දැනට පෙනෙන විදිහට ඉදිරි වසර තුනක කාලය සඳහා වන උද්ධමන ඉලක්කයද 5% ලෙසම පැවතීමට ඉඩ තිබෙනවා. ඇතැම් විට ඉදිරි මුදල් ප්‍රතිපත්ති විවරණයෙන් පසුව මේ පිළිබඳව නිවේදනය කෙරෙන්න පුළුවන්.
Friday, September 25, 2026
උද්ධමන ඉලක්කය වෙනස් වෙයිද?
දැනට පෙනෙන විදිහට ඉදිරි වසර තුනක කාලය සඳහා වන උද්ධමන ඉලක්කයද 5% ලෙසම පැවතීමට ඉඩ තිබෙනවා. ඇතැම් විට ඉදිරි මුදල් ප්‍රතිපත්ති විවරණයෙන් පසුව මේ පිළිබඳව නිවේදනය කෙරෙන්න පුළුවන්.
Tuesday, September 22, 2026
ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ යයි!
ෆිච් රේටිං ආයතනය විසින් ලංකාවේ ණය ශ්‍රේණිය CCC+ මට්ටමේ සිට B- මට්ටම දක්වා ඉහළ දමා තිබෙනවා. මේ අනුව, ලංකාවට නැවතත් ජාත්‍යන්තර ණය වෙළඳපොළ වෙත පිවිසීම සඳහා වන ඉඩකඩ ක්‍රමක්‍රමයෙන් ඉහළ යමින් තිබෙනවා.
මෙම තීරණය සඳහා ප්‍රධාන වශයෙන්ම දායක වී තිබෙන්නේ රාජ්‍ය වියදම් සීමා කරගන්නා අතර, බදු ආදායම් ඉහළ දමා ගනිමින් සැලකිය යුතු ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගැනීම සහ ඒ අතරම විදේශ සංචිතද යම් තරමකට ශක්තිමත් කර ගැනීමයි. කෙසේ වුවද, B කාණ්ඩයේ රට වලට සාපේක්ෂව ලංකාව තවමත් බොහෝ පසුපසින් සිටින බවද ෆිච් රේටිං ආයතනය විසින් අවධාරණය කර තිබෙනවා.
- පසු ගිය වසරේදී 96.7%ක් වූ රාජ්‍ය ණය/ දදේනි අනුපාතය මෙම වසරේදී 92.9% දක්වා පහත වැටීමට නියමිතව ඇතත් B කාණ්ඩයේ රට වල මධ්‍යස්ථ අගය වන 54.7%ට සාපේක්ෂව මෙම අනුපාතය තවමත් ඉතා ඉහළ අනුපාතයක්. එම මට්ටමට රාජ්‍ය ණය/ දදේනි අනුපාතය අඩු කරගැනීම සඳහා වසර ගණනාවක කැපවීමක් අවශ්‍ය වෙනවා.
- පොලී වියදම් සහ රාජ්‍ය ආදායම් අතර අනුපාතය මේ වන විට 76.3% සිට 45.6% දක්වා අඩු වී ඇති අතර මෙම වසරේදී 41.0% දක්වා අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. එහෙත් B කාණ්ඩයේ රට වල මධ්‍යස්ථ අගය වන 12.7%ට සාපේක්ෂව මෙම අගය තුන් ගුණයකටත් වඩා වැඩියි.
- එක දිගට වසර තුනක් අතිරික්තයන් පෙන්වූ ජංගම ගිණුම ඇමරිකා ඉරාන ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස මෙම වසරේදී හිඟයක් විය හැකි බව පෙනෙන්නට තිබෙනවා. එහෙත්, 2027 සිට නැවතත් ජංගම ගිණුම තුලනය වීමේ ඉඩකඩ පෙනෙන්නට තිබෙනවා.
- මූල්‍ය අරමුදල සහ අනෙකුත් බහුපාර්ශ්වික ආයතන වලින් ලැබෙන මූල්‍ය සහාය නිසා කෙටිකාලීන විදේශ මූල්‍යකරණ තත්ත්වය ප්‍රමාණවත් මට්ටමක පවතිනවා. මෙම වසර අවසානයේදී විදේශ සංචිත ඩොලර් බිලියන 7.7 දක්වා ඉහළ යාමේ ඉඩක් පෙනෙනවා. එහෙත්, මෙහි මුල් ඇස්තමේන්තු වලට සාපේක්ෂව මන්දගාමී වීමක් තිබෙනවා.
- ඉදිරි වසරේ වලදී, විශේෂයෙන්ම 2028න් පසුව, විදේශ ණය සේවාකරණය ඉහළ යනවා. මෙම අභියෝගයට මුහුණ දීම සඳහා ඉදිරි 2027 වසර තුළ නැවතත් ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව ශ්‍රී ලංකා රජය විසින් සලකා බලමින් සිටිනවා.
- එමෙන්ම, 2027 මාර්තු මාසයේදී මූල්‍ය අරමුදල සමඟ වන වැඩ සටහන අවසන් වීමෙන් පසුව තවත් වැඩ සටහනකට යාමේ ඉඩකඩ පෙනෙන්නට තිබෙනවා. එවැන්නක් මගින් රජයේ ප්‍රතිපත්ති වල ස්ථාවරත්වය තහවුරු වෙනවා.
- ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ දුර්වලතා, අපනයන අංශය වර්ධනය කර ගැනීමේ දුර්වලතා හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ පිළිබඳ සීමාවන් නිසා මැදිකාලීනව ආර්ථිකය වර්ධනය වනු ඇත්තේ යාන්තමින් 4% ඉක්මවන වර්ධන වේගයකිනුයි.
- දැනට ඇති උද්ධමන පීඩනය තාවකාලික සංසිද්ධියක් වන අතර, උද්ධමනය ක්‍රමයෙන් 5% සීමාවෙන් පහළට පැමිණීමට නියමිතයි. පොලී අනුපාතික තව දුරටත් ඉහළ යාමේ ඉඩක් පෙනෙන්නට නැහැ.
ෆිච් රේටිං ආයතනයේ ඉහත නිරීක්ෂණ, විශ්ලේෂණ හා පුරෝකථන සමඟ අපටද එකඟ විය හැකියි. සාර්ව ආර්ථික ස්ථාවරත්වය පිළිබඳව ප්‍රතිපත්ති සම්පාදකයින්ට නොපැකිළ ලකුණු දිය හැකි නමුත් ආර්ථික වර්ධන වේගය වැඩි කර ගැනීම සඳහා තවත් කළ හැකි බොහෝ දේ තිබෙනවා. එහෙත් එයින් අදහස් කෙරෙන්නේ ආර්ථික ස්ථාවරත්වය නැවතත් අවදානමට ලක් කෙරෙන ක්‍රියාමාර්ග නෙමෙයි.
ණය පැහැර හැරී රටක් මේ අයුරින් නැවතත් B කාණ්ඩයට පැමිණීම සුවිශේෂී සන්ධිස්ථානයක්. අනෙකුත් ණය ශ්‍රේණිගත කරන ආයතන දෙක විසින්ද ඉතා ඉක්මණින් ෆිච් රේටිං ආයතනය අනුගමනය කර ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ දැමුවහොත්, ශ්‍රී ලංකා රජයට මුලින් ඉලක්ක කළ පරිදි ඉදිරි වසරේදී නැවතත් ජාත්‍යන්තර ණය වෙළඳපොළ වෙත ප්‍රවේශ වීමට අවකාශ ලැබෙනවා.
Monday, September 21, 2026
උද්ධමනය සහ පොලී අනුපාතික
ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව 2026 අගෝස්තු මාසයේ උද්ධමනය 8.1%ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා. නිල උද්ධමනය දර්ශකය වන කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව, 2026 අගෝස්තු මාසයේ උද්ධමනය 8.0%ක්ව පැවතුනා.
පසුගිය පෙබරවාරි මාසය අවසානයේදී ඉරාන යුද්ධය ආරම්භ වීම සහ එහි ප්‍රතිඵලයක් ලෙස ලෝක ඉන්ධන මිල ගණන් ඉහළ යාම නිසා ලෝකයේ බොහෝ රටවල උද්ධමනය එම රටවල ඉලක්ක උද්ධමන මට්ටම් ඉක්මවා ඉහළ ගොස් තිබෙනවා. මෙයට ප්‍රතිචාරයක් ලෙස බොහෝ රටවල් පොලී අනුපාතික ඉහළ දැමීමට පෙළැඹී තිබෙනවා.
ඇමරිකාව පසු ගිය සතියේදී ප්‍රතිපත්ති පොලී අනුපාතික 0.25%කින් ඉහළ දැම්මා. යුරෝපීය මහ බැංකුව මේ වන විට 0.25% බැගින් දෙවරක්ම පොලී අනුපාතික ඉහළ දමා තිබෙනවා. එක්සත් රාජධානිය විසින් පසුගිය සතියේදී පොලී අනුපාතික වැඩි නොකිරීමට තීරණය කළත් එය බෙදුණු තීරණයක්. කමිටු සාමාජිකයින් නව දෙනෙකුගෙන් තිදෙනෙකුම 0.25%ක පොලී වැඩි කිරීමක් වෙනුවෙන් පෙනී සිටියා. ඉරාන යුද්ධය ආරම්භ වන විටද පොලී අනුපාතික ඉහළ දමමින් සිටි ජපානය මේ වන විට වසර 31ක ඉහළම මට්ටමට එරට ප්‍රතිපත්ති අනුපාතික ඉහළ දමා තිබෙනවා. කෙසේ වුවද, එම මට්ටම වන 1.25% ලංකාව වැනි රටකට සාපේක්ෂව අඩු මට්ටමක්. ඕස්ට්‍රේලියාව මෙම වසර තුළ තෙවරක් පොලී අනුපාතික ඉහළ දමා තිබෙනවා. ඉන්දියාව තවමත් පොලී අනුපාතික ඉහළ දමා නැතත් ඉදිරි මාස වලදී එවැන්නක් සිදු වේයැයි අපේක්ෂා කෙරෙනවා.
මහ බැංකුවක් විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දැමූ විට එය ක්ෂණිකව බලපාන්නේ මහ බැංකුවෙන් සෘජුව ණය ලබා ගැනීමේ හැකියාවක් ඇති වාණිජ බැංකු වලටයි. තමන්ට මහ බැංකුවෙන් ණය ලබා ගත හැකි පොලී අනුපාතිකය ඉහළ යද්දී වාණිජ බැංකු විසින් සිය පාරිභෝගිකයින්ට ණය ලබා දෙන පොලී අනුපාතික ඉහළ දමනවා. එසේ ණය පොලී ඉහළ යද්දී රටේ ණය ඉල්ලුම පහත වැටී මුදල් සංසරණය අඩු වෙනවා. අනෙක් අතට තැන්පතු පොලී ඉහළ යාම නිසා සංසරණයේ තිබෙන මුදල් තැන්පතු ලෙස නැවත බැංකු පද්ධතිය තුළට පැමිණ ඒ මගින්ද මුදල් සංසරණය අඩු වෙනවා.
ඉහත කී පරිදි රටේ මුදල් සංසරණය අඩු වී පාරිභෝගික ජනතාව අතේ ගැවසෙන මුදල් ප්‍රමාණය පහත වැටෙද්දී භාණ්ඩ හා සේවා සඳහා වන ඉල්ලුමද පහත වැටෙනවා. මේ හරහා මිල ගණන් අඩු වෙනවා. මහ බැංකුවක් පොලී අනුපාතික වැඩි කරද්දී උද්ධමනය පාලනය වෙන්නේ ඔය ක්‍රමයටයි.
ඉහත යාන්ත්‍රනය මගින් ප්‍රතිඵලයක් ලැබීමට සැලකිය යුතු කාලයක් යන බැවින් මහ බැංකුවක් විසින් පොලී අනුපාතික වැඩි කළ පමණින් උද්ධමනය ක්ෂණිකව අඩු නොවන බව පැහැදිලි විය යුතුයි. මේ අයුරින්ම, මහ බැංකුවක් විසින් පොලී අනුපාතික අඩු කර මුදල් සැපයුම වැඩි කරද්දී උද්ධමනය ඉහළ යාම සිදු වන්නේද කිසියම් කාල පමාවකින් පසුවයි. ඇමරිකාව විසින් පසුගිය පොලී වැඩි කිරීම් මගින් උත්සාහ කරන්නේ 2029 වන විට එරට උද්ධමනය 2.0% ඉලක්ක මට්ටම දක්වා අඩු කර ගැනීමටයි.
මහ බැංකුවක් විසින් සාමාන්‍යයෙන් කරන්නේත්, මහ බැංකුවකට කළ හැක්කේත්, සැලසුම් සහගත ලෙස දිගුකාලීනව උද්ධමනය පාලනය කිරීමයි. මහ බැංකුවක් එම අරමුණ අනුව නිවැරදි පියවර රැගෙන තිබියදී යුද්ධ, කාලගුණය, ස්වභාවික ආපදා වැනි වෙනත් හේතු නිසා උද්ධමනය තාවකාලිකව ඉලක්ක මට්ටම ඉක්මවා ඉහළ යා හැකියි. එවැනි ඉහළ යාම් බාහිර කම්පනයකින් පසුව ක්ෂණිකව සිදු වෙනවා. එවැනි තත්ත්වයක් හමුවේ මහ බැංකුවක් විසින් ක්ෂණිකව අවශ්‍ය පියවර ගත්තත් ප්‍රතිඵලයක් ලබා ගැනීම සඳහා වසරක පමණ කාලයක් ගත වෙන්න පුළුවන්.
ඉරාන යුද්ධයෙන් පසුව උද්ධමන පීඩනය ඉහළ යාමත් සමඟ, මැයි මාසයේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 7.75% සිට 8.75% දක්වා ඉහළ දැම්මා. එය ප්‍රමාණවත් වැඩි කිරීමක්. එහෙත්, එහි ප්‍රතිඵල ලැබෙනුයේ ඉදිරි වසරේ මැද භාගය පමණ විටයි. මේ වන විට පවතින උද්ධමනය මහ බැංකුව විසින් වසරකට පමණ පෙර අනුගමනය කළ ක්‍රියාමාර්ග වල සහ බාහිර කම්පනයේ සම්ප්‍රයුක්ත ප්‍රතිඵලයක්.
ඉරාන යුද්ධය ආරම්භ වීමට ආසන්න කාලයේදී ලංකාවේ මහ බැංකුව සිටියේ පොලී අනුපාතික අඩු කරමින් උද්ධමනය ඉහළ දමා ගැනීමේ ඉලක්කයකයි. එසේ මහ බැංකුව විසින් කලින් ගත් ක්‍රියාමාර්ග නිසා 2026 පෙබරවාරි මාසයේදී 1.6% මට්ටමේ පැවති උද්ධමනය වසරේ අවසන් කාර්තුව වන විට 5% ඉලක්ක මට්ටම දක්වා වැඩි වීමට නියමිතව තිබුනා. ඒ කියන්නේ 3-4%ක පමණ වූ අපේක්ෂිත වැඩි වීමක්. මහ බැංකුව විසින් පසුව ගත් ප්‍රතිපත්ති තීරණ නිසා ඒ වැඩි වීම ආපසු හැරෙන්නේ නැහැ.
තෙල් මිල ඉහළ යාම නිසා අප්‍රේල් මාසය වන විට ලංකාවේ උද්ධමනය 5.4% දක්වා ඉහළ ගියා. මෙය 4%ක පමණ අනපේක්ෂිත වැඩිවීමක්. එසේ උද්ධමනය ඉහළ ගියේ මහ බැංකුවේ කලින් ප්‍රතිපත්ති තීරණ වල බලපෑම ඉදිරි මාස වලදී උද්ධමනයට එකතු වීමට නියමිතව තිබියදීයි. දැන් එය සිදු වෙමින් තිබෙනවා. මහ බැංකුවේ මෑතකාලීන තීරණ වල ප්‍රතිඵල ලැබෙන තුරු ඒ තත්ත්වයේ වෙනසක් වෙන්නේ නැහැ.
ඉහත තත්ත්වයන් තුළ ඉදිරි මාස දෙකේදී උද්ධමනය තව දුරටත් යම් තරමකින් ඉහළ යා හැකියි. දෙසැම්බර් මාසයේදී සුළු අඩු වීමක් සිදු විය හැකි වුවත්, 2027 මුල් මාස තුන තුළද උද්ධමනය පවතිනු ඇත්තේ ඉහළ මට්ටමකයි. උද්ධමනය අපේක්ෂිත මට්ටම දක්වා ක්‍රමයෙන් අඩු වනු ඇත්තේ ඉන් පසුවයි. එහෙත් ඒ අතර වුවද, දැනට පවතින තත්ත්වයන් යටතේ, උද්ධමනය 10% මට්ටම ඉක්මවා යාමේ ඉඩක් නැහැ.
Wednesday, September 16, 2026
ඇමරිකාවේ පොලී අනුපාතික ඉහළට!
ඇමරිකාවේ ෆෙඩරල් විවට වෙළඳපොළ කමිටුව විසින් අද පැවති මුදල් ප්‍රතිපත්ති විවරණයේදී, වසර තුනකට පසුව, ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 0.25%කින් ඉහළ දැම්මා. මේ අනුව ප්‍රතිපත්ති පොලී අනුපාතික පරාසය 3.75-4.0% දක්වා ඉහළ යනවා. කමිටුවේ සාමාජිකයින් සියලු දෙනාම මෙම තීරණයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළා.
පසුගිය පෙබරවාරි මාසය වන විට 2.4% මට්ටම දක්වා අඩු වී තිබුණු ඇමරිකාවේ උද්ධමනය, ඉරාන යුද්ධය ආරම්භ වීමෙන් පසුව ඉන්ධන මිල ගණන් ඉහළ යාමත් සමඟ සැලකිය යුතු ලෙස ඉහළ ගියා. පසුගිය අගෝස්තු මාසයේදී ඇමරිකාවේ උද්ධමනය 3.4%ක්ව පැවතුනා. ඇමරිකානු ෆෙඩරල් සංචිත බැංකුව විසින් ඉලක්ක කරනුයේ උද්ධමනය 2% මට්ටමේ පවත්වා ගැනීමටයි.
ජනාධිපති ට්‍රම්ප් විසින් නම් කළ කෙවින් වාර්ෂ්, සෙනෙට් අනුමැතියෙන් පසුව පසුගිය මැයි මාසයේදී ඇමරිකානු ෆෙඩරල් සංචිත බැංකුවේ සභාපති ධුරයේ වැඩ භාරගත්තා. ඊට පෙර ජෙරමි පවල් එම ධුරය දරද්දී, පොලී අනුපාතික "අවශ්‍ය පමණ" අඩු නොකිරීම පිළිබඳව ජනාධිපති ට්‍රම්ප් සිටියේ එතරම් සතුටකින් නෙමෙයි. ජනාධිපති ට්‍රම්ප් විසින්ම නම් කළ කෙවින් වාර්ෂ්ගේ සභාපතිත්වයෙන් යුත් ෆෙඩරල් විවට වෙළඳපොළ කමිටුව, ජනාධිපති ට්‍රම්ප්ගේ අභිමතයට පටහැනිව පොලී අනුපාතික ඉහළ දැමීමට ඒකමතිකව තීරණය කිරීම විශේෂත්වයක්. මේ මගින් ඇමරිකානු මහ බැංකුවේ ස්වාධීනත්වය පිළිබඳ විශ්වාසය තවදුරටත් තහවුරු වෙනවා.
දෙසතියකට පමණ පෙර ජනාධිපති ට්‍රම්ප් විසින්, ෆෙඩරල් සංචිත බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩු නොකරන්නේ නම් ඇමරිකාව වෙළඳ හිඟයක් පවත්වාගෙන යන රටවල් සමඟ වෙළඳාම මුළුමනින්ම නවත්වා දමන බවට සටහනක් පළ කළා. මෙම පොලී අනුපාතික වැඩි කිරීම සිදු කර තිබෙන්නේ එම "තර්ජනය" සත පහකට මායිම් නොකරමිනුයි.
මේ වන විට ඇමරිකානු රජයේ ණය ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 40 ඉක්මවා ඉහළ ගොස් තිබෙනවා. එම සමස්ත ණය ප්‍රමාණයටම 0.25%ක පොලී අනුපාතික වැඩිවීමක් අදාළ කර සරලව ගණනය කළොත්, එය වසරකට ඩොලර් බිලියන 100ක අමතර පොලී වියදමකට සමානයි. පසුගිය වසරේ ඇමරිකාවේ ෆෙඩරල් රජයේ වාර්ෂික ශුද්ධ පොලී වියදම ඩොලර් බිලියන 970ක් වූ අතර මෙම වසරේදී එම වියදම ඩොලර් ට්‍රිලියනය ඉක්මවා යන බව පැහැදිලියි.
Tuesday, September 15, 2026
ආර්ථික වර්ධනය - 2026 දෙවන කාර්තුව
මෙම (2026) වසරේ දෙවන කාර්තුවේ ආර්ථික වර්ධන වේගය 4.2% දක්වා පහත වැටී තිබෙනවා. වසරේ පළමු කාර්තුවේ ආර්ථික වර්ධනය 5.1%ක්ව පැවතුනු අතර, ඊට පෙර, 2024 සහ 2025 වසර වලදී 5.0% බැගින් වූ වර්ධන වේගයන් වාර්තා වුනා.
සේවා ආර්ථිකයේ වර්ධන වේගය 2.7% දක්වා පහත වැටී ඇති අතර, කෘෂිකාර්මික නිෂ්පාදිතය 2.3%කින් සංකෝචනය වී තිබෙනවා. කාර්මික නිෂ්පාදිතය 7.3%කින් වර්ධනය වී ඇතත්, ඊට ප්‍රධාන හේතුව එම නිෂ්පාදිතය තවමත් ආර්ථික අර්බුදයට පෙර පැවති මට්ටම ආසන්නයටවත් පැමිණ නොතිබීමයි. 2018 දෙවන කාර්තුවට සාපේක්ෂව කාර්මික නිෂ්පාදිතය තවමත් තිබෙන්නේ 10.1%ක් පසුපසිනුයි. 2.7%කින් සංකෝචනය වීමෙන් පසුව, කෘෂිකාර්මික නිෂ්පාදිතයද නැවත වරක් 2015 දෙවන කාර්තුවේදී පැවති මට්ටමෙන් පහතට වැටී තිබෙනවා. කෙසේ වුවද, සේවා ආර්ථිකය මෙතෙක් ඉහළම අගයක් වාර්තා වූ 2019 දෙවන කාර්තුවේදී පැවති මට්ටමට වඩා 1.0%කින් ඉහළ ගොස් තිබෙනවා.
සමස්තයක් ලෙස, දෙවන කාර්තුවේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතය තවමත් තිබෙන්නේ 2018 දෙවන කාර්තුවට වඩා 2.9%ක් පසුපසිනුයි. එයින් අදහස් වනුයේ ආර්ථික අර්බුදයට පෙර වසර කිහිපය තුළ සිදු වූ හැකිලීමෙන් ගොඩ යාම ඉක්මවා ගිය සත්‍ය වර්ධනයක් දැක ගැනීම සඳහා අඩු වශයෙන් තවත් වසරක්වත් බලා ඉන්නට සිදුවනු ඇති බවයි.
පසුගිය (2015) වසරේ දෙවන කාර්තුවට සාපේක්ෂව සහල් නිෂ්පාදනය 15.1%කින්ද, තේ නිෂ්පාදනය 1.9%කින්ද, රබර් නිෂ්පාදනය 2.2%කින්ද පහත වැටී ඇති අතර පොල් නිෂ්පාදනය 6.2%කින් ඉහළ ගොස් තිබෙනවා. කරදිය ධීවර කර්මාන්තයේ 10.1%ක හැකිලීමක් පෙන්නුම් කරන අතර මිරිදිය ධීවර කර්මාන්තයේ හැකිලීම 61.0%ක්.
කර්මාන්ත අංශය තුළ, ඇඟලුම් නිෂ්පාදන 1.4%කින් පහත වැටී ඇති අතර, පෙට්‍රෝලියම් නිෂ්පාදන කර්මාන්තයේ 15.2%ක හැකිලීමක්ද, රබර් හා ප්ලාස්ටික් නිෂ්පාදන කර්මාන්ත වල 4.2%ක හැකිලීමක්ද දකින්න පුළුවන්. එහෙත්, ඉදිකිරීම් කර්මාන්තය 13.9%කින් වර්ධනය වී තිබීම නිසා සේවා ආර්ථිකය සමස්තයක් ලෙස වර්ධනය වී තිබෙනවා. කර්මාන්ත අංශයේ වර්ධනයෙන් 70%කටම දායක වී තිබෙන්නේ ඉදිකිරීම් කර්මාන්තයයි.
සේවා අංශයේ ප්‍රධානම සංරචක වන තොග හා සිල්ලර වෙළඳාම් වර්ධනය 1.4%කට සීමා වී ඇති අතර භාණ්ඩ හා මගී ප්‍රවාහන සේවා සැපයීම් 3.1%කින් වර්ධනය වී තිබෙනවා. සංචාරක හා නවාතැන් සේවා සැපයීම් වර්ධනය වී තිබෙන්නේ 2.9%කින් වන අතර මූල්‍ය සේවා සැපයීම් 7.7%කින් වර්ධනය වී තිබෙනවා.
Sunday, September 13, 2026
ඉන්දියාවේ විදේශ සංචිත තවත් ඉහළට!
මෙය දෙසතියක කාලය තුළ ඩොලර් බිලියන 56 ඉක්මවන වැඩි වීමක්. එයින් ඩොලර් බිලියන 45 ඉක්මවන ප්‍රමාණයක් එකතු කරගෙන තිබෙන්නේ සැප්තැම්බර් 4 දිනයෙන් අවසන් වූ සතියක කාලය තුළයි. අගෝස්තු 28 දින වන විට සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 740,803ක්ව පැවතුනා.
සැප්තැම්බර් 4 දින වන විට රුසියාව සතු වූ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 753.5ක්. සම්බාධක වලට යටත්ව ප්‍රයෝජනයට ගත නොහැකිව ඇති විදේශ සංචිතද එම ගණනට ඇතුළත්. මේ අනුව, සැප්තැම්බර් 4 දිනයෙන් අවසන් වූ සතියක කාලය තුළ ඉන්දියාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය රුසියාවේ එම ප්‍රමාණයද ඉක්මවා ගොස් තිබෙනවා. මේ වන විට විදේශ සංචිත ප්‍රමාණය අතින් ඉන්දියාවට වඩා ඉදිරියෙන් සිටින්නේ චීනය, ජපානය සහ ස්විට්සර්ලන්තය යන රටවල් තුන පමණයි.
පසුගිය අගෝස්තු 31 දින වන විට ඉන්දියාවේ සංචිත බැංකුව (මහ බැංකුව) විසින් නිකුත් කර තිබුණු සංචිත මුදල් ප්‍රමාණය ඉන්දියානු රුපියල් බිලියන 52,766.4ක් වූ අතර, සංචිත බැංකුව සතු වූ ශුද්ධ විදේශ සංචිත ප්‍රමාණයේ වටිනාකම ඉන්දියානු රුපියල් බිලියන 69,556.2ක්. මෙයින් අදහස් වන්නේ ඉන්දියාවේ සංචිත බැංකුව සතු විදේශ වත්කම් වලින් එහි සියලු විදේශ බැරකම් පියවීමෙන් අනතුරුව අගෝස්තු 31 දින පැවති විණිමය අනුපාතය වූ රුපියල් 95.56 යටතේ ඉන්දියාවේ සංචිත බැංකුව විසින් නිකුත් කර ඇති සියළුම ඉන්දියානු රුපියල් ආපසු ලබාගෙන ඒ වෙනුවට ඇමරිකානු ඩොලර් ලබා දුන්නද සංචිත බැංකුව සතුව තවත් ඩොලර් බිලියන 175.7ක් ඉතිරි වන බවයි. මෙයම වෙනත් විදිහකින් විස්තර කළහොත් ඩොලරයක වටිනාකම ඉන්දියානු රුපියල් 72.49 දක්වා අඩු වීමට ඉඩ හැරියද දැනට නිකුත් කර ඇති සියලුම ඉන්දියානු රුපියල් එම අනුපාතයට ආපසු මිල දී ගැනීමේ හැකියාවක් ඉන්දියාවේ සංචිත බැංකුව සතු බවයි.
මේ අනුසාරයෙන් ඉන්දියානු රුපියල මේ වන විට පෙනෙනවාට වඩා කොපමණ ශක්තිමත්ද යන්න තේරුම් ගත හැකියි.
Monday, September 7, 2026
දළ නිල සංචිත - අගෝස්තු 2026
අගෝස්තු මාසය අවසානයේදී දළ නිල සංචිත ඩොලර් මිලියන 6,905 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙයින් ඩොලර් මිලියන 1,483ක් පමණ චීන මුදල් හුවමාරු ගිවිසුම යටතේ ලබා ගෙන ඇති යුවාන් බිලියන 10ක මුදලේ ඩොලර් වටිනාකමයි. එම මුදල ඉවත් කළ විට ඉතිරිය ඩොලර් මිලියන 5,422ක් පමණ වෙනවා. චීන ණය මුදල 2027 දෙසැම්බර් මාසයේදී පියවිය යුතුයි.