වෙබ් ලිපිනය:

Tuesday, May 24, 2022

මහ බැංකුව කඩා කරන්සි බෝඩ් එකක් හැදීම


කරන්සි බෝඩ් එකක් කියන්නේ මොකක්ද කියලා ගොඩක් අය අහලා තිබුණා. මේ ගැන ගොඩක් අයට කුතුහලයක් ඇති වුනේ ඇමරිකාවේ ජෝන් හොප්කින්ස් සරසවියේ මහාචාර්ය ස්ටීව් හැන්කි විසින් ශ්‍රී ලංකා මහ බැංකුව විසුරුවා හැරලා කරන්සි බෝඩ් එකක් හැදිය යුතු බව ට්විටර් හරහා ප්‍රචාරය කළාට පස්සේ.

ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටෙවුවේ 1950දී. ඊට කලින් ලංකාවේ තිබුණේ කරන්සි බෝඩ් එකක්. මහ බැංකුවක් හා කරන්සි බෝඩ් එකක් අතර වෙනස කුමක්ද?

කරන්සි බෝඩ් එකකින් කරන්නෙත් මහ බැංකුවකින් වගේම රටට අවශ්‍ය මුදල් ප්‍රමාණය නිකුත් කරන එක. හැබැයි කරන්සි බෝඩ් එකකට හිතේ හැටියට සල්ලි අච්චු ගහන්න බැහැ. පැහැදිලි කිරීමේ පහසුවට මම සරල කරන්සි බෝඩ් ආකෘතියක් ගැන කතා කරන්නම්. වඩා සංකීර්ණ ආකෘති තිබෙනවා. හැන්කි කතා කරන්නෙත් සරල ආකෘතියක් ගැන.

මහ බැංකුවක් වුනත්, කරන්සි බෝඩ් එකක් වුනත්, සල්ලි අච්චු ගහලා මිනිස්සුන්ට නිකම් බෙදාගෙන යන්නේ නැහැ. සල්ලි ආර්ථිකයට මුදා හරින ක්‍රමවේදයක් තියෙනවා. හැන්කි යෝජනා කරන ආකෘතිය ඇතුළේ ලංකාවේ කරන්සි බෝඩ් එකක් හැදුවොත් මේ විදිහට රුපියල් නිකුත් කරන්නේ ඩොලර් එක්ක හුවමාරුවට. ඒ වැඩේ කරන්න මුලින්ම විණිමය අනුපාතයක් නියම කරන්න වෙනවා. ඊට පස්සේ ඒ විණිමය අනුපාතය වෙනස් කරන්නේ නැහැ.

අපි හිතමු ඩොලර් එකක් රුපියල් 400යි කියලා නියම කළා කියලා. දැන් ඕනෑම කෙනෙකුට මහ බැංකුවට ඩොලර් එකක් දීලා රුපියල් 400ක් ලබා ගන්න පුළුවන්. මහ බැංකුවට දීලා කිවුවත් බැංකුවක් හරහා වක්‍ර ලෙස ඔය වැඩේ වෙන්න පුළුවන්. ඒ වගේම රුපියල් 400 දීලා ඩොලර් එකක් ආපහු ගන්නත් පුළුවන්. 

දැන් මේ ක්‍රමයට හැම වෙලාවේම මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන රුපියල් ප්‍රමාණයට අනුරූප ඩොලර් ප්‍රමාණයක් සංචිත විදිහට තිබෙනවා. මහ බැංකුවේ ඩොලර් සංචිත අඩු වුනොත් රටේ සංසරණය වන රුපියල් ප්‍රමාණයත් අඩු වෙනවා. වැඩි වුනොත් වැඩි වෙනවා.

මේ ක්‍රමය යටතේ රටේ බඩු මිල ඉහළ යන්නේ ජාත්‍යන්තර ලෙස බඩු මිල ඉහළ යන විදිහටයි. වඩා නිවැරදිව කිවුවොත් ඇමරිකාවේ බඩු මිල ඉහළ යන විදිහටයි. ඇමරිකාවේ තෙල් මිල ඉහළ යද්දී ලංකාවේ තෙල් මිලත් ඒ අනුපාතයෙන්ම ඉහළ යනවා. අඩු වෙද්දී අඩු වෙනවා. ඒ කියන්නේ ලංකාවේ උද්ධමනයත් ඇමරිකාවේ උද්ධමනයට සමානයි (විවිධ හේතු නිසා මේක වෙනස් වෙනවා. දැනට ඒ දේවල් නොසලකා හරිමු).

වෙනත් විදිහකින් කිවුවොත් රුපියල බාල්දු වෙන්නේ ඇමරිකන් ඩොලරය බාල්දු වුනොත් විතරයි. විණිමය අනුපාතය වෙනස් වෙන්නේ නැත්නම් එහෙම වෙන්න ඕනෑනේ. බඩු මිල කීය වුනත් රුපියලට සත සීයයි වගේ ඩොලරයට රුපියල් හාර සීයයි.

මහ බැංකුවක් කරන්සි බෝඩ් එකකින් වෙනස් වෙන්නේ කොහොමද?

ඔය කලින් විස්තර කරපු කරන්සි බෝඩ් එකක් කරන හැම දෙයක්ම මහ බැංකුවත් කරනවා. ඒ කියන්නේ ඩොලර් දුන්නොත් රුපියල් දෙනවා. හැබැයි ඊට අමතරව මහ බැංකුවක් විසින් රජයෙන් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගෙන ඒ වෙනුවෙනුත් රුපියල් දෙනවා. කරන්සි බෝඩ් එකක් ඔය වැඩේ කරන්නේ නැහැ.

කවුරුහරි ඩොලර් දීලා රුපියල් ගන්නම් ඒ ඩොලර් මොන විදිහකින් හෝ උපයන්න වෙනවා. ඒ නිසා, කරන්සි බෝඩ් ක්‍රමයේදී රුපියල් ප්‍රමාණය ඉහළ යන්නේ රටේ විදේශ විණිමය ඉපැයීම් ඉහළ යන්නේනම් පමණයි. නමුත් මහ බැංකු ක්‍රමයේදී එහෙම ප්‍රශ්නයක් නැහැ. රජයට ආදායම ඉක්මවා වියදම් කරලා අඩුව පුරවා ගන්න මහ බැංකුවට භාණ්ඩාගාර බිල්පත් විකුණන්න පුළුවන්. "සල්ලි අච්චු ගැසීම" කියා කියන්නේ ඔය වැඩේට. 

මේ ක්‍රමයේදී රටේ සංසරණය වන රුපියල් ප්‍රමාණය මහ බැංකුවේ තිබෙන විදේශ සංචිත ප්‍රමාණයේ රුපියල් වටිනාකමට වඩා ඉහළ යනවා. ඒ කියන්නේ රටේ හැමෝම තමන් අතේ තිබෙන රුපියල් දීලා මහ බැංකුවෙන් ඩොලර් ඉල්ලුවොත් දෙන්න ඩොලර් මහ බැංකුවේ නැහැ. ඒ නිසා, මහ බැංකුවට ඩොලරයක මිල ඉහළ යන්න දෙන්න වෙනවා. රජය මහ බැංකුවට වැඩි වැඩියෙන් භාණ්ඩාගාර බිල්පත් විකුණද්දී ඩොලරයක මිලත් තව තව ඉහළ යනවා. උද්ධමනයත් වැඩි වෙනවා.

හැන්කි මහ බැංකුව විසුරුවලා කරන්සි බෝඩ් එකක් හදන්න කියන්නේ මේ ප්‍රශ්න විසඳගන්න. ඒ කියන විදිහට කරන්සි බෝඩ් එකක් හැදුවොත් විසඳෙන ප්‍රශ්න මොනවාද?

- ඩොලරයක මිල වෙනස් වෙන්නේ නැහැ. ස්ථිරව තිබෙනවා 

- උද්ධමනය ඇමරිකාවේ උද්ධමනයට වඩා වැඩි වෙන්නේ නැහැ 

- "සල්ලි අච්චු ගැසීමක්" නැති නිසා රජයට ආදායම හා වියදම ගලපා ගන්නම වෙනවා


වැඩේ හොඳයි. හැබැයි ප්‍රශ්නය ඕක කරන්නේ කොහොමද කියන එකයි. මේ වගේ වැඩක් කළ හැකි ක්‍රම දෙයක් තිබෙනවා.

- දැන් තියෙන මහ බැංකුව කරන්සි බෝඩ් එකක් බවට පරිවර්තනය කිරීම 

- අලුතෙන්ම කරන්සි බෝඩ් එකක් හැදීම 


ඔය විකල්ප දෙක ගැන අපි වෙන වෙනම කතා කරමු.

පළමු විකල්පයේදී දැන් සංසරණයේ තිබෙන රුපියල් වල වටිනාකම එලෙසම ඉතිරි වෙනවා. දැනට මහ බැංකුව විසින් ආසන්න වශයෙන් රුපියල් බිලියන 1,500ක් පමණ නිකුත් කර තිබෙනවා. ඒ අනුව, මහ බැංකුව කරන්සි බෝඩ් එකක් කරන්නනම් මේ රුපියල් ප්‍රමාණයට අනුරූප ඩොලර් ප්‍රමාණයක් මහ බැංකුවට සංචිත තියා ගන්න වෙනවා. ඩොලර් ප්‍රමාණය තීරණය වෙන්නේ නියම කරන විණිමය අනුපාතය මත.

මේ විණිමය අනුපාතය රුපියල් 375ක් කියා අපි හිතමු. ඒ කියන්නේ ඩොලර් බිලියන 4ක් තියෙනවානම් වැඩේ කරන්න පුළුවන්. නමුත් ප්‍රශ්නය මේ වන විට මහ බැංකුව සතු සංචිත කිසිවක් නැති වීමයි. මහ බැංකුව තවත් ඩොලර් බිලියන 4ක් ණයයි (දැන් මේ ගණන මීට වඩා වැඩි වෙන්න පුළුවන්). ඒ කියන්නේ, ඩොලරයක මිල රුපියල් 375 මට්ටමේ තියාගෙන ඔය වැඩේ කරන්නනම් මහ බැංකුවට ඩොලර් බිලියන 8ක් හොයා ගන්න වෙනවා. 

අපි හිතමු ඩොලරයක මිල රුපියල් 750 වෙන්න ඇරලා වැඩේ පටන් ගන්නවා කියලා. දැන් සංචිත අවශ්‍ය වෙන්නේ ඩොලර් බිලියන 2ක් පමණයි. හැබැයි ණය ටිකත් එකතු කළාම ඩොලර් බිලියන 6ක් ඕනෑ වෙනවා. ඩොලර් මිලියන 78ක කූපන් පොලී ගෙවාගන්න බැරුව, වරායට ඇවිත් තියෙන නැව් වල තියෙන තෙල් වලට ගෙවන්න ඩොලර් නැතුව ඔය වැඩේ කරන්නේ කොහොමද? මේ වැඩේ කරන්න පුළුවන් ක්‍රමයක් මටනම් තේරෙන්නේ නැහැ.

දෙවෙනි ක්‍රමය අලුතෙන්ම කරන්සි බෝඩ් එකක් හදන එක. කැමති වුනත්, නැති වුනත්, වෙන්න තියෙන නරකම දේ වුනොත් ඊට පස්සේ කොහොමටත් කරන්න වෙන්නේ ඔය වැඩේ තමයි. 

වෙන්න තියෙන නරකම වැඩේ කියලා මම කිවුවේ සිම්බාබ්වේ වල වුනා වගේ රුපියල් වල කිසිම වටිනාකමක් නැති වීම. ඒ කියන්නේ මහ බැංකුව කොහොමත් කඩා වැටිලා. මිනිස්සු රුපියල් වෙනුවට ගනුදෙනු සඳහා වෙන වෙන දේවල් භාවිතා කරනවා. ඔය වගේ තැනකට වැටුනොත් ආපහු මුල ඉඳන් පටන් ගන්න වෙන්නේ කරන්සි බෝඩ් එකකින්. කාට හරි රුපියල් අවශ්‍යනම් මොනවා හෝ අපනයනය කරලා ඩොලර් හොයන්න වෙනවා. 

බය කරන්න හදනවා නෙමෙයි. ළඟ පාතක වෙන්න තියෙන දේකුත් නෙමෙයි. හැබැයි කොහෙත්ම වෙන්න බැරිම දේකුත් නෙමෙයි. අපි හිතමු රුපියල වැඩකටම නැති වුනා කියලා. ලංකාවේ මිනිස්සු ගනුදෙනු සඳහා මොනවා යොදා ගනියිද? 

ඔය වගේ දෙයක් වුනොත් ලංකාවේ රුපියල් වෙනුවට ඇමරිකන් ඩොලර් ආදේශ වෙන්නේ නැහැ. චීන යුවාන් ආදේශ වෙන්නෙත් නැහැ. ඔතැනට අනිවාර්යයෙන්ම ආදේශ වෙන්නේ ඉන්දියානු රුපියල්. රුපියල බිංදුවටම කඩා නොවැටුණත්, තව ටිකක් දුර්වල වුනොත් ලංකාවේ සංසරණයට ඉන්දියානු නෝට්ටු එන්නේ නැද්ද කියලා බලන්න. සමහර විට ඉන්දියාව දැනටමත් ඒ තරමටම දුර බලලා වෙන්න පුළුවන්. යම් විදිහකින් ලංකාවේ කරන්සි බෝඩ් එකක් හැදුනත් ප්‍රායෝගිකව ලංකාවේ රුපියල අමුණන්න වෙන්නේ ඉන්දියාවේ රුපියලට.

9 comments:

  1. දැන් නම් පෙනෙන්නේ ඔක්කොම එකයි වගේ
    තම තම නැණ පමණ වුව මදි වෙයි වාගේ
    දැනටම කනව වාගෙයි කන ඉඳන් අඟේ
    අලුත් ඇමතිවරු දැක මස් නටයි ඇඟේ!

    ReplyDelete
  2. Economatta, මේක ආර්ථික ප්‍රශ්නයක්ම නෙමෙයි, geopolitical ප්‍රශ්නයක්.

    ඔබ හිතන විදිහට, මේ අවස්ථාවේදී චීනය තව ටිකක් ණය දීල, ලංකාවේ තම බලය අල්ලන්න හදන්නැත්තේ ඇයි. ඉන්දියාවනම් හොදටම ගේමට බැහැල ඉන්නේ. චීන ආර්ථිකය තරමක් slow වුනත් බිලියන 2-3 කියන්නේ චීනයට ලොකු දෙයක් නොවෙයි.
    Russia-Ukraine යුද්දය සහ AUKUS එක හරහා චීනය expansion එක ගැන cautious වෙලාද ?

    ReplyDelete
    Replies
    1. //චීනය තව ටිකක් ණය දීල, ලංකාවේ තම බලය අල්ලන්න හදන්නැත්තේ ඇයි.//

      චීනයට ලංකාව ඒ තරම් වටින්නේ නැතුව ඇති!

      Delete
    2. සමහර විට ලංකාව කියන්නේ චීනය ඉන්දියාවට එවපු financial බෝම්බයක් වගේ දෙයක් වෙන්නත් පුළුවන්. ඉන්දියාව වටේටම කඩාවැටුණු ආර්ථිකයන් තියෙන failed states ටිකක් තිබුනහම ඉන්දියාවට ඒවා manage කරන්න කාලයක්, මුදලක් යොදවන්න වෙනවා. ශ්‍රී ලංකාවට අමතරව Pakistan සහ Nepal දෙකම ඉන්නෙත් එකම බෝට්ටුවේ.

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. On your deleted comment, you are correct on both counts. It is a good strategy for an individual but harmful to the country.

      Delete
  4. මේ අවස්ථාවේදී සිංහල බෞද්ධයා ගැන කැක්කුමක් ඇති නායකයෙක් සිටීනම් කල යුත්තේ ලංකාව චීන යටත්විජිතයක් කරගැනීමට චීන රජයට අයාචනය කිරීමයි.

    මිට සමාන දෙයක් දෙවන ලෝක යුද්ධ කාලෙදී ජයවර්ධන ඇතුළු පිරිසක් කලා.

    ReplyDelete
  5. UAE වල ඩොලර් අනුපාතය (3.67) නොවෙනස්ව තියෙන්නෙ එහෙ කරන්සි බෝර්ඩ් එකක්ද තියෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. නැහැ. නමුත් කටයුතු කරන්නේ බොහෝ දුරට කරන්සි බෝඩ් එකක් ලෙසයි .

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: