වෙබ් ලිපිනය:

Wednesday, January 11, 2023

පොලී අනුපාතික අඩුවෙන්න පටන් අරගෙනද?


අද (ජනවාරි 11) පැවැත්වුණු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියට ඉදිරිපත් කළ බිල්පත් සියල්ලම පහසුවෙන් විකිණී ඇති අතර, පොලී අනුපාතික වල, විශාල නැතත්, පැහැදිලිව පෙනෙන අඩු වීමක් දැකිය හැකියි.

දින-91 බිල්පත් 

වෙන්දේසි කළ ප්‍රමාණය = රුපියල් බිලියන 50

ලංසු ප්‍රමාණය = රුපියල් බිලියන 145.1

විකිණූ පොලී අනුපාතිකය = 31.15%

පෙර සතියේ පොලී අනුපාතිකය = 32.01%


දින-182 බිල්පත් 

වෙන්දේසි කළ ප්‍රමාණය = රුපියල් බිලියන 20

ලංසු ප්‍රමාණය = රුපියල් බිලියන 45.5

විකිණූ පොලී අනුපාතිකය = 31.37%

පෙර සතියේ පොලී අනුපාතිකය = 32.02%


දින-364 බිල්පත් 

වෙන්දේසි කළ ප්‍රමාණය = රුපියල් බිලියන 18

ලංසු ප්‍රමාණය = රුපියල් බිලියන 35.7

විකිණූ පොලී අනුපාතිකය = 29.04%

පෙර සතියේ පොලී අනුපාතිකය = 29.16%

මගේ අදහස මහ බැංකුව විසින් ගත් ප්‍රතිපත්ති තීරණයක් මේ අයුරින් පොලී අනුපාතික අඩු වීමට හේතු වී ඇති බවයි. එම ප්‍රතිපත්ති තීරණය වූයේ විවට වෙළඳපොළ ගණුදෙනු සඳහා සීමා පැනවීමයි. 

විවට වෙළඳපොළ ගණුදෙනු කියන්නේ මොනවාද?

දවස තුළ කරන ගණුදෙනු නිසා බැංකු වලට සල්ලි එනවා. ඒ වගේම බැංකු වලින් සල්ලි එළියට යනවා. මෙහි ප්‍රතිඵලයක් විදිහට දවස අවසානයේ බැංකුවක මුදල් අතිරික්තයක් ඇති වෙන්න පුළුවන්. එසේ නැත්නම් මුදල් හිඟයක් ඇති වෙන්න පුළුවන්. මුදල් හිඟයක් ඇති වුවහොත්, කොහෙන් හෝ මුදල් හොයාගෙන එම හිඟය පියවා ගන්න සිදු වෙනවා.

ද්‍රවශීලතා හිඟයක් ලෙස හඳුන්වෙන්නේ ඉහත තත්ත්වයයි. සාමාන්‍යයෙන් යම් දිනක එක් බැංකුවකට ද්‍රවශීලතා හිඟයක් ඇති වෙද්දී තවත් බැංකුවක ද්‍රවශීලතා අතිරික්තයක් ඇති වෙනවා. ඒ, බැංකු වලින් එළියට යන සල්ලි නැවත එම බැංකුව වෙතම පැමිණ නැත්නම්, බොහෝ විට වෙනත් බැංකුවකට ගොස් ඇති නිසයි. එසේ නොවන්නේ රටේ විශාල පිරිසක් සල්ලි මුදල් නෝට්ටු ලෙසම තබා ගතහොත් පමණයි. 

දවස අවසානයේ ද්‍රවශීලතා හිඟයකට මුහුණ දෙන බැංකු විසින් කරන්නේ ද්‍රවශීලතා අතිරික්තයක් ඇති බැංකුවකින් දවසේ පොලියට දවසකට සල්ලි ණයට ගන්න එකයි. මෙයින් ද්‍රවශීලතා අතිරික්තයක් ඇති බැංකුවට නිකම් තිබෙන තමන්ගේ සල්ලි වෙනුවෙන් පොලී ආදායමක් ලැබෙනවා. මෙම ගණුදෙනු සිදු වන වෙළඳපොළ ඒක්ෂණ මුදල් වෙළඳපොළ ලෙස හැඳින්වෙනවා.

කෙසේ වෙතත්, ඒක්ෂණ මුදල් වෙළඳපොළ ගනුදෙනු අවසන් වීමෙන් පසුවද ඇතැම් බැංකු වලට අවශ්‍ය අරමුදල් හොයා ගන්න බැරි වෙන්න පුළුවන්. සමස්තයක් ලෙස බැංකු පද්ධතියෙන් එළියට ගිය සල්ලි වලින් යම් කොටසක් නැවත ආපසු ඇවිත් නැත්නම් එසේ වෙනවා. මෙය වෙළඳපොළ ද්‍රවශීලතා හිඟයක් ලෙස හැඳින්වෙනවා. මෙහිම අනෙක් පැත්ත සිදු වුවහොත්, වෙළඳපොළ ද්‍රවශීලතා අතිරික්තයක් ඇති වෙනවා.

වෙළඳපොළ ද්‍රවශීලතා හිඟයක් ඇති විට, ඒ හේතුව නිසා ඒක්ෂණ මුදල් වෙළඳපොළෙන් අරමුදල් සපයා ගැනීමට නොහැකි වන බැංකුවකට සල්ලි ණයට ගන්න වෙන්නේ මහ බැංකුවෙන්. එහිදී ඇපයක් ලෙස භාණ්ඩාගාර බිල්පතක් තියන්න සිදු වෙනවා. මෙය මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම ලෙස හැඳින්වෙනවා. මේ අයුරින්ම, ඒක්ෂණ මුදල් වෙළඳපොළ තුළ වෙනත් බැංකුවකට ලබා දීමට ඉඩ නොලැබෙන අරමුදල් ඇත්නම් එවැනි මුදලක් මහ බැංකුවේ තැන්පත් කර පොලී ආදායමක් ලැබිය හැකියි. මෙය හැඳින්වෙන්නේ නිත්‍ය තැන්පතු පහසුකම ලෙසයි. 

මහ බැංකුවෙන් නිත්‍ය ණය පහසුකමක් ලබා ගැනීමේදී ගෙවිය යුතු පොලී අනුපාතිකය සහ නිත්‍ය තැන්පතු පහසුකම ප්‍රයෝජනයට ගැනීමේදී ලැබෙන පොලී අනුපාතිකය මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික ලෙස හැඳින්වෙනවා. මහ බැංකුව විසින් මෙම ප්‍රතිපත්ති පොලී අනුපාතික වරින් වර සංශෝධනය කරනවා. මහ බැංකුවක් විසින් රටේ මුදල් සැපයුම පාලනය කිරීමේදී යොදා ගන්නා ප්‍රධානම ප්‍රතිපත්ති මෙවලම මෙම පොලී අනුපාතිකයි. මේ වන විට නිත්‍ය ණය පහසුකම් පොලී අනුපාතිකය 15.5%ක් වන අතර නිත්‍ය තැන්පතු පහසුකම් පොලී අනුපාතිකය 14.5%ක් වෙනවා. 

වාණිජ බැංකුවකට තමන්ගේ අතිරික්ත අරමුදල් සඳහා අවම වශයෙන් නිත්‍ය තැන්පතු පහසුකම් පොලී අනුපාතිකය ලබා ගත හැකි වීම සහ උපරිම වශයෙන් නිත්‍ය ණය පහසුකම් පොලී අනුපාතිකය ගෙවා හිඟ අරමුදල් සපයා ගැනීමට හැකි වීම නිසා, සාමාන්‍යයෙන් ඒක්ෂණ මුදල් වෙළඳපොළ පොලී අනුපාතික තීරණය වන්නේ මෙම ප්‍රතිපත්ති පොලී අනුපාතික දෙක අතරයි. 

දැන් කාලයක සිටම සමස්තයක් ලෙස වෙළඳපොළ ද්‍රවශීලතා හිඟයක් දැකිය හැකියි. උදාහරණයක් ලෙස වත්මන් අධිපතිවරයා ධුරයේ වැඩ භාර ගත් 2022 අප්‍රේල් 7 දිනදී රුපියල් බිලියන 604.8ක නිත්‍ය ණය පහසුකම් ලබා ගෙන තිබුණු අතර රුපියල් බිලියන 109.0ක නිත්‍ය තැන්පතු පහසුකම් ලබාගෙන තිබුණා. මේ අනුව, රුපියල් බිලියන 500කට ආසන්න වෙළඳපොළ ද්‍රවශීලතා හිඟයක් ඒ වන විට තිබුණා. ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දැමීමෙන් පසුව එය ක්‍රමයෙන් අඩු වුනත්, නැති වුනේ නැහැ. රුපියල් බිලියන 200ක පමණ ද්‍රවශීලතා හිඟයක් පසුගිය සතිය වන විටද දැකගත හැකිව තිබුණා.

මේ වන විට මහ බැංකුව විසින් නිත්‍ය ණය පහසුකම් හා නිත්‍ය තැන්පතු පහසුකම් ලබා ගත හැකි වාර ගණන හා ප්‍රමාණය සීමා කර තිබෙනවා. මෙය සැලකිය හැක්කේ මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීමක් ලෙසයි. මෙහිදී කලින් දිගින් දිගටම දිනපතා මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම ප්‍රයෝජනයට ගත් බැංකු වලට අරමුදල් ප්‍රශ්නයකට මුහුණ දීමට සිදු වෙනවා. 

එයට පිළියමක් ලෙස මහ බැංකුව විසින් එම බැංකු වලට තරමක් දිගුකාලයකට ණය ලබා දී තිබෙනවා. මෙහිදී දිගුකාලයකට කියා කිවුවේ දෛනිකව ණය දීමට සාපේක්ෂවයි. එම කාලය මාසයක් දෙකක් වැනි කාලයක් මිසක් ගොඩක් දිගු කාලයක් නෙමෙයි. නිත්‍ය ණය පහසුකම් ලබා ගැනීමේදී මෙන් නොව, මෙම ණය සඳහා වෙළඳපොළ පොලී අනුපාතික ගෙවිය යුතුයි. 

මේ ක්‍රියාමාර්ගය නිසා අද වන විට වෙළඳපොළ ද්‍රවශීලතා හිඟය රුපියල් බිලියන 9ක සුළු හිඟයක් බවට පත් වී තිබෙනවා. ඊට සමාන්තරව පොලී අනුපාතික මත වූ පීඩනයද තරමක් අඩු වී තිබෙනවා. එහෙත්, මෙය මහ බැංකුව විසින් කර තිබෙන යම් ආකාරයක පරීක්ෂණාත්මක කටයුත්තක් ලෙස හැඳින්විය හැකියි. එයින් පොලී අනුපාතික මත සිදු විය හැකි බලපෑම ගැන නිශ්චිතව කියන්නට තවමත් කල් වැඩියි.

7 comments:

  1. කාලය වැඩි වෙනකොට පොලිය අඩු වෙන්නෙ ඇයි?
    අවුරුදු 10 සහ 30 බැඥුම්කර පොලී අනුපාත කොහොමද වෙනස් වෙලා තියෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. පවතින පොලී අනුපාතික දිගුකාලීන අපේක්ෂිත පොලී අනුපාතික වලට වඩා වැඩි වූ විට මෙසේ වෙනවා. මෙයින් පිළිබිඹු වන්නේ පොලී අනුපාතික ඉතා ඉක්මණින් (මාස 6ක් පමණ ඇතුළත) පහත වැටිය යුතුය යන වෙළඳපොළ අපේක්ෂාව.

      Delete
  2. මෙතන බැංකු පොලිය 30% වන විදිහට ණය අරගෙන නේද? අඩු දිනවල ණය වැඩිපුර අරගෙන වැඩි දිනවල ණය අඩුවෙන් අරගෙන.

    ReplyDelete
    Replies
    1. එක්දින ණය පොලී අනුපාතික තිබෙන්නේ 15% ආසන්න මට්ටමක.

      Delete
  3. ඉකොනො ලංකාවේ ආර්ථිකය කෙමෙන් කෙමෙන් අර්බුදයෙන් ගොඩ එන බවද ඔබ පවසන්නේ? ඔබ කියන්නේ උද්ධමනය සහ පොළී අනුපාතික යන දෙකම පහළ යන ගමන් රටේ ආර්ථිකය කෙමෙන් කෙමෙන් සාමාන්‍ය තත්ත්වයට පත් වන බව නේද?

    එනමුත් ආර්ථික සංවර්ධනය හා දේශපාලනය කියලා කියන්නේ විෂයයන් දෙකක් වුණත් විශාල රජයක් සහ දැඩි රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති යටතේ පාලනය වන ලංකාවේ සංදර්භය (context) තුළ මේ දෙකම ඉතාමත් බරපතල විදිහට එකිනෙක හා සම්බන්ධ වී තියෙනවා, මම හිතන්නේ චීනයේ වගේම ඉන්දියාවේ උනත් එහෙමයි. එහෙම නේද? නමුත් ඉන්දියාවේ තත්ත්වය දැන් ලංකාවේ තත්ත්වයට සාපේක්ෂ වශයෙන් වඩා නිදහස් ආර්ථික මොඩලයක් කතා economic freedom ඉහල මට්ටමකටයන බවත් පේනවා.

    ඇත්තටම ලංකාවේ ආර්ථිකයට අයර්ලන්තය වැනි රටවල් වල ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කළ නොහැකි ද?

    නමුත් ලංකාවේ දේශපාලනික කරළිය තුළ 2023 වසර ගැන සාකච්ඡා කරද්දී මූලික වශයෙන් පේන්නේ මේ 2023 අවුරුද්ද දේශපාලන වශයෙන් ඉතාමත්ම සංකීර්ණ වන අවුරුද්දක් බව, ලංකාවේ පාලන බලය හිමි ආණ්ඩුවේ කණ්ඩායම් හැර අන් හැමෝම මැතිවරණ ඉල්ලන අතර ප්‍රධාන මට්ටමක මැතිවරණයක් පැවැත්වූවොත් තත්වය මෙසේ වනු ඇති බවයි පේන්නේ;

    ආණ්ඩු බලය හිමි රජය මෙහෙයවන පොදුජන පෙරමුණ සහ එජාප සංදානය දිනුවොත් වැඩි සංදර්ශන නැතිව රට මේ ලෙසම කෙටි කාලීන වශයෙන් ඇමරිකානු ඉන්දීය ආධිපත්‍යය තහවුරු වෙමින් ලංකාව තුල පතෝල වැටකොළු ආකාරයට පවතිනු ඇත. නමුත් අධික බදු බර නිසා සහ උද්ධමනය වෙනත් ප්‍රශ්න දුබල කළමනාකරණය ආදී කාරණා නිසා ජනතාව කුපිත වී ආණ්ඩුවේ ජනප්‍රියතාවය ඉක්මනට ඉවර වනු ඇත.

    ආණ්ඩුව පැරදුනොත් රාජපක්ෂ කල්ලියේ පිරිස් එජාපය හැර දමා වෙන්වී ගොස් ටික කලක් නිහඬව සිට නැවතත් කෙමෙන් කෙමෙන් විපක්ෂයේ සිට හිස ඔසවා ලංකාවේ නැවතත් අරගලයක් ආරම්භ කිරීමට කටයුතු කරනු ඇත.

    සජබෙ දිනුවොත් මහජනතාව සජිත් ප්‍රේමදාස රට ගොඩ ගනී යන විශ්වාසයෙන් මාස කීපයක් බලා සිට එය එසේ නොවී මහා වියවුලක් වූ සඳ සජිත් ට අමු තිත්ත කුණුහරුප කියමින් පලු යන්න බැන වදිමින්, සජිත්ව දේශපාලණ අනාතයෙකු ලෙස නන්දසේනට අන්ත අසරණ විදියකට පන්නා දැමීමට බොහෝ දුරට ඉඩ ඇත.

    ඔහු පැරදුනොත්, මෙතරම් විපක්ශයට වාසි වන කලෙක මැතිවරණයක් දිනාගැනීමට හැකියාවක් නැතැයි චෝදනා කර එම පක්ෂයේ උන්නතිකාමී වෙනත් කණ්ඩායම් ඔහුව පක්ෂයේ නායකත්වයෙන් පන්නා දමනු ඇත!

    ජාජබ දිනුවොත් මහජනතාව අනුර කුමාර දිසානායක රට ගොඩදාන අන්දම කෙටි කලක් බලා සිට එය එසේ නොවූ කල ඔහුවද එලෙසම දේශපාලන අනාත මඩමට යවනු ඇත.

    පැරදුනොත්, මෙතරම් විපක්ශයට වාසි වන කලෙක මැතිවරණයක් දිනාගැනීමට හැකියාවක් නැතැයි චෝදනා කර බොහෝ දුරට අනුර වත් නායකත්වයෙන් පන්නා දමනු ඇත!

    මේ නිසා ලංකාවේ දේශපාලනය දෙස පිටින් දකින පරිදි මට නම් පැහැදිලි වශයෙන් කිව හැක්කේ මේ වසරේ ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ශ නායකයන් සියලු දෙනා "මග හිටියොත් තෝ නසී, ගෙදර ගියත් තෝ නසී" ක්‍රමයට කෙලවාගන්නා බව ය!

    අලුත් අංකුර දේශපාලන පක්ෂ වලට යම් තරමකින් හෝ අවශ්‍ය සරුපස ඉන් පසුව නිර්මාණය වනු ඇත. නමුත් ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්ති කෙසේ විය යුතුද යන්න පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද ඔබට?

    ReplyDelete
  4. බැංකු පද්ධතිය තුළ ද්‍රවශීලතා හිඟයක් ඇති වෙන්න බලපාන හේතු මොනවාද?
    බැංකු අන්තර් බැංකු වෙළෙඳපල ට නොගිහින් SLF/SDF වලට යොමු වෙලා තිබ්බේ ඇයි?
    මහ බැංකුව මේ ගත්ත පියවර එක්ක බැංකු පොළිය අඩු වෙන යාන්ත්‍රණය පැහැදිලි කරන්න පුලුවන්ද?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: