වෙබ් ලිපිනය:

Thursday, January 5, 2023

ඇමරිකාවේ බිත්තර මිල


මේ දවස් වල ඇමරිකාවේ බිත්තර මිල ගැන එක් පාඨකයෙකු විසින් විමසා තිබුණා. ඇත්තටම කියනවානම්, මේ දවස් වල ඇමරිකාවේ බිත්තර මිල ඉතිහාසයේ පැවති ඉහළම මිලක් කියා කියන්න පුළුවන්. පසුගිය මාසයේ ඇමරිකාවේ පාරිභෝගික මිල දර්ශකය තුළ වැඩිම ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබුණු අයිතමය වූයේ බිත්තරයි.

පසුගිය නොවැම්බර් මාසයේදී ඇමරිකාවේ ලොකු කිකිළි බිත්තර දුසිමක සාමාන්‍ය සිල්ලර මිල ඩොලර් 3.589ක් වුනා. ඩොලරයක මිල රුපියල් 363 සේ සැලකුවොත් ඇමරිකාවේ බිත්තරයක මිල රුපියල් 108.57ක් වෙනවා. 

ඇමරිකාවේ බිත්තර මිල පසුගිය දෙවසරක පමණ කාලය තුළ වේගයෙන් ඉහළ ගොස් තිබෙනවා. 2020 අගෝස්තු මාසයේදී බිත්තර දුසිමක සාමාන්‍ය මිල ඩොලර් 1.328ක් පමණයි. සංඛ්‍යාලේඛණ අනුව සාමාන්‍ය මිල එම අගයේ පැවති මේ කාලයේදී ඩොලරයකට අඩුවෙන් (ඩොලර් ශත 99කට) බිත්තර දුසිමක් මිල දී ගත හැකි වූ බව මට හොඳින්ම මතකයි. 

ඩොලරයක මිල රුපියල් 185 සේ සැලකූ විට 2020 අගෝස්තු මාසයේදී ඇමරිකාවේ ලොකු කිකිළි බිත්තරයක සාමාන්‍ය මිල රුපියල් 20.47ක්  වී තිබෙනවා. ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ දත්ත අනුව, 2020 අගෝස්තු අවසන් සතියේදී ලංකාවේ සාමාන්‍ය කිකිළි බිත්තරයක සිල්ලර මිල රුපියල් 22.98ක්. එය ඇමරිකාවේ සාමාන්‍ය මිලට වඩා මඳක් වැඩි එහෙත් ආසන්න මිලක්.

ගෙවුණු නොවැම්බර් මාසයේ අවසන් සතියේදී ලංකාවේ සාමාන්‍ය කිකිළි බිත්තරයක සිල්ලර මිල රුපියල් 50.50ක්. එම මිල ඇමරිකාවේ බිත්තරයක මිලෙන් බාගයකටත් වඩා අඩු මිලක්. ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ දත්ත අනුව, දෙසැම්බර් අවසාන සතියේදී බිත්තරයක සාමාන්‍ය මිල රුපියල් 64.55 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම සතියේදී කීල්ස් සුපිරි වෙළඳසැලකින් මා බිත්තර මිල දී ගත්තේ රුපියල් 68 බැගින්.

පසුගිය නොවැම්බර් මාසයේදී ඇමරිකාවේ කිකිළි බිත්තර නිෂ්පාදකයෙකුට බිත්තර දුසිමක් සඳහා ඩොලර් 3.34ක මිලක් ලැබුණා. 2020 මැදදී මෙම මිල පැවතුණේ ඩොලර් ශත 72කට වඩා පහළින්. බිත්තර දුසිමක් සඳහා ඩොලර් 3.34ක් කියන්නේ බිත්තරයක් රුපියල් 101ක් කියන එකයි.

ලෝකයේ වැඩියෙන්ම බිත්තර නිපදවන රට චීනයයි. දෙවෙනියට වැඩියෙන්ම බිත්තර නිපදවන්නේ ඇමරිකාවයි. මේ දෙරටම බිත්තර අපනයනය කරන රටවල් වුනත්, රට තුළ නිපදවන බිත්තර වැඩි වශයෙන්ම විකිණෙන්නේ රට තුළමයි. ලෝකයේ වැඩියෙන්ම බිත්තර අපනයනය කරන රටවල් වන්නේ පිළිවෙළින් නෙදර්ලන්තය, තුර්කිය සහ පෝලන්තයයි. ඇමරිකාව සිටින්නේ සිවුවන තැන.

ඇමරිකාව තුළ බිත්තර මිල විශාල ලෙස ඉහළ යාමට ප්‍රධාන හේතුව කුරුළු උණක් පැතිරී කිකිළියන් විශාල ලෙස මිය යාමයි. මෙවැනි හේතුවකින් නිෂ්පාදනය පහළ ගොස් සැපයුම අඩු වූ විට, ඉල්ලුම හා සැපයුම තුලනය වන තුරු මිල ඉහළ යනවා. 

ඇමරිකාවේ බිත්තර මිල විශාල ලෙස ඉහළ ගොස් තිබුණත්, ලෝකයේ තෙවන විශාලතම බිත්තර නිෂ්පාදකයා වන ඉන්දියාවේ මේ වන විට බිත්තරයක් විකිණෙන්නේ ඉන්දියානු රුපියල් 6ක පමණ මිලකටයි. එනම්, ශ්‍රී ලංකා රුපියල් 26.50ක පමණ මිලකටයි. 

3 comments:

  1. ආනයනය කරන නිසා දඅඩුවෙයි නේ මිල

    ReplyDelete
  2. නාදය ගොඩක් උස් කර
    ගාමින් කෙකර කර කර
    කිසි විට නොදා බිත්තර
    ඉන්නවානේ දනෝ මේ පුර!

    ReplyDelete
  3. 'ඇමරිකාවේ බිත්තර මිල විශාල ලෙස ඉහළ ගොස් තිබුණත්, ලෝකයේ තෙවන විශාලතම බිත්තර නිෂ්පාදකයා වන ඉන්දියාවේ මේ වන විට බිත්තරයක් විකිණෙන්නේ ඉන්දියානු රුපියල් 6ක පමණ මිලකටයි. එනම්, ශ්‍රී ලංකා රුපියල් 26.50ක පමණ මිලකටයි. '

    මේක නං නිවැරදි නැහැ. ඉන්දියාවේ බිත්තරයක් ඉන්දියන් රුපියල් 10-12 අතර වගේ තියෙන්නේ. ඉන්දියාවේ බිත්තර මිල සාමාන්‍ය වශයෙන් ලංකා රුපියල් 50 ට කිට්ටුයි.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: