වෙබ් ලිපිනය:

Saturday, January 1, 2022

ආර්ථික අර්බුදයේ ඓතිහාසික සම්භවය (හයවන කොටස)

ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට හේතු වූ නිදන්ගත ප්‍රශ්නය දිගින් දිගටම රාජ්‍ය අයවැය හිඟයක් නඩත්තු කිරීම. ඒ අයවැය හිඟයට නිදහසින් පසු රට පාලනය කළ හැම ආණ්ඩුවක්ම සම්මාදම් වී තිබෙනවා. කොපමණකින්ද කියන එක පිළිබඳ ඇස්තමේන්තුවක්ද සිවුවන කොටසෙහි මා ඉදිරිපත් කළා. රුපියල් ට්‍රිලියන 17 ඉක්මවන ලංකාවේ රාජ්‍ය ණය කන්දරාවෙන් තුනෙන් එකක්ම 1977-1989 කාලයේ එකතු වූ ණයයි. 2004-2014 කාලයේදී එකතු වී තිබෙන රාජ්‍ය ණය ප්‍රමාණය 1977-1989 කාලයේ එකතු වූ ප්‍රමාණයෙන් බාගයක් පමණ ප්‍රමාණයක්. 

ඒ වගේම, මේ ආණ්ඩු ජාතික සමාජවාදී ආණ්ඩු, කේන්සියානු ආණ්ඩු හා ලිබරල් ජාත්‍යන්තරවාදී ආණ්ඩු ලෙස මා වර්ග කළා. මේවා ඉරි ඇඳ වෙන් කරන්න අසීරු දළ වර්ග කිරීම්. බොහෝ ආණ්ඩු එහි ප්‍රමුඛ ආර්ථික දැක්ම අනුව එක ගොඩකට දැම්මත් වෙනත් ගොඩක ලක්ෂණත් යම් පමණකින් හෝ දකින්න පුළුවන්. ලංකාවේ ආණ්ඩු වලට ලිබරල් ජාත්‍යන්තරවාදී ලක්ෂණ එකතු වනු දැකිය හැක්කේ චන්ද්‍රිකා බණ්ඩාරනායකගෙන් පසුවයි. ඊට පෙර ආණ්ඩු අඩු වැඩි වශයෙන් ජාතික සමාජවාදී ආණ්ඩු හෝ  කේන්සියානු ආණ්ඩු. රාජ්‍ය ණය අර්බුදයක් රටේ ඇති කළේ මේ දෙවර්ගයේ ආණ්ඩු විසිනුයි.

ජාතික සමාජවාදී ආණ්ඩු හා කේන්සියානු ආණ්ඩු රාජ්‍ය අයවැය හිඟයට දායක වුනේ එකම ආකාරයෙන් නෙමෙයි. රාජ්‍ය මූලික නිෂ්පාදනයට මුල් තැන දුන් ජාතික සමාජවාදී ආණ්ඩු ඒ හරහා අකාර්යක්ෂමතාවයන් දිරි ගන්වා ආදායම් අහිමි කරගත්තා. අයවැය හිඟයට මූලික හේතුව වූයේ මේ අකාර්යක්ෂමතාවයයි. මෙයින් වෙනස්ව කේන්සියානු ආණ්ඩු රාජ්‍ය මූලික ආයෝජන හරහා රටේ ආදායම් වැඩි කර ගැනීම ඉලක්ක කරමින් ආදායම් ඉක්මවා වියදම් කළා. ජාතික සමාජවාදී ආණ්ඩු යටතේ අයවැය හිඟයක් පැවතීම ඔවුන් විශ්වාස කළ ක්‍රමයේ ප්‍රශ්නයක් හා අතුරු ඵලයක් මිස එම ආණ්ඩු වලට අවශ්‍ය වූ දෙයක් නෙමෙයි. එහෙත්, කේන්සියානු ආණ්ඩු යටතේ අයවැය හිඟය පුළුල් වීම ඔවුන්ගේ සැලසුමේම කොටසක්. එම ආණ්ඩු අයවැය හිඟය ප්‍රශ්නයක් සේ සැලකුවේ නැහැ. 

මේ වන විට ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයට ආසන්න හේතුව අයවැය හිඟය නෙමෙයි. එය විදේශ අංශයේ ගෙවුම් ශේෂ ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නයට අප තවමත් අවතීර්ණ වී නැහැ. මේ ගෙවුම් ශේෂ ප්‍රශ්නය ඇති වුනේ අයවැය හිඟය හිඟය නිසා ඇති වූ හා ඇති වන්නට නියමිතව තිබුණු ප්‍රශ්න වලට විසඳුම් සෙවීමේ ප්‍රවේශ තුළයි. ගෙවුම් ශේෂ ප්‍රශ්නය සාපේක්ෂව මෑතකාලීන ප්‍රශ්නයක්. ඒ නිසාම, රාජ්‍ය ණය ප්‍රශ්නයට සාපේක්ෂව, විසඳා ගන්න පහසු ප්‍රශ්නයක්. එහෙත්, රාජ්‍ය ණය ප්‍රශ්නය විසඳා ගන්නා තුරු නැවත නැවත ගෙවුම් ශේෂ ප්‍රශ්නය මතු විය හැකියි.

ගෙවුම් ශේෂ ප්‍රශ්න පැත්තකින් තිබ්බොත් ලංකාවේ සාමාන්‍ය මිනිසුන්ට මෙතෙක් රාජ්‍ය ණය ප්‍රශ්නය දරුණුවට දැනී නැහැ. රාජ්‍ය ණය හෝ රාජ්‍ය අයවැය හිඟය ඒ හේතුව නිසාම ප්‍රශ්නයක් වන්නේ නැහැ. ප්‍රමාණවත් තරම් දේශීය ඉතිරි කිරීම් තිබේනම් රජයට රට ඇතුළේම භාණ්ඩාගාර බිල්පත් අලෙවි කර අවශ්‍ය අරමුදල් හොයා ගන්න පුළුවන්. බොහෝ රටවල සිදු වන්නේ එයයි. එහෙත්, රට ඇතුළෙන් ප්‍රමාණවත් අරමුදල් සොයා ගත නොහැකිනම් මේ වෙනුවෙන් විශාල පොලියක් ගෙවන්න සිදු වෙනවා. ගෙවන්න සිදු වන පොලිය ඕනෑවට වඩා වැඩිනම් (විදේශ ණය ගැනීමට පෙර) මහ බැංකුවට භාණ්ඩාගාර බිල්පත් අලෙවි කළ හැකියි. එය උද්ධමනයට හේතු වනවා තමයි. එහෙත් උද්ධමනය හරහා වෙන්නේත් වක්‍ර ලෙස බද්දක් අය කරනවා වගේම වැඩක්. උද්ධමනය දරාගත හැකි මට්ටමක තිබෙන තුරු මේ ක්‍රමයටත් අයවැය හිඟය පියවා ගන්න පුළුවන්. 

නිදහසින් පසු ලංකාවේ ඉතිහාසය තුළ කේන්සියානු ආර්ථික ප්‍රතිපත්ති වල උච්ඡතම අවස්ථාව සේ සැලකිය හැක්කේ 1980 වසරයි. එම වසරේදී අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 19.2% දක්වා ඉහළ ගියා. උද්ධමනය 26.1% දක්වා ඉහළ ගියා. මිනිස්සුන්ට ජීවත් වීම බොහෝ අසීරු වුනත්, ආණ්ඩුව වැටුණේ නැහැ. ආණ්ඩුවේ ජනප්‍රියත්වය තවත් වසර ගණනාවක් යන තුරු එලෙසම තිබුණා. එයට එක් හේතුවක් වුනේ 1970-1977 ජාතික සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති යටතේ මිනිස්සුන්ට විඳින්න සිදු වූ පීඩාවන් පිළිබඳ මතකයන් ඒ වන විටද ගිලිහී නොතිබීමයි. පැවති තත්ත්වය ඊට සාපේක්ෂව හොඳ තත්ත්වයක් ලෙස බොහෝ දෙනෙක් දකින්න ඇති. ගාණ කීය වුනත් කඩේ බඩු තිබුණා!

උද්ධමනය ඉහළ යාම හැම දෙනෙකුටම නරක නැහැ. එහිදී යම් පිරිසකගේ ආදායම් ඉහළ යනවා. 1980දී පීඩාවට පත් වුනේ මාස් පඩි ලබාගත් රජයේ සේවකයෝ. ඔවුන් ජූලි වර්ජනයට පෙළඹුණේ ඒ නිසා. ජූලි වර්ජනය නිසා රැකියා අහිමි වූ ඇතැම් රාජ්‍ය සේවකයින් කරන්න දෙයක් නැති කමට පටන් ගත් ඇතැම් ව්‍යාපාර අද වන විට දැවැන්ත ව්‍යාපාර බවට පත් වී තිබෙනවා. 

කොහොම වුනත්, ලංකාවට දරාගත හැකි කේන්සියානු ප්‍රසාරණයක සීමාව 1980 වසරේදී ලකුණු වුණා. ඉන් පසු වසර වලදී අයවැය හිඟය හා උද්ධමනය පාලනය කිරීමද ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති වල ඉලක්කයක් වුනා. ඒ වගේම, මේ දෙකම යම් තරමකින් හෝ පාලනය වුනා. පසුකාලීනව පොලී අනුපාතික පහළින් තබා ගැනීමද ප්‍රමුඛතාවයක් බවට පත් වුනා. ජාතික සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති වලට නැවත අවස්ථාවක් ලැබුණේ නැහැ. ලිබරල් ජාත්‍යන්තරවාදී ප්‍රතිපත්ති කේන්සියානු ප්‍රතිපත්ති වල විකල්පය බවට පත් වුනා. මා පළමු ලිපියේ සඳහන් කළ පරිදිම මේ හැම දෙයක්ම සිදුවුනේ ඒවා සිදු වුනු ඓතිහාසික තත්ත්වයන් තුළයි. එක දෙයක් සිදු වන්නේ ඊට පෙර සිදු වූ දේවල් වල ප්‍රතිඵලයක් විදිහටයි. 

ලංකාවේ දේශපාලනය තුළ ජාතික සමාජවාදය අසාර්ථක වී මුළුමනින්ම ප්‍රතික්ෂේප වීමෙන් පසුව අපට දැකිය හැක්කේ රාජ්‍යමූලික ප්‍රසාරනාත්මක ආර්ථික ප්‍රතිපත්ති හා පෞද්ගලික අංශයට මුල් තැන දෙන ලිබරල් ජාත්‍යන්තරවාදී ප්‍රතිපත්ති අතර සිදු වන දෝලනයක්. චන්ද්‍රිකා බණ්ඩාරනායකගෙන් පටන් ගත් දෙවැනි ක්‍රමයේ වත්මන් ප්‍රකාශකයා රනිල් වික්‍රමසිංහ. වත්මන් සන්දර්භය තුළ පළමු ක්‍රමය බැසිල් රාජපක්ෂ-ජයසුන්දර-කබ්රාල් ක්‍රමය ලෙස හඳුන්වන්න පුළුවන්. එහෙත් එම ක්‍රමය ජේආර් ජයවර්ධනගේ ක්‍රමයෙන් වෙනස් වන නිශ්චිත තැනක් තිබෙනවා. ඒ විදේශ විණිමය ප්‍රතිපත්තියයි. සජිත්, චම්පික වගේ අය ඔය විකල්ප දෙක අතර ස්ථානගත වෙන්න තැනක් හොයමින් සිටින බව පේනවා. ජවිපෙ විසින් රට තුළ කලක සිටම ප්‍රතික්ෂේප වී තිබෙන ජාතික සමාජවාදී රාමුව ඇතුළට වෙළඳපොළ සංකල්ප ඇතුළු කර ගෙන පිළිසකර කර ගැනීමේ අසාර්ථක උත්සාහයක නිරතව සිටිනවා.

ලිබරල් ජාත්‍යන්තරවාදී නිදහස් වෙළඳපොළක් මත පදනම් වූ ප්‍රතිපත්තියකට ලංකාව මේ වෙද්දී මුහුණ දෙන අසමතුලිතතා වඩා පහසුවෙන් සමතුලිත කළ හැකියි. හැබැයි ඒ වෙනුවෙන්, කේන්සියානුවාදීන් විසින් ඉලක්ක කරන ආර්ථික වර්ධනය කැප කරන්න වෙනවා. ආර්ථික විද්‍යාඥයෙක් ලෙස බැලුවොත් පළමු ක්‍රමය වඩා කාර්යක්ෂමයි. හැබැයි ලංකාව කේන්ද්‍ර කරගෙන ආර්ථික ප්‍රතිපත්ති හැදීමේදී එම ප්‍රවේශය තුළ මතු වන ප්‍රශ්න තිබෙනවා. 

ලාංකිකයෙකුට කැමති වෙලාවක සංචාරය හෝ ස්ථිර පදිංචිය පිණිස ඇමරිකාවට පැමිණීමටත්, එසේ පැමිණ තමන් කැමති රැකියාවක් කරන්නත් නිදහස තිබෙනවානම් ලිබරල් ජාත්‍යන්තරවාදී නිදහස් වෙළඳපොළක් වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින්න පුළුවන්. එහෙත් එවැනි තත්ත්වයක් නැති බව අපි දන්නවා. ඒ නිසා, ජාත්‍යන්තරවාදී නිදහස් වෙළඳපොළක් තුළ ලංකාවේ භූමි මායිම් ඇතුළේ ජීවත් වීමට සිදුව ඇති කෙනෙකුට සිදුවන යහපත හා අයහපත ගැන විශේෂ සැලකිල්ලක් දක්වන්න ලංකාව කේන්ද්‍ර කරගත් ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයෙකුට සිදු වෙනවා. එසේ නොකරන මතවාදයකට ලංකාව තුළ දේශපාලන බලය ලබා ගන්නත් බැහැ. කෙටියෙන් කිවුවොත් ලංකාවේ රජයකට ආර්ථිකය කෙරෙහි කිසිදු මැදිහත්වීමක් නොකර වෙළඳපොළටම ඉඩ දී බලා ඉන්න බැහැ. වෙනත් කිසිදු රටක් එසේ කරන්නේත් නැහැ.

ජයවර්ධන ආණ්ඩුව කාලයේ විශාල අයවැය පරතරයක් ඇති වුනේ රට විවෘත කරපු නිසා නෙමෙයි. රට විවෘත කිරීමේ සාධනීය ප්‍රතිඵල ඉතා පැහැදිලියි. අයවැය පරතරයට හේතු වුනේ කඩිනම් මහවැලි ව්‍යාපෘතිය වැනි රාජ්‍යමූලික ආයෝජන. මේ පරතරයෙන් සැලකිය යුතු කොටසක් පියවුනේ විදේශ ණය වලින්. 

කේන්සියානු තර්කනය අනුව මුලින් රජය මුල් වී වියදම් කළත් එහිදී සිදු කරන ආයෝජන වල ප්‍රතිලාභ වලින් ඒ වියදම් පියවන්න පුළුවන්. ඒ අනුව බැලුවොත් රජය ණය වෙන එක ඒ හේතුව නිසාම ප්‍රශ්නයක් නෙමෙයි. අනූව දශකයේ ආරම්භයේ සිට පැවති තත්ත්වය දෙස බැලුවොත්, රාජ්‍ය ණය ඉහළ යද්දී රටේ ආදායම් මට්ටමද සමාන්තරව ඉහළ ගොස් තිබෙනවා. විචලනය වීම් සිදු වුනත්, දදේනි අනුපාතයක් ලෙස රාජ්‍ය ණය ප්‍රමාණය ස්ථාවරව තිබෙන්නේ ඒ නිසා. ආදායම් ඉපැයීම් නොසලකා හරිමින් අපට කේන්සියානු තර්කනය එකවර බැහැර කරන්න බැහැ.

රාජපක්ෂ දශකය තුළ ලංකාවේ දදේනි හතර ගුණයකින් වැඩි වුනා කියන එක රාජපක්ෂවාදීන් විසින් කියන කතාවක්. මේ කතාව බොරුවක් බවත්, විණිමය අනුපාතය පාලනය කිරීම හරහා පෙන්වා තිබෙන මායාවක් බවත්, මීට කලින් පැහැදිලි කර තිබෙනවා. හැබැයි ඔය හතර ගුණයේ කතාව පැත්තකින් තිබ්බත් ඔය වසර දහය තුළ ලංකාවේ දදේනි 86%කින් ඉහළ ගියා. මේ කාලය තුළ රාජ්‍ය ණය ඉහළ ගියේ ඊට වඩා ගොඩක් අඩුවෙන්. ආර්ථික වර්ධනය ගැන රාජපක්ෂවාදීන් කියන ජනප්‍රිය කතාව බොරු අතිශයෝක්තියක් වනවාක් මෙන්ම රාජපක්ෂ ණය පිළිබඳව රාජපක්ෂ විරෝධීන් කියන කතාවත් බොරු අතිශයෝක්තියක්. ඒ කාලයේ රාජ්‍ය ණය ඉහළ ගියත් ඊට වඩා වැඩියෙන් දදේනි ඉහළ ගියා.

ඉහත සංඛ්‍යාලේඛණ ඇතුළේත් විණිමය අනුපාතය පාලනය කිරීම නිසා ඇති වූ විකෘතියක් තිබෙනවා. ඒ ගැන පසුව කතා කරමු. හැබැයි ඒ විකෘතිය සැලකිල්ලට ගත්තත් ඔය කාලයේ ගත්ත ණයට වඩා සිදු වූ ආර්ථික වර්ධනය වැඩියි. පහත වගුවේ පෙන්වා තිබෙන්නේ එක් එක් කාල වකවානු වල ලංකාවේ දදේනි වෙනස් වූ ප්‍රමාණය 2021 සැප්තැම්බර් මූර්ත රුපියල් වලින්. ඒ කියන්නේ උද්ධමනය නිසා මුදලේ වටිනාකම වෙනස් වීමේ බලපෑම ඉවත් කරලා. රාජ්‍ය ණය ලෙස පෙන්වා තිබෙන්නේ අදාළ කාල වකවානු වල ගත් ණය වලට පොලී එකතු වී, විණිමය අනුපාතය සමඟ අගය වෙනස් වීමෙන් පසුව, 2021 සැප්තැම්බර් වන විට වටිනාකම.

පරණ අවුරුද්දේ අන්තිම ලිපිය විදිහට මෙය පළ කරන්න හිතාගෙන හිටියත් දන්නෙම නැතුව මැදියම් රැය පහුවෙලා. ඒ අනුව, මෙය 2022 වසරේ පළ කෙරෙන පළමු ලිපිය වෙනවා. ලංකාවට වගේම ලෝකයටත් මේ එළඹෙන වසර අභියෝගාත්මක වසරක්. අවංකවම ඉදිරි වසර දෙස ශුභවාදීව බලන එක ලේසි නැහැ. පුරෝකථනයක් ලෙස නොවුනත්, අඩු වශයෙන් ප්‍රාර්ථනාවක් ලෙස පාඨක ඔබ සැමට සුබ නව වසරක්!

6 comments:

  1. //ගෙවන්න සිදු වන පොලිය ඕනෑවට වඩා වැඩිනම් (විදේශ ණය ගැනීමට පෙර) මහ බැංකුවට භාණ්ඩාගාර බිල්පත් අලෙවි කළ හැකියි//
    **පෙර) මහ බැන්කුවට සල්ලි අච්චු ගහන්න පුලුවන්.

    ReplyDelete
  2. මොකක්ද අර්බුධය?

    ReplyDelete
  3. ඉකොනෝ මල්ලි ඔයත් එහෙනං ලීක් කර ගත්තා.

    ReplyDelete
  4. ඉකොන් ලංකාවට බලපා ඇති ඩොලර් හිගයට පිළියමක් ලෙස අමෙරිකානු ඩොලර් බිලියනයක ණයක් ලබාදීමට ඉන්දියාව එකඟතාවය පළ කර ඇති බව මාධ්‍ය වාර්තා කර තිබෙන අතර එම ණය ලබා දෙන්නේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ බෙහෙත් ඖෂධ වර්ග ආනයනය කිරීම සඳහා වන නමුත් එම මුදල ලබා දෙන්නේ ඉන්දියාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා ණය පහසුකම් කමක් ලෙස පමණයි.

    තවදුරටත් වාර්තා වී ඇත්තේ මීට අමතරව ඉන්ධන මිලට ගැනීම සඳහා ඩොලර් මිලියන 500ක මුදලක් ද හුවමාරුවක් වශයෙන් තවත් ඩොලර් මිලියන 400 ක මුදලක් ද ලබා දීමට එකඟතාවය පළකර තිබෙන බව, ලංකාවේ රූපවාහිනි මාධ්‍ය පවසන මේ කතා ඇත්තද?

    කෙසේ වුවද ත්‍රිකුණාමල තෙල් ටැංකි 101 ඉන්දිය තෙල් සමාගම්වලට පවරන එකට දෙන දොළ පිදේනියක් මේක බව ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ජන බලවේගය හෙලි කර ඇත.

    මීට අමතරව රජයේ ආයතන රාශියක් පාඩු ලබන ආයතන බව කියමින් තවදුරටත් රජය යටතේ ම තබා නොගෙන වෙනත් පෞද්ගලික පාර්ශව වෙත පැවරීමට මෙම වසරේදී දැඩි තීන්දු රැසක් ගැනීමට නියමිත බවත් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් මේ පිළිබඳව ජනාධිපති නන්ද සේන රාජපක්ෂ සමඟ සාකච්ඡා කරන ලද බවත් මේ රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරන්නේ රටේ දිගු කාලීන සුබ සිද්ධිය පිණිස බවක් ජනතාවට කියා ඔවුන් ඇන්දවීම කළයුතු බවත් එම නිසා මේ අයිතිය පැවරීමට රජය ගන්නා තීරණ කිසිම විදියකින් වැඩවර්ජන නිසා ආපස්සට නොගත යුතු බවට එහිදී ජනපති පැවසූ දෙයට එම මන්ත්‍රීවරු එකගතාව පළ කළ බවත් මාධ්‍යයට වාර්තා වී ඇත.

    ඒ වගේම රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම මාධ්‍ය වලට කීවේ ඇතැම් රාජ්‍ය ආයතනවල සේවකයන්ට වැටුප් පවා ගැනීමට නොහැකිව මහා භාණ්ඩාගාරයෙන් මුදල් මත යැපෙන තත්වයකදී සේවකයන් වර්ජන කරමින් එම ආයතන තව තවත් පහළට ඇද දැමීමට කටයුතු කරන බවත් මේ ගැන මෙම වසරේදී බරපතල තීන්දු ගැනීමට නියමිත බවත්. මේක ඇත්ත කතාවක් ද?

    එමෙන්ම ලංකාවේ නූතන දේශපාලනය තුළ දැනට සති කීපයකට පෙර 2022 අයවැයට පක්ෂව හකීම් හා බදියුදීන්ගේ පක්ෂ දෙකේ නායකයන් හැර අනෙක් සියලුම මුස්ලිම් මන්ත්‍රීවරුන් පිරිස ආණ්‌ඩුවට පක්ෂව ඡන්දය ලබා දීම හේතු කරගෙන එම පක්ෂ විසින් ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන ඇති අතර ඉන් කුපිත වී ගිය ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය සහ සමස්ත ලංකා මහජන කොංග‍්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හත්දෙනෙක් වෙනම මුස්ලිම් සන්ධානයක් පිහිටුවීමට තීරණය කර ඇත.

    මේ සිදුවීම සමගම ඒ අනුව පාර්ලිමේන්තුවේ එම පක්ෂ දෙකේ නායකයන් වූ රාවුෆ් හකීම් සහ රිෂාද් බදිඋද්දීන් යන දෙදෙනා පමණක් නියෝජනය වනු ඇති අතර අනෙක් සියලුම මන්ත්‍රීවරු එම පක්ෂ වලින් පිට වෙනම පක්ෂයක් ලෙස එම මන්ත‍්‍රීවරුන් විසින් පිහිටුවනු ලබන නව සන්ධානය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගත වීමට ද දැනට සාකච්ඡා කරමින් සිටී. මේ අතර ආණ්ඩුවේ ඉහළම ලොක්කන් පිරිස මේ දවස් වල සාකච්ඡා වී ඇත්තේ වත්මන් කැබිනට් මණ්ඩලය අසමත්වීම හේතුවෙන් රටම අසමත් වී ඇති බවද කැබිනට් මණ්ඩලයට ඒ ඒ විෂයන් පිළිබඳ දැනුමක්, හැඟීමක් ඇති අය පත්කරගැනීම සිදුකළ යුතු බව ද නව කැබිනට් මණ්ඩලයක් පත්කරගෙන රටේ ඉදිරි ගමනක් යාම සඳහා නව වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව ද මෙහිදී තීරණය කර ඇත. මීට හේතු වන්නට හේතුවන ඇමරිකානු එක්සත් ජනපදයේදී ඇමරිකානු ආසියා ශාන්තිකර කලාපය භාර නිලධාරීන් සහ ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රබලයන් සමග බැසිල් රාජපක්ෂ කළ සංවාදවලදී සහ විවිධ සටකපට ඩීල් පිළිබඳ සාකච්ඡාවලදීද රාජපක්ෂ පවුල් ආධිපත්‍යය ගැන එම නියෝජිතයින් අතින් දැඩිව විවේචන එල්ල වී ඇති පසුබිමක ඇමරිකානු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් යෝජනා කරන කණ්ඩායමක අය රජයේ ඉහළ තනතුරු රැසක් සඳහා පත් කිරීමට අවශ්‍ය බැවින් ඇතැම් අමාත්‍යාංශ ඇමතිවරු සහ ලේකම්වරු ද වෙනස් කිරීමට සිදු වන බව මේ ගැන වැඩිදුර සාකච්ඡාවක් පවත්වා ආණ්ඩුවේ ඉහළම ලොක්කන් පිරිසක් කතා කරල තියෙනවා කියලා ලංකාවේ විකල්ප මාධ්‍ය කියන්නේ, මේ ගැන ඉදිරි කාලයේදී සම්පූර්ණයෙන්ම විස්තර හෙළිදරව් වේවි. කෙසේ හෝ මෙයින් ලංකාව කබලෙන් ලිපට වැටෙන බව පේනව නේද?

    ReplyDelete
  5. I would like to draw your attention on the following facts and points appeared in international media in the last couple of days.

    "//Indian politician, Senior BJP party leader, economist, academic, scholar and statistician Dr. Subramanian Swamy has castigated his Government for the failure to extend critical support to Sri Lanka at her neediest hour and the most usable hour to set up another good friend with stronger bond with india & deprive evil powers eying on stabilizing within the subcontinent and Indian ocean.

    Dr Swamy has stated that “If India wants an ally for the Indian Ocean long term, then India must give deferred interest $ 10 billion loan to the SL Government now or face China getting one more junior partner,” in his official tweeter.

    “Accordingly, the current Modi Govt. which ruling India has severely failed in so many foreign policy issues. Let not Sri Lanka be another,” he added.

    Meanwhile the Asian Development Bank (ADB) will be reimbursing Sri Lanka to the tune of $ 85 million, money which the country had spent to purchase Sinopharm COVID-19 vaccines. According to Pharmaceutical Production, Supply and Regulation State Minister Prof. Channa Jayasumana, the ADB had agreed to reimburse the amount taking into consideration the transparency of the vaccine procurement process as well as the progress of the country’s COVID-19 immunisation program. The majority of the country’s vaccinated population received the Sinopharm vaccine, with 11.9 million persons receiving the first dose of Sinopharm and 10.9 million persons receiving the second dose.

    By the way, even though the Container volumes at Sri Lanka’s Colombo Port has surged 20.8 percent in November 2021 to 594,236 twenty foot equivalent units also taking the 11-month volumes past the pre-pandemic number, official data show where domestic container volume grew 18 percent to 99,382 in November, while transshipment containers grew 22.7 percent to 484,270 TEUS.

    So far within this year (up to November month end) Sri Lanka’s container volumes were up 4.8 percent to 6,596,167 TEUs, just exceeding the pre-pandemic number in 2019 of 6,589,498 while Sri Lanka kept Colombo Port open during the height of the pandemic in the first half of 2020 when many ports faced disruptions due to Coronavirus though the port faced some disruption as Coronavirus spread in the country after September 2021.//"

    Could you please elaborate the above facts & their critical impact on the future of SL?

    ReplyDelete
  6. ඉකොන්ටත් සුබ නව වසරක් වේවා කියල ප්‍රර්ථනා කරනවා. ඔබගේ වියුනුව දිගටම කරගෙන යන්න ලැබේවා කියලත් ප්‍රර්ථනා කරනවා. 2022 ලංකාවාසී අපිටනම් අනිවාර්යෙන්ම ගොඩක් දුක් කරදර විදින්න වෙන වසරක් වෙයි. එත් අපේ මිනිස්සු වේලක් නොකා හරි මේ ආර්ථික ප්‍රශ්නයට මුහුණ දෙන්න සුදානම් (හෝ කොහොමත් එහෙම කරන්න වෙනවනේ. මිනිසුන්ට වෙන විකල්පයක් නෑ) දැන් බලන්න ගෑස් අර්බුදය හමුවේත් මිනිස්සු තමන්ගේ ඉහුම් පිහුම් කොහොමහරි කළමනාකරණය කර ගන්නවා. එහෙම වෙන්නෙත් රජයෙන් කිසිම මැදිහත්වීමක් නොවෙන තත්වයක් තුල. ඔය පොහොර ප්‍රශ්නෙත් මිනිස්සු කොහොමහරි කළමනාකරණය කරගනි. ඉකොන් කලින් කියල තියෙනවා වගේ කාර්යක්ෂම ගොවින් අතරට විතරක් අපේ කෘෂිකර්මනය විතැන් වෙයි. අකාර්යක්ෂම ගොවින් වෙන වෙන කර්මාන්ත වලට විතැන් වෙයි. ලෝකෙන් නයට පොහොර අරන් ඒ පොහොරින් වී වගා කරපු සහල් කිලෝ එකක් රුපියල් 150ට අරන් කනවට වඩා හොදයි නය නැතිව පොහොර අරන් සහල් කිලෝ එකක් 300 කන එක.(මිල අඩුනම් පිටරටින් සහල් ගේන්නත් ඕනේ) අඩු ගානේ අපේ පොඩි උන්ටවත් නය අඩු රටක ජිවත් වෙන්න ලැබෙයි. (බලන් ගියහම අපි මෙච්චර කල් කාලා තියෙන්නෙත් නයට) මහින්ද රාජපක්ෂලා පොහොර මිටිය රුපියල් 350 දීපු පල විපාක තම අපි මේ දැන් ගෙවන්නේ. ඒ දවස් වල මේවට හුරේ දැම්මේ, අත්පොඩි ගැහුවේ හරියට desi ආච්චිගේ පෙට්ටගමේ තිබ්බ ඩොලර් වලින් මේවා ගෙනත් දෙනවා වගේ. රට අගාදයකට දාපු මේ නරුම පාලකයන්ට එදත් ඕනේ උනේ මිනිස්සුන්ගේ ආකර්ෂණය දිනාගන්න එක විතරයි. තාමත් එකේ වෙනසක් වෙලා නෑ. මිනිස්සුන්ට යථාර්තය තේරුම කරදී ආර්ථිකය මානව හසුරුවන්න පුළුවන් උගත් දැනුවත් පිරිසක් අතරට මේ බලය ඉතා ඉක්මනින් හුවමාරුවිය යුතුයි. නැත්නම් ඉතින් ඉන්න හිතෙන රටක් නෙමෙයි එන්නවත් බැරි රටක් තමා අපිට ඉතුරු වෙන්නේ.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: