වෙබ් ලිපිනය:

Saturday, May 14, 2022

සජිත් හමුවේ ඇති අවසන් පරීක්ෂණය


නව අගමැති රනිල් වික්‍රමසිංහ විසින් විපක්ෂ නායක හා සජබ නායක සජිත් ප්‍රේමදාස වෙත ලිපියක් යවමින් සම්ප්‍රදායික පාර්ලිමේන්තු දේශපාලනයෙන් ඔබ්බට ගිය නිර්පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ආරාධනා කර තිබෙනවා. මේ ආරාධනාව හමුවේ සජිත් විසින් මොන විදිහට ප්‍රතිචාර දක්වයිද? සජිත් හමුවේ තිබෙන විකල්ප මොනවාද?

දැනට ආණ්ඩුව කියන්නේ කලින් සිටි ආණ්ඩුව සහ රනිල් වික්‍රමසිංහගේ එකතුවක්. මහජන විරෝධය එල්ල වුනේ සමස්තයක් ලෙස කලින් ආණ්ඩුවට, එහි ප්‍රධාන පුද්ගලයින්ට, එහි මතවාදයට හා ක්‍රියාකාරකම් වලටයි. එයින් ඔබ්බට සමස්ත දේශපාලන ක්‍රමයටද ඊට වඩා තරමක් අඩු විරෝධයක් එල්ල වුනා. සමස්ත ආර්ථික-දේශපාලන ක්‍රමයටද ඊටත් වඩා අඩු, එහෙත් ප්‍රබල විරෝධයක් එල්ල වී තිබෙනවා. 

රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව හා එකතු වීමෙන් සමස්ත ආර්ථික-දේශපාලන ක්‍රමයටම විරෝධය දක්වන්නන් එම විරෝධයෙන් බැහැර වන්නේ නැහැ. සජිත්ගේ තීරණය මත මෙය වෙනස් වන්නේද නැහැ. එහෙත්, සජිත්ගේ තීරණය මත සමස්ත දේශපාලන ක්‍රමයට විරෝධය දක්වන්නන් කෙරෙහි යම් පමණකද, ආණ්ඩුවේ ප්‍රධානීන්ට හා එහි ක්‍රියාකාරකම් වලට එරෙහි අයගේ විරෝධයට යම් පමණකද, බලපෑමක් සිදු වනවා. ආර්ථිකය සම්බන්ධව ආණ්ඩුවේ මතවාදයට පමණක් එරෙහි වූ බොහෝ දෙනෙකුගේ එම විරෝධය යම් පමණකින් හෝ සමනය කරන්නට රනිලාගමනය දැනටමත් සමත්ව තිබෙනවා. 

රනිල් අගමැති ධුරය දරන ආණ්ඩුවකට සම්බන්ධ වීම වඩාත්ම පහසු සජබටයි. පොදුජන පෙරමුණට එය ඊට වඩා අපහසුයි. යම් හෙයකින් සජිත් ඇතුළු සජබ මේ ආරාධනාව ප්‍රතික්ෂේප කළහොත් රනිල් හමුවේ තිබෙන විකල්ප මොනවාද? එක්කෝ කලින් ආණ්ඩුවේ සිටි අය සමඟ ආණ්ඩුවක් පිහිටුවා ගත යුතුයි. එසේ නැත්නම්, යම් නිර්පාක්ෂික පිරිසක් ආණ්ඩුවට සම්බන්ධ කර ගැනීමේ විකල්පයද රනිල් හමුවේ තිබෙනවා. 

මෙයින් දෙවැන්න කළහොත් මහජන විරෝධය මුළුමනින්ම නොවුනත් යම් තරමකින් හෝ බොහෝ දුරට සමනය වෙනවා. එහෙත්, එහිදී ජයගත යුතු බාධක ගණනාවක් තිබෙනවා. පළමුව, මේ වැඩේට ඉඩ සලසා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීන් යම් පිරිසකට ඉල්ලා අස්වීමට සිදු වෙනවා. දෙවනුව, මේ සඳහා සුදුසුකම් ඇති, අභියෝගය භාර ගැනීමට කැමති හා අරගලකරුවන්ගේ සහයෝගය දිනාගත හැකි පුද්ගලයින් හොයා ගන්න වෙනවා. මේ සියල්ල හදිසියේ සිදු වීමට විශාල ඉඩක් නැහැ.  

දෙවැන්න සිදු නොවන්නේනම් ඉතිරි වන්නේ පළමු විකල්පයයි. ඒ තත්ත්වය යටතේ මහජන විරෝධය කෙතරම් දුරකට සමනය වේද යන්න පිළිබඳව අනාවැකි කියන්න අමාරුයි. රනිල්ව පරීක්ෂා කිරීම සඳහා යම් කාලයක් මහජනතාවගෙන් ලැබුණා කියා අපි හිතමු. එම කාලය තුළ අරගලකරුවන් අපේක්ෂා කරන ආකාරයේ "හොර ඇල්ලීමක්" හෝ "හොරුන්ට දඬුවම් දීමක්" සිදු වීමේ ඉඩක් නැහැ. එහෙත්, ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ අනිවාර්යයෙන්ම ඉදිරියට යයි.

මේ තත්ත්වය තුළ සිදු වන්නේ සජබ අවලංගු කාසියක් බවට පත් වීමයි. මොකද ආර්ථිකය හා අදාළව රනිල්ට නැති අමුතු යෝජනාවක්, අදහසක් හෝ වැඩපිලිවෙලක් සජබ සතුව නැහැ. ඒ නිසා, මේ ආණ්ඩුව සමඟ එක්ව රනිල් විසින් ඉදිරිපත් කිරීමට ඉඩ තිබෙන වැඩ පිලිවෙළකට සජබටද සහයෝගය දක්වන්න වෙනවා. විරුද්ධ වෙනවානම් විරුද්ධ වෙන්න පුළුවන් වෙන්නේ බොරු තාක්ෂනික හේතුවක් අල්ලා ගැනීමෙන් පමණයි. එහෙම කළොත් එයත් සජබට නරක විදිහට බලපානවා. 

ජාජබට මෙන්ම ආණ්ඩුව සමඟ සිටි සුළු පක්ෂ වලටද මේ ප්‍රශ්නය මෙලෙසම බලපාන්නේ නැහැ. චම්පිකගේ 43බලකායට පවා එජාපයෙන් හා සජබයෙන් වෙනස් ලෙස පෙනී සිටිය හැකි යම් අනන්‍යතාවයක් තිබෙනවා. එහෙත් සජබය හා එජාපය අතර එවැනි වෙනස්කමක් නැහැ. ඒ නිසා, ආර්ථික නොවන වෙනත් කරුණු ඉදිරිපත් කරමින් සජබ විසින් රනිල්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමේ වාසිය වැඩි වශයෙන් ජාජබ විසින් හා යම් තරමකින් 43 කණ්ඩායම විසින් ලබා ගන්නට ඉඩ තිබෙනවා. 

සජබ මේ ආරාධනාව පිළිගන්නේනම් ඇති වන තත්ත්වය කුමක්ද? 

රනිල් විසින් එකඟ වීමට ඉඩ ඇති ආර්ථික වැඩ පිළිවෙළ සමඟ සජබට කොහොමටත් එකඟ වෙන්න වෙනවා. ආණ්ඩුව ඇතුළේ සිටියත් නැතත් එයට විරුද්ධ වීමට සජබට ඉඩක් ලැබෙන්නේ නැහැ. ඊට අමතරව අරගලකරුවන් විසින් ඉල්ලා සිටින අනෙකුත් ඉල්ලීම් වෙනුවෙන් පෙනී සිටීමේ හෝ නොසිටීමේ තීරණයද සජබ හමුවේ තිබෙනවා. 

ආණ්ඩුවට එකතු වී රනිල් විසින් යෝජනා කරන්නට නියමිත ආර්ථික වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාම පමණක් කළොත්, සජබට ඒත් වෙන්නේ ජවිපෙ උගුලේ හිර වෙන්නයි. එහිදී රන්ජන් රාමනායකගේ ජනප්‍රිය විවේචනය තව දුරටත් තහවුරු වෙනවා. ඒ නිසා, ආණ්ඩුවට මේ ආකාරයෙන් ආර්ථිකය බේරාගැනීම සඳහා පමණක් එකතු වුනත්, එසේ නොකළත්, සජබ එකම උගුලේ අහුවෙලා. 

සජබට තවදුරටත් පවතින්න අවශ්‍යනම් අනිවාර්යයෙන්ම ආර්ථික ස්ථායීකරන වැඩපිළිවෙලකට එකඟ වන අතරම දූෂණ විරෝධී ක්‍රියාමාර්ග සඳහාද සක්‍රිය ලෙස මැදිහත් වීමට සිදු වෙනවා. එය කළ හැකි වන්නේ අවශ්‍ය දේශපාලන බලය ලබා ගත හැකිනම් පමණයි. මෙය අභියෝගාත්මක කාර්යයක් වුවත් සජබ සතුව ඒ සඳහා අවශ්‍ය හෙට්ටු කිරීමේ ශක්තිය තිබෙනවා.

සජබ ආණ්ඩුව සමඟ එකතු වන්නේනම් සහ මැදිහත් වීම් නොකර දූෂණ විරෝධී ක්‍රියාමාර්ග ඉදිරියට ගෙනයාමට ඉඩ දෙන බව විශ්වාසනීය ලෙස තහවුරු කළ හැකිනම් අරගලකරුවන් අතරින් සමස්ත ආර්ථික-දේශපාලන ක්‍රමයේ වෙනසක් සොයන කණ්ඩායම් හැර අනෙකුත් බොහෝ දෙනෙකුගේ අරමුණු ඉටු වෙනවා. ගෝඨාභය රාජපක්ෂ ධුරය අත් නොහැරීම මෙයට බාධාවක් නෙමෙයි. ආණ්ඩුක්‍රම සංශෝධනයකින් ඔහුගේ බලතල සීමා කර, පාර්ලිමේන්තුව හරහා මුදල් වෙන් කිරීම් සීමා කළ විට ඔහුට කළ හැකි ලොකු දෙයක් නැහැ. 

මේ දේවල් කිරීම සඳහා සජබට අවංක උවමනාවක් තිබිය යුතුයි. ඒ වගේම ඒ බව ජනතාවට පෙනෙන්නත් අවශ්‍යයි. සජබ විසින් කළ යුත්තේ මේ සඳහා අවශ්‍ය බලතල ලබා ගැනීමට හෙට්ටු කිරීමයි. පාර්ලිමේන්තුවේ සිටින සජබ සාමාජිකයින්ම වෙනුවට අරගලකරුවන්ට එකඟ විය හැකි ස්වාධීන පුද්ගලයෙකු හෝ දෙදෙනෙකු පිටතින් ගෙන ආ හැකිනම් ඔවුන් අනිවාර්යයෙන්ම තෘප්තිමත් වනු ඇති. 

මේ ආකාරයේ බරපතල හෙට්ටු කිරීමක් කිරීමේ හැකියාවක් ජාජබ සතුව නැහැ. එහෙත් සජබ සතුයි. එවැනි හෙට්ටු කිරීමක් කිරීමෙන් පසුව ප්‍රතිඵලය කුමක් වුවත් එහි වාසිය සජබටයි. එසේ නොකර පන්දුව නිදැල්ලේ යන්න ඇරියොත් හෝ විකට්ටුව වහගෙන ආරක්ෂාකාරී පියවර ගන්න ගියොත් පාඩුවත් සජබටම තමයි. යම් හෙයකින් සාර්ථක හෙට්ටු කිරීමක් කර දූෂණ විරෝධී ක්‍රියාමාර්ග සඳහා අවශ්‍ය බලතලද සමඟ ආණ්ඩුවට එකතු වීමට හැකි වුවහොත් අභියෝගයට මුහුණ දෙන්න වෙන්නේ ජාජබටයි. හෙට්ටු කිරීම අසාර්ථක වුවහොත් පළමුව ආණ්ඩුවට හා රනිල්ටත්, දෙවනුව ජාජබටත් අභියෝගාත්මක තත්ත්වයකට මුහුණ දෙන්න වෙනවා.

#ඉකොනොමැට්ටා 

14 comments:

  1. හ්ම්....නොහිතපු පැත්තක්. පොඩි කුරිරු සතුටක් ආවෙ නැත්තෙමත් නෑ. එකම දුක, තාමත් සහෝදරවරුන්ගේ නොහැකියාව අභියෝගයට ලක්වෙන ක්‍රමයක් ඇතිවෙලා නැති කමයි. ඒත් මට හිතෙන්නෙම සජිත් ලිස්සයි කියලයි.

    ReplyDelete
    Replies
    1. දැන් 225 ගෙදර යවන අරගලය අල වෙලාද? මම මුලිම ලිව්වා 225 ට ගෙදර යන්න කියන්න ගෝල් පිස් ඉන්න උන්ට බෑ කියලා. ප්‍රජාතන්ත්‍ර මගුල කන්න වෙන්නේ මිනිස්සු චන්දෙ දීලා පත් උන හොරු සෙට් එක එක්ක කියල. උගත් බුද්දිමත් උන් එන්නේ නැ කියන එකත් කිව්වා (දැන් ගෙවල් ගිනි තිබ්බම හොරු එන්නෙත් නැ) එහෙම ඒකේ රනිල් ප්‍රේමදාස ඕන එකෙක් හොඳි නේද? කරලා බලමු නේද?

      සමහරු ගෙවල් තමන්ම ගිනිතියා ගත්තා කියල ලියලා තිබුණා. එහෙම නම් අර සමහර රෙපොර්ටර්ලා වගේ පොලුවලින් ගහන්නත් ප්ලෑන් කරන්න පුළුවන්නේ. ඇමරිකාවට විසා දෙනවනම් පොලුපාරක් මොකක්ද නේද?

      මම විජේබාහු

      Delete
    2. @ විජයබාහු,

      ඇත්තටම ලංකාවේ ඔය කියන අරගලය සමස්ත සමාජය තුළ පුරවැසියන් ගත්තාම ඔතැන ඔය කියන පුරවැසි නියෝජනයක් තියෙනවාද? ජවිපෙ හා පෙරටුගාමී හා රාජ්‍ය නොවන විදේශ අරමුදල් මත යැපෙන අය හා එවකට පැවති රජයට විරැද්ධ කන්ඩායම්නේ හිටියේ. ඉදිරියේදී හකීම් බදියුද්දින් ඇතුළු මුස්ලිමි කීහිපදෙනෙක් ඇමතිවරැ වු පසු අරගලයේ ප්‍රධානතම ගාමක බලවේගයක් වන මුස්ලිම් නියෝජනයත් සෑහෙන දුරට අඩුවෙයි. එවිට ඉදිරියේදී කෑම බීම අරගල බිමට හිග වුවහොත් ජනතා සහභාගීත්වයද අඩුවෙනු ඇත. රනිල් කියන්නේ රාජපක්ෂ කල්ලිය වගේ ඇඟේ හයිය සහ හැඟීම් වලට වහල් වෙලා වැඩ කරන කෙනෙක් නෙවෙයි, ඔහු සෑහෙන දුරට හොඳින් සැලසුම් සහගතව ඔලුවෙන් වැඩ කරන කෙනෙක්.

      අනික් පැත්තෙන් ජාත්‍යන්තර සබඳතා දැඩි ලෙස ඇති රනිල් කොහොමත් සාකච්චාවට සංවාදයට කැමති කෙනෙක්. ඔහු සුක්ෂම නිසා ඔහු හා වාද කිරීම ඔය අරගලය සම්බන්ධ ගැලරි ටෝක්ස් දෙන උක්කුන් බබාලට සෑහෙන අපහසුයි.

      තව දෙයක් ලංකාවේ ඔය අරගලය බලපාන්නේ සෘජුවම ජනාධිපතිට. අරගලය සාර්ථක වුනොත් තාවකාලිකව හරි වාසිය ලැබෙන්නේ රනිල්ට.
      අරගලය කිරීමෙන් ලංකාවේ සාමාන්‍ය බහුතරය ඉක්මනින් බලාපොරොත්තු වෙන්නේ මොනවද? ආර්ථිකය හැකි ඉක්මනින් පණ ගැන්වීම. දීර්ඝ කාලීන වෙනස්වීම, ප්‍රතිසංස්කරණ .... සියල්ලම හොඳයි. නමුත් වහාම ආර්ථිකය පණ ගැන්වුයේ නැත්නම් අපි හැමෝම අමාරුවේ වැටෙනවා. දැනටමත් රැකියා නැතිවුණු විශාල පිරිසක් ඉන්නවා. රනිල් වික්‍රමසිංහ අමාරුම අවස්ථාවේ විපක්ෂයේ කිසිම සහයක් නැතුව මේ අභියෝගයට මුහුණ දෙනවා. ඔය ඉකොනො මෙතන කතා කරන විපක්ෂයේ සජිත් ප්‍රේමදාස (සහ ඔහුගේ කවටයන් රංචුවම) කිසිම දෙයක් තේරුම් ගැනීමට නොහැකි වූ පිස්සෙක් ඔහු ගැන කතා කරලත් වැඩක් නැහැ කාලය නාස්ති වීමක්. තව අනෙක් ප්‍රධාන සාධකය වන ජවිපෙ ජාතික ජන බලවේගය කිසිම වගකීමක් ගන්නේ නෑ පැත්තක ඉඳන් බැන බැන ඉන්නවා අරූ අච්චර හොරකම් කළා මූ මෙච්චර හොරකම් කරලා කියලා කියවමින් පයිල් වගයක් තියෙනවා කියලා සර්කස් පෙන්න පෙන්න කාලය කන කට්ටියක්. ඔවුන් විපක්ෂ භූමිකාවට හොඳයි. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කට්ටියත් උද්ඝෝෂණ ව්‍යාපාර වලට හොද වුණත් වෙන කිසිම දෙයකට වැඩක් නැහැ.

      ඔය විචාර දෙන කවුරුවත් හරියට අභියෝගය බාර ගත්තේ නෑ. එකම ඔප්ෂන් එක විදියට ආවේ රනිල් නම් අපි මේ වෙලාවේ තලියේ කිඹුලන් දකිනවා වෙනුවට ඔහුට සහය වෙන්න ඕන. ආර්ථිකය පණ ගහල ඇවිල්ල හුස්මක් ගන්න පුළුවන් වුනාට පස්සේ අපේ දේශපාලන දර්ශන එක්ක විවාද කරමු.

      ඒ වගේම සමාජ ජාල වල සහ පිටරට ඉන්න උන් බොරු කයිවාරු ගසමින් ආතල් දෙන එක විතරයි. ප්‍රායෝගිකව කිසිම වැඩක් නෑ. අඩුම තරමින් මේ වෙලාවේ එකතු වෙලා ඩොලර් යම් තරමකින් හෝ එවන්න වත් හැකියාව හෝ දැක්මක් නෑ. විශාල ඩොලර් ප්‍රමාණයක් පිටරට බැංකුවකට එකතු කරගෙන ආණ්ඩුව එක්ක සාකච්ඡාවක් පවත්වා බාගේන් කරන්න පුළුවන් පිරිසක් නැහැ.

      ඔය විචාර දෙන කවුරුවත් හරියට අභියෝගය බාර ගත්තේ නෑ. අපි මෙවෙලාවේ තලියේ කිඹුලන් දකිනවා වෙනුවට ඔහුට සහය වෙන්න ඕන. ආර්ථිකය පණ ගහල ඇවිල්ල හුස්මක් ගන්න පුළුවන් වුනාට පස්සේ අපේ දේශපාලන දර්ශන එක්ක විවාද කරමු. රටට ආදායම් ලබන විදිය නැවත යථා තත්වයට පත් කිරීමට ඕනෑ . හිතනවා ඔබට තවම ප්‍රශ්නයක් වෙලා නැතුව ඇති කියල. නමුත් ලංකාවේ ඉන්න මිතුරන් රාශියක් සහ පවුලේ ඥාතීන් වැනි අය සමග කතා කරනවා නම් රට වටේ සිටි ගොඩක් දෙනා මේ වනවිට අසරණ වෙලා කියල මම දන්නවා. එක නිසා පළමුව මේ බරපතළ ආර්ථික ප්‍රශ්නය විසඳන් ඉන්න ඕන. ඒකට සහය දෙන්න ඕන මුලින්ම.

      ඒ වගේම තමයි අනික් අතට රනිල් අද අගමැති වෙලා ඉන්නෙ අරගලය නිසයි, අරගලයේ අරමුණ රනිල්ව අගමැති කිරීම නොවුනා උනත්, හිටපු අගමැතිට යන්න උනේ අරගලය නිසායි, රනිල් එයාට ලැබුණු ඔටුන්න, අරගලය විනාශ කරන්න ඉතාමත් සූක්ෂම ලෙස අරගලය මෙහෙයවන බ්‍රිතාන්‍ය ඇමරිකානු සහ ඉන්දියාවේ මෙහෙයුම් පද්ධතිය සමගින් සම්බන්ධ වී තම වාසියට පාවිච්චි කරයි වෙනම විදිහකට. දැනටමත් අරගලය ඇතුලෙ හිටපු ගොඩක් අය කතා කරන්නෙ ආර්ථිකය ගොඩ දාගන්න හැටි විතරයි, මොනව හරි කරල සල්ලි හොයයි. ඒත් දැනට බලය අතේ තියාගෙන ඉන්න මේ වයසක පරම්පරාව කවදාවත් ලංකාවේ පොදුවේ තරුණයන්ට ඕනෙ විදිහෙ සාධාරණ නීතිගරුක System එකක් නම් හදන්නෙ නෑ. අපට කියන්න තියෙන්නේ Lesser is better than nothing. එච්චරයි.

      Delete
  2. මේ අර්බුදකාරී අවස්ථාවේ චන්දයකට ගියොත් ප්‍රතිපලය විකුර්තියක් වේවි යන මතයේ සමහරු සිටියා. දැන් චන්දයක් නැතුවම විකුර්තියක්!

    ReplyDelete
  3. රනිල් සාර්තක වෙන්න ඉඩ අඩුයිකියල පෙර ලිපියක ලියල තිබ්බ නේද? දැන් මතය වෙනස් උනාද?

    ReplyDelete
    Replies
    1. දැන් ඉකොනෝමැට්ටා වැඩ කරන්නේ එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකයේ.

      ඒ නිසා දැන් රනිල් හොදයි. ඒකනේ මේ තකහනියක් පොස්ට් දාන්නෙත් දිගට හරහට.

      Delete
  4. ගඟක වතුර ගෙනවිත් බඳුනකට පොඩි
    දැම්මත් උතුරලා යනු අත ජලය වැඩි
    පොළොවේ හප්පලා කෑ ගැහුවාට අඩි
    කන් දේවිද සැකය, අය පරපුරේ මැඩි

    ReplyDelete
  5. අපිට කන්ට අදින්ට දෙන්ට මහන්සි වෙන රනිල් අප්පච්චිට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා

    ReplyDelete
  6. ඇමෙරිකාවේ වෙඩි තැබීමක්.

    ඇමෙරිකාවේ, නිව්යෝක් ප්‍රාන්තයේ, බෆලෝ නුවර සුපිරි වෙළෙඳ සංකීර්ණයකට කඩා වැදුණු තරුණයකු කළ වෙඩි තැබීමකින් 10 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, තිදෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බවත් එරට මාධ්‍ය කරයි.

    වෙඩි තැබීම කළේ 18 හැවිරිදි පේටන් ජෙන්ඩ්‍රන් නමැති සුදු ජාතික අන්තවාදී තරුණයෙකි. මොහු නිව්යෝක් නුවර කොන්ක්ලින් හි පපදිංචිකරුවකු බව පොලිසිය කියයි. පේටන් ජෙන්ඩ්‍රන් වෙළෙඳ සංකීර්ණයට කඩා වැදී ඇත්තේ කළු ජාතිකයන් ඝාතනය කිරීමේ අරමුණින්ය. පේටන් ජෙන්ඩ්‍රන්ගේ ප්‍රහාරය 'වෛරී ප්‍රහාරයක්' ලෙස ඇමෙරිකන් ආරක්ෂක අංශ අර්ථ දක්වා තිබේ.

    පේටන්, වෙඩි තැබීමට යොදාගෙන ඇත්තේ අති නවීන මාදිලියේ ස්වයංක්‍රීය ගිනි අවියකි. ඔහු හමුදා ඇඳුම්වලට සමාන ඇඳුම්වලින් සැරැසී සිටියේය. ඊට අමතරව ඔහු හෙල්මට්ටුවක් සහ වෙඩි නොවඳින කබායක් පැලඳ සිටියේය. තරුණයා වෙ‍ෙළඳ සංකීර්ණයට කඩා වැදී වෙඩි තබන්න වූයේ, එම දසුන් සජීවීව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරමිණි.

    එය ඉතා හොඳින් සැලැසුම් කළ අමානුෂික ප්‍රහාරයක් බවත්, තරුණයා සතුව කඳුළු ගෑස්වලින් ආරක්ෂා වන විශේෂ මුහුණු ආවරණයක් (ගෑස් මාස්ක්) ද තිබුණු බවත් පොලිසිය පසුව පැවැසීය.
    ගිනි අවිය අතැතිව, වෙළෙඳ සංකීර්ණයට තරුණයා පැමිණෙද්දී, වෙළෙඳ සංකීර්ණයේ සිටි ඇලන් සැල්ටර් නමැති කළු ජාතික ආරක්ෂක නිලධාරියකු ඔහුට හරස් විය. මෙම ආරක්ෂක නිලධාරියා විශ්‍රාමික පොලිස් නිලධරියෙකි. සැල්ටර්, තරුණයාට වෙඩි තැබූ නමුත් වෙඩි නොවඳින කබාය පැලඳ සිටි බැවින් තරුණයාට එයින් අනතුරක් සිදු නොවිණි. ඉන්පසු තරුණයා පෙරළා සැල්ටර් ට වෙඩි තැබූ අතර, එම වෙඩි ප්‍රහාරයෙන් ඇලන් සැල්ටර් ජීවිතක්ෂයට පත් වූයේය.

    පේටන්, වෙළෙඳ සංකිර්ණයට ඇතුළු වූ එහි සිටි කළු ජාතිකයන්ට වෙඩි තබන්න විය. වෙළෙඳ සංකීර්ණයේ සේවය කළ තිදෙනකු ද වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබු බව පැවැසෙයි. ඒ අනුව, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යෑමට ඉඩ ඇතැයි රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙයි.

    සිද්ධිය සැලවුණු සැණින් පොලිසිය වෙළෙඳ සංකීර්ණය වට කළේය. එෆ්.බී.අයි. පරීක්ෂණවරුන් ද වෙළෙඳ සංකීර්ණයට පැමිණි අතර, ඔවුන්ගේ සහාය ද පොලිසියට ලැබුණි. පැය කීපයක පරිශ්‍රමයකින් පසු පේටන් ජෙන්ඩ්‍රන් ජීවග්‍රහයෙන් අල්ලා ගැනීමට පොලිසියට හැකිවිය.

    අත්අඩංගුවට ගත් පේටන් ජෙන්ඩ්‍රන් අධිකරණයට ඉදිරිපත් කෙරුණි. ඒ පුද්ගල ඝාතන සිදු කළේ යැයි චෝදනා සම්බන්ධයෙනි. එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කිරීමට පේටන් සූදානම් වන බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර තිබේ.

    'සිදුවූයේ වෛරී ඝාතනයක්. මෙවැනි ඝාතනවලට කිසිසේත් ඉඩ දිය යුතු නැහැ. සමාජයේ බෙදීමක් ඇතිවීමට ඉඩ දිය යුතු නැහැ. මෙවැනි ම්ලේච්ඡ ප්‍රහාර අප කිසිසේත් අනුමත කරන්නේ නැහැ. වෙඩි තැබීම කළ තරුණයාට කිසිදු සමාවක් ලැබෙන්නේ නැහැ' යැයි නිව්යෝක් ආණ්ඩුකාර කැතී හෝචුල් මෙන්ම බෆලෝ නුවර පුරපති බ්‍රයන් බ්‍රවුන් ද මාධ්‍ය නිවේදන නිකුත් කර තිබේ.

    වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් මහත් සේ කම්පනයට පත්වුණා යැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබේ. වෙඩි තැබීමෙන් මියගිය සහ තුවාල ලැබූවන් වෙනුවෙන් ජනාධිපති ජෝ බයිඩන් සහ ආර්යාව ජිල් බයිඩන් සොව පළ කර ඇතැයි ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

    ReplyDelete
    Replies
    1. ඉකොනෝමැට්ටා ත් ගූ බයේ ඇති දැන් හැංගිලා වෙඩි කන්ඩ වෙයි කියලා.

      Delete
    2. ආරංචි වුණ විදියට ඉකොනොමැට්ටා මේ දවස්වල පෙයාර් ඇන් ලව්ලි ගානවලු හමේ කලු පාට යවාගන්න, සුදු අන්තවාදී මිනීමරුවන් හොරුන් ගෙන් බේරී සිටීමට ඉකොනොමැට්ටාහට යෝද බල යෝධ ශක්තිය සහ වේගයෙන් දිව ගොස් සැඟවීමට සියලු වෙර වීරිය ලැබේවා කියා මා බුදුරජාණන් වහන්සේට පහන් තබා යාඥා කලා ඉකොනොමැට්ටාට බුදු සමිඳුන් වහන්සේගේ කාරුණික බලය හිමි වේවා, ශුද්ධ වූ යසෝදරා මවුතුමියගේ පිහිට ලැබේවා. අපට බුදු සමිඳාණන් වහන්සේ විශ්වාසවන්ත ය.... බුද්ධ සමිඳුන් වහන්සේ ඔබව රැකගන්නා සේක. සුවිශුද්ධ පියාණෙනි, අප මෙන් ඔවුන් ද, ඒකත්වයක් වන පිණිස, ඔබ මට දුන් ඔබගේ නාමයේ අනුහසින් ඔවුන් ආරක්ෂා කළ මැනව. ( ධර්ම පදය )
      එහෙත් බුදු සමිඳාණන් වහන්සේ විශ්වාසවන්ත ය. උන් වහන්සේ ඔබ ශක්තිමත් කොට නපුරාගෙන් ඔබ ආරක්ෂා කරන සේක. (පිරිත් දේශනා) සාදූ.

      Delete
    3. ඉකොනෝව හොස්පිටල් එකට දාන්න අයියෝ.

      Delete
  7. ඉකොනෝ මහත්තයා අද පුන් පෝය දවසේ සීල ව්‍යාපාරයකට වත් සහභාගී උනාද? හැබැයි ඉකොනෝ මහත්තයාලැයි ලොක්කා රනිල් හාමු නං කීවේ වෙසක් දවසෙත් වැඩ කරනවා කියලා. කෝ අද පොස්ට් එකක් නැද්ද බ්ලොක් එකේ?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: