වෙබ් ලිපිනය:

Monday, March 13, 2023

රුපියල් 387කට බැංකුවක් විකිණෙයි!


මේ වෙද්දී ඩොලරයක මිල රුපියල් 320 ආසන්න මට්ටමක ස්ථාවර වී තිබෙනවා. එසේ නැත්නම් ස්ථාවර කරනු ලැබ තිබෙනවා. අනෙකුත් මුදල් ඒකක වල මිල ඩොලරයක මිලට සාපේක්ෂව තීරණය වෙමින් තිබෙනවා. අද (මාර්තු 13) ලංකාවේ අන්තර්බැංකු එතැන් වෙළඳපොළේ බ්‍රිතාන්‍ය පවුමක සාමාන්‍ය මිල රුපියල් 386.88ක්. 

පසුගිය සිකුරාදා දින ඇමරිකාවේ නියාමකයින් විසින් පවරා ගනු ලැබූ සිලිකන් වැලි බැංකුව ගැන පෙර සටහනෙහි ලිවුවා. මේ වන විට එම බැංකුවේ සියළුම පාරිභෝගිකයින්ගේ තැන්පතු මුදල් ආපසු ගෙවන බව ෆෙඩරල් තැන්පතු රක්ෂණ සමාගම විසින් තහවුරු කර තිබෙනවා. ඩොලර් 250,000 නොඉක්මවන තැන්පතු වහාම ලබා ගත හැකියි. වඩා විශාල තැන්පතු තිබෙන අයට එයින් යම් ප්‍රතිශතයක් දැන්ම ආපසු ලබා ගත හැකි අතර ඉතිරි තැන්පතු වෙනුවෙන් වගකීම් සහතිකයක් ලැබෙනවා. බැංකුවේ වත්කම් ඈවර කිරීමෙන් පසුව එම සහතික මුදල් කළ හැකියි. 

මෙසේ සිලිකන් වැලි බැංකුවේ පාරිභෝගිකයන්ගේ වත්කම් ආපසු ගෙවීම සඳහා බදු මුදල් වැය කෙරෙන්නේ නැහැ. එම මුදල් වලින් වැඩි කොටසක් අදාළ බැංකුවේම ඉතිරිව ඇති ද්‍රවශීල වත්කම් වලින් හා ද්‍රවශීල නොවන වත්කම් විකිණීම මගින් පියවා ගැනෙනු ඇති අතර ඉතිරි කොටස ආපසු ගෙවන්නේ ෆෙඩරල් තැන්පතු රක්ෂණ සමාගමේ අරමුදල් වලින්. මෙම අරමුදලට මුදල් ලැබෙන්නේ සාමාජික වාණිජ බැංකු විසින් ගෙවන රක්ෂණ වාරික මුදල් වලිනුයි. 

ඇමරිකාවේ කැලිෆෝනියා හා මැසචුසෙට්ස් ප්‍රාන්ත වල පමණක් ව්‍යාපාරික කටයුතු සිදු කළ සිලිකන් වැලි බැංකුවෙහි ශාඛාවක් එංගලන්තයේද තිබුණා. ලන්ඩන් නුවර ෆින්ස්බරි චතුරස්‍රයේ තිබුණු එම ශාඛාව සහ සිලිකන් වැලි බැංකුව විසින් එංගලන්තය තුළ සිදු කළ ව්‍යාපාරික කටයුතු මේ වන විට HSBC බැංකුව විසින් මිල දී ගෙන තිබෙනවා. එසේ මිල දී ගෙන තිබෙන්නේ බ්‍රිතාන්‍ය පවුමක මුදලකටයි. එනම් රුපියල් 387ක පමණ මුදලකට. 

බංකොලොත් වීමට ආසන්න ආයතන ලොකු ගණන් වලට විකුණන්න බැහැ. බංකොලොත් වූ පසුවනම් කීයටවත් විකුණන්න බැහැ. ව්‍යාපාරික ආයතනයක් විකුණා දැමිය හැක්කේ අවම වශයෙන් එහි බැරකම් ඉක්මවන වත්කම් ඇත්නම් පමණයි. 

ඇමරිකාවේ බැංකුවක් අවම වශයෙන් එහි බැරකම් වලට වඩා 5%ක වත්කම් පවත්වා ගත යුතුයි. වාණිජ බැංකුවක වත්කම් හා බැරකම් හා අදාළව තවත් මෙවැනි අවම අවශ්‍යතා කිහිපයක්ම තිබෙනවා. මෙම අනුපාතය මීට වඩා පහළ වැටුණොත් නියාමකයින් විසින් වත්කම් වැඩි කර ගැනීම සඳහා යම් සීමිත කාලයක් ලබා දෙනවා. එම කාලය තුළ අවශ්‍ය දේ ඉටු නොවී ඉහත සීමාව 3% දක්වා පහත වැටුනොත් පාරිභෝගිකයින් කලබල වීමට පෙර අදාළ බැංකුව වෙනත් බැංකුවකට විකිණීම සඳහා ඉඩකඩ සලසා දෙනවා. එය කළ නොහැකි වුවහොත් බැංකුවේ වත්කම් පවරාගෙන එම වත්කම් ඈවර කිරීම මගින් එහි බැරකම් පියවා බැංකුව වසා දමනවා. 

සිලිකන් වැලි බැංකුව සතුව වත්කම් වල අඩුවක් තිබුණේ නැහැ. අවශ්‍ය අවම නියාමන අනුපාත දෙගුණයකින් පමණ ඉක්මවන වත්කම් එම බැංකුව සතුව තිබුණා. එහෙත් එම වත්කම් අතර ප්‍රමාණවත් ද්‍රවශීල වත්කම් තිබුණේ නැහැ. 2022 වසර අවසානයේදී සමස්තයක් ලෙස ඇමරිකාවේ වාණිජ බැංකු වල වත්කම් වලින් 13.8%ක් මුදල් හෝ මුදල් වලට සමාන වත්කම් වුවත් සිලිකන් වැලි බැංකුවෙහි එම අනුපාතය පැවතුණේ 6.5% මට්ටමේ.

සිලිකන් වැලි බැංකුවෙහි වත්කම් වලින් 57%ක්ම තිබුනේ සුරැකුම්පත් ආයෝජන ලෙසයි. එයින්ද විශාල කොටසක් දිගුකාලීන ආයෝජන. ඇමරිකාවේ පැවති ඉහළ උද්ධමනය පාලනය කිරීම සඳහා ෆෙඩරල් සංචිත බැංකුව විසින් පසුගිය වසරේ මුල සිට ඉතා කෙටි කාලයක් තුළ පොලී අනුපාතික විශාල ලෙස ඉහළ දැම්මා. මෙහි ප්‍රතිඵලයක් ලෙස වසරකට ආසන්න කාලයක් තුළ වසර-2 බැඳුම්කර පොලිය 1% සිට 5% දක්වාත්, වසර-30 බැඳුම්කර පොලිය 2% සිට 4% දක්වාත් (ආසන්න වශයෙන්) ඉහළ ගියා. මේ මට්ටමේ පොලී අනුපාතික ඉහළ යාමකදී වසරකින් කල් පිරෙන වසර-2 බැඳුම්කරයක වෙළඳපොළ මිල 4%කින් පමණත්, වසර-29කින් කල් පිරෙන වසර-30 බැඳුම්කරයක මිල 32%කින් පමණත් පහළ යනවා.

කෙසේ වුවද, ඉහත පරිදි බැඳුම්කර වල වෙළඳපොළ මිල පහළ යාම ඒ නිසාම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මෙම බැඳුම්කර කල් පිරෙන තුරු තබා ගතහොත් මුලින් අපේක්ෂා කළ මුදලම ලැබෙනවා. පාඩුවක් වෙන්නේ කලින් විකුණන්නට සිදු වුවහොත්. 

ෆෙඩරල් සංචිත බැංකුව විසින් ලබන සතියේදී පොලී අනුපාතික තවත් ඉහළ යවන්නට අපේක්ෂා කරන බව කලින්ම දැනුම් දුන්නා. මෙහි ප්‍රතිඵලය බැඳුම්කර මිල තවත් පහළ යාමයි. දිගුකාලීන බැඳුම්කර හා අදාළව මෙසේ මිල පහත වැටීමේ සංවේදීතාව ඉතා විශාලයි. පොලී අනුපාතික වල සිදු වන පොඩි වැඩිවීමකින් වෙළඳපොළ මිල විශාල ලෙස පහත වැටෙනවා. මෙම අවදානම හමුවේ දිගුකාලීන බැඳුම්කර වලින් කොටසක් විකුණා සිදු විය හැකි පාඩුව අවම කර ගැනීමට සිලිකන් වැලි බැංකුව කටයුතු කළා. ඒ අනුව, එම බැංකුව විසින් ඩොලර් බිලියන 21ක බැඳුම්කර විකුණා දමනු ලැබූ අතර එයින් ඩොලර් බිලියන 1.8ක අලාභයක් එම බැංකුවට සිදු වුනා. 

වසර මුලදී සිලිකන් වැලි බැංකුව සතුව, සමුච්ඡිත ලාබද ඇතුළුව, ඩොලර් බිලියන 16 ඉක්මවන කොටස් ප්‍රාග්ධනයක් තිබුණා. ඒ කියන්නේ එහි බැරකම් වලට වඩා ඩොලර් බිලියන 16ක වත්කම් තිබුණා. ඒ නිසා, ඩොලර් බිලියන 1.8ක අලාභයකින් එම බැංකුව බංකොලොත් වීමේ හැකියාවක් නොතිබුණත්, කොටස් ප්‍රාග්ධනය ඉහළ දමා ගැනීම සඳහා ඩොලර් බිලියන 1.25ක කොටස් අලුතින් නිකුත් කිරීමට එම බැංකුව පෙළඹුණා. මේ හරහා බැංකුවේ මූල්‍ය ශක්තිය වඩා යහපත් කරගෙන ඒ බව සිය පාරිභෝගිකයින්ට හා නියාමකයින්ට පෙන්වීමට සිලිකන් වැලි බැංකුවේ අයිතිකරුවන් අපේක්ෂා කළත් මේ නිසා සිදු වුනේ නොසිතූ අකරතැබ්බයක්. 

අලුතෙන් කොටස් නිකුත් කිරීමට පෙළඹීම බොහෝ දෙනෙකු දැක්කේ බැංකුවේ මූල්‍ය තත්ත්වය අස්ථායී වීමක් ලෙසයි. මේ නිසා, එක පැත්තකින් බැංකුවේ කොටස්හිමියන් තමන්ගේ කොටස් හිමිකම් හැකි ඉක්මණින් විකුණා දමන්නට පෙළඹුණා. කොටස් මිල වේගයෙන් කඩා වැටුණා. අනෙක් පැත්තෙන් තැන්පතුකරුවන් ඉතා කෙටි කලක් තුළ ඔවුන්ගේ තැන්පතු ආපසු ලබා ගන්නට පෙළඹුණා. කෙසේ වුවත්, නියාමකයින් ඉතා ඉක්මණින් ක්‍රියාත්මක වී බැංකුවෙහි වත්කම් පවරා ගෙන තත්ත්වය මැනවින් කළමනාකරණය කළා. 

සිලිකන් වැලි බැංකුවෙහි ඇමරිකාවේ ව්‍යාපාරික කටයුතු වෙනත් බැංකුවකට පැවරීම සඳහා ගත් උත්සාහයන් මෙතෙක් සාර්ථක වී නැහැ. දැනට මෙම බැංකුව ෆෙඩරල් රක්ෂණ සමාගමට අයිති ආයතනයක් ලෙස ක්‍රියාත්මක වෙනවා. කෙසේ වුවත්, එංගලන්ත බැංකුවේ සහ එංගලන්ත රජයේ මැදිහත්වීම හා උදවුව මත සිලිකන් වැලි බැංකුවෙහි එංගලන්තයේ ව්‍යාපාරික කටයුතු පවුමක මුදලකට HSBC බැංකුවට විකුණා තිබෙනවා. 

ලංකාවේ තෙල් සංස්ථාව හා ශ්‍රීලන්කන් ගුවන් සේවය වැනි ආයතන දැනටමත් බංකොලොත් වී අවසන් ආයතනයි. එම ආයතන වල වත්කම් වලට වඩා බැරකම් වැඩි නිසා එක රුපියලකට හෝ මෙම ආයතන විකුණා දැමීමේ හැකියාවක් නැහැ. එසේ විකුණන්නේනම් එය කළ හැක්කේ බැරකම් වල බර රජයට පවරා ගැනීමෙන් පසුව, එනම් බදු ගෙවන්නන් මත පැටවීමෙන් පසුව, පමණයි. 

9 comments:

  1. පාඩුව දමා හැම තිස්සෙම වැසියො පිට
    ලාභය අර ගනිති ලොකු අය සෑම විට
    විකුණනව නං විකුණන්නෙත් කොමිස් පිට
    එහෙමය වෙන්නෙ හැමදාමත් අපේ රට

    ReplyDelete
  2. Comments remove කරන්නෙ ඇයි ?

    ReplyDelete
    Replies
    1. වලගම්බාMarch 14, 2023 at 1:11 AM

      කමෙන්ට් රිමූ කරන්නෙ මේක එකොනොමැට්ටගෙ බ්ලොග් එක නිසා ආයිබෝං.

      Delete
    2. වලගම්බාගේ දේවිවMarch 14, 2023 at 7:10 AM

      කුණුහරුප කිව්වම රිමූ කරපු කමෙන්ට් ආයෙ පබ්ලිශ් වෙනවද ආයිබෝං ?

      Delete
  3. Mismanagement නිසා බංකොලොත් නමුත් හොද business potential එකක් තියන ආයතනයක් යම්කිසි ගානකට විකුනන්න බැරිද

    ReplyDelete
    Replies
    1. බෑ එහෙම ගන්නේ නැහැ කවුරුවත්, පුලුවන් තරම් කුණු කොල්ලෙට අරන් උපරිම ලාබ ගන්න බිස්නස් ප්ලෑන් එක (ලේසිම වැඩේ ආයතනයෙ ඇසට් විකුනලා ගත්ත ගානට වඩා ලොකු ගානක් ගන්න ට්‍රයි කරන එක නැත්නම් දිගු කාලීනව ඔපරේට් කරලා ටිකෙන් ටික ලාභ වැඩි කරගන්න පුලුවන් අනාගතේ පොටෙන්ශල් එක හොඳයි නම්)

      Delete
  4. ඉකොනොමැට්ටා පොඩි වැරදීමක් වෙලා තියෙනවා නේද?

    මේකේ ///ඩොලරයක මිල රුපියල් 320 ආසන්න මට්ටමක ස්ථාවර වී තිබෙනවා.///

    මේ පෝස්ට් එක දාපු එක්සත් ජනපදයේ මාර්තු මාසේ 13 හෙවත් ලංකාවේ මාර්තු මස 14 වන විට ලංකාවේ එක්සත් ජනපදයේ ඩොලර් එකක් රුපියල් 336 ක් විතර වෙනවා සාමාන්‍යයෙන්, සමහර වෙලාවට ඔබ මහ බැංකුවේ ගැනුම් මිල පමණක් දාන්න ඇති නමුත් විකුණුම් මිල මීට වඩා ගොඩාක් වැඩි නිසා සාමාන්‍යයෙන් 335 - 336 වගේ කියලා කියන්න පුළුවන්

    තව දෙයක් ලංකාවේ ෆොරෙක්ස් මනි මාකට් එකේ කතාවෙන් විදියට නම් අප්රේල් වල ලංකාවේ ඩොලර් එකක් රුපියල් 390 - 400 අතර ගණනක් වෙයි කියලා කියන්නේ ඒ වගේම ටුවරිස්ට් සීසන් එක අවසන් වීමත් රුපියල අධිප්‍රමාණ වීම සමග විදේශ ප්‍රේෂණ දැඩි ලෙස අඩු වෙලා සීමා වීමත් සමගම නැවතත් ඩොලරයේ අගය රුපියලේ අගයට සාපේක්ෂව කෙමෙන් කෙමෙන් ඉහළ යන බව පේනවා නේද? ලංකාවේ කට්ටිය ගොඩක් වෙලාවට හිතන්නේ ඉස්සරහට රුපියල ආයේ වතාවක් අවප්‍රමාණ වෙයි කියලයි ඒක එහෙම වෙයි ද?

    ReplyDelete
    Replies
    1. මේක බලන්න FYI

      https://www.seylan.lk/exchange-rates

      විකුණුම් මිල රු 342.97 මාර්තු මාසේ 14 වන විට

      ගැනුම් මිල 321.91 සමග ගත්තත් ඇවරේජ් එක 332 ක් විතර නේද?

      Delete
  5. රුපියලකට හරි විකුණුවොත් මන් හිතන්නෙ මාසෙකට මිලියන 100ක් දෙසීයක ලාභයක් තියෙයි )))

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: