වෙබ් ලිපිනය:

Monday, October 28, 2019

ගෝඨාභයගේ කැලිෆෝර්නියා නඩුව


ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධව චෝදනා නගමින් ඔහුගේ දියණිය වන අහිංසා වික්‍රමතුංග විසින් ලොස් ඇන්ජලීස්හි, කැලිෆෝර්නියා මධ්‍යම දිස්ත්‍රික්කයට අයත් ඇමරිකන් දිස්ත්‍රික් අධිකරණයෙහි පවරා තිබුණු සිවිල් නඩුව පසුගිය 17 වනදා විභාගයට නොගෙන නිෂ්ප්‍රභා කරනු ලැබුවා. එම නඩුව මේ අයුරින් නිෂ්ප්‍රභා කරනු ලැබුවේ නඩුව විභාගයට ගැනීම සඳහා අදාළ අධිකරණයට අධිකරණ බලයක් නැති බවට ගෝඨාභය පාර්ශ්වය විසින් ඉදිරිපත් කළ විරෝධතාව සැලකිල්ලට ගනිමිනුයි. අදාළ අධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනාවක් ඉදිරිපත් කරන බව අහිංසා වික්‍රමතුංග පාර්ශ්වය ප්‍රකාශ කර තිබෙනවා.

අහිංසා වික්‍රමතුංග ඕස්ට්‍රේලියානු පුරවැසියෙක් හා පදිංචිකාරියක්. ගෝඨාභය රාජපක්ෂ මෙම නඩුව පවරනු ලබන විට ඇමරිකන් පුරවැසියෙක්. එමෙන්ම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය සිදු වූ 2009 ජනවාරි 9 වන විටත් ඔහු ඇමරිකන් පුරවැසියෙක්. මෙම සිද්ධිය සිදුවන විට ඔහු ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළා. අදාළ කාලයේ ආරක්ෂක ඇමති ධුරය දැරුවේ ගෝඨාභය රාජපක්ෂගේ සොහොයුරු හා එවක විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ වූ නිසාත්, රටේ සිවිල් යුද්ධයක් පැවතීමත් නිසා එම තනතුර සමඟ විශාල බලයක් කේන්ද්‍රගතව තිබූ බව නොරහසක්.

ඇමරිකාවේ ආරක්ෂක ලේකම් යනු ලංකාවේ ආරක්ෂක අමාත්‍ය තනතුරට සමාන තනතුරක්. ඇමරිකාවේ කැබිනට් මණ්ඩලය සමන්විත වන්නේ ආරක්ෂක ලේකම්, රාජ්‍ය ලේකම්, භාණ්ඩාගාර ලේකම් ඇතුළු ලේකම් වරුන්ගෙන්. ගෝඨාභය රාජපක්ෂගේ තනතුරද බොහෝ විට ආරක්ෂක ලේකම් ලෙස හැඳින්වුනත්, එය ඇමරිකාවේ ආරක්ෂක ලේකම් තනතුර සමඟ සැසඳිය හැකි තනතුරක් නෙමෙයි. අදාළ කාලයේම පී බී ජයසුන්දර මුදල් අමාත්‍යංශයේ ලේකම් ලෙස මිස මුදල් ලේකම් ලෙස හැඳින්වුනේ නැහැ. ගෝඨාභය රාජපක්ෂට එරෙහිව කැලිෆෝර්නියා අධිකරණයේ පවරා තිබුණු නඩුවේ ලේඛන වලද ඔහුගේ තනතුර සඳහන් කර තිබෙන්නේ ආරක්ෂක ලේකම් ලෙසයි.

ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පවරා තිබුණු නඩුව සිවිල් නඩුවක්. යම් හෙයකින් එම නඩුව විභාගයට ගෙන ඔහුව වරදකරු කරනු ලැබුවානම් ඔහුට අගතියට පත් පාර්ශ්වයට වන්දියක් ගෙවීමට සිදු විය හැකිව තිබුණු නමුත් සිර දඬුවමක් පැනවෙන්නේ නැහැ.

නඩුව විභාගයට ගැනීම තාවකාලිකව අත් හිටවන මෙන් ඉල්ලමින් හා නඩුව විභාගයට නොගෙන නිෂ්ප්‍රභා කරන මෙන් ඉල්ලමින් ගෝඨාභය රාජපක්ෂ විසින් මෝසම් දෙකක් ඉදිරිපත් කළා. පළමුවන මෝසමෙන් ඉල්ලා සිටියේ ලංකාවේ ජනාධිපතිවරණය පැවැත්වෙන තුරු හා එම ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ තේරී පත් වුවහොත් ධුරය භාර ගන්නා තුරු නඩු විභාගය අත් හිටවන ලෙසයි. මේ ඉල්ලීම සාධාරණීකරණය කර තිබුණේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් වීමට විශාල ඉඩකඩක් තිබීම හා එසේ ජනාධිපති ධුරයට පත් වුවහොත් ඔහුට රාජ්‍ය නායක මුක්තිය ලැබෙන නිසා මෙම නඩුව ඉදිරියට ගෙනයාමේ හැකියාවක් නොමැති වන බව පෙන්වා දෙමිනුයි.

දෙවන මෝසමෙන් කරුණු හතරක් ඉදිරිපත් කරමින් මෙම කරුණු වලින් එකක් හෝ කිහිපයක් මත මෙම නඩුව විභාගයට නොගෙන නිෂ්ප්‍රභා කරන මෙන් ගෝඨාභය රාජපක්ෂ විසින් ඉල්ලා සිටියා.
1. ගෝඨාභය රාජපක්ෂ චෝදනාවට අදාළ සිද්ධියට වගකිවයුතුනම් එසේ වගකිව යුත්තේ ස්වාධීන විදේශ රජයක නිලධාරියෙකු ලෙස තනතුරට අදාළව සිදුකළ දෙයක් වෙනුවෙනුයි.
2. පෞද්ගලික හා පොදු යහපත සැලකූ විට මෙම නඩුව විභාග කිරීම වඩාත්ම පහසු ලංකාවේයි.
-ශ්‍රී ලංකාවේ ස්වාධීන හා හොඳින් ස්ථාපිත අධිකරණ පද්ධතියක් තිබෙනවා.
-අහිංසා වික්‍රමතුංග ඕස්ට්‍රේලියානු පුරවැසියෙක් හා පදිංචිකාරියක නිසා ඇමරිකාවේ නඩුව විභාග කළත් ලංකාවේ එය කළත් ඇයට වෙනසක් නැහැ.
-ඒ වගේම, සාක්ෂිකරුවන් වැඩි දෙනෙකු සිටිය හැක්කේ ලංකාවේ.
3. ස්වාධීන විදේශ රාජ්‍යයක් වන ලංකාවට හා එහි නීති පද්ධතියට ගරු කිරීමක් වශයෙන්
4. වෙනත් විවිධ හේතු මත
-මේ සිදුවීමට ඇමරිකාවේ කිසිදු සම්බන්ධයක් නොතිබීම
-පැමිණිලිකාරිය විසින් ලංකාවේදී ගත හැකිව තිබුණු සියලුම නීතිමය ක්‍රියාමාර්ග උත්සාහ කර නොතිබීම
-චෝදනා නගා ඇති පණතේ ඇතැම් (තාක්ෂනික) සීමාවන්

අධිකරණය මඟින් නඩුව විභාගයට නොගෙන නිෂ්ප්‍රභා කිරීමට තීරණය කර ඇත්තේ ඉහත පළමු කරුණ, එනම් ගෝඨාභය රාජපක්ෂ චෝදනාවට අදාළ සිද්ධියට වගකිවයුතුනම් එසේ වගකිව යුත්තේ ස්වාධීන විදේශ රජයක නිලධාරියෙකු ලෙස තනතුරට අදාළව සිදුකළ දෙයක් වෙනුවෙන් වීම නිසයි. මේ විරෝධතාව පිළිගැනීමෙන් පසු ඉතිරි කරුණු සලකා බැලීම අවශ්‍ය නොවන නිසා අනෙකුත් කරුණු සැලකිල්ලට ගෙන නැහැ. එමෙන්ම, මේ විරෝධතාව පිළිගැනීමෙන් පසුව අනෙකුත් මෝසමට අදාල නඩු නිමිත්ත අහෝසි වී ඇති නිසා නඩුව තාවකාලිකව අත් හිටුවීම ගැන සලකා බැලීමත් අවශ්‍ය වී නැහැ.

නඩුව නිෂ්ප්‍රභා කිරීමේදී සැලකිල්ලට ගෙන තිබෙන්නේ පළමු කරුණ පමණයි. මේ ආකාරයට පිළිගත් විදේශ රාජ්‍යයක නිලධාරියෙකු ලෙස කළ ක්‍රියාවක් සඳහා මුක්තිය ලැබෙන්නටනම් කරුණු දෙකකින් එකක් සම්පූර්ණ විය යුතුයි.
-අදාළ විදේශ රාජ්‍යය විසින් එවැනි මුක්තියක් ලබා දෙන මෙන් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් එම එල්ලීම පිළිගැනීම
-අදාළ විදේශ රාජ්‍යය විසින් එවැනි ඉල්ලීමක් කර නැති අවස්ථාවක, යම් හෙයකින් එවැනි ඉල්ලීමක් කර තිබුණේනම් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් එම ඉල්ලීම පිළිගැනීමට ඉඩකඩ තිබීම

මේ නඩුව හා අදාළව ගෝඨාභය රාජපක්ෂට රාජ්‍ය නිලධාරී මුක්තිය ලබා දෙන මෙන් ලංකාවේ රජය විසින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර නැති නිසා දිස්ත්‍රික් අධිකරණය විසින් සලකා බලා තිබෙන්නේ ඉහත දෙවන කරුණයි. පැමිණිලිකාර පාර්ශ්වය විසින් චෝදනා ගොනු කිරීමේදී ගෝඨාභය රාජපක්ෂගේ ආරක්ෂක ලේකම් ධුරයේ බලතල ගැන විස්තර කිරීමට ලොකු බරක් දී තිබීම හා ලසන්ත වික්‍රමතුංග ඝාතනයට ඔහු වගකිවයුතු බව සඳහන් කර තිබෙන්නේ ආරක්ෂක ලේකම් ධුරයේ බලතල යොදාගනිමින් බව කියා තිබීම මෙහිදී ගෝඨාභය රාජපක්ෂගේ වාසියට හේතු වී තිබෙනවා. පැමිණිලිකාර පාර්ශ්වය විසින් ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනයට ආරක්ෂක ලේකම් ලෙස ගෝඨාභය රාජපක්ෂ වගකිවයුතු බව මිස සෘජුව සම්බන්ධ වී ඇති බව කියා නැහැ. මේ අනුව දිස්ත්‍රික් අධිකරණයේ මතය වන්නේ යම් හෙයකින් මේ ඝාතනයට ගෝඨාභය රාජපක්ෂ වගකිවයුතුනම් එසේ වගකිවයුතු වන්නේ එවක ලංකාවේ ආරක්ෂක ලේකම් ලෙස මිස පෞද්ගලිකව නොවන බවයි. ඒ අනුව ඔහුට පිළිගත් විදේශ රාජ්‍යයක නිලධාරියෙකු එම රාජ්‍යය වෙනුවෙන් කළ ක්‍රියාවන් සඳහා පොදු නීතිය යටතේ ලැබෙන මුක්තිය ලැබී තිබෙනවා.

අහිංසා වික්‍රමතුංග පාර්ශ්වය මේ තීන්දුවෙන් සෑහීමකට පත් වන්නේ නැහැ. ඔවුන්ගේ මතය වන්නේ ලසන්ත වික්‍රමතුංග හෝ වෙනත් ජනමාධ්‍යවේදියෙකු ඝාතනය කිරීමට ශ්‍රී ලංකා රජය තීරණයක් ගෙන නැති නිසා ගෝඨාභය රාජපක්ෂ විසින් කර තිබෙන්නේ ලංකාවේ රජය වෙනුවෙන් කටයුතු කිරීමක් නොවන බවයි. ඒ අනුව, ඔවුන් මෙම තීන්දුවට එරෙහිව අභියාචනා කිරීමට අදහස් කරන බව ප්‍රකාශ කර තිබෙනවා. එවැනි අභියාචනා කිරීමකින් පසුව මෙම නඩුව ඉදිරියට ගෙන යාමට තීරණය වුවත්, ඒ වන විට ගෝඨාභය රාජපක්ෂ ලංකාවේ ජනාධිපති ලෙස තේරී පත්වී සිටියහොත් ඔහුට රාජ්‍ය නායක මුක්තිය ලැබෙන්න බොහෝ දුරට ඉඩ තිබෙනවා.

(Image: http://asiantribune.com/node/93111)

6 comments:

  1. චඃ, අහිංසා වික්‍රමතුංග නෝනා අපේ ඉකොනෝ මහත්තයාව අල්ලලා තිබ්බා නං නඩුව ගොඩනි.

    ReplyDelete
  2. This is good information, most people do not understand these law technical stuff. So this is a useless case and will go anywhere? Its clear, case is politically motivated, may be even financed by opponents.

    Most of these politically motivated killings will be hard to prove, since these are done by specialists.

    ReplyDelete
  3. /* ගෝඨාභය රාජපක්ෂට එරෙහිව කැලිෆෝර්නියා අධිකරණයේ පවරා තිබුණු නඩුවේ ලේඛන වලද ඔහුගේ තනතුර සඳහන් කර තිබෙන්නේ ආරක්ෂක ලේකම් ලෙසයි. */

    ඒකම ඇති නඩුව විසි වෙන්න. වැරදි තොරතුරු නිසා!

    ReplyDelete
  4. ගොඩාක් නඩු සාමාන්‍ය ජනතාවට නොතේරෙන නීතිමය කරුණු නිසා තමයි විසිවෙන්නේ.... විභාගයට නොගැනෙන්නේ.... මට පෙනෙන්නේ රටක පුරවැසියන් සේරටමත් නීති විභාගය අනිවාර්ය කරන්න වෙයි වගේ!

    ReplyDelete
  5. 2012 කාන්තා දිනයට සමගාමීව ගබ්සාව නීත්‍යානුකූල කරන්න වෑයමක් තිබුනා.
    කතෝලික පල්ලිය එයට විරුද්ධව සාධනීය විරෝධතාවක් ගෙනිච්චා.
    මයිත්‍රීපාල ඒ කාලේ සෞඛ්‍ය ඇමති එයත් දෙකටම නැති කතාවක් කිව්වා.

    මම මේක මතක්කලේ සිංහල ජාතික ව්‍යාපාරය පුද්ගලයෙක් මත රැඳීම අවදානම්.

    මේපාර ඝෝඨට චන්දේ දාමු
    ඊලඟ මහමැතිවරනෙදි සිංහල බෞද්ධ අභිලාශයන් නියෝජනයවන, සිංහල බෞද්ධයන්ගේ අභිමානය රැකෙන මන්ත්‍රීවරුන්ව පත්කරගන්න.

    දේශපාලඥයන්ගේ ආර්ථාක කතා ගනන් ගන්න එපා.
    ඔ්නෑම ජාතිද්‍රෝහියෙකුගේ අවසාන නවාතැන ආර්ථික සමෘදියයි.

    ReplyDelete
  6. කොහොමත් අද කාලෙ එල්එල්බී එකක් නැතුව දෙයියනේ කියල නිදහසේ ජීවත් වෙන්න අමාරුයි...

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: