වෙබ් ලිපිනය:

Tuesday, July 17, 2018

අන්කල් සෑම්ගේ දත් ගැලවූ අපේ දත් දොස්තර


පසුගිය ලිපියෙහි මා ලියූ පරිදි ඇමරිකාවේ දන්ත වෛද්‍ය ප්‍රතිකාර ඉතා මිල අධික වන අතර දන්ත වෛද්‍ය රක්ෂණයක් තිබුණද මේ වියදම් වලින් සෑහෙන ප්‍රමාණයක් අතින් ගෙවන්නට සිදු වේ. කෙසේ වුවත්, අඩු ආදායම්ලාභීන් ඇතුළු ඇතැම් සුවිශේෂී කණ්ඩායම් වලට නොමිලේ ලැබෙන ආහාරපාන, වෛද්‍ය රක්ෂණ ආදී සහනාධාර අතර දන්ත ප්‍රතිකාර රක්ෂණද වේ.

මේ කියන කාලය වන විට අප ඇමරිකාවට පැමිණ වැඩි කලක් ගත වී නැත. එය මගේ සිසු අවදිය වූ බැවින් මගේ මාසික ආදායම අර්ධකාලීන පර්යේෂණ සහකාරවරයෙකු ලෙස ලැබූ දීමනාවට සීමා වී තිබුණේය. මගේ බිරිඳ ගර්භනීව සිටි අතර ඇයද රැකියාවක් නොකළාය. එවකට අප ජීවත් වූ ප්‍රාන්තයේ අඩුආදායම්ලාභී ගර්භණී කාන්තාවකට ලැබෙන සහනාධාර අතර දන්ත ප්‍රතිකාර රක්ෂණයක්ද විය. මේ දන්ත ප්‍රතිකාර රක්ෂණයේ විශේෂත්වය වූයේ අනෙකුත් සාමාන්‍ය දන්ත ප්‍රතිකාර රක්ෂණ මෙන් නොව ගෙවිය යුතු සම්පූර්ණ මුදලම රක්ෂණය මඟින් ආවරණය කිරීමයි.

විශේෂ අවශ්‍යතාවයක් නොතිබුණත් ආරක්ෂාකාරී පියවරක් වශයෙන් මේ රක්ෂණ වරප්‍රසාදය අපි ලබා ගත්තෙමු. රක්ෂණය ලබාගැනීමෙන් පසුව වුවද, දත් වල විශේෂ ප්‍රශ්නයක් නොතිබුණු බැවින් දරු උපත දක්වාම ඇයට එයින් ප්‍රයෝජනයක් ගන්නට අවස්ථාවක් නොලැබුණේය.

කෙසේ වුවද, දරු උපතින් පසුව මේ රක්ෂණ වරප්‍රසාදය අවසන් වෙන්නට ඔන්න මෙන්න කියා තිබියදී, බිරිඳ අප ජීවත් වූ නගරයේ සිටි දන්ත වෛද්‍යවරයෙකු හමු වූවාය. පසුව ඈ මට කී පරිදි, මේ හමුවේදී මිනිත්තු විස්සක පමණ කාලයක් ගනිමින් දන්ත වෛද්‍යවරයා විසින් ඇගේ දත් පරීක්ෂා කර පිරිසිදු කරනු ලැබ තිබේ. එහෙත්, ඇගේ දත් නිරෝගී වූ බැවින් අමතර යමක් කරන්නට අවශ්‍ය වී නැත.

රක්ෂණය මඟින් වෛද්‍ය ගාස්තුව සම්පූර්ණයෙන්ම ආවරණය වන බැවින් අප මේ වෙනුවෙන් කිසිදු මුදලක් ගෙවිය යුතුව තිබුණේ නැත. අප කළ යුතු වූයේ රජය මඟින් ලබා දෙන රක්ෂණයෙන් වෛද්‍ය ගාස්තුව අය කර ගැනීම සඳහා වෛද්‍යවරයාට අනුමැතිය දීම පමණි. ඒ නැතත්, මෙවැනි සාමාන්‍ය දන්ත පරීක්ෂාවක් හා දත් පිරිසිදු කිරීමක් වෙනුවෙන් අය කෙරෙන මුදල වෙනත් දන්ත ප්‍රතිකාර වියදම් වලට සාපේක්ෂව සුළු මුදලකි.

මේ රක්ෂණ ආවරණය නොමිලේ ලැබුණත් අපට එයින් වැඩි ප්‍රයෝජනයක් ගන්නට ඉඩක් ලැබුණේ නැත. දරු උපතින් තෙමසකට පසුව රක්ෂණ වරප්‍රසාදය අවසන් විය.

කාලයක් ගත විය. බිරිඳගේ දත් වල ලොකු ප්‍රශ්න නොතිබුණත් මට එවැනි ප්‍රශ්න තිබූ නිසා ලොකු වියදමක් යන වැඩ දෙක තුනක්ම කරන්නට සිදු විය. ඒ වෙනුවෙන් වරින් වර මට මේ වෛද්‍යවරයා වෙත යන්නට සිදු විය. ඇයට ගර්භණී කාලයේ ලැබුණු රක්ෂණයෙන් මෙන් නොව මගේ රක්ෂණයෙන් වෛද්‍ය ගාස්තු මුළුමනින්ම ආවරණය නොවුණු අතර සෑම විටකම වාගේ ගෙවිය යුතු මුදලින් කිසියම් ප්‍රතිශතයක් අතින් ගෙවන්නට සිදු විය.

ඇමරිකාවේ ජීවත් වන විට වෛද්‍ය රක්ෂණයක් (හෝ දන්ත වෛද්‍ය රක්ෂණයක්) තිබීමේ ප්‍රධාන වාසිය ප්‍රතිකාර ගාස්තු වලින් සෑහෙන කොටසක් ආවරණය වීම වුවත් එය එකම වාසිය නොවේ. රක්ෂණ සමාගම් විසින් බොහෝ විට වෛද්‍යවරයා සමඟ හෙට්ටු කර වෛද්‍ය ගාස්තු අඩු කරන නිසා එහි වාසියද රෝගියාට ලැබේ.

සාමාන්‍යයෙන් මා දැන් ප්‍රතිකාර ගන්නා බොහෝ වෛද්‍යවරුන් විසින් කරන්නේ ප්‍රතිකාර ගැනීමෙන් පසු මුලින්ම බිල රක්ෂණ සමාගමට යවා ඔවුන් එය පරීක්ෂා කර ඔවුන්ගේ කොටස ගෙවා රෝගියා විසින් ගෙවිය යුතු කොටස දැනුම් දීමෙන් අනතුරුව ඒ මුදල මගෙන් අය කර ගැනීමයි. එහෙත්, මේ වෛද්‍යවරයා විසින් රෝගියාගේ කොටස කලින්ම අය කර ගත්තේය. රක්ෂණ සමාගම වෙත බිල්පත ඉදිරිපත් කළේ එයින් පසුවය. ඇතැම් විට මෙයට හේතුව ඒ කාලය වන මට ඇමරිකාවේ ක්‍රෙඩිට් හිස්ට්‍රියක්, එනම් ගෙවිය යුතු මුදල් නිසි කලට ගෙවීමේ දිගුකාලීන වාර්තාගත ඉතිහාසයක් නොතිබීම වන්නට පුළුවන. මෙසේ ක්‍රෙඩිට් හිස්ට්‍රියක් නැතිකම ඇමරිකාවට අලුතෙන් පැමිණෙන සංක්‍රමණිකයෙකුට මුහුණ දෙන්නට සිදුවන එක් ප්‍රශ්නයකි.

මෙසේ මගේ රක්ෂණ සමාගම වෙත බිල්පත ඉදිරිපත් කළ සෑම විටකම වාගේ ඔවුන් වෛද්‍ය ගාස්තු පහළට සංශෝධනය කළ නිසා බොහෝ විට සිදුව තිබුණේ මා ඒ වන විටත් වෛද්‍යවරයාට ගෙවා තිබුණු මුදල ඕනෑවට වඩා වැඩි මුදලක් වීමයි. උදාහරණයක් සේ වෛද්‍යවරයා විසින් ඩොලර් දාහක බිලක් දමා එයින් රක්ෂණ සමාගම විසින් ගෙවනු ඇතැයි අපේක්ෂිත 50% අඩු කර ඩොලර් 500ක් මගෙන් අය කර ගත්තේයැයි සිතමු. ඉන්පසුව ඔවුන් ඉතිරි මුදල අය කර ගැනීම සඳහා බිල්පත රක්ෂණ සමාගමට ඉදිරිපත් කළ විට රක්ෂණ සමාගම විසින් මුළු බිල ඩොලර් 800 දක්වා අඩු කර එයින් ඩොලර් 400ක් ගෙවයි. රක්ෂණ සමාගම හා වෛද්‍යවරයා අතර ඇති ගිවිසුම අනුව ඔහුට මගෙන් අය කළ හැක්කේද ඩොලර් 400ක් වුවත් ඔහු ඒ වන විටද මගෙන් ඩොලර් 500ක් අය කර අවසන්ය. ඒ අනුව, මා වෛද්‍යවරයාට වැඩිපුර ඩොලර් 100ක් ගෙවා තිබේ.

ඉහත කී පරිදි ඇමරිකාවේ කිසියම් සේවා සපයන්නෙකුට වැඩිපුර මුදලක් ගෙවා ඇති විටක සාමාන්‍යයෙන් සිදුවන්නේ ඒ වැඩිපුර මුදල වෙනුවෙන් චෙක්පතක් තැපැල් කර එවීමයි. එහෙත්, මේ වෛද්‍යවරයා ඒ වෙනුවට කළේ නැවත ඔහු වෙත ගිය විට ගෙවිය යුතු බිලට හෝ කොටසකට මේ මුදල හිලවු කිරීමයි. ඉන්පසුව ඒ අලුත් බිල රක්ෂණ සමාගම වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව නැවතත් කිසියම් ඉතිරියක් වන නිසා මේ වෛද්‍ය සායනයේ වූ මගේ ගිණුමේ හැම විටම වගේ තිබුණේ ධන ශේෂයකි. මාස කිහිපයකට වරක් කිසියම් ප්‍රතිකාරයක් හෝ පරීක්ෂාවක් සඳහා පවුලේ අයෙකු එහි ගිය බැවින් මට මෙහි ප්‍රශ්නයක් තිබුණේ නැත.

වසර කිහිපයකට පසුව අපට මේ නගරයට මෙන්ම දන්ත වෛද්‍යවරයාටද සමුදෙන්නට අවස්ථාව එළඹුනේය. දන්ත වෛද්‍යවරයා වෙත ගිය අවසන් හමුවේදී ඔහු වෙත ඕනෑවට වඩා මුදලක් ඉතිරි කර එන්නට මට අවශ්‍ය වූයේ නැත. ප්‍රතිකාර ගැනීම, බිල ගෙවීම, වෛද්‍යවරයා විසින් රක්ෂණයට බිල ඉදිරිපත් කිරීම හා ඔවුන් විසින් බිල සංශෝධනය කිරීම යන ක්‍රියාවලියට සාමාන්‍යයෙන් මාස කිහිපයක් ගත වූ අතර ඒ කාලය තුළ බොහෝ විට අපේ පවුලේ යම් කිසිවකු දන්ත වෛද්‍යවරයාව නැවත හමු වූ බැවින් ගිණුමේ නියම ශේෂය දැන ගැනීම ලංකාවේ විදුලි බිලක නියම ශේෂය දැනගන්නවා වැනිම සංකීර්ණ කටයුත්තක් විය. ඒ නිසා, මේ අවසන් වෛද්‍ය හමුවෙන් පසුව, පසුගිය කාලයේ මගේ ගිණුම් පිළිබඳ විස්තර මම විමසා සිටියෙමි. මගේ ප්‍රශ්න වලට පිළිතුරු සැපයීම පහසු නොවූ බැවින් මේ කටයුත්ත කළ කාන්තාව විසින් ඇගේ පහසුවට කළේ මගේ සියලු ගිණුම් විස්තර මුද්‍රණ යන්ත්‍රය වෙත යවා කඩදාසි ගොනුවක් මගේ අතේ තැබීමයි.

ගෙදර යාමෙන් පසුව මම මේ ගිණුම් විස්තර අග සිට මුලට පරීක්ෂා කළෙමි. එසේ කරමින් මුල හරියට යද්දී තරමක කාලයකට පෙර මගේ බිරිඳ විසින් ලබාගත් දන්ත වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳ විස්තරද හමු විය. මේ ගිණුම් විස්තර වලින් පෙනෙන පරිදි, ඇගේ මුඛයේ දත් ගණනාවක්ම වෛද්‍යවරයා විසින් පුරවා තිබේ. එහි බිල සෑහෙන මුදලකි. කෙසේ වුවද, ඒ වන විට රජයෙන් නොමිලේ ලැබුණු දන්ත වෛද්‍ය රක්ෂණයෙන් මේ මුළු මුදලම ආවරණය වී තිබේ.

"ඔන්න ඔයා හැමදාම කියනව ඔයාගෙ දත් වල මුකුත් ප්‍රශ්නයක් නෑ කියල. බැලුවහම පිටු ගාණකම තියෙන්නෙ ඔයාගෙ දත් පුරවපුවා..."

"කෝ බලන්න...."

"මගේ දත් සුද්ද කළා විතරයි. මේ මොනවත් කළේ නෑ!"

"සමහර විට චූටි චූටි ෆිලින්ග්ස් දාන්න ඇති...ඔයාට නොදැනුනාට..."

"ඔවු එහෙම වෙන්නත් බැරී නෑනම් තමයි. හැබැයි එහෙම කතාවක් කිවුවෙනම් නැහැ. අනිත් එක වැඩිම වුනොත් මම එතන විනාඩි පහළොවක් විස්සක් ඉන්න ඇති!"

නගරයේ වැදගත් පුද්ගලයෙකු වන, වසර හතළිහකට ආසන්න පළපුරුද්දක් තිබුණු මේ දන්ත වෛද්‍යවරයා වැනි අයෙකු හොරෙකු විය නොහැකි බව අපේ පූර්ව නිගමනය වුවත් ඇස් පනා පිට ඇති සාක්ෂි විසින් පෙන්වන්නේ එය එසේ නොවන බවයි. පෙනෙන ආකාරයට වෛද්‍යවරයා විසින් නොකළ වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන්ද රක්ෂණයට බිල් දමා තිබේ. මේ බිල් දැම්මේ සාමාන්‍ය රක්ෂණයකටනම් බිලෙන් ප්‍රතිශතයක් අප විසින්ද ගෙවිය යුතු බැවින් මෙය අපගේ පරීක්ෂාවට අනිවාර්යයෙන්ම ලක් වන නමුත් මෙහිදී එය සිදු වී නැත. (ඇනෝ කෙනෙක් කියා තිබුණු පරිදි අපට වෙන්නේම ඔය වගේ දේවල්ය!)

මෙය සිදුවූයේ අප මේ නගරයෙන් වෙනත් නගරයකට වාසය වෙනස් කරන්නට ඔන්න මෙන්න තිබියදී බැවින් ඉන් පසුව එය අපට අමතක වී ගියේය.

තවත් වසර ගණනාවකට පසුව, දැන ගන්නට ලැබුණේ පළපුරුදු දන්ත වෛද්‍ය වරයෙකු නොකළ ප්‍රතිකාර වලට බිල් දමා අසුවී සිර දඬුවම් ලබා ඇති බවයි. ඒ වන විට අප කිහිප වරක්ම පදිංචිය මෙන්ම ප්‍රාන්තයද මාරු කර තිබුනත් කලක් ප්‍රතිකාර ගන්නට ගිය මේ දන්ත වෛද්‍යවරයාගේ මුහුණ අමතකව ගොස් තිබුණේ නැත. දැන් මෙසේ මාට්ටු වී තිබෙන්නේ මේ මනුස්සයාවය.

අපේ දන්ත වෛද්‍යවරයා ගස් රැසකට කොටමින් ගොස් අන්තිමේදී කෙහෙල් ගහකටත් කොටා තිබේ. කිසියම් රෝගියෙකු විසින් පැමිණිලි කිරීමෙන් අනතුරුව මේ වෛද්‍යවරයා විසින් නොකළ ප්‍රතිකාර වෙනුවෙන් බිල් දැමීම දැඩි විමර්ශනයට ලක් කර තිබේ. විමර්ශනය වෙනුවෙන් වෙනත් දන්ත වෛද්‍යවරයෙකුගේ සහාය ඇතිව අදාළ වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ගත් රෝගීන් ගණනාවකගේ මුඛයේ එක්ස්රේ ඡායාරූප පිරික්සීමේදී පෙනී ගොස් තිබෙන්නේ ඒ බොහෝ දෙනෙකුගේ දත් වල කියන ආකාරයේ පිරවීම් නොමැති බවයි.

අවසානයේදී මේ දන්ත වෛද්‍යවරයාට දින 90ක කාලයක් සිරගතව සිටීම හැර ඉතිරිය අත් හිටවනු ලැබූ පස් වසරක සිර දඬුවමක්ද, ඩොලර් ලක්ෂයක දඩ මුදලක්ද, පැය 200ක පොදු වැඩද නියම වූ අතර වෛද්‍ය බලපත්‍රයද අහෝසි විය. දඬුවම නියම කරමින් විනිසුරුවරයා විසින් ප්‍රකාශ කර ඇත්තේ නගරයේ වැදගත් පුද්ගලයෙකු වන මොහුට මෙවැනි දඬුවමක් නියම කරන්නට සිදු වූ ඒ දිනය කණගාටුදායක දවසක් බවයි.

නිදහස් රටක් වන ඇමරිකාවේ හොරකමක් හෝ වෙනත් වරදක් හෝ අපරාධයක් කරන්නටද වැඩි නිදහසක් තිබේ. එහෙත්, එසේ වරදක් කර නිදහසේ සිටීම පහසු නැත.

(Image: http://alhsredcoats.weebly.com/unit-7.html)


10 comments:

  1. ඉකොනොමැට්ටා,

    ඕස්ට්‍රේලියානු වෙළඳ පොලේ ඇති විවිධ රක්ෂණාවරණ වල ඇති විවිධ අංග එක කොට ඒවා වර්ගීකරණයක් ලබන 2019 අප්‍රේල් මස දී හඳුන්වා දීමට නියමිතයි.

    මධ්‍යම රජය විසින් එම රක්ෂ්නාවරණ -gold , silver හා bronze යනුවෙන් වර්ගීකරණයක් හඳුන්වා තිබේ. ඕස්ට්‍රේලියානුවන් අතර පෞද්ගලික රක්ෂනාවරන 70,000ක් පමණ ඇති බවට වාර්තා වේ.

    සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt මෙම නව ක්‍රමය පිලිබඳ දහස් දක්වමින් කියා සිටියේ මෙමගින් පාරිභෝගිකයන්ට ආවරණ පිළිබද වැඩි තොරතුරු ලබා ගත හැකි බවත්, තමාට අවශ්‍ය අවම සේවාවන් මොනවාදැයි තීරණය කල හැකි බවයි.

    මෙමගින් දැනට ඇති ආවරණ වලට කිසිදු වෙනසක් නොවන බවත් මිල ගණන් එසේම පවතින බවත්, පද්ධතිය වඩා සරල වීමක් සිදු වන බවද ඔහු පවසයි.

    එසේම අලුතින් පියයුරු පිළිකා හා ඩිම්බ කෝෂ පිළිකා සදහා ප්‍රතිකාර ද පෞද්ගලික රක්ෂණ වලට එක් කිරීමට නියමිතයි

    මේ පිළිබද අදහස් දක්වන විපක්ෂයේ Health පිළිබද Shadow cabinet Ministeress (චායා අමාත්‍ය) Catherine King මෙම තී රණය පැසසුමට ලක් කොට තිබේ. මෙය තොරතුරු ලබාගැනීමට පහසු කිරීමක් වුවත් අඩු ගාස්තු සහිත එතරම නොවැදගත් පහසුකම් ඇති ආවරන නතර කිරීමට අවශ්‍ය බවද ඇය පවසයි

    එසේම ඇය පවසන්නේ කම්කරු රජයක් යටතේ එවන් සූලු ආවරණ රජයේ රෝහල් වල ප්‍රතිකාර පමණක් ආවරණය කරයි නම් ඒවාට private health insurance rebate සහනයද ඉවත් කරන බවයි

    විශේෂයෙන්ම බදු සහන බලාපොරොත්තුවෙන් පමණක් එවන් ආවරණ ලබා ගැනීම වැළක්විය යුතු බව ඇය පවසයි

    Private Healthcare Australia සංවිධානයද මෙම නව අදහස පිළිගන්න අතර ඒ පිළිබද වැඩි තොරතුරු ලබන වසර මුලදී ජනතාවට ලබා දෙන බව ඔවුන් පවසා තිබේ.

    ReplyDelete
  2. One of my former client, an insurance agent from US said that dental insurance has always been a pain in the arse. Can't remember the exact reason but may be because of the arguments with the doctor on the final bill, like you explained.

    ReplyDelete
  3. ඇමරිකාවේ ඔහොම උනාට ලංකාවේ එහම නැ හාමුදුරුවනේ!!!

    ReplyDelete
  4. ඇමරිකාවේ වගේම හොර දොස්තරලා ඕස්ට්‍රේලියාවෙත් ඉන්නවා.මෙල්බර්න් නගරාසන්නයේ දොස්තර කෙනෙක් මේ විදියට වංචා කරලා අහු වෙලා හිරේ ගියා. ingrown toenail සඳහා කරන සුළු ශල්‍යකර්මයක් කිරීමට සාමාන්‍ය දොස්තර වරුන්ට (GP ) අවසර තිබූ අතර ඒ සඳහා රජයෙන් (medicare) ඉහල මුදලක් ලැබෙනවා. මුළු වික්ටෝරියා ප්‍රාන්තයේම වසරකට ඉහත කී ශල්‍යකර්ම දහසක් කෙරෙනවා නම් මේ දොස්තර මහතා එයින් බාගයකටත් වඩා වැඩි ප්‍රමාණයක් කළා කියලා රජයෙන් මුදල් අරං. වසර ගණනාවක් තිස්සේ ඔහු ලඟට ප්‍රතිකාර ගන්න එන සියලුම රෝගීන්ට මේ ශල්‍යකර්මය කළා කියලා මුදල් (රජයෙන්) අරං. මේ සිද්ධිය වසර විස්සකට වගේ පෙර සිදු උනා කියලයි මට මතක.
    1990/2000 දශක වල අපේම සිංහල විශේසඥ වෛද්‍යවරයෙකුත් සෑහෙන්න වංචා කල බව අපේ සිංහල කොමියුනිටි එකේ(මෙල්බර්න්) සමහර අය දන්නවා. ශල්‍ය කර්මයකට මුදල් අය කලවිට pre operative instructions සහ post oparative care කියන දෙකම එයට ඇතුලත් වෙන නිසා ඒවාට මුදල් අය කල යුතු නැහැ . එකල (90 දශකයේ) සාමාන්‍ය හමුවකට රජයෙන් ඩොලර් 28 පමණත්, රෝගියා 12 පමණත් ගෙවිය යුතුව තිබුනා. ඔහු ශල්‍යකර්මයට පෙර උපදෙස් දෙනවිට එයත්, ශල්‍යකර්මයෙන් පසු සිදු කරන ප්‍රතිකාර වලටත් සාමාන්‍ය හමුවක් ලෙස මුදල් අය කිරීම දෙවරක් මගේ බිරිඳටත් කළා. ඒ හැර ඔහුගේ පෞද්ගලික කාර්යාලය (PP එකේ ) ඔහු සේවය කරන රෝහලේ උපදේශන සේවා පැවැත්වීමට ඉඩ ලබා දී තියනවා. එයින් නැවතත් ඔහු වංචාවක් කරනවා. සිංහල නම තියන කෙනෙකු රෝහලේ උපදේශන සේවාවකට (ඔහුගේ PP එකට) පැමිණෙන විට රෝගියා නොදැනුවත්වම භාෂා පරිවර්තක සේවය සඳහා කෙනෙක් පැමිණෙනවා. ඒ එන්නේ ඔහුගේ ළඟම ඥාතියෙක්. ඒ සේවාව සඳහා සම්පුර්ණයෙන්ම රජයෙන් මුදල් ගෙවන අතර රජයේ ලියාපදිංචි භාෂා පරිවර්තක කෙනෙකු වන ඔහුගේ ඥාතියා එම මුදල වංචා සහගතව ලබා ගන්නවා. ඒ දේත් මම අත්දැකීමෙන්ම දැන ගත්තා. කිසිවෙකුගේ අනන්‍යතාවය හෙළි නොකර මේ කතාව කිව්වාට මේ විසේසඥ දොස්තරගේ ක්ෂේත්‍රය කිව්වානම් හැමෝම එයාගේ කෙරුවාව දන්නවා.

    ReplyDelete
  5. මෙහි අපේ දත් දොස්තර යැයි කියන්නේ ලංකාවේ සිට එහි ගිය පොරකට ද?

    ReplyDelete
    Replies
    1. ඔහු සංක්‍රමණිකයෙක් නෙමෙයි. සුදු ඇමරිකානුවෙක්.

      Delete
    2. සළුවඩන අය්යාට ලංකාවේ දත් දොස්තරලා එක්ක පුදුම ඇරියස් එකක්නේ තියෙන්නේ!

      Delete
  6. ලංකාවේ සිටින බොහොමයක් "දත්" දොස්තරලාය. නෑදෑයෝ, යාලුවෝ, පල්ලිය හා පන්සල දත් එක එක ගලවන අතර අපේ දේශපාලකයෝ දත් ඇන්දම එකපාර ගලවති. ලංකාවේ මිනිස්සු ජාන තාක්ෂණයෙන් කිඹුල් දන්ත වර්ධන ජාන තම සිරුරු තුලට ඇතුල් කර ගත්තෝ වෙති. කාලය තුලදී දෙසිය වාරයක් විතර අපේ දත් නැවත නැවත වර්ධනය වේ. එහෙම නැත්තං මේ දත් ගලවන ගැලවිල්ලේ හැටියට අපිට පරිස්සම් කර ගන්ඩ පුළුවන් වෙන්නේ කිරි දත් ටික විතරය. දැන් දැන් පේන හැටියට කිරි දත් ටිකත් ගලවන සයිස් ය. ඒ හින්දා අපිට ඔය රක්ෂණාවරණ අවශ්‍ය නැත.

    ReplyDelete
  7. එකෝන්, අපි ජීවිත රක්ෂණ ගැන කතා කරනකොට මනුස්සෙයෙක් ජීවත් වෙන්න පුලුවන් සම්භාවිතාවය (යම් නිශ්චිත කාලයක්) ශ්‍රිතයක් විදියට දක්වන්නේ ඇයි ආයු ගනනයේදී. (Survival function , morality force ) වගේ. සමාන්‍ය සම්භාවිතාවය වෙනුවට මෙම ශ්‍රිත සම්බන්ද සම්භාවිතාවය යෙදීම හෙතුව දන්නවා ද?

    ReplyDelete
    Replies
    1. //සමාන්‍ය සම්භාවිතාවය වෙනුවට මෙම ශ්‍රිත සම්බන්ද සම්භාවිතාවය යෙදීම හෙතුව දන්නවා ද?//

      සාමාන්‍ය සම්භාවිතාව කියන්නේ පහළ පන්ති වලදී කරන සරල පැහැදිලි කිරීමක්. සම්භාවිතාවක් සාමාන්‍යයෙන් ශ්‍රිතයක්. දැන් අපි කියනවනේ කාසියක් උඩ දැම්මම සිරස වැටෙන්න සම්භාවිතාව 0.5ක් කියා. ඒ අනුව, කාසියක් දහවරක් උඩ දැම්මොත් 5 වරක් සිරස වැටිය යුතුයි. එහෙත්, එහෙම වෙන්නේ නැහැ. බොහෝ විට 5 වරක් සිරස වැටුනත් මෙය 4 වරක් හෝ 6 වරක් විය හැකියි. සිරස නොවැටෙන්නම හෝ 10 වරම සිරස වැටෙන්න වුනත් පුළුවන්. 0.5 කියන්නේ ශ්‍රිතයේ මැද අගය. අපේක්ෂිත ආයුකාලය වගේ දෙයක් ගත්තොත්, ජීවත් වන තරමට අපේක්ෂිත ආයුකාලය ටිකෙන් ටික වැඩි වෙනවා. ඒ නිසා, කොහොමටත් ශ්‍රිතයක් අවශ්‍යයි. පරණ ලිපියක් පහත තිබෙනවා. එය කියවන්න.

      මැරෙන දවස දැනගන්න ඕනෑද?
      https://economatta.blogspot.com/2016/02/blog-post_10.html

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: