වෙබ් ලිපිනය:

Friday, October 8, 2021

ග්‍රීන්කාඩ් පෝලිම


පසුගිය දින වල සමාජ මාධ්‍ය වල වාර්තා කරනු ලැබ තිබුණු පරිදි ලංකාවේ ගමන් බලපත්‍ර කාර්යාලය අසල දිගු පෝලිමක් හැදිලා. ගමන් බලපත් ලබා ගැනීම සඳහා වන පෝලිම විවිධ හේතු නිසා දිගු විය හැකියි. විදේශගත වන්නට අවශ්‍ය අයගේ ගමන් බලපත් ඉල්ලුම ඉහළ යාම එක හේතුවක්. ගමන් බලපත් නිකුත් කිරීම සඳහා යොදවා ඇති නිලධාරීන් ප්‍රමාණය ප්‍රමාණවත් නොවීම හෝ ඔවුන් ප්‍රමාණවත් තරම් කාර්යක්ෂම නොවීම තවත් හේතු දෙකක්. 

දැන ගන්නට ලැබුණු විදිහට එකවරම ලංකාවේ "පාස්පෝට් පෝලිම" මේ තරම් දිගු වී තිබෙන්නේ ඇමරිකානු ග්‍රීන්කාඩ් ලොතරැයිය සඳහා අයදුම් කිරීමේ අවස්ථාව එළැඹීමත් සමඟයි. මේ අවස්ථාව පසුගිය බදාදා (2021 ඔක්තෝබර් 6) විවෘත වුනා. වාසනාව මත පදනම්ව ඇමරිකාවට සංක්‍රමණය වීමට කැමති අයට 2021 නොවැම්බර් 9 දක්වා වන කාලය තුළ ග්‍රීන්කාඩ් ලොතරැයිය සඳහා අයදුම් කළ හැකියි. ලොතරැයිය ජයග්‍රහණය කරන අයට හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට අනෙකුත් අවශ්‍යතා සම්පූර්ණ කිරීමෙන් පසුව 2022 ඔක්තෝබර් 1 දින සිට 2023 සැප්තැම්බර් 30 දක්වා වන වසරක කාලය තුළ ඇමරිකාවට සංක්‍රමණය විය හැකියි. 

ග්‍රීන්කාඩ් යන්නෙන් පොදුවේ අදහස් වන්නේ ඇමරිකාවේ ස්ථිර පදිංචිය සඳහා හිමිවන වීසා බලපත්‍රයයි. මෙය කුඩා කාඩ් පතක්. ඇමරිකානු ග්‍රීන්කාඩ් බලපත්‍රය ලබා ගත් අයෙකුට වසර පහකට පසුව (ඇතැම් කාණ්ඩ යටතේ ලබාගත් අයට වසර තුනකට පසුව) ඇමරිකානු පුරවැසි භාවය ලබා ගත හැකියි. ස්ථිර පදිංචිය හිමි අයටද ඇමරිකානු පුරවැසියන්ට හිමි වන වරප්‍රසාද හා අයිතිවාසිකම් වලින් විශාල ප්‍රමාණයක් හිමි වෙනවා. 

ඇමරිකාව කියා කියන්නේ ලෝකයේ වැඩිම සංක්‍රමණිකයින් පිරිසක් සිටින රටයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංඛ්‍යාලේඛණ අනුව 2019 වසරේදී ලෝකය පුරා විසිරී සිටි සංක්‍රමණික ජනගහණය 271,642,105ක්. එම ප්‍රමාණයෙන් 18.6%ක්ම, එනම් 50,661,149ක් සිටින්නේ ඇමරිකා එක්සත් ජනපදයේ. ඇමරිකාවේ ජනගහණයෙන් 15.4%ක් සංක්‍රමණිකයින්. ඇමරිකාවේ සිටින සංක්‍රමණික ප්‍රජාවෙන් ලෝකයේ හැම රටක්ම නියෝජනය වෙනවා.

ඇමරිකාවේ සංක්‍රමණිකයන්ගෙන් වැඩිම පිරිසක් මෙක්සිකෝවේ සිට සංක්‍රමණය වූ අයයි. ඊළඟට වැඩිපුරම සිටින්නේ පිලිවෙලින් චීනයෙන්, ඉන්දියාවෙන් හා පිලිපීනයෙන් පැමිණි අයයි. ඇමරිකාවේ සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් ප්‍රමාණය 57,135ක් පමණයි. මෙම ප්‍රමාණය ඇමරිකාවේ සංක්‍රමණික ජනගහනයෙන් 0.11%ක් තරම් සුළු ප්‍රතිශතයක්. සමස්ත ශ්‍රී ලාංකික සංක්‍රමණික ජනගහනය වන 1,775,768න් වුවද 3.22%ක ප්‍රතිශතයක් පමණයි. ලංකාවේ ජනගහනය ලෝක ජනගහනයෙන් 0.27%ක් පමණ බව සැලකූ විට, ඇමරිකානු සංක්‍රමණික ජනගහනය තුළ ලංකාව නියෝජනය වන්නේ අඩුවෙන්.

ආසන්න වශයෙන් වසරකට මිලියනයක පමණ පිරිසක් ඇමරිකාවේ ස්ථිර පදිංචිය සඳහා ලැබෙන ග්‍රීන්කාඩ් බලපත්‍රය ලබා ගන්නවා. ඒ සඳහා, ක්‍රම ගණනාවක් තිබෙනවා. ග්‍රීන්කාඩ් ලොතරැයි ක්‍රමය ඒ අතරින් එක් ක්‍රමයක් පමණයි. 2019 වසරේදී ඇමරිකානු ග්‍රීන්කාඩ් බලපත්‍රය ලබාගත් මිලියනයකට අධික පිරිස එම බලපත්‍රය ලබා ගත්තේ පහත ක්‍රම වලිනුයි.

ඇමරිකානුවන්ගේ ළඟම ඥාතීන් (සහකරු හෝ සහකාරිය හා දරුවන්) - 505,765

අවශේෂ ඥාතීන් (දෙමවුපියන් හා සොහොයුරු සොහොයුරියන්)  - 204,139

රැකියාව මත පදනම්ව - 139,458

සරණාගතයින් - 106,911

ලොතරැයිය ජයග්‍රහණය කිරීමෙන් - 43,463

වෙනත් ක්‍රම වලින් - 32,029

එකතුව - 1,031,765


ඉහත කී ග්‍රීන්කාඩ්ලාභීන් අතරින් ශ්‍රී ලාංකිකයින් ප්‍රමාණය 1,689ක් පමණයි. ඔවුන් ග්‍රීන්කාඩ් බලපත් ලබා ගෙන තිබෙන්නේ පහත ක්‍රම වලිනුයි.

ඇමරිකානුවන්ගේ ළඟම ඥාතීන් (සහකරු හෝ සහකාරිය හා දරුවන්) - 531

අවශේෂ ඥාතීන් (දෙමවුපියන් හා සොහොයුරු සොහොයුරියන්)  - 185

රැකියාව මත පදනම්ව - 466

ලොතරැයිය ජයග්‍රහණය කිරීමෙන් - 370

සරණාගතයින් - 125

වෙනත් ක්‍රම වලින් - 12

එකතුව - 1,689


ලොතරැයිය හරහා ග්‍රීන්කාඩ් බලපත් ලබා ගන්නා ප්‍රමාණය මුළු ප්‍රමාණයෙන් 4.2%ක් පමණක් වුවත්, 2019 වසරේදී ඇමරිකානු ග්‍රීන්කාඩ් බලපත් ලබා ගත් ශ්‍රී ලාංකිකයින් අතරින් 21.9%ක්ම එය ලබාගෙන තිබෙන්නේ ලොතරැයිය හරහා. ඒ වගේම, මෙම ප්‍රමාණය නිකුත් කර තිබෙන මුළු ග්‍රීන්කාඩ් බලපත් ප්‍රමාණයෙන් 0.85%ක් තරම් ඉහළ ප්‍රතිශතයක්. ශ්‍රී ලාංකිකයින්ට ග්‍රීන්කාඩ් ලොතරැයි තරඟයේදී විශේෂ වාසි ගණනාවක් තිබීම එයට හේතුවක්. 

Reference:

United Nations, Department of Economic and Social Affairs. Population Division (2019). International Migrant Stock 2019 (United Nations database, POP/DB/MIG/Stock/Rev.2019).

21 comments:

  1. හ්ම්ම්.. ස්තූතියි ❤️

    ReplyDelete
  2. ඉකොනෝ ඇමරිකාවට සංක්‍රමණය උනේ කෙසේද?

    -මහේෂ් වලතර

    ReplyDelete
    Replies
    1. එය ඒ තරම් වැදගත් දෙයක් කියා මම හිතන්නේ නැහැ.

      Delete
    2. එය ඒ තරම් වැදගත් දෙයක් කියා මම හිතන්නේ නැහැ.....//

      මෙ වාහෙ කියන බයිලා

      මේවට කියන්නෙ හක්කෙ බුදු රැස් බොක්කෙ දඩමස්

      Delete
    3. මාතලන්August 28, 2016 at 6:19 PM

      මචං උඹේ කොමෙන්ට් එකක්තාමත් මම මකන්නේ නැතිව ඉන්න්වා නම් කරුණාකරලා ඒක එවපන්.. ඇනෝ කොමෙන්ට්ස් ගැන එක එක කාලේට එක එක මත වල අපි හිටියා.. තාමත් ඒක තියෙනවා නම් ලින්ක් එවන්න ඩිලීට් කරන්න. මොකෝ ඒක මගේ ප්‍රතිපත්තිය නෙමෙයි. අනික මට පේන විදියට ඉකොනොමැට්ටා කියන එකත් සක්කිලි වැඩ කරනවා වගේ.

      මෙ බ්ලොග් චක්‍රවර්ති මහාචාර්‍ය මාතලන් බයි-කින්ගෙ රෙකමාදුව

      Delete
  3. ලන්කාවෙන් කී දෙනෙක් ඇප්ලයි කරනවද?

    ReplyDelete
    Replies
    1. ඔබ අහන්නේ ලොතරැයිය ගැනනම්, ආසන්න වශයෙන් ශ්‍රී ලාංකිකයින් 50,000ක් පමණ වසරකට ග්‍රීන්කාඩ් ලොතරැයිය සඳහා නම ඇතුළත් කරනවා. 2021 වසරේදීනම් 41,595 දෙනෙක්. කෝවිඩ් නිසා මේ ප්‍රමාණය අඩු වෙන්න ඇති. සමස්තයක් ලෙස ලෝකයෙන්ම අයැදුම් කරන ප්‍රමාණය 2020දී 14,722,798 වුවත් 2021දී 6,741,128 දක්වා අඩු වී තිබුණා. ලොතරැයිය ඇදෙන එක හා ස්ථිර පදිංචිය සඳහා අයැදුම් කිරීම කරුණු දෙකක්. ලොතරැයිය ඇදෙන හැමෝම වීසා අයැදුම් කරන්නේ නැහැ. වීසා ලැබෙන්නේ අයැදුම් කරන අයගෙන් කොටසකට පමණයි.

      Delete
    2. ලොතරැයිය ඇදිල වීස අයදුම් කරන අයගෙනුත් කොටසකට විතරයි වීස හම්බවෙන්නෙ කියලද අදහස් කලේ?

      Delete
    3. ලොතරැයිය ඇදෙන සැලකිය යුතු පිරිසකට වීසා සඳහා අයැදුම් කිරීමේ අවස්ථාවවත් ලැබෙන්නේ නැහැ. වීසා සඳහා අයැදුම් කරන බොහෝ දෙනෙකුට වීසා ලැබෙන්නේ නැහැ.

      Delete
    4. ඒ මොකද එහෙම වෙන්නෙ?

      Delete
    5. ලොතරැයිය ඇදුනත් කවර ක්‍රමයකට හෝ ඇමරිකාවේ ස්ථිර පදිංචිය සඳහා වීසා ලබා ගැනීමේදී සම්පූර්ණ කළ යුතු අවශ්‍යතා ගණනාවක් තිබෙනවා. ලොතරැයිය ඇදුනු අයෙක් අදාළ කාලය තුළ එම අවශ්‍යතා සියල්ල සම්පූර්ණ කළ යුතුයි (උදාහරණයක් විදිහට අවශ්‍ය එන්නත් සියල්ල සම්පූර්ණ කිරීම ඇතුළු වෛද්‍ය වාර්තා, පොලිස් වාර්තා, අධ්‍යාපන සහතික, ප්‍රමාණවත් මුදල් පෙන්වීම). බොහෝ දෙනෙකුට නියමිත අවසන් දිනයට පෙර මෙම අවශ්‍යතා සම්පූර්ණ කළ නොහැකි නිසා හරියටම 55,000ක් තෝරා ගත්තොත් වීසා දෙන්න වෙන්නේ ඊට වඩා ගොඩක් අඩු පිරිසකටයි. ඒ නිසා, ලොතරැයියෙන් එම ප්‍රමාණයට වඩා වැඩි පිරිසක් තෝරා ගන්නවා. ඒ නිසා ලොතරැයිය ඇදෙන සියල්ලන්ටම වීසා ලබා ගැනීමේ ඉඩක් කොහොමටත් ලැබෙන්නේ නැහැ. අවශ්‍ය වීසා ප්‍රමාණය නිකුත් කිරීමෙන් පසු හෝ අදාළ කාලය අවසන් වූ පසු වීසා නිකුත් කිරීම නවත්වනවා. ඉක්මන් වන හා උනන්දුව තිබෙන අයට අවස්ථාව ලැබෙනවා. වාසනාවට ලොතරැයිය ඇදුනත් ඉක්මන් නොවන අය හැලෙනවා.

      Delete
    6. එහෙමත් සීන් එකක්ද. මම හිතුවෙ ලොටරිය ඇදුනම කෙලින්ම ඇමෙරිකාවෙ කියල.
      සල්ලි තියෙන උන්ට විතරයි ඒකෙනනුත් යන්න පුලුවන් ඒ කියන්නෙ.

      Delete
    7. යම් තරමකට, ඔව්. ග්‍රීන්කාඩ් ලොතරැයිය ඇදුණු අයෙකුට ඇමරිකාවේ ස්ථිර පදිංචියට පැමිණිය හැකි නමුත් ඇමරිකාවට ආ පමණින් හතර මහ නිධානය පහළ වෙන්නේ නැහැ. අවශ්‍ය කුසලතා නැති අයෙකුට පැමිණි වහාම රැකියාවක් සොයා ගැනීම අසීරුයි. හොයා ගත්තත් බොහෝ විට ලැබෙන්නේ ජීවත් වෙන්න ප්‍රමාණවත් ආදායමක් නැති රැකියාවක්. කිසියම් කුසලතාවයක් ඇති අයටනම් ප්‍රශ්නයක් නැහැ. ඇමරිකාවට එන එක අදාළ පුද්ගලයාගේ තේරීමක් නිසා ඇමරිකාව වීසා දෙනවා මිසක් වෙනත් වරප්‍රසාද කිසිවක් දෙන්නේ නැහැ. ඒ නිසා, වීසා ලබා දෙන්නේ ඇමරිකාවට බරක් නොවී ඇමරිකාවේ වසරක් ජීවත් වීමට ප්‍රමාණවත් අවම මුදල් ප්‍රමාණයක් පෙන්විය හැකිනම් පමණයි. ඇමරිකාවේ රැකියාවකට බඳවාගෙන ඇත්නම් හෝ ඇමරිකාවේ ජීවත් වන අයෙකු විසින් වසරක වියදම් දැරීමේ වගකීම භාර ගන්නේනම් මුදල් පෙන්වීමට අවශ්‍ය නැහැ.

      Delete
  4. නරා වළක් වෙනවා නං අපේ රට
    කාගෙත් හිතේ වෙන රටකට පැන ගන්ට
    ඉස්සර කීවෙ මව් බිමේම වැලලෙන්ට
    දැන් මං කියන්නේ කාටත් රට යන්ට

    ReplyDelete
    Replies
    1. මම නම් කල්පනා කරේ ලූලො ටික ඔක්කොම ගියාට පස්සෙ කණයෙක් වෙන්නට කියලා ඕං😁

      Delete
  5. ඉකොනො,

    ලංකාවේ ආණ්ඩුව විසින් බ්ලොක්චේන් තාක්ෂණය තුළින් ක‍්‍රිප්ටොකරන්සි මයිනින් සදහා ලංකාවට අවශ්‍ය සේවා සැපයීමට සමාගම් වලට ලංකාවේ ආයෝජනයට අනුමැතිය ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාදී ඇති අතර ලංකාවේ විපක්ශ කණ්ඩායම් මේ ගැන පවසන්නේ "Cryptocurrency කියන්නේ පරිගණක ප්‍රෝග්‍රෑම් දුවවලා එක එකා පරිගණක දත්ත ගබඩා ලෙස හදන ව්‍යාජ මුදල්. මෙ වන විට 6,500 ක් ව්‍යජ මුදල් වර්ග තියෙනව​. තව ඕනම කෙනෙකුට හදන්න හෝ දන්න කෙනෙකුට කියා හදවන්න පුලුවන්. පොඩි කොල්ලො විහිලුවට පවා හදන ඒවා විකුණන්න තියෙනව​, මේවා ගන්න රටක ඇත්ත මුදල් දෙනවා කියන්නේ මෙ වගේ කුඩා රටක් නන් නත්තාර වෙන්න පුලුවන් දෙයක්, රටට ඩොලර් එන Paypal පහසුකම දෙන්නෙ නැතුව මේ විකාර ගේන" බවයි.

    මේ හරහා අධික ලෙස විදුලිය වැයවන ක්‍රිප්ටෝ මයිනින් උපාංග භාවිතයෙන් ලංකාවේ බරපතල විදුලි අර්බුදයක් ඇතිවිය හැකිද?

    මෙය සමග ඇමරිකන් නිව් ෆෝට්‍රස් විදුලි බලාගාර ගණුදෙනුව සමග ඇති සම්බන්ධයක් ගැන කෙරෙන චෝදනා සත්‍ය ඒවා විය හැකිද?

    ReplyDelete
    Replies
    1. මේ ගැන වැඩි විස්තර මෙම ප්‍රවෘත්තියේ තිබෙනවා;

      https://www.sinhala.srilankamirror.com/news/31193-2021-10-09-01-06-56

      Delete
  6. ඉකොන්,

    ඔබේ මහ බැංකුවේ ප්‍රශ්නය විසඳිලාද කියන පෝස්ට් එකට මොකද වුණේ? ඒක මැකිලා ගිහිල්ල නේද? ටෙක්නිකල් ඉෂූ එකක්ද?

    ReplyDelete
  7. Should a winner arrive to America before the next lottery draw or can he postpone his arrival.

    ReplyDelete
    Replies
    1. Timeline is something like this:

      October 6-November 9, 2021 - Application period
      May 8, 2022 - Results are announced
      October 1, 2022- September 30, 2023 - Visa interviews
      As you see, next lottery draw will be in May 2023 which overlaps with above window. They face visa interviews beginning October 1, 2023.

      Once you have the visa stamp, you have it. A US green card holder cannot stay outside the US for more than 6 months (usually) without risking losing it, no matter whether it was received through lottery or some other way. That means, a person has no more than 6 months to migrate to the US after visa approval but can delay up to 6 months.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: