වාහන ආනයනයට ඉඩ දුන්නත්, ඉහළ බදු නිසා ලොකුවට වාහන ආනයනයක් සිදු වෙන එකක් නැද්ද? බදු අඩු කිරීමේ ඉඩකඩක් තිබෙන සේ සලකා වාහන ගන්න ඉන්න අය එය ප්‍රමාද කරයිද? වාහන ආනයනය හිතපු තරමට සිදු නොවුනොත් රාජ්‍ය ආදායම් ඉලක්ක වලට යන්න බැරි වෙයිද?
ඉහත ප්‍රශ්න කිහිප දෙනෙකු විසින්ම මතු කරලා තිබුණා.
පහත තිබෙන්නේ පසුගිය වසර වල පුද්ගලික වාහන ආනයනය වෙනුවෙන් වැය කළ විදේශ විණිමය ප්‍රමාණ ඩොලර් මිලියන වලින්.
2013 - 582.2
2014 - 896.7
2015 - 1359.6
2016 - 794.8
2017 - 772.7
2018 - 1573.5
2019 - 815.7
2020 - 282.9
2021 - 12.8
2022 - 11.7
2023 - 27.7
2024 - 66.2
මේ දත්ත අනුව පෙනෙන පරිදි, ආනයන තහනම් කරන්න පෙර 2015-2019 වසර පහ තුළ සාමාන්‍ය වශයෙන් වසරකට ඩොලර් මිලියන 1063.3ක වාහන ආනයනය කර තිබෙනවා. 2025දී එම ප්‍රමාණය ආනයනය කරනු ඇතැයි සිතුවොත්, 2024ට සාපේක්ෂව ඩොලර් බිලියනක පමණ අමතර වාහන රටට එනවා.
සාමාන්‍යයෙන් වාහන වල ආනයනික මිල වසරින් වසර ඉහළ යනවා. විශේෂයෙන්ම වසංගත කාලයෙන් පසුව වාහන මිල එක වරම සැලකිය යුතු ලෙස ඉහළ ගියා. ඒ නිසා, වසංගත කාලයට පෙර ආනයනය කළ වාහන ප්‍රමාණයම ආනයනය කරන්න දැන් වැඩි ඩොලර් ප්‍රමාණයක් අවශ්‍යයි.
ඊටත් වඩා වැදගත් කාරණය මේ විදිහට වාහන ආනයනයට ඉඩ දෙන්නේ වසර හතරකට පමණ පසුව වීමයි. ඒ නිසා, කාලයක් වාහනයක් ගන්න බලා ගෙන හිටපු අය මේ වෙලාවේ වාහන මිල දී ගැනීමේ ඉඩක් තිබෙනවා. මේ හේතු නිසා, 2025 වාහන ආනයන ප්‍රමාණය ඩොලර් බිලියනය ඉක්මවා යාමේ සැලකිය යුතු අවදානමක් තිබෙනවා (upside risk).
අනෙක් පැත්තෙන් ඩොලරයක මිල සැලකිය යුතු ලෙස ඉහළ ගිහින් තිබෙනවා. බදුත් යම් තරමකින් ඉහළ ගොස් තිබෙනවා. ඔය දෙකටම අමතරව රටේ මුදල් සැපයුම පාලනය වී ඉල්ලුම සීමා වී තිබෙනවා. මේ කරුණු වාහන ආනයනය අධෛර්යමත් කරනවා (downside risk). ඒ නිසා, හිතන තරම් ලොකු වාහන ආනයනයක් සිදු නොවෙන්න පුළුවන්.
ඔය දෙපැත්තම තියෙන නිසා ඉල්ලුම ගැන හරියටම දැනගන්න වෙන්නේ මාස කිහිපයක් ගියාට පස්සෙයි. එතෙක් වැඩිපුර සැලකිලිමත් විය යුත්තේ වාහන ආනයන අඩු වීමේ අවදානම ගැනද නැත්නම් වාහන ආනයන වැඩි වීමේ අවදානම ගැනද?
රටේ ආර්ථිකය නැවත පණ ගසා නැගිට්ටවන්න වාහන ආනයන අවශ්‍යයි. ඒ වගේම, එයින් රාජ්‍ය ආදායම් ඉලක්කයට යන එකත් පහසු වෙනවා. නමුත් වාහන ආනයනය නවත්වන්න සිදු වුනේ රටේ විදේශ විණිමය අර්බුදයක් ඇති වූ නිසා. මේ වෙද්දී විදේශ විණිමය අර්බුදය පාලනය කරගෙන ඇතත්, තිබෙන විදේශ සංචිත රැකගන්නා සහ තවත් වර්ධනය කරගන්නා අතර ඩොලරයක මිල ස්ථාවරව තියා ගැනීම තව දුරටත් ප්‍රමුඛ ඉලක්කයක්. විදේශ අංශයේ තුලනය නැති කරගෙන ආර්ථිකය ඉදිරියට තල්ලු කරන්න බැහැ.
ඩොලර් බිලියනයක පමණ වාහන ආනයන ආර්ථිකයට දරා ගන්න පුළුවන්. නමුත් ඊට වඩා වැඩි වුනොත් ඩොලරයක මිල මත යම් පීඩනයක් ඇති වෙන්න පුළුවන්. එය තෙල් මිල, විදුලි ගාස්තු, ප්‍රවාහන ගාස්තු ආදිය හරහා උද්ධමනය බවට පත් වෙනවා. ඒ වගේම, විදේශ ණය හා පොලී ගෙවීමේ රුපියල් වියදම ඉහළ ගිහින් අයවැය මතද පීඩනයක් ඇති වෙනවා. වාහන ආනයන සීමා වූ තරමට මේ අවදානම් පහළ යනවා.
ඉහත හේතු නිසා, ඕනෑවට වඩා වාහන ආනයන සිදු වීමේ අවදානම ගැන රජය විසින් මුලින්ම හිතන්න වෙනවා. යම් හෙයකින් එවැනි තත්ත්වයක් ඇති වුනොත්, බදු තවත් වැඩි කරලා වාහන ආනයනය පාලනය කිරීමක් කරන්න රජය පෙළඹෙන්න පුළුවන්. ඔය වගේ කතාවක් මහ බැංකු අධිපති විසින්ද කියා තිබුණා.
හැබැයි ඔය වගේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ වාහන ආනයන විශාල ලෙස වැඩි වුනොත්. එහෙම නොවී වාහන ආනයන ඉතා අඩුවෙන් සිදු වුනොත් වෙන්නේ කුමක්ද?
ආර්ථික අර්බුදයට පෙර වසරකට ඩොලර් බිලියනය ඉක්මවන වාහන ආනයන සිදු වී තිබීම සැලකූ විට නරකම තත්ත්වයක් යටතේ වුවත් ඩොලර් මිලියන පන්සීයකවත් වාහන ආනයනයක් සිදු නොවෙන්න හේතුවක් නැහැ. බදු ප්‍රමාණය 300%ක් සේ සැලකුවොත් එයින් රුපියල් බිලියන 450ක පමණ ආදායමක් එනවා. රාජ්‍ය ආදායම් ඉලක්කයට යන්න ඒ ප්‍රමාණය ඇති.
බදු අඩු කරලා, ඒ මගින් වාහන ආනයන වැඩි කරගෙන, රාජ්‍ය ආදායම් ඉලක්ක වලට යන්න උත්සාහ කරනවා කියන එක හරියන ක්‍රමයක් නෙමෙයි. බදු අඩු කරලා වාහන ආනයන වැඩි කරන්නනම් දැනෙන්නම බදු අඩු කරන්න වෙනවා. එහෙම කරලා වාහන ආනයන වැඩි වුනත් අවසාන වශයෙන් රාජ්‍ය ආදායම් වල ලොකු වැඩිවීමක් වෙන්නේ නැහැ. ඒ නිසා, රාජ්‍ය ආදායම් පැත්තෙන් බලනවානම්, බදු දැනට තියෙන මට්ටමේම තියා ගන්න එකයි වඩා හොඳ විසඳුම.
රාජ්‍ය ආදායම් ගැන හිතනවානම්, පරණ වාහන ගෙන්වන්න දීම වැඩ කරන විසඳුමක්. නමුත්, පරණ වාහන ගෙන්වීම සීමා කිරීමට හේතු වූ තත්ත්වයන් එලෙසම තියෙනවා. ඇත්තටම රටේ තියෙන්නේ වසර තුන හතරකින් අලුත් වාහන නොපැමිණීමේ ප්‍රශ්නයක් මිසක් වාහන මදි වීමේ ප්‍රශ්නයක් නෙමෙයි.
වාහන ආනයන අඩු වීමේ සහ වැඩි වීමේ අවදානම් කිරා මැන බැලුවට පස්සේ අඩු වීමේ ලොකු අවදානමක් මට පෙනෙන්නේ නැහැ. ඒ නිසාම, රාජ්‍ය ආදායම් ඉලක්ක වලට යා නොහැකි වීමේ අවදානමක් පේන්නෙත් නැහැ. මේ කරුණු එක්ක බලද්දී ඉදිරි කාලයේදී වාහන ආනයන බදු අඩු වෙන්න හේතුවක් පෙනෙන්නේත් නැහැ.
// බදු අඩු කරලා, ඒ මගින් වාහන ආනයන වැඩි කරගෙන, රාජ්‍ය ආදායම් ඉලක්ක වලට යන්න උත්සාහ කරනවා කියන එක හරියන ක්‍රමයක් නෙමෙයි.//
ReplyDeleteමෙහෙම දෙයක් නේද මංගල 2017/18 කරලා ඔය ප්‍රස්ථාරයේ ලොකු අගයක් තියෙන්නේ. ඒ වෙලාවේ විශාල දේශීය ණය මුදලක් ගෙවන්න මේ බදු ආදායම පාවිච්චිකලා වගේ මතකයි.