මේක ආර්ථික විද්‍යාවට සෘජු සම්බන්ධයක් නැති ලිපියක්. ලිපිය ලියන්න වස්තු බීජය වුනේ වත්පොත් මිතුරන් කිහිප දෙනෙකු අතර වූ විවාදයක්. මේ විවාදයේදී විද්‍යාත්මක ක්‍රමය ගැනත් කියවෙනවා දැක්කා.
විද්‍යාත්මක ක්‍රමය කියා කිවුවත් විද්‍යාත්මක පර්යේෂණ සිදු කරන ක්‍රම ගණනාවක් තිබෙනවා. දත්ත උපයෝගී කරගෙන, සංඛ්‍යානමය විශ්ලේෂණ ඇසුරෙන් නිගමන වලට එළැඹෙන එක ඒ අතරින් එක් ප්‍රචලිත ක්‍රමයක්.
මේ ආකාරයේ සංඛ්‍යානමය පර්යේෂණයකදී සිදු වන්නේ කිසියම් "ශුන්‍ය කල්පිතයක්" ප්‍රතික්ෂේප වෙනවාද නැද්ද කියා දත්ත ඇසුරෙන් පරීක්ෂා කර බලන එක. උදාහරණයක් විදිහට රට කජු පිළිකාකාරකයක්ද කියන ප්‍රශ්නය හා අදාළ ශුන්‍ය කල්පිතය විදිහට "රජ කජු පිළිකාකාරකයක් නොවේ" කියන එක සලකා බලන්න පුළුවන්.
දැන් මේ කල්පිතය ප්‍රතික්ෂේප වෙනවානම් එයින් අදහස් වන්නේ කුමක්ද?
1. රට කජු පිළිකාකාරකයක් නොවන බව ප්‍රතික්ෂේප කිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි තිබෙන බව
2. රට කජු පිළිකාකාරකයක් බව කීමට ප්‍රමාණවත් සාක්ෂි තිබෙන බව
කල්පිතය ප්‍රතික්ෂේප නොවේනම් එයින් අදහස් වන්නේ කුමක්ද?
1. රට කජු පිළිකාකාරකයක් නොවන බව ප්‍රතික්ෂේප කිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි නැති බව
2. රට කජු පිළිකාකාරකයක් බව කීමට ප්‍රමාණවත් සාක්ෂි නැති බව
මෙහිදී කල්පිතය ප්‍රතික්ෂේප නොවූ පමණින් රට කජු පිළිකාකාරකයක් නොවන බව "ඔප්පු වෙන්නේ" නැහැ. නමුත්, රට කජු පිළිකාකාරකයක් වීම සඳහා තිබෙන්නේ සීමිත ඉඩකඩක්. ඒ වගේම කල්පිතය ප්‍රතික්ෂේප වූ පමණින් හා රට කජු පිළිකාකාරකයක් බව කීමට ප්‍රමාණවත් සාක්ෂි තිබෙන බව තහවුරු වූ පමණින් එය එසේ බව සියයට සියයක් තහවුරු වන්නේ නැහැ. මෙයින් තහවුරු වන්නේ එය එසේ වීමට විශාල ඉඩකඩක් ඇති බව පමණයි.
සංඛ්‍යානමය පර්යේෂණයකදී ඔය විදිහට සම්භාවිතාව මත පදනම්ව මිසක් ස්ථිර වශයෙන් තහවුරු කළ නිගමන වලට පැමිණෙන්නේ නැහැ. ඒ කියන්නේ ඕනෑම නිගමනයක් වරදින්න යම් ඉඩක් තිබෙනවා. මේ ඉඩකඩ අදාළ පර්යේෂණය සඳහා යොදා ගන්නා නියැදියේ ප්‍රමාණය අනුව වෙනස් වෙනවා. නියැදිය කුඩා එකක්නම් වරදින්න තිබෙන ඉඩකඩ වැඩියි. නියැදිය විශාලනම් ඒ ඉඩකඩ අඩුයි. ඊට අමතරව පර්යේෂණය සිදු කර ඇති ක්‍රමවේදය අනුව මේ ඉඩකඩ වෙනස් වෙනවා.
වෛද්‍ය පර්යේෂණ බොහොමයක් මේ ආකාරයේ සංඛ්‍යානමය පර්යේෂණ වුවත් හැම වෛද්‍ය පර්යේෂණයක්ම මේ ආකෘතියේ ඒවා නෙමෙයි. සමහර වෛද්‍ය පර්යේෂණ විද්‍යාගාර ආශ්‍රිත පර්යේෂණ. තවත් ඒවා සිද්ධි අධ්‍යයන. කිසියම් ඖෂධයක ඵලදායීත්වය පරීක්ෂා කිරීම වැනි අවස්ථාවකදීනම් සසම්භාවී පාලිත පරීක්ෂණයක් ඇසුරෙන් සිදු කරන සංඛ්‍යානමය විශ්ලේෂණයකින් පසුව නිගමන වලට පැමිණෙනවා.
සංඛ්‍යානමය පර්යේෂණයක ප්‍රතිඵල ඇසුරෙන් එළැඹිය හැකි නිගමනය එහිදී පරීක්ෂාවට ලක් කරන ප්‍රශ්නය හා එයට අදාළ ශුන්‍ය කල්පිතය මත තීරණය වෙනවා. පර්යේෂකයෙකු විසින් හැම විටම හරි ප්‍රශ්නය අසා එම හරි ප්‍රශ්නය පරීක්ෂාවට ලක් කළ යුතුයි. මේ හරි ප්‍රශ්නය තෝරා ගැනීම බොහෝ විට සමාජයීය කාරණයක්. විද්‍යාත්මක ක්‍රමය එන්නේ ඊට පස්සේ.
උදාහරණයක් ලෙස පිළිකා රෝගය සඳහා අලුතෙන්ම ඖෂධයක් සොයා ගත්තොත්, එසේ සොයා ගැනීමෙන් පසු එම අලුත් ඖෂධය ඵලදායී බව ප්‍රමාණවත් සාක්ෂි සහිතව තහවුරු කර ගත යුතුයි. එසේ තහවුරු වන තුරු එය ඵලදායී ඖෂධයක් සේ සලකන්න බැහැ. එවැනි අලුත් ඖෂධයක් ඵලදායී ඖෂධයක් නොවන බව කවුරුවත් පෙන්වා දී නැති නිසා එසේ පෙන්වා දෙන තුරු එය ඵලදායී ඖෂධයක් වෙන්නේ නැහැ. මෙය සංඛ්‍යානමය කරුණකට වඩා සමාජයීය කරුණක්.
දැනට බහුලව භාවිතා වන ආහාරයක් පිළිකාකාරකයක් ලෙස හඳුනා ගන්නනම්, එය පිළිකාකාරකයක් බව ප්‍රමාණවත් සාක්ෂි සහිතව තහවුරු කළ යුතුයි. එසේ නොකරන තුරු එවැන්නක් පිළිකාකාරකයක් සේ සලකන්න බැහැ. මෙයද සමාජයීය කාරණයක්. නමුත් විද්‍යාත්මක සාක්ෂි නැතත් සමාජ සම්මතය අනුව බොහෝ දෙනෙකු විසින් පිළිකාකාරකයක් ලෙස සලකන දෙයක් හා අදාළව තත්ත්වය වෙනස්. ඒ වගේ අවස්ථාවක ප්‍රමාණවත් සාක්ෂි නැති පමණින් එය පිළිකාකාරකයක් නොවන බව කියන්න බැහැ. එවැන්නක් සාක්ෂි සහිතව තහවුරු කළ යුතුයි. විද්‍යාත්මක ක්‍රමය යොදා ගැනීමේදී සමාජ සම්මතය ගැන සලකමින් හා එයට සාපේක්ෂව නිවැරදි ප්‍රශ්නය අසමින් එය කිරීම හරි ක්‍රමයයි.
කාලයේ පරීක්ෂාව සමත් වූ, බොහෝ දෙනෙකු විසින් ඵලදායී සේ පිළිගන්නා සම්ප්‍රදායික ඖෂධයක් ගැනත් මේ කතාව කියන්න පුළුවන්. එවැන්නක් ඵලදායී නොවන බව විද්‍යාත්මක ක්‍රමයකින් සාක්ෂි සහිතව පෙන්වා දෙන තුරු, විද්‍යාත්මක ලෙස තහවුරු කර නොතිබීම මත පදනම්ව ප්‍රතික්ෂේප කරන්න බැහැ.
විද්‍යාත්මක ක්‍රමවේදයේ හැම විටම මෙන් යම් අවිනිශ්චිතතාවයක් තිබෙනවා. ප්‍රායෝගිකව වෛද්‍ය විද්‍යාවේදී ප්‍රයෝජනයට ගන්නෙත් මේ ආකාරයේ විද්‍යාත්මක පරීක්ෂණ. එහෙත්, විද්‍යාත්මක පරීක්ෂණ වෛද්‍ය විද්‍යාවේදී භාවිතයට ගැනීම දක්වා සිදු වන ක්‍රියාවලියක් තිබෙනවා. කවුරු හෝ කෙනෙක් පර්යේෂණයක් කර එය ජර්නලයක පළ කළ පමණින් වෛද්‍ය විද්‍යා භාවිතය ක්ෂණිකව වෙනස් වෙන්නේ නැහැ. ඔය වගේ පර්යේෂණ පත්‍රිකා නිරන්තරයෙන් කියවමින් සිටීම සාමාන්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් අපේක්ෂා කෙරෙන්නේත් නැහැ.
වෛද්‍ය වෘත්තිකයෙකුගේ භාවිතාව බොහෝ දුරට තීරණය වන්නේ වෘත්තීය මාර්ගෝපදේශ අනුව. වෛද්‍ය සභා, නියාමන ආයතන වැනි තැන් වලින් මේ මාර්ගෝපදේශ සකස් වෙනවා. ඒවා වරින් වර යාවත්කාලීන වෙනවා. සාමාන්‍ය වෛද්‍යවරයෙකු මෙවැනි වෘත්තීය මාර්ගෝපදේශ වල සිදු වන වෙනස්කම් ගැන දැනුවත්ව සිටිය යුතුයි. ඒ හැර, එදිනෙදා පළවන පර්යේෂණ පත්‍රිකා සියල්ල අනිවාර්යයෙන් කියවිය යුතු නැහැ.
මෙවැනි මාර්ගෝපදේශ සකස් කරන හා යාවත්කාලීන කරන කණ්ඩායම් විසින් අදාළ පර්යේෂණ පත්‍රිකා සැලකිල්ලට ගන්නවා. බොහෝ විට ඒ සියල්ලේම නිගමන එක සමාන නැහැ. එවිට අදාළ පර්යේෂණ සඳහා යොදා ගත් නියැදි වල ප්‍රමාණ, ක්‍රමවේද ආදිය ගැන සලකා එක් එක් පර්යේෂණ ප්‍රතිඵලයට වෙන වෙනම බර තබන්නට සිදු වෙනවා. මෙසේ කිරීමෙන් පසුව, සමස්ත චිත්‍රය දෙස බලා විශ්වාසදායී ලෙස නිගමන වලට පැමිණිය හැකිනම් ඔවුන් තමන්ගේ මාර්ගෝපදේශ යාවත්කාලීන කරනවා.
මෙසේ මාර්ගෝපදේශ සකස් කිරීමේදී පාදක කරගන්නා විද්‍යාත්මක පර්යේෂණ සෑම එකකම යම් අවිනිශ්චිතතාවක් තිබෙනවා. ඒ කිසිවක පරම සත්‍යයන් නැහැ. ඒ නිසාම, එවැනි පර්යේෂණ මත පදනම්ව හදන මාර්ගෝපදේශ සියයට සියයක් නිවැරදි වීමේ ඉඩක් නැහැ. නමුත් සැලකිය යුතු ඉඩක් තිබෙනවා. කෙසේ වුවත්, මෙසේ මාර්ගෝපදේශ සකස් කිරීමෙන් පසුව ප්‍රායෝගිකව කටයුතු කෙරෙන්නේ එම මාර්ගෝපදේශ නිවැරදි සේ සලකමිනුයි. න්‍යාය හා භාවිතය අතර එවැනි වෙනසක් නැතිව ප්‍රායෝගිකව කටයුතු කරන්න බැහැ. මෙය අනෙකුත් වෘත්තීය ක්ෂේත්‍ර වලටද පොදුයි.
මේ ආකාරයෙන් මූලික පර්යේෂණ පිළිබඳව ප්‍රමාණවත් අධ්‍යනයක් කිරීමෙන් පසුව සකස් කරන මාර්ගෝපදේශ පසුව සම්මතය බවට පත් වෙනවා. එවැනි සම්මත ඇත්ත සේ පිළිගනු මිස දිගින් දිගටම ප්‍රශ්න කෙරෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් එවැනි ප්‍රශ්න කිරීමක් කෙරෙන්නේ මාර්ගෝපදේශ යාවත්කාලීන කිරීම සඳහා සලකා බලන අවස්ථා වලදී පමණයි.
කොකා කෝලා බිව්වහම පිළිකා හැදෙනවද?
මේ වගේ ප්‍රශ්නයකට ලබා දිය හැකි පිළිතුරක විද්‍යාත්මක කොටසක් තිබෙනවා වගේම සමාජයීය කොටසකුත් තිබෙනවා. කෙනෙක් දවසකට දහනය කරන කැලරි ප්‍රමාණය ඉක්මවා කැලරි එකතු වන විදිහට බත් ගොඩක් කනවානම් ස්ථුලතාවය ඇති වීම සාමාන්‍ය දෙයක්. ස්ථුලතාවය පිළිකා හැදීමේ සම්භාවිතාව වැඩි කරනවා. ඒ නිසා, බත් කන එකෙන් පිළිකා හැදෙන්න පුළුවන් කියා කියන්න පුළුවන්. නමුත්, එවැනි මතයක් ජනගත වී නැහැ.
මේ වගේ කරුණකදී පළමුව වැදගත් වන්නේ තිබිය හැකි කිසියම් සම්බන්ධතාවක් කොයි තරම් දුරස්ථ එකක්ද කියන එකයි. ඕනෑවට වඩා වැඩියෙන් බත් ආහාරයට ගැනීම නිසා වගේම ඒ විදිහට ඕනෑවට වඩා පිෂ්ඨය අඩංගු වෙනත් දේ ආහාරයට ගැනීම නිසාත් ස්ථුලතාවය ඇති වෙන්න පුළුවන්. ස්ථුලතාවය පිළිකා හැදීමේ සම්භාවිතාව වැඩි කරන්න පුළුවන්. නමුත්, මේ කරුණ මත පදනම්ව කවුරුවත් බත් හෝ පාන් ආහාරයට ගන්න එපා කියලා යෝජනා කරන්නේ නැහැ. ඒ වෙනුවට කියන්නේ ස්ථුලතාවය පාලනය කරගන්න කියලයි. මොකද පිෂ්ඨය සහිත ආහාර ප්‍රශ්නයක් වෙන්නේ එක සීමාවක් පැන්නට පස්සේ.
පිළිකාකාරක ලෙස සාමාන්‍යයෙන් හඳුනාගන්නා දෙයක් හා අදාළව වුනත් තත්ත්වය ඔය වගේ. ප්‍රශ්නයක් වෙන්නේ යම් සීමාවකින් එහාට. පොඩි ප්‍රමාණයකට නිරාවරණය වුනා කියලා ලොකු ප්‍රශ්නයක් නැහැ.
හානියක් වෙන්න ඉඩ තිබෙනවානම් පොඩි ප්‍රමාණයකට හෝ නිරාවරණය වෙන්නේ ඇයි කියන ප්‍රශ්නය මතු වෙනවා. මෙය සමාජයීය කරුණක්. පිළිකාකාරක ලෙස සාමාන්‍යයෙන් හඳුනාගන්නා දෙයක වුනත් විවිධ ප්‍රයෝජන තිබෙනවා. ඒ නිසා, ඒ ප්‍රයෝජන වෙනුවෙන් සුළු අවදානමක් ගන්න එක මහ ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. සුළු හෝ අවදානමක් නැතිව කිසිම දෙයක් කරන්න බැහැ. රඹුටන් ගෙඩියක් කන විට ඇටය උගුරේ හිරවෙලා කෙනෙක්ව මැරෙන්න පුළුවන්. වාහනයක යද්දී අනතුරක් වෙන්න සැලකිය යුතු ඉඩක් තිබෙනවා.
සමාජයකට සම්මත අවශ්‍ය වෙන්නේ මේ හේතුව නිසා. කාලයේ පරීක්ෂාව හරහා මේ ආකාරයේ සමාජ සම්මත හැදෙනවා. වෛද්‍ය සභා, නියාමන ආයතන වැනි තැන් විසින්ද මේ ආකාරයේ සම්මත හදනවා. එසේ කරද්දී ඒ වන විට කර තිබෙන පර්යේෂණ සලකා බලනවා. කොහොම වුනත්, අවසාන වශයෙන් කරන්නේ සම්මතයක් හදන එක. එහෙම නැත්නම් තම තමන්ගේ රුචිකත්වයන් අනුව විවිධ පුද්ගලයින්ට එක් එක් වෙනස් දේවල් "විද්‍යාත්මක දේවල්" විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්.
ආසනික් පිළිකාකාරකයක්. ඇතැම් වාර්තා අනුව, සහල් වල ප්‍රශ්නකාරී මට්ටමකට ආසනික් තිබෙනවා. මේ අනුව, බත් කන එකෙන් ආසනික් නිසා පිළිකා හැදෙන්න පුලුවන්ද කියන ප්‍රශ්නය මතු වෙනවා. නමුත්, පර්යේෂණ කිහිපයකින් පෙනී ගොස් තිබෙන්නේ එවැනි අවදානමක් තිබෙන බවට සාක්ෂි නැති බවයි.
ඇතැම් සිසිල් බීම වර්ග සම්බන්ධවත් ඔය ආකාරයේ ප්‍රශ්නයක් මතු වී තිබෙනවා. මේ හා අදාළව ඕස්ට්‍රේලියාවේ පිළිකා සංගමයේ පිළිතුර මේ වගේ එකක්.
"සිසිල් බීම වල බොහෝ විට සීනි ගොඩක් තිබෙනවා. සීනි වලින් පිළිකා හැදෙන බවට සාක්ෂි නැතත්, සීනි ස්ථුලතාවයට හේතුවක්. ස්ථුලතාවය පිළිකා ඇති වීමේ අවදානම ඉහළ දමනවා. සිසිල් බීම වල ඇතැම් පිළිකාකාරක රසායන හමු වී ඇතත්, එම පිළිකාකාරක වෙනත් තත්ත්වයන් යටතේ පිළිකා අවදානම ඉහළ දමන බව පෙනී ගොස් ඇතත්, සිසිල් බීම පානය කිරීම හරහා පිළිකා අවදානම වැඩි කරවන බවට සාක්ෂි නැහැ ."
ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියාහි පිලිකා සංගමය සහ මෙල්බෝර්න් සරසවිය විසින් විශාල නියැදියක් යොදාගෙන කර ඇති පර්යේෂණයකට අනුව, සිසිල් බීම පානය කිරීම පිලිකා අවදානම ඉහළ දමනවා. එහෙත්, මෙය සිදු වන්නේ සීනි නිසා. සීනි අඩු සිසිල් බීම වල (diet soft drink) මේ අවදානම නැහැ.
සිසිල් බීම වල අධික සීනි සාන්ද්‍රණය පිළිකා අවදානම වැඩි කිරීමට මෙන්ම වෙනත් රෝගාබාධ ගණනාවකට හේතු වෙනවා. සිසිල් බීම පාරිභෝගිකයින් මේ තත්ත්වයට සංවේදී වෙද්දී, සිසිල් බීම සමාගම් විසින් සීනි නැති හෝ සීනි අඩු සිසිල් බීම වර්ග හඳුන්වා දී තිබෙනවා. මෙම සිසිල් බීම වර්ග වල රසය පවත්වා ගැනීම සඳහා විවිධ රසකාරක වර්ග එකතු කරනවා.
ඇස්පටෙම් කියන්නේ සීනි මෙන් 200 ගුණයක් පැණිරස මෙවැනි රසකාරකයක්. සාමාන්‍ය කොකා කෝලා වල ඇස්පටෙම් අඩංගු නැතත්, ඩයට් කෝලා වල සහ කෝක් සීරෝ වල ඇස්පටෙම් අඩංගුයි. වෙනත් සිසිල් බීම වර්ග වල හා වෙනත් ආහාර වර්ග වලද ඇස්පටෙම් තිබෙනවා. මෙය ඇමරිකාවේ ආහාර හා ඖෂධ අධිකාරිය විසින් අනුමත කර තිබෙන රසකාරකයක්. යුරෝපීය සංගමය ඇතුළු වෙනත් රටවල් ගණනාවක්ද ඇස්පටෙම් රසකාරකයක් ලෙස යොදා ගැනීම අනුමත කර තිබෙනවා.
ඇස්පටෙම් පිළිකාකාරකයක්ද කියන ප්‍රශ්නය මෑතකදී සංවාදයට බඳුන් වී තිබෙනවා. මෙයට ආසන්න හේතුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ඒකාබද්ධ කමිටුවක් විසින් මෑතකදී ඇස්පටෙම් පිළිකාකාරකයක්ද කියන එක පළමු වරට විමර්ශනයට ලක් කිරීම. එම කමිටුව විසින් කිසියම් ද්‍රව්‍යයක් පිළිකාකාරකයක්ද යන්න පිළිබඳව විද්‍යාත්මක සාක්ෂි පුළුල් ලෙස පරීක්ෂා කර විමර්ශනයට ලක් කිරීමෙන් අනතුරුව 1, 2A, 2B හා 3 යන කාණ්ඩ හතරකින් එකක් යටතේ වර්ග කරනවා. ඇස්පටෙම් දමා තියෙන්නේ 2B කාණ්ඩයට.
මේ එක් එක් කාණ්ඩයෙන් අදහස් වන්නේ කුමක්ද?
1 කාණ්ඩය: පැහැදිලි ලෙසම පිළිකා වලට හේතු වන බවට ප්‍රමාණවත් විද්‍යාත්මක සාක්ෂි තිබෙනවානම් මේ කාණ්ඩයට දමනවා. මේ විදිහට ප්‍රමාණවත් සාක්ෂි ලැබී තිබෙන්නේ මිනිසුන් යොදා ගෙන සිදු කළ පර්යේෂණ වලින් විය යුතුයි. දුම්පානය, මත්පැන් පානය සහ හිරු එළියට නිරාවරණය වීම තියෙන්නේ මේ කාණ්ඩයේ.
2A කාණ්ඩය: පිළිකා වලට හේතු වීමට යම් සම්භාවිතාවක් තිබේනම් මේ කාණ්ඩයට දමනවා. සතුන් හා අදාළ පර්යේෂණ වලින් පැහැදිලි සාක්ෂි ලැබී ඇතත් මිනිසුන් යොදා ගෙන සිදු කළ පර්යේෂණ වලින් ප්‍රමාණවත් සාක්ෂි ලැබී නැති විටයි මේ කාණ්ඩය යටතේ වර්ග කරන්නේ. ඉහළ උෂ්ණත්වයක ආහාර බදින විට පිට වන කිරණ වලට නිරාවරණය වීම, ඩීඩීටී, හරක් මස් වැනි මස් වර්ග ආහාරයට ගැනීම, රාත්‍රී වැඩ මුර වල යෙදීම ආදිය තිබෙන්නේ මේ කාණ්ඩයේ.
2B කාණ්ඩය: පිළිකා වලට හේතු වීමට යම් සම්භාවිතාවක් තිබීමට කිසියම් ඉඩක් තිබෙනවා. සතුන් යොදාගෙන සිදු කර තිබෙන පර්යේෂණ වලින් වුවද නිගමනයකට පැමිණීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි ලැබී නැහැ. වාහන වලින් පිට වන දුම, බාබර් කෙනෙකු සේ සේවය කිරීම ආදිය තිබෙන්නේ මේ කාණ්ඩයේ. දැන් ඇස්පටෙම් දමා තිබෙන්නේත් මේ කාණ්ඩයට.
3 කාණ්ඩය: පිළිකා හැදීමට තිබෙන ඉඩකඩ පිළිබඳව නිගමනය කර ඉහත කාණ්ඩයකට දැමීමට තරම් ප්‍රමාණවත් විද්‍යාත්මක සාක්ෂි නැහැ. රසදිය, කෝපි පානය කිරීම, පැරසිටමෝල් ආදිය තිබෙන්නේ මේ කාණ්ඩයේ.
ඩයට් කෝලා ඇතුළු ඇතැම් සිසිල් බීම වර්ග පිළිබඳව යම් සංවාදයක් ඇති වී තිබෙන්නේ ඉහත කමිටුව විසින් ඇස්පටෙම් 2B කාණ්ඩය යටතේ වර්ග කිරීමෙන් පසුවයි. එහෙත්, එයින් අදහස් වන්නේ ඇස්පටෙම් පිළිකා වලට හේතු වීමට යම් සම්භාවිතාවක් තිබීමට කිසියම් ඉඩක් තිබෙන බව පමණයි. පැහැදිලි පිළිකාකාරක තිබෙන්නේ 1 කාණ්ඩයේ. පිළිකාකාරක වීමේ සම්භාවිතාවක් ඇති දේ තිබෙන්නේ 2A කාණ්ඩයේ. මෙය ඊටත් වඩා අඩු තත්ත්වයක්.
ඒ වගේම, මීට පෙර මෙම කමිටුව විසින් පුද්ගලයෙකුගේ සිරුරේ බර ප්‍රමාණය අනුව එක් කිලෝ ග්‍රෑමයකට මිලි ග්‍රෑම් 40 නොඉක්මවන ඇස්පටෙම් ප්‍රමාණයක් දිනකට ආහාරයට ගැනීම හානිකරන නොවන බව නිර්දේශ කර තිබුණා. මෙම විමසුමේදී එම නිර්දේශය නැවත වරක් තහවුරු කර තිබෙනවා. කිලෝග්‍රෑම් 70ක් බර පුද්ගලයෙකු විසින් මෙම අනුමත සීමාව ඉක්මවීම සඳහා දිනකට ඩයට් කෝලා කෑන් 9-14 අතර ප්‍රමාණයක් පානය කළ යුතුයි. එවැන්නක් සිදු වීමේ ඉඩකඩ ඉතාම අඩුයි. ඇමරිකාවේ ආහාර හා ඖෂධ අධිකාරියේ නිර්දේශ අනුව, පුද්ගලයෙකුගේ සිරුරේ බර ප්‍රමාණය අනුව එක් කිලෝ ග්‍රෑමයකට මිලි ග්‍රෑම් 50 නොඉක්මවන ඇස්පටෙම් ප්‍රමාණයක් දිනකට ආහාරයට ගැනීම හානි කර නැහැ. මේ සීමාව නොඉක්මවා දිනකට ඩයට් කෝලා කෑන් 11-17 අතර ප්‍රමාණයක් පානය කළ හැකියි.
කොහොම වුනත්, ඉහත කී ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ වර්ගීකරණය පදනම් වන්නේ පිළිකා හැදීමට තිබෙන ඉඩකඩ වැඩිවීම හා අඩුවීම මත නෙමෙයි. එවැනි ඉඩකඩක් තිබීම තහවුරු කෙරෙන විද්‍යාත්මක සාක්ෂි තිබීම හා නොතිබීම මත. ඒ නිසා, යමක් පහළ කාණ්ඩයක තිබීමෙන් අදහස් වන්නේ එය පිළිකාකාරකයක් නොවන බව නෙමෙයි. එය පිළිකාකාරකයක් කියා කීමට ප්‍රමාණවත් සාක්ෂි නැති බව. ඒ නිසා, මේ වර්ගීකරණය රතු නිවේදනයක් විදිහට කාට හෝ හැඟෙනවානම් රසකාරකයක් ලෙස ඇස්පටෙම් එකතු කර තිබෙන ආහාර ගැනීම ගැන දෙවරක් හිතන එකේ වැරැද්දක් නැහැ. එය පෞද්ගලික තේරීමක්. හැබැයි විසඳුම නැවත සීනි වලට යන එකනම් නෙමෙයි.
විද්‍යාත්මක මත වලින් ඔබ්බට විවිධ පුද්ගලයින්ගේ විශ්වාස හා සමාජ සම්මත තිබෙනවා. විද්‍යාත්මක ලෙස තහවුරු වී නැති පමණින් ඒවා හරියි හෝ වැරදියි කියන්න බැහැ. තමන්ට හරියි කියා හිතෙන දේ කරන එක එක් එක් පුද්ගලයාගේ පෞද්ගලික තීරණයක්. හැබැයි වෛද්‍යවරයෙක් හෝ නියාමකයෙක් විසින් නිර්දේශයක් කරද්දී වෙන්නේ අනුන් වෙනුවෙන් තීරණ ගැනීමක්. ඒ වගේ තීරණ අඩමානෙට ගන්න බැහැ. අනුන් වෙනුවෙන් නිර්දේශ කරද්දී එම නිර්දේශ සාධාරණීකරණය කළ හැකි පැහැදිලි සාක්ෂි අවශ්‍යයි. එවැනි සාක්ෂි නැත්නම් සාක්ෂි නැති බව පැහැදිලිව කිව යුතුයි. ඇස්පටෙම් හා අදාළව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ඒකාබද්ධ කමිටුව විසින් කරලා තියෙන්නේ ඒ වැඩේ.