වෙබ් ලිපිනය:

Wednesday, March 12, 2025

ග්‍රීන්ලන්ත මැතිවරණය


ඊයේ (මාර්තු 11) පැවති ග්‍රීන්ලන්ත මැතිවරණයෙන් මධ්‍ය දක්ෂිණාංශික ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මුල් තැනට පැමිණ සිටිනවා. ග්‍රීන්ලන්තයේ ප්‍රධාන පක්ෂ දෙක වූ ජන ප්‍රජා පක්ෂය (IA) තෙවන තැනටත්, සියුමුට් පක්ෂය හතරවන තැනටත් වැටී තිබෙනවා. බලයේ සිටි සන්ධානය සමන්විත වූයේද එම පක්ෂ දෙකෙන්. ජන ප්‍රජා පක්ෂය වාමාංශික පක්ෂයක් වන අතර සියුමුට් පක්ෂය මධ්‍ය වාමාංශික පක්ෂයක්. 

ග්‍රීන්ලන්තය තවමත් ස්වාධීන රටක් නොවන අතර ඩෙන්මාර්කයේ ස්වාධීන පාලන ප්‍රදේශයක්. සමකයට ඈතින් පිහිටා ඇති බැවින් ලෝක සිතියමෙහි වඩා විශාල ලෙස පෙනෙන ග්‍රීන්ලන්තය පෙනෙන තරම්ම ලොකු නොවුනත් වර්ග කිලෝමීටර මිලියන දෙකකටත් වඩා විශාලයි. ඒ කියන්නේ ලංකාව මෙන් 33 ගුණයක් විශාල භූමි ප්‍රදේශයක්. එහෙත් ග්‍රීන්ලන්තයේ ජනගහණය 57,000කටත් වඩා අඩුයි. 

මෑතකදී ග්‍රීන්ලන්තය විශේෂ අවධානයට ලක් වුයේ ජනාධිපති ට්‍රම්ප් විසින් ග්‍රීන්ලන්තය ඇමරිකාවට එකතු කර ගන්නා බව ප්‍රකාශ කිරීමත් සමඟයි. ඩෙන්මාර්කයේ විශේෂ පාලන ඒකකයක් වන ග්‍රීන්ලන්තයට අවශ්‍ය විටෙක ඩෙන්මාර්කයෙන් වෙන්වීමේ නිදහස තිබෙනවා. එහෙත්, කුඩා ජනගහණයක් සිටින ග්‍රීන්ලන්තයට ස්වාධීන රටක් ලෙස පැවතීම අසීරු කරුණක්. ජනාධිපති ට්‍රම්ප් විසින් ප්‍රකාශ කළේ ඩෙන්මාර්කය විසින් සුබසාධනය කරනවාට වඩා හොඳින් ඇමරිකාවට ග්‍රීන්ලන්තය සුබසාධනය කළ හැකි බවයි. 

ග්‍රීන්ලන්ත පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුර ප්‍රමාණය 31ක් වන අතර මුළු රටම එක් ඡන්ද කොට්ඨාශයක් සේ සලකමින් සමානුපාතික ක්‍රමයට එම ආසන බෙදා හරිනු ලබනවා. සාමාන්‍යයෙන් සිදු වන පරිදි මෙවරද කිසිදු තනි පක්ෂයකට බහුතර ආසන ප්‍රමාණයක් ලැබී නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විසින් ආසන 10ක් ලබාගෙන ඇති අතර නැලරැක් පක්ෂය ආසන 8ක් දිනා ගනිමින් දෙවන තැනට පැමිණ තිබෙනවා. 

මෙවර මැතිවරණයට පෙනී සිටි ප්‍රධාන පක්ෂ පහෙන් හතරක්ම ග්‍රීන්ලන්ත ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටියා. ඩෙන්මාර්කය සමඟ දිගටම සිටීම වෙනුවෙන් පෙනී සිටි අතාසුට් පක්ෂයට ලැබී තිබෙන්නේ ආසන දෙකක් පමණයි. කෙසේ වුවත්, මෙම ප්‍රධාන පක්ෂ පහෙන් එකක්වත් ජනාධිපති ට්‍රම්ප්ගේ යෝජනාව වෙනුවෙන් පෙනී සිටියේ නැහැ. 

1 comment:

  1. 'එහෙත් ග්‍රීන්ලන්තයේ ජනගහණය 57,000කටත් වඩා අඩුයි'

    ශ්‍රී ලංකා හමුදාවේ මාමලා යොදවා ග්‍රීන්ලන්තය අල්ලා ගන්නා මෙන් අප කාගෙන් හරි ඉල්ලා සිටිමු.

    ඉන්පසු ග්‍රීන්ලන්තය අපේ රටට ඈඳා ගමු.
    අපේ රටේ සිටිනා රිලවුන් ග්‍රීන්ලන්තයට අතාරිමු.

    ඇමෙරිකාවේ ලැට් හෝදන හිකොණු මැට්ටා එහි රීලා පාලකයා ලෙස යොදවමු.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: