වෙබ් ලිපිනය:

Sunday, February 23, 2025

ඉදිරි වසරේ ආදායම් ඉලක්කය

සාර්ව ආර්ථික ස්ථායීකරණ වැඩසටහන අනුව, ඉදිරි (2025) වසර තුළ ශ්‍රී ලංකා රජය විසින් දළ දේශීය නිෂ්පාදිතයෙන් 15.1%කට නොඅඩු ආදායමක් ඉපැයිය යුතුයි. නාමික දළ දේශීය නිෂ්පාදිතය 10%කින් පමණ ඉහළ යනු ඇතැයි උපකල්පනය කර ඉහත අවම ඉලක්කය කරා යාම සඳහා අවශ්‍ය මුදල උපයා ගැනීම ඉලක්ක කර මෙවර අයවැය ඇස්තමේන්තු සකස් කර තිබෙනවා. එම මුදල රුපියල් බිලියන 5,126.0ක්.

මෙම (2024) වසරේ අපේක්ෂිත සමස්ත රාජ්‍ය ආදායම රුපියල් බිලියන 4,237.9ක් සේ ඇස්තමේන්තු කර තිබෙනවා. ඒ අනුව, ඉදිරි වසර තුළ තවත් රුපියල් බිලියන 888.0කින් රාජ්‍ය ආදායම් වැඩි කරගන්නට සිදු වෙනවා. ඒ සඳහා ආණ්ඩුවේ සැලසුම කුමක්ද?

ඉහත මුදලින් රුපියල් බිලියන 885.4ක්ම එකතු කර ගැනීමට අපේක්ෂා කර තිබෙන්නේ බදු ආදායම් වැඩි කර ගැනීම මගිනුයි. බදු නොවන ආදායම්, ප්‍රදාන සහ පළාත් සභා ආදායම් වැඩිවීමට නියමිතව තිබෙන්නේ රුපියල් බිලියන 2.6කින් පමණයි. මේ අනුව, අපේක්ෂිත මුළු ආදායම් වැඩි වීමෙන් 99.7%ක්ම පැමිණිය යුත්තේ බදු ආදායම් ලෙසයි. (මෙහිදී අප‍ට බදු ආදායම් වලින් පමණක් රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීම පිළිබඳව දිගින් දිගටම විවේචන සිදු කළ වත්මන් ආණ්ඩුවේ එක්තරා නියෝජ්‍ය ඇමති වරයෙකු සිහි වී මද සිනහවක් පහළ වීම නොවැලැක්විය හැකියි.)

ඉහත සඳහන් රුපියල් බිලියන 885.4ක අමතර බදු ආදායම එකතු කර ගැනීමට අපේක්ෂා කරන්නේ කෙසේද?

අයවැය ඇස්තමේන්තු දෙස බැලූ විට පෙනී යන පළමු කරුණ වන්නේ සෘජු බදු අඩු කොට වක්‍ර බදු වැඩි කිරීම ආණ්ඩුවේ උපාය මාර්ගය වී ඇති බවයි. මෙය මැතිවරණ වලට පෙර ආණ්ඩුවට සම්බන්ධ අය පුනරුච්ඡාරණය කළ දෙයට හාත්පසින්ම වෙනස් ප්‍රවේශයක්. 2024දී 27.7%ක් වූ සෘජු බදු අනුපාතය 2025දී 25.4% දක්වා අඩු වීමට නියමිතව ඇති අතර වක්‍ර බදු අනුපාතය 72.3% සිට 74.6% දක්වා ඉහළ යනවා. 

දෙවන කරුණ හා වඩා වැදගත් නිරීක්ෂණයක් සේ සටහන් කළ හැක්කේ වැඩි වන බදු ආදායමෙන් තුනෙන් දෙකක් පමණම ආනයන මත පදනම්ව ඇති බවයි. එයින් විශාල කොටසක් වාහන ආනයනය නිසා ලැබෙන බදු සේ සැලකිය හැකියි. එමෙන්ම, උපයන විට ගෙවීම් බද්ද ලිහිල් කිරීම නිසා අහිමි වන රුපියල් බිලියන 41.6 ඉක්මවන රුපියල් බිලියන 66.2ක මුදලක් රඳවා ගැනීමේ බද්ද වැඩි කිරීම මගින් උපයා ගන්නට සැලසුම් කර ඇති ආකාරයද දැකිය හැකියි. 

දළ ගණනයක් ලෙස ඩොලර් බිලියනයක වාහන ආනයන වසර තුළ සිදු වී එමෙන් තුන් ගුණයකට සමාන බදු ආදායමක් රජයට ලැබුණහොත්, ඩොලරය රුපියල් 300 සේ සැලකූ විට, රජයට රුපියල් බිලියන 900ක බදු ආදායමක් හිමි විය යුතුයි. බදු ආදායමේ අපේක්ෂිත වර්ධනය රුපියල් බිලියන 885.4ක් පමණක් නිසා එම ඉලක්කයට යාම සඳහා ඩොලර් බිලියනයක වාහන ආනයන සිදු විය යුතු නැහැ. වෙනත් ක්‍රම වලින්ද බදු ආදායම් ඉහළ යන නිසා, ඩොලර් මිලියන 600-700ක පමණ වාහන ආනයන ඒ සඳහා ප්‍රමාණවත් විය හැකියි. ඒ නිසා, 2025 රාජ්‍ය ආදායම් ඉලක්ක වලට යාම අපහසු දෙයක් බැව් පෙනෙන්නේ නැහැ. 

2 comments:

  1. මේ අවුරුද්දේ නම් යෝජිත බදු ආදායම ප්‍රායෝගික නොවන බවයි පේන්නේ. වාහන වලට අධික බද්දක් පනවා තිබෙන නිසා වාහන ආනයනය කරන්න හිතාගෙන හිටපු බෝහෝ දෙනක් වාහන ආනයනය නොකර පරණ වාහනම භාවිතා කරන්න තීරණය කරලා තියෙනවා.

    ලංකාවේ පහළ මධ්‍යම පාන්තික අය අතර ජනප්‍රිය ජපානයෙන් ආනයනය කරන සුසුකි වැගන් ආර් රථයක් මිලියන 7ක් පමණ වෙනවා, ඇල්ටෝ එකක් මිලියන හයක්, විට්ස් එකක් ලක්ෂ දොළහට දෙනවා කියලා නලීන් හේවගේ කියුවාට දැන් ඒවා හදන එක ජපානය නවත්තලා ඒ වෙනුවට එන යාරිස් එකක් ගේන්න මිලියන නමයක් දහයක් යනවා, ඔය ගණන්වලට ඒ වගේ පොඩි වාහන වාහන ගන්න පුළුවන් අය කීදෙනාද ඉන්නේ?

    ඊළඟට මධ්‍යම පාන්තික අය අතර ජනප්‍රිය හොන්ඩා වෙසල්, නිසාන් X ට්‍රේල් වගේ වාහන කෝටි දෙකකට ආසන්න ගානක සිට higher grades කෝටි දෙක පනිනවා, ටොයෝටා ප්රියස් කැම්රි හැරියර් රැව්4 වගේ වාහන ගිනි ගණන් නීසා විකිනෙන්නේම නැති තරම්.

    ඉඩම් වාහන විදියට Hilux රෙවෝ 2.8 L ඩීසල් AN 110/120/130 එකක් කෝටි දෙක පනිනවා L200 සහ D-max එකත් ඒ ගණන්

    ඉහළ මධ්‍යම පාන්තික අය අතර ජනප්‍රිය LC 250 Prado, Montero Sport, KIA Sorento වගේ ඒවා, තව RR Evoque වගේ ඒවාත් ගිනි ගණන් මිලියන 40 -70 අතර Mercedes BMW Audi වගේ ඒවත් ගිනි ගණන්

    LC 300 එකක් මිලියන 140-150 ක් වෙනවා, පර්මිට් නැති නිසා ඒවා ගේන එක සෑහෙන්න සීමා වේවි. අතේ ඇඟලි ගානට වගේ ලංකාවටම කීපයක් තියේවි.

    මම හිතන්නේ මේ තියෙන බදු එක්ක ඩොලර් මිලියන 150-200කට වඩා වාහන ආනයනය කරන්න බැරි වේවි මේ අවුරුද්ද පුරාම.

    ReplyDelete
  2. මල් වැටිච්ච ලංකට් එක ඇඳන් නටන මල්ලියා

    ඉකොනො මල්ලියා නංගියා චූ පුතා



    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: