Wednesday, August 5, 2015

අරක්කු මඟහැර සැන්ඩි ගැන කතා කළ හැකිද?


රූපවාහිණිය අපේ ගම් පළාත් වල ප්‍රචලිත වීමට පෙර යුගයේදී ජනප්‍රියව පැවති මධුමාදවී, අම්බිගා ගීතයෙන් ගීතය වැනි ගුවන් විදුලි වැඩසටහන් අතර නම හරියටම මතක නැති තවත් ජනප්‍රිය වැඩ සටහනක් වූයේ යම් තරඟ කොන්දේසි යටතේ ලබා දෙන මාතෘකාවක් ගැන විනාඩි දෙකක් (හෝ එවැනි වෙනත් නිශ්චිත කාලයක්) එක දිගට කතා කිරීමයි. මෙසේ කතා කිරීමේදී භාවිතා නොකළ යුතු තහනම් වචනයක්ද තරඟකරුට ලැබේ. උදාහරණයක් ලෙස වතුර ගැන කතා නොකර ලිඳ ගැන කතා කිරීමට තරඟකරුවෙකුට සිදු විය හැකිය. තරඟ කොන්දේසි අනුව වතුර සඳහා වන පර්යාය වචන භාවිතයද, එක දිගට තත්පර පහක් (හෝ එවැනි වෙනත් නිශ්චිත කාලයක්) නිහඬව සිටීමද, එකම වචනය තෙවරකට වැඩියෙන් යොදා ගැනීමද තරඟයෙන් ඉවත් වීමට හේතුවේ. මේ කොන්දේසි යටතේ වතුර අතහැර ලිඳ ගැන කතා කිරීම අරක්කු මඟහැර සැන්ඩි ගැන කතා කිරීම තරම් පහසු කටයුත්තක් නොවේ.

තවත් තීරණාත්මක ජාතික මැතිවරණයක් අත ළඟ ඇති මේ වෙලාවේ දේශපාලනය මඟ හැර බ්ලොග් ලිවීමද හරිම අමාරු වැඩකි. කොයි තරම් උත්සාහ කළත් ටයිප් වෙන්නේ තහනම් වචනමය.

රසිකොලොජිස්ට්ගේ සටහනකින් මම පහත වැකි දෙක උපුටා ගනිමි.

"ඡන්දය සම්බන්ධයෙන් ගත් කළ, ලංකාවේ අද පවතින ලොකුම ප්‍රශ්නය ලෙස මා දකින්නේ ඡන්දදායකයින් සෑහෙන ප්‍රතිශතයක් කැපුවත් යූඇම්පී, කැපුවත් සිරිලංකා වැනි දැඩි මතධාරීන් වීමයි."

"මා අධ්‍යයනය කර ඇති ආකාරයට 1947 සිට 1970 දක්වා කාලය තුළ රටේ ආණ්ඩු මාරු සාමාන්‍ය ක්‍රමයට ඇති විය." ඔහු ඒ ලෙසම ලියා නැතත් අදහස් කරනවායැයි මා සිතන පරිදි, "ඉන් පසුව මේ ප්‍රවණතාව වෙනස් විය."

මේ සටහනින් මා අදහස් කරන්නේ ඉහත කරුණු දෙක සඳහා හේතු වූ ඇතැම් කරුණු සාකච්ඡා කිරීමටය.

1931දී ඩොනමෝර් ව්‍යවස්ථාවෙන් අපට සර්වජන ඡන්ද බලය ලැබුණේය. මේ කාලයේදී පැවති රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණ වලදී අපේක්ෂකයා මිස දේශපාලන පක්ෂය එතරම් ඉස්මතු වුයේ නැත. සෝල්බරි ව්‍යවස්ථාව යටතේ 1947දී ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන තුරු කාලයේදී ලංකා සමසමාජ පක්ෂය සහ කම්කරු පක්ෂය වැනි ඇතැම් පක්ෂ වලට යම් නිශ්චිත ජන පදනමක් තිබුණත් ආසන මට්ටමින් පැවති මැතිවරණ වලදී වඩාත් ඉස්මතු වූයේ අපේක්ෂකයා මිස පක්ෂය නොවේ.

රසිකොලොජිස්ට් සඳහන් කරන, සෝල්බරි ව්‍යවස්ථාව යටතේ මැතිවරණ පැවැත්වුණු, 1947-1970 යුගය මූලික වශයෙන් ද්වි පක්ෂ ක්‍රමයක් වූ ලංකාවේ පක්ෂ ක්‍රමය පැහැදිලි ලෙස පරිණාමය වූ කාලය ලෙස සැලකිය හැකිය. සමසමාජ පක්ෂය ප්‍රධාන වාමාංශික පක්ෂ වල තර්ජනය හමුවේ සමාජවාදී පාලන ක්‍රමයකට අකැමති වූ සිංහල, දෙමළ සහ මුස්ලිම් පක්ෂ එක්සත් ජාතික පක්ෂය ලෙස එකතු වීමත්, පසුව මේ පක්ෂයෙන් බිඳී ගිය කණ්ඩායමක් විසින් ශ්‍රීලනිපය ගොඩ නැඟීමත් අද වන තුරුත් ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ වන මේ පක්ෂ දෙකේ ආරම්භයයි.

දේශපාලනයේදී තමන්ගේ වාසියට තරඟ නීති සකස්කර ගැනීමේ අතීතය නිදහසින් පෙර යුගය දක්වා දිවයයි. සැලකිය යුතු දේශපාලන බලවේගයක් වූ ඉන්දියානු දෙමළුන්ගේ ඡන්ද බලය අහෝසි කරනු ලැබුවේ සමසමාජ පක්ෂය ප්‍රධාන වාමාංශික පක්ෂ වලට ඔවුන් අතර වූ පදනම නිසාය. මේ අනුව, පළමු සෝල්බරි පාර්ලිමේන්තුවේ බලය එජාපය විසින් ලබා ගත්තේය. සමසමාජය විපක්ෂය විය.

එජාපයෙන් කැඩී ගිය ශ්‍රීලනිපය සහ එජාපය අතර වූ ප්‍රතිවිරෝධතා මුල සිටම වුවද වාමාංශික පක්ෂ හා එජාපය අතර වූ ප්‍රතිවිරෝධතා තරම් විශාල නොවීය. "අම්මා අප්පා නොඅඳුනන, රුවන්වැලි සෑය පොළොවට සමතලා කර වී වවන්නට යන" සමසමාජය සමඟ හෝ "ධනපති පක්ෂයක් වන" එජාපය සමඟ එකතු වීමට අමාරු බොහෝ දෙනෙකුගේ තෝරාගැනීම ශ්‍රීලනිපය වූ අතර දෙවන පාර්ලිමේන්තුවේ බලය ශ්‍රීලනිපය ප්‍රධාන සභාගයක් වූ මහජන එක්සත් පෙරමුණට හිමිවිය. එවකට 12%ක් පමණ වූ ඉන්දියානු දෙමළුන් බැහැර කිරීමෙන් පසුවද මුල් පාර්ලිමේන්තුවේ මෙන්ම දෙවන පාර්ලිමේන්තුවේද විපක්ෂ නායකවරයා වූයේ ලංකා සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය ඇන් ඇම් පෙරේරාය.

අපේ දේශපාලනයේ මුල සිටම පැවති ලක්ෂණයක් වූයේ ඡන්ද ජයග්‍රහණයෙන් පසු 'කළගුණ සැළකීම'යි. මේ අනුව, තමන් සහයෝගය දුන් පක්ෂය ජයග්‍රහණය කළ විට රජයේ රැකියා, රජයේ ඉඩම් වැනි සම්පත් භාවිතයට ඇති අවස්ථා ආදිය ලබා ගැනීමට පුද්ගලයෙකුට වැඩි අවස්ථා හිමි වේ. එසේ සහයෝගය නුදුන් අයට මේ ප්‍රතිලාභ නොලැබෙන අතර පසුකාලීනව දේශපාලන පලිගැනීම් වලට ලක්වීමට සිදුවීම දක්වා වර්ධනය විය. මා සිතන පරිදි මෙය අප විසින් ජාති, ආගම්, කුල ලෙස පුද්ගලයින් ලේබල් කිරීමේම දිගුවකි. ඒ අනුව, තමන්ගේ ජාතිය, ආගම, කුලය හෝ දේශපාලන පක්ෂය ගැන කිසිදු අදහසක් නොමැති ළදරුවෙකුට වුවද තම දෙමවුපියන් ලේබල් කෙරී ඇති කණ්ඩායම අනුව ප්‍රශ්න වලට මුහුණ දීමට සිදුවිය හැකිය. ශ්‍රීලංකා ආණ්ඩුවක් යටතේ නිවස ගිණි  තබනු ලැබූ, රැකියාව අහිමි වූ යුඇන්පී පියෙකුගේ දරුවෙකු වැඩෙන්නේ ශ්‍රීලංකා කාරයින් ගැන තරහකිනි. තමන්ට නොලැබෙන සෙල්ලම් බඩු හෝ ඇඳුම් පැළඳුම්  වලට හේතුව ශ්‍රීලංකා ආණ්ඩුව වන නිසා ඡන්දය නැති මේ කෙලි පැටික්කියගේ හෝ කොලු පැටියාගේද අපේක්ෂාව යුඇන්පී ආණ්ඩුවකි. තමන්ට යුඇන්පීය සමඟ කොතරම් ප්‍රශ්න තිබුණත් දෙමවුපියන් යුඇන්පී ලෙස ලේබල් වී ඇත්නම් ශ්‍රීලංකා ආණ්ඩුවකින් සුදුසුකම් වලට ගැලපෙන රැකියාවක් ලබා ගැනීම බොරුය. ඒ නිසා ප්‍රායෝගිකව හොඳම ක්‍රමය දෙමවුපියන්ගේ පක්ෂයේම සිටීමයි.

පක්ෂ සම්බන්ධතා මත දේශපාලන පලිගැනීම් සහ ලාභ ප්‍රයෝජන තීරණය වුවද එජාප ශ්‍රීලනිප තට්ටුමාරුව යටතේ වසර පහක් අල්ලාගෙන සිටීම මේ පක්ෂ දෙකේම සාමාජිකයින්ට අමාරු නොවූ නිසා "පක්ෂපාතීව" කාලයක් සිටීම හොඳ ක්‍රමෝපායයක් විය. මේ යුගයේදී, සීයලාගේ කාලයේ සිට යූඇම්පී කාරයෙක් වීම ළඟදී පක්ෂේ මාරු කළ දෙපිටකාට්ටුවෙකු වීමට වඩා මහත්පල මහානිශංශ ගෙනදුන්නේය. කෙසේ වුවද, මේ තට්ටුමාරු දේශපාලනයෙන් බැට කෑවේ වාමාංශික පක්ෂයි. රාජ්‍ය බලය හා බැඳුනු වරප්‍රසාද රහිතව හැමදාමත් එක දිගට ප්‍රහාරයටම ලක්වෙන, ප්‍රහාරකයා වීමේ බලාපොරොත්තුවක් පෙනෙන්නට නැති පක්ෂ සාමාජිකයින් රඳවා ගැනීම ප්‍රායෝගික නොවූ නිසා වාමාංශික පක්ෂ වලට සභාග වලට එක් වීමට සිදුවූ අතර පසුව සභාග තුල දියවී යාමටද සිදුවිය.

මේ තත්ත්වය වෙනස් වුනේ 1977න් පසු යුගයේදීය. 1977න් පසු යුගයේදී බොහෝ විට වරප්‍රසාද හිමිවන්නේ පාක්ෂිකභාවයටම නොවේ. නියෝජිතයින් තෝරා පත් කරගැනීම සඳහා මුදල් ආයෝජනය කරන හෝ අනාගතයේ මුදල් ආයෝජනය කිරීමේ විභවයක් ඇති අයටය. මේ අනුව, "කැපුවත් යූඇම්පී, කැපුවත් සිරිලංකා වැනි දැඩි මතධාරීන්" සෙමින් වුවත් දිය වී යාම මෑත කාලීන ප්‍රවණතාව බව මගේ අදහසයි.

එජාප ශ්‍රීලනිප තට්ටුමාරුව වසර පහෙන් පහට සිදුවුණත්, 1956දී හැර, තනි පක්ෂයක් ලෙස 1947-1977 දක්වා සෑම මැතිවරණයකදීම වැඩිම ඡන්ද ලබා ගත්තේ එජාපයයි. ශ්‍රීලනිප-ලසසප-කොප එක්වී තුනෙන් දෙකක බලයක් සහිත සමඟි පෙරමුණු රජය පිහිටුවාගත් 1970 මැතිවරණයේදීද එජාපය මුළු දිවයිනෙන්ම ලබාගත් ඡන්ද ප්‍රමාණය ශ්‍රීලනිපය ලබාගත් ඡන්ද ප්‍රමාණයට වඩා වැඩි විය. සාමාන්‍යයෙන් මාක්ස්වාදී පක්ෂයකට ඇති ලැදියාව අදාල පක්ෂයේ පුද්ගල ප්‍රතිරූප වලට ඇති ලැදියාවට වඩා වැඩි විය යුතු වුවත් සමසමාජ කොමියුනිස්ට් පක්ෂ වලට පැවති ආකර්ෂණය පුද්ගල ප්‍රතිරූප මත බොහෝදුරට පදනම් වූ බව පෙනීයයි. රටේ ඇතැම් තැන් වල පැවති 'රතු බලකොටු' වල විශාල ඡන්ද පදනමක් තිබුණු වාමාංශික පක්ෂ වලට ඒ බලකොටු වලින් පිටත සැලකිය යුතු ඡන්ද පදනමක් නොතිබුණේය. සංසන්දනාත්මකව, එජාපයට උතුරේ හැර දිවයිනේ සෑම ප්‍රදේශයකම පාහේ සැලකියයුතු ඡන්ද පදනමක් තිබුණේය. මේ ඡන්ද බොහෝ දුරට ගොනුවී තිබුණේ පුද්ගල ප්‍රතිරූප වටා නොව පක්ෂය වටාය.

ශ්‍රීලනිප-ලසසප-කොප එකතුව තුලින් නිදහසින් පසු ප්‍රථම වරට ආණ්ඩු පක්ෂයට තුනෙන් දෙකක බලයක් ලබාගත හැකි වූ අතර මේ 'විශාල' බලයේ එක් ප්‍රතිපලයක් ලෙස මහජනතාව විසින් වසර පහකට පත් කර ගනු ලැබූ මේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස තවත් වසර දෙකක් බලයේ සිටියේය. තමාගේ වාසියට ව්‍යවස්ථාව වෙනස් කරගැනීම සඳහා ජේආර්, මහින්ද ඇතුළු පසුකාලීන පාලකයින්ට ආදර්ශයක් සැපයූ මේ ක්‍රියාව ලංකාවේ පසුකාලීන දේශපාලනය මුළුමනින්ම වෙනස් කළේය.

1947-1977 පැවති සියළුම ආණ්ඩු වසර තුනක් පමණ යනවිට ජනප්‍රියතාවයෙන් පිරිහීමට පටන්ගෙන වසර පහ අවසාන වන විට ගෙදර යන තරමටම  පිරිහුණත්, යම් තරමක ජනප්‍රියතාවක් තවදුරටත් රඳවා ගත්තේය. එහෙත්, ඡන්දය පැවැත්විය යුතුව තිබුණු 1975 වන විටත් ජනප්‍රියතාවයෙන් පිරිහී තිබුණු සමඟි පෙරමුණු රජය 1977 වන විට මහජනතාවට හොඳටම එපා වී තිබීමේ ප්‍රතිපලය වූයේ 1977 මැතිවරණයේදී යූඇම්පියෙන් ඉල්ලන පොල්පිත්තකට වුවද ජයග්‍රහණය නළලේ කෙටී තිබීමයි. මේ අනුව ජෙආර්ට තුනෙන් දෙක නොව හයෙන් පහක්ම ලැබුණේය.

ජේආර් 1978 ව්‍යවස්ථාව හැදුවේම යූඇන්පියට සදාකාලිකව බලයේ සිටීමටය. මෙහිදී අතීතයේ පැවති ප්‍රවණතාවන් අනාගතයේදීද එලෙසෙන්ම පවතිනු ඇතැයි ඔහු උපකල්පනය කළේය. සමානුපාතික ක්‍රමය ගෙන ආවේ මේ අනුවය. මේ උපකල්පනනම්,
1. එජාපය සදාකාලිකවම දෙමළ බහුතර දිස්ත්‍රික්ක වල හැර අනෙකුත් දිස්ත්‍රික්ක වල වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනු ඇත.
2. ශ්‍රීලනිපය හැර (සමසමාජ, කොමියුනිස්ට් වැනි) වෙනත් පක්ෂයකට දිස්ත්‍රික්කයකින් ලබාගත හැකි ඡන්ද ප්‍රතිශතය 12.5%කට වැඩි නොවනු ඇත.

මේ වන විට 19 වරක් සංශෝධනය වී ඇති 1978 ව්‍යවස්ථාව මුලින්ම සම්මත කිරීමේදී නීතිගත කෙරුණු මැතිවරණ ක්‍රමය අද ඇති ක්‍රමයම නොවන අතර එය ඒ ආකාරයෙන්ම කිසිදා ක්‍රියාත්මක නොවීය. මේ ක්‍රමය ගැන විස්තර 1978 ව්‍යවස්ථාවේ 96 සිට 100 දක්වා ඡේද වල තිබේ. මේ අනුව, 1972 ව්‍යවස්ථාවේ මන්ත්‍රී ධුර ගණන 160 සිට 196 දක්වා වැඩි කෙරිණි. 160 දෙනෙකු ජනගහණය අනුව දිස්ත්‍රික් අතර සමානුපාතිකව බෙදෙන අතර ඉතිරි 36 හතර බැගින් පළාත් නවයට බෙදීයයි. මේ වැඩිපුර 36 අවශ්‍ය වූයේ ජනගහන අනුපාතය අනුව දිස්ත්‍රික් අතර මන්ත්‍රී ධුර 160 බෙදීමේදී ඇතැම් දිස්ත්‍රික්ක වලට  එවකට හිමි වූ මන්ත්‍රී ධුර ගණන අඩුවීම වැළැක්වීමටය.

මේ ආරම්භක ක්‍රමය අනුව සල්ලන් වීමට දිස්ත්‍රික්කයකින් අවම වශයෙන් ඡන්ද 12.5%ක් ලබා ගත යුතුය. එසේ ලබා ගන්නා පක්ෂ අතර දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ධුර ගණනට වඩා එකක් අඩු ප්‍රමාණයක් සමානුපාතිකව බෙදීයන අතර මෙසේ පැත්තකින් තබාගත් 'බෝනස්' මන්ත්‍රී ධුරය වැඩිම ඡන්ද ගත් පක්ෂයට හිමිවේ. සල්ලන් සීමාව 5% දක්වා අඩු වී ඇතත් අදද මන්ත්‍රී ධුර බෙදී යන්නේ මේ ක්‍රමයටමය. ජේආර්ගේ ආරම්භක සමානුපාතික ක්‍රමය අනුව 1947-1977 දක්වා 1956 හැර සියළු මැතිවරණ වලදී ජයග්‍රාහකයා එජාපයයි. එසේම සමසමාජය විපක්ෂය වූ යූඇන්පිය අටට වැටුණු 1956දීද එය ප්‍රබල විපක්ෂයක් වනු ඇත.

1978 ව්‍යවස්ථාව අනුව මනාප භාවිතයක් තිබුණේ නැත. එක් එක් පක්ෂය මඟින් අපේක්ෂකයින් ලැයිස්තුවක් ඉදිරිපත් කරන අතර මන්ත්‍රී ධුර හිමිවන්නේ ලැයිස්තුවේ ප්‍රමුඛතා අනුපිළිවෙල අනුවය. පක්ෂයෙන් ඉවත්වීම හෝ ඉවත් කරනු ලැබීම මන්ත්‍රී ධුරය අහෝසි වීමට හේතුවකි.

කෙසේ වුවද මේ ආරම්භක ක්‍රමයට කිසිදු මැතිවරණයක් පැවැත්වුණේ නැත. 1983දී පැවැත්විය යුතුව තිබුණු මැතිවරණය කලගෙඩි ලාම්පු සෙල්ලම මඟින් කල් දමනු ලැබූ අතර නැවතත් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වෙන්නේ 1989දීය. ඒ වන විට මේ ආරම්භක ක්‍රමය බොහෝ සේ වෙනස් වී අවසානය.

1978 ව්‍යවස්ථාවේ ආරම්භක ක්‍රමයට වඩාත් ආසන්නව පැවති එකම මැතිවරණය 1981 සංවර්ධන සභා ඡන්දයයි. ශ්‍රීලනිප ඇතුළු දකුණේ ප්‍රධාන පක්ෂ විසින් වර්ජනය කෙරුණු මේ මැතිවරණයේදී ඒ වන විට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට අවතීර්ණව සිටි ජවිපෙ මුල් වරට දිවයින පුරා පැවැත්වෙන මැතිවරණයකට මුහුණ දෙමින් යම් ජයග්‍රහණයන් ලබා ගත් අතර කුප්‍රසිද්ධ යාපනය පුස්තකාලය ගිණි තැබීමද සිදු විය. මේ මැතිවරණය පැවැත්වුණේ 1980 අංක 35 දරන සංවර්ධන සභා පණත අනුවය. සංවර්ධන සභා මැතිවරණ ක්‍රමය එවකට ව්‍යවස්ථාපිතව පැවති පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයට බොහෝ සේ සමාන වූ අතර එක් සැලකිය යුතු වෙනසක් විය. එහි බෝනස් ආසන වෙන් කිරීමක් නොවූ අතර ආසන හරියටම සමානුපාතිකව බෙදුණේය. උතුරේ ආසන දෙමළ පක්ෂ වලට හිමිවන නිසා පාර්ලිමේන්තුවේ බහුතරය තහවුරු කර ගැනීමට යූඇන්පියට බෝනස් ආසන අවශ්‍ය වුවත් ප්‍රාදේශීය මැතිවරණයකදී මෙය ප්‍රශ්නයක් නොවේ. එහෙත්, 12.5% සල්ලන් සීමාව එහිද පැවතුණේය.

සංවර්ධන සභා ඡන්දයෙන් ජේආර් බොහෝ දේ ඉගෙන ගත්තේය. ලැයිස්තු ක්‍රමය යටතේ පක්ෂය දිනවීමට වැඩ කිරීමට මන්ත්‍රී ධුර අපේක්ෂකයින්ට ලොකු උවමනාවක් නැත. නම ඇත්තේ ලැයිස්තුවේ උඩින්මනම් දිනුම නළලේ කෙටී ඇත. නම යටින්මනම් මළාට දිනිය නොහැක. මහන්සිවීමෙන් ප්‍රයෝජනයක් තිබිය හැක්කේ මැද හරියේ සිටින 'ආන්තිකයින්ට' පමණි. අනෙක් අතට, 12.5% සීමාව 5% දක්වා ගෙන ආවා කියා මේ වන විට හොඳටම හාමත් වී සිටි පැරණි වාමාංශික පක්ෂ වලට හෝ තවමත් විශාල ජනපදනමක් නැති 'අළුත් වම' වන ජවිපෙට ලොකු හානියක් කිරීමට ඉඩක් නැත.

ජේආර්ගේ ව්‍යවස්ථාව අනුව පැවැත්වුණු පළමු ඡන්දය වන 1989 පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට පෙර 1988දී තකහනියේ ගෙන ආ 14වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් සමානුපාතික මැතිවරණ ක්‍රමය සැලකිය යුතු ලෙස සංශෝධනය විය. මේ අනුව ලැයිස්තු වෙනුවට මනාප ක්‍රමය ආවේය. ජාතික ලැයිස්තුවෙන් 29ක් එක් වී මන්ත්‍රී ධුර ගණන 225 දක්වා වැඩි විය. සල්ලන් සීමාව 12.5% සිට 5% දක්වා අඩුවිය. මේ සියළු වෙනස්කම් කළේ යූඇන්පියේ වාසියටය. අන්තිමේ ඒ ඡන්දයෙන්නම් යූඑන්පිය බලාපොරොත්තු වූ ලෙසටම දිනුවේය.

ජේආර් බලාපොරොත්තු වූ පරිදි අතීතයේ සිදු වූ ආකාරයට හැමදේම දිගටම සිදු වුනේ නැත. වසර දාහතක් බලයේ සිටි එජාපය අන්තිමේදී පැරදෙන විට එජාපය මහජනතාවට හොඳටම එපා වෙලාය. මේ නිසා එජාපයට බලයේ සිටියාටත් වඩා වැඩි කාලයක් එක දිගට විපක්ෂයේ සිටීමට සිදුවිය.

කෙසේ වුවද සංශෝධිත 1978 ව්‍යවස්ථාව අනුව වුවත් පක්ෂ මාරුවට ඉඩ සැලසුනේ නැත. මෙය වෙනස් වුනේ පසුකාලීන අධිකරණ තීන්දු කිහිපයක් නිසාය. පක්ෂ වලට ඡන්ද ලබාදීම යන අදහස මත පදනම් වූ සමානුපාතික නියෝජනයක් පැවතෙද්දී පක්ෂ මාරුවට ඉඩ ලැබුණු විට සිදුවන්නේ විශාල විකෘතියකි.

රටක ව්‍යවස්ථාදායකයේ කර්තව්‍යය මහජනතාවගේ ශුභ සාධනය සලකා නීති සම්පාදනය කිරීමයි. අධිකරණය මේ නීති විශ්ලේෂණය කර අර්ථදක්වයි. මෙවැනි අර්ථදැක්වීමක් නීතියේ මුල් පරමාර්ථ හා ගැටෙන විට නීතිය වඩා පැහැදිලි වන ලෙස සංශෝධනය කිරීම ව්‍යවස්ථාදායකයේ වගකීමයි. එහෙත්, පසුගිය කාලයේදී එවැන්නක් සිදු නොවූ අතර එහි වාසිය ආණ්ඩු පක්ෂය ලබාගත්තේය.

ජේආර් මෙන්ම මහින්දගේ ආණ්ඩුද අමතක කළ කරුණක් වූයේ ආණ්ඩු මාරු වූ විට මෙවැනි තාවකාලික වාසි අවාසි බවට පෙරලෙන බවයි.

පවතින සමානුපාතික ක්‍රමයේ ගණිතය අනුව එළැඹෙන මැතිවරණයේදී කවර පක්ෂයකට හෝ බහුතර බලයක් ලබාගැනීමටනම් ඡන්දදායකයින්ගේ චර්යාවේ ඉතා විශාල වෙනසක් සිදුවිය යුතුය. එහෙත්, ජනවාරි සිට සිට මේ දක්වා කාලයේ සිදුවූ එවැනි විශාල වෙනසක් පෙනෙන්නට නැත. මහින්ද සමඟ තවදුරටත් සිටින සියල්ලන්ම පාහේ ජනවාරියේද මහින්ද සමඟ සිටි අයයි. එජාපෙ, ජවිපෙ හෝ දෙමල සන්ධානය සමඟ සිටින්නේ ජනවාරියේ මෛත්‍රී සමඟ සිටි අයයි. වෙනස්කම් සිදු වී ඇතත් ඒවා විශාල වෙනස්කම් ලෙස නොපෙනේ. මේ අනුව, 'සම්මත ක්‍රමයට' බහුතර ආණ්ඩුවක් පිහිටුවීම පහසු නොවනු ඇත.

මැතිවරණයෙන් පසුව පිල් මාරු කිරීම් සුලභ වනු ඇති අතර මන්ත්‍රී වරුන් ඉහල මිලකට වෙන්දේසි වනු ඇත. මෙහිදී ඡන්දදායක අපේක්ෂාවන් කඩ වන බව කිව යුතු නොවේ. මෙය අපේ ප්‍රජාතන්ත්‍රවාදයේ දැනට ඇති ලොකුම විකෘතියයි.

9 comments:

  1. /* ගුවන් විදුලි වැඩසටහන් අතර නම හරියටම මතක නැති තවත් ජනප්‍රිය වැඩ සටහනක් වූයේ */

    විනාඩියක් පමණයි!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, රසික. ඔබගේ මතකයනම් අති විශිෂ්ඨයි.

      Delete
  2. /* අරක්කු මඟහැර සැන්ඩි ගැන කතා කළ හැකිද? */

    ඒ ගැන නම් කිව හැක්කේ තමන් අරක්කු නොබොන නිසා සල්ලි දී සම්මාදම් නොවී කොකා කෝලා බොන සහ බයිට් ටික කන අය ද එකල සිටි බවයි!

    ReplyDelete
    Replies
    1. එදත් සිටියේය. අදත් සිටිති. (මෙය ආර්ථිකවිද්‍යාවේ එන 'ෆ්රී රයිඩර්' ප්‍රශ්නයයි.)

      Delete
  3. මැතිවරණයෙන් පසු තෙරෙන මන්ත්‍රීවරුන්ට ස්වාධිනව තම මතය පාර්ලිමේන්තුවේදි පැවසීමට අවස්ථාව ලබාදිය යුතුය. නැතහොත් දේශපාලන පක්ෂවල නායකයන්ට අවශ්‍ය පරිදි එම පක්ෂයෙ මන්ත්‍රීවරුන්ට කටයුතු කිරීමට සිදුවන අතර තම මතය ප්‍රකාශකිරීමට අවස්ථාවක් නොලැබි යයි. තම ස්වාධින මතය ප්‍රකාශ නොකර පක්ෂය විසින් පවසන දෙයම පැවසිමට හෝ ඒ අනුව පාර්ලිමේන්තුවේදි චන්දය ප්‍රකාශ කිරිමට පත්කරනු ලබන නියෝජිතයන්ට පවසන්නේනම් චන්දයෙන් පසු පාර්ලිමේන්තුව කැදවිමේ අවශ්‍යතාවයක් නැතිවියයි. පක්ෂවල නායකයින්ට පමණක් රැස්වි අවශ්‍යපරිදි තිරණ ගැනීමට හැකිය. මන්ත්‍රීවරුන් යනුවෙන් කොටසක්ද අවශ්‍ය නැත එලෙසම මනාප කෙලියක්ද අවශ්‍ය නැත

    ReplyDelete
    Replies
    1. පක්ෂවල නායකයන්ට අවශ්‍ය පරිදි කටයුතු නොකළ යුතු වීම යන කොටසටනම් එකඟයි. එසේ වුනොත්, එය ඒකාධිපති ක්‍රමයක් මිස ප්‍රජාතන්ත්‍රවාදයක් නොවේ. (එහෙත්, පක්ෂ විනයකට යටත් වීමේ වරදක් නැත.) දෙවන කරුණ වන මහජන නියෝජිතයින්හැමවිටම 'ස්වාධීනව' හෝ 'හෘදය සාක්ෂියට එකඟව' කටයුතු කළ යුතුයැයි මම සිතන්නේ නැත. මගේ අදහස අනුව ඔවුන් කටයුතු කළ යුත්තේ තමන්ව තෝරා පත් කර ගත් මහජන කණ්ඩායමේ හෘදය සාක්ෂියට එකඟවය. මේ කණ්ඩායමේ හෝ තමන්ගේ අදහස් පසුව වෙනස් වීම නිසා තමන් හොඳයැයි සිතන දෙය සහ තමන් විසින් නියෝජනය කෙරෙන ජනතාවගේ අදහස් අතර ගැටුමක් ඇත්නම් සදාචාරාත්මක දෙය වන්නේ අදාල මහජන නියෝජිතයා ඉල්ලා අස්වීමයි. වැදගත්ම කරුණනම් සියලුම මහජන නියෝජිතයින්ට මෙන්ම පක්ෂ නායකයින්ටත් බලය ලැබෙන්නේ මහජනතාවගෙනි.

      Delete
  4. සැහෙන්න හොඳ විස්තරයක් දීල තියෙන්නේ. ඔබේ බ්ලොගය දේශපාලන බ්ලොගයක් ලෙස මම රෙකමන්දාරු කලා එක්තරා සමීක්ෂණ වාර්තාවකට. රසිකගේ, පරකුම්ගේ ඒවත් එක්ක.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! දේශපාලනය මගේ විශේෂඥතාවක් ඇති ක්ෂේත්‍රයක්නම් නෙමෙයි. තියෙන්නේ ලොකු උනන්දුවක් සහ කියවීමෙන් ලබා ගත් දැනුමක් පමණයි. මෙතනනම් වැඩිපුර තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සහ මැතිවරණ නීතිය ගැන කරුණු. පොඩි දේශපාලන විශ්ලේෂනයකුත් තියෙනවා තමයි. කොහොම වුණත් මේ අන්තිම සතියේ දේශපාලනය මඟහැර වෙන දෙයක් ලියන්න හරිම අමාරුයි. ඒ නිසා, තව ලිපියක් තියෙනවා ඉහත ලිපියට පදනම් කර ගත් විස්තරාත්මක අපේක්ෂිත ප්‍රතිඵලය සහිතව.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.