වෙබ් ලිපිනය:

Friday, February 2, 2018

ග්‍රවුන්ඩ්හොග්ගේ කාලගුණ අනාවැකි


අද (පෙබරවාරි 2) උතුරු ඇමරිකාවේ ග්‍රවුන්ඩ්හොග් දිනයයි. ග්‍රවුන්ඩ්හොග් කියන්නේ ඇමරිකා එක්සත් ජනපදයේදී හා කැනඩාවේදී දැකිය හැකි තරමක් විශාල බිම් ලේනුන් වර්ගයකි.

ජනප්‍රවාදය අනුව, ග්‍රවුන්ඩ්හොග් දිනයේදී ග්‍රවුන්ඩ්හොග් ශිශිර නිද්‍රාවෙන් අවදි වී උගේ ගුලෙන් එළියට පැමිණේ. එසේ පැමිණි විට වලාකුළු වලින් තොර පැහැදිලි අහසක් සහිත කාලගුණයක් තිබී ඌට උගේ හෙවනැල්ල දකින්නට ලැබුණොත් ග්‍රවුන්ඩ්හොග් නැවතත් උගේ ගුලට රිංගයි. එසේ වුවහොත් තවත් සති හයක් යන තුරු ශීත කාලය අවසන් නොවේ.

යම් හෙයකින් ග්‍රවුන්ඩ්හොග් දිනයේදී අහස වලාකුළු වලින් බරව තිබීම නිසා ග්‍රවුන්ඩ්හොග්ට උගේ හෙවනැල්ල නොපෙණුනොත් ඌ එසේ ආපසු ගුලට රිංගන්නේ නැත. එසේ වන අවුරුදු වලදී, ශීත කාලය ඉක්මණින් අවසන් වී වසන්ත කාලය කලින්ම පැමිණේ.

ග්‍රවුන්ඩ්හොග්ව පැත්තකින් තිබ්බොත් මේ ප්‍රවාදය අනුව පෙබරවාරි දෙවෙනිදා අහස දෙස බලා ඉදිරියේ එළඹෙන වසන්ත කාලය ගැන අදහසක් ගන්නට පුළුවන.

ග්‍රවුන්ඩ්හොග් ප්‍රවාදය ජර්මානු සංක්‍රමණිකයින් විසින් ඇමරිකාවට රැගෙන ආ එකකි. ජර්මන් ප්‍රවාදයේ සිටි බැජර් වෙනුවට උතුරු ඇමරිකාවේදී ග්‍රවුන්ඩ්හොග් ආදේශ වී ඇත.

ඇතැම් විශ්ලේෂකයින් විසින් කාලගුණ දත්ත ඇසුරෙන් ග්‍රවුන්ඩ්හොග් ප්‍රවාදය පරීක්ෂාවට ලක්කර ඇති අතර ඒ අනුව පෙනී ගොස් ඇත්තේ ග්‍රවුන්ඩ්හොග්ගේ කාලගුණ අනාවැකිය නිවැරදි වීමේ සම්භාවිතාව 50%කටත් වඩා අඩු බවයි. වෙනත් අයුරකින් කියනවානම් අහඹු අනාවැකියක් නිවැරදි වන්නට මීට වඩා සම්භාවිතාවක් ඇති බවයි. කෙසේවුවත්, ග්‍රවුන්ඩ්හොග් ප්‍රවාදය උතුරු ඇමරිකානුවන් අතර ජනප්‍රිය එකකි.

කාලගුණ අනාවැකි කීම පහසු කටයුත්තක් නොවේ. මෙවර ලංකාවේ පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල ගැන අනාවැකි කීමද වෙනදාට වඩා අසීරු කටයුත්තක් බව පෙනේ. සාමාන්‍යයෙන් ලංකාවේ මැතිවරණයක් ආසන්න වෙද්දී බර කර අනාවැකි කියන අනාවැකිකරුවන් බොහෝ දෙනෙකුගෙන් මෙවර ලොකු සද්දයක් ඇහෙන්නේ නැත.

(Image: https://kids.nationalgeographic.com/animals/groundhog/#groundhog-with-babies.jpg)

6 comments:

  1. මෙහේ ග්‍රවුන්ඩ්හොග් ලා එලියට ඇවිත් බලල ලැජ්ජා හිතුනම එක එකාගේ ඔලු ඉස්සරහින් ඉන්න උන්ගේ පස්ස පැත්තේ හංග ගන්නවා.. සීත කාලේ තව කොච්චරකල් තියෙයිද කියන්න පුලුවන්ද එහෙම?

    ReplyDelete
    Replies
    1. ලැජ්ජා බය නැති ග්‍රවුන්ඩ්හොග්ලා නැද්ද?

      Delete
  2. 50% ක් කියන්නෙ අපේ කාලගුණ විජ්ජා එකට වැඩිය තරමක් හොඳ තත්වයක් මම හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. මිනිස්සු විශ්වාස කරනවනම් හරියන ප්‍රතිශතය වුවත් එතරම් වැදගත් නැහැ. ලංකාවේ කාලගුණ විජ්ජා එකේ අනාවැකි නිවැරදි වීම හෝ නොවීමටත් වඩා තිබෙන ප්‍රශ්නය ඔවුන්ට මිනිසුන් අතර විශ්වාසයක් ගොඩනඟා ගන්න බැරි වීම.

      Delete
  3. අද දවස වෙත්දි මේ ග්‍රවුන්ඩ් හොග් දිනය තවත් එක් “සැමරුමක්“ ලෙස තමයි ක්‍රියාත්මක වෙන්නෙ. කෙසේ වුනත් ඒ දවසේ උදේ පාන්දර , ග්‍රවුන්ඩ් හොග් ගේ පණිවිඩය මොකක්දැයි අහන්න පොඩි දරුවන් වගේම වියපත්වූ වන්ද බලාගෙන ඉන්නවා.

    ReplyDelete
  4. හුනන් ඇඟ වැටීමේ පලාපල වගේ දේවල් ඇමරිකා එ.ජ. යේ නැද්ද?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: