම තුළ ඉලක්ක කර තිබෙන මට්ටම 3.1% විභව වේගයයි. එය ලංකාවේ සැබෑ විභවයද?

මෙයට මගේ පිළිතුර වන්නේ ලංකාවේ සැබෑ විභවය 3.1% මට්ටමට වඩා වැඩි විය යුතු බවයි. එසේනම්, මූල්‍ය අරමුදල විසින් ඔවුන්ගේ සාර්ව ආර්ථික සැලසුම තුළ 3.1% මට්ටම ඉලක්ක කර තිබෙන්නේ ඇයි?

රාජපක්ෂ දශකය තුළ ඉදිරියට ගෙන ගියේ ජේ ආර් ජයවර්ධන විසින් හඳුන්වා දුන් රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තියයි. ඉතා පුළුල් පදනමකින්, වෙළදපොළ ආර්ථිකයක් ඇති රටවල ආර්ථික ප්‍රතිපත්ති අපට කාණ්ඩ තුනක් යටතේ වර්ග කළ හැකියි. 

1. විශාල රාජ්‍ය ආදායමක් හා විශාල රාජ්‍ය වියදමක් සමඟ තුලිත අයවැයක් (ස්කැන්ඩිනේවියානු ක්‍රමය)
2. අඩු රාජ්‍ය ආදායමක් හා අඩු රාජ්‍ය වියදමක් සමඟ තුලිත අයවැයක් (දකුණු ඉවුර කණ්ඩායම විසින් යෝජනා කරන ක්‍රමය)
3. අඩු රාජ්‍ය ආදායමක් හා විශාල රාජ්‍ය වියදමක් සමඟ රාජ්‍ය ණය මගින් පියවන අයවැයක් (ශ්‍රී ලංකාව ඇතුළු ණය අර්බුද වලට මුහුණ දුන් රටවල් බොහොමයක් විසින් අනුගමනය කළ ක්‍රමය)

මේ වෙන් කිරීම තුළ මූලික ආර්ථික විද්‍යා සංකල්ප වලින් එහාට ගිය දේශපාලනික බෙදීමක් දකින්න පුළුවන්. මේ එක් එක් ක්‍රමයේ වාසි හා අවාසි තිබෙනවා. කෙසේ වුවත්, දැනට අපට මේ සාකච්ඡාව ගෙන යාමට අවශ්‍ය එතැනට නෙමෙයි. 

ඇත්ත වශයෙන්ම ජේ ආර් ජයවර්ධන විසින් ඉහත තුන් වන ක්‍රමය ලංකාවට හඳුන්වා දුන්නේ 1977දී නෙමෙයි. ඔහු එය කළේ 1947දී මුදල් ඇමති වූ වහාමයි. 1977දී ඔහු එය වෙනම මට්ටමකට ගෙන ගියා. මහින්ද රාජපක්ෂ විසින් එය තවත් ඉහළ මට්ටමකට ගෙන ගියා. මේ හැම මට්ටමකදීම ආර්ථික වර්ධනයට යම් තල්ලුවක් ලැබුණත් ආර්ථික අස්ථායීතාවය ක්‍රමක්‍රමයෙන් ඉහළ ගියා. මේ ක්‍රමයට වඩා වෙනස් ක්‍රමයක් අනුගමනය කළේ රනිල්ගේ පාලන කාල වලදී පමණයි. එය ඉහත දෙවන ක්‍රමයට කිට්ටු ක්‍රමයක්. දැන් මාලිමා ආණ්ඩුව විසින් අනුගමනය කරන්නේද එම ක්‍රමයයි. 

ආර්ථික අර්බුදය දක්වා ලංකාවේ වර්ධන ගමන් මග දෙස ආපසු හැරී බලන්නේනම්, ලංකාවට අපහසුවකින් තොරව 4.4%ක වර්ධන වේගයක් තිරසාර ලෙස පවත්වා ගෙන යාමේ හැකියාවක් තිබෙනවා. එහෙත්, මෙහිදී අපට අමතක කළ නොහැකි කරුණක් වන්නේ එම වර්ධන වේගය පවත්වා ගෙන ගියේද දිගින් දිගටම ආදායම ඉක්මවා වියදම් කරමින් බවයි. එසේ දිගින් දිගටම ණය නොගෙන 4.4%ක වර්ධන වේගයක් තිරසාර ලෙස පවත්වාගෙන යා හැකිද? එසේ නැත්නම් එසේ පවත්වා ගෙන යා හැකි වර්ධන වේගය 3.1% පමණක්ද?

රාජපක්ෂ දශකය තුළ පවත්වා ගත් 6.4%ක වර්ධන වේගය තිරසාර නොමැති බව ඉතා පැහැදිලියි. නමුත් 1977 සිට අඩු වශයෙන් වසර 30ක් පමණ එක දිගට 4.8%ක පමණ සාමාන්‍ය වර්ධන වේගයක් පවත්වා ගැනීම ලංකාවට අසීරු කරුණක් වූයේ නැහැ. මෙවැන්නක් සිදු කළේ දිගින් දිගටම ණය ගනිමින් වුවත්, එම ණය ගැනීම් ණය පැහැර හැරීමට සිදු වන අර්බුදයක් දක්වා වර්ධනය වූයේ නැහැ. වරින් වර ගෙවුම් ශේෂ අර්බුද ආවත් මූල්‍ය අරමුදලේ උදවුවෙන් එම ගෙවුම් ශේෂ අර්බුද විසඳා ගත හැකි වුනා. ඒ නිසා, එසේ කළ යුතුයැයි සිදු කෙරෙන යෝජනාවක් නොවුනත්, නැවතත් යම් මට්ටමකින් ණය ගනිමින් 4.8%ක පමණ වර්ධන වේගයක් තිරසාර ලෙස පවත්වා ගෙන යාම නොකළ හැක්කක් නෙමෙයි. 

මෙහි අප ගොනු කළ තර්ක අනුසාරයෙන් ලංකාවේ විභව වර්ධන වේගයේ පරාසය 3.1%-4.8% ලෙස අපට සැලකිය හැකියි. එය කවර අගයක් වුවද, ඉහත ප්‍රස්ථාර අනුව පෙනී යන්නේ මේ වන විට ලංකාවේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතය පවතින්නේ විභව මට්ටමට වඩා පහතින් බවයි. එවැනි තත්ත්වයක් යටතේ, විභව වර්ධන පථය දක්වා යන තුරු, ආර්ථිකය විභව මට්ටමට වඩා වේගයෙන් වර්ධනය වීම සාමාන්‍ය තත්ත්වයයි. ඒ නිසා, ඉදිරි වසර කිහිපය තුළ විභව මට්ටම ඉක්මවා යන වර්ධනයක් ලඟා කර ගැනීමේ විභවයක් ලංකාවට තිබෙනවා. ඒ වගේම, රාජ්‍යමූල්‍ය හා මුදල් ප්‍රතිපත්ති මගින් මේ වර්ධනයට තල්ලුවක් දීමේ හැකියාවද තිබෙනවා. එහෙත්, එසේ කළ යුත්තේ ස්ථායීතාවය අවදානමේ නොහෙලමිනුයි.

Sunday, January 4, 2026

ආර්ථික වර්ධනය කියන්නේ කුමක්ද?


මෙය කියවන අය අතර සෑහෙන කාලයක සිට අපව කියවන සැලකිය යුතු පිරිසක් ඉන්නවා. නමුත් වැඩි පිරිසක් පසුගිය ආර්ථික අර්බුද සමයෙන් පසුව එකතු වූ අය. විශේෂයෙන්ම වත්පොත හරහා අපව කියවන වැඩි දෙනෙකු එවැනි අය. ඒ නිසා, ඒ අය වෙනුවෙන්, සමහර මූලික සංකල්ප නැවත පැහැදිලි කළ යුතුව තිබෙනවා.

මෙම සටහනේ අරමුණ නාමික දළ දේශීය නිෂ්පාදිතය හා මූර්ත දළ දේශීය නිෂ්පාදිතය කියන සාර්ව ආර්ථික විද්‍යාවේ මූලික විචල්‍ය දෙක ගැන නැවතත් මූලික මට්ටමේ හඳුන්වා දීමක් කරන එක. අපගේ පාඨකයින් බොහෝ දෙනෙකුට මේ මේ මට්ටමේ පැහැදිලි කිරීමක් අවශ්‍ය නොවනු ඇති වුනත්, මෙවැනි මූලික දේවල් ගැනවත් අවබෝධයක් නොමැති අයත් අපේ පාඨකයින් අතර සිටින නිසා ඒ අය වෙනුවෙන් මෙවැනි සටහනක් ලියන්න වෙනවා. 

මේ වන විට මෙවැනි පැහැදිලි කිරීමක් නැවත කිරීමේ දේශපාලනික අවශ්‍යතාවයක්ද මෝදු වෙමින් තිබෙනවා. 

වසර කිහිපයකට පෙර ලංකාවේ ආර්ථිකයේ සිදු වූ විශාල කඩා වැටීම තවමත් බොහෝ දෙනෙකුට අමතක වී නැහැ. ඒ වගේම, එවැනි කඩා වැටීමක් සිදු වූ බව තවමත් බොහෝ දෙනෙකුට ප්‍රතික්ෂේප කරන්න බැහැ. ආර්ථික අර්බුදයේ කම්පනය තවමත් තිබෙනවා. නමුත් කාලයත් එක්ක මේ සාමූහික මතකයේ කම්පනයත් ටිකෙන් ටික ක්ෂය වෙලා යයි. අවුරුදු 26ක සිවිල් යුද්ධය දැන් ගොඩක් අයට මතක නැහැ වගේ.

රටක ප්‍රතිපත්ති සම්පාදකයින්ට ඒ රටේ ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගත නොහැකි තත්ත්වයක් ආර්ථිකයේ කඩා වැටීමක් ලෙස සරලව හඳුන්වන්න පුළුවන්. බාහිර කම්පනයක් නිසා මෙවැන්නක් සිදු විය හැකි වුවත්, එයින් අදහස් වන්නේද බාහිර කම්පනයකට ඔරොත්තු දිය හැකි ආර්ථිකයක් රටේ තිබී නැති බවයි. දශක ගණනාවක් තිස්සේ ලංකාවේ තිබුණේ එවැනි ආර්ථිකයක්. 

අඩු වැඩි වශයෙන් ඕනෑම රටක ආර්ථිකයකට බාහිර කම්පන දරාගත හැකි සීමාවක් තිබෙනවා. ස්ථායී ආර්ථිකයක් කියා කිව හැක්කේ මේ දරා ගැනීමේ හැකියාව ගොඩක් ඉහළ ආර්ථිකයකටයි. පසුගිය ආර්ථික අර්බුදයට පෙර ලංකාවේ ආර්ථිකයේ දරා ගැනීමේ හැකියාව පැවතුණේ ඉතාම පහළ මට්ටමකයි.

සාර්ව ආර්ථික ස්ථායීතාවය කියන එක සාමාන්‍ය පුද්ගලයෙකුට ඇඟට දැනෙන එකක් නෙමෙයි. එහි වැදගත්කම සාමාන්‍ය පුද්ගලයෙකුට දැනෙන්නේ ආර්ථිකයක් අස්ථායී වී කඩා වැටීමකට ලක් වූ විට පමණයි. සාමාන්‍ය පුද්ගලයෙකුට දැනෙන්නේ තමන්ගේ ජීවන තත්ත්වය උසස් වීම හෝ පහත වැටීමයි. ජීවන තත්ත්වය උසස් වෙන්නේ ආර්ථික වර්ධනයත් එක්කයි. ඒ නිසා ආර්ථික වර්ධනය පිළිබඳව ගොඩක් අය සංවේදී වුවත්, ආර්ථික ස්ථායීතාවය පිළිබඳව ගොඩක් අය සංවේදී නැහැ.

රටක ආර්ථික ප්‍රතිපත්තිය අවසාන වශයෙන් තීරණය වෙන්නේ දේශපාලනය හරහා. රටේ ගොඩක් අය ආර්ථික වර්ධනය පිළිබඳව සංවේදී වන තරමට ආර්ථික ස්ථායීතාවය පිළිබඳව සංවේදී නැති තත්ත්වයක් තුළ, ආර්ථික වර්ධනයට ලැබෙන ප්‍රතිපත්ති ප්‍රමුඛතාවය ආර්ථික ස්ථායීතාවයට ලැබෙන්නේ නැහැ. කාලයක් තිස්සේම ලංකාවේ සිදු වුනේ මෙයයි.

නමුත් පසුගිය ආර්ථික අර්බුදයෙන් පසුව මේ තත්ත්වයේ වෙනසක් සිදු වුනා. ආර්ථික ස්ථායීතාවයේ වැදගත්කම රටේ බොහෝ දෙනෙකුට ක්ෂණිකව අවබෝධ වුනා. ඊට හේතුව ඊට පෙර වියුක්තව සිතා තේරුම් ගත යුතුව තිබුණු දෙයක් ප්‍රායෝගික අත්දැකීම් විදිහට අත්විඳින්න ලැබීමයි. මේ තත්ත්වය තුළ, රටේ ආර්ථික ප්‍රතිපත්තියේද වෙනසක් සිදු වුනා. ඒ ප්‍රතිපත්ති වෙනස්කම් සිදු කිරීම සඳහා කලින් නොලැබුණු මහජන සහයෝගයක් ලැබුණා. අවශ්‍යනම් මහජන සහයෝගයක් ලැබුණා නොකියා මහජන විරෝධය පාලනය වීමක් සිදු වුනා කියන්න වුනත් පුළුවන්. ආණ්ඩුව වෙනස් වීමෙන් පසුවද මේ තත්ත්වයේ වෙනසක් සිදු වුනේ නැහැ.

එහෙත් අවසාන වශයෙන් රටක ජනතාවට ඇඟට දැනෙන්නේ වර්ධනයේ ප්‍රතිලාභ මිසක් ස්ථායීතාවයේ ප්‍රතිලාභ නොවන නිසා, ස්ථායීතාවය පිළිබඳව පැවතුනු මහජන උනන්දුව ක්‍රමයෙන් ක්ෂය වී යාම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුළ ආර්ථික ප්‍රතිපත්ති හරහා අවසාන වශයෙන් ඉස්මතු වෙන්නේ මහජන මතය නිසා මෙවැනි වෙනසක දේශපාලනික බලපෑමක් තිබෙනවා. දළ දේශීය නිෂ්පාදිතය හා මූර්ත දළ දේශීය නිෂ්පාදිතය වැනි සාර්ව ආර්ථික විචල්‍ය ගැන දැනුවත්ව සිටීම දේශපාලනික අවශ්‍යතාවයක්ද වන්නේ ඒ නිසා. 

ආර්ථික වර්ධනය කියන්නේ කුමක්ද?

මෙය ඉතාම සරල ප්‍රශ්නයක් සේ පෙනෙන්න පුළුවන්. ආර්ථික වර්ධනය ගැන කතා නොකරන කෙනෙක් නැති තරම්. නමුත් ඒ ඕනෑම කෙනෙකුට ඉහත ප්‍රශ්නයට නිවැරදි පිළිතුරක් දෙන්න පුළුවන්ද?

ආර්ථික වර්ධනය මනින්නේ දළ දේශීය නිෂ්පාදිතයේ ඉහළ යාම ඇසුරෙනුයි. දළ දේශීය නිෂ්පාදිතය කියන්නේ කිසියම් වසරක කිසියම් රටක නිපදවනු ලැබූ භාණ්ඩ හා සේවා ප්‍රමාණය. ඒ අනුව, ආර්ථික වර්ධනය කියා කියන්නේ වසරක් ඇතුළත එසේ නිපදවනු ලැබූ භාණ්ඩ හා සේවා ප්‍රමාණය පෙර වසරට සාපේක්ෂව වැඩි වීම. අවශ්‍යනම් වසරක කාලයක් වෙනුවට කාර්තුවක (මාස තුනක) වැනි කාලයක් සලකා බලන්න පුළුවන්. රටම වෙනුවට රටේ එක් පළාතක් සලකා බලන්න පුළුවන්. නමුත් මූලික අදහස එකයි. ඒ නිසා, අපි රටක් සහ වසරක කාලයක් සලකමු. වඩාත්ම ප්‍රචලිතව ආර්ථික වර්ධනය ගැන කතා කෙරෙන්නේ රටක් හා වසරක කාලයක් අරගෙනයි.

මේ සංකල්පීය අර්ථදැක්වීම අනුව, දළ දේශීය නිෂ්පාදිතයට මුදල් වල සම්බන්ධයක් නැහැ. එහි මූලික පදනම රටක නිපදවන භාණ්ඩ හා සේවා ප්‍රමාණයයි. රටක නිපදවන භාණ්ඩ හා සේවා ප්‍රමාණය ඉහළ යද්දී ඒ රටේ ජනතාවගේ පරිභෝජනය කිරීමේ හැකියාවද ඉහළ යනවා. ඒ නිසා දළ දේශීය නිෂ්පාදිතය ඉහළ යාම ඒ රටේ ජනතාවගේ ජීවන තත්ත්වය සමස්තයක් ලෙස ඉහළ යාමක් ලෙස සලකන්න පුළුවන්. 

පසුගිය අවුරුද්දේ රටේ සමස්ත නිෂ්පාදනය පොල් ගෙඩි 10ක් සහ හාල් කිලෝ 10ක් පමණක්නම්, මේ අවුරුද්දේ රටේ සමස්ත නිෂ්පාදනය පොල් ගෙඩි 11ක් සහ හාල් කිලෝ 11ක් වෙලානම්, ආර්ථික වර්ධනය 10%ක් ලෙස සලකන්න පුළුවන්. නමුත් රටේ නිපදවන සෑම භාණ්ඩයක් හා සේවාවක්ම ඔය විදිහට එකම අනුපාතයකින් වැඩි වෙන්නේ (හෝ අඩු වෙන්නේ නැහැ). මේ අවුරුද්දේ රටේ සමස්ත නිෂ්පාදනය පොල් ගෙඩි 11ක් සහ හාල් කිලෝ 12ක් වෙලානම්, ආර්ථික වර්ධනය සේ සලකන්නේ පොල් වල 10%ද නැත්නම් හාල් වල 20%ද?

රටක නිපදවන්නේ හාල් හා පොල් පමණක් නෙමෙයි. තවත් ගොඩක් දේවල් නිපදවනවා. ඒ එක් එක් භාණ්ඩයේ හෝ සේවාවේ නිෂ්පාදිතය වසරක් තුළ ඉහළ හෝ පහළ යන්නේ එකම අනුපාතයකින් නෙමෙයි. ඒ නිසා, ආර්ථික වර්ධනය මැනීම සඳහා අප‍ට මේ වෙනස්වීම් වල සාමාන්‍ය අගයක් ගන්න වෙනවා. නමුත් මේ සාමාන්‍ය අගය විදිහට සරල සාමාන්‍යය ගන්න එකේත් ප්‍රශ්නයක් තිබෙනවා.

උදාහරණයක් විදිහට අපි පොල් වල 10% වර්ධනයේ සහ හාල් වල 20% වර්ධනයේ සාමාන්‍ය අගය වන 15% රටේ ආර්ථික වර්ධන වේගය ලෙස සලකනවා කියා හිතමු. මෙහිදී අපට පොල් ගෙඩියකින් රටේ නිෂ්පාදිතය වැඩිවීම සහ හාල් කිලෝවකින් රටේ නිෂ්පාදිතය වැඩි වීම කියන්නේ දෙකක් නොව එකක් ලෙස සලකන්න වෙනවා. ඊට හේතුව මේ ක්‍රමය අනුව පොල් ගෙඩි තුනකින් පමණක් නිෂ්පාදිතය වැඩි වුනත්, හාල් කිලෝ තුනකින් පමණක් නිෂ්පාදිතය වැඩි වුනත්, පොල් ගෙඩියකින් හා හාල් කිලෝ දෙකකින් නිෂ්පාදිතය වැඩි වුනත් ආර්ථික වර්ධනය සමාන වීමයි. නමුත් එය නිවැරදිද? 

හාල්, පොල් අතරට මෝටර් රථයක් වගේ දෙයක් එකතු කළ විට ප්‍රශ්නය වඩා පැහැදිලිව පේනවා. වැඩිපුර මෝටර් රථයක් නිපදවනවා කියන එක සහ වැඩිපුර පොල් ගෙඩියක් නිපදවනවා කියන්නේ එකක් නෙමෙයි දෙකක්. පොල් ගෙඩියකට වඩා මෝටර් රථයක් වටිනවා කියන එක කාට වුනත් තේරෙනවා. ඒ නිසා, වෙනස් භාණ්ඩ හා සේවාවන් අප‍ට සරල ලෙස එකතු කරන්න බැහැ. ඒවා එකතු කිරීම සඳහා අපට භාණ්ඩ හා සේවා එකිනෙකට සමාන වෙන්නේ කොහොමද කියා හිතන්න වෙනවා. දළ දේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු කරද්දී මුදල් ඒකකයක් යොදා ගන්නේ මේ ප්‍රශ්නය විසඳන්නයි. 

මුදල් ඒකකයක් යොදා ගෙන අප‍ට ඕනෑම භාණ්ඩයක් හෝ සේවාවක් එහි වටිනාකම අනුව මුදල් වලින් මනින්න පුළුවන්. එවිට මේ වටිනාකම් එකතු කරන්න පුළුවන්. ඒ නිසා, හාල්, පොල් හා මෝටර් රථ වල ඒකකයක් එක සමාන සේ සැලකීමක් සිදු වෙන්නේ නැහැ. වටිනාකම වැඩි නිෂ්පාදිතයට වැඩි බරක් වැටෙනවා. 

දැන් අපි වඩා වැදගත් කොටස තේරුම් ගැනීම සඳහා ඇමරිකාවේ 2017 සහ 2024 දළ දේශීය නිෂ්පාදිත අගයන් දෙස බලමු.

2017 - ඩොලර් බිලියන 19,612

2024 - ඩොලර් බිලියන 29,298

වර්ධනය (වසර හතක් ඇතුළත) - 49.4%


මේ ගණන් අපට රුපියල් වලින් ඉදිරිපත් කරන්නත් පුළුවන්. 

2017 - රුපියල් ට්‍රිලියන 2,990 (ඩොලරය = රුපියල් 152.46)

2024 - රුපියල් ට්‍රිලියන 8,852 (ඩොලරය = රුපියල් 302.12)

වර්ධනය (වසර හතක් ඇතුළත) - 96.0%

රුපියල් වලින් බැලුවොත් ඇමරිකාවේ ආර්ථිකය වසර හතක් ඇතුළත 96.0%කින් වර්ධනය වෙලා තියෙනවා. නමුත් ඩොලර් වලින් බැලුවොත්, ඇමරිකාවේ ආර්ථිකය වර්ධනය වෙලා තියෙන්නේ 49.4%කින් පමණයි. එහෙමනම්, ඔය දෙකෙන් හරි එක කොයි එකද?

රුපියල් වලින් බලද්දී පෙනෙන 96.0% වැරදියි කියලා ගොඩක් අය කියයි. ඒකට හේතුව ඔය කාලය ඇතුළත රුපියල බාල්දු වීම කියලා සමහර විට පැහැදිලි කිරීමකුත් කරයි. නමුත් එහෙම පැහැදිලි කිරීමක් කළ හැකි ඇතැම් අය 49.4%ක වර්ධනය වැරදියි කියා නොකියන්න ඉඩ තිබෙනවා. 

ඇත්තටම කිවුවොත්, ඔය අගයයන් දෙකෙන් එකක් අනෙක් එකට වඩා වැඩියෙන් හරි හෝ වැරදි නැහැ. එක්කෝ දෙකම හරි. නැත්නම් දෙකම වැරදියි. 

ඉහත වසර හතක කාලය ඇතුළත නාමික රුපියල් වටිනාකම අනුව, ඇමරිකාවේ ආර්ථිකය 96.0%කින් වර්ධනය වී තිබෙනවා. ඒ වගේම, නාමික ඩොලර් වටිනාකම අනුව, ඇමරිකාවේ ආර්ථිකය 49.4%කින් වර්ධනය වී තිබෙනවා. ඒ නිසා, ඔය දෙකම හරි. නමුත් අපට මනින්න අවශ්‍ය වන්නේ ඔය අවුරුදු හතක කාලය ඇතුළත ඇමරිකාවේ නිෂ්පාදිතයේ ඇත්තටම සිදු වූ වර්ධනයනම්, ඔය ගණන් දෙකම වැරදියි. 

නාමික කියන එකෙන් අදහස් වන්නේ "නමට" සිදු වූ වර්ධනයක් කියන එකයි. එය සැබෑ වර්ධනයක් නෙමෙයි. 

රටක භාණ්ඩ හා සේවා විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කරන නිසාත්, ඒ භාණ්ඩ හා සේවා වල නිෂ්පාදිතය එකතු කළ හැකි තනි ඒකකයක් අවශ්‍ය නිසාත්, අපි ඔය වැඩේට කිසියම් මුදල් ඒකකයක් යොදා ගන්නවා. යොදා ගන්නා මුදල් ඒකකය රුපියල් වුනත්, ඩොලර් වුනත් අවශ්‍ය වැඩේ කෙරෙනවා. ඒ නිසා, ඔය ක්‍රමයට කිසියම් අවුරුද්දක රටක දළ දේශීය නිෂ්පාදිතය ගණනය කරන්න පුළුවන්. ඒ වගේම, එහෙම කරන එකේ වැරැද්දකුත් නැහැ. නමුත් ඔය විදිහට වෙනස් වසර දෙකක දළ දේශීය නිෂ්පාදිතය ගණනය කරලා සංසන්දනය කරද්දී අමතර ප්‍රශ්නයක් මතු වෙනවා. ඒ ප්‍රශ්නය තමයි අදාළ වසර දෙක ඇතුළත භාණ්ඩ හා සේවා වල වටිනාකම් වෙනස් වීම.

භාණ්ඩ හා සේවා වල වටිනාකම් වසරෙන් වසරට වෙනස් වෙනවා. ඒ නිසා රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදිතයේ කිසිම වෙනසක් සිදු නොවුනත්, මුදල් වර්ගයක් මගින් මනින එම භාණ්ඩ හා සේවා වල අගය වෙනස් වෙනවා. ඒ වගේම, කොයි තරම් වෙනසක් වෙනවද කියන එක මේ සඳහා යොදා ගන්නා මුදල් ඒකකය අනුවත් වෙනස් වෙනවා. "නාමික ආර්ථික වර්ධනයක්" එහෙමත් නැත්නම් නිකම් නමට වර්ධනයක් කියා කියන්නේ ඒ නිසා.

නාමික ආර්ථික වර්ධනයක් තිබූ පමණින් රටක මිනිසුන්ගේ ජීවන තත්ත්වය ඉහළ යන්නේ නැහැ. ඒ සඳහා රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදිතය ඉහළ යා යුතුයි. සැබෑ වර්ධනයක් එහෙමත් නැත්නම් මූර්ත වර්ධනයක් කියා කියන්නේ එවැන්නකටයි. මුදල් වලින් මනින වටිනාකම් වෙනස් වීමේ ප්‍රතිඵලයක් ලෙස දැකිය හැකි නාමික ආර්ථික වර්ධනයක් සැබෑ ආර්ථික වර්ධනයක් නෙමෙයි. එහෙමනම්, මූර්ත ආර්ථික වර්ධනය මැන ගත හැක්කේ කොහොමද?

භාණ්ඩ හා සේවා වල නිෂ්පාදිත එකතු කළ යුතු නිසා අපට එම නිෂ්පාදිත මුදල් වටිනාකම් වලට පරිවර්තනය නොකර මේ වැඩේ කරන්න විදිහක් නැහැ. එසේ වුවත්, මූර්ත ආර්ථික වර්ධනය මැනීම සඳහා අපට භාණ්ඩ හා සේවා වල වටිනාකම් වෙනස් වීම් නොසලකා හැර, නියතව තියාගෙන, ගණනය කිරීමක් කරන්න පුළුවන්. ඉහත උදාහරණය වෙත ගියොත්, අපට ඇමරිකාව තුළ 2024දී නිපදවූ භාණ්ඩ හා සේවා වල වටිනාකම 2017දී පැවති මිල ගණන් යොදා ගෙන තක්සේරු කරන්න පුළුවන්. එහෙමත් නැත්නම්, 2017දී නිපදවූ භාණ්ඩ හා සේවා වල වටිනාකම 2024දී පැවති මිල ගණන් යොදා ගෙන තක්සේරු කරන්න පුළුවන්. නිෂ්පාදිතයේ ඇත්තටම සිදු වූ වැඩි වීම මැනිය හැක්කේ ඔය විදිහට එකම වටිනාකම් යොදා ගෙන තක්සේරුවක් කළහොත් පමණයි. 

අපි 2017දී පැවති මිල ගණන් යොදා ගෙන මේ තක්සේරුව කරමු. එසේ කළ පසුවද, 2017 අගයේ වෙනසක් වෙන්නේ නැහැ. නමුත්, 2024 අගය සැලකිය යුතු ලෙස අඩු වෙනවා.

2017 - ඩොලර් බිලියන 19,612

2024 - ඩොලර් බිලියන 23,358

වර්ධනය (වසර හතක් ඇතුළත) - 19.1%

පේනවානේ වෙනස. දැන් අර කලින් තිබුණු 49.4% වර්ධනය නැහැ. එය 19.1% දක්වා අඩු වෙලා. ඒ තමයි මූර්ත වර්ධනය හෙවත් සැබෑ වර්ධනය. 

දැන් අපිට ඉහත ගණන් 2017 රුපියල් වලින් ඉදිරිපත් කරන්නත් පුළුවන්. 

2017 - රුපියල් ට්‍රිලියන 2,990 (ඩොලරය = රුපියල් 152.46)

2024 - රුපියල් ට්‍රිලියන 3,561 (ඩොලරය = රුපියල් 152.46)

වර්ධනය (වසර හතක් ඇතුළත) - 19.1%

රුපියල් වලින් මැන්නත්, ඩොලර් වලින් මැන්නත් වර්ධන වේගයේ වෙනසක් නැහැ. ඊට හේතුව, මෙය මූර්ත වර්ධනයක් හෙවත් සැබෑ වර්ධනයක් වීමයි. යොදා ගන්නා මුදල් ඒකකය අනුව වෙනස් වෙන්නේ නාමික ආර්ථික වර්ධනය පමණයි. ඊට හේතුව එක් එක් මුදල් ඒකකයේ වටිනාකම කාලයත් සමඟ වෙනස් වන්නේ එකම වේගයෙන් නොවීමයි. නමුත් සංකල්පීය වශයෙන් ආර්ථික වර්ධනය සේ සලකන්නේ නිෂ්පාදිතය ඉහළ යාම මිසක් වටිනාකම් වෙනස් වීම නොවන නිසා එය මූර්ත ආර්ථික වර්ධන වේගය කෙරෙහි බලපාන්නේ නැහැ. 

දැන් අපිට මේ විදිහටම "රාජපක්ෂ දශකයේ", ඒ කියන්නේ 2004-2014 කාලයේ, ආර්ථික වර්ධනය දෙසත් බලන්න පුළුවන්. මේ කාලය විශේෂයෙන්ම සලකා බලන්නේ එම කාලයේ ලංකාවේ ආර්ථිකය හතර ගුණයක් වූයේයයි සිතන අය තවමත් ඉතිරි වී සිටින නිසා. මුලින්ම අපි රුපියල් වලින් හා ඩොලර් වලින් 2004 හා 2014 වසර වල ලංකාවේ නාමික දළ දේශීය නිෂ්පාදිතය දෙස බලමු.

2004 - රුපියල් බිලියන 2,090.8

2014 - රුපියල් බිලියන 10,361.1

වර්ධනය (වසර දහයක් ඇතුළත) - 395.6%


2004 - ඩොලර් බිලියන 20.7 (ඩොලරය = රුපියල් 101.19)

2014 - ඩොලර් බිලියන 79.4 (ඩොලරය = රුපියල් 130.56)

වර්ධනය (වසර දහයක් ඇතුළත) - 284.1%

ගොඩක් අය ඔය කාලය ඇතුළත ලංකාවේ ආර්ථිකය හතර ගුණයක් වුනා කියා හිතාගෙන ඉන්නේ දෙවනුවට තිබෙන නාමික වර්ධනය අනුවයි. ඔය අවුරුදු දහයේ ඩොලර් නාමික වර්ධනය ඇත්තටම 3.84 ගුණයක්. නමුත් බලන්නේ නාමික වර්ධනයනම්, රුපියල් වලින් බැලුවොත් 4.96ක වර්ධනයක් තිබෙන නිසා හතර ගුණයක් නොකියා පස් ගුණයක වර්ධනයක් කියා කියන්නත් පුළුවන්. තවත් වැඩි වර්ධනයක් දකින්න කැමති කෙනෙකුට අවශ්‍යනම් වෙනිසියුලාවේ බොලිවාරය වගේ මුදල් ඒකකයක් යොදාගෙන ඔය වගේ තුන් ගුණයක පමණ වර්ධනයක් පෙන්නන්න වුනත් පුළුවන්!

ඒ කියන්නේ 2004-2014 කාලයේ ලංකාවේ ආර්ථිකය හතර ගුණයකින් වර්ධනය වුනා කියන එක බොරුවක්ද?

නෑ. මෙය බොරුවක් නෙමෙයි. හතර ගුණයක වර්ධනයක් වුනා. නමුත් එය නාමික වර්ධනයක් පමණයි. රුපියල් වලින්නම් පස් ගුණයකම වර්ධනයක් වුනා. එහෙත්, එවැනි මට්ටමක මූර්ත වර්ධනයක් ඔය කාලයේ සිදු වුනේ නැහැ.

ඒ කියන්නේ මූර්ත වර්ධනයක් ඔය කාලයේ සිදු වුනේම නැද්ද?

හතර ගුණයක මූර්ත වර්ධනයක් සිදු වුනේ නැතත් ඔය කාලයේ ලංකාවේ ආර්ථිකය වර්ධනය වුනා. පහත තිබෙන්නේ 2004 රුපියල් වලින් සහ 2004 ඩොලර් වලින් ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය සහ මූර්ත වර්ධනය. 

2004 - රුපියල් බිලියන 2,091

2014 - රුපියල් බිලියන 3,886

වර්ධනය (වසර දහයක් ඇතුළත) - 85.8%


2004 - ඩොලර් බිලියන 20.7 (ඩොලරය = රුපියල් 101.19)

2014 - ඩොලර් බිලියන 38.4 (ඩොලරය = රුපියල් 101.19)

වර්ධනය (වසර දහයක් ඇතුළත) - 85.8%

රාජපක්ෂ දශකය තුළ ලංකාවේ ආර්ථිකය වර්ධනය වුනා. නමුත් අවුරුදු දහයක වර්ධනය 85.6%ක් මිසක් හතර ගුණයක් නෙමෙයි. ඔය හතර ගුණයේ කතාව ඇතුළේ තිබෙන්නේ දේශපාලනික අරමුණකින් කාලයක් තිස්සේ හිතාමතාම කළ මොළ ශෝධනයක ප්‍රතිඵලයක්. 

සාමාන්‍යයෙන් ආර්ථික වර්ධනය ගැන කතා කරන කෙනෙක් මූර්ත ආර්ථික වර්ධනය ගැන මිසක් නාමික ආර්ථික වර්ධනය ගැන බර තියලා කතා කරන්නේ නැහැ. නමුත් නාමික ආර්ථික වර්ධනය සැලකිල්ලට ගත යුතු සන්දර්භයන්ද තිබෙනවා. උදාහරණ විදිහට දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාත ලෙස සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කරද්දී සැලකිල්ලට ගන්නේ නාමික දළ දේශීය නිෂ්පාදිතය. නමුත් ඒ වගේ අවස්ථා වලදී වඩා වැදගත් වන්නේද රුපියල් වලින් ගණනය කරන නාමික දළ දේශීය නිෂ්පාදිතයයි.

ඉහත කාලයේදී හා ඉන් පසුව, දේශපාලන ව්‍යාපෘතියක් ලෙස නාමික දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය ගැන කතා කරද්දී ඩොලර් නාමික දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය කෙරෙහි මිසක් රුපියල් නාමික දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය මත බර තැබුවේ නැහැ. එහෙම කළානම් නඩුව පරදිනවා. 

රුපියල් වලින් බැලුවොත්, 2020-2024 අවුරුදු හතර ඇතුළත වුනත් නාමික දළ දේශීය නිෂ්පාදිතය දෙගුණයකට ආසන්න වෙලා තියෙනවා.

2020 - රුපියල් බිලියන 15,646

2024 - රුපියල් බිලියන 29,999

වර්ධනය (වසර දහයක් ඇතුළත) - 91.1%

පසුගිය අවුරුදු හතර ඇතුළත ලංකාවේ ආර්ථිකය දෙගුණයක් වුනා කියා කිවුවොත් කවුරුවත් ඒක පිළිගන්න එකක් නැහැ. නමුත්, ඒ වගේම බොරුවක් (හෝ ඇත්තක්) වන, 2004-2014 කාලය තුළ ආර්ථිකය හතර ගුණයක් වුනා කියන එක විශාල පිරිසක් පිළිගත්තා. ඒ ගොඩක් අය, ආර්ථික විද්‍යාව ගැන මෙලෝ මළ හත්තිලව්වක් දැනගෙන නොසිටි නමුත්, වෙනත් විවිධ වෘත්තීන් වල ප්‍රවීණතාවක් ලබා සිටි අය. ඔය කතාවට රැවටුණේ ගම් වල සාමාන්‍ය මිනිස්සු නෙමෙයි. 

මෙවැනි බොහෝ දෙනෙකු ආර්ථික අර්බුදයෙන් පසුව මූලික ආර්ථික විද්‍යා සංකල්ප ගැන දැනගන්න උනන්දුවක් ඇති කරගෙන සැලකිය යුතු අවබෝධයක් ලබාගෙන ඇතත්, එවැනි අවබෝධයක් තවමත් නොමැති අයද සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. එකම බොරුවට නැවත නැවත රැවටෙනවානම්, ආර්ථික අර්බුදයේ කටුක අත්දැකීම් වලින් පසුවද එවැනි අය අවශ්‍ය පාඩම ඉගෙනගෙන නැහැ. 

රාජපක්ෂ දශකය තුළ සහ ඉන් පසුව මෙවැනි බොරුවක් ජනගත කර එයින් දේශපාලනික වාසියක් ලබා ගත හැකි වීමට කරුණු කීපයක් ඉවහල් වුනා. පළමුවැන්න ඔය කාලයේ මූර්ත ආර්ථික වර්ධනයද සැලකිය යුතු ඉහළ මට්ටමක තිබීම සහ එහි ප්‍රතිඵල පෙනෙන්න තිබීම. දෙවැන්න, අනෙක් බොහෝ වකවානු වලද මීට කිට්ටුවෙන් යන රුපියල් නාමික වර්ධනයක් තිබුණද, මේ මට්ටමේ ඩොලර් නාමික වර්ධනයක් නොතිබීම. 

ඔය සාධක දෙකම රටේ ආර්ථික ස්ථායීතාවය බිඳ වැටී පසුව ආර්ථිකය කඩා වැටීමට හේතු වුනා. මේ ගැන අප විසින් පැහැදිලි කිරීම් කර තිබෙන්නේ ආර්ථිකය කඩා වැටීමට බොහෝ කාලයකට පෙර සිටයි. කෙසේ වුවද, මේ ලිපියෙන් එම කරුණු නැවත සාකච්ඡාවට ගන්නේ නැහැ. මෙහි අරමුණ නාමික ආර්ථික වර්ධනය සහ මූර්ත ආර්ථික වර්ධනය අතර වෙනස සරලව පැහැදිලි කිරීමයි. අනෙකුත් කරුණු ගැන පසුව වෙනම කතා කරමු. 

Friday, January 2, 2026

ජපානය පැරදවූ ඉන්දියාවේ ඉදිරි මග

ශ්‍රී ලංකාවේ අසල්වැසි රාජ්‍යය වන ඉන්දියාව එහි දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රමාණය අනුව ජපානය පරදවා යමින් ලෝකයේ සිවුවන විශාලතම ආර්ථිකය බවට පත් වී තිබෙනවා. මේ වන විට ඉන්දියාවේ ආර්ථිකයේ ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 4.18ක්. 

ලෝකයේ ප්‍රධාන ආර්ථිකයන් අතරින් වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකයක් වන ඉන්දියාවේ එම වර්ධනය තිරසාර වර්ධනයක් බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන්නේ උද්ධමනය සහ විරැකියා අනුපාතිකය පහළ මට්ටමක තබා ගන්නා අතරම, එනම් ආර්ථික ස්ථායීතාව පවත්වා ගන්නා අතරම, වර්ධන වේගය ඉහළ නංවා ගැනීමට ඉන්දියාව සමත්ව ඇති බැවිනුයි.

මෙම වර්ධන නැමියාව එලෙසම පවත්වා ගනිමින්, ඉදිරි වසර තුනක කාලය ඇතුළත, ජර්මනිය අභිබවා ලෝකයේ තෙවන විශාලතම ආර්ථිකය බවට පත් වීම ඉන්දියාවේ ඉලක්කයයි. මූල්‍ය අරමුදලේ ඇස්තමේන්තු අනුව, 2030 වන විට ඉන්දියාවේ ආර්ථිකය ඩොලර් ට්‍රිලියන 7.3ක මට්ටමක් දක්වා ඉහළ යාමට නියමිතයි. 

උද්ධමනය පහළ මට්ටමක පවතින අතරම වර්ධන වේගය වැඩි වන තත්ත්වයක් ආර්ථිකයේ ගෝල්ඩිලොක්ස් කාල පරිච්ඡේදයක් ලෙස හැඳින්වෙනවා. එවැනි තත්වයකදී වර්ධන වේගය ඉහළ යන්නේ සාර්ව ආර්ථික මැදිහත්වීම් හරහා ලබා දෙන තල්ලු වල උදවුවෙන් නෙමෙයි. ඒ නිසා, වර්ධනය තිරසාර එකක්. 

ගෝල්ඩිලොක්ස් සුරංගනා කතාවේ වලසුන් තිදෙනාගේ නිවහනට ඇතුළු වන දැරිය විසින් තෝරා ගන්නේ වඩා උණුසුම්ද නැති, වඩා ශීතලද නැති කැඳ කෝප්පයයි. ආර්ථික වර්ධනය හා අදාළවද ප්‍රශස්ත තේරීම වන්නේ ආර්ථික තිරසාරත්වය පවත්වා ගත හැකි වර්ධන වේගයක් මිස එය අවදානමට ලක් කෙරෙන කඩි කුලප්පු වර්ධන වේගයක් නෙමෙයි. 

ඉන්දියාවේ ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය තවමත් (2024දී) ඩොලර් 2,650ක් පමණයි. විශාල ජනගහණයක් සිටින ඉන්දියාවේ දකුණු කොටස සංවර්ධනය වී ඇති තරමට සාපේක්ෂව උතුරු කොටස සංවර්ධනය වී නැහැ. ඒ නිසා, ලෝකයේ සිවුවන විශාලතම ආර්ථිකය වුවත්, ඉන්දියාව තවමත් පහළ මැදි ආදායම් රටක්. 

ඉන්දියාවේ ඉලක්කය වනුයේ 2047දී ඉහළ මැදි ආදායම් රටක් බවට පත් වීමයි. මෙවැනි ජාතික ඉලක්ක හඹා යන රටකට එවැනි ඉලක්කයක් සාර්ථක ලෙස ලඟා කර ගැනීමට හැකි වනුයේ අදාළ ඉලක්කය ප්‍රායෝගික ඉලක්කයක් වන්නේනම් පමණයි. නිකම්ම නමට ලොකු ඉලක්ක ඉදිරිපත් කළ පමණින් එවැනි ඉලක්ක අත්පත් කරගත හැකි වන්නේ නැහැ.

දැනට පවතින ප්‍රක්ෂේපිත තත්ත්වයන් තුළ ලංකාවේ ආර්ථිකය ඩොලර් බිලියන 300ක් වනු ඇත්තේ 2046දී වන අතර, ඩොලර් බිලියන 200ක් වනු ඇත්තේ 2038දීයි. ප්‍රතිපත්ති වෙනස්කම් නිසා මෙන්ම බාහිර කම්පන නිසාද මෙම ප්‍රක්ෂේපනයන් පහසුවෙන්ම වෙනස් විය හැකි වුවත්, එවැනි වෙනස්වීම් වලටද ප්‍රායෝගික සීමාවන් තිබෙනවා. කිසියම් විචල්‍යයක් වසරකට 7%ක වේගයකින් වර්ධනය වුවද, එය තෙගුණයක් වීම සඳහා වසර 17ක කාලයක් යනවා. 


Thursday, January 1, 2026

අවුරුද්දක සාර්ව ආර්ථික දර්ශක

වසරක් අවසන් වී නව වසරක් එළැඹී ඇති අවස්ථාවක් කියා කියන්නේ ගෙවී ගිය වසරක කාලය ලෙස හැරී බලා පසු විපරමක් කිරීම සඳහා හොඳ අවස්ථාවක්. එහෙත්, මේ පසු විපරම කරන්නේ රටේ ආර්ථිකය හා අදාළවනම්, එහිදී මතුවන ප්‍රධානම බාධාව වන්නේ වසරක් ගෙවී ගිය සැණින් එවැනි පසු විපරමක් කිරීම සඳහා අවශ්‍ය වන සාර්ව ආර්ථික දර්ශක සියල්ල පිළියෙල වී නොතිබීමයි. සාමාන්‍යයෙන් එය සිදු වන්නේ තෙමසක් පමණ දක්වා වන කාල පමාවකින් පසුවයි.

ඉහත හේතුව නිසා අප‍ට දෙසැම්බර් මාසයෙන් අවසන් වූ මාස දොළහක කාලය පිළිබඳව තවමත් පූර්ණ පසු විපරමක් කිරීමේ හැකියාවක් නැහැ. එහෙත්, සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ  මාස දොළහක කාලය පිළිබඳව එවැනි පසු විපරමක් කළ හැකියි. මේ සමඟ පළ කෙරෙන වගුව සකස් කර ඇත්තේ ඒ පදනමිනුයි. එහි 2025 සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ වසරක කාලය, 2024 සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ වසරක කාලය සමඟ සංසන්දනය කර තිබෙනවා.

රටේ ආණ්ඩු මාරුවක් සිදු වූයේද 2024 සැප්තැම්බර් මාසයේදී බැවින් වගුවේ තීරු දෙකෙන් නියෝජනය වන්නේ ආණ්ඩු වෙනසට පෙර සහ ආණ්ඩු වෙනසින් පසු වසරක කාල දෙකක්. එහෙත් වගුව පිළියෙළ කළේ එවැනි සංසන්දනයක් කිරීම සඳහා ඉඩ සැලසීමේ අරමුණෙන් නෙමෙයි. එක් වසරක රාජ්‍ය ප්‍රතිපත්ති වල හොඳ වගේම නරකත් වසරක කාලයක් තුළ අවසන් නොවන නිසා එවැනි සංසන්දයක් සිදු කළ යුත්තේ ඉතා සැලකිල්ලෙන්. ඒ වගේම, පසුගිය ආණ්ඩු මාරුවෙන් පසුව සාර්ව ආර්ථික ප්‍රතිපත්ති වල කැපී පෙනෙන වෙනසක් සිදු වූයේද නැහැ. ඒ නිසා, මෙහි දැකිය හැක්කේ එකම, අඛණ්ඩ වැඩ පිළිවෙලක ප්‍රතිඵලයි. 

Wednesday, December 31, 2025

උද්ධමනය හා ජංගම ගිණුම


කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව, දෙසැම්බර් මාසයේ උද්ධමනය 2.1%ක් ලෙස වාර්තා වෙනවා. ඔක්තෝබර් හා නොවැම්බර් මාස වලදීද උද්ධමනය පැවතුනේ 2.1% ලෙසයි. ඒ අනුව, වසරේ අවසන් කාර්තුවේ සාමාන්‍ය අගයද 2.1%ක්. මේ අනුව, සුළි කුණාටුවේ බලපෑමෙන් පසුවද, උද්ධමනය තවමත් මහ බැංකුවේ ඉලක්ක පරාසයේ අවම සීමාව වන 3%ට වඩා අඩු අගයක්. 

සුළි කුණාටුවේ බලපෑම නිසා ආහාර මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබුණද, උද්ධමනයෙහි වෙනසක් නොවීමට ප්‍රධාන හේතු දෙකක් බලපා තිබෙනවා. එයින් පළමුවැන්න වන්නේ ආහාර මිල ගණන් දෙසැම්බර් මාසය තුළ 3.9%කින් ඉහළ ගොස් තිබුණද, ආහාර නොවන පාරිභෝගික භාණ්ඩ වල මිල මාසය තුළ සමස්තයක් ලෙස නොවෙනස්ව තිබීමයි. දෙවන හේතුව වන්නේ පසුගිය 2024 දෙසැම්බර් මාසයේදීද ආහාර මිල ගණන් 3.9%කින් ඉහළ යාමයි. උද්ධමනය ගණනය කරන්නේ පෙර වසරේ අදාළ මාසයට සාපේක්ෂව බැවින්, මෙම දෙසැම්බර් මාසය තුළ ආහාර මිල ඉහළ යාමේ බලපෑමද නිශේධනය වී තිබෙනවා. ඒ අනුව, දෙසැම්බර් මාසයේ උද්ධමනය නොවැම්බර් මාසයේ පැවති මට්ටමේම නැවතී තිබෙනවා.

මේ අනුව පෙනී යන්නේ සුළි කුණාටුවේ බලපෑමෙන් පසුව වුවද උද්ධමනය ප්‍රශ්නකාරී මට්ටමකට ඉහළ යාමේ ඉඩක් පෙනෙන්නට නොමැති බවයි. කෙටිකාලීනව එවැනි ප්‍රශ්නයක් නැතත්, මුදල් සැපයුම ප්‍රසාරණය වෙමින් පවතින ආකාරය අනුව, මහ බැංකුවට උද්ධමන අවදානම ගැනද සැලකිල්ලෙන් සිටීමට සිදු වෙනවා. මේ ගැන පසුව වෙනම ලිපියක කතා කරමු. 

තවත් යහපත් ප්‍රවණතාවක් වන්නේ මාස දෙකක් එක දිගටම සෘණ අතට හැරී තිබුණු ජංගම ගිණුමේ ශේෂය නැවතත් ධන අතට හැරී තිබීමයි. නොවැම්බර් මාසය තුල ජංගම ගිණුමෙහි ඩොලර් මිලියන 82ක අතිරික්තයක් වාර්තා වී තිබෙනවා. මේ අනුව, ජංගම ගිණුමේ නොවැම්බර් දක්වා මාස එකොළහක ශේෂය ඩොලර් මිලියන 1,677.7 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වාහන ආනයන වෙනුවෙන් නොවැම්බර් මාසය තුළ ඩොලර් මිලියන 281ක් වැය වී ඇති අතර, වසරේ පළමු මාස එකොළහක කාලය ඇතුළත ඩොලර් මිලියන 1,746ක් වැය වී තිබෙනවා. ඒ අනුව පෙනී යන්නේ වසරේ වාහන ආනයන වියදම ඩොලර් බිලියන දෙක ඉක්මවා යා හැකි බවයි. මුලින් ඇස්තමේන්තු කර තිබුණේ වාහන ආනයන වෙනුවෙන් ඩොලර් බිලියනයක් පමණ අවශ්‍ය වනු ඇති බවයි.

විදේශ අංශය, විශේෂයෙන්ම විදේශ සංචිත, මුලින් අපේක්ෂා කළ ඉලක්ක වලට සාපේක්ෂව අයහපත් මට්ටමක තිබීමටත්, රාජ්‍ය ආදායම් මුලින් සිදු කළ ඇස්තමේන්තු සැලකිය යුතු ලෙස ඉක්මවා යාමටත් හේතු වී තිබෙන්නේ මේ අයුරින් වාහන ආනයන සැලකිය යුතු ලෙස ඉහළ යාමයි. ඉදිරි වසර තුළ වාහන ආනයන සාමාන්‍ය මට්ටමක් දක්වා අඩු වෙද්දී රාජ්‍ය ආදායම් කෙරෙහි වූ සාධනීය බලපෑම මෙන්ම විදේශ අංශය කෙරෙහි වූ නිශේධනීය බලපෑමද ආපසු හැරීමට නියමිතයි. 

වසර අවසාන වීමට තවත් දින දෙකක් තිබියදී සංචාරක පැමිණීම් ප්‍රමාණය 2,344,978ක් ලෙස වාර්තා වෙනවා. මෙම ගණන මෙතෙක් වසරකදී වාර්තා වී ඇති වැඩිම සංචාරකයින් ප්‍රමාණයයි. නොවැම්බර් මාසය තුල සංචාරකයින් 212,906 දෙනෙකු රටට පැමිණ ඇති අතර පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී රටට පැමිණ තිබෙන්නේ සංචාරකයින් 184,158 දෙනෙකු පමණයි. සංචාරකයින් ප්‍රමාණයේ මෙවැනි වර්ධනයක් දැකිය හැකි වුවද, එමගින් පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ලැබුණු ඩොලර් මිලියන 272.9ක මුදලට සාපේක්ෂව, පසුගිය නොවැම්බර් මාසය තුළ ලැබී තිබෙන්නේ ඩොලර් මිලියන 251.6ක් පමණයි. දෙසැම්බර් මාසයේ තත්ත්වයද බොහෝ විට මෙවැන්නක් විය හැකියි.

සංචාරක ආදායම් වල පමණක් නොව මුහුදු හා ගුවන් ප්‍රවාහන සේවා සහ පරිගණක සේවා සැපයීම් වැනි අනෙකුත් සේවා ආදායම් වලද පසුගිය වසරේ නොවැම්බර් මාසයට සාපේක්ෂව අඩුවක් දකින්නට පුළුවන්. එසේ තිබියදී වුවද, ශ්‍රමික ප්‍රේෂණ සැලකිය යුතු ඉහළ යාම සහ භාණ්ඩ අපනයන ආදායම් ඉහළ යාම ජංගම ගිණුමේ ශේෂය නැවතත් ධන අතට හැරවීමට උදවු කර තිබෙනවා.

පසු ගිය ආර්ථික අර්බුදයට පෙර පැවති තත්ත්වයට සාපේක්ෂව දැනට සිදුවන ප්‍රධානම සහ වැදගත්ම වෙනස වන්නේ ඉල්ලුම හා සැපයුම අනුව ඩොලරයක මිල ඉහළ යාමට බාධා නොකරමින් ජංගම ගිණුමේ තුලනය පවත්වා ගැනීමයි. එය දිගටම එලෙස සිදු වන්නේනම් විදේශ අංශයේ අර්බුදයක් ඇති වීමට හේතුවක් නැහැ. 

ඉදිරි වසරේදී නැවත හමු වෙමු. අප හා රැඳී සිටින ඔබ සැමට සුබ නව වසරක්!

Tuesday, December 30, 2025

ඉහළ මැදි ආදායම් කාණ්ඩයට නැවතත් යා හැකි වෙයිද?


පසු ගිය (2024) අවුරුදේ ලංකාවේ ආර්ථිකය ඩොලර් බිලියන 99.0 දක්වා ඉහළ ගියා. තවත් ඩොලර් බිලියනයකින් ඉහළ ගියානම්, අතිශය ප්‍රථම වතාවට ඩොලර් බිලියන 100 සීමාව පන්නනවා. මේ (2025) අවුරුද්දේ ලංකාවේ ආර්ථිකය ඩොලර් බිලියන 100 පන්නයිද?

ගිය අවුරුද්දේ ලංකාවේ ආර්ථිකය ඩොලර් බිලියන 100 සීමාව කිට්ටුවට පැමිණ තිබුණු නිසාම මේ අවුරුද්දේ අනිවාර්යයෙන්ම ඔය සීමාව පන්නනවා කියලා කියන්න බැහැ. 2018දී ලංකාවේ ආර්ථිකය ඩොලර් බිලියන 94.7 දක්වා ඉහළ ගොස් තිබුණත්, 2022 වන විට ඩොලර් බිලියන 76.8 දක්වා පහත වැටුණා. ඒ නිසාම, 2018දී ලංකාව විසින් ලඟා වූ ඉහළ මැදි ආදායම් තත්ත්වය දිගටම පවත්වා ගත හැකි වූයේ නැහැ.

ආර්ථිකයේ ප්‍රමාණයේ ඩොලර් අගය වෙනස් වෙන්නේ රටේ ආර්ථික වර්ධන වේගය මත පමණක් පදනම්ව නෙමෙයි. උද්ධමනය හා විණිමය අනුපාතය කියන සාධකත් ඒ කෙරෙහි බලපානවා. ඒ නිසාම, රටකට ආර්ථික වර්ධනය වගේම ආර්ථික ස්ථාවරත්වයත් ඉතාම වැදගත්. එසේ වුවත්, ඔය සාධක තුනම සලකා බැලීමෙන් පසුව, මේ අවුරුද්දේ ලංකාවේ ආර්ථිකය, හරියටම කිවුවොත් නාමික දළ දේශීය නිෂ්පාදිතය, අනිවාර්යයෙන්ම ඩොලර් බිලියන 100 සීමාව පන්නා තිබිය යුතු බව කියන්න පුළුවන්.

මූර්ත ආර්ථික වර්ධන වේගයෙන් පටන් ගත්තොත්, පළමු කාර්තු තුනේ ආර්ථික වර්ධන වේග අපි දැනටමත් දන්නවා. නොදන්නේ හතරවන කාර්තුවේ වර්ධන වේගය පමණයි. සුළි කුණාටුවේ බලපෑම නිසා මෙම වර්ධන වේගය බාල විය හැකි බව පැහැදිලි කරුණක්. 

මූල්‍ය අරමුදලේ ඇස්තමේන්තු අනුව පෙන්නේ ඔවුන් හතරවන කාර්තුවේ වර්ධන වේගය 2% පමණ සේ සලකා ඇති බවයි. ඒ අනුව වසරේ මූර්ත ආර්ථික වර්ධන වේගය 4.2%ක් වනු ඇති බව ඔවුන් විසින් ඇස්තමේන්තු කර තිබෙනවා. හතරවන කාර්තුවේ වර්ධන වේගය 3%ක් වුවහොත්, වසරේ වර්ධන වේගය 4.5% මට්ටම දක්වා ඉහළ යනවා. එය විය නොහැකි දෙයක් නෙමෙයි. 

ආර්ථිකයේ ඩොලර් වටිනාකම කෙරෙහි බලපාන්නේ නාමික ආර්ථික වර්ධන වේගයයි. නාමික ආර්ථික වර්ධන වේගය කියා කියන්නේ මූර්ත වර්ධනය නිසා මෙන්ම උද්ධමනය නිසාද සිදු වන වටිනාකම් වෙනස් වීම් වල සම්ප්‍රයුක්ත ප්‍රතිඵලයයි. පසුගිය (2025) තුන් වන කාර්තුවේ නාමික ආර්ථික වර්ධන වේගය 12.6%ක්. ඊට හේතුව මූර්ත ආර්ථිකය 5.6%කින් වර්ධනය වෙද්දී මිල මට්ටමද 6.8%ක වේගයකින් වර්ධනය වී තිබීමයි. 

හතර වන කාර්තුවේදී සුළි කුණාටුව නිසා මිල ගණන් ඉහළ යාමක් සිදු වුනා. ඩොලරයක මිලද වැඩි වුනා. ඒ නිසා, මිල ඉහළ යාම තුන් වන කාර්තුවේ වේගයට වඩා වැඩි මිසක් අඩු වෙන්න හේතුවක් නැහැ. එය අවම වශයෙන් 7%ක් පමණවත් විය යුතුයි. 

හතරවන කාර්තුවේ මූර්ත ආර්ථික වර්ධන වේගය 2% ලෙසත්, මිල ඉහළ යාමේ බලපෑම 7% ලෙසත් සැලකුවොත්, පැවති විනිමය අනුපාත අනුව, 2025 ලංකාවේ ආර්ථිකයේ ප්‍රමාණය ඩොලර් බිලියන 108.4ක් දක්වා ඉහළ යනවා. එසේ වුවහොත්, ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් 4,982 දක්වා ඉහළ යනවා. මෙය අවම ඇස්තමේන්තුවක් සේ සැලකිය හැකියි. 

හතරවන කාර්තුවේ මූර්ත ආර්ථික වර්ධන වේගය 2% නොවී 3% පමණ වෙන්න පුළුවන්. ඒ වගේම, මිල වැඩි වීම පහසුවෙන්ම 8% ඉක්මවන්න පුළුවන්. එසේ වුවහොත්, මේ අවුරුද්දේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය අතිශය ප්‍රථම වතාවට ඩොලර් 5000 සීමාව ඉක්මවා යන්න වුනත් බැරිකමක් නැහැ.

ආදායම් මට්ටම අනුව රටවල් වර්ග කිරීමේදී බලන්නේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය දෙස නොව ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය දෙසයි. සාමාන්‍යයෙන් ලංකාවේ එහි අගය ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයට වඩා ඩොලර් සීයකින් පමණ අඩුයි. එය එසේ වුවත්, ඉදිරි වසරේදී නැවතත් ඉහළ මැදි ආදායම් මට්ටමට යාම පිළිබඳව ලංකාවට යම් බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. 

වෙබ් ලිපිනය: