පසුගිය (2024) වසරේදී සිංගප්පූරු රජය විසින් වසර මුලදී ඇස්තමේන්තු කළ ඩොලර් බිලියන 108.64ට වඩා ඩොලර් බිලියන 7.98කින් වැඩි ඩොලර් බිලියන 116.62ක මෙහෙයුම් ආදායමක් වාර්තා කර තිබෙනවා. මෙය ඉලක්කගත ආදායමට වඩා 7.3%කින් වැඩි ආදායමක්. මෙම මුදල එරට දදේනියෙන් 15.6%ක්. පහත තිබෙන්නේ එම ආදායම එකතු වී ඇති ආකාරයයි. සියලුම සංඛ්‍යා සිංගප්පූරු ඩොලර් බිලියන වලින් වන අතර වරහන් තුළ තිබෙන්නේ දදේනියෙන් කොපමණද යන්නයි.
සමාගම් ආදායම් බදු - 30.88 (4.1%)
පුද්ගල ආදායම් බදු - 18.97 (2.5%)
භාණ්ඩ හා සේවා බදු - 20.61 (2.8%)
වත්කම් බදු - 6.70 (0.9%)
වාහන බදු හා අධිභාර - 9.06 (1.2%)
තීරු බදු හා කාබන් බදු - 3.45 (0.5%)
රඳවා ගැනීමේ බදු - 2.28 (0.3%)
සූදු හා ඔට්ටු බදු - 3.23 (0.4%)
අනෙකුත් බදු - 9.12 (1.2%)
මුද්දර ගාස්තු - 6.36 (0.9%)
අනෙකුත් ගාස්තු - 4.58 (0.6%)
අනෙකුත් ආදායම් - 1.39 (0.2%)
එකතුව - 116.62 (15.6%)
සිංගප්පූරු රජය විසින් අරමුදල් වැය කර තිබෙන්නේ පහත ආකාරයෙනුයි.
සෞඛ්‍යය - 17.94 (2.5%)
අධ්‍යාපනය - 14.58 (2.0%)
ජාතික සංවර්ධනය - 10.05 (1.2%)
අනෙකුත් සමාජ සංවර්ධන කටයුතු - 13.37 (1.7%)
ආරක්ෂාව - 20.85 (2.8%)
ප්‍රවාහනය - 14.68 (2.0%)
රාජ්‍ය පරිපාලනය - 4.09 (0.5%)
අනෙකුත් කටයුතු - 17.35 (2.3%)
එකතුව - 112.91 (15.1%)
මේ අනුව, සිංගප්පූරුව 2024 වසර තුළ ඩොලර් බිලියන 3.7ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් වාර්තා කර තිබෙනවා. මෙය එරට දදේනියෙන් 0.5%කට සමාන මුදලක්.
ලංකාව විසින් ඉලක්ක කරන්නේ දදේනියෙන් 2.3%ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වාගෙන යාමටනම්, සිංගප්පූරුව දදේනියෙන් 0.5%ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් වාර්තා කිරීම ඒ තරම් ලොකු දෙයක්ද?
දෙරට අතර වෙනස වන්නේ සිංගප්පූරු රජය විසින් කාලයක් තිස්සේ දිගින් දිගටම මෙවැනි ප්‍රාථමික අයවැය අතිරික්ත පවත්වාගෙන ගොස් තිබීමයි. ඒ මගින් ඉතිරි වන අරමුදල් සිංගප්පූරු රජය විසින් ආයෝජනය කර තිබෙන අතර, ඉහත සඳහන් බදු හා බදු නොවන ආදායම් වලට අමතරව එම ආයෝජන වල ප්‍රතිලාභ ලෙසද සිංගප්පූරු රජයට විශාල ආදායමක් ලැබෙනවා. 2024දී එසේ ලැබුණු ශුද්ධ ප්‍රතිලාභ මුදල ඩොලර් බිලියන 24.02ක් හෙවත් දදේනියෙන් 3.2%කට සමාන මුදලක්. ඒ නිසා, සිංගප්පූරුවේ සමස්ත අයවැය අතිරික්තය ප්‍රාථමික අයවැය අතිරික්තයට වඩා වැඩියි.
ප්‍රාථමික අයවැය අතිරික්තයක් තිබෙන බැවින් සිංගප්පූරු රජයට මෙම ආයෝජන ප්‍රතිලාභ එදිනෙදා වියදම් පියවා ගැනීම සඳහා අවශ්‍ය වන්නේ නැහැ. ඒ නිසා, එම රජය විසින් කරන්නේ මෙම අරමුදල් නැවත ආයෝජනය කිරීමයි.
ලංකාවේ තත්ත්වය තනිකරම මෙහි අනෙක් පැත්තයි. ඊට හේතුව වන්නේ ඊනියා 76-අවුරුදු සාපය කෙසේ වුවත්, ලංකාවේ 69-අවුරුදු සාපයයි. පසුගිය දෙවසර, යහපාලන කාලයේ දෙවසරක්, පණහ දශකයේ දෙවසරක් සහ තවත් එක් වසරක් හැරුණු විට ඉතිරි වසර 69 තුළම ලංකාව වාර්තා කර තිබෙන්නේ හිඟ ප්‍රාථමික ශේෂ බැවින්, සිංගප්පූරු රජය විසින් දිගින් දිගටම වත්කම් එකතු කර ගනිද්දී ශ්‍රී ලංකා රජය විසින් ණය කන්දක් ගොඩ ගසාගෙන තිබෙනවා.
සිංගප්පූරු රජයේ වත්කම් වලින් වාර්ෂිකව ප්‍රතිලාභ ලැබෙද්දී ශ්‍රී ලංකා රජයට වාර්ෂිකව ණය පොලී ලෙස විශාල මුදලක් ගෙවන්නට සිදු වෙනවා. ඒ නිසා, දදේනියෙන් 2.3%ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වාගෙන ගියත් ලංකාවේ සමස්ත අයවැය ශේෂය හිඟයක්. ඒ හිඟය පියවා ගැනීම සඳහා වාර්ෂිකව තවත් ණය ගන්න සිදු වෙනවා. ඒ තමයි ලංකාවේ හැට නමයේ සාපය!
සිංගප්පූරුවෙ හිටපු කෙනෙක් විධියට මට කියන්න තියෙන්නෙ සිංගප්පූරුව කියන්නෙ සුපිරි රටක්, ඔවුන්ගෙ දේශපාලකයො කියන්නෙ ඇත්තටම රට ගැන හිතන, වගකීමෙන් කතා කරන පිරිසක්. මම එහෙම එකක් මේ මාලිමාවෙන් බලාපොරොත්තු වුණාට, ඔවුන් බහුතරයක් පුස්සො, අනුර සහෝදරයා විතරයි විශ්වාස කරන්න පුළුවන් කෙනෙක්ට ඉන්නෙ.
ReplyDeleteල්න්කාව වගෙ රටවල් නැතිනම් සිංගපූරුව අයෝජනය කරල ලාබ ලබන බෑ නේද.
ReplyDeleteනෑ. ඒ කතාව අදාළ වෙන්නේ විදේශ ආයෝජන වලට පමණයි. ඒ වගේ රටවල් නැතත් (එය මනඃකල්පිත අදහසක් පමණක් වුවත්) දේශීය ආයෝජන කළ හැකියි.
Deleteසින්ගපූරුවෙ ඩෙට් ගොඩක් වැඩි නේද හැබැයි ලන්කාවට ව්ඩා. සින්ගපූරුව ණය වෙන්නෙ කොහිමදඑතකොට
ReplyDeleteසිංගප්පූරු රජයට ණය ගන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම ශුද්ධ වශයෙන් කීයක්වත් ණය නැහැ. නමුත් මූල්‍ය වෙළඳපොළ ප්‍රවර්ධනය කිරීම සඳහා බැඳුම්කර නිකුත් කරනවා. එම බැඳුම්කර වලට ආයතන තුනෙන්ම ඉහළම ක්‍රෙඩිට් රේටින් තිබෙනවා. මේ බැඳුම්කර නිසා, ආයෝජනය කරන්න අවශ්‍ය අයට ඒ සඳහා අවස්ථාවක් ලැබෙනවා. ඒවා නොතිබුණානම් රජය ණය නොවන නිසා ආයෝජනය කරන්න අවශ්‍ය අයට ඒ අවස්ථාව නැහැ. දැන් ලංකාව ගත්තත් රජය ණය වුනේ නැත්නම් EPF සල්ලි ආයෝජනය කරන්න තැනක් නැති වෙනවා. නමුත් සිංගප්පූරුව මෙසේ ලැබෙන අරමුදල් සතයක්වත් වියදම් කරන්නේ නැහැ. ඒවා නැවත ආයෝජනය කරනවා. එමගින් ගෙවන පොලියට වඩා වැඩි ප්‍රතිලාභයක් උපයනවා. බැංකු ණය අරගෙන බිස්නස් කරලා ණයත් ගෙවලා ලාබ ඉතුරු කරගන්නවා වගේ වැඩක්. රජයේ බැඳුම්කර වලට හොඳ ක්‍රෙඩිට් රේටින් එකක් තිබෙන නිසා පෞද්ගලික අංශයටත් අඩුවට ණය ගන්න අවස්ථාව ලැබෙනවා.
Deletehttps://www.factually.gov.sg/corrections-and-clarifications/the-singapore-government-has-no-net-debt-we-have-a-strong-balance-sheet-with-assets-in-excess-of-liabilities
Deleteමේ කියන්නෙ සල්ලි පොලියට අරගෙන ඊට වඩා වැඩි පොලියක් ලැබෙන ෆික්ස්ඩ් ඩිපොසිට් එකක දැම්ම වගෙ වැඩක්ද? ණය ගත්තු නිසා gdp එක වැඩි වෙන්නෙ නැද්ද ඒ ණය ප්‍රමානයට සමානුපාතිකව?
Delete1. ඔව්.
Delete2. ණය ලෙස ගන්නෙත් GDP එකේම කොටසක් නිසා වෙනසක් වෙන්නේ නැහැ.
පෙර ලිපිවල ඔබ කියල තියෙනව මම හිතන්නෙ ණය අරගෙන ආයෝජනය කලාම ඊට සමානව gdp වැඩි වෙනව කියල. එහෙම වෙන්නෙ විදේශීය ණය ගත්තම විතරද? සින්ගප්පූරුවෙ ණය වැඩිහරියක් දේශීය ණයද?
Deleteණය අරගෙන ආයෝජනය කළාම ඊට සමානව GDP එක වැඩි වෙන්නේ නැහැ. එය තීරණය වෙන්නේ ආයෝජනය නිසා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කොපමණ වැඩි වෙනවද කියන එක මත. රජය විසින් දේශීය ණය ලබා ගෙන ආයෝජනය කරන විට ඒ හේතුව නිසා පෞද්ගලික අංශයේ ආයෝජන අඩු වීමක් සිදු වී භාණ්ඩ හා සේවා නිෂ්පාදනය අඩු වෙනවා. ඒ නිසා, ශුද්ධ ප්‍රතිඵලය තීරණය වෙන්නේ වඩා කාර්යක්ෂම රජයද නැත්නම් පෞද්ගලික අංශයද කියන එක මත. රජය පෞද්ගලික අංශයට වඩා කාර්යක්ෂමනම් GDP එකේ යම් වැඩි වීමක් වෙන්න පුළුවන්. නමුත් එය කිසිසේත්ම ගත්ත ණය ප්‍රමාණයට සමාන නැහැ. රජය පෞද්ගලික අංශය තරම් කාර්යක්ෂම නැත්නම් වෙන්නේ GDP එක අඩු වෙන එක (ගොඩක් වෙලාවට වෙන්නේ ඒක). විදේශ ණය ලබා ගෙන ආයෝජනය කළ විට තත්ත්වය වෙනස්. රාජ්‍ය ආයෝජන කොයි තරම් අකාර්යක්ෂම වුනත්, කෙටිකාලීනව GDP එක ඉහළ යනවා. නමුත් දිගුකාලීන බලපෑම තීරණය වෙන්නේ එම ආයෝජන වල ප්‍රතිලාභ ගෙවිය යුතු පොලියට හා ණය වාරික වලට වඩා අඩුද වැඩිද කියන එක මතයි. ප්‍රතිලාභ ගෙවිය යුතු පොලියට වඩා වැඩිනම් ණය හා පොලී ආපසු ගෙවීමේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ.
Deleteවියාපාර බදු අදායම පළමු අදායම වීම පුදුමයක් නොවේ. වියාපාර වලට සුදුසු වාතාවරණයක් (දියුණු යටිතල සහ බදු ක්‍රම) සින්ගපුරු රජය හදලා දීල තියෙනවා. මානවඅයිති කාරයෝ මොනවා කිව්වත්, හැමදේම රජය විසින් දරුණු විදියට පාලනය කරත්, ලෝකයේ හැම විසාල සමාගමක්ම සින්ගපුරුවේ වියාපාර කරනවා.
ReplyDeleteඅනෙක තමා සින්ගපුරු රජය හැම වියාපාර වලම නිරත වීම (ටැක්සි, බස්, පැට්‍රොල්, ගුවන්, සිල්ලර බඩු ආදී) එකාදීකාරීන් බිහිවීම වැලැක්වීම.
එක පුද්ගල බදු 3වෙනි අදායම උනාට, දියුණු රටවල් අතරින් සින්ගපුරු අදායම් බදු ඉතා අඩුයි. එකම ඩොලර් ප්‍රමාණයට මම සින්ගපුරුවේ 18% සහ ඔස්ට්‍රාලියවේ 33% බදු ගෙව්වා 2008 සහ 2009. බදු මුදලට ලැබෙන දේ බැලුවොත් සින්ගපුරුව ඉතා ඉහලයි.
ආරක්ෂාවට වැඩිපුර වියදම් කරන්නේ මුස්ලිම් රටවල් වලට මැදිව පිහිටීම නිසා, විසාල හමුදාවක් සහ ආයුද ප්‍රමාණයක් නඩත්තු කිරීමයි
මම විජේබාහු