වෙබ් ලිපිනය:

Thursday, February 6, 2025

ලෝක සහල් සිතියම


රටක ආර්ථිකය සංවෘතව තබා ගැනීමට සාපේක්ෂව විවෘතව තබා ගැනීමේ වාසි ගණනාවක් තිබෙනවා. ඒ වගේම සමහර අවාසිත් තිබෙනවා. රට තුළ නිෂ්පාදනය කර ගැනීම අසීරු දෙයක්නම් කොහොමටත් ආනයනය කරන්න වෙනවා. විශේෂයෙන්ම අත්‍යාවශ්‍ය භාණ්ඩ. උදාහරණයක් විදිහට ලංකාවට ඉන්ධන ආනයනය කරන්නම වෙනවා. එහෙත්, රට තුළ අපහසුවක් නොමැතිව නිෂ්පාදනය කර ගත හැකි සහල් වැනි දෙයක් ආනයනය කළ යුත්තේ ඇයි?

විශේෂයෙන්ම සහල් සම්බන්ධව ලංකාව තුළ ධ්‍රැවීකරණය වූ මත දෙකක් දැකිය හැකියි. පළමු මතය රට සහලින් ස්වයංපෝෂිත කරගත යුතු බවයි. නිදහසින් පසු සෑම ආණ්ඩුවක් මෙන්ම අඩු වැඩි වශයෙන් සිටියේ මේ මතය තුළයි. දෙවන මතය "වී වෙනුවට රෝස" මතයයි. මෙයින් සංකේතාත්මකව අදහස් කෙරෙන්නේ වී වැවීම නවතා වඩා ලාභදායී අපනයන භෝගයක් වැවීම මගින් උපයන විදේශ විණිමය යොදා ගෙන සහල් ආනයනය කළ යුතු බවයි.

පළමු මතය වෙනුවෙන් ලංකාවේ සැලකිය යුතු පිරිසක් පෙනී සිටීම තේරුම් ගන්න අපහසු නැහැ. පොදුවේ වෙළඳපොළ පිළිබඳ විශ්වාසයක් නොමැති වීම, අහේතුක වෙළඳපොළ විරෝධය, සංස්කෘතික සාධක, ආහාර සුරක්ෂිතතාව පිළිබඳ බිය මෙන්ම විශාල පිරිසක් වී ගොවිතැන ආශ්‍රිත රැකියා වල නිරතව සිටීම හා එවැනි පවුල් පසුබිමක් තිබීම මීට හේතු වන බව සිතිය හැකියි. එසේනම්, දෙවන මතයටද සැලකිය යුතු සහයෝගයක් ලැබී තිබෙන්නේ කොහොමද?

මෙහිදී විශේෂයෙන් දැකිය හැකි කරුණක් වන්නේ මේ අයුරින් දෙවන මතය වෙනුවෙන් පෙනී සිටින සියල්ලන් පොදුවේ වෙළඳපොළ නිදහස වෙනුවෙන් පෙනී සිටින අය නොවන බවයි. එවැනි අය ඒ අතරින් කොටසක් පමණයි. මේ මතය වෙනුවෙන් පෙනී සිටීම පසුපස දැකිය හැකි ප්‍රධාන සාධකය වන්නේ එසේ කිරීමෙන් "අඩුවට හාල් කන්න" ලැබෙනු ඇතැයි යන විශ්වාසයයි. 

ලංකාවේ "හාල් සිතියම්" දෙස බැලීමෙන් මේ දේශපාලනික බෙදීම තේරුම් ගන්න පුළුවන්. යාපනය හැර උතුරු නැගෙනහිර පළාත්, උතුරු මැද පළාත සහ හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්ක අයත් වියලි කලාපයේ විශාල කොටසක් වී වවන ප්‍රදේශයි. මෙම දිස්ත්‍රික්ක වල සහල් පරිභෝජනයට සාපේක්ෂව විශාල වී අතිරික්තයක් පවතින අතර එම දිස්ත්‍රික්ක වල බොහෝ පවුල් වල ප්‍රධාන යැපුම් මාර්ගයක් වන්නේ වී වගාවයි. සාපේක්ෂව අඩු වුවත්, කුරුණෑගල සහ මාතලේ දිස්ත්‍රික්ක වලද වී අතිරික්තයක් තිබෙනවා. රටට අඩු මිලට ආනයනික සහල් පැමිණෙනවා කියන්නේ මෙම දිස්ත්‍රික්ක වල ජීවත් වන බොහෝ ගොවි පවුල් වල ප්‍රධාන ආදායම් මාර්ගයක් ඇහිරෙනවා කියන එකයි.

මෙයින් වෙනස්ව බස්නාහිර හා සබරගමු පළාත, ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය, පුත්තලම දිස්ත්‍රික්ක ඇතුළත් තෙත් කලාපයේ දැකිය හැක්කේ වෙනස් තත්ත්වයක්. ජනගහණ ඝණත්වය වැඩි එම දිස්ත්‍රික්ක වල සහල් පරිභෝජනය ඉහළ මට්ටමක තිබුණත් ඊට සාපේක්ෂව ප්‍රමාණවත් සහල් නිෂ්පාදනයක් සිදු වන්නේ නැහැ. ඒ ප්‍රදේශ වල ජීවත් වන බොහෝ දෙනෙකුට අවශ්‍ය වන්නේ හැකි අඩුම මිලට සහල් මිල දී ගැනීමටයි. රටේ දේශපාලන බලය තිබෙන්නේද මේ පිරිස අතේ බැවින් "වී වෙනුවට රෝස" ව්‍යාපෘතියට නොමැති දේශපාලන බලයක් "සහලින් ස්වයංපෝෂිත රටක්" ව්‍යාපෘතියට ලැබී තිබෙන්නේ ඇයි කියන එකත් විමසා බැලීම වටින කරුණක්.

මෙහිදී බොහෝ දෙනෙකු පටලවා ගෙන තිබෙන කරුණ වනුයේ "හැකි තරම් අඩුවට භාණ්ඩ මිල දී ගැනීම මහින් ආනයන ආදේශනය" සහ "වෙළඳපොළ විවෘත කිරීම" කියන්නේ වෙනස් කරුණු දෙකක් බවයි. ආනයන සඳහා වෙළඳපොළක් විවෘත කළ පමණින් රටක දේශීය නිෂ්පාදනය නැති වී යන්නේ නැහැ. ඒ වගේම, වෙළඳපොළක් විවෘත කිරීමේ අරමුණ පුළුල් අර්ථයකින් දේශීය නිෂ්පාදන රැක ගැනීමම මිස දේශීය නිෂ්පාදන විනාශ කිරීම නෙමෙයි.  

රටක වෙළඳපොළක් විවෘත කර තබා ගැනීමේ ප්‍රධානම වාසිය වනුයේ එවැනි රටකට ලෝක මට්ටමේදී තරඟකාරී ලෙස නිෂ්පාදනය කළ හැකි වීමයි. ලෝකයේ රටවල් අතරින් වඩාත්ම විවෘත ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කරන රටක් සේ සැලකිය හැකි ඇමරිකා එක්සත් ජනපදය ලෝකයේ විශාලතම ජාතික ආර්ථිකය සතු රටද වන්නේ මේ නිසා. ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් විවෘත ආර්ථික ප්‍රතිපත්තිය පසෙක ලා ආරක්ෂණවාදී ප්‍රතිපත්ති වෙත පසු බැසීමට ඇමරිකාව නොපැකිළෙන බව මේ දවස් වල ඇමරිකාව දෙස බලා සිටි ඕනෑම කෙනෙකුට පෙනුණු දෙයක්. රටක වෙළඳපොළක් හැකි තරම් බාහිර තරඟයට විවෘත කළ යුතු වුනත්, එසේ කිරීමේ අරමුණ විය යුත්තේ තරඟයට නිරාවරණය කිරීම මගින් කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීම මිස කර්මාන්තය විනාශ කර ගෙන ඉල්ලං කෑම නෙමෙයි. 

සියලුම මිනිසුන්ට පොදු "මිනිස් ගුණ" තිබුණත්, එක් එක් මිනිසා වෙනස් මිනිසෙක්. ඒ වගේම, සියලුම වෙළඳපොළ වලට පොදු මූලික ලක්ෂණ ගණනාවක් තිබුණත්, එක් එක් වෙළඳපොළ වෙනස් වෙළඳපොළක්. එක් එක් වෙළඳපොළ සතු අනන්‍ය ලක්ෂණ තිබෙනවා. 

නූතන ආර්ථික විද්‍යාවේ මූලික ආකෘතියක් වන ඉල්ලුම්-සැපයුම් ආකෘතිය කියන්නේ ආර්ථික විද්‍යා විෂය ඉගැන්වීමේදී යොදා ගන්නා එක් මූලික හා සරල ආකෘතියක් පමණයි. ඒ ආකෘතිය පමණක් ඇසුරෙන් ආර්ථිකය තේරුම් ගත හැකියැයි සිතීම හෝඩිය ඉගෙන ගැනීමෙන් පසුව භාෂා විශාරදයෙකුයැයි සිතීමට වඩා වෙනස් නැහැ. "අර වෙළඳපොලට එහෙමනම්, මේ වෙළඳපොළට එහෙම නැත්තේ ඇයි?" වගේ ප්‍රශ්න සමහර අයට මතු වන්නේ ආර්ථික විද්‍යාව ඉගැන්වීමේදී මුලින්ම උගන්වන සරල ඉල්ලුම්-සැපයුම් ආකෘතිය ගැන දැන ගැනීමෙන් පසුව ආර්ථික විද්‍යාව කියා ඊට වඩා දෙයක් නැතැයි සිතන නිසා. කෙසේ වුවත්, එවැනි ප්‍රශ්න මතු කරන එක හොඳ දෙයක්. 

වෙළඳපොළ ක්‍රමය තුළ හැම විටම තරඟකාරී වෙළඳපොළවල් හැදෙන්නේ නැහැ. එය කිසියම් භාණ්ඩයක නිෂ්පාදන තාක්ෂනය ඇතුළු වෙනත් කරුණු ගණනාවක් මත තීරණය වන්නක්. වෙළඳපොළ ක්‍රමය තුළ කතිපයාධිකාර මෙන්ම ඇතැම් විට ඒකාධිකාරද හැදෙන එක සාමාන්‍ය, නෛසර්ගික තත්ත්වයක්. ඒ වගේම, වෙළඳපොළ යාන්ත්‍රණය පරිපූර්ණ එකක් නෙමෙයි. එය අකාර්යක්ෂම විය හැකි විවිධ හේතු තිබෙනවා. වෙළඳපොළක් අකාර්යක්ෂම විය හැකි එකම හේතුව රාජ්‍ය මැදිහත්වීම් නොවන්නාක් මෙන්ම රාජ්‍ය මැදිහත්වීම මගින් වෙළඳපොළක් වඩා කාර්යක්ෂම කරගත හැකි තත්ත්වයන්ද ඕනෑ තරම් තිබෙනවා. 

තරඟකාරී ජාත්‍යන්තර වෙළඳපොළකට නිරාවරණය කිරීම මගින් දේශීය කර්මාන්තයක් වඩා කාර්යක්ෂම හා තරඟකාරී කරගත හැකියි. ජාත්‍යන්තර සහල් වෙළඳපොළ එවැනි තරඟකාරී වෙළඳපොළක්ද?

ලෝක සහල් පරිභෝජනය (2023/24 වර්ෂය සඳහා USDA-FAS PS&D දත්ත අනුව) මෙට්‍රික් ටොන් මිලියන 520ක්. එයින් ආනයන ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 53ක් පමණයි. මීට හේතුව ලෝකයේ සහල් පරිභෝජන අවශ්‍යතාවයෙන් 90%ක් පමණම දේශීයව සිදු වීමයි. වෙනත් වසරක් සැලකුවද දැකිය හැක්කේ මීට සමාන තත්ත්වයක්. අස්වනු හොඳ මට්ටමක ඇති වසරකදී ලෝක සහල් නිෂ්පාදිතයෙන් 10%කට ආසන්න ප්‍රමාණයක් අපනයනය කෙරෙන අතර අස්වනු අඩු මට්ටමක ඇති විට මෙම ප්‍රමාණය තවත් පහත වැටෙනවා.

සහල් යනු ලෝකයේ වැඩිම පිරිසකගේ ප්‍රධාන ආහාරය වන අතර විශේෂයෙන්ම ආසියානු කලාපයේ ප්‍රධානම ආහාරයයි. සාමාන්‍යයෙන් කිසියම් ප්‍රදේශයක ජනතාවගේ ප්‍රධාන ආහාරය වන්නේ එම ප්‍රදේශයේ පහසුවෙන් වැවෙන දෙයක්. ලෝකයේ වැඩිපුරම සහල් නිෂ්පාදනය වන කලාපය වන්නේද ආසියාවයි. ලෝකයේ ජනගහණය වැඩිම රටවල් දෙක වන ඉන්දියාව හා චීනය තිබෙන්නේ මෙම ආසියානු කලාපයේ වනවා පමණක් නොව එම එක් එක් රටේ වැඩි කොටසක ප්‍රධාන ආහාරය වන්නේ සහල්. එබැවින් ලෝකයේ සමස්ත සහල් පරිභෝජන අවශ්‍යතාවයෙන් බාගයක්ම චීනයේ හා ඉන්දියාවේ සහල් පරිභෝජන අවශ්‍යතාවයයි.

ලෝක සහල් පරිභෝජනයෙන් 51%කට වග කියන චීනය හා ඉන්දියාව හැරුණු විට වැඩියෙන්ම සහල් පරිභෝජනය කරන රටවල් වන්නේ බංග්ලා දේශය, ඉන්දුනීසියාව සහ වියට්නාමයයි. මෙම ප්‍රධාන රටවල් පහ ලෝක සහල් පරිභෝජනයෙන් 69%කට වග කියනවා. පහත තිබෙන්නේ 2023/24 වර්ෂයේදී වැඩිපුරම සහල් පරිභෝජනය කළ රටවල්.

1. චීනය - මෙට්‍රික් ටොන් මිලියන  148.1 (28.5%)

2. ඉන්දියාව - මෙට්‍රික් ටොන් මිලියන  116.4 (22.4%)

3. බංග්ලා දේශය - මෙට්‍රික් ටොන් මිලියන  37.6 (7.2%)

4. ඉන්දුනීසියාව - මෙට්‍රික් ටොන් මිලියන  36.1 (6.9%)

5. වියට්නාමය - මෙට්‍රික් ටොන් මිලියන  22.4 (4.3%)

6. පිලිපීනය - මෙට්‍රික් ටොන් මිලියන  16.6 (3.2%)

7. තායිලන්තය - මෙට්‍රික් ටොන් මිලියන  12.3 (2.4%)

8. මියන්මාරය - මෙට්‍රික් ටොන් මිලියන  9.8 (1.9%)

අනෙකුත් සියලුම රටවල් - මෙට්‍රික් ටොන් මිලියන  120.5 (23.2%)

චීනය සහ ඉන්දියාව බිලියන 1.4ක ජනගහණයකට ආහාර සැපයීමේ අභියෝගය දරාගෙන සිටින රටවල්. එවැනි විශාල ජනගහණයක් සිටින රටක් තමන්ගේ ප්‍රධාන ආහාරය වෙනත් රටකින් ආනයනය කිරීම කිසිසේත්ම ප්‍රායෝගික කරුණක් නෙමෙයි. ඒ නිසා, ලෝකයේ සහල් නිපදවන රටවල් අතරින්ද ඉදිරියෙන්ම සිටින්නේ එම රටවල් දෙකයි. එම ප්‍රධාන රටවල් දෙකට අමතරව ලෝකයේ වැඩියෙන්ම සහල් පරිභෝජනය කරන අනෙකුත් රටවල්ද දේශීය වශයෙන් සහල් නිපදවා ගැනීම සඳහා යොමු වී ඇති බැවින් ලෝකයේ වැඩියෙන්ම සහල් නිපදවන රටවල් වන්නේද ඉහත රටවල්මයි. පහත තිබෙන්නේ 2023/24 වර්ෂයේදී වැඩිපුරම සහල් නිපදවූ රටවල්.

1. චීනය - මෙට්‍රික් ටොන් මිලියන 144.6 (28.3%)

2. ඉන්දියාව - මෙට්‍රික් ටොන් මිලියන 137.8 (22.3%)

3. බංග්ලා දේශය - මෙට්‍රික් ටොන් මිලියන  37.0 (7.2%)

4. ඉන්දුනීසියාව - මෙට්‍රික් ටොන් මිලියන 33.0 (6.9%)

5. වියට්නාමය - මෙට්‍රික් ටොන් මිලියන 26.3 (4.3%)

6. තායිලන්තය - මෙට්‍රික් ටොන් මිලියන 20.0 (2.4%)

7. පිලිපීනය - මෙට්‍රික් ටොන් මිලියන 12.3 (3.2%)

8. මියන්මාරය - මෙට්‍රික් ටොන් මිලියන 11.9 (1.9%)

අනෙකුත් සියලුම රටවල් - මෙට්‍රික් ටොන් මිලියන 123.3 (23.6%)

මේ අනුව පැහැදිලි වන්නේ, පරිභෝජනය අනුව බැලුවත්, නිෂ්පාදනය අනුව බැලුවත්, ලෝක සහල් වෙළඳපොළ කියන්නේ ආසියානු කලාපයේ පිහිටි ඉහත රටවල් අට බවයි. එම රටවල් අටේ වෙළඳපොළ පංගුව හතරෙන් තුනකටත් වඩා වැඩියි. ඒ නිසා, මේ රටවල් වල සහල් වෙළඳපොළ මග හැර ලෝක සහල් වෙළඳපොළ ගැන කතා කිරීමේ හැකියාවක් නැහැ. එම රටවල් අතරින්ද චීනය සහ ඉන්දියාව ප්‍රධානයි. 

එසේ වුවද, ඊළඟ වැදගත් කාරණය වන්නේ සහල් පරිභෝජනය කරන සෑම ප්‍රධාන රටක්ම සහලින් ස්වයංපෝෂිතව සිටීම පිණිස මහත් පරිශ්‍රමයක් දරන බවයි. ඉහත රටවල් අතරින් ඉන්දියාව, වියට්නාමය, තායිලන්තය සහ මියන්මාරය සහල් අපනයනය කරන අතර ඉතිරි රටවල් වල සහල් අවශ්‍යතාවයෙන් වැඩි කොටසක් රට තුළම නිපදවා ගන්නවා.

චීනය - 97.6%

බංග්ලා දේශය - 98.4%

ඉන්දුනීසියාව - 91.5%

පිලිපීනය - 74.2%

මෙහිදී කිව යුත්තේ මේ රටවල් බොහොමයක් මෙන්ම සහලින් ස්වයංපෝෂිතව සිටින ඉන්දියාව වැනි රටවල්ද සිය දේශීය සහල් නිෂ්පාදනය ඉහළ මට්ටමක පවත්වා ගන්නේ කර්මාන්තය විශාල ලෙස සුබසාධනය කිරීම මගින් බවයි. එසේ කිරීමේ අරමුණ ආහාර සුරක්ෂිතතාවය පවත්වා ගැනීමයි. 

ලෝකයේ වැඩිපුරම සහල් පරිභෝජනය කරන, එමෙන්ම වැඩිපුරම සහල් නිපදවන රට වන චීනය යනු තව දුරටත් 1952දී ලංකාව සමඟ රබර්-සහල් ගිවිසුම අත්සන් කළ රට නෙමෙයි. මේ වෙද්දී චීනය විශාල ලෙස කාර්මීකරණය වී ඇති රටක්. ගම් වල සිටි ගොවීන් දැන් නගර වලට සංක්‍රමණය වෙලා. ඒ වගේම, ඉතිරි වෙලා ඉන්න ගොවීනුත් "වී වෙනුවට රෝස" වවන්න පෙළඹිලා. රෝස කෙසේ වුවත්, ඔවුන් ඩ්‍රැගන් ෆ්‍ර්රුට්, නෙලුම් අල වැනි මුදල් භෝග වවනවා. මේ දේවල් කියන්නේ අන්තර්ජාලයෙන් ඉගෙන ගෙන නෙමෙයි. චීන කෘෂි-ආර්ථික පර්යේෂකයින් එක්ක සමීපව කටයුතු කරන අයෙක් ලෙසයි. රැකියා අවස්ථා වැඩි වෙද්දී ලංකාවේ වී ගොවීනුත් කරනු ඇත්තේ ඔය වැඩේම තමයි. ඒ සඳහා අමුතු පෙළඹවීමක් අවශ්‍ය වෙන එකක් නැහැ.

චීනය කියන්නේ කොමියුනිස්ට් පක්ෂයක් විසින් මධ්‍යගත සැලසුමකට අනුව පාලනය කරන ආර්ථිකයක් තිබෙන රටක්. දේශීය නිෂ්පාදිතය ඉහළ මට්ටමක පවත්වා ගැනීම මගින් රටේ ආහාර සුරක්ෂිතතාව පවත්වා ගැනීම චීන ආර්ථික සංවර්ධන සැලසුමේ ප්‍රධාන අංගයක්. මේ අනුව, චීනය විවිධ ආකාර වලින් වී ගොවිතැන සුබසාධනය කරනවා.එමගින් දේශීය සහල් නිෂ්පාදිතය පරිභෝජන අවශ්‍යතාවයට ආසන්න මට්ටමක පවත්වා ගන්නවා. කෙසේ වුවත් චීනය තව දුරටත් ශුද්ධ වශයෙන් සහල් අපනයනය කරන රටක් නෙමෙයි.

මේ වන විට ලෝක සහල් වෙළඳපොළ තුළ අපනයනකරුවෙකු ලෙස කැපී පෙනෙන භූමිකාවක් ඉටු කරන්නේ අසල්වැසි ඉන්දියාවයි. ඉන්දියාවට ලෝක සහල් වෙළඳපොළ තුළ විශාල බලපෑමක් කළ හැකියි. ලෝක වෙලඳ සංවිධානයේ දත්ත අනුව 2023 වර්ෂයේදී ලෝකයේ රටවල් 124ක්ම ශුද්ධ වශයෙන් සහල් ආනයනය කළත්, ශුද්ධ වශයෙන් සහල් අපනයනය කරන රටවල් තිබුණේ 23ක් පමණයි. මෙම රටවල් 23 විසින් සිදු කළ ශුද්ධ සහල් අපනයනය මෙට්‍රික් ටොන් මිලියන 30.2ක් පමණයි. එනම් ලෝක සහල් පරිභෝජනයෙන් 5.8%ක් පමණයි.

පහත තිබෙන්නේ 2023දී ශුද්ධ වශයෙන් සහල් අපනයනය කළ ලෝකයේ ප්‍රධාන රටවල්. එනම්, සහල් අතිරික්තයක් තිබුණු ප්‍රධාන රටවල්.

1. ඉන්දියාව - මෙට්‍රික් ටොන් මිලියන 16.3 (54.1%)

2. තායිලන්තය - මෙට්‍රික් ටොන් මිලියන 7.6 (25.3%)

3. පකිස්ථානය - මෙට්‍රික් ටොන් මිලියන 3.2 (10.7%)

අනෙකුත් සියලුම රටවල් - මෙට්‍රික් ටොන් මිලියන 3.0 (9.9%)

කවර හෝ හේතුවක් නිසා, ශුද්ධ වශයෙන් සහල් අපනයනය කරන ප්‍රධාන රටක් වන වියට්නාමය හා අදාළ සංඛ්‍යාලේඛණ මෙහි ඇතුළත්ව නැහැ. එම ප්‍රමාණයද මෙට්‍රික් ටොන් මිලියන 3-4 අතර ප්‍රමාණයක්. මේ අනුව පැහැදිලි වන පරිදි, ජාත්‍යන්තර සහල් වෙළඳපොළ යනු ඉහත රටවල් තුන සහ වියට්නාමයයි. මෙම රටවල් හතරට අමතරව, සෑම වෙළඳපොළකටම මෙන් කිසියම් බලපෑමක් කරන ඇමරිකා එක්සත් ජනපදයද ලෝක සහල් වෙළඳපොළට යම් බලපෑමක් කළ හැකි රටක්. ඊට හේතුව ශුද්ධ වශයෙන් සහල් අපනයනය කරන්නේ අඩුවෙන් වුවත්, ආනයන හා අපනයන දෙකම සිදු කරන බැවින් ඇමරිකා එක්සත් ජනපදයේ වෙළඳ පරිමාව ඉහළ මට්ටමක පැවතීමයි.

ඉහත රටවල් අතරින් ප්‍රධානම රට වන ඉන්දියාවේ විශේෂත්වය වන්නේ ඉන්දියාව අපනයනය මූලික ඉලක්කය කරගෙන සහල් නිපදවන රටක් නොවීමයි. චීනය වැනි රටවල් මෙන්ම ඉන්දියාව විසින්ද වී වගාව ප්‍රවර්ධනය කරන්නේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කර ගැනීමේ මූලික අරමුණ පෙරදැරිවයි. ඉන්දියානු සහල් අපනයන යනු මෙම අරමුණ කරා යාමේ අතුරු ප්‍රතිඵලයක් පමණයි. ඒ නිසා, විශාල ලෙස සුබසාධනය කිරීම මගින් ආරක්ෂා කෙරෙන ඉන්දියාවේ සහල් කර්මාන්තය එලෙස පවත්වා ගැනීම සඳහා අස්වනු අධික වසර වලදී ඉන්දියාව විසින් අඩු මිලට ජාත්‍යන්තර සහල් වෙළඳපොළට සහල් සපයන (ඩම්ප් කරන) නමුත් අස්වනු සීමා වන වසර වලදී අපනයන පාලනය කිරීමට ඉන්දියාව පැකිලෙන්නේ නැහැ. මෙහි ප්‍රතිඵලය වනුයේ සමස්ත ලෝක සහල් නිෂ්පාදිතයට හා පරිභෝජනයට සාපේක්ෂව කුඩා වෙළඳපොළක් වන ජාත්‍යන්තර සහල් වෙළඳපොළ තුළ මිල ගණන් නිරන්තරයෙන් විශාල ලෙස උච්ඡාවචනය වීමයි.

මතු සම්බන්ධයි.

15 comments:

  1. ගොඩයමු. මුදල් හම්බ කරමු.

    ReplyDelete
  2. ඉකොනො,

    1) රබර් සහල් ගිවිසුම අත්සන් කරන සමයේ ශ්‍රී ලංකාවේ වී වගා කරන ගොවීන් සංඛ්‍යාව, ඉඩම් ප්‍රමාණය සහ වර්ථමානයේ එම ගණන කොපමණද?

    2) ලෝකයේ ඒක පුද්ගල සහල් පරිභෝජනය වැඩිම රටවල් පහ කුමක්ද?

    3) අප අසා ඇති අන්දමට රතු කැකුළු සහල් වඩාත් ගුණයි අනෙක් සහල් අතරින්. එනමුත් මිල අඩුයි. එයට හේතුව?


    ReplyDelete
    Replies
    1. ඉකොනො,

      ඉහත 1) ගැටළුවට ජනගහනයේ ප්‍රතිශතයක්‌ ලෙසත් ලබා දෙන්න ගොවීන් ගණන

      Delete
    2. ඔබගේ ප්‍රශ්න සඳහා පහත පරිදි පිළිතුරු සපයන්නෙමි:

      1. රබර්-සහල් ගිවිසුම අත්සන් කරන සමයේ සහ වර්තමානයේ ශ්‍රී ලංකාවේ වී වගා කරන ගොවීන් සංඛ්‍යාව සහ ඉඩම් ප්‍රමාණය සහ එවකට එය ජනගහනයේ ප්‍රතිශතයක් ලෙස ලබාගැනීම

      අගමැති ඩඩ්ලි සේනානායක රජය යටතේ 1952 දී ශ්‍රී ලංකාව සහ චීනය අතර රබර්-සහල් ගිවිසුම අත්සන් කරන විට, ශ්‍රී ලංකාවේ වී වගා කරන ගොවීන්ගේ සංඛ්‍යාව සහ වගා කරන ඉඩම් ප්‍රමාණය පිළිබඳ නිශ්චිත දත්ත ලබා ගැනීමට අපහසුය. එම කාලයේදී ශ්‍රී ලංකාවේ ජනගහනය සම්පූර්ණයෙන්ම කෘෂිකර්මය මත පදනම් වූ අතර, වී වගාව ප්‍රධාන ආර්ථික ක්ෂේත්‍රයක් විය. වර්තමානයේ දී, ශ්‍රී ලංකාවේ වී වගා කරන ගොවීන්ගේ සංඛ්‍යාව සහ වගා කරන ඉඩම් ප්‍රමාණය පිළිබඳ නවතම දත්ත ලබා ගැනීමට ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිල වාර්තා පරීක්ෂා කිරීම සුදුසුය. එම වාර්තා ඔවුන්ගේ නිල වෙබ් අඩවිය හරහා ලබා ගත හැකිය.

      2. ලෝකයේ ඒක පුද්ගල සහල් පරිභෝජනය වැඩිම රටවල් පහ

      ලෝකයේ ඒක පුද්ගල සහල් පරිභෝජනය වැඩිම රටවල් පිළිබඳ නවතම දත්ත ලබා ගැනීමට ඉකොනොමැට්ටා වැනි හාන්සිපුටු විචාරකයන්ගෙන් නොවිමසා වඩාත් විශ්වසනීය FAO (Food and Agriculture Organization) වැනි ජාත්‍යන්තර ආයතනවල වාර්තා පරීක්ෂා කිරීම සුදුසුය. ශ්‍රී ලංකාව මෙම ලැයිස්තුවේ 9 වන ස්ථානයේ පවතින බව දක්වා ඇත.

      3. රතු කැකුළු සහල්වල ගුණාත්මකභාවය සහ මිල අඩු වීමේ හේතු

      රතු කැකුළු වලට වඩා ලංකාවේ බහුතර ජනතාව විශේෂයෙන්ම බස්නාහිර පළාත කොළඹ දිස්ත්‍රික්කය රෙස්ටූරන්ට් සහ හෝටල් මෙන්න නිවාසවල පරිභෝජනයට වැඩිම ඉල්ලුම ඇත්තේ පෙනුම රසය සහ දිරවීමට වඩාත් පහසු බවට ජනයා සිතන සම්බා සහල් වලටයි, කැකුළු හාල් දකුණේ සහ ගුණය පිළිබඳව වැඩිදුර සිතන අය අතර ජනප්‍රිය නමුත් සාපේක්ෂව ඉල්ලුම අඩුයි

      රතු කැකුළු සහල්වලට සුදු කැකුළු මිශ්‍ර කර වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරමක් පවතින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අනාවරණය කර ඇත. මෙම ජාවාරම නිසා පාරිභෝගිකයින්ට නිසි ගුණාත්මක රතු කැකුළු සහල් ලබා ගැනීමට අපහසුතාවයන් ඇතිවිය හැකිය. එබැවින්, පාරිභෝගිකයින්ට විශ්වාසනීය වෙළඳසැල්වලින් සහල් මිලදී ගැනීම සහ නිෂ්පාදන ලේබල් පරීක්ෂා කිරීම වැදගත් වේ.

      ඔබගේ ප්‍රශ්න සඳහා මෙම තොරතුරු ප්‍රයෝජනවත් වේ යැයි බලාපොරොත්තු වෙමි.

      Delete
    3. AnonymousFebruary 7, 2025 at 3:16 AM

      හොඳ ප්‍රශ්න ටිකක්.

      1.

      වී සඳහා යොදාගත් ඉඩම් ප්‍රමාණය (අක්කර):

      1953 - 1,048,300
      2023/24 - 1,993,329

      ගොවීන් සංඛ්‍යාව - හරියටම දන්නේ නැහැ. වී ගොවීන් වෙනත් වගාවන්ද කරන නිසා වී ගොවීන් ලෙස වෙනම හඳුනාගන්න අමාරුයි.

      1953 මුළු ශ්‍රම බලකාය මිලියන 2.98යි. ජනගහණය 8,097,895යි.

      1969දී වී සහ අනෙකුත් ධාන්‍ය වර්ග වගා කළ ප්‍රමාණය 668,000 වන අතර ජනගහණය මිලියන 12.2ක්. මෙය ජනගහණයෙන් 5.5% පමණ. වී වගා කළ ප්‍රමාණය 5% පමණ විය හැකියි.

      2024 ශ්‍රම බලකාය = 8,275,154
      2024 ශ්‍රම බලකාය (කෘෂිකාර්මික) = 2,039,574
      2024 මුළු ජනගහණය = මිලියන 23.1
      2024 ශ්‍රම බලකාය (කෘෂිකාර්මික) ප්‍රතිශතය = 8.8%

      මෙයට තේ වැනි අනෙක් බෝගද ඇතුළත්. වී ප්‍රතිශතය 4%-5% පමණ විය හැකියි.

      දළ වශයෙන් ඉඩම් ප්‍රමාණය දෙගුණ වී තිබෙනවා. ශ්‍රමිකයන් ප්‍රමාණයත් දෙගුණ වී ඇතැයි සිතිය හැකියි. නිෂ්පාදනය හත් ගුණයකින් පමණ වැඩි වී තිබෙනවා.

      2. මේ වගේ ශ්‍රේණිගත කිරීමක නිරවද්‍යතාවය අඩු නිසා ඕනෑවට වඩා බර තැබිය යුතු නැහැ. නමුත් දළ අදහසක් ගන්න පුළුවන්. මේ ලින්ක් එකේ එකක් තිබෙනවා.

      https://www.helgilibrary.com/indicators/rice-consumption-per-capita/

      3. ඒකනම් පැහැදිලි කරන්න අමාරු නැහැ. රතු සහල් වර්ග නිෂ්පාදනය කිරීමේ වියදම ඒ තරම්ම වැඩි නැහැ (අනෙක් හෑල් වලට සාපේක්ෂව බොහෝ දුරට සමානයි). ඒ වගේම කැමති කෙනෙකුට නිෂ්පාදනය කළ හැකියි. රට ඇතුළේ සැලකිය යුතු ඉල්ලුමකුත් තිබෙනවා. ඒ නිසා මෙය තරඟකාරී වෙළඳපොළක්.

      Delete
    4. ඉකොනෝ

      ඔයාගේ උත්තර ගැලපෙන්නේ නෑ නේද? මේ ප්‍රශ්නයේ අහලා තියෙන විදියට රබර් සහල් ගිවිසුම අත්සන් කරනු ලැබුවේ 1952 දී, ඒ වසරට අදාල දත්ත නෑ නේද? ඔයා ඔය දාල තියෙන්නේ ගිවිසුමට පසුව 1953 දත්ත කියලා, ඒකේ මූලාශ්‍රය මොකක්ද? එහෙම නැත්නම් ඔබේ හිතලු අගයක් දැම්මා ද අනුර කුමාර වගේ?

      අනෙක රබර් සහල් ගිවිසුමට පෙර 1952 වගා කළ භූමි ප්‍රමාණය සහ ගිවිසුමට පසුව 1953 භූමි ප්‍රමාණය අතර සැලකිය යුතු වෙනසක් තිබෙන්නට පුළුවන්, මොකද විශාල ලෙස ලාබෙට හාල් ලැබෙන නීසා බෝහෝ දෙනෙක් කන්නයකට පසු ඊළඟ කන්නයේ වී වගාව අතහැර වෙනත් වගාවන්ට යොමුවෙන්න පුළුවන්, මොකද වී වගේ මාස තුනක පමණ කෙටිකාලීන භෝග වලදී අවුරුද්දක් පසුව ලැබූන දත්ත කියන්නේ සැලකිය යුතු ලෙස වෙනස්වන දත්තයන් බවත් කිව යුතුයි.

      Delete
  3. දොස්තරලගෙ අයවැය යෝජනා ගැන කිපියක් ලියන්න බැරිද? විශේශයෙන් වෙලඳපොල අගය මත පදනම් වූ වැටුප් කතාවක් කියන්න පටන් අරගෙන තියෙනව. ඒ ගැන ලියන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. මම යෝජනාව දැක්කේ නැහැ. වෙළඳපොළක් නැතිව වෙළඳපොළ අගය ගණන් හදන්නේ කොහොමද?

      Delete
    2. https://lankacnews.com/%e0%b6%af%e0%b7%9c%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b6%bb%e0%b6%bd%e0%b7%8f-%e0%b7%80%e0%b7%8f%e0%b7%84%e0%b6%b1-%e0%b6%b6%e0%b6%bd%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a-%e0%b6%89%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd/

      Delete
    3. වෙලඳපොල කිය්න්නෙ මහිතෙ ප්‍රයිවෙට් හොස්පිටල් වලින් බේත් ගන්නකොට යන මිලක් තියෙනව නේද?

      Delete
    4. ලංකාවේ වෛද්‍ය සේවා සැපයීම තනිකරම මෙන් රාජ්‍ය ඒකාධිකාරයක්නේ. වෛද්‍යවරුන් මුදල් අය කර සේවා සැපයුවත්, කලාතුරකින් හැර, එසේ කරන්නේ රජයේ වෛද්‍ය සේවය තුළ සිටින අතරයි. ඒ නිසා, වෙළඳපොළ මිල නිවැරදිව දැනගත හැකි යාන්ත්‍රණයක් නැහැ. ඇමරිකාව වැනි රජයේ වෛද්‍ය සේවයක් නැති රටකටනම් ඔය කතාව ගැලපෙනවා.

      Delete
    5. ඔබ කියනදේ හරි. නමුත් ලන්කාවෙ දොස්තරල පෙන්නන්න හදන්නෙ ලන්කාවෙ දොස්තරල නියම වෙලඳපොල මිලටවඩා අඩුවෙන් සේවය කරනව කියලනෙ. හැමෝම කතා කරන්නෙ උන් ඉල්ලන පර්මිට් ගැනයි දීමනා ගැනයිවිතරයි. මට අනුවනම් වැඩියෙන්ම භයංකර මුග්ද ඉල්ලීම තමයි ඔය වෙලඳපල අනුව වැටුප් නියම කරන්න කියන එක. කවුරුත් ඒ ගැන කතා කරන්නෙ නැති නිසා ඇහුවෙ ඔබෙන් ඒ ගැන ලියන්න බැරිද කියල.

      Delete
  4. ඉකොනෝ

    ඇත්තටම සහල් ගැන කතාකරන විට ලංකාව 1952 දී චීනය සමග එළැඹුනු රබර් සහල් ගිවිසුම ගැනත් කෙටියෙන් විස්තර කියන්න ඕනේ.

    එජාප රජයක් යටතේ පාලනය වූ ලංකාව 1952 වන විට උග්‍ර ආර්ථික අර්බුදයකට මුහුණ දුන් රටක් විය. එයට ප්‍රධාන හේතුවක් වූයේ, ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන භාණ්ඩයක් වූ රබර්වල මිල ලෝක වෙළෙඳ පොළේ විශාල ලෙස පහත වැටීමය. ඇමරිකා එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍ය එක්වී රබර් මිල කෘත්‍රිම ලෙස පහත දැමීමට කටයුතු කිරීම මේ තත්ත්වයට හේතු වූ බව ආර්ථික විශේෂඥයන් පෙන්වාදී තිබුණි. එසේම එවකට ලංකාවේ ප්‍රධාන සහල් සැපයුම්කරුවා වූ (මියන්මාර්) බුරුමයේ ගංවතුර නිසා විශාල ලෙස අස්වැන්න හානිවී යාම ද ලංකාවේ සහල් හිඟයක පෙරනිමිති පහළ කරන්නක් විය. මේ තත්ත්වය තුළ එවකට සිටි ආහාර හා කෘෂිකාර්මික අමාත්‍ය සර් ඔලිවර් ගුණතිලක ඇමරිකා එක්සත් ජනපදයට ගියේ සහනාධාර අපේක්ෂාවෙනි. ඇමරිකා එක්සත් ජනපදය මෙහිදී ශ්‍රී ලංකාවේ රබර් ඉතා අඩු මිලකට මිල දී ගැනීමටත්, ලෝක වෙළෙඳ පොළේ මිල ගණන්වලට වඩා සෑහෙන වැඩි මිලකට ලංකාවට සහල් සැපැයීමටත් යෝජනා කළ බැවින් දැඩි අපේක්ෂා භංගත්වයට පත්වුණ ඔලිවර් ගුණතිලකට හිස් අතින්ම ලංකාවට ඒමට සිදුවිය.

    එසේම ඉදිරි වසර සඳහා වූ අයවැය හිඟය පියවා ගැනීමේ අර්බුදයට මුහුණ පා සිටි මුදල් ඇමති ජේ.ආර්. ජයවර්ධන රුපියල් මිලියන 50ක ණය ආධාරයක් ඇමරිකා එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටි නමුත්, ඒ සඳහා ද සතුටුදායක ප්‍රතිචාරයක් නොලැබුණි.  

    පසුකාලීනව 1977 න් පසුව පැමිණී කෲරතර දැඩි ලෙස කුලල් කා ගන්නා දේශපාලන සංස්කෘතිය ඒවන විට ලංකාවේ නොතිබූ බැවින් එවකට විපක්ෂය ද රට වෙනුවෙන් ආණ්ඩුවට මෙම අර්බුදය විසඳීමට උපකාර කිරීමට ඉදිරිපත් විය.

    එකල ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය දැරූ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක තම පක්ෂයේ මන්ත්‍රීවරයකු වූ එස්.ඩී. බණ්ඩාරනායක සහ ඩී ඒ රාජපක්ෂ ඇතුලු තවත් විපක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගෙන් සමන්විත වූ දූත පිරිසක් චීනය බලා යැවීමට කටයුතු යෙදුවේය. එම සංචාරයෙන් මූලිකවම අපේක්ෂා කරන ලද්දේ අනාගතයේ තම නායකත්වයෙන් රජයක් පිහිටවනු ලැබුවහොත් සමාජවාදී කඳවුරේ රටවල් සමග මිත්‍ර සබඳතා ඇතිකරගත යුත්තේ කුමන ආකාරයෙන් ද යන්න පිළිබඳව විමර්ශනය කර බැලීමටය.

    මීට සමගාමීව පිලිප් ගුණවර්ධන, එඩ්මන්ඩ් සමරක්කොඩි, හෙක්ටර් ප්‍රනාන්දු, එන්. ෂන්මුගදාසන් සහ එස්. රත්නවීර මන්ත්‍රීවරු රුසියාව, පෝලන්තය, රුමේනියාව, නැගෙනහිර ජර්මනිය වැනි රටවල සංචාරය කිරීමට කටයුතු කළා.

    මේ අනුව 1952 සැප්තැම්බර් මස නියෝජිත පිරිස චීනයට ළඟා වූහ. චීන මහජන විප්ලවයේ තෙවැනි සංවත්සරය ඔක්තෝබර් මස පළමු වැනි දින පීකිං වල තියෙන්-ආන් මෙන් චතුරශ්‍රයේ දී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වූ අතර, චීන රාජ්‍ය නායකයන් සමග ඒ සඳහා සහභාගිවීමේ දුර්ලභ අවස්ථාව ද ලංකානියෝජිත පිරිසට හිමි විය. චීන නායකයින් හමුවීමේ දුර්ලභ අවස්ථාව ද නියෝජිත පිරිසට හිමි විය. එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් විරුද්ධ පක්ෂ මන්ත්‍රී එස්.ඩී. බණ්ඩාරනායක, ශ්‍රී ලංකාවේ දැවෙන ප්‍රශ්නයක් බවට පත්ව ඇති ආහාර හිඟය පිළිබඳව චීන නායකයන්ගේ අවධානය යොමු කළේය.

    එවිට මේ පිළිබඳව ඉතාම සංවේදීව ප්‍රතිචාර දැක්වූ චීන නායක සභාපති මා ඕ සේතුං ඇතුලු පිරිස, අවශ්‍ය ප්‍රමාණයට වඩා සහල් චීනයේ නිෂ්පාදනය වන නිසා ලංකාව වැනි මිතුරු රාජ්‍යයක් පීඩාවට පත්ව තිබෙන මෙවැනි අවස්ථාවක මෙම තත්ත්වයෙන් මිදීම පිණිස තම උපරිම සහයෝගය ලබා දීමට කැමැත්ත ප්‍රකාශ කළේය.

    මෙම සුබ පණිවුඩය එවකට අගමැති ඩඩ්ලි සේනානායකටත්, විපක්ෂ නායක එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකටත් කේබල් පණිවිඩ දෙකක් මගින් එවීමට එස්.ඩී. බණ්ඩාරනායක කටයුතු කළේය. එහි ප්‍රතිඵලය වූයේ මුදලට සහල් මිල දී ගැනීම වෙනුවට ලංකාව නිපදවන රබර් චීනයෙන් සහල් සඳහා හුවමාරු කර ගැනීමට ඇති හැකියාව පිළිබඳව සාකච්ඡා ආරම්භ වීමය.  
    මේ තත්ත්වය යටතේ වෙළෙඳ හා වාණිජ අමාත්‍ය ආර්.ජී. සේනානායක ශ්‍රී ලංකාවේ රබර් චීනයට යැවීමටත්, චීනයෙන් මෙරටට සහල් ලබා ගැනීමටත් ඇති හැකියාව සොයා බලන ලෙස ලංකා බුරුම තානාපතිව සිටි සුසන්තා ද පොන්සේකාට දන්වා යැවීය. ඒ අනුව 1952 සැප්තැම්බර් මාසයේ අග චීනයට ගිය තානාපතිවරයා, චීන රජය සමග සාකච්ඡා ආරම්භ කළේය. එම සාකච්ඡාවලින් ලෝක වෙළෙඳපොළේ පවතින මිල ගණන්වලට වඩා සැලකිය යුතු ගණනක් අඩුවෙන් චීනය සහල් සැපයීමට එකඟ වූ අතර, ලංකාවේ රබර්වලට සාපේක්ෂව ඉතා වැඩි මිලක් ගෙවීමට ද කැමැත්ත පළ කරන ලදී.

    ReplyDelete
    Replies
    1. නමුත් මෙසේ චීනයෙන් සහල් ලබාගනිමින් ශ්‍රී ලංකාවෙන් රබර් චීනයට යැවීම සඳහා ඇති කර ගැනීමට යන ගිවිසුම සම්බන්ධයෙන් අගමැති ඩඩ්ලි සේනානායකගේ කැබිනට් මණ්ඩලය තුළ සිටි ජේ.ආර්. ජයවර්ධන, සර් ජෝන් කොතලාවල හා ඔලිවර් ගුණතිලක යන ඇමැතිවරු පිරිසක් දැඩි ලෙස විරෝධය පළ කළහ. චීනය සමග මෙවැනි වෙළෙඳ ගිවිසුමකට එළඹුණහොත් ඔවුන් මිතුරු රටවල් යැයි සිතා සිටින එක්සත් ජනපදය හා බ්‍රිතාන්‍ය වැනි රටවල් සමග පැවති සම්ප්‍රදායික රබර් වෙළෙඳපොළ අහිමිවී යා හැකි බවට තර්ක කළ ඔවුන්, ඊට අමතරව විපක්ශයේ වාමාංශික මතධාරී සම සමාජ හා කොමියුනිස්ට් පක්ෂවල දේශපාලන ශක්තිය වර්ධනය විය හැකි බවත් මත පළ කරන ලදී. මෙවැනි තර්ක විතර්ක මතවාද හේතුවෙන් මෙම ගිවිසුමට කැබිනට් අනුමැතිය ලබාගැනීමට මහත් වූ වෙහෙසක් ගැනීමට සිදුවිය. කෙසේ වුවද ජේ.ආර්. ජයවර්ධන හා සර් ජෝන් කොතලාවල ආදීන්ගේ දැඩි විරෝධය මධ්‍යයේ අගමැති ඩඩ්ලි සේනානායක චීනය සමග වාණිජ සම්බන්ධතා ඇතිකර ගත්තේය. එහිදී අගමැතිවරයාට විශාල ශක්තියක් වූයේ වෙළෙඳ අමාත්‍ය ආර්.ජී. සේනානායක බවත් කිව යුතුයි.

      ඇත්තටම එක්සත් ජනපදය බ්‍රිතාන්‍ය වැනි රටවල් ලංකාවට හිමි කරදී ඇත්තේ මහත් විනාශයක් පමණයි නේද? ලංකාවට අසීරු අවස්ථාවල හයිරම් පෙන්වීම මිස චීනය හෝ භාරතය මෙන් කිසිම අවස්ථාවක අවංකව කල්‍යාණ මිත්‍ර ලෙස උපකාර නොකරපු නීසා ලංකාවේ බොහෝ ජනතාව එක්සත් ජනපදය සැබැවින්ම ලංකාවට සතුරු නමුත් ව්‍යාජ ලෙස මිත්‍ර ප්‍රතිරූපක සැබෑවට ලංකාවට හානිකරන සතුරු දුෂ්ට නපුරු රාජ්‍යයක් ලෙස සිතා සිටින එක ගැන ඔබේ අදහස මොකක්ද?

      Delete
  5. වී වෙනුවට රෝස වැව්වත් කමක් නැත
    පොරෝජනය වැඩි නං යහපතක් වෙත
    'වී අලකලංචිය' සබයට පැමිණ ඇත
    හොඳ කෙළි වෙන්නෙ නුදුරේදියි අනාගත

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: