වෙබ් ලිපිනය:

Wednesday, May 11, 2022

ආපසු පැමිණිය නොහැකි සීමාවේ සිට...

ලංකාවේ තත්ත්වය දවසින් දවස තවතවත් නරක අතට හැරෙන එක ඉතාම කණගාටුදායක කරුණක්. මට පෙනෙන හැටියටනම් මේ වන විටත් ලංකාව ආපසු පැමිණිය නොහැකි සීමාව පහු කරලා. යම් හෙයකින් එය එසේ නොවේනම් මේ වෙද්දී ඉන්නේ ඒ සීමා ඉර උඩ. ගොඩක්ම කණගාටු මේ දේවල් මේ විදිහට වෙයි කියන එක 2013 පමණ සිටම දැකිය හැකිව තිබියදී ඒ තත්ත්වය වෙනස් කර ගැනීමට නොහැකි වීමයි. ඊටත් වඩා කණගාටු මෙයින් ඉදිරියට විය හැකි වඩා භයානක දේවල්ද පැහැදිලිව පෙනෙද්දී ඒ දේවල් වලක්වා ගත හැකි ආකාරයක් දැනටත් නොපෙනීම. තිබෙන එකම සතුට තනි පුද්ගලයෙකු ලෙස පෞද්ගලික මට්ටමින් කළ හැකි සියල්ලක්ම කළ නිසා සහ දැනටත් කරමින් සිටින නිසා නොකළ දේ ගැන පසුතැවිල්ලක් නැති වීම.

පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ යා හැකි ආකාරය ගැන පුළුල් සාකච්ඡාවකට ප්‍රවේශ වෙමින් විපක්ෂ දේශපාලන ධාරා හතරක සාමාජිකයින්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින්, වෙනත් දේශපාලන ක්‍රියාකාරිකයින් හා මහජන අරගලය තුළ කැපී පෙනෙන වැඩ කොටසක් කරන සමාජ ක්‍රියාකාරිකයින් සහභාගී වූ සමුළුවක් පසුගිය සති අන්තයේදී (මැයි 7) ගාලු මුවදොර හෝටලයේදී පැවැත්වුනා. පවතින අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩ යාම ගැන සැලකූ විට ඉතා හොඳ සංවාද මණ්ඩපයක් වූයේයි සැලකිය හැකි වූ මේ එකතුව දිහා සුබවාදී ඇසකින් බලා සිටියත්, දවසක් යද්දී ඒ තත්ත්වය කණපිට හැරුණා. ඉහත "සඳහන් ගොඩ යාමේ මග (Path to Recovery)" සමුළුව ගැන ලියූ හා ලියන්නට ඇති දේ පළ කිරීම මඳකට කල් අරිමු.

මේ වන විට ලංකාව පිළිබඳව ඉතාම නරක සංඥාවක් ලෝකයටම ගිහින් ඉවරයි. ලංකාව තුළ තමන්ගේ පෞද්ගලික දේපොළ ආරක්ෂාව පිළිබඳ සහතිකයක් නැති බව වගේම අඩු වශයෙන් ජීවිතාරක්ෂාව හෝ සහතික නැති බව ලංකාව විසින් ලෝකයටම ප්‍රදර්ශනය කර තිබෙනවා. ආර්ථික අර්බුදයේ ප්‍රතිවිපාක වඩා දරුණු කරමින් වසර ගණනක් යන තුරු ලංකාවේ සංචාරක කර්මාන්තයට මෙන්ම, විදෙස් ආයෝජන වලටද මේ සිදුවීම් බලපෑම් කරයි. ඒ වගේම, දේශපාලනයට අවතීර්ණ වෙන්න පොඩ්ඩක් හෝ නැඹුරුවක් තිබුණු හොඳ මිනිසුන් මේ වැඩෙන් තවදුරටත් අධෛර්යමත් වෙයි. අවදානම් ගන්න කැමති, ඕනෑම දේකට ඔට්ටු, මැරවරයෝ, හොරු දේශපාලනයට එන එක තවත් ප්‍රවර්ධනය වෙයි.

කොහොම වුනත්, සිදුවීම් පෙළගැසෙමින් තිබුණු ආකාරයට මෙය මෙලෙස සිදුවීම අහම්බයක් නෙමෙයි. අරගලකරුවන් ගිහින් තිබුණු දුරත්, අරගලයට හේතු වූ මූලසාධක තවදුරටත් වර්ධනය වෙමින් තිබීමත් තුළ ඔවුන්ට ආපසු හැරිය හැකි ඉඩක් ඉතිරි වී තිබුණේ නැහැ. ඒ වගේම, අරගලකරුවන්ගේ ඉල්ලීම් වල ස්වභාවය අනුව ආණ්ඩුව පහසුවෙන් යටත් වීමේ ඉඩක් තිබුණේත් නැහැ. මේ වගේ තත්ත්වයක් යටතේ සාමකාමී පරිවර්තනයක් සිදුකර ගැනීම ඉතාම අභියෝගාත්මක වැඩක්. නීතිඥ සංගමය ප්‍රධාන තවත් අය විසින් ඒ සඳහා විශාල මහන්සියක් දැරූ අතර ඒ උත්සාහයන් තවමත් අතහැර නැහැ. 

සමාජයක් වශයෙන් ගත්තහම සමස්තයක් ලෙස තවමත් ලාංකිකයින් විසින් දේපොළ අයිතිවාසිකම් ගරු කරන්නේ නැහැ. කිසියම් සමාජයක දේපොළ අයිතිවාසිකම් ස්ථිරසාර ලෙස තහවුරු වෙන්නේ අන්‍යොන්‍ය (reciprocal) පදනම මතයි. ඒ කියන්නේ තමන්ගේ දේපොළ ආරක්ෂා වන්නේ තමන් විසින් අනෙකාගේ දේපොළද ආරක්ෂා කිරීම වෙනුවෙන් කැප වන තුරු පමණක්ය යන අවබෝධය මිනිස්සු තුළ ඇති වීම සමඟයි. මේ වැඩේ වෙන්නනම්, තමන් අනෙක් අය අතර සමානයෙක් බව මිනිස්සුන්ට තේරෙන්න ඕනෑ. ආරක්ෂා කර ගත යුතු දෙයක් තමන් සතුව නැති බව මිනිහෙක්ට තේරුණාම ඒ මනුස්සයා වෙනත් අයෙකුගේ දේපොළ අයිතිවාසිකම් ගැන වද වෙන්නේ නැහැ. ජීවිත ආරක්ෂාව ගැන වුනත් කතාව ඕකයි.

ඒ වගේම කවුරු හරි භුක්ති විඳින දේපොළකට අදාළ පුද්ගලයා සතු අයිතිය පැහැදිලිව පේන්න තිබිය යුතුයි. අනෙකෙකුගේ දේපොළ අයිතිවාසිකම් පිළිබඳ අදහස එන්නේ මහන්සියෙන්, සාධාරණ ක්‍රමයකට උපයාගත් දේපොළ නේද කියන අදහසත් එක්ක. ඔය විදිහටම මහන්සි වුනානම් මටත් ඔය දේපොළ ඔය විදිහටම අයිති කරගන්න තිබුණා නේද කියන එක පැහැදිලිව පෙනෙන එකත් එක්ක. මේවා මේ විදිහට වෙන්නනම් නීතිය හා අධ්‍යාපනය තුළද සිදු විය යුතු කාර්ය භාරයක් තිබෙනවා.

මේ වෙලාවේ වගකීමෙන් කටයුතු නොකළේ ආණ්ඩුවයි. මම හිතන්නේ හිතූ තරම් ලේසියෙන් හෝ හදිසියෙන් IMF එකෙන් සල්ලි නොලැබෙන බව පැහැදිලි වීමත් සමඟ ආණ්ඩුව දුටු එකම විකල්පය අරගලය මර්දනය කිරීමයි. එහිදී ආණ්ඩුව විසින් කළේ ඔවුන් දිගින් දිගටම කළ වරද වූ "ඉල්ලුම" අමතක කර "මිල" පාලනය කිරීමයි. "මිල" පාලනය කිරීමේ උත්සාහයත් එක්කම "ඉල්ලුම" පුපුරා ගියා. 

කොහොම වුනත්, එක වැරැද්දක් නිසා වෙනත් වැරදි සාධාරණීකරණය වන්නේ නැහැ. ඇතැම් අයට අනුව පසුව උතුරේ (මෙන්ම දකුණේද) ඇති වූ ප්‍රචණ්ඩකාරී තත්ත්වයන්ට හේතු වුනේ 1983 ජාතිවාදී කෝලාහලයයි. අවශ්‍යනම් එම ජාතිවාදී කෝලාහල වලට හේතු වුනේ හමුදා සෙබළුන් 13 දෙනෙකු මරා දැමීම කියා කියන්නත් පුළුවන්. මේ වගේ දේවල් වලදී වැරැද්ද කාගේද කියා හොයනවාට වඩා වැදගත් දෙය එකම වැරැද්ද නැවත නැවත සිදු වීම වලක්වා ගැනීමයි. මම හිතන්නේ එය තේරුම් ගත හැකි තරමට රටේ බහුතරය දැනුවත්. එය සතුටට කරුණක්.

මේ වෙලාවේ ඉතා ඉක්මණින් රටට දේශපාලන ස්ථාවරත්වය අවශ්‍යයි. ඒ වෙනුවෙන් හැමෝටම යම් තරමකින් හෝ කැපවීමක් කරන්න වෙනවා. දේශපාලන ස්ථාවරත්වය ඇති කරගත්තා කියලත් මේක ලේසියෙන් ගොඩදාන්න බැහැ. එහෙම නැති වුනොත්නම් සමහර විට අවුරුදු පණහකින් සීයකින් අතීතයට යන්න වෙයි. එහෙම වෙච්ච රටවල් ඕනෑ තරම් තියෙනවා.

17 comments:

  1. ඔබට මගේ ප්‍රණාමය පහත සටහනට! ඒ මට ඇති අදහසක් ප්‍රවීන ලෙස සටහන් කිරීම වෙනුවෙනි.
    //තිබෙන එකම සතුට තනි පුද්ගලයෙකු ලෙස පෞද්ගලික මට්ටමින් කළ හැකි සියල්ලක්ම කළ නිසා සහ දැනටත් කරමින් සිටින නිසා නොකළ දේ ගැන පසුතැවිල්ලක් නැති වීම.//

    ReplyDelete
    Replies
    1. නමුත් ඒ සමගම ඔබට පොඩි විවේචනයක් ද ඉදිරිපත් කළ යුතුයි. ඒ ඔබේ අනාවැකි සම්බන්ධයෙන්, ඇත්ත වශයෙන්ම කියතොත් ඉකොනොමැට්ටා ඔබගේ අනාවැකි නම් ඉතාමත් විහිළු සහගත බව පැහැදිලි වුණා, සජිත් ප්‍රේමදාස මහතා මීට වඩා හොඳට අනාවැකි කියනවා. උදාහරණයක් වශයෙන් රාජපක්ෂ කල්ලියේ දුර්වලම පුද්ගලයා නන්දසේන බව ඔහු 2019 මහමැතිවරණයේදී පැවසුවේ, ඒ වගේම තමා ඇත්ත ඇති සැටියෙන් පවසන කෙනෙක් බවත් මගේ ප්‍රතිවාදියා ලෙස පැමිණි පුද්ගලයා මෙන් සිංහ හම් පොරවාගෙන සිටින හිවලකු නොවන බවත් එහිදී අවධාරණය කළා, එය ඉතාමත් ඉක්මනින් සත්‍ය කතාවක් බව හැමෝටම පැහැදිලි වුණා, ඒ වගේම තමයි මීට දින කිහිපයකට පමණ පෙර ඔහු මටත් go home කියයි කියලා ප්‍රකාශ කරලා දවස් දෙකයි ගියේ ගෝල්පේස් එකේදී කට්ටිය ගහලාම එලෙව්වා, අන්න ඒ වගේ තමයි අනාවැකි කියන්න ඕනේ. ඔබ ගැන කෙටියෙන් කියනවනම් ගල් සීයක් විතර කණාවට ගහල එකක් ලාවට යාන්තම් වැදුනම මේ බ්ලොග් එක බලන හාල් කැලි වලට ඒක විතරයි මතක. අන්න ඒකයි අවුල තියෙන්නෙ.

      Delete
  2. ඉකොනෝ මහත්තයද මදේ ඉරිච්ච වාටිය විතරක් තියෙන ලංකට් එකක් ඇදගෙන කුට්ටම එළියේ දාගෙන බේරේ වැවේ හිටියේ? ක්‍රීම් එකක් වත් අරගෙන ගාන්න කැසීම අඩුවෙයි.

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ ප්‍රසිද්ධ මිනිස්සු ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් සහිත විද්වතුන් සහ බ්ලොග් ලියන ජන ජනමාධ්‍යවේදියෝ උනහම හිතපල්ලා මධ්‍යස්ථව... මොකද උඹලා හරි වැරැද්ද පෙන්නපල්ලා ලෝකෙට එකෙක් පුතානෝ එකෙක් රාජපක්ෂ එකෙක් ලපයගේ එහෙම එක එක එකාට කඩේ ගිහින් චොර වෙන්න එපා බං උඹලා මධ්‍යස්ථව ඉඳලා හරි පිරිසුදු උත්තරේ ලෝකෙට දීපල්ලා... උඹලට ඒ උඹලට පැවරිලා තියෙන්නේ උඹලා ලේව කන්න යන්න එපා උඹලා හරි දේ කළා නං අද ලංකාව ගොඩක් වෙනස්

      Delete
  3. නොඒවිද ස්ථාවර බවක්
    අද හෙට
    දේශපාලනයේ මෙ සිරිලක
    බැරිය මට තවදුරටත්
    කෙරුම මහ බැංකු අධිපතිකම
    කියයි නන්දේ නොසතුටින්
    එයද මේ සිදුවෙන්න යන්නේ
    සියල්ලම අවසානයේ........

    ReplyDelete
    Replies
    1. ස්ථාවර මගුලක් නෙවෙයි බන් ඔන්න අර තාක්ෂණික සාකච්ඡා වලදී අයි එම් එෆ් එක ලංකාවේ බදු ආදායම් වැඩි කර ගන්න යෝජනා කරලා තියෙනවා.. ඕක කරන්න ගියාම තමයි බැංකුවේ නන්දෙට විරුද්ධව කට්ටිය පාරට බැහැලා මහ බැංකුවටත් ගිනි තියන්න එන්නේ, ඊට හපන් රජයේ සේවකයන්ට වැටුප් අඩු කිරීම සහ රජයේ ආයතන පෞද්ගලීකරණය කරන එක රජයේ සේවකයන්ට වැටුප් දීමනා කප්පාදුව වගේ දේවල් රනිල්ට ලේසි වෙන එකක් නෑ අගමැති තනතුර සඳහා පත් වෙනවා වගේ නෙවෙයි බෙල්ල ගහලා යන වැඩක් වෙන්නේ... බලමු බලමු මොකද වෙන්නේ කියලා ඉස්සරහට ඉතින්

      Delete
  4. ඇමතීය ජනපෙති දනන්
    චණ්ඩින් හෙලා දකිමින්
    නොදකියි තවම නුවණින්
    ලොවම සිටියත් අයා දෙනුවන්

    ReplyDelete
    Replies
    1. නිමල්,

      ලංකාවේ පහුගිය දවස් වල බලලෝභී අමන පවුලක තකතීරු චෞර අශිෂ්ඨ පාලනයට සහ අතිශය අමනෝඥ ආර්ථික දේශපාලනික කළමනාකරණයට එරෙහිව සටන් කරන අපේ වයසේ සහ අපටත් වඩා ලාබාල තරුණ තරුණියන් ඇතුළු ප්‍රගතිශීලී අදහස් සහිත පිරිස් ඇරඹූ සාමකාමී ජන අරගලයට අප හදවතින්ම උපරිම වශයෙන් සහයෝගය ලබා දුන්නා නමුත් දැන් නම් මට මේ හැම දෙයක්ම එපා වෙලා තියෙන්නේ.

      මේ සිදුවීම් පෙළ දිහා බලන් හිටියාම ඉතාමත් පැහැදිලියි ලංකාවේ පාලන බලයේ ඉන්න පිරිස මෙන්ම ඉදිරියට පාලන බලය ලබාගැනීමට අරගල කරන පිරිසද එකම ආකාරයේ මිලේච්ඡ ලේ පිපාසිත අමනයන් පමණක් බවත් කිසිසේත්ම රටට අවංකව ආදරේ කරන අය නොවන බවට පැහැදිලිව ඔප්පු කල සිදුවීම් පෙලක්... මේ ගැන ඔබේ අදහස් මොනවද?

      Delete
    2. ලොකු බලයක් ලැබුනාම; වරප්‍රසාද ලැබුනාම ඕනෑම කෙනෙක් බලය අත හරින්න අකමැති වේවි. ඒ නිසා ඉතා සීමිත වරප්‍රසාද හා බලය තමයි පාලකයන්ට හිමි විය යුත්තේ. අනෙක කෙරෙන හැම දෙයම වහාම ප්රසිද්ධ කෙරෙන යාන්ත්‍රණයක් තියෙනවා නං දූෂණ අඩු වෙයි කියා හිතනවා.
      අද පුවතකට අනුව ලකාවේ දෙවෙනි විශාලම දූපත ස්විස් සමාගමකට 30 අවුරුද්දකට බදු දෙන්න 11 වෙනිදා ගිවිසුම් අත්සන් කරලාලු. හැබැයි මීට අවුරුදු 22කට ඉහත ඇස්තමේන්තු කළ මුදලට.
      https://www.lankahotnews.net/2022/05/the-second-largest-island-in-sri-lanka.html
      අනෙත් කරුණ විදිහට මට හිතෙන්නේ රටේ පාලන බලය හිමිවිය යුත්තේ අවුරුදු 50 න් පහල අයට බවයි!
      මිනිසුන් කියන්නෙත් සතුන් කොටසක්ම තමයිනේ. එකම වෙනස හිතන්න පුළුවන්. ඒ නිසාම උගුල් අදින්න, කැපී පෙනෙන්න, ආත්මාර්ථකාමී වෙන්නත් වැඩි ඉඩක් තියෙනවා. එහෙම බව දැනගෙන ඒවා නිසි පරිදි කළමනාකරණය කර ගන්න යාන්ත්‍රනයක් හැදෙනවා නම් ප්‍රශ්න අඩු වෙයි නේද?

      මේ දිනවල මගේ අවධානට නතු වුණු කරුණු ටිකකුත් කියන්න ඉඩ දෙන්න. ඒවාත් මගේ මේ අදහස් තේරුම් ගන්නට උදව් වෙවියි හිතනවා.
      1. මැයි රැලියේ සරත් ෆොන්සේකා මහතා හා හරීන් මහතා අතර දබරය නිසා කියවුණු දේ
      2. ගෝල්ෆේස් විරෝධතාකරුවන්ගෙන් නව අගමැති රනිල්ට යෝජනාවලියක්- වීඩියෝව ටික වෙලාවකට කලින් මම නැරඹුවා. එහිදී තරුණයන්ගේ හැසිරීම-ඔවුන් යොදන උපක්‍රම
      https://www.youtube.com/watch?v=EPxDCWimazs
      3. මොටිවේෂන් අප්පච්චි හා පැතූම් කර්නර් දෙදෙනාට මත වුණු විරෝධතා

      Delete
  5. Thanks. You are doing a great service to Sri Lankans. I would like to know the countries you mentioned here" නැති වුනොත්නම් සමහර විට අවුරුදු පණහකින් සීයකින් අතීතයට යන්න වෙයි. එහෙම වෙච්ච රටවල් ඕනෑ තරම් තියෙනවා."

    ReplyDelete
  6. මැති සබයේ තනි අලියා
    බැඳුම්කරේ හොරගෙඩියා
    සටකපටිය තක්කඩියා
    හෙට අගමැති වෙන සැටියා!

    ReplyDelete
  7. ඉකොනොමැට්ටා,

    ආගමික කටයුතු, නිරාගමික අන්තවාදී අදහස්, ජෙනෝසයීඩ් වලට යුක්තිය වගේ සාපේක්ෂව මේ මොහොතේ කිසිම විදිහකින් වැදගත් කමක් නැති බයිලා වෙනුවට සැබෑ ජන අරගලයේ දිශානතියට හා උත්තේජනයට හොද මාතෘකා ලෙස සිතා යොමුකරමි.

    1)මැති ඇමතිලාට වාහන පර්මිට් දෙන්න එපා කියලා පෝස්ටර් තිබුනද

    2)නිල නිවාස නොමිලෙ වතුර,විදුලිය,දුරකතන බිල් දෙන්න එපා කියලා පෝස්ටර් තිබුනද..

    3) මැති ඇමතිලාට පොලිස් හමුදා ආරක්ෂාව දෙන්න එපා කියලා පෝස්ටර් තිබුනද

    4) මැති ඇමතිලාට අසීමිත කාර්‍යාලය මඩල දෙන්න එපා කියලා පෝස්ටර් තිබුනද..?

    5)රාජ්‍ය ආයතනවලට නිසි ප්‍රමිතියකට සේවකයො ගන්න කියලා පෝස්ටර් තිබුනද

    6) මැති ඇමතිලාට හිතුමතේ රාජ්‍ය සේවට මිනිස්සු දාන්න එපා කියලා පෝස්ටර් තිබුනද..

    7)දුම්රිය,බස් ඇතුලු පොදු ප්‍රවානය කාර්‍යක්ෂම කරලා ඒවාගෙන් ගසාකන උන් එලවන්න කියලා පෝස්ටර් තිබුනද

    8)සංස්ථා සභාපතිලා ඇතුලු ඉහල රාජ්‍ය නිලධාරින් ලබන අධික වැටුප් දීමනා අඩුකරන්න කියලා පෝස්ටර් තිබුනද..?

    9)රාජ්‍ය රෝහල් පද්දතිය දියුනුකරලා මිනිස්සුන්ව මරාගෙන කන පුද්ගලික රෝහල් විගනනය කරලා පුද්ගලික රෝහල් වෙනුවෙන් රජයෙ රෝහල් ඇතුලු යන්ත්‍ර විනාශ කරන දොස්තරලා ඇතුලු සේවකයින්ට දඬුවම් දෙන්න කියලා පෝස්ටර් තිබුනද

    10) මිනිස්සුන්ව සූරා කන කුඩා හා මහාපරිමාන ව්‍යපාරිකයො හොයලා දඬුවම් කරන්න,ඔවුගෙ ව්‍යපාර තහනම් කරන්න කියලා පෝස්ටර් තිබුනද..

    11) ජරාවකන රාජ්‍ය නිලධාරින්ට තදින් නීතිය ක්‍රියාත්ම කරන්න කියලා පෝස්ටර් තිබුනද..

    12)පොලීසිය දේශපාලන අතකොලු කරගන්න එපා කියලා පෝස්ටර් තිබුනද..?

    13)අහිංසක මිනිස්සුන්ව හූරන් කන නීතීඥයන්ගෙන් බදු අයකරන්න කියලා පෝස්ටර් තිබ්බද....?

    මේ ජඩ පාලන තන්ත්‍රය පෙරලිය යුතුය..

    ඒ සමගම මෙ මාතෘකාද ජනගත වූවා නමි අනාගතයේ එන අයටද යමි බලපෑමක් වනු ඇත..

    නැතහොත් හුදු පෙරලීමන් හෝ හිස් මාරැවක් පමනක් වනු ඇත.

    ReplyDelete
  8. ඉකොනොමැට්ටා මංගල සමරවීර හිටපු මුදල් ඇමතිවරයා 2018 දී විතර සහභාගී වූ සම්මුඛ සාකච්ඡාවක පවසන එක්තරා වැදගත් කාරණයක් පිළිබඳව මේ කෙටි වීඩියෝ clip එකේ කියන දේ වල් වල ඇත්තක් තියෙනවා නේද?

    https://fb.watch/cYIqdg55E7/

    වර්තමානයේ ලංකාවේ ඇතිවූ විදුලි බල ශක්ති අර්බුදය පිළිබඳ ඔහු වෙනිසියුලාව උදාහරණයක් විදිහට ගෙන පවසන දේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?

    https://fb.watch/cYIqdg55E7/

    මේ ක්ලිප් එක බලන්න.

    ReplyDelete
  9. ඉකනො .. අපි කතා කරපු ගොඩක් දේවල් මේ වනවිට අවාසනාවකට වගේ ඇත්ත වෙලා . ඩොලරය අද වනවිට රුපියල් 400.00 ආසන්නයේ . අද රු 380.00 - 390.00 අතර . නිදහස් වෙළෙඳපළ ක්‍රමය නිවැරැදිව ක්‍රියාත්මක න්වෙන්න නොදීම මෙම ගැටලු වෙහි ප්‍රධාන කරුණක් . සුබසාධන ප්‍රතිපත්තිය හා අතිශය අසාර්ථක රාජ්‍ය සේවාවක් නඩත්තු කිරීමත් අනෙක් පසින් තියෙනව.

    කොහොම නමුත් මට කියන්න ඕනවුනේ මම මුලින්ම එකතුවුනේ තේ වගාව ගැන කතාකරමින්. එහිදී ඔබ කියපු අනාවැකිය හරියටම හරි. මේ මාසෙ මිල රු 280.00 යි. තව වැඩ්විය යුතු වුනත් න්‍යායාත්මකව ඔබ නිවැරදියි . ඒ වගේම ඔබ කිව්ව සමාජයීය නොනොසන්සුන්තාව හිතුවටත් වඩා බරපතලව සිදුවුණා . ඊලගට බුන්බත්වීමත් එලෙසම සිදුවුණා.IMF යාමත් එලෙසම කරන්න වුණා.
    ඉතින් අපි දැන් ඉන්නෙ අර කිව්ව සර්පිලාකාර ගමන ආරම්භ කරලද? ඒ වගේම ගොඩ ඒමේ කාලය කිව නොහැකි තරම් ගැටලුවකද.
    මොනා වුනත් අපි වගේ වගාකරුවන් දැන් හොද ආදායමක් ලබනව. රසායනික පොහොර නිවැරදි මිලක තිබුන නම් තේ කර්මාන්ත කරුවන් ගොඩ.

    ReplyDelete
  10. අනේ මේ ඉකොනො,

    ඔබ කියන්නේ රනිල් එපා කියලා ද? එහෙනන් ඔබ ලංකාවට ඇවිත් අගමැති කම බාර ගන්න. අපට නම් අපේ පවුලේ කට්ටිය නෑදෑයෝ හැමෝම පරිස්සමින් ජීවත් වෙන්න ඕන, අපේ මවු රට අරාජික වෙන්න දෙන්න පුළුවන් කමක් නැහැ.

    මේ භයානක තත්ත්වය යටතේ නාකි මයිනාව පන්නලා දැම්මාම අගමැති තනතුර සඳහා පත් වීමට ආරාධනා කරාම හැමෝම එක එක හේතු කිය කිය මග ඇරියා. අන්තිමට අකමැත්තෙන් හරි රනිල් මහත්තයා විතරයි බාර ගන්න මනුස්සයෙක්ට හිටියෙ හරිද? ඒක අගය කරන්න. රටේ නීති ගරුක මිනිස්සු හරි අසරණ වෙලා ඉන්නෙ. නීතිය වල් වැදිලා. වෙලාවෙන් ප්‍රයෝජන අරගෙන හැමතැනම මංකොල්ල කාරයෝ උපරිම ප්‍රයෝජන අරගෙන සුද්දේ දෙනවා, ආර්ථිකේ විනාස වෙලා. ළමයින්ගෙ අධයාපනේ අඩපණ වෙලා. තවත් අරාජික කරන්න හදන්න එපා ප්ලීස්. හරි එහෙනම් ඔබේ විසඳුම කියන්න බලන්න. කව්ද ඔබ යෝජනා කරන වගකීමක් සහිතව කටයුතු කරන්න පුළුවන් කැපෑසිටි එකක් තියෙන නායකයා?

    මොන මගුලක් කරල හරි IMF ගිහින් හරි නැත්නම් වෙනත් ක්‍රමයකින් හරි රටේ ආර්ථිකයේ තියෙන ප්‍රශ්න වලට මුහුණ දීමටත් අර්බුදය පාලනයක් කරගෙන රට තියෙන අමාරු තත්වෙන් ගොඩයන්න රට කරන්න කවුරු හරි ඕනේ.

    එකෙක් වත් ඉදිරපත් වෙන්නේ නැතිනම්, නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයක් සහ තවත් ටිකක් විතර ඉල්ලලා කන් කෙඳිරිල්ලක් කරනවා නම්, ඒ වගේ ගෝත කරුම වෙනුවට බය නැතුව වගකීමක් ගන්න ඉදිරිපත් වූ හිටපු අගමැති රනිල් වඩාත් සුදුසුයි.

    මේ තත්වේට මුහුණ දෙන්න ඉකොනොමැට්ටා වක්‍රව යෝජනා කරන බව පේන අය වන අනුර කුමාරත්, සජිතුත් බයයි. නැතිනම් උන් මෙලහකටත් ඇවිත් රජයක් හදල. දවස් දෙකක් ඇට කහ කහ ඉඳල දැන් නටල වැඩක් නැහැ.

    ReplyDelete
  11. ගෝට ගෝ ගම කියන්නේ
    ගාලු මුවදොර අටවපු
    ටෙන්ට් එකක් විතරද රනිල්

    ReplyDelete
  12. ලන්කාවෙ සන්චාරක කර්මාන්තය ඩොලර් බිලියන 5-6 විතර ඇනුවල් ටර්න් ඕවර් එකක් තියෙන එකක්නෙ. එහෙම ගත්තම සන්චාරක ව්යාපාරය මාසයක් ෆන්ක්ශන් නොවීම නිසා රටට අහිමි වෙච්ච ඩොලර් ප්‍රමාණය අඩු ගානේ මිලියන 300-400ට කිට්ටු ඇති. ඊලගට සමාජ අස්ථාවර්තවය ප්‍රොඩක්ටිවිටි අඩු වීම නිසාත් තව මිලියන 700-600 අඩු වෙන්න ඇති. එහෙම බැලුවම අරගලේ විසින් දැනටම ඩොලර් බිලියනයක්වත් අපේ ආර්ථිකයට නැති කරලා. මම හිතන්නෙ මේ අගය රාජපක්ෂලා 'ඇත්තටම' හොරා කාලා තියෙන ප්‍රමාණයටත් වඩා වැඩි අගයක්. ෆල්යිට් එකෙ උගන්ඩාවට ඩොලර් අරන් ගියා කියන, රාජපක්ෂලා වෙනුවෙන් මරාගෙන මැරෙන්න ජවිපෙ පාක්ෂික කෝටිපති ව්යාපාරිකය්න් ඉදිරිපත් වෙනවා කියල හිතන සෝ කෝල්ඩ් ව්‍රෝන්ග් ජෙනරේශන් එකත් එක්ක මේවා කත කරන එකේ තේරුමක් නෑ ඉතින්...

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: