වෙබ් ලිපිනය:

Monday, July 14, 2025

ගනුදෙනු කළ හැක්කේ මිනිසුන්ට පමණද?


මේ සටහන දමන්නේ පසුගිය සටහනකට අරුණි ශපීරෝ විසින් දමපු පහත ප්‍රතිචාරය මුල් කරගෙනයි.

"ආර්ථික විද්‍යාවේ එන trade කියන ගනුදෙනු කරන්න සත්තුන්ට බැහැ කියල ඇඩම් ස්මිත් පෙන්වා දුන්නෙ අවුරුදු 300 කට විතර කලින්!"

ඇගේ ප්‍රතිචාරයේ ඇඩම් ස්මිත්ව උපුටා දැක්වීමක්ද තිබෙනවා. අවුරුදු 300 කට විතර කලින් කවුරු හෝ කෙනෙක් ඔය වගේ දෙයක් "පෙන්වා දුන්නා" කියන එක මටනම් කිසිම විශේෂ වැදගත්කමක් තිබෙන දෙයක් නෙමෙයි. ඇඩම් ස්මිත් කියා කියන්නේ පසුගිය වසර 300ක පමණ කාලයේ මිනිසුන් විසින් සාමූහිකව දැනගත් බොහෝ දේවල් නොදැන සිටි කෙනෙක්. නමුත් පසුගිය කාලයේ අපගේ ලිපි වලට ප්‍රතිචාර දැමූ වෙනත් අය විසින්ද වරින් වර මේ බව "පෙන්වා දී" තිබෙනවා.

ඉතා පැහැදිලි ලෙසම නූතන මිනිසුන් විසින් සාමූහිකව කරන ආකාරයේ සංකීර්ණ ක්‍රියාකාරකම් සතුන්ට කළ නොහැකියි. ඒ වගේම මිනිසුන් කරන ආකාරයේ ගනුදෙනු සතුන් විසින් කිරීම සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. නමුත් සතුන් හැම විටම ක්‍රියා කරන්නේ සහජ ආශය මත පදනම්ව පමණක්ය යන්න ඇතැම් අය විසින් පහසුවට කරන උපකල්පනයක් (convenience assumption) හා එම උපකල්පනය මත පදනම්ව ඇඳගෙන තිබෙන බෙදුම් ඉරක් පමණයි. කාලයක් මේ බෙදුම් ඉර ඇන්දේ දැන් මිනිසුන් සේ සලකන ඇතැම් කණ්ඩායම්ද බැහැර කරමිනුයි. ඇඩම් ස්මිත්ගේ කාලයට බොහෝ පසුවද මෙය සිදු වුනා. 

සත්තු වගේම මිනිස්සුත් කාබනික යන්ත්‍ර. මිනිස්සුත් සහජ ආශය නිසා බොහෝ දේවල් කරනවා. ඊට අමතරව මිනිසුන්ට නිදහස් කැමැත්තක් තිබෙන බව අපි දන්නවා. මේ නිදහස් කැමැත්තේ ස්වරූපය බොහෝ දුරට තීරණය වන්නේ මිනිසෙකු හැදී වැඩෙන සමාජය සහ ජීවත්වන සංස්කෘතිය අනුවයි. එසේ නැතුව එය තනිකරම තමන් තුළින්ම පැන නගින දෙයක් නෙමෙයි.

ඉහත ඇඩම් ස්මිත් විසින් කරන බෙදීම සැලකුවත්, එය ආබ්‍රහමික ආගමික විශ්වාස හා ගැලපෙන වෙන් කිරීමක්. එම ආගම් අනුව මිනිසා මවන්නේ දෙවියන්ගේ ස්වරූපයෙන්. ඒ නිසා සතුන් හා මිනිසා අතර පැහැදිලි බෙදුම් ඉරක් තිබෙනවා. ඇඩම් ස්මිත්ගේ ප්‍රකාශය සහ මේ ආගමික විශ්වාසය අතර ආකෘතිමය වෙනසක් නැහැ. ඒ නිසා, ආබ්‍රහමික ආගමික විශ්වාස සමඟ හිතන්න පුරුදු වූ අයට සහ එවැනි අය වැඩිපුර සිටින සමාජයකට මේ වගේ අදහසක් හොඳින් පත්තියම් වෙනවා.

ආබ්‍රහමික නොවන ආගම් වල මේ විදිහේ තියුණු බෙදුම් ඉරක් නැහැ. ඉන්දියානු ආගම් අනුව වරින්වර සත්තු මිනිස්සු ලෙසත් මිනිස්සු සත්තු ලෙසත් ඉපදෙනවා. පරිධියේ දේවල් වුනත්, පාරිලෙයිය වනයේ වස් වසද්දී බුදුන්ට උදවු කරන වඳුරා සහ ඇතා එසේ කරන්නේ හිතාමතා. ඒ නිසා ඒ ක්‍රියාවන්හි යහපත් ප්‍රතිඵල ඒ සතුන්ට ලැබෙනවා. මූලික අදහස සංකල්පීය වශයෙන් ආබ්‍රහමික වල තරම් දැඩි බෙදුම් ඉරක් ඉන්දියානු ආගම් වල නැති බව පෙන්වීම. නමුත් මේ ආගම් වල වුනත් සතුන් මිනිසුන්ට සමාන කිරීමක් වෙන්නේ නැහැ. මිනිස් භවය ස්ථානගත වෙන්නේ වඩා ඉහළ තැනක.

සතුන්ටද ගනුදෙනු ආකාරයේ ක්‍රියාකාරකම් කළ හැකි බව පර්යේෂණ ගණනාවකින් පෙනී ගොස් තිබෙනවා. එක් සතෙකු විසින් තවත් සතෙකු පිරිසිදු කිරීම බොහෝ සත්ත්ව ප්‍රභේද වල චර්යාවක්. නමුත් මෙය ගණුදෙනුවක් කියා කියන්න බැහැ. සහජ ආශය නිසා මෙවැන්නක් සිදු විය හැකියි. එහෙත්, එක් සතෙකු විසින් තවත් සතෙකුව පිරිසිදු කරන්නේ ඒ සතා විසින්ද එසේ කරන්නේනම් පමණක්නම් (grooming reciprocation) එහි තිබෙන්නේ ගණුදෙනුවක්. වානර ප්‍රභේද 22ක නියැදි 48ක් ඇසුරෙන් වරින් වර සිදු කර තිබෙන නිරීක්ෂණ ඇසුරෙන් මෙම චර්යාව තහවුරු වී තිබෙනවා [1]. 

කැපුචින් වඳුරන් යොදා ගෙන සිදු කළ පර්යේෂණයක් මගින් එම වදුරන්ගේ රුචිකත්ව අනුපිළිවෙල පරීක්ෂාවට ලක් කිරීමට හැකි වී තිබෙනවා [2]. මෙහිදී එම වඳුරන් මිනිසුන් මෙන්ම තමන් අඩුවෙන් කැමති දෙයක් වැඩියෙන් කැමති දෙයක් සමඟ හුවමාරු කරගෙන තිබෙනවා. උදාහරණයක් ලෙස මුලින් පළතුරක් දී පසුව ඒ වෙනුවට විස්කෝතු හුවමාරු කර ගැනීමට අවස්ථාව දුන් විට වඳුරන් එසේ කර තිබෙනවා. නමුත් එය අනෙක් පැත්තට සිදු කර නැහැ. එමෙන්ම, මිදී වෙනුවට ඇපල් හුවමාරු කර ගැනීමට මෙම වඳුරන් ඉදිරිපත්ව ඇතත්, ඇපල් වෙනුවට මිදී හුවමාරු කර ගැනීමට පෙළැඹී තිබෙන්නේ අඩුවෙන්. 

ගනුදෙනු කිරීමේ හැකියාව ප්‍රදර්ශනය කර තිබෙන්නේ වානර කුලයේ සතුන් පමණක් නෙමෙයි. ලේ උරා බොන වවුලන් එම ලේ නැවත වමාරා වෙනත් වවුලන්ට දීම සිදු කරන අතර මෙහිදී සැලකිල්ලට ගෙන තිබෙන්නේ ඥාතිත්වය වැනි කරුණු නොව වෙනත් අවස්ථා වල තමන්ටද එසේ ආහාර ලබා දීමයි [3,4].

තවත් මෙවැනි පර්යේෂණයකදී කැපුචින් වඳුරන් විසින් එකම වර්ගයේ දේවල් යම් ප්‍රමාණයකට වඩා වෙනස් වර්ග වල දේවල් වලට වැඩි කැමැත්තක් ඇති බව ප්‍රදර්ශනය කර තිබෙනවා. මෙම එකම වර්ගයේ දේවල් පැකේජය සමන්විතව තිබුණේ ඔවුන් වඩා කැමති දේවල් වලින් වුවත්, විවිධත්වයට ඇති කැමැත්ත නිසා අඩුවෙන් කැමති දේවල්ද සහිත පැකේජය මේ වඳුරන්ගේ තේරීම වී තිබෙන්නේ ඊට සමාන මිනිස් චර්යාව සිහිපත් කරමිනුයි [5]. එමෙන්ම මේ වඳුරන් විසින්ම, යම් ආහාරයක කුඩා ප්‍රමාණයක් පසුව ලොකු ප්‍රමාණයක් සමඟ හුවමාරු කර ගැනීමේ අවස්ථාව ගැන දැන ගැනීමෙන් පසුව, මුලින් දෙන කුඩා ප්‍රමාණය ආහාරයට නොගෙන තමන් වෙත තබාගෙන සිට තිබෙනවා [6]. කැපුචින් වඳුරන් විසින් මෙන්ම බල්ලන් විසින්ද මෙම චර්යාව ප්‍රදර්ශනය කර තිබෙනවා [7].

මෙවැනි චර්යාවන් සාමූහික මිනිස් ක්‍රියාකාරකම් තරම් සංකීර්ණ නොමැති වුවත් සහජ ආශය නිසාම සිදු වන්නේයයි කියන්න අමාරුයි. මේ හා අදාළ පර්යේෂණ පළ කෙරෙන Animal Cognition වැනි විමර්ශිත ජර්නල පවා තිබෙනවා. 

සතුන්ටද යම් සිතීමේ හැකියාවක් තිබෙනවා විය හැකි වුවත් එම කරුණ හා අදාළව මිනිසුන් සිටින්නේ බොහෝ ඉදිරියෙන් බැවින් මෙහි ප්‍රායෝගික ප්‍රශ්නයක් නැතත් කෘතීම බුද්ධිය හමුවේ මිනිස් චින්තනයේ සීමාවන් අභියෝගයට ලක් වෙන්න පුළුවන්. වඩා දියුණු බුද්ධියකට මිනිසුන් ඇතුළු සියලුම කාබනික යන්ත්‍ර සහජ ආශය මත ක්‍රියා කරන්නන් සේ පෙනෙන්න පුළුවන්. 

References: 

1. Schino, G., & Aureli, F. (2008). Grooming reciprocation among female primates: a meta-analysis. Biology Letters4(1), 9-11.

2. Westergaard, G. C., Liv, C., Rocca, A. M., Cleveland, A., & Suomi, S. J. (2004). Tufted capuchins (Cebus apella) attribute value to foods and tools during voluntary exchanges with humans. Animal Cognition7(1), 19-24.

3. Carter, G. G., & Wilkinson, G. S. (2013). Food sharing in vampire bats: reciprocal help predicts donations more than relatedness or harassment. Proceedings of the Royal Society B: Biological Sciences280(1753), 20122573.

4. Carter, G. G., & Wilkinson, G. S. (2013). Food sharing in vampire bats: reciprocal help predicts.

5. Addessi, E., Mancini, A., Crescimbene, L., Ariely, D., & Visalberghi, E. (2010). How to spend a token? Trade-offs between food variety and food preference in tufted capuchin monkeys (Cebus apella). Behavioural Processes83(3), 267-275.

6. Drapier, M., Chauvin, C., Dufour, V., Uhlrich, P., & Thierry, B. (2005). Food-exchange with humans in brown capuchin monkeys. Primates46(4), 241-248.

7. Leonardi, R. J., Vick, S. J., & Dufour, V. (2012). Waiting for more: The performance of domestic dogs (Canis familiaris) on exchange tasks. Animal Cognition15(1), 107-120.

1 comment:

  1. ඔය ගෑනි කියන ඒව සිරා ගන්නෙ ඇයි? මෝඩ වාහෙ

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: