වෙබ් ලිපිනය:

Wednesday, April 6, 2022

සල්ලි පන්නන්නේ කටුනායකින්ද?


දිගට ඇදෙන අරගලය තුළ අරගලකරුවන් පාරට බැස ඉල්ලා සිටින්නේ කුමක්ද කියන එක වෙනම ලිපියකින් කතා කළ යුතු පුළුල් කරුණක්. අරගලය තවමත් ඉදිරියට ඇදෙනවා. එය මෙතෙක් අල නොවීමට ප්‍රධාන හේතුව සාපේක්ෂ සාමකාමීත්වයයි. එක පැත්තකින් නෙමෙයි දෙපැත්තෙන්ම. මුලින්ම ප්‍රචණ්ඩකාරී වන පාර්ශ්වයේ අවාසියට අවසානය තීන්දු වන බව දෙපාර්ශ්වය විසින්ම නිවැරදිව අවබෝධ කර ගෙන ඉන්නවා. 

මෙහිදී ආණ්ඩුව සතු මර්දනය මුදා හැරීමේ හැකියාව දෙපැත්තකින් සීමා වී තිබෙනවා. එක පැත්තකින් ලෝකය, විශේෂයෙන්ම බටහිර රටවල්, ආණ්ඩුව දෙස බලා ඉන්නවා. මෙහිදී ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ පරණ වාර්තා නරක ලෙස බලපා තිබෙනවා. අනෙක් පැත්තෙන් පාලන යාන්ත්‍රණයක් නැතිව යන රැල්ලේ වේගයට මර්දනය ඉක්මන් කිරීම කියන්නේ ආණ්ඩුව විසින් වචනාර්ථයෙන්ම සිය දිවි නසා ගැනීමක් වෙන්න පුළුවන්.

අරගලය තුළ දේශපාලන නායකත්වයක් නැත්තේම නැහැ. එය සියුම් ලෙස ක්‍රියාත්මක වන බවකුයි පෙනෙන්නේ. ජීවිත හා දේපොළ හානි සිදුවන තැනකට අරගලය පීලි පැන්නොත් ඒ වහාම ජනමතය මෙන්ම අරගලකරුවන්ද දෙපිල බෙදී ආණ්ඩුවට අරගලය පාලනය කිරීම සඳහා අවකාශයක් විවෘත වෙනවා. 

මේ අරගලයේ වූ සාධනීයම දෙය එයට දේශපාලන නායකත්වයක් නොතිබීමයි. එමෙන්ම, අවසාන වශයෙන් සිදු විය හැකි නරකම දෙය එයට දේශපාලන නායකත්වයක් ලැබීමයි. අවශ්‍ය වන්නේ අරගලකරුවන්ගේ ඉල්ලීම් සඳහා දේශපාලන නියෝජනයක් මිසක් ඔවුන්ව ඉස්සරහට දමා තමන්ගේ අරමුණු ඉටු කර ගන්නට උත්සාහ කරන දේශපාලන නායකත්වයක් නෙමෙයි. එහෙත්, ස්වාධීන ජනමතය කණ්ඩායමකගේ සැලසුම්සහගත මතයට යටපත් වීමේ අවදානම හැම විටම තිබෙන දෙයක්. 

අරගලකරුවන්ගේ ඉල්ලීම් පරිණාමය වන කිසියම් රටාවක් තිබෙනවා. මේ වන විට "අපේ සල්ලි අපිට දීලා යන්න" කියන එක ප්‍රමුඛ සටන් පාඨයක් වෙලා. ඇතැම් අය සල්ලි බෑග් වල දාගෙන රටින් පනින්න හදන අය අල්ල ගන්න කටුනායක පාරේ රැකවල් දාගෙන ඉන්නවා. ඒ ගොඩක් අය එය කරන්නේ අවංකව හා කැපවීමෙන්. හැබැයි සල්ලි පන්නන්න අවශ්‍ය අය සල්ලි රටින් පන්නන්නේ මේ දවස් වල විකාශනය වන "පාර වසා ඇත" ටෙලිනාට්‍යයේ ක්‍රමයට නෙමෙයි!

මෙයටම සම්බන්ධ තවත් කරුණක් ලෙස ඇතැම් අය උන්ඩියල් ක්‍රමයට සල්ලි එවන්න එපා කියලා විදේශගත ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටිනවා. මේ දෙක අතර සම්බන්ධය මම පැහැදිලි කරන්නම්.

පසුගිය දෙවසර තුළ විශාල වශයෙන් සල්ලි අච්චු ගැසූ බව මේ වෙද්දී කවුරුත් දන්නා කරුණක්. 2020 වසර ආරම්භ වන විට රටේ සාමාන්‍ය ජනතාව අතේ සංසරණය වූ මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 494,208ක්. 2021 අවසාන වන විට මෙම ප්‍රමාණය රුපියල් මිලියන 784,441ක්. දෙවසරක් තුළ රුපියල් මිලියන 290,233ක වැඩිවීමක්. 

මම මේ කතා කරන්නේ මුදල් සැපයුම ගැන නෙමෙයි. මුදල් සැපයුමට අයත් වන්නේ කාසි හා නෝට්ටු පමණක් නොවන බව කලින් ලිපි වල විස්තරාත්මකව පැහැදිලි කර තිබෙනවා. මේ කතා කරන්නේ කෙළින්ම මුදල් නෝට්ටු ගැන. මුළුමනින්ම වගේ රුපියල් 5000 නෝට්ටු ගැන. කාසි හා පොඩි නෝට්ටු ප්‍රමාණයේ විශාල වෙනසක් වී නැහැ. 

ඒ වගේම මේ ගණන් වලට බැංකු වල තිබෙන සල්ලි හෝ රජය සතු සල්ලි ඇතුළත් නැහැ. මේ කියන්නේ ගෙවල් වල සහ මුදලින් ගනුදෙනු කරන බැංකු නොවන ව්‍යාපාරික ආයතන වල තිබෙන මුදල් නෝට්ටු ප්‍රමාණය ගැන. පසුගිය මාස තුන තුළ ඔය ප්‍රමාණය තවත් වැඩි වෙලා ඇති. 

දෙවසරක වැඩිවීම රුපියල් බිලියන 300ක් කියා ගනිමු. ලංකාවේ නිවාස ඒකක ගණන මිලියන 5ක් වගේනේ. ඒ කියන්නේ, සාමාන්‍ය වශයෙන් එක ගෙදරක මේ වන විට 2020 මුලදී තිබුණාට වඩා රුපියල් 60,000ක් තියෙන්න ඕනෑ. බැංකු වල නෙමෙයි. අතේ. ලංකාවේ ගෙවල් කීයකට මේ කතාව වලංගුද? 

මුදල් නෝට්ටු වලින්ම තමන්ගේ වත්කම් තියාගෙන ඉන්න යම් පිරිසක් ඉන්නවා. මෙය ලංකාවේ පමණක් සිදුවන දෙයක් නෙමෙයි. ගොඩක් වෙලාවට මේ විදිහට මුදල් නෝට්ටු වලින්ම තියා ගන්නේ ඉපැයූ විදිහක් පෙන්නන්න බැරි වත්කම්. කාලයකට පෙර කෝටි තිස් ගණනක මුදල් නෝට්ටු දමා මැසූ මෙට්ටයක් ගැන කතාවක් අහපු අය ඇතිනේ. 

දැන් අපි උන්ඩියල් වලට එමු. පෙනෙන විදිහට මේ වෙද්දී උන්ඩියල් කරුවෝ ඩොලරයට රුපියල් 450 දක්වා විශාල මුදල් ගෙවනවා. බැංකු වලද ඩොලරයක මිල වේගයෙන් ඉහළ යනවා තමයි. අද වන විට ඩොලරයක් රුපියල් 320 දක්වා ඉහළ ගිහින්. එහෙත් උන්ඩියල් මිල ඊට වඩා ගොඩක් වැඩියි.

උන්ඩියල් වෙළඳපොළ කියා කියන්නෙත් නිදහස් වෙළඳපොළක්. සාමාන්‍යයෙන් උන්ඩියල් හරහා ආවත් ඒ මුදල් රටට එනවා. නිල සංඛ්‍යාලේඛණ වල නැති එක විතරයි වෙනස. නමුත්, මේ වෙලාවේ තියෙන්නේ ඊට වඩා වෙනස් තත්ත්වයක්. එහෙම නැත්නම් උන්ඩියල් මිල සහ බැංකු වල මිල අතර මේ තරම් විශාල පරතරයක් හැදෙන්නේ නැහැ. 

උන්ඩියල් වෙළඳපොළ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? උදාහරණයක් ලෙස මම ඇමරිකාවේ උන්ඩියල් කරුවෙකුට ඩොලර් 100ක් දෙනවා. ලංකාවේ ඔහුගේ නියෝජිතයෙක් ඩොලරයට රුපියල් 400 බැගින් ගණන් හදා අපේ ගෙදරට රුපියල් 40,000ක් දෙනවා. ඕකනේ වෙන්නේ. 

දැන් ඔය වැඩේ දිගටම වෙද්දී දිගින් දිගටම රුපියල් වලින් ගෙවන්න ලංකාවේ නියෝජිතයාට සල්ලි කොහෙන්ද? ඒ සල්ලි කොහෙන් හරි ලැබෙන්න ඕනෑනේ. සාමාන්‍ය තත්ත්වය යටතේනම් වෙන්නේ ඔහු අනෙක් පැත්තට රුපියල් 410 බැගින් අර ඩොලර් ටික විකුණන එක. එවිට ඔහුට රුපියල් 41,000ක් අතට ලැබෙනවා. ඔහුගේ නියෝජිතයා අනෙක් පැත්තෙන් ඩොලර් ටික අවශ්‍ය තැනට යවනවා. ඩොලර් 100 ලංකාවට ආවේ නැතත් ඇවිත් ආපහු ගියා වගේම වැඩක් තමයි වෙන්නේ. බැංකු ක්‍රමය ඇතුළේ වෙන්නෙත් ඕකම තමයි. වෙනස සමතුලිත මිල පොඩ්ඩක් උඩින් තියෙන එක පමණයි. 

නමුත් ලංකාවේ කිසියම් පිරිසකට විශාල කළු සල්ලි ප්‍රමාණයක් ඉතා ඉක්මණින් ඩොලර් කර රටින් පන්නන්න අවශ්‍ය වූ විට ඉහත තත්ත්වය වෙනස් වෙන්නේ කොහොමද? 

දැන් මේ කොණේ රුපියල් ප්‍රශ්නයක් නැහැ. අනෙක් කොණෙන් ඩොලර් ලැබෙනවානම් ඒ වෙනුවෙන් ගෙවන්න රුපියල් නෝට්ටු ඕනෑ තරම් මේ කොණේ තිබෙනවා. ඒ නිසා, උන්ඩියල්කරුවන්ට ඩොලර් අනෙක් අතට ලංකාවේ කාට හරි විකුණන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ගන්න පුළුවන් හැම ඩොලරයක්ම නොවටිනා ගානක්‌ දීලා හරි ගන්න බලාගෙන මේ කොණේ පිරිසක් ඉන්නවා. 

ඩොලරයක උන්ඩියල් මිල රුපියල් 450-500 දක්වා ගිහින්නම් එයින් පෙනෙන්නේ යම් පිරිසක් තමන්ගේ රුපියල් ඩොලර් කර හැකි ඉක්මණින් රටින් පන්නා ගැනීමට පිස්සුවෙන් මෙන් දඟලන බවයි. තව දවසක් දෙකක් යද්දී මෙවැනි අයෙක් ඩොලරයකට රුපියල් දාහක් දෙදාහක් වුනත් ගෙවන්න සූදානම් වෙන්න පුළුවන්. මොකද රුපියල් වලින් තිබෙන කළු සල්ලි නැති වීමේ අවදානම හමුවේ කීයක් දී හෝ මිල දී ගන්න ඩොලර් එක වටින නිසා.

මේ වැඩේ මෙවැනි ගෙවුම් ශේෂ අර්බුද ඇති වුනු වෙනත් රටවලත් වුනු දෙයක්. අන්තිමට IMF එකෙන් ලැබුණු සල්ලි පවා ඔය ක්‍රමයට රටින් එළියට ගිය අවස්ථා තිබෙනවා. නිදහස් ගනුදෙනු කියන්නේ නරක දෙයක් නෙමෙයි. එහෙත් සදාචාරාත්මක ගනුදෙනු කියා ජාතියකුත් තියෙනවා. මගේ ඇස් පනාපිට අල්ලපු වත්තට පැන හොරකම් කරන බඩුවක් අඩුවට ලැබුනා කියලා එය ගන්න එක හරිද? 

මෙතැන ප්‍රශ්නය හොර ගනුදෙනු වුනත් නිදහස් ගනුදෙනු නිසා මේවා පාලනය කරන්න අමාරු වීමයි. සමහර විට පුළුල් ජනතා ක්‍රියාකාරිත්වයක් මේ වැඩේට උදවුවක් වෙන්න පුළුවන්. කවුරු හරි රුපියල් 450ක් ගෙවා ඩොලර් ගන්නවානම් ඒ ගන්නේ මොකටද? ඒ වෙනුවෙන් රුපියල් හොයාගත්තේ මොන විදිහටද? මේවා නීතිය ක්‍රියාත්මක කරන අයගේ සහ ජනතා ක්‍රියාකාරිකයන්ගේ වපසරියට අයිති දේවල්.

27 comments:

  1. ඔතන තව ප්‍රශ්නයක් තියෙනවා මේ දවස් වල ලංකාවේ අති විශාල පිරිසක් විදේශ ගත වීමට තීරණය කරලා තමන්ගේ නිත්‍යානුකූල දේපල හා මුදල් විදේශ විනිමය කරන්න දැඩි උත්සාහයක් කරමින් සිටින බව පේනවා. විශේෂයෙන් ලංකාවේ ධනවත් ව්‍යාපාර හිමි ගොඩක් කට්ටිය එම ව්‍යාපාර අඩු ගණන් වලට විකුණන බව පේනවා. මේ දවස් වල ලංකාවේ දේපළ, ඉඩම්, නිවාස සහ අපාට්මන්ට් ආදියේ මිල ගණන් ඉතා ක්ෂණිකව අඩු වෙලා තියෙනවා ඊට හේතුව ගොඩක් කට්ටිය ඉඩම් හා ගෙවල් දොරවල් හා වත්කම් අඩු ගණන් වලට හෝ විකුණා සියල්ල අතහැර මාලදිවයින, ඩුබායි, මැලේසියාව, තායිලන්තය සහ තවත් රටවල් වලට සංක්‍රමණය වෙනවා. ධනවත් බලවත් අය යුරෝපීය රටවල්, කැනඩාව, ඕස්ට්‍රේලියාව වගේ රටවලට යනවා. මේ යන අයට විශාල වශයෙන් විදේශ මුදල් අවශ්‍යයි. ඊට අමතරව ඔබ පැවසූ පරිදිම "කළු" සල්ලිකාර ජනයාද රටින් පලා යනවා ඇති.

    ලංකාවේ ඉන්න තීරණය කරල තියෙන අයත් රුපියල් අතේ තියාගෙන ඉන්න එක දැඩි ලෙස අවදානම් සහගත තත්වයක් තියෙන නිසා සේප්පු ආදිය තියෙන කට්ටිය ඩොලර් කෑෂ් වලට අරන් සඟවා තබා ගැනීමට කටයුතු කර ඇති බව පේනවා. ලංකාවේ ඇතුලේ ඩොලර් මිල මම හිතන්නේ දැන් රුපියල් 500 ට වැඩි ඇති, මේ අරගල කේස් එක ආපු ගමන් බ්ලැක් මාකට් එකේ ඩොලර් එක 315 සිට ක්ෂණිකව 420 - 450 වුණා ගිය සතියේ යාලුවෙක් 450 ට ඩොලර් ගෙන්වා ගත්තා ලංකාවට එන කෙනෙක් අතේ. දැන් 500 ට වැඩි ඇති මම හිතන්නේ, මේක ලංකාවේ ආර්ථිකයට කෙසේ බලපාවි ද?

    ReplyDelete
    Replies
    1. ඔබේ නිරීක්ෂණ සමඟ මුළුමනින්ම එකඟයි. මෙය මෙවැනි අර්බුද ඇති වූ හැම තැනකම සිදු වූ දෙයක්. තත්ත්වය පාලනය කර නොගත්තොත් ප්‍රාග්ධනය විශාල ලෙස රටින් එළියට ගලා ගොස් ඉතාම නරක තත්ත්වයක් ඇති විය හැකියි. මෙය මහ බැංකුවට තනිව පාලනය කළ හැකි දෙයක් නෙමෙයි. කොහොම වුනත් මූර්ත දේපොළ මිල සැලකිය යුතු ලෙස පහත වැටීමෙන් පසුව යම් අවස්ථාවක දේපොළ මිල දී ගැනීම් ලෙස විදේශ විණිමය ගලා ඇවිත් සමතුලිතතාවයක් ඇති වෙයි. දැන් අඩු මිලට දේපොළ විකුණා රටින් පිටවන අයට ඇතැම් විට විකිණූ මුදලෙන් බාගයක් ගෙවා නැවත එම දේපොළම මිල දී ගන්න පුළුවන් වෙයි. හැබැයි එය විය හැක්කේ කොයි තරම් විනාශයකින් පසුවද කියන එකයි ප්‍රශ්නය.

      Delete
  2. ඉකොනෝමැට්ටා,

    මට ගැටළු දෙකක් තිබෙනවා,

    1)ඔබ මේ වන විට ශ්‍රී ලාංකික පුරවැසියෙක්ද?
    2)ඔබට ඇමරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවය තිබෙනවද?

    ReplyDelete
    Replies
    1. සමස්තයක් ලෙස ලංකාවේ ජනතාවට යහපතක් සිදුවන දෙයක් වෙනුවෙන් හැකි තරමින් උපකාර කිරීමට කැමති, එහෙත් ඒ වෙනුවෙන් කිසිදු පෞද්ගලික ප්‍රතිලාභයක් අපේක්ෂා නොකරන කෙනෙක්. මේ වියුණුව ඒ වෙනුවෙන් යොදා ගැනෙන එක් මෙවලමක් පමණයි. ඒ හරහා කිව හැක්කේ මෙපමණයි. වෙනත් විවිධ මෙවලම් හරහා සම්බන්ධ වී ඇති අය වැඩි තොරතුරු දන්නවා.

      Delete
    2. ඉකොනෝමැට්ටා,

      මා නැවත වතාවක් එම ගැටළු දෙකට ඔබගෙන් කෙටි පිළිතුරු බලාපොරොත්තු වෙනවා.

      1)ඔබ මේ වන විට ශ්‍රී ලාංකික පුරවැසියෙක්ද?
      2)ඔබට ඇමරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවය තිබෙනවද?

      Delete
    3. "ඉකොනෝමැට්ටා" කිසිදු රටක පුරවැසියෙකු නොවෙයි. එය සන්නාමයක්.

      Delete
    4. ඉකොනෝමැට්ටා,

      ඔබ විවිද දෑ කියමින් උත්තර දීම මග හරින්නේ ඇයි? ඉකොනෝමැට්ටා කියන බ්ලොග් එකේ ලියුම්කරු ගැනයි මම අසන්නේ.

      සරල ප්‍රශ්න දෙකක්. කෙටි පිළිතුරු ප්‍රමාණවත්.

      1)ඔබ මේ වන විට ශ්‍රී ලාංකික පුරවැසියෙක්ද?
      2)ඔබට ඇමරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවය තිබෙනවද?

      Delete
    5. //ඉකොනෝමැට්ටා කියන බ්ලොග් එකේ ලියුම්කරු ගැනයි මම අසන්නේ.//

      ඔබේ ප්‍රශ්න වලට පිළිතුරු දීමේ අවශ්‍යතාවයක් ඇතැයි ලියුම්කරු හිතන්නේ නැහැ.

      Delete
    6. හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බලනවා කියන්නේ මෙව්වට. කියන දේ තෙරුන් ගන්නේ නැතුව වෙන වෙන මගුල් අහනවා

      Delete
  3. හමුදාව/ පොලිසිය සිම්බන්ධ කරගත්තේ නැතිනම් මේ උද්ඝෝෂන රැල්ල තව සතියකින් විතර බැහැලා යයි

    ReplyDelete
    Replies
    1. අරගලකරුවන්ට දැනට නිශ්චිත විකල්ප ඉල්ලීමක් නැහැ. එවැන්නක් හදාගෙන එකඟතාවයක් ඇති කර ගැනීමට යම් කාලයක් යනවා. එතෙක්, හමුදා/පොලීසි මැදිහත්වීම් සිදු නොවුනොත් සහ එවැනි මැදිහත්වීමක් නොකර බැරි වන තත්ත්වයක් ඇති නොවුනොත් සියල්ල හොඳින් අවසන් වෙයි.

      Delete
    2. මම අදහස්කලේ උද්ඝෝෂණයට හමුදා/ පොලිස් සාමාජිකයන් හවුල් කරගත්තෙ නැත්නම් කියලයි.
      මේක ස්වයංසිද්ධ උද්ඝෝෂණයක් කියලා හිතන්නේ නෑ
      මේක හමුදාව/ පොලිසිය තුලට පතුරවන්න උත්සාහයක් තියෙන්න පුළුවන්.
      හැබැයි එහෙම වුනොත් නම්
      විශාල විනාසයක් වෙයි.

      Delete
    3. එකඟයි. පොලීසිය දැනටමත් බොහෝ දුරට උද්ඝෝෂණකරුවන්ට වක්‍ර සහයෝගයක් දෙනවා. හමුදාව තුළ තිබෙන දැඩි විනය නිසා පිටතට නොපැන තිබුණත් හමුදාවේ වුවත් පහළ ස්ථර හිතන විදිහ ඒ පැත්තට බරයි.

      Delete
    4. හමුදා/ පොලිස් සාමාජිකයන් හවුල් කරගැනීමට වඩා දැනට තියෙන දැනට (යාන්තමට) තියෙන අන්නෝන්‍ය අවබෝධය වඩා ප්‍රායෝගිකයි කියල හිතෙන්නෙ නැද්ද? ආණ්ඩුවේ සුපුරුදු මර්දනය අසාර්ථකවී, අරාබි වසන්ත රට පැන්නෙ ඒක වෙන්ටෑ? රැල්ල දියවීම, ලෝකාවසානය නෙමෙයි. වැදගත් දේ රැල්ල පටන් ගැනීම- ජනතාව තමන්ගෙ බලය තේරුම් ගැනීමයි. හමුදා/ පොලිස් සාමාජිකයන්ට පහරදීම, දේපල හානිය වගේ දේවල්, රැල්ලේ සියදිවි නසාගැනීමක්.

      මේ වෙලාවෙ පක්ෂ/විපක්ෂය/ස්වාධීන අය කියන/කරන දේවල් දිහා බලාගෙන හිටියොත් ඔවුන්ගෙ සැබෑ මුහුණුවර, අතරින් පතර පෙනේවි. මිනිස්සු කියන්නෙ කලු/සුදු චරිත, සර්වසම්පූර්ණ මිනිස්සු නෑ. නියමිත මිල ලැබුනාම ඕන කෙනෙක් විකිනෙනවා.

      ඇන්ජෙලා ම'කල් කාගේ නිර්මාණයක්ද?

      Delete
    5. //හමුදා/ පොලිස් සාමාජිකයන් හවුල් කරගැනීමට වඩා දැනට තියෙන දැනට (යාන්තමට) තියෙන අන්නෝන්‍ය අවබෝධය වඩා ප්‍රායෝගිකයි කියල හිතෙන්නෙ නැද්ද?//

      ඔව්. ඒ තත්ත්වය දිගටම තිබෙනවානම් හොඳයි. තිබෙයි කියා මම හිතනවා. මෙවර උද්ඝෝෂණ කරන අයට මෙන්ම හමුදා පොලීසි වලද බොහෝ දෙනෙකුට යම් අවබෝධයක් තියෙනවා. රොබෝලා වගේ විධාන යටතේ කටයුතු කරන්නේ ඇතැම් සරසවි සිසු කණ්ඩායම් පමණයි.

      Delete
    6. අනුන්ගෙන් හොරාකන ලද කියමන්:

      "මේ රටේ හොර, තක්කඩි, මිනීමරු පාලකයන් නිර්මාණය කලේ කවුදැයි ඔබ දැන් ඔබගෙන්ම අසා දැනගන්න"

      "ජාතියේ ගැලවුම්කාරයා බවට පත්වීමට ඇති තරඟය ජුගුප්සාජනකය. දරුණු ආර්ථික අර්බුදයක් තුළ එක පුද්ගලයකුට, එක කණ්ඩායමකට විසඳුමක් නැත"

      "When government fears the people, there is liberty. When the people fear the government, there is tyranny."

      Delete
  4. @ ඉකොනොමැට්ටා සහ ජගත් පතිරණ,

    අවාසනාවට මෙන් තවත් රැල්ලත් හේදිලා ගියා. අර්ථයක් නැති නිසා අරමුණ ප්‍රායෝගික නැති නිසා. කෙසේ නමුත් මේ අර්බුදකාරී තත්ත්වයට විසඳුමක් ලබා ගැනීමට සහ අඩුම තරමින් රටේ ආර්ථිකය ගැන තීන්දු තීරණ ගැනීමේ හැකියාව ඇති මහ බැංකුව ඇතුළු ආයතන ස්වාධීන කිරීම සහ රටේ ඇති බුද්ධිමත් වැදගත් වෘත්තීයවේදීන් විසින් පාලනය වන ස්වාධීන කොමිෂන් සභා සහ දූෂණ වංචා පාලනය කරගන්න ස්වාධීන විගණන ක්‍රමවේදයක් නිර්මාණය කිරීමටවත් අඩුම තරමේ කටයුතු කළ යුතුයි. ආණ්ඩුව දැනටමත් මහජන විරෝධය 70% ක් විතර පාලනය කරලා නමුත් නැවත වරක් එය අළු මතින් නැගිටවිය හැකි එකක් බවත් හැමෝම තේරුම් ගත යුතුයි.

    මේක පිටුපස ඉකොනොමැට්ටා වගේ රටින් පිට ඉන්න අයට නොතේරෙන තවත් ලොකු ගේම් එකක් තියෙනවා, 2019 නන්දසේන රාජපක්ෂ දිනපු ගමන් ඔහුට මැතිවරණ සඳහා අත දිග ඇරල වියදම් කරනු කොළඹ නාගරික ධනවත් බලවත් ව්‍යාපාරික කණ්ඩායම් රටේ ආර්ථිකය දියුණු කිරීම සඳහා රජයට ලබා ගන්නා බදු අඩුකොට ඒ වෙනුවට එම මුදල් තමනට නැවත නැවතත් ආයෝජන කිරීමට බදු අඩු කරන ලෙසත් ණය පොලී අනුපාත පහළ දමන ලෙසත් යෝජනා කළේ ඒ හරහා ආර්ථිකය ප්‍රසාරණය වන අතර ඉන් පසු බදු මුදල් ආදායම් ඉබේම වගේ වැඩිවෙන බවටත් ළණුවක් දෙමින්. ඒක තමයි ඉතින් වැඩේ පටන් ගන්න හේතුව.

    ඒ අනුව රජය බදු ආදායම් අඩු කිරීමත් සමඟ රජයේ ආදායම් අඩු වූ අතර කොළඹ ධනවත් සමාජයේ බොහෝ වත්කම් තව දුරටත් වැඩි වුණා. ඊළඟට ජනතාව විඳින දුක තමන්ගේ ආතල් එකට ගත්තේ කොළඹ ධනවතුන්. වසංගතය කාලේ හොඳටම හම්බ කරගත්තේ කොළඹ ධනවතුන්. ඔය ජනතාව සමග පාරට බැහැලා බෝඩ් උස්සගෙන ඉන්න පට්ට සල්ලිකාරයන්ගේ වත්කම් අම්බානක වැඩි වුණා වසංගතය කාලේ. කොළඹ කොටස් වෙළඳපොළේ ඔවුන්ගේ ආයෝජනවල වටිනාකම බලාගෙන ඉන්නකොට වැඩි වුණා කියලා පාරෙ ඉන්න අහිංසක මිනිහා දන්නේ නැහැ. පොලී අනුපාත පහළ ගිහින් ලැබුණු ණය සහනවලින් තමන්ගේ ප්‍රාග්ධනය විශාල ලෙස වැඩි කරගත්තේ ඔවුන්. ඔවුන්ගේ සුපිරි කාර්වල වටිනාකම අහස උසට නැගලා. අක්කර දහස් ගණන් ඉඩම්වල වටිනාකම දෙගුණ තෙගුණ වෙලා. ටිකෙන් ටික සුළු පිරිසක් ඉතා අමාරුවෙන් යන්තම් ආරම්භ කළ විරෝධතාවය ටික ටික වැඩි වෙවී එනකොට මුලින්ම බය වුණේ ඒ ධනවතුන්. ඔවුන් බය වුණා විරෝධතාකරුවන් ඔවුන්ගේ ධනවත් මන්දිරවලට පැනලා මංකොල්ල කාවීය කියා. ඔවුන්ගේ සුඛෝපභෝගී ව්‍යාපාර ස්ථානවලට ගිනි තබාවීය කියා. විශේෂයෙන්ම ලංකාවේ ඉන්න ධනවත්ම පිරිස වන ක්‍රිකට් ක්‍රීඩකයන්, මීඩියා චැනල් අයිතිකාරයන්, අලුත් පරපුරේ නළු නිළියන් සහ ගායක ගායිකවන් එහෙම ප්රාණ බය වුණා. ඒකට ඔවුන් නියම කපටිකමක් දැම්මා. ඔවුන් පටස් ගාලා ඇවිල්ලා කිව්වා "අපි අරගලයට සහාය දෙනවා" කියා.

    මම හිතන්නේ දේශපාලකයාට වඩා ගොඩක් රට කපටි කොළඹ ධනවතා හරිම බුද්ධිමත්. පියවර දහයක් නෙවෙයි සීයක් ඉස්සරහට හිතන්න පුළුවන්. දේශපාලනය ගැන නොදන්නා මිනිස්සු රවට්ටන්න හරිම ලේසියි. ඔවුන් දන්නේ නැහැ මේ ඔවුන් සමග එකට බෝඩ් අල්ලාගෙන සෙල්ෆි ගහන පපරේ නටන කපටි ධනවතා ගාව තමයි ඇත්තටම ඩොලර් මිලියන ගණන් සේප්පු ඇතුළේ ගොඩ ගහලා තියෙන්නේ කියලා. ට්වීට් කර කර “අරගලය දිගටම කරන්න කරන්න” කියලා කියන ඒ කොළඹ සුපිරි ව්‍යාපාරිකයන් ළඟ පරම්පරා ගාණක් බදු වංචා කරලා ගොඩ ගහපු වත්කම් තියෙනවා කියලා කඳුළු ගෑස් කන තරුණයා දන්නේ නැහැ. දේශපාලකයන් පිටට විතරක් වැරැද්ද දාලා කොළඹ ධනවතුන් ටික ලස්සනට බේරුණා. දේශපාලකයන් කොමිස් ගත්තා නම් ඔවුන්ට කොමිස් දුන්නේ කවුද? ඔය කොළඹ ධනවතුන්ම වෙන්න එපැයි?. ලංකාවේ පොඩි ව්‍යාපාරිකයාට චාන්ස් එකක් නැත්තේ ඔය කොළඹ ධනවතුන් ඒවා ඔක්කොම ඩැහැ ගන්න නිසා තමයි. ඒ වගේම කොමිස් දෙනවා නම් ඒ මුදලත් එකතු කරලා තමයි ජනතා මුදල් බිලියන ගාණක කොන්ත්‍රාත් ගන්නේ. ඔවුන්ට කිසිම පාඩුවක් වෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඒ වගේම සාමාන්‍ය මිනිස්සු ආහාර මිල ගණන් වැඩි වීම, ඉන්ධන ගෑස් විදුලි හිඟය වගේ මොන මගුලක් ධුණත් ඔය කිසිම ධනවතෙකුගේ ජීවිතවලට අබමල් රේණුවක වෙනසක් වුණේ නැහැ මේ ආර්ථික අර්බුදයෙන්. ඔවුන්ගේ සුපිරි කාර්වලට ගහන්න තෙල් ඔවුන් මුලදීම තොරතුරු ලබාගෙන ස්ටොක් කරගත්තා. නැතිනම් කළු කඩෙන් ඉහළ මිලකට ගාන කීය වුණත් ගන්න ඔවුන්ට ඕන තරම් සල්ලි තියෙනවා. කරන්ට් එක නැති වුණාට සොලාර් බැටරි පද්ධති වලින්, යූ පී එස් බැටරි, නැත්නම් ජෙනිවලින් ඒ/සී දාගෙන ඔවුන් ආතල් එකේ ඉන්නවා. ඒ අතරේ තමන්ගේ ඇපල් අයිෆෝන් එකෙන් ෆේස්බුක් එකෙයි ට්විටර් එකෙයි වෛරය වපුරා ඒක ෂේප් එකේ කොහොමත් චාටර් වෙලා තියෙන මෝඩ රාජපක්ෂ හොර හැත්තගේ එකවුන්ට් එකට දාලා ගාණට ෂේප් වෙනවා. ආණ්ඩුවේ සංස්ථා සභාපති තනතුරු ගත්ත ඔය සමහර ධනවතුන් පහුගිය අවුරුදු දෙකේ සෑහෙන්න මුදලක් හම්බ කරගෙන දැන් මුකුත් කළේ නැහැ වගේ ඉල්ලා අස්වෙලා අරගලයට සහාය දෙනවා... කොළඹ ධනවතුන් තමයි ලෝක අංකුට්ටෝ. එහෙම නැතුව ඉතින් ඔහොම ධනවතුන් වෙන්නත් බැහැනේ ලංකාව වගේ රටක. කොළඹ ධනවතුන් ටික හංගගෙන ඉන්න ඩොලර් කන්දරාවත් දෙන්න කියලා කවුරුවත් කියන්නේ නැහැ නේද? කොහොමද ඔවුන්ගේ කපටි මොළේ? ඩොලර් එක බලයෙන් අඩු තියාගෙන ඉන්නකොට විශාල වශයෙන් ඩොලර් වත්කම් එකතු කර ගෙන හිටපු ඔවුන්ගේ ඩොලර්වල වටිනාකම වැඩි කරගන්න ඔය “රුපියල පාකරන්න පාකරන්න” කියලා කෑ මොර දුන්නේ නැතුව නිදහසේ පා කරන එකෙන් රටට වෙන වාසියක් ගැන හිතලා නෙවෙයි. ඒකෙන් දැන් ඔවුන්ගේ ඩොලර් වත්කම්වල වටිනාකම දෙගුණයකින් ඉහළ ගිහිල්ලා. කොළඹ අයිටී සමාගම් වලට ඩොලර්වලින් පඩි ගෙවන්න තරම් ඔවුන්ට ඩොලර් තියෙනවා. කොළඹ එන්ජීඕවල වැඩකරන ධනවතුන් ට්විටර් එක හරහා වෛරය වපුරලා කෝලාහලයක් කරන්න හදනවා ඊළඟ අවුරුදු පහට හොඳ මානව හිමිකම් ප්‍රොජෙක්ට් ටිකකට ඩොලර් පවුම් ටිකක් පාස් කරගන්න. මේ පැත්තෙන් අහිංසක මිනිස්සු කුලප්පු කරලා මාර්කට් එක කඩන තරමට ඔවුන්ගේ ඩොලර්වල වටිනාකම වැඩි වෙනවා. මෙහෙන් බොරුවට බෝඩ් උස්සගෙන ලයිව් ඇවිල්ලා අනෙක් පැත්තෙන් හෝ ගාලා මේ දවස් වල රටින් පිට වෙන්න දඟලන මිනිස්සු හදිසියේ විකුණන ටිකක් මිල අඩුවෙන් දාල තියෙන ඉඩම් කඩම් ගන්නවා. කොළඹ ධනවතුන් මාර ගේම් එකක් ගැහුවේ. නන්දසේන පඩයාගේ හොඳටම කරපු පොරටෝක චුට්ටක් වෙනස් කරලා "ලංකාවේ කොළඹ ධනවතුන් තමයි හොඳටම කළේ" කියලා කියන්න පුළුවන් කිසිම අවුලක් නැතුව...

      Delete
  5. පුලුවන්නම් පිටරට ඉන්න අය උන්ඩියෙල් හවාල නැතුව හරි විදියට සල්ලි එවන රැල්ලක් හදන්න. අපේ මිනිස්සුන්ට හරියට අවුරුදු හරි කන්න පුලුවන් වෙයි. උද්ඝෝශන නවත්තන්න නෙමේ කියන්නෙ, 225 යවනකම්ම හරි හමන් හොරකන් නොකරන එවුන් ටිකක් එනකම්ම අරගලය තිබිය යුතුයි. ඒත් ඊලගට එන අනුර හරි සජිත් හරි මොකාට හරි රට කරගෙන යන්න පුලුවන් වෙන්නේ සල්ලි තිබ්බොත් විතරයි.

    හොදට බලන්න ඔය උන්ඩියෙල් හවාල කරන්නෙ එක්කො දෙමළ නැත්තම් මුස්ලිම් අය. රට වැටුනට පස්සෙ ඔයාලගෙ බිස්නස්, ගෙවල්, ඉඩම් ගන්න එයාල දැන් ඉදන්ම සල්ලි එකතු කරනව. පොඩ්ඩක් අහල බලන්න කැනඩාවේ, එංගලන්තෙ ඉන්න අයගෙන් පහු ගිය මාස වල ඩයස්පෝරාව කොච්චර ඇක්ටිව් උනාද කියල. ඕමාන්, ඩුබායි, මැලේසියා, සිංගප්පූරු වල මුස්ලිම් අය සල්ලි එකතු කරන ඒවා අහල බලන්න. පිටකොටුව පැත්තෙ ඇවිදල බන්න, එක ඩොලර් එකක් දෙන්නෙ නෑ සිංහල අයට. ඔක්කොම යටි මඩි ගහගෙන තියාගෙන ඉන්නෙ. ඇයි?

    උන්ඩියෙල් හවාල කියන්නෙම කලු සල්ලි. කලු සල්ලි එකතු වෙනව කියන්නෙ රටක් වට්ටන එකට ලොකු පහසුවක්. පොඩි පාඩුවක් විදගෙන හරි මේ දවස් වල සල්ලි එව්වෙ නැත්තම් අපේ පරම්පරා ගානකට විදවන්න වෙන විනාසයක් වෙන්නෙ. මෙයාල කිසිම අවුලක් නැතුව ඊලමයි, ශරියයි තව අවුරුදු දෙකක් ඇතුලත ගන්නවා. රාජපක්ශල රට පනියි, පුලුපුලුවන් එවුන් කොහෙ කොහෙට හරි රටකට යයි. ඉතුරු වෙන සිංහලයන්ට ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේ තමා ඉන්න වෙන්නෙ.

    එක හින්ද ඔය ගමන්ම රැල්ලක් හදන්න කීය කීය හරි පුලු පුලුවන් විදියට පිටරට ඉන්න අයට හරි පාරෙන් එවන්න කියල. සල්ලි දාල රිසිට් එක ෆේස්බුක් එකේ පෝස්ට් කරන්න, මගේ යුතුකම ඉටු කලා කියල...

    ReplyDelete
    Replies
    1. @ Shakya,

      ඔබේ අදහස් සමග යම්දුරකට එකඟයි නමුත් ලංකාවේ ආර්ථිකය විශාල වශයෙන් මෙහෙයවීමට වගේම ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති, සමාජ ජාල වල විශාලතම ධාරිතාවයකින් යුත් ලංකාවේ මහමදික ආගමික ප්‍රජාව සතුව ජනමතය හැසිරවීමට විශාල බලයක් තියෙනවා. පහුගිය කාලේ පාස්කු කේස් එක සමග එම බලය තාවකාලිකව තරමකින් පසු බා ගියත් ඔවුන් අමාරුම තත්ත්වයක් යටතේ පවා සජිත් ප්‍රේමදාස 46% ක් ඡන්ද ගන්නා තෙක්වත් එය මෙහෙයවූ බව අමතක නොකළ යුතුයි. වත්මන් ආණ්ඩුව කළ ලොකුම මෝඩකම මහමදික ආගමික ප්‍රජාව තම ආණ්ඩුවට එක් කර නොගැනීම. මේක ඉස්සර මහින්ද රාජපක්ෂ කළා නමුත් නිසි දේශපාලනික සහ ආර්ථික අවබෝධයක් නැතිව ගෝඨාභය හැඟීම් වලට වහල් වෙලා තනි සිංහල ආණ්ඩු හදන්න ගිහින් අන්තිමට අනා ගත්තා. දැන්වත් මහමදික ආගමික ප්‍රජාව ඉදිරියේ ගෝඨාභය දණ ගසා සමාව ඉල්ලන්න මේක සුදුසු වෙලාවක්. ඔවුන්ගෙ දේශපාලනික කණ්ඩායම් වලට ඇමති ධූර ලබා දිය යුතුයි. ඊට අමතරව ටී එන් ඒ එකේද සහය සහිතව කටයුතු කලොත් පමණක් යම් තරමකින් හෝ ගොඩ දාගන්න පුළුවන් වෙයි. අන්තවාදී වෙලා මේ ප්‍රශ්නය විසඳා ගැනීමට බැරි බව තේරුම් ගත යුතුයි. මේ වත්මන් ජන අරගලයට විශාල වශයෙන් මුදල් ආධාර සහ පිරිස් බලය සපයන, විශාල වශයෙන් මාධ්‍ය ආවරණය, විශේෂයෙන් සමාජ ජාල වෙබ් අඩවි වල සහය සපයන මහමදික ආගමික ප්‍රජාව මේ ආණ්ඩුවට එරෙහිව සටන් කරන්නේ ඉතාමත් සාධාරණ හේතු කාරණා මත පදනම්ව කියන දේ ආණ්ඩුව තේරුම් ගන්න ඕන මුලින්ම. ඔබත් එය තේරුම් ගෙන නෑ ඒකයි අවුල තියෙන්නෙ.

      Delete
  6. මම හිතන්නේ මේ වෙලාවේ යම්කිසි ආකාරයක ජනතාවට පිළිගත හැකි කණ්ඩායමක් ආර්ථික අර්බුදයට මුහුණ දීමට පත් කිරීමට අවශ්‍යයි. දැනට පේන විදියට එකම විසඳුම අයි එම් එෆ් එක නම් ඒකට යාමට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ තවත් පිළිගත හැකි විද්වත් කණ්ඩායමක් යටතේ සාකච්ඡා පැවැත්වීමට කටයුතු කළ යුතුයි. භාරකාර ආණ්ඩුවක් තාවකාලිකව පත් කිරීමට අවශ්‍යයි.

    මේ වනවිට ප්‍රධාන දේශපාලන ධාරාවේ පක්ෂවල නායකයන් වන සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර වැනි අය අලුත් ව්‍යවස්ථාවක් හැදිය යුතුය ආදී වශයෙන් විවිධ ආකාරයේ නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් ඉල්ලා ෂේප් එකේ මගහැර යන මොහොතේ මීට පෙර ජනතාව විසින් මෝඩයන් හා තක්කඩි ලෙස සිතා ගෙන හිටපු හරීන් ප්‍රනාන්දු සහ අතන මෙතන රතන ගණින්නාන්සේ වැනි අය සාපේක්ෂව වඩාත් සාධනීය අදහස් දරන බව පේනවා නේද?

    උදාහරණයක් විදියට සජිත් සහ අනුර මග අරින නිසා ජනාධිපති ධුරය මාස හයක කාලයකට හර්ෂ ද සිල්වාට ලබා දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ඉල්ලා සිටියා. මේ ගැන පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක්වෙමින්;

    “මේ රටේ ගෝඨාභය හැර වෙන කවුරුත් නැත්තම් ජනාධිපති ධූරය භාරගන්න මම යෝජනා කරනවා අපේ හර්ෂ ද සිල්වාට දෙන්න ජනාධිපතිකම මාස හයක්. ආර්ථික විශේෂඥයෙක්. ප්‍රශ්නයක් නෑ. මාස 6යි. අපේ නායකතුමා (සජිත්) ඉල්ලන්නේ නෑ. එතුමා කර අරිමින් බලාගෙන ඉන්නවා. මේ රට කරන්න මොකෙක් හරි ඕනේ. අරාජික වෙන්න බෑනේ..."

    "අද වෙනකොට සියලු දේශපාලන පක්ෂ වල 225ම ගෙදර යන්න ඕනේ කියලා ජනතාව කියනවා. කිසි ප්‍රශ්නයක් නෑ. පත් කරන්නේ ජනතාව නම් කියන වෙලාවට යන්නත් ඕනේ."

    "මේ වෙලාවේ මිනිස්සු බලන්නේ ඔක්කොම හොරු කියන තැන ඉඳන්. හැබැයි මම කියන්නේ දෙපැත්තෙම ඉන්නවා හොඳ අය."

    "අද අපිට මෙහෙම වුණේ මේ වගේ අර්බුදකාරී තත්වයකදීවත් එකතු වෙන්න බැරි වුණ නිසා. මෙච්චර ප්‍රශ්නයක් වෙලත් මගේ පක්ෂයත් ඇතුළුව මේ මේ සියලු දේශපාලන පක්ෂවලට වගකීම බාර අරන් තත්වය වෙනස් කරන්න තරම් හැකියාවක් නෑ, ඇත්තටම කාටවත්ම බෑ දෙයක් කරන්න. ලැජ්ජයි."

    "මම කියන්නේ මේ පාර්ලිමේන්තුවට පුළුවන් භාරකාර ජනාධිපතිවරයෙක් පත්කරන්න. ලංකාවේ මිනිස්සු කෙහෙල් මල් ඡන්ද නෙමෙයි ඉල්ලන්නේ. මිනිස්සු පෝලිම්වල දුක්විඳිනවා.. මේ වගේ වෙලාවක ඡන්දයක් කරන්න පුළුවන්ද?. මට හරි කනගාටුයි මේ දේශපාලනඥයින් ගැන."

    "ඒ නිසා දැන්වත් මේ අය එකතු වෙන්න ඕනේ. ඒක බොහොම අවංක එකතුවීමක් වෙන්න ඕනේ. මේ පාර්ලිමේන්තුවත් ගොබ්බ තැනක් වෙලා. බොරු කියන්න ඕනේ නෑ."

    " මම කියුවේ පක්ෂ නායකයින්ට ඇයි බැරි එකතු වෙලා බොක්කෙන් කතා කරන්න. හෙට අනිද්දා මිනිස්සු මේකට ගහනවා ගහනවා ගහනවාමයි. මේ පාර්ලිමේන්තුවට බෑ කිසිම තීරණයක් හරියට අරන් ඉවර කරන්න."

    "අද මේ රටේ දේශපාලන පක්ෂ වල ලොක්කෝ එකෙක්ට.. එක පක්ෂයකට උවමනා නෑ මේ රටේ මිනිස්සු දුක්විඳින ප්‍රශ්නයට උත්තරයක් ගේන්න."

    "මාස 6ක් අවුරුද්දක් ඡන්දයක් එනෙකම් කියලා විපක්ෂයේ දේශපාලනඥයෝ කරඅරිනවා නම් අපි ගැන ලැජ්ජා වෙනවා.”

    හරීන් ප්‍රනාන්දු කියන මේ කතාව ඇත්ත නේද? විපක්ෂ කණ්ඩායම් සේරම මේ වෙලාවේ ඇඟ බේරාගෙන මාරු වෙලා යන නිසා ලංකාවේ ආණ්ඩුවේ පාලනය දිය හැකි කාටද? ජනපති ඉවත්ව ගොස් එම තනතුරට පත් කළ යුතු කවුද? ඊට පසු මේ ප්‍රශ්න විසඳන්න කළ යුතු වැඩපිළිවෙල කුමක්ද? දැන් බොරුවට කෑ නොගහ මේකට සැබෑ පිළිතුරු සොයා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක්.

    ReplyDelete
  7. ඉස්සර වගෙ නොව අරගලකරුවොත් දැන් නං මොළයෙන් වැඩ කරතී
    අරගල අස්සට එන 'චා ගුණ්ඩින්' කවුදැයි සෝදිසියෙන් සිටිතී
    ඒ වාගේමයි, හැඟුම් ඇවිස්සෙන දේශන එහෙමත් පවත්වතී
    එහෙම රැල්ලකුත් ඕනා විත්තිය මතකෙ තියාගෙන වැඩේ දෙතී

    ReplyDelete
  8. ප්‍රශ්නයක් තියෙන්ව.
    මේ වගෙ රටින් සල්ලි පිටකලත් ඒව යන්නෙ ඇමෙරිකාව වගෙ රටවලට මිසක් උගන්ඩාව වගෙ රටවලට නෙමෙයි නේද? හොරුන්ගෙ පැත්තෙන් බැලුවම එය අවදානමක් නෙමෙයිද?

    ReplyDelete
    Replies
    1. පළමු වටය සැලකුවොත්, ඔව්. නමුත් පොදුවේ ලෝකයම සැලකුවත් උන්ඩියල් ගනුදෙනු කරන්නේ විධිමත් ආයතන පද්ධතියෙන් පිට ඉන්න අය. කළු ආර්ථිකයක් හැම රටකම තියෙනවා. ඒ වගේම එම කළු ආර්ථික එකිනෙක හා සම්බන්ධයි. රුපියල් ඩොලර් කර රටින් පිට කර ගැනීමෙන් පසුව එම සල්ලි රටකින් රටකට ගෙනයන එක සාපේක්ෂව පහසු දෙයක්.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: