වෙබ් ලිපිනය:

Monday, August 15, 2016

මා කැමතිම ගීත දහසය?

ඉයන් විසින් ඔහු කැමති ගීත දහසයක් පළකරමින් වෙනත් අයටත් එසේ කරන්නට අභියෝගයක් (ආරාධනාවක්) කර තිබේ. කල්‍යාණ මිත්‍ර විසින් දැනටමත් මේ අභියෝගයට ප්‍රතිචාර ලෙස සටහනක් පළ කර ඇති අතර තවත් කිහිප දෙනෙකු විසින් මේ වන විට එවැනි සටහන් පළ කර තිබෙන්නට පුළුවන.

ඉකොනොමැට්ටා මේ හදන්නේ ඔහු කැමති ගීත දහසය පළ කරන්නට නොවේ. පුළුල් පරාසයක විහිදුනු රුචිකත්වයක් ඇති ඉකොනොමැට්ටාට ඒ කටයුත්ත පහසු වැඩක්ද නොවේ. මේ ලිපියෙන් කතා කරන්නට හදන්නේ ඉහත සටහන් දෙක කියවූ පසු ඔළුවට ආ, චර්යාත්මක ආර්ථික විද්‍යාවට (Behavioral economics) විශේෂයෙනුත්, ආර්ථික විද්‍යාවට පුළුල් ලෙසත් සම්බන්ධ 'තෝරා ගැනීම්' ගැන කතා කරන්නටය.

ඔබ කැමති ගීත දහසයක් තෝරන්නට ඔබට සිදු වුණොත් ඔබ එය කරන්නේ කොහොමද?

ඉයන්, කල්‍යාණ මිත්‍ර හෝ වෙනත් අයෙකු හිතන ආකාරය මා නොදන්නා නිසා මට වැරදීමක් වෙන්නට බොහෝ දුරට ඉඩ ඇතත්, ඔවුන්ගේ ලැයිස්තු දෙස බැලූ විට මට හිතෙන්නේ මේ දෙදෙනා විසින්ම අවිඥානිකව සිදු කර ඇත්තේ සිංදු දහසයක 'පැකේජයක්' තේරීම බවයි. එම පැකේජයන් ඇතුළත සැලකිය යුතු විවිධත්වයක් තිබේ. වෙනත් අයුරකින් කිවහොත්, තමන්ට ඉදිරි ජීවිත කාලයේදී අසන්නට ලැබෙන්නේ සිංදු දහසයක් පමණක්නම් ඔවුන් තෝරා ගන්නා පැකේජය ඔවුන් විසින් ඉදිරිපත් කර ඇති බවයි. මේ උපරිම සිංදු සීමාව සියයක්නම්, ඇතැම් විට ඒ සිංදු සියය අතර උඩින්ම ඇති සිංදු දහසය මේ සිංදුම නොවිය හැකිය. මෙය සාමාන්‍යයෙන් මිනිසුන් තෝරාගැනීම් කරන ආකාරයයි.

කමී සම්බන්ධවනම් මෙය වඩාත් පැහැදිලිය.

"හිතුවට දැන් බැලුවම ඒක කාලෙකින් හම්බවෙච්චි ලොකුම අමාරු වැඩක්.. ඒ කියන්නේ මගේ කැමැත්ත සිංදු දාසයකට සීමා කරන එක.."

කළ යුත්තේ සරල ශ්‍රේණිගත කිරීමක් පමණක්නම් මෙය එතරම් අසීරු වැඩක් නොවේ. එහෙත්, මේ සිංදු දහසය තේරීමේදී අටවන සිංදුව තෝරන විට දැනට තෝරාගෙන ඇති සිංදු හත ගැනද හිතන්නට සිදු වේ.

මේ කතාව තවත් පැහැදිලි කිරීමට අපි උදාහරණයක් ගනිමු. ගීතිකාගේ ප්‍රියතම ගායකයා (ගායිකාවන්ද ඇතුලත්ව) කපුගේය. කපුගේගේ සෑම ගීතයකටම පාහේ ඇය කැමතිය. එමෙන්ම, ඇය වඩා කැමති ගායක ගායිකාවන් අතර සිටින අමරදේවගේ, නන්දා මාලිනීගේ, දිවුල්ගනේගේ හා අමරසිරි පීරිස්ගේ ගීත බොහොමයකටද ඇය කැමතිය. දැන් ඇයට තමන් කැමතිම ගීත දහයක් තෝරන්නට සිදුවුවහොත් ඒ අතරින් මුල් පහටම එන්නේ කපුගේගේ ගීතයි. අන්තිම පහට ඉතිරි සිවු දෙනාගේ ගීත පහක් ඇතුළු වනු ඇත. ඇතැම් විට ඇගේ ප්‍රියතම ගායක ලැයිස්තුවේ නොසිටියත්, ප්‍රියතම ගීත අතර ඇති ගී ගයන සුනිල් පෙරේරා, අජිත් කුමාරසිරි හෝ චින්තක ගීතදේව වැනි වෙනත් අයෙකුගේ ගීයක්ද ඒ ගී දහයේ ලැයිස්තුවේ අග කොටසට ඇතුළත් විය හැකිය.

යම් හෙයකින්, ඇයට තෝරා ගැනීමට ඇත්තේ ගීත පහක් පමණක්නම් ඒ පහම කපුගේගේ ගීත වනු ඇතිද?

සාමාන්‍යයෙන් එය එසේ නොවේ. කපුගේට කොයි තරම් කැමති වුවත්, ජීවිත කාලයම කපුගේගේ සිංදු පමණක් අසන්නට ගීතිකා කැමති නොවනු ඇත. ඒ නිසා, ඇගේ සීමාව පහක්නම් ඒ පහට කපුගේගේ නොවන වෙනත් ගීතද ඇතුළත් වනු ඇත.

අපේ වෙනත් තේරීම් අප කරන්නේද මේ අයුරිනි. ඔබට ආප්ප, අයිස්ක්‍රීම් හා ප්ලේන් ටී යන තුනෙන් එකක් තෝරා ගැනීමට ඇති විට ඔබේ තේරීම අයිස් ක්‍රීම් වූ පමණින්, දෙකක් තෝරා ගත හැකි විට ඒ දෙකට අයිස් ක්‍රීම් ඇතුළත් වන බව අදහස් නොවේ.

පොදුජන එක්සත් පෙරමුණු ලැයිස්තුව යටතේ තරඟ කළ ජවිපෙට 2000 පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔවුන් තරඟ කළ බොහෝ දිස්ත්‍රික්ක වල වැඩිම මනාප ගණනක් ගැනීමට හැකි වූයේත්, පසුගිය මැතිවරණයේදී ප්‍රධාන පක්ෂ සමඟ සන්ධානගත වූ හෙළ උරුමය හා ජානිපෙ වැනි සුළු පක්ෂ වල ජනප්‍රිය අපේක්ෂකයින්ට තේරී පත් වීමට හැකි වෙද්දී එසේ නොකළ සරත් ෆොන්සේකාට ජයගත නොහැකි වූයේත්, ඡන්දදායකයින් විසින් තෝරන්නේ අපේක්ෂකයින් තිදෙනෙකුගේ 'පැකේජයක්' බැවිනි. මේ පැකේජයේ විවිධත්වයක් දකින්නට ඔවුන් බොහෝ දෙනෙකු කැමතිය.


සටහන සිංදු ගැන නිසා ඔන්න එහෙනම් සිංදු කිහිපයක්! හැබැයි මම කැමතිම සිංදු හෝ සිංදු පැකේජයනම් නෙමෙයි.

අම්මද තාත්තද? සිරි අයියත් නෑනේ අහන්න.


දකුණු ඇහැද? වම් ඇහැද?


තුම්මුල්ලෙන් කොයි මුළු දෙකද?

සමහර තෝරාගැනීම් ලේසි තෝරාගැනීම් නෙමෙයි...


අපිට තියෙන තෝරාගැනීම් ප්‍රමාණය වැඩි වූ විට ජීවිතය වඩාත් සුන්දරයි!

46 comments:

  1. බොහොම ස්තූතියි ඉකොන්. සිංදු තේරීම ආර්ථික විද්‍යා ඇසින්

    ReplyDelete
    Replies
    1. ඉයන්'අපිව ලෝක අමාරුවකයි දාල තියෙන්නේ. දාසයක් තෝරන එකේ අමාරුව තේරෙන්නේ වැඩේට අත ගැහුවමයි.

      Delete
  2. මේක පැකේජ ගැන කියපු නිසා පැකේජ පප්පා මතක් වුණා . දැන් ඉයන් කතා කරලා තියෙන්නේ සිංහල සින්දු ගැන විතරයි. ඉංග්‍රීසි සින්දු, හින්දි සින්දු, රුසියන් සින්දු , ලැටින් සින්දු වලට ආස අය මොකක්ද ලියන්නේ.
    ආර්ථික විද්‍යාවට අනුව හොඳම සින්දු දහසය තෝරන් ඕනේ කාල පරාසයක් දීල නෙමෙයිද?

    ReplyDelete
    Replies
    1. මේක කරන්නේ තරඟයක් සඳහා ජනප්‍රියම සිංදු තේරීම වැනි පරමාර්ථයකින්නම් එවැනි සීමාවන් දමන්නම වෙනවා. ඒත්, මා ලිපියේ කියූ ලෙස එක් එක් කෙනාට තමන් කැමති දාසයේ පැකේජයක් නිදහසේ තෝරන්න වුණොත්, ඇතැම් අය පැරණි ගීතත්, තවත් අය සිංහල නොවන ගීතත් තෝරන්න ඉඩ තියෙනවා. බොහෝ විට ඔබේත් මගේත් දහසයේ සිංහල නොවන ගී කිහිපයක් තියෙයි. ආර්ථික විද්‍යාවෙන් කරන්නේ මිනිසුන් බලපෑමකින් තොරව නිදහසේ ගන්නා තීරණ ආකෘතිගත කිරීම නිසා එවැනි දේ නොසලකා හරින්න බැහැ.

      Delete
  3. අයියෝ මට වෙච්චි දේමයි..

    නිකමට හිතුවොත් මේ දාල තියෙන සිංදු ටික EM ගේ ෆස්ට් චොයිස් කියලා.. ඒක හරිම අපූරු තේරීමක්.

    ReplyDelete
    Replies
    1. මේවා මම කැමති සිංදු වුනත් කැමතිම සිංදු නෙමෙයි. මේවා දැම්මේ තේරීම් වල ඇති අමාරුව ගැන කතා කරන සිංදු නිසයි.

      Delete
  4. තේරීමත් ලේසි වැඩක් නෙමෙයි බලනකොට... මොන ලිස්ට් හැදුවත් අන්තිමට එකම සෙට් එකක් පාර්ලිමේන්තු යන එකේ රහසින් කොටසක් මෙතනම තියනවා නේන්නං..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් හොඳ උදාහරණයක්! සමහර අවස්ථා වල තනි මිනිසුන් ගන්න තීරණ වල සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය කවුරුත් බලාපොරොත්තු නොවූ එකක් විය හැකියි.

      උදාහරණයක් ලෙස මන්ත්‍රී කොට්ඨාශ අටක් සහ මන්ත්‍රීධුර දහයක් ඇති දිස්ත්‍රික්කයක අපේක්ෂක ලැයිස්තුවක් ගැන හිතන්න. අංක 1 කණ්ඩායම් නායක, 2-9 ආසන සංවිධායක වරු, අංක 10 හැම වෙලේම ටිකක් පිස්සු වැඩ කරන වෙනස් අපේක්ෂකයෙක්. අංක 10 කරන ගොඩක් වැඩ වලට කවුරුත් කැමති නැහැ. ඒ වුණත් එහෙම අයත් එක්කෙනෙක් දෙන්නෙක් පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි කියලා හිතනවා. දැන් මනාප දෙන කොට ගොඩක් අයගේ පළමු හා දෙවන තේරීම් වෙන්නේ කණ්ඩායම් නායකයා සහ තමන්ගේ ආසන සංවිධායකයා, කවර හෝ අනුපිළිවෙලකට.

      එතකොට, තුන් වෙනි එක? වඩා කැමති අය හිටියත්, ඒක වෙන ආසන සංවිධායකයෙකුට දුන්නොත් අපේ පොර ලිස්ට් එකේ පහළට යනවා. හැලෙන්න වුනත් බැරි නෑ. කවුරුත් කැමති නැති, කොහොමත් දිනන එකක් නැති, අංක දහයෙන් ඉල්ලන 'පිස්සට' දුන්නට හානියක් නැති වෙයි.

      හැමෝම මේ විදිහට හිතුවොත් අන්තිමට වෙන්නේ මොකද? අර පිස්සා ලිස්ට් එකේ කණ්ඩායම් නායකයා කිට්ටුවටම මනාප අරගෙන දෙවෙනියා වෙලා! ඒත්, ඔහු කාගෙවත්ම පළමු හෝ දෙවන කැමැත්ත නෙමෙයි.

      Delete
  5. සිරි අයියත් නෑනේ අහන්න/// ????????

    ReplyDelete
    Replies
    1. සෝමවංශ කියන නම Somawansha විදිහට ලියන්නේ නැතුව Somawamsa කියල ලියන්න හේතුව මොකක්ද රසික...

      Delete
    2. සංස්කෘත වචනවල, සිංහල වචනවල o (න්) තියෙන තැන් ඉංග්ලිෂ් භාෂාවෙන් ලිවීමෙ එක් ක්‍රමයක් ඒ.

      උදාහරණයක් ලෙස: Mahavamsa
      https://en.wikipedia.org/wiki/Mahavamsa

      Delete
    3. රසිකගේ වාසගම වැරදිලා හරි සෝමවංශ උනානම් රසික නම ලියද්දි ලියන්නේ ඔය විදිහටද...
      නැත්තං ලංකාවේ මිනිස්සු ඉංග්‍රීසියෙන් නම ලියද්දි ලියන සාමාන්‍ය ක්‍රමය වන Somawansha කියලද...

      කන්ද කැන්ඩි කරපු මීගමු නිගම්බෝ කරපු සුද්දගේ කන්දෙකෙයි කටෙයි අවුලක් තියෙන බව මට හිතෙනවා...
      ඒ මදිවට සමහරුන්ගේ මොළෙත් අවුල්,

      https://www.facebook.com/sarcasmLOL/photos/a.1521463861515726.1073741828.1515871602074952/1678414149154029/?type=3&theater

      Delete
    4. ලොකු පුතා,

      අපි හමු වී තියෙනවා නේද? එනිසා කෙලින් ම අහන්නම්.

      මා උපුටා දැක්වූ විස්තර කියවා, තවත් සොයා බලා වැදගත් දෙයක් තියේ නම් එය ඉගෙන ගන්නේ නැතුව ඇයි මේ මගේ නම එහෙම නම් යනාදී වශයෙන් අර සුපුරුදු ප්‍රශ්නය ම අහන්නේ?

      මේක පසුගිය සමයේ බයියන් සහ තවත් ප්‍රතිගාමී කොටස් විසින් අනුගමනය කළ සහ තව දුරටත් අනුගමනය කරන ක්‍රමවේදයක්. එනම්, ප්‍රශ්නයේ විෂයය ගැන නොසොයා පුද්ගලයෙකුට සම්බන්ධ කිරීම!

      මගේ නම කුමක්ද, එය මා ලියන්නේ කොහොමද යන්න මෙතැනට අදාල නෑ.

      මෙතැනට අදාල දේ නම් සෝමවංශ අමරසිංහ ගේ නම ඉංග්ලිෂ් භාෂාවෙන් ලියන්නේ කෙසේ ද යන්න නේද?

      එය කිසිසේත්ම ඔබ ලියා ඇති Somawansha නම් නොවන බව කිව යුතුයි.

      පොඩ්ඩක් මේ ගුගල් සර්ච් එක බලන්න.
      https://www.google.com.au/search?q=somawamsa&ie=utf-8&oe=utf-8&client=firefox-b&gfe_rd=cr&ei=kLGyV-PoH8_N8gfg0I-4CQ

      සෝමවංශ යන්න කියා ලිවීම මා පටන් ගත් දෙයක් නොවන බවත්, මගේ නම සෝමවංශ වුණා නම් යනාදී බයියා තර්කය විහිළුවක් බවත් ඔබට වැටහෙනු ඇති.

      Delete
    5. යමක් ගැන තර්කයක් නගන්න, ප්‍රශ්නයක් අහන්න අපි හමුවී තිබීම හෝ නොමැති වීම අදාළ නැහැ නේද රසික...

      සුද්දා දෙවියන්ට god කියන්නාක් මෙන් මහා වංශයට Mahavamsa නම්වූ ඉංගිරිසි නමක් හදා ගත්තාය යන කෝණයෙන් පමණක් මට මෙය නිවැරදිය. එසේ වුවද මිනිසෙකුගේ නමක් එසේ විය නොහැකි බව මගේ අදහසයි...

      සුද්දන්ගේ ඉංග්‍රීසි නාමයන් අපි සිංහලෙන් ලිවීමේදී නිවැරදිව හඬ නැගිය හැකි වනසේ ලියන්නාක් මෙන්, සිංහල නම් ඉංග්‍රීසියෙන් ලියු පසු සුද්දන්ටවත් නිවැරදිව හඬ නැගිය නොහැකිනම් එය ගැටළුවක් බව මගේ අදහසයි...

      ඔබ නගන තර්කය නිවැරදිනම් Mahavamsa යන්න ඉංගිරිසියෙන් මේ ආකාරයට ලියු විට සුද්දන් එය "මහාවංශ" ලෙස නිවැරදිව කියවිය යුතුය. නමුත් එය එසේ නොවන බව ඔය වචනය සුද්දන් ශබ්ධ නගනා ආකාරයෙන්ම පැහැදිළි වේ. ඔවුනට එය "මහාවම්ස" ය, නැතහොත් "මහවම්ස" ය...
      Mahavamsa යන වචනය මහාවංශයේ ඉංග්‍රීසි වචනය ලෙස සැලකීම වඩා ගැලපෙන බව මගේ මතයයි...

      ලංකාවේ මිනිසුන්ගේ නම් මේ ඉංගිරිසිය අනුව ලිවීමේදී මහා විකෘතියක් බවට පත්වේ...
      ලෝකයේ මිනිසුන් සියල්ලෝම භාවිත කලත් විකෘතිය විකෘතියක් මිස නිවැරැද්දක් ලෙස මා දකින්නේ නැත...

      ඔබ පිළිගන්නා නාමකරණය අනුව පහත නම් වෙනස්කොට ලියා දක්වන්නේ කෙසේද යන්න මට සිතා ගත නොහැකිය...

      සෝමවංශ
      සෝමවංස
      ආරියවංශ
      ආරියවංස

      එවැන්නක් ඉස්මතු කිරීම බයි තර්කයක්ද...?

      Delete
    6. හමුවී තිබේදැයි ඇසුවේ ඔබේ අන්වර්ථ නම තරමක් හුරුපුරුදු වුවත් හරියටම කිව නොහැකි වූ නිසයි.

      සෝමවංශට Somawamsa කියා ලියා ඇත්තේ මා නොවන බව මා යෙදූ ගූගල් ස්බැදියෙන් ඔබට සොයා ගත හැක.

      බයි තර්කය භාරතීය නම් ලතින් අකුරෙන් ලිවීම ගැන ඇසීම නොවේ. ඔයා ට මේක වුණා නම් ඔයා ඔහොම කියන්නේ නෑ යනාදී වශයෙන් කෙරෙන සිලිබිලි ප්‍රශ්න කිරීම ය.

      සිංහල යන්න ඉංග්ලිෂ් භාෂාවෙන් ලිවීමට අවශ්‍ය වූ විට මම එය Sinhala කියා ලියමි. සමහරු Singhala ද තවත් අය Sinhalese කියා ද ලියති. තවත් සමහරු Simhala කියා ලියනවා විට හැක.

      මෙයට හේතුව ඔබ දන්නා පරිදි සිංහල බින්දුව නමින් අප හඳුන්වන අකුරට නිසි ලතින් අකුරක් නොමැති වීමය.

      හරියට f අකුරට හෝ q අකුරට ටක්කෙටම ගැලපෙන සිංහල අකුරක් නැතිවා සේ ය.

      ස්තුතියි.

      ජයවේවා!

      Delete
    7. "අපි මෙය දැන් බේරා ගනිමු
      සිරි අයියාගෙන් ගොස් අසමූ
      අම්මද තාත්තද හොඳ කියලා
      එතකොට සිරි අයිය කියයි

      ඔව් ඔව් මම ඒකට කැමතී
      සිරි අයියල මේවා දනිතී
      යමු යමු අයියේ යමු යමු අයියේ
      සිරි අයියා ළඟටා"

      වඩා හොඳ අම්මද තාත්තද යන ප්‍රශ්නයට අන්තිමට පිළිතුරක් ලැබෙන්නේ සිරි අයියාගෙනි. මේ පිළිතුර "උනුත් එකයි මුනුත් එකයි" වර්ගයේ එකක් වුවත්, ඔහු කියන්නේ දෙන්නම නරක බව නොවේ. දෙන්නම හොඳ බවයි.

      "අම්ම හොඳයි කිවුවත් වැරදී (හී)
      තාත්ත හොඳයි කීවත් වැරදී (හූ)
      එබැවින් නංගියෙ මල්ලියෙ පවසමි
      දෙන්නම හොඳය කියා"

      කවුද මේ සිරි අයියා?

      මගේ උපකල්පනය වූයේ මෙම ගීයේ මෙන්ම "දොම්පෙට යන පාර කොයිබදෝ" ගීතයේද රචකයා වූ අධි නීතිඥ යූ ඒ එස් පෙරේරා හෙවත් උක්වත්ත ආරච්චිගේ සිරි පෙරේරා හෙවත් සිරි අයියා ගැන බොහෝ දෙනෙකු දන්නා බවයි. එහෙත්, එය එසේ නොවන බව පෙනේ. ඔහු සිරි අයියා ලෙස ගුවන් විදුලියේ ළමා පිටිය මෙහෙයවා ඇති අතර එයට අමතරව ගුරුවරයෙකු, කොළඹ යුගයේ කවියෙකු, බෞද්ධ ක්‍රියාකාරිකයෙකු මෙන්ම අධි නීතිඥයෙකු ලෙසද සිය නම සටහන් කර ඇත. (ඔහු ට්‍රාන්ස්ගේ විදුහලේ ආදී සිසුවෙකුද වේ.)

      http://archives.dailynews.lk/2010/02/10/fea11.asp

      http://www.sasrutha.com/article/1986446/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B7%8F%E0%B6%82%E0%B6%9C-%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92-%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%BA%E0%B7%8F-%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A-%E0%B6%85%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B7%80-%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F/

      Delete
    8. සෝම වංශය ගැන ඉඩක් ලැබුණු විටක අදහස් දක්වන්නම්!

      Delete
  6. සමකෝනී ත්‍රිකොනයකි සින්දුවනම් මගෙත් ප්‍රියතම එකක් ,

    ReplyDelete
    Replies
    1. ඒ සිංදුව මගේ කැමති සිංදු අතරත් ටිකක් උඩින් තියෙන එකක්.

      Delete
  7. ඉයන් මාමගෙ පෝස්ටුවෙන් මෙහෙටත් ගොඩවැදුන. ඒ වෙනස් සිංදු ටිකක් හොයාගන්න.සිංදු හැම එකක්ම අහල තියනව.වෙනස්ම විදිහෙ පෝස්ටුවක් :)

    ReplyDelete
    Replies
    1. හංසිගේ ලිස්ට් එකෙත් අපි වගේ මාමලා කැමති සිංදු ගොඩක් තියෙනවා.

      Delete
  8. මීවදයකි ජීවිතේ ගීතයේ දී තෝරාගැනීම් ප්‍රමාණය වැඩිය කිව හැක්කේ මුලින් තෝරා ගන්නට ලැබෙන අයට පමණයි නේද? මොකද මීමැස්සෝ සහ මල් බහු-බහු වුනත් මිනිසුන්වන අපට 1-1 තෝරා ගැනීමක් කළ යුතු වෙනවා නේ අවසානයේ දී!

    ReplyDelete
    Replies
    1. උඹට පිස්සු හැදිලද බං , නැත්තං වෙන ලෙඩක්ද? වැදගත් පොස්ට් එකක් දැක්කොත් මරි මෝඩ ගොන් තකතීරු කතාවක් කියන්වමයි

      Delete
    2. ඔබට ඇත්තේ මගේ පිස්සුවම නම්, මීවදයකි ජීවිතේ ගීතය ගැන ඉකොනොමැට්ටා දී ඇති හැඳින්වීම සහ ඒ ගැන මා දක්වා ඇති අදහස පැහැදිළි වනු ඇත.

      එසේ වී නොමැති බව පෙනෙන නිසා, මට ඇත්තේ ඔබට ඇති පිස්සුව නොවන බව නම් පැහැදිලියි.

      Delete
    3. උරුලෑවා ගියා වගේ තමයි ඇනෝ

      Delete
    4. කිසිම රසිකත්වයක් නැති මැටි රසිකයෝ , උඹට ඇති පිස්සුවනම් මට නැත . එය ඇත්තකි , උඹට ඇති පිස්සුව වන්නේ යමෙක් පොස්ට් එකක් දැමු විට මේවා පොස්ට්ද? මම ලියන ඒවානේ පෝස්ට් යන පොර මානසිකත්වයෙන් කිසිම අදාලත්වයක් නැති කරුණක් උලුප්පා කමෙට් කිරීමේ නොතිත් ආශාවයි ,

      උඹ එය මහා ලොකු දෙයක් යයි සිතා සිටියත් බ්ලොග් ලෝකයටම උඹ විහිළුවක් බවට පත්වී ඇති බවනම් පැහැදිලිය .

      ඉක්මනට මැරියං, මොකද දන්නවද, ජීවිත කාලෙටම හොඳක් අහන්නේ නැති මිනිස්සුන්ට මැරුණම බොරුවට හොඳ කියන එක ලංකාවේ මිනිස්සුන්ගේ සිරිතක් නිසා උඹත් මැරුණම බ්ලොග් කාරයෝ බොරුවට හරි හොඳ කියයි .

      Delete
    5. //මොකද මීමැස්සෝ සහ මල් බහු-බහු වුනත් මිනිසුන්වන අපට 1-1 තෝරා ගැනීමක් කළ යුතු වෙනවා නේ අවසානයේ දී! //
      මටනම් එහෙම කරන්න වුණා. :)

      Delete
    6. ඉහත පළ වී ඇති AnonymousAugust 16, 2016 at 4:12 AM කමෙන්ටුව සහ වෙනත් සටහන් යටතේ දමා තිබුණු තවත් කමෙන්ට් කිහිපයක් මා නොදන්නා හේතුවක් නිසා ස්වයංක්‍රීයව ස්පෑම් ලෙස සටහන් වී තිබුණේය. එය දුටු වහාම අන්ස්පෑම් කර මුදා හරින ලදී.

      Delete
  9. ඔය සින්දු පහටත් කැමතියි... මේක නිකන් අර මිස් වර්ල්ඩ් වල (මිස් සිරි අම්මට සිරි ලංකා නෙමෙයි හොඳේ) හොඳම කෑල්ල තොරන්න කියනවා වගේ කේස් එකක්.. මට නම් ඔක්කෝම හොඳයි..

    ReplyDelete
    Replies
    1. ඒකනේ! කොයි තරම් අමාරුද කියල තේරෙන්නේ වැඩේට බැස්සමයි.

      Delete
  10. කැමතිම ගීත 16 කාලෙන් කාලෙට වෙනස් වෙන්න පුලුවන්. වැඩිම උනොත් ගීත6ක් එක දිගටම නොවෙනස්ව කැමතිම කියන ලිස්ට් එකේ තියෙන්න පුලුවන්. මතකයිද ඉස්සර රූපවාහිනියේ ගිය හද රැඳි ගී වැඩසටහන.

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම. අපේ රුචි අරුචිකම් සහ ඒ නිසාම තේරීම් කලින් කලට වෙනස් වෙනවා.

      Delete
  11. https://www.youtube.com/watch?v=QNrUsjvX3mw
    මේ සින්දුව 5-6 වතාවකට වඩා අහලා නෑ. ඒ වුනාට හිතේ රැ‍ෙඳෙන එකක්.

    ReplyDelete
    Replies
    1. විශේෂ හේතුවක් තියෙනවද? ඇසූ පළමු වරම හිතේ රැඳුණු එවැනි සිංදු මටත් තියෙනවා. අර 'ලව් ඇට් ෆර්ස්ට් සයිට්' වගේ.

      Delete
  12. ඉකොන්ගේ විග්‍රහයට මම කැමතියි.

    මට මතක් වුනේ බස් එකකට නැග්ගහම තියෙන එකම ආසනේ කිසි ගැටළුවක් නැතිව ඉඳගන්න මිනිහා හිස් බස් එකකට නැග්ගහම බස් එක පුරා සීට් එකක් හොයන්න දුවන්නේ ඇයි කියන කාරනය.
    ඔබේ විග්‍රහය හොඳයි

    ReplyDelete
    Replies
    1. ඒකත් හොඳ උදාහරණයක්. මෙයම තවත් ඉදිරියට ගෙන ගියොත්, ඔබ තනිව බස් එකක යනවිට තෝරන ආසනය බොහෝ විට ඔබේ පවුලේ සාමාජිකයින් තිදෙනෙකු සමඟ බස් එකක යන විට තෝරන ආසන තුනේ 'පැකේජයෙන්' එකක් නෙමෙයි.

      Delete
    2. එකඟයි, ඔබ හිතන්න කරුනු සපයනවා.

      Delete
  13. ඉකොන්ගේ තර්කයට එකඟයි. මම හිතුවා ආර්ථික විද්‍යාව ගෑවිලා හරි තියෙන සින්දුවක් දෙකක් ගැනත් ලියයි කියල . මේ වගේ : රත්තරන් මැණික් මුතු මොකටද මේවා හිස් අතින් සිනා සිසී පැමිණේවා , ගෙඩි සියයක් බිම දැමුවත් අප්පච්චිට එක ගෙඩියයි අපි රැකෙන්නේ ඒ ගෙඩි විකුණලයි හන්දියේ , ....

    ReplyDelete
    Replies
    1. ආර්ථික විද්‍යාව හැම තැනකම වගේ තියෙන නිසා බොහොමයක් සිංදු වලට කොහෙන් හරි ගෑවිලා තියෙනවා. මෙහි ලිවුවෙත් එවැනි ගීත තුනක් ගැන.

      http://economatta.blogspot.com/2016/01/blog-post_11.html

      Delete
  14. එහි ගියා, අටම්. ඒකත් අපූරු ලිස්ට් එකක්. ගිය සමහර තැන්වල කමෙන්ට්ස් දමන්න බැරි වුණා.

    ReplyDelete
  15. ම්ම්ම්ම්....අනෙක් සිංදු පෝස්ට්වලට කොමෙන්ට් කලා වගේ මේකට බෑනේ.....ටිකක් විද්‍යාත්මකවත් හිතන්න වෙනවනේ....උන්මන්තක බව නිසා වැඩිපුර හිතන්නත් මට තේරෙන්නැති එකේ....අපිත් මෙහෙට්ට ඇවිත් ගියැයි කියන පනිවුඩය කියන පැමිනීමේ සටහන තියා,,,,,,අපි ගියෝඕඕඔ...

    ReplyDelete
  16. කොහොම නමුත් 'වරදක් කලත් සිතකින් නොවේ' මං කැමැති සිංදුවක්

    ReplyDelete
  17. ඒක නම් මාරයි🤔

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: