වෙබ් ලිපිනය:

Wednesday, November 16, 2016

පරිප්පු කෑම සමරන ඇමරිකාව

පරිප්පු කියන්නේ ලංකාවේ කෑම වේලක නොවරදින නියතයකි. මෙහි විශේෂත්වය වන්නේ රටේ පහසුවෙන් වැවෙන කෘෂිකාර්මික බෝග ගණනාවක් තිබියදී අපේ මේ ජනප්‍රියම ආහාරය ලංකාවේ නොවැවෙන, සම්පූර්ණ අවශ්‍යතාවයම ආනයනය කරන කෑමක් වීමයි. මෙය රටේ ඕනෑ තරම් සතුන් සිටියදී, රාජ්‍ය ලාංචනයේ රටේ ජීවත් නොවන සතෙකුට තැන දී තිබීම වැනි දෙයකි. මිනිස්සුන්ගේ වැඩි කැමැත්ත හැම විටම ලැබෙන්නේ තමන් ජීවත් වන රටේ වැවෙන බෝග වලට හෝ ජීවත්වන සතුන්ට නොවේ. එහි ඇති වැරැද්දක්ද නැත.

ලෝකයේ වැඩියෙන්ම පරිප්පු නිෂ්පාදනය කරන රට කැනඩාවයි. ලංකාවේ බොහෝ දෙනෙකු නොදන්නා කරුණක් විය හැකි මේ කරුණ ඇතුළු තවත් පරිප්පු විස්තර රැසක් ගැන අද තිලකසිතේ ලියැවී තිබේ. ලෝකයේ පරිප්පු නිපදවන රටවල් අතරින් ඇමරිකාවට ලැබෙන්නේ පස්වන තැනයි.

"ලෝකයෙ රටවල් අතරින්
පරිප්පු සැමරීම පිණිස
ලොකු ජාතික උත්සවයක්
වාර්ෂිකව පවත්වන්නෙ 
මොන රටේද? මොන රටේද?"

"ඇමරිකාවෙ ඇමරිකාවෙ
ඇමරිකාවෙ එහෙම වුනත්
හැමදාමත් පරිප්පු කන
ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ!"

පරිප්පු නැති හෝටලයක් නැති ලංකාවේ පරිප්පු වලට ලැබෙන්නේ තිලකසිතේ ලියැවී ඇති ආකාරයේ අඩු සැලකිල්ලක් වුනත්, ඇමරිකාවේ නම් පරිප්පු සමරන්නට වාර්ෂිකව ජාතික උත්සවයක් පැවැත්වේ. දින දෙකක් පුරා, විශාල ජන සහභාගිත්වයකින් වොෂින්ටන් ප්‍රාන්තයේ පුල්මන් නගරයේ පැවැත්වෙන මේ ජාතික උත්සවය සාමාන්‍යයෙන් පැවැත්වෙන්නේ අගෝස්තු මාසයේ තෙවන සති අන්තයේ සිකුරාදා හා සෙනසුරාදා දිනවලය. 



මේ වසරේදී විසි හත් වන වරට පැවැත්වුණු මේ උත්සවයට වෙනදා මෙන්ම පරිප්පු තේමා කරගත් පෙරහැරක් (පැරේඩ් එකක්), සංගීත සංදර්ශයක්, මැරතන් තරඟයක්, ගැලුම් 350කට වඩා වැඩි විශාල පරිප්පු හොද්දක් හැදීම, පරිප්පු වලින් සාදන විවිධ කෑම තරඟයක් ඇතුළු විශේෂාංග රැසක් ඇතුළත් විය.

ඇමරිකාවේ නිපදවන පරිප්පු වලින් 18%ක් නිපදවෙන්නේ වොෂින්ටන් ප්‍රාන්තයේ නැගෙනහිර කොටස හා අයිඩාහෝ ප්‍රාන්තයේ බටහිර කොටස ඇතුළත් පැලෝස් නිම්නයේය. මේ උත්සවය මුලින්ම ආරම්භ කළ 1989 වසරේදී ඇමරිකාවේ නිපදවූ පරිප්පු වලින් 98%ක්ම නිපදවා ඇත්තේ මේ ප්‍රදේශයේය.

මේ උත්සවය පිලිබඳ වැඩි විස්තර මෙහි තිබේ.



වෙබ් අඩවිය 

වත්පොත් පිටුව 

(Images: https://www.flickr.com/photos/theslowlane/3960111687/?ytcheck=1, https://www.facebook.com/LentilFest/photos/pb.170900016292854.-2207520000.1444326623./568427673206751/?type=3&theater)

22 comments:

  1. පරිප්පුත් හරියට ඉඟුරු වගේ, වා සෙම් පිත් තුනටම ගුනයි. :)

    ReplyDelete
  2. ජනවාරියේ සිට කොහෙමටත් ඇමරිකානුවන් කන්නේ පරිප්පු තමයි!

    ReplyDelete
  3. ඔසී රටත් පරිප්පු නිපදවීමෙන් ප්‍රධානම තැනක් ගන්නා රටක්. පරිප්පු සත්ව ආහාරයක් ලෙසත් භාවිතා වෙනවා. මං හිතන්නේ අස්සයින්ට!
    http://www.mapsofworld.com/world-top-ten/lentil-producing-countries.html

    ReplyDelete
    Replies
    1. ඔව්. ඇමරිකාවට වඩා උඩින් තෙවන තැන ඉන්නේ ඕස්ට්‍රේලියාව.

      Delete
  4. පරිප්පු ගැන නොදැන සිටි සැහෙන දෙයක් මේකයි තිලක සිතගේ ලිපියයි කියවල දැන ගත්තා..

    ReplyDelete
  5. අනෙක් රටවල පරිප්පු කන්නෙ කොහොමද දන්නෑ?

    ReplyDelete
    Replies
    1. පරිප්පු විවිධ රටවල විවිධ ආකාරයෙන් හදනවා. මම වෙනත් රටවල මේ රෙසිපි සෑහෙන ගණනක් රස විඳලා තියෙනවා. බොහෝ විට හදන්නේ කිසියම් සුප්/ කැඳ විශේෂයක් ලෙසයි. විශේෂයෙන්ම මධ්‍යම ආසියානු රටවල ඉතා රසවත් රෙසිපි තියෙනවා. පැරණි සෝවියට් දේශයේ මේ කොටස් වල ජීවත් වී ඇති අය මට වඩා මේ රෙසිපි ගැන දන්නවා ඇති. මා එම රටවලින් සංක්‍රමණය වූ මිතුරු මිතුරියන් හැදූ දෙයක් රසවිඳ තියෙනවා පමණයි. රෙසිපි ගැන වැඩි දෙයක් දන්නේ නැහැ. දකුණු ඇමරිකානු රෙසිපිත් රසයි.

      Delete
  6. අපේ ජාතික ආහාරය වන "පානුයි පරිප්පුයි" දෙකම බටහිර කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්වත්ද ?

    ReplyDelete
    Replies
    1. කුමන්ත්‍රණ කතා කෙසේ වෙතත් මේ දෙකම (පාන් සහ රතු පරිප්පු) යුරෝපීයයන් විසින් හඳුන්වා දුන් ආහාර. නමුත්, පොල් කිරි දමා අල හොදි උයනවා වගේ අපි මේවා උයන්නෙත්, කන්නෙත් අපට අවශ්‍ය විදිහටයි. එක රටක ආහාරයක් වෙනත් රටක ආහාර ලැයිස්තුවට එකතු වීම වගේම ඒ රටේදී වෙනස්කම් වලට භාජනය වීමත් ඉතාම ස්වභාවික හා සාමාන්‍ය, ඒ වගේම නිරන්තරව සිදුවන දෙයක්.

      Delete
  7. ලංකාවේත් වහාම පරිප්පු සැමරුම් දිනයක් ප්‍රකාශයට පත්කරනු.

    - පරිප්පු කන ජනතාව -

    (සැ.යු.: ඉහත පරිප්පු යනු ඇට පියළි පරිප්පු මිස වෙන පරිප්පුවක් නොවන බව සලකන්න)

    ReplyDelete
    Replies
    1. ලංකාවේත් වහාම පරිප්පු සැමරුම් දිනයක් ප්‍රකාශයට පත්කරනු.+++++

      Delete
  8. පරිප්පුවල පිෂ්ඨ ධාතු, ජීවාන්තක ධාතු,චූර්ණකර ධාතු පිටිලාටු අඩංගුය.
    විටැමින් ධාතු හිඟය. මේදය අවමයි. ශරීරය සිසිල්කරයි. මළ වඩයි.

    ReplyDelete
  9. පරිප්පු උනත් පොස් අය පොස් විදිහට කන්න පටන් ගනියි මේ විදිහට දැනගත්තාම..හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
  10. "පරිප්පු"වලටත් ලෝකයේ හොඳ වටිනාකමක් තියෙනවා එහෙනම්.

    ReplyDelete
  11. කැනඩාවේ මම දැකල තියෙන්නේ ඔක්කොම ඉන්දියන් බ්‍රෑන්ඩ් පරිප්පු . යකඩෝ එහෙමනම් නම් අපි කන්නේ අපහු ඉන්දියාවෙන් එවන ඒවාද?

    ReplyDelete
    Replies
    1. ලෝකයේ වැඩියෙන්ම පරිප්පු නිපදවන රට කැනඩාව. මෙට්‍රික් ටොන් මිලියන 2ක් ඉක්මවන වන මේ ප්‍රමාණයෙන් 99%ක්ම හදන්නේ සැස්කටුවාන් (Saskatchewan) ප්‍රදේශයේ. බොහෝ දුරට මුළු නිෂ්පාදනයම වගේ අපනයනය කෙරෙනවා. මේ අපනයන වලින් 30%ක් යන්නේ ඉන්දියාවට. ඉන්දියාව ලෝකයේ දෙවන විශාලතම පරිප්පු නිෂ්පාදකයා වුනත් ඔවුන්ගේ පරිභෝජනය නිෂ්පාදනයට වඩා වැඩි නිසා කැනඩාවෙන් වගේම ඇමරිකාවෙනුත් වසරකට විශාල පරිප්පු ප්‍රමාණයක් ආනයනය කරනවා. ඇමරිකාවේ පරිප්පු අපනයන ප්‍රමාණයෙන් 37%ක් පමණ යන්නෙත් ඉන්දියාවට. ඉන්දියාවේ ආදායම් ඉහළ යාම නිසා ප්‍රෝටීන් ඉල්ලුම වැඩි වීමත්, බොහෝ ඉන්දියානුවන් සත්ව ප්‍රෝටීන් ප්‍රතික්ෂේප කිරීමත් නිසා ඉන්දියාවේ පරිප්පු ඉල්ලුම ඉතා සීඝ්‍රයෙන් ඉහළ යමින් තියෙනවා. මේ වෙළදපොළ දෙස බලාගෙනම මේ වන විට උතුරු ඇමරිකාවේ ඇතැම් ගොවියන් වෙනත් භෝග වෙනුවට පරිප්පු වර්ග ආදේශ කරමින් සිටිනවා.

      තත්ත්වය ඉහත පරිදි වුනත් ඔබ වගේම මමත් පරිප්පු මිලදී ගන්නේ ඉන්දියානු කඩයකිනුයි. බැලූ බැල්මටම මෙහි විශාල අවුලක් පේනවා. ඇමරිකාවෙන් හා කැනඩාවෙන් ඉන්දියාවට පරිප්පු යවද්දී, ඉන්දියාවෙන් මේ රටවලට නැවත පරිප්පු එවනවද? ඉතාම සීමිත ප්‍රමාණයක් ඇත්තටම එසේ එනවා තමයි. මෙය ඉතා අකාර්යක්ෂම දෙයක්. එසේ වෙනවනම්, සැස්කටුවාන් වල හදන පරිප්පු ටොරොන්ටෝ අවට ඉන්දියානු කඩ වලට දමලා ලාභයක් ගැනීමේ ව්‍යාපාරික අවස්ථාවක් තියෙනවා. එසේ කිරීමෙන් දෙපැත්තකින්ම මුදල් (ප්‍රවාහන වියදම්) ඉතිරි වෙනවා. මම හිතන විදිහට බොහෝ විට වෙන්නෙත් එවැනි දෙයක්. එනම්, කැනඩාවේ පරිප්පුම තොග වශයෙන් මිලදී ගෙන ඉන්දියානු ලේබල් සහිතව නැවත සිල්ලර වෙළදපොළට දැමීම.

      ලංකාවට වැඩිපුරම පරිප්පු කවන්නේනම් ඕස්ට්‍රේලියාවයි. ලංකාවේ පරිප්පු අවශ්‍යතාවයෙන් අඩකට වඩා ආනයනය කරන්නේ ඕස්ට්‍රේලියාවෙන්. ඉතිරිය ප්‍රධාන වශයෙන්ම කැනඩාවෙන් සහ තරමක ප්‍රමානයක් තුර්කියෙන්. ඕස්ට්‍රේලියාවේ පැත්තෙන් බැලුවත් ඔවුන්ගේ අපනයන වලින් තුනෙන් එකක් පමණ යවන ප්‍රධානම ගමනාන්තය ලංකාවයි. මෙහිදී මා පොදුවේ පරිප්පු කියා සඳහන් කළත් උතුරු ඇමරිකාවේ (සහ මා සිතන ලෙස ඕස්ට්‍රේලියාවෙත්) ලෙන්ටිල් කියන වචනයෙන් අදහස් වන්නේ ලංකාවේ වඩාම ජනප්‍රිය රතු පරිප්පු වර්ගය පමණක් නොවෙයි. වර්ග ගණනාවක් එයට ඇතුළත්.

      Delete
    2. අපි ටොරොන්ටෝ දෙමල කඩයකින් $ 100 වැඩි භාන්ඩ මිලට ගත් විට ඔවුන් කිග්‍රෑ 2පරිප්පු බෑග් එකක් දෙති

      Delete
    3. @ ඉකොනොමැට්ටා EconomattaNovember 18, 2016 at 1:30 PM

      ඔබගේ ප්‍රතිචාරයට පසු මා නිවසේ තුබූ පරිප්පු ඇසුරුමක පරික්ෂා කළා. එහි තිබුයේ

      Imported by Quality xxxxxx Ltd. in so and so.
      Packaged in Canada.


      Delete
  12. @Trans SylvaniaNovember 18, 2016 at 2:49 PM,

    ලබනපාර දෙමළ පත්තරක් තිබ්බොත් අරන් එන්න ඔන්න ඔහේ! නිකන් දෙන එකනේ ;-)

    ReplyDelete
  13. එකවතාවක් රජයක් විසින් පරිප්පු වෙනුවට මුං ඇට පාවිච්චි කරන්න කියලා කිව්වා නේද? ඒක හරිගියෙේනෑ මම හිතන්නේ..

    ReplyDelete
  14. මේක නම් දැනගෙන හිටියේ නැහැ.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: