වෙබ් ලිපිනය:

Saturday, May 29, 2021

ධනවාදී පරමාදර්ශය සහ දෘශ්‍යමාන ලෝකය

මම හිතන්නේ මේ වෙද්දී ධනවාදී පරමාදර්ශය කුමක්ද කියන එක ලිපි ගණනාවකින් ඉතා පැහැදිලිව විස්තර කර අවසන් කරලා තිබෙනවා. ඒ වගේම සමාජවාදී විකල්පය ඊට වඩා පසුගාමී වන්නේ ඇයි කියන එකත් පැහැදිලි කරලා තිබෙනවා. අප සමඟ දිගටම සාකච්ඡාවක රැඳී සිටි පාඨකයෙකු විසින් පෙර ලිපියකට ප්‍රතිචාර ලෙස අහපු වැදගත් ප්‍රශ්නයක් වුනේ මේ කියන දේවල් ඔය විදිහටම සැබෑ ලෝකයේ සිදු වෙනවද කියන එකයි. ඒ ප්‍රශ්නයට මම ඒ වෙලාවේ කෙටි පිළිතුරක් දුන්නා. එහෙත්, මේ ප්‍රශ්නය විස්තරාත්මක පිළිතුරක් අවශ්‍ය ප්‍රශ්නයක්.

ඉතා පැහැදිලිවම ධනවාදී පරමාදර්ශය සහ දෘශ්‍යමාන ලෝකය අතර සෑහෙන තරමක පරතරයක් තිබෙනවා. ඇත්තටම පුදුමය විය යුත්තේ එය එසේ නොවනවානම්. ධනවාදී පරමාදර්ශයත් මාක්ස්වාදය වගේම තවත් එක් වියුක්ත අදහසක් පමණයි. වියුක්ත ආකෘති හා සැබෑ ලෝකය අතර පරතරයක් තිබීම සාමාන්‍ය දෙයක්. මා එම පෙර ප්‍රතිචාරයට පිළිතුරක් සේ ලියූ විදිහට, මට අනුව, මේ මොහොතේ දේශපාලනය විය යුත්තේ මේ පරතරය හැකි තරම් අවම කිරීමයි.

පරමාදර්ශී තත්ත්වයන් යටතේ වගේම ප්‍රායෝගික තත්ත්වයන් යටතේද ධනවාදයට විසඳුම් දිය නොහැකි, මාක්ස්වාදයට විසඳුම් දිය හැකි ප්‍රශ්න මොනවාද කියන එකට තවමත් කිසිවකු විසින් පිළිගත හැකි පිළිතුරක් ඉදිරිපත් කර නැහැ. යම් කිසිවකු විසින් එවැනි පිළිතුරක් ලබා දෙන තුරු අපි සමාජවාදය පැත්තකින් තියලා ධනවාදී පරමාදර්ශය ඔස්සේ ඉදිරියට යමු. 

සමාජවාදය හොඳ පිළිතුරක් නොවන බව පැහැදිලි වුවත්, ධනවාදී පරමාදර්ශය සහ දෘශ්‍යමාන ලෝකය අතර පරතරයක් ඇති විට එම පරතරය පියවෙන පිළිතුරක් අවශ්‍යයි. ධනවාදී පරමාදර්ශය අනුව, ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායිතාවය ප්‍රාග්ධන හිමියාටත් ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය ශ්‍රමිකයාටත් හිමි විය යුතුයි. මේ බෙදීම සාධාරණ වන්නේ ඇයි කියන එක මම විස්තර කරලා තියෙනවා. සැබෑ ප්‍රශ්නය තියෙන්නේ එයින් ඔබ්බටයි. මේ පරමාදර්ශී බෙදීම ඒ විදිහටම සිදු වන බවට තිබෙන සහතිකය කුමක්ද?

ලිපි ගණනාවකදී යොදාගත් කොබ්-ඩග්ලස් ආකෘතිය උපයෝගී කර ගැනීමේ අරමුණ වුනේ ආන්තික ඵලදායීතාවය කියන සංකල්පය පැහැදිලි කිරීම හා සමාජවාදී විකල්පය සමඟ සංසන්දය කිරීම පමණයි. එම ආකෘතිය නිෂ්පාදන ආකෘතියක් මිසක් නිෂ්පාදනය බෙදී යන ආකාරය විස්තර කරන ආකෘතියක් නෙමෙයි. ධනවාදී පරමාදර්ශය කුමක්ද කියා පැහැදිලි කරන නමුත් ඒ කරා යා හැකි යාන්ත්‍රනය එම ආකෘතියෙන් විස්තර කෙරෙන්නේ නැහැ. 

එහෙමනම්, ධනවාදී පරමාදර්ශය කරා යා හැකි යාන්ත්‍රනය කුමක්ද? මේ යාන්ත්‍රනය වෙළඳපොළ යාන්ත්‍රනයයි. "අන්දරේ සීනි කෑ හැටි" ලිපි මාලාවේ මුල් කොටස් වල ඉල්ලුම් සැපයුම් යාන්ත්‍රනය විස්තර කර තිබෙනවා. 

වෙළඳපොළ තර්කනය තේරුම් ගන්න අමාරු නැහැ. ශ්‍රමිකයෙකුට ලැබෙන වැටුප් හා ඇයගේ ආන්තික ඵලදායිතාවය අතර පරතරයක් ඇති හැම විටෙකම ඇයට තමන්ගේ රැකියාව මාරු කළ හැකියි. ඒ සඳහා ඕනෑ තරම් අවස්ථා තිබෙනවා. එහෙත් එවැනි පරතරයක් නැති විටෙක කොහේ ගියත් වැඩි වැටුපක් ලැබෙන්නේ නැහැ. මේ හැම විටම ශ්‍රමිකයෙකුට ලැබෙන වැටුප් හා ඇයගේ ආන්තික ඵලදායිතාවය අතර ගතික සමතුලිතතාවයක් නඩත්තු වෙනවා. 

මෙහිදී එක දෙයක් පැහැදිලි විය යුතුයි. මේ වැඩේ මේ විදිහට සිදු වෙන්නේ වෙළඳපොළ තරඟයක් තිබීම තුළ මිසක් වෙළඳපොළක් තිබීම තුළ නෙමෙයි. වෙළඳපොළෙහි තිබෙන්නේ ඒකාධිකාරයක්නම්, ප්‍රමාණවත් තරඟයක් නැත්නම්, මේ වැඩේ මේ විදිහට සිදු වෙන්නේ නැහැ.

මෙය පැහැදිලි කර ගැනීම සඳහා අපි නැවතත් පෙර ලිපියක් සමඟ ඉදිරිපත් කළ වගු දෙකක් කරා යමු.


උඩ වගුවෙන් පෙන්වන්නේ K හෝ/සහ L වෙනස් වෙද්දී Y වෙනස් වන ආකාරය. පහළ වගුවෙන් පෙන්වන්නේ මෙය මෙසේ සිදු වෙද්දී ශ්‍රමයේ හා ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය වෙනස් වන ආකාරය.

ආන්තික ඵලදායීතාවය කියන්නේ නිෂ්පාදන සාධකයක් එක් ඒකකයකින් වැඩි කළ විට නිෂ්පාදිතය ඉහළ යන ප්‍රමාණය බව අපි ඉගෙන ගත්තා. නමුත්, මේ ප්‍රකාශයේ අඩුවක් තිබෙනවා. ප්‍රශ්නයක් සේ එකවර නොතේරුණත්, මෙහි "එක් ඒකකයක්" කියා කියන්නේ කුමක්ද? 

අපි ප්‍රාග්ධනය ගනිමු. එක් ඒකකයක් කියා කියන්නේ ඇමරිකන් ඩොලරයක්ද? චීන යුවාන් එකක්ද? බංග්ලාදේශ ටාකා එකක්ද? නැත්නම් ශ්‍රී ලංකා රුපියලක්ද? ශ්‍රී ලංකා සතයක්ද? 

ශ්‍රමය ගත්තත් ඔය ප්‍රශ්නයම එනවා. එක් ඒකකයක් කියා කියන්නේ මාසයක ශ්‍රමයද? දවසක ශ්‍රමයද? පැයක ශ්‍රමයද? නැත්නම් මිනිත්තුවක ශ්‍රමයද? 

ගණිතයේ එන අවකලන සංකල්පය අනුව මේ ඒකකයේ ප්‍රමාණය ශුන්‍යය කරා ළඟා විය යුතුයි. ප්‍රාග්ධනය සතයක් ගත්තත්, ශ්‍රමය තප්පරයක් ගත්තත්, මේ ඒකක ශුන්‍යයට වඩා ගොඩක් ලොකුයි. මීට වඩා ගොඩක් කුඩා ඒකක ගැන වුවත් අපට වියුක්ත ලෙස සිතන්න පුළුවන්. නමුත්, එවැනි කුඩා ඒකක වලින් සැබෑ ලෝකයේදී ගනුදෙනු සිදු වන්නේ නැහැ. 

තමන්ගේ මාසික වැටුප සතයකින් වැඩි වෙන නිසා රැකියාව මාරු කරන කෙනෙක් ඉන්නවද? තමන්ගේ ප්‍රතිලාභ සතයකින් වැඩි වෙන නිසා ප්‍රාග්ධන ආයෝජන වෙනත් තැනකට ගෙන යන කෙනෙක් ඉන්නවද? කවුරුවත් එහෙම කරන්නේ නැහැ. 

මෙයට හේතුව ශ්‍රමය හෝ ප්‍රාග්ධනය පිරිවැයකින් තොරව "සුමට ලෙස" විතැන් කළ නොහැකි වීමයි. නිෂ්පාදන සාධක විතැන් කිරීමද පිරිවැයක් අවශ්‍ය වන කටයුත්තක්. සැබෑ ලෝකය සුමට නැහැ. එහි "ඝර්ෂණ" තිබෙනවා. ඒ නිසා, "පොඩි පාඩුවක්" වුනා කියලා කවුරුවත් එය ගණන් ගන්නේ නැහැ. 

මේ හේතුව නිසා ශ්‍රමිකයෙකුට ඇත්තටම ලැබෙන වැටුප ඇයගේ ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවයට වඩා ටිකක් අඩු වෙන්න පුළුවන්. හැබැයි ඒ වගේම එහි අනෙක් පැත්ත වෙන්නත් පුළුවන්. ශ්‍රමිකයෙකුගේ ආන්තික ඵලදායීතාවය ඇයට ගෙවිය යුතු වැටුපට වඩා පොඩ්ඩක් අඩු වුනා කියලා සමාගමක් ඇයව එකවරම ඉවත් කරන්නේ නැහැ. මොකද එහෙම කරලා අලුත් ශ්‍රමිකයෙක්ව අලුතින් බඳවා ගන්න එකත් පිරිවැයක් අවශ්‍ය කටයුත්තක්. ඒ නිසා, ඝර්ෂණ තිබීම සාමාන්‍යයක් ලෙස ගත් විට ශ්‍රමයේ හෝ ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභ එලෙසම ලැබෙන එක වළක්වන්නේ නැහැ.

කෙසේ වුවත්, ශ්‍රම වෙළඳපොළේ හා ප්‍රාග්ධන වෙළඳපොළේ මෙවැනි ඝර්ෂණ වල අසමමිතියක් ඇත්නම් ඉහත කී සාමාන්‍ය අගයයන් වුවත් විකෘති විය හැකියි. උදාහරණයක් විදිහට ශ්‍රමිකයන්ට වෙනත් ප්‍රායෝගික විකල්ප කිසිවක් නැහැ. එහෙත් ප්‍රාග්ධන හිමියාට එවැනි විකල්ප ඕනෑ තරමක් තිබෙනවා. ඒ වගේ තත්ත්වයක් යටතේදී සමස්තයක් ලෙස වුවත් ශ්‍රමිකයන්ට ඔවුන්ගේ ආන්තික ප්‍රතිලාභ හිමි නොවෙන්න පුළුවන්. කාල් මාක්ස් දුටු යුරෝපයේ තිබුණේ මෙවැනි තත්ත්වයක් කියා හිතන්න පුළුවන්. අදට වුවත් බොහෝ තැන් වලදී ශ්‍රමිකයන් මේ ප්‍රශ්නයට මුහුණ දෙනවා. මාක්ස්වාදය ගොඩ නැගෙන්නේ මේ ප්‍රශ්නයට පිළියමක් ලෙසයි. 

ඉහත වගු වෙත අපි නැවත අවධානය යොමු කරමු. පළමු වගුව ඇසුරෙන් අප විසින් දෙවන වගුව පිළියෙළ කළේ වරෙකදී නිෂ්පාදන සාධක වල එක් ඒකකයක් පමණක් වෙනස් වන්නේය යන පදනමින්. (K,L) = (10,10) සිට (K,L) = (10,9) කරා යද්දී Y ඒකක 6කින් අඩු වෙනවා. ඒ කියන්නේ එක් ශ්‍රම ඒකකයක් අඩු කළොත් නිෂ්පාදනය ඒකක 6කින් අඩු වෙනවා. ඒ නිසා, ශ්‍රමිකයෙක්ට වැටුප් සේ ඒකක 6ක් හිමි නොවෙනවානම් සහ ඇයට වෙනත් විකල්ප තිබෙනවානම් සමාගමට ඇගේ වැටුප් ලෙස ඒකක 6ක් දී ඇය වෙනත් තැනකට යන එක වලක්වා ගන්න සිදු වෙනවා. අනෙක් අතට ඇය ඊට වඩා වැඩි වැටුපක් ඉල්ලා සිටිනවානම් එය කළ නොහැකියි. ඇයට අස් වී යන්න ඉඩ අරින්න වෙනවා. පසුව ඒ වෙනුවට වෙනත් ශ්‍රමිකයෙක් හොයා ගන්න එක ගොඩක් අමාරු වැඩක් නෙමෙයි.

ප්‍රාග්ධනය සම්බන්ධ තත්ත්වයත් මෙවැන්නක්. (K,L) = (10,10) සිට (K,L) = (9,10) කරා යද්දී Y ඒකක 4කින් අඩු වෙනවා. ඒ නිසා, ප්‍රාග්ධන හිමියා විසින් ප්‍රාග්ධනයේ ප්‍රතිලාභ ලෙස ඒකක 4කට වඩා ඉල්ලා සිටිනවානම් ඔහුට තමන්ගේ ප්‍රාග්ධනය අරගෙන කැමති තැනකට යන්න ඉඩ දී වෙනත් ප්‍රාග්ධන හිමියෙක් හොයා ගන්න පුළුවන්. නමුත් එසේ කළ හැක්කේ වෙනත් ප්‍රාග්ධන හිමියන් ඕනෑ තරම් සිටින පසුබිමකදී පමණක් බවද පැහැදිලි විය යුතුයි.

ඉහත අවස්ථා වලදී අප විසින් උපකල්පනය කළේ ශ්‍රම ඒකක 10 අයිති ස්වාධීන හා එකිනෙකාගෙන් ස්වායත්ත ශ්‍රමිකයන් 10 දෙනෙකුට කියලයි. ඒ නිසා, වරකදී ශ්‍රමිකයන් දෙදෙනෙකු ඉවත්ව යන්න එතරම් ඉඩක් නැහැ. මේ අයුරින්ම, ප්‍රාග්ධනය සම්බන්ධව අපේ උපකල්පනය වුනේද ප්‍රාග්ධන ඒකක 10 අයිති ස්වාධීන හා එකිනෙකාගෙන් ස්වායත්ත ප්‍රාග්ධන හිමියන් 10 දෙනෙකුට කියලයි. ඒ නිසා, ප්‍රාග්ධන හිමියන් දෙදෙනෙකු එක් වර ඉවත්ව යන්න එතරම් ඉඩක් නැහැ. නමුත් සැබෑ ලෝකයේ තත්ත්වය බොහෝ විට මෙසේ නොවන බව අප අත්දැකීමෙන් දන්නවා.

අපි හිතමු ප්‍රාග්ධන ඒකක 10න් 9ක්ම අයිති එක් පුද්ගලයෙක්ට කියා. දැන් මේ පුද්ගලයාට එක වර තමන්ගේ ප්‍රාග්ධන ඒකක 9ම ඉවත් කර ගත හැකියි. අඩු වශයෙන් එසේ කරන බවට තර්ජනය කළ හැකියි. වගුවෙන් පෙනෙන පරිදි (K,L) = (10,10) සිට (K,L) = (1,10) කරා යද්දී Y ඒකක 60කින් අඩු වෙනවා. එවිට ශ්‍රම ඒකක 10 හා ඉතිරි ප්‍රාග්ධන ඒකකය වෙනුවෙන් ඉතිරි වන්නේ ඒකක 40ක නිෂ්පාදිතයක් පමණයි. ඒ නිසා, ප්‍රාග්ධනය ආකර්ශනය කර ගත හැකි වෙනත් විකල්පයක් නැත්නම්, ප්‍රාග්ධන හිමියාව රඳවා ගැනීම සඳහා ඔහුට ඒකක 60කට නොවැඩි ප්‍රතිලාභ ලබා ගන්න ඉඩ ඇරීමෙන් අනෙක් අයට පාඩුවක් වෙන්නේ නැහැ. 

මේ අවස්ථාවේදී වෙළඳපොළ යාන්ත්‍රනය තුළම ප්‍රාග්ධන ඒකක 10න් 9ක්ම අයිති පුද්ගලයාගේ ප්‍රතිලාභ ඒකක 40 සිට 60 දක්වා වැඩි විය හැකියි. එහිදී ශ්‍රමිකයන්ට ඔවුන්ගේ ආන්තික ප්‍රතිලාභ නොලැබී යන බව පැහැදිලියි. ශ්‍රමිකයන්ට වෙනත් විකල්පයක් නැත්නම්, ඔවුන්ට තමන්ගේ ශ්‍රමයේ ආන්තික ප්‍රතිලාභ වලට වඩා අඩු වැටුපකට සේවය සලසන්න සිදු වෙන්න පුළුවන්. මාක්ස්වාදය තුළ ශ්‍රමය සූරාකෑම සේ හඳුනා ගැනෙන්නේ මීට ආසන්න දෙයක්.

මෙහිදී එක දෙයක් පැහැදිලි විය යුතුයි. ඒ වෙළඳපොළ තරඟයට ඉඩ ලැබීම මත මිස වෙළඳපොළට ඉඩ ලැබීම මත ශ්‍රමිකයාගේ තත්ත්වය යහපත් නොවන බවයි. ධනවාදී පරමාදර්ශය විසින් යෝජනා කරන්නේ වෙළඳපොළ තරඟයට අවස්ථාව සැලසීම මිස වෙළඳපොළට අවස්ථාව සැලසීම නෙමෙයි. වෙළඳපොළට අවස්ථාව සැලසීම එහි අනිවාර්ය පූර්ව කොන්දේසියක් වුවත් එය අතරමැදි ඉලක්කයක් මිසක් පරමාදර්ශී තත්ත්වයක් නෙමෙයි. ලංකාව වැනි රටවල් විසින්ද වෙළඳපොළට ඉඩ දී ඇතත්, ඇමරිකාව වැනි රටකට සාපේක්ෂව ශ්‍රමිකයන්ගේ තත්ත්වය යහපත් නොවීමට හේතුව මේ වෙනසයි. 

ශ්‍රමයේ ආන්තික ප්‍රතිලාභ ශ්‍රමිකයාට නොලැබෙන තත්ත්වයන් යටතේ එම ප්‍රතිලාභ හිමි කර ගැනීමේ ක්‍රමයක් ලෙස මාක්ස්වාදී හා මාක්ස්වාදී නොවන සමාජවාදය තුළ යෝජනා වී තිබෙන ජනප්‍රිය විකල්පයක් වන්නේ ශ්‍රමිකයන් සංවිධානය වීමයි. වෘත්තීය සමිති හරහා සිදු වන්නේ මෙයයි. වෘත්තීය සමිතියක් තුළ ශ්‍රමිකයන් ඒකරාශී වූ විට සිදු වන්නේ කුමක්ද?

නැවත අපි ඉහත උදාහරණයටම එමු. ප්‍රාග්ධනයේ ඒකාධිකාරී බලය උපයෝගී කර ගනිමින් ප්‍රාග්ධනයේ කොටස ලෙස 40ක් නොව 60ක් ලබා ගන්නේයැයි අපි සිතමු. මෙයට ප්‍රතිරෝධය දක්වමින් ශ්‍රමිකයින් සංවිධානය වී ශ්‍රම ඒකක 9ක් එකවර ඉවත් කර ගන්නා බවට තර්ජනය කළේයැයි සිතමු. වගුවෙන් පෙනෙන පරිදි (K,L) = (10,10) සිට (K,L) = (10,1) කරා යද්දී Y ඒකක 75කින් අඩු වෙනවා. එවිට ප්‍රාග්ධන ඒකක 10 හා ඉතිරි ශ්‍රම ඒකකය වෙනුවෙන් ඉතිරි වන්නේ ඒකක 25ක නිෂ්පාදිතයක් පමණයි. ඒ කියන්නේ ප්‍රාග්ධන හිමියාට තමන්ගේ ප්‍රතිලාභ ලෙස ඒකක 25ක් වුවත් භාර ගන්න සිදු වෙනවා. මෙය ඔහුගේ ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභ සේ ලැබිය යුතු ඒකක 40ටත් වඩා අඩුයි.

මාක්ස්වාදයේ අවසාන ඉලක්කය ශ්‍රමිකයන් සංවිධානය වී රාජ්‍ය බලය ලබා ගැනීම හරහා ප්‍රාග්ධනය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ නැත්තටම නැති කිරීමයි. මෙය අසාර්ථක ඉලක්කයක් බව මා පැහැදිලි කර අවසන්. එහෙත්, ප්‍රාග්ධනයේ ඒකාධිකාර හමුවේ ශ්‍රමය වෙනුවෙන් එහි ආන්තික ප්‍රතිලාභ ලබා ගැනීම වෙනුවෙන් ශ්‍රමිකයින් සංවිධානය වීම අසාර්ථක දෙයක් බව එයින් අදහස් වන්නේ නැහැ.

කෙසේ වුවත්, මේ අයුරින් ශ්‍රමිකයින් සංවිධානය වී තමන්ගේ ශ්‍රමයේ ආන්තික ප්‍රතිලාභ ලබා ගැනීම කෙටිකාලීන අතරමැදි විසඳුමක් මිසක් ස්ථිර විසඳුමක් නෙමෙයි. ඒ ඇයි?

මෙහිදී ප්‍රතිඵලය තීරණය වන්නේ හෙට්ටු කිරීම් මත. හෙට්ටු කිරීම් වල වාසි තීරණය වන්නේ සංවිධාන ශක්තිය මත. ශ්‍රමිකයින් සංවිධානය වූ තරමට ඔවුන්ට තමන්ගේ ශ්‍රමයේ ආන්තික ප්‍රතිලාභ ලබා ගැනීමේ හැකියාව වැඩි වනවා වගේම ඊට වඩා වැඩි ප්‍රතිලාභ ලබා ගැනීමේ අවස්ථාවද ලැබෙනවා. එහෙත්, මෙහි අනිවාර්ය ප්‍රතිඵලයක් ලෙස ප්‍රාග්ධන හිමියන්ද සංවිධානය වෙනවා. ප්‍රායෝගික තත්ත්වයන් යටතේ ශ්‍රමිකයන්ට වඩා ප්‍රාග්ධන හිමියන්ට සංවිධානය වෙන්න ලේසියි. 

ශ්‍රමිකයන් සංවිධානය වෙලා මොන තරම් දේවල් ලබා ගත්තත් ඒ දේවල් වැඩි කල් එලෙසම තියා ගන්න බැරි බව තේරුම් ගන්න ලංකාවෙන්ම වුනත් ඕනෑ තරම් උදාහරණ තිබෙනවා. ශ්‍රමිකයන්ගේ එකමුතු ඉතා ඉක්මණින් බිඳෙනවා. ප්‍රාග්ධන හිමියෝ නැවතත් තමන්ගේ කොටස ලබා ගන්නවා. මෙය දිගටම චක්‍රයක් ලෙස සිදු වෙනවා. වෘත්තීය සමිති නායකයින් බිලී බා ගැනීම වගේ දේවල් වෙන්නෙත් මේ වගේ පසුබිමක.

අතරමැදි විසඳුම් විදිහට ශ්‍රමිකයන්ට සංවිධානය වී වෘත්තීය ක්‍රියාමාර්ග ගත හැකි වුවත් ඒ මගින් ඔවුන්ගේ ප්‍රශ්නයට හේතු වී තිබෙන ආකෘතිමය ගැටළුව විසඳෙන්නේ නැහැ. මේ ප්‍රශ්නයට දිගුකාලීන විසඳුමක් ලෙස යෝජනා වූ මාක්ස්වාදී විකල්පයත්  ප්‍රායෝගිකව අසාර්ථක වෙලා තිබෙනවා. එහෙත් ධනවාදී විකල්පය එලෙසම අසාර්ථක වී නැහැ. ඇස් ඇර බැලුවොත් පැහැදිලිව පෙනෙන පරිදි ශ්‍රමිකයන්ගේ ජිවන තත්ත්වය වඩාත්ම යහපත්ව පවතින්නේ වඩාත්ම ධනවාදී රටවලයි. එම රටවල නිරන්තර ශ්‍රමික අරගල සිදු වන්නේද නැහැ.

හේගලියානු අර්ථයෙන් ගත්තොත් වෙළඳපොළ ක්‍රියාකාරීත්වය තුළ ප්‍රාග්ධන හිමියන් විසින් තමන්ගේ ලාබ වැඩි කරගන්න කරන උත්සාහය තුළම එම ලාබ අහෝසි වී යාමේ යාන්ත්‍රනයද තිබෙනවා. නමුත්, මෙය සිදුවන්නේ ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර ගැටුමෙන් නෙමෙයි. ප්‍රාග්ධන හිමියන් අතරම සිදුවන ගැටුමෙන්. ඒක ඉක්මණින් වෙන්නනම් එක් අදියරකදී ප්‍රාග්ධන හිමියන්ට ශ්‍රමය "සූරාකන්න" ඉඩ දෙන්න වෙනවා. එයට බාධා වන තරමට මේ ක්‍රියාවලිය සිදු වන එක මන්දගාමී වෙනවා. එක පැත්තකින් බැලුවොත් මෙය අවසන් යහපත වෙනුවෙන් "වියදම් අධික" සමාජවාදී විප්ලවයක මිල ගෙවීම වැනිම අදහසක්. 

19 comments:

  1. In my opinion USA and the western European nations are more democratic capitalists while China is a socialist capitalist which seems busy with building rich tycoons to fight back with their western counterparts these days instead of implementing socialism.

    In the perspective of developing countries, it is obvious that the USA comes in destroyes and kills, sets up maniac dictators, while China comes in builds streets, cities, power plants and infrastructure. This is the true fact but both implemented these different processes for their own benefit at the outset.

    We could say at least China are not invading those countries and paying them to set up their military bases.
    IMO it's good for African countries that's its not the US and it's allies that are offering help to destruct themselves.

    For Southern Asia, one example is Pakistan, which has been an American lap dog since its existence from 1947. But nobody could name a single infrastructure or any other socioeconomic development project which US help to build for Pakistan. Same applies for many other Asian countries and whole African continent. Even former USSR, the Soviet Union did better to both Africa and even SL as well. The only substantial thing SL got from US in the past 73 years was cheap wheat from US decades ago and the Prima wheat flour mill built by the profits from selling cheap wheat flour to make it popular in this non wheat diet country before to popularise alien wheat diet those days.

    On the other hand China is using the capitalist principals to develop underdeveloped nations, at least they are trying to let them developed and become future markets for growing Chinese industries. West including the US has done nothing but given aparthied, colonialism and ethnic infighting. The institutions like International Monetary Fund will give developing nations money, which is to be paid years and years, România was the only country that paid back these debts... And after they killed the Ceaușescu, sad isn't it?

    ReplyDelete
    Replies
    1. පොදුවේ ගත් කළ ඔබේ අදහස් සමග බොහෝ දුරට එකඟයි.

      නමුත් සංවර්ධනය වන රටවල් වශයෙන් අප විසින් අපේ ඉරණම තීරණය කළ යුතුයි. අප සිටින පිටිය ලෝක බලවතුන්ගේ ක්‍රීඩා භූමියක් බව ඉතාම පැහැදිලියි නමුත් අප පිච් එක හරියට රීඩ් කරල අවබෝධයෙන් සිටුවේශන් එක අනුව නිවැරදිව ඩිශිෂන් අරගෙන බැටර් අනුව ලයින් එක සහ ලෙන්ග්ත් එක තෝරාගන්න ඕන. ඒ සේරටම වඩා අපේ ස්කිල්ස් සහ ස්ට්රෙන්ත් හරියට අපි හොඳින්ම අවබෝධ කරගෙන ඒක strategically භාවිතා කරන්න ඕන. පිච් එක බිහේව් කරන විදිහ, හුළඟ හමන අත සහ වේගය, වාතයේ තෙත ගතිය සහ පන්දුව අලුත් ද පරණ ද පිටියේ කඩතොලු සහ අවුට්ෆීල්ඩ් එකේ ගලායන වේගය වගේ හැම දෙයක්ම කල්පනාවෙන් අරගෙන අපි හොඳින් කලින් වෙලාව අරන් සැලසුම් කරපු strategy එක එහෙමම තියාගෙන සිටුවේශන් එක අනුව ටැක්ටික්ස් ක්ෂණිකව තීරණය කර ක්‍රියාත්මක විය යුතුයි. මේ සඳහා අපට ස්මාට් ලෙස තීරණ ගන්න හැකියාව ඇති, ලෝකයේ සහ ලංකාවේ සිදුවන දේවල් ගැන හොඳින් තේරෙන සහ දැක්මක් ඇති දක්ෂ නායකයෙක් හෝ එබඳු කණ්ඩායමක් අවශ්‍යයි. ඒ කාලේ ජර්මනියේ හිටපු ඔට්ටෝ ෆොං බිස්මාර්ක් වැනි සුපර් ලෙස clever පොරවල් ලංකාව වගේ රටක නැති උනත් අපි අපට ඉන්න දක්ෂතම අයව යොදා ගෙන සියලු දේ තීරණය කරන්න ඕන.

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. ඔබේ මේ ලිපි පෙළ මා ඉතා ප්‍රිය කරන්නක්.

    මා ආර්ථික විද්‍යාව සාමාන්‍ය පෙළටවත් ඉගෙන ගත් අයෙක් නොවෙයි. එසේම මා සමාජවාදියෙක් හෝ ධනවාදියෙක් හෝ වත් නොවෙයි. මා දකින්නේ ඔය වාද දෙක අප ජාතියක් ලෙස වර්තමානයේ මුහුණ දෙන ප්‍රශ්න වලට "හේතු" ලෙසයි; ඒවා විසඳුම් ලෙස මා සිතන්නේ නෑ. ඔබේ මේ ලිපි පෙළින් මා ධනවාදය ගැන මගේ ඇති අල්පමාත්‍ර දැනුම වැඩි කර ගනිමින් සිටිනවාය කීවොත් එය මුසාවක් නොවෙයි.

    සමාජවාදීන් (නැතිනම් කොමියුනිස්ට්වාදීන්) ගේ ප්‍රලාපයක් වන ධනවාදය එහි උපරිමයට ගොස් කඩා වැටීමෙන් පසු අවසානයේ ධනපතියන් නැති (රාජ්‍යයවත් නැති) පූර්ණ සමාජවාදී සමාජයක් ගැන කතන්දරය මා මෙතෙක් සැළකුවේ විකාරයක් ලෙසයි. නමුත් ගිය වසරේ සිට අපේ ඇස් පනාපිට පෙනෙන්නට තිබෙන දේ වලින් ඒ විශ්වාසය දැන් දෙදරා යමින් තිබෙනවා. ඔබත්, පසුගිය ජනාදිපතිවරණයේදී බෛදාන මැති තුමාට සහය දැක්වීම සහ ලෝක ව්‍යාප්ත (බලහත්කාර !) එන්නත්කරන ව්‍යාපාරයට සහය දැක්වීම යන කාරණා දෙක හේතු කොටගෙන ඒ විප්ලවයේ කොටස් කාරයෙක් බවට පත් වී තිබෙන බව කිව යුතුයි.

    මගේ ප්‍රශ්නය, ඔබ ඒ ගැන සවිඥානික ද නැත්ද යන්නයි.

    ReplyDelete
    Replies
    1. පළමුව, මේ ලිපි පෙළ ගැන ඔබගේ තිබෙන උනන්දුව සම්බන්ධව සතුටුයි. ඇත්තටම කියනවානම් මේ ලිපි මාලාවට මා කිසි විටෙකත් ලොකු පාඨක ආකර්ශනයක් අපේක්ෂා කළේ නැහැ. ලිපි මාලාව ලියන්න පටන් ගත්තේම යම් තරමකින් අනාගතය ගැන හිතලා. පස්සේ කවදා හරි හදන්න ඉන්න පාත්තියක් වෙනුවෙන් වල් ගස් කැති ගානවා වගේ වැඩක් ලෙස හිතලයි පටන් ගත්තේ.

      පූර්ණ සමාජවාදී සමාජයක් ගැන කතන්දරය සම්බන්ධ ඔබේ විශ්වාසය මෑතකදී සිදු වූ දේ නිසා වෙනස් වුනේ කොහොමද කියන එක මට පැහැදිලි නැහැ. මේ සම්බන්ධව මගේ පෞද්ගලික අදහස එහෙම වෙන්න හෝ නොවෙන්න පුළුවන් කියන එකයි. මම කොහොමටත් අඥයවාදියෙක්. එහෙත් මේ සම්බන්ධව මගේ ස්ථාවරය සරල අඥයවාදී ස්ථාවරයකින් ඔබ්බට යන එකක්. මෙය මම සලකන්නේ නිශ්චිත අනාගතයක් සම්බන්ධව මේ මොහොතේ මගේ නොදැනුම සම්බන්ධ කරුණක් ලෙස නෙමෙයි. මම හිතන විදිහට අනාගතය කියා කියන දෙයම අවිනිශ්චිත දෙයක්. එය මේ මොහොතේ අප කරන කියන දේවල් මත වෙනස් වෙනවා කියා මම විශ්වාස කරනවා.

      මම පෞද්ගලිකව තීරණ ගන්නේ මට ලැබෙන වාසි සලකමිනුයි. මෙහි මම කියන දෙයට මම සැලකිල්ලක් දක්වන අනෙක් හැම දෙයක්මත් ඇතුළත්. ඇමරිකාවේ සිදු වූ දේශපාලනික වෙනස මට සාපේක්ෂව සාධනීය එකක් කියා මම හිතනවා. පැහැදිලිවම හැම දෙයක්ම හොඳ අතට හැරුණා කියා කියන්න බැහැ. නමුත් සමස්තයක් ලෙස සිදු වූ වෙනස ගැන මම පෞද්ගලිකව සතුටු වෙනවා.

      වත්මන් වසංගතයෙන් ගොඩ යාමට තිබෙන එකම විකල්පය එන්නත්කරණය බව ඉතාම පැහැදිලියි. පෞද්ගලික තීරණයක් ලෙස වගේම සාමූහික තීරණයක් ලෙසත් එන්නත්කරණය වෙනුවෙන් මම පෙනී සිටිනවා. එහෙත් එය හැම දෙනෙකුටම හොඳම පෞද්ගලික තීරණය නොවෙන්න පුළුවන්.

      "ඔබ ඒ ගැන සවිඥානික ද නැත්ද" කියන ප්‍රශ්නයට පිළිතුරු දෙනවාට වඩා ඔබට එය තේරුම් ගන්න ඉඩ ඇරීම වඩා සුදුසුයි කියා මම හිතනවා. ඉදිරියේදී මේ ලිපි පෙළ තුළ ඇමරිකානු හා ලෝක දේශපාලනය තරමක් දුරට කතා කරන්නයි හිතාගෙන ඉන්නේ. එවිට මේ ප්‍රශ්නයට පිළිතුර පැහැදිලි වෙයි කියා හිතනවා.

      Delete
    2. ඉකනෝගෙ වඩා සමබර පිලිතුරක් මෙතන තියනවා.

      Is This The End Of Capitalism?

      Delete
  4. ධනවාදයේ මොන පරමාදර්ශද? බල්ලෝ මරලා හරි සල්ලි හොයනවා ඇරෙන්න.

    ReplyDelete
    Replies
    1. සල්ලි නොගෙවන ස්වාමියෙකුගේ විධානයට යටත්ව බල්ලෝ මෙන්ම මිනිසුන්ද මරන ක්‍රමයක් ගැන පමණක් විශ්වාස කරන්නට පුරුදු වී සිටින අයෙකුට වෙනත් පරමාදර්ශයක් ගැන තේරුම් ගැනීම අසීරු විය හැකියි.

      Delete
    2. අප මතු කරන ඕනෑම සාධනීය කරුණක් වේවා, යම් දේශපාලන විවේචනයක් වේවා එයට එජාපය -ශ්‍රීලනිප-පොහොට්ටුවේ වහල් ගැත්තන්ට ඇති එකම පිළිතුර 88/89- පමණි. අන්න ඒ 88/89 කාලය තුල ඇත්තටම සිද්ධ වුයේ කුමක්ද යන්න හසරක් නොදත් මේ දෙකයි පණහේ හිඟන කැකිරන් විසින් තලු මරමින් පොරක් වීමට උත්සහ ගන්නා ආකාරයක් නිරන්තරයෙන් අප සියලු දෙනාම දැක ඇත. එයට පිළිතුරු සිය දහස් ගණනින් අප පක්ෂයේ සියලුම සාමාජිකයින් විසින් යම් යම් ප්‍රමාණයකින් ඉදිරිපත් කලද, දැඩි පුද්ගල වන්දනාවක යෙදෙන මේ රට කාලකන්නි යුගයකට ඇද දැමීමට වසර 73 ක් තිස්සේ දරදිය අදින දෝලාකරුවන්ට නෑසීම හා නොතේරීම අපට කිසිදු ගැටළුවක් නොවේ. එහෙත් මේ සත්‍යය වටහා ගැනීමට දැඩි පිපාසයෙන් සිටිනා සහෘද ජනයාට අප ආමන්ත්‍රණය කල යුතුය. එය අපේ පන්ති යුතුකමකි.

      88/89 අඳුරු පරිච්චේධය තුල මේ රටේ ජනයාට අඩු වැඩි වශයෙන් භීෂණයට ගොදුරු වීමට සිදු විය. ඒ පිලිබඳ අපට කිසිදු තර්කයක් නැත. වර්තමානයේ ජවිපෙට එරෙහිව කෝපයෙන් වියරු වැටි මඩ කප්පරකින් නැවීමට වෙර දරන පුංචි මල්ලිලාට එක දෙයක් වැරදි ඇත. එනම්, 88/89 භීෂණය නිර්මාණය වූ අයිතිහාසික පසුබිමයි. එය නුඹලාගේ වරදක් නොව , නුඹලාට දේශපාලනය උගන්වන සටකපට අවස්ථාවාදී දේශපාලුවන්ගේ වරදය. ජවිපෙ යනු 1971 දී දස දහස් ගණනින් සිය සාමාජිකත්වය මේ රටේ දුගී දුප්පත් ජනයාගේ සැබෑ අයිතීන් දිනාගැනීම උදෙසා, එම අයිතීන් යටපත් කර , අපව හෙබ්බත් කල පාලකයන්ට එරෙහිව හිස් මිටින් හෝ පහර දීමට පෙරමුණට ආ වීරෝධාර මිනිසුන්ගෙන් යුත් දේශපාලන ධාරාවකි. එය පොඩි පට්ටම් කරමින් දහස් ගණනින් අමු අමුවේ මරාදමා ඔවුන් නැවතත් සුපුරුදු ලෙස මේ රට මංකොල්ල කමින් තම තමන්ගේ පවුල් තරකරගනිමින් බලය වලව් තුලට කේන්ද්‍රගත කළේය. එකී මහා සංහාරයෙන් පසුව නැවතත් දලුලා වැඩෙන විසල් රුක්ෂයක් සේ අප පක්ෂය සුපුරුදු ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට අවතීර්ණ විය. 1982 දී පැවති ජනාධිපතිවරණයෙන් සියලු වමේ පක්ෂ අභිබවමින් පෙරට ඒමට සමත් විය. 1982 ජනපතිවරණයත් සමගම ශ්‍රීලනිප අකර්මනය වූ අතර , ජනපීඩක ද්‍රෝහී මිනීමරු ජයවර්ධන ආණ්ඩුවට ඇති නොම්මර එකේ අභියෝගය බවට ජවිපෙ නිතැතින්ම පත් විය. 1982 අගභාගයේ පැවති මේ රටේ චන්ද ක්‍රමය හකුලා දමන ප්‍රෝඩාකාරී ජනමතවිචාරණය අමු අමුවේම මේ රටේ සියලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උදුරාගත් හිතුවක්කාරී තීරණයක් විය. එම මැතිවරණය යනු එක්සත් ජාතික පක්ෂයේ පාතාල මිනීමරුවන් සහ හම්බන්තොට රාජපක්ෂ වැනි විපක්ෂයේ චන්ඩින් ගේ කෙළිබිමක් විය. චන්ද පෙට්ටි පිරි ගියේ චන්ද පත්‍රිකා මිටි ගණනින් ඔබමිනි. තුවක්කුවට, බයිසිකල් චේන් එකට ,ඩප්පියට එදා මුල් තැන හිමි විය. එසේ භීෂණය වපුරවමින් දියත් කල ජනමත විචාරණයට එරෙහිව ජේ. ආර්. සමග දේශපාලන වශයෙන් මුහුණට මුහුන හැප්පීමට ජවිපෙ පමණක් මේ රටේ දේශපාලන ප්‍රවාහය තුල ඉතිරි විය. ශ්‍රීලනිපය බියෙන් වලව් තුලට රිංගා තම තමන්ගේ වැඩක් බලාගෙන දැහැමෙන් සෙමෙන් කල් ගත කළේය. රෝහණ විජේවීර සහෝදරයා ජේ.ආර්. ලැබූ අනීතික ජයග්‍රහණය නිශ්ප්‍රභාකරන ලෙස ඉල්ලා මේ රටේ අභියාචනාධිකරණය ඉදිරියේ නඩු පවරන ලදී. එම නඩුව ජවිපෙට වාසි වන ලෙස අවසන් තීන්දුව ගොඩ නැගෙන සමයේදී, එජාපය විසින් සකල විධ කුමන්ත්‍රණ මර උගුල් ජවිපෙට එරෙහිව අටවන්නට විය. ජවිපෙ 1983 අතිශය සාර්ථක මැයි රැලියත් සමග ජේ.ආර්. ප්‍රමුඛ එජාප ජනතා ද්‍රෝහී පාලනයේ වියරුව අග්නි ජාලාවක් බවට පත් විය. අවි අතහැර ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයේ නියැලෙන ජවිපෙට වෙඩි තබා මරා දැමීමට ප්‍රසිද්ධියේ නොහැකි වු ජේ.ආර්. පාලනය, පක්ෂය සමුලඝාතනය කිරීමට අටවන ලද්දේ ඉතා දියාරු උපක්‍රමයකි. 1983 ජුලි මසදී මේ රටේ අහිංසක නිරායුධ දමිල ජනයා සතු දේපල මංකොල්ල කා දහස් ගණනින් මිනිසුන් පුළුස්සා මරා දමමින් එජාප මැරයෝ කොළඹ පිස්සු බල්ලන් සේ හැසිරුනි. එම අවිචාරවත් සති කිහිපය කළු ජුලිය ලෙස ඉතිහාසයේ කළුම කළු අකුරුනි ලිය වුනි. මේ අමානුෂික සිදුවීම පිටුපස, ආර්, ප්‍රේමදාස, සිරිල් මැතිව් ඇතුළු බොහෝ එජාප කෙරුම්කාරයන් සහ විපක්ෂයේ රාජපක්ෂ මැරයා සිටියේය. එම සිදුවීම් පාදක කොටගෙන ජවිපෙ එතෙක් ආ සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී ගමන් මගෙන් කැලෑවට ඇද දැමුවේය.

      Delete
    3. සිදුවීම් සිදුවන්නේ එම කාලකන්නි පරිච්චේධය 1984 ආරම්භයත් සමගය. ජවිපෙ තහනම ඉවත් කරනු යැයි ඉල්ලා පෝස්ටර් ඇලවූ සාමාජිකයා ගේ සිට සියලු පක්ෂ සාමාජිකයින් දක්වා දඩයම ආරම්භ කළේය. එජාපය විසින් ජවිපෙ ක්‍රියාකාරීන් මරා දැමීම ආරම්භ කරනු ලබන්නේ 1984 සිටය. එවන් මර්ධනීය සමයක නිර්ධන පන්තියට වගකිව යුතු පක්ෂයක් ලෙස අපට ජනතාව අතහැර පලා යා නොහැක. කෙසේ හෝ මේ බිම මත දේශපාලනයේ නියැලීමට අපට බල කරන ලදී. ඉතා අසීරුවෙන්, මරණ වරෙන්තුව අතේ තබාගෙන, පක්ෂ නායකත්වයේ හිසට රුපියල් කෝටි ගණනින් ලන්සු තබන යුගයක පක්ෂය දේශපාලනයේ පමණක් නිමග්න විය. ඉන් පසුව 1987 දී මේ රටට උදාවන්නේ පර සතුරු ආක්‍රමණයකි. ඉතිහාසයේ විරුවන් පරංගි, ලන්දේසින්, ඉංග්‍රීසින්ට එරෙහිව අවි අමෝරාගෙන සටන් වැදුණු ඉතිහාසයේ නුතන පරපුර වශයෙන් ජවිපෙ එකී ඇති දුෂ්කර වූ වගකීම තම දෙවුරට ගන්නා ලදී. මව්බිම ආක්‍රමනයක මුවදොරේ සිටින විට මුනිවත රකින්නේ කවර නම් දේශප්‍රේමීන්ද? ජවිපෙ පන දෙවෙනි කොට මේ පින්බිම සුරැකීමට ජීවිත මුදාහරින විට, එකී උත්තුංග පරමාර්ථයන්ගෙන් පිරි විමුක්ති අරගලය මොට කිරීමට මේ රටේ දුෂ්ඨ බලවේග එකාමෙන් සිට ගත්තේය. එජාපය සමග මේ රටේ පැරණි වමේ යැයි කියාගන්නා අවස්ථාවාදීන් සහ නිදහස් පක්ෂයේ රාජපක්ෂලා එකම කල්ලියක් බවට පත් විය. එජාපයෙන් එකී කල්ලි කණ්ඩායම් වලට අවි ආයුධ මෙන්ම සියලු පහසුකම් සපයන ලද්දේ ජවිපෙ සමුලඝාතනය කිරීමටය. 1987 අගභාගය වන විට ප්‍රා කල්ලිය බිහිවන්නේ වමේ පක්ෂ වලිනි. ඔවුන්ට සියලු අවි පුහුණුව උතුරේ බෙදුම්වාදී ප්ලොට් සංවිධානය, ඊරෝස් සංවිධානය විසින් ලබා දුන් අතර දකුණේදී ඔවුන් සන්නද්ධ කරන ලද්දේ එජාපය විසිනි. ඔවුන් සමග උරෙන් උර ගැටී ජවිපෙ සාමාජිකයා දෙතිස් වද දී මරාදමීට එජාපයද මිනීමරු කල්ලි කොළ කොටි, කහ බළල්ලු, වැනි විවිධ නම් වලින් යුත් මිනීමරු කල්ලි බිහි කළේය. මේ රටේ සෑම යුධ හමුදා කඳවුරක්ම, පොලිසියක්ම වධකාගාර බවට පත් කළේය. ගමේ සිටින ”සුනිල් පැරණි ජවිපෙ සාමාජිකයෙක් නම් , ඔහු අත්අඩංගුවට ගැනීම පිණිස සුනිල්ලා දුසුම් ගණනින් පහර ගෙන ගියේය. එසේ ගෙන ගිය කිසිවෙකු නැවත නිවෙස් කරා නොපැමිණියේය. අන්න ඒ ආකාරයෙන් පැහැරගත් දස දහස් ගණනක් අමු අමුවේ මරා දමා හැට දහසකගේ පමණ මිනි කඳු මේ රටේ ගොඩ ගසන ලදී. ඇත්ත වශයෙන්ම 60,000 ක් පමණ එදා ජවිපෙ සටන් පෙරමුණේ සිටියා නම් අද ඔබ ඔබ දකින මේ අමන දේශපාලුවන්ගෙන් මව්බිම බේරාගන්නේ 1989 දිය.

      අමානුෂික ලෙස පක්ෂ සාමාජිකත්වය පමණක් නොව මේ රටේ සාමාන්‍ය පුරවසියාද අමානුෂික ලෙස ඝාතනය කර දමනවිට , දේශප්‍රේමී අරගලය තුල සිටි මිනිසුන් ගින්දරට ගින්නෙන් පිළිතුරු සපයන ලදී. එම අරගලය තුල ජවිපෙ පමණක් නොව මේ රටට ආදරය කරන බොහෝ පිරිසක් දේශප්‍රේමී අරගලයට බද්ධ වී සිටියේය. එජාපය විසින් දියත් කරන ලද විවිධ කුමන්ත්‍රණ අසත්‍ය ප්‍රචාරයන් විසින් හමුදාවන් තුල ජවිපෙ කෙරෙහි වෛරය දල්වනු ලැබිය. ජවිපෙ සමුලඝාතනය කිරීමට ගත හැකි සියලු උත්සාහයන් එජාපය විසින් ගන්නා ලදී. එජාපයේ ප්‍රාදේශීය නායකයන්ගේ නිවෙස් තුල වධකාගාර ගොඩනැගුවේය. මේ රටේ සියලුම පාතාල කල්ලි එජාපය සමග මිනිස් දඩයමේ යෙදුනේය. 89 දී මේ රටේ උදාවන්නේ අසාමාන්‍ය වාතාවරණයකි. කෘර මර්ධනය ඉදිරියේ දෙපයින් සිටගත් මිනිසුන් අභීතව ද්‍රෝහී පාලනයට මෙන්ම එකී පාලනය රකිනා කේවට්ටයන්ට එරෙහිවද සටන් වැදුනේය. ජවිපෙ එදා සටන් වැදුනේ දෙකොන ගිනිලන විලක්කුවකට එරෙහිවය. එක අතකින් ඉන්දීය ආක්‍රමණිකයාය, අනෙක් පසෙකින් මේ රට ඉන්දියාව ඉදිරියේ දන ගැස්සු ජනපීඩක දුෂ්ඨ පාලනයට එරෙහිවය. එදා එජාපය අපේ පක්ෂය අසාධාරණ ලෙස තහනම් නොකලානම්, අපේ පාක්ෂිකයින් අමු අමුවේ ඝාතනය නොකලානම් 88/89 යුගයක් මේ රටේ බිහි වන්නේ කෙසේද? මෙන්න මේ තිත්ත ඇත්ත නුඹලාගේ කුඩා මොලගෙඩි බේගල් වලින් පුරවන ද්‍රෝහීන්ට කිසිදා පැහැදිලි කර දිය නොහැක. සත්‍ය යනු ලේ ගංගාවක ගිල්වා හෝ මරා දැමිය නොහැකි අයෝමය බලයකි. යම් අයෙකුට ජවිපෙ මේ රටේ චුත කිරීමට අවැසි නම්, මේ රටේ දැවෙන ජනතා ප්‍රශ්න වලට පිළිතුරු ගෙන එමෙන්ද, දුගී බවට මේ රට ඇද දැමු දේශපාලනයට තිත තැබීමෙන්ද, මේ රට අවුරුදු 71 ක් කොල්ල කෑ ජඩ දෙස්පාලුවන්ගෙන් මේ රට ගලවා දීමෙන්ද පිළිතුරු ගෙන ආ හැක. එතෙක් ජවිපෙ පරාජය කිරීමේ සිහිනයේ නුඹලාට රජවිය හැක.

      අනුර සහෝදරයගේ මේ කතාවත් බලන්න.

      https://m.facebook.com/story.php?story_fbid=116415376678707&id=100049307344146

      කියවිය යුතුම ලිපියකි.

      ජේ.ආර් විසින් සිදු කරන ලද කලු ජූලි කුමන්ත්‍රණය තුළින් ජවිපෙ තහනම් කිරීමෙන්න් පසු රෝහණ විජේවීර සහෝදරයා විසින් වසර තුනක පමණ කාලයක් ජාත්‍යන්තරය වෙත සහ ජේ.ආර් වෙත ලිපි ලියන ලද්දේ පක්ෂ තහනම ඉවත්කර ගැනීම වෙනුවෙනි. එසේ ජේ.ආර් වෙත ලියන ලද ලිපියක් පහතින් දක්වා ඇත,

      Delete
    4. රෝහණ විජේවීර
      ශ්‍රී ලංකාව
      1983 ඔක්තෝබර් 8 වන දා
      ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපතිතුමා
      ජනාධිපති මන්දිරය
      කොළඹ 01

      අතිගරු ජනාධිපතිවරයා විසින් හදිසි තත්ත්වයක් යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම වාමාංශික පක්ෂය තහනම් කිරීම සම්බන්ධව.

      ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ කාලීන සාමාජිකයන් සහ අනුගාමිකයන් අන්නතෝමතික ලෙස අත්අඩංගුවට ගෙන නීතිවිරෝධී ලෙස රඳවා සිටීම සම්බන්ධව.

      හදිසි තත්ත්වයක් යටතේ ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර, ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන මණ්ඩලයේ සාමාජිකත්වය දරන උපතිස්ස ගමනායක සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රමුඛ පෙෙළ් දේශපාලකයෙකු වන සෝමවංශ අමරසිංහ යන පිරිස අත්අඩංගුවට ගෙන රඳවා තැබීමට කළ නියෝගය පිළිබඳව.

      ජවිප නායක රෝහණ විජේවීර ඝාතනය කිරීමට නියෝග කිරීම සහ පොලිස් සහ හමුදා නිලධාරීන් විසින් ඔහු ඝාතනය කිරීමට තැත් කිරීම පිළිබඳව

      ජනතා විමුක්ති පෙරමුණ වෙත කෙරෙන අභූත චෝදනා, දේශපාලන මඩ ගැසීම්, සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධව

      ගරු ජනාධිපතිතුමනි,

      ශ්‍රී ලංකාවේ වාමාංශික දේශපාලනයේ ප්‍රමුඛතම දේශපාලන පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණේ නායක සහ 1982 ඔක්තෝබර් පැවති ජනාධිපතිවරණයේ ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අපේක්ෂක වන රෝහණ විජේවීර වන මා විසින් ප්‍රජාතන්ත්‍රවාදය මානව අයිතිවාසිකම්, ස්වභාවික යුක්තිය, සාධාරණත්වය සහ සත්‍යයේ නාමයෙන් පහත සඳහන් කරුණු වෙත ඔබගේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි.

      ජනතා විමුක්ති පෙරමුණ ප්‍රජාතාන්ත්‍රික දේශපාලන පක්ෂයකි. එය විද්‍යාත්මක සමාජවාදය මත පදනම් වන විප්ලවවාදී දේශපාලන වැඩසටහනකට අනුකූලව කටයුතු කෙරේ. ජවිපෙ අවශ්‍යතාව වන්නේ දැන් පවතින ධනවාදී නිෂ්පාදන සහ බෙදීයාම සහ සමාජ ආර්ථික ක්‍රමය, තෝරාගත් නිෂ්පාදන ක්‍රමයක් සහිත සමාජ ආර්ථික ක්‍රමයකට, ජනතා වරමක් සහිතව වෙනස් කිරීමයි. ජනතා පරමාධිපත්‍යයට එරෙහි වන කිසිදු කටයුත්තක් ජවිපෙ මඟින් සිදු නොකරයි. පොදු ජනතාවගේ බහුතරයක් ස්ව කැමැත්තෙන් ජවිපෙ සමාජවාදී වැඩසටහන අපේක්ෂා නොකරන තාක් මෙම පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී විපක්ෂයේ කටයුතු කරනු ඇත. ජනතා පරමාධිපත්‍යයේ නාමයෙන් පත් කරන ලද ආණ්ඩුවක්, රටේ සුළුතරයක් ජනතාවගේ බලය භාවිතා කර, ජවිපෙ මඟින් පෙරලීමේ අපේක්ෂා කිරීමක්, අවශ්‍යතාවයක්, සැලැස්මක්, හෝ හැකියාවක් නොමැත. ජවිපෙ කුමන්ත්‍රණකාරී සංවිධානයක් නොවේ. එමඟින් ප්‍රචණ්ඩත්වය ප්‍රචාරය කරන්නේ නැත. අතිගරු ජනාධිපතිවරයා බලයේ සිටී පසුගිය වසර 6ක කාලය තුළ පැවති සෑම මැතිවරණයකටම පාහේ ජනතා විමුක්ති පෙරමුණ සහභාගී වී ඇත. 1981 පැවති මැතිවරණයෙන් එම පක්ෂය දිස්ත්‍රික්ක 6 ක ආසන 15ක් තනිව ජයග්‍රහණය කිරීමට සමත් විය. 1982 වසරේ දී ජවිපෙ මධ්‍යම කාරක සභාවේ සහ දේශපාලන මණ්ඩලයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයන්ගෙන් දක්වනු ලැබුවේ ද මෙම පක්ෂය සාමාන්‍ය මැතිවරණයක දී ප්‍රජාතාන්ත්‍රික ක්‍රමය, ප්‍රාජාතන්ත්‍රවාදී ආයතන සහ ප්‍රජාතන්ත්‍රවාදී ජීවන රාටවක් ඇති කිරීමෙහි ලා ඇති කැමැත්තයි.

      ජවිපෙ සිංහල වේවා, දමිල වේවා, කිසිදු ජාතිවාදී හංවඩු ගැසීම් වලට විරුද්ධය. ජාතිවාදය යනු ජාතික සහ සමාජීය දියුණුවට ඇති ප්‍රධානතම බාධාවක් බව එහි අදහසයි. එම නිසා ජවිපෙ ඕනෑම ජාතිවාදී ප්‍රචණ්ඩත්වයකට කොන්දේසි විරහිතව විරුද්ධ වන බවට සහතික වේ. ජනරජයේ සෑම පුරවැසියෙකුටම සහ සෑම ජාතියකටම සමාන අයිතීන් ලබාදීම ජවිපෙ ප්‍රතිපත්තියයි. වාර්ගික සීමාවකට ලක් කර රට දෙකඩ කිරීමට ජවිපෙ එරෙහි වන්නේ එය ජාතික ප්‍රශ්නයට විසඳුමක් නොවන හෙයිනි. විද්‍යාත්මක සමාජවාදී වැඩසටහනක් ඇති මෙම පක්ෂය ප්‍රජාතාන්ත්‍රිකව මධ්‍යගත රාජ්‍යයක් සඳහා කටයුතු කරනු ලැබේ. එනම් ජාතික හෝ වෙනයම් වෙනසකට යටත් නොවී සෑම පුරවැසියෙකුටම එක සමාන ලෙස අයිතීන් ඇති ඒකීය රාජ්‍යයක් නිර්මාණය කිරීමයි.

      ජූලි මාසයේ සිදු වූ නින්දිත ක්‍රියා වලට ජවිපෙ කිසිදු සම්බන්ධයක් නැති අතර එය අප විසින් පිළිකුලෙන් යුතුව තරයේ හෙළා දකිමු. 1983 ජූලි මාසයේ සිදුවුණු අවාසනාවන්ත සිදුවීම් වලට ජවිපෙ සම්බන්ධයක් නොමැති බව අපරාධ විමර්ශන අංශයේ සොයාගැනීම් වලින් තහවුරු වී ඇත.

      ....

      Delete
    5. ජවිපෙ වෙනම රාජ්‍යයක් සඳහා කටයුතු කරන්නේ නැත. ජවිපෙ මෙම රට බෙදීමට විරුද්ධ අතර ප්‍රචණ්ඩක්‍රියා වලට ද විරුද්ධය. එය රජය සමඟ සටන් කිරීමට දේශයෙන් පිට භූමි වල හමුදා පුහුණුව ලබා දී නැත. ජවිපෙ නායකයින් වෙනත් රටවල සැඟවී සිට නැත. එහෙත් ජනතා පෙරමුණ හදිසි තත්ත්වයක් යටතේ තහනම් කර තිබේ. එහි නායකයින් රඳවාගෙන හෝ දඩයම් කරමින් සිටී. මා ජවිපෙ නායකයා වශයෙන් අසල්වැසි රට වෙත නීතිවිරෝධීව ගොස් සිටියේ නැත. එහෙත් මා ඝාතනය කිරීමට උප පරීක්ෂක වරුන් වන රන්ජිත් මලිගස්පේ මහතා, මතුරට මහතා සහ කරුණාදාස මහතා ආදීන්ට අනුව රහස් නියෝග නිකුත් කෙරී ඇත.

      අහිංසක මිනිසුන් රඳවාගෙන ඝාතනය කර ඇත. මිනිස් දඩයම් බවට පත් කරගෙන හෝ ජීවිතය සඳහා සටන් කිරීමට සිදුවන තත්ත්වයට පත්කර ඇත. ඔවුන්ගේ බිරියන් ද දරුවන්ද, ඥාතීන් සහ සමීපතමයන්ට කිව නොහැකි අපහසුතා විඳින්නට කටයුතු කර ඇත. එහෙත් මෙම අපරාධ සැබවින්ම සිදුකළවුන්ට මේ කිසිදු දඬුවමක් ලබා දී නැත. ඔවුන්ට සාකච්ඡා සඳහා වට මේස වලට ද, රැස්වීම් වලට ද, ආරාධනා කර තිබේ. රජයේ නියෝජිතයන් ඔවුන් හමුවීමට වෙනත් රටවල් වලට යාමට තරම් කාර්ය බහුලය. අන් රටවල රාජ්‍යයන් සහ රාජ්‍ය දූතයින් මැදිහත්කරුවන් ලෙස යොදාගෙන ඔවුන් සමඟ සාකච්ඡා කර තිබේ. අවංක ලෙස මට අසන්නට ඇත්තේ මෙරටේ ඇතිවෙන්නට යන රාජ්‍ය ක්‍රමය මෙය ද යන්නයි?

      6. ජවිපෙ මර්දනය සහ එහි නායකයින්, සාමාජිකයින් සහ අනුගාමිකයින් රඳවා ගනිමින්, මා සහ උපතිස්ස සහෝදරයා ඝාතනය කරන්නට ආරක්ෂක නිලධාරීන් පිරිසකට රජයෙන් හෝ වෙනත් පාර්ශ්වයකින් නියෝග ලබා දීම ජාතියේ අවශ්‍යතාවයන්ට නොගැලපේ. මෙම ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ ජවිපෙ පිළිබඳ රජයට ලබා දී තිබෙන වැරදි තොරතුරු නිසාවෙන් බව අපගේ විශ්වාසයයි. ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව ගොනු කර තිබෙන,
      පසුගිය දා ඇතිවුණු ජූලි ජාතිවාදී කෝලාහලයට ජවිපෙ සම්බන්ධ බව,
      යම් හමුදා කොටස් වලට රජය සමඟ විරසක වීමට පෙළඹවීම
      ජවිපෙ බොරු ප්‍රචාරයන් කිරීම
      ජවිපෙ පවතින රජය පෙරලීමට කටයුතු කරීම.
      ජවිපෙ රාජ්‍යය දෙකට බෙදීමට කැමති බවත්,
      උතුර සහ නැගෙනහිර පවතින ත්‍රස්තවාදී සංවිධාන සමඟ ජවිපෙ සම්බන්ධ බව
      1982 ජනාධිපතිවරණයට පසුව ජවිපෙ තම ප්‍රතිපත්ති වෙනස් කළ බවත්.
      යන අභූත චෝදනා මා විසින් ඉතා දැඩිලෙස පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කරනු ලැබේ.

      මේවා සියල්ලම ඉතාම නොවැදගත් මඩ ප්‍රචාර, පරිකල්පන, පරිසකසුම් සහ විකෘති කිරීම් මනුෂ්‍ය ජීවිතයට කිසිදු ගරුත්වයක් නොමැති ගරුත්වයක් හෝ අභිමානයක් නොමැති නිලධාරීන්ගේය. ඉතා පරිනත දේශපාලඥයින් ලෙස මෙවැනි දූෂිත ඔත්තු නිලධාරීන්ගේ බොරු වාර්තා වලට හසු නොවිය යුතු බව මා පැවසුවොත් අතිගරු ජනාධිපතිතුමාද මා හා එකඟ වන බව මගේ අදහසයි. මන්ද යත් එවැනි දෙයක් වුවහොත් එය දේශයේ මළගම බවට පත් වන නිසාවෙනි.

      අවසන් වශයෙන් මා ඉතා වගකීමෙන් පවසා සිටින්නේ ජවිපෙ කිසිසේත්ම වෙනත් රටක් සමඟ රහස් සම්බන්ධතා ඇතිකරගෙන නොමැති බවයි. මෙම පක්ෂය වෙනත් රටක ඇති කිසිදු පක්ෂයකින් මූල්‍යමය ආධාර හෝ වෙනත් සහයක් ලබාගෙන නොමැත. මෙම විශාල ජාතික ව්‍යසනය වලකනු වස්, රටේ සාමාන්‍ය එදිනෙදා ජීවිතය නැවත ඇතිකරනු වස්, මෙම ජනරජයේ ප්‍රජාතාන්ත්‍රික බව තව දුරටත් පවත්වාගෙන යනු වස්, මෙම තීරණාත්මක පැයේ දී මා විසින් අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන, වහාම ක්‍රියාත්මක වන පරිදි ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව ගෙන ඇති තහනම වහාම අත්හිටුවා, සියලුම දේශපාලන සිරකරුවන් නිදහස් කර, මා ද ජවිපෙ අනෙකුත් නායකයින් අත්අඩංගුවට ගැනීමට කර ඇති නියෝගය නවත්වන ලෙසත්, මා ඝාතනය කිරීමට රජය විසින් හෝ රජයට අනුබද්ධිත වෙනත් පාර්ශවයකින් නිකුත් කර ඇති යම් රහස් නියෝගක් වේ නම් එය ද අත්හිටුවන ලෙසයි.
      මේ ජාතික සමාදානය ඇති කිරීමට ඇති එකම මාර්ගයයි. මේ ප්‍රජාතන්ත්‍රවාදය සහ යුක්තිය සඳහා ඇති එකම මාර්ගයයි.

      ස්තූතියි,
      ඔබගේ විශ්වාසී,
      රෝහණ විජේවීර
      ජනතා විමුක්ති පෙරමුණු නායක

      Delete
    6. ජවිපෙ එදා මෙදා තුර රට වෙනුවෙන් කල සේවයෙන් බිදක්…

      ජවිපේ ආණ්ඩු කල මාස 14 ඇතුලත අනුර දිසානායක කෘෂිකර්ම ඇමති ලෙස එම ක්ෂේත්‍රයට සිදු කල සේවාව.

      https://m.facebook.com/story.php?story_fbid=1585741761687997&id=1525159314412909

      ජවිපෙ විජිත හේරත් හා සමන්ත විද්‍යා රත්න සංස්කෘතික අමාත්‍යංශය භාරව සිටියදී සීගිරිය සංරක්ෂණය කල අයුරු.

      https://m.facebook.com/story.php?story_fbid=2230103163893242&id=1521651471405085

      සුනාමි උවදුරෙන් පසු ප්‍රතිසංස්කරණ හා ඉදිකිරීම් කරයුතු වලදී ජවිපේ භුමිකාව.

      https://m.facebook.com/story.php?story_fbid=149762782350468&id=100019502404721

      ජවිපෙ කට විතරද…? වැඩක් කරලම නැද්ද….? මේ වීඩියෝ එක නිරීක්ෂණය කර බලන්න.

      https://m.facebook.com/story.php?story_fbid=1106651422848978&id=348964241951037

      රට බෙදීම වලක්වා, ඒකීය භාවය රැක ගැනීමට ජවිපෙ කල, කී දේ…

      https://m.facebook.com/story.php?story_fbid=2454787681413125&id=1691249977766903

      ජවිපෙට වසර 8 බලය හිමිවී තිබූ තිස්සමහාරාමය ප්‍රාදේශීය සභාව පිට පිට වසර ගණනාවක් ලංකාවෙ හොදම ප්‍රාදේශීය සභාව බවට පත් කලේ මෙහෙමයි.

      https://m.facebook.com/story.php?story_fbid=1571113619644586&id=574466252642666

      ජේ.ආර් ඉන්දියන් හමුදාව ගෙන්වා රට ෆෙඩරල් කිරීමේ ක්‍රියාවලිය විප්ලවීය ලෙස නතර කිරීම.
      එක් කල උතුරු නැගෙනහිර යලි වෙන් කිරිම.
      ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිරීම.
      නිල කොල හොර දේශපාලුවන්ගේ දූශිත ක්‍රියා රටට අනාවරණය කිරීම.

      අයුක්තියය අසාධාරණයට ලක් වන ඕනෑම පාර්ෂවයක් වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටීම.

      රට අහිතකර අන පනත් වලට එරෙහිව කටටුතු කිරීම.

      රටට ජනතාවට යහපතක් වන ඕනෑම අසථාවකදී පාලක පකෂයට සහයෝගය ලබා දීම.

      පාලක පක්ෂයේ රටට ජනතාවට අහිතර ක්‍රියාමාර්ගයන්ට එරෙහිව කටයුතු කිරීම.
      ජාති ආගම් භේදයකින් තොරව ලාංකිකයන් ලෙස සියල්ලන්ටම සම අයිතිවාසිකම් තහවුරු කර දීමට සටන් කිරීම.

      තම මන්ත්‍රි පැටුප පවා මහජන සේවයට කැප කරමින් රට දියුණු ක්‍රීරීමට ලැබී තිබෙන ශක්තියෙන් උපරිම කටයුතු කිරීම.

      රතු තරුව සහන සේවා බලකාය මගින් 1977 සිය ස්වේච්චාවෙන් රට වෙනුවෙන් නිහඩව සිදු කරන සේවය.

      “අපෙන් අහන ප්‍රශ්ණ දෙකකට උත්තර දෙන්න මම ලෑස්තියි. එකක් අහනව ජවිපෙ මොවද කරල තියෙන්නෙ කියල. 1971 අරගලය නිසා තමයි 1972 ඉඩම් ප්‍රතිශංස්කරණ කොමිෂන් සභාව ආවෙ. මේ රටේ දුකිවිඳින ජනතාවගෙ දරුවන්ට රැකියා ප්‍රශ්ණයක් තියෙනවා කියල පාලකයන්ට ඇස් ඇරුණේ. නිදහස් අධ්‍යාපනයේ අයිතිය හැමට සාධාරණව ලැබෙන්න ඕනි කියන අරගලය ජයග්‍රහණය කරන්නේ 71 ජවිපෙ අරගලය නිසයි.

      1987-89 කාලේ අපේ රටේ සිද්ධවුන අධිරාජ්‍ය විරෝධීන් විසින් අපේ රට ආක්‍රමණය කිරීමට එරෙහි අරගලයෙදි මේ රටේ ජනතාව ඉංදියාව ඉදිරියේ හෝ දනින් වැටෙන් නැති දී වෙන්නැති තමන්ගේ ස්වාධිපත්‍ය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරන්න පුළුවන් රටක්ය කියල ඔප්පු කළේ ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයයි. අපේ රටේ නිදහස වෙනුවෙන් බොහෝ දේ පරිත්‍යාග කල පක්ෂයක් අපි. තමන්ගෙ රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරන්න පුළුවන් කියල ඔප්පු කරපු දේශපාලන ව්‍යාපාරයක් අපි. මොනවද කළේ කියල ඇහුවොත් දෙන්න උත්තර ගොඩක් අපි ලඟ තියෙනව.

      87-90 අරගලයෙ ප්‍රතිපලයක් නිසා තමයි තරුණ අසහන කොමිසම ඉදිරිපත් කරල එදානායකයින්ට සිද්ධ වුනේ චිට් ක්‍රමයට දේශපාලන පත්වීම් වෙනුවට ජොබ් දීම වෙනුවට විභාග ක්‍රමයක් තියල රැකියා ලබාදීමේ වැඩ පිළිවෙලක් හදල දෙන්න. එදා ඉගෙන ග්ත දරුවො තම සුදුසුකම් වලට රැකියා ලැබුවනම් යම් සාධාරණ ක්‍රමවේදයක් ඇතුලේ ඒ සාධාරණ ක්‍රමවේදයක් හදාගන්න ජීවිත පරිත්‍යාග කරපු ව්‍යාපාරයක් තියෙනව නම් ඒ තියෙන එකම දේශපාලන ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණ විතරයි කියන එක අපි අභිමාණෙන් කියන්න කැමතියි.

      අද විධායක ජනපති ක්‍රමයේ වැරැද්ද බොහෝ අයට තේරුණාට මේ ක්‍රමය හඳුන්වා දුන් දවසේ ඉඳල මේ ක්‍රමය අහෝසි කරන්න ඕනි මේ ක්‍රමය ලංකාවට ගැලපෙන්නෙ නෑ කියල එක හඬින් එකම විදිහට කියපු දේශපාලන ව්‍යාපාරයක් තියෙනව නම් ඒ ජවිපෙ පමණයි. ඒ වෙනුවෙන් අපි බොහෝ කැපකිරීම් කරල තියෙනව.

      Delete
    7. 94 ඉඳන් පාර්ලිමේන්තුවේ අප කල කාර්ය භාරය ඔබ හැම දන්නව. 2001 දි එදා තිබුණු රනිල්ගෙ ආණ්ඩුව යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩ පිළිවෙල ගෙනල්ල රටේ කෘෂිකර්මාන්තය විනාශ කරල රාජ්‍ය ආයතන රජයේ බැංකු පෞද්ගලිකරණය කරන්න සැලසුම් ගෙනල්ල දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රේගු දෙපාර්තමේන්තුව සුරා බදු දෙපාර්තමේන්තුව එක ආයතනයක් බවට පත් කරල දෙපාර්තමේන්තු ක්‍රමය නැති කරලදාන්න ගෙනාපු වෙලාවෙ දුම්රිය දෙපාර්තමේන්තුව අහෝසි කරල අධිකාරියක් කැන්න හදපු වෙලාවෙ ඒ සියල්ල බේරගත්තෙ එදා ආණ්ඩුව දනගස්සල පරිවාස ආණ්ඩුවක් හදල 2001 දි දින කිහිපයක් ඇතුලත ඒ සියල්ලම අහෝසි කරල රටට ජයග්‍රහණ අරන් දුන්නෙ ජවිපෙ කියල අපි ආඩම්බරයෙන් කියනව. කුහකකම අත ඇරල කල්පනා කරන අයට තේරෙයි රේගුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, විදුලි බල මංඩලය, මහජන බැංකුව, ලංකා බැංකුව වැනි ආයතන රටට ඉතිරි වුනේ ජවිපෙ නිසා. නෑ කියල කාටහරි අභියෝග කරන්න පුළුවන්ද..?

      අපි අභියෝග කරනව ලංකාවෙ තියෙන රාජ්‍ය ආයතන, රාජ්‍ය සම්පත්, ජාතික සම්පත් ජනතාවට මේ මට්ටමින් හරි ඉතුරුවෙලා තියෙන්නෙ ජවිපෙ නිසා නෙමෙයිද ? එහම නැත්නම් වෙන පක්ෂයක් නිසාද.. දැන් නන්දසේනට හරි සජිත් ප්‍රේමදාසට මහින්දට ඇවිත් කියන්න පුළුවන්ද එහෙම නැත්නම් එයාලගෙ නියෝජිතයන්ට ඇවිත් කියන්න පුළුවන්ද රටේ සම්පත් ඉතිරිවෙලා තියෙන්නෙ පොහොට්ටු, එජාපෙ නිසා කියල.. එහෙම නැත්නම් ශ්‍රිලනිපයට සිරිසේනට පුළුවන්ද රටේ සම්පත් ඉතිරි වුනේ අපි නිසා කියල කියල ? බෑ ඒගොල්ලන්ට එහෙම කියන්න කොන්දක් නෑ. මොකද ඒක ඇත්ත නෙමේ. ඒත් ජනතා විමුක්ති පෙරමුණේ අපිට ඒක කියන්න පුළුවන්. මේ රටේ යම් දෙයක් ඉතිරිවෙලා තියෙනව නම් ඒවා රැක ගත්තෙ ජවිපෙ ඇතුළු ප්‍රගතිශීලි වමේ ව්‍යාපාර හා වෘත්තීය සමිති ව්‍යාපාරයයි.

      ජේආර් ජයවර්ධනල රනිල් වික්‍රමසිංහල එකතුවෙලා මේ රටේ නිදහස් අධ්‍යාපනය විනාශ කරන්න පිඹුරුපත් සැකසූ මොහොතේ ඉඳල නිදහස් අධ්‍යාපනයේ අයිතිවාසිකම් මේ රටේ දුවා දරුවන්ට රැක ගැනීම වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරල ඒවා රටට ඉතිරි කර දුන්නෙ දේශපාලන ව්‍යාපාරයක් තමයි ජවිපෙ. යම් කෙනෙකුට දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් වෙලා මේ රටේ නැත්නම් වෙනත් රටක හරි රස්සාවක් කරන්න සුදුසු වෘත්තීය හැකියාවන් දිනා දුන්නෙ ඒ අයිතිවාසිකම් ඇස් ඉස් මස්ලේ පරිත්‍යාග කරල දිනාගත් අයිතිවාසිකම් නිසයි. ඒ ජයග්‍රහණ රටට දිනා දුන්නෙ ජවිපෙ ප්‍රමුඛ වමේ දේශපාලනයයි. ඒක කාටවත් නෑ කියල කියන්න බෑ.

      ගොවි ජනතාවට රුපියල් 300ට රුපියල් 5000ක් වටින පොහොර සහනාධාරය ලැබිල තියෙන්නෙ කොහොමද.. ආණ්ඩුවට කියන්න පුළුවන් දුන්නෙ අපි කියල. හැබැයි 300 ක සහනාධාර යොජනාව බල කරල සම්මත කළේ ජනතා විමුක්ති පෙරමුණේ අපියි. ඒක මේ රටේ ගොවි ජනතාව දන්නව. පහුගිය කාලෙ 2015 රුපියල් 10,000 කින් රජයේ සේවකයින්ට වැටුප් වැඩිවීම කලේ ජවිපෙ. එදත් අදත් ආණ්ඩුවෙ ඇමතිවරු කන්කෙඳිරි ගානව මේ වැටුප් වැඩිකිරීම නිසා තමයි ආණ්ඩුව අර්බුධයට තල්ලු වුනේ කියල. අපි අහනව එයාලගෙන් මේ අර්බුධයට ගියේ වැටුප් වැඩිකිරීමට ගිය මුදල මෙන් සිය දහස් ගුනයකින් මුදල් හොරකමින් වංචා වලිං කොමිස් ගැහිල්ලෙන් නැව් ගිලල ගුවන් සමාගම් ගිලපු නිසා රටට වුන විනාශෙන් නෙමේද කියල. මේ රටම අර්බුධයට ගිහිං තියෙන්නෙ ජවිපෙ මැදිහත්වීමෙන් රජයේ සේවකයින්ට දිනා දුන් රුපියල් 10,000 වැටුප් වැඩි කිරීමෙන් ලු. රජයේ සේවකයගෙ වැටුප රුපියල් 10,000 කින් ජවිපෙ මැදිහත්වැවීමකින් කල සටනේ ප්‍රතිපලයකින්. රජයේ සේවකයවත් විශ්වාස කළේ නෑ මේ සටන ජයගනී කියල. නමුත් අපි ජය අරගෙන ඒ අයිතිවාසිකම් රටට දිනල දුන්න.”

      Delete
    8. පොහොට්ටු යූඑන්පී බැතිමතුන්ට 88/89 අමතක වූ අවස්ථා.

      2004 රනිල් සටන්විරාම ගහල රට බෙදන්න යනකොට චන්ද්‍රිකා එක්ක සන්දාන ගහල රනිල් පරද්දනකොට 88/89 මතක නෑ, ජෙප්පොන්ට තමයි වැඩිම මනාප දුන්නෙ.

      සුනාමිය වෙලාවෙ රතු තරුව සහන බලකායෙන් මිනිස්සුන්ට උදවු කරනකොට, තෙල්වත්තෙ රේල් පාර හදන්න ආන්ඩුව අවුරුදු ගනන් ඉල්ලන කොට ජෙප්පො ඇවිත් මාස කිහිපයකින් හදල දෙනකොට අයිඩින්ටි කාර්ඩ් හෙවුවෙ නෑ ආච්චිල.

      චන්ද්‍රිකායි මහින්දයි LTTE එකට කෙලින්ම විදේශාධාර ගන්න පුලුවන් වෙන සුනාමි සහන මන්ඩලය ගේනකොට (රනිල්ගෙ සටන්විරාම කාලෙ වගේ) ‍රට වෙනුවෙන් තිබුන ඇමතිකමුත් ඇතෑරල ආන්ඩුවෙන් එලියට බැහැල නඩු කියල ඒ මහා විනාශය පරද්දනකොට 88/89 මතක නෑ අපේ උන්ට.

      2005 ජනාදිපතිවරනෙ රනිල් පරද්දන්න මහින්ද දිනවන්න මහින්දගෙ එවුන්ම මග අහිරනකොට ජෙප්පො මහින්දගෙ මුල්ම පෝස්ටරේ ගහනකොට ස්ටේජ් ගානෙ නැගල රට වෙනුවෙන් කෑගහනකොට 88/89 මතක නෑ හාන්දුරුවනේ.
      ජනාදිපතිවරනෙ දිනල මහින්දත් රනිල්ගෙ සටන් විරාමෙ ඉස්සරහට අරන් යනකොට රටේ මහා සංඝරත්නය එක්ක එකතුවෙලා යුධ විසදුමකට යමු කියල හඩ නගනකොට, යුද්ධ කරන්නෙ ලබ්බෙන්ද කියල මහින්ද ප්‍රශ්න කරද්දි තියෙන ලබ්බෙන් ගහමු ඉතුරු ටික පස්සෙ බලාගමු කියල හඩ නගනකොට 88/89 මතක මහත්වරු මීක් නෑ හාමුදුරුවනේ.

      යුද්දෙ ඉවරවෙලා සංවර්ධනය කියල මහාපරිමාන හොරකම් වෙනකොට මාධ්‍යවේදීන් ඝාතනය වෙනකොට වතුර ඉල්ලල තම අයිතීන් ඉල්ලල උද්ඝෝෂණය කරපු අහින්සක මිනිස්සු වෙඩි තියල මරනකොට, රජ කුමාරවරු ආගම ජාතිය ඉස්සරහට දාගෙන දළදා මාලිගාව අසල ගනිකාවො ගෙනල්ල රේස් පදිනකොට, UNP වීරයො පුටු අස්සෙ හැංගෙනකොට, රනිල් මහින්ද එක්ක කලු කෝපි බොනකොට, ජෙප්පො මහින්දගෙ ගෝඨගෙ මූනටම ඒ වැරදි කියනකොට, අන්න මතක් වෙන්න ගත්ත 88/89. අවුරුදු දෙකක් තියාගෙන ඉල්ලන් කෑමේ ප්‍රතිඵලයක් ලෙස මහින්ද ගෙදර යනකොට. ඊට පස්සෙ මහ මැතිවරනයෙදි UNP එකයි සන්දානෙයි එකතුවෙලා ආන්ඩු හදන්කොට. මහින්ද එකම එක වතාවක්වත් ආන්ඩුවට විරුද්දව චන්දෙ බාවිතා නොකරනකොට, කරපු හොරකම් දූෂන වහගන්න රනිල් එක්ක ඩීල් දානකොට එකට උද්ඝෝෂණය කරපු සෙට් එක ඇතුලෙ ඉද්දි නාමල් කුමාරයට ඇප හම්බෙනකොට, මැණික් මලු වලින් ගෙවල් හදපු සුරංගනා කතා කියනකොට, අයිතිකාරයො නැති ගෙවල් හම්බෙනකොට, ජෙප්පො ඒව එලිකරනකොට උබලට මතක් උනා 88/89
      ලංකා ඉතිහාසයෙ වෙච්ච විශාලම හොරකම මහ බැන්කු මංකොල්ලය ගැන මුලින්ම රටට එලිකරනකොට උබලට දරගන්න බැරුව ජෙප්පොන්ට ගැහුවෙ රතු අලි කියල. හැබැයි ශිරන්ති නෝනගෙන් කට උත්තර ගන්න කකුල්දෙක ලගටම යනකොට, විමලෙගෙ හොර පාස්පෝට් අහුවෙලා පහුවදා උදේම අලුත් පාස්පෝර්ට් එකකින් රට යනකොට උබල ඇහුවෙ නෑ ඒ කොහොමද කියල.

      අවුරුදු 28 තිස්සෙ එක ගල් කැටයක් නොගහ රටවෙනුවෙන් දේශපාලනය කරන ජෙප්පො අනිත් උන්ගෙ දූෂන, හොරකම් ,වංචා, මිනීමැරුම් ,ඩීල් එලිකරනකොටත් උබලට මතක් වෙන්නෙ 88/89 නම් අහන්න තියෙන්නෙ එකම එක දෙයයි, පහුගිය අවුරුදු 28 ම උබල කොමා තත්වෙට පත්වෙලාද හිටියෙ…?

      Delete
    9. මුදල් ගෙවා තොප්පි දමා ගන්නන් සඳහා තොප්පි විකිණීමට තිබේ.

      Delete
  5. වත්මන් පරිසර දූශනය හා දේශගුනික විපර්යාශ අධික නිශ්පාදන අරමුනු කරගත් ධනවාදයේ ප්‍රතිපල බවට මතයක් පවතී. මේ ගැන යමක් පැහැදිලි කල හැකිද?

    ReplyDelete
    Replies
    1. මෙය වැදගත් මාතෘකාවක් තමයි, ඇනෝ. නමුත්, වෙනත් මූලික කරුණු රාශියක් ඉදිරිපත් කිරීමෙන් පසුව කතා කළ යුතු සංකීර්ණ මාතෘකාවක්. මෙය ලැයිස්තුවෙහි තිබුණත් ඊට කලින් තවත් කරුණු කිහිපයක් කතා කර අවසන් කළ යුතුයි.

      Delete
  6. ගැටෙනා විටදී මත - මතු වෙනවා ඇත්ත
    ඒත් නැතිව යන්නේ නැහැ නොවැ 'නැත්ත'
    අප වැනි අයට වටහා ගන්නට ඇත්ත
    දිගටම ලියනු මැන ඉකොනෝ ඔබෙ පැත්ත

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: