වෙබ් ලිපිනය:

Friday, October 30, 2026

උද්ධමනය 8.3% දක්වා ඉහළට!


ගෙවුණු ඔක්තෝබර් මාසයේදී කොළඹ පාරිභෝගික නිල දර්ශකය මත පදනම් වන නිල උද්ධමනය 8.3% දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙය අර්බුදයෙන් පසුව ආර්ථිකය ස්ථාවර කිරීමෙන් පසු වාර්තා වන ඉහළම අගයයි. 

අපගේ පෙර සටහන් වලද සඳහන් කර ඇති පරිදි, නොවැම්බර් මාසයේදී මෙම අගය තව දුරටත් ඉහළ යා හැකි නමුත් දෙසැම්බර් මාසයේදී යම් අඩු වීමක් අපේක්ෂා කළ හැකියි. කෙසේ වුවද, ඉදිරි වසරේ මුල් අර්ධය තුළද උද්ධමනය පවතිනු ඇත්තේ මහ බැංකුවේ ඉලක්ක මට්ටම වන 5% ඉක්මවන ඉහළ තනි අංකයේ අගයකයි. 

නිල උද්ධමනය ලෙස මනිනු ලබන්නේ පසුගිය වසරක කාලය තුළ කොළඹ පාරිභෝගික නිල දර්ශකයේ අගය වෙනස් වීමයි. එය ප්‍රතිශතයක් ලෙස ගණනය කරනවා. මේ සඳහා වසරක කාලයක සාමාන්‍ය මිල වැඩි වීම සලකා බලන බැවින් කිසියම් බාහිර කම්පනයක් නිසා මිල මට්ටම ඉහළ ගිය විට එම බලපෑම ඉවත් වීම සඳහාද වසරක පමණ කාලයක් ගත වෙනවා. 

මේ සමඟ පළ කරන ප්‍රස්තාරයෙහි පෙන්වා තිබෙන්නේ පසුගිය දෙවසරක කාලය තුළ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වෙනස් වීමයි. මැද පෙරදිග යුද තත්ත්වයක් ඇති වී ඉන්ධන මිල ගණන් ඉහළ යාම හේතුවෙන්, මෙම වසරේ පෙබරවාරි සිට මැයි දක්වා කාලය තුළ, මුදල් සැපයුම වැඩි කිරීම හේතුවෙන් සිදුවෙන මිල මට්ටමෙහි සිදු වන සාමාන්‍ය වැඩිවීම ඉක්මවා යන, එකවර සිදු වන විශාල ඉහළ යාමක් සිදු වුනා. එහෙත් පසුගිය ජූනි මාසයේ සිටම මිල මට්ටම ඉහළ යමින් තිබෙන්නේ මහ බැංකුවේ ඉලක්ක මට්ටම හා සැසඳෙන වේගයකිනුයි. එබැවින් වසරක කාලයකින් පසුව සැපයුම් කම්පනයේ තාවකාලික බලපෑම ඉවත් වූ පසුව උද්ධමනය නැවතත් මහ බැංකුවේ ඉලක්ක මට්ටමට පැමිණීමට නියමිතයි.

මහ බැංකුව විසින් ඉදිරි තෙවසරක කාලය තුළද උද්ධමන ඉලක්කය 5% ලෙස පවත්වා ගැනීමට තීරණය කර තිබෙනවා. එහෙත්, සැපයුම් කම්පන තත්ත්වයකදී උද්ධමනය එම මට්ටම ඉක්මවා ඉහළ යා හැකියි. 

Wednesday, October 7, 2026

දළ නිල සංචිත - සැප්තැම්බර් 2026

 


සැප්තැම්බර් මාසය අවසානයේදී දළ නිල විදේශ සංචිත ඩොලර් මිලියන 6,851 දක්වා පහත වැටී තිබෙනවා.

අගෝස්තු මාසයේදී මහ බැංකුව විසින් වෙළඳපොළෙන් ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 579.0ක මුදලක් මිල දී ගෙන තිබුණු අතර, ඊට පෙර ජූලි මාසයේදී ඩොලර් මිලියන 346.6ක් මිල දී ගෙන තිබුණා. එහෙත්, ගෙවුණු සැප්තැම්බර් මාසයේදී මහ බැංකුව විසින් මිල දී ගෙන ඇති ඩොලර් මිලියන 85.0ක මුදලින් ඩොලර් මිලියන 20.8ක් විණිමය අනුපාතය ස්ථාවරව පවත්වා ගැනීමේ අරමුණින් නැවත විකුණා තිබෙනවා. 

මේ අනුව, පසුගිය මාසයේ මහ බැංකුව විසින් ශුද්ධ වශයෙන් මිල දී ගෙන තිබෙන්නේ ඩොලර් මිලියන 64.2ක් පමණයි. එම ශුද්ධ මිල දී ගැනීම් ප්‍රමාණයට වඩා වැඩි විදේශ විණිමය ප්‍රමාණයක් රජයේ හා මහ බැංකුවේ විදේශ ණය ගෙවීම් වෙනුවෙන් යොදවා ඇති බව පෙනෙන්නට තිබෙනවා.

Sunday, October 4, 2026

ස්වෛරිත්ව බැඳුම්කර ණය ආපසු ගෙවිය යුත්තේ කවදාද?

මෙය පාඨකයෙකු විසින් පෞද්ගලිකව අසා ඇති ප්‍රශ්නයකට ලබා දෙන පොදු පිළිතුරක්. ප්‍රශ්නය තවත් බොහෝ දෙනෙකුගේද ප්‍රශ්නයක් විය හැකි නිසාත්, ප්‍රශ්නයට පිළිතුර පහසුවෙන් සොයා ගැනීමේ හැකියාවක් නැති නිසාත්, අවශ්‍ය පිළිතුර මේ අයුරින් සටහනක් ලෙස පළ කරනවා.

ඔබ දන්නා පරිදි, 2024 වර්ෂය අවසානයේදී ශ්‍රී ලංකා රජය විසින් ඒ වන විට නිකුත් කර තිබුණු ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර එකොළහක් ප්‍රතිව්‍යුහගත කරනු ලැබුවා. ඒ අවස්ථාවේදී තාක්ෂණිකව සිදු වූයේ අලුත් ස්වෛරිත්ව බැඳුම්කර හතක් නිකුත් කර, ඒ වන විට නිකුත් කර තිබුණු ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර එකොළහ සහ එම බැඳුම්කර වෙනුවෙන් ගෙවිය යුතුව තිබුණු නමුත් නොගෙවා පැහැර හැර තිබුණු කූපන් පොලී මුදල් වෙනුවට මෙසේ අලුතෙන් නිකුත් කළ බැඳුම්කර හතෙහි කොටස් ලබා දීමයි. 

ඉහත ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා රජය විසින් මෙසේ අලුතෙන් නිකුත් කළ බැඳුම්කර කල් පිරෙද්දී අදාළ මුදල් ආපසු ගෙවිය යුතුයි. මෙම කටයුත්ත ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් වූ වහාම ආරම්භ වුනා. මේ අනුව, පළමුව කල් පිරෙන බැඳුම්කරයෙහි මුල් මුදලින් 47%ක් මේ වන විටද පියවා අවසානයි. එහි ඉතිරි 53%ක කොටස 2027 සහ 2028 වසර වලදී පියවිය යුතුයි. ඉන් පසුව, 2029-2038 කාලය තුළ ඉතිරි බැඳුම්කර හය කල් පිරෙනවා.

මෙම ස්වෛරිත්ව බැඳුම්කර ණය පියැවීම සඳහා ඉදිරි එක් එක් වර්ෂය තුළ කොපමණ මුදලක් අවශ්‍ය වේද යන ප්‍රශ්නයට ආසන්නවම නිවැරදි පිළිතුරක් තිබෙන්නේ මාස කිහිපයකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති වාර්තාවකයි. එහෙත්, එහි සඳහන් ගණන් වලින්ද සැබෑම තත්ත්වය නිරූපණය වන්නේ නැහැ. ඊට හේතුව රටේ නාමික දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය සහ ආර්ථික වර්ධන වේගය හා අදාළ මූල්‍ය අරමුදලේ මුල් පුරෝකථන මත පදනම්ව එහි දක්වා ඇති ගණනය කිරීම් සිදු කර තිබීමයි. 

මෙම වසරේ ඉදිරි මාස කිහිපය තුළ හෝ ඉදිරි වසර තුළ රටේ ආර්ථිකයේ අනපේක්ෂිත විශාල කඩා වැටීමක් සිදු වුවහොත් හෝ ඩොලරයක මිල අනපේක්ෂිත ලෙස විශාල ලෙස ඉහළ ගියහොත් මිස නාමික දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය සහ ආර්ථික වර්ධන වේගය සම්බන්ධව මූල්‍ය අරමුදලේ මුල් පුරෝකථන නිවැරදි වීමේ ඉඩක් මේ වන විට නැහැ. ඒ නිසාම, දැනට පවතින තත්ත්වය තුළ අලුත් ස්වෛරිත්ව බැඳුම්කර හතරක් වෙනුවෙන් ගෙවිය යුතු උපරිම මුදලම ගෙවන්නට සිදු වෙනවා. මේ අනුව, ස්වෛරිත්ව බැඳුම්කර හතෙන් දෙකක් වෙනුවෙන් 17%ක අමතර ගෙවීමක්ද, තවත් දෙකක් වෙනුවෙන් 22%ක අමතර ගෙවීමක්ද සිදු කළ යුතු වෙනවා. 

අපගේ පහත ඇස්තමේන්තු පිළියෙළ කර තිබෙන්නේ ඉහත පදනම මතයි. 

2024: ඩොලර් මිලියන 115.3 (ගෙවා අවසන්)

2025: ඩොලර් මිලියන 329.5 (ගෙවා අවසන්)

2026: ඩොලර් මිලියන 329.5 (ගෙවා අවසන්)

2027: ඩොලර් මිලියන 329.5

2028: ඩොලර් මිලියන 543.8

2029: ඩොලර් මිලියන 726.0

2030: ඩොලර් මිලියන 726.0

2031: ඩොලර් මිලියන 921.6

2032: ඩොලර් මිලියන 921.6

2033: ඩොලර් මිලියන 966.7

2034: ඩොලර් මිලියන 855.0

2035: ඩොලර් මිලියන 855.0

2036: ඩොලර් මිලියන 1354.2

2037: ඩොලර් මිලියන 1354.7

2038: ඩොලර් මිලියන 1309.6

මෙම ගණන් ආපසු ගෙවීම විශාල ප්‍රශ්නයක් නොවන බව අමුතුවෙන් විස්තර කළ යුතු නැහැ. එහෙත්, එසේ වූ පමණින් නැවත වරක් මූල්‍ය අරමුදල සමඟ එකඟතාවක් ඇති කර ගැනීමේ වැදගත්කම අහෝසි වන්නේ නැහැ. මෙහි තිබෙන්නේ ආපසු ගෙවිය යුතු ස්වෛරිත්ව බැඳුම්කර ණය පමණයි. ගෙවිය යුතු සියලුම විදේශ ණය එකතු වූ විට එය මීට වඩා සැලකිය යුතු ණය බරක්. එම ණය පියවීම සඳහා වසරින් වසර අලුතෙන් විදේශ ණය ගන්නට සිදු වෙනවා. මූල්‍ය අරමුදල සමඟ තවත් එකඟතාවක් ඇති කර ගැනීම මගින් එසේ අලුතෙන් ණය ගැනීමේ පීඩනය අඩු කර ගත හැකියි. 



Saturday, October 3, 2026

මහ බැංකුව උද්ධමනය පාලනය කරන්නේ කොහොමද?


මේ වෙද්දී ලංකාවේ නිල උද්ධමනය 8.0% දක්වා ඉහළ ගිහින් තියෙනවා. එයින් අදහස් වෙන්නේ 2025 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 2026 සැප්තැම්බර් මාසය වන විට කොළඹ පාරිභෝගික මිල දර්ශකය සකස් කිරීම සඳහා යොදා ගන්නා භාණ්ඩ හා සේවා පැසේ සමස්ත මිල 8.0%කින් ඉහළ ගිහින් කියන එකයි. 

උද්ධමනය හා මුදල් සැපයුම අතර සම්බන්ධයක් තියෙනවා කියන එක මේ වෙද්දී ගොඩක් අය දන්නවා. නමුත් මේ සම්බන්ධයේ ස්වභාවය ගැන විවිධ අය දන්නේ විවිධ මට්ටම් වලිනුයි. කොහොම වුනත් යම් මූලික දැනුමක් තිබෙන සැලකිය යුතු පිරිසක් ඉන්නවා. 

මූලික න්‍යාය අනුව, ඉතාම සරලව, මුදල් සැපයුම වැඩි වෙද්දී භාණ්ඩ හා සේවා සඳහා වන ඉල්ලුම ඉහළ යනවා. ඉල්ලුම ඉහළ යද්දී, ඒ හා සමානව සැපයුම ඉහළ නොගියහොත්, මිල වැඩි වෙනවා. මුදල් සැපයුමේ විශාල වැඩිවීම් සිදු විය හැකි වුවත් සැපයුමේ එවැනි විශාල වැඩි වීම් සාමාන්‍යයෙන් සිදු වෙන්නේ නැහැ. ඒ නිසා මුදල් සැපයුම සැලකිය යුතු ලෙස ඉහළ යන හැම විටකම මෙන් උද්ධමනය ඉහළ යනවා. 

කෙනෙකුට ඔය මූලික න්‍යාය තේරුම් ගන්න හෝ කටපාඩම් කරගන්න අමාරු නැහැ. නමුත් එහි කියැවෙන මුදල් සැපයුම හා උද්ධමනය කියන්නේ සංකල්ප දෙකක් පමණයි. ප්‍රායෝගිකව මේ සංකල්ප සැබෑ ලෝකයේදී දැකිය හැකි වන්නේ එම සංකල්ප මත පදනම් වූ මිනුම් ලෙසයි. පෙර කී කොළඹ පාරිභෝගික මිල දර්ශකය සකස් කිරීම සඳහා යොදා ගන්නා භාණ්ඩ හා සේවා පැසේ සමස්ත මිල ඉහළ යාම උද්ධමනය සේ සැලකීම උදාහරණයක්. නමුත් මෙය උද්ධමනය මනින එකම මිනුම නෙමෙයි. 

මුදල් සැපයුම කියද්දී කෙනෙකුට මුලින්ම මතක් වෙන්නේ මුදල් නෝට්ටු හා කාසි. ලංකාවේ මුදල් නෝට්ටු හා කාසි නිකුත් කිරීමේ ඒකාධිකාරය තිබෙන්නේ මහ බැංකුව සතුවයි. ඒ නිසා, මුදල් සැපයුම කියා කියන්නේ මුදල් නෝට්ටු හා කාසි ලෙස සැලකුවහොත්, මහ බැංකුවට ඒ මුදල් සැපයුම පහසුවෙන්ම පාලනය කරන්න පුළුවන්. ඒ මගින් උද්ධමනය පාලනය කළ හැකිනම්, උද්ධමනය පාලනය කිරීම මහ බැංකුවට අසීරු කාර්යයක් වෙන්න බැහැ. 

නමුත් උද්ධමනය කෙරෙහි බලපාන මුදල් සැපයුම කියා කියන්නේ මුදල් නෝට්ටු හා කාසි පමණක් නෙමෙයි. මේ වෙද්දී ඩෙබිට් කාඩ්, ක්‍රෙඩිට් කාඩ්, පෙරගෙවුම් කාර්ඩ්, අන්තර්ජාල ගෙවීම් ආදී විවිධ ආකාර වලින් ලංකාවේ මිනිස්සු මිල දී ගැනීම් කරනවා. ඒ මිල දී ගැනීම් වලට මුදල් නෝට්ටු හා කාසි සම්බන්ධ වෙන්නේ නැහැ. නමුත් මේ මිල දී ගැනීම් වලදීත් සිදු වෙන්නේ රටේ භාණ්ඩ හා සේවා සඳහා වන ඉල්ලුම ඉහළ යාමයි. 

පෙරගෙවුම් කාර්ඩ් සඳහා කලින්ම මුදල් ගෙවිය යුතුයි. ක්‍රෙඩිට් කාඩ් සඳහා මුදල් ගෙවන්නේ පසුවයි. කලින් ගෙවුවත්, පසුව ගෙවුවත්, බොහෝ විට බැංකු ගිණුමක තිබෙන ශේෂයෙන් මේ ගෙවීම් කරනවා. ඩෙබිට් කාඩ් වලින් හෝ අන්තර්ජාලය හරහා ගෙවීම් කරද්දී හැම විටම ඒ සල්ලි යන්නේ බැංකු ගිණුමකින්. චෙක්පත් වලින් ගෙවීම් කරද්දී වුනත් එහෙමයි. ඒ කියන්නේ සංසරණයේ තිබෙන මුදල් නෝට්ටු හා කාසි ප්‍රමාණය භාණ්ඩ හා සේවා ඉල්ලුම කෙරෙහි බලපෑමක් කරනවානම්, බැංකු ගිණුම් වල තිබෙන සල්ලිත් ඒ වගේම බලපෑමක් කරනවා.

මුදල් සැපයුම මනින, පුළුල් මුදල් සැපයුම කියන මිනුමට සංසරණයේ තිබෙන මුදල් නෝට්ටු හා කාසි ප්‍රමාණය වගේම බැංකු ගිණුම් වල තිබෙන ශේෂයන්ද ඇතුළත්. මේ දෙවර්ගයම සල්ලි නිසා, භාණ්ඩ හා සේවා මිල දී ගන්න ඔය කොටස් දෙකම භාවිතා කරන්න පුළුවන්. ඒ නිසාම, භාණ්ඩ හා සේවා ඉල්ලුමට වගේම උද්ධමනයටත් ඔය කොටස් දෙකම බලපානවා. 

පසුගිය 2025 වසර අවසානයට ගියොත්, ලංකාවේ පුළුල් මුදල් සැපයුම රුපියල් බිලියන 15,975.0ක්. නමුත් එයින් සංසරණයේ තිබෙන කාසි හා නෝට්ටු ප්‍රමාණය රුපියල් බිලියන 1,248.5%ක් හෙවත් 7.8%ක් පමණයි. ඉතිරි 92.2%ම බැංකු ගිණුම් වල තිබෙන සල්ලි. 

කාසි හා නෝට්ටු නිකුත් කරන්නේ මහ බැංකුව කියලා අපි දන්නවනේ. ඒ නිසා, ඒ කොටස මහ බැංකුවට සෘජුවම පාලනය කරන්න පුළුවන් කියන එකත් පැහැදිලියිනේ. නමුත් ඉතිරි ලොකු කොටස මහ බැංකුවට ඒ විදිහට සෘජුව පාලනය කරන්න පුළුවන්ද?

ඔය බැංකු වල තියෙන්නේ මිනිස්සුන්ගේම සල්ලිනේ. 2025 අවසානයේදී මේ ප්‍රමාණය රුපියල් බිලියන 14,726.5ක්. ඒ කියන්නේ මීට සමාන කාසි හා නෝට්ටු ප්‍රමාණයක් බැංකු වල තියාගෙන ඉන්නවද? ඔන්න එහෙම තියාගෙන ඉන්නවානම්, මේ කොටසත් අවසාන වශයෙන් මහ බැංකුවට සෘජුවම පාලනය කරන්න පුළුවන්. නමුත් ඇත්තටම බැංකු වල තියාගෙන ඉන්න කාසි හා නෝට්ටු ප්‍රමාණය ඔය තැන්පතු ශේෂ එක්ක බලද්දී සොච්චමක්. 2025 අවසානයේදීනම් රුපියල් බිලියන 320.4ක් පමණයි. ඒ කියන්නේ සංසරණයේ තිබෙන කාසි හා නෝට්ටු ප්‍රමාණයට බැංකු වල තිබෙන කාසි හා නෝට්ටු ප්‍රමාණය එකතු කළත් එකතුව රුපියල් බිලියන 1,568.9ක් පමණයි. ඒ කියන්නේ පුළුල් මුදල් සැපයුමෙන් 9.8%ක් පමණයි. 

බැංකු වල තිබෙන කාසි හා නෝට්ටු ප්‍රමාණයද ඇතුළුව මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන මුළු නෝට්ටු හා කාසි ප්‍රමාණයේම වටිනාකම රුපියල් 1,568.9ක් පමණක්නම්, රුපියල් බිලියන 14,726.5ක බැංකු තැන්පතු හැදුණේ කොහොමද? එයින් මහ බැංකුව විසින් නිකුත් කර ඇති කාසි හා නෝට්ටු ප්‍රමාණය රුපියල් බිලියන 320.4ක් පමණයි. එහෙමනම්, බැංකු වල තැන්පත් කිරීම සඳහා තවත් අමතර රුපියල් බිලියන 14,406ක මුදල් මිනිසුන්ගේ අතට ආවේ කොහෙන්ද? 

මේ දැවැන්ත මුදල් ප්‍රමාණය මහ බැංකුව විසින් මුද්‍රණය කර හෝ වාත්තු කර භෞතික ස්වරූපයකින් එළියට දමපු මුදල් නෙමෙයි. වාණිජ බැංකු විසින් ණය දීමේ ක්‍රියාවලිය හරහා මවනු ලැබූ භෞතික ස්වරූපයක් නොමැති මුදල්!

මේ වගේ දෙයක් වෙන්නේ කොහොමද?

කෙනෙකු බැංකුවකින් ණයක් ඉල්ලා එම ණය අනුමත වුනා කියා හිතමු. දැන් මේ මුදල ඒ බැංකුව විසින් අදාළ පුද්ගලයාට කාසි හා නෝට්ටු ලෙස ලබා දිය යුතු නැහැ. කළ යුතු එකම දේ පරිගණකය හරහා අදාළ පුද්ගලයාගේ ගිණුම් ශේෂය ඉහළ දමන එක පමණයි!

ණය ලබා ගත්තේ මා විසින්නම් දැන් මගේ ගිණුමේ සල්ලි තිබෙනවා. මට ඒ සල්ලි වලින් ගෙවීම් කර භාණ්ඩ හා සේවා මිල දී ගන්න පුළුවන්. එසේ මිල දී ගැනීම් කරද්දී මගේ ගිණුමේ ශේෂය අඩු වෙනවා. භාණ්ඩ හා සේවා විකුණන පුද්ගලයාගේ ගිණුමේ ශේෂය ඉහළ යනවා. එසේ වෙනත් පුද්ගලයෙකුගේ ගිණුම් ශේෂය ඉහළ යද්දී ඒ පුද්ගලයාටත් තමන්ගේ ගිණුමේ තිබෙන ශේෂයෙන් භාණ්ඩ හා සේවා මිල දී ගන්න පුළුවන්. මේ වැඩේ වෙන්න මහ බැංකුවක් අවශ්‍ය නැහැ. මුදල් නෝට්ටු හා කාසි අවශ්‍ය වෙන්නේත් නැහැ. නමුත් බැංකු විසින් ණය සැපයුම වැඩි කරද්දී රටේ භාණ්ඩ හා සේවා සඳහා වන ඉල්ලුම ඉහළ යනවා. එය උද්ධමනයට හේතු වෙනවා. 

රටේ උද්ධමනය කෙරෙහි බලපාන පුළුල් මුදල් සැපයුම ඇතුළේ මහ බැංකුව විසින් නිකුත් කරනු ලැබූ මුදල් නෝට්ටු හා කාසි ප්‍රමාණය 10%කටත් වඩා අඩුයි. ඉතිරි 90% වාණිජ බැංකු විසින් ණය දීමේ ක්‍රියාවලිය හරහා මවනු ලැබූ මුදල්. ඒ නිසා, උද්ධමනය පාලනය කිරීම සඳහා මහ බැංකුවට යම් ආකාරයකින් බැංකු වල ණය දීමේ ක්‍රියාවලිය පාලනය කිරීමට සිදු වෙනවා. 

නූතන මහ බැංකුවක් විසින් බැංකු වල ණය දීමේ ක්‍රියාවලිය පාලනය කරන ප්‍රධානම ක්‍රමය පොලී අනුපාතික පාලනය කිරීමයි. මේ මගින් ණය දීමේ ක්‍රියාවලිය පාලනය කර වක්‍ර ලෙස පුළුල් මුදල් සැපයුම පාලනය කළ හැකියි. 

පොලී අනුපාතික ඉහළ යද්දී ණය ලබා ගැනීම සඳහා වන ඉල්ලුම අඩු වෙනවා. පොලී අනුපාතික පහළ යද්දී එම ඉල්ලුම වැඩි වෙනවා. වාණිජ බැංකු විසින් ණය මැවීම හරහා මුදල් සැපයුම ප්‍රසාරණය කරන්නේ රටේ ණය ඉල්ලුම මත පදනම්ව නිසා පොලී අනුපාතික පාලනය කිරීම මගින් වාණිජ බැංකු වල ණය මැවීමේ ක්‍රියාවලිය පාලනය කළ හැකියි. 

මහ බැංකුව පොලී අනුපාතික පාලනය කරන්නේ කොහොමද?

මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකය කියන එක ගැන ගොඩක් අය අහලා ඇති. වරින් වර මහ බැංකුව විසින් මේ පොලී අනුපාතිකය අඩු වැඩි කරනවා. එහිදී වෙන්නේ කුමක්ද?

වාණිජ බැංකු විසින් ඔවුනොවුන් අතර දෛනික පදනම මත මුදල් ගනුදෙනු සිදු කරනවා. මේ ගනුදෙනු සිදුවන වෙළඳපොළ එක් දින මුදල් වෙළඳපොළ ලෙස හඳුන්වන්න පුළුවන්. මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතිකය නිර්ණය කිරීමෙන් අනතුරුව මේ එක් දින මුදල් වෙළඳපොළ පොලී අනුපාතය එම ප්‍රතිපත්ති පොලී අනුපාතිකයට ආසන්නව තබා ගැනීම සඳහා අඛණ්ඩව මෙහෙයුම් කටයුතු සිදු කරනවා. මෙය ඩොලරයක මිල ස්ථාවරව තබා ගැනීම පිණිස මහ බැංකුව විසින් කරන මෙහෙයුම් කටයුතු වලට සමාන කරන්න පුළුවන්.

එක් දින මුදල් වෙළඳපොළ පොලී අනුපාතය මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකයට වඩා වැඩිනම්, මහ බැංකුව විසින් ඊට වඩා අඩු පොලියකට ණය ලබා දෙනවා. එසේ කරන්නේ භාණ්ඩාගාර බිල්පත් ඇපයට තියාගෙන. මෙහිදී මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය ඉහළ යනවා. ලබා දෙන ණය ප්‍රමාණයට සමානව රටේ මුදල් සැපයුමද ඉහළ යනවා.

එක් දින මුදල් වෙළඳපොළ පොලී අනුපාතය මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකයට වඩා අඩුනම්, මහ බැංකුව විසින් ඊට වඩා වැඩි පොලියකට තැන්පතු ලබා ගන්නවා. එම තැන්පතු වෙනුවෙන් ඇපකර ලෙස මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් අදාළ බැංකුවට ලබා දෙනවා. මෙහිදී මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය පහළ යනවා. ඊට සමානව රටේ මුදල් සැපයුමද පහළ යනවා.

ඉහත ක්‍රම දෙකමගින් මහ බැංකුවට එක් දින මුදල් වෙළඳපොළ පොලී අනුපාතය මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකයට ආසන්නව සමාන මට්ටමක පවත්වා ගන්න පුළුවන්. එසේ කරද්දී මුදල් සැපයුමද අඩු වැඩි වෙනවා. නමුත් මේ මගින් රටේ මුදල් සැපයුමට ඇති වන සමස්ත බලපෑම මහ බැංකුවේ සෘජු මැදිහත්වීම නිසා ඇති වන බලපෑමට වඩා ගොඩක් වැඩියි.

එක් දින මුදල් වෙළඳපොළ පොලී අනුපාතය අඩු වැඩි වෙද්දී ඒ මත පදනම්ව වාණිජ බැංකු විසින් තමන්ගේ දිගුකාලීන තැන්පතු හා පොලී අනුපාතිකද අඩු වැඩි කරනවා. එසේ පොලී අනුපාතික වැඩි වෙද්දී, රටේ ණය ඉල්ලුම අඩු වෙනවා. තැන්පතු ඉහළ යනවා. රටේ මුදල් සැපයුම අඩු වෙනවා. එසේ නැත්නම් අවම වශයෙන් මුදල් සැපයුම වැඩි වන වේගය අඩු වෙනවා.

අනෙක් අතට, පොලී අනුපාතික අඩු වෙද්දී, රටේ ණය ඉල්ලුම ඉහළ යනවා. තැන්පතු පහළ යනවා. රටේ මුදල් සැපයුම වැඩි වෙනවා. 

රටේ මුදල් සැපයුම වැඩි වෙද්දී භාණ්ඩ හා සේවා සඳහා වන ඉල්ලුම ඉහළ ගොස් මිල ගණන් ඉහළ යනවා. මුදල් සැපයුම උද්ධමනය කෙරෙහි බලපාන්නේ ඔය විදිහටයි. ඒ නිසා, පොලී අනුපාතික ඉහළ යාමට සලස්වා මුදල් සැපයුම පාලනය කිරීම මගින් මහ බැංකුවට උද්ධමනය පාලනය කළ හැකියි. නමුත් මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික වෙනස් කළ පමණින් දවසකින් දෙකකින් ඔය වැඩේ වෙන්නේ නැහැ. දැනෙන බලපෑමක් වෙන්න මාස ගණනාවක්, බොහෝ විට වසරකට වඩා වැඩි කාලයක් ගත වෙනවා. 

රටේ පොලී අනුපාතික මත බලපෑමක් කළ හැක්කේ මහ බැංකුවට පමණක් නෙමෙයි. රජයේ අයවැය හිඟය පොලී අනුපාතික කෙරෙහි සෘජු හා විශාල බලපෑමක් සිදු කරනවා. අයවැය හිඟය ඉහළ යන තරමට රජයේ ණය ඉල්ලුම ඉහළ යනවා. ඊට අනුපාතිකව ණය සැපයුම ඉහළ ගියේ නැත්නම් පොලී අනුපාතික ඉහළ යනවා. ඒ මගින් පෞද්ගලික අංශයේ ණය ඉල්ලුම සීමා කෙරෙනවා. මෙය ඕනෑවට වඩා දුර ගියහොත් රටේ ආර්ථික වර්ධනය කෙරෙහි අහිතකර ලෙස බලපානවා. 

රජයේ අයවැය හිඟය ඉහළ මට්ටමක පවතිද්දී, පෞද්ගලික අංශයේ ණය ඉල්ලුමද අවශ්‍ය පමණ මට්ටමක තියා ගන්නනම්, මුදල් සැපයුම සැලකිය යුතු ලෙස ප්‍රසාරණය වීමට ඉඩ හරින්න වෙනවා. එය ඒ මොහොතේ ප්‍රශ්නයක් නොවුනත්, පසුව හෝ උද්ධමනය ලෙස මතු වෙනවා. එවිට මහ බැංකුවට උද්ධමනය පාලනය කිරීම සඳහා පොලී අනුපාතික ඉහළ දමන්නට සිදු වෙනවා. පොලී අනුපාතික ඉහළ යද්දී පෞද්ගලික අංශයේ ණය ඉල්ලුම පාලනය වී මුදල් සැපයුම සීමා වෙනවා. 

නමුත් පෞද්ගලික අංශය මෙන් රජය පොලී අනුපාතික වලට සංවේදී නැහැ. රජයේ ණය ඉල්ලුම තීරණය වන්නේ අයවැය හිඟය මතයි. එය බොහෝ විට දේශපාලනික ලෙස තීරණය වන දෙයක්. ඒ නිසා, පෞද්ගලික අංශයේ ණය ඉල්ලුම සීමා වෙද්දී වුවද රජයේ ණය ඉල්ලුම හේතුවෙන් මුදල් සැපයුම දිගින් දිගටම ප්‍රසාරණය වෙන්න පුළුවන්. පොලී අනුපාතික අවශ්‍ය පමණ ඉහළින් පවත්වා ගැනීම සඳහා අවශ්‍ය ස්වාධීනත්වය මහ බැංකුව සතු නොවේනම්, මේ තත්ත්වය වඩාත් දරුණු වෙන්න පුළුවන්. 

රජයට හෝ පෞද්ගලික අංශයට ලබා දෙන ණය කියා කියන්නේ බැංකු වල වත්කම්. මේ කොටස් දෙකම පොදුවේ බැංකු වල දේශීය වත්කම් ලෙස හැඳින්වෙනවා. ලංකාවේ බැංකු වල දේශීය වත්කම් ප්‍රමාණය සාමාන්‍යයෙන් පුළුල් මුදල් සැපයුමටත් වඩා වැඩියි. පුළුල් මුදල් සැපයුම ලෙස අර්ථ දක්වන්නේ බැංකු සතු ගනුදෙනුකරුවන්ගේ තැන්පතු මුදල් ප්‍රමාණය සහ මහ බැංකුව විසින් නිකුත් කරනු ලැබ සංසරණයේ තිබෙන මුදල් වල එකතුවටයි. ගනුදෙනුකරුවන්ගේ තැන්පතු වලට අමතරව බැංකු විසින් ඔවුන්ගේ කොටස්හිමියන්ගේ ප්‍රාග්ධනය සහ කාලයක් තිස්සේ එකතු කරගත් ලාබද වත්කම් ගොඩ නගා ගැනීම වෙනුවෙන් යෙදවීම ඊට හේතුවයි.

උදාහරණයක් ලෙස, 2025 වර්ෂය අවසන් වෙද්දී පුළුල් මුදල් සැපයුම රුපියල් බිලියන 15,975ක් වුවත්. බැංකු සතු වූ දේශීය වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 19,017ක්. එයින් රුපියල් බිලියන 8,285ක් බැංකු විසින් මධ්‍යම රජයට ලබා දී තිබුණු ණය. තවත් රුපියල් බිලියන 520ක් රාජ්‍ය සංස්ථා වලට ලබා දී තිබුණු ණය. ඉතිරි රුපියල් බිලියන 10,212 පෞද්ගලික අංශයට ලබා දී තිබුණු ණය. 

පසුගිය ජූලි මාසය අවසන් වන විට පුළුල් මුදල් සැපයුම රුපියල් බිලියන 17,044ක්.  බැංකු සතු වූ දේශීය වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 19,771ක්. එයින් රුපියල් බිලියන 7,884ක් මධ්‍යම රජයට ලබා දී තිබුණු ණය. ඉතිරි රුපියල් බිලියන 11,937 රාජ්‍ය සංස්ථා වලට ලබා දී තිබුණු ණයද ඇතුළු අනෙකුත් දේශීය ණය. 

මේ සමඟ පළ කරන රූප සටහනෙහි පෙන්වා දී තිබෙන්නේ පසුගිය දශකයකට වැඩි කාලය තුළ පුළුල් මුදල් සැපයුම කෙරෙහි දේශීය ණය වල ප්‍රධාන සංරචක දෙකෙන් සිදු වූ බලපෑම. මෙහි පැහැදිලි ලෙස හඳුනාගත හැකි අදියර කිහිපයක් තිබෙනවා.

2015 ජනවාරි සිට 2019 දෙසැම්බර් දක්වා කාලය: මෙම කාලයේදී බැංකු පද්ධතියෙන් ලබාගත් මධ්‍යම රජයේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 1,238කින් වැඩි වූ අතර, අනෙකුත් දේශීය ණය රුපියල් බිලියන 3,367කින් වැඩි වුනා. රාජ්‍යමූල්‍ය කළමනාකරණය සාපේක්ෂව හොඳ මට්ටමක පැවති මෙම කාලයේදී මුදල් සැපයුම ප්‍රසාරණය වීමට බොහෝ දුරට දායක වූයේ පෞද්ගලික අංශයයි. පෞද්ගලික අංශයට රාජ්‍ය අංශය විශාල බරක් වූයේ නැහැ. උද්ධමනය ප්‍රශ්නකාරී මට්ටමකට යන තරමට සමස්ත ණය ඉල්ලුම වර්ධනය වූයේද නැහැ. 

2019 දෙසැම්බර් සිට 2022 මැයි දක්වා කාලය: මෙම කාලයේදී බැංකු පද්ධතියෙන් ලබාගත් මධ්‍යම රජයේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 3,727කින් වැඩි වූ අතර, අනෙකුත් දේශීය ණයද රුපියල් බිලියන 2,890කින් වැඩි වුනා. රාජ්‍යමූල්‍ය කළමනාකරණය ඉතාමත්ම අයහපත් මට්ටමක පැවති මෙම කාලයේදී මුදල් සැපයුම ප්‍රසාරණය වීමට බොහෝ දුරට දායක වූයේ රාජ්‍ය අංශයයි. රාජ්‍ය අංශයේ ණය ඉල්ලුමට අනුරූපව මුදල් සැපයුමද ප්‍රසාරණය වූ බැවින් පෞද්ගලික අංශයට රාජ්‍ය අංශය විශාල බරක් වූයේ නැහැ. එහෙත්, මේ අයුරින් රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේද ණය ඉල්ලුම ඉහළ යාම නිසා මුදල් සැපයුම විශාල ලෙස ප්‍රසාරණය වී උද්ධමනය වාර්තාගත මට්ටමක් දක්වා වැඩි වුනා.

2022 මැයි සිට 2023 ජූලි දක්වා කාලය: මෙම කාලයේදී බැංකු පද්ධතියෙන් ලබාගත් මධ්‍යම රජයේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 2,027කින් වැඩි වූ නමුත් අනෙකුත් දේශීය ණය රුපියල් බිලියන 1,315කින් අඩු වුනා. මීට හේතුව වූයේ පැවති අධික උද්ධමනය පාලනය කිරීම සඳහා පොලී අනුපාතික ඉතා ඉහළ මට්ටමක පවත්වා ගැනීමට සිදු වීමයි. අපේක්ෂිත පරිදිම උද්ධමනය පාලනය වුනා.

පෙර විස්තර කළ පරිදි, පොලී අනුපාතික වලට ප්‍රතිචාර දක්වන්නේ පෞද්ගලික අංශයයි. රාජ්‍ය අංශයේ ණය ඉල්ලුම අඩු කර ගැනීම සඳහා දේශපාලනික මැදිහත්වීමක් අවශ්‍ය වෙනවා. එම මැදිහත්වීම මෙම කාලයේදී සිදු වුවද, අවශ්‍ය ප්‍රතිඵල ලබා ගැනීම සඳහා වසරකට වඩා වැඩි කාලයක් ගත වුනා. එම අතරමැදි කාලයේදී අධික පොලී අනුපාතික හේතුවෙන් රාජ්‍ය අංශයේ ණය තව දුරටත් ඉහළ ගියා. එහෙත්, බදු වැඩි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය ආදායම් ඉහළ ගොස් ප්‍රාථමික අයවැය ගිණුම ශක්තිමත් වීමෙන් පසුව, රාජ්‍ය අංශයෙන් මුදල් සැපයුම මත සිදු වූ බලපෑම මුළුමනින්ම නැවතුනා. 

2023 ජූලි සිට 2025 ජූලි දක්වා කාලය: මෙම කාලයේදී බැංකු පද්ධතියෙන් ලබාගත් මධ්‍යම රජයේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 715කින් අඩු වී ඇති අතර අනෙකුත් දේශීය ණය රුපියල් බිලියන 3,747කින් ඉහළ ගොස් තිබෙනවා. ආර්ථික අර්බුදයෙන් පසුව සිදු කළ රාජ්‍යමූල්‍ය ප්‍රතිසංස්කරණ හේතුවෙන් මේ වන විට මුදල් සැපයුම ප්‍රසාරණය කිරීම සඳහා මධ්‍යම රජය දායක වන්නේ නැහැ. ඒ නිසා, උද්ධමනය පාලනය කර ගනිමින්, පෞද්ගලික අංශයේ ණය වර්ධනය සැලකිය යුතු මට්ටමක පවත්වා ගැනීමට හැකි තත්ත්වයක් ඇති වී තිබෙනවා. දැන් ඉතිරි වී තිබෙන ප්‍රශ්නය අවශ්‍ය පමණ හා හැකි පමණ ආර්ථිකය වර්ධනය කර ගැනීම පිණිස පෞද්ගලික අංශයේ ණය වර්ධනය මේ මට්ටමේම පවත්වා ගත යුතුද යන්නයි. 

පසුගිය දශක ගණනාවක් පුරාම ලංකාවේ සාපේක්ෂව ඉහළ උද්ධමනය සඳහා දායක වූයේ රාජ්‍ය අංශයයි. එහෙත් මේ වන විට එම තත්ත්වය මුළුමනින්ම කණපිට හැරී තිබෙනවා. රටේ මුදල් සැපයුම භාණ්ඩ හා සේවා සැපයුම හා අනුරූපව ඉහළ යාම උද්ධමනයට හේතුවක් වන්නේ නැහැ. 2%ක උද්ධමනයක් ඉලක්ක කරනවා යන්නෙන් අදහස් වන්නේ යම් හෙයකින් ආර්ථික වර්ධන වේගය අපේක්ෂිත මට්ටමට වඩා 2%කින් ඉහළ ගියද ඒ සඳහා ප්‍රමාණවත් තරමින් මුදල් සැපයුම වර්ධනය වීමට ඉඩ හැර ඇති බවයි. 

ලංකාව වැනි සංවර්ධනය වන රටක ආර්ථිකය කිසියම් වසරකදී අපේක්ෂිත අගය ඉක්මවා අමතර 2%කින් වර්ධනය විය හැකියි. එහෙත් මේ වෙනස 5%ක් තරම් ඉහළ අගයක් වීමේ ඉඩක් නැහැ. ඒ නිසාම, 5%ක උද්ධමන ඉලක්කයක් ලංකාවට අනිවාර්යයෙන්ම අවශ්‍ය වන්නේ නැහැ. ඊට වඩා අඩු 3%ක පමණ ඉලක්කයක් මේ සඳහා ප්‍රමාණවත්.  

අඩු උද්ධමන ඉලක්කයක් පවත්වා ගැනීම සඳහා ආර්ථික අර්බුදයට පෙර පැවති බාධාව වූයේ ඒ සඳහා අවශ්‍ය සහයෝගය රාජ්‍ය අංශයෙන් නොලැබීමයි. එහෙත් මේ වන විට එම තත්ත්වය වෙනස් වී තිබෙනවා. දැනට පවතින තත්ත්වයන් තුළ 5%ක් වැනි උද්ධමන ඉලක්කයක වාසිය ප්‍රධාන වශයෙන්ම ලැබෙන්නේ අතරමැදි මූල්‍ය සේවා සපයන්නන්ටයි. 

ආර්ථික අර්බුදයෙන් පසුව, පෞද්ගලික අංශයේ ණය වර්ධනයෙහි පැවති සාමාන්‍ය ප්‍රවණතාවට බාධා සිදු කෙරුණා. ඒ මත පදනම්ව, පසුගිය තෙවසරක කාලය තුල සිදු වූ ඉහළ ණය වර්ධනය සාධාරණීකරණය කළ හැකියි. එහෙත් මේ වන විට එසේ සිදු වූ අවාසියද ඉක්මවමින් ණය ප්‍රමාණය වර්ධනය වී තිබෙනවා.

මෙම තත්ත්වය තුළ 5% උද්ධමන ඉලක්කය ඉදිරි තෙවසරක කාලය තුළද එලෙසම පවත්වා ගැනීමේ උපාය මාර්ගික අරමුණ තේරුම් ගැනීමට අපහසු නැහැ. මේ මගින් මුදල් සැපයුමේ ප්‍රසාරණය වීමේ වාසිය බදු ලෙස රජයට එකතු කර ගත හැකියි. 

Friday, October 2, 2026

ජංගම ගිණුම - අගෝස්තු 2026


මාස හතරකට පසුව, 2026 අගෝස්තු මාසයේදී විදේශ අංශයේ ජංගම ගිණුමෙහි නැවතත් අතිරික්තයක් දැකිය හැකිව තිබෙනවා. එය ඩොලර් මිලියන 133.4ක්. මේ අනුව, මෙම වසරේ පළමු මාස අටේ සමුච්ඡිත ජංගම ගිණුම් හිඟය ඩොලර් මිලියන 290.6 දක්වා පහත වැටී තිබෙනවා.

අගෝස්තු මාසයේදී මහ බැංකුව විසින් වෙළඳපොළෙන් ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 579.0ක මුදලක් මිල දී ගෙන තිබුණු අතර, ඊට පෙර ජූලි මාසයේදී ඩොලර් මිලියන 346.6ක් මිල දී ගෙන තිබුණා. එහෙත්, ගෙවුණු සැප්තැම්බර් මාසයේදී මහ බැංකුව විසින් මිල දී ගෙන ඇති ඩොලර් මිලියන 85.0ක මුදලින් ඩොලර් මිලියන 20.8ක් විණිමය අනුපාතය ස්ථාවරව පවත්වා ගැනීමේ අරමුණින් නැවත විකුණා තිබෙනවා. මේ අනුව, පසුගිය මාසයේ මහ බැංකුව විසින් ශුද්ධ වශයෙන් මිල දී ගෙන තිබෙන්නේ ඩොලර් මිලියන 64.2ක් පමණයි. 

ඉහත තත්ත්වය අනුව, සැප්තැම්බර් මාසය තුළ නිල විදේශ සංචිත ප්‍රමාණයේ ලොකු ප්‍රගතියක් සිදු වී නොතිබෙන්න පුළුවන්. 

පසුගිය මාසය තුළ විදේශිකයින් විසින් ශුද්ධ වශයෙන් රාජ්‍ය සුරැකුම්පත් විකුණා මුදල් ආපසු රැගෙන ගොස් ඇති ආකාරයද නිරීක්ෂණය වෙනවා. ඇමරිකාවේ පොලී අනුපාතික සැලකිය යුතු ලෙස ඉහළ යාමද මීට හේතු වූවා විය හැකියි. 

පසුගිය 2025 වසරේ පළමු මාස අටක කාලය තුළ ඩොලර් මිලියන 2,047.0ක ජංගම ගිණුම් අතිරික්තයක් වාර්තා වී තිබුණා. එවැනි මට්ටමක වූ ජංගම ගිණුම් ශේෂය ඩොලර් මිලියන 290.6ක හිඟයක් දක්වා පහත වැටීමට ප්‍රධාන ලෙසම දායක වී තිබෙන්නේ මෙම වසරේ ආනයන වියදම් විශාල ලෙස ඉහළ යාමයි.

පසුගියේ වසරේ පළමු මාස අටේදී ඩොලර් මිලියන 13,340.9ක් වූ ආනයන වියදම ඩොලර් මිලියන 16,557.1 දක්වා ඩොලර් මිලියන 3,216.2කින් ඉහළ යද්දී අපනයන ආදායම් ඉහළ ගොස් තිබෙන්නේ ඩොලර් මිලියන 300.3කින් පමණයි. මේ අනුව, වෙළඳ හිඟය ඩොලර් මිලියන 4,264.2 සිට ඩොලර් මිලියන 7,180.2 දක්වා 68.4%කින් ඉහළ ගොස් තිබෙනවා. 

ඩොලර් බිලියන තුනකට ආසන්න ඉහත වැඩි වීමෙන් ඩොලර් ඩොලර් බිලියන 1.5කට පමණ දායක වී තිබෙන්නේ ඉන්ධන වියදම් ඉහළ යාම වුවත්, වාහන ඇතුළු අනෙකුත් ආනයන වියදම් ඉහළ යාමද ඊට ආසන්න දායකත්වයක් සපයා තිබෙනවා. කෙසේ වුවද, අගෝස්තු මාසයේදී වාහන ආනයන වියදම් වල කැපී පෙනෙන අඩු වීමක් දකින්න පුළුවන්. 

රටේ මුදල් සැපයුම වේගයෙන් ප්‍රසාරණය වෙද්දී, ඩොලරයක මිල සැලකිය යුතු ලෙස ඉහළ නොයන්නේනම්, ආනයන ඉල්ලුම ඉහළ යනවා. රාජ්‍ය අංශය විසින් දැඩි රාජ්‍යමූල්‍ය කළමනාකරණයක් පවත්වා ගනිමින් රටේ මුදල් සැපයුම ප්‍රසාරණය කිරීම සඳහා දායක නොවන තත්ත්වයක් තුළ මහ බැංකුව විසින් 5%ක උද්ධමන ඉලක්කයක් හඹා යමින් මුදල් සැපයුම ප්‍රසාරණය වීමට ඉඩ හරිද්දී බැංකු වලින් පෞද්ගලික අංශයට ලබා දෙන ණය ඉතා සීඝ්‍ර ලෙස ඉහළ යාමක් සිදු වෙනවා. 

ජූනි මාසයෙන් අවසන් වූ වසරක කාලය තුළ දේශීය බැංකු ඒකක වලින් පෞද්ගලික අංශයට ලබා දී ඇති ණය ප්‍රමාණය 29.6%කින් වර්ධනය වී තිබෙනවා. ජූලි මාසය අවසානයේදීද, එම වර්ධන වේගය 28.5%ක් තරම් ඉහළ මට්ටමක්. පොලී අනුපාතික සාපේක්ෂව අඩු මට්ටමක පැවතීම මීට හේතුවයි. 

ප්‍රමාණාත්මකව 2026 ජූලි මාසයෙන් අවසන් වූ වසරක කාලය තුළ දේශීය බැංකු ඒකක වලින් පෞද්ගලික අංශයට ලබා දී ඇති ණය ප්‍රමාණය රුපියල් බිලියන 2,411කින් ඉහළ ගොස් තිබෙනවා. එයින් අදහස් වන්නේ මෙම වැඩිවීම මගින් භාණ්ඩ හා සේවා සඳහා වන පෞද්ගලික අංශයේ ඉල්ලුමද විශාල ලෙස ඉහළ දැමෙන බවයි. එහෙත්, ඉල්ලුමේ එවැනි විශාල ඉහළ යාමක් මුළුමනින්ම සැපිරීමේ ධාරිතාවක් රටේ ආර්ථිකය තුළ නොමැති බැවින් අවසාන වශයෙන් සිදු වන්නේ ආනයන ඉල්ලුම විශාල ලෙස ඉහළ යාමයි. 

මහ බැංකුව විසින් ඉදිරි වසර තුනක කාලය තුළද 5%ක උද්ධමන ඉලක්කයක් හඹා යන බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. 

Thursday, October 1, 2026

ලංකාවේ ජනගහණය - 2026


මෙම වසරේ මැද (ජූනි 30) දක්වා වූ වසරක කාලය තුළ ශ්‍රී ලංකාවේ ජනගහණය 22,204කින් ඉහළ ගොස් තිබෙනවා. මෙවැනි සුළු වර්ධනයක් දැකිය හැක්කේ  එක දිගට වසර තුනක්ම ජනගහණය අඩු වීමෙන් පසුවයි. මේ අනුව, 2026 ජූනි 30 වන විට ශ්‍රී ලංකාවේ ජනගහණය ආසන්න වශයෙන් 21,778,000ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා.

මෙතෙක් ශ්‍රී ලංකාවේ වැඩිම ජනගහණයක් වාර්තා වී ඇත්තේ 2022 වසරේදීයි. එම වසරේ ජූනි 30 දින වන විට ශ්‍රී ලංකාවේ ජනගහණය ආසන්න වශයෙන් 22,181,000ක්ව පැවතුණා. එහෙත්, ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලාංකිකයින් විශාල ලෙස රට හැර යාමට පෙළඹීම හේතුවෙන් ඉන් පසු තෙවසර තුළ රටේ ජනගහණය ක්‍රමයෙන් අඩු වන ආකාරය දැකිය හැකිව තිබුණා. 

දෙදහස් විසි දෙක (2022) වර්ෂයේ මැද සිට වසරක කාලය තුළ ශුද්ධ වශයෙන් ශ්‍රී ලාංකිකයින් 222,715 දෙනෙකු රට හැර යාම නිසා, එම වසරක කාලය තුළ රටේ ජනගහණය 144,395කින් අඩු වුනා. ඊළඟ වසරක කාලය තුළ තවත් ශ්‍රී ලාංකිකයින් 176,932 දෙනෙකු ශුද්ධ වශයෙන් රට හැර ගොස් තිබුණු අතර රටේ ජනගහණය තවත් 120,555කින් පහත වැටුණා. මෙම ප්‍රවණතාව 2024-2025 අතර කාලයේද දැකිය හැකිව තිබුණා. 

රට හැර යන ප්‍රමාණය පහත වැටීම පසුගිය වසරක කාලය තුළ ජනගහණය සුළු වශයෙන් ඉහළ යාමට හේතු වී තිබෙනවා. 2026 ජූනි 30 දක්වා වූ වසරක කාලය තුළ ශුද්ධ වශයෙන් රට හැර ගොස් තිබෙන්නේ 23,736 දෙනෙකු පමණයි. එම කාලය තුළ උපත් 215,366ක් සිදු වීම හා මරණ ප්‍රමාණය 169,426කට සීමා වීම නිසා ශුද්ධ වශයෙන් 45,940ක ස්වභාවික ජනගහණ වර්ධනයක් සිදු වී තිබෙනවා. වසර තුළ රට හැර ගොස් ඇත්තේ ඊට අඩු ප්‍රමාණයක් බැවින්, ජනගහණයේ 22,204ක ශුද්ධ වර්ධනයක් දැකිය හැකියි. 

Wednesday, September 30, 2026

උද්ධමනය - සැප්තැම්බර් 2026


ගෙවුණු සැප්තැම්බර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වන නිල උද්ධමනය, තව දුරටත් ඉහළ නොගොස්, පෙර මාසයේදී පැවති 8% මට්ටමේම නැවතී තිබෙනවා. ආහාර උද්ධමනය 8.5% සිට 8.7% දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් ඇති අතර ආහාර නොවන උද්ධමනය 7.7% මට්ටමේම රැඳී තිබෙනවා.

අද (සැප්තැම්බර් 30) පැවති මුදල් ප්‍රතිපත්ති විවරණයේදී උද්ධමනය ඉලක්ක මට්ටම වන 5% දක්වා අඩු වෙමින් තිබීම සැලකිල්ලට ගනිමින් මහ බැංකුව විසින් පොලී අනුපාතික තව දුරටත් ඉහළ නොදැමීමට තීරණය කළා. එහෙත්, මෙසේ උද්ධමනය ඉලක්ක මට්ටම දක්වා අඩු වනු ඇත්තේ 2027 දෙවන කාර්තුවේදී හෝ ඉන් පසුවයි. ඊට පෙර, ඉදිරි මාස හයක කාලය තුළ, උද්ධමනය සුළු වශයෙන් තව දුරටත් ඉහළ යාමට හෝ දැනට පවතින 8% මට්ටම ආසන්නයේම විචලනය වීමට ඉඩ තිබෙනවා. 

රජය විසින් ඉදිරි මාස තුනක කාලය තුළද ඉන්ධන සඳහා සහනාධාරයක් ලබා දීමට අදහස් කරන බව මාධ්‍ය වල වාර්තා වී තිබුණා. රාජ්‍ය ආදායම් ශක්තිමත් මට්ටමක ඇති බැවින් රජයට එවැන්නක් කිරීමේ හැකියාවක් තිබෙනවා. මේ මගින්ද, කෙටිකාලීනව උද්ධමනය පාලනය වීමක් සිදු වෙනවා. 

Monday, September 28, 2026

අගෝස්තු අවසානයේදී රාජ්‍යමූල්‍ය තත්ත්වය


අගෝස්තු මාසය අවසන් වෙද්දී අයවැය ශේෂය නැවතත් (යාන්තමින් වුවත්) ධන අතට හැරී තිබෙනවා. 2026 වසරේ පළමු මාස අටක කාලය ඇතුළත එකතු කරගෙන තිබෙන සමස්ත රාජ්‍ය ආදායම රුපියල් බිලියන 4,002ක් වන අතර සමස්ත වියදම රුපියල් බිලියන 3,967කට සීමා වී තිබෙනවා. මේ අනුව, රුපියල් බිලියන 35ක සමස්ත අයවැය අතිරික්තයක් වාර්තා වී තිබෙනවා.

වසරේ අවසන් මාසයේදී සැලකිය යුතු වියදම් ඉහළ යාමක් සාමාන්‍යයෙන් සිදු වන බැවින් මෙම අතරමැදි තත්ත්වයෙන් වසරේ සමස්ත තත්ත්වය නිරූපණය වන්නේ නැතත්, මේ දක්වා අයවැය අතිරික්තයක් වාර්තා වී තිබීමෙන් පෙනී යන්නේ වසර අවසන් වෙද්දී අයවැය හිඟයක් වාර්තා විය හැකි වුවද, එම හිඟය සැලකිය යුතු අඩු මට්ටමක පවතිනු ඇති බවයි.

ඉහත සඳහන් සමස්ත රාජ්‍ය වියදමෙන් රුපියල් බිලියන 1,610ක්ම පොලී වියදම් වන අතර එම පොලී වියදම් ඉවත් කළ විට රුපියල් බිලියන 1,645ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් දකින්න පුළුවන්. පොලී වියදම් නොවන අනෙකුත් පුනරාවර්තන වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 1,921ක් වැය වී ඇති අතර ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 436ක් මේ වන විට වැය කර තිබෙනවා.

වසරේ පළමු මාස අටක කාලය තුළ එකතු වී ඇති බදු ආදායම රුපියල් බිලියන 3,684ක් වන අතර එම මුදල වසරේ ඇස්තමේන්තුගත බදු ආදායමෙන් 75.0%කට සමානයි. ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් වාර්ෂික ඇස්තමේන්තුවෙන් 71.9%ක් එකතු කරගෙන ඇති අතර රේගුව විසින් ඇස්තමේන්තුවෙන් 78.3%ක් මේ වන විට එකතු කරගෙන තිබෙනවා. සුරාබදු දෙපාර්තුමේන්තුව විසින්ද සිය ඉලක්කයෙන් 74.5%ක් දක්වා දැනටමත් ගමන් කර තිබෙනවා.

Friday, September 25, 2026

උද්ධමන ඉලක්කය වෙනස් වෙයිද?


දැනට පෙනෙන විදිහට ඉදිරි වසර තුනක කාලය සඳහා වන උද්ධමන ඉලක්කයද 5% ලෙසම පැවතීමට ඉඩ තිබෙනවා. ඇතැම් විට ඉදිරි මුදල් ප්‍රතිපත්ති විවරණයෙන් පසුව මේ පිළිබඳව නිවේදනය කෙරෙන්න පුළුවන්. 

ආර්ථික අර්බුදයෙන් පසුව ලංකාවේ මහ බැංකුව ස්වාධීන කළා. තාක්ෂනික පදනමකින් අලුත්, ස්වාධීන මහ බැංකුවක් පිහිටෙව්වා කියලත් කියන්න පුළුවන්. මේ අලුත් මහ බැංකුවට කරන්න තියෙන්නේ එක ප්‍රධාන කාර්යයක් පමණයි. ඒ රජය විසින් ලබා දෙන කවර හෝ උද්ධමන ඉලක්කය පවත්වා ගැනීම. ඉලක්කය වසර තුනකට වරක් නැවත සලකා බලනු ලබනවා. 

මුලින්ම දුන්න ඉලක්කය 5%. එය +/- 2% පරාසයක, ඒ කියන්නේ 3%-7% අතර විචලනය වෙන්න පුළුවන්. නමුත් ඊට වඩා අඩු හෝ වැඩිනම් එයින් අදහස් වෙන්නේ මහ බැංකුව විසින් තමන්ගේ ප්‍රධානම කාර්යය හරියට කරලා නැහැ කියන එක. 

ආර්ථික අර්බුදයෙන් පසුව අද දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව නැවත හිසගසා නැගී සිටීම පිටුපස මහ බැංකුව විසින් කළ දැවැන්ත කාර්යභාරයක් තියෙනවා. ඒ පිළිබඳව මහ බැංකුවේ අදාළ නිලධාරීන්ට හා ආයතනයක් ලෙස මහ බැංකුවට ගෞරවය හිමිවිය යුතුයි. නමුත් උද්ධමන ඉලක්කය පවත්වා ගැනීම කියන නිශ්චිත හා වැදගත්ම කාරණයේදී ආයතනයක් ලෙස මහ බැංකුව අසමත් වෙලා තියෙනවා කියන එක පැහැදිලි ඇත්තක්. 

උද්ධමන ඉලක්කය ඕනෑවට වඩා අඩු වෙනවා කියන්නේත් ඉලක්කය ලඟා කරගෙන නැහැ කියන එක. පසුගිය දෙවසරක පමණ කාලයේදී දැකිය හැකි වූයේ මේ තත්ත්වය. ඒ තරමටම උද්ධමනය අඩු වුනේ මහ බැංකුව විසින් කළ දේවල් නිසා නෙමෙයි. බාහිර සාධක නිසා. ඔය බාහිර සාධක අනෙක් පැත්තට හැරුණු විට උද්ධමනය ඉලක්කය ඉක්මවා යාමේ අවදානමත් ඔය විදිහටම තියෙනවා කියන එක ඒ දවස් වලම අප විසින් පෙන්වා දී තිබෙනවා. දැන් ඒ දේ වෙලා තියෙනවා.

මේක මහ බැංකුවේ නිලධාරීන්ගේ අදක්ෂකමට හෝ වැරදි තීරණ වලට බැර කරන්න බැහැ. ලංකාවේ පවතින සාර්ව ආර්ථික තත්ත්වයන් තුළ උද්ධමනය +/- 2% පරාසයක රඳවා ගැනීම මහ බැංකුවට තවමත් කළ නොහැකි දෙයක් බවයි මේ මගින් පැහැදිලිව පෙන්නුම් කර තිබෙන්නේ. මහ බැංකුවට පාලනය කළ නොහැකි සාධක වෙනස් වෙද්දී උද්ධමනය +/- 5% වැනි විශාල පරාසයක විචලනය වෙන්න පුළුවන්. එසේ නොවුනොත් එය වාසනාව නිසා සිදු වෙන දෙයක්.

විචලනයන් පාලනය කරන්න අමාරු වුනත්, මහ බැංකුවට සාමාන්‍ය උද්ධමන මට්ටම පාලනය කරන්න පුළුවන්. ඒ කියන්නේ අවශ්‍යනම් සාමාන්‍ය මට්ටම 5% සිට 4%, 3% හෝ 2% දක්වා අඩු කරන්න පුළුවන්. එසේ නොකර 5% මට්ටමේම තියාගන්නවානම් එය චේතනාන්විතව ගන්න ප්‍රතිපත්ති තීන්දුවක්. සාමාන්‍ය කරුණක් ලෙස ඔය සාමාන්‍ය මට්ටම වැඩිනම් විචලනයන්ද වැඩියි. ඒ නිසා. ඉලක්ක සාමාන්‍ය මට්ටම අඩු කිරීම මගින් යම් දුරකට හෝ විචලනය වීම්ද පාලනය කරන්න පුළුවන්. 

ඉදිරි වසර තුන සඳහා ඉලක්කය තීරණය කරන්න කලින් මහ බැංකුව විසින්ම ඒ පිළිබඳව බාහිර පාර්ශ්වයන්ගේ අදහස් විමසා තිබුණා. ලැබුණු ප්‍රතිචාර මහ බැංකුව විසින් විධිමත් ලෙස ප්‍රකාශයට පත් කර නැතත්, මහ බැංකුවෙන් බාහිර පාර්ශ්වන් විසින් බොහෝ දුරට අපේක්ෂා කර තිබෙන්නේ 2% වැනි ඉලක්කයක් කියන එක මහ බැංකුවේ නිලධාරීන්ගේ විවිධ ප්‍රකාශ වලින් ගම්‍ය වෙනවා. සමහර විට මේ තත්ත්වය මහ බැංකුව විසින් අපේක්ෂා නොකළ තත්ත්වයක් වෙන්න ඇති.

අඩුම වශයෙන් මහ බැංකුවේ ඉහළ නිලධාරීන් දෙදෙනෙකු විසින් තමන්ගේ පෞද්ගලික අදහස් ලෙස සඳහන් කරමින් ඉහළ උද්ධමන ඉලක්කයක අවශ්‍යතාව වෙනුවෙන් කරුණු ඉදිරිපත් කර තිබුණා. මේ අදහස් පෞද්ගලික අදහස් පමණක්ම නොවෙන්න පුළුවන්. 

මහ බැංකු නිලධාරියෙකු විසින් කොයි තරම් වෘත්තීය මට්ටමෙන් අදහස් දැක්වුවත් මේ නිශ්චිත කාරණයේදී මේ අදහස් දක්වන්නේ මහ බැංකු නිලධාරියෙකු විසින් කියන එක බැහැර කරලා අදහස් ගැන පමණක් අවධානය යොමු කරන්න බැහැ. එය විනිසුරු වයස වෙනස් කිරීම ගැන විනිසුරු මතය විමසනවා වගේම වැඩක්. වෘත්තිකයින්ගේ ස්වාධීන අදහස් ලෙස පැහැදිලිව හඳුනා ගත හැක්කේ මහ බැංකුවට දැනට සම්බන්ධයක් නැති බාහිර පාර්ශ්වයන්ගේ අදහස් පමණයි. 

මහ බැංකුව පැත්තෙන් ඉදිරිපත් කර තිබුණු තර්ක බොහොමයක් 5% ලොකුවට හානිකර නැති බව පෙන්වන තර්ක මිසක් 2% ඊට වඩා හානිකරයි කියා පෙන්වන තර්ක නෙමෙයි.  5% ලොකුවට හානිකර නැහැ කියන එකෙන් 2% සුදුසු නැහැ කියන එක ගම්‍ය වෙන්නේ නැහැ. පිළිගත හැකි තර්කයක් විදිහට ඉදිරිපත් කර තිබුණේ මේ වෙලාවේ පවතින බාහිර තත්ත්වයන් එක්ක හදිසියේ උද්ධමනය ලොකුවට අඩු කරන්න බැහැ කියන එක. ඒක ඇත්ත. 

මේ වෙලාවේ පවතින තාවකාලික ප්‍රශ්නයට විසඳුමක් දෙන අතරම, උද්ධමන ඉලක්කයද අඩු කර ගත ආකාරයේ විසඳුමක් මහ බැංකුවේ හිටපු අධිපතිවරයෙකු විසින් යෝජනා කර තිබුනා. ඔහු යෝජනා කර තිබුණේ ඉදිරි වසර තුනක කාලය තුළ 5%, 4%, 3% ලෙස වසරින් වසර 1% බැගින් උද්ධමන ඉලක්කය අඩු කළ යුතු බවයි. මෙය කළ හැකි දෙයක්. නමුත් පෙනෙන විදිහට මේ වෙද්දී තීරණය අරගෙන ඉවරයි වගේ. 

අපගේ පෞද්ගලික යෝජනාව වූයේ 5% ඉලක්කය අඩු වශයෙන් 4% දක්වා හෝ අඩු කළ යුතු බවයි. එසේ කිරීමේ අවාසි නැති තරම් වන අතර ඉන්දියාවේ මිල මට්ටම එක්ක ලංකාවේ මිල මට්මම ගැලපීමේ පැහැදිලි වාසිය එහි තිබෙනවා. මේ මගින් ශ්‍රී ලංකා රුපියලද ඉන්දියානු රුපියලට සාපේක්ෂව ස්ථාවරව තියා ගන්න ඉඩ සැලසෙනවා. ලංකාව වැඩිපුරම ආනයන කරන්නේ ඉන්දියාවෙන් නිසා මෙය බාහිර කම්පන හමුවේ රටේ උද්ධමනය ස්ථාවරව තියාගන්නත් උදවුවක්.

ඉදිරි සතියේදී මහ බැංකුව විසින් ඉදිරි තෙවසර සඳහා වන උද්ධමන ඉලක්කය ප්‍රකාශයට පත් කරන්න හිතාගෙන ඉන්නවානම් සහ එම ඉලක්කය දැනට තිබෙන ඉලක්කයමනම්, අඩුම වශයෙන් මහ බැංකුවට කළ හැකි තවත් එක් දෙයක් තිබෙනවා. ඒ, මේ අවස්ථාවේ පවතින බාහිර කම්පන තත්ත්වය නිසා උද්ධමන ඉලක්කය අඩු නොකළත්, වසර තුනකට පසුම එම ඉලක්කය 4% දක්වා අඩු කිරීම ගැන සලකා බලන බව දැන්ම කියන එක. 

මහ බැංකුවට මෙහෙම කියන්න පුලුවන්නම් එයින් ලැබෙන පැහැදිලි හා ක්ෂණික වාසියක් තියෙනවා. මෙයින් අදහස් වෙන්නේ දිගුකාලීනව පොලී අනුපාතික අඩු වෙනවා කියන එක. ඒ නිසා, මහ  බැංකුව පැත්තෙන් මේ වගේ ප්‍රකාශයක් විශ්වාසනීය ලෙස කළොත්, දිගුකාලීන බැඳුම්කර වලට තිබෙන ඉල්ලුම ක්ෂණිකව ඉහළ ගිහින් කෙටිකාලීන පොලී අනුපාතික මත පීඩනය අඩු වෙනවා. මෙහිදී ලැබෙන්නේ ණය ප්‍රතිව්‍යුහගත කරද්දී රජයට ලැබුණු ආකාරයේ වාසියක්. මේ මගින් වෙනත් වියදමක් නැතිවම, වචනයකින් පමණක්, කෙටිකාලීනව රජයේ පොලී වියදම් හා ණය ගැනීමේ අවශ්‍යතාවය යම් තරමකින් හෝ අඩු කරගන්න පුළුවන්. 

උද්ධමන ඉලක්කය ලඟා කරගැනීම හා අදාළව, මුලින් විස්තර කළ, විචලන ප්‍රශ්නය මහ බැංකුවට විසඳිය හැකි ප්‍රශ්නයක් නෙමෙයි. තෙල් තනිකරම ආනයනය කරන රටක් වන ලංකාවට ලෝක තෙල් මිල මග හැර යන්න කිසිසේත්ම බැහැ. ලෝක තෙල් මිල ඉහළ යද්දී ලංකාවේ උද්ධමනය ක්ෂණිකව වැඩි වෙනවා. ලෝක තෙල් මිල නැවත පහත වැටෙද්දී උද්ධමනය ඉලක්ක මට්ටම ඉක්මවා පහත වැටෙනවා. 

තෙල් මිල ප්‍රශ්නයට ශ්‍රී ලංකා රජය විසින් මෙතෙක් ලබා දුන් විසඳුම වූයේ පාඩුවට තෙල් විකිණීම සහ සහනාධාර දීම. තෙල් මිල කියන නිශ්චිත කාරණයේදී රජය විසින් යම් මැදිහත්වීමක් කරන එකේ වැරැද්දක් නැහැ. ඒ මගින් උද්ධමනය විචලනය වීම පාලනය කරගෙන පසුව උද්ධමන ඉලක්කය පහත හෙළා ගන්නත් උදවු වෙනවා. 

මේ වෙනුවෙන් රජය විසින් කළ යුතු දේ වන්නේ මේ වෙලාවේ හෝ ඉන්ධන මිල ස්ථායීකරන අරමුදලක් පිහිටුවන එකයි. එවිට ලෝක තෙල් මිල වැඩි වන විට සහනාධාර වෙනුවෙන් අයවැයෙන් වෙනම මුදල් වෙන් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අවශ්‍යනම් නීතියක් හදලා ඉන්ධන වලින් අය කරන බදු වලින් යම් නිශ්චිත ප්‍රතිශතයක් ඒ අරමුදලට දමන්න පුළුවන්. ඒ වගේම අරමුදලේ සල්ලි ප්‍රයෝජනයට ගන්නා තුරු භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කිරීම මගින් පොලී අනුපාතික මතද රජයට යම් පාලනයක් තියාගන්න පුළුවන්. 

Tuesday, September 22, 2026

ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ යයි!



ෆිච් රේටිං ආයතනය විසින් ලංකාවේ ණය ශ්‍රේණිය CCC+ මට්ටමේ සිට B-‌ මට්ටම දක්වා ඉහළ දමා තිබෙනවා. මේ අනුව, ලංකාවට නැවතත් ජාත්‍යන්තර ණය වෙළඳපොළ වෙත පිවිසීම සඳහා වන ඉඩකඩ ක්‍රමක්‍රමයෙන් ඉහළ යමින් තිබෙනවා.

මෙම තීරණය සඳහා ප්‍රධාන වශයෙන්ම දායක වී තිබෙන්නේ රාජ්‍ය වියදම් සීමා කරගන්නා අතර, බදු ආදායම් ඉහළ දමා ගනිමින් සැලකිය යුතු ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගැනීම සහ ඒ අතරම විදේශ සංචිතද යම් තරමකට ශක්තිමත් කර ගැනීමයි. කෙසේ වුවද, B කාණ්ඩයේ රට වලට සාපේක්ෂව ලංකාව තවමත් බොහෝ පසුපසින් සිටින බවද ෆිච් රේටිං ආයතනය විසින් අවධාරණය කර තිබෙනවා.

- පසු ගිය වසරේදී 96.7%ක් වූ රාජ්‍ය ණය/ දදේනි අනුපාතය මෙම වසරේදී 92.9% දක්වා පහත වැටීමට නියමිතව ඇතත් B කාණ්ඩයේ රට වල මධ්‍යස්ථ අගය වන 54.7%ට සාපේක්ෂව මෙම අනුපාතය තවමත් ඉතා ඉහළ අනුපාතයක්. එම මට්ටමට රාජ්‍ය ණය/ දදේනි අනුපාතය අඩු කරගැනීම සඳහා වසර ගණනාවක කැපවීමක් අවශ්‍ය වෙනවා.

- පොලී වියදම් සහ රාජ්‍ය ආදායම් අතර අනුපාතය මේ වන විට 76.3% සිට 45.6% දක්වා අඩු වී ඇති අතර මෙම වසරේදී 41.0% දක්වා අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. එහෙත් B කාණ්ඩයේ රට වල මධ්‍යස්ථ අගය වන 12.7%ට සාපේක්ෂව මෙම අගය තුන් ගුණයකටත් වඩා වැඩියි.

- එක දිගට වසර තුනක් අතිරික්තයන් පෙන්වූ ජංගම ගිණුම ඇමරිකා ඉරාන ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස මෙම වසරේදී හිඟයක් විය හැකි බව පෙනෙන්නට තිබෙනවා. එහෙත්, 2027 සිට නැවතත් ජංගම ගිණුම තුලනය වීමේ ඉඩකඩ පෙනෙන්නට තිබෙනවා.

- මූල්‍ය අරමුදල සහ අනෙකුත් බහුපාර්ශ්වික ආයතන වලින් ලැබෙන මූල්‍ය සහාය නිසා කෙටිකාලීන විදේශ මූල්‍යකරණ තත්ත්වය ප්‍රමාණවත් මට්ටමක පවතිනවා. මෙම වසර අවසානයේදී විදේශ සංචිත ඩොලර් බිලියන 7.7 දක්වා ඉහළ යාමේ ඉඩක් පෙනෙනවා. එහෙත්, මෙහි මුල් ඇස්තමේන්තු වලට සාපේක්ෂව මන්දගාමී වීමක් තිබෙනවා.

- ඉදිරි වසරේ වලදී, විශේෂයෙන්ම 2028න් පසුව, විදේශ ණය සේවාකරණය ඉහළ යනවා. මෙම අභියෝගයට මුහුණ දීම සඳහා ඉදිරි 2027 වසර තුළ නැවතත් ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව ශ්‍රී ලංකා රජය විසින් සලකා බලමින් සිටිනවා. 

- එමෙන්ම, 2027 මාර්තු මාසයේදී මූල්‍ය අරමුදල සමඟ වන වැඩ සටහන අවසන් වීමෙන් පසුව තවත් වැඩ සටහනකට යාමේ ඉඩකඩ පෙනෙන්නට තිබෙනවා. එවැන්නක් මගින් රජයේ ප්‍රතිපත්ති වල ස්ථාවරත්වය තහවුරු වෙනවා. 

- ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ දුර්වලතා, අපනයන අංශය වර්ධනය කර ගැනීමේ දුර්වලතා හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ පිළිබඳ සීමාවන් නිසා මැදිකාලීනව ආර්ථිකය වර්ධනය වනු ඇත්තේ යාන්තමින් 4% ඉක්මවන වර්ධන වේගයකිනුයි. 

- දැනට ඇති උද්ධමන පීඩනය තාවකාලික සංසිද්ධියක් වන අතර, උද්ධමනය ක්‍රමයෙන් 5% සීමාවෙන් පහළට පැමිණීමට නියමිතයි. පොලී අනුපාතික තව දුරටත් ඉහළ යාමේ ඉඩක් පෙනෙන්නට නැහැ. 

ෆිච් රේටිං ආයතනයේ ඉහත නිරීක්ෂණ, විශ්ලේෂණ හා පුරෝකථන සමඟ අපටද එකඟ විය හැකියි. සාර්ව ආර්ථික ස්ථාවරත්වය පිළිබඳව ප්‍රතිපත්ති සම්පාදකයින්ට නොපැකිළ ලකුණු දිය හැකි නමුත් ආර්ථික වර්ධන වේගය වැඩි කර ගැනීම සඳහා තවත් කළ හැකි බොහෝ දේ තිබෙනවා. එහෙත් එයින් අදහස් කෙරෙන්නේ ආර්ථික ස්ථාවරත්වය නැවතත් අවදානමට ලක් කෙරෙන ක්‍රියාමාර්ග නෙමෙයි.

ණය පැහැර හැරී රටක් මේ අයුරින් නැවතත් B කාණ්ඩයට පැමිණීම සුවිශේෂී සන්ධිස්ථානයක්. අනෙකුත් ණය ශ්‍රේණිගත කරන ආයතන දෙක විසින්ද ඉතා ඉක්මණින් ෆිච් රේටිං ආයතනය අනුගමනය කර ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ දැමුවහොත්, ශ්‍රී ලංකා රජයට මුලින් ඉලක්ක කළ පරිදි ඉදිරි වසරේදී නැවතත් ජාත්‍යන්තර ණය වෙළඳපොළ වෙත ප්‍රවේශ වීමට අවකාශ ලැබෙනවා. 

Monday, September 21, 2026

උද්ධමනය සහ පොලී අනුපාතික



ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව 2026 අගෝස්තු මාසයේ උද්ධමනය 8.1%ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා. නිල උද්ධමනය දර්ශකය වන කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව, 2026 අගෝස්තු මාසයේ උද්ධමනය 8.0%ක්ව පැවතුනා.

පසුගිය පෙබරවාරි මාසය අවසානයේදී ඉරාන යුද්ධය ආරම්භ වීම සහ එහි ප්‍රතිඵලයක් ලෙස ලෝක ඉන්ධන මිල ගණන් ඉහළ යාම නිසා ලෝකයේ බොහෝ රටවල උද්ධමනය එම රටවල ඉලක්ක උද්ධමන මට්ටම් ඉක්මවා ඉහළ ගොස් තිබෙනවා. මෙයට ප්‍රතිචාරයක් ලෙස බොහෝ රටවල් පොලී අනුපාතික ඉහළ දැමීමට පෙළැඹී තිබෙනවා.

ඇමරිකාව පසු ගිය සතියේදී ප්‍රතිපත්ති පොලී අනුපාතික 0.25%කින් ඉහළ දැම්මා. යුරෝපීය මහ බැංකුව මේ වන විට 0.25% බැගින් දෙවරක්ම පොලී අනුපාතික ඉහළ දමා තිබෙනවා. එක්සත් රාජධානිය විසින් පසුගිය සතියේදී පොලී අනුපාතික වැඩි නොකිරීමට තීරණය කළත් එය බෙදුණු තීරණයක්. කමිටු සාමාජිකයින් නව දෙනෙකුගෙන් තිදෙනෙකුම 0.25%ක පොලී වැඩි කිරීමක් වෙනුවෙන් පෙනී සිටියා. ඉරාන යුද්ධය ආරම්භ වන විටද පොලී අනුපාතික ඉහළ දමමින් සිටි ජපානය මේ වන විට වසර 31ක ඉහළම මට්ටමට එරට ප්‍රතිපත්ති අනුපාතික ඉහළ දමා තිබෙනවා. කෙසේ වුවද, එම මට්ටම වන 1.25% ලංකාව වැනි රටකට සාපේක්ෂව අඩු මට්ටමක්. ඕස්ට්‍රේලියාව මෙම වසර තුළ තෙවරක් පොලී අනුපාතික ඉහළ දමා තිබෙනවා. ඉන්දියාව තවමත් පොලී අනුපාතික ඉහළ දමා නැතත් ඉදිරි මාස වලදී එවැන්නක් සිදු වේයැයි අපේක්ෂා කෙරෙනවා.

මහ බැංකුවක් විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දැමූ විට එය ක්ෂණිකව බලපාන්නේ මහ බැංකුවෙන් සෘජුව ණය ලබා ගැනීමේ හැකියාවක් ඇති වාණිජ බැංකු වලටයි. තමන්ට මහ බැංකුවෙන් ණය ලබා ගත හැකි පොලී අනුපාතිකය ඉහළ යද්දී වාණිජ බැංකු විසින් සිය පාරිභෝගිකයින්ට ණය ලබා දෙන පොලී අනුපාතික ඉහළ දමනවා. එසේ ණය පොලී ඉහළ යද්දී රටේ ණය ඉල්ලුම පහත වැටී මුදල් සංසරණය අඩු වෙනවා. අනෙක් අතට තැන්පතු පොලී ඉහළ යාම නිසා සංසරණයේ තිබෙන මුදල් තැන්පතු ලෙස නැවත බැංකු පද්ධතිය තුළට පැමිණ ඒ මගින්ද මුදල් සංසරණය අඩු වෙනවා.

ඉහත කී පරිදි රටේ මුදල් සංසරණය අඩු වී පාරිභෝගික ජනතාව අතේ ගැවසෙන මුදල් ප්‍රමාණය පහත වැටෙද්දී භාණ්ඩ හා සේවා සඳහා වන ඉල්ලුමද පහත වැටෙනවා. මේ හරහා මිල ගණන් අඩු වෙනවා. මහ බැංකුවක් පොලී අනුපාතික වැඩි කරද්දී උද්ධමනය පාලනය වෙන්නේ ඔය ක්‍රමයටයි.

ඉහත යාන්ත්‍රනය මගින් ප්‍රතිඵලයක් ලැබීමට සැලකිය යුතු කාලයක් යන බැවින් මහ බැංකුවක් විසින් පොලී අනුපාතික වැඩි කළ පමණින් උද්ධමනය ක්ෂණිකව අඩු නොවන බව පැහැදිලි විය යුතුයි. මේ අයුරින්ම, මහ බැංකුවක් විසින් පොලී අනුපාතික අඩු කර මුදල් සැපයුම වැඩි කරද්දී උද්ධමනය ඉහළ යාම සිදු වන්නේද කිසියම් කාල පමාවකින් පසුවයි. ඇමරිකාව විසින් පසුගිය පොලී වැඩි කිරීම් මගින් උත්සාහ කරන්නේ 2029 වන විට එරට උද්ධමනය 2.0% ඉලක්ක මට්ටම දක්වා අඩු කර ගැනීමටයි.

මහ බැංකුවක් විසින් සාමාන්‍යයෙන් කරන්නේත්, මහ බැංකුවකට කළ හැක්කේත්, සැලසුම් සහගත ලෙස දිගුකාලීනව උද්ධමනය පාලනය කිරීමයි. මහ බැංකුවක් එම අරමුණ අනුව නිවැරදි පියවර රැගෙන තිබියදී යුද්ධ, කාලගුණය, ස්වභාවික ආපදා වැනි වෙනත් හේතු නිසා උද්ධමනය තාවකාලිකව ඉලක්ක මට්ටම ඉක්මවා ඉහළ යා හැකියි. එවැනි ඉහළ යාම් බාහිර කම්පනයකින් පසුව ක්ෂණිකව සිදු වෙනවා. එවැනි තත්ත්වයක් හමුවේ මහ බැංකුවක් විසින් ක්ෂණිකව අවශ්‍ය පියවර ගත්තත් ප්‍රතිඵලයක් ලබා ගැනීම සඳහා වසරක පමණ කාලයක් ගත වෙන්න පුළුවන්.

ඉරාන යුද්ධයෙන් පසුව උද්ධමන පීඩනය ඉහළ යාමත් සමඟ, මැයි මාසයේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 7.75% සිට 8.75% දක්වා ඉහළ දැම්මා. එය ප්‍රමාණවත් වැඩි කිරීමක්. එහෙත්, එහි ප්‍රතිඵල ලැබෙනුයේ ඉදිරි වසරේ මැද භාගය පමණ විටයි. මේ වන විට පවතින උද්ධමනය මහ බැංකුව විසින් වසරකට පමණ පෙර අනුගමනය කළ ක්‍රියාමාර්ග වල සහ බාහිර කම්පනයේ සම්ප්‍රයුක්ත ප්‍රතිඵලයක්.

ඉරාන යුද්ධය ආරම්භ වීමට ආසන්න කාලයේදී ලංකාවේ මහ බැංකුව සිටියේ පොලී අනුපාතික අඩු කරමින් උද්ධමනය ඉහළ දමා ගැනීමේ ඉලක්කයකයි. එසේ මහ බැංකුව විසින් කලින් ගත් ක්‍රියාමාර්ග නිසා 2026 පෙබරවාරි මාසයේදී 1.6% මට්ටමේ පැවති උද්ධමනය වසරේ අවසන් කාර්තුව වන විට 5% ඉලක්ක මට්ටම දක්වා වැඩි වීමට නියමිතව තිබුනා. ඒ කියන්නේ 3-4%ක පමණ වූ අපේක්ෂිත වැඩි වීමක්. මහ බැංකුව විසින් පසුව ගත් ප්‍රතිපත්ති තීරණ නිසා ඒ වැඩි වීම ආපසු හැරෙන්නේ නැහැ.

තෙල් මිල ඉහළ යාම නිසා අප්‍රේල් මාසය වන විට ලංකාවේ උද්ධමනය 5.4% දක්වා ඉහළ ගියා. මෙය 4%ක පමණ අනපේක්ෂිත වැඩිවීමක්. එසේ උද්ධමනය ඉහළ ගියේ මහ බැංකුවේ කලින් ප්‍රතිපත්ති තීරණ වල බලපෑම ඉදිරි මාස වලදී උද්ධමනයට එකතු වීමට නියමිතව තිබියදීයි. දැන් එය සිදු වෙමින් තිබෙනවා. මහ බැංකුවේ මෑතකාලීන තීරණ වල ප්‍රතිඵල ලැබෙන තුරු ඒ තත්ත්වයේ වෙනසක් වෙන්නේ නැහැ.

ඉහත තත්ත්වයන් තුළ ඉදිරි මාස දෙකේදී උද්ධමනය තව දුරටත් යම් තරමකින් ඉහළ යා හැකියි. දෙසැම්බර් මාසයේදී සුළු අඩු වීමක් සිදු විය හැකි වුවත්, 2027 මුල් මාස තුන තුළද උද්ධමනය පවතිනු ඇත්තේ ඉහළ මට්ටමකයි. උද්ධමනය අපේක්ෂිත මට්ටම දක්වා ක්‍රමයෙන් අඩු වනු ඇත්තේ ඉන් පසුවයි. එහෙත් ඒ අතර වුවද, දැනට පවතින තත්ත්වයන් යටතේ, උද්ධමනය 10% මට්ටම ඉක්මවා යාමේ ඉඩක් නැහැ.

Wednesday, September 16, 2026

ඇමරිකාවේ පොලී අනුපාතික ඉහළට!


ඇමරිකාවේ ෆෙඩරල් විවට වෙළඳපොළ කමිටුව විසින් අද පැවති මුදල් ප්‍රතිපත්ති විවරණයේදී, වසර තුනකට පසුව, ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 0.25%කින් ඉහළ දැම්මා. මේ අනුව ප්‍රතිපත්ති පොලී අනුපාතික පරාසය 3.75-4.0% දක්වා ඉහළ යනවා. කමිටුවේ සාමාජිකයින් සියලු දෙනාම මෙම තීරණයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළා.

පසුගිය පෙබරවාරි මාසය වන විට 2.4% මට්ටම දක්වා අඩු වී තිබුණු ඇමරිකාවේ උද්ධමනය, ඉරාන යුද්ධය ආරම්භ වීමෙන් පසුව ඉන්ධන මිල ගණන් ඉහළ යාමත් සමඟ සැලකිය යුතු ලෙස ඉහළ ගියා. පසුගිය අගෝස්තු මාසයේදී ඇමරිකාවේ උද්ධමනය 3.4%ක්ව පැවතුනා. ඇමරිකානු ෆෙඩරල් සංචිත බැංකුව විසින් ඉලක්ක කරනුයේ උද්ධමනය 2% මට්ටමේ පවත්වා ගැනීමටයි.

ජනාධිපති ට්‍රම්ප් විසින් නම් කළ කෙවින් වාර්ෂ්, සෙනෙට් අනුමැතියෙන් පසුව පසුගිය මැයි මාසයේදී ඇමරිකානු ෆෙඩරල් සංචිත බැංකුවේ සභාපති ධුරයේ වැඩ භාරගත්තා. ඊට පෙර ජෙරමි පවල් එම ධුරය දරද්දී, පොලී අනුපාතික "අවශ්‍ය පමණ" අඩු නොකිරීම පිළිබඳව ජනාධිපති ට්‍රම්ප් සිටියේ එතරම් සතුටකින් නෙමෙයි. ජනාධිපති ට්‍රම්ප් විසින්ම නම් කළ කෙවින් වාර්ෂ්ගේ සභාපතිත්වයෙන් යුත් ෆෙඩරල් විවට වෙළඳපොළ කමිටුව, ජනාධිපති ට්‍රම්ප්ගේ අභිමතයට පටහැනිව පොලී අනුපාතික ඉහළ දැමීමට ඒකමතිකව තීරණය කිරීම විශේෂත්වයක්. මේ මගින් ඇමරිකානු මහ බැංකුවේ ස්වාධීනත්වය පිළිබඳ විශ්වාසය තවදුරටත් තහවුරු වෙනවා.

දෙසතියකට පමණ පෙර ජනාධිපති ට්‍රම්ප් විසින්, ෆෙඩරල් සංචිත බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩු නොකරන්නේ නම් ඇමරිකාව වෙළඳ හිඟයක් පවත්වාගෙන යන රටවල් සමඟ වෙළඳාම මුළුමනින්ම නවත්වා දමන බවට සටහනක් පළ කළා. මෙම පොලී අනුපාතික වැඩි කිරීම සිදු කර තිබෙන්නේ එම "තර්ජනය" සත පහකට මායිම් නොකරමිනුයි.

මේ වන විට ඇමරිකානු රජයේ ණය ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 40 ඉක්මවා ඉහළ ගොස් තිබෙනවා. එම සමස්ත ණය ප්‍රමාණයටම 0.25%ක පොලී අනුපාතික වැඩිවීමක් අදාළ කර සරලව ගණනය කළොත්, එය වසරකට ඩොලර් බිලියන 100ක අමතර පොලී වියදමකට සමානයි. පසුගිය වසරේ ඇමරිකාවේ ෆෙඩරල් රජයේ වාර්ෂික ශුද්ධ පොලී වියදම ඩොලර් බිලියන 970ක් වූ අතර මෙම වසරේදී එම වියදම ඩොලර් ට්‍රිලියනය ඉක්මවා යන බව පැහැදිලියි. 

Tuesday, September 15, 2026

ආර්ථික වර්ධනය - 2026 දෙවන කාර්තුව


මෙම (2026) වසරේ දෙවන කාර්තුවේ ආර්ථික වර්ධන වේගය 4.2% දක්වා පහත වැටී තිබෙනවා. වසරේ පළමු කාර්තුවේ ආර්ථික වර්ධනය 5.1%ක්ව පැවතුනු අතර, ඊට පෙර, 2024 සහ 2025 වසර වලදී 5.0% බැගින් වූ වර්ධන වේගයන් වාර්තා වුනා. 

සේවා ආර්ථිකයේ වර්ධන වේගය 2.7% දක්වා පහත වැටී ඇති අතර, කෘෂිකාර්මික නිෂ්පාදිතය 2.3%කින් සංකෝචනය වී තිබෙනවා. කාර්මික නිෂ්පාදිතය 7.3%කින් වර්ධනය වී ඇතත්, ඊට ප්‍රධාන හේතුව එම නිෂ්පාදිතය තවමත් ආර්ථික අර්බුදයට පෙර පැවති මට්ටම ආසන්නයටවත් පැමිණ නොතිබීමයි. 2018 දෙවන කාර්තුවට සාපේක්ෂව කාර්මික නිෂ්පාදිතය තවමත් තිබෙන්නේ 10.1%ක් පසුපසිනුයි. 2.7%කින් සංකෝචනය වීමෙන් පසුව, කෘෂිකාර්මික නිෂ්පාදිතයද නැවත වරක් 2015 දෙවන කාර්තුවේදී පැවති මට්ටමෙන් පහතට වැටී තිබෙනවා. කෙසේ වුවද, සේවා ආර්ථිකය මෙතෙක් ඉහළම අගයක් වාර්තා වූ 2019 දෙවන කාර්තුවේදී පැවති මට්ටමට වඩා 1.0%කින් ඉහළ ගොස් තිබෙනවා.

සමස්තයක් ලෙස, දෙවන කාර්තුවේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතය තවමත් තිබෙන්නේ 2018 දෙවන කාර්තුවට වඩා 2.9%ක් පසුපසිනුයි. එයින් අදහස් වනුයේ ආර්ථික අර්බුදයට පෙර වසර කිහිපය තුළ සිදු වූ හැකිලීමෙන් ගොඩ යාම ඉක්මවා ගිය සත්‍ය වර්ධනයක් දැක ගැනීම සඳහා අඩු වශයෙන් තවත් වසරක්වත් බලා ඉන්නට සිදුවනු ඇති බවයි. 

පසුගිය (2015) වසරේ දෙවන කාර්තුවට සාපේක්ෂව සහල් නිෂ්පාදනය 15.1%කින්ද, තේ නිෂ්පාදනය 1.9%කින්ද, රබර් නිෂ්පාදනය 2.2%කින්ද පහත වැටී ඇති අතර පොල් නිෂ්පාදනය 6.2%කින් ඉහළ ගොස් තිබෙනවා. කරදිය ධීවර කර්මාන්තයේ 10.1%ක හැකිලීමක් පෙන්නුම් කරන අතර මිරිදිය ධීවර කර්මාන්තයේ හැකිලීම 61.0%ක්. 

කර්මාන්ත අංශය තුළ, ඇඟලුම් නිෂ්පාදන 1.4%කින් පහත වැටී ඇති අතර, පෙට්‍රෝලියම් නිෂ්පාදන කර්මාන්තයේ 15.2%ක හැකිලීමක්ද, රබර් හා ප්ලාස්ටික් නිෂ්පාදන කර්මාන්ත වල 4.2%ක හැකිලීමක්ද දකින්න පුළුවන්. එහෙත්, ඉදිකිරීම් කර්මාන්තය 13.9%කින් වර්ධනය වී තිබීම නිසා සේවා ආර්ථිකය සමස්තයක් ලෙස වර්ධනය වී තිබෙනවා. කර්මාන්ත අංශයේ වර්ධනයෙන් 70%කටම දායක වී තිබෙන්නේ ඉදිකිරීම් කර්මාන්තයයි.

සේවා අංශයේ ප්‍රධානම සංරචක වන තොග හා සිල්ලර වෙළඳාම් වර්ධනය 1.4%කට සීමා වී ඇති අතර භාණ්ඩ හා මගී ප්‍රවාහන සේවා සැපයීම් 3.1%කින් වර්ධනය වී තිබෙනවා. සංචාරක හා නවාතැන් සේවා සැපයීම් වර්ධනය වී තිබෙන්නේ 2.9%කින් වන අතර මූල්‍ය සේවා සැපයීම් 7.7%කින් වර්ධනය වී තිබෙනවා. 

Sunday, September 13, 2026

ඉන්දියාවේ විදේශ සංචිත තවත් ඉහළට!


පසු ගිය අගෝස්තු 21 දින වන විට ඉන්දියාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය ඉතිහාසයේ වැඩිම අගය වූ ඩොලර් මිලියන 729,328 දක්වා ඉහළ ගොස් තිබුණා. දෙසතියකට පසුව, සැප්තැම්බර් 4 දින වන විට එම ප්‍රමාණය ඩොලර් මිලියන 785,706 දක්වා තව දුරටත් ඉහළ නංවා ගැනීමට ඉන්දියාව සමත් වී තිබෙනවා. 

මෙය දෙසතියක කාලය තුළ ඩොලර් බිලියන 56 ඉක්මවන වැඩි වීමක්. එයින් ඩොලර් බිලියන 45 ඉක්මවන ප්‍රමාණයක් එකතු කරගෙන තිබෙන්නේ සැප්තැම්බර් 4 දිනයෙන් අවසන් වූ සතියක කාලය තුළයි. අගෝස්තු 28 දින වන විට සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 740,803ක්ව පැවතුනා. 

සැප්තැම්බර් 4 දින වන විට රුසියාව සතු වූ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 753.5ක්. සම්බාධක වලට යටත්ව ප්‍රයෝජනයට ගත නොහැකිව ඇති විදේශ සංචිතද එම ගණනට ඇතුළත්. මේ අනුව, සැප්තැම්බර් 4 දිනයෙන් අවසන් වූ සතියක කාලය තුළ ඉන්දියාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය රුසියාවේ එම ප්‍රමාණයද ඉක්මවා ගොස් තිබෙනවා. මේ වන විට විදේශ සංචිත ප්‍රමාණය අතින් ඉන්දියාවට වඩා ඉදිරියෙන් සිටින්නේ චීනය, ජපානය සහ ස්විට්සර්ලන්තය යන රටවල් තුන පමණයි.

පසුගිය අගෝස්තු 31 දින වන විට ඉන්දියාවේ සංචිත බැංකුව (මහ බැංකුව) විසින් නිකුත් කර තිබුණු සංචිත මුදල් ප්‍රමාණය ඉන්දියානු රුපියල් බිලියන 52,766.4ක් වූ අතර, සංචිත බැංකුව සතු වූ ශුද්ධ විදේශ සංචිත ප්‍රමාණයේ වටිනාකම ඉන්දියානු රුපියල් බිලියන 69,556.2ක්. මෙයින් අදහස් වන්නේ ඉන්දියාවේ සංචිත බැංකුව සතු විදේශ වත්කම් වලින් එහි සියලු විදේශ බැරකම් පියවීමෙන් අනතුරුව අගෝස්තු 31 දින පැවති විණිමය අනුපාතය වූ රුපියල් 95.56 යටතේ ඉන්දියාවේ සංචිත බැංකුව විසින් නිකුත් කර ඇති සියළුම ඉන්දියානු රුපියල් ආපසු ලබාගෙන ඒ වෙනුවට ඇමරිකානු ඩොලර් ලබා දුන්නද සංචිත බැංකුව සතුව තවත් ඩොලර් බිලියන 175.7ක් ඉතිරි වන බවයි. මෙයම වෙනත් විදිහකින් විස්තර කළහොත් ඩොලරයක වටිනාකම ඉන්දියානු රුපියල් 72.49 දක්වා අඩු වීමට ඉඩ හැරියද දැනට නිකුත් කර ඇති සියලුම ඉන්දියානු රුපියල් එම අනුපාතයට ආපසු මිල දී ගැනීමේ හැකියාවක් ඉන්දියාවේ සංචිත බැංකුව සතු බවයි.

මේ අනුසාරයෙන් ඉන්දියානු රුපියල මේ වන විට පෙනෙනවාට වඩා කොපමණ ශක්තිමත්ද යන්න තේරුම් ගත හැකියි.

Monday, September 7, 2026

දළ නිල සංචිත - අගෝස්තු 2026


අගෝස්තු මාසය අවසානයේදී දළ නිල සංචිත ඩොලර් මිලියන 6,905 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙයින් ඩොලර් මිලියන 1,483ක් පමණ චීන මුදල් හුවමාරු ගිවිසුම යටතේ ලබා ගෙන ඇති යුවාන් බිලියන 10ක මුදලේ ඩොලර් වටිනාකමයි. එම මුදල ඉවත් කළ විට ඉතිරිය ඩොලර් මිලියන 5,422ක් පමණ වෙනවා. චීන ණය මුදල 2027 දෙසැම්බර් මාසයේදී පියවිය යුතුයි. 

වසරේ ඉතිරි මාස හතරක කාලය තුළ මහ බැංකුවට වෙළඳපොලෙන් යම් සංචිත ප්‍රමාණයක් මිල දී ගැනීමේ හැකියාවක් ඇති අතර එසේ මිල දී ගැනීමට ඉඩ තිබෙන විදේශ විණිමය වලින් ඉන්දියාවට තවමත් ගෙවන්නට ඇතැයි මා ඇස්තමේන්තු කරන සුළු මුදල සහ මූල්‍ය අරමුදලට ගෙවිය යුතු ණය වාරික පහසුවෙන්ම ගෙවිය හැකියි. එහෙත්, පසුගිය මාසය තුළ මහ බැංකුව විසින් ඩොලර් මිලියන 579ක මුදලක් වෙළඳපොළෙන් මිල දී ගැනීමෙන් පසුවද, දළ නිල සංචිත ඉහළ ගොස් තිබෙන්නේ ඩොලර් මිලියන 305කින් පමණක් බවද අප‍ට සැලකිල්ලට ගැනීමට සිදු වෙනවා. මෙම ගණන් අතර ඩොලර් මිලියන 274ක වෙනසක් තිබෙනවා.

මහ බැංකුව විසින් පසුගිය මාසය තුළ මහ බැංකුවේ විදේශ ණය පියැවීම වෙනුවෙන් යම් මුදලක් වැය කර තිබීම නිසැක දෙයක් වුවත්, එම මුදල ඩොලර් මිලියන 274ක් වීමේ ඉඩක් නැහැ. මේ වෙනසට ප්‍රධාන හේතුව රජයේ විදේශ ණය ආපසු ගෙවීම වෙනුවෙන්ද විදේශ විණිමය වැය වී තිබීමයි. 

දළ නිල සංචිත වල මහ බැංකුවේ විදේශ සංචිත මෙන්ම රජයට අයිති විදේශ සංචිත යම් ප්‍රමාණයක්ද තිබෙනවා. සාමාන්‍යයෙන් මූල්‍ය අරමුදල විසින් ණය දෙන්නේ රටක මහ බැංකුවට වුවත්, 2023දී පැවති සුවිශේෂී තත්ත්වය තුළ මූල්‍ය අරමුදලෙන් ලබා දුන් ණය කෙළින්ම ශ්‍රී ලංකා රජයට ලබා දීමට තීරණය කළා. ඊට හේතුව එවර ඇති වී තිබුණු අර්බුදය සාමාන්‍ය ගෙවුම් ශේෂ අර්බුදයක් පමණක් නොවීමයි. ගෙවුම් ශේෂ අර්බුදය ඇති වී තිබුණේ රාජ්‍යමූල්‍ය අර්බුදයක ප්‍රතිඵලයක් ලෙසයි. 

මේ වන විට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ රාජ්‍යමූල්‍ය කළමනාකරණය නිවැරදි කර ගැනීම මගින් රාජ්‍යමූල්‍ය ප්‍රශ්නය විසඳාගෙන ඇතත්, රටේ විදේශ අංශයේ පැවති දිගුකාලීන ප්‍රශ්නය තවමත් එලෙසම පවතින බැවින් රටේ ගෙවුම් ශේෂ අර්බුද අවදානම පහව ගොස් නැහැ. දශක ගණනාවක ප්‍රශ්නයක් විසඳා ගැනීම සඳහා වසර ගණනාවක සැලසුම්සහගත කැපවීමක් අවශ්‍ය වෙනවා. 

ඉහත විස්තර කළ හේතු නිසා මූල්‍ය අරමුදලෙන් රජයට සෘජුවම ලැබෙන ණය වාරික බැර කෙරෙන්නේ රජය විසින් මහ බැංකුවෙහි පවත්වා ගෙන යන ගිණුමකටයි. එහි ශේෂය රජයට රජයේ විදේශ ණය ගෙවීම සඳහා යොදා ගත හැකියි. 

වසර තුළ මූල්‍ය අරමුදලෙන් තවත් වාරිකයක් ලැබීමට නියමිතව තිබෙන අතර එම මුදලද රජයට රජයේ විදේශ ණය ආපසු ගෙවීම වෙනුවෙන් වැය කළ හැකියි. එසේ වුවත්, විදේශ ණය ගෙවීම සඳහා ප්‍රමාණවත් ඩොලර් සංචිත රජය සතුව නැත්නම් රජයට මහ බැංකුවෙන් ඩොලර් මිල දී ගැනීමට සිදු වෙනවා. එහිදී මහ බැංකුව සතු විදේශ සංචිත වල අඩු වීමක් සිදු වෙනවා. 

පසුගිය පෙබරවාරි මාසය වන විට දළ නිල සංචිත ඩොලර් මිලියන 7,280 දක්වා ඉහළ ගොස් තිබුණද ජූනි මාසය වන විට එම ප්‍රමාණය ඩොලර් මිලියන 6,458 දක්වා පහත වැටුනා. ඒ මැයි මාසයේදී ඩොලර් මිලියන 695ක වටිනාකමැති, ණය වාරික දෙකක මුදලක් මූල්‍ය අරමුදලෙන් එක වර ලැබීමෙන්ද පසුවයි. දළ නිල සංචිත ප්‍රමාණය මේ වන විටද තිබෙන්නේ පෙබරවාරි මාසයේදී පැවති මට්ටමට වඩා ඩොලර් මිලියන 375ක් පහළිනුයි. 

ණය ප්‍රතිව්‍යුහත කිරීමෙන් පසුව අවදානම් අඩු වී ඇතත්, 2028 සිට රජයේ විදේශ ණය ආපසු ගෙවීම් වල ඉහළ යාමක් සිදු වෙනවා. මුල් සැලසුම වූයේ නැවතත් ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කිරීම මගින් අවශ්‍ය අරමුදල් සපයා ගැනීමයි. එහෙත් එසේ කළ හැකි මට්ටමකට තවමත් ශ්‍රී ලංකාව පිළිබඳ ආයෝජක විශ්වාසය වර්ධනය වී නැහැ.

මූල්‍ය අරමුදල සමඟ ඇති වත්මන් වැඩ පිළිවෙළ අවසන් වෙද්දී බාධාවකින් තොරව රටට අවශ්‍ය පමණ ආනයන සිදු කරන අතර රටේ ආර්ථික ස්ථායීතාවය පවත්වා ගැනීම සඳහා ප්‍රමාණවත් විදේශ සංචිතයක් ගොඩ නගා ගැනීම අපහසු දෙයක් නොවුනත්, එය එසේ කළ හැකි වන්නේ රජයේ විදේශ ණය ආපසු ගෙවීම් මහ බැංකුව සතු සංචිත වලට පීඩනයක් ගෙන නොදෙන්නේනම් පමණයි. එය එසේ වීමටනම්, රජයට නැවතත් ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළ වෙත ප්‍රවේශ වීමට සිදු වෙනවා. ඒ සඳහා ශ්‍රේණිගත කිරීම් ඉහළ දමා ගත යුතුයි. එය කළ නොහැකිනම්, අවම වශයෙන් රක්ෂණයක් ලෙස, මූල්‍ය අරමුදල සමඟ තවත් වැඩ සටහනකට යාමට සිදු වෙනවා. එය අනිවාර්ය ණය ගැනීමක්ම විය යුතු නැහැ. 

Saturday, September 5, 2026

අලුත් ලෝක සිතියම


ඊයේ දිනයේ (2026 සැප්තැම්බර් 4) එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පසුගිය සියවස් හතරකට වැඩි කාලයක් පුරා ලෝකයේ වඩාත් ප්‍රචලිත සිතියම් ප්‍රක්ෂේපණයක් ලෙස භාවිතා වූ මර්කේටර් ලෝක සිතියම වෙනුවට, රටවල් හා මහාද්වීපවල සාපේක්ෂ භූමි ප්‍රමාණය වඩා නිවැරදිව නිරූපණය කරන Equal Earth වැනි සිතියම් ප්‍රක්ෂේපණ භාවිතය ලෝකය පුරා ප්‍රවර්ධනය කිරීම පිණිස යෝජනාවක් සම්මත කරගනු ලැබුවා.

අප්‍රිකානු රටවල් විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාවට පක්ෂව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 164ක් ඡන්දය ලබා දුන් අතර, විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ ඇමරිකා එක්සත් ජනපදය පමණයි. පැරණි සෝවියට් සමූහාණ්ඩු පහක් වූ ලිතුවේනියාව, එස්ටෝනියාව, යුක්‍රේනය, මෝල්දෝවා සහ ජෝජියාවත්, පැරණි යුගෝස්ලාවියාවේ කොටසක් වූ සර්බියාවත් ඡන්දය දීමෙන් වැළකී සිටියා.

මෙම යෝජනාවේ මුඛ්‍ය පරමාර්ථය වූයේ වත්මන් ලෝක සිතියම තුළ ලෝකයේ රටවල් ඒවායේ නියම ප්‍රමාණයෙන් නිරූපණය නොවීමේ ඓතිහාසික වරද නිවැරදි කිරීමයි. මර්කේටර් ලෝක සිතියම තුළ කැනඩාව, රුසියාව හා ග්‍රීන්ලන්තය වැනි රටවල් ඕනෑවට වඩා ලොකුවට පෙනෙන අතර අප්‍රිකාවේ සාපේක්ෂ විශාලත්වය පෙනෙන්නේ නැහැ. 

යෝජනාවට විරුද්ධ වූ එකම රට වූ ඇමරිකා එක්සත් ජනපදය විසින් මෙම යෝජනාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලික අරමුණු වලින් බැහැර වීමක් ලෙසත්, යෝජනාව වෙනුවෙන් පෙනී සිටින්නන්ගේ පුළුල් මතවාදී ව්‍යාපෘතියක කොටසක් ලෙසත් හඳුන්වා තිබුණා. ඡන්දය දීමෙන් වැළකී සිටි යුක්‍රේනය, අප්‍රිකානු රටවල යෝජනාවේ මූලික අරමුණට තමන් විරුද්ධ නොවන බව සඳහන් කළත්, Equal Earth සිතියමෙහි රුසියාව විසින් අත්පත් කරගෙන ඇති යුක්‍රේන භූමි ප්‍රදේශ නිරූපණය කර ඇති ආකාරය පිළිගත නොහැකි බව සඳහන් කළා. 

මීට සතියකට පමණ පෙර, 2026 අගෝස්තු 27 දින, ඇමරිකන් ජනාධිපතිවරයා විසින් පංච මහා විල් වලින් එකක් වූ ඔන්ටාරියෝ විල ඇමරිකානු ෆෙඩරල් රජයේ භාවිතය සඳහා ඇමරිකා විල ලෙස නම් කළ අතර, ඊටත් පෙර මෙක්සිකන් බොක්ක ඇමරිකන් බොක්ක ලෙස නම් කරනු ලැබුවා. 

මේ වන විට මෙට්‍රික් මිනුම් ක්‍රමය ලෝකයේ බොහෝ රටවල ප්‍රධාන මිනුම් ක්‍රමය බවට පත්ව ඇතත්, ඇමරිකා එක්සත් ජනපදය තුළ දෛනික භාවිතයේ ප්‍රධාන මිනුම් ක්‍රමය ලෙස තවමත් මෙට්‍රික් මිනුම් ක්‍රමය භාවිතා වන්නේ නැහැ. මෙම යෝජනාවට එරෙහිව ඡන්දය භාවිතා කළ ඇමරිකාව විසින් අලුත් ලෝක සිතියම ප්‍රවර්ධනය කිරීමට සහයෝගය දීමේ ඉඩක් පෙනෙන්නට නැහැ. ගූගල් හා ඇපල් වැනි ඇමරිකානු සමාගම් විසින් පිළියෙළ කෙරෙන ලෝක සිතියම් මේ වන විට ඇමරිකාවෙන් පිටත ලෝකය පුරාම භාවිතා වෙනවා. එබැවින් අනෙකුත් රටවල අලුත් ලෝක සිතියම ප්‍රචලිත වුවද, පැරණි සිතියම ඉක්මණින් භාවිතයෙන් ඉවත් වීමේ ඉඩක් නැහැ. 

Friday, September 4, 2026

මහ බැංකුවේ මැදිහත් වීම් - අගෝස්තු 2026


ගෙවුණු 2026 අගෝස්තු මාසය තුළ මහ බැංකුව විසින් ඩොලර් මිලියන 579ක විදේශ විණිමය ප්‍රමාණයක් වෙළඳපොළෙන් මිල දී ගැනීමට සමත් වී තිබෙනවා. මෙම මුදල මෙම වසර තුළ මහ බැංකුව විසින් මාසයක් ඇතුළත මිල දී ගත් වැඩිම විදේශ විණිමය ප්‍රමාණයයි. 

වසරේ මුල් මාස කිහිපය තුළ මහ බැංකුව විසින් වෙළඳපොළෙන් විදේශ විණිමය මිල දී ගනිමින් සංචිත ගොඩ නගා ගනිමින් සිටියත්, ඉරාන යුද්ධය ඇරැඹී විණිමය ප්‍රවාහ සීමා වීමෙන් පසුව ඇති වූ සමපේක්ෂණ ඉල්ලුම පාලනය කිරීම සඳහා මහ බැංකුවට යම් විදේශ සංචිත ප්‍රමාණයක් විකිණීමට සිදු වුනා. නැවත විණිමය අනුපාතය ස්ථාවර වීමෙන් පසුව, මේ වන විට, සමපේක්ෂකයින් විසින් තමන් සතු කරගත් විදේශ විණිමය ආපසු විකුණා දමන්නට පෙලැඹී ඇති බවක් පෙනෙන්නට තිබෙනවා.

අප්‍රේල් සහ මැයි මාස වලදී මහ බැංකුව විසින් ශුද්ධ වශයෙන් විදේශ විණිමය විකුණා දැමීම සැලකිල්ලට ගැනීමෙන් පසුවද, මේ වන විට වසර ඇතුළත මහ බැංකුව විසින් ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 1,485ක් වෙළඳපොලෙන් මිල දී ගෙන තිබෙනවා. 

අගෝස්තු මාසය අවසානයේදී නිල විදේශ සංචිත ප්‍රමාණය කොපමණදැයි මහ බැංකුව විසින් තවමත් ප්‍රකාශයට පත් කර නැහැ. එහෙත්, මෙම ප්‍රමාණය නැවතත් ඩොලර් බිලියන හතේ සීමාව ඉක්මවා තිබෙන්නට බොහෝ දුරට ඉඩ තිබෙනවා.

වසරේ මුල් මාස නවය තුළ මහ බැංකුව විසින් සිදු කර ඇති මැදිහත් වීම් මෙසේයි.

  • 2026 ජනවාරි: ඩොලර් මිලියන 200
  • 2026 පෙබරවාරි: ඩොලර් මිලියන 461
  • 2026 මාර්තු: ඩොලර් මිලියන 49
  • 2026 අප්‍රේල්: ඩොලර් මිලියන -13 (ශුද්ධ විකිණීම)
  • 2026 මැයි: ඩොලර් මිලියන -211 (ශුද්ධ විකිණීම)
  • 2026 ජූනි: ඩොලර් මිලියන 71
  • 2026 ජූලි: ඩොලර් මිලියන 349
  • 2026 අගෝස්තු: ඩොලර් මිලියන 579
  • එකතුව: ඩොලර් මිලියන 1,485 

Thursday, September 3, 2026

කෝවිඩ් අවුරුද්දේ විදේශ අංශය


නැවත නැවත මතු කෙරෙන කරුණක් නිසා ආර්ථික අර්බුදය කෙරෙහි වූ වසංගතයේ බලපෑම ගැන නිශ්චිතව සටහන් කරලා තියන එක සුදුසුයි කියලා හිතුණා. සමහර අයට අනුව ආර්ථික අර්බුදයට හේතු වුනේ වසංගතය. වසංගතය නොවන්නට ඒ වන විට අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්ති වලින් රට සුඛිත මුදිත වෙනවා. මේ ප්‍රවාදයට අභියෝගයක් ලෙස වෙනත් අය මතු කරන වලංගු ප්‍රශ්නයක් වන්නේ අර්බුදයට හේතුව වසංගතයේ බලපෑමනම්, ලෝකයේ අනෙක් රටවල් වලත් මේ විදිහේ අර්බුදයක් ඇති නොවුනේ ඇයි කියන එක. 

වසංගතය ලංකාවේ විදේශ අංශයට බලපෑවේ කොහොමද?

වසංගතය පැතිරෙද්දී 2020 මාර්තු මාසයේදී ශ්‍රී ලංකා රජය විසින් සංචාරකයින් සඳහා රටේ දේශ සීමා වසා දමනු ලැබුවා. මෙසේ වසා දමනු ලැබූ දේශ සීමා නැවත මුළුමනින්ම විවෘත කරනු ලැබුවේ 2021 ජනවාරි මාසයේදී. 2020 දෙසැම්බර් මාසයේදී "ජීව බුබුළු" පදනම මත සංචාරකයින්ට සීමිත අවස්ථාවක් ලබා දුන්නා. ඔය අතරමැද මාස නවයක පමණ කාලයක් සංචාරකයින්ගේ පැමිණීම මුළුමනින්ම නැවතී ඒ හරහා රටට ලැබුණු විදේශ විණිමය ප්‍රවාහ නැවතුනා. 

ඉහත හේතුව නිසා, පෙර වසරට සාපේක්ෂව 2020 වසරේදී සංචාරක කර්මාන්තයෙන් ලැබෙන විදේශ විණිමය ප්‍රමාණයෙන් ඩොලර් බිලියන තුනක් පමණ රටට අහිමි වුනා. ඒ වගේම, ගුවන් හා නැවු ප්‍රවාහන සේවා සපයා ලැබූ ආදායමෙන් තවත් ඩොලර් බිලියනයක් පමණ අහිමි වුනා. සේවා ගිණුමේ සියලු ලැබීම් ඩොලර් මිලියන 4,439කින් අඩු වුනා.

සේවා ගිණුමේ ලැබීම් ඔය විදිහට අඩු වෙද්දී, වසංගතය හේතුවෙන් ශ්‍රී ලාංකිකයින්ගේ විදේශ සංචාර වියදම් සහ ප්‍රවාහන සේවා ඇතුළු අනෙකුත් සේවා වෙනුවෙන් වැය වූ වියදම්ද ඩොලර් මිලියන 2,409කින් අඩු වුනා. ඒ නිසා, ශුද්ධ වශයෙන් සේවා ගිණුමට සිදු වූ බලපෑම ඩොලර් මිලියන 2,030ක් පමණයි. ඔව්, ඒක වුනත් සැලකිය යුතු අඩු වීමක් තමයි!

අනෙක් අතට රට වහද්දී යම් තරමකින් අපනයන නිෂ්පාදන කර්මාන්තත් වැහුනා. ලෝකය පුරාම ඉල්ලුම අඩු වී මිල අඩුවීමකුත් සිදු වුනා. මෙහි ප්‍රතිඵලයක් විදිහට අපනයන ආදායම පෙර වසරේ වූ ඩොලර් මිලියන 11,940 සිට ඩොලර් මිලියන 10,047 දක්වා ඩොලර් මිලියන 1,893කින් අඩු වුනා. ඇඟලුම් අපනයන ආදායම පමණක් ඩොලර් මිලියන 1,173කින් පහත වැටුනා.

නමුත් අනෙක් අතට ලෝක ඉන්ධන මිල විශාල ලෙස පහත වැටුණා. රටේ ඉන්ධන ඉල්ලුම විශාල ලෙස අඩු වුනා. ඉන්ධන ආනයන වියදම ඩොලර් මිලියන 3,891.6 සිට ඩොලර් මිලියන 2,542.6 දක්වා ඩොලර් මිලියන 1,349.0කින් පහත වැටුනා. ඒ වගේම, ඇඟලුම් කර්මාන්තය සඳහා අවශ්‍ය වන රෙදිපිළි ආනයන වියදම් ඩොලර් මිලියන 574.3කින් අඩු වුනා. ඉදිකිරීම් සීමා වූ නිසා ඉදිකිරීම් කර්මාන්තයේ අමුද්‍රව්‍ය ආනයන වියදම් ඩොලර් මිලියන ඩොලර් මිලියන 473.1කින් අඩු වුනා. පෞද්ගලික වාහන ආනයන සීමා කිරීම නිසා එම ආනයන වියදම් ඩොලර් මිලියන 532.8කින් අඩු වුනා. ඔය විදිහට සමස්ත ආනයන වියදම ඩොලර් මිලියන 3,882කින් පහත වැටුනා. මේ අඩු වීම අපනයන ආදායම් අඩු වීමට වඩා ඩොලර් බිලියන දෙකකින් පමණ වැඩියි. හරියටම ඩොලර් මිලියන 1,989ක්!

සේවා ගිණුමේ ලැබීම් ශුද්ධ වශයෙන් ඩොලර් බිලියන දෙකකින් පමණ අඩු වෙද්දී, ඒ ඩොලර් බිලියන දෙකේ අඩුව වෙළඳ ගිණුම හරහා ආපසු ලැබුනා. ඒ නිසා, වෙළඳ හා සේවා ගිණුම් දෙක එක්ව ගනිද්දී ජංගම ගිණුමට බලපෑමක් නොතිබුණු තරම්.

ඔය අතර, විගමණික ප්‍රේෂණ ඉහළ යාම නිසා ද්වීතියික ආදායම් ගිණුමේ ශේෂය ඉහළ ගියා. පොලී අනුපාතික හා සමාගම් වල ලාබ අඩු වීම නිසා ප්‍රාථමික ගිණුම හරහා රටෙන් එළියට යන විදේශ විනිමය සීමා වුනා. අවසාන වශයෙන් වසංගතය නිසා සිදු වුනේ අවුරුදු දහයකට පසුව ජංගම ගිණුමේ වාර්තා වූ අඩුම හිඟය 2020දී වාර්තා වූ එකයි. 2011-2020 කාලයේ ලංකාවේ ජංගම ගිණුම් හිඟ පහත පෙන්වා තිබෙනවා.

2011 - ඩොලර් මිලියන (-4,615)

2012 - ඩොලර් මිලියන (-3,982)

2013 - ඩොලර් මිලියන (-2,541)

2014 - ඩොලර් මිලියන (-1,988)

2015 - ඩොලර් මිලියන (-1,883)

2016 - ඩොලර් මිලියන (-1,742)

2017 - ඩොලර් මිලියන (-2,309)

2018 - ඩොලර් මිලියන (-2,799)

2019 - ඩොලර් මිලියන (-1,843)

2020 - ඩොලර් මිලියන (-1,183)

අවුරුදු දහයක කාලයකට පසුව අඩුම ජංගම ගිණුම් හිඟයක් වාර්තා වුනේ වසංගතයේ බලපෑම තිබුණු 2020 වසරේදීනම්, ආර්ථික අර්බුදයට හේතු වුනේ වසංගතය කියලා කාට හරි කියන්න පුළුවන්ද?

නමුත්, ජංගම ගිණුමේ හිඟය ඔය තරමට අඩු වෙද්දී රටේ නිල විදේශ සංචිත ඩොලර් මිලියන 7,642 සිට ඩොලර් මිලියන 5,664 දක්වා ඩොලර් බිලියන දෙකකින් පමණ අඩු වුනා. මෙයට හේතුව ඩොලර් බිලියනයකට තරමක් වැඩියෙන් තිබුණු ජංගම ගිණුම් හිඟය නෙමෙයි. අඩු වශයෙන් ඩොලර් බිලියන දෙකක පමණ ජංගම ගිණුම් හිඟයක් කාලයක් තිස්සේම තිබුනා. එහෙම තියෙද්දීත් සමහර අවුරුදු වල සංචිත වැඩි වුනා. 

වසංගතය පටන් ගන්න කොටත් බදු කප්පාදු කරලා රාජ්‍ය ආදායම් අහිමි කරගෙනයි තිබුණේ. ඒ තීරණයෙන් පසුව, රජය බංකොලොත් වීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි කියන එක සිහි බුද්ධිය තියෙන අයට පේන්න ගත්තා. ඒ වගේම, මේ හේතුවෙන් ඉහළ ගිය අයවැය හිඟය පියවන්න රුපියල් අවශ්‍ය වුනා. රටේ රුපියල් සැපයුම වැඩි වෙද්දී උද්ධමනය ඉහළ යන නිසා එය වලක්වා ගැනීමේ උපාය මාර්ගය වුනේ සංචිත විකුණමින් විණිමය අනුපාතයේ උදවුවෙන් උද්ධමනය පාලනය කරන එක. මේ ක්‍රමයට රුපියල් එකතු කරගත හැකි වූ නිසා අලුතෙන් රුපියල් සංසරණයට එකතු නොකරම විශාල ලෙස රජයට ණය දෙන්න මහ බැංකුවට පුළුවන් වුනා. මේ ක්‍රමයට යද්දී කොයි වෙලාවක හෝ සංචිත ඉවර වෙලා රුපියල කඩා වැටෙන බවත් සිහි බුද්ධිය තියෙන අයට පේන්න ගත්තා. මේ කිසිවක් වසංගතය නිසා සිදු වූ දේවල් නෙමෙයි.

රජයක් බැංකු අංශයෙන් ණය ගන්න පෙළඹෙන්නේ වෙළඳපොළෙන් ණය ගන්න අසීරු වූ විටයි. බැංකු අංශයෙන් ණය ගනිද්දී මුදල් සැපයුම ප්‍රසාරණය වෙනවා. රාජ්‍යමූල්‍ය කළමනාකරණය වැටිලා තිබුණු තැනත් එක්ක රජයට කොයි වෙලාවක හෝ ණය ගෙවාගන්න බැරිවන බවත්, මහ බැංකුවේ විණිමය ප්‍රතිපත්ති අනුව කොයි වෙලාවක හෝ රුපියල කඩා වැටෙන බවත් කලින්ම තේරුම් ගත්තේ විදේශ ආයෝජකයෝ. ඔවුන් විශාල වශයෙන් ඔවුන් සතු වූ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර විකුණමින් ඒ රුපියල් ඩොලර් කර රටෙන් ගෙන යන්න පටන් ගත්තා. 2020 වසර තුළදී මෙසේ ඉවත් කරගත් මුදල ඩොලර් මිලියන 553ක්. 

විදේශ ආයෝජකයින් විසින් රාජ්‍ය සුරැකුම්පත් ආයෝජන ඔය විදිහට ඉවත් කර ගනිද්දී ඒ එක්කම කොටස් වෙළඳපොළ ආයෝජනද ඩොලර් මිලියන 225ක් ඉවත් කරගත්තා. වාණිජ බැංකු වල තිබුණු විදේශ විණිමය තැන්පතු වලින් තවත් ඩොලර් මිලියන 415ක් එළියට ගියා. 

අනෙක් අතට ස්වෛරිත්ව බැඳුම්කර වල ආයෝජන සිදු කර තිබුණු විදේශිකයෝ ඒ බැඳුම්කර අයිතිය කීයකට හෝ විකුණා දමන්න පෙළඹුනා. එසේ කරද්දී ස්වෛරිත්ව බැඳුම්කර වල ඵලදා අනුපාතික විශාල ලෙස ඉහළ ගිහින් ශ්‍රී ලංකා රජයට අලුතෙන් ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කළ නොහැකි තත්ත්වයක් ඇති වුනා. ඒ නිසා, ඔක්තෝබර් මාසයේදී කල් පිරුණු ස්වෛරිත්ව බැඳුම්කරය අලුත් කරමින් අලුත් ස්වෛරිත්ව බැඳුම්කරයක් නිකුත් කිරීමේ හැකියාව අහිමි වුනා. රට ඇතුළේ සිටි පුද්ගලයින් හෝ ආයතන විසින් විදේශිකයින් විසින් විකුණන ලංකාවේ ස්වෛරිත්ව බැඳුම්කර කුණු කොල්ලයට මිල දී ගනිද්දී, ඒ මිල දී ගැනීම් වෙනුවෙන්ද රටේ තිබුණු ඩොලර් විශාල ලෙස එළියට ගියා. රජය විසින් මේ මුදල් ආපසු ගෙවයි කියන විශ්වාසය ඒ අයට තියෙන්න ඇති. ඒ වගේම ආපසු ගෙවනු ලැබූ ස්වෛරිත්ව බැඳුම්කර වලින් විශාල ලාබයක් ලැබෙන්නත් ඇති. 

විදේශ විණිමය අර්බුදයකට පාර කැපුනේ ඔය විදිහට මූල්‍ය ගිණුම හරහා එළියට ගිය විදේශ විණිමය නිසා මිසක් වසංගතයෙන් ජංගම ගිණුමට අහිතකර බලපෑමක් සිදු වූ නිසා නෙමෙයි. ඇත්තටම සිදු වුනේ වසංගත අවුරුද්ද තුළ ජංගම ගිණුම් ශේෂය වඩා හොඳ පැත්තට හැරීමයි.

මේ කතා කළේ 2020 අවුරුද්ද ගැන. 2021 ගැන වෙනම කතා කරන්න පුළුවන්. 

ජූලි අවසානයේදී රාජ්‍යමූල්‍ය තත්ත්වය


ජූලි මාසය අවසන් වෙද්දී වසරේ සමුච්ඡිත අයවැය ශේෂය නැවතත් සෘණ අතට හැරී තිබෙනවා. පසුගිය මාස කිහිපය තුළ අයවැය අතිරික්තයක් දක්නට ලැබුණේ මෙම වසරේ වියදම් වෙනුවෙන් වෙන් කළ අරමුදල් වැය කෙරෙන තුරු තාවකාලිකව පැවති සංක්‍රාන්තික තත්ත්වයක් හේතුවෙන් බැවින් මෙය අපේක්ෂා කළ හැකිව තිබුණු තත්ත්වයක්. 

වසරේ පළමු මාස හයේ සමස්ත අයවැය හිඟය රුපියල් බිලියන 109.7ක් වන අතර එම අගය පසුගිය වසරේ පළමු මාස හතේ අයවැය හිඟය වූ රුපියල් බිලියන 556.1ට වඩා බෙහෙවින්ම අඩු අගයක්. පොලී වියදම් ඉවත් කිරීමෙන් පසුව, වසරේ පළමු මාස හතක කාලය තුළ රුපියල් බිලියන 1,348.6ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් වාර්තා වී තිබෙනවා. 

වසරේ ඇස්තමේන්තුගත බදු ආදායමෙන් 63.9%ක්ම මේ වන විට එකතු වී ඇති අතර, ඇස්තමේන්තුගත බදු නොවන ආදායම් වලින් 78.2%ක් එකතු වී තිබෙනවා. ඒ අනුව, පැහැදිලිව පෙනී යන්නේ මෙම වසරේ රාජ්‍ය ආදායම් ඉලක්ක සාක්ෂාත් කර ගැනීම පිළිබඳ ගැටළුවක් පෙනෙන්නට නොමැති බවයි. 

ඇස්තමේන්තුගත පුනරාවර්තන වියදම් වලින් 53.9%ක් මේ වන විට වැය කර ඇති අතර, ඇස්තමේන්තුගත ප්‍රාග්ධන වියදම් වලින් තවමත් වැය කර තිබෙන්නේ 22.2%ක් පමණයි. 

Wednesday, September 2, 2026

මහ බැංකුවේ ශුද්ධ විදේශ සංචිත - ජූලි 2026


සාමාන්‍යයෙන් කියන විදිහට ෆියට් මුදල් වලට කිසිම නෛසර්ගික වටිනාකමක් නැහැ. ඒවා නිකම්ම කඩදාසි. එහෙමනම් මිනිස්සු ෆියට් මුදල් මුදල් විදිහට භාර ගන්නේ ඇයි?

මේ ප්‍රශ්නයට සම්මත පිළිතුරු තිබෙනවා. එක පිළිතුරක් වන්නේ රජය විසින් මේ ෆියට් මුදල් රටේ නීත්‍යානුකූල මුදල් ලෙස නීතිගත කර තිබෙන නිසා කියන එක. නමුත් වෙනත් රටවල් එක්ක ගනුදෙනු කරද්දී මේ කතාව හරියන්නේ නැහැ. ඒ නිසාම, තමන්ගේ රටින් පිටතදී ගනුදෙනු සඳහා භාවිතා කළ හැකි මුදල් වර්ග තිබෙන්නේ සීමිත ප්‍රමාණයක් පමණයි.

ශ්‍රී ලංකා රුපියල් කියන්නේ රටින් පිටත කිසිදු පිළිගැනීමක් නොමැති මුදල් වර්ගයක්. ඇමරිකාවට ඩොලර් මුද්‍රණය කරලා ඒ ඩොලර් වලින් ගෙවලා රටට ආනයන කරන්න පුළුවන් වුනත් ලංකාවට රුපියල් මුද්‍රණය කරලා ඒ රුපියල් වලින් ආනයන කරන්න බැහැ. ඒ නිසාම රුපියල් වල වටිනාකම රැඳී තිබෙන්නේ ඩොලර් වැනි පිළිගැනීමක් තිබෙන මුදල් වර්ග එක්ක හුවමාරු කිරීමේ හැකියාව පිළිබඳව තිබෙන විශ්වාසය මතයි.

ඩොලර්, යුරෝ වැනි මුදල් වර්ග කීපයක් හැරුණු කොට චීන යුවාන්, ඉන්දියානු රුපියල් වගේම ජපාන යෙන් දක්වා මුදල් වර්ග වලට අඩු වැඩි වැඩි වශයෙන් ඉහත කතාව අදාළයි. චීනය, ඉන්දියාව, ජපානය වගේ රටවල් විශාල විදේශ විනිමය සංචිත නඩත්තු කරන්නේ ඒ බව දන්න නිසා. 

ශ්‍රී ලංකා රුපියලේ ඉතිහාසය දිහා බැලුවොත්, මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන රුපියල් ප්‍රමාණයට සමාන වටිනාකමක් තිබෙන ශුද්ධ විදේශ සංචිත මහ බැංකුව සතුව නැත්නම් මේ වටිනාකම් සමාන වන තුරු රුපියල අවප්‍රමාණය වීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණක් බව පැහැදිලිව පේනවා. 

උදාහරණයක් විදිහට මහ බැංකුවේ සංචිත මුදල් සැපයුම රුපියල් බිලියන 1920ක්නම් සහ මහ බැංකුව සතු ශුද්ධ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6ක්නම්, සංචිත මුදල් සැපයුම සහ ශුද්ධ විදේශ සංචිත ප්‍රමාණයේ රුපියල් වටිනාකම සමාන වෙන්නේ ඩොලරයක මිල රුපියල් 320ක් වුනොත් (320x6=1920). ඒ නිසා, මහ බැංකුව සතුව ඩොලර් බිලියන 6ක ශුද්ධ විදේශ සංචිත තිබේනම්, නිකුත් කර තිබෙන රුපියල් සියල්ලම ආපහු අරගෙන ඒ වෙනුවට ඩොලර් ආපහු දෙන්න මහ බැංකුවට පුළුවන්. 

මෙයින් අදහස් වෙන්නේ කොයිම වෙලාවකවත් ඉහත කී ආකාරයේ හුවමාරුවක් වෙනවා කියන එක නෙමෙයි. එහෙම වෙන්නේ නැහැ. නමුත් යම් හෙයකින් රුපියල් අතේ තිබෙන හැමෝම රුපියල් වෙනුවට ඩොලර් ඉල්ලුවත්, අවශ්‍යනම් දෙන්න බැරිකමක් මහ බැංකුවට නැහැ. ඒ නිසාම, රුපියලේ වටිනාකම ගැන කාටවත් සැකයක් ඇති වෙන්නේ නැහැ. නමුත් ඩොලර් බිලියන 6ක් මහ බැංකුවේ නැත්නම් ඔය වැඩේ කරන්න බැහැ. 

රුපියල් ප්‍රමාණයට සාපේක්ෂව ශුද්ධ විදේශ සංචිත පොඩ්ඩක් අඩු වුනා කියලා ඔය කලින් කියපු විශ්වාසය බිඳ වැටෙන්නේ නැහැ. නමුත් රුපියල් ප්‍රමාණය විශාල ලෙස වැඩි වීම හෝ ශුද්ධ විදේශ සංචිත ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු වීම නිසා විදේශ සංචිත ප්‍රතිශතය ගොඩක් පහළට වැටුනොත් රුපියල පිළිබඳ විශ්වාසය කෙරෙහි එය බලපානවා. විණිමය අනුපාතය අනුව පෙනෙන තරමට රුපියල නොවටිනා බව මිනිස්සුන්ට පේන්න ගන්නවා. මිනිස්සු රුපියල් ඩොලර් වලට මාරු කරන්න පටන් ගන්නවා. ඩොලර් ඉල්ලුම වැඩි නිසා ඩොලරයක මිල ඉහළ යනවා.

විණිමය අනුපාතය වෙනස් වෙන්න දීම මගින් ඉහත තත්ත්වය පාලනය කර ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ශුද්ධ විදේශ සංචිත ඩොලර් බිලියන 3 දක්වා අඩු වුනා කියලා හිතමු. ඩොලරයක මිල රුපියල් 640 දක්වා ඉහළ ගියොත් නැවතත් ශුද්ධ විදේශ සංචිත වල රුපියල් වටිනාකම සහ සංචිත මුදල් ප්‍රමාණය සමාන වෙනවා. ඒ විණිමය අනුපාතය මහ බැංකුවට ප්‍රශ්නයක් නැතිව ආරක්ෂා කරගන්න පුළුවන් නිසා රුපියල තව දුරටත් අවප්‍රමාණය වෙන්නේ නැහැ. ප්‍රායෝගිකව ඩොලරයක මිල යම් තරමකින් ඉහළ යද්දී ඔය විශ්වාසය ගොඩ නැගෙනවා. ඔය මට්ටමටම මිල ඉහළ යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. 

ආචාර්ය කුමාරස්වාමි මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් වන විට මහ බැංකුවේ සංචිත මුදල් සැපයුම සහ ඒ වන විට පැවති ඩොලරයක මිල අනුව මහ බැංකුවේ ශුද්ධ විදේශ සංචිත වල රුපියල් වටිනාකම ආසන්නව සමානයි. 2020 ජනවාරි අවසානයේදී මේ අනුපාතය 99.0%ක්. 2020 පෙබරවාරි අවසානයේදී 100.8%ක්. නමුත් ඉන් පසුව දිගින් දිගටම මේ අනුපාතය අඩු වුනා. 2020 දෙසැම්බර් අවසන් වෙද්දී 54.6%යි. 2021 මාර්තු වෙද්දී 33.1%යි. 2021 ජූලි වෙද්දී 1.0%යි. 

විදේශ විණිමය ප්‍රශ්නයට කෝවිඩ් බලපෑවා තමයි. නමුත් කෝවිඩ් නිසා ප්‍රධාන වශයෙන්ම වුනේ සංචාරක ආදායම අහිමි වීම. අනෙක් පැත්තෙන් ලෝක ඉන්ධන මිල විශාල ලෙස පහත වැටුනා. රට ඇතුළේ ඉන්ධන ඉල්ලුමද විශාල ලෙස අඩු වෙලා ඉන්ධන ආනයන වියදම විශාල ලෙස අඩු වුනා. ආර්ථික කටයුතු සීමා වෙද්දී අනෙක් ආනයන අවශ්‍යතාද අඩු වුනා. ඒ නිසා, අර්බුදය පටන් ගනිද්දී හිටපු ශක්තිමත් තැන අනුව කරගත් ආකාරයේ අවුලක් කර නොගෙන විදේශ අංශය කළමනාකරණය කරගන්න පුළුවන්කම තිබුණා. 

විදේශ අංශය කළමනාකරණය කරගන්න බැරි වුනේ බදු සහන දී රාජ්‍ය ආදායම අහිමි කරගෙන ඒ අඩුව පුරවගන්න සල්ලි අච්චු ගහපු නිසා. සල්ලි අච්චු ගැසීම කියා කිවුවත් මුල් අදියරේදී බොහෝ දුරට සිදු වුනේ මහ බැංකුව විසින් විදේශ සංචිත විකුණමින් එකතු කරගත් රුපියල් රජයට ණයට දුන්න එකයි. ඒ හැර අලුතෙන්ම රුපියල් සංසරණයට එකතු කළේ අඩුවෙන්. ඒ නිසාම, මුලදී උද්ධමනය ප්‍රශ්නයක් වුනේ නැහැ. 

අලුතෙන්ම රුපියල් සංසරණයට එකතු කිරීම වේගවත් වුනේ දෙවන අදියරේදී. ඊට අමතරව මහ බැංකුව විසින් ලෝකයට ණය වෙමින් ලබාගත් ඩොලර් වෙළඳපොළේ විකුණමින් ඒ මගින් ලබාගත් රුපියල්ද රජයට ණයට දුන්නා. බංග්ලාදේශයෙන් පවා ණය ගත්තානේ. මෙහි ප්‍රතිඵලයක් විදිහට මහ බැංකුවේ ශුද්ධ විදේශ සංචිත සෘණ පැත්තට ගියා. මහ බැංකුවක් හා අදාළව ඒ වගේ තත්ත්වයක් කියන්නේ අසාමාන්‍ය තත්ත්වයක්. 2022 අප්‍රේල් වලදී වත්මන් අධිපතිවරයා මහ බැංකුව භාර ගනිද්දී ශුද්ධ විදේශ සංචිත සහ සංචිත මුදල් අතර අනුපාතය -98.7%ක්. ඒ කියන්නේ ඒ වන විට 2020 ජනවාරි සිට 58%කින් ඉහළ ගොස් තිබුණු රුපියල් සැපයුමට අමතරව, එම රුපියල් සැපයුමට ආසන්නව සමාන රුපියල් ප්‍රමාණයක් ණයට ගත් ඩොලර් විකිණීම මගින් හොයාගෙන ඒ සල්ලිත් රජයට ණයට දීලා වගේ දෙයක්. 

සාමාන්‍යයෙන් සංචිත පහත වැටුණු අවස්ථාවක විණිමය අනුපාතය ඉහළ යන්න දීම මගින් ශුද්ධ විදේශ සංචිත වල රුපියල් අගය වැඩි කරගෙන ප්‍රශ්නය කළමනාකරණය කරගන්න පුළුවන්. නමුත් ශුද්ධ විදේශ සංචිත සෘණ පැත්තට ගියාට පස්සේ රුපියල අවප්‍රමාණය වෙද්දී වෙන්නේ සෘණ අගය තව තවත් සෘණ පැත්තට යන එක. වත්මන් අධිපතිවරයා වැඩභාර ගැනීමෙන් පසුව මාස කිහිපයක් යන තුරු මේ තත්ත්වය දකින්න පුළුවන් වුනා. 2022 නොවැම්බර් වන විට ශුද්ධ විදේශ සංචිත සහ සංචිත මුදල් අතර අනුපාතය -124.3% මට්ටමට ගියා. අලුත් ජනාධිපතිවරයෙක් පත් වෙලා බදු සංශෝධන කිරීමෙන් පසුව යහපත් රාජ්‍යමූල්‍ය කළමනාකරණයේද උදවු ලබමින් ඒ වැටුණු වලෙන් ගොඩ එන්න අවුරුදු දෙකක්ම ගියා. ශුද්ධ විදේශ සංචිත නැවත යාන්තමින් ධන පැත්තට හැරුණේ 2024 ඔක්තෝබර් මාසයේදී. ඉන් පසුව ඉතිරි වී තිබුණු සහ දැනටත් තිබෙන අභියෝගය වන්නේ මේ ශුද්ධ විදේශ සංචිත අවශ්‍ය ප්‍රමාණය දක්වා වර්ධනය කර ගැනීමයි.

පසුගිය 2026 පෙබරවරි මාසයේදී ඉරාන යුද්ධය ආරම්භ වන තුරුම මහ බැංකුව ඔය ඉලක්කය ඇතුළේ හිටියා. පෙබරවාරි මාසය අවසන් වෙද්දී ශුද්ධ විදේශ සංචිත මහ බැංකුවේ සංචිත මුදල් වලින් 53.0%ක් දක්වා වර්ධනය වෙලයි තිබුණේ. බාහිර කම්පනයකට මුහුණ දෙන්න වුනේ ඔය වගේ තත්ත්වයක් යටතේදීයි.

මේ කම්පනය අවස්ථාවේදී මහ බැංකුව විසින් පෙර අවස්ථා වලදී කළ වරද නැවත සිදු වුනේ නැහැ. වෙළඳපොළේ ඩොලර් ඉල්ලුම හා සැපයුම අනුව මිල ඉහළ යන්න මහ බැංකුව ඉඩ දුන්නා. නමුත් 2020 පෙබරවාරි වලදී මෙන් 100% ඉක්මවන සංචිත ආවරණයක් ඒ වෙද්දීත් ගොඩ නැගිලා නොතිබුණු නිසා සමපේක්ෂකයින් විසින් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න උත්සාහ කළා. සමපේක්ෂණ ඉල්ලුම නිසා විණිමය අනුපාතය ඉහළ යද්දී මහ බැංකුවකට පැත්තකට වෙලා බලාගෙන ඉන්න බැහැ. එවැන්නක් සාමාන්‍ය ඉල්ලුමක් නෙමෙයි. සංචිත තියාගෙන ඉන්නෙම ඒ වගේ වෙලාවකදී ප්‍රයෝජනයට ගන්න.

මහ බැංකුව විසින් අවශ්‍ය අවස්ථාවේදී අවශ්‍ය මැදිහත්වීම කළා. ඒ වෙනුවෙන් යම් සංචිත ප්‍රමාණයක් නාස්ති කරන්න සිදු වුනත් වැඩේ පරක්කු නොකර නියම අවස්ථාවේදී කරපු නිසා අඩු වියදමකින් සමපේක්ෂන ඉල්ලුම පාලනය කරගන්න මහ බැංකුවට පුළුවන් වුනා. කොහොම වුනත්, පෙබරවාරි අවසානයේදී 53.0% මට්ටමේ තිබුණු සංචිත ආවරණ අනුපාතය මැයි වෙද්දී 41.3% දක්වා පහත වැටුණා. 

මාස තුනකින් මේ තත්ත්වය කළමනාකරණය කරගැනීමට සමත් වීම අගය කළ යුතු දෙයක්. හරි තීරණ හරි වෙලාවට ගත්තේ නැත්නම් මේ කම්පනය හමුවේ වුනත් විදේශ අංශයේ ලොකු කඩා වැටීමක් සිදු විය හැකිව තිබුණා. මෙය කෝවිඩ් කම්පනයට සාපේක්ෂව ලොකු කම්පනයක් නොවුනත්, විදේශ සංචිත හා අදාළව 2026 පෙබරවාරි වලදී ලංකාවේ ආර්ථිකය තිබුණේ 2020 පෙබරවාරි වල තිබුණු ශක්තිමත් තැන නෙමෙයි. ඒ නිසා සැලකිය යුතු තරමේ අවදානමක් තිබුණා.

පසුගිය මාස දෙක ඇතුළත මහ බැංකුව විසින් නැවතත් සංචිත මුදල් සැපයුමේ ශුද්ධ විදේශ සංචිත ආවරණය 48.0% දක්වා ඉහළ දමාගෙන තිබෙනවා. සමහර විට අගෝස්තු මාසය අවසන් වෙද්දී පෙබරවාරි හිටපු තැන කිට්ටුවට නැවත ඇවිත් ඇති. 

මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් කියා කියන්නේ විදේශ වත්කම් සහ විදේශ බැරකම් අතර වෙනස. මහ බැංකුව විසින් ඉන්දියාවෙන් ගත් විශාල ණය ප්‍රමාණය මෙතෙක් කල් ටිකෙන් ටික ගෙවාගෙන ආවා. මම දන්නා තරමින් මේ මාසය අවසන් වෙද්දී ඒ ණය ගෙවා අවසන් වෙනවා. ඉන් පසුව ඒ ණය ගෙවන්න නැති නිසා දළ විදේශ සංචිත තරමක් වේගයෙන් වර්ධනය වෙයි. ඒ වගේම, චීන ණය දෙසැම්බර් මාසයේදී ආපසු ගෙවන්න තියෙනවා. ඒ ණය තවත් කල් දමා ගනියිද කියලා මම දන්නේ නැහැ. එහෙම කරන එකේ ඒ තරම් තේරුමකුත් නැහැ. දෙසැම්බර් මාසයේ චීන ණය ආපසු ගෙවුවොත්, දළ නිල සංචිත වල එක පාරටම අඩුවක් වෙයි. නමුත් එයින් ශුද්ධ විදේශ සංචිත වල වෙනසක් වෙන්නේ නැහැ. 

චීන ණය හා ඉන්දියන් ණය ගෙවලා ඉවර කළොත් ඉතිරි වෙන්නේ IMF ණය පමණයි. මහ බැංකුවක් IMF එකට ණය වෙන එක සාමාන්‍ය තත්ත්වයක්. ඒ වගේම, ඔය ණය වලින් කොටසක් කැමති වෙලාවක ගෙවන්න පුළුවන් ණය. ඒ කොටසින් ලොකු බරක් නැහැ. ඉතිරි කොටස වුනත් අවශ්‍යනම් තව IMF වැඩසටහනකට යාම මගින් ප්‍රමාද කරගන්න පුළුවන්. ඒ නිසා, ඉන්දියාවේ හා චීනයේ ණය ගෙවලා දැම්මොත් ඊට පස්සේ දළ නිල සංචිත සහ ශුද්ධ විදේශ සංචිත අතර වෙනස නොසලකා හැරිය හැකි සාමාන්‍ය තත්ත්වයක් ඇති වෙනවා. එකම වෙනස තවත් යම් කාලයක් IMF උදවු නැතිව බැරි වීම පමණයි.

වෙබ් ලිපිනය: