පෙර ලිපි වලින් අප රාජ්‍ය අයවැයෙහි ආදායම් පාර්ශ්වය ගැන කතා කළා. දැන් අපි වියදම් පැත්ත දෙස බලමු. ආදායම් පැත්ත ගැන විමසීමේදී අප දුටුවේ සාර්ව ආර්ථික වැඩ පිළිවෙළ අනුව ලඟා කර ගත යුතු අවම ආදායම් ඉලක්කය වෙත යා හැකි පරිදි අයවැය ඇස්තමේන්තු සකසා ඇති බවයි. වියදම් පැත්තේ දැකිය හැක්කේ එම වැඩ පිළිවෙළ අනුව සිදු කළ හැකි උපරිම වියදමම වියදම් කෙරෙන පරිදි ඇස්තමේන්තු සකසා ඇති ආකාරයයි.
සාර්ව ආර්ථික වැඩ පිළිවෙළ අනුව මෙන්ම දැන් රටේ නීතියක්ව පවතින රාජ්‍යමූල්‍ය කළමනාකරණ පණත අනුවද රජයේ වියදම් සීමා වෙනවා. ණය හා පොලී ගෙවීම් හැර එම වියදම දදේනියෙන් 13.0% ඉක්මවිය නොහැකියි. තුනෙන් දෙකක බලයක් තිබෙන ආණ්ඩුවට මෙම සීමාව ඉහළ දමා ගැනීම අපහසු කාර්යයයක් නොවුවත් මෙහිදී එවැන්නක් සිදු වී නැහැ. යම් හෙයකින් මෙම සීමාව ඉහළ දමා ගත්තේ වුවද, සාර්ව ආර්ථික වැඩ පිළිවෙළෙහි එකඟතා අනුව, වියදම් වැඩි කළ හැක්කේ ආදායම්ද අනුරූපී ලෙස වැඩි වන්නේනම් පමණයි.
සාර්ව ආර්ථික වැඩ පිළිවෙළ අනුව, ප්‍රාථමික අයවැය අතිරික්තය අවම වශයෙන් දදේනියෙන් 2.3%ක් විය යුතු බැවින්, 13.0% වියදම් සීමාව සීමාකාරී බාධකයක් වන්නේ රාජ්‍ය ආදායම් දදේනියෙන් 15.3% ඉක්මවුවහොත් පමණයි. රාජ්‍ය ආදායම ඊට වඩා අඩු, 15.1% මට්ටමේ තබා ගැනීමට ඉලක්ක කර තිබෙන නිසා වියදම් කළ හැකි උපරිම සීමාව කොහොමටත් 13.0% මට්ටමට පහළින් 12.8% මට්ටමේ නවතිනවා.
ඉහත සඳහන් සීමාවට පොලී ගෙවීමේ වියදම් සහ ණය ආපසු ගෙවීම් ඇතුළත් වන්නේ නැහැ. සීමාව බලපාන්නේ පොලී ගෙවීම් හැර අනෙකුත් පුනරාවර්තන වියදම් වලට සහ ප්‍රාග්ධන වියදම් වලට පමණයි.
පහත තිබෙන්නේ ප්‍රතිශෝධිත ඇස්තමේන්තු අනුව 2024 රාජ්‍ය වියදම.
පුනරාවර්තන වියදම් - රුපියල් බිලියන 5,588.7
ප්‍රාග්ධන වියදම් - රුපියල් බිලියන 1,525.7
රාජ්‍ය ණය ආපසු ගෙවීම් - රුපියල් බිලියන 4,630.4
එකතුව - රුපියල් බිලියන 11,754.9
මෙම (2025) වසරේ වියදම් ඇස්තමේන්තු පහත පරිදියි.
පුනරාවර්තන වියදම් - රුපියල් බිලියන 5,920.0
ප්‍රාග්ධන වියදම් - රුපියල් බිලියන 1,315.0
රාජ්‍ය ණය ආපසු ගෙවීම් - රුපියල් බිලියන 1,600.0
එකතුව - රුපියල් බිලියන 8,835.0
රාජ්‍ය ණය ආපසු ගෙවීම් වල විශාල වෙනසින් පෙන්වන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සිදු වූ බැඳුම්කර හුවමාරුවේ බලපෑමයි. එම කොටස ඉවත් කළ විට, ඉතිරි රාජ්‍ය වියදම් රුපියල් බිලියන 7,124.5 සිට රුපියල් බිලියන 7,235.0 දක්වා රුපියල් බිලියන 110.6කින් වැඩි වී තිබෙනු දැකිය හැකියි. මෙය 1.6%ක, සාපේක්ෂව සුළු, වැඩි වීමක්. පොලී ගෙවීම් රුපියල් බිලියන 200.9කින් වැඩි වී තිබීම සැළකු විට, සමස්තයක් ලෙස ප්‍රාථමික වියදම් රුපියල් බිලියන 90.4කින් පහත වැටී තිබෙනු දැකිය හැකියි.
වියදම් පැත්ත දෙස බැලූ විට නිරීක්ෂණය කළ හැකි වැදගත් කරුණක් වන්නේ පුද්ගල පඩිනඩි වියදම් වැඩිවීම රුපියල් බිලියන 3.1ක "සොච්චමක්" පමණක් බවයි. එය ප්‍රතිශතයක් ලෙස 0.4%ක වැඩිවීමක් පමණයි. සංක්ෂිප්ත ලෙස කිවහොත්, මෙම අයවැයෙහි අනවශ්‍ය වියදම් වැඩිවීමක් දැකිය නොහැකියි. ඒ වෙනුවට, මෙහි පෙනෙන්නේ බදු අය කිරීම් සීමා කර ගන්නා අතර වියදම් ආදායම් හා ගලපා ගැනීමේ ප්‍රවේශයක්. එය කිසිසේත්ම නරක ප්‍රවේශයක් නෙමෙයි.
No comments:
Post a Comment
මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.