වෙබ් ලිපිනය:

Wednesday, March 15, 2023

2022 ආර්ථික සංකෝචනය


ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් අද ප්‍රකාශයට පත් කර ඇති ජාතික ගිණුම් ඇස්තමේන්තු අනුව ගෙවුණු 2022 වසර තුළ ලංකාවේ ආර්ථිකය 7.8%කින් හැකිළී තිබෙනවා. කෘෂිකාර්මික අංශයේ හැකිලීම 4.6%ක්ද, කාර්මික අංශයේ හැකිලීම 16.0%ක්ද වන අතර සේවා අංශය 2.0කින් හැකිළී තිබෙනවා. මේ අනුව, ආර්ථිකයේ ප්‍රමාණය මේ වන විට තිබෙන්නේ 2016දී පැවති මට්ටමට වඩා මඳක් පහළින් හා 2015 පැවති මට්ටමට ඉහළින්.

වසර තුළ නාමික දළ දේශීය නිෂ්පාදිතය 37.2%කින් ඉහළ ගොස් ඇතත්, එම ඉහළ යාමට ප්‍රධාන වශයෙන්ම හේතු වී තිබෙන්නේ 48.8%කින් මිල මට්ටම ඉහළ යාමයි. මිල මට්ටම ඉහළ යාම නිසා ඒක පුද්ගල ආදායම ප්‍රථම වරට රුපියල් මිලියනය ඉක්මවමින්, රුපියල් 1,060,654 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එහෙත්, වසර තුළ රුපියල විශාල ලෙස අවප්‍රමාණය වීම නිසා මෙය සමාන වන්නේ ඇමරිකන් ඩොලර් 3,268ක ඒක පුද්ගල ආදායමකටයි. මෙය 2013 වසරේදී ලංකාවේ ඒක පුද්ගල ආදායම වූ ඇමරිකන් ඩොලර් 3,280ට වඩා මදක් අඩු මට්ටමක්.

මෑතකදී ෆිච් සොලියුෂන්ස් ආයතනයේ වාර්තාවක 2022දී ලංකාවේ ආර්ථිකය 9.2%කින් හැකිලෙනු ඇති බවත්, 2023දී 3.0%කින් ඉහළ යන බවත් වාර්තා කර තිබුණා. ඉහත සංඛ්‍යාලේඛණ අනුව පෙනී යන්නේ ඔවුන්ගේ එම ඇස්තමේන්තු නිවැරදි නොවන බවයි. වසර තුළ ආර්ථිකය හැකිළී තිබෙන්නේ 7.8%කින් පමණයි. මේ හේතුව නිසාම 2023 වසර සම්බන්ධව ෆිච් සොලියුෂන්ස් ආයතනයේ පුරෝකථනයද නිවැරදි නොවීමට ඉඩකඩ වැඩියි.

මූඩීස් ආයතනය විසින් මෑතකදී ඇස්තමේන්තු කර තිබුණේ 2022දී 8.0%කින්ද, නැවත 2023දී 3.0%කින්ද ආර්ථිකය හැකිලෙනු ඇති බවයි. මෙම ඇස්තමේන්තුව ඉහත ෆිච් සොලියුෂන්ස් ඇස්තමේන්තුවට වඩා නිවැරදි විය හැකියි. බොහෝ දුරට, ලංකාවේ ආර්ථිකය නැවත වර්ධනය විය හැක්කේ 2024 වසරේදීයි.


4 comments:

  1. ඔබතුමා ශ්‍රී ලංකාවට පැමිණ ආර්ථිකය සම්බන්ධ ඉහල තනතුරක් භාර නොගන්නේ ඇයි ?

    ReplyDelete
    Replies
    1. එහෙම අවශ්‍යතාවයක් නැහැනේ, ඇනෝ. තනතුරු භාර ගන්න කැමති අය ලංකාවේ ඕනෑ තරම් ඉන්නවා. ඒ අතර, එම තනතුරු දැරීමට සුදුසු අයත් සැලකිය යුතු ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේම ලංකාවට ඇවිත් ඉහළ තනතුරක් භාර ගන්නවාට වඩා කාලය යෙදවිය හැකි වඩා ඵලදායී දේවල් තිබෙනවානේ.

      Delete
  2. //මෙය 2013 වසරේදී ලංකාවේ ඒක පුද්ගල ආදායම වූ ඇමරිකන් ඩොලර් 3,280ට වඩා මදක් අඩු මට්ටමක්//
    //අතර සේවා අංශය 2.0කින් හැකිළී තිබෙනවා. මේ අනුව, ආර්ථිකයේ ප්‍රමාණය මේ වන විට තිබෙන්නේ 2016දී පැවති මට්ටමට වඩා මඳක් පහළින් හා 2015 පැවති මට්ටමට ඉහළින්.//
    මේ දෙක වෙනස් වෙන්නේ ඇයි? ආර්ථිකය 2013 මට්ටමට ගිහින් කියලත් කියන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. ඩොලර් එක හැම විටම "නියම මට්ටමේ" නොපවතින නිසා පළමු කරුණ නිවැරදි නැහැ. ඒක පුද්ගල ආදායම ඩොලර් වලින් බැලූ විට සිදුවන්නේ විකෘතියක්. මේ ගැන විස්තරාත්මක ලිපි කිහිපයක්ම කලින් ලියා තිබෙනවා.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: