වෙබ් ලිපිනය:

Monday, January 23, 2023

චීනයෙන් ලියුමක්...


ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ලබා ගැනීම සඳහා පනින්නට අවශ්‍ය අවසන් කඩුල්ල වන චීනයේ කැමැත්තද ඉතා ඉක්මණින් ලැබීමට නියමිත බව වාර්තා වෙනවා. ඇතැම් විට අදාළ ලිපිය මේ වන විටද නිකුත් වී අවසන්ව ඇති. චීනයේ මේ තීරණය නිසා ලංකාවට ඉතා ඉක්මණින් අරමුදලේ ණය ලැබෙයිද? එසේ නැත්නම් චීනයේ මේ කැමැත්ත ප්‍රායෝගිකව ඒ තරම් වැඩකට නැති ප්‍රදර්ශනාත්මක කටයුත්තක් පමණක්ද?

හරියටම දවස මා නොදන්නා නමුත් මේ සතිය තුළ පැරිස් සංසදය රැස්වීමට නියමිතයි. ඊට පෙර චීන ලිපිය ප්‍රකාශයට පත් වනු ඇතැයි සිතිය හැකියි. එම ලිපිය මත පදනම්ව අරමුදල විසින් ණය ලබා දෙනු ලැබීම කෙසේ වුවත්, කවර හෝ හේතුවක් නිසා සතිය තුළ මේ කටයුත්ත සිදු නොවුවහොත් මැතිවරණයට පෙර අරමුදලේ සහාය ලබා ගැනීමේ ආණ්ඩුවේ අපේක්ෂාවන් කඩ වෙනවා.

පැරිස් සංසදය සාමාන්‍යයෙන් මසකට වරක් රැස්වන නමුත් පෙබරවාරි හා අගෝස්තු මාස තුළ රැස් වන්නේ නැහැ. ඒ නිසා, මේ සතිය තුළ පැරිස් සංසදය චීන තීරණය පිළිනොගත හොත් මාර්තු මාසය දක්වා කිසිවක් කිසිවක් සිදු වන්නේ නැහැ. චීන තීරණය පැරිස් සංසදයට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පිළිගත හැකි වනු ඇත්ද?

සම්ප්‍රදායික ණය දෙන රටවල් සියල්ලම සිටින්නේ පැරිස් සංසදය තුළයි. ඒ වගේම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තුළ දේශපාලන බලය තිබෙන රටවල් සිටින්නේද පැරිස් සංසදය තුළයි. මේ තත්ත්වය තුළ පැරිස් සංසදයේ තීරණය හා අරමුදලේ තීරණය අතර තිබෙන්නේ ඉතා සමීප සම්බන්ධයක්. 

අරමුදලේ සහාය පතන අවස්ථාව වන විට ලංකාව තල්ලු කර දමනු ලැබ තිබුණේ සාමාන්‍යයෙන් අරමුදල විසින් යෝජනා කරන සාර්ව ආර්ථික වැඩ පිළිවෙළක් මගින් ස්ථායී කළ හැකි තත්ත්වයකට නෙමෙයි. වෙනත් විදිහකින් කිවුවොත්, අරමුදලේ සහාය ලබා ගැනීමෙන් පසුව වුවද සාමාන්‍ය පරිදි ණය ආපසු ගෙවා ගෙන යාමේ හැකියාවක් ඒ වන විට ලංකාව සතු වූයේ නැහැ. ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා යම් කාලයකට ණය ආපසු නොගෙවා සිටීම අත්‍යාවශ්‍ය කරුණක්ව පැවතුණා. 

අරමුදලේ සහාය ලබා දීමටනම් ණය ප්‍රතිව්‍යුහගත කර අරමුදලේ සහායෙන් ආර්ථිකය ස්ථාවර කළ හැකි තත්ත්වයක් ඇති කර ගැනීම අනිවාර්ය පූර්ව කොන්දේසියක් වුනා. මෙයට ඉඩ සලසමින් පැරිස් සංසදයේ රටවල් මූලික එකඟතාවයකට පැමිනුණා. වාර්තා වී ඇති පරිදි, මෙම එකඟතාවය අනුව ලංකාවට ණය ආපසු ගෙවීම ආරම්භ කිරීම සඳහා වසර දහයක පමා කාලයක් යෝජනා වී තිබුණු අතර ඉන් පසුව ණය කොටස් වශයෙන් ගෙවීම සඳහා තවත් වසර පහළොවක සහන කාලයක් ලබා දී තිබුණා. වසර විසිපහක් වැනි දිගු කාලයක් තුළ ආර්ථිකයේ අඩුපාඩු මකා ගෙන ණය ආපසු ගෙවීම කළ නොහැක්කක් නෙමෙයි. 

කෙසේ වුවද, පැරිස් සංසදයේ රටවලින් මෙවැනි සහනයක් ලැබෙන්නේ සංසදයට අයත් නොවන රටවලින්ද සමාන මට්ටමේ සහනයක් ලංකාවට ලැබෙන්නේනම් පමණයි. මෙම රටවල් අතර සිටි ප්‍රධානම ණය හිමියන් දෙදෙනා චීනය හා ඉන්දියාවයි.

පසුගිය සතියේදී ඉන්දියාවේ එකඟත්වය ලංකාවට ලැබුණා. මාධ්‍ය වාර්තා නිරීක්ෂණය කළ විට පැහැදිලි වන්නේ ඉන්දියාවේ එකඟත්වය රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමට ඉවහල් වන මට්ටමේ එකඟත්වයක් බවයි. එය පැරිස් සංසදයේ යෝජනාව හා සැසඳෙන මට්ටමේ එකක්ද නැත්නම් ඊට වඩා අඩු මට්ටමක එකක්ද යන්න පැහැදිලි නැතත් සැලකිය යුතු මට්ටමක සහනයක් බවට සැකයක් නැහැ.

ඉන්දියාවේ තීරණයත් සමඟ චීනය උණුසුම් පුටුවට පැමිණියා. පෙනෙන්නට ඇති පරිදි, දේශපාලනික හානිය අවම කර ගනිමින් චීනය විසින් ඉක්මන් ප්‍රතිචාරයක් දැක්වීමට යන නමුත් එම ප්‍රතිචාරය ලංකාවට කොපමණ ප්‍රයෝජනවත්ද යන්න පැහැදිලි නැහැ. නිල ප්‍රකාශ නොවුණත්, චීනය විසින් දෙවසරක ණය පමා කාලයක් යෝජනා කර ඇති බවයි වාර්තා වී තිබෙන්නේ.

චීනයෙන් ලැබෙන සහනය දෙවසරක ණය පමා කාලයක් පමණක්නම්, අනෙක් රටවලින් ඊට වඩා සහනයක් ලංකාවට ලැබෙන්නේ නැහැ. එවිට ඉතිරි වන ප්‍රශ්නය දෙවසරක පමාවකින් පමණක් ලංකාවේ ආර්ථිකය ස්ථායී කළ හැකිද යන්නයි. මෙය බොහෝ විට නොකළ හැක්කක් විය හැකියි. දෙවසරක ණය පමාවකින් පමණක් ආර්ථිකය ස්ථායී කළ නොහැකි බව පැරිස් සංසදයේ හෝ අරමුදලේ නිගමනය වුවහොත් අපේක්ෂා කළ පරිදි අරමුදලේ සහාය ඉක්මණින්ම නොලැබෙන්න පුළුවන්. 

චීනය කරන්න හදන්නේ බටහිර රටවලට බෝලය පාස් කිරීමක්ද? 

17 comments:

  1. Yesterday’s Sunday Times of Sri Lanka front page lead confirmed China’s position which is a 2 year moratorium. I agree with your final conclusion, I.e. passing the ball to the western bloc of countries.

    ReplyDelete
  2. ණය ගත්තා නං ගෙවන්න ඉකොනෝ.

    ReplyDelete
  3. අවුරුදු දෙක බැක් ඩේට් කරලා ගහන්ඩත් පුළුවන් නේහ්? ඡන්දයක් තියනවා නේ.

    ReplyDelete
  4. ඉකොනෝ මහත්තයට චීන බාසාව පුලුවන්ද

    ReplyDelete
  5. හත් පට්ටයක් තිබ්බත් කෝඳුරු තෛලේ
    නොකෙරෙන වෙදකමට මදි වෙනවාලු බොලේ
    පාස් කරද්දී එකෙකා අත බෝලේ
    ලෙඩා අඩි හයක් යටටත් යාවි බොලේ

    ReplyDelete
  6. China has provided a 5-year debt moratorium compared to 10 year stand of Paris club. However, it is not too bad as expected (2 years). Econo, do you think that 5 year moratorium is sufficient for Sri Lanka to stand up economically. Further, since there is no amortization as per China's plan, does this mean that there would be no hair cut in the domestic market?

    ReplyDelete
    Replies
    1. The 10 year moratorium proposed by Paris club well aligned with the repayment period of the EFF. Any shorter period means a higher burden before the EFF is fully settled. The first issue is what will the IMF's take on this.

      Delete
    2. The Chinese letter was faux. Sorry for the wrong information.

      Delete
  7. චීනයෙන් ලියුමක් ඇවිල්ලා
    මලක් පිපුන වගේ
    මොකක් කියලා ද දන්නෑ
    හිතට බයයි වගේ

    ReplyDelete
  8. ඉකොනො ඊට වඩා තවත් බරපතල කාරණයක් තියෙනවා දේශීය මූල්‍ය පරිපාලනය සම්බන්ධයෙන්. ලංකාවේ ආණ්ඩුවේ දැනට ඇති තීරණය තව දුරටත් මුදල් නිකුත් නොකර දේශීය ණය සහ බදු ආදායම් වැඩි කර ගෙන රජයේ වියදම් එයින් කළමනාකරණය කරනවා කියන එක නේ

    නමුත් ලංකාවේ දැන් එම තත්ත්වය යටතේ රජයේ මූල්‍ය අංශ වඩා අනතුරුදායක තත්වයක් තියෙනවා නේද මොකද රාජ්‍ය සේවක වැටුප් සඳහා වැය වන රුපියල් බිලියන 93ක මුදලින් රුපියල් බිලියන 87ක් දැනටමත් වැටුප් ගෙවීම සඳහා වෙන් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මාධ්‍ය මගින් පැවසූ නමුත් ඒ අනුව රාජ්‍ය සේවක වැටපු ජනවාරි 25 වැනි දා නියමිත පරිදි ගෙවීමට හැකි බව රජයේ මතයයි

    රජයේ විධායක නිලධාරීන්ගේ වැටුප ද එදිනම හෝ දිනක ප්‍රමාදයක් සහිතව ලබා දීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

    ඒත් අනිත් පැත්තෙන් බලද්දී ජනවාරි මාසයේ රජයේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 145ක් වන අතර ලංකාවේ බදු ප්‍රතිශත වැඩි කිරීම නිසා පරිභෝජනය සැලකිය යුතු මට්ටමක ප්‍රමාණයක් ලෙස අඩු වීම හේතුවෙන් බදු ආදායම් එකතු කරලා රජයට ලබා දෙන රේගුව සහ සුරා බදු දෙපාර්තමේන්තුව දැනටමත් සිය මාසික ඉලක්ක ගත ආදායම රුපියල් බිලියන 10කින් පමණ අඩු වනු ඇතැයි පවසා තිබේ.

    මේ 2023 වසරේ ජනවාරි මස රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 625ක් ලෙස ගණන් බලා ඇති අතර නියමිත ආදායම හිමි වුවත් රුපියල් බිලියන 480ක් හිගයක් ඇති බව අමාත්‍යවරයා පැවසූ අතර මෙම හිඟය පියවා ගැනීමට ඔබ යෝජනා කරන්නේ කුමන වැඩ පිළිවෙළක් ද? මේ ගැන පැහැදිලි කළ හැකි ද ඉකොනොමැට්ටා?

    ReplyDelete
    Replies
    1. මම යෝජනා කරන්න දෙයක් නැහැනේ. ආදායම් වියදම් හිඟය පියවා ගන්නා ආකාරය පාර්ලිමේන්තුවට යෝජනා කර සම්මත කරගෙන තිබෙනවා.

      Delete
  9. චීන ජාතික ඉංජිනේරු මහත්තයා

    ReplyDelete
  10. චීනා හරි නරකයි නේද ඉකොනෝ සර්. මම කඩවත නිකාඩෝ එක ලග ඉද්දි චීනෙක් මගේ පස්ස මිරිකුවා

    ReplyDelete
  11. උද්ධමනය වැරැදි ද? සටහනේ ප්‍රශ්නයක් දැම්මා, බලලා පිලිතුරක් සැපයන්න

    ReplyDelete
  12. ඉකොනොමැට්ටා

    මේ පෝස්ට් එක බලන්න

    https://www.facebook.com/106654727476504/posts/pfbid02tB6H4nbZWQ28ggbnP12VRvGK5BoDavw2NAD7MK2Hvz7v4jZ2SZ3zCC5C1HkwE5CDl/?mibextid=Nif5oz

    ජවිපෙ ජාතික ජන බලවේගයේ කට්ටිය වගේම සමගි ජන බලවේගයේ කට්ටිය ඒ දවස්වල බදු අඩු කරලා කියලා නන්දසේන ගෝතයට බැන්නානේ

    දැන් රනිල් රාජපක්ෂ බදු වැඩි කරලා කියලා අම්මා මෝඩ නැතුව මේ වගේ බනිනවා

    මේ පෝස්ට් එකෙන් සබරගමුව විශ්ව විද්‍යාලයේ ආචාර්ය වරයෙක් පඩියෙන් රනිල්ලා අධික ලෙස වැඩි කරපු බදු මුදල් කපාගෙන ඊට පස්සෙ ගත්ත ණය වාරික ටික කැපිලා ඉවර වුණාම අතට එන්නේ රුපියල් 14,000 යි කියලා මැරෙන්න හදනවා

    මේකේ කමෙන්ට් කෝමද?

    ඇත්තටම ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය උනේ පිටරටින් ණය ගැනීම මෙච්චර කල් ලංකාවේ දේසපාලුවන්ගේ ක්‍රමය උනේ ණය අරගන් කන්න දියන් කියන දේ

    මිනිස්සු දේසපාලුවන්ටම බනිනවා රට ණය කරනවා කියලා නමුත් මේ වගේ දේවල් වලින් පේන්නේ ඒ කියන උනුත් ඒ වගේම අම්බානක ණය වෙලා තමයි මෙච්චර කල් රඟලා තියෙන්නේ කියල නේද?

    ReplyDelete
  13. ඇමෙරිකාවේ පාසලක බල්බ 7000ක් නිවන්න බෑ

    ඇමෙරිකා එක්සත් ජනපදයේ මිනේචොග් උසස් පාසලේ මාස 18 ක කාලයක සිට පැය 24 පුරා දැල්වුණු විදුලි බල්බ 7000 ලබන මාසයේ නිවා දැමීමට හැකියාව ලැබෙනු ඇතැයි එම පාසලේ බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

    මිනේචොග් උසස් පාසලේ මාස 18 ක කාලයක සිට විදුලි බල්බ 7000ක් පැය24 පුරා දැල්වෙන බවත් එසේ සිදුවන්නේ ප්‍රධාන පරිගණක පද්ධතියේ දෝෂයක් නිසාවෙන් බැවින් එම විදුලි බල්බ 7000 මේ දක්වා නිවා දැමීමට කිසිවකුටත් හැකියාවක් නොමැති බවත් පාසල් බලධාරීන් පවසා ඇත.

    මේ හේතුවෙන් බදු ගෙවන්නන්ට විශාල පිරිවැයක් දැරීමට සිදුව ඇති බව තමන් දන්නා බවත් ගැටලුව විසඳීම සඳහා ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගත බවත් එම පාසලේ මූල්‍ය නිලධාරී ඇරොන් ඕස්බෝර්න් පවසා ඇත.

    ප්‍රධාන පරිගණක පද්ධතිය සවිකර සමාගමේ හිමිකාරීත්වය කිහිපවතාවක්ම වෙනස් වීම හේතුවෙන් සහ අමතර කොටස් නොමැති වීම හේතුවෙන් පරිගණක පද්ධතිය යථා තත්ත්වයට පත්කර ගැනීමට නොහැකි වූ බව පාසල් බලධාරීන් පෙන්වා දී තිබේ.

    ඇතැම් ගුරුවරුන් පාසල අවසානයේ විදුලි බල්බ ගලවා තබා විදුලි බිල ඉතුරු කර ගැනීමට උත්සාහ දැරූ බවද පාසල් බලධාරීන් ප්‍රකාශ කර ඇත.

    අවසානයේදී පරිගණක පද්ධතිය අලුත්වැඩියා කිරීම සඳහා අවශ්‍ය අමතර කොටස් ලැබී ඇති බවත් ලබන මාසයේ පරිගණක පද්ධතිය අලුත්වැඩියා කිරීම සඳහා දින යොදාගෙන ඇති බවත් පාසල් බලධාරීන් පෙන්වා දී තිබේ.

    ReplyDelete
  14. ඉකොනොමැට්ටා මේ දවස් වල ලංකාවේ රුපියල් 45,000 කට වැඩි මාසික ආදායමක් ලබන සියලු දෙනාගෙන් ආදායම් බද්දක් අය කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවේ රජයට දැඩි කොන්දේසියක් පැනවීමට සූදානම් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට් මාධ්‍ය හමුවේ දී ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මාධ්‍ය වෙත පැවසූ කතාව සත්‍ය විය හැකි ද?

    තව දුරටත් ඒ ගැන පැහැදිලි කරමින් ජනමාධ්‍ය හරහා ඔහු පෙන්වා දෙන්නේ එනමුදු ඒ ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව ලංකාවේ රජයේ නියෝජිතයින් එම ප්‍රමාණය රුපියල් ලක්ෂය දක්වා ආදායම් බද්දෙන් නිදහස් කර ගැනීමට හැකි වූ බවද ඇමතිවරයා මාධ්‍ය මගින් පෙන්වා දුන්නා.

    එයද නොකළහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම් ගත වීම කිසිසේත්ම නොහැකි වනු ඇති බවත් පැවසූ ඔහු එසේ වුවහොත් රට සති දෙකකට වඩා පවත්වාගෙන යා නොහැකි වනු ඇතැයිද කියා සිටියා.

    ලංකාවේ ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති ආචාර්ය බන්දුල ගුණවර්ධන සූරින් මෙම අදහස් පළ කළා ඔබ දකින්නට ඇති

    "//ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සාකච්ඡාවලදී ලංකාවට නියෝග කර තියෙන්නේ හැකි ඉක්මනින් රුපියල් 45,000කට වඩා වැඩි මාසික ආදායමක් ලබන ලංකාවේ සියලුදෙනාගෙන් බදු වශයෙන් අයකරන්න ඕන කියලා. දීර්ඝ ලෙස සාකච්ඡා කරලා මේක කොහොමත්ම කරන්න බෑ කියලා තර්ක විතර්ක ඉදිරිපත් කරලා කරුණු සහිතව විස්තර ඉදිරිපත් කරලා තමයි හරිම අමාරුවෙන් එම අගය රුපියල් ලක්ෂය දක්වා බද්දෙන් නිදහස් කරලා ලබාගෙන තිබෙන්නේ."

    "ඒ නිසා අපිට මේ බදු අඩුකරලා බදු වෙනස් කළොත් අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මේ මුදල ලබාගන්න බැරිවෙනවා. මේ ගිවිසුම නැතිවෙනවා. එහෙම වුනොත් අපේ රට සති දෙකකට වඩා පවත්වාගෙන යන්න පුළුවන් ක්‍රමය කවුරුහරි කියන්න පුළුවන් නම්. අපි ඒ එකකට කන්දෙන්න සූදානම්. මොකද හේතුව රටට අවශ්‍ය ඛනිජ තෙල්, පොහොර, රසායනික ද්‍රව්‍ය බෙහෙත්, යන්ත්‍ර සූත්‍ර අමුද්‍රව්‍ය අපි ගෙන්වන්න ඕන. ඉතින් මේවා පිටරටින් ආනයනය කරන්න නම් ආනයන හැකියාවක් තියෙන්න ඕන. ඒකට ප්‍රමාණවත් සංචිතයක් තියෙන්න ඕන. ඒ සඳහා ලෝකයේ පිළිගත්ත සූත්‍රයක් තියෙනවා. දළ විදේශ වත්කම්වල ආනයන ශක්‍යතාවය. දළ විදේශ වත්කම්වලින් මාස කිහිපයක ආනයන වියදම් පුරවගන්න පුළුවන් ද කියලා දර්ශකයක් තියෙනවා. එතකොට අඩුගානේ මාස තුනකවත් ආනයන වියදම් පියවා ගන්න හැකියාවක් විදේශ වත්කම් පැත්තෙන් තියෙන්න ඕන."

    "අපිට ඒ හැකියාව දැන් නෑ. ඒ නිසා තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මැදිහත් වෙලා තියෙන්නේ ව්‍යුහගත ගැලපුමක් සිද්ධකිරීම සඳහා."

    "ඉතින් ඒ දේ සිද්ධ කරනකොට අපිට නියමයන් කිහිපයක් පනවලා තියෙනවා. අනාගත කාලයේදී ණය ගෙවීමේ ශක්තිය ඇතිවෙලා ආර්ථිකය නියම පීල්ලට ගන්න නම් මේ මේ දේවල් කරන්න ඕන කියලා, අපි අසාධ්‍ය තත්ත්වයේ මරණාසන්න තත්ත්වයේ ඉන්න පුද්ගලයෙක් නම් එතකොට සමහර එන්නත් දෙනවා අපිට දරාගෙන ඉන්න බෑ. එය දරාගෙන ඉන්න බැරිවුණත් අනාගත ජීවිත පැවැත්ම සඳහා එය දරාගෙන ඉන්න සිද්ධවෙනවා, එවැනි තත්ත්වයකට තමයි මේ ආර්ථික දේහය ඔත්පල වෙලා මරණාසන්න වෙලා ගොඩයන්න බැරි තත්ත්වයෙන් තියෙන්නේ. ඉතින් මේ තිත්ත බෙහෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගිල්ලුවා කියලා නොගිල ඉන්න බෑ. මොකද වෙන විකල්පයක් අපිට නැති නිසා"

    මේ ගැන ඉකොනොමැට්ටා හිතන්නේ මොනවද? මේ ගැන පැහැදිලි කළ හැකි ද? බදු වැඩි කිරීමෙන් රජයට දැඩි බලපෑමක් එල්ල කරනවා විපක්ෂ කණ්ඩායම් සහ වෘත්තීය සමිති ආදී වශයෙන් විශාල පිරිසක් විසින්. ඒ නිසා රජයට මෙම තීරණය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි ද? මට නම් ෂුවර් නෑ මේ කතාව ඇත්තටම ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි කියලා.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: