මෙය 2024 අයවැය පිළිබද පසු විපරමක්. අලුත් අයවැය ගැන විමසීමක් කරන්න කලින් පසුගිය වසරේ අයවැය ඇස්තමේන්තු සහ සත්‍ය සංඛ්‍යා පිළිබඳ සංසන්දනයක් කිරීම වැදගත් කියා මම හිතනවා.
ලංකාවේ රාජ්‍ය අයවැය හදන්නේ වසරක කාලයක් සඳහා. නමුත් ඒ විදිහට වසරක කාලයක් සඳහා අයවැය හදන්නේ මැදිකාලීන සහ දිගුකාලීන ඉලක්කද සහිතව එම ඉලක්ක හා ගැලපෙන විදිහටයි.
කොහොම වුනත්, ලංකාවේ අයවැය ඉතිහාසයේ පසුගිය දශක කිහිපය දෙස බැලුවොත් මේ අයවැය ඉදිරිපත් කිරිල්ල විහිළුවක් වෙලයි තිබුණේ. ආදායම් ඇස්තමේන්තු ඉදිරිපත් කළත්, ප්‍රායෝගිකව ඒ ඉලක්ක ලඟා කර ගැනීමක් සිදු වුනේ නැහැ. ඒ වගේම, වියදම් ඉලක්ක තිබුණත්, වියදම් ඒ ඉලක්ක වලට සීමා වුනේ නැහැ. එහෙම බලද්දී, 2024 කියන්නේ බොහෝ දුරට අයවැය ඉලක්ක ලඟා කරගත් වසරක් කියා කියන්න පුළුවන්. ඒ කියන්නේ, ඇත්තටම අවශ්‍යනම් සෑහෙන තරම් නිවැරදිව ආදායම් හා වියදම් ඇස්තමේන්තු හදාගන්න බැරිකමක් නැහැ කියන එක.
පසුගිය වසරේ අයවැය සකස් කරද්දී දිගුකාලීන ඉලක්කය වී තිබුණේ ශ්‍රී ලංකාව 2048දී සංවර්ධිත රාජ්‍යයක් බවට පක් කිරීමයි. සමහර අයට මේ වැඩේ මීට වඩා හදිසියෙන් කරන්න අවශ්‍ය වෙලා තිබුනා වගේම 2048 ඉලක්කය විහිළුවක් වෙලා තිබුණා. නමුත්, ඔය 2048 ඉලක්කය වුනත් පහසුවෙන් ලඟා කරගත හැකි ඉලක්කයක් නෙමෙයි.
කෙටිකාලීන ඉලක්ක ලෙස ඉදිරිපත් කර තිබුණේ මේවායි.
1. 2024දී ආර්ථිකයේ 1.8%ක වර්ධනයක් අත් කර ගැනීම
2. උද්ධමනයේ සාමාන්‍ය අගය තනි ඉලක්කමක මට්ටමේ පවත්වා ගැනීම
3. විරැකියා මට්ටම 2024දී 5%ට වඩා අඩු අගයක පවත්වා ගැනීම
4. විණිමය අනුපාතය ස්ථාවර මට්ටමක පවත්වා ගැනීම.
ආර්ථික වර්ධනය 5% පමණ මට්ටමකට යා හැකි බවයි මේ වෙද්දී පෙනී යන්නේ. වාර්ෂික සාමාන්‍ය අගයක් ලෙස උද්ධමනය 1.2% වැනි මට්ටමකට අඩු වෙලා. විරැකියා අනුපාතය දිගටම තිබුණේ 5% මට්ටමට පහළින්. තුන්වන කාර්තුවේදී එය 4.1%යි. වාහන ආනයන වලට ඉඩ දීමෙන් පසුවද විණිමය අනුපාතය ස්ථාවර මට්ටමක තියෙනවා. මේ හැම දෙයකින්ම පෙනෙන්නේ නිවැරදි රාජ්‍යමූල්‍ය හා මුදල් ප්‍රතිපත්ති අනුගමනය කිරීමෙන් ලබා ගත හැකි ප්‍රතිඵල.
පසුගිය වසර සඳහා අයවැය ඉලක්ක හදා තිබුණේ ඉහත සාර්ව ආර්ථික ඉලක්ක හා ගැලපෙන විදිහටයි. කෙටුම්පත් අවස්ථාවේ සිට වරින් වර අයවැය ඇස්තමේන්තු සුළු වශයෙන් වෙනස් වීම සාමාන්‍ය දෙයක්. ඒ නිසා, විවිධ ලේඛණ වල තිබෙන ඇස්තමේන්තු හරියටම ගැලපෙන්නේ නැහැ. විශේෂයෙන්ම වියදම් පැත්ත විවිධ ලේඛණ වල වෙනස් ආකාර වලින් ඉදිරිපත් කර තිබෙනවා. ඒ නිසා, සංසන්දනයක් කරන එක ටිකක් අසීරු වැඩක්. ආදායම් පැත්තේ එවැනි වෙනස්කම් අඩුයි.
පහත තිබෙන්නේ අනුමත අයවැය ඇස්තමේන්තු අනුව 2024 රාජ්‍ය ආදායම. සියලුම සංඛ්‍යා රුපියල් බිලියන වලින්.
2024 රාජ්‍ය ආදායම - අනුමත ඇස්තමේන්තු
ජාත්‍යන්තර වෙළඳාම මත බදු = 507.9
දේශීය භාණ්ඩ හා සේවා මත බදු = 2,215.6
බලපත්‍ර ගාස්තු ආදිය = 16.5
ආදායම් හා ලාභ මත බදු = 1,080.0
බදු නොවන ආදායම් = 324.0
ප්‍රදාන = 20.0
පළාත් සභා ආදායම් = 78.2
එකතුව = 4,242.2
මෙම වසරේ අයවැය කෙටුම්පතේ ඇති ප්‍රතිශෝධිත ඇස්තමේන්තු අනුව, ඉහත ඉලක්ක ලඟා කර ගෙන තිබෙන්නේ පහත පරිදියි.
2024 රාජ්‍ය ආදායම - ප්‍රතිශෝධිත ඇස්තමේන්තු
ජාත්‍යන්තර වෙළඳාම මත බදු = 481.3
දේශීය භාණ්ඩ හා සේවා මත බදු = 2,177.6
බලපත්‍ර ගාස්තු ආදිය = 19.5
ආදායම් හා ලාභ මත බදු = 1,026.2
බදු නොවන ආදායම් = 388.9
ප්‍රදාන = 60.0
පළාත් සභා ආදායම් = 84.4
එකතුව = 4,237.9
අනු කාණ්ඩ වල අඩු වැඩිවීම් තිබුණත්, සමස්තයක් ලෙස ආදායම් ඉලක්කයෙන් 99.9%ක් එකතු කරගෙන තිබෙනවා.
වියදම් පැත්තෙන් වඩා වැදගත් පුනරාවර්තන වියදම් කොටසයි. එයින් සැලකිය යුතු කොටසක් පොලී වියදම්.
2024 රාජ්‍ය වියදම් - අනුමත ඇස්තමේන්තු
පොලී වියදම් = 2,651.0
පුද්ගල පඩිනඩි = 799.2
අනෙකුත් පුනරාවර්තන වියදම් = 1,848.5
ප්‍රාග්ධන වියදම් = 1,709.8
රාජ්‍ය ණය ආපසු ගෙවීම් = 4,268.4
එකතුව = 11,276.8
2024 රාජ්‍ය වියදම් - ප්‍රතිශෝධිත ඇස්තමේන්තු
පොලී වියදම් = 2,749.1
පුද්ගල පඩිනඩි = 744.7
අනෙකුත් පුනරාවර්තන වියදම් = 2,104.9
ප්‍රාග්ධන වියදම් = 1,525.7
රාජ්‍ය ණය ආපසු ගෙවීම් = 4,630.4
එකතුව = 11,754.9
මේ අනුව, වියදම් පැත්තේ රුපියල් බිලියන 478.1ක වැඩි වීමක් පේනවා. එහෙත්, එයින් රුපියල් බිලියන 362.0ක් වැඩි වී තිබෙන්නේ මුලින් ඇස්තමේන්තු කළාට වඩා වැඩියෙන් ණය ආපසු ගෙවූ නිසා. තවත් රුපියල් බිලියන 98.10ක් අමතර පොලී ගෙවීම්. මේ කොටස් දෙකේ එකතුව රුපියල් බිලියන 460.1ක්. අනෙකුත් වියදම් වැඩි වීම රුපියල් බිලියන 17.9ක් පමණයි. ඒ අනුව, එම කොටස මුල් ඇස්තමේන්තුවට සාපේක්ෂව 100.4%ක් වී තිබෙනවා. එය සුලු වැඩිවීමක්.
සමස්ත චිත්‍රය දෙස බැලු විට පෙනී යන්නේ 2024 අයවැය ඉලක්ක ඉතා කිට්ටුවට ලඟා කරගත් වසරක් බවයි. එමෙන්ම, මුලින් සැලසුම් කළාට වඩා වැඩියෙන් ණය හා පොලී ආපසු ගෙවා තිබෙනවා. ආර්ථික වර්ධනය, උද්ධමනය, විණිමය අනුපාතය, විරැකියා අනුපාතය ආදිය කලින් ඉලක්ක කළාටත් වඩා ගොඩක් හොඳ මට්ටමක තියෙන්නේ මේ යහපත් රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ උදවුවෙන්.
No comments:
Post a Comment
මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.