වෙබ් ලිපිනය:

Friday, July 29, 2022

උද්ධමනය 60% පන්නයි!


ගෙවුණු ජූලි මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වන උද්ධමනය 60.8% දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආහාර උද්ධමනය 90.9%ක්. කෙසේ වුවත්, මාසය තුළ දර්ශක අගය ඉහළ යාම මන්දගාමී වී තිබෙනවා. ජූනි මාසය තුළ දර්ශක අගය ඉහළ යාම 12.8%ක් වූ අතර ජූලි මාසය තුළ එම වැඩිවීම 4.5%ක් පමණයි. මෙයින් උද්ධමන පීඩනයේ යම් අඩු වීමක් පිළිබිඹු කරනවා. අධි-උද්ධමන තත්ත්වයක් සේ සැලකෙන්නේ මෙම අගය 50% ඉක්මවූ විටයි.

දැනට දැකිය හැකි ප්‍රවණතා අනුව, මගේ ඇස්තමේන්තුව වන්නේ ඔක්තෝබර් මාසය වන විට උද්ධමනය 80% පමණ දක්වා ඉහළ ගොස් එයින් පසුව ක්‍රමයෙන් අඩු වනු ඇති බවයි. එහෙත්, එය තීරණය වනු ඇත්තේ දැනට යෝජනා වී ඇති ස්ථායීකරණ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක වන ආකාරය අනුවයි. එම වැඩ පිළිවෙළ අඩාල වුවහොත්, ප්‍රතිඵලය අධි-උද්ධමන තත්ත්වයක් සමඟ එන ආර්ථිකයේ අති දැවැන්ත කඩා වැටීමක් විය හැකියි.

දැනට අර්බුදය විසඳීම සඳහා යෝජනා වී තිබෙන මාර්ග සිතියම කුමක්ද?

සංක්ෂිප්ත ලෙස කිවුවොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමකට එළැඹ අදාළ ණය මුදල ලබා ගැනීමයි. එසේ කිරීමෙන්, ප්‍රශ්නය කොයි තරම් දුරකට විසඳා ගත හැකිද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දීමට නියමිතව ඇත්තේ ඩොලර් බිලියන 3ක පමණ මුදලක්. එම මුදල ලබා දෙන්නේ මහ බැංකුවටයි. එය රජයට ලබා දෙන ණයක් නෙමෙයි. එසේ වුවත්, මෙම ණය ලැබීමත් සමඟ වෙනත් ජාත්‍යන්තර ආයතන හා රටවල් විසින් රජයටද යම් ණය මුදලක් ලබා දීමට ඉඩ තිබෙනවා. මේ සියල්ලේ එකතුව ලෙස ඩොලර් බිලියන 5-6ක් පමණ එකතු කර ගැනීම අපේක්ෂිත ඉලක්කයයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ණය ලබා දීමෙන් අනතුරුව මහ බැංකුවට කරන්නට සිදුවන පළමු දෙය විණිමය අනුපාතය ස්ථාවර කර ගැනීමයි. මේ වන විට විණිමය අනුපාතය ස්ථාවර කර තිබෙන්නේ කෘතීම ලෙසයි. මෙහිදී ස්ථාවර කර ගැනීම යන්නෙන් අදහස් කළේ නියම පිළිවෙලට විණිමය අනුපාතය ස්ථාවර කර ගැනීමයි.

මේ වන විට මහ බැංකුව විසින් "මහ බැංකුවේ ණය" තව දුරටත් වැඩි කර නොගැනීමේ උත්සාහයක නිරතව සිටිනවා. 2022 මාර්තු අවසානයේදී මහ බැංකුවේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 5.9ක්. එහෙත්, සංචිත තිබුනේ ඩොලර් බිලියන 1.9ක් පමණයි. ඒ කියන්නේ, ඩොලර් බිලියන 4.0ක ශුද්ධ විදේශ විණිමය හිඟයක්. ජූනි අවසානය වෙද්දී මෙම ශුද්ධ විදේශ විණිමය හිඟය ඩොලර් බිලියන 4.5ක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ලැබෙන දවස වන විට මෙම හිඟය කොපමණ වී තිබේදැයි මා දන්නේ නැහැ. මොන විදිහකින් හෝ ඩොලර් බිලියන 5 සීමාවේ තියා ගනු ඇතැයි කියා අපි දැනට හිතමු.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මහ බැංකුව වෙත ඩොලර් බිලියන 3ක් ලැබුනොත් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 5 පමණ දක්වා වැඩි අකර ගන්න පුළුවන්. ඩොලර් බිලියන 6ක පමණ ණය තිබුණත්, එයින් ඩොලර් බිලියන 2.5ක් පමණම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගෙවිය යුතු ණය. එම ණය ඉතා ඉක්මණින් ගෙවිය යුතු නැහැ. ඉතා ඉක්මණින් පියවිය යුතු මහ බැංකුවේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන දෙකක් හෝ තුනක් පමණ විය හැකියි. ඒ කියන්නේ, එම ණය පියෙවුවාට පසුව නැවතත් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන දෙකකට හෝ තුනකට බහිනවා කියන එකයි. හැබැයි සංචිත සමාන වුවත්, මහ බැංකුව දැන් මුහුණ දෙන, "රෝල ගහන්න බැරි වීමේ" ප්‍රශ්නය එවිට අවසන් වෙනවා. 

මේ තත්ත්වය තුළ මහ බැංකුවට ඩොලරයක මිල නිදහසේ තීරණය වීමට ඉඩ දෙන්න පුළුවන් වෙනවා. එසේ කිරීමෙන් පසුව ඩොලරයක සැබෑ මිල කීයක් වෙයිද කියන එක හරියටම කාටවත් කියන්න පුළුවන් දෙයක් නෙමෙයි. එසේ වුවත්, එම මිල රුපියල් දහදාහක් හෝ ලක්ෂයක් නොවන බවනම් කියන්න පුළුවන්. දැන් මේ වෙලාවේ ඩොලරයක මිල නිදහසේ තීරණය වීමට ඉඩ දෙන්න ඇරියොත්නම් මිල එවැනි මට්ටමක් දක්වා වුවත් යන්න පුළුවන්.

මගේ පෞද්ගලික ඇස්තමේන්තුව වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුදල් ලැබුණු පසුවද ඩොලරයක මිල නවතිනු ඇත්තේ දැන් පවතින මිලට වඩා සැලකිය යුතු තරම් ඉහළ තැනක බවයි. මේ මිල පහසුවෙන්ම රුපියල් 500ක් පමණ විය හැකියි. එහෙත්, දැනටමත් සාදා අවසන්ව ඇතැයි සිතන සාර්ව ආර්ථික වැඩ පිළිවෙළ තුළ එය එසේ නොවන්නට පුළුවන්. අසීරු ඉලක්කයක් වුවත්, ඩොලරයක මිල දැන් පවතින මට්ටම ආසන්නයේ තබා ගැනීම මහ බැංකුවේ අපේක්ෂාව බව පෙනෙන්න තිබෙනවා. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුදල් ලැබුණු වහාම ශ්‍රී ලාංකිකයින්ට විධිමත් ලෙස ඩොලර් මිල දී ගැනීමට තිබෙන බාධාවන් ඉවත් වී, අවිධිමත් වෙළඳපොළ බිඳ වැටෙනවා. ඊට අමතරව, විදේශිකයින් විසින් රජයේ භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීමද නැවත ආරම්භ වෙනවා. ඒ නිසා, දිගුකාලීන ප්‍රශ්න එසේම තිබුණත්, රටේ ආර්ථිකය 2019ට පෙර වූ ආකාරයෙන් ගෙන යා හැකි තත්ත්වයක් ඇති වෙනවා.

හැබැයි මේ සියල්ල වෙන්නේ කෙටි කාලයක් තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුදල් ලැබුණොත් පමණයි. ඒ සඳහා පූර්ව කොන්දේසියක් ලෙස ණය ප්‍රතිව්‍යුහගත කරන්න වෙනවා. එය අභියෝගාත්මක කටයුත්තක්. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ආරම්භ කිරීමට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නිලධාරී මට්ටමේ සම්මුතියකට එළැඹී අදාළ ස්ථායීකරණ වැඩපිළිවෙළ ණය ලබා දුන් අයට ඉදිරිපත් කිරීමට සිදු වෙනවා. ඒ නිසා, දැන් තිබෙන ප්‍රමුඛ කාර්යය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නිලධාරී මට්ටමේ සම්මුතියකට එළැඹීමයි.

මේ කාරණය සිදුවීමටනම් අදාළ වැඩ සටහන ක්‍රියාත්මක කළ හැකි දේශපාලන සහයෝගයක් අවශ්‍ය වෙනවා. එයින් අදහස් වන්නේ කුමක්ද?

එක්කෝ මෙම වැඩපිළිවෙළ හා එකඟ වන ආණ්ඩුවකට ඉදිරි වසර තුනක පමණ කාලය තුළ අභියෝගයක් නොමැතිව ආණ්ඩු බලය පවත්වා ගත හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට හා ණය ලබා දුන් අයට පෙනෙන්නට තිබිය යුතුයි. එසේ නැත්නම්, එම කාලය තුළ බලයට පත් වීමට ඉඩ තිබෙන ආණ්ඩුව හෝ ආණ්ඩු විසින්ද අදාළ වැඩපිළිවෙළ එලෙසම ක්‍රියාත්මක කරනු ඇති බව පැහැදිලිව පෙනෙන්නට තිබිය යුතුයි. 

මෙය සිදු වුනා කියා අනෙක් හැම දෙයක්ම හොඳින් සිදු වන බවට සහතිකයක් නැතත් මේ ටික සිදු නොවන තුරු වෙනත් කිසිවක් සිදු වන්නේ නැහැ. දැනට පෙනෙන පරිදි රනිල් වික්‍රමසිංහට සම්මුතියෙන් අනෙකුත් සියළු පාර්ශ්ව වල සහයෝගය ලබා ගත හැකි බවක් පෙනෙන්නට නැහැ. ඒ තත්ත්වය තුළ වෙනත් ආකාරයකින් දේශපාලන ස්ථාවරත්වය ඇති කිරීම සඳහා ඔහු උත්සාහ ගනිමින් සිටින බව පේනවා. මේ වැඩේ සාර්ථක වෙයිද නැද්ද කියන එක දේශපාලනික කරුණක්. දේශපාලනික කරුණු මේ ලිපියේ කතා නොකර සිටිමු. මට දැනට කියන්න පුළුවන්කම තියෙන්නේ කවර ආකාරයකින් හෝ දේශපාලන ස්ථාවරත්වය ඇති වන තුරු මේ මාර්ග සිතියම ඔස්සේ ගමනක් නැති බවයි.

එසේනම්, මේ මග හැර වෙනත් මගක් තිබේද? දැනට ප්‍රධාන ධාරාවේ ආර්ථික විද්‍යාඥයින් සියලු දෙනාම මෙන්ම මහ බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින්ද අනෙකුත් බාහිර පාර්ශ්වයන් බොහොමයක් විසින්ද විශ්වාසය තබන හා දැනට යෝජනා වී තිබෙන, වඩාත්ම ප්‍රායෝගික වැඩ පිළිවෙළ මෙයයි. මේ වැඩපිළිවෙල හා ගැලපිය හැකි වෙනත් කිසිදු විකල්ප වැඩ පිළිවෙළක් යෝජනා වී නැහැ. සමස්තයක් ලෙස ගත්තොත්, ප්‍රධාන දේශපාලන ධාරා දෙකම මේ වන විට පෙනී සිටින්නේ මේ වැඩපිළිවෙළ වෙනුවෙනුයි. ඔවුන් බෙදී සිටින්නේ වෙනත් දේශපාලනික කරුණු හා අදාළවයි.

කෙසේ වුවත්, මේ වැඩ පිළිවෙළ වුවත් සාර්ථක වන බවට අනිවාර්ය සහතිකයක් තිබෙන වැඩපිළිවෙලක් නෙමෙයි. ඒ වගේම, එහි අතුරු ප්‍රශ්නද තිබෙනවා. 

පළමු ප්‍රශ්නය මේ මාර්ග සිතියම ඔස්සේ ගොස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සල්ලි ලබා ගන්න යම් කාලයක් ගත වීමයි. මෙම කාලය අඩු වශයෙන් මාස හයක් පමණවත් විය හැකියි. ඊට වඩා බොහෝ කල් යන්නත් පුළුවන්. විශේෂයෙන්ම ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධ අභියෝග රැසක් තිබෙනවා. ඒ නිසා, එතෙක් කල් "ජීවත් වීම" ඉතිරි වන ප්‍රශ්නයක්. මේ සඳහා විසඳුමක් සේ යෝජනා වී තිබෙන්නේ අසල්වැසි රටකින් කෙටිකාලීන ණය ලබා ගැනීමයි. එසේ කෙටිකාලීන ණය ලබා ගත හැකිද යන්න තීරණය වන්නේ අදාළ රටවල විදේශ ප්‍රතිපත්තිය මතයි. 

මාර්ග සිතියම ක්‍රියාත්මක කිරීමේදී තිබෙන ප්‍රධානම අභියෝගය රජයේ අයවැය සමතුලනය කර ගැනීම හා ඒ සඳහා අවශ්‍ය දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා මහජන සහයෝගය ලබා ගැනීමයි. මේ ගැනත් අපි පසුව වෙනම කතා කරමු. මේ ප්‍රතිසංස්කරණ යෝජනා ක්‍රියාත්මක කිරීමේදී රටේ ආර්ථිකය අඩු වශයෙන් 10%කින් වත් සංකෝචනය වීම නොවැලැක්විය හැකියි. හැම දෙයක්ම හොඳම විදිහට සිදු වුනත්, රටේ ජාතික ආදායම නැවත 2019දී තිබුණු තැනට එනු ඇත්තේ 2025 පමණ වන විටයි.

එතකොට ඩොලරයක මිලට හා උද්ධමනයට කුමක් වෙයිද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගත්තත් ඉදිරි වසර කිහිපය තුළ මහ බැංකුවට එම ණය ආපසු ගෙවන්න වෙනවා. එසේ ගෙවීම සඳහා වෙළඳපොළෙන් රුපියල් මිල දී ගන්න වෙනවා. මිල දී ගන්න වෙන්නේ කවර ආකාරයකින් හෝ රටට එන ඩොලර්. ඒ තත්ත්වය තුළ ඩොලරයක මිල එකවර සැලකිය යුතු ලෙස ඉහළ යාමෙන් පසුවද දිගින් දිගටම යම් පමණකින් ඉහළ යාම නොවැලැක්විය හැකි දෙයක්. කිසියම් මට්ටමක ඩොලරයක මිල රඳවා ගැනීම වැනි දෙයක් කිරීමේ හැකියාවක් නැහැ.

මේ විදිහට මහ බැංකුව විසින් ඩොලර් මිල දී ගනිද්දී රුපියල් සැපයුම ඉහළ යනවා. එයට සමානුපාතිකව මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය අඩු නොකළහොත් මුදල් සැපයුම ඉහළ යනවා. ඒ කියන්නේ සල්ලි අච්චු ගැසීමක් කරන්න වෙනවා. රාජ්‍ය අයවැය සමතුලනය කිරීම ඉතා අසීරු නිසා කෙටිකාලයක් තුළ සල්ලි අච්චු ගැසීම මුළුමනින්ම නැවැත්වීමේ හැකියාවක් නැහැ. මේ අනුව බැලූ විට උද්ධමනය පහළ යනු ඇතත්, අර්බුදයට පෙර පැවති තනි ඉලක්කමක මට්ටමකටනම් දැන්ම එන එකක් නැහැ. මගේ අදහස තවත් දෙවසරක් පමණ උද්ධමනය 20% හෝ වැඩි මට්ටමක පවතිනු ඇති බවයි. ඒ කියන්නේ පොලී අනුපාතිකද වසර දෙක තුනක් යන තුරු විශාල ලෙස අඩු නොවනු ඇති බවයි.

හැම දෙයක්ම හොඳම විදිහට සිදු නොවුනොත්? ගොඩක් වෙලාවට හැම දෙයක්ම හොඳම විදිහට සිදු නොවෙන්න පුළුවන්. කලින් විස්තර කළේ පැවතිය හැකි හොඳම තත්ත්වය  (best case scenario). අනෙක් පැත්ත (worst case scenario) බැලුවොත් තියෙන්නේ පතුලක් නොපෙනෙන අගාධයක්! 

#ඉකොනොමැට්ටා

12 comments:

  1. පතුල නොපෙනෙන අගාධෙට රට වැටෙනවා නං වැටිච්චාවේ
    වට්ටවන්නට වග කියන්නෝ කොහෙද උන් දැන් ඇත ගුහාවේ
    ආයෙමත් එනවාලු කලකින්, එවිට අපගේ මතකෙ හිස්වේ
    අපේ මරි-මෝඩකම් දැක්කම බූරුවොත් පස්සෙන් හිනාවේ!

    ReplyDelete
    Replies
    1. උඹලා වගේ අය නිසා තමයි ආර්ථිකේ වැටුනේ.

      Delete
  2. චන්දයක් තියන එක නෙමෙයිද විසඳුම?

    ReplyDelete
  3. හරිම කණගාටුයි ඉකොනොමැට්ටා ඔබත් අවුරුදු ගණනාවක් මහන්සි වෙලා පෝස්ට් බර ගානක් දාල ලංකාවේ පාඨකයන් ආර්ථික හා මූල්‍ය ක්ෂේත්‍ර වල මූලික දැනුමක් වත් ලබා දෙන්න සෑහෙන දුරට උත්සාහ කරනවා ඒත් ලංකාවේ සමස්ත පොදු සමාජය, ලංකාවේ සමාජ ජාල ෆේස්බුක් කියන වර්චුවල් ළිඳ ළඟ සංගමය වගේම ඔක්කොමලා මේ බ්ලොග් එකේ පවා කමෙන්ට් දාන්නෙ මේ ආණ්ඩුව නිසා ලංකාවේ ආර්ථික අර්බුදය විසඳන්න බැරි බවත් ඔළුගෙඩි මාරු කරපු ගමන් සුරුස් ගාල සේරම හරි ගිහින් ප්‍රශ්න සේරම විසඳිලා රටම සුඛිත මුදිත වෙනවා හිතලා.

    මම හිතන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් මෙන්ම ලෝක IBRD බැංකුවේ සහ වෙනත් මූල්‍ය ආයතන වල ණය ආධාර ලබා ගැනීමට අමාරු වෙයි කියලා ලංකාවේ ව්‍යුහාත්මක වෙනස්කම් දැඩිව ක්‍රියාත්මක කරන්න බැරි වුණොත් නම්, මැතිවරණ තියලා
    මෙම ආණ්ඩුව නොවෙයි මොන ආණ්ඩුව ආවත් ඔවුන් දෙන්නෙ නැහැ. දැනට නිකුත් කර ඇති නිවේදනය බැලුවාම පේන්නේ ලෝක බැංකුව ඉතා පැහැදිලිව කියා තියන්නේ "ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට මුල් වූ ව්‍යූහාත්මක හේතූන් ආමන්ත්‍රණය කිරීම සිදුවිය යුතු බව". නමුත් ලංකාවේ බහුතරයක් මූල්‍ය ආර්ථික සාක්ෂරතාව නැති සාමාන්‍ය ජනතාව තේරුම් ගෙන තියෙන්නේ ඒ කියන්නේ හොරකම් කළ ඩොලර් සහ මුදල් නැවත අයකළ යුතුයි සහ එම හොරුන්ට දඬුවමුත් දියයුතුයි එවිට ලංකාවට ජාත්‍යන්තර සහය ලැබෙන බව සහ සියලු රෝග නිවාරණය වන බවයි.

    දේශපාලන කණ්ඩායම් දිහා බැලුවාමත් මට නම් කිසිම විස්වාසයක් නෑ මොකද ලංකාවේ ඉන්නේ රටට වඩා පක්ෂය ගැන බලාගෙන ඉන්න අය නිසා. රටේ ජනතාව හිතාගෙන ඉන්නේ වෙන ආණ්ඩුවක් ආවොත් ඔක්කොම හරි කියලා .කවදාවත්ම එහෙම වෙන්නෙ නැහැ .මේ අතර ලෝක බැංකුව කියනවා දුප්පත් හා අවදානම් පවුල් කියලා එහෙම පිරිසක් ඉන්නවා කියලා සිරස වගේ නාලිකාවල පෙන්වනවා නමුත් ඉන්ධන පෝලිම්වල සිටිමින් දිනපතා රුපියල් දසදහස් ගණනින් යතුරු පැදි හා ත්‍රීවීලර් හිමිකරුවන් ඉන්ධන ගන්නා ආකාරය අනුව කිසිවෙකුට ලංකාවේ එතරම්ම අවදානම් ජනතාව සෑහෙන පිරිසක් ඇති බවක් ඇතැයි කියන්න බැහැ.. ඒ නිසා කිසිම ආධාරයක් නොදිය යුතුයි කියන විදේශ නිරීක්ෂකයින් පිරිස්ද ලංකාවේ සිටින බවද කිවයුතුයි. ආණ්ඩුව නිවැරැදි වීමට ස්වාධීන කොමිෂන් සභාවක් හෝ කමිටුවක් පත් කර ලංකාවේ පහුගිය වසර විස්සකට පමණ ඉහත කාලයේ සිට මේ දක්වාම හිටපු නායකයින් ගත්තු ණය ගැනත් ගත්තේ මොන ජනාධිපතිද අගමැතිද?... සිදුකළ නිෂ්ප්‍රයෝජන කටයුතු ගැනත් ගෙවීමට ඉතිරි ණය ගැනත් ජනතාව වහාම දැනුවත් කළයුතුයි. එහෙම නොකරන තාක් මෙම ප්‍රශ්නය තව තවත් අවුල්වෙනවා. මහජන සහය ඇතුව මේ ප්‍රශ්නය විසඳා ගැනීමට එන්න එන්නම අමාරුයි ඒ නිසා ජනතාවට සැබෑ ප්‍රශ්නය මීට වඩා ගොඩාක් සීරියස් විදියට රටේ පොදුවේ පැහැදිලි කිරීමක් කරමින් සාකච්ඡාවක් පවත්වා යම් යම් තරමකින් හෝ ජනතාවට මේ ප්‍රශ්නය ගැන පුළුල් අවබෝධයක් ලබා දිය යුතුයි

    ReplyDelete
  4. IMF එකෙන් ලංකාව ණයක් ගන්න්කොට සාර්ව ආර්තික ප්‍රතිපත්ති ක්‍රියාමත්මක කරන්න වැඩපිළිවෙළක් හදලා කැමති ගානක් ( ඩොලර් බිලියන 20 ක්) විතර ණයක් ගන්න බැරිද ?? කොච්චර මුදලක් දෙවද තීරණය කරන්නේ කොහොමද ?

    ද්.කොරියාව එක්දාස් නමසිය අනූ ගණන්වල වූ ආර්තික අර්බුදයට imf එකෙන් ඩොලර් බිලියන 10ක් ද කොහෙද ඒ දවස් වලත් හම්බුනා කියනවා නේ

    ReplyDelete
    Replies
    1. IMF එක කියන්නේ එක්තරා ආකාරයක සමුපකාරයක් වගේ එකක්. එක් එක් රට විසින් දමපු සාමාජික මුදලක් තිබෙනවා. ඒ සල්ලි තමයි අවශ්‍ය වෙලාවක රටකට ණයට දෙන්නේ. ලැබෙන පොලිය යන්නෙත් සාමාජික රටවලට. සල්ලි ආපහු නොලැබුණොත් පාඩුවත් සාමාජික රටවලට. IMF එකේ මුදල් ඒකකය SDR. ලංකාවේ කොටස් මුදල (කෝටා එක) SDR 578.8ක්. අද වන විට SDR එකක වටිනාකම ඇමරිකන් ඩොලර් 1.319පමණ. ඒ කියන්නේ ඩොලර් මිලියන 763.44ක්. එම මුදල මෙන් 400%ක උපරිමයක් තමයි ණයට ගන්න පුළුවන්. ඒ කියන්නේ ඩොලර් මිලියන 3,053.75ක් පමණ. දකුණු කොරියාවේ කොටස් මුදල SDR 8,582.7ක්. ඒ අනුව, දකුණු කොරියාවට අවශ්‍යනම් ඩොලර් මිලියන 45,282.32 දක්වා වන ණය මුදලක් ලබා ගන්න පුළුවන්.

      Delete
    2. // එක් එක් රට විසින් දමපු සාමාජික මුදලක් තිබෙනවා. ඒ සල්ලි තමයි අවශ්‍ය වෙලාවක රටකට ණයට දෙන්නේ //

      මෙතන පොඩි අවුලක් තියෙනවා, මෙ කියල තියෙන්නෙ ලංකාව 578.8 sdr ක සමාජික මුදලක් දලා තියෙනවා, ඒක තමා අපහු ලංකාවම ණයක් විදියට ගන්නේ කියන එකද ?


      අදාල රටක imf කෝටා එක වැඩි කරගන්න ඕනේ නම් , ඒ රට යොදන කොටස් මුදල වැඩි කරන්න ද අවශ්‍ය වෙන්නේ ?

      Delete
    3. ඇනෝ ඒක තීරණය වෙන්නේ අදාළ රටේ GDP එකේ ප්‍රමාණය සහ ඒ අනුව අදාළ සාමාජික රට තමන්ගේ තැන්පතු විදේශ මුදල් ප්‍රමාණය වැඩි කරන්න කරන ඉල්ලීම පරිදි තමයි ගොඩක් වෙලාවට ඕක තීරණය කරන්නේ XDR බාස්කට් එකක් හරහා වසර පහකට විතර වතාවක් IMF එකෙන් අදාළ රටේ ජාත්‍යන්තර වෙළඳ පොළේ දායකත්වය, පවතින විදේශ මුදල් සංචිතයේ වටිනාකම් වගේ සාධක සැලකිල්ලට ගනිමින් බරිත (weight) ලබා දෙමින් කරන ගණනය කිරීම් අනුව අදාළ රටට SDR quota එකක් තීරණය කරන්න පුළුවන් අයි එම් එෆ් SDR increment එකකට යන්න කලින් ලංකාවේ කුප්‍රකට මහබැංකු කේස් එකට චාටර් වෙලා යන එන මං නැතුව ආසනෙත් පරාද වෙලා කුජීත වෙලා ගිය, ඒකට බරපතල චෝදනා එල්ල වී තිබූ සිංගප්පූරුවේ පුරවැසියෙක් වූ තමන්ගේ හොඳම යාළුවාව බේරලා රට ඇරිය එකා ජනාධිපති උනා, ඌට බැංකුව බින්ද හොරා කියලා බෙලෙක් හඬින් විලාප තබමින් පාර්ලිමේන්තුව දෙවනත් කරපු එකා උගේම යටතේ අගමැති උනා.. ඌ තමයි බැංකු බින්ඳ හොරා කියල උගෙන් රට බේර ගන්නවා කියලා රටපුරා පොරොන්දු දෙමින් රටම රවටා ඡන්දෙ ගත්ත උන් දැන් ඡන්දෙ දීපු උන්ගෙන්ම තමන්ගේ ආරක්ෂාව පතමින් ජීවිතේ බේරලා දෙන්න කියල ඌව වර්නනා කරනවා…… උගෙන් රට බේරගන්න කියල ලංකාවේ බහුතරයක් දෙනා පත් කරපු එකා ඒ ඡන්දය දීපු උන්ගෙන් තමන්ගේ ජීවිතය බේරාගන්න කියලා අනිත් එවුන් අතරමං කරල හොරෙන්ම රටින් පැනල ගියා….. ඉතින් ඔහොම රටවල් වලට SDR කෝටා එක වැඩි කරල දෙන්න අයි එම් එෆ් එකේ ඉන්නේත් ඒ වගේම පිස්සෝ රැලක් වෙන්න ඕනේ ඉතින් මොකේද බන් දන් වළඳන්නේ?

      හරි වැඩේ ලංකාවෙ උන්ට උනේ… වෙලාවට අපි ඔය රට දාල ෂේප් එකේ මාරු වුණේ දැන් ඉන්න උන්ට වෙන රටකට මාරු වෙලා යන ඒකවත් කරගන්න බෑ යකෝ යුද්ධයක් තියෙන යුක්රේන් වගේම පට්ට විදියට චාටර්ම රටවල් වී ඇති සිරියා ඇෆ්ගනිස්ථාන් ඉරාක් ලිබියන් උන්ට පවා වීසා ගන්න පුළුවන් ලංකාවේ උන්ට ඒකත් බෑනේ අඩුම තරමේ සල්ලි තියෙන උන්ටවත් ස්ටුඩන්ට් වීසා වත් දෙන්නේ නැතුව අම්බානක වාත කරනවා මේ දවස් වල ඒකයි අවුල තියෙන්නෙ

      Delete
    4. උඩ ඇනෝ කියා තිබෙනවා වගේ ලෝක ආර්ථිකය තුළ ලංකාවේ දායකත්වය අනුව නිර්ණායක ගණනාවක් සලකා බලින් තීරණය කෙරෙන දෙයක්. ලංකාවට අවශ්‍ය පරිදි කෝටා එක වැඩි කරගන්න බැහැ.

      Delete
  5. 1. රටක තියන ආංඩුව ස්ථාවර ආංඩුවක් කියල අඳුණගන්න IMF එක භාවිතාකරන දත්ත මොනවද
    2.ණය දෙන්න නම් අඩුගානෙ අව්රුදු තුනක්වත් පවතින ස්ථාවර ආඩුවක් තියෙන්න ඕන කියල IMF
    එකේ කොන්දේසියක් තියනවද

    ReplyDelete
    Replies
    1. 2. එවැනි කොන්දේසියක් නැහැ.
      1. එවැනි නිර්ණායකත් නැහැ.

      නමුත් ප්‍රායෝගිකව ඔය වැඩේ වෙනවා. IMF එක කියා කිවුවට අවසාන වශයෙන් තීරණ ගන්නේ සේවය කරන මිනිස්සුනේ. දුන්න ණය ආපසු ලැබෙන බවට ඔවුන්ට වග බලා ගන්න වෙනවා. එහිදී සෘජුව හෝ වක්‍රව රටක දේශපාලන ස්ථාවරත්වය බලපානවා.

      Delete
  6. අජිත් පැරකුම් ජයසිංහ

    ලංගම ලබන පාඩුව දවසකට කෝටි පහක්වත් වෙනවා. මේ කෝටි පහෙන් හොඳ තත්වයේ බස් පහක් තීරු බදු රහිතව ආනයනය කරලා මාසෙකට බස් 150ක් අලුතෙන් ධාවනයට යොදවන්නට පුළුවන්. අවුරුද්දකට බස් 1,800ක් විතර පුළුවන්.

    ලංගම බස් ධාවනයෙන් ඉවත් විය යුතුයි.
    ලංගම කළ යුත්තේ බස් ධාවනය නියාමනය කිරීමයි. ඒ සඳහා තිබෙන මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරි ද ලංගම සමග සම්බන්ධ කළ යුතුයි.
    ලංගම සතුව තිබෙන බස් නැවතුම්පොළවල්, ඩිපෝ ආදිය සේවා මධ්‍යස්ථාන බවට පත්කළ යුතුයි.
    දැනට තිබෙන බස් සේවක සමුපකාර සමාගම් පිහිටුවා ඒවාට ලබාදිය හැකියි. අවශ්‍ය නම් මූලික ප්‍රාග්ධනය ද සැපයිය යුතුයි.
    මාර්ගවල බස් ධාවනය සමාගම් මගින් සිදුකිරීම සඳහා විධිමත් ක්‍රමයක් සම්පාදනය කළ හැකියි.

    මේවා බස් මගීන් ලෙස අපට සිතෙන ඒවාය. ප්‍රවාහන විශේෂඥයන්ට විධිමත් යෝජනා ඉදිරිපත් කළ හැකිය.

    එතෙක් ලංකා ගමනා ගමන මණ්ඩලය බස් ධාවනය සේවාවක් ලෙස පවත්වාගෙන ගියද පාඩු නොලබන ආයතනයක් විය යුතුය. එය එසේ වන්නට නම්, පළමුව, ප්‍රවාහන ඇමති තම චක්ගෝලයන්ට ලංගමේ හා දුම්රියේ වැඩකට නැති රස්සා දීම නැවැත්විය යුතු ය. ලංගමට අවශ්‍ය රියදුරන්, කොන්දොස්තරවරුන් සහ කාර්මිකයන් ය. එහෙත්, ඔබන තරමක් ඔබන්නේ සිකියුරිටි ගාඩ්ලා, ක්ලාක්ලා ආදියයි.

    දුම්රිය සහ බස් රථ ඒකාබද්ධ සේවා සහ බස් රථ ඒකාබද්ධ ධාවන කාලසටහන් නොපමාව පටන් ගත යුතුය. මෙය දැන් කලක සිට කියන දෙයකි. දැන් ඉතින් කිව්වා ඇති ය. ක්‍රියාත්මක කළ යුතුය. මෙයට ලංගම සේවකයන් විරුද්ධ වන්නේ ව්‍යාජ හේතු මතය. මේ වන විට, පෞද්ගලික බස් රථ සම්බන්ධයෙන් සෑහෙන දුරට හොඳ නියාමනයක් ක්‍රියාත්මක වෙයි. ඒ නිසා ලංගම හා පෞද්ගලික බස් සේවා ඒකාබද්ධ කළ පළියට ලංගම විනාශ වන්නේ නැත.

    ඉස්සර දුවපු බස් ටිකක් සුළු අලුත්වැඩියා කර රූපයේ දැක්වෙන අන්දමින් ධාවනයට යොදවා ඇමති රැවටීම ලංගම නිලධාරීන්ගේ සුපුරුදු ක්‍රීඩාවකි. ඇමතිලාටත් සමාන්‍යයෙන් ගත් කල නිර්මාණාත්මකව හිතන්නට හැකියාවක් නැත.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: