වෙබ් ලිපිනය:

Thursday, March 24, 2022

බැංකු කඩා වැටෙන්නද යන්නේ?

 

මහ බැංකුව විසින් නිවේදනයක් නිකුත් කරමින් "බැංකු පද්ධතිය සම්බන්ධයෙන් සිදු කර ඇති යම් ප්‍රකාශයන් නිවැරදි නොවන අතර, බැංකු පද්ධතිය ස්ථාවර බවටත්, රාජ්‍ය බැංකු ආයතනවල මෙහෙයුම් කටයුතු සුමට ආකාරයෙන් සිදු වෙමින් පවතින බවටත්, මහජනතාව සහ සියලු පාර්ශ්වයන් වෙත මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහවුරු කරන බව" දැනුම් දී තිබෙනවා. 

මහ බැංකුව විසින් මීට මහජනතාව වෙත කළ මෙවැනි ඇතැම් දැනුම්දීම් නිවැරදි නොවූ බව මේ වන විට තහවුරු වී තිබෙනවා. ඒ හේතුව මත මහ බැංකුවට මේ වෙලාවේ "කොටියා ආවෝ" ආකාරයේ ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදු වී තිබෙනවා. මේ වෙලාවේ මහ බැංකුව ඇත්ත කිවුවත් මිනිස්සු පිළිගන්නේ නැහැ. ඒ නිසා, පැහැදිලි කිරීමක් කරන එක පැත්තක සිටින අප වැනි අයගේ වගකීමක් කියා මම හිතනවා. 

වාණිජ බැංකු විසින් කරන්නේ පොලියක් ගෙවා තැන්පතු සේ එකතු කරගන්නා මුදල් වැඩි ඊට වඩා පොලියකට ණය සේ ලබා දී ලාබයක් ලබන එකයි. ඔවුන්ගේ ව්‍යාපාරික ආකෘතියම මෙය නිසා ලෝකයේ කිසිම බැංකුවක් තැන්පතු සේ එකතු කරගන්නා මුදල්  සියල්ල බැංකුවේ ගොඩ ගසා ගෙන ඉන්නේ නැහැ. තමන්ගේ තැන්පතු මුදල් ආපසු ඉල්ලන අයට ලබා දීමට ප්‍රමාණවත්යැයි ඇස්තමේන්තු කරන මුදලක් අතේ තියාගෙන ඉතිරි සල්ලි ණයට දෙනවා.

සියලුම තැන්පතුකරුවන් එකවර පැමිණ බැංකුවේ තිබෙන තමන්ගේ සල්ලි මුදල් නෝට්ටු වලින් ඉල්ලා සිටියොත් ලෝකයේ ඕනෑම බැංකුවක් කඩා වැටෙනවා. එහෙම ගෙවන්න සල්ලි බැංකුවේ නැහැ. බැංකුවේ විතරක් නෙමෙයි රටෙත් නැහැ. මම පළමුව ඇමරිකාවේ දත්ත පෙන්වන්නම්. 

ඇමරිකානුවන් සතු මුළු මුදල් ප්‍රමාණය, එහෙමත් නැත්නම් මුදල් සැපයුම, කොපමණද?

පහත තිබෙන්නේ 2022 පෙබරවාරි අවසානයේ ඇමරිකාවේ M1 මුදල් සැපයුම හා එහි සංරචකයි.

සංසරණයේ ඇති මුදල් නෝට්ටු - ඩොලර් බිලියන 2,141.8යි.

ඉල්ලුම් තැන්පතු (ජංගම ගිණුම්) - ඩොලර් බිලියන 4,695.3යි.

අනෙකුත් ද්‍රවශීල තැන්පතු (ඉතිරි කිරීමේ ගිණුම් ආදිය) - ඩොලර් බිලියන 13,723.7යි.

එකතුව - ඩොලර් බිලියන 20,560.8යි. 

දැන් මේ අනුව රටේ මිනිස්සුන්ගෙන් සල්ලි වලින් 90%ක් පමණම තියෙන්නේ බැංකු වලයි. එහෙමයි කියලා මිනිස්සුන්ට ප්‍රශ්නයක් නැහැ. ඇමරිකාවේ ගොඩක් අය ගනුදෙනු කරන්නේ කාඩ්පත් වලින් හා වෙනත් විද්‍යුත් ක්‍රම වලින් මිසක් මුදල් නෝට්ටු වලින් නෙමෙයි. ලෝකයේ වෙනත් බොහෝ දියුණු රටවලත් තත්ත්වය එවැන්නක්.

දැන් මෙහි සඳහන් ඩොලර් බිලියන 20,560.8ක් වන මිනිස්සුන්ගේ සල්ලි වලින් ඩොලර් බිලියන 18,419ක්ම තියෙන්නේ බැංකු වල. මිනිස්සු එක පාරටම ඒ සල්ලි ඉල්ලුවොත් දෙන්න සල්ලි බැංකු වල තියෙනවද?

පෙබරවාරි අවසන් වෙද්දී ඇමරිකාවේ සංචිත බැංකුව විසින් නිකුත් කර තිබුණු මුළු නෝට්ටු ප්‍රමාණයම ඩොලර් බිලියන 2,235.5ක් පමණයි. එයින් බිලියන 2,141.8ක්ම මිනිස්සු අතේ. එතකොට බැංකු වල තියෙන ප්‍රමාණය ඩොලර් මිලියන 93.7ක් පමණක් බව ගණන් හදා ගන්න පුළුවන්නේ. 

බැංකු වල ඩොලර් නෝට්ටු තිබෙන්නේ මෙපමණක් වුවත්, ඔය බැංකු විසින් සංචිත බැංකුවේ ගිණුම් වල දමපු සල්ලි තිබෙනවා. ඒ නිසා අවශ්‍ය වෙලාවක ඒ සල්ලි මුදල් නෝට්ටු ලෙස ආපසු ගන්න පුළුවන්. එම ප්‍රමාණය ඩොලර් බිලියන 3,804.5ක්. ඒ කියන්නේ තැන්පතුකරුවන් විසින් ආපසු ඉල්ලුවොත් ඩොලර් බිලියන 3,898.2ක් දක්වා මුදලක් ප්‍රශ්නයක් නැතුව ආපසු ගෙවන්න පුළුවන්.

ඇමරිකාවේ බැංකු වල තිබෙන මුළු තැන්පතු ප්‍රමාණය ඩොලර් බිලියන 18,419ක්. ඒ කියන්නේ හදිසියකදී ගෙවන්න පුළුවන් ඔය ප්‍රමාණයෙන් 21%ක් පමණයි. ඊට වඩා ඉල්ලුවොත් බැංකු කඩා වැටෙනවා. 

දැන් අපි ලංකාවට එමු. 2021 ජූනි අවසානයේදී ලංකාවේ සාමාන්‍ය මිනිසුන්ට අයිති වූ මුදල් ප්‍රමාණය හා එහි සංරචක පහත තිබෙනවා.

සංසරණයේ ඇති මුදල් නෝට්ටු - රුපියල් බිලියන 711.9යි.

ඉල්ලුම් තැන්පතු (ජංගම ගිණුම්) - රුපියල් බිලියන 581.5යි.

ඉතිරි කිරීමේ ගිණුම් හා ස්ථිර තැන්පතු - රුපියල් බිලියන 7,842.9යි.

එකතුව - රුපියල් බිලියන 9,136.3යි. 

දැන් පේනවනේ. මිනිස්සුන්ගේ සල්ලි වලින් 92%ක්ම තියෙන්නේ බැංකු වල. සමහර විට ඔය ප්‍රතිශතය මේ වෙද්දී ටිකක් අඩු වෙලා ඇති. නමුත්, 90%කට වඩා අඩු වෙන්න විදිහක් නැහැ. බැංකු වල තිබෙන මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 8,424.4ක්. ඔය සල්ලි ඔක්කොම එක වර ගෙවන්න බැංකු වලට පුළුවන්ද?

ඔය දවස වෙද්දී බැංකු සතුව මුදල් ලෙස තිබුණේ රුපියල් බිලියන 238.2ක් පමණයි. තව රුපියල් බිලියන 115.0ක් මහ බැංකුවේ තැන්පත් කරලා තිබුණා. එතකොට එකතුව රුපියල් බිලියන 253.2ක් පමණයි. ඒ කියන්නේ මහජන තැන්පතු ප්‍රමාණයෙන් 3%ක් පමණයි. මේ ප්‍රතිශතය ඇමරිකාවේ 21%ට වඩා ගොඩක් අඩුයි. ඔය වගේ තත්ත්වයක් යටතේ මිනිස්සු එකවර බැංකු වලින් සල්ලි අදින්න ගත්තොත් රටේ බැංකු පද්ධතියම ක්ෂණිකව කඩා වැටෙන්න පුළුවන්.

සාමාන්‍යයෙන් ලංකාවේ මිනිස්සු ජංගම ගිණුම් වල තියෙන සල්ලි ගනුදෙනු සඳහා වියදම් කරන නමුත් ඉතිරි කිරීමේ ගිණුම් හා ස්ථිර තැන්පතු වල තිබෙන සල්ලි හොල්ලන්නේ නැහැ. ඔය කියන දවස වන විට ජංගම ගිණුම් වල තිබුණු සල්ලි වලින් 43.5%ක් එකවර ඉල්ලුවත් ගෙවන්න ප්‍රමාණවත් සල්ලි ලංකාවේ බැංකු සතුව තිබුණා. ඒ නිසා, මිනිස්සු ඉතිරි කිරීමේ ගිණුම් හා ස්ථිර තැන්පතු වල තිබෙන සල්ලි ආපසු නොගන්නා තුරු බැංකු පද්ධතිය කඩා වැටීමේ කිසිම අවදානමක් නැහැ.

පවතින ඉහළ උද්ධමනය හමුවේ බැංකු විසින් තැන්පතුකරුවන්ට ප්‍රමාණවත් තරම් ඉහළ පොලියක් ගෙවන්නේ නැහැ. මේ තත්ත්වය තුළ මිනිස්සු තමන්ගේ ඉතිරි කිරීමේ ගිණුම් හා ස්ථිර තැන්පතු වල තිබෙන සල්ලි ඇදලා රත්තරන් වැනි දේ මිල දී ගැනීමේ ප්‍රවණතාවක් ඇති වී තිබෙනවා. පුළුවන් අය ඩොලර් ගන්නවා. තව අය ඉඩම් වාහන වගේ දේවල් ගන්නවා. මේ තත්ත්වය තුළ බැංකු වලින් එළියට යන තරමට ඇතුළට සල්ලි එන්නේ නැහැ. ඊයේ (මාර්තු 23) වන විට බැංකු පද්ධතිය ඇතුළේ ද්‍රවශීලතා හිඟය රුපියල් බිලියන 585.95ක්. හැබැයි මහ බැංකුව විසින් 7.5% පොලියට ණය දීලා ඔය හිඟය පුරවනවා. අවදානම් පැත්තකින් තිබ්බොත්, මහ බැංකුවට සල්ලි අච්චු ගහන්න පුලුවන් නිසා ඔය වැඩේ දිගටම වුනත් කරන්න පුළුවන්. 

ඔය ප්‍රශ්නය ස්ථිරසාර ලෙස විසඳා බැංකු පද්ධතියේ ස්ථාවරභාවය තහවුරු කරන්න අවශ්‍යනම් මහ බැංකුව විසින් කළ යුත්තේ පොලී අනුපාතික වැඩි කරන එකයි. එතකොට මිනිස්සු බැංකු වලින් සල්ලි අදින එක නවතිනවා.

පෙනෙන විදිහට යම් කතාවක් පැතිරී තිබෙන්නේ මහජන බැංකුවේ ස්ථාවරත්වය පිළිබඳවයි. රොයිටර් වාර්තා කර තිබෙන විදිහට සංවර්ධන බැඳුම්කරයක් වෙනුවෙන් මහ බැංකුව විසින් මහජන බැංකුවට ගෙවිය යුතු වූ මුදලක් නියම වෙලාවට ගෙවලා නැහැ. එම මුදල නොලැබුණු නිසා මහජන බැංකුව විසින් තවත් වාණිජ බැංකු දෙකකට ගෙවිය යුතු වූ මුදල් ගෙවන්න බැරි වෙලා. ඔය වගේ පරක්කු වන එක ගෙවීමක් ක්ෂණිකව බැංකු පද්ධතියේම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.

හැබැයි මතක තියා ගන්න මේ හිරවීම් සියල්ල සිදුවන්නේ ඩොලර් ගනුදෙනු හා අදාළවයි. ඒ හේතුව නිසා බැංකු පද්ධතියේ අස්ථාවරත්වයක් ඇති වුනත්, මහජනතාවගේ රුපියල් තැන්පතු වලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. වාණිජ බැංකු සතුව ප්‍රමාණවත් රුපියල් ප්‍රමාණයක් නැත්තේ එම රුපියල් වැඩි පොලියකට රජයට ණයට දීලා නිසා. හරියටම කිවුවොත් භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරලා නිසා. බැංකු අතේ රුපියල් වලින් සල්ලි නැතත් මේ භාණ්ඩාගාර බිල්පත් තිබෙනවා. ඒ නිසා, ඕනෑ වෙලාවක ඒ භාණ්ඩාගාර බිල්පත් ඇපයට තියලා මහ බැංකුවෙන් 7.5% පොලියට ණය ගන්න පුළුවන්. 

තවත් විදිහකට කිවුවොත් මේ වෙලාවේ බැංකු වල තිබෙන රුපියල් තැන්පතු වලට කිසිම අවදානමක් නැහැ. හැබැයි හැමෝම බය වෙලා සල්ලි අදින්න ගත්තොත්නම් විශාල ප්‍රශ්නයක් වෙයි. එය කෙසේවත් නොකළ යුතු දෙයක්. මම හිතන්නේ ලංකාවට දැනට තියෙන ප්‍රශ්න ටික හොඳටම ඇති!

27 comments:

  1. වැදගත් පෝස්ටුවක් ඉකෝන්. කොහොමත් අපි සල්ලි අච්චු ගහන්න කප් ගහපු වීරයො නිසා සාමාන්‍ය මිනිස්සු බය වෙන එකක් නෑ. තෙල් පෝලිම් ගෑස් පෝලිම් වල වගේ රස්තියාදු වෙන්නෙ නැතුව රුපියල් තැම්පතු බැන්කු වලින් ගන්න පුලුවන් කියන බලාපොරොත්තුවක් මිනිස්සුන්ට තාම තියෙනවා මම හිතන්නෙ. ඒක නිසා බැන්කු ඉස්සරහ පොරකන එකක් නෑ.

    ReplyDelete
  2. අනේ මන්දා ඉකොනොමැට්ටා ලංකාවේ ආර්ථිකය සම්බන්ධ නිව්ස් එහෙම බලද්දී අද රටේ ජනතාවට ඇත්ත කියන්නෙ කවුද බොරු කියන්නෙ කවුද කියල විස්වාස නෑ මොකද මුන් ඔක්කොම බලය වෙනුවෙන් කෙබර කෙලින කාක්කො.

    මේ බලන්න ලංකාවේ උගත් කෙනෙක් ලෙස පෙන්වා ගෙන සිටින ආචාර්ය හර්ෂ ද සිල්වා කතා කරන දේවල්;

    https://m.facebook.com/harshadesilvamp/videos/507223224379047/

    ඉතාමත් මෝඩ විදියට සමාජය නොමග යවන භයානක බොරු. දැන් මිනිස්සු කලබල වෙලා බැංකුවට ගිහින් සල්ලි ඇද්දොත් බැංකුව කොහොමත් බංකොලොත් වෙනවා..මන් හිතුවෙ මෙයා ආර්ථික විද්‍යාව පිළිබඳ මූලික කරුණු කාරණා වත් තේරුම් ගත්ත මොළේ තියෙන හාදයෙක් කියලා, නොදකින්.

    මේකට කබරයා හරි කපුටාස් හරි උත්තර දෙන්න ගියොත් වෙන්නේ තවත් වැඩේ අල වෙන එක මොකද උන් ගැන මූ ගැන තරම් වත් මිනිස්සු විස්වාස කරන්නේ නෑ ලෝක හොරු නිසා ආණ්ඩුවේම ඇමති මන්ත්‍රීලවත් උන් කියන දේ ගැන ෂුවර් නැතුව ඇති.

    ඒත් ඉකොනොමැට්ටා අපි ඒ කාලේ කියපු මේ දේවල් නම් දැනට ඇත්ත වෙලා තියෙනවා නේද?

    // AnonymousNovember 23, 2021 at 8:07 AM
    මම හිතන්නේ නම් ලෝක කපටියෙක් වෙන කබර රාල කම්බ හොරා ඔහොම තව ටික දවසක් හොර ගල් අහුල අහුල ඉඳලා ලබන අවුරුද්ද පළමු සහ දෙවෙනි කාර්තු වෙනකොට අයි එම් එෆ් වැඩ සටහනක් අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරයි, මොකද ලංකාවේ ලොකුම අයි.එම්.එෆ්. ප්‍රොග්‍රෑම් එක ඩොලර් බිලියන 2.5කින් ක්‍රියාත්මක කරපු කබරයට ඕව වැඩ නෙවෙයි, මම හිතන්නේ ආණ්ඩුව ජන අප්‍රසාදය නැති කර ගන්නේ හිතා මතාමයි, ඒ සමග ඔවුන්ට ලේසියෙන්ම ජනප්‍රිය නොවන බදු වැඩි කිරීම, මිල පාලනයෙන් ඉවත්වීම සහ තෙල් මිල ඉහළ නැංවීම වගේ දේවල් කරන්න පුළුවන්, ගෑස් මිල වැඩි නොකර පාලනය කරන් ඉඳලා හිඟයක් හදලා ශේප් එකේ වැඩි කරා, ඔය වගේ තෙල්, කිරිපිටි වගේ අනිත් ඒවත් මහ රට කපටි විදිහට කරන්නේ. ඡන්දයක් ආවොත් ඒකටත් ආණ්ඩුවෙන්ම වෙනම පිරිසක් දාලා විපක්ෂය අල කරන සැලසුමකුත් ඇති. කොහොමත් ලංකාවේ බහුතරයක් මිනිස්සුන්ට ආණ්ඩුව වගේම විපක්ෂයත් එපා වෙලා තියෙන්නේ මේ නිසා විශාල පිරිසක් ඡන්දය නොදා මග අරීවි අලුත්ම පිරිසක් විශ්වාසනීය වැඩ පිළිවෙලක් සමග නොආවොත්. හැබැයි ආණ්ඩු වෙනස් කළත් මේකට ඉක්මනින් කළ හැකි පිළියම් මොකුත් නැහැ නේද?//

    ඉස්සරහට මොකද වෙන්නේ කියලා අදහසක් තියෙනවා ද? ඉක්මනට අයි එම් එෆ් එකට වත් ගිහින් මේ අර්බුදකාරී අරාජික තත්වය පාලනය කරගන්න එක නම් අත්‍යවශ්‍ය දෙයක්. එහෙම නේද?

    ReplyDelete
    Replies
    1. මිනිස්සු කලබල වෙලා සල්ලි අදින එක කළ යුතු නැහැ. හැබැයි හර්ෂ කියන කතාව ඇත්තනම් (ඇත්ත කියලා මම හිතනවා) එහි කතා කළ යුතු ප්‍රශ්නයක් තිබෙනවා. ඇත්තටම මෙවැන්නක් දැන සිටියානම් මම ඒ ගැන කලින්ම ලියනවා. කියන විදිහට රාජ්‍ය බැංකු විසින් පසුව රුපියල් 185ට ඩොලර් විකුණන පොරොන්දුවට රුපියල් 200ට ඩොලර් අරගෙන තියෙනවා. දැන් එම බැංකු වලට (හෝ බැංකුවට) අදාළ ගිවිසුම් වල කොන්දේසි අනුව රුපියල් 300 බැගින් ඩොලර් මිල දී ගෙන (සමහර විට තවත් ගොඩක් වැඩියෙන්) රුපියල් 185ට විකුනන්න වෙලා. මෙයින් රාජ්‍ය බැංකු වලට විශාල පාඩුවක් සිදු වී රාජ්‍ය බැංකු කඩා වැටීමේ අවදානමක් ඇති වෙනවා. හර්ෂ පෙන්වන දෙය බරපතල කරුණක් වෙන්න පුළුවන්. මෙම අවදානම කොපමණද කියා මම දන්නේ නැහැ. මුදල් ඇමති හෝ මහ බැංකුව විසින් මෙය පැහැදිලි කළ යුතුයි. බැංකු ස්ථාවර බව නිකම්ම කියලා හරියන්නේ නැහැ.

      ඔබ කවුද කියා මම දන්නේ නැහැ. "AnonymousNovember 23, 2021 at 8:07 AM" ප්‍රතිචාරයේ කියා තිබෙන දේවල් මේ වන විට හරි ගිහින් තිබෙන බව ඉතාම පැහැදිලියිනේ. සමහර විට හර්ෂ පෙන්වා දෙන පවතින තත්ත්වය තුළ රාජ්‍ය බැංකු පෞද්ගලීකරණය කිරීම පහසු වෙන්න පුළුවන්. තමන්ගේ සල්ලි නැති වීමේ අවදානම හමුවේ කවුරුවත් රාජ්‍ය බැංකු පෞද්ගලීකරණය කිරීමට විරුද්ධ වෙන්නේ නැහැ. එහෙම නොකළොත් සල්ලිත්, බැංකුවත් දෙකම නැති වෙන්න පුළුවන්. මේ ආණ්ඩුව සමහර දේවල් කරන ක්‍රමය නරකම නැහැ. කාබනික වගා ක්‍රමය නිසාත් සිදු වූ යහපතක් තිබෙනවා.

      අයි එම් එෆ් එකට ගිහින්නේ තියෙන්නේ. ඉක්මණින්ම ප්‍රශ්නය විසඳෙන ආකාරය ගැන මොනවා හෝ දැනගන්න ලැබෙයි.

      Delete
    2. මේක මතකයි නේද?

      http://economatta.blogspot.com/2021/11/blog-post_21.html?showComment=1637672847211&m=1#c4655420410217239615

      මම හිතන්නේ මේක පිටුපස සිටින පුද්ගලයා බැසිල් රාජපක්ෂ වුණත් ඔහු වෙනත් බාහිර සැලසුමක් අනුව ක්‍රියාත්මක වන බව... මේක වීරවංශලගේ "කුමන්ත්‍රණ" කතා ෆෑන් කෙනෙක් විදිහට නෙවෙයි කියන්නේ. මේක ලොකු සැලසුමක් අනුව ක්‍රියාත්මක වන බව පේනවා. කබ්රාල් කියන්නේ අවුරුදු දහයකට වඩා මහ බැංකුවේ අධිපති ධූරය දරපු පළපුරුදු ගණකාධිකාරි කෙනෙක්. අනෙක් අතට මහ බැංකුවේ නිලධාරීන් සහ මුදල් අමාත්‍යාංශ ලේකම් වගේ අය බබාල නෙවෙයි.

      ලංකාවට මූල්‍ය අර්බුද අලුත් දෙයක් නෙවෙයි 16 වතාවක් බංකොලොත් වෙන්න ගිහින් නූලෙන් බේරිලා තියෙන්නෙ. 1988 හොඳටම නන්නත්තාර වෙලා ඒත් බේරුණා කියනවනේ මහ බැංකු අධිපති වර්ණසේන රාසපුත්රම් නිසා.

      මට මතකයි අපි පාසල් සිසුන් වී හිටපු 2000 වසරේදී ලංකාවේ උතුරේ යුද්ධය බරපතල ප්‍රශ්ණයක් වෙලා විශාල පිරිසක් මිය ගොස් රජයේ ආරක්ෂක වියදම ඩොලර් මිලියන 750 ක විතර තිබ්බ එක ඩොලර් මිලියන 1150 - 1300 ක් විතර දක්වා ඉහළ ගිහින් ගෙවුම් ශේෂ හිඟය සෑහෙන වැඩි වෙලා ලංකාව අසරණ වුණා, (ඊට පස්සේ කටුනායක ගුවන් තොටුපලේ විශාල විනාශයක් වූ ත්‍රස්ත ක්‍රියාවන් සහ පසුව සැප් 11 නිව්යෝක් ප්‍රහාරය නිසාත් මීටත් වඩා බලපෑම් වුණා ආර්ථිකය ඍණ වුණා) ලංකාවේ ආර්ථිකය මීටත් වඩා දැඩි ලෙස ඉතාමත් නරක අර්බුදකාරී තත්ත්වයක් ඇති වුණාම එවකට මහ බැංකු අධිපතිව සිටි ඒ.එස්. ජයවර්ධන 2001 ජනවාරි 23 රුපියල ෆ්ලෝට් කරන්න තීරණය කළත් ඊට පෙර ඔහු තවත් කර්තව්‍ය රැසක් සිදු කළා. මුලින්ම ආර්ථිකය ගැන මළ පොතේ අකුරක් නොදැන සිටි මෝඩ ජනාධිපතිනී (මෙන්ම මුදල් අමාත්‍ය) වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක අමාරුවෙන් සරලව පැහැදිලි කර දැනුවත් කරා. දෙවැනුව IMF අරමුදලෙන් ණය මුදලක් ගැනීමට අවශ්‍ය කටයුතු ඇරඹුවා. ඊළඟට රුපියල පා කිරීමෙන් ඇති වන අහිතකර ප්‍රතිවිපාක ගැන ඉතා දීර්ඝ වශයෙන් සාකච්ඡා කර හොඳටම අධ්‍යයනය කර ඒ සම්බන්ධයෙන් රජයද දැනුම්වත් කරමින් (ඔය අතරේ මේක කොච්චර හොඳට පැහැදිලි කරාද කියතොත් මොරාල් එක වැඩි වෙලා හිටපු ජනාධිපතිනිය මහ බැංකු අධිපතිවරයාගෙන් ප්‍රශ්න කළාලු රුපියල පා කිරීම පමා කරන්නේ ඇයිද කියලත්). එවිට ඔහුගේ ප්‍රතිචාරය වූයේ වාහනයක බ්රේක් ටෙස්ට් නොකර එය මාර්ගයට දැමිය නොහැකි බවත් ඉන් අදහස් කළේ රුපියල පා කිරීමෙන් ඇති වන අනර්ථකාරී ප්‍රතිඵල සෑහෙන දුරට හොඳටම අධ්‍යයනය නොකර එය ක්‍රියාවේ යෙදවිය නොහැකි බව, වාහනය බැරිවෙලා හරි හෙන පාතාලේකට ගමන් කළොත් එය වැළැක්වීමට වාහනය හේත්තු කිරීමට ගසක් තමන්ට හමු වූ බවත් එය නම් IMF අරමුදල බවත් ඔහු ප්‍රකාශ කරා මතකයි ඒ කාලේ ටී වී වැඩසටහන් වලට ඇවිත්, ඒ වගේම තව වැදගත් දෙයක් තියෙනවා ඉකොනොමැට්ටා ඔය වගේ රුපියල නිදහස් ෆ්ලෝට් කිරීමේ තීරණයට පෙර සියයට 15 වගේ අගයක පැවති මහ බැංකුවේ පොලී අනුපාතය සියයට 25 දක්වා ඉහළ දැම්මා. ඉතින් 2001 ජනවාරි 23 රුපියල ෆ්ලෝට් කළ පසු පැවති විනිමය අනුපාතිකය ක්ෂණයෙන් රුපියල් 80 සිට 90 දක්වා වැඩි වුණත් එම අවස්ථාවේදී IMF අරමුදල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ රුපියල ෆ්ලෝට් කරන්න ලංකාව ගත් තීරණය සුදුසු එකක් බවත් තමන් ලංකාව වෙනුවෙන් පෙනී සිටින බවත්, ඒත් සමගම විදේශ ආයෝජකයන්ට මෙන්ම පිට රටවල සිටි ලාංකික ශ්‍රමිකයන්ටත් ආර්ථිකය ගැන විශාල විශ්වාසයක් ඇති වීමෙහි ප්‍රතිඵලයක් ලෙස ලංකාවට විදේශ විනිමය ගෙන ආ නිසා අදාළ තීරණය ගෙන සති දෙකක් ඇතුලත වගේ 98 දක්වා ඉහළ ගොස් තිබූ රුපියලේ වටිනාකම 88 දක්වා පහළ ගියා මතකයි නේද?

      ඒ නිසා ලංකාවේ මහ බැංකු අධිපතිලාගේ මේ වගේ අතීත අත්දැකීම් හා සැසඳීමේදී වත්මන් මහ බැංකු පරිපාලනය ගත් තීරණය හිතා මතාම ගත් දෝෂසහගත බව පැහැදිලියි. හරිනම් දැන් ඊට වඩා හොඳට ඇනලයිස් කරන්න පුළුවන් විය යුතුති රුපියල පා කිරීමට පෙර පොලී අනුපාත ඉහළ නැංවූයේවත් ණය මුදලක් ගැනීම සඳහා මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කළේවත් නැහැ. IMF මූල්‍ය අරමුදලෙන් ණයක් ගන්නා බව ජනාධිපතිවරයා සෘජුව කීවේ ද නැහැ ඒ වෙනුවට වාසි අවාසි දෙපැත්තම අධ්‍යයනය කර තීරණයක් ගන්නා බව පමණි කිව්වේ එහෙම නේද?

      Delete
    3. //IMF මූල්‍ය අරමුදලෙන් ණයක් ගන්නා බව ජනාධිපතිවරයා සෘජුව කීවේ ද නැහැ ඒ වෙනුවට වාසි අවාසි දෙපැත්තම අධ්‍යයනය කර තීරණයක් ගන්නා බව පමණි කිව්වේ එහෙම නේද?//

      IMF එකෙන් දැනටම කෙටුම්පතක් දී ඇති බවත් රජය/ මහ බැංකුව එය අධ්‍යයනය කරමින් සිටින බවත් ඉන් පසුව බැසිල් කිවුවනේ. ඉන් පසුව තිබෙන්නේ දෙපාර්ශ්වය සාකච්ඡා කර අවශ්‍ය පරිදි වෙනස්කම් කිරීමෙන් පසුව staff level agreement එකකට එන එක. එවිට සෑහෙන දුරකට වැඩේ වෙලා. සති කිහිපයකින් වුවත් මෙය සිදු විය හැකියි.

      Delete
    4. Debt restructuring පටන් ගන්නෙ imf ගිවිසුම ගැහුවට් පස්සෙද?
      මම හිතන් හිටියෙ කට්ටිය debt restructing වලට එකඟ උනාට පස්සෙ තමයි අපිට imf loan හම්බවෙන්නෙ කියල. Debt reatructuring සෑහෙන කල් යන වැඩක් නේද?

      Delete
    5. ඔව්. Debt restructuring සෑහෙන කල් යන වැඩක්. එය IMF සමඟ ගිවිසුමක් ගැසීම සඳහා අනිවාර්ය කොන්දේසියක් නෙමෙයි. මෙතෙක් IMF සමඟ ගහපු ගිවිසුම් 16න් කිසිවක (මම දන්නා තරමින්) Debt restructuring කතාවක් තිබුණේ නැහැ.

      Delete
    6. Imf එකත් එක්ක ගිවිසුමක් ගැහීමෙන් බලාපොරොත්තු වෙනදේ debt restructuring නෙමෙයිනම් මොකක්ද කියන එක පැහැදිලි නෑ.

      Delete
    7. IMF එකේ පැත්තෙන් ණය ලබා දීම. ලංකාවේ පැත්තෙන් එම ණය ආපසු ගෙවිය හැකි බව තහවුරු කෙරෙන යාන්ත්‍රනයකට එකඟ වීම. debt restructuring කියා කියන්නේ වෙනම කතාවක්. එහිදී දැනට ණය දී තිබෙන අය සමඟ සාකච්ඡා කරන්න වෙනවා. ආර්ජන්ටිනා (අලුත්ම) IMF ගිවිසුමට debt restructuring ආවේ කෝවිඩ් හේතුවෙන් IMF එකෙන්ම වසර කිහිපයකට පෙර ගත් ණය ගෙවා ගන්න බැරි තත්ත්වයක් ඇති වූ නිසා. ලංකාවේ ප්‍රශ්නය එවැන්නක් නෙමෙයි.

      Delete
    8. දැනට තියෙන ණය ගැන කතාකරන්න පහසුකම් සලසන්නා ලෙස නේද imf ඉදිරිපත් වෙනව කිය කිය හිටියෙ කට්ටිය. ඒ ණය එහෙමම තියෙද්දි imf එකට ණය දෙන්න හැකියාවක් නැති බවක් වගේ තමයි හැඟුනෙ.
      ගියසතියෙ හර්ශගෙ දෙරන සාකච්චාවක් තිබ්බ. ඒක බලන්නකො.

      Delete
    9. ඒක හර්ෂගේ (හා සමහර විට තවත් අයගේ) අදහස වෙන්න ඇති. ඒ කවුරුවත් මේ කාර්යයේදී IMF පාර්ශ්වය හෝ රජය නියෝජනය කරන අය නෙමෙයිනේ. සමහර විට හර්ෂට IMF සමඟ සාකච්ඡා කිරීමේ අවස්ථාව තිබුණානම් ඔහු කළ හැකිව තිබුණු දේ වෙන්න ඇති. මම හිතන්නේ IMF එක ණය දීලා ණය ආපසු ගෙවීමේදී IMF ණය ආපසු ගෙවීමට ප්‍රමුඛතාව දිය යුතුයි කියලා කොන්දේසියක් දමන්න වැඩි ඉඩක් තියෙනවා කියලා. ඇතැම් රටවල එවැන්නක් කර තිබෙනවා. (මමත් හර්ෂ වගේම පැත්තක සිට කියන දෙයක් පමණයි) ඔය debt restructuring වැඩෙන් වැඩේ තවත් වණ වෙන්න පුළුවන්. මොකද එයින් වෙන්නේ ණය තවත් වැඩි වෙන එකනේ. දැන් යන විදිහට විණිමය අනුපාතය අවප්‍රමාණය වෙන්න ඇරියොත් IMF ණයකින් වැඩේ ගොඩ දාගන්න පුළුවන්. ඒ එක්කම කළ යුතු තවත් දේවල් ටිකක් තිබෙනවා. රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය, විදේශිකයින්ට ඉඩම් මිල දී ගන්න අවස්ථාව සැලසීම වගේ. දෙවැන්න ගොඩක් සාර්ථකයි. මොකද මූල්‍ය වෙළඳපොළ ආයෝජන වගේ නෙමෙයි ඉඩම් රටින් ආපහු අරගෙන යන්න බැහැ. ආයෝජනයෙන් ලාබයක් ගන්නනම් රට ඇතුළේම නිෂ්පාදනයක් කරන්න වෙනවා. එවිට තවත් අයට රැකියා ලැබී රටේ ආදායම් ඉහළ යනවා.

      Delete
  3. එකොනො, කාබනික වගා ක්‍රමය කරන්නට ගිහින් සිදුවූ යහපත ගැන යමක් කිව හැකිද?

    ReplyDelete
    Replies
    1. පොහොර සහනාධාරය ඉවත් වීම, ඉඩම් ප්‍රතිසංස්කරණ සිදු කිරීම යම් තරමකින් හෝ පහසු වන වාතාවරණයක් හැදීම.

      Delete
  4. පොහොර සහනාධාර⁣ය ඉවත් කිරීමෙන් පසුව නැවත ගොවිතැනට යනවාද නැත්නම් ත්‍රී වීලරයක් එලවනවාද, කුලී වැඩක් කරනවාද, කැලේ ගිහින් දර කපලා නගරයට ගිහින් විකුණනවාද, කසිප්පු පෙරනවාද, කඩයක් දාගන්නවාද, වාගේ අදහස් තමයි අපි කතා වුනේ. නමුත් , අන්තිමට කරන්නම දෙයක් නැති වුනාම ආයේ ගොවිතැනට ගියා. අස්වැන්න 66% අඩු වුනා. සෙවර අස්වැන්න වී මිටි 57. අඩුම තරමින් වී මිටි 150 පමණ අපි බලාපොරොත්තු වුනා. ට්‍රැක්ටර් ගාස්තුව විතරක් රු.15,00/= වුනා. මේක ඩොලර් 50 වැනි මුදලක් වුනත්, දවසක් වැඩ නැවැත්වූවා අපි බඩගින්න වැඩි නිසා.

    ඊලඟ කන්නයේදී වගාව අතහරින බව හිතාගත්තත් හමුදාව දාලා ආණ්ඩුව වගා කරන්න යන බව හමුදාවේ ඉන්න අපේ එකෙක්ම කිව්වා. හමුදාව කාබනික පොහොර හදන්න යන බවකුත් කිව්වා. එහි ඊලඟ පියවර ඔබ කියන්නැහේ ඉඩම් ප්‍රතිසංස්කරණය. එහි තාර්කික අවසානය තමයි ඉඩම් ටික කොම්පැණිවලට දීලා අපි එහි කුලී කාරයෝ වෙන්න ඕනේ.

    ආණ්ඩුවට සහ එහි ප්‍රතිපත්ති හදන එවුන්ට කරන්න තිබුණේ අපිට අවශ්‍ය පොහොර ටික ලංකාවේ හදන්න පටන් ගන්න එක නොවෙයිද? ඇමෝනියා ප්ලාන්ට්ටෙකක් ගහලා ලංකාවේ 46% යූරියා, මියුරේට් ඔප් පොෑටෑස්, රතු පොහොර ලංකාවේ හදන එක නොවේද මේ කාලකණ්ණි ආණ්ඩුව කරන්න තිබුණේ? අපි අහන ප්‍රශ්නය ඒකයි.

    පෝර හදන්නේ කොහොමද ගොයියෝ රටේ කරන්ට්ටෙක නැතුව..? ඒක ඇත්ත තමයි. නමුත්, ඒක අපේ ප්‍රශ්නයක් නොවෙයිනේ.ඒවා කරන්න තමයි ආණ්ඩු එන්නේ. බැරිනං උන් යන්න ඕනේ. යන්නැත්නම් මුහුදෙන් එලියට හරි, පොලොව යටට හරි එලවලා දාන්න ඕනේ.

    එහෙම නේද මහත්තයෝ..?

    ReplyDelete
    Replies
    1. //එහි තාර්කික අවසානය තමයි ඉඩම් ටික කොම්පැණිවලට දීලා අපි එහි කුලී කාරයෝ වෙන්න ඕනේ.//

      එහෙම කවුරුවත් බල කරන්නේ නැහැනේ. ඉඩම් අයිති හැමෝම තමන්ගේ ඉඩම් විකුණලා කුලී වැඩ කරන්න යනවද?

      Delete
    2. එකොනෝ, හැමදාටම අපට ඔබත් එක්ක තියෙන සොඳුරු ආරාවුල තමයි මේ පිටතට එන්නේ.
      ධනවාදය කියන්නේ  Squid Game එකක්. අපි මෙහෙ ගොවිතැන් කරන්නේ, අස්වනු නෙලන්නේ, විකුණන්නේ විතරක් නොවෙයි, ගොවිතැන අතාරිනවාද කියන එකත් වෙන්නේ bandwagon effect එකකින්. අතාරිනකොට ඔක්කොමලා අතාරින්නේ එකටම. සිද්ධ වෙන්නේ එකෙක් හෝ තීරළුාත්මක කිහිප දෙනෙක් අතෑරියාම අනිත් එවුනුත් නිකංම අතාරිනවා කඹ ඇදිල්පේ වාගේ. ඇත්තටම කියනවා නම් වැව් මාලු රස්සාව, ගස් කැපිල්ල, මුහුදු යන එක වාගේ නොවෙයි  මේ ගොවිතැන. අල්ලපු කුඹුරේ එකා අතෑරියොත් මටත් අතාරින්න වෙනවා, ඉක්මනින් හෝ පසුවට. ඒ තීරණය කාලය පිළිබඳ ප්‍රශ්නයක් විතරයි. ඒක නිසා ඔබ කියපු දෙය ගැන ඔබ ආයේ හිතන්න.

      හමුදාව ඇවිත් අපේ අතෑරපු කුඹුරු වපුරනවා කියන්නේ ආණ්ඩුව අපේ පාරම්පරික කුඹුරු ටික අල්ලා ගත්තා කියන එක තමයි. අපි ගිහින් හමුදාව එක්ක හැප්පෙන්නද? අනික හමුදාව එන්නේ කාබනික ගොවිතැනත් එක්ක. අපිට දැන් බැරි වුනත්, අපේ සිහිනය තමයි දවසක California Rice Farming වාගේ ඉහල ⁣inputs යොදවලා එවැනි  වැඩකින් රජරට අස්වද්දන එක. ඒ විධියටම නැත්නම් වෙනත් සුදුසු විධියකට මුතුරාජවෙලත් අස්වද්දන එක. එතකොට මේ දැන් හවසට කසියා ගහන  ගොවි සංගම් ටික ගොවි සමූපකාර  වෙලා ඒ හරහා ගොවි සමාගමක් දක්වාම යනවා.

      නමුත් මේ දේ කරන්න නම් අපිට රසායනික පොහොර, බෙහෙත් ඕනේ. අපේම කියලා geomatics data ඕනේ. Drone යවලා map කරන හැටි අපි ඉගෙන ගන්න ඕනේ. ඒවා අපි තනියම හරි කණ්ඩායමක් හැටියට හරි ඉගෙන ගත්තා කියමුකෝ. නමුත්, කොහෙන්ද රසායනික පොහොර ගන්නේ?

      ඒක නිසා තමයි රජය හරි තව කවුරු හරි private company  එකක් අනිවාර්යයෙන්ම රටේ අපනයන මට්ටමටම රසායනික පොහොර හදන  ඇමෝනියා , යූරියා , TSP, MoP කර්මාන්ත ශාලාවක් දාන්න ඕනේ කියන්නේ. එකක් නොවේ දෙකක්ම ඕනේ.

      අනික තමයි ඔබේ මේ වැදගත්වෙ බ් අඩවියේ : කාබනික හොඳයි, එලවලු මිල නියමයි වාගේ   කියලා වැලලෙන්න හදන එවුන් එක්ක රූපවාහිනි සාකච්ඡාවක්  මිසක් මේකේ ඇවිත් අපි ඔබ මේ කරන වැදගත් වැඩේ චොර නොකර ඉන්නම්.

      Delete
    3. මේ මාතෘකාව ගැන කතා කිරීමේදී කිව යුතු බොහෝ දේ තිබෙන නිසා කෙටියෙන් අදහස් දක්වන්න මම කැමති නැහැ. ඉතා ඉක්මණින් මේ ගැන කතා කිරීම ප්‍රමුඛතාවයක් බවට පත් වීමට නියමිතයි. එවිට හෝ ඉඩක් ලැබුණොත් ඊට පෙර කතා කරමු.

      Delete
  5. තොරතුරු ගලා එයි දින දින භයානක
    හිරි වැටිලා වගෙයි මගෙ නං බ්‍රේන් එක
    බඩ උලාන- බකන් නිලං ඉන්න එකයි චොයිස් එක
    නවතින හැඩය මෙව්ව නිසා හාර්ට් එක

    ReplyDelete
  6. ඉකොනොමැට්ටා, පොහොර සහනාධාරය නවත්තපු එකෙන් ගොවිතැන් කියන තරම් කඩා වැටිලා නෑ. කාබනික වගාව අසීරුම දෙයක් නොවේ. එයට අවශ්‍ය තව ටිකක් වැඩියෙන් කැපවීම හා උනන්දුව පමණමයි.

    උදාහරණයක් විදියට කාබනික පොහොර නිසා වැඩිදියුණු කරපු බීජ වර්ග (බිත්තර වී) වල අස්වැන්න 25-30 % පමණ පරිමාව අනුව අඩු වුණාට වී ඇට වල බර වැඩියි අනෙක යූරියා නැත්නම් බජිරි වෙල් මාරොක් හීන් මාරොක් තුණැස්ස අශ්ව වලිග වගේ වල් පැලෑටි වැවෙන්නේ ඉතාමත් අඩුවෙන්. වී ගස් වල වැඩීම හෙමින් නිසා කෘමි හානි ගොඩක් අඩුයි අනෙක් පැත්තෙන් පෝර සහ කෘමි නාශක වල් නාශක දිලීර නාශක මී නාශක සහ මොණරුන්ට බෙහෙත් තියන එක අඩු කරන්න පුළුවන්. (කෘමින් විනාශ කිරීමට කපුරු මල්වල ඇති පයිත්‍රීන් සාම්ප්‍රදායික වගා ක්‍රමවලදී නම් කොහොඹ ඇට යොදා ගන්නවා) හාල් මිල ගණන් වැඩි වෙලා නිසා ලංකාවේ අස්වැන්නට හොඳ මිලක් ලැබෙනවා. කාබනික කෘෂිකර්මාන්තයේදී පස සරු කර ගැනෙන්නේ බෝග මාරුකරමින් වගා කිරීම, වගාවන්ට හරිත පොහොර (green manure) යෙදීම, කාබනික අපද්‍රව්‍ය යෙදීම වැනි ක්‍රමවලින් හොඳට දිරූ එළු පෝර, දිරලා දහයියා එක්ක මික්ස් කරපු කුකුල් පෝර සහ මඩ ලුණු (KCl 95%) දිරූ පිදුරු සහ අඟුරු කුඩු (බයෝ චාර්) වගේ දේවල් හොඳයි. අස්වැන්න අඩු වෙලා නම් මහ කන්නයේ වී අස්වැන්න විශාල වශයෙන් රැස් කරන්නේ කෙසේද, මේ වනවිටත් වී අලෙවි මණ්ඩලය පමණක් වී කිලෝ 250,000 කට වැඩි ප්‍රමාණයක්‌ අලෙවි මණ්ඩල ගබඩා විසින් මිලදී ගෙන 2022 දී.

    පහුගිය දවස් වල අස්ප ගණන් ඉහළ ගිය එළවලු මිල දැන් ලංකාවේ බෝංචි 130 -140 ගෝවා 50 ත් 60 ත් අමුමිරිස් 250 ත් 300ත් ලීක්ස් 60- 70 ත් දඹල 70ත් 80 ත් කරවිල 80 -110 ත් කැරට් 130- 160 ත් වට්ටක්කා 50- 60 ත් මාළුමිරිස් 180- 200 ත් පිපිඤ්ඤා 25 ත් 30 ත් වම්බටු 110 -140 ත් මෑ කරල් 150 - 160 පතෝල 80 -100 වැටකොළු 80 -100 නොකොල් 60ත් 80 ත් බිට් 70 ත් 80ත් තක්කාලි 140 - 150 කැකිරි 30 - 40 ත් රාබු 20- 30 ත් අතර මිලකටයි යන්නේ.

    ලෝක මට්ටමේ ගත්තොත් ලංකාවට ආසන්නයේ සහ­තික කරන ලද කාබ­නික කෘෂි නිෂ්පා­ද­න­යෙහි නියැ­ළුණු ගොවීන් 835,000 කට වැඩි සංඛ්‍යා­වක් ඉන්දියාවේ සිටින බව 2018 වස­රේදී කරන ලද අධ්‍ය­ය­න­ය­කින් අනා­ව­ර­ණය වෙලා තියෙනවා. තව ලතින් ඇමරිකන් ඩොමි­නි­කන් රිපබ්ලික් වල ඉතා සාර්ථක ලෙස කාබ­නික වගා­ව මහා පරිමාණයෙන් විශාල වශයෙන් කරන රටක්.

    හැබැයි ආණ්ඩුවේ නිලධාරීන් ගැන කියනවනම් ගිය කන්නයේ අපිට කොම්පෝස්ට් සඳහා අක්කරයක් වගාවට රුපියල් දහදාහක් දෙනවා කිව්වා. අපිට ගොයම් කපලා මාස දෙකක් ගතවෙලත් තවමත් මුදල් නැහැ.. ගියසතියේ ගොවි නියාමක ඇවිල්ලා අපේ කෙනෙක්ගෙන් අස්වැන්න කොහොමද අහලා තිබුණා. එතෙක් එයා දැක්කෙම නැහැ. එහෙම උන්දැලා එක්ක ජනාධිපතිවරයාට කිසිදාක එයාගේ සිහිනය සැබෑකර ගන්න නම් බැහැ...

    ReplyDelete
    Replies
    1. ලංකාව කියන්නේ ආහාර වෙනුවෙන් බොහෝ දෙනෙකුගේ ආදායමින් විශාල කොටසක් වැය වෙන රටක්. බඩ පිරෙන්න මොනවා හරි කනවා වුවත් ලංකාවේ බොහෝ දෙනෙකුට තවමත් හිතේ හැටියට කැමති දෙයක් කෑමේ අවස්ථාව නැහැ. එවැනි තත්ත්වයක් යටතේ පළමු ප්‍රමුඛතාවය විය යුත්තේ අඩු මිලකට වැඩි දෙනෙකුට ප්‍රමාණවත් ආහාර ලැබෙන එක තහවුරු කිරීමයි. කාබනික ගොවිතැන සමඟ එය කළ නොහැකියි. එහෙත්, යම් පිරිසක් ඉලක්ක කර කාබනික ගොවිතැන කිරීම නරක දෙයක් නෙමෙයි. මේ වන විට දිග හැරී තිබෙන ආර්ථික අර්බුදය සමඟ රට ඇතුළේ සිටින කාබනික ආහාර ඉලක්ක කණ්ඩායම වේගයෙන් කුඩා වීමට නියමිතයි. ඉදිරි කාලයේදී මධ්‍යම පන්තියේ අයටත් ආහාර මිල දී ගැනීම ප්‍රශ්නයක් විය හැකි පසුබිමක වැඩි මිලක් ගෙවා කාබනික ආහාර මිල දී ගන්න විශාල පිරිසක් රටේ ඉතිරි වෙන එකක් නැහැ. නමුත් ලෝක මට්ටමේ කාබනික ආහාර වෙළඳපොළ වේගයෙන් ව්‍යාප්ත වන එකක්. අපනයනය ඉලක්ක කර කාබනික ආහාර හදන එක හොඳ අදහසක්. එහිදී වඩා වාසිදායක බෝග කිහිපයක් තෝරා ගෙන නිශ්චිත ප්‍රදේශ වල වගා කළ යුතුයි. ඒ අතර අදාළ බෝග වෙනුවෙන් සන්නාමයක් හදා ගැනීමට උත්සාහ කළ යුතුයි. අඩු වශයෙන් ආරම්භයේදී මෙවැන්නක් සාර්ථක කර ගත හැක්කේ ජාත්‍යන්තර සමාගමක් සමඟ සම්බන්ධ වීමෙනුයි.

      Delete
  7. 'මහ බැංකුව විසින් මීට මහජනතාව වෙත කළ මෙවැනි ඇතැම් දැනුම්දීම් නිවැරදි නොවූ බව මේ වන විට තහවුරු වී තිබෙනවා. ඒ හේතුව මත මහ බැංකුවට මේ වෙලාවේ "කොටියා ආවෝ" ආකාරයේ ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදු වී තිබෙනවා. මේ වෙලාවේ මහ බැංකුව ඇත්ත කිවුවත් මිනිස්සු පිළිගන්නේ නැහැ.'

    ඉකොනෝමැට්ටාගේ බ්ලොග් එකට වෙලා තියෙන්නෙත් මේ වගේ දෙයක්‌ නේද. මැතිවරණ පුරෝකථන ඉදලා ඔක්කොම දේ වැරදි.

    ReplyDelete
    Replies
    1. ඔව්නේ. 2015දී දිනුවේ මහින්දනේ. 2020දී සජිත්නේ. ඇයි GDP එකත් දැන් ඩොලර් බිලියන 320ක් වෙලා ඩොලර් එක 110ක් වෙලානේ. ඉකොනොමැට්ටාට වැරදිලා තමයි. සමහර දේවල් සම්බන්ධව ඉකොනොමැට්ටාට වරදිනවානම් ඉකොනොමැට්ටාත් කැමතියි. ඇනෝට දැන් හරි ගිහින්නම් ඉකොනොමැට්ටාට වැරදුනත් මොකද?

      Delete
    2. @ AnonymousMarch 25, 2022 at 12:35 AM

      ලංකාවේ එහෙම කියන තරම් කේස් එකක් නෑ කියලයි ලංකාවේ ඉන්න කට්ටිය නම් කියන්නේ මාධ්ය මගින් පුම්බලා තියේලු අයි එම් එෆ් ප්‍රෝග්‍රෑම් එකක් පටන් ගන්න යනවලු අප්‍රේල් මැද වගේ ඉඳන් ඒකෙන් පස්සේ මැයි වගේ වෙනකොට ගොඩක් ප්‍රශ්න විසඳෙයි මම හිතන්නේ, දැන් ගෑස් හිඟය ශේප් වෙලා ගෑස් තියෙනවාලු. පෙට්‍රලුත් අවුලක් නෑලු ඩීසල් කේස් එකත් අඩු වෙලා යන බව කියනවා බලමු ඉතින් මම හිතන්නේ ලොකු කේස් එකක් වෙන එකක් නෑ ඔහොම දේවල් කලිනුත් වෙලා තියෙනවා නේද? 71 කැරැල්ල, 80 ගනන් වල කළු ජූලිය, කඇරලි කෝලාහල අවු. 30 ක යුද්ධය 2004 සුනාමි ව්‍යසනය වගේ දේවල් එක්ක බලද්දි මේක පොඩි සීන් එකක් කියලේ හිතෙන්නේ නැද්ද? කොහොමත් 2009 ලෝක ආර්ථික අර්බුදය වගේ මේකත් ශේප් එකේ තව මාස කීපයක් යද්දි විසඳ ගන්න පුළුවන් වෙයි, කොහොම හරි මේ ආණ්ඩුව නම් අසාර්ථකයි ඒ නිසා 2024 අලුත් කට්ටියක් පත් කරගන්නම වෙනවා එච්චරනේ අපේ පැත්තෙන් කරන්න තියෙන්නේ? වෙන මොනාද?

      Delete
    3. ඉකොනෝමැට්ටාට හිත රිදුනට කරන්න දෙයක්‌ නැහැ. ඉකොනෝ දාපු දේවල් ගොඩක් වැරදි. ඒ තියා ඊයේ පෙරේදා ඉකොනෝ කිවේ ඩොලරය 275 ට අඩුවෙන් තියෙයි කියලා එයා හිතන බවයි. ඒ උනාට අද 295 යි.

      වැඩිය ඕනි නැහැ ඉතිං, ඉකොනෝ අසත්‍ය දාන නිසානේ බ්ලොග් එකේ ලින්ක් එක අදටත් ෆේස්බුක් එකේ දාන්න බැරි.

      Delete
    4. ලියපු තැනට ගිහින් ලියා තිබෙන දේ නැවත කියවලා බලන්න.

      Delete
  8. Wrong decisions at the Central bank and the government has led to the current disastrous situation where Sri Lankans living overseas have resorted to different methods of sending foreign currency to their families regularly. The government offers through local banks merely Rs. 300 per dollar when the remitters and recipients in Sri Lanka, are well aware that the dollar has a higher value through other ways. The end result is that overseas remittances through normal channels are falling daily and continue to be so until the Finance Minister and the those at the top, understands the severity of the problem and work out a plan to match the black market and offer much higher rate, for instance approx. Rs. 322 at the moment for foreign currency remittances or float the Rupee further. We have to move with the rest of the world and act what the majority of rest of the countries do in similar situations. They must get the World Bank support in this situation along with current IMF program to be implemented. A panel of top economists & experts in finance, law and management etc. should be formed to address the situation beneficial to the country. I believe, along with promotion of Tourism, attractive rates for conversion of foreign currency, enhanced government support for the Export sector will help the current situation to some extent. But I'm not sure either, what's your opinion on this dear Econ?

    ReplyDelete
  9. ඉකොනොමැට්ටා මම 2015 මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කළේ මෛත්‍රිපාල සිරිසේන ජනපති කිරීම වෙනුවෙන්, මා මුලදී (පාසල් කාලයේ වගේ සීට 2002 පමණ ඉඳන්) රනිල් ගැන ලොකු විශ්වාසයක් තිබ්බා විශේෂයෙන් ඔහු ඉදිරිපත් කරන ලද ලලිත් ඇතුලත්මුදලිගේ සංවර්ධන සැලැස්ම (ඔහු එය සමාජ ගත කළේ 2001 යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහන නමින්) වගේ දේවල් වලින්. හැබැයි පහුගිය 2015/19 යහපාලන රජය සමයේ පැවති අශිෂ්ඨ පාලන තන්ත්‍රය නිසා මට ඔහු මෙන්ම සියලුම ආකාරයේ දේශපාලකයන් එපා වෙලා තිබුණා. ඒ වගේම පහුගිය 2019 ජනපතිවරණය සහ 2020 මහ මැතිවරණ දෙකේදීම මම වගේ ඡන්දය පාවිච්චි නොකරපු විශාල පිරිසක් සහ තවත් ලක්ෂ පහළොවක් විතර කටුගා දාපු ප්‍රතික්ෂේපිත ඡන්ද ගොඩක් තිබ්බා ඔබට මතක ඇති. මම හිතන්නේ එම වර්ග දෙකටම අයත් අය දැන් ගොඩක් වැඩි වෙලා තියෙන්නේ. මම හිතන්නේ ඉතාම තීරණාත්මක ලෙස විශාල පිරිසක් ඉන්නවා. ඒ වගේම මම කැමතියි ලංකාවේ අලුත්ම දේශපාලනික ව්‍යාපාරයක් බිහි වෙනවා නම්, එය පෞද්ගලික අංශයේ ව්‍යවසායයන් කර්මාන්ත වෙනුවෙන් පෙනී සිටින රජයේ මැදිහත්වීමක හැකි තරම් අඩු කරන්න පුළුවන් ප්‍රායෝගික විසඳුම් යෝජනා කරන රජයේ ව්‍යාපාර වෙනුවට තරගකාරී පෞද්ගලික අංශයේ ව්‍යවසායයන් වලට තරගකාරී සහ විනිවිදභාවයකින් යුතුව රටට අවශ්‍ය පරිදි ඒවා කළමනාකරණය කිරීමට පවරා දෙන, රටේ සියලුම වාර්ගිකත්ව එක ජාතිකත්වයක් වෙනුවෙන් එකතු කරන්න පුළුවන්, නිදහස් තරගකාරී වෙළඳ පොළ ආර්ථික ක්‍රමයක් සහ දැනටත් වඩා ප්‍රජාතන්ත්‍රවාදී සහ කරප්ෂන් ඉතාමත්ම අවම කරන ට්‍රාන්ස් පේරන්සි උපරිම වශයෙන් ඇති නීතියේ ආධිපත්‍යය තහවුරු කර ඇති උසස් තත්ත්වයේ පාලන ක්‍රමයක් වෙනුවෙන් පෙනී සිටින එකක් විය යුතු යි. ලංකාවේ එහෙම එකක් තාම බිහි වෙලා නෑ, එහෙම දේශපාලන කණ්ඩායමක් හොඳ දක්ෂ බුද්ධිමත් කෙනෙක් නායකත්වය ගෙන තරුණ තරුණියන් දක්ෂ බුද්ධිමත් පිරිසක් එකතු වෙලා ආවොත් අපි වගේ ලොකු පිරිසක් ඊට ලේසියෙන්ම එකතු කරන්න පුළුවන් විශේෂයෙන් අවුරුදු පණහට අඩු අය ගොඩක් ඒකට එකතු වෙයි. දැනට මම උග්‍ර රනිල්විරෝධියෙක්. ඒත් ඔහුගේ නායකත්වයට මම ගරැකරනවා. ඒ වගේම ඔහු මතවාදී නායකයෙක්. මෙච්චර කාලයක් යුන්පි එක රැකගෙන ආවේ ඔහුයි. ඒත් දැන් මොකක්ද වෙලා තියෙන්නේ? යුන්පි එකට නායකත්වය දෙන්න එච්චර හොද දක්ෂ නායකයෙක් සිටියදි, සජිත් ප්‍රේමදාස වැනි නායකත්ව ලක්ෂණ නොමැති විකාර කරන අයෙක් මැදට පැනලා, යුන්පිය විනාශ කරල සජබ කියලා අටමගලක් අටවලා තියෙන්නෙ. ඇත්තටම, රනිල්ට මම කැමති ඔහුගේ ඇති සෘජු ප්‍රතිපත්තිය නිසයි. ඒක මම ගරැකරනවා. යුඑන්පි පාක්ෂිකයන්ට හොද විපක්ෂයක් අවශ්‍යනම්, හොද නායකත්වයක් අවශ්‍යනම් සිටිය යුත්තේ රනිල් වික්‍රමසිංහ සමගයි. සජිත් ප්‍රේමදාස යනු, හුදෙක්ම පරාජිතයෙක් පමණයි.
    ප.ලි: යුන්පියට ඡන්ද නැතිවුනේ ඔවුන්ගේ ප්‍රතිපත්ති නිසා මිසක්, රනිල් නිසා විතරක්ම නෙමෙයි. විශේෂයෙන් 2015 - 19 කාලේ විශාල වශයෙන් බොරු බයිලා ගහල ජනතාවට කොළේ වහලා මහජන මුදල් කාබාසිනියා කරමින් මහජන විශ්වාසය කඩ කළා පක්ෂයක් ලෙස. ඇත්තටම ඡන්ද ලබාගැනිම වෙනුවෙන් ප්‍රතිපත්ති වෙනස් කරනවාට වඩා ජනතාවට ඇත්ත කියලා ගන්න ඡන්දය වටිනවා.

    කොහොම උනත් ලංකාවේ දේශපාලන කණ්ඩායම් වල ඉන්න අයගෙන් මම හිතන්නේ සාපේක්ෂව රනිල් කියන්නේ තරමකින් ජෙනුයින් දේශපාලකයෙක්. සමහර වෙලාවට ලංකාවේ ඉන්න ජෙනුයින්ම දේශපාලකයා ඔහු විය හැකියි. ඔහුගේ මේ වෙලාවේ කාර්යභාරය ඉතාමත් තීරණාත්මක මොහොතක් බව මට හිතෙනවා. විශේෂයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් විශාල මුදලක් ලබා ගැනීමට යන මොහොතක ඔහුගේ මැදිහත්වීම ඉතාමත් වැදගත් වේවි.

    මම හිතන්නේ ඉන්න අයගෙන් පාඨලීගේ 43 කණ්ඩායම හොඳයි නමුත් ඔවුන් සමාජවාදී ආර්ථික සංකල්ප වලට තවම බර වැඩියි සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සුබසාධන පැත්ත වැඩියි අනෙක කරප්ෂන් වලට නැඹුරුවක් දක්වන එකත් ප්‍රධාන ප්‍රශ්නයක්.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: