Sunday, August 23, 2015

මා ඡන්දය නොදැම්මේ ඇයි?


(අසාත්මිකතා අවවාදය: ඉකොනොමික්ස් වලට කැමති, පොලි-ට්‍රික්ස් අසාත්මිකතා ඇති අයට වුවද මේ ලිපිය යෝග්‍යය.)

උඩින් ඇති ප්‍රශ්නයේ 'මා' යන්නෙන් අදහස් වෙන්නේ ඉකොනොමැට්ටානම් ඔය ප්‍රශ්නයේ ලොකු වැදගත්කමක් නැත. ඔය 'මා' කෑල්ල ඇතුළට ජනවාරියේ ඡන්දය දා අගෝස්තුවේදී නොදැමූ මිලියනයක් පමණ පිරිසත්, අගෝස්තුවේදී මෙන්ම ජනවාරියේදීත් ඡන්දය නොදැමූ තවත් මිලියන ගණනක පිරිසත් ඇතුළත් කළ විට ප්‍රශ්නයට වැදගත්කමක් එකතු වේ. ලෝකයේ කොහේ හෝ කවදා හෝ පැවති මැතිවරණ සියල්ලේදීම ඡන්දය නොදැමූ පිරිස එකතු කරගතහොත් ඔය වැදගත් කම තවත් වැඩිවේ.


ප්‍රශ්නයට ඇති උත්තරය පුද්ගලයාට සාපේක්ෂය. නොකී කතා ලියන හෙන්රි ඡන්දය නොදා ඇත්තේ "ඡන්දෙන් කොරයි බම්බුවක් රටට. මෙච්චර කාලෙකට කොරල තියෙනවද?" යනුවෙන් සිතමිනි. "දැං කියයි ඡන්දෙ දාන්න ලැබෙන එක තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියල..." යනුවෙන් ලිපිය අවසන් කරන හෙන්රි තුන් පාරක් පමණක් ඡන්දය පාවිච්චි කළ බව කියා තිබේ.

ඉකොනොමැට්ටා හිතන හැටියටනම් ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ තමන්ට අවශ්‍ය පක්ෂයකට ඡන්දය දැමීමට හෝ ඡන්දය නොදාම සිටීමට ඇති අයිතියි. ඡන්දය දැමීමට එරෙහිව හෝ ඡන්දය නොදමා සිටීමට එරෙහිව බලය යෙදවේනම් එය පුද්ගල නිදහසට බාධාවකි.

ඡන්දය නොදා සිටින අය එසේ කිරීම සාධාරනීකරණය කරමින් තම තමන්ටම දෙන පිළිතුරු සියල්ල සාරාංශගත කළහොත්, ඔවුන් මොන විදිහකින් වෙන අයට කීවත්, උඩින් ඇති ප්‍රශ්නයට ඇති පොදු පිළිතුර වනුයේ "ඔය මොකාට දුන්නත් මට ඇති වැඩක් නෑ" යන්නයි. මගේ මේ තර්කය අනුව, යමෙක්  කවර  ආකාරයකින් හෝ ඡන්දය ප්‍රකාශ කරන්නේ  "මට වැඩියෙන්ම වැඩක් වෙන්නේ" එසේ කළ විට නිසාය.

මේ සිතීමෙහි කිසිම වැරැද්දක් නැත. හෝමෝ සේපියන්ස්ලා සාමාන්‍යයෙන් තීරණ ගන්නේ තමන්ගේ ශුභ සිද්ධිය වෙනුවෙනි.

යම් පක්ෂයකට හෝ පුද්ගලයෙකුට ඡන්දය දීමෙන් කෙනෙකු බලාපොරොත්තු වෙන්නේ,
- එවෙලේම අතට ලැබෙන රුපියල් පන්සීයක් සහ බුරියානි පැකට් එකක් විය හැකිය.
- මීළඟ අයවැයෙන් රුපියල් පන්දාහක පඩි වැඩිවීමක් විය හැකිය.
- රජයේ කොන්ත්‍රාත් ලබා ගැනීමේ වැඩි ඉඩ ප්‍රස්තාවන් විය හැකිය.
- තමන්ගේ දරුවෙකු ජනප්‍රිය පාසලකට දමා ගැනීමට උපකාරී වන රෙකමදාරු ලිපියක් විය හැකිය.
- ගමේ පාරට තාර වැටුණු විට හෝ ආසන්නම නගරය කරා අධිවේගී මාර්ගයක් ඉදිවූ විට ගමන් පහසුව වැඩිවීම නිසා තමන්ට ලැබෙන වාසිය විය හැකිය.
- තැන් තැන් වල බෝම්බ පිපිරීම නැවතීමෙන් තමන්ට ලැබෙන වාසිය විය හැකිය.
- තමන්ගේ ජන වර්ගයට එරෙහිව යම් කණ්ඩායමක් නිරන්තරයෙන් මුදා හරින භීෂණය නැවතීමෙන් තමන්ට ලැබෙන වාසිය විය හැකිය.
- වෙනත් ජනවර්ගයක් රටෙන් අතුගා දැමීමෙන් සහ තමාගේ ජනවර්ගයට වැඩි තැනක් ලැබීමෙන් තමන්ට සැලසෙන වාසිය විය හැකිය.
- මෙතෙක් ලෝකයේ කොහේවත් බිහිවී නැති සමානාත්මතාව රජයන පරිපූර්ණ සමාජයක ජීවත් වීමට ලැබීමෙන් තමන්ට ලැබෙන වාසිය විය හැකිය.
- රටේ ආර්ථිකය සහ පුද්ගල නිදහස දියුණු වීම නිසා තමන්ට සැලසෙන වාසිය විය හැකිය.

වැදගත් කරුණනම් සලකා බලන්නේ සෘජුව හෝ වක්‍රව 'තමන්ට' සැලසෙන වාසිය බවයි.

ආර්ථික විද්‍යාවේ මූලික න්‍යායයක් වන්නේ 'තාර්කිකව සිතන පුද්ගලයෙකු තීරණ ගන්නේ තමන්ගේ ශුභ සිද්ධිය උපරිමයක් වන ආකාරයටය' යන්නයි. ඒ අනුව, තමන්ගේ ශුභ සිද්ධිය උපරිමයක් වන ආකාරයට තීරණ ගන්නා අය තාර්කික පුද්ගලයින්ය. එසේ සිතා තීරණ නොගන්නෝ අතාර්කික පුද්ගලයෝය.

නිරීක්ෂණ මඟින් පෙනෙන්නේ බොහෝ පුද්ගලයින් බොහෝ අවස්ථාවලදී තාර්කික තීරණ ගන්නා බවයි. එහෙත්, බොහෝ පුද්ගලයින් සමහර අවස්ථා වලදීත්, සමහර පුද්ගලයින් බොහෝ අවස්ථා වලදීත් අතාර්කික තීරණද ගනිති.

පුද්ගලයින් තාර්කික පුද්ගලයින් ලෙස සලකමින් බොහෝ සංසිද්ධි පැහැදිලි කිරීමට පුළුවන. ඒ නිසා බොහෝ අවස්ථාවලදී මේ 'අතාර්කික ව්‍යතිරේඛය' අතහැර සරල ආකෘතියක් සකස් කර ගත හැකිය.

අලියෙකු කිවූ විට එක්වරම අපේ මතකයට එන්නේ අළු හෝ දුඹුරු පැහැයට හුරු සතෙක් මිස කොළ හෝ රතු පැහැති සතෙක් නොවේ. ඒ නිසා බොහෝ විට අපි චිත්‍රයක් අඳින විට අලියෙකු වර්ණ ගන්වන්නේ එවැනි පැහැයකිනි. එහෙත්, මේ වර්ණය ලබා දෙන ජානය නැති සුදු හෝ රෝස පැහැති ඇල්බිනෝ අලි ඉඳ හිට බිහිවෙති. එක්තරා ප්‍රාදේශීය දෙවිකෙනෙකුගේ වාහනය සුදු අලියෙකි.


අලියෙකු අළු හෝ දුඹුරු පැහැතියැයි සැලකීම අලියෙකු සුදු, රෝස, අළු හෝ දුඹුරු පැහැති විය හැකියැයි සලකනවාට වඩා සරල, ප්‍රායෝගිකව හොඳ උපකල්පනයකි. කෙසේ වුවද, ප්‍රාදේශීය දෙවිවරුන් වැඩි වී මේ අයගේ වාහන ලෙස සුදු අලි ගොඩක් පෙනේනම් අපට අපේ සරල උපකල්පනය වෙනස් කිරීමට සිදු විය හැකිය.

පුද්ගලයෙකු ඡන්දය ප්‍රකාශ කරන ආකාරය ආකෘතිගත කිරීමේදී ඔවුන් තාර්කික පුද්ගලයින් ලෙස සලකමින් අපට සරල ආකෘතියක් ගොඩ නැංවිය හැකිය. මේ අනුව මේ පුද්ගලයාගේ තෝරාගැනීම වනුයේ ඔහු හෝ ඇය සිතන පරිදි තමන්ගේ පුද්ගල ශුභ සාධනය උපරිමයක් වන විකල්පයයි.

මෙහිදී වාසි අවාසි ගණනය කිරීමේදී සලකා බැලිය යුත්තේ මුදලින් අගය කෙලින්ම සටහන් වන සාධක පමනක් නොවේ. යම් පුද්ගලයෙකු ලබන මානසික තෘප්තිය හෝ අතෘප්තිය වැනි දේද මෙයට ඇතුළත් විය යුතුය.

මුදලින් අගය කෙලින්ම සටහන් නොවන සාධකයක 'මිල' ගණනය කරන්නේ කෙසේද? මෙය තරමක් සංකීර්ණ වුවත් නොකළ හැක්කක් නොවේ. ඔබ සිනමාහලකට ගොස් චිත්‍රපටයක් නැරඹු විට ඔබට යම් තෘප්තියක් ලැබේ. ඒ සඳහා ඔබ නිශ්චිත මිලක් ගෙවන්නේ එයින් ලැබේයයි ඔබ අපේක්ෂා කරන තෘප්තියේ වටිනාකම ගෙවන මිලට වඩා වැඩි නිසාය. සිනමාහල්කරු මෙවැනි නිශ්චිත මිලක් නියම නොකර චිත්‍රපටිය පෙන්වීම වෙනුවෙන් අය කරන මිල ඔබ සමඟ කේවල් කරයිනම් අපේක්ෂිත තෘප්තිය පරයා සිනමාහල්කරු ඉල්ලා සිටින මිල වැඩි වන මොහොතේ ඔබ චිත්‍රපටය නොබලා ආපසු හැරීයාමට තීරණය කරයි. මෙවැනි නිරීක්ෂණ උපකාරයෙන් කෙලින්ම මුදලින් අගය සටහන් නොවන සාධකයක වුවද සැබෑ වටිනාකම මුදලින් ගණනය කළ හැකිය.

ඡන්දය භාවිතා කිරීමෙන් යම් පුද්ගලයෙකුට සැලසෙන වාසියේ (හෝ අවාසියේ) ප්‍රධාන කොටස් දෙකකි.
1. තමන්ගේ ඡන්දය මඟින් ලැබිය හැකිව තිබුණු ප්‍රතිඵලය වෙනස් කර ගැනීම හේතුවෙන් දීර්ඝකාලීනව ලැබෙන වාසිය.
2. ඡන්දය දැමීමේ ක්‍රියාවලිය මඟින් ලැබෙන වාසිය (හෝ අවාසිය).

මෙයින් පළමුවැන්න හැමවිටම ධන අගයක් හෝ ශුන්‍ය වේ. එය සෘණ අගයක් විය නොහැක. මා ඡන්දය නොදැම්මත් වෙනත් අය ඡන්දය භාවිතා කරනු ඇති අතර යම් පක්ෂයක්, කණ්ඩායමක් හෝ පුද්ගලයෙකු ජයග්‍රහණය කරනු ඇත. මෙමඟින් මට යම් නිශ්චිත වාසියක් හෝ අවාසියක් සැලසෙනු ඇත. මා ඡන්දය භාවිතා කරන්නේ මේ ප්‍රතිඵලය වෙනස් කර ගැනීම සඳහාය. ඒ මඟින් අපේක්ෂා කරන්නේ මේ වාසිය වැඩි කර ගැනීමට හෝ අවාසිය අඩු කර ගැනීමටය. කවරක් වුවද මගේ අපේක්ෂාව සෘණ වෙනසක් නොවේ. තාර්කික පුද්ගලයෙක් වශයෙන් මගේ තෘප්තිය අඩුකරවන තෝරා ගැනීමක් කිරීමට මට අවශ්‍ය නැත.

කෙසේ වුවද, ඉහත දෙවැන්න ධන හෝ සෘණ අගයක් ගත හැකි අතර බොහෝ විට සෘණ අගයකි.
- මට කාගෙන් හෝ රුපියල් පන්සීයක් සහ බත් පැකට් එකක් ලැබේනම් එය ධන අගයකි.
- මගේ පළමු ඡන්දය කාට හෝ දමා පොරක් වීමෙන් ලැබෙන තෘප්තිය ධන අගයකි.
- රසිකොලොජිස්ට්ට ඡන්දය දැමීමට ඕස්ට්‍රේලියාවේ සිට පැමිණීමට ගුවන් ටිකට්පතට වියදම් වන ඩොලර් දෙදහස සහ ඔහුගේ කාලයේ ආවස්ථික පිරිවැය ඇතුළු විශාල වියදම සෘණ අගයකි.
- කල්‍යාණමිත්‍රට බදුල්ලට යාමට වැයවන මුදල සහ කාලය මීට වඩා අඩු සෘණ අගයකි.
- ඡන්දපොළට අකැමැත්තෙන් විනාඩි දහයක් පයින් ඇවිදගෙන යාමද සුළු වුවත් සෘණ අගයකි.

පළමු කෑල්ල පොඩි ධන අගයක් වුවත් දෙවන කෑල්ල එයට වඩා වැඩි සෘණ අගයක්නම් මුළු එකතුව සෘණ අගයකි. එසේ වූ විට තාර්කික පුද්ගලයෙකු ස්වභාවිකවම ඡන්දය නොදා සිටීමට පෙළඹේ.

දැන් අපි මේ පළමු කෑල්ල තව ටිකක් විශ්ලේෂණය කරමු. මෙහි ඇති වාසිය දෙවන කෑල්ලේ වාසිය හෝ අවාසිය මෙන් පැහැදිලි එකක් නොවේ. දීර්ඝකාලීන සංසිද්ධියක් නිසා අවිනිශ්චිතතාව වැඩිය. ගාන හදා ගැනීම සඳහා තාර්කික පුද්ගලයෙකු තමාගෙන්ම අසා ගන්නේ මේ වගේ ප්‍රශ්න කිහිපයකි.
- මා ඡන්දය නොදැම්මොත් ලැබිය හැකි ප්‍රතිඵලය කුමක්ද?
- ඒ ප්‍රතිඵලය ලැබුනොත් මට ඇති වාසිය (හෝ අවාසිය) කොපමණද?
- මට ඊට වඩා වැඩි වාසියක් (හෝ අඩු අවාසියක්) ලැබිය හැකි විකල්ප ප්‍රතිඵල මොනවාද?
- මගේ ඡන්දය මඟින් ලැබිය හැකි ප්‍රතිඵලය වෙනස් කර මේ එක් එක් විකල්ප ප්‍රතිඵලය ලබා ගැනීමට ඇති ඉඩකඩ කුමක්ද?

මේ ප්‍රශ්න වලට පිළිතුරු හොයාගත් පසු උඩින් සඳහන් කළ පළමු කෑල්ල ගණනය කර ගැනීම පහසුය. එය මෙවැන්නකි.

වාසියේ පළමු කොටස = (a1 - a0)p1
a0 - මා ඡන්දය භාවිතා නොකළහොත් ලැබෙන ප්‍රතිඵලය යටතේ මට ඇති වාසිය හෝ අවාසිය.
a1 - පළමු විකල්පය වෙනුවෙන් මා ඡන්දය භාවිතා කළහොත් ලැබෙන ප්‍රතිඵලය යටතේ මට ඇති වාසිය හෝ අවාසිය.
p1- පළමු විකල්පය වෙනුවෙන් මා ඡන්දය භාවිතා කළහොත් ලැබෙන ප්‍රතිඵලය සැබැවින්ම පළමු විකල්පය වීමට ඇති සම්භාවිතාව.

විකල්ප කිහිපයක් ඇති විට (a1,p1) වෙනුවට (a2,p2),(a3,p3) ලෙස යොදමින් වැඩිම වාසිය ලැබෙන විකල්පය තෝරාගත හැකිය.

දෙවන කෑල්ල ගණනය කළයුත්තේද ඡන්දය නොදීමෙන් ලැබෙන වාසියට සාපේක්ෂවය.

වාසියේ දෙවන කොටස = b1 - b0

b1- ඡන්දය දැමීමෙන් ලැබෙන වාසිය හෝ අවාසිය
b0- ඡන්දය නොදැමීමෙන් ලැබෙන වාසිය හෝ අවාසිය

b1 සහ b0 අගයයන් බොහෝ විට අප ඡන්දය දීමට තෝරාගන්නා විකල්පය අනුව වෙනස් නොවන අතර බොහෝ අවස්ථාවල b0 අගය ශුන්‍යයකි. ඇතැම් රටවල ඡන්දය දීම අනිවාර්යය කර ඡන්දය භාවිතා නොකරන්නන්ට දඩයක් නියම කිරීමේදී කරන්නේ b0 හි අගය විශාල ශුන්‍ය අගයක් කිරීමයි. එවිට පොඩි සෘණ අගයක් වන b1 වලින් වඩා ලොකු සෘණ අගයක් අඩුවී දෙවන කෑල්ල ධන අගයක් වේ. මේ නිසා බොහෝ දෙනා ඡන්දය දමති.

කෑලි දෙක එකතු කළ විට මුළු වාසිය මෙසේය.

ඡන්දය දැමීමේ වාසිය = (a1 - a0)p1 + (b1 - b0).

මේ වාසිය අවාසියක්නම් තාර්කික පුද්ගලයෙක් ඡන්දය දාන්නේ නැත.

දැන් අපේ ආකෘතිය සම්පුර්ණය. මේ ආකෘතිය වැඩ කරනවාද කියා අපට දැන් සලකා බැලිය හැකිය.

රසිකලොජිස්ට් කියා ඇති හැටියට මේ මැතිවරණයට පෙර ලංකාවේ පැවති වාතාවරණය සලකමින් ප්‍රායෝගිකව ඔහු දැකීමට කැමති වූ ප්‍රතිඵලයක් තිබේ (a1). ඒ ජවිපෙට ආසන 40ක් සමඟ ප්‍රධාන පක්ෂ දෙකටම සුළුතරයක් ලැබෙන ප්‍රතිඵලයකි. ඔහු ඡන්දය භාවිතා නොකළේ වුවද ප්‍රධාන පක්ෂ දෙකටම සුළුතරයක් ලැබෙන බවට අවබෝධයක් ඔහුට වූ බව මගේ අදහසයි. ජවිපෙ සම්බන්ධව ඔහුගේ සැබෑ තක්සේරුව මීට වඩා සැලකිය යුතු ලෙස අඩු ආසන ගණනක් වන්නට ඇත (a0). යම් හෙයකින් ලංකාවට ආවානම් ඔහු ජවිපෙට ඡන්දය ප්‍රකාශ කරන්නේ ප්‍රතිඵලය a0 සිට a1 දක්වා තල්ලු කර ගැනීමේ අපේක්ෂාවෙනි. මෙය සිදු වීමට ඇති සම්භාවිතාව පිළිබඳව ඔහු මනසින් ගණනය කිරීමක්ද කරයි.

ඕස්ට්‍රේලියාවේ ජීවත්වන රසිකට ප්‍රතිඵලය a0 සිට a1 දක්වා වෙනස්වීම නිසා සෘජු මුදල් වාසියක් ලැබේයැයි මා සිතන්නේ නැත. මෙහි ඔහුට ඇති වාසිය බොහෝ දුරට ඔහු ලබන මානසික තෘප්තියයි. කෙසේ වුවද මේ මානසික තෘප්තියට මිලක් තිබේ. රසිකගේ (a1 - a0)p1 ඔහුගේ ගුවන්ටිකට් පත් වියදම, කාලයේ ආවස්ථික පිරිවැය ඇතුළු දෙවන කෑල්ලේ සෘණ අගයට සාපේක්ෂව කුඩා අගයකි.

කල්‍යාණමිත්‍ර සිතන ආකාරයත් රසිකලොජිස්ට් සිතන ආකාරයට ආසන්නය. ඔහුගේ දෙවන කෑල්ලේ සෘණ අගය රසිකලොජිස්ට්ගේ අගයට වඩා කුඩා වුවත් ඔහුගේ පළමු කෑල්ලේ අගයට වඩා වැඩිය. එසේ නොවීනම් ඔහුත් මාතලන් මෙන් ජවිපෙට ඡන්දය ප්‍රකාශ කරනු ඇත.

මේ මැතිවරණයේදී හෙන්රිගේ දෙවන කෑල්ලේ සෘණ අගය වැඩි වුනත් ඔහු ඡන්දය නොදමා ඇත්තේ ඔහුගේ පළමු කෑල්ල කුඩා නිසා බව මගේ අදහසයි. දෙවන කෑල්ල විශාල නොවූ අවස්ථාවලත් ඔහු ඡන්දය දමා නැත්තේ ඒ නිසාය. එයට හේතුව ඔහුට අනුව (a1 - a0) පරතරය ශුන්‍යයට ආසන්න නිසා විය හැකිය. ඇතැම් විට (a1 - a0) පරතරය තරමක් විශාල වන විකල්ප වලට අදාළ p1 අගය ශුන්‍යයට ආසන්න වන විටද පුද්ගලයෝ මෙසේ හැසිරෙති.

එසේනම්  හෙන්රි තෙවරක් ඡන්දය ප්‍රකාශ කළේ ඇයි?

ඔහුගේ පළමු ඡන්දයේදී ඔහුගේ දෙවන කෑල්ල ධන අගයක් ගන්නට ඇත. මෙය බොහෝ දෙනෙකුට පොදු දෙයක් වන අතර යමෙකු තමාගේ පළමු ඡන්දය නොදා සිටින්නේ කලාතුරකිනි.

දෙවන අවස්ථාවේදී "එවකට නාවික හමුදාවෙ සේවය කරමින් උන්න නිසා ඡන්දෙ නොද‍ා ඉන්න එක සැකයට තුඩු දෙන්න පුළුවන් බැවින්" ඔහුගේ b0 විශාල සෘණ අගයක් විය.

තුන්වන අවස්ථාවේදී, ඔහුගේ a0 විශාල සෘණ අගයක් වූ නිසාත් a1 අඩු සෘණ අගයක් වූ නිසාත් (a1 - a0) පරතරය විශාල විය.

මගේ පෙර සටහනකට කමෙන්ටුවක් දමන ඇනෝවියක් මෙසේ කියයි.

"මං මේ කල්පනා කලේ 2001,2002 කාලෙදි වි.වි. ශිශ්‍යාවක් වෙලා හිටපු මගේ අතීතය අද හදිසියෙ මාව මුණ ගැහිල මං අලියට ඡන්දෙ දුන්න කියල දැන ගත්තොත් මොනවා නොකියයිද කියලා"

තවත් ඇනෝවෙකු (හෝ ඇනෝවියක්) "ඔබ කිවු කරුණු ඒ විදිහටම මට අදාළයි" ලෙස සටහනක් තැබීමෙන් පෙනෙන්නේ මේ, මේ ආකාරයෙන් ඡන්දය භාවිතා කළ, තවත් බොහෝ දෙනෙකුගේ හඬ  බවයි.

මේ අය ජවිපෙ අතහැර එජාපෙට ඡන්දය දෙන්නේ ඇයි?

ජවිපෙට ඡන්දය දුන් විට ලැබෙන වාසිය  = (a1 - a0)p1
එජාපෙට ඡන්දය දුන් විට ලැබෙන වාසිය = (a2 - a0)p2

මේ අය එජාපෙ සහ ජවිපෙ සසඳන්නේ මහින්ද (එජනිස) විකල්පය සමඟය (a0). එය විශාල සෘණ අගයකි. a1 ධන අගයක් වුවත් p1 විශාල නැත. අනෙක් අතට a2 අගය a1 වලට වඩා අඩු වූවත්, ඇතැම් විට සෘණ අගයක් විය හැකි වුවත්, a0 වලට වඩා විශාල ලෙස වැඩිය. එමෙන්ම p2 සම්භාවිතාව p1 වලට වඩා බොහෝ විශාලය.

ටිකක් ග්‍රීක් වගේ නිසා අපි උදාහරණයක් ගනිමු.

a0= එජනිස දිනුවොත් (අ)වාසිය = -100
a1= ජවිපෙ දිනුවොත් වාසිය = 1000
a2= එජාපෙ දිනුවොත් (අ)වාසිය = -50

p1 = ජවිපෙ දිනීමේ සම්භාවිතාව = 2%
p2 = එජාපෙ දිනීමේ සම්භාවිතාව = 50%

ජවිපෙට ඡන්දය දීමෙන් අපේක්ෂිත වාසිය = (a1 - a0)p1 = (1000 - (-100))*2% = 22
එජාපෙට ඡන්දය දීමෙන් අපේක්ෂිත වාසිය = (a2 - a0)p2 = ((-50) - (-100))*50% = 25

තමන් ඉතා කැමති ජවිපෙ අත්හැර තමන් අකැමති එජාපෙට ඡන්දය දීමට තාර්කික පුද්ගලයෙකු පෙළඹීම මේ අනුව අහම්බයක් නොවේ. මේ ආකාරයෙන්ම එජාපෙ නැවත බලයට ආවොත් නැවතත් උතුරේ කොටි ඔළුව උස්සනු ඇතැයි සිතමින් එම විකල්පයට විශාල සෘණ අගයක් දීම නිසා තමන් අකැමැති එජනිසයට ඡන්දය දුන් පිරිස්ද සිටිය හැකිය.

ඕනෑම දේශපාලන පක්ෂයකට තමන්ගේ ගොඩ ලොකු කර ගැනීමට උදවු විය හැකි කරුණු මෙහි තිබේ. ඒවා වැඩිපුර පැහැදිලි කර නැත.

(උඩින්ම ඇති ඡායාරූපය සරත් විමලසූරියගේ වත්පොත් පිටුවෙනි. දෙවැන්න rediff.com වෙතිනි.)

25 comments:

  1. ඉතාම ආකර්ෂණීය විශ්ලේෂණයක්. කොහොම අවුනත් තමාගේ ඡන්දයට "වටිනාකමක්" (කුමන ආකාරයක හෝ) ලබාගන්නට බොහෝ සියල්ලම පාහේ කැමති බව කිව යුතුයි .

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණයෙනම එකඟයි, ඉවාන්! අගය හරියටම නිශ්චිත නැති සමහර විචල්‍ය වලට අපි වටිනාකම් දෙන්නේ ඔය වටිනාකම වැඩිවෙන විදිහටය. එවිට අපේ ඡන්දයේ වටිනාකම වැඩි වූ බව අපට පෙනේ. හැමවිටම නොවූවත් මෙතැනදී සමහර විට අපි විසින් අපිවම රවටා ගැනීමක්ද සිදු වීමට ඉඩ තිබේ.

      Delete
    2. ඔබේ "ලබා ගන්නට" කෑල්ල: නැතුව නැතුව.

      Delete
  2. තමන් අකමැති අය බලයෙන් පහ කිරීමට හෝ බලයට ඒම වැලැක්වීමට චන්දය දීම?

    ReplyDelete
    Replies
    1. ප්‍රා පහුගිය ටිකේම චන්දෙ දුන්නේ මේ හේතුවට නේද? :p

      Delete
    2. "තමන් අකමැති අය බලයෙන් පහ කිරීමට හෝ බලයට ඒම වැලැක්වීමට චන්දය දීම" බහුලව නිරීක්ෂණය කළ හැකි සංසිද්ධියකි. බලයෙන් පහකිරීම යනු නැවත බලයට ඒම වැලැක්වීම ලෙස අර්ථ දැක්වූ විට මේ දෙකම එකකි. මෙහිදී a0 විශාල සෘණ අගයක් ගන්නා නිසා තීරණයක් ගැනීමේදී කොහොමටත් විශාල (a1 - a0) පරතරයට වඩා වැදගත් වන්නේ p1 වැඩිම කාගේද යන්නයි. ඒ අනුව බලයට ඒමට වැඩියෙන්ම ඉඩකඩ ඇති ප්‍රතිවාදියාට ඡන්දය ලැබේ.

      Delete
  3. ඡන්දය ගැන ආර්ථිකවිද්‍යාත්මක විවරණයක්... ඇත්තටම මේ තර්ක සමග ඡන්දය අරගන බලන විට තමා හුගක් දේවල් එළියට පේන්න පටන් ගන්නේ. නමුත් බහුතරය අවිඥානිකව වුවත් කරන්නේ මේ දේම තමයි නේද?

    ReplyDelete
    Replies
    1. ඔව්, නලින්. ඇත්තටම හැමෝම වගේ මේ තීරණය ගන්නේ මහ ලොකු විශ්ලේෂණ නොකර තමන්ට හිතෙන හැටියටයි. මෙතැනදී ආකෘතියක් යොදා ගැනීමෙන් කරන්නේ ඒ තීරණ සරලව පැහැදිලි කල හැකි විදිහක් හොයා ගැනීමයි. ගලක් උඩ දැම්මහම බිමට වැටෙන්නේ ගුරුත්වාකර්ෂණ නියම වලට අනුව බව ගල දන්නේ නැහැ වගේ. මිලියන් ගණනකගේ පුද්ගලික තීරණ වලින් අවසාන සමතුලිතතාව හැදෙන මහ මැතිවරණයක් වගේ අවස්ථාවකදී තීරණය ක්‍රමෝපායික එකක් ලෙස නොසැලකීම ලොකු ප්‍රශ්නයක් නෙමෙයි.

      අවිඥානකව කළත් තමන්ට උපරිම යහපත සැලසෙන තීරණය ගැනීමේ හැකියාව මිනිස්සුන්ට තියෙනවා කියන උපකල්පනය විතරයි අවශ්‍ය. එතකොට අපිට නිරීක්ෂණය කළ හැකි තීරණ එක් එක් පුද්ගලයා විසින් ගත්තේ ඇයි කියන කරුණ පැහැදිලි වෙනවා. මම හිතන හැටියට බොහෝ අවස්ථාවන් සඳහා දේශපාලනිකව නිවැරදි එහෙම හිතන එකයි.

      මේකට තියෙන විකල්ප චින්තනය තමයි "අනිත් මිනිස්සුන්ට තමන්ට හොඳ දෙය තෝරා ගැනීමේ හැකියාවක් නැහැ. ඒ නිසා ඒ අය වෙනුවෙන් පුළුවන් කෙනෙක් ඒ දේ කළ යුතුයි කියන එක." ඔය දෙවෙනි චින්තනයට මම පුද්ගලිකව ඒ තරම් කැමති නැහැ. සීමිත තත්ත්වයන් යටතේ හැර.

      කොහොම වුණත් කුඩා පිරිසක් හෝ කණ්ඩායමක් තීරණ ගන්නා ආකාරය විශ්ලේෂණය කරන කොටනම් මිනිස්සු කියන්නේ උඩ දාපු ගල් නොවන බව අපට අමතක කරන්න බැහැ.

      Delete
  4. මචං.......... ඒකපාරක් අපේ විස්ස විජ්ජාලේ විවාදයක් තිබුණා.... ඒක තිබුනේ නලීන්ද සිල්වා සහ පුත්‍රයෝ සහ හදගම සහ සමාගම අතර..... හදගමගේ මොකක්ද සිනමා පටයක් ගැන.... මේ විවාදයට කලිං දා අපි සිත්තර පටිය බැලුවා.. දැන් අපි අහගෙන ඉන්නවා නලීන්ද සිල්වා පලු යන තුරු අර සිත්තර පටියට බනිනවා.... විවාදයේ මැද හරියෙදි හදගම අහපි සර් (නලීන්ද සිල්වා හදගමගේ ගුරුවරයෙකි) ෆිල්ම් ඒක බැලුවාද????

    හත්තිලව්වයි නලීන්ද සිල්වා කියපි.... මං ඔය බහුබූත බලන්නෑ ඔ්යි... ඒත් තමුසේ වැඩක් කරොත් මං දන්නවා ඒක මොකක්ද කියලා.....

    මචං ඡන්දය නොදා දේශපාලනය කතා කිරීමත් මට අනූව මෙහෙම තමයි......

    ReplyDelete
    Replies
    1. කුරුටු, මම හිතන හැටියටනම් ඔය දෙක දෙකක්. ඔය පළවෙනි කරුණ ගත්තහම ඔතන තියෙන්නේ අහවලා දේශප්‍රේමියෙක් අනිත් කෙනා බටහිර ගැත්තෙක්, ඔය දැනුම අපිට ප්‍රත්‍යක්ෂයෙන්ම තියෙන නිසා චිත්‍රපටිය බලන්න දෙයක් නැහැ වගේ අදහසක්නේ. මෙතැන තියෙන වැරැද්ද මේ මිනිස්සු වෙනස් නොවන අය ලෙස සැලකීම. ඔය ගුරුකුලේම මූලධර්ම අනුව කොහොම වුණත් ප්‍රායෝගිකව තවමත් ඔය වැඩේ වෙනවනේ. මමනම් කැමති එක ගඟක් දෙවරක් නොදැකිය හැකියි කියන සෙන් සංකල්පයට. වාසු, කාලෝ...තව ඕනෑ තරම් ප්‍රයෝගික උදාහරණ තියෙන්නේ.

      ඡන්දය දැමීම සහ දේශපාලනය කතා කිරීම කියන දෙකම ප්‍රායෝගික ප්‍රජාතන්ත්‍රවාදයක වැදගත් අංග. දැන් අපි නාවල සුළු දැන්වීම් ප්‍රචාරණ සහ මුද්‍රණ ව්‍යාපාරයක යෙදෙන සුගත් වගේ මනඃකල්පිත පුද්ගලයෙක් ගත්තොත් ඡන්දෙන් පස්සේ ස්තුති කරලා ගහන පක්ෂ දෙක තුනකම අයගේ පෝස්ටර් ටික මුද්‍රණය කරන එක පැත්තක දාලා ඡන්දේ දාන්න මාතර යන්න ඕනෑද? කීයක් හරි හොයාගන්න තියෙන්නේ මේ වෙලාවේ. ඒත් සුගත් දේශපාලනය කතා කිරීමෙන් සතුටක් ලබනවානම්, තමන්ගේ ව්‍යාපාරය නිසා දේශපාලකයෝ ගොඩක් ලඟින් ඇසුරු කරන සුගත් දන්න විස්තර අහගෙන ඉන්න අයට වාතයක් නෙමෙයිනම් සහ අහගෙන ඉන්න අයත් සතුටක් ලබනවානම් මොකක්ද ඕකේ වැරැද්ද? සමහර අය දේශපාලනය කතා නොකර ඡන්දේ දානවා. සමහර අය ඡන්දේ නොදා කතා කරනවා. සමහර අය දෙකම කරනවා. දෙකම නොකරන අයට වඩා අඩුගානේ කතා කරන අයගෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට මොනවා හරි දෙයක් වෙනවා කියලයි මට හිතෙන්නේ.

      Delete
  5. There is no free lunch. :)

    ReplyDelete
  6. මං අහපු ප්‍රශ්නෙකට මේ තාක් කවුරු හරි දීපු සාර්ථකම උත්තරයක්ද මන්දා..
    හැබැට සරත් විමලසුරිය ගේ චන්ද 5 විකිනුනාද දන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. කමී, මම හිතන්නේ ගාන ටිකක් වැඩියි වගේ. අපේක්ෂකයෙක් ඡන්දෙට වියදම් කරන ගාන ලැබෙන මනාප ගානෙන් බෙදුවොත්නම් ගාන සාධාරණයි වගේ පේනවා. වැඩේ තියෙන්නේ සතා ෂුවර් නෑනේ! සල්ලිත් අරගෙන වෙන කාට හරි දුන්නොත්?

      ඕකටත් විසඳුම්නම් සමහර අය හොයාගෙන තිබුණනේ...පළමුවෙනි එක්කෙනාට හිස් කොළයක් පෙට්ටියට දාල තමන්ගේ නීත්‍යානුකූල ඡන්ද පත්‍රිකාව පන්නගෙන එනවට දෙදාහයි. අනෙත් අයට තමන්ට දෙන ඡන්දය සහ මනාපය ලකුණු කරපු එක පෙට්ටියට දාල එතනින් ලැබෙන හිස් එක රිටර්න් කරනවට දෙදාහයි. වැඩේ හරියට කළා කියලා තහවුරු කරන්න ඡන්ද නියෝජිතයෝ ඉන්න නිසා හොර බොරු බෑ.

      Delete
  7. මුලින්ම එකක් කියව යුතුයි. හෙන්රිගේ කතාව නම් මෝඩ කතාවක්. ඒ නැති වුනත් එය වගකීම් විරහිත කතාවක්.

    දැන් පැයකට පමණ කලින් මා ඕස්ටේ‍ර්ලියාවේ ප්‍රචාරය වෙන නමැති වැදගත් දේශපාලන වැඩසටහනක් නැරඹුවා. එහිදී හිටපු ස්වාධීන මන්ත්‍රිවරයෙකු පැවසුවේ මෙයයි.

    ප්‍රජාතන්ත්‍රවාදය යනු ඉතා බිදෙන සුලු ආයතනයක්, අප දකින්නට අකමැතිම දෙය තමයි ඒ කෙරෙන් පුද්ගලයින් ඉවත්ව යෑම.

    සුමිත් කල්‍යාණ ගේ ප්‍රශ්ණයට ප්‍රායෝගික විසඳුම් තියෙනවා. නමුත් හෙන්රිලාට නම් බේත් තියෙයිද මන්දා?

    ReplyDelete
    Replies
    1. /* මේ මැතිවරණයේදී හෙන්රිගේ දෙවන කෑල්ලේ සෘණ අගය වැඩි වුනත් ඔහු ඡන්දය නොදමා ඇත්තේ ඔහුගේ පළමු කෑල්ල කුඩා නිසා බව මගේ අදහසයි. දෙවන කෑල්ල විශාල නොවූ අවස්ථාවලත් ඔහු ඡන්දය දමා නැත්තේ ඒ නිසාය. */

      හෙන්රි මෙය කියවුවොත් දැක ගැනීම පිණිස-

      ඉහත සටහනේ කෑල්ල යන්නට මස්තිශ්කය කියා යොදමුද?

      කෙසේ වෙතත් ප්‍රායෝගිකව සළකන විට හෙන්රි ඡන්දය නුදුන්නේ ද, මා නොදුන් හේතුව නිසාමය. නැතහොත් කල්‍යාණ මිත්‍ර නුදුන් හේතුව නිසාමය.

      Delete
    2. //සුමිත් කල්‍යාණ ගේ ප්‍රශ්ණයට ප්‍රායෝගික විසඳුම් තියෙනවා. නමුත් හෙන්රිලාට නම් බේත් තියෙයිද මන්දා?//
      සුමිත් කල්‍යාණ ගේ තීරණය වෙනස් කරන විසඳුමක් කාර්යක්ෂමතාව ඉහළ නංවන විසඳුමකි. ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදය දියුණු කිරීමෙන් එය කළ හැකි අතර සමස්තයක් වශයෙන් එයින් සමාජයට වන්නේ යහපතකි. හෙන්රිගේ තීරණය වෙනස් කිරීමට බලපෑම් කරන විසඳුමක් මා සිතන පරිදි ඔහුගේ පුද්ගල නිදහසට බාධා කිරීමකි. උදාහරණයක් වශයෙන් නීතියෙන් ඡන්දය දීම අනිවාර්යය කළේනම් ඔහු අතින් වියදම් කරගෙන ගොස් ඡන්දය කුරුටුගා එනු ඇති අතර ඔහු වැය කරන මුදලින් කිසිවකුට ප්‍රයෝජනයක් නොවේ. ඡන්දය ප්‍රකාශ කිරීම වෙනුවෙන් යම් මුදලක් ගෙවුවද සිදු වන්නේ මේ දෙයමය.

      //ප්‍රජාතන්ත්‍රවාදය යනු ඉතා බිදෙන සුලු ආයතනයක්, අප දකින්නට අකමැතිම දෙය තමයි ඒ කෙරෙන් පුද්ගලයින් ඉවත්ව යෑම.//
      පුද්ගලයින් ඉවත්ව යෑම ප්‍රශ්නයක් බවත්, කොතැනක හෝ ඇති වරදක් පිළිබිඹු වීමක් බවත් මගේද පුද්ගලික අදහසයි. එහෙත්, එයට දිය යුත්තේ ස්වභාවික විසඳුම්ය. නැති කළයුත්තේ එසේ වීමට මුල් වන සාධකයි. මා සිතන පරිදි ඡන්දය දීම අනිවාර්ය කිරීම වැනි දෙයක් රාජ්‍ය බලහත්කාරයකි.

      Delete
  8. මේ ලිපියේ මා ගැන දෙතුන් වරක් සඳහන්ව ඇති නිසා තවත් කරුණු එක් කරනවා නම්-

    1. මා සැමවිටම ඡන්දය දෙන්නේ ප්‍රතිපත්තිමය හේතූන් මතයි. වාසි අවාසි සලකා නොවේ.

    2. එසේ නොව වෙනත් ආකාරයටකට දුන්නේ 1999 දී පමණි. ඒ චන්ද්‍රිකා වෙනුවට යලි යූඇම්පීය ඒ යැයි ඇති වූ බිය නිසාය!
    http://rasikalogy.blogspot.com/2015/08/my-shameful-and-regrettable-behaviour.html

    3. ඕස්ටේ‍ර්ලියාවේ දී ද, මා ඡන්දය දෙන්නේ මගේ වාසියටම නොවේ. එක් වරක් පමණක් (1999) දුරදාන්ත ප්‍රාන්ත පාලකයෙකු ඉවත් කරන්නට සිතා ඡන්දය දුණ් නමුත් අන් හැඟ විටකම මා ඡන්දය දුන්නේ ප්‍රතිපත්තිමය කරුණු මතය.

    4. මා ඡන්දය නොදෙන පක්‍ෂය බලයට පැමිණීම මට ආර්ථික වශයෙන් වාසි ගෙන දෙයි. නමුත් මා උන්ට කිසි දිනක ඡන්දය දී නැත. දෙන්නේ ද නැත!

    ReplyDelete
    Replies
    1. ඔබ ගැන මා සඳහන් කර ඇති නිසා මුලින්ම ඔබට පිළිතුරක් දී සිටීමට ඇති වගකීම නොසලකා හැරිය නොහැක. මෙවැනි සරල ආකෘතියකට ලඝු නොවන ව්‍යතිරේඛ ඕනෑ තරම් තිබිය හැකිය. එහෙත්, මේ සරල ආකෘතිය යටතේ වුවද ඔබ සඳහන් කර ඇති කරුණු සමඟ ගැටුමක් මට නොපෙනේ.
      //1. මා සැමවිටම ඡන්දය දෙන්නේ ප්‍රතිපත්තිමය හේතූන් මතයි. වාසි අවාසි සලකා නොවේ.//
      ඔබ කැමති ප්‍රතිපත්ති රටේ ක්‍රියාත්මක වීම නිසා ඔබ ලබන සතුට ඔබට ලැබෙන වාසියකි. ඔබ යාචකයෙකුට රුපියලක් දෙන්නේද එයින් ඔබට ලැබෙන සතුට රුපියල ගෙවා ටොපියක් කෑමෙන් ලැබෙන සතුටට වඩා වැඩි නිසාය.

      //4. මා ඡන්දය නොදෙන පක්‍ෂය බලයට පැමිණීම මට ආර්ථික වශයෙන් වාසි ගෙන දෙයි. නමුත් මා උන්ට කිසි දිනක ඡන්දය දී නැත. දෙන්නේ ද නැත!//
      ඔබ සඳහන් කරන "ආර්ටික වාසි" බදු සහන වැනි දේ විය හැකිය. මෙහිදී පාඩුවක් විඳිමින් (ඔබ කියන පරිදි) ඔබ අනෙත් පක්ෂයට ඡන්දය දෙන්නේ ඔබ කැමති ප්‍රතිපත්ති රටේ ක්‍රියාත්මක වීම නිසා ඔබ ලබන සතුට ඒ පාඩුවට වඩා වටිනා බැවිනි. මෙතනදී ඔබ කැප කරන බදු සහනය (උදාහරණයක් වශයෙන්) සහ ඔබ සහයෝගය දක්වන පක්ෂයට කරන මුදල් ආධාරයක් හෝ නොමිලේ කරන ප්‍රචාරණයක් සඳහා ගත කරන කාලය ඔබ කැමති ප්‍රතිපත්ති රටේ ක්‍රියාත්මක කර ගැනීම සඳහා ඔබ ගෙවන මිලයි.

      ඒ හැර දැන දැනම තමන්ට පාඩුවක් වන තීරණයක් ගැනීමට ඔබට ඇති අවශ්‍යතාවක් මට නොපෙනේ.

      Delete
  9. ඉතා හොඳ විග්‍රහයක් . මම දකින තරමක් හොඳ ලක්ෂණයක් අපේ සමාජයේ තියෙනවා . ඒ කැපුවත් කොළ කැපුවත් නිල් කියන මුරණ්ඩු උදවිය අඩු වෙමින් යෑම . අනිත් පැත්තෙන් එහෙම අය දේශපාලකයින් අතරවත් දැන් නෑනේ

    ReplyDelete
    Replies
    1. කොයිතරම් අසාධාරණද දේශපාලකයින්ට බණින එක? පක්ෂ බදා ගෙන ඉන්න එක තේරුමක් නැති බව ඡන්දදායකයින්ට ආදර්ශයෙන්ම පෙන්නලා දෙන්න වුනෙත් ඒ අයටමනේ...

      Delete
  10. //සිනමාහල්කරු මෙවැනි නිශ්චිත මිලක් නියම නොකර චිත්‍රපටිය පෙන්වීම වෙනුවෙන් අය කරන මිල ඔබ සමඟ කේවල් කරයිනම් අපේක්ෂිත තෘප්තිය පරයා සිනමාහල්කරු ඉල්ලා සිටින මිල වැඩි වන මොහොතේ ඔබ චිත්‍රපටය නොබලා ආපසු හැරීයාමට තීරණය කරයි. මෙවැනි නිරීක්ෂණ උපකාරයෙන් කෙලින්ම මුදලින් අගය සටහන් නොවන සාධකයක වුවද සැබෑ වටිනාකම මුදලින් ගණනය කළ හැකිය.//
    දැන් අපි හිටි සෝවියට් දේශයේ සිනමා ටිකට් පතක මිල ඉතාම අඩුයි. මිනිසුන් වැඩිපුර චිත්‍රපටි බලන්න යවන්න ආණ්ඩුවට ඕන වුණා. ඉතා හොඳ චිත්‍රපටි අඩු මිලට නරඹනවාකියන්නේ චිත්‍රපටියට ආර්ථික වටිනාකමක් ලැබෙන්නේ නැහැ කියන එක. නමුත් එයින් එය බාල වෙනවද? නැහැ. සැබෑ වටිනාකම මුදලින්ගන්නය කරන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. වෙනත් භාණ්ඩයකට හෝ සේවාවකට වගේම චිත්‍රපටයකටත් නිශ්චිත නිෂ්පාදන පිරිවැයක් තිබිය හැකියි. ඒත් නිෂ්පාදන පිරිවැය කියන්නේ භාණ්ඩයක හෝ සේවාවක නියම 'වටිනාකම' නෙමෙයි. වටිනාකම තීරණය කරන්නේ පාරිභෝගිකයා, නැත්නම් ප්‍රේක්ෂකයා. චිත්‍රපටියක් බාල හෝ උසස් වෙන්නේත් ප්‍රේක්ෂකයාට සාපේක්ෂව. තමන් ගෙවීමට සූදානම් උපරිම මිල තීරණය වෙන්නේ මේ සාපේක්ෂ වටිනාකම අනුව. එක් එක් පුද්ගලයාට සාපේක්ෂව යම් චිත්‍රපටයක් නැරඹීමේ වටිනාකම රූබල් 100ක්, 10ක්, 5ක්, 2ක් හෝ 1ක් විය හැකියි. රජයෙන් චිත්‍රපටය පෙන්වන මිල ඒ සඳහා යන පිරිවැය වන රුබල් 10ක් නම් චිත්‍රපටය නරඹන්නේ දෙන්නයි. මිල රුබල් 2ක් දක්වා අඩු කළොත් 4දෙනෙක් නරඹනවා. ඒත් ඒකෙන් චිත්‍රපටියේ වටිනාකම වෙනස් නොවන නිසා පාරිභෝගිකයින්ට යහපතක් වෙනවා. දැන් මෙතන තියන ප්‍රශ්නය නිෂ්පාදකයාගේ පාඩුව පියවන්නේ කවුද කියන එකයි. එය පියවන්නට වෙන්නේ චිත්‍රපටය බලන සහ නොබලන අයට පොදුවේ. මෙතන තියෙන ප්‍රශ්නය චිත්‍රපටය නොබලන අයටත් එය බලන අයගේ වියදමෙන් කොටසක් දැරීමට සිදු වීමයි. එසේ ගෙවීමෙන් ඒ අය සතුටක් ලබනවානම් ප්‍රශ්නයක් නැහැ. (දැන් ඔබ ඔබේ මහන්සියෙන් උපයාගත් මුදලින් බ්ලොග් ලියන්නන්ට මාසෙකට ගානක් දෙනවා වගේ. මෙතෙන්දී ඔබේ අරමුණ ඉටුවීමෙන් ඔබ සතුටක් ලබනවා. ඒ සතුට රුපියල් 1000ට වැඩියි.) ඒත් බොහෝ විට මිනිස්සු ඒ විදිහට හිතන්නේ නැහැ. ඒ නිසා මෙතන සිදුවන්නේ රාජ්‍ය බලහත්කාරයක්. (තවත් පැතිත් තියෙනවා. මේක මූලික අදහස විතරයි.)

      //මිනිසුන් වැඩිපුර චිත්‍රපටි බලන්න යවන්න ආණ්ඩුවට ඕන වුණා. ඉතා හොඳ චිත්‍රපටි අඩු මිලට නරඹනවා කියන්නේ..//
      මා දකින ප්‍රශ්නය තියෙන්නේ මෙතැනයි. දැන් "හොඳ" චිත්‍රපටය තීරණය කරන්නේ රජය. එතැන තියෙන දාර්ශනික පදනම මිනිස්සුන්ට හොඳ දේ තෝරා ගැනීමේ හැකියාවක් නැහැ, පුළුවන් කෙනෙක් හොඳ දේ තෝරලා දෙන්න ඕනෑ කියන අදහසයි. ගොඩක් අන්තවාදීන්, ජාතිවාදීන් කරන්නෙත් තමන් හොඳයි කියා තීරණය කරන දෙය අනුන්ට බලෙන් පැටවීම නිසා මෙවැනි මතවාදයක් ඉදිරියට යාමේ ගැටලුවක් තියෙනවා.

      Delete
  11. ඔබේ විග්‍රහයේ (b1 - b0) මේක p1 න සම්භාවිතාවෙන් වැඩි නොකළේ ඇයි ?
    මම නම් ජයග්‍රහණයක් නොලැබුනත් චන්දය දුන්න. මේ පාර ග්‍රීන් පක්ෂයට. මට වාසියක් වත් අවාසියක් වත් නැහැ. ඔබේ අදහස් මේ වගේ රටවල වලංගුද?

    ReplyDelete
    Replies
    1. ග්‍රීන් පක්ෂය දිනන සම්භාවිතාව 99% වුනත් 1% වුනත් ඔබේ මෝටර් රථයේ ඉන්ධන පිරිවැය වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා දෙවන කොටසට සම්භාවිතාව අදාල නැහැ.

      ග්‍රීන් පක්ෂයට ඔබ ඡන්දය දුන්නේ ඇයි කියන එක ඔබෙන්ම ප්‍රශ්න කළොත් එයින් ඔබට ඇති වාසිය ඔබට තේරුම් ගන්න පහසු වෙයි. මට පුළුවන් guess කිරීමක් හෝ යෝජනා කිරීමක් කරන්න පමණයි. එය ඔබ සිතන ආකාරයට සාපේක්ෂ නිසා. මොන විදිහෙන් හරි ඔබ එයින් ලබන සතුට ඔබේ වාසියක්. බොහෝ විට මේ වාසිය මෙවර නොහැකි වුනත්, පසුව ඔවුන්ට ඉදිරියට පැමිණීමට ලැබෙන තල්ලුව විය හැකියි.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.